Saturday, February 22, 2014

කළු බල්ලො බුරන හඳපානට ඔයත් එන්න.

මං ලියන්න ඉඳගත්තා. ඒත් ලියන්න ටිකක් මූඞ් එක පරක්කු වැඩියි වගේ. අනිත් පිටුවෙන් වැහිලා තිබ්බ ෆේස්බුක් පිටුව ඉස්සරහට ඇදගත්තෙ මූඞ් එකක් එනකල් නන්නත්තාර වෙන්න. ඉස්සර කොතන හරි තැනක මට මතක විදිහට ජගත් වීරසිංහ වෙන්න  ඕන, කියනවා හිත ටිකක් නිවාගන්න  ඕන වුණාම එම්සී එකේ නියෝන් ලයිට් එලි මැද්දෙ ටිකක් ඇවිදින්න යනවා කියල. සමහර විට ජගත් වීරසිංහ එහෙම දෙයක් කියල නැතුවත් ඇති. මගේ මොකක් හරි වැරදි විදිහට සම්බන්ධ වෙච්ච මතකයක් වෙන්න ඇති. ඒත් ඒකෙ තේරුම, බෝ මළුවකට හරි, පන්සලකට හරි, මුහුදු වෙරළ හරි නැතුව නියෝන් කලබලය මැද්දෙ සංසුන්බව හොයන එක...මාර්කට් එක මැද්දෙ නිවන හොයන එක.. ෆේස්බුක් එක දැන් ඒ වගේ මළුවක්. හිත නිවෙන කල් සක්මන් කරන්න පුළුවන්. එකම දේ අනවශ්‍ය අයව අතුගාලා හොඳට මේන්ටේන් කරන්න  ඕන.

අනිත් පැත්තට ෆේස්බුක් එක හරහා මට ලැබෙන මගේ ලෝකය. ඒක ඇත්තටම මට එලියෙ මුණගැහෙන ඇත්ත ලෝකෙට වඩා ගොඩක් විශාලයි. අපි නිතර කතා බහ කරන්න, අදහස් හුවමාරු කරන්න කැමති අපේ කිට්ටු සම්බන්ධතා විතරක් යාන්ත‍්‍රිකව ඉතුරු කරලා ටිකෙන් ටික දුරස් අය දුරස් කරලා දාන එක. කවදාවත් ඒක යාන්ත‍්‍රිකව නොවී නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හිතන් ඉන්නෙ අපි හැමෝවම ආශ‍්‍රය කරනවා කියල. අපි අත්හරිමින් ඉන්නවා කියලා තේරුම් ගන්න අපි අකමැතියි. ඒත් කතා කරන්න දෙයක් නැති වුණු යාලූවො කොච්චරක් අපිට ඉන්නවද කියල ෆේස් බුක් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තට කවදාවත් මුණ නොගැහුණා වුණත් කතා කරන්න ගොඩක් දේවල් තියෙන යාලූවො අපිට කොච්චර ඉන්නවද කියලත් තේරුං ගන්න පුළුවන්. කොහොම වුණත් අන්තිමට එතන අපිට අපේ සංස්කෘතියක් හැදෙනවා. තම තමන්ගෙ විදිහට, තම තමන්ගෙ පිස්සුවට ගැලෙපන විශ්වයක්. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් අහම්බෙන් ආපු ලින්ක් එකක් දිගේ නාඳුනන ෆේස් බුක් කලාපෙකට වැටෙන සමහර වෙලාවට. බල්ලට බඩ යනවා කියන එකටත් ලයික්ස් සීයක් විතර.

කතාව කියන්න ආවෙ ෆේස් බුක් එක ගැන නෙමෙයි. ෆේස් බුක් එකෙන් ඉස්තෙපාන් මට එවපු සෙන් කතාවක් ගැන. සෙන් කියන එක ඇත්තටම අපිට මගඇරෙන්නෙ අපි ඒක  ඕනවට වඩා ලොකුවට බලන්න හදන හින්ද කියල මට හිතෙන්නෙ. උදා විදිහට අප‍්‍රිකාවෙ ඈත කෙළවරක ගෝත‍්‍රිකයෙක් අපිට මුණගැහෙනවා කියල හිතන්න. එයා අපිත් එක්ක ඒ පොලොව ගැන මොනවා හරි කතා කරනවා.

‘උදැල්ලකින් ගහන තැන ඉඳලා ලිඳක් හාරන ගැඹුර වෙනකල් මං පොලොව ගැන දන්නවා’ එයා අපිට කියනවා. මේක අපිට මාර දාර්ශනික කතාවක්. මාර ගැඹුරුයි. ඒත් ඒ මනුස්සයා ඇත්තටම කරලා තියෙන්නෙ ඒ වැඩ දෙක විතරයි. උදැල්ලෙන් කොටන එකයි, ලිඳක් හාරන එකයි. පොලොව ගැන එයා දන්නෙ එච්චරයි. බුද්ධාගමේ වත් නං අඩු ගානෙ පොලොව යට තියෙන අපාය ගැන දැනගෙන ඉන්න ඉඩ තිබුණ.

මේ විදිහටම සෙන් ගැනත් අපි අපේ බෞද්ධ හෝ වෙනයම් දාර්ශනික අවබෝධයක් ඇතුලෙන් තේරුම් ගන්න යන හින්දම ඒකෙ සෙන් නැති වෙනවා. මේ සෙන් කතාව ඒක හොඳටම කියනවා.
\
මෝකුගන් කියන සෙන් ගුරුවරයා එයා මැරෙන මොහොත වෙනකල් කවදාවත් හිනාවෙන්න දැනගෙන ඉඳලා නෑ. ඔන්න එයා මැරෙන වෙලාවෙදි කතා කරනවා ශිෂ්‍යයන්ට.

‘උඹලා දැන් අවුරුදු දහයක් තිස්සෙ මගේ ළ`ග පුහුණු වෙනවා. කියාපල්ලා දැන් උඹලා දන්න සෙන් වල නියම තේරුම. මේක හරියට කියන එකා මෙතන ඉඳන මගේ ලෝගුවයි පාත්තරෙයි බාර ගන්න  ඕන’
හැමෝම බලන් ඉන්නවා, එකෙක්වත් එන්නෙ නෑ ඉස්සරහට.

සෑහෙන කාලෙක ඉඳන් එයා ළ`ග ඉගෙන ගන්න ‘එන්කො’ විතරක් ඉස්සරහට එනවා. ඇවිත් මේසෙ උඩ තිබ්බ බෙහෙත් වීදුරුව අ`ගල් කීපයක් ළං කරනවා. ඒක තමයි එයාගෙ උත්තරේ.

‘අවුරුදු දහයක් තිස්සෙ මෙච්චරද ඉගෙන ගත්තෙ?’
මෝකුගන් යක්ෂාවේෂ වෙනවා. එන්කො ආයිමත් එනවා. කිසි කතා බහක් නැතුව බෙහෙත් වීදුරුව ආපහු තිබ්බ තැනට තල්ලූ කරනවා.

මෝකුගන්ට ජීවිතේ පළවෙනි පාරට පැලෙන්න හිනා යනවා. ‘උඹ යකෙක්’.. එයා එන්කෝට කියනවා. ‘උඹලා අවුරුදු දහයකට මගේ කිසි දෙයක් දැකලා නෑ. මුං ටික උඹට බාරයි’ මෝකුගන් සතුටෙන් මැරිලා යනවා.
මේ කොආනයේ තේරුම මොකද්ද කියල හොයන්න ගිහින් වැඩක් නෑ. ඒකට පිටින් ඉඳන් ඒක කියවලා වැඩක් නෑ. එතන ඒ මොහොතෙ අර මෝඩ ශිෂ්‍යයො ටික එක්ක ඉන්නයි  ඕනෙ. එතන ඒ වෙන දේ විතරයි. එතකොට අපිට එන්කොව පේනවා. ඉගෙන ගත්ත සෙන්වල තේරුම හොයන්න ද`ගළන අපි සෙට් එක මැද්දෙ ඌ විතරක් ඒ මොහොතට අදාල අවශ්‍ය දේ කරනවා.
ඉස්තෙපාන් ගේ කතාව එක්ක ටිකක් දුර ගහගෙන ගියාට මං හිටියෙ වෙන දෙයක් ගැන හිත හිත. ඒ චාර්ල්ස් මැන්සන් ගැන.

‘චාර්ල්ස් මැන්සන් කියන්නෙ 1934 ඉපදුන ඇමරිකානු අපරාධකාරයෙක් සහ සංගීතඥයෙක්. (ඒක මරු සුසංයෝගයක්. කලාව සහ මිනීමැරීම) මැන්සන් ෆැමිලි කියල 1960 ගණන්වල කැලිෆෝනියාවෙ හැදුන කොමියුනයට නායකත්වය දුන්නෙ එයා. මිනීමැරුම් හතකට සම්බන්ධව කුමන්ත‍්‍රණය කළා කියල එයා වරදකරු වෙනවා. ෂැරන් ටේට් (ඇමරිකානු සෙක්ස් සිම්බල් එකක් සහ රෝමන් පොලාන්සිකිගේ බිරිඳ) සහ තවත් හතර දෙනක් එක ගෙදරක, අනිත් දවසෙ තවත් දෙන්නෙක්. මේ ඔක්කොම කරන්නෙ ඒ කණ්ඩායමේ අය එයාගෙ උපදෙස් යටතේ’
විකිපීඩියා පිටුවෙ පටන් ගැන්මෙදි මැන්සන් ගැන අඳුන්නලා දෙන්නෙ මෙහෙමයි. තව දිගට විස්තර යනවා.

ඒත් පොදුවෙ මැන්සන් යනු දරුණු අපරාධකරුවෙක්, මානසික රෝගියෙක්, කුඩුකාරයෙක් නැත්තං විපරීතයෙක් වගේ තත්වයකින් එහාට මැන්සන් අඳුනාගැනීමක් සිද්ද වෙන්නෙ නෑ. ඒත් කවුරු හරි චාර්ල්ස් මැන්සන්ගෙ අදහස් සහ යූ ටියුබ් එකේ එයාගෙ වීඩියෝ බලාගෙන ගියොත් (පූර්ව නිගමනයක් නැතුව) මේ මීඩියා වලින් ගොඩනගපු තේරුමක් නැති යක්ෂයාට පිටින් සාමාන්‍ය නොවන මොකක් හරි ගැඹුරක් මේ චරිතයේ තියෙනවා කියල දැනෙන්න ගන්නවා. ඒ අදහස් හෝ අරගලයන් ප‍්‍රකාශ වෙන විදිහෙ ගොඩක් අර්බුද තියෙන්න පුළුවන්. ඒත් දරුණු සිතන්නෙක් විදිහට මැන්සන්ව මගඅරින්න බෑ කියල මට හිතෙනවා.

එක එක මාධ්‍යවේදීන් ඇවිත් මේ කරන සාකච්ඡුා වලදී මැන්සන්ගෙ එක එක ස්වරූප දකින්න ලැබෙනවා. සමහර වෙලාවට එයා හොඳටම පීඩාවෙන්, කේන්තියෙන්, අවුල් වෙලා ඉන්න තැන් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට එයා හරි තියුණු විදිහට කතා කරනවා. ගොඩක් සවිඥාණක සහ විවෘත විදිහට දේවල් දකිනවා.
විශේෂයෙන්ම හැම මාධ්‍යවේදියෙක්ම පාහේ එයාව අන්නන්න බලාගෙන ප‍්‍රශ්න කරද්දිත්. එක දෙයක් හරියටම පැහැදිලියි. චාර්ල්ස් මැන්සන් කියන්නෙ සාමාන්‍ය සමාජ පුරවැසියෙකුට වඩා නම් අතිශයින්ම දියුණු සිතන්නෙක්.

මැන්සන් කියන්නෙ ජීවිතෙන් වැඩි කාලයක් හිරගෙදර ගත කරන මනුස්සයෙක්. අවුරුදු 09දි එයා මුලින්ම හිරේ යන්නෙ. රැුකබලාගන්න පවුලක් හෝ කිසි කෙනෙක් නැතුව මැන්සන්ට සිද්ද වෙනවා මහපාරෙ ජීවත් වෙන හැටි ඉගෙන ගන්න.

කිසිම විධිමත් අධ්‍යාපනයක් නැති මේ මනුස්සයා කතා කරද්දි ඒ අදහස් අතිශය දාර්ශනික ඉසව් වලට ගමන් කරනවා. හොඳට බැලූවොත් බෞද්ධ විශේෂයෙන් සෙන් නැඹුරුවක සිතීමක් ගොඩක් වෙලාවට මැන්සන් අවදි කරනවා.

එක තැනකදි මාධ්‍යවේදියෙක් අහනවා, මැන්සන් හිරේ ඉන්න කැමතිද අකමැතිද කියල.
‘මං කැමති වෙන්නෙ වත් අකමැති වෙන්නෙ වත් නෑ..’ මැන්සන් උත්තර දෙනවා.

මෑතක මං මගේ ෆේස්බුක් කවර් ෆොටෝ එක කළෙත් මැන්සන්ගෙ ඒ වගේ කතාවක්.
‘තේරුමක් නැති එකම තේරුමක් ’

ඒත් මාධ්‍යවේදීන් හෝ මැන්සන්ව ප‍්‍රශ්න කරන අය, මං හිතන්නෙ මැන්සන් ගැන කියවන අයවත් එයා මේ පේලි අතර කියන කතාව සීරියස් ගන්නෙ නෑ.

මේ ඉන්ටවිව් එකේදිම මාධ්‍යවේදියා අහනවා මැන්සන්ගෙන් එයා යම් දවසක නිදහස් වුනොත් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ කියල. මීට අවුරුදු හයකට පස්සෙ තවත් මාධ්‍යවේදියෙක් මේ සුපුරුදු ප‍්‍රශ්නෙම ලාබෙට අහනවා.
ඒත් මැන්සන්ට දෙන්න තියෙන්නෙ එක උත්තරයක්. එයා හු`ගක් හිතලා දෙපාරම ඒ උත්තරේ දෙනවා.

‘මං එලියට ගිහින් තණ බිස්සක ඉඳගෙන ඉඳීවි’

මං මේ ටිකේම චාර්ල්ස් මැන්සන් ගැනම (මැන්සන්ගෙ ප‍්‍රවෘත්ති නෙමෙයි, එයා දේවල් දකින විදිහ) කියවගෙන ගිය හින්ද ඒ වගේ මතක් වෙන ලස්සන තැන් කීපයක් නිදැල්ලේ අරින්නං. ඇයි අපි මැන්සන් ගැන කියවන්නෙ? මං දන්නෙ නෑ. ඒත් මැන්සන් කියන්නෙ එක දොරටුවක්. සමාජයක් කියල එකතු කරලා වියලා ගැටගහපු ලෝකෙ ඇතුලෙ එහෙම එලියට ඇරෙන දොරවල් තියෙන්නෙ කීපයයි. ජේසුන්, බුදුන් වගේ එහෙම ඇරිච්ච දොරවල් මේ වෙද්දි වහලා කොන්ක‍්‍රීට් දාලා. තිබ්බ තැන්වත් හොයා ගන්න බෑ. අතරින් පතර පාදඩ සාන්තුවරයො කීපදෙනෙක් විතරයි ඉතුරු.

තව එක තැනකදි එයාගෙන් අහනවා එයාගෙ ළමා කාලය සතුටින්ද දුකෙන්ද ගතවුනේ කියල.
‘මට ඔයගොල්ලොන්ට වගේ යින් යෑන්ග් විදිහෙ දේවල් නෑනෙ’

‘ගිහින් ලොකු ගලක් උස්සන් ඇවිත් මේසෙ මැද්දෙන් තියන්න. ඒ මේසෙ මැද තියෙන ගල්ගෙඩිය මම’
ගොඩක් වෙලාවට මේ කතා අර්ත ගැන්වෙන්නෙ මැන්සන්ගෙ පිස්සුව හරි, විපරීත හරි දේවල් විදිහට. ඒත් මේ කතාම බෞද්ධ භික්ෂුවකගේ කටින් කියවුනොත් එයා ඵලාවබෝධය ලත් කෙනෙක් කියල ලොකු ජරමරයක් වේවි.

 ජීවිත කාලයක් පුරාම හුදකලා හිර මැදිරියක් ඇතුලෙ ඉඳිද්දි එයාට යෝගියෙක් වනවාසීව බවුන් වඩමින් පසක් කර ගන්න හදන දේම පසක් වුණා වෙන්න පුළුවන්. සමාජයෙන් සහ සමාජ ප‍්‍රතිමානයන්ගෙන් ගැලවීම. එතනින් එහාට සංස්කරණය කළ ජීවිතයක් හෝ මරණයක් නැති වීම. ඒක අවබෝධයද, නිර්වාණයද මොකක්ද කියලා තේරුම් කරනවට වඩා ජීවිතය දිහා පොදු ව්‍යවහාරික තර්කයෙන් පිට ඉඳන් බලන්න පුළුවන් වීම, නිදහස විදිහට තේරුම් ගන්න මං කැමතියි. (හරියට ඉන් ටු ද වයිල්ඞ් ෆිල්ම් එකේ වගේ)
එයාගෙ මරණ පලකයේ මොකක් ලියන්නද කියල එක පාරක් කෙනෙක් අහනවා.

‘මං ඒ හීනෙ ජීවත් වෙන්නෙ වත් නෑ. මැරෙනවා හරි ජීවත් වෙනවා හරි කියන හීන වල කිසිම තේරුමක් නෑ’
ගහක අතු ස්වර්ගය කරා වැඩෙන්නෙ ගහක මුල් අපාය කරා ඇදෙද්දියි කියල නීට්ෂෙ කියල තියෙනවා. සමාජය කියන මිත්‍යාවෙන් උපතින්ම එලියට විසිවුණු මැන්සන් අඳුර හරහා ආලෝකයට ළ`ගා වුණා වෙන්න පුළුවන්.

මැන්සන් හරි ලස්සන කතාවක් කියනවා. එයා කියන්නෙ සමාජයට චාර්ල්ස් මැන්සන් කියල මුණගැහුනෙ සමාජය විසින්ම නිර්මාණය කළ චරිතයක් කියල. තමන්ගෙ චරිතය ගැන එයා කියන්නෙ කැඩපතක් ඇතුලෙ පේන ප‍්‍රතිබිම්බයක් විදිහට (මෑන් ඉන් ද මිරර්). ඒ හැම අපරාධයක්ම ක‍්‍රියාවක්ම (අපේ) පරාවර්තනයක් විතරයි.

එක වෙලාවක (ඇත්තටම එක වෙලාවක නෙමෙයි නිතර නිතර) මැන්සන්ගෙන් මරණ ගැන ප‍්‍රශ්න අහනවා.
‘උඹලා මිලියන 50ක් මරලා දාන්න මට පුළුවන් වුණා නම් මට මගේ සත්තු, මගේ වතුර, ගහකොළ, වාතය, මගේ වන ජීවිතය බේරගන්න තිබුණ’

මැන්සන් කියන කතාව ප‍්‍රශ්න අහන්නාට තේරෙන්නෙ නෑ. එයා දිගටම මිනීමැරම් ගැනම අහනවා.
‘ඔයාට  ඕන ලේ. ඔයාට  ඕන බය. ඔයාට  ඕන මරණය විකුණන්න’ මැන්සන් මාධ්‍යවේදියාට කියනවා.
වෙන විදිහක පැවැත්මකදි චාර්ල්ස් මැන්සන් කියන්නෙ කවියෙක්, සංගීතඥයෙක්, දාර්ශනිකයෙක්, විප්ලවකරුවෙක් වෙන්න තිබුණ. ඒත් මේ පැවැත්මෙ එයාව මිනීමරුවෙක්, යක්ෂයෙක්, පාදඩයෙක් විදිහට බ‍්‍රෑන්ඞ් කරන්න අපි තීරණය කරලා ඉවරයි.

මං කියන්නෙ මේ අපරාධ වලට මැන්සන් වැරදිකරුද නිවැරදිකරුද වගේ කතාවක් නෙමෙයි. ඒ ගැන මං දන්නෙ නෑ. මං එතන හිටියෙ නෑ. ඒත් මේ වෙද්දි මැන්සන් දන්නවා එයා ජීවිත කාලෙටම හිරෙන් එලියට නොඑන වග. තව දුරටත් එයාට බොරු කියන්න හෝ රැුවටිලි කරන්න හේතුවක් නෑ. එයාට ලේසියෙන්ම පාපොච්චාරණය කරන්න තිබුණ.

‘මං කොහේ යන්නද? මං හැමදාම හිටියෙ මෙහේ. හිරේ කියන්නෙ මගේ ගෙදර’
‘හිරේ කියන්නෙ මොකක්ද? ඔයාගෙ ඔලූවෙයි හිර ගේ තියෙන්නෙ. ඔයා තමයි දරුවා හිරේ ඉන්නෙ. මොකද ඔයා හිතනවා එමෙ දෙයක් තියෙනවා කියල’
-මැන්සන්

අපරාධය සහ ද`ඩුවම කියන සීමිත ඉරි ඇතුලෙ චාර්ල්ස් මැන්සන් වගේ චරිතෙ තේරුං ගන්න බෑ කියල මට හිතෙනවා. එයා ඊට වඩා ගොඩක් එහා ගිහින්. ක‍්‍රියාව සහ ප‍්‍රතික‍්‍රියාව කියන දෙක අතරට වඩා, හේතුව සහ ඵලය අතර සම්බන්දෙට වඩා නිදහස් වියුක්ත හිතීමක්  ඕන වෙනවා සමහර තැන්වල ගැඹුර දකින්න.
චාර්ල්ස් මැන්සන් කියන්නෙ අන්ධකාරයේ මුනිවරයෙක්.

‘ඒකට ජේසුස් කියපල්ලා. මුහම්මද් කියාපල්ලා. න්‍යෂ්ටික මනස කියපල්ලා. ලෝක විනාසය කියපල්ලා , උඹලාගේ හදවක කියපල්ලා. උඹලා කැමති  ඕන දෙයක් කියපල්ලා. මට ඒක සංගීතය. ඒක තමයි ජීවිතේ බලාපොරොත්තුව’

-චින්තන ධර්මදාස



Saturday, February 15, 2014

වෙන්වීමක් සහ මුණගැසීමක්.

මාත්තෙක්ක කාලයක් වැඩ කරපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා ලොකු වෙලා වෙන තැනකට යනවා. නිකංම එකට රස්සාවක් කරපු එකෙක් වෙන් වෙලා යනවට  වඩා ගොඩක් අමාරුයි එකට හිතපු එකෙක් වෙන් වෙලා යනකොට. එහෙම එක දිශාවක් දිගේ එක දිගට හිතන්න, අනෙකා හිතන අදහසේ පය තියලා ඊළ`ග පිම්ම පනින්න, ඒ සිතුවිල්ලෙන් එකම රූපය දකින්න, මේ විදිහෙ සම්බන්දතාවක් ගොඩනගා ගන්න ලොකු කාලයක් ගත වෙනවා. අතක් පයක් කඩලා දැම්මට වඩා අමාරුයි එකට හිතන සගයා අහිමි වෙන එක. ඌ යන එක ගැන කවියක් ලිව්වා.

විස්සෙ කණුව ළං වෙනකොට
දේවාලේ හම්බ වුණා
ගලෙන් නෙළපු දෙවි පිළිමේ
පටෝ.... ර් ගාලා හිසා වැදුනා

තරු පෙණුනා හඳ පෙණුනා
හිත් තුටිනා හිනාවුණා
ඇස් ඇරුණා ඇස් වැහුණා
තුන් වසරක් නිමා වුණා

කාරණාව ඉස්ට කරන තව දෙවොලක හ`ඩ ඇසේ
පමා නොවී යන්ට එපැයි වන්දනාව දිග නැතේ
මල්පැන් ඉස සුවඳ ධූප දොහොත් මුදුන් දී හිතේ
යන්ට අවසරයි එහෙනං මෙහෙම ප`ඩුරු දා කැටේ

හැම වෙන්වීමක්ම කියන්නෙ අලූත් මුණගැහීමක්. ඒ අතින් මුණගැහීමකට වඩා ඇත්තටම වෙන්වීමක් බලාපොරොත්තු සහගතයි. මට හිතෙන්නෙ කොයි විදිහක වුණත් වෙන්වීමක් හැමතිස්සෙම ප‍්‍රතිඵලදායකයි. ඒ හුදකලා වෙන පුංචි ඇසිල්ලෙ අපි හැම දෙයක් ගැනම සවිඥාණක වෙන හින්ද. ඒ අවිනිශ්චිත බව අපිව ආයිමත් ඇහැරවන හින්ද.

ලංකාවෙ සිනමාවට මේ මොහොතෙ වැදගත්ම වැඩ කොටසක් කරමින් ඉන්නෙ කවුද කියල ඇහුවොත් මං කියන්නෙ වෙබ් එකේ බයිස්කෝප්, සූම්.එල්කේ වගේ එවුන් කියල. කිසිම මූල්‍යමය ප‍්‍රතිලාභයක් නැතුව බෙදාහදා ගැනීමේ ත‍්‍රිලටම මේ වෙන මහන්සිය ඇත්තටම අගය කරන්න  ඕන. මේක සුළුපටු වැඩක් නෙමෙයි.
අයිඑම්ඞීබී රේටින් වල හොඳ අගයක් අරන් තියෙන චිත‍්‍රපටි තෝ්රගෙන ඒවායේ ඉංග‍්‍රීසි උපසිරැුසි නිවැරදි සිංහලට දාලා නෙට් එකට අප්ලෝඞ් කරනවා කියන්නෙ කලින් පරම්පරාවෙ නම් ‘අපිට තියෙන ලාබෙ මොකක්ද?’ කියන ප‍්‍රශ්නෙන්ම කෙලවර වෙන උත්සාහයක්. ඉංග‍්‍රීසි නොවන වෙන භාෂාවල ෆිල්ම් පවා ගූගල් ට‍්‍රාන්ස්ලේටර් සහ තවත් නොයෙක් ප‍්‍රයෝග වලින් කොහොම හරි නිවැරදි තේරුම හොයාගෙන උන් සිංහලට දානවා. ක්ලවුඞ් ඇට්ලස් වගේ සංකීර්ණ චිත‍්‍රපටියක උපසිරැුසි පවා සිංහලට පරිවර්තනය කරලා තිබුණ හැටි දැකලා මං ගල් වුණා.

මේක පොඩි වැඩක් නෙමෙයි කිව්වෙ මේ උපසිරැුසි නෙට් එකේ විතරක් නෙමෙයි ලංකාව වටේම චිත‍්‍රපටි බෙදෙන ජාලයකට සම්බන්ධ වෙන හින්ද. මේ සයිට් වලින් තොග පිටින් ඩවුන්ලෝඞ් වෙන ෆිල්ම් රට වටේම පොඩි පොඩි වීඩියෝ කඩ වලට යනවා. ෆිල්ම් එකේ හැඳින්වීම ගැන ලියලා තියෙන සරල විස්තරයම පස්සෙ පිටට අලවලා හොඳටම සිංහලෙන් රස විඳින්න පුළුවන් කිට්ටුකමක් හදනවා. ඒත් මේ හුවමාරු වෙන්නෙ ඇත්තටම ඒ අවුරුද්දෙ ලෝකෙ නිෂ්පාදනය වුණු හොඳම චිත‍්‍රපටි. අන්තිමට කොහොම හරි අපි එක සිනමා භාෂාවක පොඞ්ඩක් දුරින් හරි සම්බන්ද වෙනවා.

මේක වැඩමුළු සම්මන්ත‍්‍රණ දාලා කරන්න පුළුවන් වුණු වැඩක් නෙමෙයි. ගමෙන් ගමට ගිහින් සිනමාව උගන්නලා කරන්න පුළුවන් වුණු දේකුත් නෙමෙයි. (අපි හැමදාම වෙන වෙන න්‍යාය පත‍්‍ර ඇතුලෙ මේ බොරුව පවත්වාගෙන ආවා) ඒත් දැන් තමන්ගෙ ත‍්‍රිලට කැමති චිත‍්‍රපටිය සිංහලට දාපු කොල්ලො ටිකක් අතින් මේක සිද්ද වෙමින් තියෙනවා. අඩුම තරමෙ අඳුරගත්තෙවත් නැති කලාපයක. එකම දේ තමන් රස විඳින දේ අනිත් උන් එක්කත් බෙදා ගැනීමේ ෆන් එක. ඒක හු`ගක් මෑතක ලංකාවෙ සමාජය තේරුම් ගත්ත (තාමත් කීපදෙනෙක් විතරක්) ආස්වාදයක්.

උදාර අබේසුන්දරගෙ පළවෙනි ෆිල්ම් එක තරංගනී එකේ පෙන්නුවා. මාත් ඒකට ගියා.  ෆිල්ම් එක ප්‍රොඩියුස් කරලා තිබුනෙ (විධායක නිෂ්පාදනය) රේණුකා බාලසූරිය. උදාරගෙයි රේණුකාගෙයි මොකක් හරි ළ`ග ඥාති සම්බන්ධයකුත් තියෙනවා මං හිතන්නෙ. හෙවනැලි වගේ ඊළ`ග පරපුරේ ෆිල්ම් එකක් නිෂ්පාදනයට රේණුකා සම්බන්ධ වෙන එකම මට ලොකු සතුටක්. මහින්ද චින්තන සිනමාව කරට අරන් ඉන්න ඒ අයගෙම ඊළ`ග පරපුරත් ලංකාවේ ඇති වෙමින් යන නව සිනමා රැුල්ලෙ කොටස්කරුවො කියන්නෙ මේ අද තියෙන සිනමාවෙ ප‍්‍රධාන ධාරාව ඉක්මණින් කෙලවර වෙන එක අනිවාර්යක්.

හෙවනැලි කියන්නෙ මේ නව ලාංකේය සිනමා ධාරවෙ එක දිශාවක ආරම්භයක්. ඇත්තටම මාත් ඇතුළු මෙතෙක් සියලූ ලාංකේය සිනමාකරුවො කළ සහ කරමින් ඉන්න සිනමාව දාර්ශනීකරනය කරන අවුල නවතීවි කියන එකට සුබ ලකුණක්. මං හෙවනැලි වලට කැමති පළවෙනි දේ ඒකෙ තියෙන අදේශපාලනික සිනමා පිහිටීම.

උදාර කියන්නෙ හොල්මන් කතාවක්. ඒත් ටයිට්ල් ට‍්‍රැක් එකේ ඉඳන්ම අපි ලෑස්ති වෙනවා වෙනස් කතාවකට. ෆිල්ම් එක පටන් ගත්තට පස්සෙ ටිකක් අමුතු මන්දගාමී ර`ගපෑම් වලට ටිකක් මළ පනිනවා. ඒත් උදාර එක තැනකින් මුලූ ෆිල්ම් එකම කරකවලා අනිත් පැත්ත ගහනවා. ඒක හරිම සිනමැටික් ට්විස්ට් එකක්. මෙච්චර වෙලා අපි දුර්වලතා හෝ අස්වාභාවිකතා විදිහට දැකපු හැම දෙයක්ම එතනින් එහාට සාධාරණීකරණය වෙනවා. පළවෙනි වතාවට වෘත්තාන්ත සිනමාව හසුරුවන කෙනෙක් විදිහට උදාරගේ මේ ට‍්‍රයි එක මාව පුදුම කළා.

අපේ යක් තොවිල් ඇතුළට ග‍්‍රැෆික් අරගෙන ගිහින් තිබුණු විදිහත් පට්ට. ලේසියෙන්ම මේ ඇනිමේෂන් අපෙන් පිට කොහෙන් හරි කොපි කරපු කෑලි ටිකක් වෙන්න ඉඩ තියෙද්දි අපේ කන්ටෙක්ස්ට් එකක් ඇතුලෙ මේ ත‍්‍රීඞී වැඩ කරලා තිබ්බ විදිහ ගොඩක් කි‍්‍රයේටිව්. හෙවනැලි ෆිල්ම් එකේ කොයිතරං අඩුපාඩු පෙන්නන්න පුළුවන් වුණත් මං හිතන්නෙ උදාර එයාගෙ ෆිල්ම් කන්සෙප්ට් එකෙන්ම සීයට අනූවක් ගොඩදාගන්නවා.

නිරෝෂා පෙරේරා වැම්පයර් ෆිල්ම් එකකට මරු කියල මට මුලින්ම කිව්වෙ චන්දන (මගේ යාලූවෙක්). ඒක ඇත්තටම එහෙමයි කියල මට හොඳටම පෙණුනෙ හෙවනැලි චිත‍්‍රපටියෙ ර`ගපෑම් දකිනකොට. මේ කියන්නෙ නිරෝෂාගේ රංගනය හොඳයි කියල නෙමෙයි. ඒත් ඒ හොරර් ෆිල්ම් එකකට හරියන මූන මං හිතන්නෙ ලංකාවෙ හොයාගන්න හු`ගක් අමාරුයි (යකා වැහෙන නංගියා වගේ එකක් නෙමෙයි) නිරෝෂා ඒකට හොඳම තෝරා ගැනීමක්.

කැමරාව, සංගීතය, සංස්කරණය, රචනය සහ අධ්‍යක්‍ෂණය වගේ කාරණා ගොඩක් පැත්තෙන් හෙවනැලි ෆිල්ම් එක ගොඩක් කට්ටියකගේ පලවෙනි චිත‍්‍රපටිය. ඒත් ඒ පළවෙනි වැඬේ ෆිල්ම් එකක් විදිහටම ලංකාවෙ එක හැරවුමක්.

මේ කියන්නෙ හෙවනැලි වල අඩුපාඩු නෑ කියල නෙමෙයි. ෆිල්ම් එකේ මට යෝජනා කරන්න පුළුවන් වෙනස්කම් කීපයක් තිබුණ. විශේෂයෙන්ම මනුස්ස සම්බන්ධතා වල ගැඹුරක් දනවන්න උදාරට බැරි වෙලා තියෙනවා. හොඳටම ඇතුලට කපන්න පුළුවන් විදිහෙ අවිචාරවත් සම්බන්ධයක් දිගේ කතාවට ඇවිල්ලත් උදාර අතින් ඒ මිනිස් හැ`ගීම් වල කතාව ගොඩනැගෙන්නෙ නෑ. ඒ නිසාම මළවුන්ගෙ බැඳීමත් ඒ තරම් හයියට දැනෙන්නෙ නෑ. හරිම සරල තුනී සම්බන්ධයකින් ගැටගැහුවත් කතාවෙ තියෙන ආකර්ශනීය බව සහ රූපයේ තියෙන විචිත‍්‍රත්වයත් එක්ක අපි ෆිල්ම් එකට ඇළෙනවා. අනිවාර්යෙන්ම මේක හොඳට දුවන චිත‍්‍රපටියක්. පොඩි වපසරියක, පොඩි කතාවක් ඇතුලෙ, චරිත කීපයක් එක්ක නමුත් හොල්මන් වෙන ට්විස්ට් එකක් එක්ක උදාර  ඕඩියන්ස් එකට  ඕන කරන එන්ටර්ටේන්මන්ට් එක දෙනවා. ඒ අතරෙම කතා තේමාවෙන්, සිනමා භාෂාවෙන්, ඒ ඔක්කොමටම වඩා ඒ සිනමාවෙන් පිළිඹිඹු කරන සංස්කෘතියෙන් එයා සිනමාවෙ සිතියම වෙනස් කරනවා. හෙවනැලි කියන්නෙ අත්තම්මා හෝ මලී ලොකු තිරයේ පෙන්නනවා වගේ වැඩක් නෙමෙයි.

තිරෙන් එලියට බලනවා වෙනුවට ආයිමත් තිරෙන් ඇතුලට බැලූවොත්, මුලින්ම මේ වගේ වැඩක් කරන්න බය නැති වෙන්න  ඕන. මොකක් හරි රටකින් සම්මානයක් අරන් ගොඩයනවා වගේ දුප්පත් මනසකින් කවදාවත් මේ වගේ නිර්මාණයක් සිද්ද වෙන්නෙ නෑ. ෆිල්ම් එක ඇතුලෙන් මගේ දර්ශනය, බුද්ධිය පේනවද කියල නලියන හීනමානය හීන වෙන්නත්  ඕන. තමන් කැමති දේ තමන්ගෙ විදිහට දකින්න පුළුවන් විවෘතකමක් ඉතුරු වෙලා තියෙන එකත් වැදගත්. ලංකාවෙ අපි ගොඩක් අයට තමන්ගෙ රසය අපැහැදිලියි. කාගෙ හරි රසයකට එක`ගවීමක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ. මේක චිත‍්‍රපටි හදන අයටත් පොදුයි. තමන් හදන්න කැමති චිත‍්‍රපටිය මොකක්ද කියන එක තීරණය කරන්නෙ ඒ කාලෙ වඩාත්ම පිළිගැනීමක් තියෙන සිනමාව අනුව. මං කියන්නෙ මේ විදිහට බලද්දි හෙවනැලි වෙනස් සිනමා සංස්කෘතියක් යෝජනා කරනවා. ෆිල්ම් එකට පිටින් තියෙන සාධක වෙනුවට (සම්මාන උළෙල, මහින්දට පිළිගැන්වීම) තිරය උඩ, සිනමාව ඇතුලෙ හැමදෙයක්ම කතා කරනවා. ඒක හරි අවංකයි. කෙලින්.

උදාර කරන්න හදන්නෙ මරණය පැත්තෙ ඉඳන් ජීවිතය දිහා බැලීමක්. ඒත් ගොඩක් දුර යනකල් අපි ජීවිතය කියලා බලන් ඉන්නෙ මරණය දිහා. ඊට පස්සෙ මරණය කියලා අපි බලන් ඉන්නෙ ජීවිතය දිහා. මළවුන් මැරෙනවට අපි බය වෙනවා. ජීවත් වෙන උන් මළවුන් වගේ පේනවා. මේ කතාව ගොඩක් ගැඹුරුයි. ඒ වගේම නාගරික රාත‍්‍රීන් ඇතුලෙ එයා ගොඩනගන සම්බන්ධතා දික්වෙන්න පුළුවන් දුරත් අනන්තයි. මට තියෙන අවුල  උදාර හොඳට එළාගත්ත පැදුරෙ අතපය දිග ඇරලා දපලා නැති එක.

 ඒත් ෆිල්ම් එක ඉවර වුණාම සිනමා අත්දැකීමක තෘප්තිමත් බව දැනෙනවා. තර්ක විතර්ක වෙනුවට විඳි නොවිඳි දේවල් ගැනයි කතා බහ ඇති වෙන්නෙ. ඒ පිටපතේ වියමන හු`ගක් දියුණුයි. ප‍්‍රහේලිකාවක් වගේ එකින් එක ලිහමින් හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා.

ඒ හැම එකකටම වඩා අව්‍යාජ අත්දැකීමක් අව්‍යාජ විදිහට බෙදා ගත්ත එක ගැන උපරිම හැ`ගීමකින් මට ඌව බදාගන්න පුළුවන් වුණා. ‘ඇත්තටම අලූත් චිත‍්‍රපටියක්....’ මං හෝල් එකෙන් එලියට එන ගමන් ති‍්‍රල් එකේ හිතුවා.

-චින්තන ධර්මදාස







Saturday, February 8, 2014

ඇසිඞ් වැස්සට තෙමුනා නෙමෙයි පිච්චුණා

කල්ට් තුන්වෙනි අවුරුද්දෙත් අන්තිම කෙළවර. මට මේ ඉඬේ මොකක් හෝ කාරණයක් ගැන මගේ ප‍්‍රබන්ධ යතාර්ථයක් ගොඩ නගන්න පත්තරයක් ඇතුලෙ කොහෙත්ම බලාපොරොත්තු විය නොහැකි ඉඩක් තිබුණ. මං හිතනවා කවුරුවත් මං කියන අදහස් පොලොවෙ යතාර්ථයන් විදිහට නොගන්න ඇති. මේ කියන්නෙ මං පොලොවෙ යතාර්ථය කියල එකක් විශ්වාස කරන හින්ද නෙමෙයි. ඒ වෙනුවට තෝරා ගත හැකි ප‍්‍රබන්ධ යතාර්ථයන් ගොඩක් මං විශ්වාස කරනවා. අද පොලොවෙ යතාර්ථය කියන්නෙ ඒ අතරින් කරපු එක තෝරා ගැනීමක්. ඒ යතාර්ථය වෙනස් කිරීම (එහිම ප‍්‍රතිවාදයක් වීම) වෙනුවට මං කැමති වෙනස් යතාර්ථයන් නිර්මාණය කරන්න. කැමති යතාර්ථයක් ඇතුලෙ ජීවත් වෙන්න. සහ එහෙම ජීවත් වෙන්න තියෙන අයිතිය වෙනුවෙන් සංකල්පීය අරගලයකට (මනස් සිතියම ඇතුලේ සීමාව සළකුණු කර ගැනීම).

මේ වගේ බහුබූතයක් ගැන මුලින් කියන්න වුනේ මං ආයිමත් මේ මොහොතේ අතිශය ප‍්‍රතිගාමී කියල දේශපාලනිකව කියන්න පුළුවන් සිතුවිලි අවකාශයකට ඇතුල් වෙන හින්ද. ඒක වුනේ නිකං නෙමෙයි. මට කෝල් එකක් ආවා.

‘මචං ඊයේ නාට්‍ය කොහොමද?’ ඒ පැත්තෙන් මගෙන් ඇහුවා.
‘අජපල්. මං කීයටවත් හිතුවෙ නෑ ධනංජය එහෙම විනාසයක් කරයි කියල. ඊට කලින් දවසෙ ඌ කරපු වැඩෙත් එක්ක මේක මාව අනාත කළා’

කතාව පටන් ගත්තෙ ධනංජයගේ ඇසිඞ් වැස්සෙන්. ඒක ගැන නරක ටික නොකියා පැත්තකින් තියලා සෙනසුරාදා නාට්‍ය දෙකේ හොඳ ගැන කියන්නං. හේතුව ඒ නාට්‍ය දෙක ඒ තරම්ම හොඳ හින්ද. මං ඇත්තටම හිතුවා ධනංජය ආයිමත් වේදිකාව පටන් ගත්තා කියල. මට ඇත්තටම හිතුණ සුගතපාල ද සිල්ව ලට, සයිමන් නවගත්තේගම ලට හූ කියන්න. ඒක ඒ තරම් ත‍්‍රිලක්. මං කියන්නෙ නාට්‍යයේ නාට්‍යමය ආකෘතිය ගැන විතරක් නෙමෙයි. ඒකෙ සංකල්පමය ආකෘතිය පැත්තෙනුත්.

ඩබල්ගේම් කාරයෝ නාට්‍යයේ ධනංජය දේශපාලනය කතා කරනවා. ඒත් ඒ දේශපාලනය පුස්වෙඩිල්ල හෝ රාජිතගේ තැනින් ගොඩක් වෙනස් (අක්ෂ දෙකක් විදිහට). ඒක දේශපාලනයෙන් ආයිමත් ජීවිතේ පැත්තට එන තැනක්. ස්ටේජ් එක උඩ අපි දකින්නෙ අපෙන් පිට තියෙන පොලිටික්ස් නෙමෙයි. අපි ඇතුලෙ තියෙන පොලිටික්ස් ගැන අවුලක්. කතාව තියෙන්නෙ අපි මේ බලන්න ඇවිත් තියෙන නාට්‍යය කඩාකප්පල් වීම ගැන. ඒක ඇතුලෙ නැරටිව් එකක් විදිහට (කරන්න ගිය නාට්‍යයේ කතාව) හොර මුලක් ගැන කතාවක් එනවා. ඒ හොර මුල ගැන කතාව ඇතුලෙ අපේ ජනප‍්‍රිය පොලිටික්ස් වලට (ආණ්ඩුව ප‍්‍රමුඛ දේශපාලනය) කනෙක්ෂන් එකක් තියෙනවා. එතකොට අපි දකින්නෙ අපි ඇතුලෙ අපි ඇතුලෙ අපි.

නාට්‍ය ඉවර වෙන්නෙ නිහ`ඩතාවයකින්. අනෙකා කතා නොකිරීමේ ප‍්‍රතිඵලයක් විදිහට මාත් (දෙවන චරිතය) නිහ`ඩතාවය තෝරා ගන්නවා. පේ‍්‍රක්‍ෂාගාරය කල් ඇතුවම නිහ`ඩතාවය තෝරාගෙන ඉවරයි. නාට්‍යය ඉවර වෙන්නෙ අපි ඔක්කොම එක නිහ`ඩතාවකින් සම්බන්ධ කිරීමෙන්. ඒක සජීවී අත්දැකීමක්. චරිතයක් විදිහට දැනෙන සහනුභූති (එම්පති) යට වඩා මූඞ් එකක් විදිහට මේ සම්බන්ධ වීම ට‍්‍රාන්ස් එක්ස්පීරියන්ස් එකක්. මං ලංකාවෙ වේදිකාවෙ මේ අත්දැකීම ලබපු පළවෙනි වතාව මේක. ඒ හදිසි නිහ`ඩතාවයට එනකල් ගෝෂාවේ ගොඩනැගීම, එක මොහොතකින් පසු අනෙකාගේ හ`ඩ නෑසී ගිය වගවත් නොදැන තවත් ගෙනියන මොනොලොග් එක, එතනින් පස්සෙ නිහැ`ඩියාව.

මං හිතන්නෙ ධනංජයගේ ජීවිතේ කරපු වැදගත්ම නිර්මාණෙ එන්නෙ දෙවෙනි අදියර විදිහට. ඒ බුද්ධිකයගේ ජීවිතේ. ධනංජය බුද්දික දමයන්ත කියන නාට්‍යකරුවාගේ ඇත්ත ජීවිතේ කියන්න වේදිකාවෙ ආඛ්‍යානයක් ගොඩනගනවා. ඒක ඩොකියුමෙන්ටි‍්‍රයක්. ඒත් නැවත නාට්‍යමය ප‍්‍රබන්ධයක්. මේ ප‍්‍රබන්ධයක් වූ ඇත්ත කතාව ඇතුලෙ අපිට මාර ගිල්ටියක් දැනෙනවා. හරිම රොමාන්තික විදිහට අපේ මනුස්සකම ආපහු ආපහු ප‍්‍රශ්න වෙනවා. තාර්කික උත්තර කොච්චර තිබුණත් පපුවෙන් අහන ඒ ප‍්‍රශ්න වලට අපි ළ`ග උත්තර නැති වෙනවා. වැළඳ ගැනීම විතරයි ඉතුරු.

බුද්ධික දමයන්ත විශිෂ්ටතම නළුවෙක් කියල අපි පිනා යනවා නෙමෙයි. බුද්ධික දමයන්ත මිනිහෙක් විදිහට මාර පෞර්ෂයක් කියල අපිට ඇෙ`ඩනවා.

උපුල් නුවන් විදහා- ඔබ සිනාසුනා
මම සිනාසුනා...

එක පරම්පරාවක හැම හිතක්ම හිල් කරපු සිංදුව වෙන කන්ටෙක්ස්ට් එකක ධනංජය පාවිච්චි කරනවා. ඒ වේදනාවෙ සංඥාර්ථ හරහා වෙන මනුස්සයෙක්ව තේරුම් ගන්න බල කරනවා. බුද්ධික ලංකට් එක විතරක් ඇඳගෙන අවුරුදු හතලිස් ගානක් හැල්මෙ දුවපු ශරීර කූඩුව හෙළුවෙන් තියාගෙන අපිත් එක්ක ඒ සිංදුව කියනවා.

පළවෙනි නාට්‍යය නිහ`ඩතාවයකින් කෙලවර කිරීමත් දෙවෙනි නාට්‍යය වැළඳගැනීමකින් කෙළවර කිරීමත්  ලොකු දෙයක්. මූසල නිශ්ශබ්දතාවයකින් ගෙදර යනවා වෙනුවට පේ‍්‍රක්‍ෂකයො වුණත් උණුසුම්ව එක එක්කෙනා එක්ක කතා කළා. පුළුවන් තරම් වෙලා එතන ගත කළා.

සෙට්, ආයිත්තම්, රූපක, ප‍්‍රයෝග නැති නිකම්ම ශරීර විතරක් පාවිච්චි කරලා අපිව ආසාදනය කරන ධනංජයගේ මේ නාට්‍ය දෙක මට චිත‍්‍රපටි ගැනත් ආයිමත් හිතන්න බල කළා. මේ නාට්‍ය ගැන යමක් ලියන්න ඇත්තටම මට පුළුවන්ද කියල හිත හිත මගේ සීමිත තැන් මං ලකුණු කළා.

ඒත් දෙවෙනි දවසෙ ඇසිඞ් වැස්සෙන් හැම දෙයක්ම හේදිලා ගියා. මං කැමතියි ඉරිදා නාට්‍ය මං නොබලපු විදිහට ඒ දවස ඩිලීට් කරන්න.

ඉතිං අපි හිටියෙ ටෙලිෆෝන් කෝල් එකක.

‘මචං මොනවා වුණත් මේ අවුරුද්දෙ සිරා වැඩ ටිකක් වෙනවා. මට හිතෙන්නෙ කාලෙකට පස්සෙ අපි ආයෙත් මුණගැහෙන්න, එකතු වෙන්න පටන් ගන්නවා. ඒ ඔක්කොටම වඩා වැඩ වලදිත් අලූත් ඉසව්වක් ඉව කරනවා’
මං කිව්වා.

‘ඔව් ෆිල්ම් වුණත් සෑහෙන්න හැදිලා තියෙනවනෙ. පෙන්න ගන්න බැරි වුණත්...’
මගේ යාලූවා කිව්වා.

‘මචං මේ ආණ්ඩුව මේ විදිහට තව ටික කාලයක් යන්න  ඕනි. මං කියන්නෙ මේ ටෙන්ෂන් එක ඇතුලෙ තව හොඳ දේවල් හැදෙන්න කල්  ඕනි..’

මං කතාව නොපිට හැරෙව්වෙ ඔතනින්. මගේ යාලූවා මාත් එක්ක සහමුලින්ම විරුද්ද වුණා.

‘එහෙම කියන්න එපා මචං. මුං මාරට හොරකම් කරනවා. මිනී මරනවා. මිනිස්සුන්ට කන්න නෑ. ආර්ට් වලින් ඒවා මනින්න එපා මචං...’

යාලූවා කිව්වෙ වේදනාවෙන්. මං පළමු අත්දැකීම් විදිහට නොදන්නවා වුණාට (ගොසිප් වලින් ඇරුණම) මේවා වෙනවා ඇති. ඒත් මං කතා කරන්නෙ මගේ පළමු අත්දැකීම් ගැන. ඒවා තමයි මං ඇත්තටම දන්නෙ සහ මට ළ`ගම.
‘මචං උඹට දැන් අවුරුදු හතලිහක් පැනලා. උඹ ජීවත් වෙන කාලෙ ආණ්ඩු කීයක් මාරු වුණාද? උඹ කැමති වෙච්ච එක ආණ්ඩුවක් වත් හිටියද?’

මං උගෙන් ආපිට ඇහුවා. ඒකට දෙන්න තියෙන උත්තරේ  ඕන කෙනෙකුට පැහැදිලියි මං හිතන්නෙ. ආපු කිසිම ආණ්ඩුවකට අපි කැමති වෙලා හිටියෙ නෑ. එන කිසිම ආණ්ඩුවකට එහෙම වෙන්නෙත් නෑ. විශේෂයෙන්ම ආණ්ඩුවක් කියන්නෙ ‘අපේ’ තීරණයක් වෙනවට මං එක`ග නෑ. ඒක බහුතරයක් මිනිස්සු විසින් කරන සුපුරුදු බහුතර මෝඩ තෝරා ගැනීම. අපි සුළුතරයක් විදිහට කරන්න  ඕන අපේ සංස්කෘතික තෝරා ගැනීම.

ටික දවසක ඉඳන් සංස්කෘතික දේශපාලන කලාපෙ වැඩ කරන මගේ යාලූවො කියන කතා අහගෙන ඉන්නකොට මට දැනෙන්න ගත්තෙ යම් හේතුවකට අපි භීතිය ඉල්ලා සිටිනවා කියල. මේ වල්නරබිලිටි එක අපිට  ඕන වෙලා තියෙනවා මොකක් හරි වෙනුවෙන් සංවිධානය වෙන්න. එහෙම නැත්තං ජනතාව ආණ්ඩුව විසින් සපයන එන්ටර්ටේන්මන්ට් ගංගාවෙ ගිලිලා යනවා. වෙන කිසිම ආණ්ඩුවකට මේ තරම් විනෝදය සපයන්න බෑ කියන එක නම් ස්ථිරයි.

මොකක් හරි ආණ්ඩුවකට දේශපාලනයේදි තියෙන ලොකුම අභියෝගෙ වෙන්නෙ දේශපාලනික නොවෙන අභියෝගයක් කියල මං හිතන්නෙ. ඒ ජනතාවගේ බෝරිං ජීවිතේට උත්තරයක් දෙන්න වෙන එක. ඒකට ලංකාව වගේ දියුණු වෙමින් පවතින, ආණ්ඩුව කේන්ද්‍රීය වුණු රටවල තියෙන්නෙ ක‍්‍රම දෙකයි. එකක් භීතිය. අනික විනෝදය. බුද්දාගම වැළඳගත්ත බහුතරයක් ජීවත් වෙන ලංකාවෙ මිනිස්සු කොහොමත් දුක්මුසුයි. ජීවිතේ දුකයි කියාගත්ත ගමන්මයි. මේ දුක සමනය කරන්න ආණ්ඩුවකට සිද්ද වෙනවා. එතනදි භීතිය වෙනුවට විනෝදය තෝරා ගැනීම ගැන මං සතුටු වෙනවා.

ප‍්‍රභාකරන් නැති වීමේ ලොකුම අවාසිය මං හිතන්නෙ තියෙන්නෙ මහින්දට. ප‍්‍රභාකරන් ඉන්න කල් ගැලවුම්කරුවා, වීරයා වෙන මහින්ද ප‍්‍රභාකරන් නැති වෙච්ච ගමන් හොරා තක්කඩියා මිනීමරුවා වෙනවා. මොකක් හරි තර්ජනයක්, විනාශයක්, ජවිපෙ නිතර කියන විදිහට තීරණාත්මක මොහොතක් නැතුව ලංකාවෙ ජනතාවට ජීවත් වෙනවා දැනෙන්නෙ නෑ. ඒක ඇත්තටම සංස්කෘතික කලාපයේ හිලක්.

ආණ්ඩුව මාර පරිප්පුවක් කනවා මේ විනෝදය සැපයීම ප‍්‍රධාන කාර්යය වෙච්ච එකෙන්. මං හිතන්නෙ සියලූ දේශපාලන කලාපයන් නුදුරේදී විනෝදය සඳහා නිදහස් වෙන්න නියමිතයි. සංස්කෘතික- දේශපාලන කලාපෙ වැඩ කරන කෙනෙක් විදිහට මං ඒකට කැමතියි. දේශපාලන දේශපාලනය හැකිලෙමින් සංස්කෘතික දේශපාලනයට වැඩි ඉඩක් විනෝදය හරහා වුණත් විවෘත වීම මට පොසිටිව් දෙයක්.

උදා විදිහට පළාත් සභා ඡුන්දෙට නිළියො තුන්දෙනෙක් දාපු එක ගැන ලොකු හාහෝවක් පත්තර ටීවී ඉන්ටර්නෙට් හැම එකකම ගියා. ආණ්ඩුවට තණකොල කවන්න සමහරු කතා කරද්දි අනෙක් පක්ෂ මේක ජෝක් කරන්න ගත්තා. පත්තරවල මැට්ටො උඩ පැන පැන නිළියො අන්නන්න ට‍්‍රයි කළා.

ආණ්ඩුව කළේ ඇත්තටම මොළේ තියෙන වැඩක්. මේ නිළියො තුන්දෙනා බැස්සුව ගමන් හොඳ නරක කොයික වුණත් මේ නිළි ප‍්‍රවෘත්ති ඇරෙන්න වෙන කිසි දේකට කිසිම මාධ්‍යයක ඉඩක් නැති වෙනවා.

ඇඞ්වර්ටයිසින් වචනෙන් කියනවා නම් ඒක ත‍්‍රීසික්ස්ටි වැඩක්. හොඳ හෝ නරක ප‍්‍රචාරණය කියා දෙකක් නැත කියන්නා වගේම එයින් එක්කෙනෙක් දෙන්නෙක් අනිවාර්යෙන්ම පළාත් සභාවටත් යනවා. ජනතාව බුද්ධිමත් අනිවාර්යෙන්ම වම්මුන්ට වඩා. මගේ මෝඩ ත‍්‍රිල මට තිබුණාදෙන් කියල උන් ඡුන්ද ටික ගහනවා. මෙතනදි ඒක සම්පූර්ණ ජීව විද්‍යාවෙන් තීරණය වෙන කාරණයක්. (ෆ්ලයින් ෆිෂ් ෆිල්ම් එක බලන්න වැඩිම ඉල්ලූමක් තිබුනෙ ගයේෂා ඡුන්දෙට ආවට පස්)අනිත් පැත්තටත් මේක ලොකු සමාජ වෙනසක් කරනවා. ඇඳුම් ගැලවීම හෝ මිනිස්සු එක්ක නිදා ගැනීම කියන එක උඩ ගෑනු ‘බඩු’ කරන සහ උන්ගෙ සමස්ත ජීවිතය එතනින් කෙළවර කරන ලාංකේය සිතීමට හොඳ කණේ පාරක්. බඩු වලට බලයක් ඇත කියන එක මෙතනදි සමාජගත වෙනවා. ඒකෙන් ස්ත‍්‍රීවාදී හෝ කාන්තා විමුක්තිය පැත්තෙන් ලොකු පොසිටිව් වෙනසක් සිද්ද වෙන අතරෙ අනිත් පැත්තෙන් සෙක්ස් ගැන තියෙන ආකල්පමය වෙනස්කම් ගොඩක් ඇති කරගන්න සමාජ මනසෙ පැල්මක් හැදෙනවා.

ආර්ට් වලට සම්බන්ධ කිසිම කෙනෙකුට මං හිතන්නෙ මේක සහයෝගය නොදී මග අරින්න බැරි කාරණයක්. විශේෂයෙන් සිනමාවෙදි අවශ්‍යම නිරුවත් ජවනිකාවකටවත් නිළියක් හොයා ගන්න බැරි, එහෙම නිරුවත් ර`ගපෑමක් කරන පරක්කුවෙන් ? තිස්සෙ වද දෙන පර්වර්ට් පත්තරකාරයො මූලික ජනතාවක් ඉන්න රටක මේක ඉතාම සුබදායී තත්වයක්. ඇඳුම් ගැලවීම බලයක් විදිහට මහා දේශපාලන සංස්කෘතියෙ තහවුරු වෙන එකත් එක්ක මං හිතන්නෙ ඇඳුම් ගලවන්න නිළියො පෝලිමේ ඉන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සෙ පද්මසිරි කොඩිකාරගෙ වගේ දුක්ඛිත ප‍්‍රශ්න අහන්න වෙන එකකුත් නෑ.

ඉන්ටර්නෙට් එකේ තිබුණු නිරුවත් රූප නිසා පත්තර වල ලොකු පිටුවල ප‍්‍රසිද්ද කරමින් ඒ කාන්තාවන්ට දිවි නසා ගන්නා තරමට අපහාස කළ ආණ්ඩුවම මේ පියවර ගැනීමත් මාර මොඞ් වෙනසක්.

නිළියො පළාත් සභාවට යන එකට විරුද්ද ජනතාව තමන් ඇතුලෙ රිදුම් දෙන මේ සෙක්ස් අවුල ‘බඩුව’ නැතිවීමේ ඛේදය ගැන කියන්න දන්නෙ නෑ. ඒ ගොල්ලො කියන්නෙ ‘මොනවද මුං දන්නෙ?’ ‘හාන්සි වෙන්න විතරයි මහන්සි වෙන්න බෑ’ ‘රටම විනාසයි’ වගේ කතා. ඒත් ඇත්තටම ප‍්‍රශ්නෙ තියෙන්නෙ දැන් පළාත් සභා නෙමෙයි පාර්ලිමේන්තු යන කෙනෙක් වත් තත්වෙ මීට වඩා වෙනස්ද කියන එක. හරියටම බැලූවොත් අහුවෙනවා මේ විරෝධය පිටිපස්සෙ තියෙන එකම තනි හේතුව ‘බඩු’ ප‍්‍රශ්නෙ බව.

පළාත් සභා නෙමෙයි පාර්ලිමේන්තු අධිකරන හැම දෙයක්ම විනෝදය සඳහා විවෘත වෙනවට මං කැමතියි. බහුතරය කියන පිළිගැනීම මත පදනම් වුණු බලය මත වෙනස් වෙන මේ ආයතිනක රටාව ස්ථාවර කර ගන්න ද`ගළනවා වෙනුවට සමාජ සංස්කෘතික සම්බන්ධතා සහ පුරවැසි සිතීමේ කලාපයන් ස්ථාවර කර ගන්නයි ඉක්මන් වීම අවශ්‍ය. ආයතනික බල රටා පාලනය කියන තැනින් විනෝදය සහ ව්‍යාපාර කටයුතු පැත්තට සමීප වීම මං හිතන්නෙ හොඳක්. පාලනය රජයකින් ඉල්ලා සිටිනවා වෙනුවට සමාජයක් විදිහට විධිමත් සම්බන්ධතා රටාවක් හදාගන්න පුළුවන් දියුණු එක`ගතාවයක් ඇති කර ගන්නයි  ඕන.

ලංකාවෙ බහුතරය වෙනස් වෙමින් තියෙන්නෙ. නාගරික සම්බන්ධතා විශාල වෙනවා. ග‍්‍රාමීය සම්බන්ධතා අහෝසි වෙනවා. ජීවිතය විශාල වෙනවා. දේශපාලනය කුඩා වෙනවා. සිනමාව ඩිජිටල් වෙනවා.
මේ වෙනස ගොඩකට බය හිතවනවා. ඒත් මං ඒකට කැමතියි.

විශේෂයෙන්ම ගුඞ් මාර්කට් එක වගේ සංකල්ප, ඇවිදින්න තියෙන උද්‍යාන, නගරයේ අලංකාර, ලොකුම දේ තාප්ප ගැලවීම, මේ වගේ ගොඩක් විකල්ප සමාජයක ක්ෂුද්‍ර තත්වයන් වර්ධනය වෙමින් තියෙනවා කියල මට හිතෙනවා. අනිත් පැත්තට මේ අවිනිශ්චිත හෝ අනාරක්‍ෂිත කියන තත්වයන් (රජය විසින් එක විදිහකටත් රජයට විරුද්ද පක්ෂ විසින් තවත් විදිහකටත් විදහා පාන) වඩා හොඳ නිර්මාණාත්මක අවකාශයක් ඇති කරමින් ඉන්නවා. සිතීම් විදිහට ඒ සමහර තැන් නිර්මාණාත්මක පිමි පැනීම් (ලීප්ස්) තරම් විශාලයි.

මොකක් හරි කාලකණ්ණිකමක් හින්ද අපි වඩා නිර්මාණාත්මක වෙන්නෙ නෙගටිව් යතාර්ථයක් ඇතුලෙ. අපේ සිංදු, කවි, කතා  ඕන දෙයක් මේකට උදාහරණ. අපිට දුක  ඕනෙ ලියන්න. ටෙන්ෂන් එක  ඕනෙ හිතන්න. මේක හින්ද පොසිටිව් විදිහට දෙයක් බාර ගන්න එකයි අපේ ක‍්‍රියේටිවිටි එකයි එකට පවතින්නෙ නෑ. අපි සතුටු වෙන්න දන්නෙ නැති ජාතියක්.

ඉතිං මට හිතෙනවා අපි අවට සිද්ද වෙමින් තියෙන ගොඩක් හොඳ දේවල් මගඅරිමින් නැත්තං අවතක්සේරු කරමින් ඉන්නවා. ඒ දේවල් වටා සමාජ කතිකාවන් හෝ තවත් සංස්කෘතික ගොඩනැංවීම් කරන්න මහන්සි නොවී ආණ්ඩුව ගැන ප‍්‍රවෘත්ති උඩම ජීවිතේ සීමා කර ගන්නවා.
දුක සහ මම කියන දෙක එකට ගැටගැහුණු පැවැත්මක ජීවත් වෙන හින්ද ලංකාවෙ මම වෙනස් නොකර දුක වෙනස් කරන්න බෑ.

-චින්තන ධර්මදාස

Saturday, February 1, 2014

අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්


මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට කලින් මට පොතක් ගෙනත් දුන්නා. කියවලා කතා කරන්න.

මං සිංහල පොත් කියවන එක අත්ඇරලා තියෙන්නෙ. විශේෂයෙන්ම ප‍්‍රබන්ධ. උක්ත ආඛ්‍යාත ගැටගහන වාක්‍ය ඇතුලෙ කොයිතරං අලූත් අදහසක් කියන්න හැදුවත් මට දැනෙන්නෙ පරණ විදිහටමයි. ඒ සංස්කෘතික ගැටේ ලිහා ගන්න බැරි මිනිහෙක් මනුස්ස ජීවිතේ ගැන කරන්න යන මාර විවරණයක් වුණත් මට ටිකක් නොගැලපෙනවා වගේ. තමන්ගෙ මාධ්‍ය ගැන අලූත් විදිහට හිතන්නෙ නැතුව අනුන්ගෙ ජීවිතයක් ගැන අලූත් විදිහට දකින්න පුළුවන්ද?

පරිවර්තන ගන්නම දෙයක් නෑ. ගොඩක් ලොකුවට තමන්ගෙ නම ගහගන්න පරිවර්තකයො ද`ගළන එක ඇත්තටම හොඳයි මට හිතෙන්නෙ. පොඩියට තමයි ඔරිජිනල් කර්තෘව දාන්න  ඕන. පුළුවන් නම් ඇතුලෙ. මොකද ඒකෙ ඒ කර්තෘ කියපු දේවල් තියෙන්නෙ බොහොම ටිකයි. තමන්ගෙ වියත් සිංහල හැසිරීම ඇතුලෙ අර මනුස්සයගේ ජීවිතේ දත්ත විදිහට පරිවර්තනය කරනවා. හැම පොතක්ම දෙන්නෙ එකම හැ`ගීමක්. සිංගර් කියෙව්වත් එකයි බුකොව්ස්කිව කියෙව්වත් එකයි.

භාරතගේ පොත අතට ගත්ත ගමන් මං මුල් පිටුව පෙරළලා බැලූවො දිගටම කියවනවද කියල තීරණය කරන්න. ඒකත් උක්ත ආඛ්‍යාත මැද්දෙ වාක්‍ය ලියපු ලියමනක්. ඒත් එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ජනප‍්‍රිය වහරක් ඒකෙ තිබුණ. බස් යන ගමන් වුණත් එක දිගට කියවගෙන ගිහින් ඉවර කරන්න පුළුවන්. ඒ වගේම පටන් ගන්නෙම ලොකු ප්නැ එකකින්. මං දිගටම කියවගෙන ගියා.
අසමජ්ජාති ආදරය.

මං හිතන්නෙ අසමජ්ජාති කියන එක හැදෙන්නෙ සම්මා- ජාති, අසම්මා- ජාති විදිහට වෙන්න ඇති (ෂුවර් නෑ) ඒ කියන්නෙ යහපත් වූ උපත සහ අයහපත් උපත වගේ. ඒ විදිහට ගත්තොත් අසමජ්ජාති වෙන්නෙ අවජාතක කියන තේරුම. එහෙම අවජාතක ආදරයක් ගැන තමයි කතන්දරේ තිබුනෙත්.

භාරත දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවෙ කතා කරන්නම  ඕන නිලයකට අත තියනවා. මේ කතාව තියෙන්නෙ ශ‍්‍රී පාලි කැම්පස් එක ගැන. හන්තානෙ කතාවට පස්සෙ ආයිමත් කැම්පස් කතාවක් ලියවුනේ නෑ මං දන්න තරමින්. ඊටත් වඩා කැම්පස් කියලා ඒකෙ අධ්‍යාපනයයි, උඩින් පේන බොරු ලව් එකයි වගේ දේවල් එක්ක ගැටගැහෙන්නෙ නැතුව කැම්පස් එකේ ඇත්තම සහ වැදගත්ම සාධකය උඩ හිටගෙන කතා කරන පළවෙනි පොත වෙන්නෙ මේක. අසම්ජ්ජාති ආදරය ඇතුලෙ කියන්නෙ කැම්පස් ජීවිතේ ලිංගික දේශපාලනය ගැන.

අපිට ගොඩක් වෙලාවට මග ඇරෙන කතිකාවක් මේක. ඒ හින්ද අපි ගොඩක් සමාජයක් විදිහට නොමග යනවා. අනුන්වත් නොමග යවනවා. ලංකාවෙ ඉතිහාසෙ ගත්තත් උඩින් තියෙන තොරතුරුමය දත්තවලට ඇතුළෙන් ඒ ඉතිහාසයේ ලිංගික දේශපාලන තත්වයන් ගැන අපි දන්නෙ මොනවද? බුදුන් ගැන වුණත් ඒ කියපු දේවල් මේ වගේ විකාරරූපී අදහස් විදිහට වර නැගෙන්න බුදුන්ගේ ලිංගික දේශපාලනය ගැන කතිකාව නැති එක බලපානවා. මේ යටිපෙළ නැති වුණාම පාවෙන සංකල්ප හැදෙන්න පටන් ගන්නවා.

ඉස්තෙපාන් එක්ක කතාවක් දාගෙන ඉන්න වෙලාවක ඌ මාර කතාවක් කිව්වා. ‘මචං, කවුරු හරි පිටරටක ඉඳන් මෙහේ මිනිහෙක් මුණගැහිලා කතා කළොත් කතා කරන හැමදේකින්ම පේන්නෙ ලංකාවත් ඒ වෙස්ට් එකේ රටක් වගේ තමයි කියල. ඔක්කොම තියෙනවා. ඒත් මචං මොකක් හරි සෙක්ස් ටොපික් එකකට ගිහින් කතා කළොත් මචං බය හිතෙනවා. මෙහේ සෙක්සුවල් පොලිටික්ස් මාර වෙනස්. ඒක ලෝකෙ කොහෙවත් නැතුව ඇති’

ලංකාවෙදි අපිට සමහර වෙලාවට මුණගැහෙන්න පුළුවන් මහාචාර්යවරු පශ්චාත් නූතනවාදී විෂයන් ගැන කතා කරන. ඒ කතා සහ ඇකඩමික් ජීවිතේ ඇතුලෙ ඒ ගොල්ලො මාර සීරියස් වෙන්නත් පුළුවන්. ඒත් හදිස්සියෙවත් එයා ෆෝන් එකෙන් පෙම්වතියට හෝ බිරිඳට හෝ එක්ක කෝල් එකක් ගත්තොත් එකපාරට ලොකු ගැප් එකක් හැදෙන්න ඉඩ තියෙනවා. උදා විදිහට එයා පෙම්වතියට කියන්නෙ ‘අම්මි...’ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට පෙම්වතිය එයාට ‘තාත්ති....’ කියනවා. මේ අම්මි සහ තාත්ති අතර ආදරය මාර හිරිකිත විදිහට ලංකාවෙ හැමතැනම තියෙනවා. මේක වෙන කිසි රටක තියෙන තත්වයක් නෙමෙයි. සදාකාලිකව අම්මා සොයා යාම.....කොයිතරම් දත්ත සහ දැනුමෙන් වැඩුණත් මානසිකව ලොකු නොවැඞීමක් ගැන සීරියස් කතන්දරයක් මෙතන පොඩි හිඩසෙ තියෙනවා.

මං කිව්වෙ ලිංගික දේශපාලනයට සම්බන්ධ කාරණා වලින් කොයි කොයි විදිහට අපි ගැන අහුවෙන්න පුළුවන්ද කියන එක ගැන. භාරත ශ‍්‍රී පාලියෙ ලිංගික දේශපාලනය - සංස්කෘතිය ගැන ලියනවා. ඒක ආදර කතාවක්. ඒ වගේම පාදඩ කතාවක්.

නලින්ද සහ අපේක්ෂා, ඊට පස්සෙ නලින්ද සහ රිහානා, එතකොට අපේක්‍ෂා සහ ශාලිත සර්. මේ කතාවෙ ප‍්‍රධාන අක්ෂය. ඒ අතරෙ තවත් අප‍්‍රධාන ජීවිත ගොඩක් එකට කැරකෙනවා. ලෙක්චර් හෝල් එකෙන් එලියෙ කැම්පස් ජීවිතේ පළවෙනි වතාවට කොල ටිකක් උඩට එනවා. ඒක පර්යේෂණ නිබන්ධනයක් නොවී ප‍්‍රබන්ධ නවකතාවක් වෙච්ච එක කොච්චර හොඳ ද?

මේ කතන්දරේ දිගට යන අතරෙ මං ඊට සමාන්තර වෙනම ටි‍්‍රප් එකක යන්න ගත්තා. කැම්පස් සබ්කල්චර් එක ගැන දිගට දිගට රෝල් වෙන අදහස් පැදුරක මං පෙරළි පෙරළි හිටියා. කැම්පස් කියන ඒවා හිතලා හදන්න බෑ කියල මං හිතන්නෙ. හොඳම උදාහරණෙ එහෙම කෘතිමව ජාතක කරපු ගොඩක් කැම්පස් ටෙක් එකක මට්ටමෙන් නතර වීම. ඒ සංස්කෘතිය ඒක ඇතුලෙ හැදෙන්න  ඕන. වයඹ, රජරට වගේ කැම්පස් ඇතුලෙ මට දැනෙන ලොකුම මහන්සිය මේක.

කැම්පස් ජීවිතේ කියන්නෙ බුබුළක් වගේ ජීවිතයක්. පේරාදෙණිය වගේ ගත්තොත් ඒක වෙනම ගමක්. අවුරුදු ගානක්ම ඒක ඇතුලෙ විතරක් ජීවත් වෙන්න පුළුවන්, එළියෙ කිසිම සම්බන්ධයක් නැතුව වුණත්. ගෙවල් වල හිරවෙලා තිබ්බ තරුණ ජීවිත ටිකක් මේ වගේ මිටියාවතක නිදහස් වෙනවත් එක්ක උනුත් බය වෙන තරමේ වේගයෙන් ජීවිතේ පිනුම් ගහන්න ගන්නවා. මට හිතෙන්නෙ ශිෂ්‍ය සංගම් පිහිටවගෙන කොටට ඇඳුම් අඳින්න නොදී, සුනිල්- නන්දා වගේ අයගෙ සිංදු විතරක් ඇහෙන්න දිදී, අජිත්ලව එහෙම වද්දගන්න නොදී ආරක්‍ෂා වෙන්න හදන්නෙ තමන්ගෙන්මයි. ඒ තරමට මේ කලාපෙ ජීව විද්‍යාව ප‍්‍රබල වෙනවා. පේරාදෙණියෙ මං දන්න කාලෙ වුණත් ගබ්සා සිද්ද වෙන ප‍්‍රමාණය සාපේක්‍ෂව ඉහළ අගයක තිබුණ.

මේ කියන්නෙ භාරතගේ පොත කියවලා සලිත වුණු ලංකාවෙ වැඩිහිටියෙක්, ‘අපොයි අපේ ළමයි කොහොමද කැම්පස් එවන්නෙ?’ කියල අහන ළදරු කතාව නෙමෙයි. මේක හොඳ තත්වයක්. මේ ලිංගික සංස්කෘතිය තමයි මං හිතන්නෙ කැම්පස් අත්දැකීම. මේකෙන් තමයි ඒ අවකාශයේ හැම තත්වයක්ම පාලනය කරන්නෙ. උදා විදිහට ගත්තොත් කැම්පස් සාහිත්‍යයේ හැම කවියක්ම වගේ කියන්නෙ ලිංගිකත්ව අවුලක්. කටින් කට පරපුරෙන් පරපුරට එන හැම කැම්පස් කතාවක්මත් එහෙමයි. එතකොට ඒ දේශපාලනය, ඒ සටන් ඔක්කොම තේරුම් හැදෙන්නෙ මේ විවරය ඇතුලෙ විතරයි. මහා සමාජෙ සමග එක`ගතාවයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් විශාල මනුස්ස ආශා ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාල ජීවිතේදී විවෘත වෙනවා. මේ නිදහස ඇතුලෙ ගොඩක් ලස්සන දේවල් සිද්ද වෙන්න පුළුවන්. ඒත් කරුමෙකට තමන්ගේම නිදහස ගැන බය ඇතුලෙ මේ ගම්බද ජීවිත ඇකිළෙනවා. කුහක වෙනවා. දෙබිඩි වෙනවා.

මේක ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි. ආචාර්යවරුන්ටත් පොදුයි. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ට වෙන්න ඉඩ තියෙන ලොකුම අවාසිය තමයි සදාකාලික ශිෂ්‍ය මනෝභාවයන් ඇතුලෙ හිරවෙන එක. ඒ ගොල්ලො ලොකු වෙලත් ලියන්නෙ ඒ කැම්පස් කාලෙ නිබන්ධනමයි. හිතන්නෙත් ඒ කාලෙ විදිහටමයි. එතකොට අපිට ඉන්න ආචාර්ය ශිෂ්‍යයො.

මේ ලිංගික දේශපාලන නිදහස ඇතුලෙ වෙනස් ජීවිත හැඩතල නිර්මාණය වෙනවා. මට එකපාරට මතක් වෙන්නෙ සෝරත හාමුදුරුවො. මිගෙට්ටුවත්තෙ ගුණානන්දට නැති පෞර්ෂයක් සෝරත හාමුදුරුවන්ට තිබුණ. එයා දර්ශන අංශෙ උගන්වමින් හිටියෙ. සිවුර බුරුළට තනි කරට දාගෙන ගෙම්බා කැන්ටිමේ සිගරට් එකක් බොද්දි එයා ගාමිනී ෆොන්සේකට වඩා විෂුවලි මරු.

ඒ කාලෙ ඉවර වුණා. එයා ඇමරිකාවෙ ගිහින් ආවා. සිවුරත් අත් ඇරියා. මං හිතන්නෙ මොකක් හරි දේශපාලන පත්වීමකුත් ගත්තා. ඊට පස්සෙ එයාගෙ පෞර්ෂය කසාද මිනිහෙක් ගානට බාල්දු වුණා. කැම්පස් වලින් එළියට ආවට පස්සෙ වෙනස් වෙනවයි කියල අපි දකින තැන  ඕක. ඒ උපසංස්කෘතික අවකාශෙන් එලියෙ ඒක ඇතුලෙ නිෂ්පාදනය වුණු චරිත හෝ අදහස් පවතින්නෙ නෑ. ඒකට හේතුව ලිංගික දේශපාලන තත්වයන්ගෙ වෙනස.

මං හිතන්නෙ ඊට පස්සෙ කැම්පස් වල හිටපු හැමෝටම තමන්ගේ කැම්පස් කාලෙ රාත‍්‍රියක් විතරයි. ඒ ? කරපු දේවල් මතක හීන විදිහට විතරයි. සමහර වෙලාවට ඒ හීන වලට බය වෙලා අපි ගොඩක් කල් යනකල් ඇහැරෙනවා.

මේ කැම්පස් උපසංස්කෘතියට දැන් වෙමින් යන දේත් භාරත කතාව ඇතුළට ගේනවා. උදා විදිහට එදා කවදාවත් දොළහෙන් එහාට කරකැවෙන්නෙ නැති බිත්ති ඔරලෝසුව නිසා බෝඩිමට දාපු නම ‘දොළහ’ පස්සෙ උන් බෝඩිමේ ඉන්න කොල්ලො ගානට අනුව වෙනස් කරන එක. එතනදි යන්තමට කියවෙනවා මේ අලූත් උන් ආණ්ඩුවෙ මිලිටරි ටේ‍්‍රනින් එක ගත්ත උන් කියල. මේ පුහුණු වීම් හෝ නවක වදය වළකන නීති හෝ මොන විදිහකින් හරි ආණ්ඩුව කරන්න හදන්නෙ කැම්පස් වල ලිංගික සංස්කෘතිය මහා සංස්කෘතියෙන් යටත් කර ගන්න එක. ඒක ඇතුලටත් අම්මලා තාත්තලා, ආමි එක පොලිසිය ගේන්න හදන එක. මේ නිදහස අහිමි වෙන තැනින් හෝ මේ නිදහස ගැන දැනීමක් නැති තැනින් එහාට විශ්ව විද්‍යාල කියන සංස්කෘතිය ඉවර වෙනවා. ටෙක් එකක සහ විශ්ව විද්‍යාලයක තියෙන වෙනස මේක. ඒ අධ්‍යාපනය හෝ විෂය මාලාව නෙමෙයි. ඇතුලෙ පරම්පරා ගානක් තිස්සෙ ගොඩනැගුණු ලිංගික දේශපාලන නිදහස.

භාරත අතින් ලියවෙන්නෙ කැම්පස් වල ගස් ගල් වලට කතා කරන්න පුළුවන් නම් උන් අතින් ලියවෙන කතාව. ඒක ඇතුලෙ වැදගත් කියල පේන හැම අනෙක් දේශපාලන කතිකාවක්ම (උදා විදිහට ජීඞීපී 6% වුණත්* කියවෙන්නෙ මේ ආදර සම්බන්ධතා අවුල් ඇතුලෙන්. එක එක අයට මේ මීදුම පිරිච්ච මිටියාවත ඇතුලෙ එක එක දේවල් වෙන්න පුළුවන්. මීදුම නිසා කවුරුවත් නොදකින්නත් පුළුවන්. ඩිපාර්ට්මන්ට් එකට ගන්න පොරොන්දුව පිට ඇඳුම් ගලවන ආචාර්යවරයා පටන් අත්විඳින දෙයින් සසර කළකිරිලා මහණට යන චරිත දක්වා පදාසයක් මේ කතාව ඇතුලෙ පාට වෙනවා.

ඊට පස්සෙ භාරත එතනින් තවත් උපසංස්කෘති කලාපෙකට අත තියන්න හදනවා. ඒ ඇඞ්වර්ටයිසින්. ප‍්‍රධාන චරිතයේ ඊළ`ග පේ‍්‍රමය මේ උපසංස්කෘතිය ඇතුලෙ තැබීම හරහා එයා ඊළ`ග රවුමට ගොඩවෙන්න යනවා. ඒත් කැම්පස් එකේ ලිංගික දේශපාලන සංස්කෘතිය අතැඹුලක් වගේ ගන්න භාරතට මෙතනදි අහුවෙන්නෙ ෆ්ලැට් කතාවක් විතරයි. ඒක ආයිමත් පිට ඉඳන් කරපු අතපත ගෑමක් වගේ. එක අතිකින් මේ තරම් සරලව උපසංස්කෘතීන් දෙකක් අතරෙ මාරු වෙන්න ගිය පළමු වර ලියන්නෙක් විදිහට එයා ගන්න හිතුවක්කාර තීරණයක්. මට මුලින්ම පුදුම හිතුනෙ කැම්පස් කලාපය ඇතුලෙ වුණත් මේ තරම් චරිත ගානක් විසුරුවා හරින්න එයාට තිබුණු දක්ෂකම ගැන. ඒක අමාරු වැඩක්. දුර්වලතා මැද්දෙ වුණත් භාරත ඒක සෑහෙන හොඳට කරනවා. ඒත් දෙවන වටේදි ඇන ගන්නවා.

ඒක හින්ද අසමජ්ජාති ආදරේ මගේ කොටස වෙන්නෙ රිහානාව මුණගැහෙන කල් විතරයි. එතනින් එහාට භාරත හැම සර්කල් එකක්ම සම්පූර්ණ කරන්න ට‍්‍රයි කරනවා. ජනප‍්‍රිය නවකතාවක් විදිහට ලංකාවෙ ඒක වැඩ කරන්න පුළුවන්. ඒත් ඒකෙන් කතාවක් විදිහට කතාව ගොඩක් බාල කරනවා.

‘ජීවිතේ වෙනස් වෙන්නෙ මිලි සෙකන්ඞ් ගානකින්’ එයාගෙ පොතේ සටන් පාඨයක් වගේ මේ වැකිය කියනවා. මේ විදිහට ජීවිතේ තනි රූලකින් විස්තර කර ගන්න යන එක, බෞද්ධ අවුලක්. පරමාර්ථ සත්‍යය හොයන්න යනවා වගේ. මට හිතෙන්නෙ අපි ජීවිත ගැන මීට වඩා මයික්‍රො කියවීමකට යන්න  ඕන. උදා විදිහට අපේ ජීවිතේ ඒ මිලි සෙකන්ඞ් ගාන වෙනස් වෙන්න දන්න නොදන්නා තව ගොඩක් ජීවිත, ගොඩක් සංසිද්ධි, ගොඩක් ඉතිහාසයන් අවුරුදු සිය ගානක් පරිණාමය වෙනවා වෙන්න පුළුවන්. බටර්ෆ්ලයි අෆෙක්ට්ස් කියන සංසිද්ධියෙන් මං මේ කියන කතාව තේරුම් ගන්න ලේසි වෙයි. ඒ මිලි සෙකන්ඞ් ගාන ඇතුලෙ සිද්ද වෙන මේ දැවැන්ත ජීවිත පරිණාමයන් ගැනයි අපි සවිඥාණක වෙන්න  ඕන. ඒක භාරත අතින් සිද්ද වෙනවා. ඒත් අන්තිමට නිව්ටන් ඇවිල්ලා කරදර කරනවා. එයා හැම ක‍්‍රියාවකටම සමාන සහ ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත කියන තැනින් ඔක්කොම ටික පෙළට විසඳගෙන යනවා. ඒ කතාවෙ චරිත ඊටත් වඩා ගොඩක් ඈත විශ්වයන් වලට විසුරුවා හරින්න තිබුණ. සමහර විට පළමුවර ලේඛකයෙකුගෙන් ඒ තරම් බලාපොරොත්තු වෙන එක වැරැුද්දක් වෙන්න පුළුවන්.

‘පේ‍්‍රමය කොතරම් දේ කියා සිටියද, කොතරම් දේ අසා සිටියද, කියා සිටීමට හෝ අසා සිටීමට නොහැකි වූ දෙයක් සෑම පේ‍්‍රම කතාවකම ඉතිරි වී ඇත. සෑම පෙම්වතෙකුමද, සෑම පෙම්වතියකමද ඒ දේ කියා සිටීමට හෝ අසා සිටීමට මොහොතක් යළි උදාවන තුරු පෙරුම්පුරමින් සිටිති...’

භාරත පොත ඉවර කරන්නෙ එහෙම. හැම අවජාතක පේ‍්‍රමයකම මේ ඉතුරු වෙලා තියෙන කෑල්ල ඇත්තක්. ඒ අපි අන්ධකාරෙ බෙදා ගත්තු ඒ රහස යළි බෙදා ගන්න පුළුවන් අන්ධකාරයක් එනකල් බලාපොරොත්තුවක්. එක`ගතාවයක් ඇතුලෙ ඇහිරෙන හැම නිදහසකින්ම ඒ ආශාව තවත් රොමාන්තික කරනවා.

-චින්තන ධර්මදාස