Sunday, June 14, 2015

රීමේක් වැඩ කෝටියයි - ප‍්‍රවේගයෙ විසිල් බල්ටියයි



මහින්දගෙන් පස්සෙ ලංකාවෙ සිනමාව ගොඩ යන ලකුණු පහල වෙන්න අරගෙන. ඊට කලින් මේ නව රැල්ල වගේ එක ඇති වුණත් මහින්ද චින්තන සිනමාව නිසා ඒ චිත‍්‍රපටි කම්පියුටර් ඇතුලෙම නතර වුණා. තව ඒවා හැදුනෙම එලියෙ ෆෙස්ටිවල් මාර්කට් එක දිහා බලාගෙන. ඒ වී කරල් පෙන්නලා මෙහේ දුවන අරමුණ හෝ අන්තර්ජාතික සිනමාකරුවෙක් වීමේ ෂෝර්ට් කට් වාසනාව උරගෑමක් විදිහට. ඒත් මහින්දගේ ගෙදර යාමත් එක්ක සිනමාව හෝල් වලට කඩා පනින්න පටන් අරගෙන. වැදගත්ම දේ ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයා අරමුණු කරගෙන රජකතා බණකතා ප්‍රොපගැන්ඩා සිනමාවෙන් පිට විවෘත පිට්ටනියක් හැදෙන්න ගන්න එක.

මේ පසුබිමේ මහා සිනමාව පැත්තෙන් ආරම්භයක් ගන්නෙ ධනුෂ්ගෙ පොල්ලාදවන් චිත‍්‍රපටියෙ රීමේක් එකක් විදිහට හැදෙන ප‍්‍රවේගය. ආරම්භයක් කියන්නෙම අවදානමක්. කලින් කටේ තියන්න බැරි සුපර් සික්ස් නිෂ්පාදනය කරපු සදේශ් කුමාර් තව වතාවක් මේ අවදානම ගැනීම අගය කරන්න  ඕන.

මහින්ද චින්තන සිනමාවට පස්සෙ ඊළඟ දිශානතිය වෙන්නෙ දකුණු ඉන්දියානු රීමේක් සිනමාවද? ප‍්‍රවේගය එක්ක මතුවෙන ප‍්‍රශ්නෙ ඒක.

2007 පොල්ලාදවන් කියන්නෙ වෙට්රිමාරන් කියන පිස්සු අධ්‍යක්‍ෂවරයාගෙ පළවෙනි වැඬේ. වෙටි‍්‍ර කියන්නෙ කොයි වගේ අධ්‍යක්‍ෂවරයෙක්ද කියල යම්තරමකට තේරුම්ගන්න එයාගෙ ෆොටෝ එකක් දැක්කත් ඇති. සිනමාවෙ සාටෝප මොකුත් නැති වඩුබාස් කෙනෙක් තරම් සාමාන්‍ය ඩිරෙක්ටර් කෙනෙක්.

වෙටි‍්‍රරාමන් කියන්නෙ බාලූ මහේන්ද්‍ර කියන සිනමා දැවැන්තයාගෙ සහාය අධ්‍යක්‍ෂක. ඒත් මට වෙටි‍්‍රමාරන් මතක පොල්ලාදවන් හින්ද නෙමෙයි. එයා ඊට පස්සෙ කරන ආඩුකුලම් හින්ද. ඒකෙත් ප‍්‍රධාන චරිතය කරන්නෙ ධනුෂ්. පාදඩ ජීවිත ඇතුලෙ යතාර්ථය එක්ක ඉන්න ගමන්ම ඇෙඩන්න රොමැන්ටික් කතාවක් කියන්න වෙටි‍්‍රමාරන්ට තියෙන හැකියාව මාව පුදුම කළා. ඒ වගේම ගොන්සාලේස් වගේ නව පරපුරේ විදේශීය අධ්‍යක්‍ෂවරුන්ගේ සිනමාවත් එක්ක වෙටි‍්‍රගෙ තියෙන ඇඟෑලූම්කම ඒ බැඳීම තවත් වැඩි කළා. මං පොල්ලාදවන් බැලූවෙ ඊට පස්සෙ.

මේ ලංකාවෙ පළවෙනි රීමේක් එක නෙමෙයි.  දන්න කාලෙක ඉඳන්ම අපි හදන්නෙ රීමේක් තමයි. අපි ඉතා දුක්ඛිත මට්ටමකින් මේක කළත් ලෝකයේ සිනමාව කියල හැම කෙලවරකම වැඩිපුර හැදෙන්නෙ රීමේක්. ඒත් ගොඩක් වෙලාවට ලංකාවෙ රීමේක් එකක් එහෙමයි කියල හිතාගන්නත් බැරි තරමට මුල්කොපියෙන් වෙනස් වෙනවා. ඒ තරම් අජූත ෆිල්ම් එකක වෙන ඔරිජිනල් එකක් තියෙයි කියල නිකමටවත් හිතෙන්නෙ නෑ. මේ වෙලාවෙ කටට මතක් වෙන උදාහරණයක් විදිහට සළඹක් හඩයි කියල ගීතා රඟපාපු බයිස්කෝප් එක කියන්න පුළුවන්.

රීමේක් එකක් හැදෙන්න කාරණා කීපයක් බලපාන්න පුළුවන්. බසීන් 1951දි කියන විදිහට චිත‍්‍රපටියක සාර්ථකත්වය සහ ජනප‍්‍රියත්වය දැවැන්ත නම් නිෂ්පාදකයො කරන්නෙ ඒක නැවත බෙදාහරින එක නෙමෙයි. නැවත නිෂ්පාදනය කරන එකයි. වෙන ආර්ට් වලට වඩා වෙනස් විදිහට සිනමාව කියන්නෙ කාලයත් එක්ක අගය වැඩි වෙන ආර්ට් එකක් නෙමෙයි. ඒ වෙනුවට සිනමා ප‍්‍රයෝග, තාක්‍ෂණ අලූත් වෙනවත් එක්ක පරණ සිනමාවෙ අගය පිරිහෙනවා. රීමේක් එකකින් පුළුවන් ෆ්‍රෙෂ් ලූක් එකක් ගන්න.

තව විදිහකට මතවාදිමය, සමාජමය හෝ දාර්ශනික කාරණා වල අනුරූප බව වුණත් රීමේක් එකක් කෙරෙන්න බලපාන්න පුළුවන්. මේ කාරණා අනුව රීමේක් එකකදි යම් යම් සිද්ධි චරිත වෙනස් වෙන්න වුණත් පුළුවන්. උදා විදිහට සදේශ් මේ රීමේක් එක කරන්නෙ මහින්දගෙන් පස්සෙ තාරුණ්‍යය ප‍්‍රභූ (ධනුෂ්) වගේ වෙයි කියල හිතාගෙනද දන්නෙ නෑ.

තුන්වෙනි හේතුව මීට වඩා ගොඩක් ප‍්‍රායෝගිකයි වගේම බහුලයි. රීමේක් එකකදි වියදම සහ අවදානම අඩු වෙන එක. සියල්ල කලින් අත්හදා බලලා තියෙන නිසාත් කලින් ෆිල්ම් එක ජනතාව දිනාගත් එකක් නිසාත් අලූත්ම ෆිල්ම් එකකදි තරම් දෙගිඩියාවකින් පෙලෙන්න නිෂ්පාදකයාට සිද්ද වෙන්නෙ නෑ. ඒක හරියටම එක හන්දියක එක වර්ගයක කඩයක් ජනප‍්‍රිය වුණොත් ඒ වටේම ඒ වර්ගයේ කඩ ඇරෙනවා වගේම සාමාන්‍යයක්.

රීමේක් එකක ආර්ට් පැත්තෙ උවමනාවන් කිසි දෙයක් නෑ කියනවා නෙමෙයි. යම් චිත‍්‍රපටියක් නැවත නිෂ්පාදනයට තෝරා ගැනීමේදී ඒ ප්ලොට් එක ගැන කැමැත්තක්, ආකර්ශනයක් රීමේකර්ට තියෙන්න  ඕන. මේ කතාව නැවත කීම වැදගත් කියල දැනෙන යම් සෞන්දර්ය කාරණාවක් මෙතනදි අදාල වෙනවා.

පස්වෙනි කාරණය තමයි මට අනුව ප‍්‍රවේගයේදි වඩාත් වැදගත්ම වෙන්නෙ. ඒ රීමේක් එකක් මගින් ලබාගන්න පුහුණුව, අත්දැකීම සහ තාක්‍ෂණය කියන කාරණා. ඒ වගේම අත්හදා බැලීමේ ප‍්‍රවේශයක් විදිහට. ලංකාවෙ සිනමාව මේ වෙලාවෙ තියෙන පසුගාමී තත්වයෙදි දකුණු ඉන්දියානු සිනමාවේ රීමේක් එකක් සාර්ථකව කෙරෙන එකේ වටිනාකම මට දැනෙන්නෙ මෙතන.

කලින් කිව්වා වගේම මෙච්චර කාලයක් ලංකාවෙ අපි කරපු රීමේක් අතිශය දුක්ඛිත ඒවා. මට අනුව සාර්ථක රීමේක් එකක් විදිහට මුලින්ම අපි දකින්නෙ ප‍්‍රවේගය. චිත‍්‍රපටිය දකින්න කලින් ටේ‍්‍රලර් එක බලද්දිම මාව මුසපත් කළ කාරණය වුණේ ක‍්‍රියාදාම ජවනිකා, සටන්, සිනමාවෙ වේගය එක්ක ඒ තරම් දියුණු විදිහට ගණුදෙනු කරනවා මං තිරයෙ දකින පළවෙනි වතාව වුණු එක. විශේෂයෙන්ම ඒ විදිහට රඟපාන්නවත් අපේ රටේ නළු නිළියො හිටියෙ නෑ. ධනුෂ් වෙනුවට හේමාල් කියන්නෙ ඉතා සාර්ථක හඳුන්වාදීමක්.

මං දන්න තරමට චිත‍්‍රපටියෙ අධ්‍යක්‍ෂවරයෙක් විදිහට දෙවෙනියට නම වැටෙන එස් සරොව් මුල් කෘතියෙ සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදිහට වැඩ කරනවා. අනිවාර්යෙන්ම චිත‍්‍රපටිය මේ තරම් දුරක් එන්න එයාගෙ අත්දැකීම් බලපාන්න ඇති.

වෙටි‍්‍රමාරන්ගෙ පාදඩ ජීවිතයේ රොමාන්තිකයක් ආපහු කරන්න තෝරා ගැනීමම එක විදිහක අභියෝගයක්. අපේ සිංහල පේ‍්‍රක්‍ෂකයා දකින්න කැමතියි කියල සම්මත වෙලා තියෙන්නෙ සුන්දර දර්ශන. ලොකු ගෙවල් වාහන. බොළඳ ආදර සම්බන්ද. පොඞ්ඩක් හරි රළු තැනක් ස්පර්ශ කරද්දි පවුලේ සිනමාව අර්බුදයට යනවා. හැමෝටම එකට ඉඳන් බලන්න විතරක් චිත‍්‍රපටි හැදෙන හෝල් ඇතුලට වෙටි‍්‍රමාරන් අරන් එනවා කියන්නෙම අවදානමක්.

මේ හින්දම ලංකාවෙ රීමේකර්ස්ලට සිද්ද වෙනවා මුල් කෘතිය  ටිකක් කප්පාදු කරන්න. පොල්ලාදවන් බලලා ප‍්‍රවේගය බලන අයට සිද්ද වෙන අවාසිය ඒක. ටැමිල් ෆිල්ම් එකේ තිබුණු තාරුණ්‍යයේ සාරගී බව සහ වල්මත් බේබදුකම සිංහල ප‍්‍රවේගයේදි එඩිට් වෙනවා. අපේ තරුණයා තාම දහම් පාසැල් වැඩියි.

ඒත් මේ ස්ටෝරිලයින් එකම  වුණත් අපේ සාම්ප‍්‍රදායික බාර ගැනීම් ටිකක් තල්ලූ කරන සුළුයි. දෙමව්පියන්ට කීකරු, ටිකක් දඟකාර හුරතල් මධ්‍යම පාංතික තරුණයා වෙනුවට මෙතනදි අපි දකින්නෙ පේලි ෆ්ලැට් එකක ජීවත් වෙන අනාගතයක් නැති කැරම් ගගහා ඉන්න කොල්ලෙක්. ඌට තියෙනවා හීන දෙකක්. එකක් බයික් එකක්. අනික කෙල්ලෙක්. ගෙදර තාත්තා පවා කාලකණ්කනියෙක් කියලා අල්ලලා දාපු මේ ප‍්‍රතිවීරයා තමයි අපේ වීරයා වෙන්නෙ. ලක්ෂ ගණං ගෙවාගෙන රට රටවල උපාධි කරන සමකාලීන යාලූවන් ගැන තාත්තාගෙ සංසන්දනය මේ තරුණයා අභියෝග කරනවා. තාත්තා අන්තිම සන්තකේට ඉතුරු කරලා දෙන මුදලෙන් එයා ආසම මෝටර් බයික් එක ගන්නවා. ඊට පස්සෙ කෙල්ලව යාලූ කර ගන්නවා. ජොබ් එකක් හොයාගෙන ඒකෙනුත් සාර්ථක වෙනවා. ඒත් තමන් ජීවත් වෙන පසුබිම විසින් මේ තරුණයාව ෆේල් කරනවා. ඒ පසුබිමේ ක‍්‍රියාත්මක වෙන පාතාල ගනුදෙනු මැද්දට මේ තරුණයාගෙ ජීවිතය මැදිවෙන්නෙ අහම්බෙකින්. ඒ තමයි වෙටි‍්‍රමාරන් සංසිද්ධිය.

අදහස්මය අතින් පවා මේ චිත‍්‍රපටය අපි අවුරුදු දහයක් තිස්සෙ සිරගත වුණු බොරු සදාචාර අදහස් පද්ධතිය එක්ක ගැටෙනවා. දෘෂ්ටිමය සහ දෘෂ්‍යමය කියන අංශ දෙකෙන්ම ප‍්‍රවේගය සිංහල සිනමාව වෙනස් තැනකට ගෙනියනවා.

හේමාල් කොයිතරම් සාර්ථක සොයාගැනීමක් වුණත් ධනුෂ්ගේ රංගනය දැකපු කෙනෙක්ව සංතර්පනය කරන්න එයා අසමත්. කලින් ආරංචි වුණු විදිහට ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්ට දවස් නැති වීම නිසා අලූතෙන් ගන්න සිද්ද වුණු නිළිය සෑහෙන අඩපණයි. ඒත් ජැක්ලීන් ගත්තා නම් වැඩේ තව අල වෙන්න ඉඩ තිබුණ.
පොල්ලාදවන් තරම් සාර්ථකව අපේ ප‍්‍රධාන චරිත නිර්මාණය කර ගන්න බැරි වුණත් අප‍්‍රධාන චරිත හැම එකක්ම පාහේ දෙමළ චිත‍්‍රපටියට වඩා ඉදිරියෙන් හිටගන්නවා. මෙතනදි ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර, පුබුදු චතුරංග කරන රංගනයන් ගොඩක් ප‍්‍රබලයි (ජැක්සන්ට මේ ඇක්ට් එක ගේමක් නැති එක ඇත්ත) ඉතාම සුළු චරිතයකට එන සනත් පවා ටැමිල් ෆිල්ම් එකේ ඒ අනුරූප චරිතයට නොතිබුණු හැඩයක් ප‍්‍රවේගයට එකතු කරනවා. තරුණයාගේ මෝටර් බයිසිකලය හොරකම් කරන ගොට්ටා පවා පට්ට ඇක්ට් එකක් ෆිල්ම් එකට ගේනවා. පසුපෙළ ක‍්‍රීඩකයන් විසින් මැච් එකේ සෑහෙන කොටසක් ගොඩදාලා දෙනවා.

සංගීතය පැත්තෙන් භාතිය සංතුෂ් චිත‍්‍රපටියට එකතු කරන කිසි දෙයක් නැති වග කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. අඩුම තරමෙ දෙමළ චිත‍්‍රපටිය බලාගෙනවත් ගැලපෙන සාර්ථක සංගීතයක් නිර්මාණය කරන්න ඒ ගොල්ලොන්ට බැරි වෙලා තියෙනවා. වාණිජ චිත‍්‍රපටියක් නිසාම සංගීතයෙන් දැනෙන්න  ඕන ප‍්‍රබලතාවය මගහැරීම ප‍්‍රවේගයට ලොකු අවාසියක්.

ඒ වගේම පොල්ලාදවන් චිත‍්‍රපටයේ ප‍්‍රවේගය දනවන හෙල්ලෙන සුළු කැමරාව සහ බය නැතුව ළඟ කපන සංස්කරණ රටාව වෙනුවට අපේ චිත‍්‍රපටය ට‍්‍රයිපෝඞ් ගත වීමකට සහ බාල මියුසික් වීඩියෝ වර්ගයේ කලර් කරෙක්ෂන් එකකට ගෙනිහින් තියෙනවා. තාමත් සහමුලින්ම සීනිබෝල සිනමාවෙන් ගැලවෙන්න බිය වීම කරණ කොට ගෙන ප‍්‍රවේගයේ වේගය බාල වෙනවා.

මේ මොන කාරණා තිබුණත් ප‍්‍රවේගය වගේ චිත‍්‍රපටියක් නිර්මාණය වීම මේ වෙලාවෙ වැඩක්. අපේ අසල්වැසි රටේ, අපේ අසල්වැසි ජනතාවගේ පරිණත සිනමා වින්දන මානයන් සදා ළමා වියේ පසුවෙන ලාංකේය මහා පේ‍්‍රක්‍ෂකයාට සමීප කරවීමම සාධනීය වෑයමක්.

වෙටි‍්‍රමාරන් තමන්ගේ චිත‍්‍රපටි හදන්නෙ තමන්ගෙ ජනතාවට. තමන්ගෙ සංස්කෘතිය ගැන තියෙන පළල් විස්තරාත්මක දැනුමත් එක්ක. උදා විදිහට පොල්ලාදවන් චිත‍්‍රපටිය ලියවෙන්නෙම පවා දකුණු ඉන්දියානු තරුණයන්ගේ පොදු බරපතල ආශාවක් ඉන්සයිට් එක විදිහට තියාගෙන. ඒ මෝටර් බයිසිකලයක් ගැනීමේ උවමනාව. දකුණු ඉන්දියානු තරුණයන්ට තමන්ගේ පළවෙනි මෝටර් බයිසිකලය එක්ක තියෙන්නෙ පෙම්වතිය එක්කවත් නැති තරම් ආදරයක්. ඒ කතාව සිංහලට එද්දි මේ ආශාව කොයිතරම් දුරකට දැනෙයිද කියල කියන්න අමාරුයි. රීමේක් එකකදි සිනමාවට සෞන්දර්යාත්මක පැත්තෙන් සිද්ද වෙන ලොකුම අවුල මේ සුවිශේෂතා මගහැරෙන එක. අපිව පරාරෝපණයකට ලක්වෙන එක.

‘මේ දවස්වල අධ්‍යක්‍ෂවරු චිත‍්‍රපටි හදන්නෙ බහු-සංස්කෘතික පේ‍්‍රක්‍ෂාගාරයකට. මට හිතෙන්නෙ ඔයා ඔයාගෙ පේ‍්‍රක්‍ෂකයාව අත්ඇරගන්නවා ඔයා ඔයා නොවෙන, ඔයාගෙ මිනිස්සු වෙනුවෙන් නොවෙන සිනමාවක් කරන්න යන එකෙන්...’
-වෙටි‍්‍රමාරන්-

වෙටි‍්‍රමාරන් කියන්නෙ ඔරිජිනල් එකක්. ප‍්‍රවේගය කියන්නෙ කොපියක්. ඒත් ඒ කොපිය හොඳට නම්බු ඇතුව කරලා තියෙනවා.

-චින්තන ධර්මදාස