Tuesday, February 19, 2013

වෘකයන් අතර නග්නව

කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ ආරක්‍ෂාවට පවත්වාගෙන යන රාජ්‍ය සංවිධානෙකින් මට කෝල් කරලා ලිපියක් ඉල්ලූවා, ඒ ගොල්ලොන්ගෙ ස`ගරාවකට. ලංකාවෙ කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ තත්වෙ ගැන මට කියන්න තියෙන දේවල් ඒ වගේ ආයතනේක ස`ගරාවක පළකරන්න තරම් ඒ අය නිදහස් කියල විශ්වාසයක් නැති වුණත් මං ලියමන ලිව්වා. ආයිමත් කෝල් එකක් ආවෙ නැති හින්ද තාමත් ලිපිය මගේ ළ`ග.

අපේ රටේ කාන්තාවක් සහ ළමයෙක් කියන කාරණය වැදගත් වෙන්නෙ දූෂණයකදි හෝ අපචාරයකදි විතරයි. ඒකත් ගොඩක් වෙලාවට ඒ හරහා මාධ්‍ය වලින් නැවත නැවත අපයෝජනය කරමින් විකුණන්න පුළුවන් ප‍්‍රවෘත්තියක් හදන හින්ද. එහෙම නැතිව රටේ නීතියටවත් කාන්තාවක් සහ ළමයෙක් හැටියෙන් වැදගත්කමක් නෑ. නීති පොතේ ගොඩක් කතන්දර තියෙන්න පුළුවන්. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ ප‍්‍රායෝගික භාවිතාවෙන් ඔප්පු කරන ඇත්ත මොකක්ද කියන එක.

අකුරැස්සෙ පොඩි දැරිවියො තිරිසන් විදිහට පාවිච්චි කරපු සාරුවා සුනිල් කිසි ගානක් නැතුව ඇප පිට නිදහස් වුණා. එයාට අහිමි වුනේ එයාගෙ සභාපතිකම් වගේ නිලතල කීපයක් විතරයි. ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නා සංවිධාන ඒ ගැන මොනවද කළේ? මේ රටේ වගකිය යුතු පුරවැසියන් මොනවද කළේ? අන්තිමට අපචාරයට ලක්වුණු දැරිවි සියදිවි නසා ගත්තා. අපි තාමත් ළමා හා කාන්තා අයිතීන් ගැන කතා කරනවා. ලිපි ලියනවා.

අපේ ඉතිහාසෙ එහෙම සදාචාරවත් ඉතිහාසයක් නෙමෙයි. අපේ රජවරු පොඩි ළමයින්ව වංගෙඩිවල දාලා කෙටුවා. ගෑනුන්ව ගල් බැඳලා වැව් වල ගිල්ලලා මැරුවා. හැමදාම සුද්දන්ට විරුද්දව සදාචාරෙ ගැන කතා කරන සිංහල බෞද්ධ ජනතාවට ඒ ඉතිහාසෙ ම්ලේච්ඡු දේවල් පෙනුනෙ නෑ. අපි දන්න බෞද්ධ කතා වල ළමයින් සහ ගෑණුන් ගැන එන කතා කොයි වගේද? රාජ රාජ අමාත්‍යවරුන්ගෙ ඇරුණම අනෙක් සාමාන්‍ය හුදී ජනයාගෙ තත්වය කොහොමද තිබුනෙ? සෝපාක කියන්නෙ මළ මිනියකට තියල බැඳලා බාප්පා මැරෙන්න දාලා යන දරුවෙක්. රජ්ජුමාලා බුදුන්ට මුනගැහෙන්නෙ එල්ලිලා මැරෙන්න යද්දි. මේ ඉතිහාස කතන්දර ඇතුලෙ කවුරුවත් නොකියන ඇත්ත කතාව තමයි අපේ කලාපෙ රටවල කාන්තාවන්ට හා ළමයින්ට අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණදෙන්න සිදු වුණු එක. බුදුන් පවා මෙතනදි ඒ අයව තමන් ළ`ග මහණ කර ගත්තා මිස ඒ වෙනුවෙන් නීතිමය හෝ දේශපාලනික පියවරකට යන්නෙ නෑ. මේක යුරෝපයේ අතීත කතාවෙදිත් මේ විදිහමයි. ඒත් ඒ තත්වය තේරුම් ගන්නත් ඒකට විරුද්ධ වෙන්න ඇත්ත උවමනාවක් ගොඩනගා ගන්නත් ඒ සමාජ වලට පුළුවන් වුණා. අපි මේ වෙද්දි අපේ විදිහට පෙන්නන්න හදන ළමා හා කාන්තා අයිතීන් යුරෝ-ඇමරිකානුවන් විසින් නිර්මාණය කරපු සහ සමාජගත කරපු අදහස්. නැතුව ලංකාවෙ රජවරුන් හෝ පූජ්‍ය පක්ෂය කිසි වෙලාවක මේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසය පුරාම කතා කරලා නෑ කියන එක පැහැදිලිව තේරුම් ගන්න  ඕන කාරනයක්.

මද්දුම බන්ඩාර බෙල්ල තිබ්බ හින්ද වීරයෙක් කරන අපි මද්දුම බන්ඩාරගෙ බෙල්ල කපන තැන හිටපු රාජ්‍ය බලය ගැන කතා කරන්නෙ නෑ. මේ ප‍්‍රචණ්ඩත්වය ඉන්දියාව ලංකාව සහ මැද පෙරදිග වගේ රටවල සාමාන්‍යයක් කියන එකයි මගේ අදහස. මේ අයිතීන් වෙනුවෙන් යුරෝ-ඇමරිකානු ව්‍යාපෘති යටතේ වැඩ කරන අපේ කට්ටිය වුනත් මේ කාරනා ගැන බරපතල මැදිහත් වීම් කරන බවක් පේන්නෙ නෑ. ඒ වෙනුවට ළමා හා කාන්තා අයිතීන් අපේ සංස්කෘතිය ඇතුලට අරගෙන කතා කරන්න යන එකෙන් දේශපාලනිකවත් සමාජීයවත් මේ ගැටළුව දියාරු කරනවා.

ඒත් ඉන්දියාවෙ බලපෑම් කන්ඩායම් මේ  වෙද්දි ප‍්‍රබල විදිහට මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් අරන්. වෛද්‍ය  ශිෂ්‍යාව දූෂණය කරපු සිද්ධියෙදි ඒ වරදකරුවන්ට මරණ ද`ඩුවම ලබා දීමේ  තීන්දුව ඉල්ලා සිටීම දක්වා ඒ හ`ඩ ප‍්‍රබලයි. අපේ ළමා හා කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කරන කණ්ඩායම් තෝරා ගන්නෙ අදේශපාලනික මාවතක්මයි. ඇත්ත අභියෝගෙ තියෙන පිට්ටනිය හිතා මතා මග අරිනවා කියලයි මං කියන්නෙ.

ලංකාවෙ හාමුදුරුවරු ළමයින්ට ගහන එක හරි කියල ප‍්‍රසිද්දියෙ ඉස්කෝල ඇතුලෙ බණ කියනවා. අධ්‍යාපන ඇමතිවරුන්ට ඒක ගැටළුවක් වුනේ නෑ. ‘ගුටි නොකා හැදෙන ළමයි හැඳි නොගා හදන හොද්ද වගේ’ කියන්නෙ අපේ සාමාන්‍ය ගැමි සමාජය මේ ප‍්‍රචණ්ඩත්වය අනුමත කරපු හැටියි. මගේ අදහස හැටියට අපේ රටේ සමාජය කොහොමත් අපචාරී සමාජයක්. මාධ්‍ය ඔස්සේ ඒ අපචාර තලූමරමින් රසවිඳින සමාජයක්.

උදා විදිහට යුරෝපයේ ඔස්ටේ‍්‍රලියාවෙ වගේ රටක දරුවෙක් ජීවත් වෙනවා කියන්නෙ ඒ දරුවාගෙ අයිතියක් (ආහාර, ඇඳුම්, අධ්‍යාපන, සෞඛ්‍ය සියල්ල ඇතුළත් අයිතියක්). ඒ ජීවත් වීමේ අයිතිය  කඩ වුනොත් දෙමව්පියන්ට එරෙහිව වුණත් නීත්‍යානුකූල පියවර ගන්න දරුවාට අවස්ථාව තියෙනවා. ඒත් අපේ රටේ දරුවෙක් ජීවත් වෙනවා කියන්නෙ ඒක ඒ දරුවාගෙ වාසනාව. අයිතියක් නෙමෙයි. ඒ වෙනුවට දරුවා කියන්නෙ දෙමව්පියන්ගෙ අයිතියක් කියන එකයි පිළිගැනීම.

නොදන්නා කාලෙදි වැඩිහිටියන්ගෙ කැමැත්ත අනුව පැවිදි ජීවිතේට ඇතුල් කරන එක අපේ සිංහල බෞද්ධ සමාජෙට අනුව කිසි අවුලක් නෑ. ඒ දරුවාගෙ ළමා ජීවිතේ අයිතිය ගැන කිසි කෙනෙක් ප‍්‍රශ්න කරන්නෙ නෑ. සුද්ධෝදන රජතුමා වුණත් ඉල්ලූවෙ දෙමව්පියන්ගෙ කැමැත්ත නැතුව මහණ කරන්න එපා කියල විතරයි. එතකොට ඒ දරුවාට තමන්ගෙ ජීවිතේ ගැන තියෙන අයිතිය? මුස්ලිම් ආගමේ කාන්තාවට තියෙන පීඩිත තත්වය සංස්කෘතික අංගයක් විදිහට ඉස්ලාම් භක්තිකයො ආරක්‍ෂා කරනවා වගේම සිංහල බෞද්ධ ජනතාවත් හිංසක තත්වයන් ගණනාවක් නීතිමය විදිහට ආරක්‍ෂා කරනවා. වැඩියෙන්ම ලංකාවෙ ළමා අපචාර සිද්ද වෙන්නෙ පන්සල් සහ පල්ලි (සෙමනේරි ඇතුලෙ). හරියට ඒවා සම්ප‍්‍රදායන් වගේ පරපුරෙන් පරපුරට යනවා. අපේ වගේ රටවල ළමා හා කාන්තා හිංසනයට විරුද්ද උඩින් විතරයි. ගැඹුරෙන් ඒ ප‍්‍රචණ්ඩත්වය සමාජ පැවැත්මේ කොටසක්. දේශපාලනිකව හා සමාජීයව රැුඩිකල් මැදිහත් වීමක් නොකර මේ හිංසන රැල්ලට කරන්න පුළුවන් ප්ලාස්ටර් දාන එක විතරයි.

රිසානා අරාබියේ මරා දාපු වෙලාවෙ සමස්ත සිංහල බෞද්ධ ජනතාව කළේ මුස්ලිම් ආගමට විරුද්දව එක එක කතා කියපු එක. අරාබියේ නීතිය වෙනස් කරන්න තරම් ලොකු හැ`ගීමකින් ෆේස්බුක් එකේ එහෙම පෙළගැහුනු ඒ ජනතාවට රිසානා අවුරුදු 17න් බොරු වයස් හදලා අරාබියේ වහල් සේවෙට යන්න සිද්ද කරපු අපේ රටේ ප‍්‍රචණ්ඩත්වය පෙණුනෙ නෑ. ඒ ගැන අපේ ආණ්ඩුවෙ නිහ`ඩතාවය පෙණුනෙ නෑ. අපි රටක් විදිහට රිසානා මරා දැමීම අපේ කාන්තා ප‍්‍රශ්නයේ කොටසක් කියන තැනින් මගඇරියා. කිසි කාන්තා සංවිධානයක් ඇත්ත හේතුවට විරුද්ධව නැගිට්ටෙ නෑ.

මෑතක මේ රටේ දැකපු ප‍්‍රවෘත්තියක් හින්ද මාව උඩුයටිකුරු වුණා. දැරියක් වත්තකට පැනලා පොල් ගෙඩි අටක් හොරකම්  කළා කියල පොලිසියට අරං ගිහින්. නඩුත් දාලා. නඩුවෙදි ඒ දැරිවි  රුපියල් පනස්දාහක ශරීර ඇප මත නිදහස් කරලා. පොල්ගෙඩි අට හොරකම්  කරලා තියෙන්නෙ ඉස්කෝලෙ තීන්ත ගාන ගාස්තුව ගෙවන්න. ලංකාවෙ නීතියෙ සහ පාලනයේ ඇත්ත තත්වෙ ගැන මේ සිද්දිය හොඳම උදාහරණයක්. පොල් ගෙඩි අටට මේ කෙල්ලව පොලිසියට ගෙනියන්න කලින් පොලිස් නිලධාරීන්ට මනුස්ස හදවතක් තිබුනෙ නැද්ද මේ කාරණය තේරුම් ගන්න? පොල් ගෙඩි අටට නඩු කියන්න ආපු තැනදි අධිකරණයට තිබුනෙ නැද්ද මීට වඩා සාධාරණ මිනිස් පණිවුඩයක් මෙතනදි අවධාරණය කරන්න? මේකද නීතිය? අනෙක් අතට අපේ අධ්‍යාපන ක‍්‍රමය යටතේ පාසැල් වලින් දරුවන් අත්විඳින පීඩනය ගැන මෙතනදි අධ්‍යාපන බලධාරීන්ට ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නැද්ද? මේ සමස්ත ක‍්‍රමය කිසි ප‍්‍රශ්නයක් නැතිව දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය නඩත්තු කරගෙන යන වග මෙතනදි පැහැදිලියි. ලිංගික දූෂණයක් හෝ අතවරයක් කියන සීමාවට වඩා එහාට ගිහින් ළමා හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය කියන වසංගතය තේරුම් ගන්න සිද්ද වෙනවා. අතවරයක් හෝ දූෂණයක් ගැන ලියවෙන හැම ප‍්‍රවෘත්තියක්ම තවත් ඒ වගේ අපරාධයකට පොළඹවනවා. මේ දූෂණ-අපචාර රැුල්ල පවත්වාගෙන යන්නෙ මේ දේවල් අළෙවි කරන මාධ්‍ය. ඒත් මේ අපචාරී මාධ්‍ය සංස්කෘතියට කිසි කෙනෙක් විරුද්ද නෑ. හැමෝම මේ විස්තර හරහා තමන්ගෙ යටිබඩ කිතිකවා ගන්නවා.

මේක මේ ක‍්‍රමය ඇතුළෙම දුවන පිළිකාවක්. ඇත්තට ළමා හා කාන්තා ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩ කරනවා කියන්නෙ දේශපාලනික කටයුත්තක්. ඒක අමාරු වැඩක්. ඒකෙ අමාරුම තැන වෙන්නෙ අපි පවා නොදැනුවත්වම සංස්කෘතික හෝ වෙනයම් සාධාරණීකරනයක් ඇතුලෙ එක`ග වී සිටින මේ හිංසකකාමී රෝග ලක්ෂණ අඳුරගන්න එක.

ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය මරා දැමීමෙන් පස්සෙ ජිලට් සමාගම ඉන්දියාවෙ වෙළඳ දැන්වීමක් ප‍්‍රචාරය කරනවා. ඒකෙදි කියන්නෙ ජාතියට සොල්දාදුවන් අවශ්‍යයි කියන එක. යුද්දෙට යන්න නෙමෙයි.. කාන්තාවන් ආරක්‍ෂා කරන්න. මොකද කාන්තාවන් ආරක්‍ෂා කරනවා කියන්නෙ ජාතිය ආරක්‍ෂා කරනවා කියන එක.

වෙළඳ පරමාර්ථ වලින් වුණත් මේ ඇඞ් එක ලොකු කතාවක් කියනවා. වැදගත්ම දේ කාන්තාවන් ආරක්‍ෂා කිරීම යුද්දයක් කරන තරම් දුෂ්කර මෙහෙයුමක් කියන එක. ඒක ඒ තරම් කැපවීමෙන්, විනයකින් සහ භක්තියකින් කරන්න  ඕන කියන එක. දරුවන් සහ කාන්තාවන් රැක ගැනීම කියන්නෙ තමන්ගෙ ජාතික වගකීමක් කියන එක.

ලංකාවෙ ඒ වගේ මැදිහත් වීමක් මං ආණ්ඩුවෙන්වක් කිසිම සිවිල් සංවිධානයකින්වත් දකින්නෙ නෑ. අපි අපචාරී සමාජයක්. ඇත්ත ඒකයි.

-චින්තන ධර්මදාස

Tuesday, February 5, 2013

හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට.

මට හම්බුවෙනවා චිත‍්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත‍්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කියන තරමටම අභිමානවත් හීනයක්. ගඩොල් කපලා හරි චිත‍්‍රපටිකාරයෙක් වෙන්න තියෙන අධිෂ්ඨානය.. ඒ තනි ගමනෙ ගිය අය කොහොමත් තමන්ගෙ ගමන යනවා. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. ඒත් ගොඩක් අයට මගදි තමන්ගෙ ආදරේ අත්අරින්න වෙනවා. ජීවිත කාලයක් ඒ අහිමි පෙම්වතිය වෙනුවෙන් විකාර කරනවා.

ඩිජිටල්කරණයත් එක්ක මේ හීනෙ ගොඩක් අත පොවන මානෙට ආවා. නිදහස් අධ්‍යාපනේට වඩා ලොකු අවකාශයක් මේක. ඒත් අපි දූපතේ එක තැනක හිරවුණා. හදන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොතනද? තාමත් චිත‍්‍රපටි හදන්න බලාගෙන ඉන්න පිරිස නොදන්න, දන්න පිරිස තමන්ගෙ චිත‍්‍රපටිය විතරක් කොහොම හරි ෆෙස්ටිවල් එකකට විකුණගන්න පාර හොයන මාර්ග බාධකය මෙතන. මෙතනදි හැමෝටම තමන්ගෙ අයිඩෙන්ටිය පෙන්නන්න සිද්ද වෙනවා. මහින්ද චින්තනයට පිටින් චිත‍්‍රපටි හදන්න  ඕන නෑ කියලා අසෝක සේරසිංහ හන්දියෙ චන්ඩියෙක් වගේ කියල තිබුණ. කාටවත් ඇහුනෙ නෑ. නෑහෙන ගානට ඉන්න එක ජාතික ප‍්‍රතිපත්තිය වෙලා තියෙන කාලයක්. දැන් හෝල් වලට එන චිත‍්‍රපටි මොනවද? සවුදි අරාබියට වඩා දරුණු විදිහට අපේ රටේ දෘෂ්‍ය පථය අකුළලා. මහා සිනමාකරුවො ටික ගැන ඇත්තටම ලැජ්ජ වෙන්න  ඕන. මට අහන්න තියෙන්නෙ, තමුසෙලා මොනවද කළේ?

අද සිනමාකරුවෙක් වෙන්න හිතන කවුරු වුණත් එක ඇත්තක් බාර ගන්න  ඕන. හදනවා නම් හදන්න පුළුවන් පවුලේ චිත‍්‍රපටි විතරයි. එකපාරට බොරැල්ලෙ වයිඑම්බීඒ නාට්ටි වර්ගයේ කලාවක් ලංකාවෙ ජාතික කලාව වෙලා. ඒ ගැන ජනතාවට හෝ නිර්මාණකරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක හෝල්කාරයො සහ මහින්ද චින්තනය අතර ගිවිසුමක්. හඳගමලා එහෙම වුනත් දැන් එන්නෙ ඉන්ටර්වල් එකට විතරයි. හාස්‍යජනකම කාරණය මේක කිසිම ව්‍යාපාරික හෝ ලාබ කාරනයක් පාදක කර ගත්ත වෙනසක් නෙමෙයි. මේ අනිත් මාධ්‍ය ඔක්කොම කිසි කෙඳිරියක්වත් නොගා ‘කැමැත්තක් කර ගන්න’ කිව්වා වගේ සිනමාවත් එකග වෙන මොහොත. පේ‍්‍රක්‍ෂක රස වින්දනය කියන කතාව මෙතන අදාලම නැති එකක්. දාන  ඕන ජරාවක් ටීවී එකේ පෙන්නලා පෙන්නලා මිනිස්සු ටික දක්කන්න ඒ ගොල්ලොන්ගෙම ටීවී චැනල් තියෙනවා. පේ‍්‍රක්‍ෂකයා තව දුරටත් සිතන මිනිසෙක් නෙමෙයි. එයා බැලීමට අවශ්‍ය දේ රජය විසින් තීරණය කර ලබා දෙනවා. මේ රටේ වැඩිහිටියො නෑ. ඉන්නෙ ඔක්කොම ළමයි.

චිත‍්‍රපටි හදන්න ද`ගළන අය මුලින් උත්තර හොයන්න  ඕන ප‍්‍රශ්නෙ, කරන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොහෙද කියන එක. ඒවා නිෂ්පාදන විදිහට අරගෙන අළෙවි කරන්න කර්මාන්තමය දැක්මක් මේ රටේ නෑ. අපි නොදන්නවා වුනාට ඒක මහින්ද චින්තය යටතේ තහනම් කර්මාන්තයක් වෙන්නත් පුළුවන්. ‘අපි මේ බලන්නෙ මොනවද?’ කියල අහන පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට ලංකාවෙ බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අඩුම තරමෙ, ‘අපේ අදහස් පෙන්නන්න තිරයක් කෝ?’ කියලා අහන එක ආන්ඩුව පෙරළන වර්ගයේ ඉල්ලීමක් නෙමෙයි කියලයි මගේ අදහස.

අද නන්නත්තාරෙ යන දවසක්. මං වෙන කතාවකට මාරු වෙනවා. මට කාලෙකට පස්සෙ මාරෙ කතා කළා. මාරෙ විනාඩි පහක් ඉල්ලලා පැයක් විතර දිග මාර කතාවක් කිව්වා. ඒ වගේ වළාකුල් අදහස් එන්නෙ ඌට විතරයි. සිංහලෙන් විතරක් කියෙව්වට මේ පොලොව ගැන ගැඹුරු කතාවක් මාරෙ ළ`ග තියෙනවා.

‘මට මැරෙන්න ඉස්සර මේ ටික කියා ගන්න  ඕනි බං’

අලූත් සීතීමේ ප්ලොට් එකක් හම්බුනාම මාරෙ පැලෙන්නෙ තරම් ත‍්‍රිලකට යනවා. උස්සන කල්ම ෆෝන් එක දහපාලොස් වතාවක් හරි රිංග් කරනවා. උස්සපු ගමන් නොඋස්සන්න කාරනා අහන්නෙවත් නෑ, කෙලින්ම කතාවට බහිනවා.

ඇත්ත අදහසක් ආවම ඒක බෙදා ගන්න කල් තියෙන නොඉවසිල්ල ඒ අදහසේ අවංකකමේ තරම කියනවා කියල මං හිතන්නෙ. ඒ අදහස ජීවත් කරවන්න, තව තව සංසර්ගයේ යොදවන්න තියෙන උවමනාව, සාමාජීය හැ`ගීම තමයි පැවැත්මේ මූලිකම කොන්දේසිය. මේ ක‍්‍රියාවලිය අහිමි සමාජයක් මැරිලා. සොම්බිකරණය වෙලා. මාරයාව පැවැත්ම විසින් කොයිතරම් හුදකලා කළත් ඌ අදහස් කැට අහුරු ෆෝන් කම්බි ඇතුලෙන් හරි සමාජය දිහාවට විසි කරනවා.

මචං, දැන් ස්ටී‍්‍රට් ප්‍රොස්ටිටියුෂන් (වීදි ගණිකා)ඉවරයි. දැන් තියෙන්නෙ අලූත් එකක්. ‘පොකට් ප්‍රොස්ටිටියුෂන්’. ඒකට සිංහලෙන් මොකද්ද කියන්නෙ? (ඒකට සිංහල වචනයක් හොයන්න මටත් අමාරු වුනා). දැන් මචං ගොඩක් ගෑණු  ඕක කරනවා. සමහරුන්ට තමන්ගෙ මිනිහට අමතර ආදරවන්තයො කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆෝන් බිල ගෙවනවා. තව කෙනෙක් එක්ක ෂොපින් කරනවා. තව කෙනෙක් වාහනයක් අරන් දෙනවා. නැත්තං මචං මේ ගෑණු හම්බුකරන සොච්චම් පඩියෙන් කොහොමද ඔහොම ඉන්න වියදම් කරන්නෙ? මෙගා ටෙලිවල ඉන්න බහුතරය කරන්නෙ මේක.

ඒත් මචං, වීදි ගනිකාවන්ට වඩා මේ ටෙ‍්‍රන්ඞ් එක භයානකයි. ඒඞ්ස් එහෙම බෝවෙන්න තියෙන ඉඩ වැඩියි. ඇයි මචං වීදි ගනිකාවො අම්මා මුත්තා වුනත් කොන්ඩම් එකක් නැතුව නං බෑ සර් කියනවා. මුංට එහෙම නෑ. ඒත් ඉතිං ඒඞ්ස් නං මොන ඉලව්වක්ද? බුදිය ගන්න  ඕනි නං එච්චරයි. ඒත් මේක තව හොයන්න තියෙන සබ්ජෙක්ට් එකක්. පොකට් ගනිකාවො. මීට කලින් උඹ කොහෙවත් කියවලා තියෙනවද?

මාරෙ එතනින් සෙනසුරු ගැනත් හනුමන්තා ගැනත් ජ්‍යොතිෂ කතාවලට පැන එතනින් රාම රාවණා කතාවටත් පනිනවා.

‘මේ යක්කුන්ට පිස්සු බං. රාවණා ලංකාවෙ කියලා මැරෙන්න හදනවා. රාමා ඉන්දියාවෙ කියල දාගෙන. මේක මේ ඉතිහාසෙ ගැන කියවන උන්වත් පැහැදිලි කරන්නෙ නෑ. ඒ කාලෙ කොහෙද බං ලංකාව ඉන්දියාව කියල රටවල්. මේවා ප‍්‍රදේශ. ලංකාව ඉන්දියාව කියල මේවා නම් කළේ සුද්දො. ඉන්දියාව නං ඉතිං ලොකු මහද්වීපයක් විදිහට තියෙන්න ඇති. ඒත් ලංකාව කියලා එකක් තිබ්බෙ නෑ.

රාම රාවණා යුද්දෙ කියන්නෙ ප‍්‍රදේශ අතර යුද්දයක්. රාමා තමයි ඒකෙන් දිනන්න  ඕන. එයා තමයි රාජ්‍යය. රාවණා කළේ වෙනත් ප‍්‍රදේශයක නායකයාගෙ බිසව පැහැරගෙන එන එක. ඒක මේ ලංකාව ඉන්දියාව අතර යුද්දයක් කියල කියන ගොන්නු මුං.

ලෝකෙ තියෙනවා මචං ශිෂ්ටාචාර වර්ග දෙකක්. මාරෙ කතාවෙ තවත් දිගුවකට මාරු වුණා. එකක් ගංගා නිම්න ආශ‍්‍රිතව ඇති වෙච්ච ශිෂ්ටාචාර. ඒවා තමයි මහා ශිෂ්ටාචාර වුනේ. අපි ඉන්නෙ වැව් ආශ‍්‍රිත ශිෂ්ටාචාර වර්ගයෙ. මේ වැව් කියන්නෙ අපේ ජාතික පොරවල් කියන විදිහට රජවරු මාර විදිහට හිතලා කරපු මහා වැඩ නෙමෙයි. ලංකාවෙ පිහිටීමෙ හැටියට කොහොමත් තැන් තැන් වල වතුර එකතු වෙනවා. වලවල් වල වගේ. මේකට ඉතිං කානු ටිකක් බැඳලා වතුර ටික බෙදෙන්න හදන එක මාර දියුණු හිතීමක්ද? මේවා තමයි උගන්නන බොරු.

මෙතනින් කොහොම හරි කතාව සමාජ ව්‍යාපාර වලට මාරු වුනා. ඒකෙ සම්බන්දෙ දැන් මටත් මතක නෑ. ඒත් මාරෙ පට්ට කතාවක් කිව්වා.

‘මචං ලංකාවෙ තිබ්බෙ එක සමාජ ව්‍යාපාරයයි ඇත්ත වැඩක් කරපු. කියපං බලන්න?’

මං දහඅතේ කල්පනා කළා.

‘හෙළ හවුල බං. උන් විතරයි වැඩක් කළේ’

‘ආපෝ....ඒක පිස්සුවක්’ මට ගත් කටටම කියවුනා.

‘මචං උන්ගෙ අනිත් වැඩ පැත්තකින් තියපං. උන් මේ යක්කුන්ට ඇඳුමක් අන්දපු එකම මදිද?’

‘මොන?’ ඒ මම.

‘ඇයි බං ජාතික ඇඳුම. මුංට ඇඳුමක් තිබ්බෙ නෑනෙ. කට්ටියක් අමුඩ ගහනවා, කට්ටියක් රෙදි නැතුව යනවා. මචං ලැජ්ජාවක් නැතුව එලියට බහින්න ජාතික ඇඳුමයි ඔසරියයි උන් හදලා දුන්නා. අන්න ඒවයි සංස්කෘතික වැඩ කියන්නෙ’

‘ඔන්න මචං දවසක් තෝමස් කියල එකෙක් කුමාරතුංග මුනිදාස හම්බු වෙන්න ඇවිත්. උගේ දරුවට නමක් දාගන්න. දැන් ඉස්සරහ ඉඳන් ඌ කැරකෙනවා කෙලින් කියා ගන්න බැරුව. කුමාරතුංග අහනවා,

‘මොකෝ තෝමස්’

‘කොල්ලෙක් උපන්නා. නමක් හදාගන්න කියල’

‘හා...තෝමස්ට මහ සතුටක් නේද?’ කුමාරතුංග අහනවා.

‘අනේ ඔව්’

‘එහෙනං අපි මාතොස් (මහ තොස්) කියල දාමු’

මචං බලපං. ලයිෆ් නෙ.

මාරෙ තවත් දිගට කතා කරනවා. මට දැන් යන්න  ඕනි.

‘හරි මචං. කතාවෙ  ඕන ටික තාම කිව්වෙ නෑ. මට විනාඩි තුනක් දියං’

මාරෙගෙ සුරතාන්තය තව ගොඩක් ඈත.



-චින්තන ධර්මදාස