19 නොගෙනෙන්න මැදමුලන පෙරමුන ද`ග දැම්මා. නානාප‍්‍රකාර විධි වලින් ට‍්‍රයි කළා. මුරුත්තෙට්ටුවෙ ආනන්ද වගේ තක්කඩි චීවරධාරීන්ව පිටපත් පවා නැතුව එලියට දැම්මා, විරෝධය පළ කරන්න. ඒත් ජනතා සංවිධාන වලට පුළුවන් වුනා ආයිමත් කඳවුරක් හදන්න. අවශ්‍ය වෙලාවෙදි පුරවැසි සංවිධාන විදිහට ශක්තිමත් මතයක් ඉදිරියට ගේන එකයි වැදගත්. මහින්දගෙ කාලෙ නම් මේ බලකිරීම් කිසි දෙයක් ඕන වෙන්නෙ නෑ.
පණත දැනගන්නත් කලින් පණත සම්මතයි. ඒත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතගැටුම් තියෙනවා. තාම ඒක ගෙදර ගිය මහින්දගෙ පිළ සහ අනෙක් බහුතරය විදිහට ළාමක තැනක තිබුණත් එහෙම සංවාදයක් හැදෙන්න ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වුණත් ජනතා බලවේග විසින් අන්තිමට මැදමුලනෙ මතය ෆ්ලැට් කරලා දැම්මා. එහෙම හ`ඩක් දැන් සමාජයෙ තියෙනවා. මට අනුව මේ දින සියයෙ සිද්ද විය යුතු වැදගත්ම කාරණා දෙක ඒක.
එකක් ආයිමත් නෛතික රාමුවක් පාලනයට අරගෙන එක. කොයිතරම් අවාසිදායක වුනත්, ඉවසීමේ සීමාවෙන් එලියට කොයිතරම් තදින් තල්ලූ කරනවා වුණත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඇතුලෙ ඒවාට උත්තර හොයන එක. පිරිමි නෑ වගේ පෙනුනත් අමාරු දේ වෙන්නෙත් ඒක. මෛත‍්‍රීට ඒක කරන්න කොන්දක් තිබුන.
දෙවෙනි එක පුරවැසියා නැවත නිර්මාණය කරන එක. ඒක ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිවිල් සංවිධාන විසින්, ඇති වෙන අවකාශය ඇතුලෙ වැඩ කිරීම හරහායි ඒක නිර්මානය වෙන්නෙ. එහෙම නැවත සංවිධානය වීමේ අවකාශයන්, උවමනාවන් අලූත් පාලනය හරහා ඇති වෙලා තියෙනවා. ඒක මහින්ද විසින් අහෝසි කරපු නැත්තං තහනම් කරපු තත්වයක්. මහින්ද පාලනය කළේ පුරවැසියා රහිත සමාජයක්. භයානක විදිහට ලංකාවෙ බහුතරය ඒකට එක`ග වෙමින් හිටියා.
දවස් සීයක් ඇතුලෙ මේ වෙනස් තත්වයන් දෙක නිර්මාණය වීමම යහපාලනය ගැන ආඩම්බර වෙන්න පුළුවන් ප‍්‍රතිඵල විදිහටයි මං දකින්නෙ. පඩි වැඩ කළාද, බදු අඩු කළාද වගේ සිල්ලර කාරණා වලට වඩා මේ ආණ්ඩුවට කරන්න තියෙන වැඬේ බරපතලයි. නැවත රටට පිළිගත හැකි රාමුවක්, ශික්ෂණයක් අරන් එන එක. තමන්වම ශික්ෂණය කර ගැනීම හරහා ඒක කරන්න වෙන එක. ඒ දේට පපුව පුම්බගත්ත බයියෙකුට වඩා ඇත්තට දැවැන්ත පෞර්ෂයක් ඕන වෙනවා.
තමන්ගේම බලතල කප්පාදු කරන්න තමන් විසින්ම සංශෝධනයක් ගෙන එන්න තරමට නිර්භීත වුණු පළවෙනි ජනාධිපතිවරයා විදිහට මෛත‍්‍රී ඉතිහාසගත වෙනවා. ඉතිහාසෙ කියන එකේ මොනවා ලියවෙයිද කියල මං දන්නෙ නැති වුණත් ඒක ඓතිහාසික පියවරක්. විධායකය අහෝ්සි කරන්න ජනතාවට දුන්නු පොරොන්දුව රකිමින්, විධායකයා විදිහට හිඳිමින් විධායකය අහෝසි කරපු එකම ජනාධිපතිවරයා හැටියට මෛත‍්‍රීට ඒ ගෞරවය හිමි වෙන්න ඕන.
‘ඔය පුටුවෙ ඉඳගන්න කවුරුවත් ආයිත් නැගිටින්න හිතන්නෙ නෑ..’ කියලා සම්මත කරගෙන හිටපු ගොඬේ අදහස වෙනස් කරන්න පුළුවන් වුණු දියුණු ශික්ෂනයක් එයා පෙන්නුවා. ලොකු පවුල් පෙළපත් වලින් ආපු කිසිම නායකයෙකුට ඒ දේශපාලන ශික්ෂනය තිබුනෙ නෑ. බලය අත්හැරීම කියන කාරණය නායකත්වයේ ලකුනක් විදිහට ගෙන ඒම මෛත‍්‍රී පාලනයේ සුවිශේෂතාවක්. බයියෙක් වෙන්නෙ හෝ නොවෙන්නෙ ඉපදිච්ච බිම අනුව නෙමෙයි වැඩ කරන විදිහ අනුව කියන එක 19න් ඔප්පු කළා.
මේ අස්සෙ මාධ්‍ය නිදහසට තර්ජනයක් සිද්ද වෙන නීතිත් සම්මත වෙන්න යනවා කියල තව පැත්තකින් විරෝධයක් ආවා. විශේෂයෙන් සිරස වගේ මාධ්‍ය උඩ පැන පැන මේ ජනතා අයිතිය වෙනුවෙන් පෙනී හිටියා.
මැතිවරණ කාලෙකදි පක්ෂග‍්‍රාහීව ක‍්‍රියා කරන මාධ්‍යවල පාලනය මැතිවරණ කොමසාරිස් විසින් පත් කරපු බලධාරියෙකු අතට ගන්න පුළුවන් වෙන එක තමයි මේ හාහෝවට හේතුව වුනේ. මේ ගැන වද වෙවී ඉන්නවට වඩා 19 අනිත් කාරණා සම්මත වෙන එක වැදගත් හින්ද මේ කාරණය අධිකරනයට තියලා ආණ්ඩුව ඉතුරු ටික අරන් පාර්ලිමේන්තුවට ගියා.
අපිව හිතන්න පුරුදු කරලා තියෙන විදිහට බැලූ බැල්මටම මේක මාධ්‍ය නිදහස කප්පාදු කිරීමක් වගේ පේන්න පුළුවන්. එතකොට මැතිවරණයකදි වෙනස් මත දරන මාධ්‍ය මේ හරහා පාලනය කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා. ඒත් මේ නීතිය අනුව තමන් යම් පක්ෂයකට සහාය දක්වනවා කියල එලිපිට කියලා මාධ්‍යයකට පුළුවන් තමන්ගේ පක්ෂග‍්‍රාහී මත ප‍්‍රචාරය කරන්න.
මේක ජනතාවට වැදගත් වෙන මාධ්‍ය නිදහසක කප්පාදුවක්ද? නැත්තං මාධ්‍ය ජාවාරම්කරුවන්ට අවාසි වෙන දේශපාලන තීන්දුවක්ද? වෙන විදිහකින් කිව්වොත් මාධ්‍ය වලින් ජනතාව ගලවා ගැනීමේ නීතියක්ද?
ජනමාධ්‍ය කිව්වට ඒකෙ තේරුම මේ කිසි මාධ්‍යයක් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක නෙමෙයි. ජනතාවට තමන්ගෙ මාධ්‍ය නිෂ්පාදන අලෙවි කරනවා කරන අදහස. මෙතනදි ඒ මාධ්‍යවල උවමනාව තමන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නා බවක් ප‍්‍රදර්ශනය කරන එක. ඒත් ඒක ජනතා රැවටීමක්.
පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාවෙ කවදාවත් කුඩු ගැන ප‍්‍රවෘත්ති මොකුත් නෑ. සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට කිව්වට ඒ චැනල් එකේ ප‍්‍රවෘත්ති ඔක්කොම ඒ නාලිකාවෙ හිටපු නිවේදකයො ගැන. දැන් ඒ ගොල්ලො මන්ත‍්‍රී නිවේදකයො. සත්‍යය පළමුව කිව්වට කොටස් වෙළඳපොලේ ජාවාරම් ගැන අන්තිමටවත් කියන්න අනිත් චැනල් එකට අමතක වෙනවා.
ජනමාධ්‍ය වලින් තවදුරටත් ජනතාවට තොරතුරු අරන් එන්නෙ නෑ. ඒ වෙනුවට මාධ්‍ය වලින් කරන්නෙ තමන්ට අවශ්‍ය තොරතුරු වසන් කිරීම. නැත්තං වෙනත් තොරතුරු හරහා ජනතාව නොමග යැවීම. එතකොට තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කියල මාධ්‍ය මේ මොහොතෙ ඇත්තට සටන් කරමින් ඉන්නෙ තොරතුරු විකෘති කිරීමේ අයිතිය රැකගන්න.
හැම මාධ්‍ය අයිතිකාරයෙකුටම ඒ අයගෙ සැ`ගවුණු දේශපාලන අරමුණු තියෙනවා. මාධ්‍ය වෙළඳාම කියන්නෙ අනිත් කිසි වෙළඳාමකට වඩා වෙනස් විදිහක එකක්. අනිත් හැම බිස්නස් එකකදිම නිෂ්පාදකයා විසින් තමන්ගෙ නිෂ්පාදනය ජනතාවට විකුණලා ලාභයක් ගන්න අරමුණු කරනවා. ඒ වෙනුවට මාධ්‍ය ලාභය වෙනුවට බලය අරමුණු කරගෙනයි මෙහෙයවෙන්නෙ. ලංකාවෙ හැම මාධ්‍ය ආයතනයක්ම පවත්වාගෙන යන්නෙ පාඩු පිට. ඒ පාඩුවට වඩා විශාල බලඅරමුණක උවමනාවෙන්.
මේ තත්වය අතිශය බරපතලයි. සමහර මාධ්‍ය ආයතන වලින් කරන්නෙම තුට්ටු දෙකේ නිවේදකයන් මහජන නියෝජිතයන් කරන එක. තමන්ගේ මාධ්‍ය හරහාම ප‍්‍රචාරය ලබා දෙමින් ඒ අයව එක එක පක්ෂ හරහා ඡුන්්ද වලට දානවා. ඒ නියෝජිතයන් හරහා ජනතා දේශපාලන පක්ෂවල නායකත්වයන්ට බලපෑම් කරන්න තරමට සදාචාර විරෝධී දේශපාලනයන් මේ මාධ්‍යවලින් කිසි බයක් හිරිකිතයක් නැතුව එලිපිට කරනවා.
මාධ්‍යවල ශික්ෂණය සඳහා නීති ගෙන ඒම අවශ්‍යයි කියලා ආණ්ඩුවට වැටහීමම ප‍්‍රගතිශීලී කාරණයක්. තමන්ට පක්ෂව වැඩ කළ මාධ්‍යයන්ට පවා එරෙහිව යමින් අවශ්‍ය නීති සම්පාදනයට කටයුතු කිරීම ඉතාම ගරු කටයුතු වැඩක්. ජනමාධ්‍ය කියන නමට සහ ඇන්දීමට මුවා වෙමින් මාධ්‍ය ජාවාරමේ යෙදෙන මේ තක්කඩින්ව වහාම පාලනය කරන්න ඕන.
ලංකාවෙ කිසිම ටීවී චැනල් එකකට මේ වෙලාවෙ තමන් සත්‍යවාදී හෝ පිරිසිදුයි කියලා පෙනී ඉන්න බෑ. එකක අයිතිකාරයා කුඩු වෙළෙන්දෙක්. තව එකක කොටස් වෙළඳපොලේ ඞීල්කාරයෙක්. අනිත් එකේ පොලිටිකල් ගේම්කාරයෙක්. පත්තර ගත්තත් මේ තත්වයෙ වෙනසක් නෑ. එතකොට ජනතාව පෙනී ඉන්න ඕන මේ අයගෙ නිදහස ආරක්‍ෂා කරන්නද?
නාලක ගුණවර්ධන මේ මාධ්‍ය ශික්ෂණය ඇතිකිරීම ගැන හොඳ සංවිධිත අදහසක් ගේනවා. ඒ විශ්ලේෂණය සහ පැහැදිලි කිරීම එයාගෙ බ්ලොග් එකේ පවර් පොයින්ට් එකක් විදිහට තියෙනවා. මාධ්‍ය ගැන යම් නීති හෝ රීති සකස් කරද්දි ඉතාම වැදගත් වෙන සහ සිතා බැලිය යුතු කාරණා නාලක ඞීටේල් ඇතුව විස්තර කරනවා.
විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය හරහා පුරවැසි මාධ්‍ය කලාප විවෘත වෙලා තියෙන මේ වගේ අවධියක ප‍්‍රධාන ධාරවෙ ජනමාධ්‍ය වල අවශ්‍යතාවය ආයිමත් ප‍්‍රශ්න කරන්න ඕන එකක්. ජනතාව දැනුවත් කිරීම වෙනුවට මේ මාධ්‍ය හරහා සිද්ද වෙන්නෙ ජනතාව සීමා කිරීම වෙන්න පුළුවන්. පහුගිය අවුරුදු දහයක කාලයක පුරාම ජනමාධ්‍යවේදින් ඉටුකරපු කාර්යය හිතලා බලන්න විතරයි තියෙන්නෙ.
ඒ වගේම මේ මාධ්‍ය කොයිතරම් නූතනද කියන ප‍්‍රශ්නෙත් තියෙනවා. මේ වෙද්දි ටීවී බලනවා කියන්නෙම පරණ පරම්පරාවකට අයිතියි කියන තත්වයක්. දේශපාලන අතින් විතරක් නෙමෙයි සමලිංගික අයිතීන්, අපචාර වැළැක්වීම්, සමාජයේ රසවින්දනය වගේ සංස්කෘතික කලාප අතින් ගත්තත් මේ ජනමාධ්‍ය කරමින් ඉන්නෙ අතිශය පසුගාමී කටයුත්තක්. වෙන විදිහකට කිව්වොත් මැට්ටන් කරනවාට වඩා ජනතාවට ඒකෙන් සිද්ද වෙන සේවයක් නෑ.
මහින්ද තමන්ට අවශ්‍ය විදිහට මාධ්‍ය පාලනය කළේ පාර්ලිමේන්තුවට පනත් ගෙනල්ලා නෙමෙයි. උදේට දාන කෝල් එකෙන්. එතකොට තමන්ට නැතිවෙනවා කියලා නොදැණුන නිදහසක් මේ පණත නිසා නැති වෙයි කියල මාධ්‍ය වලට දැනෙන්නෙ ඇයි?
සමාජය ශිෂ්ට වීම, ශික්ෂණය වීම, සාධාරණ වීම කියන කාරණා වලට දේශපාලකයන් වගේම මාධ්‍ය අයිතිකාරයනුත් බයයි. ඒ අය තමන්ගේ බල සෙල්ලම කරගෙන යන්නෙ අවිචාරයේ මාළු බාමිනුයි. විචාරය, විනිවිදභාවය මාධ්‍යවලට කැඳවන කිසි නීතියකට ඒ අය කැමැත්තෙන් එක`ග වෙන එකක් නෑ.
මාධ්‍යවල අයිතිය සහ ඒ අයිතිකාරයන්ගෙ වෙනත් ව්‍යාපාර ආදිය ගැන විනිවිදභාවයක් මාධ්‍යවලට තියෙන්න ඕන. තමන්ගේ මතය, තමන් පෙනී ඉන්නා පක්ෂය ගැන ජනතාව රැුවටීමකින් තොරව දැනුවත් කිරීමේ වගකීමක් මාධ්‍යවලට තියෙන්න ඕන. ඒ වගේම මාධ්‍ය රැුවටීමෙන් නිදහස් වීමේ අයිතිය ජනතාවට තියෙන්නත් ඕන.
ඒක ආණ්ඩුවෙන් ගේන්න ඕන නීතියක් නෙමෙයි. මාධ්‍ය ශික්ෂණය කිරීමේ ඉල්ලීම් එන්න ඕන පුරවැසියන්ගෙ පැත්තෙන්. මාධ්‍ය මගින් මෙහෙයවෙන ජනතාවක් වෙනුවට ජනතාව මගින් මෙහෙයවෙන මාධ්‍යයක් ඇති කිරීමේ ව්‍යායාමයක් මේ මොහොතෙ අවශ්‍යයි.
මාධ්‍ය නිදහස වෙනුවට මාධ්‍ය වලින් නිදහස කියන එක ජනතාවගේ සටන් පාඨයක් වෙන්න ඕන.
-චින්තන ධර්මදාස




.jpg)








