Monday, May 23, 2016

ෆැන්ටසිය ගෙට ගමුද?


රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන් දුරස්ත වීමක්  ඕනවෙනවා. නැත්තං අපි හුස්ම ගන්න අමාරු තරමට ඒ ඉමෝෂනල් ගංවතුරෙ ගිලිලා යනවා.

ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන ගැඹුරු ආදරේකින් බැඳෙන්න පොළඹවන කෘතියක්. මට හිතෙන්නෙ එක විදිහකට මේ ෆිල්ම් එක නරඹන සුවහසක් කසාද බැම්මෙන් බැඳුනු ලාංකිකයන්ව අප‍්‍රකාශිත මානසික බරකින් නිදහස් කරනවා.

බූපති නලින් නිතර චිත‍්‍රපටි ගැන කතා කරන කොට කියන ‘වැඩබිමක්’ කතාව මෙතනට ගොඩක් ගැලපෙනවා. ඇගේ ඇස අග කියන්නෙ ගොඩක් සමාජ-සංස්කෘතික- දේශපාලන සංවාදයන්ට හොඳ වැඩබිමක්. මේකෙ කෑලි කෑලි වෙනස් වෙනස් විෂයන් ඇතුලෙ විවිධාකාර සාකච්චා බවට පත් කරන්න පුළුවන්. හඳයා අලූත් අදහස් බිමක් යෝජනා කරනවා.

මේ ෆිල්ම් එක ඉසබෙල් කෝක්සෙට් (ස්පාඤ්ඤ නිසා හ`ඩ වරදින්න පුළුවන්* කියන අධ්‍යක්‍ෂවරියගෙ ‘එලිජි’ ෆිල්ම් එකේ කොපියක් කියල සේපාල් චෝදනාවක් ගෙනාවා. මේ චිත‍්‍රපටි දෙකම බලපු කෙනෙක් දන්නවා ඒක කිසි තේරුමක් නැති කතාවක් වග. රිලේටඞ් ෆිල්ම් එකක් කියන අදහසට මාත් එක`ගයි. ඒත් ඇමරිකානු නවකතාකාරයෙක් වන ෆිලිප් රොත්ගෙ ‘ඩයින්ග් ඇනිමල්’ පොත උඩ නිර්මාණය වෙන එලිජි ෆිල්ම් එකයි ඇගේ ඇස අගයි කියන්නෙ වෙනස්ම කතා දෙකක්. තේමා දෙකක් සහ සිනමාවන් දෙකක්.

ඒත් සේපාල් මේ විදිහට කරන දමා ගැසීමක් මට නරක විදිහට පේන්නෙ නෑ. ඒක එක්තරා විදිහකට දියාරු  ඕලාරිකා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරය ඉන්ටෙන්ස් කරනවා. ප‍්‍රතිවාදයක් නිර්මාණය කරනවා. අනෙක් අතට සංවාදය පුළුල් කරනවා. ඇගේ ඇස අග බලපු අයට එලිජිත් බලන්න පොළඹවනවා.

ෆිලිප් රොත් එයාගෙ පසුකාලීන පොත් ඔක්කොම ලියන්නෙ ඇමරිකාව මුහුණ දෙන සමාජ ගැටළුවක් පාදක කරගෙන. ඒ මහළු වයස, රෝගී වීම සහ දුර්වලවීම කියන තත්වය. රොත් එකදිගට මේ විදිහෙ ඉන්ටලෙක්චුවල් මහල්ලොත් එක්ක තරුණියන් නිදිවදින කතාම ලියලා එපා වෙලා කියලත් සමහර විචාරකයො බනිනවා.

ඒ කොහොම වුණත් එලිජි කියන්නෙ පුද්ගලික මහළු බව සහ මරණය සම්බන්ද කතාවක්. ඒ මහළුබවට ආශාව සහ තාරුණ්‍යය මුණගැසෙන තැන අභියෝගය ගැන කතාවක්. ඒක ආත්මීය ගමනක්.

ඒත් හඳයා කරන්නෙ සමාජ දේශපාලනික වැඩක්. සමානරූපී චරිත පාවිච්චි කළ පමණින් චිත‍්‍රපටියක් කොපි කළා කියන එක චිත‍්‍රපටිය පේන්නෙ නෑ කියන එකට සමාන තත්වයක්. අනෙක් අතට කවදාවත් කිසි කෙනෙකුට කිසිම දෙයක් කොපි කරන්න බෑ කියන එකයි මගේ අදහස. අපි කොපි කරන්න උත්සාහ කරන සෑම තැනකදිම අපේ දේකුත් එතනට එකතු වෙනවා. අපි දකින්නෙ අපිට පේන දේ. ඒක හැමෝටම පේන දේ නෙමෙයි. උදා විදිහට ඇගේ ඇස අග කියල මං දකින්නෙ හඳයා නිර්මාණය කරපු දේම නෙමෙයි.

හඳයා ඇගේ ඇස අග හරහා මධ්‍යම පාංතික විවාහ සංස්තාවේ පැවැත්ම ගැන කතා කරනවා. එක ඌනිත ආකාරයකට කියෙව්වොත් යතාර්ථය සහ ෆැන්ටසිය මුනගැහෙන තැනක් ලකුණු කරනවා.

යතාර්ථය බෝරිං. හිස්. ඒකෙ ගන්න කිසි දෙයක් නෑ. ඒකෙ පැවැත්මට ෆැන්ටසියක් ඉල්ලා සිටිනවා. ඒත් ෆැන්ටසියේ දිශාව වෙන්නෙ (ආශාව වෙන්නෙ) යතාර්ථයක් බවට පත්වීම. ඒත් යතාර්ථයක් බවට පත්වෙන මොහොතේම ඒක ෆැන්ටසියක් නොවී යනවා. ලංකාවෙ ගැහැණියගෙ මේ අතර ගතවෙන ජීවිතය මෙච්චර කාලයක් කළමනාකරණය කළේ පන්සල.

පන්සලේදී ආශාව කළමනාකරනය වෙන හැටි තමයි ඇගේ අස අග ෆිල්ම් එකේ තියෙන කූට ප‍්‍රාප්තිය වගේම ලස්සනම තැන. රියැලිටිය විසින් ෆැන්ටසියට ගහන්න පහන් කනුව පිටින් උස්සලා ගන්න එක ක්ලැසික්.
ඒත් තවදුරටත් ලාංකේය මධ්‍යම පංතිය මේ විදිහට එලිමහනෙ හෙළුවෙන් නටන්න ලෑස්තිද? පන්සල වෙනුවට මේ එක්වීම නැවත ගෙදරට ගේන්න හඳයා යෝජනා කරනවා. ඒ කියන්නෙ කසාදයේ ආකෘතිය මාරු කිරීමක්. වඩා නිදහස්, සවිඥාණක සම්බන්ධතාවයක් හැටියට මිසක් තවදුරටත් මේ සංස්ථාව පවත්වාගෙන යාමේ ව්‍යාජය මතු කිරීමක් ඇගේ ඇස අගින් සිද්ද වෙනවා.

හඳගමව මං දකින්නෙ ලංකාවෙ පරාරෝපණයේ සිනමාකරුවා විදිහට. ඒක එයාගෙ ටෙලිනාට්‍ය වල පටන්ම මං ආශක්ත කාරණයක්. ඇල්බෙයා කැමූට කැමති  ඕන කෙනෙක් හඳයාගේ මේ පිටස්තර බව එක්ක අනුරාගයෙන් බැඳෙනවා. පවතින සිනමාවෙන් හඳයාගෙ සිනමාව කියවන්න බෑ. ඒකට හේතුව හඳයා යෝජනා කරන්නෙම වෙනත් සිනමාවක්.

ඒක සිනමාව කියන විෂය සම්බන්ධ ඊස්තටික් වලට වග කියන්නෙ නෑ. ඒ වෙනුවට හඳයා දේශපාලනික අදහසක් වෙනුවෙන් සිනමාව කියන මීඩියම් එක පාවිච්චි කරනවා. එක විදිහකට ඒක ප්‍රොපගැන්ඩා වැඩක්. හඳයා අනිත් ගොඩක් චිත‍්‍රපටකරුවො වගේ භාවමය සෞන්දර්යෙන් දියවී යන තැනක තමන්ගෙ කෘතිය අවසන් කරන්නෙ නෑ (එලිජි ෆිල්ම් එක වගේ). ඒ වෙනුවට එයා දිශානතියක් පෙන්නනවා. විසඳුමක් යෝජනා කරනවා. ඒක හින්ද හඳයාගෙ ෆිල්ම් බලලා ඉවර වෙනකොට අර මනුස්ස ආත්මය පිලිබඳ කාලකණ්ණි මුස්පේන්තු ගතිය ඉතුරු වෙන්නෙ නෑ.

සිනමාව පැත්තෙ ඉඳලා බැලූවොත් හඳයාට සමාන වෙන තවත් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මට මතක් වෙන්නෙ කිම්-කිඩුක්. ඒත් කතා තේමාව සහ සිනමා උවමනාව පැත්තෙන් නෙමෙයි. රූප ගොඩනැංවීමේ වින්‍යාසය පැත්තෙන්. යතාර්ථයෙන් පිට රූපකමය අර්තයෙන් චරිත ගොඩනැංවීම පැත්තෙන්. ඒ වගේම හඳයාගේ සිනමාවෙ දැනෙන පරාරෝපණයත් මේ නැගෙනහිර ආසියා කලාපයට ළ`ගයි. මේ ඒකෙ අපේ මොඞ්ල් එක.

ඇගේ ඇස අග චරිත කිසිම යතාර්ථවාදී පසුතලයක් උඩ හැසිරෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ වෙනුවට ලාංකේය සංඥාර්ථවේදයන් අඩංගු ඇබ්ස්ට‍්‍රෑක්ට් චරිත කීපයක් හඳයා නිර්මාණය කරනවා. උදා විදිහට මේ චිත‍්‍රපටියෙ අනුරාගය. නැත්තං කැම්පස් යන කෙල්ල (ෆිල්ම් එකේ කිසි චරිතයක් හඳුන්වන්න නමක් ගමක් නෑ. මේ රූපකමය බව තේරුම් ගන්න ඒකමත් හොඳ තැනක්) මේ කෙල්ල කොහේ හරි ප‍්‍රාදේශීය පළාතකින් කැම්පස් ආපු ලිහලා දාපු එකියක් වෙන අතරෙම ෆැන්ටසියේ මනුස්ස රූපයද වෙනවා. (මේ චරිතය මතු කරන්න එයා අඳින පළඳින විදිහ හොඳට ගැලපිලා තිබුණ) මේ ගති දෙක චරිතය ඇතුලෙ සියුම්ව ගොඩනගන සම්බන්දයක් කරන්න හඳයා මහන්සි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අසම්බන්ධිත වියුක්ත බවම ඒකෙ ආර්ට් එක කරනවා.

මේ වයස්ගත මිඞ්ල් ක්ලාස් පිරිමියාගෙ ෆැන්ටසිය වෙන්නෙ මේ ගමේ කෙල්ල. එහෙම නැතුව නාගරික පොෂ් තරුණිය නෙමෙයි. මේ පිරිමියා බීඞීඑස්එම් ඇඳුම් අන්දවා පවා රස විඳින්න කැමති වෙන්නෙ නැවත ගමේ ෆැන්ටසිය.

හඳයා සමහර දේවල් ඉතා හොඳට කරනවා. යතාර්ථය- ෆැන්ටසිය සහ අනාගතය විදිහට මේ චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිත කඩා ගත්තොත් අනාගතය විදිහට ඉන්නෙ සඳලි ඈෂ් නිරූපනය කරන ටීනේජ් දුව. කිසිම තේරුමක් නැති කේන්ති යාම් සහ තමන්ට තමන්වම නොතේරී යාම නිසා ඇතිවෙන නව යොවුන් වියවුල හඳයා මේ චරිතෙ ඇතුලෙන් ගොඩක් ලස්සනට එලියට ගන්නවා. ලංකාවෙ සිනමාවෙ ටීනේජ් කැරැක්ටර් එකක් සමාජ මානසික පදනමකින් නිර්මාණය වුණාමද කොහෙද. ඒ වගේම වයස්ගත විවාහකයන්ගේ ඇඳ. ඒ ඇඳ මේ තරම් ළ`ගට ගෙනාපු කෘතියක් මට මතක් වෙන්නෙ නෑ. නිවෙමින් යන ආශාවේ උණුසුමවත් රඳවා ගන්නට මේ ඇඳ උඩ ගැහැනිය දරන තේරුමක් නැති තැත ඇ`ගට දැනෙනවා. පිටස්තරයෙක් විදිහට දකින නිසාමත් චරිත ඇතුලෙන් ආවොත් නොදැනෙන, කල්චර් එක ඇතුලෙ ජෙනරලයිස් වෙලා යන්න ඉඩ තියෙන, මේ සියුම් තැන් හඳයට අහුවෙනවා.

ඇගේ ඇස අග ඇතුලෙ කෑම මේසෙ නියම අනියම් පේ‍්‍රමයන් සහ දියණිය එකට ඉඳගෙන කෑම ගනිද්දි නියම් බිරිඳ ජාතක පොතෙන් කතාවක් මතක් කරනවා. ඒ සද්දන්ත ජාතකය. අපේ ශාසන සංස්කෘතික අධිකාරිය විසින් අපිට නොදන්වාම බැහැර කරන බෞද්ද ජනශ‍්‍රැති උරුමයේ කොටසක් හඳයා මේසෙට ගේනවා.

(ඡ)සද්දන්ත ජාතකයෙ එන්නෙ අපේ බෝසතුන් පෙර ආත්මයක හොඳම පෙඩිග‍්‍රියකින් එන ඇත් රජෙක් වෙලා ඉපදිලා හිටපු කතාවක්. මේ ඇතා ජීවත් වෙන්නෙ බිරින්දෑවරු (ඇතින්නියො) දෙන්නෙක් එක්ක. එක දවසක් ග`ගක් ගාව සල් ගහක් යට මේ තුන් දෙනා එකට ආදරෙන් වෙළිලා ඉන්නකොට ඇතා ලව් එක වැඩිකමට සල් ගහ හොල්ලනවා. මෙතනදි එක ඇතින්නකගෙ පිටට සල් මල් ටික වැටෙද්දි අනිත් ඇතින්නගෙ පිටට කෝටුබෝටු සහ කූඹි ටික වැටෙනවා.

මේ තරහ හිතේ තියාගෙන මැරෙන මේ ඇතින්න වෙන ආත්මයක ඉපදිලා රජ බිසවක් වෙනවා. ඒත් හිතේ තියෙන තරහ ඉවර නෑ. දඩයක්කාරයන් කැඳවලා අර ඇතාව හොයාගෙන දළ දෙක ගේන්න නියෝග කරනවා. අවුරුදු හතකුත් මාස හතකුත් දවස් හතකුත් ගිය තැන දඩයක්කාරයෙක් මේ ඇතාව හොයාගෙන උගුල් අටවලා විෂ ඊතල විදලා මෙල්ල කර ගන්නවා. ඒත් ඇතාගෙ දළ කපන්න දඩයක්කාරයාගෙ හයිය මදි. ඇතා නැගිට ගන්නවා. ඒත් දඩයක්කාරයා ගැන අනුකම්පාවෙන් ඌ නොමරා දළ දෙක ඉල්ලපු කෙනා ගැන අහගන්නවා.

ඊට පස්සෙ ඇතාට දුක හිතිලා එයාම දළ දෙක කපලා දඩයක්කාරයට දෙනවා. දඩයක්කාරයා විසින් මේ දළ ගෙනැත් බිසව අතට දුන් සැණින් එයාට පරණ පේ‍්‍රමය සිහිපත් වෙනවා. ඒ ගැන විස්සෝපයෙන් පපුව පැළිලා එතනම මැරුණ කියලයි කියන්නෙ.

ඇත්තටම මේ ජාතක කතාව තුන්කොන් පේ‍්‍රමය ගැන හිතාගන්නවත් බැරි තරම් ගැඹුරු කතාවක් කියනවා. ඒ කතාවම හඳයා ඇගේ ඇස අගින් මොඩර්න් ජාතක කතාවක් විදිහට ගේනවා.

ඇගේ ඇස අග චිත‍්‍රපටියෙ කැමරාව ගැන මට සංවාද කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. උදා විදිහ ස්වර්ණා කාමරයට එනකොට නිතර පාවිච්චි වෙන ට‍්‍රැක්බැක් එක (හෑන්ඞ් හෙල්ඞ්). එතන වෙන කිසිම තැනකට වඩා වෙනස් විදිහට මේ චරිතෙ විතරක් අභ්‍යන්තරය කැමරාවෙන් දනවන්න යනවා වගේ. එකපැත්තකින් මේ වගේ සිනමාවකදි වැදගත් වෙන්නෙ කොයිතරම් සරලව සහ ඍජුව (අලංකාරවලින් තොරව) සිදුවීම කැප්චර් කරනවද කියන එක. ඒ අතරෙ බෙඞ්ෂීට් එක ඇතුලෙන් රිංගලා ඒ ඇතුලෙ හැංගුන ෆැන්ටසියෙ චමත්කාරය අල්ලන්න ගත්ත උත්සාහය වගේ තැන් ගොඩක් අලූත්.

සංගීතය චිටීට බාර දීපු එකත් හඳයාගෙ පරාරෝපිත මූඞ් එකට ලොකු සාධාරණයක් කරනවා. කිසිම ලාංකේය කියන හැඩයකට නොගිහින් හැ`ගීම විතරක් අල්ලගන්නත්, චිත‍්‍රපටයෙ රූපකමය අර්තය පවත්වාගෙන යන්නත් චිටීගෙ මියුසික් වැඩකරනවා. විශේෂයෙන්ම ‘ඇහැරෙන්න’ කියන තීම් සෝන්ග් එක චිත‍්‍රපටයෙ අවසානයත් එක්ක මයිල් කෙලින් වෙන අත්දැකීමක් ඉතිරි කරනවා.

චිටී අතින් නිර්මාණය වුණු තේමා වාදනයත් ෆිල්ම් එකට අවශ්‍ය තුන්වෙනි ලේයරය නිර්මාණය කරනවා. ඒත් සමහර තැන්වලදි චිටී අතින් සිද්ධිය විස්තර කෙරෙන විදිහෙ සංගීත ඛණ්ඩ නිර්මාණය වෙනවා කියල මට හිතෙනවා. ඒ තැන්වලදි නිර්මාණයට සම්බන්ද නමුත් එයින් වියුක්ත භාවිතාවක් විදිහට සංගීතය කරන වැඩෙන් එලියට විසිවෙනවා. සංගීතය සිදුවීමෙ කොටසක් වෙනවා.
ඒත් චිටී, හිතුවක්කාර වැඩවලට හොඳ හොයා ගැනීමක්.

ෆිල්ම් එකේ එක තැනක වයසක ප්‍රොෆෙසර් ගෙදර තනියම ඉතුරු වෙනවා. කසාද පේ‍්‍රමයත් නැති, අනියම් පේ‍්‍රමයත් නැති, වගකීම් රහිත තමන් විතරක් වුණු, විවාහකයෙකුට අන්තිම විරල අවස්ථාවක්. එතනදි එයා තමන්ගෙ උමතුව මුදාහරිනවා. තමන් වෙත සමාජය විසින් පවරා දුන් සියලූ අනන්‍යතාවයන්ගෙන් මිදී නිදහසේ පුපුරා යනවා. ඒ වෙලාවෙදි දුවගෙ හෙඞ් ෆෝන් එකෙන් රෙඞ් සර්කිට් බෑන්ඞ් එකේ ( චිටී සින්ග් කරන) සිංදුවක් ඇහෙනවා.‘කැනොනයිස් යුර් සින්ස්’ (ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවමු). ඒක පට්ට.

‘ජීවිතය සුරංගනා කතාවක් නොවේ
එය අමිහිරි යතාර්ථයක්ද නොවේ
ඒ ඔබට පේන හැටියයි...
පොලොව හරහා යන
ලේ වැකි අකුණු පහරක් කියන්නේ
ලෝකය මංමුලා වුණු වග නොවේ..

මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න..
හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ
පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ...

මේ ඒ සිංදුවෙ වැරදි සහිත සරල තේරුම සිංහලෙන්. එක විදිහකට ඒක ෆිල්ම් එක අන්තිමට ගේන තීම් සෝන්ග් එකත් එක්කත් බද්ධයි. ඇහැරෙන්න සිංදුව අහපු ෆිල්ම් එක නොබලපු සමහර මගේ යාලූවො ඇහුවා ‘ඔය කියන්නෙ ෆැන්ටසියෙන් ඇහැරෙන්න’ නේද කියල. ඒත් ඒ කියන්නෙ යතාර්ථයෙන් ඇහැරෙන්න වග කිව්වම ගොඩක් අය අන්දමන්ද වුණා.

හඳයා විප්ලවීය පියවරක් තියන්නෙ එතන. සාමාන්‍ය හුරුපුරුදු ආපහු ගමන වෙනුවට ඇගේ ඇස අගින් යෝජනා කරන්නෙ යතාර්ථය වෙනස් කළ යුතුයි කියන එක. ෆැන්ටසියට ඉඩ දිය යුතුයි කියන එක. අවුරුදු දහයකට පස්සෙ ලාංකේය  ඕලාරික, ළදරු මානසික සිනමාවේ සිතියම එයා වෙනස් කරනවා.

මේක වැඩිහිටි කතාවක්. ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ප‍්‍රකාශ වෙන්න අයිතියක් තියෙනවා. හඳයා ආයිමත් ලංකාවෙ වැඩිහිටියන්ට ඇඳ උඩට කතා කරනවා.

පන්සලට වෙනුවට ඇඳ උඩට එන්න.




- චින්තන ධර්මදාස










Thursday, May 19, 2016

සම්මානයක් කියන්නෙ ඔක්සිජන් ටිකක්


මේ පාර දෙරණ සම්මාන උළෙලට ගියෙ යම්දෝ නොයම්දෝ කියල දෙපැත්තට ඇද ඇද. ඒකට හේතු වුණෙම ඉවර වෙලා ආපහු එනකොට දැනෙන කාලකණ්ණි හිස්කම. ඒක සම්මාන හින්දම ඇතිවෙන එකක් නෙමෙයි. ප‍්‍රසාංගිකත්වය පැත්තෙන් අපේ තියෙන දුප්පත්කම, තේරුමක් නැති ආටක නාටක හින්ද, පදනමක් නැති ඇගයීම් හින්ද දැනෙන තෙහෙට්ටුවක්. 

මේක දෙරණ සම්මාන උළෙලට විශේෂ වුණු තත්වයක් නෙමෙයි. ඒත් මේ පාර ඒක වෙනස්. සුපුරුදු විකාරසහගත බව වෙනුවට සැබෑ උත්කර්ෂවත් බව පැත්තට ලොකු අඩියක් තියල තිබුණ. 

එච්චර තාර්කික කතාවක් නොවුණත් මහින්දගෙ කාලෙ අපේ ආර්ට්වල තිබ්බ ගොබ්බ ගතිය වෙනුවට දැන් හැම ආර්ට් සම්බන්ද වැඩකම පාහේ පොඩි ගැම්මක් තියෙනවා.  කොයිතරම් අවතක්සේරු කළත් මං ජනවාරි 08 පුම්බන්නෙ ඒකයි. හොරා පොලිස් සෙල්ලම්, බලමාරු, පිල්මාරු, ඞීල් කොයිතරම් සමාන විදිහට සිද්ද වුණත් සංස්කෘතිය පැත්තෙන් අසමාන ඉඩක් ඇරුණා. වෙනස් කතිකා ඇතිවෙන්න ගත්තා. ප‍්‍රකාශන කලඑලි බැස්සා. ආණ්ඩු  ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. ඒත් සංස්කෘතියක් මාරු කරනවා කියන්නෙ ටිකක් බර වැඩක්.

ජගා එක්ක සාරංග උත්සවය මෙහෙයවන එක හොඳට කළා. හැමතිස්සෙම වගේ ජෙන්ඩර් බැලන්ස් කරන්න ස්ත‍්‍රී චරිතෙකුත් පාවිච්චි කරන පුරුද්දක් තිබුණත් ගෑණුන්ට මේ වැඬේ හරියට කරන්න බෑ කියන එකයි මගේ හැ`ගීම. ඒ වෙනුවට සිනමාව ගැන යම් හැ`ගීමක් ඇති චරිත දෙකකට වැඬේ බාර දීම නිසා දැනීමක් ඇති තැනක වැඬේ සිද්ද වුණා. 

සම්මාන දෙන්න එන චරිත එක්ක වුනත් හිනානොයන ජෝක් කරනවා වෙනුවට සිනමා ඉතිහාසය සහ මතකයන් ගැන රහක් තියෙන දෙබසක් දෙකක් හුවමාරු වුණා. දිනේෂ් ප‍්‍රියසාද් එක්ක සිනමාවෙ නිළියන් විසින් පිරිමි චරිත ර`ගපෑ අවස්ථා ගැන ඇතිවුණ කතාබහ එහෙම මරු. එතනදි ප‍්‍රියසාද් අතින් තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටිය මගඇරණ. අනෝමා ජිනාදරී ඉතාමත් අරගලකාරී, මතභේදාත්මක තැනක ගෑණු පිරිමි චරිත මාරුව කරන චිත‍්‍රපටියක් ඒක.

පොදුවෙ එතන සිද්ද වුණු හැම තෝරා ගැනීමක් එක්කම ලැජ්ජ නැතුව හිටගන්න පුළුවන් තත්වයක් තිබුණ. අපිට වෙනස් පුද්ගලික අදහසක් තිබුණා වුණත් ඒ නිර්දේශයන්වලට පදනමක් තිබුණ. ගොඩක් හොඳ චිත‍්‍රපට තමයි එකිනෙකා එක්ක තරග කරමින් හිටියෙ.  පහුගිය කාලයක් පුරාම සම්මානවලට නිර්දේශවෙන චිත‍්‍රපටි දිහා බැලූවම දැණුනෙ කණස්සල්ලක් හා සබැඳි ඔක්කාරයක්. ඒත් දැන් නැවත බලාපොරොත්තුවක් නිර්මාණය වෙමින් ඇති වග පැහැදිලියි.

දැනෙනසුළු අවුලක් තිබුනෙ මහරජ ගැමුණුට හොඳම කලා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලැබීම. එතන තිබුනෙ ආර්ට් වලට වඩා සීජී වැඩ (කොම්පියුටර් ග‍්‍රැෆික්ස්) .මතක හැටියට දවස් 90කින් දර්ශන දෙසිය ගානක ග‍්‍රැෆික් හදනවා මේ ටීම් එක. එක පැත්තකින් උන්ට සතුටු වෙන්න පුළුවන් ඒවා ග‍්‍රැෆික් කියල සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයකටවත් හොයාගන්න බැරි තරම් සජීවී විදිහට කළා කියල. ඒත් ඒ වගේ මහන්සියක්, විශේෂයෙන්ම අපේ සිනමාවෙ අලූතෙන් නිර්මාණය වෙමින් එන අංශයක් දිරි ගැන්වීමක් නොලබා මගහැරීම දුකට කරුණක්.

මේ ඇගයීම් අතරට සීජී හැකියාවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානයකුත් අනිවාර්යෙන්ම එන්න  ඕන.
මේ සම්මාන උළෙලෙ සිනමාව ගැන සංවේදී  ඕනම කෙනෙකුගේ ඇ`ග හිරිවැටෙන සම්මාන දෙකක් දුන්න. එකක් ස්වර්ණාට දීපු ලයිෆ් ටයිම් අචීව්මන්ට් එක. ඒ වෙනුවෙන් එතනදි කියැවුණු හේතු පාඨයත් මරු. 

ස්වර්ණා ඇත්තෙන්ම තිරය උඩත් තිරෙන් පිටිපස්සෙත් ස්ත‍්‍රීත්වය වෙනුවෙන් ගහපු කැරැුල්ල ලංකාවෙ තක්සේරු වුනේ අඩුවෙන්. ගැහැණිය වෙනුවෙන් නිර්මාණය වෙලා තිබුණු හතරැුස් කොටුව එහාමෙහා කරන්න ස්වර්ණා පිරිමින්ගෙ ඇස්වලට ඉඳිකටුවලින් ඇන්නා. අන්තිමට එයා නැවත මගේ ලොකුම ජයග‍්‍රහනය කියල තමන්ගෙ දුව ආඩම්බරෙන් බදාගනිද්දි මං හිතන්නෙ ඒ ප‍්‍රකාශනය පරිපූර්ණ වෙනවා. 
‘මට  ඕන වුනේ තරුවක් වෙන්න නෙමෙයි. නිළියක් වෙන්න’

අපේ සිනමාවෙ ස්වර්ණා වගේ නිළියක් නිර්මාණය වුනේ කොහොමද? මං තාම කල්පනා කරනවා.
ඊළ`ග එක හොඳම නිළිය විදිහට කෞෂල්‍යාට සම්මාන දීම. ඒ සත්‍යජිත්ගෙ බොර දිය පොකුනෙ ගෝතමී විදිහට.  ඒ චිත‍්‍රපටය හරහා සත්‍යා කෞෂල්‍යා එක්ක ගොඩනගාගෙන තිබුණු මනුස්ස සම්බන්දය හරිම ගැඹුරු එකක්. මට හිතෙන්නෙ සත්‍යා චිත‍්‍රපටියෙන් එලියට ගිහින් තමන් විසින් තෝරාගන්නා නිළියගෙ ජීවිතය අධ්‍යක්‍ෂණය කරන්න ගන්නවා. ඒ හරහා ඒ නිළියට ප‍්‍රකාශ වෙන්න, එලිදරව් වෙන්න, නිදහස් වෙන්න ඉඩ විවෘත කරනවා. ඒක එක විදිහකින් සායනික වැඩක්. එහෙම ගැඹුරු අධ්‍යාත්මික- ජීවිත භාවිතාවක ප‍්‍රතිඵලයක් බොරදිය පොකුණ.

අවුරුදු පහලොවකට පස්සෙ බොර දිය පොකුණ ඇගයීමට ලක්වෙනවා. ඒ ඇගයීම බාරගන්නවත් වේදිකාවට ගොඩනොවෙන්න තරමට සත්‍යා හිතුවක්කාර වෙනවා. 

කෞෂල්‍යා කියන්නෙ ලංකාවෙ නිළියක් කිව්වම තිබුන සායම් රාමුව වෙනස් කරපු නිළිය. පොත්තෙ ලස්සන වෙනුවට අභ්‍යන්තරයෙ හැ`ගීම් දැනීම් අතර ලස්සන අවලස්සන භේදයක් නැතුව පීනපු නිළිය. ර`ගපෑමෙන් චරිතය ජයගන්න කරන්න වුණු සටනට වඩා ලොකු සටනක් කෞෂි සම්මත නිළි ‘ලස්සනට’ එරෙහිව කරනවා. ඇත්තටම ඒ සම්මාන දෙක දෙද්දි පපුවට මොකක්ද දැනෙනවා.

හෝ ගාන පොකුණ ජනප‍්‍රියම චිත‍්‍රපටියත් හොඳම චිත‍්‍රපටියත් විදිහට සම්මාන ගන්නවා. වාණිජ චිත‍්‍රපටි කියල වෙනම බෙදීමක් ඇතුව ඉබාගාතෙ බාල චිත‍්‍රපටි විකුණමින් එන ටෙ‍්‍රන්ඞ් එක මෙතනදි අභියෝග වෙනවා. රහ ගුණ ඇති සිනමාවකට බැරිද හොඳට විකිණෙන්න? සෝමරත්නට පස්සෙ ෆර්ඩි ඒ සත්තු එක්ක කතා කරන රහස හොයාගන්නවා.

ෆර්ඩිගේ චිත‍්‍රපටියට හොඳම සංගීතයටත් සම්මාන ලැබෙනවා. ඒ සංගීතය කරපු දිනේෂ්  ළමා චිත‍්‍රපටියකට ඉතා හොඳ සොයා ගැනීමක්. එයා මේ සංගීතය නිර්මාණය කරන්නෙ ගෙම්බො මීයො එක්ක කතා කරලා. හරිම ලස්සන පරිකල්පනයක්නෙ කියලා හිතාගෙන මාත් අහන් හිටියා. ඊට පස්සෙ එයා ඉල්ලීමක් කරනවා. මස්මාළු කන එක නවත්තන්න කියල. ඒ ගිය ආත්මවල නෑදෑයො වෙලා හිටපු අය මේ ආත්මෙ මාළුවෙක් කුකුලෙක් හරකෙක් වෙලා මේසෙට එන්න පුළුවන් හින්ද.  අනිවාර්යෙන්ම මේ ළමා මනස ළමයින් වෙනුවෙන් ගොඩක් හොඳ වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒත් වැඩිහිටියන් අතින් නම් අතවරයට ලක්වෙන්න ඉඩ තියෙනවා. බුද්දාගම වටේ අටවගත්ත මනස්ගාත සාසන කල්ට් විසින් මේ රටේ දක්ෂතා තියෙන තරුණ පිරිස් කොයිතරම් කාබාසිනියා කරන්න පුළුවන්ද කියන එකට මේක අවාසනාවන්ත උදාහරණයක්.

හොඳම චිත‍්‍රපටය විදිහට බොරදිය පොකුණ සහ හෝ ගාන පොකුණ කියන දෙක අතරින් මගේ පුද්ගලික කැමැත්ත වෙන්නෙ බොර දිය පොකුණ. ඒක කිසිසේත්ම හෝ ගාන පොකුණට ලැබුණු සම්මානය අවතක්සේරු කිරීමක් නෙමෙයි. ඒත් බොරදිය පොකුණ කියන්නෙ ලංකාවෙ සිනමාවෙ ඉතා කලාතුරකින් බිහිවන ලක්ෂණ ගණනාවක් සහිත කෘතියක්. ඒ වියමන වගේම වියමන හා ජීවිතය අතර සම්බන්දයත් ගොඩක් පළල්. ඒ වගේම සිනමා රීතීන්, ව්‍යාකරණ නොතකා යමින් ජීවිතේ අවංක ආත්මීය මොහොත විතරක් කැමරාවට අල්ලා ගැනීමේ දුෂ්කර පිළිවෙතින් පොහොසත්. අවුරුදු පහලොවක කාලයක් පුරා තිරයක ඉඩක් වෙනුවෙන් සටන් වැදුනු සිනමා කෘතියක් හැටියට ඒක සිනමාකරුවෙක් සතු විය යුතු දරාගැනීමේ හැකියාව ගැන ප‍්‍රකාශනයක්.

ජැක්සන් හොඳම නළුවා වීම, මහේන්ද්‍ර විකටයා වීම සහ කමල් දුෂ්ටයා වීම ගැන එක එක අදහස් වලින් එෆ්බී එකේ පෝස්ට් හැදුන. ඒත් මට අනුව ඒක ඉතා හොඳ විනිශ්චයක්. විශේෂයෙන්ම ජැක්සන්ට හොඳම නළුවා සම්මානය හිමිවීමම ලොකු අයිරනියක්. ජැක්සන්ට ඒක හිමිවෙන්නෙ එයා හිට්ලර් විදිහට කරන රගපෑමට. හිට්ලර්ට ර`ගපාලා ඇඩ‍්‍රස් නැතිවෙන ජැක්සන් ආයිමත් පළි`ගු මැනිකෙ විජයපාල වගේ උඩු රැවුල තියලා බුරුසු කොන්ඩෙත් එක්ක ස්ටේජ් නගිද්දි ආයමත් පරණ නළුවා ඉපදුනා වගේ සතුටක් දැණුන. ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරිගෙන් උදව් නොගෙන අවුරුදු දහයක් ආපස්සට කාලතරණය කරන්න. ඔයාට මගඇරුණු නළුවා තාම අතරමං වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. 

සම්මාන ගන්න ස්ටේජ් නැගපු හැමෝම සිනමාව ගැන එකම කතාවක් ආපහු ආපහු කිව්වා. සමහර වෙලාවට මේක ලංකාවෙ වාත රෝගයක්. එකෙක් නැගලා සිංදුවක් කිව්වම ඔක්කොම ඒ සිංදුවම බැරි නම් ඒ ළ`ගින් යන එකක් හරි ගහන එක. 

ඒ ගොල්ලො කතා කළේ පෙන්නගන්න බැරුව කොම්පියුටර් ඇතුලෙ හිරවෙච්ච චිත‍්‍රපටි ගැන. ඒවා පෙන්නන්න තිරයක් නැතිකම ගැන. සිනමාවෙ අනාගතය ගැන. මේ කතා ගොඩක් බොරු හැ`ගුම්බර වචන වෙන්න පුළුවන්. ඒත් ඒ කතා නිසා මේ උළෙල සිනමාව ගැන ස්ටේට්මන්ට් එකක් වුණා. සමහර වෙලාවට ඒ ඒවා එලියට ආපු කාලඅවකාශය වෙන්න පුළුවන්.  

ඉස්සරහට එන ඩිජිටල් දිගුවත් එක්ක මේ මහා සිනමාව අර්බුදයට යනවා. මේ මහළු පෙම්වතිය මිය යනවා. අපිට සිද්ද වෙනවා අයාලේ යන්න. ගණිකාවන් එක්ක නිදියන්න. අලූතෙන් ශෘංගාරය නිර්මාණය කරන්න. ඒ රමණය මොන විදිහෙ තිරයක් උඩ සිද්ද වෙයිද කියන එක අවිනිශ්චිතයි. ඒත් මේ සිහිනයෙන් ඇහැරෙන්න වෙනවා සත්තයි. 

ඒ නොස්තැල්ජියාවෙ ඇත්තටම ආතල් එකක් තියෙනවා.

කමල් හොඳම දුෂ්ටයා විදිහට සම්මාන ගනිමින් කරපු කතාවෙදි එක වැදගත් කාරණයක් මතු කළා. ඒ අපේ සිනමාවට බිස්නස් ප්ලෑන් එකක්  ඕන කියල. පිටකොටුවෙ හාල් කඩ වගේ් සිනමාව කරපු කාලෙ ඉවර වෙමින් එනවා. ඉන්ඩස්ටි‍්‍ර එකක් විදිහට හිතන්න තාක්ෂණය හැමෝටම බලකරමින් ඉන්නවා. 

ටු බී  ඕර් නොට් ටු බී...

දෙරණ හතරවෙනි සිනමා සම්මාන උළෙල දැනුවත්ව හෝ නොදැනුවත්ව පොසිෂන් වෙන්නෙ ටයිටැනික් නැව අයිස් කන්දෙ හැපෙන තැන. 

ඒක රොමාන්තික අවසානයක් වෙයි. වේදනාව අඩු මරණයක් වෙයි. අලූත් උපතක තිඹිරිගෙයක් වෙයි.

-චින්තන ධර්මදාස

Tuesday, May 10, 2016

ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි


මේ දවස්වල කැම්පස්වල රැග් ගැන කතාවක් ලොකුවට පැතිරීගෙන යනවා. හැම අවුරුද්දකම වගේ රැග් සීසන් එකට මේ විදිහෙ කතාබහ ඇවිලෙන එක සාමාන්‍යයක්. ඊට පස්සෙ කැම්පස් ඇතුලට පොලිසිය දැමීමේ ආණ්ඩුවෙ කුමන්ත‍්‍රණයක්, නිදහස් අධ්‍යාපනයට එරෙහි තව මොකක් හරි වගේ චෝදනා කැම්පස් පැත්තෙනුත් එල්ලවෙන්න ගන්නවා, හැමදාම. හරියට බැලූවොත් මේකත් රැග් එක එක්කම බැඳිච්ච සම්ප‍්‍රදායක් වගේ. කැම්පස්වලින් හැමදාම කියන්නෙ මේ එකම කතාව. 

ඒත් කාලෙන් කාලෙට කැම්පස් සහ පිටත අතර ඇතිවෙන මේ සංවාදෙදි කැම්පස් පැත්තෙන් මේ කතාව කියන පිරිස වෙනස් වුණා. අවාසනාවන්ත විදිහට ඒකත් එක්ක පුදුමාකාර මැටිබවක් ඒ පැත්තෙන් ප‍්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා. ඉස්සර මේ කුමන්ත‍්‍රණ ගැන කියද්දි මාධ්‍ය අනිත් පැත්තට අහන හරස් ප‍්‍රශ්න වලට යම් තාර්කික සහ සබුද්ධික බවක් පේන උත්තර ගේන්න ඒ හිටපු ශිෂ්‍ය නායකයන්ට පුළුවන් වුණා. ඒත් මේ අවුරුද්දෙ මේ කතාව කියන නායක නායිකාවන්ගෙ වීඩියෝ දැකලා මාව තිගැස්සුනා. ඒ අය වෙන මොකකටවත් වඩා පෙන්වමින් හිටියෙ තමන්ගෙ බුද්ධිමය හා තාර්කිකමය දුප්පත්කම. බරපතල තත්වය තියෙන්නෙ එතන. විශ්ව විද්‍යාල අධ්‍යාපනය විසින් බිහිකරන පිරිස් පවතින සමාජීය තත්වයන්ට සාපේක්ෂ දැනුමක් නැති අය වීම සහ ඔවුන් නිකම්ම තමන්ට දුන් කතාවක් කොලයක් බලාගෙන වගේ පුනරුච්චාරණය කිරීමත්. මේ අය මෙතැනින් පස්සෙ රජයේ නොයෙක් තනතුරු වලට යනවා. සමහරු කතිකාචාර්යවරු වෙනවා. දරුණුම තත්වය වෙන්නෙ ගොඩක් අය ගුරුවරු වෙන එක. ඊට පස්සෙ මුලූ සමාජයම මේ නොදැනුවත්කමෙන්, කටපාඩම් දැනුමෙන්, සහ තේරුමක් නැති ආවේගයෙන් ආසාදනය වෙන්න ගන්නවා. එතනදි වහාම මේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කරන්න හරි, පෞද්ගලීකරණය කරන්න හරි, වෙන කොයියම්ම හෝ ප‍්‍රායෝගික, තාර්කික ක‍්‍රමවේදයක් මේ වෙනුවෙන් නිර්මාණය කරන්න රජයේ බලධාරීන් මැදිහත් වෙන්න සිද්ද වෙනවා. තොග පිටින් මේ නිෂ්පාදනය කරමින් ඉන්නෙ දැවැන්ත සමාජ හානියක්.

සරලවම මේ අදහස විශ්ව විද්‍යාල පෞද්ගලීකරණයට සහයෝගය දැක්වීමක් විදිහට පේන්න පුළුවන්. ඒත් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වඩා තාමත් රජයේ විශ්ව විද්‍යාල සංස්කෘතියෙ පවතින සාධනීය කාරණා තියෙනවා. මේ දකිමින් ඉන්න හීනතාවය- දිළිඳුකම ඒ විදිහටම තිබුණත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උපාධිධාරීන්ට සාපේක්ෂව රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවන අයගෙ යම් සුවිශේෂතාවයන් තියෙනවා. ඒවා හොඳ සහ නරක වෙන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින්න බිහිවෙන අයගෙ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, නැත්තම් එම්පති වගේ සමාජ-බුද්ධිමය හැකියාවන් පැත්තෙන් ලොකු හිඩැසක් තියෙනවා. ඒ අය වඩා විවෘත, ලෝකය සමග සාපේක්ෂ සිතීමක්- දැනුමක් පළ කලත් අනෙකාව තේරුම් ගැනීම, පිරිසක් ලෙස සංවිධානය වීම, සන්නිවේදනය ආදී පැති වලින් රජයේ විශ්ව විද්‍යාල අයට වඩා දුර්වලයි (මේක අඩුලූහුඩුතා සහිත ප‍්‍රකාශයක්). මේක සාමාන්‍ය තත්වයක් විදිහට මං මෙතන ලිව්වත් මේ ගැන විධිමත් සමීක්ෂණයක් කිරීම වටිනවා. රජයේ විශ්ව විද්‍යාල වලින් තෝරාගත් පිරිසක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් තෝරා ගත් පිරිසක් අතර සියුම් බුද්ධිමය සහ මනෝමය වෙනස්කම් හඳුනාගත හැකි ආකාරයේ පර්යේෂණයක් මධ්‍යස්ථව පවත්වන්න පුළුවන් නම් අපිට මේ දෙපැත්තෙම සුවිශේෂතා සහ දුබලතා අඳුරගන්න පුළුවන්. ඒ විදිහෙ විධිමත් උපකරණයකින් අධ්‍යාපනයේ වෙනස්කම් මැනලා බලන එක අනිවාර්යෙන්ම සිද්ද වෙන්න  ඕන.

රජයේ විශ්ව විද්‍යාල වලින් එලියට එන පිරිස් ඉතාමත් අඩු මට්ටමේ දැනුමක්, සිතීමක් සහ අලූත් දෙයක් වෙනුවෙන් බෙහෙවින් මැලි බවක්, විරෝධයක් පළ කලත් ඒ සංස්කෘතිය විසින් ලබා දෙන වෙනත් සියුම් ශක්‍යතාවයන් ගොඩක් තියෙනවා. මම දන්න ඇඞ්වර්ටයිසින් කලාපයේ වුණත් මොරටුවෙන් බිහිකරන නිර්මාණ ශිල්පීන් සහ ඒ ඕඞී වගේ ආයතනයකින් බිහිකරන නිර්මාණ ශිල්පීන්ගේ කැපී පෙනෙන වෙනස්කම් දකින්න පුළුවන්. වඩා හොඳින් සමාජය තේරුම් ගනිමින්, පවතින තත්වයන්ට ඉක්මණින් අනුගත වෙමින් වඩා ප්‍රොඩක්ටිව් දෙයක් කරන්න රජයේ විශ්ව විද්‍යාලවල අයට පුළුවන් (මේක ඉතාමත් නරක විදිහටත් ඉතාමත් හොඳ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්). අනෙක් පැත්තෙන් ‘අවුට් ඔෆ් ද බොක්ස්’ වර්ගයේ වැඩ කරන්නත්, ඒ හරහා අලූත් දිශානතීන් නිර්මාණය කරන්නත් ප‍්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් වල අය දක්ෂයි. ඒත් ගැලපීම, අනුගත වීම සහ සාමාන්‍ය තත්වයන් තේරුම් ගැනීම පැත්තෙන් තියෙන හි`ගකම නිසා ඒ අයගෙ අදහස් පාවෙන සුළුයි. බද්ධ වීම අඩුයි. (නැවතත් මගේ පුද්ගලික නිරීක්ෂණයක් විතරයි). 

මේකට හේතුව මේ කලාපයන් දෙකට බෙදී වෙන්වෙන සමාජ පංතිවල වෙනස වෙන්නත් පුළුවන්. ඒ ආයතන ඇතුලෙ සංස්කෘතිය වෙන්නත් පුළුවන්. ඉගැන්වීමේ රටාව වෙන්නත් පුළුවන්. ඒත් පැහැදිලිවම මේ ශක්‍යතාවන් දෙකොටස අතර මුහුවීමක් අපිට හොයන්න වෙනවා. ස්ටුඩන්ට් ලෝන් ක‍්‍රමයක් නිර්මාණය කරලා ඒ හරහා තමන් කැමති විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීමේ හැකියාව සහ අයිතිය ශිෂ්‍යයන්ට පැවරුවොත් මේ සීමාවන් ඉක්මවා හොඳ නරක ශක්‍යතාවයන් මුහුවෙන පරිසරයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි. 

ආයිමත් කතාව පටන් ගන්න තැනට ආවොත් මේ ලියන්න හේතුවෙච්ච රැග් එක ගැන ඇත්තටම මට තියෙන්නෙ පොසිටිව් අදහසක්. කොයිතරම් ප‍්‍රතිගාමී අදහසක් විදිහට පේන්න ඉඩ තිබුණත් රැග් එකට විරුද්ද සියලූ ප‍්‍රගතිශීලී අදහස්වලට ගරු කරමින් මං මේ අදහසත් මේසෙට ගේනවා. 

පාරෙ යන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද, සිංදු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද, දත් මදින්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද වගේ බොළඳ අදහස් කීපයකුත් කැම්පස් ගිය අය අතින් රැග් එකට පක්ෂව ෂෙයාර් වෙන්න ගත්ත. ඒවා ගැන කොහොම වුණත් රැග් එක ඇතුලෙ සිද්ද වෙන හොඳ දේවල් ටිකක් මං දකිනවා. එක එක දේශපාලන පක්ෂවලට තෙල් ගහන වැඩකට වඩා රැග් එක වගේ දේවල් හොඳ සමාජ-මනෝ අභ්‍යාස විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවකාශ.

එක පැත්තකින් මේ ජවිපෙට බර වමේ තෙල් ගැහිල්ල වුණත් කැම්පස් එන බහුතරය පැත්තෙන් ධනාත්මක වෙන්න පුළුවන්. (මං මේ කියන අදහස් මගේ කැම්පස් ජීවිතේ ගතවුණු කාලෙට සාපේක්ෂ වෙනවා) එක එක දුර පළාත් වලින් කැම්පස් වලට එන බහුතරය ඇත්තටම අපිට හිතාගන්න බැරි තරම් දුරස්ත, හුදකලා තැන් වල හිරවෙච්ච ජීවිත. පුද්ගලික නිදහස, අයිතිය වගේ නාගරික දියුණු කාරණා පැත්තෙන් රැග් එක වගේ දේවල් වලට එල්ල වෙන විවේචනවලට වඩා ඒවායේ ෆන්ක්ෂනල් කාරණා ගැන සාවධානව බලන්න  ඕන කියල මට හිතෙනවා.

නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ නඩත්තු වෙන යල් පැන ගිය ක‍්‍රමවේදයන් හරහා හුදෙක් කටපාඩමින් හෝ වෙනයම් අනියම් බුද්ධිය හා සම්බන්ධ නොවෙන ක‍්‍රම වලින් වැඩි ලකුණු දාගත් බහුතරයක් කැම්පස් වලට සිලෙක්ට් වෙනවා. මේ බහුතරය කප්පාදු කළ යුතුයි කියල මං නොකියන්නෙ මේක රටක මානව සම්පතක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සහ අවශ්‍යයි කියල හිතන හින්ද. මේ බහුතරය අතිශය අතාර්කික, වියුක්ත, විවිධ කර්කශ වටපිටාවලට අනුගත පිරිස්. මේ අයගේ බුද්ධිමය හැකියාව කට පාඩමෙන් එහාට එච්චර වර්ධනය වෙලා නැති වුණත් ජීවිතය තුල දේවල් දරාගැනීමේ හැකියාව අසාමාන්‍ය විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒ එන්ඩියුරන්ස් එක කොහෙත්ම සුළුවෙන් තකන්න පුළුවන් ශක්‍යතාවයක් නෙමෙයි. 

ජවිපෙ හෝ අන්තරය විසින් මේ ගහන පොලිටිකල් තෙල නාගරික සුළුතරයක් ශිෂ්‍යයන්ට දිරවන්න අමාරු වීම ස්වභාවිකයි. ඒ ගැන මතුවෙන විරෝධයත් ඇත්තටම ධනාත්මකයි. ඒත් රැග් එක පිළිබඳ කාරණය විශ්ව විද්‍යාල අභ්‍යන්තරයෙ කතිකාවක්, කෙළගැනීමක් ඇතුලෙන්ම විසඳිය යුතු කාරණයක් මිසක් ඉහළින් හෝ පහළින් අත දැමිය යුතු කාරණයක් නෙමෙයි කියලයි මං හිතන්නෙ. රජයේ විශ්ව විද්‍යාල වලින් ලැබෙන අධ්‍යාපනයට වඩා වැදගත් ශක්‍යතාවයන් නිර්මාණය වෙන්නෙ මේ විදිහෙ අවිධිමත් උපසංස්කෘතික අභ්‍යාස හරහායි. උදා විදිහට පිකට් එකක් කිරීම, පෝස්ටර් ගැහීම, පොලිසිය සමග ගැටීම, කණ්ඩායම් විදිහට සංවිධානය වීම වගේ ගොඩක් දේවල් විශ්ව විද්‍යාල ජීවිතේ තියෙනවා. ඒවා පෙනී ඉන්න දේශපාලනික කාරණා අතිශය නොදියුණු බව ඇත්ත. ඒවා සළකන්න වෙන්නෙ යම් යම් ප‍්‍රායෝගික පුහුණු අභ්‍යාස විදිහට කියලයි මං දකින්නෙ. අනිවාර්යෙන්ම ඒ දේවල් හරහා සාමූහිකත්වය, සංවිධානය, එකිනෙකා තේරුම් ගැනීම වගේ හැකියා බන්ඩලයක් නොදැනීම වර්දනය කරනවා. 

රැග් එක පැත්තෙන් කිව්වොත් අපේ යම් යම් සීමාවන් ප‍්‍රසාරණය වීමට (ඉලාස්ටිසිටි) වැදගත් අවස්ථා රැග් එක ඇතුලෙදි මුණගැහෙන්න පුළුවන්. (රැග් එක ගැන ලාංකේය සීමාවෙන් මිදිලා ලෝක මට්ටමේ වින්දනයක් ගන්න රිචර්ඞ් ලැන්ක්ලැටර්ගේ ඬේස්ඞ් ඇන්ඞ් කන්ෆියුස්ඞ් බලන්න). මගේ අත්දැකීමකින් කිව්වොත්, අපේ රැුග් සීසන් එකේදී කැන්ටිමෙන් බිත්තර හෝ මාළු වගේ (ඒවට කිව්වෙ ස්පෙෂල්) දේවල් ගන්න තහනමක් තිබුණ. සාමාන්‍ය බත් එක විතරයි කන්න කැප. ඒ අතරෙ කවුරු හරි කෙනෙක් බිත්තරයක් අරගෙන අහුවුනොත් ෆ්‍රෙෂාලා පෝලිමේ ඉන්දවලා එකඑකාගෙ කටින් කටට බිත්තර කහමදේ මාරු කරන ද`ඩුවමක් දුන්නා. ඒක පට්ට අප්පිරිය වැඩක්. අන්තිමට කහමදේ දියවෙලා දියවෙලා දෙතුන් දෙනෙකුට වමනෙ යනවා. ඒත් ඒ රැග කෑවට පස්සෙ මගේ අප්පිරියාව ගැන තියෙන සීමාව වෙනස් වුණා. ඒක මහ ලොකු කාරණයක් නෙමෙයි. ඒත් සමහර විට නියුරො ලින්ග්විස්ටික් වගේ ප්‍රෝග‍්‍රෑම් වල සල්ලි ගෙවලා ඉගෙනගන්න සිද්ද වෙන දේවල් කැම්පස් රැුග් ඇතුලෙ නොදැනිම ඉබේ ලැබෙනවා.

ඒත් පුද්ගලික සීමාවන් එක්ක, එරියස් එක්ක රැග් ඇතුලෙ දරුණු තත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරන ශිෂ්‍යයන් වගේ අතිශය පටු මානසිකත්වයන් ඇති අය අතින් මේ වගේ දේවල් වැරදි විදිහට පාවිච්චි වෙන්න ඉඩ වැඩියි. අනෙක් පැත්තෙන් රැුග් වෙන්න අකමැති හෝ ඊට විරුද්ධ මතයන් වලටත් නිදහසක් හා ඉඩක් තියෙන්න  ඕන (අලයෙක් වීමට තෝරා ගැනීමේ පුද්ගලික අයිතිය)

අන්තරේ තෙල් ගැහිල්ල වුණත් පොදු අර්තයෙන් ඒ තරම් නරක දෙයක් විදිහට මං දකින්නෙ නෑ. විචාරයක් සහිත අය ඒ අදහස් ගැන විවේචනාත්මක වෙද්දි විචාරයක් නැති අය ඒ දේවල් ඒ විදිහටම බාර ගන්නවා. ඒත් බහුතරය පැත්තෙන් ගත්තොත් කිසි අදහසක් නැතුව හිටපු පිරිසක් යම් අදහසකට සංවිධානය කිරීමක්, යම් සමාජ-දේශපාලන අත්දැකීමක් ලබා දීමක් මේ තෙල හරහා සිද්ද වෙනවා. ලංකාවෙ අපි හැමෝම වගේ ගත්තොත් දේශපාලනයේ පටන් ගැන්ම සිද්ද වෙන්නෙ ජවිපෙට හුරු අදහස් මාලාවක් හරහා. කාට වුණත් ඒ වගේ රතු මතක තියෙනවා. මට හිතෙන්නෙ ඒක හරියට තීන්ත ගාද්දි පළවෙනි කෝටින් එක වගේ. එතන කියවෙන අදහස් වලට වඩා එතනින් ඇති කරන හුරුව, න්‍යායික සංවාදය වැදගත් වෙනවා (පොලිටිකල් හෝඩිය). ඒක හරියට ඉස්කෝලෙ ගිය සහ නොගිය වෙනස වගේමයි. ඉස්කෝල ක‍්‍රමය විසින් කොයිතරම් සිරගත මානසික තත්වයන් ඇති කරනවා වුණත් ඒ හරහා සුවිශේෂ සමාජ-මානසික හැකියාවන් ටිකක් වර්ධනය වෙනවා. බෙසික් ඩිසිප්ලින් එකක් නිර්මාණය කරනවා. ක‍්‍රමය බිඳහරින නිදහස් මතධාරීන් සුළුතරයක් අවශ්‍ය වුනත් ක‍්‍රමය පිළිගන්නා බහුතරයක් ප‍්‍රායෝගික පැවැත්මට  ඕන වෙනවා.

රැග් එක වධයක ස්වරූපයෙන් ඉවත් කරන්න දරන උත්සාහයට වඩා ඒක නිර්මාණාත්මක නියුරො ලින්ග්විස්ටික් අභ්‍යාසයක් විදිහට දියුණු කරන එකයි වැදගත්. ඒකට දේශපාලනික ව්‍යාපෘති ඒ හරහා දියත් වීම හෝ ඒ හරහා සිද්ද වෙන වාත තත්ව වළක්වා ගැනීම වගේම එයින් සිදුවන හොඳ තත්වයන් ගැනත් මැදිහත්ව බලන්න වෙනවා. විශේෂයෙන්ම සම්ප‍්‍රදායක් හැටියෙන් ප‍්‍රජාවන් තුලින් ඇතිවුණු තත්වයක් ගැන බලහත්කාරී තීරණවලට එළඹෙනවට වඩා ඒ හරහා සිද්ද වෙන කෘත්‍යමය වටිනාකම් ගැන සබුද්දික තක්සේරුවකට එන්න වෙනවා.

මේක ටිකක් විවාදාත්මක මාතෘකාවක්. එතකොට විශ්ව විද්‍යාලෙ නොගිය අයට මේ විශේෂ සමාජ කුසලතාවයන් නැද්ද කියල ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒත් ඒකෙන් විශ්ව විද්‍යාල ඇතුලෙ මේ කුසලතාවයන් නිර්මාණය වෙන්න යම් උදව්වක් තියෙනවා කියන එක නිශේධනය වෙන්නෙ නෑ. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන තීරණ ගනිද්දි අපි එතන ඉන්න බහුතරය ගැන හරි වැටහීමක් ඇති කරගන්න  ඕන. විශ්ව විද්‍යාල කාලෙ පුරාම කෙල්ලන්ට ඩෙනිම් අන්දවන්න, ටීෂර්ට් ඇඳගෙන ලෙක්චර්ස් යන්න, රබර් සෙරෙප්පු දාන්න වගේ නොයෙක් බොළඳ නිදහසවල් ගැන වලිදාපු මට අන්තිමට බැචෙක් මෙහෙම කතාවක් කිව්වා.

‘මචං මං කැම්පස් එනකොට දන්නෙ කුඹුරෙ පඹයො හිටවන්නයි කුරුල්ලො එලවන්නයි විතරයි. සපත්තු දාන්න, ටයි අඳින්න, ටොයිලට් යන්න පවා මං පුරුදු වුනේ කැම්පස් එකෙන්. උඹලට ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒත් අපිට කැම්පස් එක කියන්නෙ ජීවිතේ ලොකු වෙනසක් මචං. ඒ ගැනත් කල්පනා කරපං’’ (දැන් තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්)

අපිට මේ ගැන දාහකුත් විවේචන තියෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නෙ අපිට ඌව ඇහෙනවද කියන එකයි.

-චින්තන ධර්මදාස