Saturday, October 31, 2015

සිම්පති සමාජයේ හොම්බට ඇනීම


මං ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය ගැන ලියපු ලිපිය ජනක ඉනිමංකඩ ෂෙයාර් කරගෙන තිබුණ තැනකදි ලියනගේ අමරකීර්ති කමෙන්ට් එකක් දාලා තිබුණ. ‘මේ වගේ අන්තවාදී අදහස් වලින් චූන් වෙන කෙනෙකුට සාහිත්‍ය ප‍්‍රකාශන කරන්න පුළුවන්ද?’ වගේ අදහසක් එතන තිබුණෙ. අමරකීර්ති ඒක කුමක් අරබයා කාහට කියන ලද්දක්ද එක පැහැදිලි නෑ. ඒත් මං අන්තවාදය ගැන අන්තයකට හිතන්න ගත්ත.

මට හිතෙන්නෙ අන්තවාදය ලෝකෙට අවශ්‍යම දෙයක්. අන්තවාදය නැතුව ලෝකෙ එත අඩියක්වත් ඉස්සරහට යන්නෙ නෑ. අන්තවාදයක් කියන්නෙ තමන්ගෙ එක්තරා නිශ්චිත අදහසක් වෙනුවෙන් පවතින තත්වයට ප‍්‍රතිවිරුද්ධව දැඩිව හිටගැනීම. ඒ වෙනුවෙන් දරුණු විවේචන සහිතව සටන් වැදීම. උදා විදිහට ලෝකෙ පැතලියි කියල හිතන කාලෙදි ලෝකෙ ගෝලාකාරයි කියන එකා අන්තවාදියෙක්.

හැම විද්‍යාත්මක සොයාගැනීමක්ම අන්තවාදයේ නිමැවුමක්. හැම අලූත් අදහසක්ම අන්තවාදීයි. බමුණන් විසින් මහා බ‍්‍රහ්මයා ගැන දේශනා කරන කාලෙ බුදුන් එහෙම මැවුම්කරුවෙක් නෑ කියල කියද්දිම බුදුන් අන්තවාදියෙක්. අන්තවාදයක් නෑ කියන්නෙ පතෝල. පතෝල කියන්නෙ පවතින තත්වය ගැන කියන්න තමන්ට නිශ්චිත වූ අදහසක් නෑ කියන එක. එතකොට තියෙන්නෙ එක එක පද ගැලපීම් විතරයි. එකලස් කිරීම් විතරයි. හැම ඔරිජිනල් අදහසක්ම එන්නෙ අන්තවාදයකින් විතරයි.

ඒ වගේම අපිට අමතක වෙන තව කාරණයක් තියෙනවා. ඒ තමයි අන්තවාදයක් හැමතිස්සෙම සළකුණු කරන්නෙ තවත් අන්තවාදයකින් කියන එක. තවත් අන්තවාදයකින් මිස වෙනත් අන්තවාදයක් අර්තකතනය කරන්න බැරි වෙනවා. උදා විදිහට ප‍්‍රභාකරන් අන්තවාදියෙක් වෙන්නෙ සිංහල අන්තවාදී දෘෂ්ටියකට අනුවයි. අන්තවාදී නොවන්නෙකුට ප‍්‍රභාකරන් කියන්නෙ කාලයක් තිස්සෙ ආමන්ත‍්‍රණය නොකරනු ලැබූ ප‍්‍රජාවක මාරාන්තික අවශ්‍යතාවයන්ගේ ප‍්‍රකාශනයක්. සමාජ අර්බුදයක නිශ්චිත කියාපෑමක්.

ප‍්‍රබාකරන්ට විරුද්දව මහින්දව ගෙනාපු එකත් අන්තවාදීයි. මහින්දට විරුද්දව මෛත‍්‍රීව ගෙනාපු එකත් අන්තවාදීයි. ඒක වැරැුද්දක් නෙමෙයි. අලූත් තත්වයක් නිර්මාණය කරන්න නම් අන්තවාදයක් අත්‍යාවශ්‍යයි.

අර්බුදය වෙන්නෙ යම් අන්තවාදයක් නිර්මාණාත්මක (වර්චුවල්) ප‍්‍රචණ්ඩත්වයෙන් එලියෙ භෞතික ප‍්‍රචණ්ඩත්වයක් එක්ක බැඳෙනවා නම්, තග එක්ක බැඳෙනවා නම්. එතනදි ඒ අන්තවාදියා ජීවත් වෙන යුගය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ශිෂ්ටත්වය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙනවා. අනෙකුත් අන්තවාදයන් සියල්ලද පැවතිය යුතුයි කියල පිළිගන්න අන්තවාදයක් විසින් ඉටු කරමින් ඉන්නෙ නිර්මාණාත්මක කාරණාවක්.
මම කලින් තැනකදී පවා ලිව්වා  බොදු බල සේනාව ඇතිවීම පවා ප‍්‍රගතිශීලී තත්වයක් කියන එක. ඒකෙන් ලංකාවෙ සිංහල බෞද්දකම ගැන ගැඹුරු සංවාදයක් ඇතිවුණා. නිශ්චිතව ප‍්‍රශ්න කෙරුණ. තව පැත්තකින් බැලූවොත් ප‍්‍රභාකරන් කියන අන්තවාදියා නොහිටියා නම් දෙමළ ජනතාවගේ තත්වය කොයි වගේ වෙන්න පුළුවන්ද කියල අමරකීර්තිට හිතාගන්න පුළුවන්ද?

නිර්මාණාත්මක නොවීමට බලපාන ප‍්‍රධාන කාරණාව අන්තවාදී නොවීම. පතෝලයෙකුට බැරි වෙනවා හොඳ ප‍්‍රකාශනයකට යන්න. යම් අලූත් අදහසක් නිර්මාණය කරන්න නම් ඔහුට හෝ ඇයට සිද්ද වෙනවා මෙතෙක් නොගිය අන්තයකට යන්න. එතන විකල්ප පැවැත්මක් නිර්මාණය කරන්න. ඒ හරහා පවතින පිළිගත් තත්වය අභියෝග කරන්න. මට ලංකාවෙ නිර්මාණකරුවො ගොඩක් බෝරිං වෙන්නෙ මේ කාරණය හින්දමයි. ඒ අයට ස්වීය වූ අන්තවාදයන්, විලාසයන්, පැවැත්මන් නැතිකම. ඔක්කොම එක වමේ හොද්දක පීනනවා විතරයි.

අන්තවාදයටත් වඩා නිර්මාණවලට බලපාන, ලංකාවෙ නම් තඩි හිලක් කියන්න පුළුවන් තැනක් තමයි ‘එම්පති‘ කියන කාරනේ. මේකට සිංහලෙන් තියෙන්නෙ සහනුභූතිය, සහකම්පනය වගේ අදහසක්. ඒත් එම්පති කියන වචනෙට කොහෙත්ම ළ`ගින් යන්නෙ නැති නිසා ඉංග‍්‍රීසි වචනෙ එහෙම්පිටින්ම තියාගන්න එක හොඳයි.

සමාජයක වචන හැදෙන්නෙ ඒ සමාජය ඒ තේරුම තරමට මුහුකුරා ගියහම. එහෙම නැතුව පිටින් බලලා හදපු වචන වලින් දෙන්නෙ ළමා තේරුමක්. උදා විදිහට ඉංග‍්‍රීසි වචන ගොඩකට සිංහලෙන් දීලා තියෙන තේරුම් අඳබාලයි. කොහෙත්ම ඒ සංකල්පය තේරුම් නොයාම සහ ඒක පිටින් විතරක් අල්ලා ගැනීම කියන එක පැහැදිලියි. මට හිතෙන්නෙ වෙන භාෂාවක වචනයක් පරිවර්තනය වෙනවට වඩා ඒකම සිංහලට හරවාගන්න එකයි වැඩිය සුදුසු. ඒකෙන් භාෂාවට කෙලවෙනවා වගේ කෞතුක අදහසක ඉන්න පුළුවන් ලිංමැඩි භාෂාවේදියො. ඒත් ගැඹුරෙන් හිතන්න වචන  ඕන වෙන තැන්වලදි මේ වගේ නොමග යන වචන හින්ද හිතීම බාල වෙනවා. එතකොට අර භාෂාව පරිස්සම් කරන උන් වගේ අය තව තොග පිටින් බිහිවෙනවා.

එම්පති කියන සංකල්පෙ තේරුම් ගන්න එක ටිකක් ගැඹුරු වෑයමක්. අපි රටක් විදිහට තාම ජීවත් වෙන්නෙ සිම්පති කලාපය ඇතුලෙ. සිම්පති කියන්නෙ මම මගේ මමත්වය ඇතුලෙන් අනිත් කෙනා හෝ තත්වය තේරුම් ගන්නවා කියනවා එක. ඒ තේරුම් ගැනීම සිද්ද වෙන්නෙ මගේ සීමාවන් ඇතුලෙ. මගේ දෘෂ්ටිවාදයන් හෝ විපරීතයන් ඇතුලෙ. එතකොට මට ඇතිවෙනවා දුක, කණස්සල්ල වගේ භාවයන්. මේ සිම්පතිය ඇතුලෙ කිසි දෙයක් කරන්න බෑ. මොකද ඒ හැ`ගීමෙ තේරුම වෙන්නෙම මගේ පැවැත්ම වඩා විශාල හෝ ස්ථාවර කර ගැනීම. මගේ වල්නරබිලිටි එකෙන් ගැලවීම. ලංකාවෙ ස්ත‍්‍රීවාදීන් සහ වාමාංශිකයන් වැඩකරන්නෙ මෙතන. ඒකෙන් කිසි සමාජ වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.

ඒ වෙනුවට එම්පති කියන්නෙ ටිකක් අමාරු වැඩක්. අපි අනිත් කෙනාගෙ සපත්තුවට බැහැලා බලන්න  ඕන. ඒකට තමන්ගෙ සීමාවන් ටිකක් හෝ අත්හරින්න පුහුණුවක් තියෙන්න  ඕන. අනෙකාගේ පැවැත්ම ඇතුලෙ අනෙකාව තේරම් ගැනීමේ ශික්ෂණයක් තියෙන්න  ඕන.

රෝමන් ක‍්‍රිස්නැරෙක් කියන ඉංග‍්‍රීසි ලයිෆ්ස්ටයිල් දාර්ශනිකයා මේ අදහසේ ගැඹුරට යනවා.

‘පහුගිය අවුරුදු තුන්සීයක කාලය පුරා තෝමස් හොබ්ස්ගෙ ඉඳන් සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් දක්වා සමාජයට බලපෑමක් ඇති කළ දාර්ශනිකයන් විසින් අපිට කිව්වෙ අපි ‘අපි ගැනම හිතන’ ‘අපේ පැවැත්ම වෙනුවෙන්ම තීරණ ගන්නා’ ‘අපේ ආශාවන් හඹායන’ සත්ව කොටසක් කියල. මේ අඳුරු චිත‍්‍රය ඇත්තටම බටහිර සංස්කෘතියෙ පසුබිම වුණා. ඒත් පහුගිය දශකෙ සිද්දවුණු විද්‍යාත්මක සොයාගැනීම් හින්ද මේ අදහස නොකවුට් වුණා. ඒ අපි ‘හෝමෝ එම්පතිකස්’ යනුවෙන් හැඳින්විය යුතු මානව කොටසක් බවත් එම්පති කියන කොටස අපේ නියුරො සැකැස්මෙ කොටසක් බවත් අනාවරණය වීම හරහා. නියුරො සයන්ටිස්ට්ලා හොයාගත්තා අංශ දහයකින් යුත් එම්පති සර්කිට් එකක් අපේ මොළේ ඇතුලෙ. ඒක ඩැමේජ් වුනොත් අපිට අනෙකා හිතන පතන විදිහ තේරුම් ගන්න බැරුව යනවා (ලංකාවෙ සමහරක් කලාකාරයන්ට මේක ඩිෆෝල්ට්ම ඇවිල්ලා නෑ)
පරිනාමවාදී ජෛවවේදීන් හොයා ගන්නවා අපි සමාජ ජීවීන් බවත් එම්පති සහ එකිනෙකා සහයෝගයෙන් ක‍්‍රියාකාරීම අපේ පරිණාමීය තත්වයක් බවත්. මේ අතරෙ ළමා මනෝවේදීන් විසින් අනාවරණය කරනවා අවුරුදු තුනේ ළමයෙකුට පවා තමන්ගෙන් එලියට ඇවිත් අනිත් කෙනාගේ හැ`ගීම් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියල. අපේ ආත්මාර්තය පෙරදැරි ඩ‍්‍රයිව් එක තරම්ම ප‍්‍රබල එම්පති ඩ‍්‍රයිව් එකකුත් අපිට තියෙනවා.’
-එම්පති- රෝමන් ක‍්‍රිස්නැරෙක් (පරිවර්තනය සහ වරහන් මගේ)

මේ හින්ද, ‘මම හිතනවා, ඒ නිසා මම පවතිනවා’ කියන කාර්ටීසියානු සිතුවිල්ල ‘ඔබ ඉන්නවා, ඒ නිසා මම පවතිනවා’ යනුවෙන් වෙනස් විය යුතුයි කියල ක‍්‍රිස්නැරෙක් යෝජනා කරනවා.

එම්පති කියන එක අපි එහෙම හිතුවම එකපාරටම ඔලූවට එන අදහසට වඩා වෙනස්. ‘ඔබ විසින් ඔබට සළකනු කැමති පරිද්දෙන්ම අනෙකාට සළකව’ කියන එක එම්පති නෙමෙයි. ඒක ජෝර්ජ් බර්නාඞ් ෂෝ නිවැරදි කරනවා.

‘ඔබට සළකනවාට කැමති පරිද්දෙන් අනෙකාට සලකන්න යන්න එපා. ඒ අයට වෙනස් රසයන් තියෙන්න පුළුවන්’

එම්පති කියන්නෙ ඒ වෙනස් රසයන් හොයාගෙන යන එක. මේක මේ හොඳ දේකට විතරක් සීමාවුණු අදහසක් නෙමෙයි. අතිදක්ෂ සීරියල් කිලර් කෙනෙකුට තියෙන්න පුළුවන් ලොකු එම්පතියක්. ඒ ඇතුලෙ ඔහු නිශ්චය කරනවා සහ ආදරය කරනවා වෙන්න පුළුවන් තමන්ගෙ ගොදුරට. මේ අදහස ගොඩක් තේරුම් ගන්න පුළුවන් හැනිබල් ටෙලි සීරීස් එක බලන කෙනෙකුට. ඒකෙ හැනිබල් කියන්නෙ සයිකොපැත් කෙනෙක්. අනිත් අතට ඔහුගේ අනෙකා විල් ග‍්‍රැහැම් පරිපූර්ණ එම්පත් කෙනෙක්. එයා කිසිම වෙලාවක විනිශ්චය කරන්නෙ නෑ අනෙකාව. ඒ වෙනුවට ඒ ජීවිතය ඇතුලෙ ඒ අත්දැකීම විඳලා බලනවා. කාරණයට අදාල නොවුනත් හැනිබල් තුන්වෙනි සීසන් එක කියන්නෙ මෙතෙක් මම විෂුවල් වලින් කරන්න පුළුවන් කියල අත්දැකපු විශාලතම ප‍්‍රාතිහාර්ය වග සටහන් කරන්න  ඕන. ඒක අපෙන් බාහිර කතාවක් කියාගෙන යනවා වෙනුවට අපිව ඒ අත්දැකීම ඇතුලට ගන්නවා. අන්තිමේදී අපිත් හැනිබල් ජීවිතයේ පරිච්ෙඡ්ද ගණනාවක් ගත කරලා තියෙනවා. අපිත් නොදැනීම සිද්දවෙන ගැඹුරු එම්පති අභ්‍යාසයක් හැනිබල් කියන්නෙ. ඇන්තනි හොප්කින්ස් කොයිතරම් හොඳට ර`ගපෑවත් මේ ටෙලි සීරීස් එකේ චරිත සහ වින්‍යාසය විසින් අත්පත් කර ගන්නා දාර්ශනික, ආධ්‍යාත්මික ගැඹුර අත්පත් කරගන්න ‘සයිලන්ස් ඔෆ් ලෑම්බ්ස්’ අසමත් වෙනවා.

නිර්මාණයක රස විඳිය හැකි කොටස වෙන්නෙ ඒ නිර්මාණකරුවාගේ එම්පතියේ ඇති ගැඹුරයි. මේකට මේ චරිත හෝ නිර්මාණය යතාර්ථවාදය එක්ක කරන ගණුදෙනුව කොයිතරම්ද කියන එක අදාල වෙන්නෙ නෑ. යම් කල්පිතයක් ඇතුලෙ ඒ චරිත ස්වාධීන පැවැත්මන් ලබාගන්න  ඕන. ස්වීය භාවයන් සහිත වෙන්න  ඕන. අපේ දාර්ශනිකත්වයක් හෝ දෘෂ්ටිවාදයක් විසින් මේ චරිත ගුලි කරලා අකුලවලා නිශ්චිත කරලා නැති වෙන්න  ඕන. අපේ අදහසක් තුලින් වෙනත් ජීවිතයක් වරනගන හැමවෙලාවකම තියෙන්නෙ සිම්පතියක්. සිම්පතිය අපේ ජීවිතේට වඩා කුඩයි. ඒත් එම්පතිය අපේ ජීවිතයට වඩා විශාල වෙන්න  ඕන. ඒකයි නිර්මාණයක පරිණතබව ගැන තියෙන ලොකුම සාක්ෂිය වෙන්නෙ.

කටුනායක මෑතකදි කොල්ලගෙන් ගුටිකන නංගිගෙ වීඩියෝව අපේ රටේ ෆෙමිනිස්ට්ලාට ටිකක් තදට එම්පතිය ගැන කියල දුන්නා. මට නැති ප‍්‍රශ්නයක්  ඕගොල්ලන්ට තියෙන්නෙ කොහොමද? එයා වෙනුවෙන් පෙනී ඉන්න ආපු මහත්තුරුන්ගෙන් සහ නෝනාවරුන්ගෙන් එයා පෙරලා ඇහුවා.
ඒක අපේ සිම්පති සමාජයට කරපු හොඳ හොම්බට ඇනීමක්.

-චින්තන ධර්මදාස

Saturday, October 24, 2015

ඇඩ‍්‍රස් නැති පෙරවදනක්.



‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ‍්‍රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත‍්‍රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ ඇඞ්වර්ටයිසින් කැම්පේන් එක ඇතුලෙ වැඩ කරනවා. ඒ හින්දම ඒක සෑහෙන වයිරල් මීඩියා වලත් ෂෙයාර් වෙන්න ගත්ත. ෆිල්ම් එක පැත්තකින් තියල මේ කතාව එලියෙ දේශපාලනයත් එක්ක ඉස්සෙල්ල ගලපලා බලන්න වටිනවා.

මේ වචන පේලියෙ තියෙන සාර්තකබව වෙන්නෙ මේක මේ වෙනකොට ගොඩක් අය එක`ග වෙමින් සහ බාර ගනිමින් ඉන්න තත්වයක් වීම. ඊටත් වඩා මේක පහුගිය මහින්ද ආණ්ඩුවට කඬේ ගිය ජැක්සන් ඇන්තනි, මාලින්ද සෙනෙවිරත්න වගේ අයටත් යහපාලන ආණ්ඩුවට කඬේ ගිය නිර්මාල් වගේ අයටත්, පතෝල වගේ හිටපු සුමිත්, විදර්ශන වගේ අයටත් එකට හිටගන්න පුළුවන් තැනක් වෙන එක. හිටියෙ හිට්ලර් කියල එක`ග වෙන එක ඇතුලෙ ආවෙ චැප්ලින් කියල එක`ග වෙන්න අනිත් කාණ්ඩය තීරණය කරනවා.

ඒත් නිර්මාල් වගේ දේශපාලන දැනුමක් සහිතයි කියල එලියෙ ඉන්න අය විසින් බාර ගන්න කෙනෙකුත් මේ වගේ ආස්ථානයකට ඒම ටිකක් විහිළු සහගතයි. මෑතක එයාගෙ ෆේස්බුක් පිටුවෙ ෂෙයාර් වෙච්ච අදහස් වලින් කියවුනෙ මේ ආණ්ඩුව පත් කර ගැනීම නිසා තමන් නාගනිමින් ඉන්නවා වගේ අදහස් පෙලක්. එතකොට සරලවම ගිය ආණ්ඩුවත් අප්සෙට්, ආපු ආණ්ඩුවත් අප්සෙට් කියන වාමාංශික පතෝල පිළිවෙතට ලේසියෙන්ම ස්ථානගත වෙන්න පුළුවන්. අපත වැඩ කරමින් හිටපු පරණ ආණ්ඩුවේ කලා- දේශපාලන බවතුන්ටත් කිසි අවුලක් නැතුව මඩ ටික හෝදගෙන එක මේසෙ ඉඳගන්න පුළුවන්. කවදාවත් බිහි නොවෙන පරම සුචරිත, සුබවාදී සමාජයක් එනකල් මේ ජෝක් එක දිගටම කරගෙන යන්නත් පුළුවන්.

ගිය ආණ්ඩුවට සාපේක්‍ෂව මේ ආණ්ඩුව ගැන කතා කරන්නවත් බෑ කියන එකයි මගේ අදහස. ඒක හිට්ලර්ගෙ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ මිනිස්සුන්ට හිනාවෙන්න පවා තහනම්. එතකොට හිට්ලර්ව ජෝක් කරන චැප්ලින් එන එක විය යුතු සහ කළ යුතු ප‍්‍රගතිශීලී වැඩක්. එක ලයින් එකට කියවුනාට හිට්ලර් සහ චැප්ලින් කියන්නෙ ප‍්‍රතිවිරුද්ද ප‍්‍රතිපක්ෂ. එතකොට හිට්ලර් ගිහින් චැප්ලින් ආපු එකෙන් ලංකාවට ඇඩ‍්‍රස් නැති වෙන්න බෑ.

අලූත් ආණ්ඩුවෙ අවුල් සහ ආකර්යක්ෂමතා ගැන ලොකුවට කණස්සලූ වෙන අය විසින් මතක තියාගත යුතු වෙන්නෙ පහුගිය කාලෙ හා සසඳන විට ඒවා නොතකා හැරිය හැකි තරම් කුඩා වගයි. එහෙම වුණත් ඒවා බරපතල විදිහට ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සටන් කිරීම සහ විරෝ්ධය දැක්වීම අවශ්‍යයි. ආණ්ඩුවක් පත්කර ගෙන නිදහසේ තමන්ගෙ වැඩක් කර ගෙන ඉන්න බලාපොරොත්තු වුණු දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට මේක ටිකක් අමාරු තත්වයක් වෙන්න පුළුවන්. ඒත් දේශපාලනය ගැන, විශේෂයෙන් ආසියාතික දේශපාලනය ගැන යම් පමණක හෝ අවබෝධයක් තියෙන  ඕන කෙනෙක් දන්නවා පුරවැසියන්ගේ සංවිධානගත මැදිහත් වීම් කොයිතරම් අවශ්‍යද කියන එක. බිඳ වැටුණු පද්ධතීන් සහ විස පෙවුණු ආකල්ප නැවත හැරවීම කියන්නෙ දැවැන්ත වැඩක්. ඒකට විශාල සංස්කෘතික ව්‍යාපාරයකුත් සිද්ද වෙන්න  ඕන.

ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ලොකු අවකාශයක් විවෘත වීමයි යහපාලනයේ ලොකුම වැදගත්කම. කොටින්ම ජැක්සන්ට මේ වගේ පෝස්ටරයක් පවා අලවන්න පුළුවන් වීමයි මෙතන තියෙන වෙනස. මේක ගෝටාබයගෙ ආණ්ඩුව වුණා නම් මේ පෝස්ටරය ප‍්‍රින්ට් කරන්න ප්‍රෙස් එකක් වත් හොයාගන්න වෙන්නෙ නෑ (ජැක්සන්ට නං නෙමෙයි). මේ අවකාශය ඇතුලෙ දැනටමත් ලොකු සංවාදයන්, කතිකාවන් සිද්ද වෙමින් යනවා. ඒත් දෙමළ සිංහල ප‍්‍රශ්නෙම ලංකාවෙ එකම ප‍්‍රශ්නෙ විදිහට සලකන වම්මුන්ට පාන් බාගෙකට වඩා දෙයක් පේන්නෙ නැති එක සාමාන්‍යයි. ඒක හින්ද ඇත්තටම නම් අදහස වෙන්න  ඕන හිට්ලර්ව ගෙදර යැව්වා. චැප්ලින්ව ගෙනාවා. ඇයි අවුල්ද කියන එකයි. වෙනස තියෙන්නෙ අපි චැප්ලින්ව දකින්නෙ නිකංම ටෙනිසන් වගේ ජෝකර් කෙනෙක් විදිහටද, අදහසක්, ආර්ට් එකක් සහිත දියුණු ප‍්‍රකාශකයෙක් විදිහටද කියන එක උඩ.

කොහොම වුණත් ඇඞ්වර්ටයිසින් වලට පාවිච්චි වෙන මේ වචන පේලිය ෆිල්ම් එකට සම්බන්දයක් නෑ. කොටින්ම ෆිල්ම් එක ගැන කලින් එලියට ආපු ගයාන්ගෙ සිංදුවවත් ෆිල්ම් එකට සම්බන්ද නෑ. වෙන විදිහකට කිව්වොත් ජැක්සන් ඇන්තනිගෙ පුනරාගමනයක් බලාපොරොත්තුවෙන් ගිය මට ටයිට්ල් ට‍්‍රැක් එකෙන් පස්සෙ චිත‍්‍රපටියක් නැති වුණා. එතකොට තිබුනෙ ඇඞ් එකක් විතරයි, ප්‍රොඩක්ට් එකක් නෑ.

මට ෆිල්ම් එක ගැන ඇත්තටම කියන්න තියෙන දේ ෆිල්ම් එක හෝල් එකට එන්නත් කලින් කියන එක එච්චර සදාචාරාත්මක නෑ කියල හිතෙන හින්ද ඒ විස්තර පස්සට තියන්නම්. ඒත් මට ජැකාගෙන් අහන්න තියෙන එක ප‍්‍රශ්නයක් තියෙනවා. එතකොට මුඩුක්කුවල ඉන්නෙ ගණිකාවො. සිද්ද වෙන්නෙ හි`ගන බිස්නස් සහ පාතාල ගණුදෙනු(ඒත් කොතනකවත් කුඩු එහෙම නෑ) . මුඩුක්කුවෙ උන්ටත්  ඕන එතනින් ගැලවිලා උස තට්ටු බිල්ඩින් වලට යන්න (සහස්පුර වගේ). ඒක හින්ද ගෝටාබය විසින් කරගෙන ගිය කොළඹ මුඩුක්කු ඉවත් කිරීම කොයි පැත්තකින් බැලූවත් මාර ප‍්‍රගතිශීලීයි. මාර මානුෂීයයි. ඒකද මේ කතාව? (විදර්ශනත් ඒ මොහොතේම මේ ප‍්‍රශ්නෙ මතු කළා) දෙමළ සිංහල ප‍්‍රශ්නෙට පස්සෙ මහින්ද චින්තනයෙ ඊළ`ග අදියර කොළඹ සුද්ද කිරීමේ කැම්පේන් එක වෙනුවෙන්ද මේ චිත‍්‍රපටිය හැදෙන්නෙ? ජැක්සන් මේ හිට්ලර්ව චැප්ලින්ට අන්දන්න හදන්නෙ කාව ජෝක් කරන්නද? ඔන්න ලොකු අයියෙ ඔයාට ඇඩ‍්‍රස් නැති වෙන තැන.

චිත‍්‍රපටිය ගැන කතාව පස්සට තියල චිත‍්‍රපටියට කලින් ජැක්සන් කරපු කතාව ගැන කියන්නම්. එතනදි එයා වැදගත් දෙයක් කියනවා. අපේ සමස්ත සිනමාවම දැනට රදා පවතින්නෙ ඉන්දියාවෙ එකම ප‍්‍රින්ටින් මැෂින් එකක ඇණ මුරුච්චියක් උඩ කියල. තාමත් ඩිජිටල් නොවීම හරහා තමන්ගෙ චිත‍්‍රපටියට වෙන අසාධාරණය ජැක්සන් එතනදි මතු කළා. අත්දෙකම උස්සලා එක`ගයි මේ අදහසට. ඒත් ඒක මතු කරපු විලාසයේ තියෙනවා අර්බුදයක්.

තමන්ගෙ චිත‍්‍රපටියට හෝල් 38ක් (ඒ වගේ ගානක්) ලැබෙද්දි ඉන්දියාවෙ අලූතෙන්ම රිලීස් වෙන චිත‍්‍රපටියකට බාල ඊ-සිනමා ප්‍රොජෙක්ටර් හයි කර ගත්ත හෝල් 37ක් (වගෙයි මතක) ලැබීමේ අබාගය ගැන එයා එතන කණස්සලූ වුණා. ඒත් ඩිජිටල් සිනමාව ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටීමත් ඊ- සිනමා ප‍්‍රදර්ශනය ගැන කණස්සලූ වීමත් එකිනෙකට ප‍්‍රතිවිරුද්දයි. කවර හෝ තමන්ට ආයෝජනය කළ හැකි මට්ටමක ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් සමග මේ ශාලා හිමියන් ඩිජිටල් ප‍්‍රදර්ශනයට එක්වීම ගැන සතුටු වීමයි සිද්ද වෙන්න  ඕන. ඒ හෝල්වල පෙන්නන්නෙ ඉන්දියානු චිත‍්‍රපටියක් වීම ගැන ලාංකේය චිත‍්‍රපටකරුවන් ලැජ්ජා වෙන්න  ඕන. ඒ අපිට අපේ දේශීය සිනමා ශාලාවලට විශ්වාසය ඇති කරවන චිත‍්‍රපට නිර්මාණය කරන්න බැරි වීම ගැන. ඒක සිංහල, දෙමළ ප‍්‍රශ්නයක් වගේ තැනකට ලඝු කිරීම හෝ දේශීය, විදේශීය බෙදුම් කඩනයකට ලක් කිරීමට වඩා ඩිජිටල් ප‍්‍රක්‍ෂේපන තවත් පුළුල් කර ගැනීමයි මෙතනදි ඇත්තටම වැදගත්. දැවැන්ත ඉන්දියානු සිනමාව එක්ක අපිට උරෙනුර සටන් වදින්න බැරි වීමේ ප‍්‍රායෝගික තත්වයන්ට මුහුණ දෙන්න නම් ඒ ගෙන්වනු ලබන සිනමා කෘති වලට බදු පැනවීමක් වගේ දෙයක් ගැන හිතල බලන්න පුළුවන්. ඒත් ලංකාවෙ නිෂ්පාදනය කරන චිත‍්‍රපට බොහොමයකට මොකක් හරි විදිහක සිනමාවට බාහිර රැුකවරණයක් නැතුව පේ‍්‍රක්‍ෂාගාරයක් දිනාගන්න අමාරුයි. ඒක සිනමා නිර්මාණාත්මක බවේ අඩුවක් වගේම ඒ අඩුව පිරිවිය හැක්කේ තවත් තොත්ත බබාකරණය කිරීමෙන් නොව දියුණු තරගකාරීත්වයකට මුහුණ දෙන්න සැලැස්වීමෙනුයි.

ඒ වගේම ජැක්සන් විසින් ඊ- සිනමා ප්‍රොජෙක්ටර් හයි කරපු බාල සිනමා ශාලා ගැන කතාව කියන්නෙම ඊඒපී මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින්. සිනමාව ඩිජිටල් කිරීම තව තවත් ප‍්‍රමාද කරන්නට නොයෙක් දේශපාලන බලවතුන් එක්ක ඞීල් දාන ලංකාවෙ සිනමා පරිහාණියට මූලික වශයෙන් වගකිව යුතු මණ්ඩලයකට ප‍්‍රශංසා කරමින් සිනමාව ඩිජිටල් කිරීම ගැන කතා කරන එකත් විහිළුවක්. සිනමාව ඩිජිටල් වීම හරහා අලූතෙන් නව සිනමා ශාලා සහ මණ්ඩල නිර්මාණය වීම අනිවාර්යයි. ඒ වගේම තවත් නොයෙක් ප‍්‍රදර්ශන ක‍්‍රමයනුත් විවෘත වේවි. එතනදි ප‍්‍රධානවම අර්බුදයට යන්නෙ මේ වෙද්දි සිනමාව නඩත්තු කරමින් තමන්ගෙ ලාබ උපරිම කර ගැනීමේ යෙදෙන සිනමා පවුල් කීපයයි (ඊ්ඒපීත් ඇතුළුව). මේ කර්මාන්තය විවෘත වීමෙන් සහ පුළුල් වීමෙන් ඔවුන්ගේ අධිකාරී බලය පිරිහී යනවා. එතකොට ජැක්සන් මේ නව ඩිජිටල් සිනමා ප‍්‍රක්‍ෂේපන වලට දොස් පවරමින් ඊඒපී මණ්ඩලය ආරක්ෂා කරන හේතුව පැහැදිලියි. ඒක සිනමාව ගැන සැබෑ කාරණයකට වඩා තමන්ගේ නියෝජිතභාවය සහ පක්ෂපාතභාවය ගැන ප‍්‍රකාශනයක් විදිහටයි මං දකින්නෙ.

කොහොම වුණත් මේ සංවාදය වඩා විවෘත වීම වටිනවා. ලාංකේය සිනමාව ඩිජිටල් කිරීම කියන්නෙ ව්‍යාපාරික පවුල් කීපයකගේ උවමනාවන් මත ඇති කරන ප‍්‍රතිසංස්කරණ කීපයක් නොවිය යුතුයි. පරණ සිනමාවට යන්න කියන මේ මොහොතේ පරණ සිනමා අධ්‍යක්‍ෂවරුන් ගොඩකටද පැන්ෂන් යන්න සිද්ද වෙන බව පැහැදිලියි. එළඹෙන්නෙ සිනමාව ප‍්‍රජාතාන්ත‍්‍රීකරණය වෙන අලූත් යුගයක්. ඒක චැප්ලින්ගෙන් නතර නොවී ගප්පියා දක්වා එන වග මතක තියාගන්න  ඕන.

-චින්තන ධර්මදාස

Saturday, October 17, 2015

ඩොස්ටොව්ස්කි මරා දැමීම.



ඇත්තටම හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව සමස්තයක් විදිහට ඒ විෂයෙහි කරලා තියෙන්නෙ කොයිතරම් අල්ප වැඩ කොටසක්ද? මේක අහපු ගමන් එකපාරට එන ප‍්‍රතිවිරෝධය අපේ රටේ ආධිපත්‍යයික සිනමා දැනුමේ කඩාපැනීමකට වැඩි දෙයක් නෙමෙයි.  ඊට ටිකක් එහාට ගිහින් අපිට පුළුවන් ආයිමත් හිතන්න.

හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව කොයිතරම් පුංචිද?

මං හිතන්නෙ හොලිවුඞ් සිනමාවට පුළුවන් වෙලා තියෙනවා අපේ යතාර්ථයට පිටින් වූ සිනමාමය විශ්වයක් හදන්න. ඒකෙ ඉන්න සුපිරි වීරයො, සුපිරි දුෂ්ටයො සහ අනාගතවාදී මිත්‍යාවන් අන්තිමට අපි ජීවත් වෙන යතාර්ථය පවා වෙනස් කරමින් ඉන්නවා. හොලිවුඞ් සිනමාව තියෙන්නෙම යතාර්ථයට පිටතින්. වෙනම පරිකල්පන අවකාශයක් ඇතුලෙ. රූපකමය සම්බන්ධයක් හරහා විතරක් යතාර්ථය එක්ක ගණුදෙනු කරමින්. මේක දකින්න බැරි රේගඩාස්ගෙ ඉස්කෝලෙ සිනමාකරුවො සහ පේ‍්‍රක්‍ෂකයො යලි යලිත් යතාර්ථයේම හැපෙන, වැලපෙන යුරෝපියානු සිනමාව මාරයි කියල හිතනවා.

යුරෝපියානු සිනමාව අප වෙත මුදාහරින්නෙ අත්දැකීමක් විතරයි. ඒ අත්දැකීම හරහා නැවත ජීවිතය කියවා ගැනීමක්, ප‍්‍රඥාවට පත්වීමක් වගේ අර්තයක් තමයි ඒ සිනමා කතිකාවෙ තියෙන්නෙ. ඒත් සිනමාව කියන්නෙ එහෙම ආධ්‍යාත්මික විෂයක්ද? ඊට වඩා නිශ්චිත, මට අනුව නම් නීට්ෂියානු දාර්ශනිකත්වයක් පදනම් කරගෙන හොලිවුඞ් සිනමාව විසින් වෙනම උත්තර විශ්වයක් නිර්මාණය කරනවා. ඒ වීරයන්, දුෂ්ටයන් සහ පෙම්වතුන් සදා අමරණීයයි. ඒක සිනමාව වෙනුවෙන්ම වූ සිනමාව. යුරෝපයේ සිද්ද වෙන්නෙ ජීවිතය වෙනුවෙන් වූ සිනමාව. එතනදි මං තෝරගන්නෙ පළවෙනි එක.

හේතුව, ජීවිතය කියන එක කොයි දේකත් තියෙනවා. හදිස්සියෙ පිටවෙන වාතයක් වුණත්, හිස් ප්ලාස්ටික් බෑග් එකක වුණත් ජීවිතය තියෙනවා. ඒත් අපිට  ඕන ජීවිතය අර්ත නිරූපණය කරන්න. ඒක වෙන වෙන ප‍්‍රවේශයන්ගෙන් කියවන්න. මට හිතෙන්නෙ එහෙම ජීවිතය කියල අල්ලගන්න හදන දැනුවත් කොටසට වඩා ජීවිතය නෙමෙයි කියල නැවත අපි විසින් නිෂ්පාදනය කරන නොදැනුවත් කොටසෙ (ප්ලාස්ටික් බෑග් එකේ) ජීවිතය තියෙනවා.

මේ පූර්විකාව කියන්න යන කතාවට කෙලින් සම්බන්දයක් නෑ. ඒත් මොකක් හරි විදිහක සම්බන්දයක් තියෙනවා. ලියන්න  ඕන වුනේ ප‍්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබ එක්ක ගැන.
මුලින්ම කියන්න  ඕන මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම මට අනුව ප‍්‍රසන්න සිනමාව පැත්තෙන් කරපු ලොකුම පාවාදීම. එයා කිව්වෙ ලංකාවෙ ඩිජිටල් සිනමාව ඇති වෙන කල් මේ චිත‍්‍රපටිය පෙන්නන්නෙ නෑ කියල.

සිනමාවෙ ප‍්‍රවීනයෙක් හරි සම්මානනීය සිනමාකරුවෙක් හරි විදිහට ඒ වගකීම්සහගත ස්ථාවරය හැම සිනමාකරුවෙකුටම ගන්න වෙනවා කියලයි මං හිතන්නෙ. සිනමා ශාලා ඩිජිටල් කරන කල් තමන්ගෙ චිත‍්‍රපටි ඒ ශාලාවලට ලබා නොදීම හොඳට දැනෙන විරෝධයක්. ඒත් අන්තිමට ප‍්‍රසන්න තමන්ගෙ චිත‍්‍රපටිය පරණ විදිහටම පෙන්නන්න තීරණය කරනවා. තමන් යෙදිලා ඉන්න කර්මාන්තෙ වෙනුවෙන් අවශ්‍ය වෙලාවට පෙනීඉන්න බැරි වීම ප‍්‍රසන්නට විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් සිනමාකරුවන්ට පොදු සත්‍යයක්. මේ හැමෝම අන්තිම මොහොත වෙනකල් කෙසේ හෝ තමන්ගේ ජාවාරම් සිනමාව පවත්වාගෙන යාමට ද`ගදාන ලාංකේය සිනමා ප‍්‍රදර්ශක පවුල් තුනේ නියෝජිතයන්ද කියල හිතෙනවා. සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමයේ කලින් හිටපු සභාපති සහ තවමත් ඉදිරිපෙළ භූමිකාවක් නියෝජනය කරන ප‍්‍රසන්නගේ මේ ක‍්‍රියාව ඒ සංගමයට සිනමාව ඩිජිටල් කිරීම පිළිබඳ ඇති උවමනාවේ ඇත්ත ප‍්‍රමාණය ගැන ප‍්‍රශ්නයක් මතු කරනවා.

ඒක ඔබ නැතුව ඔබ එක්ක චිත‍්‍රපටයට කලින් චිත‍්‍රපටකරුවා ගැන නැගෙන ප‍්‍රශ්නයක්. මේ චිත‍්‍රපටය හැදෙන්නෙ ඩොස්ටොව්ස්කිගෙ ‘ජෙන්ට්ල් ක‍්‍රීචර්’ කියල ඉංග‍්‍රීසියට පරිවර්තනය වෙන කෙටිකතාව ඇසුරෙන්. මේ කෙටි කතාව මීට කලින් හතර වතාවක් විතර සිනමාවට නැගිලා තියෙනවා. මේ ගැන විකිපීඩියා සටහන අනිවාර්යෙන් බලන්න. මේ සිනමාකරුවො හතර දෙනා අතරෙ රොබර්ට් බ්‍රෙසොන් පවා ඉන්නවා. එයා ප‍්‍රංශ නව රැුල්ල කාලෙදි එයාගෙ මිනිමලිස්ටික් ඒ වගේම ආධ්‍යාත්මික සිනමා භාවිතාවෙන් දැවැන්ත ප‍්‍රකාශන කරපු සිනමාකරුවෙක්. ඒ වගේම 1989 මේ කතාව චිත‍්‍රපටයට නගන ‘මනි කෝල්’ කියන්නෙ ඉන්දියානු සමාන්තර සිනමාවෙ පුරෝගාමියෙක්. විකිපීඩියාවෙ ඒ හැමෝගෙම නම් නිකං ලියලා තියෙනවා මේ අවුරුද්දෙ මෙයා විසින් මේ නමින් මේ චිත‍්‍රපටිය යලි නිර්මාණය වුණා කියල. මේ ලැයිස්තුව අන්තිමට ප‍්‍රසන්න විතානගේ ගේ නම එද්දි විතරක් ‘ශ‍්‍රී ලාංකේය සම්මානනීය අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ 2014 වසරේදී මෙය සිනමාවට නගන ලදී’ කියල ලියලා තියෙනවා. එතකොට අර අනිත් අධ්‍යක්‍ෂවරු සම්මානනීය නැද්ද? මට හිතෙන්නෙ අපි ලෝකෙට අපි ගැන හඳුන්වාදීම් කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න  ඕන.

එතකොට මේ චිත‍්‍රපටය කොයි වගේ එකක්ද? වඩාත් විවෘතව, විනීතකම පැත්තකට තියලා කිව්වොත් මේක තමයි ප‍්‍රසන්නගෙ දුර්වලම චිත‍්‍රපටය. කාලයක් තිස්සෙ ප‍්‍රසන්න තමන්ගෙ නිර්මාණවල පරිහාණියකට ගමන් කරමින් ඉන්නවා. ආකෘතිය සහ කර්මාන්තමය කාරණා ගැන වැඩි අවධානයක් යෙදීම ඇතුලෙ චිත‍්‍රපටවල ආත්මය මිය යමින් තියෙනවා.

මේ චිත‍්‍රපටය ගැන කතා කරන ලංකාවෙ විකාර විචාරකයො මේකෙ තියෙන ජාතික ප‍්‍රශ්නෙයි, ඒක සාකච්ඡුාවට අරගෙන තියෙන දෘෂ්ටිකෝණයේ සාධාරණ, අසාධාරණකම් ගැනයි පිටු ගනං කතා කරනවා. ඒක එහෙම නොවිය යුතුයි කියන අතරෙ විදර්ශන කන්නංගරත් ඒකම නැවත ලියනවා. ඇත්තටම දැන් විදර්ශන ලියන දේවල් වලින් හතරෙන් එකක්වත් මට නං තේරෙන්නෙ නෑ. (සමහර විට මගේ භාෂා දැනුම අභාවයට යමින් තියෙනවා ඇති) පශ්චාත් ගම්ලතියානු වගේ විහිළු වචන සහ සද්ධර්ම රත්නාවලියෙ වගේ තේරුමක් නැති හෑලි වලට පිටින් මේ විචාර වල අන්තර්ගතය මොකක්ද? මුල ඉඳන් අගට යද්දි විදර්ශන විරුද්ද වෙච්ච දේම එයා කරමින් ඉන්නවා.

අපි කෙලින්ම මේ චිත‍්‍රපටිය දිහා බලමු. මේක තනිකරම නිල් පාට චිත‍්‍රපටියක්. අපිට රුසියානු කතාවක් කියවපු ගමන් ඇඳෙන මුස්පේන්තු පාට මනස් චිත‍්‍රය රූපයට අරන් එන්න ගිහින් මුලූ චිත‍්‍රපටියම මරලා දාලා තියෙනවා. මේක කලින් නවකතා වලට වැළඳිලා තිබුණු රෝගයක්. දැන් ඒක සිනමාවටත් බෝවෙලා. රුසියානු පරිවර්තන කියවන කොට අපේ ඔලූවෙ ඇඳෙන පාණ්ඩු පාට, පුස්ගඳ ගහන, තෙත් සහිත රූපය... කියවන කතාවකදි වගේ නෙමෙයි ඒක චිත‍්‍රපටියකට ගේන කොට. එතකොට හැ`ගීමක් නැතුව දෙබස් කියන මැරිච්ච මිනිස්සු, එකම පාට බිත්ති, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් විතරයි තිරය උඩට එන්නෙ. ඒත් ඩොස්ටොව්ස්කි කතාව කියන්නෙ ඊට වඩා ලොකු ගැඹුරක්, සංවේදනයක් එක්ක. ගොලූවෙක් වගේ බිරන්තට්ටු වෙච්ච මිනිහෙක් සහ ඔල්මාදෙ හැදෙන්න ආසන්න ගෑනියෙක් ගැන කතාවක් නෙමෙයි එයා ලියන්නෙ. ප‍්‍රසන්න තමන්ගෙ ලාංකේය රුසියානු හීනෙ ඇතුලෙ ඩොස්ටොව්ස්කිගෙ සාරය මරලා දානවා. අන්තිමට මේ චරිත වලට චරිත නැති වෙනවා. තියෙන්නෙ ඉඳලා හිටලා කියන දෙබසක් විතරයි.

මේ කතාව සාර්තකවම චිත‍්‍රපටියකට නැගෙන්නෙ රොබර්ට් බ්‍රෙසොන් අතින්. එයා මේ මූඞ් එක හරියටම ෆිල්ම් එකට ගේනවා. (ඇත්තටම නං මේක මෙලෝ යකෙකුට චිත‍්‍රපටියකට නගන්න බැරි කතාවක්) මුලූ කතාවම ස්වයං පාපොච්චාරණයක් වගේ. බ්‍රෙසොන් එයාගෙ චිත‍්‍රපටියට මේ රූපය නිර්මාණශීලීම විදිහට බද්ධ කර ගන්නවා. ක‍්‍රිස්තියානු මනසකට හුරු මේ කන්ෆෙෂන් ඇතුලෙයි ඩොස්ටොව්ස්කි නොවැලැක්විය හැකි මනුස්ස අසමත් වීම හොයන්නෙ. ඒත් ප‍්‍රසන්න මේක එකවිට චරිත දෙකේම ස්වයං පාපොච්චාරණයක් කරනවා. මට හිතාගන්න බෑ ඒක කොහොමද වැඩ කරන්නෙ කියල. ඒක න්‍යායික අසමත් වීමක්.

ඩොස්ටොව්ස්කිගෙ කතාවෙ මූලික හරයක් වෙන්නෙ සියල්ල (බලය මූලිකව) බාහිරයෙන් විසඳා ගත හැකි යැයි විශ්වාස කරන පිරිමි මනස සහ (ආදරය තුල) අභ්‍යන්තරයෙන් විසඳා ගත යුතු යමක් ගැන පසුතැවෙන ස්ත‍්‍රී මනස අතර පෑහීම සහ නොපෑහීම. පිරිමියා විසින් සියල්ල විසඳාගෙන හොඳ ජීවිතයක් පටන් ගන්න කඳුකරයට යන්න යෝජනා කළත් ගැහැණිය එහෙම ගිහින් විසඳගන්න පුළුවන් ප‍්‍රශ්නෙක නෙමෙයි ඉන්නෙ.

බලය සම්බන්ධයෙන් පිරිමියා විඳින ආස්වාදය ගැන ඩොස්ටොව්ස්කි ගැඹුරට යනවා. උකස්කරුවෙක් හැටියට තමන්ට ලැබෙන ‘නරක’ ප‍්‍රතිරූපයට පටහැණිව ‘හොඳක්’ කිරීමෙන් ලබන තෘප්තිය, දුප්පතෙක් වී ඇද වැටී සිටි තමන් දැන් යමක් කමක් ඇති කෙනෙක් යැයි හැ`ගීමෙන් ලබන තෘප්තිය, අසරණ වී සිටින යුවතිය බේරා ගැනීමෙන් ලබන තෘප්තිය මෙන්ම ඇය වෙනුවෙන් යම් යම් දේ ඉටු කිරීමෙන් පවා තමන් ‘හොඳ’ හෝ ‘ආදරණීය’ වෙනවා යැයි හ`ගින තෘප්තිය ආදී වශයෙන් පිරිමි මනසට ගැලවී ගත නොහැකි බලය පිළිබඳ අවිඥාණක තෘප්තිමත් කිරීම් ඩොස්ටොව්ස්කි ආදරය එක්ක හප්පනවා. ආදරය නිරායුද වීමක් ඉල්ලා සිටිනවා. ඒත් ආයුද අත්අරින හැටි අපි ඇත්තටම දන්නවාද?

මේ සංකේතීය යුවතිය ඒ බලයට එරෙහිව ප‍්‍රතික‍්‍රියා කරනවා. මේක ආදරය ගැන පරණ වුණාට දරුණු කියවීමක්. මේ නිහ`ඩ අරගලය බ්‍රෙසොන් එයාගෙ චිත‍්‍රපටිය ඇතුලෙ හුදු ප‍්‍රකාශනවාදී අදහසකට යන්නෙ නැතුව අත්දැකීමක් කරනවා. ඒ වෙනුවෙන් බ්‍රෙසොන් චිත‍්‍රපටියට බාහිරෙන් ටී‍්‍රට් කරනවා වෙනුවට චරිත අභ්‍යන්තරයෙන් ටී‍්‍රට් කිරීම තෝරා ගන්නවා. වෙන විදිහකට කිව්වොත් පිරිමි පාපොච්චාරණය උඩ ස්ත‍්‍රී සිනමා භාවිතාවක චිත‍්‍රපටිය පිහිටුවනවා. මං කියන්නෙ මේකයි දැනුවත් සිනමාව.

ඒත් ප‍්‍රසන්න කරන්නෙ මොකක්ද? එයා මේ බලය ගැන සංකීර්ණ ආත්මීය අත්දැකීම සමාජ ප‍්‍රකාශනයක, හුදු පෝස්ටරයක තැනට ගේනවා. මේ දෙමළ චරිතය (සෙල්වි) හෝ උකස්කරුවාගෙ චරිතයේ කිසිම සංවේදනාත්මක ගොඩනැංවීමක් එයා අතින් සිද්ද වෙන්නෙ නෑ. මේ මතුපිට දේශපාලනයම විචාරකයන් විසින් අල්ලාගන්නෙත් මේ හේතුවම නිසා. මෙහෙකාරියගෙ චරිතයේ පවා ගොඩනැංවීම හාස්‍යජනකයි. අවසානයේ සෙල්වි කකුලක් කැඩෙන්න තරම් වත් උස නැති තැනකින් බිමට පැනලා මැරෙනවා.

කාට හරි හිතෙන්න පුළුවන් ප‍්‍රසන්න දේශපාලනික සිනමාකරුවෙක් විදිහට ඩොස්ටොව්ස්කිගේ කතාව සමාජ කියවීමක් කරනවා කියල. අවාසනාවට ඩොස්ටොව්ස්කි ආත්මීය භාවිතාව ඇතුලෙ ලියන ගැඹුරු ස්ත‍්‍රී පුරුෂභාවය ගැන අත්දැකීම දේශපාලන කියවීමකට වඩා ගොඩක් පළල්. අනෙක් අතට ප‍්‍රසන්න චිත‍්‍රපටියෙ එහෙම දේශපාලන ගොඩනැංවීමක් කරන්නෙ නෑ. සෙල්වි තමන්ගේ පවුලේ අයව හමුදාවෙන් මරද්දි ගැලවිලා ආපු චරිතයක් කිරීමෙන්වත්, පිරිමියා දෙමළ කෙල්ලෙක් දූෂණය කළ තමන්ගේ යාලූවන් වෙනුවෙන් බොරු කී හමුදාකරුවෙක් කිරීමෙන්වත් ඒක සිද්ද වෙන්නෙ නෑ. ඒවා හුදු භාවාතිෂය ප‍්‍රයෝග. නැත්තං ගොඩක් අමු රූපක. නිකං ප‍්‍රවෘත්ති විදිහට එන සමාජ දේශපාලන විස්තර සිනමාවෙදි චරිත අභ්‍යන්තරයට බද්ධ වෙන්නෙ නෑ.

මං විහිළුවට වගේ කොටුවෙන් එලියට හිතුවා. සෙල්වි හමුදාකාරයන් කීප දෙනෙක් අතින් දූෂණය වුණු දෙමළ කෙල්ලෙක් නොවෙන්නෙ හෝ මේ පිරිමියා අනිත් යාලූ සොල්දාදුවන් සමග එකී දෙමළ තරුණිය දූෂණය කළ එකෙක් නොවෙන්නෙ ප‍්‍රසන්නට ඩොස්ටොව්ස්කිගේ කතාව ආසන්නයේම රැුඳෙන්න තිබුණු උවමනාවක් හින්දද? අඩුම තරමෙ ඒ ගැන නිශ්චිත උත්තරයක් නොදී මීදුමක වගේ තියෙන්න ඉඩ දෙන්න තිබුණ. ඒත් ප‍්‍රසන්නට  ඕන වෙනවා මේ චරිත ඒ මඩෙන් උඩට ආපු නෙළුම් කරන්න. වැරැුද්ද තියෙන්නෙ සමාජයේ මිසක් මේ චරිතවල නෙමෙයි. ඒක වාමාංශික දෘෂ්ටිවාදයද? ඩොස්ටොව්ස්කි වැඩ කරමින් ඉන්නෙ එහෙම්පිටින්ම අනිත් පැත්තෙ. මට හිතෙන්නෙ ඒක ප‍්‍රසන්නගේ කන්‍යාභාවය සම්බන්ද අර්බුදයක් කියල.

ඇස්වලට කැමරාව අල්ලපු පමණින් සිනමාවෙ චරිත ගොඩනැගෙන්නෙ නැති වග ප‍්‍රසන්න ඉගෙන ගත යුතුව තියෙනවා. කතා නොකරන චරිත හිටපු පමණින් ගැඹුරු යමක් සිද්ද වෙනවා කියල හිතෙන එක ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයන්ගෙ රෝගයක් මිස සිනමාත්මක කාරණයක් නෙමෙයි කියල අපි තේරුම්ගත යුතුව තිබෙනවා.  ඒ වගේම දෙමළ සිංහල චරිත හිටපු පමණින් එතන ජාතික ප‍්‍රශ්නයට අදාල දෙයක් තියෙනවා කියල මවා නොගන්නා තරමට විචාරකයනුත් ටිකක් සිනමාව පැත්තෙන් මැචුවර් විය යුතුව තිබෙනවා.

කොටින්ම සිනමාවෙ ප‍්‍රවීනයෙක් විදිහට තමන්ට නිල්පාට ෆිල්ම් එකේ කලර් එකක් විදිහට පාවිච්චි කරන්න  ඕන නම් ඒ පසුබිමේ නිලට කන්ට‍්‍රාස්ට් පාටක එක වස්තුවක් හෝ තිබිය යුතුයි කියන ආර්ට් ඩිරෙක්ෂන් ගැන දැනුම පවා ප‍්‍රසන්නට අතපහු වෙනවා.

ප‍්‍රසන්න තමන්ගෙ චිත‍්‍රපටිය ඇතුලෙ ඩොස්ටොව්ස්කිගෙ ගැහැණිය මරා දානවා විතරක් නෙමෙයි ඒ කතාවෙ ඓතිහාසික සාරයම නන්නත්තාර කරනවා. ගැඹුරු මනුෂ්‍ය තේමාවක් පටු ජාතිවාදී ආකෘතියකට ගේනවා.
අපිට සිනමාව නැවත නැවතත් මගඇරෙනවා. ඒ වෙනුවට වෙන බහුබූත පිරෙනවා.

-චින්තන ධර්මදාස

Saturday, October 3, 2015

පතී ඔතනින් අයින් වෙන්න


ලංකාවෙ සිනමා අධ්‍යාපනය කියන එක හොඳටම අනාත විෂයක්. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයමයි සිනමාව උගන්නන්න යන්නෙත්. ඒ අයගෙ මතවාදයන්, රසභාවයන් තමයි ඒ ඉගෙන ගන්න පරපුර පරම සත්‍යය  විදිහට නැවත ඉගෙන ගන්නෙ. ගොඩක්ම මේ අධ්‍යක්‍ෂවරුන්ගෙ දර්ශනවාද. චිත‍්‍රපටි ඉගෙන ගන්නවා කියන්නෙ මේ දර්ශනවාද ඉගෙන ගන්නවා කියලයි තේරුම් අරගෙනම ඉන්නෙ. ලැකාන්, ජිජැක්, රොන්සියර් වගේ එකී නොකී බරපතල තර්ක විතර්ක ලංකාවෙදි සිනමාව කියල පැටලෙනවා. මේකෙන් ඇත්තටම වෙන්නෙ ඒ ඉගෙනගන්න තරුණයා හෝ තරුණිය තවත් සිනමාවෙන් දුරස්තකරණය වෙන එක. සිනමාව එක්ක බැඳිලා, තම තමන්ගෙ පරිකල්පන ඇතුලෙන් බද්ධ වෙලා, විශාල අවකාශයක් ඇතුලෙ තමන්ගෙ ප‍්‍රකාශනය හොයා ගන්නවට වඩා එක් පරම දෘෂ්ටියක් කියන මුළාවට වැටෙනවා. බූපති කියන විදිහට, හැදෙන චිත‍්‍රපටි දිහා බැලූවම කියන්න පුළුවන් කවුරු කවුරුද උගන්නලා තියෙන්නෙ කියල. මේක බරපතල අවුලක්.

අනිත් අතට සිනමාකරණය (ෆිල්ම් මේකින්) සහ සිනමා අධ්‍යයන (ෆිල්ම් ස්ටඞීස්) කියල කිසිම වෙනසක් ලංකාවෙ නෑ. හැමෝම හැම එකම ඉගෙන ගන්නවා. ඇකඩමික් වැඩෙයි ක‍්‍රියේටිව් වැඩෙයි පැටලෙනවා. අන්තිමට නිර්මාණ කියල එලියට එන්නෙ ඇකඩමික් ලියවිලි.

ක‍්‍රාෆ්ට් එකක්, ශිල්පයක් කියන අදහසින් සිනමාව උගන්නන කිසි තැනක් තිබුනෙ නෑ. හැමෝම උත්සාහ ගනිමින් හිටියෙ ආර්ට් එකක් උගන්නන්න. ආර්ට් එකක් උගන්නන්න බෑ. ඒක නිර්මාණය වෙන්න  ඕන. ඒත් ක‍්‍රාෆ්ට් එකක් උගන්නන්න පුළුවන්. එතැනින් සමහර විට ආර්ටිස්ට්ලා බිහිවේවි. එහෙම නැතත් දක්ෂ ශිල්පීන් බිහිවේවි. ඒකෙන් හොඳ කර්මාන්තයක් ඇති වේවි. ඒත් අපිට  ඕන වෙලා තිබුණෙ එකපාරටම ආර්ටිස්ට්ලා බිහිකරන්න.

ලෝකෙ සිනමා පාසැල්වල සිනමාව උගන්නන ගොඩක් අය චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරු නෙමෙයි. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයට ඒ අයගෙ නිර්මාණ තියෙනවා කරන්න. සිනමා ගුරුවරු කියල වෙනම පිරිසක් ඉන්නවා ශිල්පීය දැනුම මැදිහත්ව බෙදා ගන්න දන්න. තමන්ගෙ මතවාදය වෙනුවට මතවාද ඔක්කොම මේසෙ උඩට ගේන, නිර්මාණකරනය වෙනුවට තාක්‍ෂණය කියල දෙන, ගුරුවරුන් ඒ අය. තාක්‍ෂණය කියන්නෙ යාන්ත‍්‍රික කොටස විතරක් නෙමෙයි. සිනමාවෙ කාලය අවකාශය කලමනාකරණය කරන හැටි, ඒ හරහා එලියට පේන අදහස්, මේ හැම එකක්ම ඒ විෂයෙ තාක්‍ෂණය. සමහර විට මේ ගුරුවරු කවදාවත් චිත‍්‍රපටියක් හදලා නැති වෙන්න පුළුවන්. මං දන්න කාලෙ පෝලන්තෙ වූජ් (ලෝඞ්ස්) සිනමා පාසැලේ සිනමා අධ්‍යක්‍ෂණ අංශය බාරවෙලා තිබුනෙ එහෙම කවදාවත් චිත‍්‍රපටියක් අධ්‍යක්‍ෂණය කරලා නැති ආචාර්යවරයෙකුට. ඒත් ඒ ශිල්පය උගන්නන එකේදි එයා අතිදක්ෂයි.

‘අපි මහන්සි වෙන්නෙ එක දක්ෂ සිනමාකරුවෙක් හදන්න නෙමෙයි. ඒ වෙනුවට දක්ෂ සිනමා තාක්‍ෂණ ශිල්පීන් සිය දෙනෙක් හදන්නයි’ දවසක් එයා මට කිව්වා.

ඩිජිටල් සිනමා ඇකඩමිය එස්එල්ටීටීඅයි එකේ පටන් ගත්තම මං දැකපු වෙනස තියෙන්නෙ එතනයි. පළවෙනි වතාවට ලංකාවෙ ක‍්‍රාෆ්ට් එක උගන්නන්න පටන් ගත්තා. ධනුෂ්ක පිළිවෙලට සකස් කළ විෂය මාලාවක් ඇතුලෙ සිනමාවෙ ශිල්පීය අංශ ඇත්තට උගන්නන ආරම්භයක් ගත්ත. ඒකෙ පැහැදිලි වෙනස් ප‍්‍රතිඵල ආවා. මෙතෙක් දැකපු කෙටි චිත‍්‍රපටවල තත්වය වෙනුවට ඊට ගව්ගානක් ඉදිරියෙන් වුණු නිර්මාණ බිහිවුණා. කාලෙකට පස්සෙ සිනමාවට වැඩකට ඇති අලූත් පරපුරක් එකතු වුණා.

දේශපාලන  ඕනකම් උඩ මහින්දගෙ ආණ්ඩුව ඒ කෝර්ස් එක එස්එල්ටීටීඅයි එකෙන් එලියට දැම්මා. ඒ කාලෙ ඒක ස්වභාවිකයිනෙ. යන්න තැනක් නැතුව ඒ ශිෂ්‍යයො එක්ක ඩිජිටල් සිනමා ඇකඩමිය පදනම් ආයතනයට අරන් ගියා. එස්එල්ටීටීඅයි එකේ තිබුණු පහසුකම් වලින් අරුක්කාලක්වත් නැතුව ඇකඩමියෙ වැඩ ආපහු පටන් ගත්ත. අනිත් පැත්තෙන් එස්එල්ටීටීඅයි එකට අලූතෙන් පත්වෙලා ආපු ලොක්කො එතනත් වෙනත් පාඨමාලාවක් පටන් ගත්ත. ඒත් පදනමේ ඇකඩමියෙන් පිටවෙන අයගෙ නිර්මාණ සහ එස්එල්ටීටීඅයි අලූත් පාඨමාලාවෙ නිර්මාණ අතර වෙනස අහසට පොලොව වගේ වුණා.

කාරණය පැහැදිලියි. ලංකාවෙ පඳුරක් පඳුරක් ගානෙ, කැම්පස් එකක් කැම්පස් එකක් ගානෙ ඇරෙන සිනමා පාඨමාලා වෙනුවට එක ඇත්ත පාඨමාලාවක් බැරි බැරි ගානෙ හරි පටන් අරන් තිබුණ.

කොයිතරම් ඌනිත විදිහට දකිනවද කියල හිතෙන්න පුළුවන් වුණත් මේ කටයුත්තෙ පූර්ණ ගෞරවය යන්න  ඕන ධනුෂ්ක ගුණතිලකට. ලංකාවෙ වෙන කිසිම කෙනෙකුගෙන් නොදැකපු අවංක උවමනාවක්, කැපවීමක් මේ වෙනුවෙන් එයාට තිබුණ. ඉන්දියාවෙ පූනෙ සිනමා පාසැල එක්ක සංසන්දනය කරමින් ඒ තත්වයේ අධ්‍යාපනයක් මෙහාට ගේන්න ධනුෂ්ක තනියම ලොකු වැඩ කොටසක් කරමින් හිටියා.

සිනමාව වෙනුවෙන් කැපවීම පැත්තකට තියලා එස්එල්ටීටීඅයි එක විශ‍්‍රාමික සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සැඳෑ සමය වෙනුවෙන් කැප වුණා. යහ පාලන වෙනසෙන් පස්සෙ එතනට පත්වුනෙ ධර්මසේන පතිරාජ.

මේ වෙද්දි එස්එල්ටීටීඅයි එකේ හැම තාක්‍ෂණ උපකරණයක්ම විනාස වෙලා නැත්තං හොරකම් කරලා. ජර්මන් ආධාර මත සිනමා සහ රූපවාහිනී තාක්‍ෂණ දැනුම බෙදා දෙන්න කියල පදනමට තෑගි කරපු මේ ආයතනය මේ වෙද්දි පුද්ගලික සමාගමක්. කිසිම ඵලදායී නිෂ්පාදනයක් නැතුව දූෂණය වෙනුවෙන්ම ඇරිලා. බීබීසී වගේ අන්තර්ජාතික ආයතන වලින් පවා ගෙන්නලා ඉගැන්වීම් කරපු මේ ඓතිහාසික සිනමා පාසැල අද නිකම්ම හොර තිප්පොලක්.

නැවත එස්එල්ටීටීඅයි එක පදනමට පවරන්න කියල නුග ගහ යටින් පටන් ගත්ත අරගලය ලංකාවෙ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් නැගෙන කැරැුල්ලක් වෙන්නෙ මේ විදිහටයි. නීත්‍යානුකූලව කොහොමත් පදනමට අයිති මේ ගොඩනැගිල්ල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ගැසට් වෙන්නෙ කොහොමද කියන එක නීතියෙන් විසඳාගත යුතු හිනා යන ප‍්‍රශ්නයක් වුණත් මේ පරිශ‍්‍රය නැවත ඩිජිටල් ඇකඩමියට ලබා දීම මේ වෙලාවෙ රටේ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් ගන්න පුළුවන් වැදගත්ම පියවරක්.

එක විදිහකට සාර්ථක සිනමා අධ්‍යාපන ප‍්‍රවේශයක් ලබා දීමේ හැකියාව මේ ඇකඩමිය විසින් ඔප්පු කරලා තියෙනවා. ඒක අතිවිරල සක්සස් ස්ටෝරි එකක්. ඒකට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් මේ අධ්‍යාපනය තවත් පුළුල් කිරීමයි වෙන්න  ඕන. අනිවාර්යෙන්ම අන්තර්ජාතික සිනමා පාසැලක් එක්ක සම්බන්ධ වෙමින් අපේ සිනමාව ගැන සිතීම දූපතෙන් එලියට අරන් යන්න මේ හරහා පියවර ගන්න  ඕන. නැත්තං ටික කාලෙකින් මේ පාඨමාලාවත් අපේ රටේ සීමිත මතවාදී අධ්‍යක්‍ෂවරුන්ට නතු වෙනවා.

එස්එල්ටීටීඅයි එක නීත්‍යානුකූල ලෙස නැවත පදනමට පවරා ගැනීම කියන්නෙ දේපොල ප‍්‍රශ්නයක්. ඒත් ලාංකේය සිනමා අධ්‍යාපනය වෙනුවෙන් එස්එල්ටීටීඅයි එක ඩිජිටල් ඇකඩමියට පවරා දීම කියන්නෙ ඇත්ත සටන් පාඨයක්.

මේක සිනමාව ගැන අල්පමාත‍්‍ර හෝ හැ`ගීමක් ඇති  ඕන කෙනෙක් හිටගන්න තැනක්. මීට විරුද්ද වෙන්නෙ තමන්ගේ හිතවත්කම් පාවිච්චි කරමින් තවදුරටත් තත්වය හා බලය තියාගන්න ද`ගලන පරණ ආණ්ඩුවෙ ඉතුරු කෑලි බව වටහා ගන්න අමාරු නෑ. ඒත් තේරුම්ගන්න අමාරු ධර්මසේන පතිරාජ එතන සභාපති විදිහට තාම මොකද කරන්නෙ කියන එකයි.

ලංකාවෙ සිනමාවෙ ප‍්‍රවීණයෙක් වගේම ජනතාවාදී අරගලවලත් ඉදිරියෙන්ම හිටපු පතීට මේ ආයතනය යලි පවරා දීමේ අවශ්‍යතාව නොපෙනෙන්නෙ කොහොමද? ජනවාරි 08 සටනේ පවා පුරවැසි බලය වෙනුවෙන් සටන් වැදුණු පතී අන්තිමට තමන්ගෙ වැටුප හෝ පහසුකම් පිනිස දූෂකයන් රකිමින් ඉන්න තැනකට ඇද වැටුනද? හැමදාම වගේ ලංකාවෙ සිනමාවට ගල පෙරලන්න අදත් ඉදිරිපත් වෙන්නෙ සිනමාකරුවෙක්මද?

එස්එල්ටීටීඅයි ආයතනය යලි පදනම යටතට පැවරිය යුතුයි කියන එක මේ ආයතන ඉතිහාසය කියවන  ඕන කෙනෙකුට පැහැදිලි කාරණයක්. ඒ වගේම මේ ආයතන දෙක වෙන් කිරීම පිටිපස්සෙ තියෙන පටු ජඩ දේශපාලන උවමනාවන් පවා ඉතාම පැහැදිලියි. දූෂිත ආණ්ඩුවක් ගෙදර යවලා ජනතාව විසින් යහ පාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ ආයතනගත මෙවන් දූෂණ වලට එරෙහිව කටයුතු කරන්නයි. විශේෂයෙන්ම පදනම් ආයතනය තියෙන්නෙත් කෙලින්ම ජනාධිපති යටතේමයි.

එතකොට කිසිම අකාරයකින් වෙනත් ප‍්‍රතිපාදන නොලබන, රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් පවා නොවෙන එස්එල්ටීටීඅයි එක ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතට වැටෙන්නේ කොහොමද? කාගෙ උවමනාවටද? ඒක දේශපාලන ප‍්‍රශ්නයක්.

මේ කිසි දෙයක් තේරුම් නොගන්නට තරම් පතී ළාබාලද? වහාම සිනමා අධ්‍යාපනය වෙනුවෙන් මේ ආයතනය ඩිජිටල් ඇකඩමියට භාර දී ඒ හරහා වඩා ක‍්‍රමවත්, දියුණු සිනමා පාඨමාලාවක් බිහිකරන්නැයි ඉල්ලා සිටිමින් එස්එල්ටීටීඅයි සබාපතිකමෙන් ඉල්ලා අස්වීමට පතීට බැරිවෙන්නෙ ඇයි? සදාචාරාත්මක ප‍්‍රශ්නෙ ඒකයි.

-චින්තන ධර්මදාස