Saturday, October 29, 2011

පසෙකින් ඇමරිකානු සිහිනය ය. පසෙකින් කාණුවක ගඩාෆි ය.

මුවම්මර් ගඩාෆිව වතුර බහින කුණු කාණුවකින් අල්ලගෙන මරා දැම්මේය. ගඩාෆි මරපු එක ගැන යුධ අපරාධ පරීක්‍ෂණයක් කරන්න කියල අපේ විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබුණේය. භාරත ලක්ෂ්මන්ට මොකද වුණේ කියල අහන්න හදිසි නොවුණු විමල් වීරවංසත් ගඩාෆිට මොකද වුණේ කියල ප‍්‍රශ්න කළේය. ඒ අතරෙ ගඩාෆි මරපු අයට විරුද්ධව පියවර ගන්න කියල බැරක් ඔබාමාත් කියල තිබුණේය.

 ‘ගඩාෆි මරපු එක හරිද?’ මගෙන් සමහර අය ඇහුවෙ ආවේගෙන්ය.

 කවුරු වුණත් මරන එක වැරදිය. ගඩාෆි ඔය විදිහට මරලා දාලා ඊට පස්සෙ ඇතිවෙන ආණ්ඩුවක් ගැන තත්වෙ භයානකය. ඒ කවදාවත් ඝාතනයකින් සාමයක් ඇති කරන්න බැරි නිසාය. එහෙම මං කිව්වට ඒකෙන් ඒ අයගෙ අවුල නම් විසඳුනෙ නැතිය.

 ‘ගඩාෆිව මැරුවෙ ඇමරිකාවෙන්. තෙල් ටික අල්ල ගන්න’

ගඩාෆි මැරුණ එක පිටස්තර සිද්ධියකට එහා ගිහින් ආවේගයක් තරමට මට ලොකු නොවුණේය. ඒ වගේම ඒකෙන් මගේ ඇතුලෙ ඇමරිකානු විරෝධයක් ද පැන නොනැංගේය.

‘උඹ ඇමරිකන් ගැත්තෙක්’ උන් චෝදනා කරද්දී මං කල්පනා කළේය.

 ලිබියාව එක්ක මගේ ජීවිතේ කිසිම ගණුදෙනුවක් නොතිබුණේය. ලිබියාවෙ සාහිත්‍යයක්, ලිබියානු චිත‍්‍රපටියක්, ලිබියාවෙන් අලූත් අදහසක්, අඩුම තරමෙ ලිබියාවෙ ඇල්පෙනිත්තක් වත් මගේ ජීවිතේ එක්ක ගණුදෙනු කරලා තිබුණේ නැතිය. සාක්ෂරතාවය මේ තරම් වැඩියි කියන රටක ඇයි සංස්කෘතික උපරි ව්‍යූහයක් නිර්මාණය වුණේ නැත්තෙ? ගඩාෆි වෙනුවෙන් අ`ඩන අයගෙන් මට අහන්නට ඕන වුණේය.

 ඇයි ගඩාෆි දිගටම හමුදා ඇදුමක් ඇඳගෙන හිටියෙ? ඇයි ආයුධ වලට සහ හමුදාවට ලිබියාව පුරා ඒ තරම් ඉඩක් ලැබුණෙ? ඇයි ලිබියාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සංවාදයක් තිබුණෙ නැත්තෙ? මං ඒ දේවල් ඇහුවෙ ඇත්තටමය. ලිබියාව ගැන මට හැ`ගීමක් නැති වීම ගැන මං හිතන්න අරන් තිබුණේය.

 ‘උඹ ඇමෙරිකන් ගැත්තෙක්’

 ඔවුන්ට ඒ හැමදේකටම තිබුණෙ සරල දේශපේ‍්‍රමියෙක්ද, දේශද්‍රෝහියෙක්ද වගේ උත්තරයක් විතරය. සමහර අය ලිබියාවට පක්ෂ වීම දේශපේ‍්‍රමීත්වය එක්කත්, ඇමරිකාවට පක්ෂ වීම දේශද්‍රෝහීකමත් එක්කත් ගැටගහගෙන හිටියේය.

ඇත්තටම මං ඇමරිකාවට ආසය. ඒ ඇමරිකාවෙ යුධ පිළිවෙත් වලට නොවේය. අනෙක් රටවලට එරෙහිව කරන දේශපාලන කුමන්ත‍්‍රණ නිසා නොවේය. ඒ ඇමෙරිකානු සමස්තය නිසාමය. කිසිම සංස්කෘතියක් නැති, එක එක රටවලින් පිටුවහල් වූ නැත්නම් නිදහස සොයා ගිය ජනතාව විසින් ගොඩ නැගූ ඇමරිකාව නිසාමය. අසංස්කෘතියේ, ම්ලේච්ඡුත්වයේ සිට අද දක්වා අතීත උරුමයක් නැතිවම සංස්කෘතික වූ ඇමෙරිකාව නිසාමය.

 මං ආසම ලේඛකයන් බිහි වුණේ ඇමරිකාවේය. චාල්ස් බුකොව්ස්කි, ඇලන් ගින්්ස්බර්ග්, ජැක් කැරෝ හිටියෙ ඇමෙරිකාවේය. නාසි ජර්මනියෙන් බේරිලා ආපු දැවැන්ත නිර්මාණ ශක්තියක් ඇති අය රැකවරණ ලැබුවේද ඇමරිකාවේය. බර්ග්මාන්, අකිර කුරසෝවා වගේ සිනමාවේ දැවැන්තයින් පවා අන්තිමට නතර වුණේ ඇමරිකාවේය. ඬේවිඩ ලින්ච්, රොඞ්රිගුඅස්, ටැරන්ටිනෝ ඉන්නේද ඇමරිකාවේය. ඇන්ඩි වාර්හෝල් හිටියේද ඇමෙරිකාවේය. ස්ටීව් ජොබ්ස්ගේ රටත් ඇමරිකාවය. ඉතින් මං ඇමරිකාවට ආදරය නොකර ඉන්නෙ කොහොමද?

ඇමරිකාවේ පාදඩ ව්‍යාපෘතීන් මං නොසලකා හරිනවා නොවේය. ඒත් මේ තරම් සිතීමක්, නිදහස් පරාසයක් නිර්මාණය කරන්න අනිත් කිසිම රටක උපරි ව්‍යූහයකට බැරි වුණේය. ඒක වඩා හොඳ දේවල් කිරීමේ අරමුණින් නිර්මාණය වුණු අවකාශයක් නොවේය. ඒත් ගොඩක් අහම්බයන් එක්තැන් වෙලා නිර්මාණය වුණු අපූර්වත්වයක්ය. ඇමරිකාවෙ දහසකුත් එකක් ගැටළු හා අර්බුද අතරෙ මේ දැවැන්ත විකල්පයන් නිර්මාණය කරන මානසික අවකාශයක් ගොඩනැගුණේය. මට රටක් දැනෙන්නෙ ඒ රටේ ජීවත් වන ජීවිත වලින් විතරය. මට රටක් හැෙ`ගන්නේ ඒ රටේ තනා ඇති මහාමාර්ග, හෝටල්, යන්ත‍්‍රසූත‍්‍ර ආදියෙන් නොවේය. ඒ ජීවිත කොයිතරම් මගේ ජීවිතේ එක්ක ගණුදෙනු කරනවද කියන කාරණෙත් එක්ක විතරය. සිංගප්පූරුවට, ජපානෙට මං ලිබියාවට තරම්ම විරුද්ධ කාරණය ඒකය. රටක ආර්ථික හා දේශපාලන කාරණා සංස්කෘතික සහ සමාජීය කාරණා වලට වඩා වැදගත් කොට සළකනවා නම් ඒ රටේ සිතීම සහ සංවාදය සීමා වීම හෝ වලපල්ලට යාම අහම්බයක් නොවේය. මට අනුව සාක්ෂරතාව වැනි කරුණු වලින් ඒ අර්බුදය විසඳෙනවා වෙනුවට වැඩිවෙන්නේය.

 පෝලන්තෙ ගත කළ කෙටි කාලෙදි මට ඇමරිකානු විරෝධී ඇමරිකානුවො මුණ ගැහුණේය. ඒ අය ඇමරිකාවෙන් ඇවිත් පෝලන්තෙ නැවතිලා නිදහස වෙනුවෙන් අරගල කළ අය විය. ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදය එරෙහිව සංවිධාන ඇති කළේය. කොටින්ම පෝලන්තෙ මිනිස්සුන්ට නොතේරෙන තරම් පෝලන්තෙ ජනතා අයිතීන් ගැන හැ`ගීමක් ඒ අයට තිබුණේය. ඒක නෝර්වේජියන්, ස්විස් ජාතිකයන්ගෙ මං දැක්කෙ නැති ලකුණක්ය. ඇමරිකාවට විරුද්ධ මේ ප‍්‍රගතිශීලීත්වය පවා මට දැනෙන්නේ ඇමරිකානු ගතියක් විදිහටය.

 ‘ඇමරිකාවෙ දැන් ආර්ථිකේ වැටිලා. රස්සා නැතුව මිනිස්සු පිස්සු වැටිල’ ඇමරිකාව වැටෙන කල් බලන් ඉන්න අපේ රටේ දේශපේ‍්‍රමීන් නිතර කියන්නේය. රස්සා නැති, කන්න නැති, කොටින්ම හි`ගාකන උන් පවා මරා දමන රටක ඉඳන් අපි ඇමරිකාවට හිනාවෙන්න බලන් ඉන්න එක විහිළුවක්ය. ඒත් ඒක අපේ ජාතික සංස්කෘතියේම ලකුණක්ය.

 ‘ඇපල් කොම්පියුටරයක් අල්ලලාවත් නැති, අයිපොඞ් එකක් දැකලා වත් නැති අය ස්ටීව් ජොබ්ස් මැරුණම ෆේස්බුක් එකේ දාගත්තා. අපේ ටයිටස් තොටවත්ත මැරුණම ඒ අයට ගාණක් වත් නෑ’

මේ ටයිටස් තොටවත්තගේ මරණය ගැන ලාංකීය ශෝකය පළවුණු එක විදිහක්ය. මේ ප‍්‍රකාශය කියන්නෙම ටයිටස් ගැන දුකකට වඩා අපේ දූපත් හිතීමක ලක්ෂණය. ටයිටස් තොටවත්ත අසහාය නිර්මාණාත්මක හැකියාවක් තිබුණු කෙනෙක් බව ඇත්තය. ඒත් එයාට වැඩ කරන්න වුණේ ලංකාවේය. චණ්ඩියා, හඳයා, හාරලක්ෂෙ කරපු ටයිටස් අන්තිමට නතර වුණේ රූපවාහිනියෙ හ`ඩකැවීම් මැදිරියකය. ටයිටස් ගැන දුක්වුණු ලංකාවෙ ගොඩක් අයට මේ හ`ඩකැවීම් මාර වුණාට ටයිටස්ගෙ ජීවිතේ පැත්තෙන් ඒක දරුණු අවපාතයක්ය. ටයිටස් වගේ දැවැන්තයෙක් පවා අන්තිමට මේ වගේ තුට්ටු දෙකේ රස නිෂ්පාදන වලට කොටු කරන සහ ඒ කොටුවීම ‘මාරයි’ කියන සංස්කෘතියක් අවාසනාවන්ත විදිහට අපේ උරුමයක් වී තිබේය. ස්ටීව් ජොබ්ස් ලෝකයක් වෙනස් කරන තැනක් දක්වා යන්නෙත් ටයිටස් රූපවාහිනියෙ හ`ඩකැවීම් මැදිරියක නතර වෙන්නෙත් ඒ අයගේ පුද්ගලික හැකියාවන්ගෙ වෙනසකට වඩා සංස්කෘතික වෙනසක් හින්දාය.

 අපේ අපරිණත සංස්කෘතිය ඇතුලෙ සැබෑ නිර්මාණශීලීත්වය අන්තිමට කාණුවට වැටෙන්නේය. දියාරු, බිඳවැටුණු සිතීමම වර්ණනා කෙරෙන්නේය. ඇත්තටම මං ඇමරිකාවට කැමතිය. ගඩාෆි මැරුණම වහා යුධ අපරාධ පරීක්‍ෂණයක් ඉල්ලන්න තරම් ඇමරිකානු රජය පරිණත වුණේය (බොරුවට හරි). ඒත් අපේ උතුරේ යුධ අපරාධ පරීක්‍ෂණයක් ගැන අහපු ගමන්ම රජය විතරක් නෙමෙයි රටම කලබල වුණේය.

ඒ ඇමරිකාවය. මේ ලංකාවය.
 ඒ මහද්වීපයක් හා දූපතක් අතර වෙනසය.
මං ගඩාෆි ගැන කතා නොකර නතර වුණේය.

 -ව්‍යාධදේව

සකල ලංකාවාසී දුම් බොන්නනි, එක්වව්! රුපියල් 2කින් වැඩි වෙච්ච සිගරට්ටුවට එරෙහිව.

සිගරට් රුපියල් දෙකකින් වැඩි කරපු දවසට පහුවෙනිදා මං මගේ පුරුදු ත‍්‍රීවීල් අයියා එක්ක තිඹිරිගස්යාය පහු කරමින් හිටිය. ‘සිගරට් එකක් බිව්වට කමක් නෑනෙ..’

 හැමදාම වගේ එදත් ත‍්‍රීවිල් අයියා ඇහුව.
 ‘අපොයි බොන්න’

මං සිගරට් නොබිව්වට කවදාවත් බොන කෙනෙකුගෙ නිදහස බාධා කරන්නෙ නෑ. සිගරට් එකක් එක්ක ඒ අය යන දුර වෙන කිසිම දේකින් ඒ අයව ගෙනියන්න බෑ කියල මං තේරුම් අරන් තිබුණ. පිළිකාවකින් මැරිලා යන්න වුණත් ආසාවෙන් කියන්න පුළුවන් ජීවිතයක ඒ අය ජීවත් වෙලා තියේවි. සිගරට් එකක් කියන්නෙ සරලව රුපියල් විස්සක් හෝ පිළිකාවක් වගේ දෙයක් නෙමෙයි.

මං අනිවාර්ය කොට කියන්නම්, සිගරට් බොන මිනිහෙක් මොනයම්ම පැත්තකින් හරි ජීවිතේ ගැන ගැඹුරු වැඩියි සිගරට් නොබොන මිනිහෙකුට වඩා. සිගරට්ටුවකින් පිළිකාවක් ඇති කරන වග අපි පොඩි කාලෙ ඉඳන්ම දන්නවා. සිගරට් පැකට් එකේ ගහලමත් තියෙනවා. ඒ වගේම සිගරට් වෙනුවෙන් වෙළඳ ප‍්‍රචාරණයකුත් නෑ. අවුරුදු 21න් පහල කාටවත් සිගරට් විකුණන්නෙ නෑ කියල ටොබැකෝ එකෙන්ම කළු පාට පෝස්ටර් අලවලත් තියෙනව. අනිත් කඩ ‘සිගරට් නැත’ කියල ආඩම්බරේට ගහගෙන ඉන්නවා. ඒත් මිනිස්සු සිගරට් බොනව. ප‍්‍රචාරණය වෙනුවෙන් සිගරට් කොම්පැණි සල්ලි වියදම් කරන්නෙ නෑ. ඒත් සිගරට් නවත්තන්න ඇඩික් වගේ ආයතන ලක්ෂ ගණන් වියදම් කරනව. සිගරට් බිව්වම ගඳයි කියනවා. නගින්නෙ නෑ කියනව. ඒත් මගේ තී‍්‍රවිල් අයියා වගේ ලක්ෂ සංඛ්‍යාත ජනයා තාමත් සිගරට් බොනවා. කොයිතරම් කෙල්ලො දාලා ගියත් කොල්ලො තාමත් සිගරට් බොනව. මං සිගරට් වලට කැමති නෑ. ඇත්තටම මං සිගරට් වලට විරුද්ධයි. ඒ මං බොන්නෙ කංසා විතරක් නිසා. දුඹුරු පාට දුංකොළ වලට වඩා කොළ පාට කංසා මට දැනෙන හින්ද. ඒත් සිගරට් කියන්නෙ ඇත්ත ජීවිත හේතුවක්. සිගරට් එකකින් කරන්නෙ මරණය එක්ක සංවාදයක්. කවදාවත් මිනිහෙක් කරුවලේ සිගරට්ටුවක් බොන්නෙ නෑ. සිගරට් දුම පෙනහළු එම්බාම් කරගෙන කිරි පාටට එලියට යනවා දකින්න ඕන. ඒ වෙන්වීම, මරණය තමයි සිගරට්ටුවක රහ. තමන් හුස්ම ගන්න බව දැනීම තමයි සිගරට්ටුවක හැ`ගීම... ඒක සරල රුපියල් විස්සක් ගැන ප‍්‍රශ්නයක් හෝ පිළිකාවක් ගැන ප‍්‍රශ්නයකට වඩා ගැඹුරුයි. මනුස්සයි.

 අයියා පුරුද්දට රුපියල් විස්සක් දුන්නා. සිගරට්ටුවත් කටේ ගහගෙන ගින්දර ටිකක් ණයට ගන්න ගියා. ජීවිතේ කොයිතරම් ගින්දර දුන්නත් දැන් සිංහල බෞද්ධ ජනතාව සිගරට් වලට ගින්දර දෙන්නෙ නෑ. ඒ පොලිසිය දඩ ගහන හින්ද.

 සිගරට් එක පත්තු කරගන්න යද්දිම කඩේ අක්කා කෑ ගැහුවා. ‘මෙතන තියෙන්නෙ විස්සයි. තව රුපියල් දෙකක් ඕනි’ අයියාගේ සිගරට් එක කටෙන් වෙන් වුණා.

 ‘මගේ ළ`ග රුපියල් දෙකක් නෑ. මෙන්න සිගරට් එක’ අයියා ත‍්‍රීවිල් එකට නැග්ගා. මෙච්චර වෙලා අයියගේ මූණෙ තිබ්බ හිනාව, දවසෙ බලාපොරොත්තු කුඬේ කුඩු. මූන චොර කරගෙන ත‍්‍රීවිල් එක යනවා ඉස්සරහට.

 ‘දැක්කනේ, ගාණ වැඩිකළාම සිගරට් බොන එක අඩුවෙනවා’ මතට තිත කට්ටිය ඉක්මණට හිතයි. ඒත් ත‍්‍රීවිල් එකේ තව දුර යන්න තිබුණ.

 ‘අද රුපියල් දෙක වැඩි කරපු හින්ද මං සිගරට් එක නොබී යයි කේන්තියට. ඒත් මං හෙට ආයිමත් එනවා. ගෙදරට යන තවත් කීයක් හරි ආණ්ඩුවට යන එක විතරයි මහත්තයො වෙන්නෙ. මේ ආණ්ඩුව පොඩි මිනිස්සුන්ගෙ දුක ගැන පොඞ්ඩක් වත් දැනෙන ආණ්ඩුවක් නෙමෙයි’

ත‍්‍රීවිල් අයියා දැඩි මහින්ද රාජපක්ෂ වාදියෙක්. මං යූඇන්පියට කොයි තරං පක්ෂව කරුණු ගෙනාවත් ත‍්‍රීවිල් අයියගේ මතය වෙනස් කරන්න මට බැරි වුණා. ඒත් සිගරට් එකෙන් රුපියල් දෙකෙන් අයියගේ ආදරය බිඳුණ.

 මොන දේවල් වල ගාණ වැඩි කළත් සිගරට් අරක්කුවල ගණං වැඩි කරන එක ගැන ආණ්ඩුවට දොසක් නෑ. ඒක හොඳ ලකුණු දාගන්න තැනක්. මේ ආණ්ඩුව සිගරට් අරක්කු නැති කරන්නයි යන්නෙ... මධ්‍යම පාංතික ජනතාව හිතන්නෙ එහෙම. ඒත් සිගරට් අරක්කු නැති කරන්න ආණ්ඩුවට පුළුවන්ද? එහෙම එකක් මේ ආණ්ඩුවට ඕනද?

 සිගරට් අරක්කු නවත්තනවා කියන්නෙ බදු වලින් විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිගරට් තනියම ගත්තත්, මේ රටේ සිගරට් පාවිච්චිය ගැන වෙලා තියෙන සමාජ-මානසික අධ්‍යයන මොනවද? සිගරට් එකක් නැවැත්වීමෙන් එන ආතතිය පිටාර යන්නෙ වෙන කොතනකද කියල ආණ්ඩුව සමීක්ෂණය කරලා තියෙනවද? අනික් අතට මහපාරෙ ගිනි දවල් වෙඩි තියාගන්න රටක, විභාග පරීක්‍ෂකයො දරුවන් දූෂණය කරන රටක සිගරට් එකක් සහ පිළිකාවක් ගැන ආණ්ඩුවක සංවේදිතාව විහිළුවක් නෙමෙයිද? සිගරට් බොන එක නවත්තන්න සමාජ ආතතිය අඩු කරන්න ආණ්ඩුව ගත්ත පියවර මොනවද?

මේක හරි සරලයි. ආණ්ඩුවට වැඩිපුර ආදායම්. මධ්‍යම පාංතික ජනතාවගෙන් ‘හොඳ නම’. මේ ආණ්ඩුව පවතින්නෙම සිංහල මධ්‍යම පංතියේ ෆැන්ටසිය උඩ. නොස්තැල්ජියාව ආයෝජනයක් කරගෙන. ගංගොඩවිල සෝම එකතු කරලා දීපු පරාජිත මධ්‍යම පාංතික දැක්ම ආණ්ඩුව මේ දක්වා පාවිච්චි කරන සමාජ-මානසික තලයයි. මට අනුව මේක ආණ්ඩුවේ සියදිවි නසා ගැනීමක්. අපේ රටේ සිංහල මධ්‍යම පංතිය කොයි විදිහකින්වත් හෘදයාංගම හෝ සැබෑ මනුස්ස බැඳීම් ඇති පංතියක් නෙමෙයි. ඒක රෝගී පංතියක්. දෙබිඩි හෘදය සාක්ෂියක්. 56න් පස්සෙ සමාජ බලය වෙනකල් වර්ධනය වුණු සිංහල ග‍්‍රාම්‍යත්වයෙම ප‍්‍රකාශනයක්. 77 දී ජේආර් ට ඡුන්දය දුන්නෙ ඉහල මධ්‍යම පංතිය හෝ නිර්ධන පංතියේ ජනතාව නෙමෙයි. මේ දෙබිඩි සිංහල මධ්‍යම පංතියයි. පේ‍්‍රමදාස තවමත් ගෞරවනීය නායකයෙක් වෙලා චන්ද්‍රිකා ලැජ්ජා සහගත චරිතයක් විදිහට කොන්වෙලා යන්න හේතුව ඒකයි. පේ‍්‍රමදාසට හිටියෙ හෘදයාංගම හැගීමක් ඇති ජනතාවක්. ඒත් චන්ද්‍රිකාව බලයට ගෙනාවෙ මේ මධ්‍යම පාංතිය හිස්ටරික උවමනාව. ගංගොඩවිල සෝම කතා කළේ මේ ලෙඩ සමූහයට. මහින්ද රාජපක්ෂ වැඩ කරන්නෙ මේ සමූහයෙ ති‍්‍රල් එක වෙනුවෙන්. ඒත් මේ ජනමතය ඇත්තක් නෙමෙයි කියන කාරණය ඉතිහාස නැවත නැවත ඔප්පු කරනවා.

 මගේ ත‍්‍රීවිල් අයියා මහින්ද රජපක්ෂ එක්ක තිබුණු ලව් එක ඉවර කර ගත්ත. කවදාවත් කටේ තිබුණු සිගරට් එක උදුර ගන්න මහින්ද අයියා වැඩ කරයි කියල එයා හිතල තිබුණෙ නෑ. රටේ ආර්ථිකය ගැන, දූෂන වංචා ගැන කොයිතරම් කතා කිව්වත් ගාණකට නොගන්න ත‍්‍රීවිල් අයියට ගොඩක් රිදුණ, එයාගෙ සිගරට් එක උදුර ගත්ත එකට. බද්ද කියන්නෙ සිගරට් නවත්තන්න විදිහක් නෙමෙයි. ඒක ආණ්ඩුවකට ආදායම් ලබන්න හොඳ විදිහක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් ගෝල්ඞ් ලීෆ් එකක් බීපු කෙනා කැප්ස්ටන් එකට බහිනව. කැප්ස්ටන් බීපු කෙනා බීඩියට බහිනව. වඩාත් අඩු වියදම්, අඩු ප‍්‍රමිතියක් දක්වා මේ මානසික ආතතිය දක්කනව. එතකොට ඔය බලාපොරොත්තු වෙන සෞඛ්‍ය හෝ වෙනයම් ‘හොඳ’ දේ වඩාත් නරක් වෙනව. මේ කිසි දෙයක් කරන්නෙ ඇත්ත සමාජ සමීක්ෂණයක් නැතුව වෙන එක මෙතන තියෙන අනතුරුදායකම තත්වයයි. සිගරට්ටුවක් නිසා පාලනය වෙන සමාජ ආතතිය ගැන පුද්ගලිකව තැන තැන හෝ අත්දැකීමක් ඇති නිසාම මේක මට බැරෑරුම්.

 සයිමන් නවගත්තේගම සිගරට් බිව්ව. ඒක එයාගෙ චරිතෙ අනිවාර්යක් වුණා. සිගරට් එකක් නැතුව අපිට සයිමන් කෙනෙක් හිතාගන්න බැරි වුණා. එයා ලෙඩ වුණා. දොස්තරලා කිව්වා සිගරට් තමයි ඔක්කොටම මුල කියල. එයා සිගරට් නැවැත්තුව. එයාගෙ පිංතූර වලින් පවා සිගරට් එක මකන්න ගත්ත. ඒත් සිගරට් එකත් එක්කම සයිමන් කියන චරිතයේ තිබුණු ජීවිතයට එරෙහිව මරණය කියන එකත් මැකුණ. සෞඛ්‍යමත් සයිමන් කෙනෙක් ඉතුරු වුණා. ඒත් අර හිතුවක්කාර, අසම්මත සයිමන් හු`ගක් කලින් මැරුණ.

 සිගරට් නොබීම කියන චර්යාවට ලංකාවෙ පොලොවෙ ඉඩක් ලැබුණෙ ආගමික, හොඳ ළමයි, හික්මවන ලද ජීවිත කියන භාෂාවක් ඇතුලෙ. ඒක නිසාම ජීවිතයක අනිවාර්ය, පසුතැවීම, අඳුර, හුදකලාව කියන තැන ඉඩ දුම්බීමට ඇරුණ. සමාජයක අපේක්‍ෂිත ජීවිතය තමන්ගෙ ඇත්ත ජීවිතයට වඩා ගොඩක් දුරස් වෙද්දි ඒ ඈත්වීම මරණයේ ආශාව විසින් සම්පූර්ණ කරනවා. ඒක වාරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වාරණය කරන්න කරන්න තවත් වැඩිවෙන දෙයක්. ඒ වගේම ඒ ජීවිතයේ අඳුර බාර ගන්න බැරි තරම් ජනතාව ළදරු කරන පාලනය සමාජ මනස රෝගී කරනවා. ජීවිත බැලූන් වගේ කරනවා.

 සිගරට් බීම කියන්නෙ ජීවිත සමජාතීයකරණයට විරුද්ධ ප‍්‍රකාශනයක්. හැමෝම එකවගේ හොඳ කරන්න යන පීතෘ-දාරක සමාජ ක‍්‍රමයකට විරුද්ධව වැඩිහිටි අයිතියක් ප‍්‍රකාශ කිරීමක්. ‘ජීවත් වෙන්න වගේම මැරෙන්නත්, හිනාවෙන්න වගේම අඩන්නත්, හොඳ වෙන්න වගේම වල් වෙන්නත් අයිතියක් තියෙන මිනිස්සු අපි’ කියන අභිමානය පාරක් අයිනෙ පොලිසියෙන් දඩ නොකා හැංගි හැංගි සිගරට් එකක් බොන මිනිහෙකුගෙ ඇස් ඇතුලෙ මං දකිනවා. සිගරට් නවත්තන්න පියවර ගන්න ඕන ආණ්ඩුව නෙමෙයි. ඒක සමාජය මැදිහත් වෙන්න ඕන කාරණයක්. සිගරට් බීම කියන්නෙ ද`ඩුවම් ලැබිය යුතු වරදක් නෙමෙයි. අවස්ථාවක් ලැබිය යුතු ඉල්ලීමක්. ආණ්ඩුවක් උත්සාහ කරන්න ඕන ඒ සමාජීය හුදකලාව තුරන් කරන්න වැඩ කරන එක. බඩු මිළ වැඩි කරමින්, බලාපොරොත්තු රහිත සමාජ මනසක් වෙනුවෙන් ඉඩ විවෘත කරමින් සිගරට්ටුව පවා කපා දැමීම ආදරයකට වඩා බැටන් පාරක්. ඒක මිනිස්සුන්ගෙ කතා නොකරන ලෝකය තහනම් කිරීමක්. මගේ ත‍්‍රීවීල් අයියට රිදුනෙ ඒකයි. හැමදෙයක්ම තහනමක් වෙන පාලනයක් ඇතුලෙ දැනෙන මිනිස් හිස්කමට. නිතර තමන් අතදරුවෙක් කොට මට්ටු කරන්න හදන්න තාත්තාට විරුද්ධව. ඒක ප‍්‍රගතිශීලී රිදිල්ලක්.

සිගරට්ටුවෙන් වැඩි කරපු ඒ රුපියල් දෙකට මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් ගැඹුරින් දනවන්න පුළුවන් වුණා. මගේ එහා පැත්තෙ මේසෙ අවුරුදු විස්සක කොපි ලියන කොල්ලා කවියක් ලිව්වා.

 ‘ඊයේ වෙනකං දවස පටන් ගත්තෙ ඉවර කළේ
 ඔයාගෙ ආදරෙන්.
 ඔලූව ඇවිලෙද්දි වැඩ හිරවෙද්දි රිලැක්ස් වුණේ
ඔයාගෙ ආදරෙන්.
මගේ හිතේ ගිනි නිවන්න
ඔයා ගින්දර දරා ගත්ත.
 එච්චර ආදරෙන් හිටපු ඔයත්
 මට ගණං උස්සනවා
නිකං නෙමෙයි රුපියල් දෙකකින්.’

 සිගරට් කියන්නෙ ජනතාවගෙ අයිතියක්. ඒ අයිතිය වෙනුවෙන් මං ඌට වැඩිවෙච්ච රුපියල් දෙක අතින් දුන්නා.

 -චින්තන ධර්මදාස.

සිංහයෙක්, සිංදුවක් එක්ක මං

කොළපාට වනාන්තරේක පාමුල නවාතැනක ආලින්දයේ මං ඉඳගෙන. දිගටම හිරිකඩ වැස්ස. මං මෝබයිල් ෆෝන් එකෙන් සිංදුවක් හෙව්වා.

 නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛීලයක් සේ....

 සීතලට එලියෙ පින්න බැඳිච්ච ලයන් බියර් කෑන් එකක් ළ`ගම කනප්පුව උඩ. උගුර හීතල කරගෙන ක්ලැසික් තිත්තක් එක්ක උගුරෙන් පහලට ගලන පළවෙනි බියර් උගුරෙ ආස්වාදය මං තවත් පරක්කු කළා.

 මේ සිංදුව මං හිතන් හිටියෙ දිලීප අබේසේකර ලියපු එකක් කියල. ඒත් ඒක බර්ට‍්‍රම් නිහාල් අතින් ලියවුණා කියල දැන ගත්තම මං පුදුම වුණා. දඩබිමේ රූප රාමු කීපෙකුත් ඇස් ඉස්සරහ කැපි කැපී නොපෙනී ගියා. ඒක බර්ට‍්‍රම් ගැන මට නොතිබිච්ච සංඥාවක්. ජිමී ක්ලිෆ් 1969 කියපු මැනි රිවර්ස් ටු ක්රොස් වල සිංහල කොපියනේ කියල හු`ගක් අය මේ චිත‍්‍රාල් කියන සිංදුව මගඅරිනවා. ඒත් ඒක මට ලංකාවෙ කෙරිච්ච හොඳම සිංදුව.  මං රහට බොන්න ඕන නං තෝර ගන්නෙ කාල්ස්බර්ග්. ඒත් කැරැක්ටර් එකක්, හැ`ගීමක් දැනෙන්න ඕන වෙලාවක නං බොන්නෙ ලයන්.

‘බියර් වලින් මාව අන්දලා’,

බියර් බිව්වම ගඳයි කියල පෝස්ටර් ගහන ඇඩික් එකේ පොරක් කියන්න පුළුවන්.

අන්දලා වෙනුවට මට අලූත් සංකල්පයක් දීලා, මං ඒක ගන්නෙ ඒ විදිහට. ඊටත් වඩා ඒක සාමාන්‍ය, පොදු සංස්කෘතියෙන් එහා ජීවිතයක් ගැන සංකල්පයක්. මට සමාජය නොතකා මගේ පුද්ගලික ජීවිතය බාර ගන්න ධෛර්ය දෙන සංකල්පයක්. ඇඩික් එක බියර් වලට විරුද්ධව අරන් ආපු හැම කැම්පේන් එකක්ම තුට්ටු දෙකේ ඒවා. ගෑණු මූලික කරගෙන හදපු ඒ කැම්පේන් පිරිමින්ට හදපු බියර් සංකල්පෙට තර්ජනයක් වුණේ නෑ. ගෑණු වගේ පිරිමි ටිකක් විතරක් ඒවා තැන් තැන් වල කිය කිය හිටියා.

 නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ.....සිංහ ලෝකයේ

 නදී ගංගා තරණයේ කියන්නෙ ජිමී ක්ලිෆ්ගෙ සිංදුවෙ අමු පරිවර්තනයක් නෙමෙයි. ඒ අදහස ඒ රාමුව ඇතුලෙම ඉඳන් වෙනස් තැනකට අරන් යන ගමනක්. ජිමී ක්ලිෆ්ගේ සිංදුවට වඩා චිත‍්‍රාල් ගෙ සිංදුව බලාපොරොත්තු සහගතයි. අහද්දි ඇ‍‍ගේ හිරිගඩු පිපෙනවා. ඒක ඔරිජිනල් කියන සිංදුවට වඩා වෙනස් වර්ණයක්. වෙනස් සංකල්පයක්. ඒ මියුසික් ඇරෙන්ජ්මන්ට් එක පුදුම ලස්සනයි. ගිටාර් තත් උඩින් ඇ`ගිලි වේදනාවෙන් ලිස්සන හ`ඩ ඒ මොහොත අනුරාගී කරනවා. චිත‍්‍රාල් ගේ හ`ඩ.... මාර රේන්ජ් එකක එහා මෙහා යන ඒ තරුණකම නොදැනීම පපුව ඉස්සරහට කරනවා. අලූත් හුස්මකින් පෙනහළු පුරවනවා. ඒක මැජික් එකක්.

 මේ සිංදුව හැදෙන්නෙ බියර් ඇඞ්වර්ටයිස් කරන්න තහනම පටන් ගත්ත කාලෙ. මේ බාධකය ඇතුලෙන් ගිහින් ලයන් බියර් එකට වෙනස්ම පෞර්ෂයක් හදන්න මේ කැම්පේන් එකට පුළුවන් වෙනවා. මේක කරන්නෙ ග‍්‍රාන්ට්ස් (ඇඩවර්ටයිසින්) එකෙන්.

 ‘ස්ටොක් ඉමේජ් ටිකක් දාලා කරපු ජිමික් එකක්. ලොකුවට පුම්බන්න එපා’
තවත් ඇඞ්වර්ටයිසින් යාලූවෙක් කිව්වා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ පාවිච්චි කරපු ඉමේජ් වර්ගයේ නෙමෙයි. කන්සෙප්ට් එකේ. ඒ වර්ණ, හැඩතල, සිංහ ඇස් අපිට කියන කතාව. අපේ ජීවිත වලට අරන් එන නව හැගවුම. බියර් වලින් සමාජයට පිටස්තර හුදකලා වීර සිංහයෙක් (ගැහැණුන්ගේ පිරිමියෙක්)යෝජනා කරද්දි ඇඩික් එකෙන් යෝජනා කළේ සමාජෙ හොඳ නම වෙනුවෙන් දේවල් කරන ගැහැණු පිරිමියෙක්.

 කොකා කෝලා ලංකාවට අරන් ආපු ජනප‍්‍රිය සංස්කෘතිය වගේම ලයන් බියර් එකේ සිංහයත් අපේ ජීවිත පොහොසත් කරනවා. අලූත් මානයක ජීවිතයක් වෙනුවෙන් අපිව නිර්භීත කරනවා.

 සුළං රැුල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණී
හඹා යමි හමුවෙන තුරා
 ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්.......

 ජිමී ක්ලිෆ් කියන්නෙ ගෑණියෙක් නැති දුකක් එක්ක එන හුදකලාවක් ගැන. ඒත් නදී ගංගා තරණය කියන්නෙ ඊට වඩා පුළුල් පැවැත්ම ගැන කතාවක්. තනිව ජීවත් වීමේ අභිමානය ගැන කතාවක්. සිංහ චර්යාවන් එක්ක ගළපමින් ඇවිත් අපේ පැවැත්ම අවදිකරන ආධ්‍යාත්මික යෝජනාවක්.

ඇඞ්වර්ටයිසින් වලින් කරන්න පුළුවන් විශිෂ්ටතම මෙහෙයක් මෙතනදී ග‍්‍රාන්ට්ස් එකෙන් කරනවා (දැන හෝ නොදැන). ඒ සමාජයට විකල්ප පෞර්ෂත්වයක් හඳුන්වා දීම. මේ වෙනකොට ඒතරම් පළල් අදහසකින් සමාජය එක්ක සංවාද කරන ඇඞ් කැම්පේන් නැති තරම්. බියර් වල තිත්ත, පෙණ පිපෙන සෞන්දර්ය, ගිනි දවාලක දැනෙන සිසිලස මේ හැම දෙයක්ම ඒ සිංහ පෞර්ෂයට ගැලපෙනවා. බියර් ඇඞ්වර්ටයිස් කරන්න දාපු තහනමෙන් දැවැන්ත බ‍්‍රෑන්ඞ් ඉමේජ් එකක් හැදෙන කැම්පේන් එකක් එලියට එනවා.

 මගේ බියර් කෑන් එක වටේ දැන් පොකුණක් වගේ වතුර. බියර් එක තාම සීතලයි. වැස්ස තව ගොඩක් වෙලා තියෙයි. මං මගේ පළවෙනි බියර් උගුර තවත් පරක්කු කළා.

 මංමුලා නොවේ කිසිදා
ජවය මා සතුවේ
දිරිය ගන්නෙමි......

 චාපා දවසක් මේ සිංදුව කිව්වා. ඊට පස්සෙ ඇත්තම කතාවක් කිව්වා.
 ‘චිත‍්‍රාල් තරම් හොඳට මට මේක කියන්න බෑ’...

චිත‍්‍රාල්ගේ කටහ`ඩ ඒ රොක් සංගීත පරාසය ඇතුලෙ පෙන්නන්නෙ පුදුම පරිණතකමක්. ගායනයක තියෙන්න ඕන විශිෂ්ටත්වය ඒ හ`ඩ හැගීමක් ගැන කොයිතරම් දන්නවද කියන එකයි. ඒ සංගීතයෙන් ඒ වචන වලින් යෝජනා කරන හැ`ගීම්වලට හඩෙන් කරන වර්ණ ගැන්වීමයි. මේ සිංදුවෙදි සංගීතයත්, පදවැලත් ඉක්මවා චිත‍්‍රාල්ගෙ හ`ඩ ඒ හැ`ගීමට හුස්ම දෙනවා. ගායකයෙක් විදිහට තියෙන ශිල්පීය දක්ෂතාවට අමතරව චිත‍්‍රාල්ගේ වෙනස් සමාජ-මානසික අවකාශය මේ විදිහට හැ`ගීමක් ඇතුලෙ දියවෙලා යන්න එයාට උදව්වක් වෙන්න ඇති. උදා විදිහට එයාගෙ ප‍්‍රතිරූපය හදලා දුන්නෙ ලංකාවෙ මාධ්‍ය නෙමෙයි. ලාංකේය සිංහල බෞද්ධ සමාජය නෙමෙයි. මේ නිසා එයාගෙ හ`ඩ ශික්ෂණය තියෙන්නෙ අපේ ව්‍යවස්ථාවට පිටින්. මේ සිංදුවෙ වචන වලින් යෝජනා කරන ඒ සිංහ පෞර්ෂය තියෙන්නෙත් අපේ ව්‍යවස්ථාවෙන් එලියෙ. ඒක චිත‍්‍රාල්ට ළ`ගයි. චාපාට යන්න බැරි චිත‍්‍රාල් යන දුර ඒකයි.

 නදී ගංගා තරණයෙන් යෝජනා කරන සිංහයා ලංකාවට අලූත් සිංහයෙක්. ඒ අපි අදහන සිංහල සිංහයා නෙමෙයි. ගෝත‍්‍ර විදිහට ජීවත් වෙන, ස්වාධීන සිතීමක් අහිමි දුර්වල සිංහයා නෙමෙයි. තනියම ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්, සාමූහික ගොහොරුවෙන් පිටත නිදහසේ සරන අභිමානවත් සිංහයෙක්. ඒ නීට්ෂේ කිව්වා වගේ ‘සුපිරි මිනිසෙක්’ ගැන අලූත් අදහසක්. කලාවෙන් හෝ දර්ශනයෙන් කරන්න ඕන වැඩක් ඇඞ්වර්ටයිසින් වලින් කරන සුවිශේෂ තැනක්. වඩාත් වැදගත් වෙන්නෙ ඒක සමාජගත කරන්න තිබුණු හැකියාව. තහනම, සමාජයේ පොදු මතය විසින් පාලනය වීම, ජීවිතේ ගැන බිය, මේ හැම කාරණයක්ම මේ එක වැඩෙන් ආමන්ත‍්‍රණය වෙනවා. ඒ සියල්ල ඉක්මවා යන්න තියෙන පිරිමි ආශාව ඇහැරවන්න මේ සංකල්පයට පුළුවන් වෙනවා. ඇත්තට පවතින සමාජ මතයට දේශපාලනික විකල්පයක් යෝජනා කරමින් මේ සංකල්පය සටන් කරනවා, සිංහ පෞර්ෂයක් වෙනුවෙන්.

 ගලා යන දහසක් නදී
බලා සිටියි මා එනතුරා
නිරතුරුව අභිමානයෙන්.....

 මේ තනුවට අනුව වචන හදපු බව පැහැදිලියි. ඒත් ඒ සංගීතය ගැන, ශබ්ද රසය ගැන, නූතන සාහිත්‍යය ගැන බර්ට‍්‍රම් ට තිබුණු දැනීමත් ඒ වගේම පැහැදිලියි. වචනෙන් වචනෙට තේරුම් ගලපමින් එක සමස්ත අදහසකට සිංදුව පටු කරනවා වෙනුවට බර්ට‍්‍රම් අදහස එක හැ`ගීමක් ඇතුලෙ විසුරුවා හරිනවා. ඒක බටහිර ගීත රචනයේ දකින්න ලැබෙන, අපේ සිංදු වල වැරදීමකින් මිස දකින්න නොලැබෙන ලකුණක්. අපේ සිංදු කියන්නෙ සරල රේඛීය කතාවක්. ඒත් බටහිර සිංදු වල තියෙන්නෙ මිටියාවතක් වගේ නිදහස් අවකාශයක්. නදී ගංගා තරණයේ වචන පෙලගැස්වීමත් මේ නිදහස හා ස්වාධීනත්වයම අවධාරණය කරනවා.

 ‘අපි සිංහ වංශයේ. ඔබ?’
 ඊට පස්සෙ මේ ෆැන්ටසි පරපුරක් ගැන කතාව හැම බාර් එකකම උඩ ලියවුණා. බියර් වල නම තහනම් වුණාට සිංහයා ගැන ලියන්න තහනමක් තිබුණෙ නෑ. ජාතික කොඩියෙ සිංහයාට වෙනස් රැඩිකල් සිංහයෙක් තිත්ත බියර් එක්ක කෝප්ප වල පිරෙන්න ගත්තා. කහ පාට බියර් උඩ පෙණ පොකුරු පොකුරු පිපෙන්න ගත්තා. (සිංහ වංශෙ කට්ටිය වැඩි වුණාම බලූ ගාණට වැටෙන එක වෙනම කතාවක්).

 වචන, සංගීතය, හ`ඩ සහ රූප මේ හැමදෙයක්ම හොඳටම ගැලපුණු සිංදුවක්. දැන්වීමක අදහසට එහා ගිහින් විකල්ප ජීවිතයක් ගැන සංකල්පයක් කියන නිර්මාණාත්මක අදහසක්. මේ හැමදෙයක්ම ලයන් බියර් විකුණන්න කරපු වැඩක්.

මට අනුව මේ සංකලනය මේ අදහසේ ගැඹුර තවත් වැඩි කරනවා. කලා කෘතියක් හෝ වෙන මොකක් හරි විශිෂ්ට දෙයක් හෝ විදිහට නැතිව ඇඞ් එකක් ඇතුලෙන් ඉපදිච්ච අලූත් ජීවිතයක් ගැන අදහසක්. සමහර විට කැම්පේන් එක කරපු අය දැනුවත් මේකෙ වාණිජ පරමාර්ථ ගැන විතරක් වෙන්න ඇති. ඒත් ඒ වාණිජ පරමාර්ථ වලට වඩා විශාල සංකල්පයක් මේ හරහා සමාජගත වෙනවා. මගේ හුදකලාව, පැවැත්ම මට ගැටළුවක් වෙන හැම තැනකදිම මං නදී ගංගා තරණයට යනවා. ඉර එලියෙ දිලිසෙන පතන බිම් වල වැතිරිලා මං සිංහයෝ දිහා බලන් ඉන්නවා.

 ඇ`ග කිළිපොලා යන ගිටාර් වාදනයක් එක්ක චිත‍්‍රාල් නිහ`ඩ වුණා. මගේ බියර් එකත් නිවෙන්න හු`ගක් ළ`ගයි. මං කෑන් එකේ පියන ඇරියා. උගුර තෙමාගෙන පහලට ගලන පලවෙනි තිත්ත බියර් උගුර... ගර්ර්ර්ර්ර්......................

 -චින්තන ධර්මදාස

සිවුරු පොරවා ගත් චණ්ඩි නිදැල්ලේ.

ළ`ගදී ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘ලෝටස්’ මහායාන පන්සල ථේරවාදී භික්ෂු පිරිසක් විසින් වට කළේය. එය නීති විරෝධී ජාවාරමක් බව කියමින් ඔවුන් උද්ඝෝෂණ කළේය. පොලිසිය ඇවිත් එහි සිටි පිරිස බේරා ගත් අතර ලෝටස් ආරාමය සීල් තැබුවේය.

 රටේ මාධ්‍ය මේ කතාව පළ කළේ වෙනස්ම හැටියකටය.

 ‘බුදු බව ලබා දෙන බව කියා කෝටි ගණනින් මුදල් ගත් ආරාමයක් වටලයි’

මාධ්‍ය ජනතාවට කිව්වේ එහෙමය. බුදු බව දෙනවා කිවූ පමණින් ඒ ගන්නට කෝටි ගණන් වියදම් කරන මෝඩයොත් ඉන්නවා නම් උන් රකින්නේ මොන එකකටද? හැරත් එබඳු පැමිණිල්ලක් කර ඇත්තේ කවුද? කවර පොලිසියකටද? දොළුකන්දේ හාමුදුරුවෝ පිරිත් පැන් බෙදද්දී, නිකවැරටියේ පන්සලේ බෝ ගස් වල බුදු රූප මතුවෙද්දී ඒ ජාවාරම් වලට එරෙහිව මේ භික්ෂු බලවේග නැගී නොසිටියේ මන්ද? ජනතාව රවටමින් රත්තරන් ජාවාරමේ යෙදෙන ගලේතැන්න දේවාලය බඳු තැන් මේ පොලිස් බලය අතට ගෙන ක‍්‍රියා කරන භික්ෂූන්ට මගහැරෙන්නේ ඇයිි? අඩුම තරමේ සිංහරාජෙ කැලේ මැද්දෙන් හයිවේ එකක් කපද්දීවත් එලියට නොආ මේ ථේරවාදී පිරිස් මහායාන ලෝටස් ආරාමය වටලන්නට ඒම පිටුපස සැ`ගවුණු කාරණය කුමක්ද? මේ කිසිවක් නැතත් තමන්ට හිතෙන හිතෙන තැන් වටලන්නට හා හිරිහැර කරන්නට භික්ෂූන්ට ඇති අයිතිය කුමක්ද?

 මාධ්‍ය වලට මේ කිසි ප‍්‍රශ්නයක් තිබුණේ නැත. එය කළ යුතු නිවැරදිම දෙයක් හැටියෙන් ගනිමින් කිසිම හිරිකිතයක් නැතිව මාධ්‍ය මේ කලහකාරී භික්ෂූන්ගේ පැත්ත ගත්තේය. සිංහල රාවය යැයි කියා ගනිමින් තවත් වරක් මේ භික්ෂූන් දුටුගැමුණු ගේ සොහොනට ළ`ග වැඩි යැයි කියමින් මුස්ලිම් පල්ලියක් කඩා දැම්මේය. මේ අයගෙන් කෙනෙකු හෝ අත්අඩංගුවට ගන්නට පොලිසිය ක‍්‍රියාත්මක වුණේ නැත. මුන්නේස්සරමේ මහා සත්ත්ව ඝාතනය වළකන්නටද මේ ආකාරයටම ථේරවාදී භික්ෂු පිරිස් හදිසි මෙහෙයුමකින් පෙරට ආවේය. උතුරේ මහා ජන සංහාරයක් වෙද්දීත් යුද්දයටම ආවැඩූ ඔවුන් මුන්නේස්සරමේ පරම්පරා ගාණක පටන් පැවත ආ යාගයේදී අවිහිංසාවාදය වෙනුවෙන් ගෝෂා කරන්න ගත්තේය. අන්තිමට අවිහිංසාවාදයේ පියෙක් වූ අමාත්‍ය මර්වින් සිල්වා ගොසින් මේ සත්ව සංහාරය නැවැත්වීය. සතුන් බේරා ගැනීම හොඳ දෙයක් නේ කියමින් ලංකාවේ ජනතාවද නිකං හිටියේය.

සත්ව ඝාතනයට එරෙහි වීම එක දෙයකි. සංස්කෘතියක් ලෙස කාලාන්තරයක් පැවත ආ එක් ආගමක විශ්වාසයක් තවත් ආගමිකින් බලෙන් මැඩලීම ඊට වෙනස් දෙයකි. මේ හැමතැනකදීම මතුවන හිංසනය, අන් ආගම් පෙලීම සහ අධිපතිවාදීත්වය ගැනත් මෙසේ භික්ෂූන් හැසිරීමෙන් බුද්ධාගමේ ආධ්‍යාත්මික ව්‍යාපෘතියට වන හානිය ගැනත් ජනතාවට ප‍්‍රශ්නයක් තිබුණේ නැත. අනෙක් වැඩිහිටි හිමිවරුත් මේ ගැන කිසි විනය පියවරක් ගත්තේද නැත. ඒ මේ කලහකාරීත්වය, හිංසනය ලාංකේය ථේරවාදයේ සාමාන්‍යයක් නිසාද?

 ථේරවාදය යනු බුදුන් වදාල ධර්මය කටපාඩමින් රැුගෙන ආ භික්ෂු පරපුරයි. තමන් විසින් භාවනානුයෝගීව අවබෝධ කර ගත් ධර්මතාවන් වෙනුවට හුදෙක් බුදුන් වදාලේ යැයි සියවස් ගණන් කටපාඩමින් ගෙන ආ ධර්මයක්ම ගුරු කොට ගත් නිර්මාණශීලීත්වයෙන් අවම පිරිසයි. ථේරවාදී දහම විසින්ම මේ නිර්මාණශීලීත්වය අහුරා ඇති (ආචිණ්ණකල්පික) අතර මහින්දාගමනයෙන් ඉක්බිති අපේ රටේ ථේරවාදයට ලැබෙන රාජ්‍ය අනුග‍්‍රහය සමග එය ආක‍්‍රමණශීලී, අධිපති තත්වයක් දක්වා වර්ධනය වේ. අපේ රටට මහින්දාගමනය හරහා බුදුදහම එන්නේම ආක‍්‍රමණයක් ලෙසයි. අශෝක රජු විසින් තිස්සව අභිෂේක කරවා රට යටත්විජිතයක් වශයෙන් ගෙන පිරිනැමූ රාජ්‍ය ආගම අද පවතින සිංහල බුද්ධාගමයි. එතැන් සිටම එය ආධ්‍යාත්මික මාර්ගයක් හැටියෙන් නොවැඩුණු අතර වතිකානුවේ පල්ලිය මෙන්ම රාජ්‍ය බලය හා සම්බන්ධව අන්මත මැඞීමේ සහ හිංසනයේ යෙදුනු අවස්ථා දැකිය හැකිය. වරක් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව අභයගිරියේ භාවනානුයෝගී මහායානික භික්ෂූන් පුළුස්සා මරා දැමුවේද මහාවිහාරික ථේරවාදී භික්ෂූන් විසිනුයි. සෑම විටෙකම තමන්ගේ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පවතින රාජ්‍ය බලයන්ට සහයෝගය දැක්වීම සහ ඒ අනුහසින් තමන්ට වෙනස් මතිමතාන්තරයන්ට පීඩා කිරීමේ හුරුව ථේරවාදී භික්ෂූන් නිතර ප‍්‍රකට කළ චර්යාවකි. බටහිර පල්ලියේ ආධිපත්‍යයෙන් නව අදහස් සහ චින්තනයන් මැඩලූයේ යම් ආකාරයකටද එබඳුවම ථේරවාදී භික්ෂූන් විසින් මේ රටේ තමන්ගේ බල ව්‍යාපෘතියේ තරම පෙන්වා ඇත.

සිංහල බෞද්ධ ජනතාවටද බුදුන් වදාල නිර්වාණය වෙනුවට මේ ජාතිවාදී, අධිපතිවාදී හිංසනය ත‍්‍රිලක් වෙයි. එසේම රාජ්‍ය තන්ත‍්‍රයටද තමන්ගේ අර්බුද වසාගෙන ඕනෑ හැටියට රට කරගෙන යන්නට මේ හොඳම ආශීර්වාදයකි. පල්ලි කඩමින්, කෝවිල් කඩමින්, තැබෑරුම් වසමින් මේ භික්ෂූන් කරගෙන යන්නේ ආධ්‍යාත්මික යමක් නොව ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව කියන්නට රටේ මාධ්‍යට කොන්දක් හෝ දැකීමක්ද නැත. අද පවතින්නේ නිවනට මග කියන බුදු දහම නොව සිවුරු පොරවා ගත් චණ්ඩින්ගේ දහමකි. මේ බල වියරුවෙන් පෙළෙන භික්ෂූන් දමනයට යම් ආකාරයක මැදිහත් වීමක් නොවුණහොත් සුළු ජාතීන්ට සහ වෙනස් මත දරන්නන්ට මේ බිමේ පුරවැසියන් ලෙස නොබියව සිටීමේ අයිතිය ඔවුන් ඉක්මනින්ම අහිමි කරනු ඇත. අද අසල්වැසියාට වෙන අසාධාරණයට එරෙහි නොවුණහොත් හෙට අපට එය සිදුවෙද්දීත් හ`ඩ නගන්නට කිසිවෙකුත් එතැන නොසිටිනු ඇත. කවර ආගමකටත්, විශ්වාසයකටත් වඩා වටින්නේ එක්ව ජීවත් වීමයි. සහෝදරත්වය හා සහජීවනයයි. මේ සඳහා හිංසනය හිංසනයක් ලෙසත් අසාධාරණය අසාධාරණයක් ලෙසත් දකින්ට තරම් අවදි බවක් අපට නැත්නම් (සංස්කෘතික අන්ධකාරය) එය වෙන රටකින් ආනයනය හෝ කර ගැනීමට සිදුවෙයි.

 - සර්ව ධම්ම ගවේෂී සාමූහිකය.

තවත් බුදුවරයෙක් නික්ම ගියේය...

ස්ටීව් ජොබ්ස් අග්න්‍යාශ පිළිකාවකින් මැරුණ... එකපාරටම ලෝකෙ හරිම හිස්තැනක් දැණුන....

 ඉඳලා හිටලා ඇපල් ගෙඩියක් කනවා ඇරුණම, මං ඇපල් කොම්පියුටරයක්වත්, ඇපල් ෆෝන් එකක් වත් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒත් ස්ටීව් ජොබ්ස් කොම්පියුටර් ලෝකෙන් එහා නිර්මාණශීලීත්වය, ජීවිතය ගැන මට සංකේතයක් වෙලා තිබුණ. ව්‍යාපාරයකට ඔබ්බෙන් සමාජයට පෞර්ෂයක්, ගැඹුරක්, වෙනසක් ස්ටීව් ගෙ ‘ඇපල්’ හරහා ලැබිලා තිබුණ. ස්ටීව් ජොබ්ස් හිතුවක්කාර මුනිවරයෙක්. ඇපල් කියන්නෙ එයාගෙ නිර්මාණ විශ්වයෙන් අංශුවක් විතරයි.

හැමතිස්සෙම පිටාර යන්නට කැරලි ගහන වෙනස් කිරීමේ උවමනාවකින් ස්ටීව් ජොබ්ස් ඇවිලෙමින් හිටියා. ඒ උණුසුම ලෝකෙ එහා කෙලවරේ පාදඩ දූපතක කාලකණ්ණි වෙමින් හිටපු මාවත් ජීවත් කළා. ස්ටීව් ජොබ්ස් මැරුණම මට ලෝකෙ හරිම හිස්තැනක් දැණුන. මම විතරක් නෙමෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂත් ස්ටීව් ජොබ්ස් මැරුණම ශෝක වුණා.

ස්ටීව් ලෝකෙට ලබා දුන් දායකත්වය ඉතා ඉහලින් අගය කරන වගට ශෝක පණිවුඩයක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළා. ඇත්තටම මහින්ද ස්ටීව් ජොබ්ස් ගැන මොනවා දන්නවා ඇත්ද? මං කල්පනා කළා.

 ‘බිල් ගේට්ස් හිතන විදිහ හරිම පටුයි. එයා ආශ‍්‍රමයකට හරි එහෙම නැත්තං ‘LSD’(එල්එස්ඞී) ටි‍්‍රප් එකක් හරි අරගෙන තිබුණා නම් එයාගෙ වැඩ මීට වඩා වෙනස් වෙයි’ ස්ටීව් ජොබ්ස් බිල් ගේට්ස් ගැන කතාවකදි කිව්වා. එයාගෙ එල්එස්ඞී පාවිච්චිය ගැන වරක් ප‍්‍රශ්න කරද්දි ස්ටීව් කිව්වෙ, ‘ඒක මගේ ජීවිතේ කරපු වැදගත්ම දේවල් වලින් එකක්’ කියල. ඒ වගේම එල්එස්ඞී ලෝකෙට හඳුන්වා දුන්නා යැයි සැලකෙන ස්විස් ජාතික ඇල්ෆ‍්‍රඞ් හොෆ්මන්ට එල්එස්ඞී වල සායනික භාවිතයන් ගැන පර්යේෂන කරන්න ස්ටීව් ජොබ්ස් ආධාර කරනවා. එහෙම්පිටින්ම විකල්ප, සම්ප‍්‍රදාය විරෝධී ජීවිතයක් ගත කළ ස්ටීව් ජොබ්ස් ගේ මරණයේදි ‘මතට තිත’ එකම රාජ්‍ය තන්ත‍්‍රය කර ගත්තු මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් යවනවා, එයා ලෝකෙට කරපු දායකත්වය ගැන. ඒත් ඒ දායකත්වය කරන්න අවශ්‍ය නිර්මාණශීලීත්වය අරන් ආපු ජීවිතය මහින්ද චින්තනයට අනුව තහනම් එකක්.


 ‘මේ කියන්නෙ, පිස්සු ජීවිත ගත කරන්නන්ටයි. සමාජයට නොගැලපෙන්නන්ටයි. විප්ලවවාදීන්ටයි. කරදරකාරයන්ටයි. සම්මත විරෝධීන්ටයි. වෙනස් විදිහට දේවල් දකින්නන්ටයි. ඔවුන් නීතිවලට යටත්ව ජීවත් නොවන අයයි. ඔවුන් පවතින තත්වයන්ට එක`ග නොවන අයයි. ඔබට පුළුවන් ඔවුන්ව උපුටා දක්වන්න. ඔවුන් සම`ග එකග නොවෙන්න. ඔවුන් වර්ණනා කරන්න හෝ ඔවුන්ට ගර්හා කරන්න. ඔබට කළ නොහැකි එකම දේ ඔවුන් නොතකා ඉන්න එකයි. ඒ ඔවුන් දේවල් වෙනස් කරන නිසයි. ඔවුන් මානව වර්ගයා ඉදිරියට තල්ලූ කරන නිසයි. ඇතැමුන් ඔවුන්ට පිස්සු යැයි දකිද්දී අප ඔවුන් දකින්නේ විශිෂ්ටයන් හැටියෙනුයි. ඒ, තමන්ට ලෝකය වෙනස් කළ හැකි යැයි සිතන්නට තරම් පිස්සු මිනිසුන් කවදා හෝ එය සිදු කරන නිසයි.’ ස්ටීව් ජොබ්ස් ඇපල් කොම්පියුටරය ජනතා සන්තක කළේ ඒ වචන එක්කයි.

 විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට හමුදා පුහුණුවක් ලබා දීමෙන් ඔවුන් ශිෂ්ට කළ යුතු යැයි විශ්වාස කරන මහින්ද රාජපක්ෂ ස්ටීව් ජොබ්ස්ට එයා ලෝකෙට කරපු දායකත්වය අගය කරමින් ශෝක පණිවුඩයක් යවනවා.

 ස්ටීව් ජොබ්ස් මැරණු ගමන් ෆේස්බුක් එක පිරෙන්න තනි තනි අයගෙ දුක පළ වුණා. ලංකාවෙ ගොඩක් අය ස්ටීව් ජොබ්ස් ‘බෞද්ධයෙක් ’ නිසා තමන්ගෙ හිතවතෙක් කරගෙන තිබුණ. ස්ටීව් ආශ‍්‍රම වල භාවනා කළේ සෙන් දහම අභ්‍යාස කරමිනුයි. ලංකාවෙ හිටියා නම් ‘සිංහල රාවය’ වගේ බෞද්ධ නඩ ස්ටීව් අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ කරන්නත් ඉඩ තිබුණ. මෑතක ලිබර්ටි ප්ලාසා එකේ මහායාන ආශ‍්‍රමයක් වටකරගෙන අපේ ථෙරවාදී උරුමය රකින්න ඒ වගේ හාමුදුරුවරු ද`ග දැම්මා. ඒ වටකළේ මහජන මුදල් සොරා ගන්නා ආයතනයක් කියල හැමදාම ජනතාවට බොරු කියන මාධ්‍යත් කියා හිටියා. ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රධාන වුණු ඇමරිකාවෙ ඉපදිච්ච නිසා ස්ටීව්ට සෙන් භාවනා පුහුණු වෙන්න ආශ‍්‍රම තිබුණත් ලංකාවෙ ඉපදුණා නම් ස්ටීව් ලිබර්ටි ප්ලාසා වගේ තැනකදි මිත්‍යාදෘෂ්ටිකයෙක් විදිහට අත්අඩංගුවට පත් වෙන්න තිබුණා. ඒ අපේ පිරිසිදු ථේරවාදය නිසා. ඒත් අපේ බෞද්ධයෝ ස්ටීව් ජොබ්ස් බෞද්ධයෙක් වීම නිසා එයාගෙ මරණය ගැන ශෝක වුණා.

 සමහර වාමාංශිකයෝ ස්ටීව් ගැන ශෝකයට එරෙහි වුණා. ‘මිලියන ගාණක් මිය යන මේ ජනතාව වෙනුවෙන් ශෝක වෙන්නට කෙනෙක් නැත. ඒත් ධනවාදයේ නියමුවෙක් වුණු ස්ටීව් ජොබ්ස් ගැන මිලියන ගාණක් ශෝක වනු ඇත’ සංජයත් (මගේ වාමාංශික යාලූවෙක්) ෆේස් බුක් එකේ ලියලා තිබුණ.

 මේ හැමදාම අපි දකින වාමාංශික දුප්පත්කම. කුහකකම. කවදාවත් නිර්මාණශීලීත්වයක්, උසස් චින්තනයක් ගැන වැටහීමක් ගන්න වාමාංශිකයන්ගෙ මොළේ වර්ධනය වුණේ නෑ. පාන් කෑල්ලට එහා සිතුවිල්ලක් ඒ ඔලූ ඇතුලෙ ඉපදුණෙම නෑ. සිතීමක් අහිමි, නිර්මාණශීලීත්වයක් අහිමි විප්ලවයක් ගැන සිහිනයක් එක්ක වාමාංශිකයො හැමදාම රතුපාටට හිටියා. ඒ පිලිස්තීනු (රස නිහීන) සිතුවිල්ල ඇතුලෙ ජාතිවාදයට, ආගම්වාදයට ඕනතරම් ඉඩ තිබුණ. තාමත් මේ වාමාංශිකයො නිර්මාණශීලීත්වයට වඩා ඉහලින් පාන්කෑල්ල ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ ලෝකෙට කරපු දායකත්වය වෙනුවෙන් ස්ටීව්ට ශෝක පණිවුඩ යවනවා.

 ස්ටීව් ජොබ්ස් හදා ගන්න ගත්ත දරුවෙක්. එයාගෙ අම්මා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් කාලෙදි ‘අබ්දුල් ෆටා ජොන් ජන්ඩාලි’ කියන සිරියානු මුස්ලිම් ජාතිකයා නිසා ගැබ් ගන්නවා. ස්ටීව් ලැබෙන්න ඉද්දි එයා ඇමරිකාව අත් ඇරලා යනවා. ස්ටීව්ව හදාගන්න වෙන්නෙ ක්ලේරාට සහ පෝල් ජොබ්ස්ට. ඇමරිකාවෙ තිබුණු ලිංගික නිදහස නිසා ස්ටීව්ව ගබ්සා නොකර මේ ලෝකෙට බිහිකරන්න පුළුවන් වෙනවා. ඒත් කාමරේක එකට හිටි පමණින් පොලිසියෙන් වටලලා අයාල පණතට අනුව ගැහැණුන් ගණිකාවන් කළ හැකි ලංකාව වගේ රටක වුණා නම් ස්ටීව් එක්කෝ ඉපදෙන්නෙ නෑ. නැත්නම් වැසිකිළි වලක හෝ කුණු බක්කියක හමු වූ මළ දරුවෙක් ගැන පත්තරේක බාල ප‍්‍රවෘත්තියකට වඩා වැඩි දෙයක් වෙන්නෙ නෑ. ඒ රටේ ජනාධිපති ස්ටීව්ගෙ මරණය ගැන ශෝක පණිවුඩයක් යවනවා.

 ඇපල් කොම්පියුටරේ ලකුණ වෙන්නෙ ‘බයිට්’ එකක් ගත්ත ඇපල් ගෙඩියක්. මේ ලකුණෙ තේරුම හොයන්න මං ඉන්ටර්නෙට් එකේ ටිකක් ඇවිද්දා. ස්ටීව් වෙනුවෙන් මේ ‘ලෝගෝ’ එක නිර්මාණය කරන්නෙ රොබ් ජානොෆ් කියල ඒ කාලෙ ආධුනික නිර්මාණකරුවෙක්. කොම්පියුටර් වලට තාක්‍ෂණික හැඩයෙන්ම විතරක් ලෝගෝ නිර්මාණය කරපු 1977 වගේ කාලෙක ඇපල් ගෙඩියක් ලෝගෝ එකක් විදිහට ගැනීමම විප්ලවයක්. රොබ්ට ඒජන්සි එක ඇතුලෙන් ලොකු විරෝධයන් එනවා ඒ විදිහට ලෝගෝ එක කිරීම ගැන. ස්ටීව් ආරම්භයේදීම රොබ්ට කියන්නෙ ‘මේක හුරතල් එකක් කරන්න නම් එපා’ කියල. ඊට කලින් තිබුණු ලෝගෝ එකේ ‘නිව්ටන් ඇපල් ගහ යට ඉඳන් කවියක් ලියන’ පිංතූරයක් තියෙනවා. රොබ් ගෙ අතින් ඇපල් ගෙඩියක් විදිහට නිර්මාණය වෙන්නෙ මේ අදහස. ඇපල් ගෙඩියක්. දේදුන්නේ පාට අනිත් අතට ගලන පැත්තකින් ‘බයිට්’ එකක් අහිමි ඇපල් ගෙඩියක්. ඒ තමයි ස්ටීව් ගෙ ලෝගෝ එක. ආශාව, දැනුම, අරාජිකත්වය සහ අපේක්ෂාව..ඒ මේ ලෝගෝ එකේ සමස්ත අදහස. මුලින්ම, නිර්මාණයක් කරන අවස්ථාවේදීම එය වර්ණයෙන් තිරය මත දැකිය හැකිවන පළමු කොම්පියුටරය වීම මෙතන තියෙන තාක්‍ෂණික කතාවයි. ඒත් ඊට එපිටින් දේදුනු පාට එක්ක ස්ටීව් සහ රොබ් දෙදෙනා විසින්ම අත්විඳපු හිපි ජීවිතයක් ගැන කියවෙනවා. ඒ වගේම , සමලිංගිකත්වය වෙනුවෙන් සයනයිඞ් විෂ කැවූ ඇපල් ගෙඩියක් කා දිවිනසා ගත් (පරිගණක විද්‍යාව ලෝකෙට හඳුන්වා දුන්) ඇලන් ටියුරින් හරහා සමලිංගිකත්වයේ දේදුනු පැහැයන්ගේ සම්බන්ධයක්ද මෙතන කියවෙනවා. ආදම් සහ ඊව් ගෙ කතාවෙ තහනම් ගෙඩිය ගැන කතාවත් එතන තියෙනවා... මේ සියලූ දේට එරෙහි මහින්ද රාජපක්ෂ ස්ටීව් ‘ලෝකෙට කළ දේවල් වෙනුවෙන්’ ශෝක පණිවුඩයක් යවනවා.

 අපේ රටට වැදගත් වෙන්නෙ අන්තිමට වෙළඳ පොල හරහා අපිට එන ඇපල් කොම්පියුටරය විතරයි. ඒ පිටිපස්සෙ තියෙන සිතීම, නිර්මාණශීලීත්වය එක්කො අපිට අදාල නෑ. නැත්නම් අපිට තහනම්. මහින්ද ‘ලෝකෙට කළ දේවල් වෙනුවෙන්’ කරන ශෝක පණිවුඩයෙ වගේම මගේ වාමාංශික යාලූවා සංජය කරන ‘මිලියන ගාණක් මිය යන මිනිස්සු ගැන’ කතාවෙ තියෙන්නෙ මේ එකම යටි පෙළයි. ඒ ජීවිතය නොතකා හැරීම හෝ ජීවිතය නොදන්නාකම ගැන කතාවයි.

 ‘ඔබේ කාලය සීමිතයි. ඒ කාලය තමන්ගේ නොවූ ජීවිතයක් ගත කරමින් නාස්ති නොකරන්න. මතවාද උගුල් වල අහුවෙමින් අන් අයගේ සිතීම් ඇතුලෙ ජීවත් නොවෙන්න. බොහෝ අයගේ ගෝෂාව මැද ඔබේ ඇතුළත හ`ඩ වියැකී යන්නට ඉඩ නොදෙන්න. ඔබේ හදවත සහ ඔබට දැනෙන දේ හඹා යන්නට එඩිතර වන්න. ඒ දේවල් ඔබ ඇත්තෙන්ම යායුතු මග ගැන දන්නවා ඇති. අනෙක් හැම දෙයක්ම ද්විතීයිකයි.’ - 

ස්ටීව් ජොබ්ස් ස්ටීව් කිව්වේ මරණයට පෙර ජීවත් වීම (Live before you Die) ගැන කතාවක්. ඒත් මහින්දත් මගේ යාලූ වාමාංශිකයත් කියන්නෙ මරණය ගැන කතාවක්. ජීවිතය කොටස ඒ අයගෙ අතින් අත්ඇරෙන්නෙ අහම්බෙකින්ද?

ලංකාවෙ ගොඩක් අය ස්ටීව් ජොබ්ස් ගෙ මරණය ගැන කම්පා වුණේ ස්ටීව්ගෙ ජීවිතය ගැන දැනගෙන නෙමෙයි. ඒ වෙනුවට ඉස්සරහ තියෙන ඇපල් කොම්පියුටරය හරි, විශිෂ්ට නිර්මාණ කිරීම හරි, බුද්ධාගම හරි, වගේ දෙයක් ඒ අයගේ ශෝකයට හේතුව වුණා. ඒත් ස්ටීව් ජොබ්ස් ගමන් කරපු ඒ හිතුවක්කාර ජීවිතය බාර ගන්න තරම් පුළුවන් කමක් තියෙන්නෙ ලංකාවෙ කී දෙනෙකුටද? ඒ ජීවිතය ගැන ඇත්ත යමක් කියන්න හැකියාවක් තියෙන්නෙ මාධ්‍ය කීයකටද? ඒත් මහින්ද රාජපක්ෂ ස්ටීව්ගෙ මරණයට ශෝක පණිවුඩයක් යවනවා. මගේ වාමාංශික යාලූවා ඒ ශෝකයට එරෙහි වෙනවා.

 තාක්‍ෂණය ඇතුලට ජීවිතය අරන් ආපු එක ස්ටීව් ජොබ්ස් කළ විප්ලවීයම කාර්යයි. කොම්පියුටර් ආශ‍්‍රිත විෂයන් ඇතුලෙ තිබුණු ජීවිතය අහිමි, රාමුගත සිතීම වෙනුවට ස්ටීව් හුස්ම වැටෙන ජීවිතයක් ඒ පරිපථ මැද්දට අරන් එනවා. ඇපල් කොම්පියුටර් මයික්‍රොසොෆ්ට් වලට වඩා වෙනස් වෙන්නෙ මේ ජීවිතය ගැන කාරණාව හින්ද. ඒක කොම්පියුටරේකට වඩා ඒ ඉස්සරහ ඉන්න කෙනාගෙ සිතීම සහ පෞර්ෂය හා සම්බන්ධ වෙන කාරණාව හින්ද. ඇපල් ගෙඩියක් ලෝගෝ එක හැටියට ගැනීමේ පටන්ම ස්ටීව් උත්සාහ කරන්නෙ තාක්‍ෂණය සම්බන්ධ කාරණා ‘නිර්මාණශීලී සිතීම’ එක්ක සම්බන්ධ කරන්නයි. වර්ණ, හැඩතල, බහුවිධ උපයෝගිතා හැමදෙයක් ඇතුලෙම මේ මිනිස් ජීවිතයේ වැදගත්ම කාරණය ආමන්ත‍්‍රණය කරන්න ස්ටීව් උත්සාහ ගන්නවා. මැෂින් ඇතුලට පවා ජීවිතය අරන් එන්න තරම් විශාල ජීවිත පරාසයක් තිබුණු මිනිහෙක් ගැන අපි ශෝක පණිවුඩයක් යවනවා. ‘ඔබ විසින් ලෝකයට කළ දේ අගය කරනවා’ කියල. මේ පණිවුඩය කොයිතරම් ජීවිතයෙන් තොරද? ඒත් මරණයම ජීවිතය කියල තේරුම් ගත්ත රටකින් ඊට වඩා බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?

 ‘ස්ටීව් ජොබ්ස් මැරුණ...’ මං සත්‍යාට ටෙක්ස්ට් කළා.

‘එයා එයාගෙ ජීවිතේ එයාට ඕන විදිහට ජීවත් වුණා. මට පුළුවන් එයා ජීවත් වුණු විදිහ ගැන හිතලා සතුටු වෙන්න. මට වැදගත් එයා ජීවිත් වුණු විදිහයි...මැරුණු විදිහ මට වැදගත් නෑ. එයා ලෝකෙට ගොඩක් දේවල් දීල ගිය කෙනෙක්’ සත්‍යා ආපහු ටෙක්ස්ට් කළා.

 ‘ස්ටීව් ජොබ්ස් ‘වෙනස් විදිහට හිතන්න’ නිර්භීත වුණා. ලෝකය එයාට වෙනස් කරන්න පුළුවන් කියල හිතන්න තරම් ධෛර්යසම්පන්න වුණා. ඒ වගේම ඒ වෙනස කරන්න තරම් දක්ෂ වුණා’ -බැරක් ඔබාමා කියල තිබුණ. .

 ‘බාහිර බලාපොරොත්තු, අභිමානය, අසාර්ථක වෙන්න තියෙන බය, මේ හැම දෙයක්ම මරණය ඉදිරියෙදි නොපෙනී යනවා. ඉතුරු වෙන්නෙ ඇත්තටම ඔබට ජීවිතයේ වැදගත්ම දේ විතරයි. ඔබ මැරෙන්න යනවා කියන සිතුවිල්ල තමයි මම දන්න හොඳම විදිහ ඔබට යමක් අහිමි වෙයි කියල බියපත් කරන උගුලින් මිදෙන්න. ඔබ සම්පූර්ණයෙන්ම නිරුවත්. ඔබේ හදවත පසුපසින් නොයා ඉන්නට දැන් කිසිම හේතුවක් නෑ.’ -

පිළිකාව ගැන දැනගත්තම ස්ටීව් ජොබ්ස් ඍජුවම මරණය දිහා ජීවිතේ ඇස් ඇතුලෙන් බැලූවා. තවත් බුදුවරයෙක් නික්ම ගියා. අවලස්සන ජීවිතයක උරුමය අරන් ඇවිත් ලෝකයකම ජීවිත ලස්සන කරන්න තරම් විශාලව ගැහුණු හදවතක් නිහ`ඩ වුණා. ඇපල් ගස්වල මල් පිපෙන කාලය අහවර වුණා.

 මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් යැව්වා.
 මට ලොකු හිස්තැනක් දැණුන.

 -චින්තන ධර්මදාස

කඳ ඩිජිටල් ඔළු මනමේ - ලාංකේය ඩිජිටල් සිනමාවේ ආරම්භය

කාලයක් තිස්සෙ එක එක සාම්ප‍්‍රදායික සීමාවන් එක්ක ගැටි ගැටී ඉඳලා අන්තිමට ලංකාවෙ ඩිජිටල් ෆිල්ම් තියටර්ස් පටන් ගන්න අවසර ලැබුණ. ඒ ප‍්‍රවෘත්තිය අහපු ගමන් මට දැණුනෙ මාර ත‍්‍රිල් එකක්. අපි පොඩි HD කැමරා උස්සන් low budget කරපු වැඩ ප‍්‍රදර්ශනයට දැන් ඉඩක් හම්බු වෙනවා කියල. නෙගටිව් ප්‍රොජෙක්ටර් වෙනුවෙන්ම පෙනී හිටපු ප‍්‍රසන්න විතානගේ මාධ්‍යයකදි එක පාරක් අහලා තිබුණ විදිහට, ඕවා කළාට පෙන්නන්නෙ කොහෙද, කියන ප‍්‍රශ්නෙට උත්තරයක් දැන් තියෙනවා. හැබැයි ඒත් එක්ක තවත් ප‍්‍රශ්නයක් ඉස්සරහට එනවා. ප‍්‍රසන්නලා වගේ අයගෙ සිනමාවෙ අනාගතය කොහාටද කියන එක. සිනමාව කියන්නෙ පළමුවත් දෙවනුවත් තෙවනුවත් නෙගටිව්මය කියල හිතාගෙන හිටපු අයට කටුගෙට යනවද කියල තීරණයක් ගන්න සිද්ද වෙනවා.

'' දැන් ඇත්තටම චිත‍්‍රපටි කරන්න ඕන උන්ට චිත‍්‍රපටි හදන්න පුළුවන් වෙයි. කෝටි ගණන් වියදම් කරන්න ඇති හැකියාව සිනමාව කියලා වැජඹෙන එක වෙනුවට නිර්මාණශීලිත්වය සිනමාවෙ මූලික කාරණයක් විදිහට දකින තත්වයක් නිර්මාණය වේවි'' අලූත් ඩිජිටල් රැුල්ලත් එක්ක මං ටිකක් වැඩියෙන් සුබවාදී වුණා. ඒත් මේ ඩිජිටල් සිනමාවට තිබුණු තහංචි අහක් වෙන්නෙ එහෙම නිර්මාණශීලි වුණු අයගෙ සටන් කිරීමක් නිසා නෙමෙයි. ලංකාවෙ විකල්ප සිනමාවෙ පුරෝගාමියෝ විදිහට පෙනී ඉන්න කිසි කෙනෙක් ඩිජිටල් සිනාමාව එනවට කැමති වුණේ නෑ. ‘හැමෝම චිත‍්‍රපටි හදයි. හැමෝම අධ්‍යක්‍ෂවරු වෙයි’ කියල බය වෙලා ඒ අය නෙගටිව් එකත් එක්ක ඒ අයට ලැබෙන ගෞරවය ආරක්‍ෂා කර ගන්න බැලූවා. ඒත් සුනිල් ටී පෙත්සම් ගහද්දි රිකී එකේ ඞීවීඞී එකෙන් චිත‍්‍රපටි පෙන්නුවා. ලංකාවෙ ඩිජිටල් සිනමාවට දොරවල් ඇරෙන්නෙ නිර්මාණකරුවන්ගෙ පෙනී සිටීමක් හින්ද නෙවෙයි. ආයෝජන හැකියාවන් ඇති ව්‍යාපාරිකයන්ගෙ උවමනාව හින්දයි. (මාත් ඇතුළු අලූත් චිත‍්‍රපටිකරුවන් කීප දෙනෙක් ඩිජිටල් මාධ්‍යයෙන් කරපු චිත‍්‍රපටි නිසා මේ අලූත් සිනමාව ඇති වුණා කියල හිතන එක ලොකු මෝඩකමක්)

එතකොට මේ නව ඩිජිටල් සිනමාවෙ අරමුණු නිර්මාණකරුවන්ට අවශ්‍ය තැනක් දක්වා අරන් එන්න නම් වෙනම කතිකාවන් සහ සංස්කෘතීන් වැඩ කරන්න වෙනවා. සිනමාව ඩිජිටල් වුණත් අන්තිමට පෙන්නන්නෙ කාටද? ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරයේ රසවින්දනය නිර්මාණය කරන දේශපාලනය තියෙන්නෙ කොතනද? ව්‍යාපාරිකයෙක් ආයෝජනයක් කරන්නෙ ලාභය ගැන අදහසකින් මිස සමාජ පෙරලියක් වෙනුවෙන් ප‍්‍රජා සත්කාර අදහසකින් නෙමෙයි. මේ අලූත් ඩිජිටල් සිනමාව සම්බන්ධ ආයෝජනයෙ ලාභය කියන එකයි මේ දූපතේ කලාව සම්බන්ධ දේශපාලනයයි (පේ‍්‍රක්‍ෂාගාරය) අතර සම්බන්ධය හරි දුරයි. අනිවාර්යෙන්ම කලාපීය හෝ අන්තර්ජාතික සිනමා කර්මාන්තමය තත්වයන් සමග සාපේක්‍ෂ වෙමින් ගොඩනගන ඩිජිටල් සිනමාවෙ රස වින්දනය මේ රටට සීමා වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ඉදිරියට චිත‍්‍රපටියක් කරද්දි කෙනෙකුට ලංකාවට වඩා ඉන්දියාව ගැන හිතන්න වේවි. මේක නරක තත්වයක් නෙමෙයි. ලංකාව රටක් හැටියෙන් පටු කොදෙව් තැනක සංවෘත වෙද්දි තාක්‍ෂණිකව අපි ලෝකෙටම විවෘත වෙන්න යනවා. අපේ ලාංකීය මනස් ජාතිකවාදී තැනක පල් වෙද්දි විනෝදාස්වාදය ඇතුළු පරිභෝජන සංස්කෘතිය අන්තර්ජාතික වෙනවා. ආයෝජන සහ ව්‍යාපාරික තත්වයන් එක්ක විවෘත වෙන අලූත් තාක්‍ෂණික සහ සංස්කෘතික ප‍්‍රවේශයන් සම්බන්ධයෙන් නිර්මාණාත්මක ව්‍යවසායකත්වයක් (ජාතික චින්තනය ඇතුලෙ මේ තත්ව කළමනාකරණය කරන්න බෑ) අහිමි වෙන එකෙන් අපි හුදෙක් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න තැනට වැටෙනවා. ඩිජිටල් සිනමාව සමග විවෘත වෙන මේ නව තත්වයන් එක්ක ලංකාවෙ සිනමාව සහ අනෙකුත් සියලූ කලාවන් අලූතෙන් අර්ථකතනය කරන්න සිද්ද වෙන එක අනිවාර්යක්. අපේ චිත‍්‍රපටි වලට ඉඩක් තියෙයිද? ඩිජිටල් සිනමාව ගැන ජේම්ස් කැමරන්ටත් වඩා බලාපොරොත්තු තබා හුන් අපේ විකල්ප ධාරාවෙ චිත‍්‍රපටිකරුවෙක්ට තියෙන ඇත්ත ප‍්‍රශ්නයක්. (විකල්ප කිව්වට කොයි විදිහෙන් මේ බෙදීම කරන්නද කියල හිතන්න අමාරුයි. ලංකාවෙ මේ වෙනකල් ප‍්‍රධාන ධාරාව වුණෙත් විකල්ප චිත‍්‍රපටි. උදා විදිහට ප‍්‍රසන්න විතානගේ ලංකාවෙ ප‍්‍රධාන ධාරාවෙ සිනමාකරුවෙක්. ඒත් ලෝකෙ කිසිම රටක් ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටි ප‍්‍රධාන ධාරාව විදිහට බාර ගනීවිද කියල මං දන්නෙ නෑ.)

ඒ කොහොම වුණත් වෙන රටවල් හා තරගකාරීව මුහුණට මුහුණ මුණ ගැසෙන ඊළ`ග ඩිජිටල් සිනමා අවිධියෙදි අපිට වඩා යුග ගණන් වලින් ඉදිරියේ සිටින වෙනත් රටවල ප‍්‍රධාන ධාරාව සමග එකට හිටගන්නට අපිට සිද්ද වෙනවා. එතැනදි අප ඉන්දියානු සිනමා කොදෙව්වක් බවට පත් නොවන්න නම් මීට වඩා විශාල දැනුවත් බවක් වගේම උපක‍්‍රමශීලීත්වයක් (strategic) අපේ චිත‍්‍රපටිකරුවන්ට අවශ්‍ය වෙනවා. මේ අලූත් වෙනස එක්ක තමන්ව ජාත්‍යන්තර සිනමා තත්වයන් හා ගලපමින් කියවා ගන්නට වෙහෙසෙන අලූත් සිනමාකරුවන්ට යම් ඉඩක් විවර වෙන්න පුළුවන්. ඒත් අපේ රටේ සිනමා භාවිතය පිළිබඳ නිසි කතිකාවන් හා සිනමා ශාලාවට පිටත සිනමා සංස්කෘතියට අදාල තත්වයන් නිර්මාණය නොවුණොත් මේ තාක්‍ෂණික පෙරලිය අපිට අවාසිදායක වෙන එක වලක්වන්න බැරි දෙයක්. නව තාක්‍ෂණික වෙනස්කම තේරුම් ගන්නට සහ ඒ වෙනස එක්ක ගැලපෙන සිතීමක් නැති වීම කියන්නෙ ආයිමත් පරාරෝපණ තත්වයක්. අපිට වෙන්නෙ ඔලූව කචල් කඳ ඩිජිටල් වෙන සිද්දියක්.

 සිනමාව ඩිජිටල් වෙන එක ගැන ලෝකෙම ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයො උනන්දු වෙන්නෙ එකිනෙක අන්තර් සම්බන්ධිත සමස්ත ඩිජිටල් මාධ්‍යකරණයට සිනමාව එකතු වීමෙන් නිර්මාණය වෙන දැවැන්ත වෙළඳ අවකාශය නිසයි. (උදා විදිහට මෝබයිල් ෆෝන් එකෙන් සිනමාව රස විඳින තැන දක්වා බහුවිවිධාංගීකරණය වෙන වෙළඳපොල අවස්ථා)

 ”වෙන මොන දේවල් වුණත් ඩයලොග් එකයි මහරාජා එකයි හින්ද අපිට තාක්‍ෂණය ආවා” -නිමල් ලක්ෂපතිආරච්චි

 සිනමාව ඩිජිටල් වෙන්නට යන මේ මොහොතේ ඒ පසුතලයේ ඇති තාක්‍ෂණික දේශපාලනය ගැන අපේ ඇති නොදැනීම බරපතල හානියක්. මේ කියන්නෙ අලූත් තාක්‍ෂණය වාරණය විය යුතුයි කියන එක නෙමෙයි. ඒ විවරය හරි විදිහට පාවිච්චි වෙන දැනුම් පද්ධති නිර්මාණය වෙන්න ඕන කියන කාරණය. ඩිජිටල්කරණය තාක්‍ෂණික වෙනසක් විදිහට විතරක් තේරුම් ගන්න එකම අර්බුදයක්. ඩිජිටල් සිනමාව කියන්නෙ පැරණි සිනමාව ඩිජිටල් මාධ්‍යයට පෙරලෙන එකට නෙවෙයි. නොගටිව් වලින් කරපු චිත‍්‍රපටිය ඩිජිටල් චිප් එකට මාරු වීම කියන්නෙ හරිම සරල තැනක්. ඩිජිටල් සිනමාව එක්ක මෙතෙක් පැවති සිනමාවේ අනන්‍යතාවය මාරු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඩිජිටල් සිනමාව කියන්නෙම මෙතෙක් අපි සිනමාව කියල හිතපු එකේ මළගමයි. 

දැන් අපිට මුහුණ දෙන්න වෙන ඇත්ත ප‍්‍රශ්නය මුණගැහෙනවා. මේ අලූත් සිනමාවෙ සිනමාකරුවන් වෙන්න අපිට පුළුවන්ද? මේ සිනමාවේ භාෂාව ගැන අපි දන්නේ මොනවද? සාම්ප‍්‍රදායක නැත්නම් මෙතෙක් පැවති සිනමාවේ, ඒක සම්භාව්‍ය, වාණිජ, විකල්ප මොන එකක් වුණත් ඒකෙ තිබ්බ පොදු තත්වය වුණේ කතන්දර කියන එක. සාම්ප‍්‍රදායික සිනමාවම ගොඩනැගිලා තියෙන්නේ මේ කතා කියන එක උඩ. (narrative) ඩිජිටල් සිනමාව අභියෝග කර්නනෙ සාම්ප‍්‍රදායික සිනමාවෙ මේ පදනමටයි. ඒක ඇතුලෙ ඒඅ ය වැඩි පුරම උත්සාහ කරන්නෙ පේ‍්‍රක්‍ෂකයා එක්ක සම්බන්ධ විය හැකි අලූත් ආඛ්‍යානයන් ගොඩනගන්නයි. ( interactive narrative) අපි මෙතෙක් දන්න සිනමාවට මූලික වුණේ මොකක් හරි භෞතික යතාර්ථයක්. සිද්ධි හෝ චරිත විදිහට යතාර්ථවාදය එක්ක මොන විදිහකින් හරි සම්බන්ධ වෙන චිත‍්‍රපටි තමයි අපිට දැන් සාම්ප‍්‍රදායික විදිහට හඳුන්වන ඒ සිනමාවෙදි මුණගැහෙන්නෙ. ඩිජිටල් සිනමාවෙදි චිත‍්‍රපටයක භෞතික යතාර්ථය කියන්නෙ එක ඔප්ෂන් එකක් විතරයි. සාම්ප‍්‍රදායික සිනමාවෙදි හරි වැදගත් කාරණා වන චරිත, ආඛ්‍යාන වගේ දේවල් මෙතනදි ඩිෆෝල්ට් ඔප්ෂන් වගේ.

සිනමාව ඉගෙන ගන්න හදන අයට දැන් එක කාරණයක් පැහැදිලි වෙන්න ඕන. සිනමාව කියලා අපි දන්න විෂය තත්වයන් වෙනස් වෙන්න යනවා කියන එක. ඩිජිටල් සිනමාව පැවති සිනමාවේ අනන්‍යතාව වෙනස් කරනවා කියන්නේ ඒ හින්ද. එතකොට සිනමාකරුවා කියන අර්ථයත්, සිනාමාව ගැන දැනුමත් මේ අලූත් තත්වයෙදි වෙනස් වෙනවා. 1970දි ක‍්‍රිස්ටියන් මෙට්ස් කියල විචාරකයෙක් කියනවා, චිත‍්‍රපටිවල හොඳ, නරක, ඔරිජිනල්, කොපි, කලාත්මක, වාණිජ මේ මොන දේ කිව්වත් ඒ හැමෝටම එක දෙයක් පොදුයි. ඒ හැම චිත‍්‍රපටියක්ම කියන්නෙ කතාවක්. ඒ විදිහට ගත්තම මේ ඔක්කොම එක පොදු ෂොනරයකට වැටෙනවා. ඒක සුපර් ෂොනරයක්  කියල. අපි මෙතෙක් කල් සිනමාව කියන්නෙ සජීවී ව සිදු වෙන දෙයක් පටිගත කිරීමේ ක‍්‍රියාවලියකට. සිනමාව සම්බන්ධයෙන් මෙතෙක් වුණු හැම තාක්‍ෂණික දියුණුවකම අවශ්‍යතාවය වුණේ මේ පටිගත කිරීමේ තත්වයන් වඩා හොඳ කරන්නයි. මේ විදිහට යතාර්ථය වාර්තා කිරීම කියන එකට හිර වුණු සාම්ප‍්‍රදායික සිනමාව ගැන මෙට්ස් කියන්නෙ ‘ අඩි සටහනකින් කලා කෘතියක් කරන්න යනවා’ කියල.

 සිනමාව ස්වභාවිකවාදයේ තත්වයන් එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. ඒක උසාවියක ස්ටෙනෝ ටයිපින් හෝ වැක්ස් මියුසියම් එකකට වඩා වැඩි දෙයක් නෙමෙයි කියල අලූත් සිනමාව ගැන උනන්දු වෙන විචාරකයන් කියන්නෙ නෝන්ඩියට. ඒ අය කලාවක් විදිහට මෙච්චර කල් පැවතුණු සිනමාවෙ සීමිත බව ප‍්‍රශ්න කරනවා.

 තර්කොව්ස්කිගෙන් එකපාරක් කෙනෙක් ප‍්‍රශ්නයක් අහනවා. ‘ඔයාට බැරිද ඇබ්ස්ට‍්‍රෑක්ට් දෙයක් කරන්න?’ තර්කොව්ස්කි කියනවා එහෙම වියුක්ත දෙයක් පවතින්න බෑ කියල. සිනමාවෙදි සිද්ද වෙන ප‍්‍රධානතම කාරණය වෙන්නෙ කාචය ඇරලා සිනමා පටය දුවන්නට දී ඉදිරියේ ඇති දේ සටහන් කර ගැනීමයි කියල තර්කොව්ස්කි කියනවා. එයාට අනුව එතන ඇබ්ස්ට‍්‍රෑක්ට් මොකවත් නෑ.

 ඒත් සිනමාවෙ හැම දෙයක්ම කැමරාවකින් රූ ගත නොකර කොම්පියුටරේකින්ම කරන්න පුළුවන් වුණොත් සිනමාවට මොකද වෙන්නෙ? හොලිවුඞ් සිනමාව දැනටමත් වැඩි බරක් දෙන්නෙ මේ ඩිජිටල් නැත්නම් ඇනිමේෂන් කොටසට. මෑතක නිකුත්වුණු චිත‍්‍රපටි බොහොමයක සාර්ථක වුණේ ඒවායෙ තිබුණ ඇනිමේෂන් කොටස් හින්ද. (transformers, avatar) මේ වෙද්දි හොලිවුඞ් චිත‍්‍රපටියක් වෙළඳපොලට එද්දි ඒ චිත‍්‍රපටියෙ මාදිලි ගණනාවකින් නිකුත් වෙනවා. ප‍්‍රධාන සිනමා ශාලාවලට අමතරව චිත‍්‍රපටයට ඇතුලත් නොකල දර්ශන හා සාකච්ඡුා අඩංගු ඞීවීඞී තැටියක් සහ චිත‍්‍රපටය පාදක කරගෙන නිර්මාණය කළ ඩිජිටල් ගේම් එකක් අනිවාර්යෙන් නිෂ්පාදනය වෙනවා. චිත‍්‍රපටියක විශේෂ ප‍්‍රයෝග කළ ආකාරය ඇතුලත් making of පොත් වලටත් තියෙන්නෙ එන්න එන්නම වැඩිවෙන ඉල්ලූමක්. මේ විදිහට කොම්පියුටර් විලින් ඩිසයින් කරන යතාර්ථයක් විසින් සිනමාව බාර ගන්න එකටයි ඩිජිටල් සිනමාව කියන්නෙ. සාම්ප‍්‍රදායික සිනමාව ඡුායාරූප කලාව උඩ පදනම් වෙද්දි ඩිජිටල් සිනමාව වඩාත් ළංවෙන්නෙ චිත‍්‍ර කලාවට. photographic සහ cinematic කියන තැනින් සිනමාව graphic සහ painting තැනකට මාරුවෙන එක මේ මොහොතේ සිද්ද වෙමින් තියෙනවා.

මේ හැම දෙයක්ම අතරෙ අපේ සිනමාව තාම මහින්දාගමනය තරම් පිටිපස්සට ගිහින්. නැත්තං උතුරු නැගෙනහිර යුද්දෙ පට්ට ගගහා එක්ක සම්මාන පස්සෙ ගිහින්. ඩිජිටල් සිනමාවට අනුව සජීවී ක‍්‍රියාව රූ ගත කිරීම කියන තැන තමයි සාම්ප‍්‍රදායික සිනමාවේ සීමාව. ඒත් ඩිජිටල් චිත‍්‍රපටියකදි ඒ රූපය තවත් එක පික්සල් (pixel) වලින් හැදිච්ච frame එකක් විතරයි. forest gump චිත‍්‍රපටිය පටන් ගන්න හැටි මතක නම් ඒ පිහාටුව පාවෙන එක හරහා අපි ඇතුල් වෙන්නෙ ඩිජිටල් යතාර්ථයකට. ඒක ඇත්තක් නෙමෙයි. පාවෙන පිහාටුවක් රූ ගත කරලා ඒක විවිධ පසුතලයන් උඩට ගෙනැත් එක් පෙලක් හැටියෙන් අරගෙන නිර්මාණය කරපු ඒ දර්ශනය ගොඩනගන්නෙ යතාර්ථයෙන් බැහැර යතාර්ථයක්. ඒක සිනමා කෘතියට විතරක් විශේෂ වුණු යතාර්ථයක්. 

ඩිජිටල් චිත‍්‍රපටයක් නිර්මාණය වෙන විදිහ පවා පැරණි සිනමාවට වඩා වෙනස්. කොතනින් හෝ රෙකෝඞ් කරපු නැත්නම් කෘතිමව හදපු රූපය painting, image processing, animation ආදී අදියර ගණනාවක් තුලින් යනවා. මෙතනදි පැරණි සිනමාවෙ තිබුණු පෙර - පසු නිෂ්පාදන(pre production-post production) කියන බෙදීම ඉවර වෙනවා. මූලික අර්ථයෙන්ම ඩිජිටල් සිනමාව කියන්නෙ animation. එතනදි කැමරාවෙන් රූ ගත වෙන්නෙ මුල් අවස්ථාවට ඕන වුණොත් ගන්න රූපය විතරයි. ඩිජිටල් සිනමාව එනවත් එක්ක කර්මාන්ත සම්බන්ධතා රටාව වෙනස් වෙනවා. මෙච්චර කල් නිර්මාණයක බලය පැවරුණු පිටපත් රචකයන්, කලා අධ්‍යක්‍ෂවරුන්, කැමරා ශිල්පීන් වගේ කොටස් මේ අලූත් පරිසරයෙදි අවතැන් වෙනවා. ඒ වෙනුවට අලූත් සෞන්දර්යවාදයක් සහ අලූත් නිර්මාණ ක‍්‍රමවේදයක් පටන් ගන්නවා.

 ලෝක තත්වයෙන් ගත්තොත් දැන් පවතින සිනමාවෙ තත්ව දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. එකක් මාධ්‍ය භාවිතාවක් විදිහට සිනමාව. ඒ කියන්නෙ යතාර්ථය ගබඩා කරන මාධ්‍යයක් විදිහට සිනමාවෙ කරන වැඩකොටස. ඩිජිටල් සිනමාව ඇරඹෙන්නෙ සාමප‍්‍රදායික සිනමාවෙ මේ කාර්යය සීමාවක් විදිහට අරගෙන ඒකට අභියෝග කරන තැනින්. දෙවෙනි තත්වය දෘෂ්‍ය යතාර්ථය. සැබෑ යතාර්ථය වෙනුවට කෘතියෙන් යෝජනා කරන යතාර්ථය. ඒ යතාර්ථය දැන් නිර්මාණය වෙන්නෙ ඉස්සර වගේ කැමරාවෙන් නෙමෙයි. පරිගණක පින්සලකින්. ඒක සිනමා ඇස වෙනුවට සිනමා පින්සල පාවිච්චි කිරීමක්. (kino eye to kino brush)

මේ ඩිජිටල්කරණයත් එක්ක සිනමාවට කලින් තිබුණු මහේශාඛ්‍ය අනන්‍යතාව බිඳ වැටෙනවා. ඒ වෙනුවට අනන්ත ඩිජිටල් මාධ්‍ය අතරෙ සිනමාව තවත් එකක් විතරක් වෙනවා. අපි මේ කියවගෙන යන්නෙ අපිට ඉස්සරහට නියමිත අනාගතය. කොහොමත් සිංගප්පූරුවට ගිහින් අරන් ඇවිත් මේ අලූත් තාක්‍ෂණික මෙවලම් ටික පාවිච්චි කරන්න අපිට පුළුවන් වෙයි. ඒත් ඒ වර්චුවල් යතාර්ථයන් සහිත ප‍්‍රබන්ධ ලෝකයක් ගැන අපේ නිර්මාණ අවකාශය කොයි තරම් පටුද? යතාර්ථයේ පවා හු`ගක් මතුපිට අතගාන අපේ ලාංකීය නිර්මාණ මේ වගේ අවකාශයක නන්නත්තාර වීම ගැන කිසි සැකයක් නැහැ. විෂය තත්වයන් ගැන අපේ සිනමාකරුවන්ට තියෙන නොදැනීම සහ වර්චුවල් රියැලිටි වලට පියාඹන්න තරම් අපේ නිර්මාණකරුවන් සැහැල්ලූ නැති කාරණය නිසා මේ අලූත් තත්වය ඉස්සරහ අපි අවලංගු වෙන්න පුළුවන්.

 තාම අපේ නිර්මාණ සිතුවිලි වපසරිය හැසිරෙන්නෙ ඇල්කොහොලික් තැනකයි. (භෞතිකවාදී, යතාර්ථවාදී, හැ`ගීම්බර, පිරිමි). මෙතනදි මට ඇපල් සමාගමේ ස්ටීව් ජොබ්ස් කියපු කතාවක් මතක් වෙනවා.
 බිල් ගේට්ස් දක්ෂයි. ඒත් එයා ගැන මට දුකයි. එයා හරි සීමිතයි. අඩුම තරමේ LSD ටිකක් වත් නැත්නම් සෙන් භාවනාවක් වත් ලැබුනොත් එයාගෙ පරිකල්පනය ටිකක් පළල් වෙයි’

 ලංකාවෙ ප‍්‍රධාන ධාරව කියන්නෙ කොහොමත් අපත සිනමාවට. ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ. ඒත් අපේ විකල්ප යැයි කියන චිත‍්‍රපටිකරුවොත් උනන්දු වෙන්නෙ ඩිජිටල් සිනමාව නිසා තමන්ගේ යතාර්ථවාදී කතන්දරේ අඩු ගානට රූ ගත කරලා ප‍්‍රදර්ශනයට විදිහක් හැදෙන කල් මිස ඩිජිටල් සිනමාවට ආවේණික පරිකල්පන තත්වයන් (සිතීම) මේ රටේ ගොඩනැගෙන විදිහක් ගැන නෙමෙයි. ලෝකයේ සිදුවෙන කලා-වාණිජ ආකෘතීන් වල වෙනස්කම් ගැන දැනුවත්ව හැඩගැහෙනවා වෙනුවට ඒ අය තාමත් ඉන්නෙ සම්මානයක් ගන්න පුළුවන් චිත‍්‍රපටියක් හදන සිහිනයක. නමුත් ඩිජිටල් සෞන්දර්යවේදය පිළිබඳ කතිකාවන් සහ නිර්මාණ සංස්කෘතියක් ඇති කර ගන්න අපිට බැරි වුණොත් සිනමාව ඩිජිටල් වෙන වේගයත් එක්කම අපිට සිනමාවක් අහිමි වෙන වේගය පාලනය කරන්නට කාටවත් බැරි වෙයි.

 ඒ නිසා ඩිජිටල් සිනමාවේ ආරම්භය කියන්නෙ මෙතෙක් අපි විශ්වාස කළ සිනමාවේ සහ සිනමා විරුවන්ගේ අවසානය බව වටහා ගන්න එක සහ එළඹෙන අලූත් සිනමාවේ භාෂාවන් දැන කියා ගන්න ඉක්මන් වෙන එක මේ මොහොතේ චිත‍්‍රපටිකරුවෙකුට වඳ වී නොගොස් ඉතිරි වෙන්න අවශ්‍යම වෙන පියවරක්.

 Lev Manovich ගේ ලිපියක් ඇසුරින්. -චින්තන ධර්මදාස

ශ‍්‍රී ලාංකේය සිනමාවේ සැබෑ රංගධරයාණෙනි, ඔබට සුබ රාත‍්‍රියක්.

සුරදූතිකාවෝ ඔබ නළවන්නට නැළවිලි ගී ගයත්වා..

ජෝ අබේවික‍්‍රම මැරණ කිව්වම මට කිසි හේතුවක් නැතුව ලොකු තිගැස්මක් ආවා. මම ජෝ ව පුද්ගලිකව අඳුනන හෝ ජෝ එක්ක ගොඩක් වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඒත් මට හිස්තැනක් දැණුන. මං ගෙදර ඇවිත් වැලිකතර ආයිමත් බැලූවා. ගෝරිං මුදලාලි, ලංකාවෙ සිනමාව කියන එකේ මං ආස කරන එකම චරිතය දිහා මං බලාගෙන හිටියෙ දෙබසක්වත් නෑහෙන්න කන් අගුල් දාගෙන.

ජෝ කියන්නෙ ලංකාවෙ බිහිවුණු එකම චරිතාංග නළුවා. සාරවිට චිත‍්‍රපටියෙන් ර`ගපාන්න පටන් ගත්ත ජෝ මුලින් ජනප‍්‍රිය වුණේ කොමඩියන් කෙනෙක් විදිහට. ඒත් දැන් ටෙනිසන්ලා, බන්දුලා කරනවා වගේ තොවිල් පොලවල් වල තියෙන වර්ගයේ කොමඩි නෙමෙයි. ඒගොල්ලොන්ගෙ කොමඩි කියන්න ඇ`ග, මූන, කට අඹරන එක. ඒත් ජෝ කොමඩි අරන් ආවෙ චරිතයට අදාල ජීවිතය ඇතුලෙන්.

මට තුෂාරා චිත‍්‍රපටිය මතක් වුණා. විජේ ලස්සන නිසා කොල්ලගෙ චරිතය කළේ එයා. ජෝ ර`ගපෑවෙ සපෝටර් ට. ඒත් ජෝගෙ ‘හොයි හොයී’ එක විජේගෙ කාඞ්බෝඞ් ර`ගපෑම නැති කරගෙන මතුවෙනවා. ජෝ ඕනම චරිතයක් ඇතුලට ගිහින් ‘තමන්ව’ හොයා ගන්නවා. රංගනයක තියෙන අමාරුම දේ ඒකයි. තමන්ගෙ ආත්මීය සීමා ඇතුලෙන් ගිහින් වෙනත් චරිතයක ජීවිතය අඳුර ගන්නවා කියන එක තමයි ර`ගපෑමක ආධ්‍යාත්මික ගමන. ජෝ කවදාවත් චරිතයක මතුපිටින් අල්ලගත්තෙ නෑ. පිටපතේ අකුරු වලින් තියෙන ඒ චරිතෙට ජීවිතයක් අරන් එන්න ජෝට පුළුවන් වුණේ ඒ හින්ද. ලංකාවෙ ජෝ ඇරුණම ඒ පරිසමාප්තියට ගිය කිසි නළුවෙක් නෑ.

 ර`ගපෑම කියන්නෙ ඉතාම සියුම් හැ`ගීම් එක්ක කරන ගණුදෙනුවක්. ඒක වෙස්මූණක් දාගන්න එක නෙමෙයි. ර`ගපාන හැමවෙලාවකම නළුවා හැංගෙන්නෙ නෑ. එයා එයාව විවෘත කරනවා. 
-රොඞ්නි ඩැන්ගර්ෆීල්ඞ් 

එතකොට ගාමිණී? කෙනෙක් මගෙන් ඇහුවා.

ගාමිණී කියන්නෙ චරිතාංග නළුවෙක් නෙමෙයි. ගාමිණීට තිබුණෙ තරු ර`ගපෑමක් විතරයි. තරු ර`ගපෑම කියන්නෙත් විෂයක්. රජිනි කාන්ත්, අමිතාබ් බච්චන්, මාලන් බ‍්‍රැන්ඩෝ වගේ දැවැන්ත රංග පෞර්ෂ රැඳුනෙත් මේ තරු සීමාවෙ. ගාමිණී ඊට පස්සෙ බිහිවුණු විජේ වගේ ඔතෑනි චරිතයකට වඩා පෞර්ෂයක් අරන් ආවත් අර කලින් කී රංග පෞර්ෂයන් එක්ක ළ`ගින් තියන්න වත් පුළුවන් කමක් නෑ.

 ඇයි ඒ?

ගාමිණී ගේ තරු පෞර්ෂය විසින් ගාමිණී ගේ ජීවිතය ගිල දමමින් තිබුණා. සුපිරි නළු ගාමිණී ෆොන්සේකා කියන්නෙ තිරයේ මවපු චරිතයක් වග තේරුම් ගන්න ගාමිණීට දැනුමක් තිබුණෙ නෑ. ගාමිණී ඒ සුපිරි නළු චරිතෙට ඇන්දා. එතකොට එතනින් එහාට ගෙනියන්න ජීවිතයක් නෑ. ගාමිණී කළේ ජේත්තුවට සිගරට් බිබී ඇත්ත ජීවිතෙත් ඒ සුපිරි චරිතය නඩත්තු කරන්න උත්සාහ ගත්ත එක. ඒත් මාලන් බ‍්‍රැන්ඩෝ දැනගෙන හිටියා ඒ තරු චරිතය තමන් නොවෙන වග. තමන්ගේ ජීවිතය විසින් ඒ තරු පෞර්ෂය හැසිරවිය යුතු වග. එයාට ගෝඞ් ෆාදර් වගේ චරිතයක් කරන්න පුළුවන් වෙන්නෙ ඒකයි. ඒකට වඩා හු`ගක් පහලින් වුණත් ප‍්‍රශස්ත මට්ටමකින් ගාමිණිත් පරසතු මල් හාමු මහත්තයාගෙ චරිතෙ කරනවා. ගාමිණීගෙ දක්ෂතාවය ගැන කතා කරන්න තියෙන එකම තැන පරසතු මල් විතරයි. ඒත් බ‍්‍රැන්ඩෝ වගේ ‘ලාස්ට් ටැන්ගො ඉන් පැරිස්’ කරන්න ගාමිණීට බෑ. ඒ වගේම බ‍්‍රැන්ඩෝ ඒ තරු පෞර්ෂය ඇතුලෙන් ගිහින් චරිතයේ ජීවිතයට දොරටුවක් හදා ගන්නවා. එතනදි මාලන් බ‍්‍රැන්ඩෝ ගෙ ඒ විශ්මිත හැකියාව රජිනි කාන්ත්ට වත් අමිතාබ්ට වත් පිහිටන්නෙ නෑ. ඒ අය එකම චරිතයක් කරනවා, එක එක ඇඳුම් ඇඳගෙන. ඒත් ඒගොල්ලොත් දන්නවා ඒ තරු පෞර්ෂය තමන් නෙමෙයි කියන එක. ඒ හින්ද ඒ තරු පෞර්ෂය ඇතුලට තමන්ගෙ ජීවිතේ අරන් එන්න ඒ අයට පුළුවන් වෙනවා. අපිට රජිනි ගේ චිත‍්‍රපටියක් බලද්දි ඇ`ගට දැනෙන්නෙ එයා එතන ඇත්තට හුස්ම ගන්න නිසා. ඒත් ගාමිණී කියන්නෙ ඇඳගත්ත චරිතයක් විතරයි. තරු පෞර්ෂය ඇවිත් එයාගෙ ජීවිතය විනාශ කරගෙන ගියා.ඒක නිසා එතන ඉතුරු වුණේ කාඞ්බෝඞ් ගාමිණී ෆොන්සේකා කෙනෙක්. මං කියන දේ පැටලිලි සහගතද මන්දා.

 ඒත් ජෝ මේ හැම කෙනෙකුටම වඩා ඉහල ආධ්‍යාත්මික චාරිකාවකට එළඹෙනවා. ලස්සන නොවීමේ වාසනාව හින්දම මේ ප‍්‍රතිරූපෙ නඩත්තු කරන්න ජෝට සිද්ද වෙන්නෙ නෑ. බැද්දේගම සිළිඳුගේ ඉඳන් කොළඹ සන්නිය දක්වාම පරාසයක ජෝ ජීවත් වෙනවා. චරිතයක් ර`ගපානවා කියන්නෙ ඒ වගේ නළුවෙකුට අලූත් චාරිකාවක්. තමන්වම අඳුර ගන්න. අලූත් මනෝභාවයන් එක්ක ජීවත් වෙන්න. ජෝ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් විදිහට ර`ගපෑවා. කොමඩි චරිත එක දිගට කළත් ඒ හැම කොමඩි චරිතයකම විශේෂ අනන්‍යතා නිර්මාණය කළා. ජෝ අබේවික‍්‍රම කියන්නෙ අන්තර් ජාතික මට්ටමේ ෂෝන් පෙන්, මෝර්ගන් ෆී‍්‍රමන් වර්ගයේ නළුවෙක් වෙන්නෙ ඒ හින්ද.

ගෝරිං මුදලාලිගෙ චරිතය ගැන ආයිමත් කියන්න ඕන. ඒ බයාදුකම යටින් දිවෙන වෛරය, බිහිසුණුබව ඒ තරම් සංකීර්ණව මං දැකලා තියෙන අවස්ථා දුර්ලභයි. වැලිකතර බලද්දි මට ජෝ, ගෝරිං මුදලාලිගෙ ඇතුලට යන හැටි දැනිලා ඇ`ග හිරි වැටුණ.

 ‘මම ආසයි චරිත තියෙන ‘චරිත’ වලට. දවසක මම මගේ ඇතුලෙම නිගමනයකට ආවා ර`ගපෑම සහ ‘තරුවක් වීම’ අතරෙ වෙනස විශාලයි කියල. ඔයා තරුවක් නම් මිනිස්සු යන්නෙ ඔයාව බලන්න. ඒත් ඔයා නළුවෙක් නම් මිනිස්සු එන්නෙ ඔයා ඉන්න කතාව බලන්න’ -මෝර්ගන් ෆ‍්‍රීමන්

ඇයි අනිත් අයට මේක බැරි වෙන්නෙ? මට සරච්චන්ද්‍ර සම්බන්ධ යාන් එකක් මතක් වෙනවා. එකපාරක් සරච්චන්ද්‍රගේ මනමේ කුමාරයාට ර`ගපෑවලූ ක්ලීටස්. ඉතින් නාට්‍යය කරලා ඉවර වෙනකල් සරච්චන්ද්‍රත් බලන් හිටියලූ. පස්සෙ පත්තරේකින් ඇවිත් ඇහුවලූ මොකද නාට්‍යයේ නව නිෂ්පාදනය ගැන හිතන්නෙ කියල. සරච්චන්ද්‍ර කිව්වලූ, ‘මෙච්චර කල් එක එක නළුවො ඇවිත් මනමේට ර`ගපෑවා. ඒත් මෙදා පාර විතරයි මං දැක්කෙ මනමේ ක්ලීටස්ට ර`ගපානවා’ කියල.

 ර`ගපෑම කියන්නෙ ඔබ ඔබ නොවන කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. ර`ගපෑම කියන්නෙ උඩින් වෙනස් වගේ පේන දේ යටින් ඇති සමානත්වය හොයා ගන්න එකට. ඒක ඇතුලෙන් තමන්ව හොයා ගන්න එකට. -

මෙරිල් ස්ටී‍්‍රප් මේ කියන්නෙ ලංකාවෙ නළුවන්ගෙ ඛේදවාචකය. නළුවා නැත්තම් ර`ගපෑමෙන් පස්සෙ එන‘චරිතය’ට ඇඳගෙන ඇත්ත තමන්ව මකන්න හදනවා. තමන්ගේ ගමේකම, දුප්පත්කම, ඉංගී‍්‍රසි බැරිකම වගේ දේවල් වහගන්න අර ‘චරිතෙන්’ උත්සාහ කරනවත් එක්ක පුදුම නොදියුණුකමක් මතුවෙන්න පටන් ගන්නවා. ඒක රෝගයක්. තමන් වෙනුවට වෙන ආරූඪයක ජීවත් වීමක්. ඉතින් ඇත්ත මිනිහා මැරෙනවා. ඇත්තටම නං මරනවා.

ජෝට කවදාවත් මේක වුණේ නෑ. රත්නපුරේ ගමෙන් අරන් ආපු ගමේකම ජෝ ළ`ග හැමදාම තිබුණ. ඒ ඇත්ත මිනිහා ඇතුලෙන් ඉව කරලා අනිත් මිනිස්සු තේරුම් ගන්න සංවේදිකම ජෝට තිබුණ. හොඳ සුචරිතවත් මිනිහාගේ ඉඳන් පාදඩ තුප්පහියා දක්වාම පළල් ඇත්ත ජීවිතයක් බාර ගන්න තරම් ජෝගේ ආත්මය විශාල වුණා. තමන්ව වහගන්න ජෝට උවමනා වුණේ නැති හින්දම චිත‍්‍රපටියක චරිතයක් ඇතුලෙ දියවෙන්න ජෝට ලේසි වුණා. ජෝගේ මළගෙදරට ගොඩක් සෙනග හිටියෙ නෑ. ජෝ ගැන ගොඩක් අයට අවුල් තිබුණ. පුද්ගලික ජීවිතේ නොයෙක් අමනාපකම් හිත් රිදීම් තිබුණ. ඒත් ඒ පුද්ගලික සීමා වලට එහා ගිහින් ජෝ කියන දැවැන්ත ආත්මය තේරුම් ගන්න ඒ ගොඩක් අයට බැරි වුණා.

‘ගහකඅතු ස්වර්ගය ස්පර්ශ කරන්න නම් ඒ ගහේ මුල් අපාය දක්වා දිවෙන්න ඕන’ කියලා ෆෙඞ්රික් නීට්ෂෙ කිව්වා. ඒ ඇත්ත ජීවිතේ අන්ධකාරය ඇතුලෙන් රංගනය කියන විෂය ජීවිතෙන් පෝෂනය කරන්න ජෝට පුළුවන් වුණා.

 ර`ගපෑමෙ තියෙන හොඳම දේ මම වෙන කෙනෙකුගේ චරිතෙ ඇතුලෙ දියවෙන එක සහ ඇත්තටම මට ඒකට ගෙවන එක. ඒක හොඳ ‘කඩයක්’. මට මම කවුද කියලවත් විශ්වාස නෑ. මම කියන කෙනා දවසින් දවස වෙනස් වෙනවා. - ලියනාඩෝ ඩිකැප්රියෝ 

 මළගෙදර ආණ්ඩුවෙන් බදු අරගෙන තිබුණා. බුදුහාමුදුරුවො මහින්දගේ ලේ ඥාතියෙක් කියපු ජැක්සන් ඇන්තනි එදා බොරැල්ල කනත්තෙදි මහින්ද ජෝ ගේ ළ`ගම නෑයා කළා. ජනාධිපති නිව්යෝක් ඉඳන් ජෝ මැරණ ගමන් කළුබෝවිල ඉස්පිරිතාලෙට කතා කරපු ජැක්සන්ට මාර දෙයක්. ඒක අපේ ජනාධිපතිගේ හැටියක්. එයා හෘදයාබාධයක් හැදුණ ගමන් සන්නස්ගලටත් කතා කළා. ඒත් මේ දේවල් මෙහෙම වැදගත් විශේෂ ප‍්‍රවෘත්ති වෙන එක මොන තරම් බාලද? පුද්ගලිකව, තමන්ගේ හිතවත්කමට හෝ ලෙංගතුකමට දෙන දුරකතන ඇමතුමක් රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමකින් ගෙනහැර දැක්වීම මොන තරම් මෝඩද? ජනාධිපතිවරයෙක් කියන්නෙ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක්. රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු සතු විෂයන්, වගකීම්, සහ සම්ප‍්‍රදායන් තියෙනවා. කවුරු හරි මැරුණම කෝල් එකක් දෙන එක රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ විශේෂ ගුණයක් වෙන තැන දක්වාම අපේ රට දැන් පිරිහිලා. ඊට වඩා වැදගත් තැනක් එදා කනත්තෙදි ජැක්සන් ජනාධිපතිතුමාට දුන්නෙ නෑ. දේශපාලන කතාවක් වගේ ආවේගයෙන් ජැක්සන් කනත්තෙදි කළේ මහින්ද රාජපක්ෂ ගැන කතාවක්. ජෝ චිතකය ඉස්සරහ වැතිරලා අහගෙන හිටියා. ඊට පස්සෙ රවීන්ද්‍ර කතාවක් කළා. දැන් නායි, දැන් නායි කියල හිතුණත් රවීන්ද්‍ර නොනා බේරුණ. ඇ‍ඩෙන්න තරම් හැ`ගීම්බරව රවීන්ද්‍ර උදාහරණ සහිතව බරසාර කතාවක් කළා. ජෝ එක්ක තමන්ගේ තිබ්බ ළ`ග සබඳතාවය ගැන එයා වරින් වර මතක් කළා. එහෙම එකක් ජැක්සන්ට තිබුණෙ නෑ. ලකූණු දමාගැනීම් සහ ලකුණු කපා ගැනීම් මැද ජෝගේ මළගම සිද්ද වුණා.

 ඒත් එදා අපි චිතකයට දාලා ආදාහනය කරලා ආවෙ ලංකාවෙ රංගනය කියල කාටවත් හිතුණෙ නැතුව ඇති. ඒත් එතනට ඇවිත් හිටපු නොයෙක් නොයෙක් ර`ගපෑම් කරන අය දිහා බලන් ඉද්දි මට ඒක හිතුණ. 

ර`ගපෑම කියන්නෙ අනිත් හැමදේටම වඩා වෙනස් දෙයක්. ඔබට පේනවා නම නළුවෙක් හෝ නිළියක් එන්න එන්නම ර`ගපෑමෙන් සාර්ථක වෙනවා, ඒ කියන්නෙ ඒ අය වැඩි වැඩියෙන් තමන්ව තේරුම් ගන්න පටන් අරගෙන. -කැමරුන් ඩියස්

 ජෝ මාරයි, ජෝ මාරයි කියනවට වඩා ජෝ ගේ මාර මොකක්ද කියලා අධ්‍යනය කරන්න ලංකාවෙ ර`ගපෑම විෂයක් විදිහට කරන අයටවත් ඕන වෙන එකක් නෑ. ජෝ චරිත වලට පිවිසෙන විදිහ, චරිත වල ජීවිතය සළකුණු කරන විදිහ, තමන්ගේ ජීවිතය ඇතුලෙන් චරිත තේරුම් ගන්න එක වගේ දේවල් සාකච්ඡුා කරන විෂයක් විදිහට ලංකාවෙ රංගනය කවදාවත් වැඩෙන එකක් නෑ. ඒ වෙනුවට නළු නිළියො වෙන්න ව්‍යායාම කරන, ෆේෂල් කරන, කවුරු කවුරු හරි එක්ක බුදියන ජීවිත අහිමි නළු නිළි රොත්තක අපේ චිත‍්‍රපටි නන්නත්තාර වේවි. කවදාවත් මේ වගේ රටක ජෝ වගේ රංග පෞර්ෂයකට හිමි වෙන්න ඕන ගෞරවය හිමි නොවෙන එක පුදුමයක් නෙමෙයි. ඒ විශාලත්වය තේරුම් ගන්න තරමට මේ රටේ මනස වැඩිලා නැති එක සරල සාමාන්‍යයක්.

 චරිතාංග නළුවෙක් වෙන එකේ පීඩනය අඩුයි. ඒකෙන් කියන්නෙ ඔබ ජීවිතය පුරාම ර`ගපානවා කියන එකයි. මට ඕන නෑ සල්ලි තියෙන ප‍්‍රසිද්ධ කෙනෙක් විතරක් වෙන්න. ඒක හරිම බෝරිං
 -ටිම් රොත්

 ඉතින් ජෝ අබේවක‍්‍රම වගේ ග`ගක් තරම් අපරිමිත රංග සෞන්දර්යක් මේ තරම් හෑල්ලූවෙන් ආදාහනය වෙන විදිහ මම සරලව බලන් හිටියා. කපුගේ බස් එකෙන් වැටිලා මැරුණ. ජෝ එක්සයිස් මැෂිමෙන් වැටිලා මැරුණ.

 මං තාම ගෝරිං මුදලාලි දිහා බලාගෙන.. ජෝ, ඔබට සුබ රාත‍්‍රියක්..

 -චින්තන ධර්මදාස

සමලිංගික පත්තර සදාචාරය

මිනිසෙකුගේ ලිංගිකත්වයේ වර්ගය සහ මට්ටම ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මයේ ගැඹුරු තැන දක්වාම දිවෙන්නකි. -ෆෙඞ්රික් නීට්ෂේ 

පසුගිය සතියක ජාතික යැයි කියාගන්නා බාල ටැබ්ලොයිඞ් වර්ගයේ ඉරිදා පුවත්පතක මුල් පුවත වුණේ සමලිංගික සංවිධාන වලට විදේශ ආධාර ලැබීමක් ගැනයි. සමලිංගික සංවිධාන ව්‍යාප්තියට විදෙස් රටවලින් ආධාර දී ඇතැයිද, වහා අපේ සංස්කෘතිය රැුක ගත යුතු යැයිද, කියන ඒ ලියූ නිලීන සමලිංගිකයා (ඒ ගැන ඊළ`ග ඡේදයේ පැහැදිලි කරන්නම්) ඒ සංවිධාන පවත්වන තැන් වලට ගොස් කළ (අපි නොදන්න) ගවේෂණය තවත් පිටු ගාණක් ලියා ඇත. මුලින්ම මෙබඳු හිස් පුවතක් හෙඞ්ලයින් එකක් වෙන්නත්, එසේ වීම පිටුපස කියවෙන සමාජ අර්බුදයත් (පාඨකයාගේ හෝ මාධ්‍ය විසින් තීරණය කරන පාඨකයාගේ) හඳුනා ගත යුතුය. යුද්ධයේ පුවත් විකුණමින් මෙතෙක් ලාබ ලැබූ පත්තර වලට දැන් විකුණන්න එබඳු උණු උණු මහා ව්‍යසන නොමැතිය. මේ නිසා එක් පසෙකින් ග‍්‍රීස් යකා බඳු පුවත් මවන අතර තවත් පසෙකින් මෙසේ සමලිංගික හෝ වෙන මොකක් හෝ අනෙකෙක්, තර්ජනයක් මැවීමට මාධ්‍ය කටයුතු කරයි. ඒ පොදු හතුරා නිර්මාණය කිරීම මේ බාල මාධ්‍ය ඉව කරන අලෙවියයි.

යුද්ධයේ ලේ විකුණා ලාබ ලැබූ ලංකාවේ මාධ්‍යයෙන් මෙබඳු සාපරාධී පුවත් පළකිරීමකින් විය හැකි සමාජ හානිය ගැන හැ`ගීමක් නැත්දැයි ඇසීමත් විහිළුවකි. මෙගා නාට්‍ය බලන, එකතැන කුණු වෙන, සිංහල බෞද්ධ පාඨකයාගේ මනදොල පිනවීමට මාධ්‍ය විසින් කුණු රසයන් මවමින් සිටී. ඒ මේ මොහොතේ දේශපාලනයයි. වරෙක තවත් මේ වර්ගයේ ජාතික පුවත්පතක් රජයේ ඉල්ලීම පරිදි අන්තර්ජාලයේ තිබූ මේ රටේ තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පිටු පුරා පළ කලේ කිසි හිරිකිතයක් නැතිවය. ඒ වෙලාවෙ පුවත්පත් සදාචාරය මත පිහිටා එය කළ නොහැකි යැයි කියා සිටින්නට අනෙක් මාධ්‍ය වලට කොන්දක් තිබුණි. නමුත් දැන් සමාජ වගකීමක් ගැන හැ`ගීම් මාත‍්‍රයක් හෝ නැති තවත් පුවත්පත් බෝම්බ හෝ විකුණා තමන්ගේ ලාබය ගැනීමට පසුබට නොවන වග මේ හෙඞ්ලයින් එක යට ඇති නොකී කතාවයි. 

පළමුවෙන්ම මට මේ ලියමන ලියන්නට වෙන්නේම මා නොදන්නා දෙයක් ගැනයි (පෙර කී පත්තරේ ලියන්නා දන්නවා කියල හිතන). සමලිංගිකත්වය ගැන මට යම් දැනුමක් තිබුණත් සමලිංගික සංස්කෘතිය ගැන මගේ දැනුම අල්පය. දැනුමෙන් සහ උපකල්පනයෙන් සංස්කෘතියක් ගැන දේවල් කියන්න යනවා වෙනුවට මම කරන්නේ දේශපාලනිකව හා සමාජීයව මේ කරුණු දිහා බලන්නට උත්සාහ කරන එකය. දෙවනුව මේ පුවත එය ලියන්නා විසින් හිතුමතේට විකෘති කරන ආකාරය පැහැදිලිය. ‘ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය හා සදාචාරය වැනසීමේ යටි අරමුණින් යුක්තව ඒඞ්ස් රෝගය තුරන් කිරීමේ මුවාවෙන්......’ යනුවෙන් තමන්ගේ ප‍්‍රවෘත්තිය අරඹන ලියන්නා අනුන්ගේ ලිංගික කතාවක් මුවාවෙන් තමන්ගේ විකෘති කාමයක් හෙළි කරයි. ලංකාවේ සංස්කෘතිය වනසන්න යැයි ගෝලීය අරමුදල් සල්ලි දෙන වගක් මා නම් දන්නේ නැත. එවැන්නක් තිබුණත් එය දැනගන්න සමලිංගිකත්වය පවා මැජික් එකක් වුණු මේ ප‍්‍රවෘත්තිකාර ගොඩයාට හැකිවන්නේ ද නැත. මෙතැන තිබිය හැකි ඇත්ත පුවත කුමක්ද? ලංකාවේ හා දකුණු ආසියාතික රටවල ඒඞ්ස් රෝගය වැලැක්වීම සඳහා සමලිංගික සංවිධානවලට ආධාර ලබා දීමයි. මේ ප‍්‍රවෘත්තියේ කියවෙන ‘ගමන්මගේ සහකරුවෝ’ සංවිධානය එසේ ඒඞ්ස් රෝගය තුරන් කිරීම සඳහා මැදිහත් වුණේ අද ඊයෙක නොවේ. ඒ මදිවාට මේ ආධාර දී ඇත්තේ ඒඞ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්දනය කිරීමේ ගෝලීය අරමුදලයි. මේ ප‍්‍රවෘත්තිය මෙසේ විකෘති කොට එය සමාජ ලිංගික භීතිකාවක තැනට වර්ධනය කිරීම ලියන්නා මෙන්ම ඒ පුවත හෙඞ්ලයින් කළ පත්තරය හෙලි කරන ඔවුන් පෙළෙන විකෘති කාමයයි.

 සමලිංගිකත්වය දැන් අමුතු දෙයක් වෙන්නේ කාටද? අපේ සංස්කෘතියේ මෙවන් විකෘති නැතැයි මේ ලියන්නා කියන්නේ කවර දැනුමක් ඇතිවද? අපේ ඉතිහාසයේ සියුම් කලා කුශලතාවයන් පෙන්වූ නිශ්ශංක මල්ලව රජු පවා සමලිංගික සේවනයේ යෙදුණු අයෙක් වගට සාක්ෂි තිබේ. ඉස්කෝලෙවත් ගිය නැති කෙතරම් ‘නොදැනුමෙක්’ මේ ලිපිය ලියන්නේද කියතොත් අපේ රටේ ඒකභාර්යා විවාහ ක‍්‍රමය ඉතිහාසයේ පටන් පැවැති සංස්කෘතියක් යැයි කියන්නත් ඔහු ඉක්මන් වෙයි. අපේ රජවරුන්ට තිබූ අන්තපුර ගැනත්, මෑතක් වනතෙක් නුවර පළාතේ තිබූ එකගෙයි කෑම ගැනවත්, කසාද ලියාපදිංචි නොකරන කාලයේදී අපේ හෙළ පවුල් තුල වූ ලිංගික නිදහස ගැනවත් මේ පත්තරයේ හෙඩිම ලියන අය නොදනී. නමුත් පත්තරයේ උඩින් ජාතික පුවත්පතක් කියා ලොකුවට ලියා ඇත. මේ ලියන්නා කතා කරන්නේ අපේ සංස්කෘතිය ගැන නොවේ. ඉංග‍්‍රීසින් විසින් අප පිට පැටවූ වික්ටෝරියානු සංස්කෘතිය ගැනයි. ක‍්‍රිස්තියානි පල්ලියේ මතවාදයයි. එය හෙළ බෞද්ධ යැයි කියන්නට උත්සාහ කිරීම මේ පුවත යට ඇති අනෙක් අපරාධයයි.

 මේ ලියන්නා නිලීන සමලිංගිකයෙක්(latent homosexual )යැයි මා කිව්වේ ඇයි? තමන් තමන්ගේ ඇතුලෙන්ම ස්ථාවර විෂම ලිංගිකයෙක් නම් සමලිංගික හෝ වෙනත් ලිංගික සංස්කෘතීන් ගැන මේ විදිහට බය වෙන්නේ නැත. ‘සමලිංගික ඇසුර මතු නොව එවන් අය සමග කතාවත් අපි පිළිකුල් කළද.....(ඒ ලියන්නා රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ උදාර අරමුණින්ම මේ (අපි නොදන්න) ගවේෂණය කළ බව කියයි. මේ හෙලිවන්නේ ඔහු සමලිංගිකයෙක් හැටියෙන් වටහා ගනිවී යැයි ඔහු තුලම ඇති අවිඥාණක බියයි. තමා තුල ඇති සමලිංගකත්වය තමන්ටම අනාවරණය වීමේ බියෙන් ලියමන පුරාම නොයක් තැන්වල ලියන්නා තමන්ගේ විෂම ලිංගිකත්වය අවධාරණය කරයි. ලංකාවේ මෙබඳු නිලීන සමලිංගිකයෝ බොහෝය. නිසි සංස්කෘතික අවකාශයක් සහ අයිතියක් නැති නිසාම බොහෝ සමලිංගිකයන් තමන් තුලම සැගවී සිටී. තමන්ටම විරුද්ධව සටන් කරයි. (නිශ්චිතවම මේ ලියන්නා ගමෙන් කොළඹට ආ අයෙක් විය යුතුය)

තමන්ගේ ඇත්ත තැන යමෙක් සිටීම බලන්න හිරිකිතයක් ඇති නොකරයි. ඒත් තමන් ගේ ඇත්තට වඩා වෙනස් තැනක ඉන්නට කෙනෙකුට ඇති ආශාව බලන්න හිරිකිතය. - ජෝන් කේජ්

සමලිංගිකත්වය ජීව විද්‍යාත්මක බවත්, එය අපරාධයක් හෝ විකෘතියක් හෝ සුව කළ යුතු මානසික රෝගයක් නොවන බව විද්‍යාත්මකව පිලිගෙන අවසානය. සමලිංගිකත්වයට නිසි සංස්කෘතික පද්ධතීන් තවම නිර්මාණය වී නැති නිසා ලිංගිකව බෝ විය හැකි රෝග මර්දනය කරන්නට ඔවුන් අතර ‘විශ්වාසවන්ත එක් අයෙකුට සීමා වූ ලිංගික ඇසුරක්’ ගැන මතයක් සහ ආරක්ෂක කොපු භාවිතයට උනන්දුවක් ඇති කිරීමට ගෝලීය සංවිධාන වෙහෙසෙයි. ඒ වෙනුවෙන් ඔවුන් සංවිධානය කරමින්, ඔවුන්ගේ සංස්කෘතික අවකාශයක් නිර්මාණය කිරීමට උදව් දෙමින් එම සංවිධාන කරන්නේ රහසිගත හෝ සැ`ගව සිදුවන සමලිංගික චර්යාවන්ගේ අපචාරමය තත්වයන් සහ රෝග පැතිරිය හැකි තත්වයන් දියුණු ආකාරයකින් තුරන් කිරීමටය. එනම් සමාජයක මානව පැවැත්මෙහි විවිධතා එක්ව පැවතීම පිළිගනිමින් එයින් විය හැකි ආපදාවන් කලමනාකරණය කිරීමය. නමුත් පත්තරේ ලියන්නාට එය පෙනෙන්නේ සමලිංගික සංස්කෘතිය ව්‍යාප්ත කරමින් අපේ සංස්කෘතිය වැනසීමට උදව් දීමක් හැටියටය. ඔහුට අනුව පැවතිය යුත්තේ එක ලිංගික දහමකි. ඒ ඔහු අයත් වන දහමයි. එය ස්වභාවිකය. අන් සියල්ල විකෘතිය. මේ සියලූ විකෘතිතා අතුගා දමා සමාජය ශුද්ධ කළ යුතුය.

මේ ලිපිය පිටුපස ඇති මේ දේශපාලනය දිහා නැවත බලන්න. මේ යුද්ධයෙන් අපේ රටට ඉතිරි කළ දැක්මයි. විවිධතා පිළිගැනීම වෙනුවට බලෙන් මැඩ එකම අධිපති සංස්කෘතියක් රජ කිරීමේ දර්ශනයයි. පත්තරකාරයෙක් මානුෂික හැ`ගීමෙන් පිරි, අසාධාරණයට ලක්වන ජනතාව වෙනුවෙන් සටන් කරන්නෙක් යැයි පිළිගැනීමක් අපේ සමාජයේ තිබුණි. නමුත් මේ දැන් අපිට ඉන්න පත්තරකාරයන්ගේ හැටිය. සමලිංගික සංවිධානයට යුද්ද කාලේ යාපනේට ඇතුල් වුණු රහස් ඔත්තුකාරයෙකුටත් වඩා රහස් හැටියෙන් ඇතුල් වෙන මේ ලියන්නා බොරුවක් කියමින් තමන්ට උදව් කරන මෙන් එතැන අයගෙන් ඉල්ලයි. මේ සංවිධානය ඇතුලට යන්නට මේ තරම් ඇඹරෙන්නේ ඇයි? ඕනෑම කෙනෙකුට ඕනෑම විටෙක එතැනට යන්නට දොරටු විවෘතය. ඔවුන් ප‍්‍රශ්නයක් හෝ අසන්නේ නම් ඒ ආරක්ෂාව ගැන යම් සැකයක් ඇතිවුණොත් විතරය. (මා අවස්ථා කීපයක ඔවුන් සමග විවිධ කරුණු ගැන සාකච්ඡුා පවත්වා ඇත). එසේ ඇතුල්වන ඔහු තමන් ගොතා කියන කතාවට අසා සිටි අයගේ ඇසේ කඳුළු පවා මතුවූ බව කියන්නේ ආඩම්බරයෙනි. ඉන් කියන්නේ මේ සංවිධානයේ අය කොයිතරම් සංවේදීද කියා මිසක් වෙනයම් වැරැද්දක් නොවේ. පිටතින් කඩා පනින ආගන්තුකයෙකුගේ වේදනාවෙන් පවා එතැන සිටි අයගේ හිත උණු වී ඇත. මේ ලියුම්කරු වහා වනසා දැමිය යුතු අපරාධකරුවන් මෙන් කියන්නේ ඔහුට මුණගැසුණු මෙබඳු හදවතක් ඇති අයවයි. පත්තරකාරයා ගැන අපේ පාඨකයා තුල ඇති අදහස වෙනස් කර ගත යුතු බවට මේ ප‍්‍රවෘත්තිය යෝජනා කරයි. මේ ලියන්නා සුළු සංස්කෘතින්ට පීඩා කරන්නෙකි. ඒවාට එරෙහිව ජනතාව උසි ගන්වන්නෙකි. මෙය දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව ද`ඩුවම් ලැබිය යුතු වරදක් බව ලියන්නා අවධාරණය කරන්නේ පොලීසිය කිතිකැවීමටයි. ලෝකයේ මේ වන විට රටවල් සමලිංගික විවාහයන් පවා නීතිගත කිරීමට කටයුතු කරමින් සිටිද්දී මේ ලියන්නාගේ උවමනාව ඒ අය සිරගත කොට හෝ ඒ අයට ද`ඩුවම් කරමින් මානව අයිතිවාසිකම් ගැන ලංකාව දැනටත් දිනා ඇති ‘හොඳ’ නාමය අලූත් කිරීමටය. දණ්ඩ නීති සංග‍්‍රහයේ හැටියට වරදක් වෙන්නේ සමලිංගික හැසිරීමේ යෙදීම මිස ඒ පිළිබඳ අදහස් දැරීම නොවන වගවත් මේ පත්තරකාරයා දන්නේ නැත. නීතිය තියෙන්නේ සමාජයක් පාලනය කරනු පිණිසය. සාමය හා සහජීවනය ආරක්ෂා කරනු පිණිසය. සමලිංගිකත්වය නිසා සමාජයේ අනෙක් අයට සිදුවන අපරාධයක් නැත. එය බෝවෙන තත්වයක් නොවේ. එමගින් විෂම ලිංගිකයන්ට සිදුවන පීඩාවක් හෝ අසාධාරණයක් ඇත්තේද නැත. එසේ නම් එහි ඇති නීති විරෝධිතාව ගැන දෙවරක් සිතා බැලිය යුතුය. පෙර කාලයක තහනම් වූ බොහෝ දේ තව කාලයකදී නිදහස් වේ. එක්තරා කාලයක සමාජයේ වහල් බව පවා නීතිගත වී තිබුණි. මේ ලියන්නා යෝජනා කරන්නේ එය නීතිය වූ පමණින් නිවැරදියි කියාද? ඒ නිසා නීතිය යනු සමාජය අනුව වෙනස් වන දෙයක් මිස සමාජය යනු නීතියේ හැටියට වෙනස් වන්නක් නොවන බව මේ නොපැහුණු ලියන්නා තේරුම් ගත යුතුය.


සමලිංගිකත්වය විකෘතියක් හැටියට පිළිගත් යුගය අවසන්ය. එය ස්වභාවික තත්වයකි. කෙනෙක් සමලිංගිකයෙක් හැටියෙන් භාර ගැනීමට තරම් සමාජයක් පරිණත විය යුතුය. එසේ නොවීමෙන් කියා පාන්නේ ඒ සමාජයේ ඇති නොදියුණු බවට වැඩි යමක් නොවේ. එය පෙරකී ජාතික පත්තරයේ හැටියට අපේ සංස්කෘතියයි. සතුන් අතර පවා සමලිංගික හැසිරීම් දක්නට ඇති බව අනාවරණය වී ඇත. විකිපීඩියා ගොස් ඒ සත්ව වර්ග දැන ගත හැකිය. එසේම සමලිංගිකත්වය කෙනෙක් මත බලෙන් පටවන දෙයක් හෝ තෝරා ගැනීමක් නොව එය උපතින් ගෙනෙන ස්වභාවිකයක් බවද මේ වන විට ලෝකය තේරුම් ගෙන අවසානය.

සමලිංගිකයෙක් යම්හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනවා නම් විකෘතිය ඇත්තේ එතැනය. තමන්ගේම ලිංගයේ කෙනෙක් සමග යහන්ගත වීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය. ඉරි ඇඳ වෙන් කළ යුත්තේ එළුවන්ය   -එල්ටන් ජෝන් 

විකෘති කාමුකයන් හෝ තුරන් කළ යුතු උපද්‍රවයක් හැටියෙන් සමලිංගිකයන් ගැන කියන මේ ලියන්නා ලෝකයේ ශ්‍රේෂටත්වය පත් සමලිංගික ජීවිත ගත කළ අය ගැන කියන්නේ මොනවාද? සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මහා ඇලෙක්සැන්දර්, හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්, බයිරන් සාමි, ෆ‍්‍රැන්සිස් බේකන්, ඔස්කා වයිල්ඞ්, ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජලෝ වැනි දිගට යන ලැයිස්තුවක් ශ්‍රේෂටයන් විපරීතයන් කරමින් අප ආරක්ෂා කර ගත යුත්තේ මේ ලියන්නා වැනි වගකීම් රහිත පත්තරකාරයන්වද? 


ලංකාවේ සංස්කෘතිය සමස්තයක් හැටියෙන්ම සමලිංගිකත්වයට නැඹුරුය. කොල්ලෙක් සහ කෙල්ලක් කාමරේක හිටියත් එය වරදක්, ඇතැම් විට පොලිසියට අල්ලාගෙන යා යුතු තරම් දෙයක් හැටියෙන් දකින අපේ සමාජය කොල්ලන් දෙන්නෙකු එක කාමරේක සිටීම අමුත්තක් හැටියෙන්වත් දකින්නේ නැත. අපේ පාසැල් සියල්ලම පාහේ සමලිංගිකය. ඒවා කාන්තා හෝ පිරිමිය. අප විෂම ලිංගික හැසිරීම් වලට බියෙන් මිශ‍්‍ර පාසැල් වඳ කළේය. අපේ ආගමික සංස්කෘතීන් සමලිංගිකය. හාමුදුරුවරුන්ට, කතෝලික පූජකවරුන්ට කාන්තා ඇසුර පවා අකැපය. මුස්ලිම් ආගමිකයන් කාන්තාවන් නිතරම තබන්නේ වෙන් කොටය. සමලිංගිකත්වය යනු ලිංගික අවයව අතර සිදුවෙන දෙයක් හැටියෙන් පමණක් ගැනීම එය පටු අර්ථයකට ලඝු කිරීමකි. අපේ සමාජ දැක්ම සමලිංගිකත්වයට බර වැඩිය. එහි විෂම ලිංගිකත්වය වාරණය වූවකි. තහනමකි. වරදකි. ඒ තත්වයන් ගැන මේ ජාතික පත්තරේට ඇති වැඩක් නැත. ඔවුන්ට උවමනා කවුරුන් හෝ හිරේ දමා ප‍්‍රවෘත්තියක් වනා ගැනීමයි. සමාජයක් සමග කරන අදහස් ගණුදෙනුවක් වෙනුවට ඔවුන්ගේ විශ්වාසය පේමන්ට් එකේ ගණිකා ව්‍යාපාරයක් ගැනය (පිම්පි කමකි).

මේ සංවිධානය අසල ඇති පාසැල් වල දරුවන් පවා ඉවත් කරන මෙන් ලියන්නා ජනතාව බියපත් කරන්නේ ඔහු සමලිංගිකත්වය පමණක් නොව විෂම ලිංගිකත්වය ගැනද නොදැනුම ප‍්‍රදර්ශනය කරමිනුයි. කුඩා දරුවන් සමග වැඩිහිටියන් පවත්වන ලිංගික ඇසුර ගැනෙන්නේ ‘පීඩෝෆයිල්’ ගණයටයි. එය ලෝකයේ සෑම රටකම පාහේ නීතියෙන් වරදකි. සමලිංගික සංවිධාන පීඩෝෆයිල් ක‍්‍රියාකාරකම් අනුමත කරන්නේ නැත. අනෙක් ගොඩනැගිල්ලේ සමලිංගික සංවිධානයක් තිබීම නිසා බෝවන රෝගයකදී බඳුව තමන්ගේ දරුවන් පාසැලෙන් ඉවත් කර ගැනීමට හෝ විරෝධතා දැක්වීමට මේ ලියන්නා මවුපියන් පොළඹවන්නේ තමන්ගේ නූගත්කම මුද්‍රිත පත්තර අකුරු වලින් ප‍්‍රකාශ කිරීමෙන් එය බලයක් බවට පත් කරමිනි. කරුණාකර පත්තර මහතුනි, මේ බාලවැඩ නවතන්න. ප‍්‍රවෘත්ති පිණිස ජීවිත වැනසීමේ වෙළඳාම අත්හැර සදාචාරයක් ඇතිව බුලත් විටි කඩයක් හෝ අරඹන්න. මෙසේ අනෙකා පිළිබඳ සතුරු අවතාර නිර්මාණය කර දෙමින් සමාජයක සාමය හා සහජීවනය විනාශ කරමින් අවුල් ඇති කිරීම මේ රට තවත් ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට ඇද දමන නිසාය.

 තේරුම් ගන්න, ලිංගිකත්වය මුහුදක් තරම් විශාල වග. තේරුම් ගන්න, ඔබේ සදාචාරය නීතිය නොවන වග. තේරුම් ගන්න, අපි කියන්නේ ඔබ වග. තේරුම් ගන්න, අප කෙනෙක් හා ලිංගික එක්වන්නට තීරණය කළොත්, එය ආරක්ෂිත හෝ අනාරක්ෂිත වුවත් ඒ අපේ ආදරය ගැන අපේ තීරණය වග සහ ඒ ගැන ඔබට අයිතියක් නැති වග. -ඩෙරික් ජාමන්. 

-චින්තන ධර්මදාස

සිනමාව ළමා වීම සහ ළමයින් වෙනුවෙන් සිනමාව අතර වෙනස.




පහුගිය දවසක වසන්ත මොරගොඩගෙ පළවෙනි වෘත්තාන්ත චිත‍්‍රපටිය ‘මවුස්’ ප‍්‍රදර්ශනය කළා රුසියානු කේන්ද්‍රයෙ. ඒක සුවිශේෂ මාධ්‍ය දර්ශනයක් කියල ඉන්විටේෂන් එකේම ලියල තිබුණ. ඒ චිත‍්‍රපටිය පෙන්නනවට අමතරව ඇන්කර් එකටයි, ඊ සොෆ්ට් එකටයි විශේෂ කතා මගින් තමන්ගේ ප‍්‍රචාරණයට ඉඩ දීලා තිබ්බ හින්ද කියල මං දැනගත්තෙ ගියාට පස්සෙ. ඒක හරිම මෝඩ විදිහෙ ප‍්‍රචාරණ ප‍්‍රයෝගයක්. පේ‍්‍රක්‍ෂාගාරය ඉස්සරහ විහිළුවක් වෙන එකෙන් තමන්ගෙ භාණ්ඩය හරි සේවාව හරි විකුණගන්න පුළුවන් වෙයි කියලා ඒ කොම්පැණි කල්පනා කළේ මොන විදිහෙ ඔලූගෙඩි වලින්ද කියල මං වේදිකාව දිහා බලාගෙන හිතුවා. ඒත් වෙළඳ ප‍්‍රචාරණ කලාවත් එක්ක කාලයක් වැඩ කරන නිසා මං දන්නවා, ලංකාවෙ ඒ විදිහට මොනවා හරි විකුණන අය හිතන් ඉන්නෙ තමන්ගෙ දැන්වීම බලන්න පේ‍්‍රක්‍ෂකයො ආසාවෙන් බලන් ඉන්නවා කියල. අඩු ගානේ මොනවයින් හරි රස කළ කතාවක් කරන්න වත් තරම් ඒ ආයතන වල නියෝජිතයො දක්ෂ වුණේ නෑ. කතා ටික ඔහේ ගියා. අපි හිනාවෙවී හිටියා.
‘පැය එකහමාරක ඇඞ් එකක් බලන්න ඇවිත් වගේ’

කෞෂල්‍යා ප‍්‍රනාන්දු චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිතයක් කරන නිසා ටිකක් කතා කරන්න මයික් එක ලැබුණ. ඒත් කෞෂල්‍යට කියන්න යමක් තිබ්බෙ නෑ. ප‍්‍රධාන චරිතය කරන මොරගොඩගෙ පොඩි එකා කවද හරි ‘තාත්තා වගේ’ හොඳ නළුවෙක් වෙයි කියල කෞෂල්‍යා කිව්වෙ බොරුවක්. මොරගොඩ හොඳ නළුවෙක් නෙවෙයි. කටේ බුලත් විටක් නැතුව මොරගොඩට ර`ගපාන්න බෑ. ඒත් පොඩි එකා ලංකාවෙ ළමා නළුවන් අතරෙ මං මෙච්චර කාලෙකට දැකපු නැති විදිහෙ ‘හොඳ’ ර`ගපෑමක් කරනවා. ඒක කොතනින් වත් අනුකරණය කරපු හෝ නිතර අපි දකින තිස්ස ගුණවර්ධනගෙ වේදිකා නාට්‍ය ශෛලියෙ ර`ගපෑමක් නෙමෙයි. ඒ පොඩි එකා සිනමාව කියන මාධ්‍යයට ර`ගපානවා. චිත‍්‍රපටි කැමරාවෙ සංවේදනා ගැන පොඩි එකාට දැනීමක් තියෙනවා.

අනික් අතට කෞෂල්‍යා වැඩි යමක් නොකියන එක ‘ඇත්තක්’. චිත‍්‍රපටිය ඇතුලෙ කිසිම වැඩිහිටි නළු නිළියෙකුට ගැඹුරක්, අභ්‍යාසයක් තියෙන රංගනයකට චරිත ලියැවිලා නෑ. චිත‍්‍රපටිය ඇතුලෙ වැඩිහිටි චරිතවලට පැතිරුණු පදනමක් හෝ භාවයක් නෑ. කොටින් කිව්වොත් කෞෂල්‍යා වගේ අයට චිත‍්‍රපටියෙ කරන්න දෙයක් නෑ. ඒ වෙනුවට පොඩි එකාගෙ අම්මා විදිහට ‘ප‍්‍රවීණ සිනමා නිළි’ කෞෂල්‍යා ගන්න එකෙන් වෙන විදිහක පොඩි සූරාකෑමක් සිද්ද වෙනවා. (ජනප‍්‍රිය නළු නිළි පිරිසක් සහිත චිත‍්‍රපටියක්*. ඒක නරක දෙයක් නෙමෙයි. ඒත් වැඩිහිටි චරිත වල වෙනස් විචිත‍්‍රත්වයන් නිර්මාණය කරන්න මොරගොඩට තිබුණ. එහෙම වුණා නම් චිත‍්‍රපටයෙ වැඩිහිටි චරිත සමස්තයක් විදිහට අරන් එන ඕලාරික බවෙන් (හැමදාම දකින, එක තැන හිරවුණු* ගැලවෙන්න ඉඩ තිබුණ. නමුත් චිත‍්‍රපටියෙ ළමා නළුවන්ට වැඩි රංග අවකාශයක් දෙන එකෙන් මොරගොඩ ලේසියෙන්ම චිත‍්‍රපටිය පැහැදිලි නිශ්චිත වින්දන තලයක් දක්වා අරන් යනවා. බොහොමයක් විචිත‍්‍ර වින්දන අවකාශ නිර්මාණය කරනවා වෙනුවට අධ්‍යක්‍ෂවරයා සරල රේඛීය විදිහට තනි අරමුණක් දිගේ චිත‍්‍රපටිය අරගෙන යනවා.

ඒත් මොරගොඩ චිත‍්‍රපටිය කරන්නෙ ළමයින්ට. ඒ ෂානරය ඇතුලෙන් බැලූවොත් අධ්‍යක්‍ෂවරයා තමන්ගෙ නිර්මාණය කරන්නෙ ඒ ළමයින්ට වැටහෙන වින්දන සීමාව ඇතුලෙ. ඒක අපේ රටේ දුර්ලභ සාධනීය ලකුණක්. මේ කියන කතාව ටිකක් ලිහන්න වෙයි වගේ. ලංකාවෙ ළමා චිත‍්‍රපටි කියල හැදෙන තරමක් හැදෙන්නෙ වැඩිහිටි චිත‍්‍රපටි. ඒවා ළමයින්ව පාවිච්චි කරලා ළමා වැඩිහිටියන් වෙනුවෙන් හදන චිත‍්‍රපටි. ඒවායෙ කතාව සහ චරිත සංකීර්ණයි. මං මොරගොඩට යෝජනා කරන්නෙ විචිත‍්‍ර චරිත අවකාශ මිසක් සංකීර්ණ ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට තොටවත්ත කරපු හඳයා චිත‍්‍රපටියෙ තියෙන්නෙ ඒ ළමයින්ට ගැලපෙන විචිත‍්‍රත්වය. ඒත් මේ කාලෙ ළමා සිනමාවෙ දැවැන්තයා වෙලා ඉන්න සෝමරත්න දිසානයකගෙ චිත‍්‍රපටි වල තියෙන්නෙ ළමයින්ට සුදුසු නැති සංකීර්ණත්වය. මෑතක අශෝක හඳගම හු`ගක් කල්පනා කරලා කරපු විදු චිත‍්‍රපටිය වුණත් ඒ ළමා වැඩිහිටියන් වෙනුවෙන් කරපු එකක්.

මවුස් බලද්දි මට හිතුණෙ විදු ඇතලෙ තටම තටම හඳගමට කියා ගන්න බැරි වෙන දේ මොරගොඩ කොයිතරම් ලේසියෙන් අපූරුවට කියනවද කියල. හඳගම හු`ගක් බරපතල කතා වලින් ආරක්‍ෂා කරන්න හදන, (මට අනුව නම් ඉතාම අපරිණත සිනමාවක් විදූ එක්ක) ‘මවුස්’ සාපේක්‍ෂව ගත්තොත් මට කියන්න වෙන්නෙ, ‘මොරගොඩට තාම ජීවිතයක් තියෙනවා. හඳගමට වේගයෙන් ජීවිතය අහිමි වෙමින් යනවා.’

මොරගොඩ ‘මවුස්’ කරන්නෙ තනිකරම වෙළඳපොල ඇතුලෙ. මාර්කට් එකේ ලෑල්ලක් උඩ තමන්ගෙ නිර්මාණය එලා ගන්න එයා පැකිලෙන්නෙ නෑ. එයා කතාව ලියන්නෙත් ඇන්කර්-ඊ සොෆ්ට් කොම්පැණි වල කිරිපිටි, පරිගණක අලෙවිය වෙනුවෙන්. වේදිකාව උඩදි යාලූවො කියල අඳුන්නලා දීපු ඊශ‍්‍රායල් ජාතිකයන්ට වුණත් මොරගොඩ ජංගියක් අන්දලා තියෙන ගතියක් මට දැණුන. මේ හැම තක්කඩිකමක් ඇතුලෙම වුණත් එයා මේ මොහොතෙ ‘විශිෂ්ට’ චිත‍්‍රපටියක් කරනවා. සල්ලි ගැන හැම කතාවක්ම ඉක්මවාගෙන නැගෙන ජීවිතය පැත්තෙන් පරිණත කෘතියක් මොරගොඩ අතින් නිර්මාණය වෙනවා. ඒක සිනමාවක් විදිහට දකින්න මං ඉක්මන් වෙන්නෙ නෑ. විශාල තිරයක පෙන්නන ටෙලියක් වගේ මිස ‘සිනමාත්මක’ යැයි කියන්න පුළුවන් දේවල් එතන පාවිච්චි වෙන්නෙ නෑ. මොරගොඩ මාධ්‍ය සමාජය ගැන දැනුවත්. ටීවී එකට ඇබ්බැහි වුණු සරල පේ‍්‍රක්‍ෂාගාරයක් මිස නොපවතින ‘සිනමා පේ‍්‍රක්‍ෂාගාරයක්’ ගැන මෝඩ හීනයක් එයාට නෑ. එයා ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගේන්න පුළුවන් චිත‍්‍රපටියක් කරනවා. සිවගුරුනාදන් ‘කිං හන්තර්’ කළා වගේම මොරගොඩ ‘මවුස්’ කරන්නෙත් ඉතාම ප‍්‍රායෝගික දැනීමක් ඇතුලෙ. හඳගම නෙගටිව් පුච්චගෙන නොදැන ගිහින් ටෙලියක් වගේ චිත‍්‍රපටියක් කරද්දි මොරගොඩ කලින්ම දැනගෙන ගිහින් කෙලින්ම පැය එකහමාරක ටෙලියක් කරනවා. ඒක දියුණු තීරණයක්.

විදු ගැන පත්තර වලට ලියන තකතීරු විචාරකයො බොරුවට උඩ දදා ලිව්වා. හඳගම ඇත්තටම වැටෙන අමාරුව ගැන කවුරුවත් කිව්වෙ නෑ. විදු  ඇතුලෙ තමන්ගෙ දේශපාලනය තියෙනවා කියල හඳගමත් කිව්වෙ ආඩම්බරෙන්. ඒත් විදුගෙන් කියවෙන හඳගමගෙ ළමා දේශපාලනය වෙනුවට ‘මවුස්’ ඉතාම ප‍්‍රායෝගික දේශපාලනයක වැඩ කරනවා. ළමා චිත‍්‍රපටියක් ඇතුලෙන් සමාජ කතිකාවන්ගේ වෙනසක් මොරගොඩ යෝජනා කරනවා. ඒක සියුම් වගේම අභියෝගාත්මක වැඩක්. විශේෂයෙන් වෙළෙන්දො ටිකකගෙ උවමනාවන් එක්ක යන ගමන් මොරගොඩ ඒක කරනවා කියන්නෙම වෙනම විදිහක පුහුණුවක්.

මෙතනදි මං හඳගමට ගහනවා වගේ පටු ත‍්‍රිලකින් සෑහීමට පත් නොවී ‘විවේචනයක’ ගැඹුරකින් මේ දේවල් නැවත විචාරය කරන්නයි කියල මං ඉල්ලනවා. සමහර සම්භාව්‍ය චිත‍්‍රපටියක නැති තරම් සමාජ දේශපාලනික සංදර්භයන් ටීවී කොමර්ෂල් ඇතුලෙ තියෙනවා. විදු ඇතුලෙ මට පේන්නෙ හඳගමගෙ ‘ජීවිතයෙන් තොර දේශපාලන දැනුම’. මවුස් ඇතුලෙ සාර්ථක වෙන්නෙ මොරගොඩගෙ ‘ජීවිතය ගැන දේශපාලන දැනුම’. රැවටෙමින්, රවට්ටමින්, වැටෙමින්, නැගිටිමින්, එක එක වෙළෙන්දන් වෙනුවෙන් කඬේ යමින් ආත්මය අහිමි වීම එක්ක මොරගොඩ දැනකියා ගන්න ජීවිතය හඳගමට තමන්ගේ ‘කන්‍යාභාවය රකින’ දේශපාලනය එක්ක තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ.

මවුස් චිත‍්‍රපටියෙ කතාව තියෙන්නෙ මුඩුක්කුවක දරුවෙක් සහ සල්ලි තියෙන පවුලක දරුවෙක් අතරෙ. ළමා චිත‍්‍රපටියක් කියල මුඩුක්කුවේ ඇත්ත ජීවිත ජීවිත ‘අන්ඳන්න’ මොරගොඩ පෙළඹෙන්නෙ නෑ. ඒ අශිෂ්ටකම, දුක්ඛිතකම එක්කම තමන්ගෙ කතාව කියාගෙන යන්න එයාට පුළුවන් වෙනවා. වි¥ට ගණිකාවකට දාව ඉපදිලාවත් ඇත්ත ජීවිතයේ පය ගහලා ඉන්න බැරි වෙද්දි මවුස් මුඩුක්කුවක කපුටො, කුඩුකාරයො එක්කම තමන්ගේ අරමුණ වෙනුවෙන් යනවා. (විදු මග අරින්න හදන ඇත්ත මවුස් බාර ගන්නවා)

මොරගොඩගෙ චිත‍්‍රපටියෙ වීරයාට දිනන්න උදව් වෙන්නෙ කුඩුකාරයෙක්. කුඩුකාරයෙක් ගැන තියෙන සාම්ප‍්‍රදායික ‘සමාජ කියවීමට’ එහෙම්පිටින්ම ප‍්‍රතිවිරුද්ධ තැනක් මවුස් චිත‍්‍රපටියෙන් ළමයින්ට කියනවා. ඒ වගේම ආණ්ඩුවෙන් වාරණයට, පාලනයට උත්සාහ කරන ඉන්ටර්නෙට් එක දැනුමක්, අනාගතයක් කියන අදහස වෙනුවෙන් මවුස් සටන් කරනවා. මුඩුක්කුවක පහසුකම් අහිමි පීඩිත ජීවිතවලට පවා අන්තර්ජාලයෙන් විවෘත වෙන පළල් අවකාශය ගැන හැ`ගීමක් මවුස් චිත‍්‍රපටිය පුරාම තියෙනවා.

වෙන ළමා චිත‍්‍රපටිවල වගේ මේ මුඩුක්කුවේ ළමයි කොළඹ හතේ විදිහට කතා කරන්නෙ නෑ. ‘මාර යාලූවෙක් නෙ බං ඌ’ බටු ඇට දෙකක් උස නැති බට්ටෙක් බට්ටො අතර කතාවකදි කියන්නෙ ඇ`ගට පතට නොදැනී. මං විදු එක්ක සාපේක්‍ෂව කරගෙන එන විචාරයෙන් කල්පනා කරද්දි මට දැණුනෙ, මොරගොඩ ජීවිතය තියෙන තැන ඉඳගෙන ෆැන්ටසිය ගැන කතා කරනවා. ඒත් හඳගම ජීවිතේ උස්සන් ෆැන්ටසියට අරන් එන්න හදනවා.

මොරගොඩ චිත‍්‍රපටිය හු`ගක් මොඩර්න් ආකෘතියකට ගේන්න හිතාගෙන කරන ආකෘති හරඹය අසාර්ථක වෙනවා. කතාව මේ මොහොතේ තැනක ඉඳගෙන අනිත් කතා වලට කැපි කැපී යන රටාව අපැහැදිලි වගේම වෙහෙසකරයි. තේරුමක් නැති ඒ අතට මේ අතට කැපීම් අධ්‍යක්‍ෂවරයාගේ ආධුනිකබව පෙන්නන තැනක්. මවුස් චිත‍්‍රපටියෙ තේමාව හු`ගක් මොඩර්න්. මුඩුක්කු දරුවන් හා පරිගණක එක්ක මොරගොඩ කියන්න යන්නෙ නූතන කතාවක්. ඒ කතා ආඛ්‍යානය හොලිවුඞ් තැනකට ළ`ගින්ම කරගෙන යන එකත් හරි නූතන උත්සාහයක්. මවුස් චිත‍්‍රපටියෙ ගොඩක් තැන් වලදි මට ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ මතක් වෙන්න ගත්තා.

සංගීතය පැත්තෙන් නම් චිත‍්‍රපටියට ඕන කරන නූතනත්වය කොහෙත්ම අරන් එන්නෙ නෑ. කතාවෙ හැ`ගීමට එහෙම්පිටින්ම නොගැලපෙන තැනක සංගීතය හැසිරෙන එකෙන් චිත‍්‍රපටිය දුර්වල කරනවා. ඒත් මේ හැම දුර්වලතාවයක් එක්කමත් මවුස් මං ලංකාවෙ දැකපු හොඳම ළමා චිත‍්‍රපටි අතලොස්සෙන් එකක් වෙන්නෙ ජීවිතය පැත්තෙනුත් සිනමාව පැත්තෙනුත් කෘතිය පෙන්නන අවංකකම නිසාමයි. ළමයින්ගෙ තැනට ඇවිත් ළමයින්ගෙ ඔලූ ඇතුළට වැඩිහිටියන් විසින් ඔබ්බන ලද සාම්ප‍්‍රදායික ආකල්ප වෙනුවට පුළුල් නූතන ආකල්පමය වෙනසක් චිත‍්‍රපටියෙන් යෝජනා කරන්නෙ පවතින රාජ්‍ය මතවාදයටත් අභියෝගයක් කරමිනුයි. ඇන්කර්, ඊ සොෆ්ට් ඇඞ් එකක් ඇතුලෙ මොරගොඩ තමන්ගෙ ඇත්ත කතාවක් කියනවා. මට අනුව නම් පැති ගණනාවකින්ම ඒක අතිශය දේශපාලනික වැඩක්.

චිත‍්‍රපටිය ඇතුලෙත් මුඩුක්කවට ඇවිත් ඇන්කර් විකුණනවා. ඒ තරමට කෘතිය භක්ෂණය කරන වෙළඳාම ගැන පේ‍්‍රුක්‍ෂකයන්ට එන්නෙ පිළිකුලක්. ඒක කොහෙත්ම ඇන්කර් වලට සුබවාදී ආකර්ශනයක් නෙමෙයි. චිත‍්‍රපටිය මුදා හරින්නට කලින් මේ බලහත්කාරී විදිහට නිර්මාණය කෙළෙසන ප‍්‍රචාරණ ඉවත් කර ගන්නවා නම් ඒක වාණිජමය අතිනුත් අදාල සමාගම් වලට හොඳක් වේවි. නැත්නම් චිත‍්‍රපටියක් කරන්න උදව් වීමේ ‘හොඳකම’ වෙනුවට පේ‍්‍රක්‍ෂකයන් ඇන්කර් ගැන අරන් යන නම ගොඩක් අවාසිදායක එකක වේවි. චිත‍්‍රපටිය පෙන්නන තැන්වල දරුවන්ට නොමිලේ ඇන්කර් වීදුරුවක් දීම වගේ පේ‍්‍ර්ක්‍ෂකයාගේ පැත්තෙන් දැනෙන තැනකින් තමන්ගේ වාණිජ අරමුණු සඳහා උත්සාහ කිරීම වෙනුවට මේ වගේ තමන්ටම කෙළවෙන තැනකින් ට‍්‍රයි කරන එක සිද්ද වෙන්නෙත් අන්තර්ජාතික වුණත් මේ සමාගම් දරන ‘ලාංකීය’ ගුණය හින්ද කියල මට හිතුණ.

මොරගොඩගේ වැඬේට කරූ- රවී, අනුර කුමාර වගේ විපක්ෂයේ කට්ටිය විතරක් ඇවිත් හිටියා. සමබර කරන්න ආණ්ඩුවේ අය නොහිටපු එකත් මං දැක්ක විශේෂයක් (ආරාධනා කරලා ආවෙ නැද්ද දන්නෙ නෑ) ඒ මොනවා වුණත් ළමා චිත‍්‍රපටකරුවෙක් විදිහට මොරගොඩ අතිශය සාර්ථකයි. මේ දවස්වල මුලූ රටම බැහැගන කරන විදිහට ළමා මනස් වල ‘අතීතවාදී’ ආකල්ප වපුරන්න ලේසියෙන්ම පුළුවන්කම තියෙද්දි අනාගතවාදී ආකල්පමය වෙනසක් වෙනුවෙන් අමාරු උත්සාහයක් ගැනීම නිසාම චිත‍්‍රපටිය ඉවර වෙද්දි මොරගොඩ ගැන මට දැණුනෙ ගෞරවයක්.

-චින්තන ධර්මදාස

අපිචත්පොන්ග් ගේ පාවෙන සිනමාව සහ අපේ බඩගාන විචාර



පහුගිය සිකුරාදාවක එස්එල්ටීටීඊ යේ අපිචත්පොන්ග් වීරසේතුකල් ගෙ ‘අතීත භවයන් සිහි කළ හැකි අන්කල් බූන්මේ’ පෙන්නුවා. චිත‍්‍රපටිය ගැන කෙටි සංවාදයකට මට කතා කරලා තිබුණ.

චිත‍්‍රපටයෙ තේමාව මරණය. වකුගඩු රෝගයකින් පෙළෙන අන්කල් බූන්මේ තමන්ගෙ ගොවිපොලක ගෙවන අන්තිම දවස් ගැන කතාවක්. අන්කල් බූන්මේට මියගිය බිරිඳගේ අවතාරය මුණගැහෙනවා කෑම මේසෙදි.

‘දිව්‍යලෝකෙ ඒ තරම් ඇති දෙයක් නෑ. ඒක අධිතක්සේරු වෙලයි තියෙන්නෙ’
බිරිඳ බූන්මේ ට කියනවා. ඒ කෑම මේසෙටම බූන්මේ ගෙ අතරුදන් වුණු පුතාත් එනවා. එයා වඳුරෙක් වෙලා. ෆොටෝ ගහන්න කැලේට ගියාම වඳුරු අවතාර එක්ක එයාගෙ ඇතිවෙන බැඳීම නිසා එයා වඳුරෙක් වෙනවා.
‘තාත්තලා මාව හොයනවා මං දැක්කා. අහසෙ පාට වෙනස්වෙනවා මට පෙණුනා. ඒත් මට ආපහු එන්න හිතුණෙ නෑ’  පුතා කැලේ අතුරුදන් වීම ගැන කියනවා.

අපිචත්පොන්ග් මේ චිත‍්‍රපටිය කරන්නෙ හාමුදුරු කෙනෙක් ලියපු පොතක් පාදක කරගෙන. තායිලන්තෙ නබුආ කියන ගමේ 1960 ගණන් වල සිද්ද වුණු ම්ලේච්ඡු තරුණ ඝාතන නිසා හු`ගක් තරුණයො කැලෑ වැදුණ. ඒ අයට කිව්වෙ ‘වඳුරු අවතාර’ කියල. ගමට ආපු හමුදාකාරයො ඇහුවෙ එක ප‍්‍රශ්නයයි.
‘උඹ කොමිනිස්ට්කාරයෙක්ද?’
ඔව් කිව්වොත් එතනම මරණය. නෑ කිව්වොත් බිම දාගෙන තඩි බෑම.

‘මට මේ ලෙඬේ හැදෙන්න හේතුව මං දන්නවා’ අංකල් බූන්මී එක වෙලාවක කියනවා.
‘මං හු`ගක් කොමිනිස්ට්කාරයො මැරුවා’
‘ඒත් ඒක ඔයා කළේ ජාතිය වෙනුවෙන්’ බූන්මීව බලාගන්න ජෙන් කියනවා.
‘ඔයාට තිබ්බ අරමුණ හොඳයි’ එයා තවත් බූන්මි ව අස්වසනවා.
‘ඒත් මං වගාවෙදි හු`ගක් කෘමීන් මැරුවා’
බූන්මි ආයිමත් කල්පනා කරනවා.
‘ඔයා ඒක කළෙත් හොඳ අරමුණකින්’ ජෙන් උත්තර දෙනවා.

මේ භීෂණයෙ ජීවත් වුණා යැයි පුනරුත්පත්තියක් කියන ඇත්ත බූන්මි කෙනෙක් හාමුදුරු කෙනෙකුට තමන් භාවනාවෙදි දකින පෙර භවයන් ගැන කියනවා. ඒ විස්තර හාමුදුරුවො පොතක් විදිහට ලියනවා. අපිචත්පොන්ග් චිත‍්‍රපටියට පාදක කර ගන්නෙ ඒ පොත.

‘හැම කෙනෙක්ම අමතක කරන්න හදන යුගයක් ගැන මතක් කරන බූන්මි ගැන කතාවට මං ආස වුණා’ අපිචත්පොන්ග් පොත ගැන කියනවා. ඒත් ඒ පොතේ කතාව මේ චිත‍්‍රපටියට එනකොට ඒක එහෙම්පිටින්ම අපිචත්පොන්ග්ගෙ ජීවිත ප‍්‍රකාශනයක් වෙලා.

මේ චිත‍්‍රපටිය මරණය ගැන කතාවක්. මේකෙ ඇතුලෙ මරණයන් කීපයක් තියෙනවා. එකක් බූන්මී ගෙ මරණය. ඒ වගේම මේ චිත‍්‍රපටිය මං නෙගටිව් වලින් කරන අන්තිම චිත‍්‍රපටිය වේවි. දැන් හැමෝම ඩිජිටල් වලට ගිහින්. ඉතිං ඒ සිනමාවෙ මරණය මට දැණුනා. මේ චිත‍්‍රපටියෙ රංග ශෛලිය 60 ගණන් වල ටෙලි නාට්‍ය වල ශෛලිය. නළු නිළියො ර`ගපාන්නෙ හැ`ගීමක් නැතුව. ඔහේ දෙබස් කියනවා. ඒ ශෛලිය දැන් මැරිලා. මේ චිත‍්‍රපටියට මම ශෛලීන් කීපයක් පාවිච්චි කරනවා. එකක් පැරණි ‘කොස්ටියුම් ඩ‍්‍රාමා’ කියන ශෛලිය. ඒකත් දැන් මිය ගිහින්’

චිත‍්‍රපටියෙදි අපිචත්පොන්ග් වඳුරු අවතාරය නිරූපණය කරන්නේද පැරණි ටෙලි නාට්‍ය වල හැටියටයි. ඒ කාලෙ තායිලන්තෙ ත‍්‍රාසජනක චිත‍්‍රපටි වල හිටපු කරුවලේම ඉන්න, ඇස්වල එල්ඊඞී පත්තුවෙන වඳුරු අවතාරය වගේම පැරණි සින්ඩ්‍රෝම සහ ශතවර්ෂ චිත‍්‍රපටිය තුල මිය ගිය දර්ශනත් අපිචත්පොන්ග් එකතු කර ගන්නවා. ඒ වගේම අන්කල් බූන්මී තනිකරම පැරණි මිත්‍යා සහ ජනකතා එක්ක පෙළගැහෙනවා (තවත් මරණයක්*.

‘අපිචත්පොන්ග් ගෙ මට අනුව හොඳම කෘතිය මේක’ දේශනේදි මං කිව්වා.
‘මේක මරණය තේමා කරගත්ත ෆිල්ම් එකක්. මරණය ගැන කතා කරන්න ලේසියි. විශේෂයෙන් ආසියාවෙ කෙනෙකුට. ඒත් සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස් වල කතා කරන්නෙ ජීවිතේ ගැන. සාමාන්‍ය නිකම්ම ජීවිතේ හරිම සියුම් තැන් ගැන. මට තාමත් අපිචත්පොන්ග් ගෙ හොඳම ෆිල්ම් එක සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස්’ සත්‍යා මට කෝල් කරලා කිව්වා.

කොහොම වුණත් මේ චිත‍්‍රපටිය සම්මාන උළෙලවල් වල විශේෂ ප‍්‍රසාදයට ලක්වෙන එක පුදුමයක් නෙමෙයි. සම්මාන වට්ටෝරුවට ගැලපෙන දේවල් චිත‍්‍රපටිය පිරෙන්න තියෙනවා. අනිත් හැම චිත‍්‍රපටියකටම වඩා මේකට හොඳ නිමාවක් දීලා තියෙනවා. කතාව හොඳට රවුම් කරලා තියෙනවා. ඒ ගොල්ලො ආස, දාර්ශනික මනසට ගැලපෙන මරණය ගැන කතා වෙනවා. ඒ එක්කම කවදත් අපිචත්පොන්්ග් ගෙ චිත‍්‍රපටිවල ගලාහැලෙන සමලිංගික හුස්ම තියෙනවා.

‘මට මේ චිත‍්‍රපටිය එක්ක තියලා කතා කරන්න පුළුවන් චිත‍්‍රපටියක් ලංකාවෙ තියෙනවා. ඒ විමුක්ති ජයසුන්දරගෙ අහසින් වැටෙයි. ඒත් විමුක්තිට බැරි වෙනවා මේ කාව්‍යයට ළංවෙන්න. එයා දර්ශනවාදයක් ඇතුලෙ හිරවෙනවා. මේ විදිහට ස්ථර ගණනාවක් ඒ චිත‍්‍රපටියෙ නෑ. ඒත් නිමිත්ත හු`ගක් සමීපයි. භාවිතය සමීපයි. ඒත් විමුක්තිට විතරක් නෙමෙයි අපි කාටවත් බෑ මේ සියුම් සැහැල්ලූවට ළංවෙන්න වත්’

වීරසේතුකල් ගෙ කැමරාව, වේගය, නැවතිල්ල, බලන දේවල්, අල්ලන දේවල් හැම එකක්ම විෂම ලිංගික තැනින් වෙනස්. ඒක යතාර්ථය හෝ දේශපාලනිකය වෙනුවට ජීවිතය නැත්තං කාව්‍යය කියන තැනට යනවා. එක විට ඒ ගෑණු ගතියත් ඊට යටින් දැවැන්ත දේශපාලනික පිරිමි ගැඹුරත් පවත්වා ගන්නවා. ඒ එයා සමලිංගික නිසා.

එතන හිටපු කෙනෙක් ඇහුවා, එහෙම සමලිංගික වගේ තැන් පෙන්වන්න පුළුවන්ද කියල.

ඒ කැමරාව යන තැන් බලන්න. එයා බලන්නෙ පිරිමියෙක් බලන දේවල් නෙමෙයි. එයාට රූපෙ ඇතුලෙ වැදගත් වෙන්නෙ පිරිමියෙකුට වැදගත් දේවල් නෙමෙයි. ඒත් ඒක සම්පූර්ණ පිරිමි තාර්කිකත්වයෙන් ගැලවිච්ච එකකුත් නෙමෙයි. ඬේවිඞ් ලින්ච් වගේ අපිචත්පොන්ග් සිහිනයක් දිගේ අපිය අරන් යනවා. ලින්ච් අරන් යන්නෙ මනස ඇතුළට. අපිචත්පොන්ග් යන්නෙ රටේ දේශපාලනය ඇතුලට.

‘මං අහිංසක රසිකාවියක්. මට නං මේ චිත‍්‍රපටිය තනිකරම දේශපාලනිකයි. හරිම සියුම් විදිහට පාලන අධිකාරි වලින් රිංගලා යන්න තරම් ශූර විදිහට අධ්‍යක්‍ෂවරයා රූපක පාවිච්චි කරලා තියෙනවා’

එතන හිටපු කථිකාචාර්යවරියක් චිත‍්‍රපටියෙ එක එක රූපයෙන් රූපයට චිත‍්‍රපටිය දේශපාලනය බවට පත් කරන්න ගත්තා.

‘මේකෙ පදනමේ දේශපාලන කතාවක් තියෙනවා. ඒත් මේක ඒ දේශපාලනය කියන්න හදපු චිත‍්‍රපටියක් නෙමෙයි. මේකෙ ඊට වඩා හු`ගක් දේවල් තියෙනවා. දේශපාලනය කියන්නෙ හරිම ගොඬේ තැනක්.’

මං චිත‍්‍රපටිය බේරගන්න දැ`ගලූවා. ඒත් ලංකාවෙ ශාස්ත‍්‍රාලීය පිලිගැනීම වෙලා තියෙන්නෙ තේරුම් ගැනීම කියන්නෙ ඌනනය කියන එක. ලින්ච්ගෙ චිත‍්‍රපටියක් දැක්ක ගමන් දීප්ති ඒක මනෝ විශ්ලේෂණයට කපලා හදලා ගන්නවා. ලින්ච්ගෙ වෙන වෙන විකාර මට වැඩක් නෑ කියලත් එයා කියනවා. අපිට ලොකු මුහුදක පීනන්න බෑ. පොඩි ටැංකියක් ඕන. ඉතිං අපි හැමදෙයක්ම තේරුම් ගන්න යනවා. දන්න දැනුම් පද්ධතියකට ඔක්කොම ඌනනය කරනවා. අන්තිමට ලෝකෙ ඔක්කොම නිර්මාණ කරලා තියෙන්නෙ අපි පොත් කීපයක් කියවලා දැන ගත්ත දැනුම් පද්ධතිය මාර්කට් කරන්න.

අපිචත්පොන්ග් ගෙ සමලිංගිකත්වය එයාගෙ නිර්මාණයට බලපාලා තියෙනවා කියලා කථිකාචාර්යවරියට පිලිගන්නම බැරි වුණා.

‘මං ගෑණියෙක්. ඒත් මටත් මේකෙ පේන්නෙ දේශපාලනය. ඔය කියන ඒවා අහිංසක මට පේන්නෙ නෑ’

කතාව ගොඩක් දුර දිග ගියා. පස්සෙ එයා කිව්වා අවුරුදු විස්සකට පස්සෙ මං මේ කියන දේ කියන්නෙ නෑ කියල.

ලංකාවෙ වාචරයක් හෝ අලූත් වින්දන මානයකට යන්න බැරි හේතුව ඕකයි. හැමතිස්සෙම බුද්ධිමත් කියල හිතන්නෙ අරමුණ වෙනුවට අරමුණ දිහාවට යොමු වෙච්ච ඇ`ගිල්ල ප‍්‍රශ්න කරන එක. අපිචත්පොන්ග් වෙනුවට අපිචත්පොන්්ග් ගැන කතා කරන මගේ ඥාණ විභාගයෙන් එතන බෙදා ගන්න දෙයක් තිබුණෙ නෑ.

‘මේ චිත‍්‍රපටිය ඔයා කෑලි වලට ගලවනවා. මට මේක එහෙම කෑලි කරලා බලන්න ඕන නෑ. මේක තනි කෘතියක් විදිහට සමස්ත විඳීම ගන්නයි මට ඕනි’

එයා බෞද්ධ තර්කයක් ඉදිරිපත් කළා.
සිනමාව කියන්නෙ මට විෂයක්. මං හිතන්නෙ මෙතන ඇවිත් ඉන්න ගොඩක් අයටත් එහෙමයි. මේ චිත‍්‍රපටිය කියන්නෙ අපේ හැදෑරීමක්.’
විෂය සහ ආතල් එක අතර වෙනස පැහැදිලි කරන්න මට සිද්ද වුණා.

‘‘අපිචත්පොන්ග් බෞද්ධ චිත‍්‍රපටකරුවෙක් කිව්වට මට හිතෙන විදිහට එයා කියන්නෙ බෞද්ධ තැනකට වඩා වෙනස් තැනක්’’ සත්‍යා පහුවෙනිදා ටෙලිෆෝන් එකෙන් මට කිව්වා. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටිවල තියෙන බෞද්ධකම අනිත්‍යතාව වගේ තැනකට කේන්ද්‍රීය එකක් නෙමෙයි. එයා අනිත්‍යතාව, මරණය වගේ දේවල් රොමැන්තික තැනකිනුයි ගන්නෙ. ඒත් එයාගෙ සිනමා භාවිතාවෙ තියෙන නොඇලීම, බලා සිටීම, විනිශ්චය නොකිරීම වගේ කාරණා නිසා මට අපිචත්පොන්ග් කියන්නෙ බෞද්ධ චිත‍්‍රපටකරුවෙක්. ඒ එයා කියන කතා තේමාවන් හින්ද නෙමෙයි. එයා සිනමාව කියන එක පාවිච්ච කරන හැටි ගැන මට හිතෙන හැටියි.

‘‘බුදු දහම ගැන මගේ තියෙන කැමැත්ත නිසාමත් මගේ ඇතුලෙ ගැටුම් ඇති වුණා. චිත‍්‍රපටියක් කරද්දි පාලනය කියන එක අත්‍යාවශ්‍යයි. අවසාන අරමුණ වෙනුවෙන් හු`ගක් තදින් දේවල් පාලනය කරන්න වෙනවා. ඒත් ඒක බුදු දහමේ පවතින තැනක් නෙමෙයි. ඒ වගේම මගේ සිනමාව කියන්නෙ මගේ අතීතය. මගේ මතක. ඉතින් මෙතැන මේ මොහොතෙ ඉඳගෙන අතීතය ගැන නිර්මාණ කිරීම මානසිකව ගැටුමක්’’

අපිචත්පොන්ග් එයාගෙ බෞද්ධ හුරුව ගැන කියනවා.
එස්එල්ටීටීඊ යේ සාකච්ඡුාව මට හු`ගක් අසීරු එකක් වුණේ පෙන්නන්න තෝර ගෙන තිබුණු චිත‍්‍රපටිය නිසාමයි. එක පැත්තකින් ඒ චිත‍්‍රපටිය සිනමාවෙ ගැඹුරු මානයන් ස්පර්ශ කරන අතරෙම තව පැත්තකින් සම්මාන උළෙලවල නොගැඹුරු දර්ශකයන් එක්ක සමපාත වෙනවා.
අන්තර් ජාතික සිනමා උළෙලවල සම්මාන දිනා ගැනීමම මට අනුව මේ චිත‍්‍රපටිය හෑල්ලූවට ලක්වීමක්. ඒත් එතන චිත‍්‍රපටිය බලන්න ඇවිත් හිටපු පිරිස ඒ සම්මාන නිසාම චිත‍්‍රපටියක් ඉහලින් බාර ගන්න පිරිසක්.
‘‘මේ චිත‍්‍රපටිය බලලා ගෙදර යන අය අපිචත්පොන්ග් ගෙ එකතැන බලා ඉන්න කැමරාව විතරක් කොපි කරලා කටේ තියන්න බැරි චිත‍්‍රපටි තොග පිටින් හදයි’’ මං කිව්වෙ ඇත්ත කතාවක්.

තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටි බලන අපේ කට්ටිය කරන්නෙ මතුපිට පේන්න තියෙන තර්කොව්සිකිගෙ රූපමය භාවිත ටික විතරක් අරගෙන හරිම ළපටි කතා සැකිල්ලකට දාගන්න එක. චිත‍්‍රපටියක් ගැඹුරින් කපා කොටා බැලීම කියන එක අපේ රටේ සිනමා අධ්‍යනයට ආගන්තුකයි. ඒ වෙනුවට සම්මාන ගත්ත චිත‍්‍රපටියක් අරගෙන ඒකෙ හැම අංගයක්ම වර්ණනාවට ලක්වෙන එකයි අපේ විචාර වල විදිහ. සාකච්ඡුාවට ඇවිත් හිටපු කතිකාචාර්යවරිය මට විරුද්ධ වුණේ මං චිත‍්‍රපටිය දිය කරමින් ඇතුලෙ දුවන ධාරාවන් විශ්ලේෂණය කරන්න ගත්ත නිසා.

චිත‍්‍රපටියක විචාරයේදී ඒක විශ්ලේෂණය කරමින් එක එක න්‍යාය අනුව අර්ථකතන දෙන එක හරි කියල මං කියන්නෙ නෑ. චිත‍්‍රපටිය සමස්තයක් ලෙස සංස්ලේෂී අර්ථයකින් විඳින අතරම චිත‍්‍රපටිය ඇතුලට ගිහින් න්‍යාය කණ්ණාඩි නැතුව ඒ ගොඩනැගීම අධ්‍යනය කිරීමේ පුහුණුවක් සිනමාව කරන කෙනෙකුට අවශ්‍යයි. ඒත් ප‍්‍රශ්නය වෙන්නෙ අපිට ඒ විදිහට චිත‍්‍රපටියක් ඇතුලට යන්න දැනුමක් හෝ නිසි පුහුණුවක් හෝ නැතිකම.  මේ හින්ද අපිට චිත‍්‍රපටියක් කියල පේන්නේ අපේම මනෝ විකාර. ඒක විෂයික කරුණු සහ ඊට අදාල පසුබිම් එක්ක ගවේෂණය කිරීමේ උවමනාවක් වෙනුවට අපි අපිට පේන දේ කොපි කරන්න උත්සාහ කරනවා. ඒත් අලූත් මානයන්ගෙන් දිගහැරෙන චිත‍්‍රපටියක් අපේ පරණ ඇස් වලට පේන්නෙ කොහොමද? ඒ අලූත් මානයන් හෝ භාවිතයන් ගැන දැනීමක් හෝ කියවීමක් නැති වුණොත් අපිට පේන්නෙ තියෙන දේට වඩා වෙනස් දේවල්. උදාහරණයක් හැටියට අන්කල් බූන්මී එකේ රංග වින්‍යාසය ගැන වැටහීමක් නැතිව චිත‍්‍රපටිය බැලූවොත් අපි ඒ රංගන ශෛලිය ගැන ගන්නෙ වැරදි අදහසක්. ඒ කොහොම වුණත් චිත‍්‍රපටයක් ගැන සංස්ලේෂී වගේම විශ්ලේෂි අදහසකුත් අවශ්‍යයි කියන කතාව අර කථිකාචාර්යවරියට තේරුම් කරන්න මට බැරි වුණා.


‘‘සම්මාන උළෙලවල් වලින් සම්මාන දිනන එක හරි ලේසි දෙයක්. ඒ අය ඉල්ලන දේවල් ගැන ටිකක් අධ්‍යනය කළොත් හරි ලේසියෙන් සම්මාන ගන්න චිත‍්‍රපටියක් හදන්න පුළුවන්. මායි සංජීව පුෂ්පකුමාරයි ‘ඉගිල්ලෙන මාළුවෝ’ පිටපත ලියද්දිම සමහර දර්ශන ලිව්වෙ සම්මාන උළෙලවල් ගැන දැනගෙන. ඒක වැඩ කළා. සම්මාන දිනන එකෙන් චිත‍්‍රපටියක් හොඳයි කියල කියන්න බෑ’’ මං කිව්වා.


පිටරටවල සම්මාන උළෙලවල ඉන්නෙ මේ රට ගැන මෙලෝ මලදානයක් දන්න අය නෙවෙයි. ඒ අය දන්නෙ අපේ රටේ යුද්දෙයි බුද්ධාගමයි වගේ සරල මතුපිටක් ගැන විතරයි. නාගරික ජීවිතේ සංකීර්ණ තත්වයන් ගැන චිත‍්‍රපටියක් හැදුවොත් ඒකෙ සියුම් ලක්ෂණයන් තේරුම් ගන්න තරමට මේ විනිශ්චයන් තියුණු නැහැ. ඒ අය තාමත් අපේ සිනමාව දිහා බලන්නෙත් මානව විද්‍යාත්මක ඇහැකින්. අපේ රටේ සමාජ විද්‍යාත්මක තත්වයන් තේරුම් ගන්න ඒ අයට බැහැ. ඒක නිසා ගම සහ යුද්ධය මිස ලංකාව ගැන වෙන චිත‍්‍රයක් මේ සිනමා විචාරකයො දන්නෙ නෑ. (මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර වෙනස මෙතනදී කියන්න යන්නෙ නෑ)

සම්මාන උළෙල වලදී අපේ වගේ රට වලට සම්මාන ලැබෙන්නෙ මේ පැතලි හේතුවලට. ඒ දේවල් අපේ සිනමාවෙ අනන්‍යතාව ප‍්‍රකට කරනවා කියලයි ඒ අයගෙ මතය. සරල උදාහරණයක් විදිහට කිව්වොත් එක දිගට කැපන්නෙ නැතුව තියෙන තනි රූප රාමු වලට මිස වේගයෙන් කැපෙන රූපාවලියක් ඒ අයගෙ සම්මාන වලට සුදුසු වෙන්නෙ නෑ. මේ විදිහට චිත‍්‍රපටියක රූප ගැලපීම ගැන පවා නිශ්චිත අධිකාරී කලාවකට එක`ග චිත‍්‍රපටි විතරයි සම්මාන ගන්නෙ. අන්කල් බූන්මී චිත‍්‍රපටියට සම්මාන ලැබීමේදීත් බලපාන්නේ ඒ චිත‍්‍රපටියෙ ඇති ගැඹුරු ප‍්‍රවේශයන් නෙමෙයි. ජනකතා, මිත්‍යා, බුදු දහම සහ සමලිංගිකත්වය වගේ චිත‍්‍රපටියට බාහිරින් තීරණය කළ කාරණායි.


අන්කල් බූන්මී චිත‍්‍රපටියට සාපේ්ක්ෂව සම්මාන උළෙලවල් වෙනුවෙන් කළ විමුක්තිගේ ‘අහසින් වැටෙයි’ චිත‍්‍රපටය මම සාකච්ඡාවට ගත්තේ විමුක්තිට වගේම අපි ගොඩක් දෙනෙකුට අපි කරන චිත‍්‍රපටි ඇතුලෙ අපිව මගහැරෙන නිසා. විමුක්තිට අහසින් වැටෙයි චිත‍්‍රපටියට ගේන්න එයාගෙ ජීවිතෙන් කොටසක් නැති වෙනවා. අපිචත්පොන්ග් වගේ අපි කලින් නොදැකපු, නොසිතපු ජීවිතේ සියුම් තැන් විමුක්ති ළ`ග නෑ. ඒත් අහසින් වැටෙයි කතා තේමාව හු`ගක් ප‍්‍රබලයි. තවමත් ග`ග යට ගස් බෙණයෙන් එලියට ආපු නැති පණ්ඩුකාභය ගැන කතාව පශ්චාත් නූතන සිනමාත්මකයන් ඇතුලෙ කියන්න විමුක්ති ද`ගදානවා.

ඒකෙන් වෙන්නෙ චිත‍්‍රපටිය බලද්දි අපිට ඒ මහන්සිය පේන එක. සම්පූර්ණයෙන්ම භෞතික විෂය තත්ව ගැලපීම මිස ආත්මීය සංවේදනා නැති වීම නිසා චිත‍්‍රපටිය බෝරිං වෙනවා. සිංහල පුළුවන් වුණු හැමෝටම කවි ලියන්න බැරි වෙනවා වගේ අහසින් වැටෙයි දැවැන්ත කෘතිය ඇතුලෙ මොකුත් නැති හිස්කමක් පැටලිල්ලක් දැනෙන්න ගන්නවා. අන්තර්ජාතික සිනමා උළෙලවලට ඕන කරන සමීකරණය එතන තියෙනවා. ඒත් ජීවිතය නෑ.
සාකච්ඡුාවට විමුක්ති ඇවිත් ඉඳලා හදිස්සියේ යන්න යනවා.


‘මචං එතන ඔය කරන කතාව වැඩක් වෙන්නෙ නෑ. එතන ඉන්නෙ මෙලෝ දෙයක් සිනමාව ගැන දන්න අය නෙමෙයි. උන් ඉස්සරහ උඹ කරන කතාවෙන් වෙන්නෙ අපිචත්පොන්ග් හෑල්ලූ වෙන එක විතරයි. ඉගෙන ගන්න ඒ වගේ කට්ටියකට උඹ කියන්න ඕන මූලික කාරණා ටිකක් විතරයි. ඔය වගේ සාකච්ඡුා වෙන තැනක කෙරෙන්න ඕන’
පස්සෙ විමුක්ති කතා කරද්දි මට වැදගත් කාරණයක් මතක් කරනවා. ඒක ඇත්තක්. එතන හිටපු ගොඩක් අයට මගේ කතාව තේරුණා කියලා මං හිතන්නෙ නෑ. ඒත් අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටියක් බලලා ඒ වගේ කොපියක් කරන්න ගෙදර යන එක්කෙනෙක් හරි මගේ කතාව හින්ද ටිකක් නැවතිලා ආපහු හිතන්න ඇති. චිත‍්‍රපටියක් ගැන ගැඹුරු කතාබහකට අවශ්‍ය වෙනස් වටපිටාවක් අපිට ඕන. ඒත් ඒ වගේ වටපිටාවක සාකච්ඡුා කරන්න එන විදිහෙ සිනමා සංස්කෘතියක් අපිට තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. තමතමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති ඇරෙන්න සිනමාව කියන එක සංස්කෘතියක් විදිහට බෙදාහදා ගැනීමක් අපේ චිත‍්‍රපටි කරන අය අතරෙ නැහැ. ඒක නිසා කවදාවත් නොකියනවට වඩා ඒ කතාව එදා එතන කියපු එක හොඳයි කියල මං හිතනවා.


ඒත් සිනමාව හදාරන අයට අපිචත්පොන්ග් වගේ ගැඹුරු සිනමාවක් ප‍්‍රදර්ශනය කරනවට වඩා වෙනස්, තමන්ව හොයා ගන්න උදව් වෙන, අධිතක්සේරු නොවුණු චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කළා නම් හොඳයි කියල මටත් හිතෙනවා. වෙන රටවල විකල්ප ප‍්‍රවණතා විදිහට එන, සම්මාන උළෙලවල් ආදියෙන් හඳුනා නොගත් සිනමා ආකෘතීන් හඳුන්වා දෙන එක අලූත් චිත‍්‍රපටකරුවෙකුට අපිචත්පොන්ග්ට හෝ බර්ග්මාන්ට වඩා අතිශයින් ප‍්‍රයෝජනවත් වේවි. ඒ වගේම එකම විදිහකට හැදෙන චිත‍්‍රපට ධාරාව වෙනස් කර ගනිමින් විවිධ ෂොනර හරහා නිර්මාණ කරන්න පෙළඹවීමක් විදිහටත් ඒ කතිකාවන් වැදගත් වේවි.


අපිචත්පොන්ග් ගැන සාකච්ඡුාව ඉවර වෙද්දි ගෑණු කෙනෙක් දුවගෙන ඇවිත් මාත් එක්ක කතා කළා.
ඇයි අර අන්තිමට හමුදුරුවොයි ගෑණු කෙනයි ටීවී බලන අතරෙ ඒ දෙන්නම වෙන රෙස්ටුරන්ට් එකකට යනවා පෙන්නන්නෙ?
අපිචත්පොන්ග් එයාගෙ කලින් චිත‍්‍රපටි එක්ක සම්බන්ධයක් ගොඩනගන අතරෙම (සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස්) නාගරීකරණයත් එක්ක හයිබි‍්‍රඞ් වෙන ජීවිත ගැන කියන්න හදන රූප රාමුව පැහැදිලි කරන්න බැරුව මං ගොළු වුණා. චිත‍්‍රපටියක රූපයකින් කියන්න හදන කතාව වචන වලින් කියන්න වෙන එක හරිම අප්පිරියාවක්.

‘මටත් ඒක තේරුණේ නෑ’ මං සරල විදිහට මගඇරලා ගියා. චිත‍්‍රපටිය බලලා ගෙදර යන අපේ පේ‍්‍රක්‍ෂකයෙකුට අහන්න ඉතුරු වෙන ප‍්‍රශ්නෙ ඒ වගේ වෙද්දි ලන්ඩනයේ චිත‍්‍රපටිය බලලා එලියට ආපු පත්තරේට ලියන කෙනෙක් අපිචත්පොන්ග් ගෙන් අහපු ප‍්‍රශ්නයක් ළ`ග මං නැවතුණා.

ඇයි මේ කැලෑව හැම චිත‍්‍රපටියකටම ගේන්නෙ?
අපිචත්පොන්ග්- කැලෑව කියන්නෙ අපේ ගෙදර නිසා. අපි කොයිතරම් අමතක කරන්න හැදුවත් ඒක එහෙමයි. දැන් මං කැලේකට ගියාම ඒ සද්ද වලට බය වෙනවා. මට තේරුම් ගන්න බෑ කැලෑව. ඒත් ඒක තමයි අපේ නිවහන. අපේ මුතුන්මිත්තන්ගෙ නිවහන. මං හොඳටම විශ්වාස කරනවා ඉස්සර මිනිස්සුන්ට සත්තු එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඇති. කුරුල්ලො කියන දේවල් ඒ අයට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඇති. අපිට ඒ දේවල් නැති වෙලා. ඒත් මං ආසයි මගේ චිත‍්‍රපටි වල චරිත ආපහු ගෙදර අරන් යන්න.


කැලේ නොපෙන්නන තැන් වලත් ඇයි මේ විදිහට කැලේ සද්ද ඇහෙන්නෙ?
අපිචත්පොන්ග් - ජීවිතය දැනෙන්න. ජීවිතේ විශාලත්වය දැනෙන්න. කෘමීන් කෑ ගහන සද්දෙකින් වුණත් හැමතිස්සෙම අපිට පෙන්නන සිද්ධියට වඩා විශාල ජීවිතයක පැවැත්මක් දැනෙනවා. මගේ චිත‍්‍රපටි ඞීවීඞී වලින් බලන්න එපා කියල මං කියන්නෙ ඒ හින්ද. මේ විශාල ජීවිතය මට එතනදි දනවන්න බැරි වෙනවා.


ගොඩක් දේවල් එකතු කරගෙන මං ආපහු ගෙදර ආවා. පැහැදිලි නැති විසිරුණු අදහස් පටලැවිල්ලක් එක්ක සාකච්ඡාවෙ හිටපු අය ගෙදර ගියා නම් මගේ වැඩේ ගොඩ. ඒ ඍජු නිශ්චිත මගේ (චින්තනගේ) අදහසකට වඩා පැහැදිලි නැති විසිරුණු ඒ අදහස් පැල්ලම් ඔලූ ඇතුලෙ පසුකාලීන සිතීම් අවකාශ නිර්මාණය කරන නිසයි.

-චින්තන ධර්මදාස