Saturday, March 28, 2015

උඹලට වැඩ ඇතිනෙ මං ගිහින් එන්නං...


පසන් මැරිලා කියල කෝල් එකක් ආවෙ හසාට. ඌ තව විස්තර දැනගන්න හැදුවට කෝල් එක දුන්න කෙනා ඊට වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.

පසන් මැරිලා... හසා මට කිව්වෙ ඊට පස්සෙ.

මාව පස්සට විසිවුනා. එකපාර ආපු තිගැස්මකින් කාලය ටිකක් වෙලා යනකල් නතර වෙලා තිබුණ.
පසන් මැරුණු වග දැනගත්තම මට දැණුන ඒ හිස්තැන මොකක්ද?

මං පසන්ගෙ පරිවර්තන කියවලා නෑ. මට ඒ භාෂාව අල්ලන්නෙ නෑ. පසන්ගේ නාට්‍ය හෝ ඒ ආශ‍්‍රිත කිසිම කලාවකටත් මගේ ආකර්ශනයක් තිබුනෙ නෑ. පසන්ගේ දැනුවත්කම් සහ කලාත්මක තැන් කිසිම දෙයක් එක්ක මගේ සම්බන්දයක් තිබුනෙ නෑ.
ඒත් පසන් මළ ප‍්‍රවෘත්තිය මාව අර්බුදයකට දැම්මා.

හමුවෙන හැම තැනකදිම පසන්ට කතා කරන්න ගොඩක් දේවල් තිබුන. ඒත් ඒ කිසි දෙයක් අහන් ඉන්න මට වෙලාවක් තිබුනෙ නෑ. ඒ හින්දම ඌව දකිද්දි මගඇරලා යන්න මං ගොඩක් ට‍්‍රයි කළා. ඒ කතා බහ මට මහන්සියක් වුනා. ඒ බීම මට බලන් ඉන්න අමාරු වුණා.

ඒත් මං පසන්ව පසන් කියල නොදන්නා කාලෙ ඉඳන් පසන් දිහා බලන් හිටියා. බස් එකේ අයිනක ද`ගර ගැහිලා ඉඳගෙන, නොගැලපෙන තොප්පියක්, නොගැලපෙන ලොකු කමිසයක් ඇඳගෙන, අහම්බෙන් පහලවෙච්ච රුසියානු චරිතයක් වගේ පසන් ඉස්කෝලෙ කාලෙ ඉඳන් මට මුනගැහිලා තියෙනවා. වෙන මොකවත්ම නැතත් ඒ පැවැත්ම මට ලොකු වෙනසක් කළා. ඒ නොගැලපීමෙ මගේ ගැලපීමක් දැණුන. එක වගේ අඳින පළඳින, එක වගේ වේගෙකින් එහේ මෙහේ යන, එක වගේ පැවතුම් ඇති මිනිස් පොදියක් මැද පසන් තනියම වෙනසක් කළා. පොඩි ඉඩක් අරගෙන, ලොකු ලෝගුවක් ඇඳගෙන.

පසන්ගේ කතා තේමා මොකක්වත් අල්ලලා ගියෙ නැතිවුනත් මට, පසන් ඒවා කතා කළ ආශාව, ජීවිතෙන් පිරිලා ඇවිලෙන උගේ ඇස් එක දෙයක් කිව්වා සහතිකව. උගේ ඇතුලෙ තියෙන අව්‍යාජත්වය. ඒක ඉරිසියා හිතෙන තරමෙ දෙයක්.  කිසිම පැවත්මකට සාපේක්‍ෂ නැති තමන්ගෙම ජීවිතේක උද්දාමයෙන් ඌ බිව්වා හැමතැනම.

මං හිතන්නෙ නෑ පසන් නැති එක ලංකාවෙ දැනුමට හරි විෂයකට හරි ලොකු අඩුවක් කියල. ඊට වඩා පසන්ගෙ පැවැත්ම නැති එක ලොකු හිස්තැනක් හදනවා අපේ පැවැත්ම ඇතුලට. එහෙම මිනිස්සු ඉන්නෙ ඇ`ගිලි ගානට. දැකීමෙන්ම අපිව වෙනස් කරන උන්.

උන් හදිස්සියේ යද්දි අපේ ඇතුලෙන් කඩන් වැටෙනවා අපි නොදන්න දෙයක්. ජීවිතයක් උපරිම ආලෝකයෙන් දැල්වීමේ ප‍්‍රහර්ෂය. අපි උන් දිහා බලන් ඉඳීමෙන් පමණක්ම අත්වින්ද ජීවිතේ රමණය.
පසන් මළ එකෙන් මාව පස්සට තල්ලූ කළ හේතුව ඒක.

ලංකාවෙ අපි ගත කරන්නෙ මනුස්සයො විදිහටම දෙවෙනි හෝ තෙවෙනි පංතියෙ ජීවිත. අපි අහන්නෙ වෙන රටවල සිංදු. අපි බලන්නෙ කොපි කරපු චිත‍්‍රපටි. අපි කියවන්නෙ අනුන්ගෙ පරිවර්තන. අපේ දර්ශනය ණයට ගත්ත නම් වැලක් විතරයි. කිසි දෙයක් ඔරිජිනල්  නැති දූපත් ආත්ම උද්දාමයෙන් ගත කරනවා අපි.

පසන් වුනත් එතනදි වෙනස් නෑ. ඒත් ඌට තිබුනා ඔරිජිනල් ජීවිතයක්. නොගැලපීමම ආත්මය කරගත්තු, ඉරි වැටුන පැවැත්මෙන් පිට වැඩුන, කතා කරපු වචන, දර්ශන වලට පිටිපස්සෙන් ජීවත් වීමේ විනෝදයෙන් පෙ`ගුන. ඔරිජිනල් පැවැත්මක් පසන්ට තිබුන.
ඒක අපි ගොඩකට නැති දෙයක්. චාර්ල්ස් බුකොව්ස්කි ස්ටයිල් එකක සහ ෆැෂන් එකක වෙනස කියන්නෙ ඒකට. සමහර විට බල්ලෙකුට තියෙන්න පුළුවන් මිනිහෙකුට වඩා ස්ටයිල් එකක් කියල බුකොව්ස්කි කියන්නෙ මේකට. පසන්ට තිබුන ජීවත් වීමේ ස්ටයිල් එකක්. ඌ නැති වුනාම දැනෙන පාළුව ඒක.

ලංකාවෙ බහුතර හි`ගන කලා-සංස්කෘතික බුරුත්තක් මැද පසන් බොහිමියානුවෙක් වගේ ජීවත් වුණා.
 උගේ කාලය සහ අවකාශය සිස්ටම් එකේ කාල අවකාශ රිද්මයත් එක්ක කවදාවත් සෙට් වුනේ නෑ. සම්මත ඔරලෝසුවක් විසින් කරකවන මගේ වගේ ජීවිත වලට පසන් කටුකඩලා යන අත්දැකීමක් වුනේ ඒ හින්ද වෙන්නැති. මිනිහෙක් විදිහට මං ග`ගක් වගේ ඌ ගලනවා බලන් හිටියා.

හමුවීම, කතාබස් කිරීම, ගත කිරීම, මුහුවීම, සජීවී රමණය පසන්ගේ ජීවිත ක‍්‍රමයේ හැටි. ෆේස් බුක් වලින්, එස්එම්එස් වලින් පැවැත්වෙන මගේ වගේ සම්බන්දකම් ගැන ඌට තිබුනා දරුණු විවේචනයක්.

‘මිනිස්සු මුණගැහෙන්න  ඕන...’ පසන් මට යාලූවෙකුගේ ම`ගුල් ගෙදරක, ගැලවෙන්න බැරි විදිහට මුනගැහුන වෙලාවක චෝදනා කළා. හිනාවෙවී, අතින් අල්ලගෙන උණුහුම් විදිහට.. හේතුවක්, තර්කයක්, වෙලාවක්, කලාවක් හිතාගන්න බැරි හැම මුනගැහීමකදිම මුනගැසීමේ විතරක්ම මනුස්ස ප‍්‍රබෝදෙන් උගේ ඇස් ඇවිලූනා. ඒ සතුට අපෙන් කොච්චර දුරද... ඌව මුනගැහිලා එද්දි මං පුරුදු අභියෝගෙට ලක්වුනා.

මට හන්ටර් තොම්ප්සන්ගෙ කතාවක් මතක් වෙනවා. ‘ඉන්නද නොඉන්නද?’ ඒකයි ප‍්‍රශ්නෙ. දෛවයේ හී පහර සහ කැපුම් දරාගෙන ඉන්න එකද නැත්තං සාගරයක් තරම් කරදර වලට එරෙහිව අවි අමෝරාගෙන බහින එකද?

ඒක තමයි ඇත්තම ප‍්‍රශ්නෙ. රැුල්ල එක්ක පාවෙලා යනවද නැත්තං පීනනවද? ඒක අපි දැනගෙන හෝ නොදැනගෙන ජීවිතේ ගන්න තීරනයක්. ගන්න  ඕනම අනාගතය ගැන තීරණයක් අරන් බලන්න. අන්තිමට එතන තියෙන්නෙ එක දෙයයි.. පීනනවද නැත්තං රැුල්ල එක්ක යන්න දෙනවද?
-හන්ටර් තොම්ප්සන්.

අපි එක`ග වෙන්න තීරණය කරද්දි පසන් පීනන්න තීරණය කළා. කඩාකප්පල්කාරයෙක් වගේ බාර් එකක කොනක, නගරයේ මුල්ලක අපිට මුනගැහිලා ඌ ජීවිතේ පෙන්නලා අපිට කරදර කළා.

‘එක්කො අත්අරින්න, නැත්තං ඇදි ඇදී යන්න..’ කියල සෙන් කියමනක් තියෙනවා. පසන් ජීවිතේට තමන්ව ඔහේ ඇදගෙන යන්න දුන්නෙ නෑ. ඒ වෙනුවට ඌ බය නැතුව ජීවිතේ අත්ඇරියා. පසන්ගෙ ජීවිතේ කියල අපි දැක්කෙ ඒ අත්ඇරීමේ නිදහස. මරණය කියන්නෙ ඒකෙ කූටප‍්‍රාප්තියක් විතරයි.

මිනිහෙකුගෙ ජීවිතේ කරන්න පුළුවන් උත්තුංගම දේ ඒක. කියපු ලියපු කතා දර්ශනවාද හෝ පොත්පත් නිසා මිනිස්සු අතර නොරැුඳී තමන්ගෙම සුවිශේෂ වූ ජීවිතය, පැවැත්ම නිසා මිනිස්සුන්ගෙ හිත්වල ජීවත්වෙන එක. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉබේට සිද්ද වෙන දෙයක්. පිටස්තරයෙක්, පිටුවහලෙක්, දඩබ්බරයෙක්, රස්තියාදුකාරයෙක්, පැවැත්මෙන්ම විප්ලවවාදියෙක් විදිහට පසන් ජීවිතේ සම්පූර්ණයෙන්ම පත්තු වුණා. ඌ ශරීරය අත්ඇරියා මිසක් ශරීරය විසින් ඌව අත්අරින කල් පරණ වුනේ නෑ.

‘මරණය හිතන මගේ යාලූවනි, මට හිතෙන්නෙ අපි ඇත්තටම ප‍්‍රඥාවක් නැතිව ප‍්‍රඥාවන්තයන් වගේ කල්පනා කරන්න හදනවා කියල. අපි නොදන්නා දෙයක් ගැන දන්න විදිහට හිතනවා කියල. කවුරුවත් දන්නෙ නෑ මරණයද මිනිහෙකුට ලැබෙන්න උරුම උපරිම සැපත කියල..’
-ප්ලේටෝ

පසන් වගේ මිනිස්සු මැරුණම අපිට එහෙම හිතෙනවා.

-චින්තන ධර්මදාස

Saturday, March 7, 2015

සමන්ත බද්දගේ අබද්ද කකුළු හොද්ද.



සමන්ත බද්ද එයාගෙ උපන්දින සාදය ආයිමත් පාරක් ආන්ෙදා්ලනාත්මක විදිහට සැමරුවා. මේ පාර ගිය පාරටත් වඩා. චිකන්, මටන්්, පෝර්ක්, සීෆූඞ් ඔක්කොමත් එක්ක කියලයි ප‍්‍රචාරය ගියේ. මේ පාර ඒක ජාතික රූපවාහිනී නාලිකාවල පවා හිට් නිව්ස් එකක් කරන්න සමන්ත බද්දට පුළුවන් වුණා. ආඩම්බරකාර විදිහට ඔෆීෂල් ෆොටෝ වෙබ් සයිට් වල පළවුණා. ඒවට විරුද්දව නැගෙන සාම්ප‍්‍රදායික බෞද්ධ තර්ක වලට උත්තර දෙන්න ‘බද්දවාදී’ වෙබ් පිටු හැදුන. සමන්ත බද්ද අන්තිමට මහ නායක හාමුදුරුවරුන්ට පවා අභියෝග කළා.
කුල මල රහිතව සමාන මහණකමක් දෙන්න, අවචාරයේ හැසිරෙන පිළිගත් හිමිවරුන්ට එරෙහිව කටයුතු කරන්න, ඔය වගේ තවත් බොහොම තාර්කික සහ දියුණු විදිහට පේන කාරණා කීපයක් ගැන බද්ද බෞද්ද නායක හිමිවරුන්ට අභියෝග කරලා තිබුණ.

සමන්ත බද්ද මේ කරමින් ඉන්නෙ මොකක්ද? හාමුදුරු කෙනෙක් මස් මාළු කෑම හෝ ගෑණු සමග බුදියා ගැනීම වැරැුදියි සහ ඒකෙන් බුද්ධාගම වැනසෙනවා වගේ කතන්දර ඇත්තටම ළදරුයි. ඒ වගේම බුදුන් ඒවා අකැපයි කියල තියෙනවද වගේ තර්ක මතින් බුද්දාගම ප්‍රෝග්‍රෙසිව් කරන්න යන එකත් අමනයි. වැදගත් වෙන්නෙ බුදුන් එහෙම කියල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. ඒකෙන් සිද්දවෙන ආධ්‍යාත්මික බලපෑම මොකක්ද කියන එකයි. බුදුන් කී හෝ නොකී පමණින් යමක් විශ්වාස හෝ අවිශ්වාස කිරීම අන්ධ භක්තියකට හෝ යම් ආගමික බලාධිකාරියක යටත්වැසියෙක් වෙනවාට වැඩි දෙයක් නෙමෙයි. බුදුන් කිව්වා වුණත් එයින් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික වෙනසයි තේරුම් ගන්න අවශ්‍ය. ඒක සමාජයට සහ තමන්ට අදාල වෙන විදිහ ගැන සබුද්ධික වීමයි වැදගත් වෙන්නෙ. වෙන විදිහකින් කිව්වොත් ආධ්‍යාත්මික කාරණයක ලා වැදගත් වෙන්නෙ සවිඥණක බවට යමකින් ලැබෙන රුකුල හෝ නුරුකුල විතරයි. අනෙක් දේවල් අදාල වෙන්නෙ දේශපාලනයට. බලයට හෝ ඇටෙන්ෂන් එකට.

සමන්ත බද්දගේ කකුළු හොද්ද දානයක කාරණයක් හෝ සාදයක කාරණයක් යන දෙකෙන් එකක්වත් සම්පූර්ණ කරනවද කියන එකයි මට වැදගත්. දානයක් වගේම සාදයක් කියන්නෙත් ආධ්‍යාත්මික සාධනාවක් වෙන්න පුළුවන්. ඝාතනයක් වුණත් භාවනාවක් වෙන්න පුළුවන්.

පරණ සෙන් කතාවක් තියෙනවා.

එක ආරාමයක පොඩි හාමුදුරුවරු කට්ටියක් ලස්සන පූස් පැටියෙක් එක්ක සෙල්ලම් කරනවා. එතකොට ගුරු හාමුදුරුවො ඒ ළඟින් වඩිනවා. පොඞ්ඩො ටික පූස් පැටියා දික් කරගෙන ගුරු හාමුදුරුවො ළඟට වඩිනවා. පූස් පැටියා ගත්ත ගමන් ගුරු හාමුදුරුවො උගෙ බෙල්ල කරකවලා මරලා විසි කරනවා. පොඩි හාමුදුරුවරු අන්දොස්. මේ තරම් අවිහිංසාව වදාරන, භාවනාව උගන්වන ගුරු හාමුදුරුවන්ගෙ ම්ලේච්ඡු ක‍්‍රියාව අදහාගන්න බැරුව ඒ ගොල්ලො තුෂ්නිම්භූත වෙනවා. ඒ අතරෙ එක්කෙනෙක් හයියෙන් හිනාවෙන්න ගන්නවා. එයා ඒ ගැප් එක ඇතුලෙ අවබෝධයට පත්වෙනවා.

මේක සාම්ප‍්‍රදායික ථේරවාදය ඇතුලෙ පැහැදිලි කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. එතනදි මේක ප‍්‍රාණඝාතයක් හෝ වෙන මොකක් හරි පාප කර්මයක් වෙන්න පුළුවන්. ඒත් සෙන් දර්ශනය ඇතුලෙ එහෙම දැඩි පණත් කෙටුම්පත් නෑ. හොඳ හෝ නරකට වඩා අදාල වෙන්නෙ අවබෝධයේ ඇති කරන පැල්ම. සතෝරිය.

ඔබේ මාර්ගයේදී ඔබට බුදුන් මුණගැහුනොත් වහාම මරා දමන්න... එක සෙන් ආචාර්යවරයෙක් තමන්ගෙ ශිෂ්‍යයන්ට උපදෙස් දෙනවා. ථේරවාදයට අනුව ඒක බුද්ධ ඝාතක ආනන්තරීය අකුසලයක්. ඒත් සෙන් දහමට අනුව බුදුන් පවා ඔබේ අවබෝධයේ බාධාවක්. එය ඉවත් කරන්න  ඕන.

දානයක් වගේම සාදයක් ආධ්‍යාත්මික පිළිවෙතක් වෙන්න පුළුවන්. ඒ සාදයේ සතුට, සිනහව, ඇතුළතින් විවෘත වීම භාවනාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ කඩුකේඩු, ගුලිවෙච්ච, යමක් නැවත ලබා ගැනීමේ අරමුණින් මිස පූර්ණ සිතින් දීම හුරු නොකළ සමාජයක සාදය දානයකට වඩා ඒ අර්ථයෙන් වැඩකරන්නත් පුළුවන්. බටහිරට දානය වැඩියෙන් අදාල වෙද්දි පෙරදිගට සාදය අදාල වෙන්න පුළුවන්.

මේ කාරණා මේ විදිහට සිද්ද වෙන්නෙ අදාල ක‍්‍රියාව ඇතලෙ තියෙන සවිඥණක බව, අවදි බව ඇතුලෙදි විතරයි. සමන්ත බද්දගේ කකුළු හොද්දෙ ඒ අභ්‍යන්තර විවෘත වීම, අවදි බව තිබුණද?

ගැටළුව තියෙන තැන එතනයි. බුදුන් මස් මාළු කන්න කිව්වද නැද්ද කියන එකේ නෙමෙයි. බුදු කෙනෙක් පටන් පෘතග්ජන සාමාන්‍ය මනුස්සයා දක්වාම කියන යමක් අදාල වෙන්නෙ ඊට අදාල සංදර්භයක් ඇතුලෙ විතරයි. බුදුන් වදාල ධර්මය අකාලිකය, සියලූ තැන්හි අදාලය වගේ පිළිගැනීම් මෝහයකට වැඩි දිහාවකට දක්කන්නෙ නෑ. බුදුන් වදාල කාරණා පවා අදාල දේශපාලන, සංස්කෘතික සමාජ වපසරියේ ලා තුලනාත්මක මෙන්ම මධ්‍යස්ථ වටහා ගැනීමක් නැතුව ගැඹුරු අවබෝධයකට යන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික පිළිවෙත් හැටියෙන් ගන්නා දේවල් නම් වඩා ගැඹුරු ආත්මීය විශ්ලේෂනයක් නැතුව බාර ගැනීමම රෝගයක්. උදා විදිහට කොසොල් වගේ බඩජහරි රජෙකුට දුන් උපදෙසක් දවසට එක වේලක් කාලා ජීවිතේ ගැටගහගන්න අපේ උපාසක අම්මා කෙනෙකුට කොහෙත්ම අදාල වෙන්න විදිහක් නෑ. ඒ වගේම වජ්ජින්ට කියපු සප්ත අපරිහානීය ධර්ම ලංකාවෙ පාර්ලිමේන්තුවටත් කොහෙත්ම අදාල නෑ.

සමන්ත බද්දගේ කකුළු හොද්ද මට අබද්ද වෙන්නෙ ඒකෙ පිටතක් මිස ඇතුළතක් නොතිබුණු නිසයි. කේක් ගෙඩිය කපන්න එන සෝමා එදිරිසිංහගේ පටන් මල් ගහපු ලලනාවන්, අනේක අලංකාර සහ සැරසිලි හැම දේකම තිබුනෙ පිටතක්, එලියට පේන්න කරන යමක් විතරයි. ඒක ඇඞ් එකක්, සාම්ප‍්‍රදායික ථේරවාදය සමග ගැටෙමින් එයින් ප‍්‍රසිද්දියක් ලබා ගැනීමේ බාල වෑයමකට වැඩිය දුර යන්නෙ නෑ.

යම් කෙනෙක් තමන් තුල මස් මාළු නොකෑම නිසාම තමන් සිල්වත්ය, දියුණුය වැනි මාන්නයක් හදාගෙන ඉන්නවා නම්, ඒකම ඒ අයගෙ ඇතුළත ගමනට බාධාවක් නම් ඊට අදාල වෙන්නෙ ඒ ඒ අයට වෙන් කර දෙන කමටහන් හෝ පිළිවෙත් මිස මේ වගේ සැනකෙලි නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ උත්සවාකාරයෙන් මස් වැළඳීම හරහා ඇතිවෙන්නෙ ප‍්‍රතිවිරෝධයක් සහ ආතතියක් කියන එක පැහැදිලියි. කොටින්ම ඒ සමස්ත දානයම මස් මාළු කෑම වුනා මිස වෙන කිසිම ආධ්‍යාත්මික බෙදාගැනීමක් එතන තිබුනෙ නෑ. ඒක ප්‍රොටෙස්ට් එකක් විතරයි.  ඒක නිකාය භේදයට පස්සෙ ඇතිවෙන සාසනේ ඊළ`ග අවධිය. ආරාම භේදය. සමන්ත බද්දගේ ආරාමය, ඥානානන්දගේ ආරාමය, ධම්මාලෝකගේ ආරාමය, සසුන, පොඩි පොඩි සාසන කල්ට්.


සමන්ත බද්දගේ සාදයේ වෙන කිසි ආධ්‍යාත්මික ගුණයක් තිබුනෙ නෑ. හුදු ප‍්‍රචාරාත්මක වෑයමක් වඩා දියුණු ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් විදිහට ගැනීමේ වැරැුද්දයි අවුල වෙන්නෙ. මේ විදිහෙ නව අර්ත කථන හරහා වඩා පුළුල් ආධ්‍යාත්මික සම්බන්ධතා යෝජනා කරපු සීරියස් අය හිටියා. බද්දගේ හිස් ටින් එකක් වගේ වැඩ හින්ද හෑල්ලූ වෙන්නෙ ඒ සවිඥාණක උත්සාහයන්. පේන්න කරන හෝ ඇහෙන්න කියන දේ නෙමෙයි වැදගත් කාරණය. ඊට ඇතුලතින් දරන සමාධිය, ධාරණය මොකක්ද කියන එකයි. සමන්ත බද්දගේ ඇවතුම් පැවතුම් හෝ ඒ ඉරියව් වලින් පවා පළවෙන්නෙ එහෙම සීරියස් ධාරණාවකට වඩා බෙහෙත් ගන්න  ඕන තත්වයක්.

යම් අලූත් ආධ්‍යාත්මික අදහසක්, ප‍්‍රවේශයක් සමාජගත කිරීම මේ මොහොතෙ අවශ්‍යතාවයක්. සාම්ප‍්‍රදායික ආගම් වලින් විස්තර කරගන්න බැරි ආධ්‍යාත්මික අභියෝග ගොඩකට අද අපි විවෘත වෙනවත් එක්ක අලූත් ආගමක, සම්ප‍්‍රදායක උවමනාව බරපතල වෙනවා.  ඒත් සමන්ත බද්දගේ ආගම එහෙම ඇත්ත උවමනාවක ප‍්‍රකාශනයක් නෙමෙයි. ඒ වෙනුවට මීඩියා බලය, මුදල් බලය සහ ශාසනික (දේශපාලනික) බලය අත්පත් කර ගැනීමේ පහත් උවමනාවක් වෙනුවෙනුයි වැඩ කරන්නෙ. ඒකෙන් යම් ආතපාත නැති ආධ්‍යාත්මික සරණාගත පිරිසකට (නූතන බෞද්ධයා) බරපතල හානිවෙන්න පුළුවන්. ඒ සරණාගතබව අපේ රටේ බරපතල නිසාම ඒක ඔඩුදුවන්නත් පුළුවන්. ගොඩක් කමෙන්ට්ස් වල කියල තිබුණ විදිහට සමන්ත බද්දගේ ඊළඟ උපන්දිනය නයිට් ක්ලබ් එකක පැවැත්වෙන්නත් පුළුවන්. බුදුන් කියල තියෙනවද නයිට් ක්ලබ් නරකයි කියල? ඒ අතැවැසි උවැසි පිරිස් එතකොට අහන්නත් පුළුවන්.

මේක වැරැුද්දක් හෝ වහාම තහනම් කළ යුතුයි කියන එක නෙමෙයි මගේ අදහස. ඒ දේවල් පිළිකා මට්ටමෙන් පැතිරිය හැකි තත්ව අවම කරන වගකිව යුතු සමාජ දේහයක් තියෙන්න  ඕන. උදා විදිහට විවිධ මාධ්‍ය නාලිකා හරහා මාර ආන්ෙදා්ලනාත්මක විදිහට මේ ප‍්‍රවෘත්තිය විචිත‍්‍ර විශේෂාංගයක් විදිහට ඉස්සරහට ගැනීම මෙන්ම ඒ ගැන සාකච්ඡුා, වාද විවාද සංවිධානය කිරීම සිද්ද වුනේ සමන්ත බද්දගේ අබද්ද වෑයමට සහාය පළකරන හැටියටයි. සමාජයක ආධ්‍යාත්මික කාරණා විෂයෙහි ගනුදෙනු කරන එක ගොඩක් සෙන්සිටිව් වැඩක්. අනවශ්‍ය විහිළු වලට ඇයි මේ තරම් ප‍්‍රසිද්දියක් අවශ්‍ය? සමාජ දේහයක සාම්ප‍්‍රදායිකව පිළිගත් කාලාන්තරයක් මුළුල්ලේ මිනිස්සු හුරුකරපු ආධ්‍යාත්මික භාවිතාවන් එක්ක වගකීම් රහිත විදිහට සෙල්ලම් කරන්න ඉඩදීම සමන්ත බද්දගේ නෙමෙයි අනිත් අයගෙ වැරැද්දක්.

සමන්ත බද්දගේ වැඬේ අබද්ද වෙන්නෙ ඒකෙ ඇතුල හිස් හින්ද. ඒ පිට පොත්ත රකින්න ආධ්‍යාත්මික කියන වචනය පාවිච්චි කිරීම ඒ තේරුම ගණිකා වෘත්තියෙ යෙදවීමක් විතරක් හින්ද. සමන්ත බද්දගේ අබද්ද කකුළු හොද්ද මට රහ නැති වෙන්නෙ ඒකෙ තියෙන්නෙ බොරු පාට විතරක් හින්ද. හොඳට රහට ලූණු ගොරක ඇතුව පිහෙන හොද්දක පැහෙන්න කකුළුවෙක් වුණත් අකමැති වෙන එකක් නෑ. එහෙම හොද්දක් නං ඒක පැහෙන්නෙ පන්සලකද අගුපිලකද කියල ප‍්‍රශ්නෙකුත් නෑ.


චින්තන ධර්මදාස