Tuesday, December 29, 2015

හෝ ගාන පොකුනෙ හෝ ගාලා සද්දෙ


ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ හෝ ගානා පොකුණ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මුහුද නොදැකපු රට මැද්දෙ මිනිස්සුන්ට පොකුණකින්, වැවකින් එහා මුහුදක් ගැන හිතාගන්න බැරුව වහරපු ‘හෝ ගාන පොකුණ’ කියන වචනෙ ඉන්සයිට් එකකට අරන් ෆර්ඩි කතාව ගොතාගෙන යනවා. ගමට කොටුවෙච්ච, වැවට සීමා වෙච්ච පරපුරක අනාගත බට්ටො ටිකක් මුහුදක් දකින්න පෙරුම්පුරන කතාවක් ඒක.

කන්සෙප්ට් එකක් විදිහටමත් මේ එළඹුම ලංකාවට ටිකක් අලූත්. හැමතිස්සෙම පරණ දේම බදා ගන්න, අතීතයටම රිංගන්න, පරණ පුරුදු වලම එල්ලෙන්න බලකරන චිත‍්‍රපට අතරෙ අලූත් දෙයක් හොයාගෙන යන්න, වෙනස් දේකට මුලපුරන්න උනන්දු කරන කතාවක් කියන්නෙම හැරවුමක්. විශේෂයෙන්ම ළමා කතාවක් ඇතුලෙ මේ විදිහෙ අදහස් ටිකක් විසුරවලා දාන එක ටිකක් හිතුවක්කාර වැඩක්.

සිංහල චිත‍්‍රපට ගැන සාමාන්‍යයෙන් නොකියන ඇත්ත කතාව වෙන්නෙ නාගරික මිඞ්ල් ක්ලාස් පේ‍්‍රක්‍ෂකයො ඒක නොබලා ඉන්න එක. විශේෂයෙන් ඉංග‍්‍රීසි හින්දි බලන කොළඹ කේන්ද්‍රීය පේ‍්‍රක්‍ෂකයො සිංහල චිත‍්‍රපට ගණන් ගන්නෙම බාල විදිහට. ඒකට හේතුව අපේ චිත‍්‍රපටවල දුර්වල පිටපත්, අධ්‍යක්‍ෂණ සහ තාක්‍ෂණික කාරණා. විනෝදාස්වාදයට අවශ්‍ය විචිත‍්‍ර බව, වර්ණවත් බව වගේම ආස්වාදනීය බව වගේ කාරණා අතින් සිංහල චිත‍්‍රපටි ෆේල්.

ඒත් ෆර්ඩි හෝ ගානා පොකුණෙදි මේ අභියෝගය යම් පමණකට හෝ ජයගන්නවා. ඒ කියන්නෙ අලූත් පේ‍්‍රක්‍ෂක පිරිසක් හෝල් එක ඇතුලට ගෙන්න ගන්න ෆර්ඩිට පුළුවන් වෙනවා. ටෙලි නාට්‍ය වගේ එදිනෙදා පාවිච්චි වෙන පොදු ජන මාධ්‍ය ඇතුලෙ පරණ වෙලා නොගිය අලූත් නිළියක් ප‍්‍රධාන චරිතය විදිහට පාවිච්චි කරන එකත් එතනදි ලොකු කොටසක් කරනවා. මැද නාගරික රස වින්දනයක් සහිත තමන්ගේ වේදිකා නාට්‍ය පේ‍්‍රක්‍ෂකයාවත් සිනමා ශාලාවට එකතු කරගන්නට අනසුයා පෙළඹවීමක් කරනවා.

ඒ වගේම චිත‍්‍රපටයේ කැමරාව, සංගීතය වගේම සිදුවීම් වලත් ඇති විචිත‍්‍ර බව නිසා චිත‍්‍රපටය ඇළෙන සුලූයි. විශේෂයෙන්ම මේ පුංචි නළු නිළියන්ව මෙහෙයවීමේදී ෆර්ඩි සෑහෙන දක්ෂකමක් පෙන්නලා තියෙනවා. ඒ පුංචි උන් කියන සරල දෙබස් ඇතුලෙ තියෙන ගැඹුරු කතන්දර ලොකු අයටත් නැවත හිතන්න බලකරනවා.

ඒත් හෝ ගානා පොකුණ කියන්නෙ හඳයාගෙන් පස්සෙ බිහිවුණු විශිෂ්ටතම ළමා චිත‍්‍රපටය කියල කියන්න තරම් මම ඉක්මන් වෙන්නෙ නෑ. මුලින්ම මේක ළමා චිත‍්‍රපටයක් විදිහට මං දකින්නෙ නෑ.

ළමා චිත‍්‍රපටයක වීරයා හෝ වීරයෝ වෙන්නෙ ළමයි. ඒත් ෆර්ඩිගේ චිත‍්‍රපටයේ වීරවරිය වෙන්නෙ ගමට අලූතෙන් එන ගුරුවරිය. ඒ ගුරුවරිය නිසා ළමයින්ට නිදහස ලැබෙනවා වගේ කතාවක් තමයි හෝ ගාන පොකුනෙන් ඇහෙන්නෙ. ඇත්තටම නං ළමයි කරන ලොකුම වීරකම වෙන්නෙ බස් ඩ‍්‍රයිවර්ට ලයිසන් අරන් දෙන්න උත්සාහ කරන එක. ඒත් ඒ උත්සාහය පවා අන්තිම මොහොතෙදි වැඩකට නැති වෙනවා. ගුරුවරියගේ සියල්ල කළ හැකි දස්කම නිසා ළමයින්ට හෝ ගානා පොකුණ බලන්න ලැබෙනවා.

මට හිතෙන්නෙ හෝ ගානා පොකුණ කතා කරන්නෙ ළමයින්ට වඩා දෙමව්පියන්ට. දෙමව්පියන් විසින් ළමයෙක් හදනවා කියලා හිතන සාම්ප‍්‍රදායික සිතීමට යම් විදිහක අභියෝගයක් ෆර්ඩි කරනවා. හෝ ගාන පොකුණ ගන්න වෙන්නෙ  ළමා චිත‍්‍රපට කියන ජොන්රා එකට වඩා ෆැමිලි නැත්තං පවුලේ චිත‍්‍රපට කියන කොටසට. ළමා චිත‍්‍රපට කියන්නෙ ළමයාවම කේන්ද්‍ර කරගෙන ළමයින් වෙනුවෙන්ම හැදෙන චිත‍්‍රපට කාණ්ඩයක්. ඒත් ඊට වඩා පළල් පේ‍්‍රක්‍ෂාගාරයක් ඔලූවෙ තියාගෙන හදන මේ විදිහෙ චිත‍්‍රපට වර්ග කරන්නෙ වෙන්නෙ පවුලේ චිත‍්‍රපට හැටියට.

එතනදි මේ පේ‍්‍රක්‍ෂාගාරය පළල් කරන්න කතාව මුලින් සහ අගින් කරන කොහෙත්ම චිත‍්‍රපටයට නොගැලපෙන දේශපාලනික ගැටගැහිල්ල ඇත්තටම චිත‍්‍රපටය දුර්වල කරනවා. විශ්ව විද්‍යාල මට්ටමේ අරගලයට නව අරුතක් සැපයීම වගේ තැනක ෆර්ඩි අපරාදෙ හිරවෙනවා කියල මට හිතුන. කොටින්ම ඒ ඇමිණුම හින්ද ගුරුවරියත් මහා ගොන් පාර්ට් එකක් වෙනවා.

ළමා චරිත අතරෙ වුණත් මීට වඩා නිර්මාණශීලී වෙනස්කම් මතු කරන්න පුළුවන් වුණා නම් වැඬේ තව ගොඩක් රිච් වෙනවා. අන්ධ දැරිය පාවිච්චි කරමින් වරින් වර භාවාතිෂය කරන්න දරන වෑයම වගේම ඉතා සරල, පත්තියම් වුණු විවිධ ලක්ෂණ කීපයක් විතරයි ෆර්ඩි මේ ළමා චරිත නිර්මාණයෙදි පාදක කරගෙන තියෙන්නෙ. ඊට වඩා ළමයින්ගෙ සුවිශේෂතා පදනම් කරගෙන විචිත‍්‍ර චරිත නිර්මාණය කරන්න හැකියාව තිබුණ කියල චිත‍්‍රපටිය බලාගෙන ඉඳිද්දි මට හිතුණ.

මේ ටීචර්ගෙ හිතුවක්කාර චරිතය එක්ක ගමේ මිනිස්සු ඔක්කොම කැමැත්තෙන් පෑහීමත් කතාව පමණකට දියාරු කරලා තියෙනවා. මේ වගේ චරිතයකට එක`ග නොවීමේ ස්වභාවිකය හරහා තවත් රසවත්ව මේ කතාව කියන්න ෆර්ඩිට පුළුවන් වෙන්න තිබුණ. ළමයින්ට වෙනස පේන විදිහ සහ වැඩිහිටියන් ඒ වෙනස දකින විදිහ ගැන තල දෙකක කතාවක් ආස්වාදනීය විදිහට ගලපන්න තිබුණ. ඒත් ෆර්ඩි ග‍්‍රාමසේවක විතරක් දුර්වල දුෂ්ටයෙක් හැටියට වෙන් කර ගැනීමත් එක්ක කතාවෙ බහුතරය ප‍්‍රගතිශීලී ජනතාව වෙනවා. එතනදි අභියෝගය සරල වෙනවා.

ඒ වගේම ග‍්‍රාමසේවකගේ බිරිඳ විසින් ගන්නා ආරූඩයත් ළමා චිත‍්‍රපටයකට නම් නොගැලපෙන එකතු කිරීමක් වෙන්න පුළුවන්.  ඒක හාස්‍යය දනවන තැනකින් ඔබ්බට යම් ගූඪ, බියක් දනවන සිදුවීමක් හැටියට වැඩ කරන්න ඉඩ තියෙනවා. කතාව ගොඩනැගීමේදී මැද විදිහට පාවිච්චි වෙන ප‍්‍රධාන සිද්දි දෙක, පොඩි අය විසින් කතා පැවැත්වීම සහ බස් එකේ ඩ‍්‍රයිවර්ට ලයිසන් අරන් දීම කියන දෙකට වඩා තවත් යම් ප‍්‍රබල සිදුවීම් කීපයක් එහා මෙහා ගියා චිත‍්‍රපටිය තව ගොඩක් රහ වෙන්න තිබුණ කියල හිතුන.

විරුද්ද පැත්තට හිතුවොත් මේ ගුරුවරිය විසින් මේ ළමයින්ට කරමින් ඉන්නෙ මොකක්ද? මුහුද පෙන්නීමේ සිහිනය ඇරුණම එයා මේ ළමයි වඩාත් රස්තියාදුකාර දේවල් වලට යොමු කරනවා. උදා හැටියට බස් එකේ මිනිස්සු තගෙන් බස්සවලා බස් එක නවත්ත ගන්න පවා ළමයි පෙළඹෙනවා. ගමෙන් පිට ටි‍්‍රප් එකක් යන්න පොරකන ළමා පිරිසකට වඩා අගයක් මේ ළමයින්ට ගේන්න ටීචර් අසමත් වෙනවා.

කතාවෙ අවසානයේදී ළමා චිත‍්‍රපටයක දැනිය යුතු කූට ප‍්‍රාප්තිය හෝ ආස්වාදය දනවන්න හෝ ගානා පොකුණට බැරි වෙන එක අපරාදයක්. මුහුදකට දිව යන පොඩි උන් පිරිසක් සහ හැ`ගීම්බරව හ`ඩා වැටෙන ගුරුවරියක් කියන්නෙ කොහෙත්ම මේ චිත‍්‍රපටියෙ අවසානයට සුදුසු විදිහක් නෙමෙයි. මට දැනෙන විදිහට මේ අන්තර්ජාල යුගයෙදි මුහුද නොදැකපු ළමයෙක් ගමෙන් හෝ හොයාගන්න අපහසු වෙන එකත්, ඇත්තටම මුහුදක දර්ශනයක් පේ‍්‍රක්‍ෂකයාට මැජික් නොවීමත් කියන යතාර්ථය විසින් අවසානය අතරමග නතර කරනවා. බඬේ අමාරුවක් නිසා එන්න බැරිවෙන ඩ‍්‍රයිවර්ගෙ හිස්තැන පුරවන්න ටීචර්ට පුළුවන් වෙන්නෙ නෑ.

ප‍්‍රධාන චරිතය විදිහට අනසුයාගෙ රංගනය ගැනත් සෑහීමකට පත්වෙන්න බෑ කියල මට හිතුන. ගොඩක් තැන්වල එයා කරන  ඕවර්-ඇක්ට් එක චිත‍්‍රපටයට බාධාකාරී වෙනවා. ඒ මූනෙ ඉරියව් ආදිය එහා මෙහා වෙන ආකාරය තරමක් වෙහෙසකර බවක් ගේනවා. මනෝරත්න, දයාදේව, ජයනි වගේ අයගේ අනායාසකාරීව ගලායන රංගනයත් එක්ක ටීචර් ර`ගපාන්න ගොඩක් මහන්සි වෙනවා.

චිත‍්‍රපටයක් ගැන කොහොම විචාරය කරන්න පුළුවන් වුණත් ඒක නිර්මාණය කරද්දි අත්විඳින්න වෙන දුෂ්කරතා සහ වෙහෙසත්, නිර්මාණයක් විදිහට එය විසින් අත්පත් කරගෙන ඇති සාර්තකත්වයත් තක්සේරු කරද්දි හෝ ගානා පොකුණ ගැන ෆර්ඩිට ඉහළින්ම සතුටු වෙන්න පුළුවන්. පළවෙනි නිර්මාණය මේ තරම් සාධනීය මට්ටමකින් එළිදක්වන්න හැකිවීම නිර්මාණකරු හැටියට ෆර්ඩිටත් පේ‍්‍රක්‍ෂකයන් හැටියට අපිටත් එකවිදිහටම බලාපොරොත්තු සහගත බවක් ඇති කරනවා. ඒත් සිනමා කෘතියක් අධිතක්සේරු කිරීමත් එය නොතකා හැරීම තරම්ම අපරාධයක්. ඒ නිසාම කෘතියක තමන්ට සාපේක්ෂව සාධනීය නිශේධනීය කාරණා සාකච්ඡුාවට ගන්න එක, මාරයි මාරයි කියන එකට වඩා වැදගත් කියල මං හිතනවා.


Wednesday, December 23, 2015

කාංසාවේ සෞන්දර්යය



ජිම් ජාර්මුෂ් ගැන පොඩි ප‍්‍රමාණයක සංවාදයක් කරන්න පොඩි ඉඩක් වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙන් හදලා දුන්නා. ඒක මාසිකව ඒ කට්ටිය කරගෙන යන චිත‍්‍රපටියක් පෙන්නලා කතාබහක යෙදෙන වැඩක්. එක පැත්තකින් මේ විදිහෙ එකතු වෙලා සිනමාව නැරඹීම සහ කියවීම කියන අවකාශයන් නිර්මාණය කිරීම කොයි විදිහකින් වුණත් ලොකු දෙයක් වෙන අතරෙ මේ කට්ටිය සිනමාව රසවිඳින්නන්ගේ එකතුවක් වීම එතනදි වඩා වැදගත්. අපි නිතරම මුණගැහෙන්නෙ කෙටි චිත‍්‍රපටකරුවන් හෝ සිනමාව අධ්‍යනය කරන අය අතර සංවාදවලදි. ඒත් සිනමාව ගැන පේ‍්‍රක්‍ෂකයා පැත්තෙන් සංවාදයක් හදන එක, අදහස් හුවමාරු කරගන්න එක ටිකක් අලූත් විදිහෙ වැඩක්. හොඳ චිත‍්‍රපටියක් බැලූවම ඒක ගැන දැනුම් දෙන එක, කතා කරන එක, දැනුම ෂෙයාර් කර ගන්න එක චිත‍්‍රපටි නිර්මාණ පාර්ශ්වයෙ ඉන්න අයට වඩා නරඹන පාර්ශ්වයෙ ඉන්නෙ අය අතින් සිද්ද වෙද්දි ඒකෙ වඩා විවෘත බවක් වගේම ‘තියරි’ නැති සජීවී බවක් තියෙනවා. යමක් ඉගෙන ගන්න බලන් ඉන්න පිරිසක් එක්ක ගණුදෙනුවකට වඩා යමක් ෂෙයාර් කරගන්න කැමති පිරිසක් එක්ක මේ හුවමාරුව ආස්වාදනීයයි.

මගේ අදහස මේක තවත් සාමාන්‍ය,  ඕනම මෝඩ අදහසක් පළ කළ හැකි, අයාලේ යාමට පවා ඉඩ ඇති දේශක- ශ‍්‍රාවක සම්බන්දයෙන් මිදුණු තැනක් කරගමු කියන එකයි. ඒ වගේම චිත‍්‍රපටි අතින් අත යාමේ ක‍්‍රමයක් වුණත් අපිට මේ වගේ එකතුවක් හරහා නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. උදා විදිහට යම් තැනක හයි කරලා තියෙන පෙන් ඩ‍්‍රයිව් එකක අපිට පුළුවන් වෙයි චිත‍්‍රපටි ගබඩා කරලා තියන්න.  ඕන කෙනෙකුට තමන්ගේ ලැප්ටොප් එකක් හෝ වෙනයම් උපාංගයක් ඒකට සම්බන්ධ කරලා අවශ්‍ය චිත‍්‍රපටි කොපි කරගන්න පුළුවන්. තමන් ළ`ග තියෙන චිත‍්‍රපටි ඒකට දාන්නත් පුළුවන්. රුපියල් පන්හය සීයට පෙන් ඩ‍්‍රයිව් තියෙන මේ කාලෙ  ඕක හොරකම් කරගෙන යයි කියල සැකසංකා තියාගන්න  ඕනත් නෑ. අසාර්ථක වෙන්න කොයිතරම් ඉඩකඩ තිබුණත් මේ විදිහෙ සම්බන්ධතා ජාලයක් සහ හුවමාරු සංස්කෘතියක් ඇති වෙන එක ගොඩක් වැදගත් කියල මං හිතන්නෙ. ඉතිහාසයක් පුරා හැමදෙයක්ම නිකං ගන්න විතරක් පුරුදු වෙච්ච සංස්කෘතියකට තමන්ගෙන් යමක් එකතු කිරීම කියන එක පුරුදු කරන එකත් ශාසනේ චිරස්තිථිය ඇතිකරනවට වඩා ලොකු ව්‍යායාමයක්.

ජිම් ජාර්මුෂ් කියන අධ්‍යක්‍ෂවරයා ගැන මෙතුවක් ලංකාවෙ කිසිම සංවාදයක් තිබුනෙ නෑ. ඉන්ඩිපෙන්ඩන්ට් සිනමාව කියන ධාරාව වෙනමම මාවතකට යොමු කරපු, ප‍්‍රධාන ධාරාව විසින් තමන්ට කරන බලපෑමට එරෙහිව අනවරත සටනක ඉන්න, තමන්ගේ ආත්ම ප‍්‍රකාශනය වෙනුවෙන් තමන්ගේම වූ සිනමාවක් විශ්වාස කරන මේ අරගලකරුවාව ලාංකේය සිනමා අවකාශයට මගඇරෙන්නෙ අහම්බෙන්ද?

ජිම් ජාර්මුෂ්ගෙ සිනමාවට ඇමරිකාවෙ තියෙන්නෙත් කල්ට් වටිනාකමක්. ඒත් යුරෝපයේ විශේෂයෙන් සම්මාන උළෙලවල ජාර්මුෂ්ට ලොකු පිළිගැනීමක් තියෙනවා. එයාගෙ ‘ස්ටේ‍්‍රන්ජර් දෑන් පැරඩයිස්’ චිත‍්‍රපටියත් එක්ක මේ අලූත් සිනමා භාවිතාව ගැන යුරෝපීය සිනමා කලා ප‍්‍රජාවෙ අවධානය යොමු වෙනවා. ඊට පස්සෙ ‘ඩෙඞ් මෑන්’ වගේ චිත‍්‍රපටියක් දක්වා එද්දි එයා ‘ ඕටර්’ කෙනෙක් විදිහට (තමන්ගේම වූ සුවිශේෂ සිනමා සම්ප‍්‍රදායක් තියෙන කෙනෙක්) විදිහට තමන්ගෙ ආර්ට් එක ගොඩනගාගෙන ඉවරයි.

ජාර්මුෂ්ට මාර්කට් එකක් තියෙනවා. එයා වෙනුවෙන් ඉදිරිපත් වෙන ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවා. ඒත් ජාර්මුෂ්ගෙ දරුණු හිතුවක්කාරකම සහ කිසිසේත්ම තමන්ගේ අදහස සුළුවෙන් හෝ වෙනස් කිරීමට එක`ග නොවීම කියන කාරණා එක්ක මාර්කට් එකට එයා එක්ක ඞීල් එකක් දාගන්න අමාරුයි. මේ හින්දම එයාට චිත‍්‍රපටියක් කරන්න අවුරුදු හතඅටක් විඳව විඳව ඉන්න වෙනවා.

ඒත් ඇයි අපේ ප‍්‍රවීණයන්ට ජාර්මුෂ් මගඇරෙන්නෙ? ඒක සිනමාවෙ හැංගිච්ච දේශපාලනයක් එක්ක ගැටගැහෙන කාරණයක්. ජාර්මුෂ්ගෙ සිනමාවට පාදක වෙන ප‍්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් එයා නිතර තමන්ගෙ කතාව ගොඩනගන්නෙ නාගරික පසුබිමක. ගොඩක් වෙලාවට අත්හැර දැමූ නගරයක. දෙවනුව ඒ නගරෙ ඇතුලෙ සිද්ධ වෙන අහම්බ මුණගැසීම් එක්කයි ජාර්මුෂ් කතාව කියාගෙන යන්නෙ. ඒ මුණගැසීම් තාර්කික කරන්න හෝ ඊට අදාල හේතු පැහැදිලි කරන්න එයා ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා ඒ අහම්බ මුණගැසීම් හරහා විවිධ චරිත වල විචිත‍්‍රතාවලට යනවා. තුන්වෙනුවට ජාර්මුෂ්ගෙ චරිත වියළි, ගල්ගැහුණු ඒවා. මුහුණෙන් හෝ අභිනයෙන් ලොකු දේවල් කියන්න යනවා වෙනුවට ඒ චරිත නිහ`ඩව හිරිවැටිලා පැවැත්ම දරාගන්නවා. මේ රංගන විලාසය එයාගෙ පළවෙනි චිත‍්‍රපටියෙ ඉඳන්ම අඛණ්ඩව අරගෙන එනවා.

එයා පර්මනන්ට් වැකේෂන් කියන ෆිල්ම් එක ලියන්නෙ ෆිල්ම් ස්කූල් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදිහට. ඒක ෆිල්ම් ස්කූල් එකෙන් ප‍්‍රතික්‍ෂේප වෙනවා. පස්සෙ ෂෝර්ට් ෆිල්ම් එකකට ලියපු ඒ පිටපතෙන් ජාර්මුෂ් ෆීචර් එකක් කරනවා.

‘ජීවිතේට ප්ලොට් එකක් නැත්තං ෆිල්ම් එකකට ප්ලොට් එකක් මොකටද?’

ජාර්මුෂ් ප‍්‍රශ්න කරනවා. එයාගෙ චිත‍්‍රපටවල උස් පහත් වෙමින් ගලා යන ප්ලොට් නෑ. සිනමාවෙ පිළිගත්ත සම්ප‍්‍රදාය විදිහට චරිතවල ආරම්භයේ සිට අවසානය දක්වා ගමනක් නෑ. ඒ වෙනුවට සියල්ල එකතැනක නතර වෙලා තියෙනවා වගේ. අපි ඒ නතර වුණු මොහොතෙ ඒ චරිත එක්ක පැය කීපයක් ගත කරනවා.

‘මට  ඕන මගේ චරිත ගැන පේ‍්‍රක්‍ෂකයාට රියල් ටයිම් එක්ස්පීරියන්ස් එකක් දෙන්න’ ජාර්මුෂ්

ජාර්මුෂ් ‘පර්මනන්ට් වැකේෂන්’ කළාම එයාගෙ චිත‍්‍රපටිය ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ.

‘එයා දක්ෂ ර`ගපාන්න බැරි නළු නිළියො ටිකක් එකතු කරගන්න එකට විතරයි’

විචාරකයො ලියන්නෙ ඒ විදිහෙ අපවාද. ජාර්මුෂ්ගෙ චරිත ර`ගපාන්නෙ නෑ. ජාර්මුෂ් එයාගෙ කතාව කියන්නෙ පිටස්තරයෙක් විදිහට. හැම සිදුවීමකින්ම අවකාශයකින්ම එයා පිටස්තරයි. ඒ පිටස්තර බව චරිතවල ර`ගපෑමෙන් පවා දැනෙනවා.

ඒ කියන්නෙ ජාර්මුෂ් කැරැුක්ටර්ස් එක්ක වැඩකරන්නෙ නෑ කියල නෙමෙයි. ඇත්තටම එයා චිත‍්‍රපටියක් කරද්දි හිතන්නෙ කැරැුක්ටර්ස් ගැන විතරයි. ඒ චරිත හරිම විචිත‍්‍රයි. ගොඩක් වෙලාවට පාදඩයො, අයාලෙ යන අරමුණක් නැති චරිත එක්කයි එයා වැඩ කරන්නෙ.

මේ චරිත එක්ක වැඩ කරනවා කියන්නෙ ඒවා යතාර්ථවාදී කරන්න හදනවා වගේ එකක් නෙමෙයි. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය සරියල්, නොපැවැත්මක් එක්ක ගණුදෙනු කරන විචිත‍්‍රභාවය හැදෙන කල් ජාර්මුෂ් ඒවා එක්ක ගත කරනවා. එයාගෙ රංග වින්‍යාසය තීරණය වෙන්නෙ එයාගෙ සමස්ත කෘතියට අදාල පිටස්තරභාවය ඇතුලෙ මිසක් ඒ චරිත සැබෑ යතාර්ථයත් එක්ක කරන ගණුදෙනුව උඩ නෙමෙයි.

එතකොට බර්ග්මාන්ලා, අන්ටෝනියෝනිලා, තර්කොව්ස්කිලා, රේගඩාස්ලා ගැන කතාබහ හැදෙන ලංකාවෙ මේ මනුස්සයා අත්ඇරෙන්නෙ කොහොමද?

මං දකින විදිහට ජාර්මුෂ්ගෙ මාවතේ චිත‍්‍රපටි හදලා ලංකාව වගේ රටක ඉඳන් කාන්- වැනිස් සම්මාන ගන්න අමාරුයි. ඇමරිකාවෙන් ජාර්මුෂ්ගෙ ආකෘතිය පිළිගත්තට ලංකාවෙන් ඒ විදිහෙ නාගරික එළඹුමක් පිළිගන්න යුරෝපීය කලා අධිපති මතවාදයට තාම අමාරුයි. අපෙන් ඒ අයට දකින්න  ඕන ගම.  අම්මා නංගි පවා  දූෂණය වෙන අසංස්කෘතික ගම තමයි ලංකාවෙ ප්ලොට් එක විදිහට ඒගොල්ලො බාරගෙන තියෙන්නෙ. එතනදි හු`ගක් ඈතට වෙලා බලාගෙන ඉන්න දුර රූපය පාවිච්චි කරන්න  ඕන. චරිත වල ළ`ගට යන්න හෝ ඒ චරිත වල ඒවාට සුවිශේෂී වූ ගති ස්වභාවයන් නිර්මාණය කරන නිදහස අපේ වගේ රටවලට නෑ. ඒක අපිට විතරක් නෙමෙයි ගොඩක් ආසියාතික රටවලට බලපාන ප‍්‍රශ්නයක්. උදා විදිහට නැගෙනහිර ආසියාවෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නෙ අසංස්කෘතික සමලිංගික ප‍්‍රකාශනයක් (ට්සායි මින්්ග් ලියෑන්ග් ධාරාව)

එතනදි අනෙක් පැත්තෙන් අපේ වගේ රටවල තමන්ගේ ඇත්ත ප‍්‍රකාශනයක් හෝ පැෂන් එකක් වෙනුවෙන් සිනමාව කරන පිරිස අවමයි. ඒ වෙනුවට සම්මානයක්, ඇගයීමක්, පිළිගැනීමක්, තානාන්තරයක් වෙනුවෙන් තමයි සම්භාව්‍ය සිනමාවෙ ගොඩක් අය වැඩ කරන්නෙ. එතකොට ඉල්ලූමක් තියෙන දේ සැපයීමෙන් තමන්ට අවශ්‍ය දේ උපයා ගන්න එක තමයි සරල සමීකරණය. මේකට හරියටම දෙන්න පුළුවන් ‘බෙගර්ස් සිනමා’ වගේ හැඳින්වීමක්. අපිට පව් කියලා දෙන සම්මාන මිස අපේ සෞන්දර්ය අගය කරලා දෙන සම්මාන නෑ.
එතකොට ජාර්මුෂ්ව අරගෙන මොනවා කරන්නද? ඒ වගේ අරගලකාරී ප‍්‍රවේශයක් වෙනුවට සම්මානවලට යන්න තියෙන හයිවේ එක පාවිච්චි කරන එක ලේසියි. අනිත් පැත්තට දේශපාලනික- සාමාජීය- යතාර්ථවාදී වාමාංශික කියවීමක් මුල්බැහැගෙන තියෙන රටක ජාර්මුෂ් වගේ සරියල්, ඉන්ඩිවිජුවලිස්ටික්, මොඩර්න් සිනමාවක් අභියෝගයක් වෙනවා. ඒ හින්ද මගඅරින එක හැමපැත්තෙන්ම ලේසියි.

ජාර්මුෂ් ගොඩක් වැඩ කරන්නෙ රෝඞ් මුවි කියන ජොන්රා එකත් එක්ක. ජෝන්රා එකක වැඩ කරන එක ගොඩක් සම්භාව්‍ය සිනමා කට්ටිය දකින්නෙ පීචං විදිහට. ඒත් ජාර්මුෂ් ජෝන්රා එකක් තමන්ගේ නිර්මාණශීලීත්වය සහ නිදහස වැඩි කරනවා කියලයි දකින්නෙ. ඒ රාමුව එහාට මෙහාට තල්ලූ කරමින් නිර්මාණය කිරීම ඇතුලෙ තමන්ගෙ ප‍්‍රකාශනය වඩා හොඳ ස්ථානගත කිරීමක් කරන්න පුළුවන් කියලා ජාර්මුෂ් විශ්වාස කරනවා.

මං ගොඩක් කැමති ජිම් ජාර්මුෂ් ජනප‍්‍රිය ධාරාවට එරෙහිව ජනප‍්‍රිය ධාරවත් එක්ක කරන මේ ගනුදෙනුවට. එයා ජෝන්රා ඇතුලෙ ජීවිතේ නන්නාඳුනන ඉවුරු වල සිද්දවෙන කතන්දර කියනවා වගේම ජනප‍්‍රිය නළු නිළියන් පවා ප‍්‍රධාන චරිත වලට පාවිච්චි කරනවා. උදා විදිහට එයා රොබර්ටෝ බෙනිංග්නි, ජොනී ඩෙප්, බිල් මුරේ වගේ චරිත එක්ක වැඩ කරනවා. ඒ ධාරාව අතරට තමන්ගේ ක‍්‍රම විරෝධී පන්ක් සමාජ දේශපාලන අදහස් අරගෙන යනවා.

ඔරිජිනල්ස් කරන්න ට‍්‍රයි කරන එක ගැන, නැත්තං ‘ඔතෙන්ටිසිටි’ ගැන ජාර්මුෂ් ලස්සන කතාවක් කියනවා. එයාට අනුව එහෙම ඔතෙන්ටික් කියල දෙයක් නෑ. ඒ වෙනුවට පුළුවන් හැම තැනකින්ම කොපි කරන්නයි  ඕන. ඒත් අපි කොපි කරන්න  ඕන ඇත්තටම අපේ ආත්මයට දැනෙන තැනකින්. එහෙම හොරකම් කරපුවා ගැන අපි සතුටු වෙන්න  ඕන. ඒ කොපි කිරීම ඇතුලෙන් ආයිමත් අපෙන් බිහිවෙන දේ අලූත් ආර්ට් එකක් වෙනවා. එයා මතක් කරනවා ගොඩාර්ඞ් මේ ගැන කියන කතාවකුත්. ‘මට අදාල නෑ ඔයා ඒක ගන්නෙ කොහෙන්ද කියල. මට අදාල වෙන්නෙ ඔයා ඒක ගෙනියන්නෙ කොහාටද කියන කාරණයයි’.

ජාර්මුෂ්ගෙ නිර්මාණයක් නරඹනවා කියන්නෙ හරියටම කාලෙකට පස්සෙ ළ`ගම යාලූවෙක් මුණගැහුනා වගේ අත්දැකීමක්. එයා කියවන පොත්, අහන සිංදු, නරඹන චිත‍්‍රපටි මේ ඔක්කොම එයාගෙ චිත‍්‍රපටිය ඇතුලට එනවා. ලෝකෙ ගොඩක් දේවල් ගැන රෙෆරන්ස් ගොඩක් එයා සිනමාව ඇතුලෙ ඉතුරු කරනවා. ශිෂ්ටාචාරය විසින් හැම හොඳ දෙයක්ම ඉක්මණින් විනාශ කරලා දානවා කියන මතයෙ ඉන්න නිසාම එයා මේ චිත‍්‍රපටියක් නරඹන කෙනෙක් යම් දවසක හෝ මේ රෙෆරන්ස් දිගේ හොයන්න උනන්දු වෙයි කියල එයා හිතනවා. ජාර්මුෂ්ගෙ ලෝකය දුක්මුසු- සුන්දර ලෝකයක් (සෑඞ් ඇන්ඞ් බියුටිෆුල්). එයාගෙ ආර්ට් එක වෙන්නෙ බෝර්ඩම් (කාංසාව) කියන එක. ඒ කාංසාවෙ සෞන්දර්ය විඳින්න දන්න අයට ජිම් ජාර්මුෂ් කියන්නෙ සංගීතයක්, සාහිත්‍යයක් සහ සිනමාවක්.

(ජාර්මුෂ්ගෙ ‘ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව්’ චිත‍්‍රපටිය ගැන කතාව දෙවන කොටසක ලියන්නම්)

Friday, December 18, 2015

K-සෙරා A තරම් ලස්සනද?


‘කේ-සෙරා’ ගැන කිසිම දෙයක් නොලියාම ඉන්න මං තීරණය කළේ රූපවාහිනී නාළිකාවක් විසින් පවත්වන ලද සම්මාන උළෙලක තීන්දු තීරණ ඒ තරම් සීරියස් ගන්න  ඕනද කියල හිතුන හින්ද. අනිත් පැත්තට ජූරිය සහ සම්මාන නොලැබුණු පාර්ශ්ව කියන දෙපාර්ශ්වයෙන්ම මේ තීරණයට බලපාපු සිනමා කෘතියට බාහිර දේශපාලනයක් ඉ`ගි කෙරුණු හින්ද. ඒත් සමන් වික‍්‍රමාරච්චි විසින් නැවත රාවයට මේ සම්මාන දීම ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කිරීම නිසා මේ ගැන මගේ අදහස ලියන්න නැවත තීරණය කළා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, සිනමාව ගැන ඉතා පහළ මට්ටමේ කියවීමක් සහ විනිශ්චයක් මේ හරහා සමාජගත විය හැකි නිසා.

‘එය වනාහි කෘතහස්ත ජූරියක විචක්ෂණශීලී ගැඹුරු සිනමා කියවීමක් විසින් කරන ලද අලූත් සොයා ගැනීමක්’
කේ-සෙරා ට දීපු සම්මානය ගැන වික‍්‍රමාරච්චි කියන්නෙ එහෙමයි.

පුද්ගලික පහර ගැසීමක් නොවුණත් මට හිතෙන්නෙ සාහිත්‍යකරුවන් විසින් සිනමා කෘති ගැන විචාරය කරන්න ගියාම කෘතියට විතරක් නෙමෙයි සිනමාවටම හානි වෙන්න ඉඩ තියෙනවා කියල. වික‍්‍රමාරච්චි තමන්ගෙ විචාරයට පාදක කරගන්නෙ පත්තරේ වෙන පිටුවක ගිය රේමන්ඞ්ගෙ ඉන්ටවිව් එකක්. රේමන්ඞ් කියන කාරණා සහ පරාක‍්‍රමගෙ මේ සිනමා කෘතිය අතර සම්බන්ධය හොයන්න තරම්වත් එයා ඉස්පාසුවක් ගන්නෙ නෑ. මේ විචාරය රේමන්ඞ්ගෙ ඉන්ටවිව් එක ගැන විචාරයක් මිස පරාක‍්‍රමගේ කේ-සෙරා ගැන විචාරයක් නොවෙන්නෙ ඒ හින්ද.

‘ලිබරල් ධනවාදය තුල මරණය පවා සෞන්දර්ය වස්තුවක් ලෙස අළෙවි කළ හැකි බව මින් විදාරණය කරන අධ්‍යාපනික එළඹුමයි’ - සමන් වික‍්‍රමාරච්චි

මා විසින් නරඹන ලද කේ-සෙරා චිත‍්‍රපටියෙ මේ විදිහෙ එළඹුමක් අහල ගම් හතක වත් තිබුණෙ නෑ. මේක සමන් වික‍්‍රමරාච්චි විසින් දකින සම්පූර්ණයෙන්ම කෘතියට බාහිර මනඃකල්පිතයක්. කේ-සෙරා චිත‍්‍රපටියෙ අධ්‍යක්‍ෂ ලිබරල් ධනවාදය තබා එදිනෙදා මිනිස් ගණුදෙනුවල සාමාන්‍ය ස්වරූපය පවා අඳුරන්නෙ නැති වගක් තමයි මේ කෘතිය නරඹන කෙනෙකුට දැනෙන පොදු හැ`ගීම වෙන්නෙ.

නැවත සඳහන් කරන වග නම් මේ ලිවීම විසින් පුද්ගලිකව කිසිවෙකුව තල්ලූ කිරීම කිසිසේත්ම අරමුණු නොකරන බවයි. ඒ වෙනුවට අදාල නොවෙන කතිකාවන් සහ න්‍යායන් ඊට කොහෙත්ම සම්බන්ධයක් නැති කෘතියක් සමග ගැටගැසීමෙන් වෙන්න පුළුවන් අවුල විතරයි මෙතනදි අදාල කරගන්නෙ.

පරාක‍්‍රමගෙ ‘එකදා වැහි’ චිත‍්‍රපටය මං කලින් බලලා තියෙනවා. ඒකෙ කමල් අද්දරආරච්චි විසින් වතුර උණු කරන සාස්පානට තමන්ගෙ ලන්කට් එකද දමා උණු කරන දර්ශනය ආදී කොටස් තාමත් නැවත නැවත මතක් වෙන සුලූයි. කොයිතරම් දුර්වලතා සහිත වුණත් එකදා වැහි යම් විශිෂ්ටතා සහිත චිත‍්‍රපටියක් විදිහට ගොඩනැගෙනවා.

ඒත් මේ පරාක‍්‍රම ජයසිංහම ඊට පස්සෙ චෙරියෝ හොල්මන් කියලා එකක් කරනවා. ඊළ`ගට එයාගෙන් එලියට එන නිර්මාණය වෙන්නෙ කේ-සෙරා.

අධ්‍යක්‍ෂණයකදි චිත‍්‍රපටකරුවාගේ පරිණතබව දකින්න පුළුවන් වැදගත්ම තැනක් වෙන්නෙ රූප රාමුවෙන් රාමුවට අදාල චරිත ගොඩනැගෙන රිද්මයයි. ඒ වගේම ඒවා එකිනෙක ෙඡ්දනය වෙමින් අර්ථ (භාව) ගොඩනැංවෙන රිද්මයයි. මේක රිදම් කියන එකට වඩා බී‍්‍රතින්ග් කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒත් කෘතියක මේ හුස්ම වැටෙන වේගය නොතේරුම් ලෙස පාවිච්චි වෙනවා කියන්නෙ සිනමාකරුවෙක් හැටියට ඒ නිර්මාණකරුවා යම් අපරිණත බවක් දක්වනවා කියන එකයි. නවකතාවකට වඩා චිත‍්‍රපටියකදි බොරු කරන්න අමාරු වෙන්නෙ මෙන්න මේ විදිහෙ කර්තෘ එලිදරව්වෙන තැන් වහන්න අමාරු වෙන හින්දයි. සිනමා භාෂාව ලිඛිත භාෂාව හැසිරවීමට වඩා සංකීර්ණ කාරණයක්. මම නැවත වික‍්‍රමාරච්චිට යෝජනා කරන්නෙ කේ-සෙරා චිත‍්‍රපටියෙ රූප රාමු එකින් එක අරගෙන කියවන්න. රූප රාමු අතර කතාවට (ඉන්ටර්ටෙක්ස්චුවල් තැනකට) යන්න කලින් රූප රාමු වලින් එලිපිට කියවෙන කතාව දිහා බලන්න. අටහමාරෙ ටෙලි නාට්‍යයකට වඩා මේ රූපමය භාෂාවෙ තියෙන වෙනස පැහැදිලි කරන්න.

කේ-සෙරා චිත‍්‍රපටියෙ මේ හුස්ම වැටෙන රිද්මය අන්තිම අවුල්. චරිතවල ප‍්‍රකාශනය සහ රංගන පරාසය අතිශය පැතලියි. කොටින්ම කේ සෙරාට වඩා කෝපි කඬේ ටෙලියෙ මේ සමෝධානය ප‍්‍රාථමික වුණත් හොඳ මට්ටමක තියෙනවා. ඉංග‍්‍රීසියෙන් සහ සිංහලෙන් දෙපාර දෙපාර දෙබස් කියන්න යන එකෙන් මේ කෘතිම බව තවත් තීව්ර කරනවා.

කේ-සෙරා චිත‍්‍රපටිය ගොඩනැගෙන්නෙ සිංදු කියන හොල්මනක් වටා. හැම කාරණයක්ම මරණයෙන් මතු මේ පැවැත්ම ගැන කියන බොළඳ කතා මත ගොඩනැගෙද්දි එකපාරට මැද්දෙන් තොවිල් කවියක් විතරක් කලාව ගැන විචාරයකට පනිනවා. ඒක සමන් වික‍්‍රමාරච්චි දකින්නෙ නම් මාර වැඩක් විදිහට. ඒත් සිනමාත්මකව ඒක අතිශය බාල උත්සාහයක් විදිහටයි සටහන් වෙලා තියෙන්නෙ.

නිර්මාණකරුවාගේ නොදැනුවත්කම වගේම කෘතියේ බාලකම හොඳින්ම ඉස්මතු වෙන තැනක් වෙන්නෙ සිංගර් වෙළඳ දැන්වීමක් කෘතියට අඩංගු වෙන තැනින්. ඇත්තටම ඒක බලන් ඉඳිද්දි ලැජ්ජාවට ඇෙ`ග් හිරිගඩු පිපෙන ගානයි. හඳගම ආදී පිරිස මේ චිත‍්‍රපටය හත්අට සැරයක් බැලූවා කියද්දි මට පුදුම හිතෙන්නෙ ඒ නිසයි.

චිත‍්‍රපටියක් ඇතුලට වෙළඳ දැන්වීමක් වද්දා නොගත යුතුයි කියන පරණ අදහසින් නෙමෙයි මං මේ කාරණය මතු කරන්නෙ. උදා විදිහට චෙන්නායි එක්ස්ප‍්‍රස් චිත‍්‍රපටියෙ ‘නොකියා’ ෆෝන් ගැන දැන්වීම් ගැටගහලා තියෙන ආකාරය අතිශය නිර්මාණශීලීයි. ඒත් පරාක‍්‍රම මේ දැන්වීම තමන්ගෙ චිත‍්‍රපටියට අඩංගු කරන්නෙ මුලූ කෘතියම අන්තිම බාල තැනකට ඇද දමමින්.

අධ්‍යක්‍ෂකයෙක් විදිහට සිද්ධියක් ගොඩනැගීමේ කාල-අවකාශ පරතරයන් තේරුම් ගැනීම අතින් පරාක‍්‍රම ජයසිංහ මේ චිත‍්‍රපටියෙදි වයිඑම්බීඒ නාට්ටි ගාණට වැටෙනවා. ඒ වගේම එක් සිදුවීමකින් අනෙක් සිදුවීමට චිත‍්‍රපටය තුල සාම්‍යයක් ගොඩනගා ගැනීමට චිත‍්‍රපටකරුවා අසමත් වෙනවා. සම්මානයකට පවා පාත‍්‍ර වුණු දමිත් ෆොන්සේකාගෙ දර්ශනය වුණත් කොයිතරම් විහිළුකාරද? ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියෙ දොන් විටෝ කොර්ලියොනි වගේ එකක් නිර්මාණය කරන්න ගිහින් කෘතිය එක්ක කිසියම්ම හෝ නෑකමක් හදා ගන්න බැරි තැනක (ආඛ්‍යානමය) ඒ අහම්බ දර්ශනය වෙන කොහෙන්ද එල්ලලා වගේ තියෙනවා. මේ විදිහට චිත‍්‍රපටිය පුරාම සිදුවීමෙන් සිදුවීමට නැරටිව් ස්ට‍්‍රක්චර් එක එක අතට පනිනවා. ඒක දැනුවත්ව සිද්ද වෙච්ච දෙයක් නොවෙන හින්දම බලන් ඉන්න අය අන්දමන්ද වෙනවා.

චිත‍්‍රපටියෙ නළු නිළියො කිසිවක් කරකියා ගන්න බැරුව එක තැන කරකැවෙනවා. විශේෂයෙන්ම හොඳම සහාය නළුවා සම්මානය දීපු චරිතය කිසිම හැ`ගීමක් දැනීමක් දනවන්න අසමත් විකාරයක් බවට පත්වෙනවා.

සම්මානයක් දිය යුතුවම තිබුණා නම් මේ චිත‍්‍රපටයට සාපේක්ෂව එතන තවත් බොහෝ චිත‍්‍රපට තිබුණු බවයි මගේ හැ`ගීම. තණ්හා රතී රගා චිත‍්‍රපටිය ගැන මට කොයිතරම් ප‍්‍රශ්න තිබුණත් කවුරුන් හෝ ඒ චිත‍්‍රපටියෙ සාධනීයතා ගැන කියනවා නම් ඒක ‘විය හැකියි’ කියල බාර ගන්න මට පුළුවන්. ඒ කෘතියක් ගැන විවිධ අයට විවිධ වූ මතිමතාන්තර තිබිය හැකි නිසා. තණ්හා රතී රගා පැත්තකින් තිබුණත් සැමීගේ කතාව වුණත් ගොඩනැගීම අතින් (පරණ ආකෘතියක වුණත්) මීට වඩා පරිණතබවක් මතු කරලා තිබුණ.

කේ-සෙරා චිත‍්‍රපටය හොඳ චිත‍්‍රපටියක් කියල කියද්දි මාව තිගැස්සෙන්නෙ හරියටම මහින්ද රාජපක්ෂ හොඳයි කියල කෙනෙක් කියනකොට වගේමයි. ඒ මහින්දගෙ දේශපාලනය සමග මගේ ඇති මතවාදිමය වෙනස්කම් නිසා නෙමෙයි. ‘මහින්ද’ කියන්නෙ දේශපාලනික මතවාදිමය තලයක් ගැන කතා කරන්න බැරි තරමට දාමරිකකම, මෝඩකම, පාදඩකම, දූෂිතකම ආදිය එකතු වුණු ලොකු බංකොලොත්කමක්. කේ-සෙරා චිත‍්‍රපටයේ විශිෂ්ටතා දැකිය හැකි සිනමාකරුවන්, විචාරකයන් ගැනත් මට ඇතිවෙන්නෙ ඊට සමාන තිගැස්මක්.

ඒ සෞන්දර්යාත්මක කාරණා ගැන කතා කරන්නවත් ඉඩක් නැති විදිහට චිත‍්‍රපටිය මුල ඉඳන් අගටම බංකොලොත් නිසයි. එහෙම සංවාදයක් පවා ගොඩනැගිය නොහැකි තැනක පිහිටන නිසයි. සිනමාවේ වඩාත් ගැඹුරු සෞන්දර්යාත්මක ප‍්‍රවේශයන් කරා එළඹෙන්නට ඇති ඉඩකඩ අවුරා දමමින් රජ කතා බණකතාම නොවුණත් ඒ සිනමාවට සමාන්තර වූ පැතලි සිනමා කතිකාවක් නැවත ආරම්භ කරන නිසයි.

ඬේවිඞ් ලීන්ගේ උපුටනයක් කියූ පමණින් සිනමාව ගැන සෑහෙන දැනුමැත්තෙක් බවට පරාක‍්‍රම පත්කරන්නට වික‍්‍රමාරච්චි ඉක්මන් වෙනවා. මේක ටිකක් අර්බුදකාරී තැනක්. කෙනෙකුට පුළුවන් ලෝකෙ චිත‍්‍රපටි ඔක්කොම වුණත් නරඹන්න. ඒත් ඒ නැරඹීම ඇතුලෙ ඔහු විසින් කරන කියවීම ගැන කිසි කෙනෙකුට තක්සේරුවක් දෙන්න බෑ. සිනමාව පිළිබඳ පුළුල් දැනුමක් ඇතැයි අපි හිතන සමහර අය වුණත් චිත‍්‍රපට ගැන තමන්ගේ කියවීම කරන මට්ටම දැක්කම අපිට පුදුම හිතෙන්නෙ ඒකයි.

‘දුර්වල පිටපතකින් වුණත් සාර්ථක නිර්මාණයක් කිරීමට හැකි වීම’ වගේ කාරණයක් කේ-සෙරා ඇගයීමට හේතුවක් වුණා කියල හඳගමත් තැනක කියල තිබුණ. ඒත් මේ චිත‍්‍රපටියෙ කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්‍ෂණය කියන හැමදෙයක්ම කෙරෙන්නෙ පරාක‍්‍රම අතින්. එතකොට අසාර්ථක පිටපතකින් අසාර්ථක කෘතියක් නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීමයි එයාට පැවරෙන්න  ඕන.

පරාක‍්‍රමගෙ චෙරියෝ හොල්මන් වගේම කේ-සෙරා චිත‍්‍රපටියක් විදිහට හෝල්වල ප‍්‍රදර්ශනයෙ නෙමෙයි මේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ඒ අධ්‍යක්‍ෂවරයා තමන් විශ්වාස කරන හෝ ආශා කරන සිනමාව කරනවා වෙන්න පුළුවන්. ඒත් මේකට අනවශ්‍ය සම්භාව්‍යකරණයක් දෙන තැනයි මේ විකෘතිය පටන් ගන්නෙ. මං කියන්නෙ කේ-සෙරාට මල්වඩම් අනවශ්‍යයි කියලයි.

කෙසේ වුවත් මේ චිත‍්‍රපටය නැවත ප‍්‍රදර්ශනය කොට මේ පිළිබඳ විවෘත කතිකාවක් ගොඩනැගීම සිනමාව පැත්තෙන් ප‍්‍රතිඵලදායී වගේම මේ මොහොතේ සිදු විය යුත්තක්. එහිදී දෙරණ සම්මානය සහ ජූරිය මත වගේම තණ්හා රතී රගා මත එල්ලෙන්නේ නැතිව සමන් වික‍්‍රමාරච්චි වැනි තවත් මේ සිනමාවේ සෞන්දර්ය දකින පිරිස් එක්කර ගැනීමටත් සිනමා කෘතියක විශිෂ්ටතා කෙබඳු විය යුතුද යන්න ගැන සාකච්ඡුා කිරීමටත් පුළුවන් වේවි.

චින්තන ධර්මදාස

Monday, December 14, 2015

කේ සෙරා හොඳම අධ්‍යක්‍ෂණය වෙන රටක ජිම් ජාර්මුෂ් කවුද?

ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව් ෆිල්ම් එක ගැන ජිම් ජාර්මුෂ්ගෙන් මාධ්‍ය ප‍්‍රශ්න කරනවා.
ප‍්‍රශ්නය- ඔයාගෙ මේ ෆිල්ම් එක වැම්පයර් ස්ටෝරි එකක්. ඔයාම කියන විදිහට වැම්පයර් ආදර කතාවක්. ඒත් ඇයි වැම්පයර්ස්ලා? ඔයා මේ ජෝන්රා එකට පනින්න කලින් හිතලා බැලූවද මේක කොයිතරම් ඔය විදිහෙ කතා වලින් ගොඩගැහිලද කියල.

ජිම් ජාර්මුෂ් - ‘‘මං ඔය වගේ වැඩකට නැති ජරාව ගැන හිතන එක පැත්තකට කරලා තියෙන්නෙ. මං නොදන්නවා නෙමෙයි පහුගිය ටිකේ හතු පිපෙනවා වගේ වැම්පයර් කතා හැදුන. මට ඒක අදාල නෑ. මේක සිනමා ඉතිහාසයේ ක්ලැසික් ජෝන්රා එකක්. මං ජොන්රා එකක වැඩ කරද්දි නිතරම ඒකෙ වෙනම පැත්තකින් මගේ ගමන යන්නෙ. මං ජොන්රා එකේ බලාපොරොත්තුවලට බැඳිලා නෑ. අවුරුදු 08ක් තිස්සෙ මං ලවර්ස් ලෙෆ්ට් අලයිව් හදන්න උත්සාහ ගත්තා. ඒක හින්ද මට අනිත් දේවල් අදාල නෑ මං කියන්නෙ.

මට ඇත්තටම ආකර්ශනීය වුණේ මේක ඇතුලෙ සියවස් ගණනාවක් ජීවත් වීම හරහා ඓතිහාසික දැක්මක්, දැනීමක් තියෙන චරිත නිර්මාණය කරන්න පුළුවන් වීම. මේ කතාව තියෙන්නෙ එකිනෙකාට ඒ පවතින ස්වරූපයෙන්ම ආදරය කරන ආදරවන්තයින් දෙදෙනෙක් ගැන. කොයි වෙලාවකවත් ඔවුන් අනෙකාව වෙන කෙනෙක් බවට පත් කරන්න උත්සාහ ගන්නෙ නෑ. ඒ අයව ඒ විදිහටම බාර ගන්නවා. උදා විදිහට මේකෙ ඇඩම් එපා කරවනසුලූ තරම් තමන් ගැනම ඇලීගැලී ඉඳිද්දි පවා ඊව් ආදරය කරනවා. එයාගෙ ඒ විදිහට’’

2013 දි ජිම් ජාර්මුෂ් මේ චිත‍්‍රපටිය හදලා ඉවර කරනවා. ජීවිතය සදාකාලිකව පැවතුනොත් ආදරයට මොකද වෙන්නෙ? ආදරය කිව්වම ආදරය කරන සංගීතය, සංස්කෘතිය, පෙම්වතිය හැමදෙයක්ම අදාලයි. ජිම් ජාර්මුෂ් කියන්නෙ කවුද, එයා සිනමාව හරහා කරන්න හදන්නෙ මොකක්ද, ඒක අපිට සාපේක්ෂව කොයි වගේද කියන කාරණා එයාගෙ මේ අලූත් (අවුරුදු දෙකක් විතර පරණ* නිර්මාණය හරහා අපිට කතා කරන්න පුළුවන්.

වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙ උන් ටික සංවිධානය කරන මේ චිත‍්‍රපටය නැරඹීමේ සහ කතා බහ කිරීමේ හැන්දෑවට එකතු වෙන්න. දෙසැම්බර් 20 ඉරිදා හවස 2.30ට චිත‍්‍රපට සංස්ථා ශ‍්‍රවණාගාරයට එන්න.

Thursday, December 10, 2015

මේක ඕල්ඞ් ස්කූල් අයවැයක්


මේ පාර අයවැය ගැන හිත හිත ඉන්න අතරෙදි අහම්බෙන් ජැකී අර්ල් හාලෙ අධ්‍යක්‍ෂණය කරපු ‘ක‍්‍රිමිනල් ඇක්ටිවිටීස්’ බලන්න හම්බුණා. විශිෂ්ටම චිත‍්‍රපටියක් නොවුණත් වෙනස් විදිහක ‘රිවෙන්ජ්’ ස්ටෝරි එකක්. පල්ප් ෆික්ෂන් වලින් පස්සෙ ඒ තරමටම නොවුණත් ජෝන් ට‍්‍රැවොල්ටා හොඳ ‘ෆන්’ එකක් දෙනවා. ඒකෙ හැටියට එයා පාතාල නායකයෙක්. මොබ්ස්ටර් කෙනෙක්. හඳුන්වාදෙන දර්ශනයෙදි මේසයක් වටේ අනාත වෙලා ඉඳගෙන ඉන්න කොල්ලො සෙට් එකකට එයා ‘තෙලක්’ බෙදනවා. එතනදි ට‍්‍රැවොල්ටා කියනවා ආර්ථිකයෙ මූලික කාරණා හතක් තියෙනවා කියල.

සීමිත බව, ආත්ම මූලිකත්වය, අසමානතාවය, තරගය, අසම්පූර්ණ බව, නොදන්නාකම, සංකීර්ණ බව කියන්නෙ ඒ හත. ට‍්‍රැවොල්ටා ඊට අමතරව අටවැන්නක් යෝජනා කරනවා. ඒ ‘ලක්’ එක. තියරියක් විදිහට එහෙම කරුණු හතක් නැති වුණත්  මම මේ කාරණාවලට යම් ආකාරයකින් එක`ගයි. ධනවාදී ආර්ථිකයක දියුණුවට මේ කාරණා කළමනාකරණය කරන ආකාරය වැදගත් වෙනවා වගේම කොයිම අවස්ථාවකවත් ඒවා මුලිනුපුටා දැමීම කියන මෝඩ උත්සාහයට යන්න නරකයි. ඒක වමේ අයට සෙල්ලම් කර කර ඉන්න තියෙන මාතෘකාවක්.
අරක කැපුවා, මේක කැපුවා, ගොවිතැනට කෙළියා වගේ සුපුරුදු චෝදනා වලට අමතරව මේ පාර අයවැය දිහා සුබවාදීව බලන පිරිස් අතරින් ඇහෙන්නෙ අයවැය තාර්කිකයි, දිශානුගතයි වගේ අදහසක්. කාරණා විශ්ලේෂණවලට කලින් බලන්න වෙන්නෙ අයවැයක් විදිහට මේකෙන් දැනෙන ‘ෆීල්’ එක කොයි වගේද කියන එකයි.

අයවැයක් හැටියට කොහෙත්ම බලාපොරොත්තු දනවනසුලූ හෝ යම් ප‍්‍රබෝධයක් ඇති කරවනසුලූ අයවැයක් ඉදිරිපත් කරන්න යූඇන්පිය අසමත් වෙලා තියෙනවා. තාර්කික අතාර්කිකතා ගැන කොයිතරම් සංවාද තියෙන්න පුළුවන් වුණත් මහින්දගෙ අයවැය වුණත් මේ කාරණේදි මීට වඩා ඉදිරියෙන් තිබුණ. ජනතාවට සමස්තයක් හැටියට යමක් ලැබෙන බවට, දෙයක් සිද්ද වෙන බවට, නැත්තං ෆන් එකක් හෝ ලල් එකක් ඒ අයවැයේ තිබුණ. මිනිස්සුන්ට බලාපොරොත්තු සහගත බවක් නොදැනෙන අයවැයක් කියන්නෙ මූලික වටයේදිම අසමත් එකක්. විශේෂයෙන්ම යූඇන්පියට ඒ විදිහෙ ෆීල් එකක් තියෙන බජට් එකක් නිර්මාණය කරගන්න බැරි වීමම යූඇන්පියේ අසමත් වීමක්.

මෙතනදි මං අදහස් කරන්නෙ ගොවියාගේ සහනාධාර හෝ රාජ්‍ය සේවකයාගේ වරදාන ගැන නෙමෙයි. මීට වඩා එඩිතරව ඒ දේවල් සම්බන්ධයෙන් පියවර ගන්න තිබුණ කියලයි මගේ අදහස. විශ‍්‍රාම වැටුප අහෝසි කිරීම අනිවාර්ය කොන්දේසියක්. සහන දිදී කෘෂිකර්මාන්තය ගොඩගන්න අවශ්‍යද කියන එක තවදුරටත් කල්පනා කර කර ඉන්න තත්වයක් නෙමෙයි. කෘෂිකර්මාන්තය අනිවාර්ය ලෙසම දියුණු සමාගම් වෙත පවරා දෙන්න  ඕන. අපි කෘෂිකාර්මික රටක් කිය කියා සහන දිදී යම් කර්මාන්තයක් පවත්වාගෙන යාමෙ කිසි පදනමක් ඇත්තෙ නැහැ.

ඒ වගේම රාජ්‍ය සේවය කියන්නෙ කොහෙත්ම සාර්ථක කළමනාකරණයකට බඳුන් කරන්න පුළුවන් අංශයක් නෙමෙයි කියන එක මේ වෙන කොට ප‍්‍රත්‍යක්‍ෂ කාරණයක්. රාජ්‍ය සේවය කියන පදනමම ගොඩනැගිලා තියෙන්නෙ නිකං ඉඳීම, වරප‍්‍රසාද ලැබීම, පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම වගේ අප‍්‍රකාශිත ප‍්‍රතිගාමී අදහස් සමුච්චයක් මත. බොරුවට නැවත නැවත ඒ අංශය ගොඩගන්න යනවා වෙනුවට රාජ්‍ය සේවය පෞද්ගලික කළමනාකාරීත්වයක් වෙත පවරා දීම වගේ තත්වයක් කරා උනන්දු වෙන්නයි අවශ්‍ය. තවදුරටත් රටක ජනතාව බබාකරණය කරමින් නැලවීම කරගෙන යන්න  ඕනද?

රජයේ වෛද්‍ය ප‍්‍රශ්නයේදී වුණත් රජයේ ක‍්‍රියාමාර්ග අන්තිම දියාරුයි. පර්මිට් එකක් වෙනුවෙන් තවත් විවිධාකාර දේ කියමින් ඉදිරියට එන රජයේ වෛද්‍ය වෘත්තිය මෙයාකාරයෙන් තවමින් පවත්වාගෙන යන්න  ඕන නෑ. ඒ වෙනුවට රජයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තියම වුණත් වෙනස් කර ගැනීමක් දක්වා යන්න දැන් කාලය හරි.
පහසුකම් රහිත, වහල්ලූන්ට මෙන් රෝගීන්ට සළකන රජයේ රෝහල් සේවය වෙනුවට සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීමයි කළ යුත්තෙ. ආදායම් අතින් දිළිඳු අයට නොමිලේ ලැබෙන ආකාරයකටත් අනිත් අයට මුදල් ගෙවා අනිවාර්යෙන් ලබා ගත යුතු අකාරයටත් මේ සෞඛ්‍ය රක්ෂණය නිර්මාණය කරන්න පුළුවන්. මෙතනදි ඇමරිකාව වගේ රටවල මේ ක‍්‍රමය භාවිතා කිරීමෙන් ලබාගත්ත හොඳ- නරක ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් වඩා හොඳ තත්වයක් හදාගන්න පුළුවන්.

මෙතනදි දේශීය විදේශීය සුදුසුකම්ලාභී කවර හෝ වෛද්‍යවරුන්ට වඩා දියුණු සේවාවන්, සුවපහසුකම් සහිත තරගකාරී රෝහල්වල සේවය කරන්න පුළුවන්. අධ්‍යාපනය සහ පුහුණුව අතින් අතිශය දිළිඳු මට්ටමක පවතින ලංකාවෙ වෛද්‍යකර්මය මේ විදිහට පවතින්නෙ අවශ්‍ය තරගකාරීත්වයට විවෘත නොකිරීම නිසයි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් වුණත් තත්වය මේකමයි. රජය විවෘත අවස්ථා නිර්මාණය කළ යුත්තෙ ද්විතියික අධ්‍යාපනය දක්වා විතරයි. ඉන් අනතුරුව අධ්‍යාපන ණයක් හෝ එබඳු වගකීමක් සහිත ක‍්‍රමයක් යටතේ අවශ්‍ය සියල්ලන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි තත්වයක් නිර්මාණය කිරීමයි අවශ්‍ය වෙන්නෙ. ඒ වෙනුවට දැනට පවතින වැඩවසම් ගතානුගතික ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය වෙනුවට විදේශීය පිළිගත් විශ්ව විද්‍යාල සමග අනුබද්ධිත හෝ ඊට සමගාමී තලයක පිහිටන නව විශ්ව විද්‍යාල විවෘත කිරීමේ පියවරක් දක්වා යන්න අවශ්‍යයි. ඒ වෙනුවට රජය කරන්නෙ පවතින දිළිඳු අධ්‍යාපන ක‍්‍රමයටම තවත් මුදල් වෙන් කළ බව කියන එකයි.

මේ විදිහෙ පියවරයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැන නගින එක අනිවාර්යයක්. ඒ වෙනුවෙන් ශක්තිමත් මතවාදී වෙනසක් ඇති කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙනවා. දැනට රටේ  ඕනම කාරණයක් ගැන මාධ්‍යවලින් පෙන්නන ජනතාව දිහා බලාගෙන ඉන්න. හැමකෙනෙක්ම ආණ්ඩුවෙන් කවර හෝ මට්ටමක හි`ගමනක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවට තමන් ගෙවන මිළට සරිලන සේවයක්, පහසුකම් ලබා දීමක්, අයිතිවාසිකම් ඉල්ලන දියුණු ජනතාවක් මේ රටේ නෑ. ඒ විදිහෙ ජනතාවක් නිර්මාණය වන තුරු සදා දිළින්දන්ගේ ආණ්ඩුවක් විතරයි බලයට එන්න පුළුවන්.

ආණ්ඩුව දියුණු ධනවාදී අයවැයක් වෙනුවට සුබසාධනවාදී පැවැත්මක් ආරක්ෂා කරගන්න යාමෙන් අයවැය කටේ තියන්න බැරි එකක් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. රථ වාහන තදබදයට විසඳුමක් කියන මුවාවෙන් වාහන සම්බන්ධයෙන් පනවපු බදු සහ අරක්කුවලට හිතුමතේ ගහන බදු වලින් ආණ්ඩුව ප‍්‍රකාශමාන කරන දැක්ම මොකක්ද?

ජනතාවගේ විනෝදය සහ ආශාව සීමා කරමින් ආර්ථිකය පවත්වාගෙන යාමේ එළඹුමක් යෝජනා කරන තරම් දුප්පත් තත්වයට එජාපය මෙතනදි වැටිලා තියෙනවා. රවී කරුණානායක කියන විදිහට වාහනයක් ගැනීම කියන්නෙ රටෙන් 2%ක හෝ 3%ක ජනතාවට බලපාන ප‍්‍රශ්නයක්ද? නැත්තං සමස්ත බහුතර ජනතාවක් තමන්ගෙ ජීවිතයේ දරාගෙන ඉන්න ලොකු ආශාවක්ද? ගෙයක් දොරක් වාහනයක් කියන්නෙ මේ රටේ හැම සාමාන්‍ය මනුස්සයෙක්ම බලාපොරොත්තු වෙන සුවපහසුවේ ආදර්ශ තත්වය නෙමෙයිද? වඩා ඛේදනීය වෙන්නෙ ධනවාදී යැයි සම්මත පක්ෂයකින්ම මේ සරල මිනිස් ආශාවන් අසාධාරණ ආකාරයකින් සීමා කිරීමයි.

මත්පැන් වලට පනවාපු බදුවල තත්වයත් මේ වගේමයි. මිනිස්සු සමාජ ආශ‍්‍රයන්ට පොළඹවන, වඩා සමාජශීලී කරන මෙන්ම විනෝදයෙන්, උද්දාමයෙන් තියන මත්පැන් මේ විදිහට ගණං යවන එකෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන ආදායමට වඩා සිද්ද වෙන හානිය විශාලයි. අනිවාර්යෙන්ම විශාල ජනතාවක් මේ හරහා නැවත කසිප්පු සහ බීඩි දක්වා පසුබසින්න නියමිතයි. ඒ හරහා තවත් සෞඛ්‍ය වියදම් වැඩිවෙන්න නියමිතයි.

ලෝකෙ රටවල් ශීග‍්‍රයෙන් කංසා පවා නීතිගත කරමින් යන වකවානුවක ලංකාවෙ ආණ්ඩුව ක‍්‍රියාත්මක වෙමින් තියෙන්නෙ ආපස්සටයි. අලූත් ආදායම් මාර්ග විදිහට ප‍්‍රමිතියක් සහිතව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ නිර්මාණශීලී පිළිවෙත් ගවේෂණය වෙනුවට මෛත‍්‍රීත් එකතුව ආණ්ඩුව නොදැනුවත් වයසක ප‍්‍රජාවකගේ සදාචාරයක් වෙනුවෙන් කඬේ යමින් ඉන්නවා.

මාර්ග තදබදය ගැන වුණත් වාහන සීමා කිරීමට වඩා නිර්මාණශීලී සිතා බැලීමක් කරන්න පුළුවන්. මේ තදබදය වඩා පවතින්නේ කොළඹ (හෝ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව* නිසා නගරයට ඇතුල්වෙන වාහන වලට ගාස්තු අයකිරීමක්, කාර්යාලවල කාල කළමනාකරණයේ වෙනසක් ආදී වශයෙන් විවිධ විකල්ප ක‍්‍රම උත්සාහ කිරීමත් ඒ හරහා වඩා සමාජයේ ක‍්‍රියාකාරීත්වය පුළුල් කිරීමත් ගැන ආණ්ඩුවට හිතලා බලන්න තිබුණ. අන්තර්ජාල පහසුකම් දියුණු කිරීම සහ ඒ ආශ‍්‍රිතව ලබාගත හැකි භාණ්ඩ හා සේවා හුවමාරුවක අවකාශය වැඩිදියුණු කිරීම වගේ දේවල් වුණත් ඒ ප‍්‍රශ්නයට යම් ආකාර අනාගත විසඳුම් වෙන්න පුළුවන්. ඒ වෙනුවට අන්තිම  ඕල්ඞ් ස්කූල් වර්ගයේ සිතීමකින් මේ අයවැය විසින් ජනතාවගේ ආශාව සහ විනෝදය සීමා කරමින් තියෙනවා.

ඒකෙන් මොකක්ද වෙන්න පුළුවන්? අනාරක්ෂිත හෝ නැවත පසුබසින තත්වයක් හැ`ගුනු විගස ජනතාව තමන්ගේ ‘බේසික්ස්’ වලට යනවා. නැවත පවුල් කේන්ද්‍රීය සීමිත ජීවිත පැවතුම් කරා යනවා. පරිභෝජන රටා ඇකිලෙනවා. ආර්ථිකයක් වර්ධනය වෙන්න අවශ්‍යම සමාජ ප‍්‍රබෝධය නැති වෙනවා.

යම් ආකාර බදු පැනවීම් නොකළ යුතුයි කියනවා වෙනුවට මෙතනදි මම අදහස් කරන්නෙ අසාධාරණ ලෙස රජය තමන්ගේ ආදායම් වෙනුවෙන් ජනතාව හූරගෙන කනවා කියන එකයි. අඩුම තරමෙ පහුගිය ආණ්ඩුව තමන්ගේ හයිවේ වියදම් වෙනුවෙන් හයිවේ ලොතරැුයිය වගේ ක‍්‍රමයක් හෝ උත්සාහ කර බැලූවා. අනවශ්‍ය ලෙස සහන පවත්වාගෙන යාම වෙනුවෙන් සහ ආකාර්යක්ෂම සේවා අංශ නඩත්තු කිරීම වෙනුවෙන් වියදම් කරන්න යන මුදලින් තමන්ගේ වියදම් කළමනාකරණය කළා නම් වඩා හොඳයි කියන එකයි මගේ අදහස.

අන්තිමට සිද්ද වුනේ ආණ්ඩුවට තමන් අරක කැපුවෙ නෑ, මේක කැපුවෙ නෑ කියමින් තමන්ගෙ ඇ`ග බේරා ගැනීමේ ප‍්‍රතිපත්තියකට යන්න. නැවත රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ සියලූ වරදාන ලබා දෙන්න. එතකොට ආණ්ඩුව අපේක්ෂා කරන දියුණු වෙළඳ නගර, තොරතුරු තාක්‍ෂණ කලාප ඇති කරන නව ආර්ථික සැලසුම් මේ අයවැයෙන් පිළිඹිඹු වෙන්නෙ කොහොමද?

කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ මේක නැවත ජනතාව අල්පේච්ඡුතාවයෙම හිරකරන දුර්වල බයාදු අයවැයක් විතරයි කියන එකයි. අවශ්‍යම ඇටිටියුඩ් වෙනසකට මුලපුරන්න බැරි ළ`ගම ලාබ විතරක් දකින දැක්මකුයි මේ අයවැයේ ප‍්‍රකට කාරණය වෙන්නෙ. තාර්කිකත්වය කොහොම වුණත් නිර්මාණශීලීත්වයෙන් තොර නම් ඒ විදිහෙ අයවැයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?

-චින්තන ධර්මදාස

Monday, December 7, 2015

අමරදේව - නොදකිනා සීමාව



ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලූ අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. ඒත් කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.

කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා, ඩබ් ඞී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම දක්වා ගමන ඇත්තටම අසීරු වගේම දීර්ග එකක්. අමරදේවගේ හැකියාව මුලින්ම හඳුනාගන්නෙ සුනිල් ශාන්ත. ඒත් සුනිල් ශාන්තට තිබුණු අදීන සහ මතවාදිමය ගුණය අමරදේවට පිහිටන්නෙ නෑ. ඉන්දියානු රාගධාරී සංගීතය සමග අපේ ජන සංගීතය සම්බන්ධ කිරීමේ පර්යේෂණාත්මක මෙහෙවරක් අමරදේව අතින් සිදුවුණා කියල බොහෝ දෙනෙක් වරනගන කතාව ඒ තරම් පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. අමරදේව අතින් ලංකාවෙ සංගීතය ඉන්දීය රාගධාරී සංගීතයට යටවෙනවා. ඒ ඇසුරෙන් අධිපති සංගීත කතිකාවක් ගොඩනැගෙනවා. තමන් යම් විෂයක් තුල ලත් පරිචය හරහා තමන්ගේ මූලයන් හඳුනාගනිමින් ඒවා ගැන සංවිධිත නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අමරදේව අතින් සිද්ද වෙන්නෙ අනුකාරක ප‍්‍රවේශයක් ගැනීම කියලයි මං විශ්වාස කරන්නෙ.

ප‍්‍රධානවම සංගීතඥයෙක් වේවා, කලාකරුවෙක් වේවා, තිබිය යුතු ස්වීය දාර්ශනිකත්වය අමරදේවගේ ව්‍යාපෘතිය තුල අහිමියි. උදා විදිහට පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් (මට අනුව ලංකාවේ ජාතික සංගීතඥයා විය යුත්තෙ ඔහුයි) තමන්ගේ අත්දැකීම් සහ අදහස් එක්ක රැුඩිකල් පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලට යනවා. සුනිල් ශාන්තගේ ගත්තත් ඒ සංගීත භාවිතාවෙ දේශපාලනයක් තියෙනවා. උදා විදිහට වරෙක ඉන්දීය සංගීත විශාරදයෙක් වෙතින් ගුවන් විදුලියෙ සංගීත වර්ගීකරණයක් කරන්න සූදානම් වීම නිසා සුනිල් ශාන්ත ගුවන් විදුලියෙ තමන් කරමින් සිටි රැුකියාවෙන් පවා ඉවත් වෙනවා. ඒ සරල මමත්ව හේතුවක් නිසා නෙමෙයි.

ලාංකේය සරල ගීතය ගැන විවරණයක් කිරීමට ඉන්දීය ශාස්ත‍්‍රීය සංගීතකරුවෙකුට නොහැකියි කියන තාර්කික ස්ථාවරය මතයි. ඒත් අමරදේවගේ ජීවිතය තුල ඒ විදිහෙ පෙනී සිටීම් නැහැ.

අමරදේව මං දකින විදිහට ඉතා පළල් මිනිස්සු ඇසුරු කරන්න වාසනා ගුණය තිබුණු හොඳ හ`ඩක් හිමි කෙනෙක්. මහගමසේකර, සුනිල් ශාන්ත, සරච්චන්ද්‍ර වැනි විශාල පරාසයක් තිබුණු අයගේ හෙවනැල්ල නිසා අමරදේව උවමනාවට වඩා ලොකුවට පේන්න ගන්නවා. (ඇල්බට් කියන නම ප‍්‍රසිද්ධියට බාධාවක් කියල අමරදේව කියන නම පවා දෙන්නෙ සරච්චන්ද්‍ර) ලංකාවෙ සංස්කෘතික අවකාශයෙ පවතින ගතිකයන් එක්ක මේක සිද්ද වුණු හැටි තේරුම් ගන්න ලේසියි. මතවාදිමය අතින් හෝ නිර්මාණාත්මක අතින් ස්වාධීන නොවන, වෙනස් අදහස් නොදරන අයට පහසුවෙන්ම මේ අවකාශයේ ස්ථාපිත වෙන්නත් ඉදිරියට යන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම යම් සම්ප‍්‍රදායක් රකින, ක‍්‍රමයකට අනුගත අයට මේ ගමන ඉක්මන්. අපේ අනිත් බොහොමයක් ක්‍ෂේත‍්‍රවලදි වගේම පොඩි තැනක ඉඳන් අමාරුවෙන් ඉහළ නැගි බොහෝ අයට හිමි මේ ගුණාංගයෙන් අමරදේවත් පොහොසත්.

ඔහු අතින් පර්යේෂණාත්මක සිදුවුණා කියල වියත්තු උදාහරණ කොට දක්වන බොහෝ නිර්මාණත් ඇත්තටම ප‍්‍රශ්නකාරීයි. උදා විදිහට රන් දහඩිය බිංදු බිංදු ගීතය බයිලා සංගීතය යොදා ගනිමින් කළ නිර්මාණාත්මක වෑයමක් විදිහට හඳුන්වන ගොඩක් අයගෙන් අහන්න සිද්ද වෙන්නෙ ඇත්තටම අපිට මේ ගීතයෙ බයිලා සංගීතය ඇහෙනවද කියන එකයි. හුදු ශාස්ත‍්‍රීය ආකාරයකින් ඉන්දියානු රාගධාරී සංගීතය ඇතුලෙ බයිලා ගීතය මරාදානවා ඇරෙන්න යම් සංගීතයකට හිමි ආත්මීය ගුණය අමරදේව අඳුරගෙන නොහිටි බවයි මේ ගැලපීම ඇතුලෙ ප‍්‍රකට කාරණය වෙන්නෙ.

අමරදේවට අනුව නිර්මාණයකට බලපාන ප‍්‍රධාන කාරණා තියෙන්නෙ දෙකයි. එකක් ප‍්‍රතිභාව. ඒ කියන්නෙ ගිය ආත්මභවයක ඉඳන් අරගෙන එන නිර්මාණ හැකියාව. අනික සතත අභ්‍යාසය. නිරන්තර පුහුණුව. මට අනුව මේ දෙක පිහිටියා වූ කිසි කෙනෙකුට නිර්මාණකරුවෙක් වෙන්න නම් බෑ. ගිය ආත්මභවයක ඉඳන් පොදි බැඳගෙන එන පැරණි හැකියා පොදියක් නැවත නිතර නිතර අභ්‍යාස කිරීමෙන් ඉපදෙන නිර්මාණය කොයි වගේ වෙන්න පුළුවන්ද?

විශේෂයෙන්ම මේ ඇදහීම ඇතුලෙ තියෙනවා අමරදේවගෙ ආත්මය. එයා නිර්මාණයක් දකින විඳින ආකාරය. පැරණි පවතින ක‍්‍රමයක් තුලම ගිලීයන නිර්මාණ හැකියාවකට වැඩි යමක් මේ ඇදහිල්ල ඇතුලෙ හැදෙන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්.

අමරදේවට හැකියාවක් නොතිබුණා හෝ ඔහු විසින් යම් කාර්යයක් සිද්ධ නොකළා හෝ කියනවා නෙමෙයි. විශේෂයෙන් ඔහුගේ ගීත ගණනාවක්ම මගේ ප‍්‍රියතම සිංදු අතර තියෙනවා. ඒත් ඔහු මහා සංගීතකරුවෙක් හැටියට දකින්න තරම් මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒ වෙනුවට නිර්මාණාත්මක හැකියාවක් තිබුණත් දැක්මක්, නව අර්ථයක් අහිමි කෙනෙක් පවතින සීමාව ගැන අමරදේව කියන්නෙ හොඳ නිර්ණායකයක්.

ජීවිත කාලයක් සංගීතය වෙනුවෙන් කැප කළ සුන්දර හ`ඩක් හිමි සොඳුරු මිනිසෙක් හැටියට අමරදේව ගැන මට තියෙන්නෙ ආදරයක්. ඒත් ඒ මිනිසා ඇසුරෙන් ආරක්ෂා කරන්න යන ශාස්ත‍්‍රීය, සුවච-කීකරු නිර්මාණකරන ප‍්‍රවේශය සහ ඒ නිසා යටපත් වන වඩා පුළුල් දැක්මකින් යුත් නිර්භීත කලා ව්‍යායාමයන් නිසා කිව යුත්ත විවෘතව කියන්න සිද්ද වෙනවා.

අමරදේවයන් කියන්නෙ හැකියාවෙන් පිරිපුන් නමුත් දැක්මක් අහිමි ලාංකේය සරල ගී කලාවේ පුරෝගාමියෙක් විතරයි.

(මෙයින් කිසිසේත්ම අමරදේවයන්ට සහ ඔහුගේ සංගීතය අදහන ශ‍්‍රාවකයන්ට අපහාස කිරීම අරමුණු නොකරන වගද නැවත ලියා තබමි)