Monday, December 7, 2015

අමරදේව - නොදකිනා සීමාව



ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලූ අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. ඒත් කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.

කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා, ඩබ් ඞී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම දක්වා ගමන ඇත්තටම අසීරු වගේම දීර්ග එකක්. අමරදේවගේ හැකියාව මුලින්ම හඳුනාගන්නෙ සුනිල් ශාන්ත. ඒත් සුනිල් ශාන්තට තිබුණු අදීන සහ මතවාදිමය ගුණය අමරදේවට පිහිටන්නෙ නෑ. ඉන්දියානු රාගධාරී සංගීතය සමග අපේ ජන සංගීතය සම්බන්ධ කිරීමේ පර්යේෂණාත්මක මෙහෙවරක් අමරදේව අතින් සිදුවුණා කියල බොහෝ දෙනෙක් වරනගන කතාව ඒ තරම් පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. අමරදේව අතින් ලංකාවෙ සංගීතය ඉන්දීය රාගධාරී සංගීතයට යටවෙනවා. ඒ ඇසුරෙන් අධිපති සංගීත කතිකාවක් ගොඩනැගෙනවා. තමන් යම් විෂයක් තුල ලත් පරිචය හරහා තමන්ගේ මූලයන් හඳුනාගනිමින් ඒවා ගැන සංවිධිත නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අමරදේව අතින් සිද්ද වෙන්නෙ අනුකාරක ප‍්‍රවේශයක් ගැනීම කියලයි මං විශ්වාස කරන්නෙ.

ප‍්‍රධානවම සංගීතඥයෙක් වේවා, කලාකරුවෙක් වේවා, තිබිය යුතු ස්වීය දාර්ශනිකත්වය අමරදේවගේ ව්‍යාපෘතිය තුල අහිමියි. උදා විදිහට පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් (මට අනුව ලංකාවේ ජාතික සංගීතඥයා විය යුත්තෙ ඔහුයි) තමන්ගේ අත්දැකීම් සහ අදහස් එක්ක රැුඩිකල් පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලට යනවා. සුනිල් ශාන්තගේ ගත්තත් ඒ සංගීත භාවිතාවෙ දේශපාලනයක් තියෙනවා. උදා විදිහට වරෙක ඉන්දීය සංගීත විශාරදයෙක් වෙතින් ගුවන් විදුලියෙ සංගීත වර්ගීකරණයක් කරන්න සූදානම් වීම නිසා සුනිල් ශාන්ත ගුවන් විදුලියෙ තමන් කරමින් සිටි රැුකියාවෙන් පවා ඉවත් වෙනවා. ඒ සරල මමත්ව හේතුවක් නිසා නෙමෙයි.

ලාංකේය සරල ගීතය ගැන විවරණයක් කිරීමට ඉන්දීය ශාස්ත‍්‍රීය සංගීතකරුවෙකුට නොහැකියි කියන තාර්කික ස්ථාවරය මතයි. ඒත් අමරදේවගේ ජීවිතය තුල ඒ විදිහෙ පෙනී සිටීම් නැහැ.

අමරදේව මං දකින විදිහට ඉතා පළල් මිනිස්සු ඇසුරු කරන්න වාසනා ගුණය තිබුණු හොඳ හ`ඩක් හිමි කෙනෙක්. මහගමසේකර, සුනිල් ශාන්ත, සරච්චන්ද්‍ර වැනි විශාල පරාසයක් තිබුණු අයගේ හෙවනැල්ල නිසා අමරදේව උවමනාවට වඩා ලොකුවට පේන්න ගන්නවා. (ඇල්බට් කියන නම ප‍්‍රසිද්ධියට බාධාවක් කියල අමරදේව කියන නම පවා දෙන්නෙ සරච්චන්ද්‍ර) ලංකාවෙ සංස්කෘතික අවකාශයෙ පවතින ගතිකයන් එක්ක මේක සිද්ද වුණු හැටි තේරුම් ගන්න ලේසියි. මතවාදිමය අතින් හෝ නිර්මාණාත්මක අතින් ස්වාධීන නොවන, වෙනස් අදහස් නොදරන අයට පහසුවෙන්ම මේ අවකාශයේ ස්ථාපිත වෙන්නත් ඉදිරියට යන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම යම් සම්ප‍්‍රදායක් රකින, ක‍්‍රමයකට අනුගත අයට මේ ගමන ඉක්මන්. අපේ අනිත් බොහොමයක් ක්‍ෂේත‍්‍රවලදි වගේම පොඩි තැනක ඉඳන් අමාරුවෙන් ඉහළ නැගි බොහෝ අයට හිමි මේ ගුණාංගයෙන් අමරදේවත් පොහොසත්.

ඔහු අතින් පර්යේෂණාත්මක සිදුවුණා කියල වියත්තු උදාහරණ කොට දක්වන බොහෝ නිර්මාණත් ඇත්තටම ප‍්‍රශ්නකාරීයි. උදා විදිහට රන් දහඩිය බිංදු බිංදු ගීතය බයිලා සංගීතය යොදා ගනිමින් කළ නිර්මාණාත්මක වෑයමක් විදිහට හඳුන්වන ගොඩක් අයගෙන් අහන්න සිද්ද වෙන්නෙ ඇත්තටම අපිට මේ ගීතයෙ බයිලා සංගීතය ඇහෙනවද කියන එකයි. හුදු ශාස්ත‍්‍රීය ආකාරයකින් ඉන්දියානු රාගධාරී සංගීතය ඇතුලෙ බයිලා ගීතය මරාදානවා ඇරෙන්න යම් සංගීතයකට හිමි ආත්මීය ගුණය අමරදේව අඳුරගෙන නොහිටි බවයි මේ ගැලපීම ඇතුලෙ ප‍්‍රකට කාරණය වෙන්නෙ.

අමරදේවට අනුව නිර්මාණයකට බලපාන ප‍්‍රධාන කාරණා තියෙන්නෙ දෙකයි. එකක් ප‍්‍රතිභාව. ඒ කියන්නෙ ගිය ආත්මභවයක ඉඳන් අරගෙන එන නිර්මාණ හැකියාව. අනික සතත අභ්‍යාසය. නිරන්තර පුහුණුව. මට අනුව මේ දෙක පිහිටියා වූ කිසි කෙනෙකුට නිර්මාණකරුවෙක් වෙන්න නම් බෑ. ගිය ආත්මභවයක ඉඳන් පොදි බැඳගෙන එන පැරණි හැකියා පොදියක් නැවත නිතර නිතර අභ්‍යාස කිරීමෙන් ඉපදෙන නිර්මාණය කොයි වගේ වෙන්න පුළුවන්ද?

විශේෂයෙන්ම මේ ඇදහීම ඇතුලෙ තියෙනවා අමරදේවගෙ ආත්මය. එයා නිර්මාණයක් දකින විඳින ආකාරය. පැරණි පවතින ක‍්‍රමයක් තුලම ගිලීයන නිර්මාණ හැකියාවකට වැඩි යමක් මේ ඇදහිල්ල ඇතුලෙ හැදෙන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්.

අමරදේවට හැකියාවක් නොතිබුණා හෝ ඔහු විසින් යම් කාර්යයක් සිද්ධ නොකළා හෝ කියනවා නෙමෙයි. විශේෂයෙන් ඔහුගේ ගීත ගණනාවක්ම මගේ ප‍්‍රියතම සිංදු අතර තියෙනවා. ඒත් ඔහු මහා සංගීතකරුවෙක් හැටියට දකින්න තරම් මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒ වෙනුවට නිර්මාණාත්මක හැකියාවක් තිබුණත් දැක්මක්, නව අර්ථයක් අහිමි කෙනෙක් පවතින සීමාව ගැන අමරදේව කියන්නෙ හොඳ නිර්ණායකයක්.

ජීවිත කාලයක් සංගීතය වෙනුවෙන් කැප කළ සුන්දර හ`ඩක් හිමි සොඳුරු මිනිසෙක් හැටියට අමරදේව ගැන මට තියෙන්නෙ ආදරයක්. ඒත් ඒ මිනිසා ඇසුරෙන් ආරක්ෂා කරන්න යන ශාස්ත‍්‍රීය, සුවච-කීකරු නිර්මාණකරන ප‍්‍රවේශය සහ ඒ නිසා යටපත් වන වඩා පුළුල් දැක්මකින් යුත් නිර්භීත කලා ව්‍යායාමයන් නිසා කිව යුත්ත විවෘතව කියන්න සිද්ද වෙනවා.

අමරදේවයන් කියන්නෙ හැකියාවෙන් පිරිපුන් නමුත් දැක්මක් අහිමි ලාංකේය සරල ගී කලාවේ පුරෝගාමියෙක් විතරයි.

(මෙයින් කිසිසේත්ම අමරදේවයන්ට සහ ඔහුගේ සංගීතය අදහන ශ‍්‍රාවකයන්ට අපහාස කිරීම අරමුණු නොකරන වගද නැවත ලියා තබමි)

9 comments:

  1. අමරදේවට මහා ගාන්ධර්වයා කියලා පට්ටමක් ඇමිනීමෙන් අපි කරන්නේ අපරාධයක් සහ අසාධාරනයක්. ඇත්ත‍. අමරදේව අති දක්ෂයෙක්. හැබැයි ඒ උත්තර භාරතීය රාගධාරී සංගීතය කියන කුඩා කුලකය තුල. එහෙම නම් වික්ටර්, නන්දා, අමරසිරි, සනත් වැනි අයත් ඒ හා සමාන දක්ෂයො. මහා ගාන්ධර්වයො.

    අමරදේවගේ ගී රසවල ප්‍රධාන සාධකය ඔහුට ලැබුනු විශිෂ්ඨ ගීපදවැල්. සේකර, මානවසිංහ, මඩවල, සුනිල්, කුලරත්න ආරියවංශ ආදීන්ගේ අරුත්බර ගීපදවැල් ඔහු නොගැයුවා නම් අපට අඳුනා ගත හැක්කේ අමරදේවගේ හඬෙහි ඇති පොදු, උත්තර භාරතීය සංගීතය ප්‍රගුන කල ඕනෑම කෙනෙකුට ඇති, රාගධාරී ගායන කුසලතාව නමැති සාධකය පමනයි. "මං අමරදේවගේ සිංදු වලට කැමතියි" කියන බොහෝ දෙනෙක් නොදැනුවත්වම රිෆර් කරන්නේ ඒ සොඳුරු පදවැල්වලටයි. (රාගධාරී සංගීතයේ සියුම් තැන් අඳුනාගෙන ඒ අලංකාර ආදිය රස විඳින අයත් ඉන්නවා. ඒත් මං කියන්නේ බහුතරය ගැන).

    "පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් (මට අනුව ලංකාවේ ජාතික සංගීතඥයා විය යුත්තෙ ඔහුයි)" මේ අභීත අගනා සත්‍ය ප්‍රකාශයට හිස නමා ආචාර කරනවා. ඔබ එය ලියා නොතැබුවා නම් මා අනිවාර්යයෙන්ම මෙහි ලියන්නට අදහස් කල එකක්.

    අමරදේවට ලැබුනු සම්මාන, ගෞරව පදවි, තානාන්තර ආදිය ගැනත් කිව යුත්තක් තියෙනවා. පද්ම ශ්‍රී, මැග්සේසේ ආදී මෙවන් පදවි දෙද්දී ඒ ඒ කමිටු ලංකාවෙන් ඉල්ලනවා නාමයෝජනා. අමරදේවගේ මහා හෙවනැල්ලෙන් වැහිලා ගිය බ්‍රෙන්වොෂ්ඩ් වෙච්ච සකල සිරින් පිරි සිරිලංකාවේ පඬියන්ට අමරදේවගෙන් තොර නමක් හිතා ගන්න බෑ. වෙන නමක් යෝජනා වුනත් ඉහලින් කැපිලා යනවා යවන්න ඉස්සර. ඉතින් අමරදේවටම සම්මාන ලැබෙනවා.

    තවත් එකක්. දන්න කෙනෙක් නිවැරදි කරන්න මං වැරදි නං. අමරදේවට ශාන්ති නිකේතනයේදී සම්මාන ලැබෙන්නේ වයලීන වාදනයේ හැකියාවට නේද? මං අහල තියෙන විදිහට ගායනයේ විශිෂ්ඨතාවයට නෙවෙයි. එතුමන්ගේ ගුරුතුමන් තම පුත්‍රයාට අමරදේව කියන නම තියන්නෙත් ඒ අනුවලු.

    මේ ඔක්කොම ලීවේ ටිකක් නිදහස් තාර්කික මනසින් අමරදේව කියන මහා පොදු සාධකය දෙස බලන්න කරන පෙලඹවීමක් හැටියටයි. Vyadhadeva ගේ අනර්ග පෝස්ටුව ඒකට දොර ඇරලා දුන්නා. මීට එරෙහිව රෙදි කරට ගෙන අවි අමෝරා එන්නට එතුමාගේ රසික ජනතාවට සහ විද්වතුන්ට දැන් අවස්ථාව තිබේ.

    ReplyDelete
    Replies
    1. වටිනා අදහස් ටිකක්

      Delete
    2. ඔව්. ඉන්දියාවෙදි අමරදේව සැගකෙන්නෙ විශිෂ්ඨ වයලීන වාදකයෙකු විදියට තමයි..

      Delete
    3. ඔව්. ඉන්දියාවෙදි අමරදේව සැගකෙන්නෙ විශිෂ්ඨ වයලීන වාදකයෙකු විදියට තමයි..

      Delete
  2. Dr. Premasiri Khemadasa is the only musician who unearthed (any) identity of "Sri Lankan" music. period.

    ReplyDelete
  3. රෝහණ වීරසිංහ කියන්නෙ සිංහල සංගීතයෙ ප්‍රේමනීයම තනු ටිකක් හදපු කෙනෙක්.හැබැයි සංගීතය දන්න බොහෝ දෙනෙක් කියන්නෙ ඔහු දක්ෂ තනු නිර්මාපකයෙක් මිස සංගීතවේදියෙක් නෙමෙයි කියල.කේමදාස කියන්නෙ තනු නිර්මාණය අතික්‍රමණය කරපු සංගීතවේදියෙක්.ඒ වගේ අමරදේව කියන්නෙ අති දක්ෂ ගායන ශිල්පියෙක්.එතනින් එහාට යන්න එතුමන්ට බැරි උනා .සිංහල සංගීතයේ, ගීත කලාවේ විප්ලවීය වෙනස්කම් කරපු යුග පුරුෂයන් කීප පොලක් අපිට මුණ ගැහෙනව.පළවෙනියටම සුනිල් ශාන්ත.අනන්‍ය වූ සිංහල සංගීතයක පුරෝගාමියා.ඉන් පස්සෙ කේමදාස මාස්ටර් ලාංකීය සිනමා සංගීතයක පුරෝගාමියා වගේම සිංහල සංගීතයේ තමන්ගේම අනන්‍යතාවක් හදා ගන්නව.ඊට පස්සෙ ක්ලැරන්ස් යම් සීමාවක් ඇතුලේ උනත් ලංකාවේ සංගීතයේ වෙනස්ම පිටුවක් පෙරලනව.

    ReplyDelete
  4. අවුරුදු ගණනාවකට පසුව හෝ නැවත මේ සංවාදය ඇරඹීම සතුටක්. මෙයින් අමරදේවගේ සින්දු හෝ කටහඬ හෝ හැකියාව වැනි පුද්ගලික කාරණා වෙනුවට සංගීතය ගැන වෙන සාකච්ඡාවයි වැදගත් වෙන්නේ. අමරදේව ගේ ලස්සන සින්දු අති බහුතරයක සංගීතය ඔහුගේ නෙවෙයි, ඇල්විටිගල, අල්ගම, කේමදාස අයින් කරලා බලන්න.

    ReplyDelete
  5. අමරදේවයන් ගේ සංගීත භාවිතය පිටුපසින් ඇති දර්ශනය හෝ මතවාදී පදනම තේරුම් ගත හැක්කේ සරත්චන්ද්‍ර අපේ සංගීතය පිළිබඳව දැක්වූ ආකල්ප හරහා. සරත්චන්ද්‍ර සහ ලයනල් එදිරිසිංහ සංස්කෘතික වශයෙන් හින්දුස්ථානි මහා සම්ප්‍රදාය හරසරින් පිළිගත්තා පමණක් නොව ඔවුන් ගේ මතය සහ විශ්වාසය ජාතික ප්‍රතිපත්තිය ලෙස ස්ථාපිත කිරීම ට ප්‍රබල උත්සාහයක් ගත්තා. සුනිල් සාන්ත ඉවතර විසිවී අමරදේව 'මුදුන් මල්කඩ' වෙන්නේ මේ පසුබිම උඩ. මුල් නිර්මාණය තුළ දේශීය සංගීත ලක්ෂණ යම් ප්‍රමාණයකට හෝ රැඳවීමට ඔහු ට හැකි වුනා. මානවසිංහ, සේකර, මඩවල, ඩෝල්ටන් වැනි ජනශ්‍රැතිය හොඳින් දන සිටි පද රචකයන් ගේ බලපෑම ත් මෙහෙදී උපකාර වෙන්න ඇති. නමුත් මේ නිර්මාණ පසු කලෙක නැවත පටිගත කිරීමේදී (සිංග්ලංකා) මේ ජන සංගීතයෙන් ලබා ගත් ආභාෂයන් මග හැරී හෝ යටපත් කරමින් හින්දුස්ථානිය මතු වී තිබෙන බවක් පෙනෙන්නේ . උදා - බඹරෙකු ආවයි, බිංදු බිංදු මල්, ඉරට මුවාවෙන්.

    ReplyDelete
  6. අමරදේවගේ කටහඩ අනුකරනය කරන්න පුලුවන් කීදෙනෙක් නං ඉන්නවද.
    මෙලෝ රහක් නෑ ඕයි අමරදේවගෙ සිංදු

    ReplyDelete