Tuesday, November 17, 2015

Activism is So Gay


14 වෙනිදා පස්වරු 8.30ට ෆ‍්‍රන්සුවා හොලන් (ප‍්‍රංශ ජනාධිපතිවරයා) හිටියෙ ප‍්‍රංශ ජාතික ක‍්‍රීඩාංගනයෙ ජර්මනිය එක්ක සෙල්ලම් කරන සුහද ෆුට්බෝල් තරගෙ බල බල. ඊට ටිකක් එහායින් එකපාරට ලොකු පිපුරුම් සද්ද දෙකක් ඇහුන. ආදරයේ නගරයට බෝම්බ සද්ද වැඩිය හුරු නෑ. 

ඊට පැයකට පස්සෙ ස්ටේඩියම් එකට හැතැප්ම පහකට විතර එහා කුඩා කාම්බෝජ් රේස්ටුරන්ට් එකකට එකපාර වෙඩි උන්ඩ වරුසාවක් එල්ල වුණා. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඉලක්කයක් නැතුව ඉබාගාතේ හැමෝටම වෙඩි තියන්න ගත්තා. 

මේ වෙද්දි රෙස්ටුරන්ට් එකට දකුනට වෙන්න පිහිටි බැටැක්ලෑන් තියටර් එකේ ‘ඊගල්ස් ඔෆ් ඩෙත් මෙට්ල්’ ඇමරිකානු සංගීත කණ්ඩායම ප්ලේ කරමිනුයි ඉන්නෙ.  එතනටත් මේ විදිහටම තුවක්කුකාරයො පිරිසක් කඩා පනිනවා. හිතුමතේ සංගීත රසිකයන්ට වෙඩි තැබීමෙන් නොනැවතුණු ත‍්‍රස්තවාදීන් තත්වය වඩාත් බැරූරුම් කරමින් 60-100ත් අතර පිරිසක් තියටර් එක ඇතුලෙ හිර කරල තියාගන්නවා. 

මේ අතරෙ හොලන් ආරක්‍ෂා සහිතව ස්ටේඩියම් එකෙන් පිටව ගියා. මියගිය ගණන මේ වෙද්දි 40ට වැඩියි.. හොලන් වහාම හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරන්න පියවර ගත්තා. එතකොටම වගේ ඇමරිකාවෙ ඉඳන් බරක් ඔබාමා ප‍්‍රකාශයක් නිකුත් කළා.

‘ත‍්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහි මේ සටනේදී අපි ඔවුන් සමගයි’ ඔබාමා ඒ වෙලාවෙ අවශ්‍යව තිබුණු මෝරල් සපෝර්ට් එක දුන්නා.

ස්ටේඩියම් එක ආසන්නයේ සිදුවූ පිපුරම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් සිදුවුනා කියල ප‍්‍රංශ පොලිසිය මේ වෙද්දි හරියටම තහවුරු කර ගත්තා. අඩුම තරමෙ එතන තුන්දෙනෙක් වත් මිය යන්න ඇති.
? 11.30 වෙද්දි ප‍්‍රංශ ආරක්‍ෂක හමුදා බැටැක්ලෑන් තියටර් එකට කඩා පනිනවා. එතනදි ත‍්‍රස්තවාදීන් දෙදෙනෙක් මැරුම් කනවා.
ඒ වෙද්දි බැටැක්ලෑන් තියටර් එක ඇතුලෙ ත‍්‍රස්තවාදීන් විසින් නිරායුධ මිනිස්සුන්ට බෝම්බ ගසමින් 100ට ආසන්න ප‍්‍රමාණයක් මරා දාලා.  (පස්සෙ මේ ප‍්‍රමාණය 80ක් බව තහවුරු වුණා). මේ ත‍්‍රස්තවාදීනුත් මරාගෙන මැරෙන බෝම්බ පැළඳ සිටි බවත් පොලිසිය තියටර් එක ඇතුලට කඩා වැදීමත් සමගම ඔවුන් මේ බෝම්බ පුපුරවා හරිමින් දිවි නසාගත් බවත් පස්සෙ එලිදරවු වුණා.

තියටර් එක ඇතුලට එන්න කලින් මේ ත‍්‍රස්තවාදීන් විසින් අවට ගොඩනැගිලි බිත්ති ස්පේ‍්‍ර කළා වගේ වෙඩි උන්ඩ වලින් සිදුරු කරලා.

‘අපි මේ සටනට නායකත්වය දෙනවා. අපි අනුකම්පා විරහිතව මේ සටන මෙහෙයවනවා’
120ට ආසන්න ප‍්‍රමාණයක් ජනතාව මිය ගිය සංවේගයෙන් ප‍්‍රංශ ජනාධිපති හොලන් ජාතිය අමතා ප‍්‍රකාශ කළා.
ලෝකෙම නායකයො මේ ප‍්‍රහාරය ගැන තමන්ගේ සංවේගය පළ කරනවා. මහින්ද රාජපක්ෂත් මේක හෙලා දකින අතරෙ ‘අපි විඳපු වේදනාව දැන් ඒ ගොල්ලොන්ටත් තේරෙනවා ඇති’ කියල ජනාධිපති පුටුව ළ`ග හිටගෙන හිටපු කෙනෙකුටවත් තරම් නොවෙන ප‍්‍රකාශයක් කරනවා. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ශිෂ්ටත්වය සහ සංස්කෘතිය විශ්වාස කරන ලෝක ජනතාවම මේ සිද්ධියෙන් කැළඹෙනවා. මුලූ ෆේස්බුක් එකම ප‍්‍රංශ කොඩියෙ පාට වලින් පිරෙනවා.

ලංකාවෙ කට්ටියත් තම තමන්ගෙ ප්‍රොෆයිල් පිංතූර හැකි පමණින් මේ කොඩියෙ පාටට වෙනස් කර ගන්නවා. 
මේ ප‍්‍රහාරයත් එක්ක ලෝකෙම එකපාර රැුල්ලක් විදිහට ඇතිවුණු මේ ප‍්‍රතිචාර දැක්වීම් කාණ්ඩ 04ට වර්ග කරගන්න පුළුවන්. 

1. ප‍්‍රංශයට සහයෝගය දක්වමින් පළවෙන ප‍්‍රතිචාර
2. මුංට අමාරු ප‍්‍රංසෙට මොකුත් වුනොත් විතරයි කියන වර්ගයේ ප‍්‍රතිචාර
3. නැවත එහෙම කියන උන්ට බනින ප‍්‍රතිචාර
4. මේ වෙලාවෙදි අපි ලෝක සාමයක් වෙනුවෙන් යාඥා කළ යුතුයි කියන වර්ගයේ ප‍්‍රතිචාර

මේ කිසි විදිහක ප‍්‍රතිචාර දැක්වීමක් වැරදි නෑ, ලෝකෙ පුරාම මේ සිදුවීමේ මාධ්‍ය ප‍්‍රචාර හරහා දැවැන්ත එම්පති රැල්ලක් නිර්මාණය කරනවා. බේරුට් වලදි, සිරියාවෙදි වුණා වගේම. පක්ෂව හෝ විපක්ෂව. ඒ අතරෙ කවුරුත් අමතක කරන කාරණය වෙන්නෙ මේ එම්පතිය නිර්මාණය කරන්නෙ එක්කො බටහිර මාධ්‍ය විසින් නැත්තං ත‍්‍රස්තවාදීන් විසින් කියන එක. කිසි දවසක ලෝකෙ ගැන වගේ වගක් නැති අපිට මේ දේවල් දනවන්න එක්කො බටහිර මාධ්‍ය මැදිහත් වෙන්න  ඕන නැත්තං ත‍්‍රස්තවාදියෙක් මැදිහත් වෙන්න  ඕන.

ඒ කියන්නෙ මේ විදිහෙ නව පන්නයේ ඇක්ටිවිසම් අවුල්ද? මට හිතෙන්නෙ ඔව් සහ නැහැ කියන දෙකම උත්තර වෙන්න  ඕන. එක පැත්තකින් ඩිස්රප්ටිව් (බලහත්කාරයෙන් කඩා පනිමින්) විදිහට මේ අවධානය ඩැහැ ගැනීම සහ උනන්දුව ඇති කිරීම, පෙලගැස්වීම අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒත් මේ හරහා ඇත්ත කාරණා වෙතට අවධානය යොමු වෙනවද, නැත්තං නිකම්ම ‘අපිත් හරි සංවේදීයි’ කියන සෙල්ෆ් රයිටුවස් තත්වයක් (ස්ව සාධාරනීකරණයක්) සම්පූර්ණ කරනවද කියන එක ගැටළුකාරීයි. මෑතක ඉඳන් ඇතිවෙන හැම නව ඇක්ටිවිස්ට් රැුල්ලක්ම සැබෑ මූලයන් මගහරිමින් වෙනම මානසික නාසිස්මික තත්ව තෘප්තිමත් කිරීමේ අවදානමකට ලක්වෙමින් තිවෙනවා.

උදා විදිහට ප‍්‍රංශයෙ මේ ඇතිවෙලා තියෙන්නෙ යුද්දයක් වග තේරුම් ගන්න  ඕන. මේ වෙද්දි හොලන් පවා මේක ප‍්‍රකාශ කරනවා. ඒත් මේක තවදුරටත් රටක් හෝ භෞතික භූමියක් කේන්ද්‍ර කර ගත්ත යුද්දයක් නෙමෙයි. ඩිජිටල් අවදියත් එක්ක යුද්ද පවා පාර-භෞතික තැනකට ගමන් කරනවා.  මෙතන සිද්ද වෙන්නෙ අයිඩියොලොජිකල් යුද්දයක්. භෞතික තලයෙ වෙන්නෙ සුලූ ප‍්‍රකාශ වීම් විතරයි. අපේ රටේ බෝම්බ පුපුරපු කාලෙත් එක්ක මේ තත්වය සංසන්දනය කරන්න හදන දූපත් හිතන්නන්ට නොතේරෙන කොටස මේක. අපේ රටේ සිද්ද වුනෙ ප‍්‍රාථමික බිම් ප‍්‍රශ්නයක් කේන්ද්‍ර කර ගත්ත යුද්දයක්. මේ මොහොතෙ බටහිර සිද්ද වෙමින් තියෙන්නෙ ඒකට කොහෙත්ම සාපේක්‍ෂ කළ හැකි නොහැකි ලෝකයේ ප‍්‍රධාන මතවාදයන් දෙකක් අතර සටනක්.  

අයිඩියොලොජිකල් වෝර් එකකට භෞතික යුද්දයකදි පාවිච්චි කරන මෙවලම් වලින් ඒ තරම් වැඩක් වෙන්නෙ නෑ. මං විශ්වාස කරනවා ප‍්‍රංශය සහ අනෙකුත් බටහිර රටවලට මේ අවබෝධය වඩා හොඳින් ඇති කියල. මේ යුද්දය ජයගන්න වෙන්නෙ මතවාදිමය තලයකයි. එතනදි ප‍්‍රධාන සටන් බිම වෙන්නෙ සයිබර් අවකාශයයි. මේ වෙද්දිත් ‘අනොනිමස්’ නමින් ලෝක හැකර්වරුන්ගේ ජාලයක් මේ ප‍්‍රහාරයට වගකිව යුතු අයිඑස්අයිඑස් කණ්ඩායමට තර්ජනය කරනවා. 

‘යුද්දය පටන් ගත්තා. සූදානමින් ඉන්න’ ඔවුන් ගයිෆෝක්ස් වෙස්මුහුණු පැළඳ ත‍්‍රස්තවාදයට අභියෝග කරනවා. දැවැන්ත සයිබර් යුද්දයක් ඉදිරියෙදි ඇතිවෙන්න නියමිතයි. 

ප‍්‍රංශයෙ මේ අයිඑස්අයිඑස් ප‍්‍රහාරය හරි මතවාදිමය තැනට කේන්ද්‍ර කර ගත යුතුයි. භෞතික ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමේ මාර්ග වෙනුවට මතවාදිමය ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමට වැඩි සවිඥාණක බවක් උවමනා වෙනවා. මේක හොඳටම පාවිච්චි වුණා ප‍්‍රංශයෙම චාලි හෙබ්ඩො පුවත්පතට එල්ල කරපු ප‍්‍රහාරයෙදි. එතනදි ඇතිවුණු ‘ජ ෂුයි චාලි’ (මම තමයි චාලි) කියන කැම්පේන් එක ඉතා දියුණු උත්තර දීමක්. සටන ඇතිවුනේ මුස්ලිම් අන්තවාදීන්ට හෝ ත‍්‍රස්තවාදීන්ට විරුද්දව නෙමෙයි. ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන්. ආයුධ සන්නද්ධ බලපෑම් වලින් නිදහස වෙනුවෙන්. චාලි හෙබ්ඩො කාර්යාලෙ ඝාතනය කරන මිනිස්සු 11 දෙනා මුල් කරගත් ඒ සටන සටන් කළ යුතු දිශාව හරියටම සළකුණු කළා. මිලියන ගණන් ලෝක ජනතාව සමග ලෝක නායකයො එකපෙලට හිටගත්තා. චාලි හෙබ්ඩො පුවත්පතේ කාටුනය වුනේ ප්‍රොෆට් මොහොමඞ්  ‘ජ ෂුයි චාලි’ පෝස්ටරයක් උස්සන් ඉන්න එකක්. 

‘සියල්ලට සමාව දෙනු ලැබේ’  හෙබ්ඩො තමන්ව ඝාතනය කළ ත‍්‍රස්තවාදීන්ට කිව්වෙ ඒකයි. නමුත් අද ප‍්‍රංශ ‘රාජ්‍යයට’ මේ ප‍්‍රශ්නය ඒ දියුුණු තැනින් ගන්න බැරි ලකුණු තමයි පහල වෙමින් තියෙන්නෙ. මේක ප‍්‍රංශයට එල්ල කරපු ප‍්‍රහාරයක් නෙමෙයි. ඒකයි නිවැරදි කරගන්න  ඕන තැන.

ලෝකය ප‍්‍රධාන කඳවුරු දෙකකට බෙදෙන මේ වෙලාවෙදි මුලූ ලෝකයම අල්ලා දෙවියන්ගෙ අණසකට යටත් කළ යුතුයි කියන, මෙතෙක් වර්ධනය වුණු සමාජ සංස්කෘතික සභ්‍යත්වයන් නොතකා අතීත ම්ලේච්ඡුත්වයන් යළි කැඳවන කඳවුරට ප‍්‍රතිපක්ෂව නිදහස, අයිතිය හා සාමානාත්මතාවය අදහන සභ්‍යත්ව කඳවුර දිනවිය යුතුයි කියන එක ගැන කතා දෙකක් නෑ. එතනදි සයිබර් අවකාශය ඇතුලෙ සමාජ ක‍්‍රියාකාරිකයන්ට පැවරෙන වැඩ කොටස විශාල වන වගත් අවිවාදිතයි. 

ඒත් වයිරල් ඇක්ටිවිසම් හරහා දැන් සිද්ද වෙමින් තියෙන්නෙ මේකද? මේ වෙද්දිත් ෆේස්බුක් සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිරෙන්නෙ ප‍්‍රංශය කියන රට වෙනුවෙන් මාධ්‍ය විසින් උපද්දපු මතුපිට සංවේගයක් හරහා තමන්ගේ අනන්‍යතාවය ලකුණු කිරීමක් විතරයි. 

කොඩියෙ පාටින් ප්‍රොෆයිල් පිංතූරය මාරු කිරීම වගේ දෙයක් හරහා ක‍්‍රියාත්මක වෙන ඇක්ටිවිසම් වැඩකරන්නෙ ඉතාම මතුපිට තලයක වගේම වෙනත් සමාජ රෝගයක් හරහායි. ඒක සමාජ වෙනසක් වෙනුවෙන් කොහෙත්ම දැනුවත් සහභාගිත්වයක් ඇති කරන්න උදව් වෙන තත්වයක් නෙමෙයි. බොත්තමක් තදකිරීමෙන් තමන්ගෙ ස්ව-යුක්තිකරන හැ`ගීම තෘප්තිමත් කරගන්නවට  එපිටින් අවශ්‍ය කාරණය වෙනුවෙන් සමාජ මැදිහත් වීමක් මෙතන නෑ. 

තමන් පෙනී ඉන්න අරමුණ, ඒ හා සම්බන්ද අනෙකුත් ගැටළු, ඒ වෙනුවෙන් වැඩපිලිවෙල වගේ දේවල් ගැන සිතා බැලීමක්, සංවාදයක් නැතිව හුදු අවධානය ගැනීම වෙනුවෙන්ම ක‍්‍රියාත්මක වෙන ඇක්ටිවිසම් කියන්නෙ අවසාන අර්තයෙදි උන්මාදයන් විතරයි.

මේ විදිහෙ ගැඹුරක් හෝ පතුලක් නැති ඇක්ටිවිසම් ගැන එලි රොත් හොඳ විවේචනයක් ගේනවා  ‘ග‍්‍රීන් ඉන්ෆර්නො’ හරහා. ඇමසන් වනාන්තරේ ගස් කැපීමට විරුද්දව පෙළ ගැහෙන විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඒ වනාන්තරේ මිනීමස් කන ගෝත‍්‍රිකයන්ට අහුවෙලා ආහාර වෙලා යනවා. ඒ අතරෙ හැම ඇක්ටිවිසම් එකක් එක්කම සම්බන්ද යටිපෙලේ වෙළඳ උවමනාවන් සහ ආත්මාර්ථකාමී බලකාමී අදහස් එලිදරව් වෙන්න ගන්නවා.

අලූත් ඩිජිටල් මාධ්‍ය හරහා හැමතැනම ඇතිවෙමින් තියෙන ‘තමන් වෙත අවධානය ලබා ගැනීමේ’ පටු උවමනාව වෙනුවෙන් පමණක් පෙළගැහෙන ඇක්ටිවිසම් ගැන සරල බී මූවි එක්ක හරහා තියුණු ප‍්‍රශ්න කිරීමක් කරනවා.

ඒත් අපි එලි රොත් වගේ අයගෙ චිත‍්‍රපටි සීරියස් විදිහට බාර ගන්නෙ නෑ. අපි එහෙම කියවන්නෙ දාර්ශනික යුරෝපීය සිනමාව විතරයි. 

මෙ විදිහෙ හුදු ප‍්‍රචාරකවාදී ‘ඇක්ටිවිසම් කියන්නෙ ගොඩක් ‘ගේ’ වැඩක්’ කියල එයා චිත‍්‍රපටිය ඇතුලෙ ගානකට නොදැනී විවේචනය කරනවා. එක පැත්තකින් ‘ගේ’ පිරිස් තමන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙන ගිය නූතන අරගලය සමග එලි රොත් සියලූ නූතන සමාජ ක‍්‍රියාකාරකම් මෙතනදි සමපාත කරනවා. ‘ගේ’ කියන අදහස විෂම ලිංගික සමස්ත සමාජ සිතීමක් වෙනස් කරන තැනකට ගමන් කරනවා වෙනුවට අන්තිමට ඒක ෆැෂන් එකක් වුණා. කොටින්ම කලින් ඊට විරුද්දව හිටපු හිලරි ක්ලින්ටන් පවා එකපාරටම ‘ගේ’ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ගත්තා. ඒ වෙනුවෙන් පෙළගැහුණු යම් ඩිස්රප්ටිව් වැඩ නරකයි කියන එක නෙමෙයි මගේ අදහස. නමුත් ඒ සියල්ල කලින් සඳහන් කළා වගේ ස්ව-යුක්තිකාමී තෘප්තියකින් කෙලවර වුණා. කතිකාව ඇත්ත කාරණය දක්වා අරගෙන යන්න ඒ සටනට බැරි වුණා. සමාජයේ අධිපති විෂම ලිංගික සිතීමට අභියෝග කරනවා වෙනුවට සමලිංගික අයිතිය පිළිගැනීම විෂම ලිංගික ෆැෂන් එකක් වුණා. එතනින් එහාට මොකක්ද වෙන්නෙ?

‘‘චිත‍්‍රපටියෙ තේමාව වෙන්නෙම අපේ සමාජ ක‍්‍රියාකාරීන් කියන පිරිස් ඔවුන් කිසිසේත් නොදන්නා කාරණා වෙනුවෙන් මැදිහත් වෙමින් ඒවා ඔවුන් සඳහන් කරන නියම හේතුව වෙනුවට වෙනත් පටු පරමාර්ථයන් වෙනුවෙන් යොදා ගැනීම.

මේක ‘ඔකියුපයි’ ක‍්‍රියාකාරිත්වයෙදිත් හොඳටම කැපී පෙණුනා. හැමෝම හිතුවෙ මේක සංස්කෘතියෙ වැදගත්ම සංධිස්ථානයක් වෙයි කියල. මගේ නෑදෑයෙකුත් හිටියා විශ්ව විද්‍යාලෙන් උපාධිය අරගත්ත. එයා වෙන කිසි රස්සාවක් හෝ වැඩක් නොකර ඔකියුපයි වලට සෙට් වෙලා හිටියෙ. මට හිතාගන්න බැරි වුණා මේ යකාට බැංකුවක් විසින් කරපු අවුල මොකක්ද කියල. නැත්තං මෙයාට ඒ ගැන වැටහීමක් හෝ හැ`ගීමක් එන්නෙ කොහොමද කියල. පස්සෙ මට තේරුණා එයා එතන ඉන්නෙ එයාගෙ යාලූවො සහ එයා කැමති ගෑණු ළමයි හින්ද වග. ඔකියුපයි වලට යන එක ෆන් වැඩක් වුණා.

කෝනි 2012 පටන් ගත්ත ගමන් වුනෙත් මේකමයි. (ජෝසෆ් කෝනි නම් ළමා සොල්දාදුවන් බඳවා ගනිමින් යුද්ධ කරපු අප‍්‍රිකානු සන්නද්ධ නායකයා) ට්විටර් ටයිම් ලයින් මේ පණිවුඩ වලින් පිරුණ. ‘ඇයි ඔයා මේ ගැන ට්විට් නොකලෙ? ඔයා ළමා සොල්දාදුවන් ගැන තකන්නෙ නැද්ද? මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ? හැමෝම තමන් නිවැරදි වීමේ ආශාවකින් පෙලූන. ඊට මාසෙකට පස්සෙ ‘ෆ‍්‍රී පුසි රයොට්’ එක. එතකොට මිනිස්සු අහනවා, ‘ඔයාට මොකද වෙලා තියෙන්නෙ?’ ‘අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ගැන ඔයාට තකන්නෙ නැද්ද?’ ‘ඔයා කතා කිරීමේ නිදහසට විරුද්ද කෙනෙක් වෙන්න  ඕන’ ‘ඔයා පුටින්ට පක්ෂද?’. ඔන්න ඊට පස්සෙ එනවා ‘බි‍්‍රන්ග් බැක් අවර් ගර්ල්ස්’. ‘බොකො හේරම් එක ගැන ඔයාට ප‍්‍රශ්නයක් නැද්ද?’ ‘මේ කෙල්ලන්ට මොකද වෙන්නෙ?’ ‘ඔයා හොලිවුඞ් ඈස්හෝල් කෙනෙක්’ ‘මේ ගැන ට්විට් එකක් නොදා හිටියෙ කොහොමද?’

හැමෝම ට්විට් කරනවා, හෑෂ් ටැග් කරනවා මොකද කාටවත්  ඕන නෑ කොන් වෙන්න. කාටවත්  ඕන නෑ තමන් ලෝකෙ ප‍්‍රශ්න ගැන උනන්දු නැති අසංවේදී කෙනෙක් කියල පෙන්නන්න. ටයිගර් ෂාර්ක් හම්බුනාට පස්සෙත් මිනිස්සු ‘ෂාක්ලයිව්ස්මැටර්’ කියල ඔන්න පටන් ගත්ත. ඊට පස්සෙ අයිස් බකට් චැලෙන්ජ්. ‘ඒඑල්එස්’ රෝගීන්ට ආධාර කරන්න කියල පටන් ගත්ත ඒක අන්තිමට කෙලවර වුනේ තමන් නාන ඇඳුමෙන් කොච්චර ලස්සනද කියල පෙන්නන්න කරන තරගෙකින්. 

‘මේ බලන්න මාත් ඒඑල්එස් එකට උදව් කරනවා’ එයාගෙ බිකිනිය තමයි වැඩියෙන්ම පේන්නෙ. ‘බලන්න මට ලැබිලා තියෙන ලයික්ස් ගොඩ’ හැමෝම ඒක කරන්නෙ තමන් දිහාවට අවධානය ගන්න. 
මේක තමයි මේ අලූත් සමාජ යුක්ති ක‍්‍රියාකාරිකයන් ඇති කළ සංස්කෘතිය. මේ කිසි දෙයක් ඇත්ත හේතුව වෙනුවෙන් නෙමෙයි. ඒ හේතුව හරහා තමන්ට අවධානය ගන්නයි’’
-එලි රොත්

ලංකාවෙදි නම් ගොඩක් වෙලාවට වෙන්නෙ ලෝකෙ මේ විදිහට පටන් ගන්න මොකක් හෝ රැුල්ලක ගහගෙන යන එකයි. ඉඳහිටලා  ක‍්‍රියාත්මක වෙන වයිරල් වැඩ වුනත් මේ බොළඳ සීමාව ඉක්මවා යන්නෙ නෑ. 
මේ ඇති කරන අවධානය ඩැහැගැනීමේ ක‍්‍රියාකාරකම අවුලක් නෙමෙයි. ඒත් අන්තිමට කොහෙත්ම ඒ හේතුවට අදාල නැති විදිහට වෙනත් පුද්ගලික ත‍්‍රිල් එකකින් වැඬේ කෙලවර වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන වෙනස හෝ  අවශ්‍ය ‘එම්පතිය’ ගොඩනැගෙන්නෙ නෑ. 

මේ ඇක්ටිවිසම් වල තියෙන ඩිස්රප්ටිව් කොටසට වඩා එහි සැබෑ හේතුව වෙනුවෙන් කතිකාවක්, සාවධාන වීමක් අවශ්‍ය වෙනවා. සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් නොතකා හරින අමාරු කොටස වෙන්නෙත් මේක. තමන්ගේ ප‍්‍රතිචාරය හෝ යමක් හරහා අවධානය දිනාගැනීමෙන් ඔවුන්ගේ වැඩකොටස නිමා වෙනවා. අර්බුදයේ ගැඹුරු තැන් හොයාගෙන යන්න, විවිධ පැතිකඩ හරහා සමාජ වෙනසක් ඇති කරන්න මේ ක‍්‍රියාකාරීත්වයන් වැඩ කරන්නෙ හෝ ඒ ගැන දැනුවත් බවක් හෝ නෑ. 

ලංකාවෙ මුල්බැහැගෙන තියෙන පරණ වමේ ඇක්ටිවිසම් වලට වඩා නම් මේ මොකක් වුණත් ඉදිරි පියවරක් වග කියන්න  ඕන. වයිරල් මාධ්‍ය හරහා ක‍්‍රියාත්මක මේ විදිහෙ හැම ක‍්‍රියාකාරීත්වයක්ම පාහේ ලංකාවෙ හැටියට ප‍්‍රගතිශීලී, ධනාත්මක ඒවා. ඒත් මේ වයිරල් ක‍්‍රියාකාරීත්වයන් හරහා සැබෑ අරමුණු ආමන්ත‍්‍රණය වෙනවද කියන දරුණු ප‍්‍රශ්නෙ අද ලෝකෙ ඉස්සරහ තියෙනවා. අනිවාර්යෙන්ම සයිබර් මැදිහත්වීම් හරහා මුහුණ දිය යුතු අයිඑස්අයිඑස් වර්ගයේ මතවාදී සටන්වලදි මේ ක‍්‍රියාකාරීත්වයන්ගෙ සවිඥාණක භාවිතාවක් ඉල්ලා සිටිනවා. අවශ්‍ය කාරණය වෙනුවෙන් සියල්ල යොමු විය යුතු දිශාව ගැන දැනුවත් බවකින් යුතුව ‘පොප්’ එකට බාහිර කතිකාවකින්ද සන්නද්ධව මේ ක‍්‍රියාකාරීත්වයන් නිර්මාණය විය යුතුයි.

සරලව කියනවා නම් නව සමාජ යුක්ති ක‍්‍රියාකාරකම් (ඇක්ටිවිසම්) පෙර පාසැල් අවධිය ඉක්මවා වැඩිය යුතුයි.

(special thanks to stefan sebestian)