Saturday, November 30, 2013

V for Vendetta හෙවත් ඩයිනසෝරයන්ගේ අවසානය

මේ ලිපිය කොහොම පටන් අරගෙන කොහොම ලියාගෙන යන්නද කියල තාම මං ඉන්නෙ පැටළිල්ලක. සමහර වෙලාවට විෂයක්ම ලිපියකින් කියන්න වුණාම මේ අවුල එනවා. සාරාංශගත කරනවා කියන එක හැමදාම මං පේල් වැඩක්. අනිත් පැත්තට ඒ ලියමනට මගේ ඇතුලෙ තියෙන නිමිත්ත නැත්තං මාව ඒකට පොළඹවපු කාරනේ හරියට නිශ්චිතව කොලයක් උඩට දාගන්න බැරි කම. ඒ නිමිත්ත නැතුව කතාව කියාගෙන ගියොත් ඒක මළ වාක්‍ය රචනාවක් වෙනවා. ඒක හින්දම මේ ලියමන අරාජික ලියමනක් වෙයි. අදහස් සංවිධානයක් නැති, ආකෘතියේ අධිකාරියක් නැති ඔහේ වාක්‍යයෙන් වාක්‍යයට තනි තේරුම් හදන සමස්තයක්. ඒත් මොකක් හරි තේමාවක්, හැඩයක් ඒ සමස්තය විසින් නිර්මාණය කර ගනීවි. ඒක මේක ලියන මට තීරණය කරන්න බැරි එකක්.

ඇනාකිස්ම් (අරාජිකවාදය) ගැන මං හිතන්න උනන්දු වුනේ හරියටම කොහොමද කියල මතක නෑ. ඇනාකිස්ම් කියන ඉංගී‍්‍රසි වචනෙ තියෙන අදහස මට අරාජිකවාදය කියන සිංහල වචනෙන් දැනෙන්නෙ නෑ. ඒක නිකං පාරාජිකාවක් වගේ සද්ද වෙන්නෙ. ඒ හින්දම මං ඇනාකිස්ම් කියන ඉංග‍්‍රීසි වචනෙන් කතාව කරගෙන යන්නං. 

දවසක් අපි කීපදෙනෙක් ලංකාවෙ ඉතිහාසෙ ගැන කතා කරගෙන ගියා. දත්තමය ඉතිහාසයක් ගැන මගේ මතකෙ කරුණු අඩු හින්ද මං කතා කළේම ප‍්‍රබන්ධමය ඉතිහාසයක් ගැන. ඒත් යම් සංකීර්ණ සවිඥාණක අවිඥාණක ධාරාවන්, විශේෂයෙන්ම දත්තමය ඉතිහාසයකට වඩා පුළුල් කාරණාවන් ප‍්‍රබන්ධමය ඉතිහාසයක තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ. මහා වංශය කියන්නෙත් මහා සිංහලයේ වංශකතාව වගේම අතීත ප‍්‍රබන්ධයක් විතරයි. කොහොමටත් මිනිහා කියන සතාට තමන් දකින දේ ඒ විදිහටම නිශ්චිතව වාර්තා කරන්න බැරි වෙනවා. ඒකට එයාගෙ දෘෂ්ටිවාදයක්, නැත්තං අර්ථ කතනයක් එනවමයි. 

‘වී ෆෝ වැන්ඩෙටා’, ‘වොච්මෙන්’ වගේ කොමික් කතා ලියපු හරියටම කොමික් පොත් කලාවෙ ගෝඞ් ෆාදර් වගේ වුණු ඇලන් මුවර් මේ ගැන ලස්සන කතාවක් කියනවා.

‘ඔන්න ඉස්සර ස්වභාවවේදියො සත්තු ගැන අධ්‍යනය කරනවා. ඔන්න මේ සතා නම් ඇල්ෆා මේල්. අනිවාර්යෙන්ම මෙයා තමයි මේ කණ්ඩායමේ නායකයා. පස්සෙ කරපු පර්යේෂණ වලින් හොයා ගත්තා මේ සත්තු සම්බන්ධ කාරනේකට වඩා අර ස්වභාවවේදීන් විසින් සත්තු මත ආරෝපණය කරන තමන්ගේ දෘෂ්ටිය කියන එක. ඇත්ත, ඒ කන්ඩායමේ ශක්තියෙන් වැඩි, හැඩිදැඩියෙක් ඉන්න පුළුවන්. සටන් වලදී ඒ හැඩිදැඩියා ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් කන්ඩායමේ ඇත්තට නායකත්වය තියෙන්නෙ පිටිපස්සෙ ඉන්න ගැහැණු සතෙකුට වෙන්න පුළුවන්. හැම ගැටුමකදිම හැමෝම ගොනුවෙන්නෙ ඒ ගැහැණු සතා වටේ වෙන්න පුළුවන්’
-ඇලන් මුවර්

ඇලන් මුවර් මේක කියන්නෙ නායකත්වය, අධිකාරිය කියන එක ස්වභාවික තත්වයක් කියන කතාව බිඳහෙලන්න. මොකද ඇනාකිස්ම් කියන්නෙම අධිකාරියක්, නායකත්වයක් නොපිළිගැනීම. නිශ්චිත අරමුණු වෙනුවෙන් එක්ව පෙළගැහෙනවට වඩා විවිධ අරමුණු රාශියක් වෙනුවෙන් විවිධ ආකාරයේ පෙළගැසීම් සමූහයක්. සමාජයක් කණ්ඩායමක් වෙනුවට නැවත තනි පුද්ගලයා විෂය කර ගැනීමක්. ඒ පුද්ගලයාගේ අවශ්‍යතා, සිතීම්, අදහස් වලට ඇහුම්කන් දීම දක්වා සමාජය සාවධාන කිරීමක්.

‘අපි නිරන්තරයෙන්ම අපේ අත්දැකීම් ප‍්‍රබන්ධකරණය කරමින් ඉන්නවා. අපි අපේ අත්දැකීම් සංස්කරණය කරනවා. ඒ හැම එකකම අපිට හරියට මතක නැති තැන් තියෙනවා. ඒ වගේම අපි හිතා මතා එඩිට් කරන කොටස් තියෙනවා. ඒවා අපිට එච්චර සෙට් වෙන්නෙ නැති හින්ද. ඉතින් අපි නිරන්තරයෙන් නැවත නැවත මේ අත්දැකීම් ලියනවා. පුද්ගලයන් විදිහටත්, ජාතීන් විදිහටත් අපි අපේ අතීතෙ නැවත ලියනවා. අවස්ථාවෙන් අවස්ථාවට අපි අතීතය ප‍්‍රබන්ධකරණය කරනවා. මේක තමයි අපේ දෛනික යතාර්ථය විදහට අපි බාර ගන්නෙ. අපි කිසි විටක යතාර්ථය අත්දකින්නෙ නෑ. අපි අත්දකින්නෙ යතාර්ථය ගැන අපේ දෘෂ්ටිය’
-ඇලන් මුවර්

මං කියාගෙන ගියේ ඇනාකිස්ම් ගැන මං උනන්දු වුණු හේතුව. අර සංවාදෙදි මං යෝජනා කළේ අනිත් අයටත් ඉතිහාසය ගැන තම තමන්ගෙ ප‍්‍රබන්ධය කියන විදිහට. එතකොට ඒ ප‍්‍රබන්ධ අතර අන්තර් සම්බන්ධතා ඔස්සේ අපිට ආයිමත් එක වඩා පරිණත ප‍්‍රබන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්.

ඒත් එතන හිටපු ඇකඩමිකයෝ ඒකට එක`ග වුනේ නෑ. උන් දත්තම ඉල්ල ඉල්ල මාව කන්න පටන් ගත්තා. එතකොට මට මතක් වුණා ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න ගිය කෝර්ස් එකකදි සුනන්ද මහේන්ද්‍ර සහ එඞ්වින් ආරියදාස අතරෙ වුනු සිද්දියක්.

මේ දෙන්නම ඇවිත් හිටියෙ එදා කෝර්ස් එක පටන් ගනිද්දි පොඩි ලල් එකක් දෙන්න. එඞ්වින් ඉතින් පුරුදු විදිහට තමන්ගේ දත්තමය කතන්දර කිය කියා ජන සන්නිවේදනය ගැන පැහැදිලි කළා. කවදත් වගේ එදත් බෝරිං. මං එච්චර කැමති නැති චරිතයක් වුණත් සුනන්ද මහේන්ද්‍ර එදා අමුතු කතාවක් කිව්වා. ‘මේ එඞ්වින් ආරියදාස ශූරීන් ඉන්නවනේ. කොම්පියුටරයක් වගේ දත්ත ගබඩාවක්. (එතකොට එඞ්වින් ආඩම්බරෙන් හිනාවෙනවා) මට ඔය දත්ත ඔක්කොම මතක නෑ. එතකොට මං කරන්නෙ එඞ්වින් ආරියදාස වගේ කොම්පියුටරයක් ඔන් කරලා මගේ දත්ත ටික අරගෙන මට  ඕන තොරතුරු නිෂ්පාදනය කරන එක’
මේක මොන අදහසකින් කිව්වද මං දන්නෙ නෑ. ඒත් දත්ත එකතු කිරීම ගැන හොඳ කතාවක් ඒක. 
ඔන්න එතනදි කෙනෙක් මට චෝදනා කළා ‘ඔයා ඇනාකිස්ට් කෙනෙක්’ කියල. මං ඒක නොපිළිගත්තත් ඒ චෝදනාව එක විදිහකට මට ඇනාකිස්ම් ගැන නැවත කියවන්න බල කළා.

දෙවෙනි කාරණේ වෙන්නෙ ‘වී ෆො වැන්ඩෙටා’ ෆිල්ම් එක ලංකාවෙ වාමාංශිකයන් බාර ගත්ත උද්යෝගය. ‘වී ෆො වැන්ඩෙටා’ ඇලන් මුවර් ලිව්වට පස්සෙ වොචොව්ස්කි සහෝදරයන් විසින් මේකෙන් හොලිවුඞ් ෆිල්ම් එකක් හදනවා. මේ ෆිල්ම් එක ලෝකෙ පුරාම දේශපාලන ක‍්‍රියාකාරීන් කරේ තියාගෙන ගියා. ලංකාවෙත් එක්ස් එක වගේම ජවිපෙත් මේ හරහා මොඩර්න් වෙස්මූණක් දාගන්න ට‍්‍රයි කළා. ඒත් මේක ලියපු ඇලන් මුවර් එයාගෙ නමවත් ෆිල්ම් එකේ දාන්න එපා කියලා එතනින් අයින් වුණා.

හේතුව චිත‍්‍රපටිය විසින් සම්පූර්ණයෙන්ම ග‍්‍රැෆික් නවල් එකේ අදහස විකෘති කිරීම. ‘වී’ කියන්නෙ ඇලන් මුවර්ට අනුව ඇනාකිස්ට් කෙනෙක්. එයා පවතින පද්ධතිය විනාශ කරන්නයි යන්නෙ. ඒකට එයා ගයි ෆෝක්ස් කියන කලින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරවන්න වෙඩි බෙහෙත් ගෙනියන්න උත්සාහ කළ කැරලිකරුවාගේ මූණ පාවිච්චි කරනවා. මේ කතාව මුවර් ලියන්නෙ මාග‍්‍රට් තැචර්ගෙ ආන්ඩුවට විරුද්දව. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට ස්ථාපිත වුණු ආඥාදායකත්වයක්. හරියට මේ වෙද්දි ලංකාවෙ වගේ. වී පුපුරවා හරින්න උත්සාහ කරන්න මේ රාජ්‍ය සංස්ථාව. ඒ වගේම වී කියන්නෙ වීරයෙක් නෙමෙයි. එයා ප‍්‍රචණ්ඩත්වයක් විතරයි. ඊළ`ග නිර්මාණය ගැන අදහසක් එයාට නෑ. එයා කරන්නෙ විනාශ කිරිම. ඇලන් මුවර් කියන්නෙ කිසි දවසක ඒ විදිහෙ ප‍්‍රචණ්ඩත්වයකින් අවශ්‍ය දේශපාලන වෙනස කරන්න බෑ කියල. ඒක හින්දම එයා කතාවෙ අන්තිමට වී මරා දානවා. අලූතෙන් බිහිවන සමාජයක වී ට කරන්න දෙයක් නෑ. 

‘මං ඇත්තටම හිතන්නෙ නෑ ප‍්‍රචණ්ඩ විප්ලවයකින් කවදාවත් සාමාන්‍ය මිනිහාගෙ ඇත්ත ප‍්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල. මං හිතන්නෙ ඒක අපි විසින් කර ගන්න  ඕන කාර්යයක්. ඒක වෙන්නෙ සමාජ පරිණාමයක් ඇතුලෙ විතරයි. කවදා හරි බටහිර සමාජය යන මග දිගේ මේක සිද්ද වේවි. ඒත් ගැටළුව තියෙන්නෙ අපිට ඒ තරං කාලයක් බලන් ඉන්න පුළුවන්ද කියන එක’
ඇලන් මුවර්

මුවර් ‘වී ෆොර් වැන්ඩෙටා’ කතාවට ගේන ‘වී’ එයා දකින්නෙ අනාගතය විදිහට නෙමෙයි. ඒත් වොචොව්ස්කි සහෝදරයො මේක වෙනස් කරනවා. ළබාලා වයසෙ ගණිකාවක් වුණු ‘ඊවි’ චිත‍්‍රපටියෙදි මාධ්‍ය ආයතනේක වැඩකරන තරුණියක් වෙනවා. ඒකාධිපති රජයක් වෙනුවට චිත‍්‍රපටියෙ තියෙන්නෙ නව කන්සවේටිව් රජයක පසුබිම. ‘වී’ ගේ ප‍්‍රචණ්ඩ අරාජිකවාදී අරගලය චිත‍්‍රපටියෙදි විමුක්තිකාමී අරගලයක් වෙනවා. ලංකාවෙ වාමාංශිකයන්ට ‘වී ෆෝර් වැන්ඩෙටා’ ත‍්‍රිල් වුනේ මේ කාරණය හින්ද. ඒක වොචොව්ස්කි සහෝදරයන් හොලිවුඞ් වලට ගලපන්න කරන මාර්කටින් කෑල්ල. ඒ හොලිවුඞ් ෆන් එකේ ත‍්‍රිල් ගත්තා මිස ඇලන් මුවර්ගේ සංකීර්ණ වී චරිතය ඇතුළට එබෙන්න කිසි වමේ සහෝදරයෙක් උනන්දු වෙන්න ඇති කියල මං හිතන්නෙ නෑ.

‘ඒ ගොල්ලොන්ට ජෝර්ජ් බුෂ්ට විරුද්දව ප්‍රොටෙස්ට් කරන්න සහ 9-11 වලින් පස්සෙ ඇමරිකාව යන විදිහට විරුද්දව ප්‍රොටෙස්ට් කරන්න  ඕන වුණා නම් (ඒක තේරුම් ගන්න පුළුවන්) ඇයි ඒ ගොල්ලො මං 1980දි කරපු දේම කළේ නැත්තෙ? මං කළේ තැචර්ගෙ ආන්ඩුව ගැන. ඒ දේවල් මගේ රටේ ඇත්තට සිද්ද වුණ දේවල්. ඒවා බලද්දි  ඕන කෙනෙකුට තේරෙනවා මං මොකක් ගැනද කතා කරන්නෙ කියල. හොලිවුඞ් වලට වී ෆොර් වැන්ඩෙටා හදන්න  ඕන වුණා කිව්වම මට හිතාගන්න බැරි වුණා. ඇමරිකානු ලිබරල්වාදීන් මේ තරම් බෙලහීනද කිසිම අවදානමක් නොගෙන තමන්ගෙ විරෝධය පෙන්නන්න යන්නෙ? ’
- ඇලන් මුවර්

සමාජවාදය ඇතුලට මේ අදහස ගන්න බැරි කාරණයක් තියෙනවා. ඇනාකිස්ම් වල කිසිම විදිහක අධිකාරියක් හෝ මධ්‍යගතවාදයක් පිළි නොගන්න එක. රාජ්‍යය කියන එක සම්පූර්ණයෙන් අහෝසි කරන තත්වයක්. සමාජය වෙනුවට පුද්ගලයා විශාල වන තර්කනයක්. කිසිම පොදුයි කියන අරමුණක් වෙනුවෙන් තමන්ගෙ පුද්ගලික අරමුණු හෝ ආශාවන් පාවා දෙන්න උවමනාවක් නෑ කියලයි ඇනාකිස්ට්ලා කියන්නෙ. ඒ තමන්ගෙ පුද්ගලික ආශාවන් සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කරන අරගලය ඇතුලෙ සමස්තය වෙනස් වෙයි කියල ඒ ගොල්ලො හිතනවා. ඒ හින්දම අපේ රතුපස්වල වතුර වගේ සමාජ ප‍්‍රශ්න එක්ක ඒ අය වැඩ කරනවා. ඒ ප‍්‍රශ්න වෙනත් දේශපාලන මතවාදයකට ඈඳන්න නෙමෙයි. ඒ වෙනුවට දැනුවත්, වඩා පරිණත, රාජ්‍යයට අභියෝග කළ හැකි පුරවැසියන් හදන්න.

බහුතරයකගේ කැමැත්ත කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට වඩා නිර්මාණශීලී සහ අනාගතවාදී අදහස් නිෂ්පාදනය කරන සුළුතරයට වැඩි වැදගත්කමක් හිමිවන ක‍්‍රමයක් ඇනාකිස්ම් ඇතුලෙ යෝජනා වෙනවා. බහුතරයක් ඇතෙුල නෑසී වැළලී යාම වෙනුවට ස්වාධීන පැවැත්මන් සහ අදහස් ඇති පුද්ගලයන් සමස්තයක් සමාජය විදිහට බාර ගන්න තරමට ඒ අදහස පුළුල්. 

මාක්ස්වාදී පක්ෂ වලට ඇලන් මුවර්ගෙ වී ගන්න බැරි වෙන ප‍්‍රශ්නෙ ඒක. එක අරමුණක් වෙනුවෙන් සංවිධානය වීම කියන පදනම ඇනාකිස්ම් ඇතුලෙ බිඳවැටෙන එක. සමාජවාදය ඇතුලෙත් නැවත නිර්මාණය කරන්නෙ රාජ්‍යයම නේද කියල ඒක ඇතුලෙන් ප‍්‍රශ්න කරන එක. තනි පුද්ගලයාට වඩා විශාල රාජ්‍යයක් ඇතුලෙ ජීවිතය පුංචි කරගන්නවට එරෙහි වීම ම ඇනාකිස්ම් කියන එක. 

රාජ්‍යයෙන් හෝ සමාජයෙන් පුද්ගලයා පාලනය හෝ හික්මවිය යුතු නෑ කියන එකයි ඇනාකිස්ට්ලගෙ අදහස. මේ හින්දම තවත් පැත්තකින් මේ නිදහස දරන්න පුළුවන් සමාජයක්  ඕන කරනවා. සවිඥාණක බවක් තියෙන, වගකීමක් දරන්න පුළුවන් වැඩිහිටි සමාජයක්. තමන්ගේ පුද්ගල පැවැත්ම තේරුම් ගත්ත, එමෙන්ම අනෙකාගේ පැවැත්මට ඒ අයුරෙන්ම ගරු කිරීමට තරම් අවබෝධයක් තියෙන පුරවැසියන් පිරිසක්. ඒකටයි අධ්‍යාපනය  ඕන. ඒ වෙනුවෙනුයි වැඩ කරන්න  ඕන.

‘අපි හෙට මේ නායකයො කියන ඔක්කොම එලියට ඇදලා අරන් වෙඩි තියලා දැම්මොත් කොහොමද? ඒක මරු අදහසක්. ඉතින් මට ඉඩ දෙන්න ඒ අදහස විසි කරන්න කලින් පොඞ්ඩක් ඒක උඩ ෆන් එකක් ගන්න. අපි එහෙම කළොත් සමාජය කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ජනතාවගෙන් බහුතරය කියන්නෙ අවුරුදු දහස් ගානක් තිස්සෙ මේ නායකත්වයක් යටතේ පාලනය වෙන්න පුරුදු කරපු පිරිසක්. ඒඅ යට ඒ අයව පාලනය කර ගන්න බෑ. පිටතින් යම් බලයක්  ඕන. එකපාරට අපි නායකයා කියන කෙනාව අයින් කළොත් මේ අය මුලූ සමාජයමත් ඇදගෙන වලට වැටෙනවා. ඒක හින්ද ඇනාර්කි කියන තත්වයේ මොනම දෙයක් හරි සිද්ද වෙන්න නම් මුලින්ම මිනිස්සුන්ව දැනුවත් කරන්න වෙනවා. ඒක ලොකුවටම කරන්න  ඕන දෙයක්. තමන් කරන ක‍්‍රියාවන්ගේ වගකීම දරන්න පුළුවන්, තමන් වඩා විශාල ප‍්‍රජාවක් අතරෙ ඉන්නවා කියන අවබෝධයක් තියෙන තත්වයක් දක්වා මේ අයට අධ්‍යාපනය දෙන්න  ඕන. රාජ්‍යය කියන එක නැතුව පවුලක්, යාලූවො ටිකක් විදිහට ලෝකෙ ජීවත් වෙන්න ඉගෙන ගන්න.’
- ඇලන් මුවර්

ඇනාකිස්ම් කියන වචනෙ එන්න ගොඩක් කලින් මේ සිතීමේ විදිහ ලෝකෙ තිබුණ. විකිපීඩියාව කියන විදිහට සමහරු ජේසුස් ක‍්‍රිස්තුස් පළවෙනි ඇනාකිස්ට් විදිහට දක්වනවා. ඒ පවතින සංස්ථාපිත ආගමට විරුද්දව එය සටන් කිරීම හින්ද. තවත් අය ලා ඕසු ඇනාකිස්ට් කෙනෙක් කියල ගේනවා. ඒ කොන්ෆියුසියස්ට සාපේක්‍ෂව ලා ඕසු ගේන අසංවිධානාත්මක බව, පැවැත්ම මූලික අදහස් හින්ද. සංස්ථාපිත ආගමිකත්වය, සදාචාරය, හෝ විනය කියන දේවල් නොපිලිගැනීමත් ඒ වෙනුවට තමන් විසින් අවබෝධ කර ගන්නා සදාචාරයක්, ආධ්‍යාත්මිකත්වයක් ඇතුලෙ ජීවිතය යලි නිර්මාණය කිරීමත් හින්ද.

ඒත් අනිත් පැත්තට බුදුන් තනිකරම සංස්ථාපිත අධිකාරිවාදයේ ගිලෙන ආගමික ශාස්තෘ කෙනෙක් වෙනවා. සියලූ රාජ්‍ය තන්ත‍්‍ර හා සමාජ නිලධරවාදයන් බාර ගනිමින් තමයි බුදුන් නිර්වාණය ගැන කියන්නෙ. ඒ විමුක්තිය පවා සංස්ථාපිත විමුක්තියක්. අෂ්ට ලෝක ධර්මය, චතුරාර්ය සත්‍යය, මේ විදිහට ඒ අවබෝධයේ පවා විධිමත් පරිපාටියක්, ආකෘතියක්, තාප්පයක් බුදුන් ගේනවා. එයා සංඝ සමාජයක් පවා හදනවා. ඒකෙ වෙනම සමූහ අර්ත නිර්මාණය කරනවා. මේ කාරණා හිතාගෙන යද්දි ඇත්තටම පේනවා බුදුන් ඒ තරම්ම ප‍්‍රගතිශීලී චරිතයක් නොවුණු වග. ඒ වගේම එයාගෙ දර්ශනය ඒ තරම්ම නිදහස් නොවෙන වග. 
‘ඇනාකිස්ම් ඇතුලෙ සංස්ථාපිත ආයතන පද්ධතිය දකින්නෙ ඩයිනසෝරයන් විදිහට. ඒ විශාලත්වය නිසාම ඩයිනසෝරයන්ගේ ගමන් වේගය අඩුයි.  ඒ නිසාම ඔවුන් වඩා වේගයෙන් මාංශ භක්ෂයන්ට ගොදුරු වෙනවා. 

ධනවාදී ක‍්‍රමයේ මේ ඩයිනසෝරයන්ට කෙළ වෙන කල් බලා ඉන්න ප‍්‍රමාණයෙන් කුඩා ඩයිනසෝරයන් විශේෂත් ඉන්නවා. ඒ මාක්ස්වාදීන් වගේ කට්ටිය. විශාල ඩයිනසෝරයන් වඳ වුණු යුගයක තමන් විශාලතමයන් වුණු යුගයක් ආරම්භ කරන්නයි ඔවුන්ගේ උවමනාව. කවදා හරි ලොකු වෙනකල් බලන් ඉන්න පොඩි ළමයි වගේ මේ ගොල්ලො අර ක‍්‍රමයම තමන් යටතට ගන්න බලන් ඉන්නවා.  මේ යෝද හෙවනැලි අතරෙ එහා මෙහා යන කුඩා උණුසුම් ජීවී සමූහ විදිහට ඇනාකිස්ට්ලා ඒ ගොල්ලො ගැන විස්තර කරන්නෙ. අවිධිමත් බව සහ කුඩා බවම ඒ අයට වාසි වෙන තත්ව. වඩා ඉක්මණින් හැඩගැසිය හැකි වීම සහ වේගවත් බව කියන කාරණා හින්දම පරිණාමය ඇතුලෙ මේ කුඩා ජීවීන් වඩා සාර්ථක පැවැත්මක් හිමි කර ගන්නවා කියල ඒ ගොල්ලො තර්ක කරනවා.’ (ඇනාර්කි ඉන්ද ඒජ් ඔෆ් ඩයිනසෝර්ස්)

දැන් මේක කතාව ලිව්ව හින්ද මං ඇනාකිස්ට් කෙනෙක් වෙන්නෙ නෑ. ඒත් සමාජය වෙනුවට පුද්ගලයා කියන බාර ගැනීම ඇතුලෙත්, අධිකාරි බලය කිව්වම සමාජයේ හැම අධිකාරියකටම (රජය, ආගම, පවුල, ස්ත‍්‍රී පුරුෂ භාවය, න්‍යායාත්මක හෝ ඇකඩමික්* එක විදිහට විරුද්ද වීමේ පුළුල්, පැවැත්ම මූලික තර්කනය නිසාත් මේ සිතීම අනිත් පටු දෘෂ්ටිවාදයන්ට වඩා පරිණතයි කියල මං හිතනවා. 

ලියන කොට කලින් හිතුවා වගේම විෂයක් ලිපියකට හරවන්න මං ගොඩක් අසමත්. අතරින් පතර කෑලි ටිකකට වඩා සංයුක්ත කිසි දෙයක් කියාගන්න බෑ. ඒත් ඒ අසංවිධානාත්මක බව ඇතුලෙ මොකක් හරි අදහසක් දත්තයකට හෝ තොරතුරකට වඩා ලොකුවට ඇඳෙන්න පුළුවන් කියල මට හිතෙනවා. ඇලන් මුවර් කියන මං ආසම ක්ලයිමැක්ස් එකකින් මං කතාව ඉවර කරන්නං.

‘එක විදිහකට, කතා තමයි මිනිස් පැවැත්මෙ න්‍යෂ්ටිය වෙන්නෙ. සමහර වෙලාවට විනාශකාරී විදිහට. හිතල බලන්න උපමා කතා තරමට පරණ අපේ ආගමික ප‍්‍රබන්ධ නිසා කොයිතරං යුද්ධ ඇති වෙලා තියෙනවද සහ අදත් සිද්ද වෙනවද? ඇත්තටම අපි අපේ ජීවිත පදනම් කරගෙන ඉන්න ප‍්‍රබන්ධය නිසා සමහර වෙලාවට අපි භයානක අවසානයන් කරා ගමන් කරනවා. කතා වලට ලොකු කොටසක් කරන්න තියෙනවා. ඒක නීතියේ වර්ධනයට හෝ වෙන කිසිම සමාජ විද ්‍යාත්මක වර්ධනයකට වඩා විශාලයි. මං හිතන්නෙ අපේ කතා සහ අපේ ප‍්‍රබන්ධයේ වර්ධනයෙන් තමයි අපිට ඇත්ත සමාජ වර්ධනය මනින්න පුළුවන්’
-ඇලන් මුවර්

චින්තන ධර්මදාස

Saturday, November 23, 2013

හෝල් කඩාගෙන එන්නෙ!


මං ෆිල්ම් එකක් කරන්න යන්නෙ?
මෙහෙම කියපු ගමන් ගොඩක් වෙලාවට මුලින්ම ආපිට ඇහෙන්නෙ එක ප‍්‍රශ්නයක්.

‘ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණාද?’

‘මොකද්ද මචං ස්ටෝරි එක’ වගේ කතා එන්නෙ ඊට පස්සෙ. මේක වැරැුද්දක් නෙමෙයි. ඇත්ත ප‍්‍රශ්නයක්. පළවෙනි දේ මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියල දැන ගන්න එක.

ඒත් ඒ ප‍්‍රශ්නෙ මාත් ඇතුළු ගොඩක් චිත‍්‍රපටි හදන්න ට‍්‍රයි කරන උන්ව අධෛර්ය කරනවා. ඒ ප්‍රොඩියුසර් කෙනෙක් නැති ඇත්ත තත්වය හින්ද නෙමෙයි. දෙන්න උත්තරයක් නැති හින්ද.

පිටපතත් අරගෙන එක එක ඇඳුනුම් මාර්ග වලින් ප්‍රොඩියුසර්ලා හම්බුවෙන්න යන එකයි සාමාන්‍ය සිරිත. මැණික් මුදලාලිලා, අල මුදලාලිලා එහෙම නැත්තං ටයි ඇඳගත්තු රස්සා කරන ඒත් මුදලාලිලා වගේ නානාප‍්‍රකාර අය මේ ගමනෙදි මුණගැහෙන්න පුළුවන්. එතකොට ඒ ගොල්ලොත් ආපිට අහන ඇත්ත ප‍්‍රශ්නයක් තියෙනවා.

‘ගාන හොයන්න පුළුවන්ද?’

මේ ප‍්‍රශ්නෙට කොයි තරං ක‍්‍රියේටිව් විදිහට උත්තර දෙනවද කියන කාරණේ උඩ මුදලාලි ඉන්ද, අවුට්ද කියන එක තීරණය වෙනවා. අවුලකට තියෙන්නෙ මේ ප‍්‍රශ්නෙ ඇහිච්ච ගමන් මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙන එක. මට ගෑණියෙක් විකුණන පිම්පියෙක් ගානට ලැජ්ජ හිතෙනවා. ඒ චිත‍්‍රපටියක් කරලා ඒකෙන් ආදායම් ගන්න එක සැලසුම් කිරීම ගැන අපුලකට නෙමෙයි. අපේ හීනෙට එකපාරටම වැටෙන ලංසුව ගැන දැනෙන මොකද්ද නොගැලපීමක් හින්ද.

අනිත් අතට ‘අම්මට හුඩු හෝල් කඩාගෙන එන්නෙ’ වගේ පචයක් කියන්න කොයි තරං ගටක් තියෙන්න  ඕනද? මේ සිරි සිද්ධාර්ත බලන උපාසක ජනතාව මගේ වගේ ෆිල්ම් එකක් බලන්න පෝලිමේ එයිද? පෝස්ටර් ගහන්න, පබ්ලිසිටි දෙන්න තව කීයක්  ඕන වෙයිද? අඩුගානෙ මහින්ද එක්ක ෆොටෝ එකක් ගහලා දිනමිනේ දා ගන්නවත් පුළුවන් වෙයිද?

මං හිතන්නෙ ලංකාවෙ චිත‍්‍රපටි කරන්න හිතන අයට ඒවා කරන්න තියෙන්නෙ පාරවල් දෙකයි. එකක් කොහොම හරි මේ මුදලාලි කෙනෙක් මරාගන්න එක. අනිත් එක යුරෝපියානු සම්මාන උළෙලක් දිහා බලාගෙන ඉඳලා හරියට ඉත්තා අදින එක. වෙන රටවලින් ප‍්‍රකාශන නිදහස නැති නිසා සම්මාන උළෙල වලට චිත‍්‍රපටි ඉදිරිපත් වෙද්දි  අපේ රටෙන් ඒවට ඉදිරිපත් වෙන ඇත්ත හේතුව වෙන්නෙ පේ‍්‍රක්‍ෂාගාරයක්, කර්මාන්තයක් නැතිකම. ඒකෙ වැරැුද්දක් නෑ.  සිනමාව තමන්ගේ ප‍්‍රකාශනය වුනු කෙනෙක් ඒක කොයි විදිහකින් එළියට දාන්න  ඕන.

මේ දෙකම කරන්න බැරි මට වෙන පාරක් හිතන්න වුණා. අඩුම තරමෙ පළවෙනි ප‍්‍රශ්නෙ මගඇරලා කතාව මොකක්ද කියන ප‍්‍රශ්නෙට පැනගන්නවත්. යාලූවෙක් එක්ක වාඩිවෙලා ඔලූවෙ ඇඳිච්ච චිත‍්‍රපටියක කතාවක් කියන ආතල්ජනක වැඩක්. කියන කියන වතාවෙන් වතාවට, කෙනාගෙන් කෙනාට ඒ ෆිල්ම් එකට අලූත් පාට එකතු වෙනවා. කවදාවත් නොහැදෙන ෆිල්ම් එකක් වුණත් විසිතිස් වතාවක් එක එක ඈන්ගල් වලින් විඳින්න ඉඩක් ලැබෙනවා. සමහර වෙලාවට බලලා බලලා ඒ චිත‍්‍රපටිය එපා වෙලත් යනවා. එතකොට අලූත් එකක් ලියනවා.

‘යාලූවන්ගෙන් කීය කීය හරි ඉල්ලගෙන ලෝ බජට් ගහනවා බං’
මං හදාගත්ත උත්තරේ ඒක. ඒත් මුංගෙන් බේරෙන්න බෑ සමහර වෙලාවට.

‘ලෝ බජට් වුණත් කොලිටිය තියාගනින්. ඔය ලොකු ෆෙස්ටිවල් නැති වුණාට පොඩි වෙන වෙන ඒවා තියෙනවා. දාන්න පුළුවන්...’
එතකොට කතාව යන්නෙ වෙන අතක. ෆිල්ම් එක බලන්න ඌ ලෑස්ති නෑ.

මේ යාලූවන්ගෙන් එකතු කරන කතාව මෙහේ විතරක් නෙමෙයි බටහිරත් ප‍්‍රධාන ධාරවෙන් එළියෙ වෙනස් වැඩ කරන අයට හොයාගන්න සිද්ද වුණු උත්තරයක්. ඒත් සුද්දා අපි වගේ නෙමෙයි. කිය කියා ඉන්නෙ නෑ, ඌ කරනවා. මේ වෙද්දි මේ උත්තරේ ආර්ට් කියන දේ ආකෘතිය, හැසිරීම ආදී ගොඩක් දේවල් යළි වෙනස් ලෙස නිර්වචනය කරමින් ඉන්නවා. ‘ක‍්‍රවුඞ් ෆන්ඩින්’ (සමූහ අරමුදල්) කියන්නෙ මේකට කියන විධිමත් නම. ඉන්ටර්නෙට් එන්න කලින් ලංකාවෙ තාමත් ඇෙ`ග් මයිල් කෙලින් වෙන ක‍්‍රවුඞ් ෆන්ඩින් වැඩක් සිද්ද වුණා. ඒ සුනිල් මාධවලා හිරු පත්තරේ පටන් ගන්නකොට. රොමාන්තික වුණත් පුදුම ආදරයක් හෘදයාංගම බවක් දැනිච්ච පටන්ගැන්මක් ඒක. (ඒ පත්තරේ ලියවිච්ච ජවිපෙ හිතවාදී මනස්ගාත ගැන අමතක කරන්න)

ඇමන්ඩා පාමර් කියන්නෙ මේ විදිහට ක‍්‍රවුඞ් ෆන්ඩින් වලින් තමන්ගෙ මියුසික් කරන ඇමරිකානු පර්ෆෝමර් කෙනෙක්. එයා ටෙඞ් ටෝක්ස් වලට ඇවිත් මේ අලූත් අදහස හරහා වෙනස් වීමට යෝජනා කරන මිනිස් සිතීම ගැන කතා කරනවා. කවදාවත් ඒන්ජල්ස් ලා (සුර`ගනන්, දෙව`ගනන් වගේ සිංහල වචන මේ අදහස හරියට දෙන්නෙ නෑ) ඉන්නවා කියලා නොපිළිගන්න අයට මං කියන්නෙ ඇමෙන්ඩා පාමර්ව අහන්න කියල. ඒක හරියට නව සයිබර් සම්බන්ධතා හරහා ගොඩනැගෙන අනාගත සමාජය ගැන සුබාරංචියක් වගේ.

‘සංගීතය කියන්නෙ මගේ රැුකියාව නෙමෙයි..’ ඇමෙන්ඩා පටන් ගන්නෙ එහෙම. එයා කලින් ඇ`ග පුරා තීන්ත ගාගෙන පාරක් අයිනෙ පෙට්ටියක් උඩ පිළිමයක් වගේ හිටගෙන හිටපු කාලය ගැන මතක් කරනවා. ඒ මනුස්ස ප‍්‍රතිමාවට මිනිස්සු කීයක් හරි දානවා. එතකොට ඇමෙන්ඩා රෝස මලක් දෙනවා. ඒ රෝස මල දෙන අතරෙ එයා කෙලින්ම අර මනුස්සයාගේ ඇස් දිහා බලනවා.

‘ඔබට ස්තුතියි. මට ඔබව පේනවා...’ ඇමෙන්ඩා ඇස් වලින් කියනවා.

සංකීර්ණ නාගරික සම්බන්ධතා ඇතුලෙ කතා කරන්න කවුරුවත් නැතිව හුදකලා වුනු මිනිස්සුන්ට ඒ ඇස් වලින් මුණගැහෙන නිහ`ඩ තත්පර කීපයත් ලොකු දෙයක් වෙනවා. ඇරත් නාගරීකරණය සමග මැෂින් වගේ දුවන ජීවිත වලට අමතක වෙන තමන් ළ`ගම ඉන්න අනෙකා ගැන ඇමෙන්ඩාගේ ඇස් මතක් කරනවා.

‘මට ඔබව පේනවා...’

මේ අතරෙදි එයාව පහුකරගෙන යන වාහනේකින් කෙනෙක් ඔලූව එලියට දාලා කෑ ගහනවා.
‘රස්සාවක් හොයාගනිං ගෑනියෙ....’

එතකොට ඇමෙන්ඩා තේරුං ගන්නවා තමන් අවට ජීවත් වෙන මිනිස්සු පෙළෙන සදාතනික බිය. ‘තමන්ගෙ රස්සාව (පිළිගැනීම) ගැන බය’ ‘කාගෙන්වත් ඉල්ලන්න තියෙන බය’

‘මේ තමයි මං කරන රස්සාව’ ඇමෙන්ඩා පෙට්ටිය උඩ හිටගෙන හිතනවා. මිනිස්සු එක්ක මෙහෙම කෙලින් ඇසට ඇස මුණගැසුණු ඒ උණුහුම එයා සයිබර් සම්බන්ධතා ඇතුලට ගේනවා. ට්විටර් වලින් සම්බන්ද වෙමින් එයා එක එක තැන මියුසික් වැඩ කරනවා. ඒ ඒ පළාත් වල ආර්ටිස්ට්ලත් එක්ක එකතු වෙලා එයා ලෝකෙ වටේම ප‍්‍රසංග පවත්වනවා. ඇත්තටම රුසියානු විප්ලවලය ගැන රොමාන්තික නවකතාවකට වඩා ඇමෙන්ඩාගෙ ජීවිතය හරිම උණුහුම්.
ට්විටර් කියන්නෙ තාක්‍ෂණයකට වඩා කොන්දේසි විරහිත මනුස්ස බැඳිමක තත්වයක් කියල ඇමෙන්ඩා පැහැදිලි කරනවා.

නොදන්නා නගරයක නාඳුනන කෝපි කඬේක ඉඳන් දවසක් එයා තමන් පෙළෙන මොකද්ද පොඩි අසනීපයක් ගැන ට්විට් කරනවා. පැය බාගයක් ඇතුළත හෙදියක් විදිහට රස්සාව කරන තරුණියක් ඒකට බෙහෙතකුත් අරගෙන කෝපි කඬේට ගොඩ වෙනවා. ඒ ගොල්ලො කෝපි බිබී ගොඩක් වෙලා කතා කරනවා. ඒක අහම්බෙන් සිද්ද වුනු ලස්සන මුණගැහීමක්. ඇමෙන්ඩා ට්විටර් කියන්නෙ ඒ හෘදයාංගම බවට.
එයා කවුච් සර්ෆින් කරනවා. ඒ කියන්නෙ නෙට් එක හරහා අඳුරගත්ත සයිබර් යාලූවන්ගෙ ගෙවල් වල නැවතෙමින් ලෝකෙ තැනින් තැන ඇවිදිනවා. එතනදි ඉල්ලන අවම පහසුකම නිදාගන්න සාලෙ කවිච්චිය විතරයි. සමහර තැන් වලදි ගෙදර අය තමන්ට ඇඳ දීලා බිම නිදාගත්ත අවස්තා ගැන ඇමෙන්ඩා කතා කරන්නෙ හරිම හැ`ගීම්බරව. අනෙකා ගැන තියන මේ විශ්වාසය තමයි සයිබර් සම්බන්දතා වලින් ඇති කරන මනුස්ස වෙනස. අවිශ්වාසය සහ අනාරක්‍ෂිත බව පුරුදු කරපු මනුස්ස වර්ගයාට ආයිමත් විශ්වාසය සහ අනෙකා බාර ගැනීම කියන දේ හුරු කරන්න ඇමෙන්ඩා වගේ සයිබර් දේවතාවියන් වැඩ කරමින් ඉන්නවා. ඒත් ලංකාවෙ අපි තාම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙ සෙක්ස් සහ ගොසිප් වලට විතරයි.

ඇමෙන්ඩා මේ නාඳුනන මිනිසා විශ්වාස කිරීමේ ව්‍යාපෘතියෙ ගොඩක් දුර යනවා. එයා කවුච් සර්ෆින් කියන අදහස ක‍්‍රවුඞ් සර්ෆින් කියන තැනට අරගෙන එනවා. එයාගෙ ඇල්බම් ගහන්න එයා ‘කික් ස්ටාර්ටර් (කවුඞ් ෆන්ඩින් සඳහා තැනූ සයිබර් වේදිකාවක්) හරහා සල්ලි එකතු කරනවා. මේ දක්වා කික් ස්ටාර්ටර් එකේ වැඩිම අරමුදලක් එකතු කළ ආර්ටිස්ට් වෙන්නෙ ඇමෙන්ඩා පාමර්.

එයා වරක් නිරුවතින් තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයන් අතරට යනවා. ඇත්තටම බීමත් ජර්මානුවන් පිරිසක් අතරට. තමන්ගේ කලාව විශ්වාස කරන, ඒ වෙනුවෙන් තමන් හම්බකරපු මුදලින් කොටසක් කැප කරන එයාගෙ රසිකයන්ට තමන්ගෙ නිරුවත් සිරුර මත කැමති සටහනක් තබන්න කියලා එයා කියනවා. ඇමෙන්ඩා ඒක ගන්නෙ අනෙක් නාඳුනන මිනිසා ගැන තමන්ගේ විශ්වාසය තමන් ඇතුළෙන්ම විස්තාරණය කර ගැනීමේ වෑයමක් විදිහට.

මේ හැම තැනකදිම එයාට නැවත නැවත පාර අයිනෙ පෙට්ටියක් උඩ ඉඳගෙන තමන් අනෙකා දිහා බලා හිටපු හැටි මතක් වෙනවා. නොපෙනෙන තාක්‍ෂණික මෙවලම් අස්සෙන් වුණත් වැඩ කරන්නෙ ඒ ඇසට ඇස මුණගැසීමක මිනිස් උණුසුම.

‘පයිරසි හින්ද මියුසික් ඉන්ඩස්ටි‍්‍ර එක වල පල්ලට යනවා. ඇමෙන්ඩා ඔයා මොනවද මේ කරන්නෙ?’ මාධ්‍ය වලදි එයාගෙන් දරුණුවට ප‍්‍රශ්න කරනවා. මොකද එයා මේ බුද්ධිමය දේපොල අයිතීන් නොතකා  ඕන විදිහකට තමන්ගේ නිර්මාණ බෙදා හදා ගන්න උනන්දු කරන හින්ද. එතනදි එයා එක්තරා ප‍්‍රසංගයකදි තමන් මුනගැහෙන්න ආපු රසිකයෙක් ගැන මතක් කරනවා. ඒ රසිකයා එයාට ඩොලර් දහයක නෝට්ටුවක් දික් කරනවා.

‘මං ඔයාගෙ සිංදු සීඞී එකකට ගැහුවා. මට සමාවෙන්න..’ එයා ඇමෙන්ඩාට කියනවා. මේ හෘදය සාක්ෂියත් එක්ක තමන් සල්ලි වලින් ගනුදෙනු කරන්නෙ කොහොමද? මේක සල්ලි වල කතාවට වඩා දැවැන්ත ආදර කතාවක්.

‘අපි කොහොමද මිනිස්සුන්ව ගෙවන්න පොළඹවන්නෙ?’ ඇමෙරිකාවෙදි මේ විදිහට අහන ප‍්‍රශ්නෙම තමයි මෙහෙදි ‘ ගාන හොයන්න පුළුවන්ද?’ කියල අහන්නෙ.
ඒත් ඇමෙන්ඩා පාමර්ට තියෙන්නෙ වෙනස් උත්තරයක්. ‘අපි කොහොමද මිනිස්සුන්ට උදව් කරන්න ඉඩ හදන්නෙ?’

මෙච්චර කාලයක් ආර්ටිස්ට් සහ පේ‍්‍රක්‍ෂකයා අතර තිබ්බ සම්බන්ධයේ ආර්තිකය තීරණය වුණේ දුරස්ත බව උඩ. ඒක සෙලිබ්රිටි වැඩක්. ආර්ටිස්ට්ට බයයි මිනිස්සුන්ට ළං වෙන්න, මොකද ඇත්ත මිනිහට ඒ සෙන`ග ආදරේ කරන්නෙ නැති වෙයි කියල.

ඒත් ඇමෙන්ඩා කියන්නෙ වෙනස් විදිහක ආර්ටිස්ට් කෙනෙක් ගැන.  ආර්ටිස්ට් හිනාවෙන, අ`ඩන, කණස්සලූ වෙන, නන්නත්තාර වෙන ජීවිතේ ඒ විදිහටම පේ‍්‍රක්‍ෂකයන් එක්ක බෙදා හදා ගන්න සම්බන්ධයක් එයා යෝජනා කරන්නෙ. එතකොට තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයා කියන්නෙ තමන්ගෙ යාලූවෙක්. යාලූවො එකිනෙකා උදව් කරගන්නවා. ඒකයි ආර්ට් එක.

ඒත් මේකට අපේ මානව චර්යාවෙ ලොකු පුරුද්දක් වෙනස් කර ගන්න වෙනවා. ගන්න එක වෙනුවට ඉල්ලන එක. ඉල්ලන්න  කොයි තරං අමාරුද කියල ඇමෙන්ඩා පැහැදිලි කරනවා. සමහර තමන්ගේ සහෝදර සංගීතකරුවන්ට පවා තොප්පියක් අරගෙන මිනිස්සු අතරට යන්න කිව්වොත් ඒ අයගෙ කකුල් වේවලන හැටි එයා කියනවා. මේ එදා පාර අයිනෙ පෙට්ටියක් උඩ හිටගෙන ඉඳිද්දි කෑ ගහගෙන ගිය මනුස්සයාගෙයි ආර්ටිස්ට්ගෙයි දෙන්නගෙම තියෙන එක හා සමාන බයක්. තමන්ගේ දියවීම දරා ගන්න බැරිකම.
ඇස් දිහා කෙලින් බලාගෙන, ‘ස්තුතියි. මට ඔබව පේනවා’ කියන්න බැරි කම.

ලංකාවෙ නං තව පරම්පරා හත අටක්වත් යනකං මේ විදිහෙ මනුස්ස ගනුදෙනුවක් හදාගන්න අපිට බැරි වෙයි. බටහිර ‘ඉල්ලන’ එක ලොකුම ප‍්‍රශ්නයක් වුණත් මං හිතන්නෙ මෙහෙට ලොකුම ප‍්‍රශ්නය වෙන්නෙ ‘දෙන’ එක. කොච්චර දානය පුරුදු කරපු රටක් වුණත් අපි ඒක දෙන්නෙත් ඊළ`ග ආත්මෙ ඊට වඩා ලැබෙන පොරොන්දුව පිට. පන්සල් ගානෙ හාමුදුරුවරුන්ට පැය ගණන් වටාපත් වලින් මූණ වහගෙන මේ පචේ කියන්න වෙනවා දානෙ ටික ගන්න. අපිට ඉල්ලන එකා පේන්නෙම හොරෙක්, තක්කඩියෙක් නැත්තං ත‍්‍රස්තවාදියෙක් විදිහට (උදා උතුරේ දෙමළ ජනතාව). දෙන එක පේන්නෙ අහුවීමක් විදිහට. ඒ අපේ සිල්ලර සමාජ ගනුදෙනුවෙ දිග පළල. පත්තර සහ ටෙලි නාට්ටි හරහා පැය විසි හතරෙ වගුරන මේ අනෙකාව සැක කිරීමේ අපේකම බිඳගෙන යන්න අපි කීපදෙනෙකුගෙ වෑයම මදි. ඒත් ඇමෙන්ඩා එයාගෙ ඇතුලෙ අනෙකා ගැන විශ්වාසය විස්තාරණය කරන්න තමන්ගේ අභ්‍යාසයක් විදිහට දේවල් කරනවා වගේ අපිටත් කරන්න වෙන්නෙ අපේ බෙලිකටුව කඩා ගන්න එක. නාඳුනන අනෙකා කොන්දේසි විරහිතව විශ්වාස කරන්න පටන් ගන්න එක. පාවිච්චි වීම, අහුවීම, සූරා කෑම වගේ නිතර එළන හි`ගන ලේන්සු අකුළගෙන මිනිහෙක් විදිහට තවත් මිනිහෙක්ගෙ පැවැත්ම බෙදා ගන්න පුළුවන් තරමට වැඩෙන එක.

අන්තිමට චිත‍්‍රපටියක් හදාගන්න බැරි වුණත් ඊළ`ග ආත්මෙක මේ කොට කැත දූපත් පැවැත්ම වෙනුවට මිනිස්සු එකිනෙකා විශ්වාස කරන පොහොසත් ලෝකෙක ඉපදෙන්නවත් ඒ පින හේතු වාසනා වේවා කියල හිතාගෙන හැමෝම සාදුකාරයක් දෙන්න....’

-චින්තන ධර්මදාස

Sunday, November 17, 2013

ජැක්සන්ට ආදරෙනි

දෙරණෙන් කරන හොඳටම නැට්ටුවා තේරීමේ රියැලිටි ෂෝ එකේ හොඳම නැට්ටුවා වුණේ ජැක්සන් ඇන්තනිගෙ පුතා. කොයි තරං අසධාරනයක් වෙන්න පුළුවන් වුණත් මට ජැක්සන්ගෙ පුතා කියනවා ඇරෙන්න එයාටම කියලා තියෙන නම කටට එන්නෙ නෑ. ඒක නම නොකියවෙනවට වඩා එහාට ගිහින් ජැක්සන්ගෙ අතක් කකුලක් විදිහට වඩා වෙන අනන්‍යතාවයක් මේ ළමයින්ට හිමි වෙලා නැති එක කියලයි මට දැනෙන්නෙ. ඉස්සෙල්ලා මහරජ පැරකුම්බා වෙච්ච ලොකු පුතාටත් එහෙමයි. මං විතරක් නෙමෙයි විනිශ්චය මණ්ඩලයේ ඉඳගෙන හිටපු අයත් කතා කළේ එහෙමයි. කාරණය ඒක නෙමෙයි. තරගයේ හොඳම නැටුම ඉදිරිපත් වුණේ හොඳම නැට්ටුවා තෝර ගත්තට පස්සෙ. ජැක්සන් එයා දැන් නිතර අඳින රජ ගෙදර කවටයාගේ ඇඳුමත් ඇඳගෙන වේදිකාව උඩට දුවගෙන ආවා. එයාගෙ බිරිඳත් අතින් අල්ලගෙන. ඉඹගෙන ඉඹගෙන ගියා...කාවද කියලා හරියට පේන්නෙත් නෑ යූ ටියුබ් එකේ හින්ද. ඊට පස්සෙ ලොකු පුතා පැරකුම්බාත් එතනට ආවා. දුවත් තව කොහෙද ඉඳන් ආවා. ඊට පස්සෙ ජැක්සන් පපුව ඉස්සරහට දාගෙන බිරිඳගේ අතකිනුත් අල්ලලා උස්සගෙන වේදිකාව වටේ සංචාරය කරන්න ගත්තා. හොඳම නැට්ටුවා වුණ කොල්ලව අමතක වුණා. තරගයේ හොඳම නැට්ටුවා ජැක්සන් ඇන්තනි වුණා.

මේක දිහා බලාගෙන මං සතුටු වුණා නෙමෙයි. එක පැත්තකින් එස්එම්එස් ප‍්‍රතිඵල වල ඉඳන් පුතාව ඉස්සරහට ගේන්න ජැක්සන් බලපෑම් කළා කියල කටකතා හැදුණ. තව පැත්තකින් ජැක්සන්ගෙ පුතා නොවුණ නම් වෙන අරුණෝලිස් කෙනෙකුගෙ පුතෙක් වුණා නම් ඒ තාත්තටත් පවුල පිටින් වේදිකාව උඩට ඇවිත් ඔහොම නටන්න දෙරන ඉඩදෙනවද කියල හිතුණ. මොකද්ද මේ චරිත උඩ දාන සෙල්ලම? ඒ තරුණයාගෙ දක්ෂතාවය හෝ කිරුළ දිනාගැනීමේ සාධාරණය ප‍්‍රශ්න කරනවා නෙමෙයි. (ඇත්තටම ඒකට නටන්න පුළුවන්). ඒත් ජැක්සන් මේ කරන චරිතය මොකක්ද? ඒක සියලූ මාධ්‍ය වල එකවර විකාශනය වෙන, ඊට අමතරව මගතොටේ රෝඞ් ෂෝ වල පවා දුවන දැවැන්ත මෙගා චරිතයක්. ඒ චරිතෙ නමත් ජැක්සන් ඇන්තනි.

මට ඇත්තටම දුක හිතුණ. ජැක්සන් කියන්නෙ මං ගොඩක් ආස කරපු නළුවෙක්. මං ජැක්සන්ට ආස වුණේ සුගත්ගෙ මරාසාද් බලලා නෙමෙයි. ඒ වෙනුවට මධුර ජවනිකා බලලා. ටීවී එකේ පළිගු මැණිකෙ බලලා.
සුසීමා බලලා. ඊට පස්සෙ ජැක්සන් ප‍්‍රබුද්ද වෙන්න  පටන් ගත්තා. පනා පුත‍්‍ර කුහුඹු පැණියා වුණා. එකපාරටම ඉතිහාසෙ කියවන්න ගත්තා. සාටකේකුත් වැටුණ. රජාටත් ඇන්දා. එකදිගටම ජැක්සන් එකම චරිතෙ කරගෙන කරගෙන යන්න පටන් ගත්තා. අප්පච්චි කිව්වත්, බන්ඩර දෙයියා කිව්වත්, විද්‍යුත් ටීකාව කිව්වත් මේ එකම පිටපතක විවිධ චරිත. අර කලින් හිටපු කතෝලික මුහුදු බඩ කැරළි ගැහුණු කොන්ඩයක් සහිත ජැක්සන් ඇන්තනි නොපෙනීම ගියා. ඒ වෙනුවට නිතර හිස බූ ගෑ, රැවුල වවාගත්තු, උගුරට යටින් කතා කරන, සාටක ඇන්තනි කෙනෙක් හැම තැනම හිටියා.

මට දුක හිතුනෙ රසිකයෙක් විදිහට මට ජැක්සන් අහිමි වීම ගැන නෙමෙයි. ජැක්සන්ට ජැක්සන්ව අහිමි වීම ගැන. දැන් විවිධ මාධ්‍ය සංදර්ශන වලදි මං මේ අලූත් ජැක්සන්ව දැකලා තියෙනවා. ඒ හැම තැනම එයා මේ රජකාලෙ චරිතෙ ර`ගපානවා. වෙන කාලෙකදි නං මිනිස්සු පිස්සෙක් කියලා හිතන, තැන තැන හූ කියන මේ විහිළුවට අද කාලෙ ඉඩක් ලැබුණෙ කොහොමද? හරියටම ෂූට් එකක ඇඳුම් ඇඳගෙන පාරෙ යනවා වගේ වැඩක් මේක.

ඒත් යුද්දෙන් පස්සෙ අපි ආයිමත් ඉන්නෙ රජ කාලෙ. මහරජා සහ රජ ගෙදර දරුවො ඉන්නවා. ඒ වගේම කලාව භාර ප‍්‍රභූ පවුල් ඉන්නවා. එදා වේල නැතත් කුමන්ත‍්‍රණ පරදන හුදී ජනතාව ඉන්නවා. එතකොට ජැක්සන් මේ ර`ගපාන මෙගා නාට්ටියේ අපි කාටද ඇඳගෙන ඉන්නෙ? මේ අපි විසිල් ගහන්නෙ නාට්‍ය ශාලාවක පෙන්නන නාට්ටියකට නෙමෙයි. අපේ අවුරුදු ගානක ජීවිතේ දිහායි අපි බලාගෙන ඉන්නෙ.

ජැක්සන්ට ආයිමත් කවදාවත් එයාව මුණගැහෙන්නෙ නෑ. බලාගෙන යනකොට එයා මුල්කාලෙ ඉඳන්ම එයාගෙ ආශාව වෙනුවෙන් එයාගෙ ඇත්ත මරනවා. කතෝලික ජැක්සන් මේ වෙද්දි හතර වරිගෙ බෞද්දයෙකුටත් වඩා බෞද්ද වෙන්නෙ එහෙම. මේ එහෙම පටන් ගත්ත කතාවක කූටප‍්‍රාප්තිය. දැන් එයා කවුද කියන්න එයාවත් දන්නෙ නෑ. දෙවෙනි මහින්දගෙන් පටන් ගත්ත රාජ්‍යත්වය නැවත බුදුන්ගෙ නෑකම් පවා කියා අභිෂේක කරවා රජුන් චූ කළ දෙල් ගස් වල ඉතිහාසය පවා කියන කලාව භාර පුරෝහිතයා වගේ එකක් තමයි පේන්නෙ. මේ මනුස්සයාට මොනාද මේ වෙලා තියෙන්නෙ.... ගොඩක් මිනිස්සු හිතනවා මට ඇහිලා තියෙනවා.

ජැක්සන් දරුණු නාසිස්මය රෝග තත්වයකින් පෙළෙනවා. ඒත් ලංකාව කියන්නෙ මනෝ විද්‍යාව හොයාගන්න කලින් පැවති රාජ්‍යයක් හින්ද මෙහෙට ඒක අදාල නෑ. ඊට සියවස් ගානකට පස්සෙ බටහිර මේක නාසිසිස්ම් (සිංහලෙන් කොහොම කියනවද මං දන්නෙ නෑ) කියල විග‍්‍රහ කළා. ඒ වගේම ඒ තත්වෙට අදාල වෙන සමාජ මනෝ විද්‍යාත්මක හේතු පවා විශ්ලේෂණය කළා.

නාසිසිස්ම් කියන්නෙ මානසික වගේම සංස්කෘතික රෝගයක්. පුද්ගලයෙක් විදිහට තමන් තමන්ගෙ වඩා විශාල ප‍්‍රතිරූපයක් වෙනුවෙන් සැබෑ තමන් සතු සියල්ල කැප කිරීම මෙතනදි අඳුර ගන්න පුළුවන්. එතනදි තියෙන අර්බුදය වෙන්නෙ තමන් විසින් විශාල කරලා හදා ගත් ප‍්‍රතිරූපය තමන් විදිහට තේරුම් ගන්න එක. හරියටම වෙස් මූණ සැබෑ මූන වෙනවා වගේ වැඩක්. නාසිසිස්ම්- හෙවත් සැබෑ තමන්ව පිටු දැකීම කියලා මේ ගැන පොතක් ලියනවා ඇලෙක්සැන්දර් ලෝවන් කියන මනෝ විද්‍යාඥයා. එයා විල්හෙල්ම් රීච් ගෙ ගෝලයෙක්.

නාසිසිස්ම් කියන අදහස එන්නෙ නාසිසස් ගැන තියෙන ග‍්‍රීක මිත්‍යා කතාවකින්. නාසිසස් පොකුණක වතුරෙන් පේන එයාගෙ ප‍්‍රතිරූපෙට වශී වෙනවා. ඒ දිහාම බලාගෙන ඉඳලා එයා ඒ වතුරෙම මලක් වෙනවා. එයාව නැති වෙනවා. ලෝවන් මේ අදහස තව ඉස්සරහට ගෙනියනවා.

නාසිස්මිකයෙක් උනන්දු වෙන්නෙ එයාට හිතෙන දේ ගැන නෙමෙයි. එයාව පේන විදිහ ගැන විතරයි. ඒ අයගෙ ප‍්‍රතිරූපයට බාධා කරන ඒ අයගෙම සිතුවිලි වුණත් ඒ ගොල්ලො අකා මකා දානවා. බලය සහ පාලනය අතට ගන්න කෑදර විදිහට වැඩ කරනවා. අතිශය විශාල මමත්වයකින් පිරුණත් ඒ අයගෙ ඇතුළත සැබෑ පැවැත්මක් නෑ (සෙල්ෆ් එකක් නෑ). ඇ`ගන් ඒ ගොල්ලො පවතිනවා කියලා ඒ අයට දැනෙන්නෙ නෑ. කොටින්ම නාසිස්මිකයෙකුගේ ජීවිතය හිස්.

මේ විදිහෙ පුද්ගලික නාසිස්ම තත්වයන් ඇතිවෙන්නෙ සමාජය නාසිස්ම තත්වයක් කරා ගමන් කරන කොටයි කියල ලෝවන් විස්තර කරනවා. සමාජයක් මනුස්ස වටිනාකම් වලින් තොර වේගෙන යනවා නම්, තමන්ගේ සහෝදර ජනතාවක් හැටියට වෙනස් සංස්කෘතීන්, සමාජ ක‍්‍රමයන් බාර ගන්නවා වෙනුවට ඒ හා ගැටීම් ඇති කර ගන්නවා නම්, වැඩි පාරිභෝජනය, ලාභය වෙනුවෙන් සියල්ල කැප කරනවා නම් ඒ වගේ සමාජයක් නාසිස්මික ලක්ෂණ පෙන්නනවා කියලා  එයා කියනවා.

අපි ආපහු හැරිලා බැලූවොත් යුද්දෙන් පස්සෙ අපි ජීවත් වෙන්නෙ දරුණු නාසිසමය රෝගයක් ඇතුළෙ කියල පැහැදිලි වෙයි. යුද්දෙත් එක්ක අපි ජාතියක් විදිහට අපේ ඇත්ත තත්වෙන් වෙනස් මහා සිංහලයෙක් ගොඩනගා ගත්තා. ඒ මහා සිංහලයා එක්ක අනන්‍ය වෙලා දේශපේ‍්‍රමියෝ සහ දේශද්‍රෝහියෝ හැදුවා. ඒ මහා සිංහලයා ඉස්සෙල්ලා දෙමළට ගහලා පස්සෙ මුසල්මානුවටත් කෙළින්න ගත්තා. සමාජයක් විදිහට මේ නිර්මිත මහා ප‍්‍රතිරූපය ඇතුලෙ අපිට අපේ ජීවිත නැති වුණා. අපේ බඩගින්න, අපේ සූරාකෑම, අපිව ගොනාට ඇන්දීම මේ කිසි දෙයක් නොපෙනෙන මහා ලොකු නාට්ටියක අපි පේ‍්‍රක්‍ෂාගාරය වුණා. ජැක්සන්ලා නළුවො වුණා.

අපිට මාධ්‍ය වලින් එලියෙ දේශපාලනයක් නෑ, අපිට මාධ්‍ය වලින් එලියෙ නීතියක්, ජීවිතයක්, කලාවක්, ආගමක් මොකුත් නෑ. මාධ්‍ය විසින් හදපු මේ කියන නාසිස්මය සිහිනය ඇතුලෙ විතරයි අපි දැන් අවුරුදු 12ක් විතර කාලයක් ගත කරන්නෙ. ලෝවන් ලස්සන විස්තරයක් කරනවා මේ ගැන. එයා මුල් කාලෙ පුහුණු වෙද්දි මුණගැසුනු රෝගීන්ගේ කාංසාවන්, ෆෝබියාවන් ගැන එයා දැන් ඇත්තටම සතුටු වෙනවා කියලා එයා කියනවා. මොකද ඒ මිනිස්සුන්ට තමන්ට හැ`ගීම් නොදැනී යාම ගැන බයක් තිබුණු නිසා, ජීවිතේ හිස් කියලා දැණුනු නිසා.. වෙන විදිහකට කිව්වොත් ඔවුන් මිනිස්සු විදිහට ජීවත් වුනු නිසා. ඒත් මෑත කාලීනව එයාට මුණගැහෙන මිනිස්සුන්ට කිසිම කාංසාවක්, ෆෝබියාවක් හෝ තමන්ගෙ ජීවිතය ගැන වරදකාරී හැ`ගීමක් නොදැනුනු වග ලෝවන් කියන්නෙ එය තැතිගන්වන සුලූයි කියන ගමන්. ඒ ගොල්ලො හරිම කාර්යක්‍ෂමයි, සමාජයට හොඳටම ගැලපෙනවා, හරියට මැෂින් පෝලිමක් වගේ කියල එයා විස්තර කරනවා. මේ අය තවදුරටත් මිනිස් පැවැත්මක සාමාන්‍ය තත්වයක් නොවුනු වග ලෝවන් කියනවා.

නාසිස්මිකයෙක් කවදාවත් මහා මනුස්ස ඝාතනයක් ගැන තැවෙන්නෙ නෑ. තේරුමක් නැති නාට්ටියක අවුරුදු ගානක් ජීවිතේ දියවුණා කියල කණස්සලූ වෙන්නෙ නෑ. ඒත් කවදා හරි මේ නාසිස්මය අධිපති බව, සිහිනය ඉරිතලන්න පටන්ගන්න කොට ආපහු හැරෙන්න ප‍්‍රමාද වැඩියි. ජැක්සන්ට ආපහු ඉර එළිය බලන්න, දෑස පියා ගත් කල කියන්න හිතෙන කොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. මොකද ජීවත් නොකළ අපේ ඇතුල් පැවැත්ම මැරෙන නිසා. වළදාන්නවත් සිහියක් නොතිබුනු නිසා ඒකෙන් කුණු ගඳ හමන නිසා. අන්තිමට සොහොන් ගෙයක් වගේ ජීවත් වෙනවා ඇරෙන්න විකල්පයක් නැති වෙන නිසා.

නාසිස්මය තත්වයක් කියන්නෙ පුද්ගලයාගේ සහ සමාජයේ සැබෑ නොවන තත්වයක් නිර්මාණය වෙමින් යන බවට කරන අනතුරු ඇ`ගවීමක් කියල මේ සමාජ මනෝ විද්‍යාඥයා පැහැදිලි කරනවා. ඒක නියුරෝසීය තත්වෙන් නොනැවතී සයිකෝසීය තත්වයක් දක්වා වැඩෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවෙ මේ වෙද්දි සයිකෝසීය සීමාවෙනුත් එහාට මේ ලෙඬේ උඩුදුවලා මගෙ හිතේ. ඇලෙක්සැන්දර් ලෝවන් කියන්නෙ මේ වගේ සැබෑ නොවන මිනිස්සු, චරිත බිහිවෙන කොට ඒ සංස්කෘතියෙ යම්කිසි ආබාධයක් වෙමින් පවතිනවා කියන එක. සංස්කෘතියක් නාසිස්මය වෙනකොට ඒ අවට වාතය ජලය පවා ඒ රෝගයෙන් විෂ වෙනවා. වඩා යහපත් සමාජයක නාමයෙන් මිනිස් සියල්ල විනාස වෙන්න පටන් ගන්නවා. මේක තාමත් සම්මත මනෝ විද්‍යාවට පිළිගන්න අමාරු වුණු කාරණයක් කියල ලෝවන් මතක් කරනවා. සාමාන්‍යයෙන් පිස්සුව අර්ත ගැන්වෙන්නෙ තමන් අවට සමාජය සංස්කෘතිය සමග සැබෑ ගනුදෙනුවක් නැති පුද්ගලික අවුලක් හැටියට. ඒත් ඒ අර්තකතනෙ විදිහට නාසිස්මය රෝගියෙක් කවදාවත් තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ. සමාජයේ යම් කිසි පිස්සුවක්, මානසික රෝග තත්වයක් බෝවේගෙන එනවා නම් තත්වය කොහොම වෙයිද?

අපි පුද්ගලයා තුල මේ අවුල සහ අර්බුදය ඇති කරන සමාජ සංස්කෘතික රෝගී තත්වයන් සහ කාරකයන් පැහැදිලිව අඳුරගන්න  ඕන කියන එකයි ඇලෙක්සැන්දර් ගෙ මතය. උදා විදිහට යුද්දෙන් පස්සෙ ආපු අපේකම කියලා අමුතු එකක් මුල් කර ගත් වෙළඳ දැන්වීම් රැුල්ල බලන්න. ලෝකල් ඉන්සයිට් (දේශීය අනුභූතීන්) හොයාගෙන යනවා කියලා අපි, අපි නොවන මොකද්දෝ අරුම පුදුම ජාතියක් ගැන හීන බෝ කරන්න පටන් ගත්තා. අපේ රටේ මිනිස්සු වෙනස් කිව්වා. මේ වෙනස් ජාතිය වෙන්න ගිහින් අපි අපේ ඇත්ත ජාතිය නහ ගත්තා. ලෙඞ්ඩු ගොඩක් ඉතුරු වුනා.

ජැක්සන් කියන්නෙ අපේ නාසිස්මය රෝගයේ අපේ ලකුණ. හැ`ගිමක් නැති, පුද්ගලභාවයක් නැති, අනන්‍යතාවයක් නැති, අපේ පටලැවිල්ලෙ ප‍්‍රකාශනය. ජැක්සන් දිහා බලාගෙන ඉන්නකොට මට දුක හිතුන අනිත් කාරණය ඒක. මගේ ජීවිතේ මට ගොඩක් වටින කාලයක් මේ ලෙඩක් ඇතුලෙ වැනසිලා යන එක ඇත්තටම බොන්න  ඕන ප‍්‍රශ්නයක්. මේ නාසිස්මය මහා සිංහල වසංගතය ඉවරයක් වෙලා සාටක, රජ ඇඳුම්, නාඩගම් නැති සාමාන්‍ය ජීවිතයක් අපිට කවදා ලැබෙයිද? මාධ්‍ය වලින් එලියෙ සමාජයක් විදිහට අපි ආයිමත් කවදා එකිනෙකා මුණගැහෙයිද?

ගොඩක් වයසට නොගිහින් හිටියොත් එදාට ජැක්සන්ටත් රජ වාසල කවටකමෙන් නිදහස් ලැබේවි. එදාට ජැක්සන් මෙහෙම කියාවිද?

කලකට පෙර මියැදුනාට- හතර රියනෙ වැළලූනාට
උඹෙ උත්තම රාජකීය- උණුසුම මට දැනේ තාම

උඹේ සපත්තුව වැළඳ බදා- උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූ අද කරති නිගා
-(මෙතින්න මාරු වෙනු)-

-චින්තන ධර්මදාස




Sunday, November 10, 2013

හන්ටර් තොම්ප්සන් එක්ක හවසක බාර් එකක

සාමාන්‍යයෙන් ප‍්‍රසිද්ද කියමන් කියන ඒවා කියවන්න මිසක් වැඩකට ගන්න පුළුවන් ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට ‘තමන්ගේ හීනය කිසි හේතුවක් නිසා අත් නොහරින්න’ වගේ කියමන් වචන වලට එහායින් ජීවිතේ කිසි ගැඹුරක් ස්පර්ශ කරන්නෙ නෑ. ඇත්තට ගත කරන ජීවිතේ ඇතුළෙ මේ වචන අනුව ජීවත් වෙන්න බෑ.

කොහොමටත් මේ වගේ උදෘත කියමන් නිෂ්පාදනය වෙන්නෙ ඒ ඒ චරිතයේ ඒ ඒ කාල වකවානු අනුවයි කියලයි මට හිතෙන්නෙ. හුදකලාව තනි වාක්‍යයක් විදිහට ගත්තම මාර ලොකු කතා වෙන මේවා සමහර විට ඒ ජීවිත ඇතුලෙ තියලා කියවද්දි දෙන්නෙ වෙනස් අදහසක්. අපේ බුද්දාගමේ උගන්නනවා කියලා කියන ධර්ම පාඨත් මීට දෙවෙනි නෑ. ඒ ඉතිහාස, සිද්ධි ඇතුලෙදි ඒවා සමහර විට ණයට ගත්තු වචන වෙනවා. සමහර විට වෙන අරමුණක්, හේතුවක් වෙනුවෙන් එළියට දාපුවා වෙනවා. තවත් සමහර විට අතින් දාපුවා වෙනවා.

ඒක නිසා කියන්නාගේ ජීවිත කලාපෙ ඇතුළෙන් ඒ කියන වචන වලට තේරුමක් හොයා ගන්න පුළුවන් නම් විතරයි මං හිතන්නෙ ඒ වචන වලට අර්තයක් එන්නෙ. ඒ ජීවිතේට පිටින් ඒ වචන වලට වාස්තවික තේරුමක් නෑ. එහෙම වාස්තවික තේරුම් දෙන්න යන එකෙන් අනිත් අයගේ ජීවිත බාල්දු වෙනවා.

ඒක නිසා මං ඒ වගේ වචන හෑලි කියවන එක අත්ඇරලා දාපු පුරුද්දක්. ඒත් අහම්බෙන් හන්ටර් තොම්ප්සන් ජීවිතේ ගැන කියපු කෙටි අදහස් වැලක් මුණගැහුනම ඒක නොකියවා ඉන්න බැරි වුණා. හේතුව මේ කියන්නෙ හන්ටර් තොම්ප්සන් නිසා. එයා අනිත් තොම්සන් ලට වඩා ගොඩක් වෙනස් නිසා. තමන්ගේ ජීවිතේ අවුරුදු 20දි ජීවිතේ අල්ලගන්න  ඕන විදිහ ගැන උදෘත කීපයක් එයා මෝචනය කරනවා. ඒ එයාගෙ යාලූවෙකුට (හියුම් ලෝගන්) ලියපු ලියමනක් උඩට. (හන්ටර් තොම්ප්සන්ගෙ විස්තර ටිකක් මං කලින් ලිපියක ලිව්වා)

මිනිහෙකුට අවවාදයක් දෙනවා නම් ඒක දෙන්න වෙන්නෙ කොහොමද කියන තැනින්ම තොම්ප්සන් පටන් ගන්නවා. එතනින්ම එයා අනිත් අය කියන උදාන වාක්‍ය වලින් තමන් වෙනස් වෙන තැන ලකුණු කරනවා.
‘තමන්ගෙ ජීවිතේ කොහොම හදා ගන්න  ඕනද කියල අහන මිනිහෙකුට උපදේශයක් දෙන්න යන එකම ඊගොමේනියාවක්. වෙන කාගෙ හරි ජීවිතයක් යන්න  ඕන පැත්ත, එයාගෙ අවසාන ඉලක්කය වෙන්න  ඕන දේ ගැන ඇ`ගිල්ලක් දික් කරලා කියන්න පුළුවන් මෝඩයෙකුටම විතරයි’
-හන්ටර් තොම්ප්සන්

කාටවත් ජීවත් වෙන්න  ඕන හැටි කියලා දෙන්න වෙන කාටවත් බෑ. ඒක ඒ ඒ ජීවිතේට සාපේක්‍ෂ ගමනක්. එක ජීවිතයක් තවත් ජීවිතේකට වඩා හොඳ හෝ නරක වෙන්නෙ නෑ. උදා විදිහට මහා කලාකරුවෙක් ගත්තොත් උගේ පුද්ගලික ජීවිතේ පට්ට අවුලක් වෙන්න පුළුවන්. ඒත් අපි කතා කරන්නෙ එයාගෙ මහා කලාව ගැන හින්ද අනිත් පැත්ත අපිට මග ඇරෙනවා. ඒ වගේම රජයේ ලිපිකරුවෙක් ගත්තොත් එයාගෙ සමාජ ජීවිතේ බිංදුවක් වුණත් පවුල් ළමයි එක්ක ගත කරන කුටුම්බෙ ආතල්ජනක වෙන්න පුළුවන් (සම්භාවිතාවක්). ඒත් ඒ කුටුම්බ ගැන පොත් ලියවෙන්නෙ නෑ.

‘ජීවත් වෙන්නද, නොවෙන්නද? ඒකයි ප‍්‍රශ්නය. පිස්සු වැටුණු දෛවයේ ඊතල පාරවල් කමින් හිස ඔබාගෙන ජීවත් වෙනවද? නැත්තං මේ බාධක මහමුහදට එරෙහිව අවි අතට ගන්නවද?

ඇත්තටම මේක තමයි ප‍්‍රශ්නය. රැුල්ලත් එක්ක ඔහේ ගහගෙන යනවද, නැත්තං ඉලක්කයක් කරා පීනන්න පටන් ගන්නවද? මේක අපේ ජීවිතේ දැනගෙන හෝ නොදැනගෙන අපි හැමෝම එකවරක් කරන තෝරා ගැනීමක්. බොහොම කීපදෙනෙකුටයි මේක තේරෙන්නෙ. අපේ අනාගතයට බලපාන තීරණ ගත්ත  ඕනම අවස්ථාවක් ගැන කල්පනා කරලා බලන්න. මං වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒක වක‍්‍රව වුණත් කරන මං කලින් කියපු දෙක අතරින් තෝරා ගැනීමකට වඩා කිසි දෙයක් වෙන්න ඉඩක් නෑ. පීනනවද? පාවෙනවද?’
- තොම්ප්සන්

ජීවිතය කියන බාර ගැනීමේ මූනට කෙළගහන්න තරම් හිතුවක්කාර වුණු, උද්ධච්ඡු  හන්ටර් තොම්ප්සන් නැතුව වෙන යෝගියෙක් හරි බවුන් වඩන්නෙක් හරි මේ කතාව කිව්වා නං මං පිච්චියකට මායිම් කරන්නෙ නෑ. විලියම් ගිබ්සන් මේක ගැන කියන්නෙ පර්සනල් මයික්‍රො කල්චර් කියල. පුද්ගලික ක්ෂුද්‍ර සංස්කෘතිය විදිහට සිංහලට නමන්න පුළුවන් වෙයි. ඒ කියන්නෙ අපි අපිව නිර්මාණය කර ගැනීමේදි ඇතුළට ගන්න දේවල් නිර්මාණාත්මකව තීරණය කරන ප‍්‍රවේශයක්. මගේ ජීවිතේ හැම තත්පරයක්ම, හැම අත්දැකීමක්ම මාව  නිර්මාණය කර ගැනීමේ කොටස් වෙනවා. මෙහෙම කියන්නෙ පෝලා ෂර් කියන සුප‍්‍රකට ඩිසයිනර්.

මට හිතෙන්නෙ මේක නිකංම රැුඩිකල් වීමකට හෝ ‘මට  ඕන මේක නෙමෙයි’ වගේ ළදරු කැමැත්තකට වඩා එහා දෙයක්. සවිඥාණක බාර ගැනීමක්. නිකංම ඔහේ සිද්දි උඩින් ගලා යන ජීවිතයක් වෙනවට වඩා ඒ සිද්දි වලට තමන්ට  ඕන කරන හැඩයක් දෙන්න කරන උත්සාහයක්. එළිය වෙනස් කරනවට වඩා තමන්ගෙ ඇතුලෙන් සාවධාන වීමක් තොම්ප්සන් මෙතනදි කියනවා කියලයි මං ගන්නෙ.
එයා ඊළ`ගට කියන කතාවෙන් මේක තවත් පැහැදිලි වෙනවා.

‘හැම මිනිහෙක් කියන්නෙම එයාගෙ අත්දැකීම් වලට දක්වන ප‍්‍රතිචාර එකතුවක්. අත්දැකීම් වැඩි වෙනකොට සහ වෙනස් වෙනකොට අපි වෙනස් වෙනවා. අපි දකින විදිහ වෙනස් වෙනවා. මේක දිගටම යනවා. හැම ප‍්‍රතිචාරයක්  කියන්නෙම අපි ඉගෙන ගත්ත ක‍්‍රියාවලියක්. හැම විශේෂ අත්දැකීමකින්ම ඔයාගෙ දැක්ම දශමයකින් හරි වෙනස් කරනවා.

එතකොට අපි මේ වෙනස් විදි අනුව අපේ අරමුණ වෙනස් නොකරන එක හරි කරන එක හරි මෝඩකමක් නෙමෙයිද? අන්තිමේදි වැඩිවෙන නියුරෝසියාවකට වඩා යමක් ලැබෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

හොඳම උත්තරේ අරමුණු තියාගෙන ජීවත් නොවෙන එක. විශේෂයෙන්ම බාහිර අරමුණු. මේක ගැන ලියන්න කොල රීම් ගානක්  ඕන වෙයි. ජීවිතයේ තේරුම මොකක්ද කියන එක ගැන ලියවුණු පොත් ගාන දන්නෙ දෙවියො විතරයි. ඒ ගැන හිතලා තියෙන මිනිස්සු ගාන දෙයියොත් දන්නෙ නැතුව ඇති. මේක නිකං රුවන් වැකියක් වගේ කියන්න මං උත්සාහ කරන එක තේරුමක් නැති වැඩක්. ඇත්තටම ජීවිතේ තේරුම ඡේද දෙකකින් ලඝු කරලා කියන්න මගේ සුදුසුකම් අඩු වග පිළිගන්න පළවෙනි කෙනා මං වෙන්නැති’

තොම්ප්සන් නිරුවත් සාංදෘෂ්ටිකවාදය ඇතුලෙ ගිලී නානවා. සාත‍්‍ර ගේ ‘නතින්ග්නස්’ පොත කියවන්න කියලා එයා යාලූවාට කියනවා. දොස්තයෙව්ස්කි සිට සාත‍්‍ර දක්වා සාංදෘෂ්ටිකවාදයේ එකතුවත් එයා යෝජනා කරනවා. කිසිම භෞතිකමය හෝ ආධ්‍යාත්මික පැවැත්මකට හේත්තුවක් දාන්නෙ නැතුව හෙළුවැලි පැවැත්ම බාර ගන්න, ස්ටයිල් එකක් ඇතුව ඒ මත චාරිකාවක යන්න මේ අවුරුදු විස්ස වෙද්දි  තොම්ප්සන් ගැටයා මෝරනවා. තමන්ට වෙන අර්තකථන, පිළිසරණ නැතුව තමන්ව බාර ගන්න පුළුවන් වෙන එකයි පරිණත වීම කියල මං හිතන්නෙ. ඒ අර්තයෙන් ගත්තම අපේ රටේ යෝදයෝ විදිහට එක එක විෂයන් උඩ හිටගෙන ඉන්න දැවැන්ත චරිත තාමත් ගොඩක් ළදරුයි. තමන්ගෙ ජීවිතේ විස්තර කරන්න මාක්ස්ගෙන්, ලැකාන්ගෙන්, නැත්තං ජිජැක්ගෙන් හරි උදව්වක් නැතුව කොච්චර අමාරුද?

‘භෞතික ඉලක්ක උඩ ජීවිතය අරගෙන යන එක තමයි මං හිතන්නෙ කරන්න තියෙන හොඳම මෝඩකම. ගිනි නිවන භටයෙක් වෙන්න, බෑන්කර් කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න උත්සාහ කරන එකේ තේරුමක් නෑ. ඉලක්කය වෙන්න  ඕන අපි අපි වෙන්නෙ කොහොමද කියන එක.

මං මේ කියන්නෙ ගිනි නිවන භටයෙක්, බෑංකර් කෙනෙක් හෝ දොස්තර කෙනෙක් වෙන්න බෑ කියන එක නෙමෙයි. මං කියන්නෙ ඉලක්කය පදනම් වෙන්න  ඕන පුද්ගලයා මත කියන එක. ඉලක්කය මත පුද්ගලයා පදනම් වෙන එකේ තේරුමක් නෑ. අපි හැමෝටම උරුමය සහ පරිසරය එකතු වෙලා නිශ්චය කළ වෙනස් වෙනස් සුවිශේෂ හැකියාවන් සහ ආශාවන් තියෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතේ තේරුමක් ඇතිව ගත වෙන්නෙ ඒ දිශාවන්වල ගමන් කළොත් විතරයි. මිනිහෙක් එයාට වෙන්න අවශ්‍ය කෙනා වෙන්න  ඕනි.

මේ ෆෝර්මියුලා එක වැඩ කරන්නෙ මෙහෙමයි. මිනිහෙක් තෝරා ගන්න  ඕන එයාගෙ ආශාවන් ඉෂ්ට කර ගැනීම පිණිස එයාගෙ හැකියාවන් වඩා කාර්යක්‍ෂම විදිහට යොදවන්න පුළුවන් පාරක්. කලින් තනා නිම කළ පාරක් වෙනුවෙන් මිනිහෙක් යෙදවෙන එකේ තේරුමක් නෑ. එයා විසින් පාර තීරණය කරද්දි එයා එයාගෙ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නෙ. එයාගෙ බලාපෙරොත්තු කඩ වෙන්න එයා ඉඩ තියන්නෙ නෑ (එයාගෙ ස්ව වර්ධනයට බාධා වෙන පාරක් තෝරා නොගැනීමෙන්). එයාගෙ ඉලක්කය දියාරු වෙන්න හෝ ළං වෙනකොට එපා වෙන්න තියෙන හැම අවස්ථාවක්ම එයා මග අරිනවා. (තත්වයට අනුව තමන් හැඩ ගැස්වීම වෙනුවට තමන්ගෙ හැකියාවන්ට සහ ආශාවන්ට අනුව තත්වය හැඩගස්වා ගන්නවා)

කෙටියෙන් කිව්වොත් මෙහෙම වෙද්දි ඒ මනුස්සයා කලින් තීරණය කරන ලද ඉලක්කයක් වෙනුවෙන් තමන්ව කැප කරනවා වෙනුවට තමන් දන්න තමන් විඳින ජීවිත ක‍්‍රමයක් ගත කරනවා. ඉලක්කය කියන්නෙ අංක දෙක. ඒ ඉලක්කය දක්වා යන ක‍්‍රියාකාරීත්වයයි වැදගත් වෙන්නෙ. මිනිහෙක් එයා විසින් තෝරා ගත් ඉලක්කයක් වෙනුවෙන් යම් රටාවකට අනුගත වෙන්න  ඕන කියලා හිතන එකම විහිළුවක්. වෙන කෙනෙකුට ඔයාගෙ ඉලක්කයන් තීරණය කරන්න දෙනවා කියන්නෙ ජීවිතේ වැදගත්ම කොටසක් අනුන්ට බාර දීමක් විදිහටයි මං දකින්නෙ. එතනදි වෙන්නෙ තමන් කවුද කියලා තීරණය කරන ක‍්‍රියාව අනුන්ගේ උවමනාවකට පාවා දෙන එක’

තොම්ප්සන් දන්නවා එයාගෙ යාලූවට සිරස් පැවැත්මක් මිස තිරස් පැවැත්මක් අහිමි වග. ඒක නිසා එයා අවධාරණයෙන් කියනවා නිකං හරි තමන් තමන් වෙනුවෙන් මේ තීරණය ගැනීමේ අවස්තාව මග ඇරියොත් ඒ අවස්ථාව සමාජයේ ගල්ගැහුණු ආකෘති අතරෙ නිකරුනේ දියවෙලා යනවා කියල. ඒ අවස්තාව එහෙම දියවෙලා යන්නෙ අපේ ජීවිතත් එක්ක. මට හිතෙන්නෙ අපේ රටේ මේ වෙනකොට පොදු මහත් ජනතාවක් විදිහට තමන්ට අනන්‍ය මේ තීරණ ගැනීම අත්ඇරලා. අපි ඒකමිතික, සමතලීය ගුලියක් වගේ එකක එක තැන කැරකෙන්නෙ ඒ හින්ද.

‘තමන්ට අනුව සිද්දි තීරණය කරන එක අත්අරින මනුස්සයාට වෙන්නෙ සිද්දි අනුව තමන්ව තීරණය කරන්න. ඒ නිසා ඔයා ඒ වගේ වරප‍්‍රසාද අහිමි පිරිසෙන් කෙනෙක් කියල හිතනවා නම් ඔය එන විදිහටම දේවල් බාර ගන්න. නැත්තං ඔයාට සීරියස් විදිහට වැඩට බහින්න වෙනවා. ඉලක්ක දිහා බලාගෙන යන්න එපා. ජීවත් වීමේ රටාව හොයාගෙන යන්න. ඔයාට ජීවතේ ගත කරන්න  ඕන කොයි විදිහටද කියලා හිතලා ඊට පස්සෙ කල්පනා කරන්න එහෙම ජීවත් වෙන අතරෙ කරන්න පුළුවන් මොනවද කියල. ඒත් ඔයා මට කියන්නෙ, මං කොහේ බලන්නද දන්නෙ නෑ, මොකක් බලන්නද දන්නෙ නෑ කියල.

ඒත් එහෙම හිතා බලන එක අත් අරින්න පුළුවන්ද? ඒක ඔයාගෙ තීරණයක්. ඒත් හිතීමක් ඇතිව බලන්න  ඕන කියල ඔයා හිතන එකෙන්මත් තෝරා ගැනීමක් තියෙන මිනිස්සුන්ගෙ පැත්තට ඔයා අඩියක් තියනවා’
-තොම්ප්සන්

ජීවත් වෙන්න  ඕන කොහොමද කියලා විස්තරයක් කරන එක පැත්තකින් තියලා හන්ටර් තොම්ප්සන් උපදෙස් දෙන්නෙ තෝරා ගන්නෙ මොකක්ද, කොහොමද කියන එක ගැන. මේ වෙද්දි ‘අපි’ කියන්නෙ එහෙම තෝරා ගැනීමක් තියෙන පිරිසක්ද කියන එක පවා අමතක වෙලා ගිහින්. ඔහේ ගලාගෙන ධාරාවක අපි පහළට ගහගෙන යන කූඹි රොත්තක් විතරයි.

‘මං ඔයාට ස්වර්ගයට යන පාර කියනවා නෙමෙයි. මං කියන්නෙ ජීවිතය විසින් දෙන තෝරා ගැනීම් බාර ගන්නවට වඩා විකල්පයක් තියෙනවා කියන එක. මිනිහෙකුට ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්’
- හන්ටර් තොම්ප්සන්

තොම්ප්සන් මොනවා කිව්වත් ඒක තමන්ට අදාල වෙන විදිහ හිතලා බලන එක කියවන තොම්සන්ලට බාරයි. ඒත් තොම්සන් සහ තොම්සන්ලාගේ පරපුරක ජීවත් වෙන ලංකාවෙ අපිට වෙනස් තොම්සන් කෙනෙක් වෙන්න තව දුරටත්  ඕනද කියන එක සැකයි. අපිට අපි නැති වෙලා ගොඩක් කල්. මේ වෙද්දි අපි තොග පිටින් විකුණන ගඩොල් වලට වෙනස් නෑ. සමූහ තේරුම් මිසක් පුද්ගලයො විදිහට තේරුමක් අහෝසියි. ඒක ලේසියි. පීනන්න අමාරුයි. පාවෙන්න ලේසියි.

මං අන්තිම බීර උගුරත් බීලා රන්දෝලියෙන් එළියට බැස්සා. ඉතිං ටික වෙලාවක් යනකල් මං හන්ටර් තොම්සන් කෙනෙක්. හෙට උදේ ඉඳන් ආයිමත් තෝරා ගැනීමක් අහිමි නිකංම නිකං තොම්සන් කෙනෙක්.

-අනුවර්තනය- චින්තන ධර්මදාස





Saturday, November 2, 2013

ඔලූවට නෙමෙයි කෙලින්ම පපුවට - මරාකරණය 2

‘මං රාජ කුමාරයෙක් නෙමෙයි.. මං ගමේ කොල්ලෙක්..’

පපර පා....ං.... සිරි පැරකුම් අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක... ඔන්න එතකොට සෝමරත්න කතා කරනවා. චෝගම් හින්ද අපේ රටට මාර එකක් වෙනවා කියලා කියනවා. මේ දවස්වල අයිරාංගනී සේරසිංහ ඉඳන් පෝලිමට එක එක අය ඔය කතාව කියනවා. ඒත් සෝමරත්න ඒ කතාව කියන්නෙ නිකං නෙමෙයි. එයාගෙ ෆිල්ම් එකටත් ඇඞ් එකක් දාගන්න ගමන්.

චෝගම් මාරයි කියද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මාරයි කියන අදහස වචන වලින් කිව්වට වචන වලින් නොකියන කතාව වෙන්නෙ ආණ්ඩුව මාරයි කියන එක.

ඒත් ආණ්ඩුවෙ අනුග‍්‍රහයෙන් ප‍්‍රචාරය වෙන රජයේ විද්වත්- කලා කීප දෙනාගෙ මේ ඇඞ් ඇරුණම යන්තම් ඉස්කෝලෙ ගිය ත‍්‍රීවීල්කාරයෙක්වත් මේ දවස් වල මහින්දගේ හොඳක් කියනවා අහන්න අමාරුයි.

චෝගම් හින්ද නගරයට ත‍්‍රීවීල් ඇතුල් කරන්න ඉඩ නොදීමත් එක්ක ආණ්ඩුවට ඡුන්දෙ ගහපු නොගහපු හැම ත‍්‍රීවීල් ඩ‍්‍රයිවර් කෙනෙක්ගෙම බඩට වදිනවා එපා නොකියන්න. ඒ කොහොම වැදුනත් ආණ්ඩුව සැලෙන්නෙ නෑ. ඡන්දයක් තිබ්බොත් පෝලිමේ ගිහින් ජනතාව කතිරෙ ගහනවා ආණ්ඩුවට.

මෑතකදි කතාබහක් මැද්දෙ ආන්ඩුව වෙනස් කරන අදහස් පෝලිමක් මැද්දට පැනලා මං නිර්මාල්ගෙන් ඇහුවා, ‘ඇයි ඔයා මහින්දට අකමැති?’ කියල. නිර්මාල්ට එකපාරට උත්තරයක් හොයාගන්න ගොඩක් වෙලා ගියා. ඇත්තටම ලිපියකදි ලියන්න එයාට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් අහපු ගමන් මහින්දට අකමැති හේතුව කියන්න ලංකාවෙ සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි ඇකඩමික් චරිත වලට පවා අමාරු වෙනවා.

මහින්දගෙ ආන්ඩුව පෙරළන විසඳුම යෝජනා කරන ගොඩක් විකල්පයන්ගෙන් මං අහන්නෙ ප‍්‍රශ්නෙ මොකද්ද කියල. හරියට ප‍්‍රශ්නය පැහැදිලි නැතුව යෝජනා කරන විසඳුම් කොච්චර දියුණු වුණත් වැඩක් නෑ මගෙ හිතේ. ඒක නිසා මාත් ඇතුළු මහින්දව වෙනස් කරන්න හිතන හැමෝම ‘ඇයි අපි මහින්දට අකමැති’ කියන එකට පපුවට දැනෙන උත්තරයක් හොයා ගන්න  ඕන.

මහින්ද කියන්නෙ ලංකාවෙ නාගරික දේශපාලනය අර්බුදයට යවන චරිතය. ජේවීපී එක ග‍්‍රාමීය දේශපාලනය නියෝජනය කරනවා කියලා තිබුණු පොදු පිළිගැනීම මහින්දාගමනයත් එක්ක පච වෙලා යනවා. ජවිපෙ කියන්නෙ ගමට නගරෙ ගැන තියෙන හීනමානය. මාක්ස් ලෙනින්වාද හරහා තේරුම්ගන්න හදන ඒ අයගෙ ප‍්‍රශ්නෙ වෙනුවට මහින්ද සිතියම වෙනස් කළා. මානව අයිතීන්, ව්‍යවස්ථාවන්, ආචාර ධර්මයන් එක්ක අධිනිශ්චය වුණු නාගරික දේශපාලනයෙ දොරවල් මහින්ද සරනේරු වලින්ම ගලවලා දානවා. හරියටම ගම් වල ජනතාව අරලිය ගහ මන්දිරේට ගේනවා වගේ එයා ග‍්‍රාමීය දේශපාලනයෙන් ව්‍යවස්තා, විධායක, අධිකරන තුනම හෝදලා ගන්නවා.

මහින්ද ලංකාවෙ කොයිම ජනාධිපති කෙනෙකුටත් වඩා මේ රටේ සංඥාර්ත පාවිච්චි කරනවා (සෙමියොටික්ස්*. හැමෝම ඡුන්දෙට මාර කැම්පේන් කරද්දි එයා රටටම අරලිය ගහ මන්දිරේට කතා කරලා කෑමක් දෙනවා.  රජයේ සේවකයො, කලාකාරයො, අරගොල්ලො මේ ගොල්ලො ඔක්කොම කට්ටි කට්ටි මන්දිරේට යනවා. මහින්ද ඒ හැමෝම එක්ක කතා කරනවා. පළු යන්න බැණ බැණ හිටියත් මුණගැහිලා වචන කීපයක් කතා කරන පරක්කුවෙන් කෙනෙකුට හිතෙනවා, ‘ඇත්තටම මේ මිනිහා කියන තරං නරක වෙන්න බෑ’ කියල.

රනිල් ගත්තොත් ඒකෙ අනිත් පැත්ත. ඒ උද්දච්චකමට (සමාවෙන්න කෙලින්ම කියනවට), අනිකාව පිළි නොගන්නා ඒ හිස්කමට මළ පනිනවා  ඕන කෙනෙකුට. අපි කතා කරන වචනෙන් කිව්වොත් පීආර් එක නිල්.  ඉතින් හැමෝම ලොකු ඇඞ්වර්ටයිසින් කැම්පේන් ගැන කතා කරන කොට මහින්ද කරන්නෙ පොඩි දෙයයි. ගෙදරට කතා කරනවා, හැමෝටම කෑමක් දෙනවා. හැමෝම එයාගෙ ගේ ඇතුලට ගන්නවා. කන්න දීපු මිනිහෙකුට හතුරුකමක් කරන්නෙ නෑ කියන ලංකාවෙ ජීවිත ව්‍යවහාරය එයා ඉන්සයිට් එකක් කර ගන්නවා.

ඉතිං කට්ටියම කාලා මහින්දගේ නෑයො වුණා. මහත්මා දේශපාලනය වගේ ප‍්‍රලාප විශ්වාස නොකර බැලූවොත් මහින්ද ලංකාවෙ මිනිස්සුන්ගෙ අවිඥාණක කලාප හරහා ඒ අයට අනන්‍ය වෙනවා. ඒ ගොල්ලොන්ගෙ කෙනෙක් වෙනවා. ඇත්තටම මහත්මා දේශපාලනය කියන්නෙ එළියට කියන වචනයක් මිස ඊට එහා ගිය ඇතුළත තේරුමක් නැති කතාවක් කියන එක හැමෝම ප‍්‍රායෝගිකව දන්නවා. (බලය එහා මෙහා මාරු කරන ගේම් එකක මහත්මා කියන්නෙ මොකක්ද?)

ඇත්තටම ලංකාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ ජනතා කැමැත්ත කියල හිතලා ගත්තොත් (මෙච්චර කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුණේ නාගරික ජනතාවගේ කැමැත්ත. ග‍්‍රාමීය ජනතාව එක`ග වුණා විතරයි. මේ ප‍්‍රභූ ව්‍යවස්තාවෙන් එලියට ගිහින් මහින්ද ගැලරියට සෙල්ලං කරනවා. අලයක් බතලයක් තම්බගෙන කෑමට එහා ආර්තික දේශපාලන දාමයට සම්බන්දයක් නැති විශාල බහුතරයකගේ අවිඥාණය දේශපාලනීකරණය කරනවා) ලංකාවෙ ජනතාව සැබෑ  නායකයා මහින්ද. මානව අයිතීන්, බඩුමිළ, පවුල්වාද මොනවා කතා කළත් ඒක ඒ චරිතයට අදාල නොවෙන්නෙ ඒ හින්ද. මිනිස්සු ඡුන්දෙ දෙන්නෙ වෙන දේශපාලනික තලයක.

වෙන උදාහරණයකින් කිව්වොත්  යූඑන්පී එක ජෝක් එකක් වෙලා ඉඳිද්දි මාතරදි රනිල් පන්නන්න ආපු පෙළපාලියට මංගලගේ කට්ටිය ගහනවා. මාධ්‍ය ඔක්කොම මේක මැරකමක් විදිහට පත්තු කරන්න හදනවා. ඒත් වෙන්නෙ කාලෙකට පස්සෙ යූඑන්පියට ජනතාවගෙන් ලකුණු ටිකක් වැටෙන එක. ඒ චණ්ඩිකමට ලංකාවෙ ජනතාව ප‍්‍රසිද්දියෙ අකමැති වුනාට අප‍්‍රසිද්දියෙ ආසයි .

කොමිස් ගහනවා, පගා ගන්නවා වගේ දේවල් වුණත් එහෙමයි. ඒවා චාටර් කියලා පොදුවෙ කතා කළාට සැබෑ ශ‍්‍රී ලාංකිකයෙක් කවදාවත් හදවතින් එහෙම නෑ. පගාව, කොමිස් සැබෑ ආත්මීය පිළිගැනීම ඇතුලෙ සාධාරණයි. ඒ කවුරු වුණත් තම තමන් ඉන්න පොඩි පොඩි තැන්වල ඉඳන් පවා කරමින් ඉන්නෙ ඒ ටිකමයි. ඇත්තටම කිව්වොත් එහෙම නොකෙරුවොත් ඌ හින්ද සමාජ සම්බන්දතා ජාලය අවුල් වෙනවා.
රනිල්ගෙ ආණ්ඩුව බලයෙ ඉන්න කොට එයා කිසි කෙනෙකුට රජයේ රැකියා නොදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා. රටේ ආර්තිකය ගැන බලලා, මාර සාධාරණ විදිහට ගත්ත ආඩම්බර තීරණයක් ඒක.

 ඒත් ආන්ඩුව ගේන්න වැඩ කරපු ජනතාවට යකා නැග්ගා. ඒ මිනිස්සුන්ට අලූත් ආණ්ඩුවත් එක්ක ගොඩක් බලාපොරොත්තු තිබුණ. ආර්තික තර්ක කතා හොඳයි පිරිසක් මැද්දෙ අහගෙන ඉන්න. ඒත් තනි තනි  ඕනකං වෙනස්. ඒ වෙනස් අවශ්‍යතාවලට ගැලපෙන හැම විසඳුමක්ම මහින්ද ගාව තියෙනවා.

මහින්ද කතා කරන්නෙ මේ තනි මිනිහට. එයා ගොඩනගන්නෙ පුද්ගලික සම්බන්දතා. ඒ සම්බන්දතා දාමය රටක් තරම්ම ලොකුයි. මං හිතන විදිහට උතුර ඇරෙන්න ජනතාවගෙන් හැම පස් හය දෙනෙකුගෙන්ම එක්කෙනෙක්වත් මහින්දගේ යාලූවෙක්. ඒ කියන්නෙ කොයි විදහකින් හරි රජයේ පාරවල් හදන, ප‍්‍රසංග කරන සල්ලි බෙදාහැරීමේ දාමයට සම්බන්දයක් තියෙනවා. හැමෝටම සරු වෙන රටක් කියන්නෙ ඒකට. ණය සල්ලි වුණත් මිනිස්සු අතරෙ බෙදෙනවා.

මෑතකදි විග්නේෂ්වරන් මහින්දව මුණගැහීමත් තවත් ඒ වගේ මරු තැනක්. මහින්ද විග්නේෂ්වරන්ට දෙන්න හොඳ ගණදෙවි රූපයක් හොයලා නැති තැන තමන්ගෙ බුදුමැදුරෙ තිබ්බ තමන් වතාවත් කරන ගණදෙවි රූපෙ විග්නේෂ්වරන්ට තෑගි කරනවා (ඒ ගණදෙවි රූපෙ කලින් දවසෙ මලයාලි කට්ටඩි ගෙනැල්ලා ජප කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒත් මීඩියා වලට කිව්ව කතාව මේක) මහින්ද විග්නේෂ්වරන්ට දෙන්නෙ එයාගෙ ආධ්‍යාත්මය. ඒක 13 දෙනවද නැද්ද කියන දේශපාලන කතාවලට එහා ගිය වෙනම සංදර්භයක්. මහින්ද කතා කරන්නෙ ඔලූවට නෙමෙයි පපුවට.

යුද්දෙ දිනපු ගමන් ප්ලේන් එකෙන් ඇවිත් පොළව ඉඹින තැන ඉඳන්ම එයා ජනතාවගේ ‘මනුස්ස’ වීරයා ගොඩනගනවා. පිරිමිකමෙන් පරිපූර්ණ, ඒ වගේම මනුස්සකමෙන් පිරිච්ච නායකත්වය. මනුස්සකම කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. මනුස්සකම කියන්නෙ දෙවියන්ගෙන් අපි වෙනස් වෙන තැන. පව් කරන්න, වැරදි කරන්න තියෙන නිදහස. පිලිගත් සදාචාර සම්පන්න දේශපාලනය කියන දේවත්වයට වඩා මේ සියලූ හොඳ නරක එකට කැටිවුනු මනුස්සයා අපිට ළ`ගයි.

ඇමරිකාවෙ වුණත් තුවක්කු පිළිගන්නෙ නැති, වීරත්වය වෙනුවට සාමයම යෝජනා කරන, සමලිංගිකත්වයට නිදහස දෙන, ඔබාමා මේ වෙද්දි ප‍්‍රතික්‍ෂේප වෙමින් යනවා. සුබසාදනවාදී පැත්තට වැඩියි වගේ නොයෙක් සාධාරණ කාරණා මේ ගැන කියන්න පුළුවන් වුණත් නොකියන බරපතල කාරණය වෙන්නෙ ඉතිහාසයක් පුරා ඇමරිකාව ජාතියක් විදිහට හැදී වැඩුණු සෙමියොටික්ස් වලින් ඔබාමා ඈත් වෙන එක. ඒ නිසා වෙන නොකැමැත්ත. තුවක්කුව කියන්නෙ ඇමරිකාවෙ ජාතික උරුමයක්.

සාමය ගැන කතා කොහොම වුණත් වීරත්වය, වලියට බර වීම එහේ ජාතික ලකුණක්. ඒ දේවල් ආමන්ත‍්‍රණය කරන්න තරමට නිර්මාණශීලී නොවීම ඔබාමා විරෝධයේ කැපී පේන තැනක්. ඔබාමාට වැරදුනාට මහින්දගේ අතින් ඒ වැරැද්ද වෙන්නෙ නෑ.

අපේ රටේ ගත්තත් ජාතියක් විදිහට අපි මාරයි කියලා මහා ඉහළින් පිළිගන්න හැම චරිතයක්ම පාදඩ චරිත. අපිට බුද්දාගම එවපු අශෝක අධිරාජයා ගත්තොත් එයා තමන්ගේ සහෝදරවරු සීයක් මරලා රජකම ගන්න චරිතයක්. මේ වෙද්දි අපේ ජාතික ලකුණ වෙන දුටුගැමුණු තමන්ගේ තාත්තාට ගෑණු ජංගි යවපු පුතෙක්. නායකත්වය ගැන මේ විදිහෙ සංඥාර්ත කලාපයක් එක්කයි මෙහේ මිනිස්සු හැදෙන්නෙ. ඒ දෙවියා සහ යකා එකට සමපාත කරන අපේ සෙමියොටික්ස් අඳුරගත්ත එක මං මහින්දගේ දකින පට්ට තැනක්.

මහින්දට විරුද්දව ව්‍යවස්තාව ඇතුලෙ කරන අරගල කිසි දෙයක් සාර්තක නොවෙන හේතුව මේක. එයා වැඩ කරන්නෙ වෙන ව්‍යවස්තාවක. කිසිම භාවිතමය හෝ ප‍්‍රායෝගික අත්දැකීමක් නැති, නිකංම නිකං කරදාසියක් වුණු පාර්ලිමේන්තු ව්‍යවස්තාවට වඩා මහින්ද වැඩ කරන ඇත්ත සමාජ දේශපාලන ව්‍යවස්තාව විශාලයි. ගැඹුරුයි. ඒ වගේම බද්ධයි.

මහින්ද එක්ක යන්තං වචන දෙක්ක කතා කරපු අපේ රටේ මිනිහෙක් වුණත් කියන පුරුදු කතාවක් තියෙනවා. ‘රටේ කරන වංචා දූෂණ අපරාද ගැන ඔය කියන කතා මං දන්නෙ නෑ, ඒත් මනුස්සයෙක් විදිහට මහින්ද මහත්තයා ඉස්තරං’

මහින්ද එක්ක ජනතාවට තියෙන්නෙ මේ පුද්ගලික සම්බන්දය. හැමෝම එයත් එක්ක ඇතුලෙන් සම්බන්ද වෙන්නෙ. එතකොට පිටතක් නෑ. සමාජයක් නෑ. ඇත්තටම එහෙම සමාජයක් රටක් කියලා අත්දැකීමක් ලංකාවෙ ජනතාවට නෑ. ඒවා නිකං අහසෙන් පාත්වුණා වගේ වචන මිසක් එහෙම පුහුණුවක් තිවෙන පුරවැසියො මේ රටේ නෑ. මෙහේ ඉන්නෙ දැන ඇඳුනුම්කම් හරහා ගනුදෙනු කරන පොඩි මිනිස් රංචුවක්.

මහින්ද එක්ක ගොඩනැගෙන පුද්ගලික සම්බන්දය ඇතුලෙ රටක් විදිහට එයා දිහා බලන මහා දෘෂ්ටිකෝණය බිඳ වැටෙනවා (එයා කරන්නෙ මැක්‍රො පොලිටික්ස් නෙමෙයි මයික්‍රො පොලිටික්ස්) වැරැද්දක් කළත් යාලූවෙක් නිසා ආරක්‍ෂා කරන තැනට මිනිස්සු එනවා. වෙන විදිහකට කිව්වොත් එයා ‘දේශපාලනය’ කියන එකේ රටේ අදහස හරියට ස්පර්ශ කළා. ‘අපිට දෙයක් කරගන්න බලය’. ඊට වඩා දේශපාලනයක් ලංකාවෙ සමාජය දන්නෙ නෑ. ඒක ජනතාවගේ වැරැද්දක් නෙමෙයි. එහෙම ගොඩනැංවීමක් සිද්ද වෙලා නෑ.

මේක හරියටම මේ රටේ බුද්දාගම ගැන ඉන්දියාවෙ ගෞතම බුදුන් වදාල ධර්මයක් එක්ක සංසන්දනය කරලා කතා කරනවා වගේ වැඩක්. මේ දෙක අතරෙ සම්බන්දයක් නෑ. ලංකාවෙ බුද්දාගම කියන්නෙ සිංහල ජාතිය කියන එක ගොඩනගන මෙහෙයුමක්. ඒක ඉතිහාසෙ ඉඳන් එන්නෙම එහෙම. ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට වඩා ඒක ගොඩනැගෙන්නෙ සෝෂියෝ පොලිටිකල් කැම්පේන් එකක් ඇතුලෙ. එතකොට බොදු බල සේනා වගේ ක‍්‍රියාකාරීත්වයක් ඉන්දියාවෙ බුදුන්ගේ වචන එක්ක ගලපලා ප‍්‍රශ්න කරන එකම විහිළුවක් වෙනවා. මොකද ඒක මේ ග‍්‍රවුන්ඞ් එකට අදාල නෑ.

ඒ වගේම මහින්ද ගැනත් විරුද්ද වෙන්න කලින් පිළිගන්න  ඕන කාරණා ගැන හිතන්න වෙනවා කියන එකයි මගේ අදහස. ඒ තේරුම් ගැනීම නැතුව කරන්න හදන හැම වෙනසක්ම අසාර්තක වීමට නියමිතයි වගේම ඒක වෙන සංඥාර්තයන් ගොන්නක් බලෙන් පැටවීමකුත් වෙනවා. විජාතික කුමන්ත‍්‍රණ කියල රජපක්ෂ ශබ්දකෝෂෙ එන්නෙ මේ තේරුම. පිටින් ඉඳන් බලන උන් දේශ ද්‍රෝහියො වෙනවා. ඇතුලට ඇවිත් බලන උන් දේශපේ‍්‍රමියො වෙනවා.

මේක ලංකාවෙ අවුලක් විදිහට සරල කර ගන්න උත්සාහ කරන අයට මං කියන්නෙ ‘හවුස් ඔෆ් කාර්ඞ්ස්’ වගේ ටීවී සීරීස් එකක් බලන්න පටන් ගන්න. ඇත්තටම මහින්ද කරන දේශපාලනයේ තියුණු බව එතකොට තේරුං ගන්න ලේසි වෙයි. දේශපාලනය කියන්නෙ මේකට. අවාසනාවට විපක්ෂ අය කරමින් ඉන්නෙ ඉස්කෝලෙ අච්චු පොත් කියවන එක.

යටි අදහස- මේ ලිපිය මහින්ද අහම්බෙන් කියවනවා. ඒක කියවලා සතුටට පත් වෙලා එයා මටත් කෑමකට ආරාධනා කරනවා. එතකොට ඇතිවෙන හිතමිතුරු කමට එයා මට චිත‍්‍රපටියක් කරගන්න සල්ලි දෙනවා. ඒ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දොඩං ගහ හන්දිය සියලූ ආදායම් වාර්තා බිඳහෙලන චිත‍්‍රපටියක් වෙලා පෝලිං කඩාගෙන හෝල් වලට එනවා.