Saturday, November 23, 2013

හෝල් කඩාගෙන එන්නෙ!


මං ෆිල්ම් එකක් කරන්න යන්නෙ?
මෙහෙම කියපු ගමන් ගොඩක් වෙලාවට මුලින්ම ආපිට ඇහෙන්නෙ එක ප‍්‍රශ්නයක්.

‘ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණාද?’

‘මොකද්ද මචං ස්ටෝරි එක’ වගේ කතා එන්නෙ ඊට පස්සෙ. මේක වැරැුද්දක් නෙමෙයි. ඇත්ත ප‍්‍රශ්නයක්. පළවෙනි දේ මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියල දැන ගන්න එක.

ඒත් ඒ ප‍්‍රශ්නෙ මාත් ඇතුළු ගොඩක් චිත‍්‍රපටි හදන්න ට‍්‍රයි කරන උන්ව අධෛර්ය කරනවා. ඒ ප්‍රොඩියුසර් කෙනෙක් නැති ඇත්ත තත්වය හින්ද නෙමෙයි. දෙන්න උත්තරයක් නැති හින්ද.

පිටපතත් අරගෙන එක එක ඇඳුනුම් මාර්ග වලින් ප්‍රොඩියුසර්ලා හම්බුවෙන්න යන එකයි සාමාන්‍ය සිරිත. මැණික් මුදලාලිලා, අල මුදලාලිලා එහෙම නැත්තං ටයි ඇඳගත්තු රස්සා කරන ඒත් මුදලාලිලා වගේ නානාප‍්‍රකාර අය මේ ගමනෙදි මුණගැහෙන්න පුළුවන්. එතකොට ඒ ගොල්ලොත් ආපිට අහන ඇත්ත ප‍්‍රශ්නයක් තියෙනවා.

‘ගාන හොයන්න පුළුවන්ද?’

මේ ප‍්‍රශ්නෙට කොයි තරං ක‍්‍රියේටිව් විදිහට උත්තර දෙනවද කියන කාරණේ උඩ මුදලාලි ඉන්ද, අවුට්ද කියන එක තීරණය වෙනවා. අවුලකට තියෙන්නෙ මේ ප‍්‍රශ්නෙ ඇහිච්ච ගමන් මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙන එක. මට ගෑණියෙක් විකුණන පිම්පියෙක් ගානට ලැජ්ජ හිතෙනවා. ඒ චිත‍්‍රපටියක් කරලා ඒකෙන් ආදායම් ගන්න එක සැලසුම් කිරීම ගැන අපුලකට නෙමෙයි. අපේ හීනෙට එකපාරටම වැටෙන ලංසුව ගැන දැනෙන මොකද්ද නොගැලපීමක් හින්ද.

අනිත් අතට ‘අම්මට හුඩු හෝල් කඩාගෙන එන්නෙ’ වගේ පචයක් කියන්න කොයි තරං ගටක් තියෙන්න  ඕනද? මේ සිරි සිද්ධාර්ත බලන උපාසක ජනතාව මගේ වගේ ෆිල්ම් එකක් බලන්න පෝලිමේ එයිද? පෝස්ටර් ගහන්න, පබ්ලිසිටි දෙන්න තව කීයක්  ඕන වෙයිද? අඩුගානෙ මහින්ද එක්ක ෆොටෝ එකක් ගහලා දිනමිනේ දා ගන්නවත් පුළුවන් වෙයිද?

මං හිතන්නෙ ලංකාවෙ චිත‍්‍රපටි කරන්න හිතන අයට ඒවා කරන්න තියෙන්නෙ පාරවල් දෙකයි. එකක් කොහොම හරි මේ මුදලාලි කෙනෙක් මරාගන්න එක. අනිත් එක යුරෝපියානු සම්මාන උළෙලක් දිහා බලාගෙන ඉඳලා හරියට ඉත්තා අදින එක. වෙන රටවලින් ප‍්‍රකාශන නිදහස නැති නිසා සම්මාන උළෙල වලට චිත‍්‍රපටි ඉදිරිපත් වෙද්දි  අපේ රටෙන් ඒවට ඉදිරිපත් වෙන ඇත්ත හේතුව වෙන්නෙ පේ‍්‍රක්‍ෂාගාරයක්, කර්මාන්තයක් නැතිකම. ඒකෙ වැරැුද්දක් නෑ.  සිනමාව තමන්ගේ ප‍්‍රකාශනය වුනු කෙනෙක් ඒක කොයි විදිහකින් එළියට දාන්න  ඕන.

මේ දෙකම කරන්න බැරි මට වෙන පාරක් හිතන්න වුණා. අඩුම තරමෙ පළවෙනි ප‍්‍රශ්නෙ මගඇරලා කතාව මොකක්ද කියන ප‍්‍රශ්නෙට පැනගන්නවත්. යාලූවෙක් එක්ක වාඩිවෙලා ඔලූවෙ ඇඳිච්ච චිත‍්‍රපටියක කතාවක් කියන ආතල්ජනක වැඩක්. කියන කියන වතාවෙන් වතාවට, කෙනාගෙන් කෙනාට ඒ ෆිල්ම් එකට අලූත් පාට එකතු වෙනවා. කවදාවත් නොහැදෙන ෆිල්ම් එකක් වුණත් විසිතිස් වතාවක් එක එක ඈන්ගල් වලින් විඳින්න ඉඩක් ලැබෙනවා. සමහර වෙලාවට බලලා බලලා ඒ චිත‍්‍රපටිය එපා වෙලත් යනවා. එතකොට අලූත් එකක් ලියනවා.

‘යාලූවන්ගෙන් කීය කීය හරි ඉල්ලගෙන ලෝ බජට් ගහනවා බං’
මං හදාගත්ත උත්තරේ ඒක. ඒත් මුංගෙන් බේරෙන්න බෑ සමහර වෙලාවට.

‘ලෝ බජට් වුණත් කොලිටිය තියාගනින්. ඔය ලොකු ෆෙස්ටිවල් නැති වුණාට පොඩි වෙන වෙන ඒවා තියෙනවා. දාන්න පුළුවන්...’
එතකොට කතාව යන්නෙ වෙන අතක. ෆිල්ම් එක බලන්න ඌ ලෑස්ති නෑ.

මේ යාලූවන්ගෙන් එකතු කරන කතාව මෙහේ විතරක් නෙමෙයි බටහිරත් ප‍්‍රධාන ධාරවෙන් එළියෙ වෙනස් වැඩ කරන අයට හොයාගන්න සිද්ද වුණු උත්තරයක්. ඒත් සුද්දා අපි වගේ නෙමෙයි. කිය කියා ඉන්නෙ නෑ, ඌ කරනවා. මේ වෙද්දි මේ උත්තරේ ආර්ට් කියන දේ ආකෘතිය, හැසිරීම ආදී ගොඩක් දේවල් යළි වෙනස් ලෙස නිර්වචනය කරමින් ඉන්නවා. ‘ක‍්‍රවුඞ් ෆන්ඩින්’ (සමූහ අරමුදල්) කියන්නෙ මේකට කියන විධිමත් නම. ඉන්ටර්නෙට් එන්න කලින් ලංකාවෙ තාමත් ඇෙ`ග් මයිල් කෙලින් වෙන ක‍්‍රවුඞ් ෆන්ඩින් වැඩක් සිද්ද වුණා. ඒ සුනිල් මාධවලා හිරු පත්තරේ පටන් ගන්නකොට. රොමාන්තික වුණත් පුදුම ආදරයක් හෘදයාංගම බවක් දැනිච්ච පටන්ගැන්මක් ඒක. (ඒ පත්තරේ ලියවිච්ච ජවිපෙ හිතවාදී මනස්ගාත ගැන අමතක කරන්න)

ඇමන්ඩා පාමර් කියන්නෙ මේ විදිහට ක‍්‍රවුඞ් ෆන්ඩින් වලින් තමන්ගෙ මියුසික් කරන ඇමරිකානු පර්ෆෝමර් කෙනෙක්. එයා ටෙඞ් ටෝක්ස් වලට ඇවිත් මේ අලූත් අදහස හරහා වෙනස් වීමට යෝජනා කරන මිනිස් සිතීම ගැන කතා කරනවා. කවදාවත් ඒන්ජල්ස් ලා (සුර`ගනන්, දෙව`ගනන් වගේ සිංහල වචන මේ අදහස හරියට දෙන්නෙ නෑ) ඉන්නවා කියලා නොපිළිගන්න අයට මං කියන්නෙ ඇමෙන්ඩා පාමර්ව අහන්න කියල. ඒක හරියට නව සයිබර් සම්බන්ධතා හරහා ගොඩනැගෙන අනාගත සමාජය ගැන සුබාරංචියක් වගේ.

‘සංගීතය කියන්නෙ මගේ රැුකියාව නෙමෙයි..’ ඇමෙන්ඩා පටන් ගන්නෙ එහෙම. එයා කලින් ඇ`ග පුරා තීන්ත ගාගෙන පාරක් අයිනෙ පෙට්ටියක් උඩ පිළිමයක් වගේ හිටගෙන හිටපු කාලය ගැන මතක් කරනවා. ඒ මනුස්ස ප‍්‍රතිමාවට මිනිස්සු කීයක් හරි දානවා. එතකොට ඇමෙන්ඩා රෝස මලක් දෙනවා. ඒ රෝස මල දෙන අතරෙ එයා කෙලින්ම අර මනුස්සයාගේ ඇස් දිහා බලනවා.

‘ඔබට ස්තුතියි. මට ඔබව පේනවා...’ ඇමෙන්ඩා ඇස් වලින් කියනවා.

සංකීර්ණ නාගරික සම්බන්ධතා ඇතුලෙ කතා කරන්න කවුරුවත් නැතිව හුදකලා වුනු මිනිස්සුන්ට ඒ ඇස් වලින් මුණගැහෙන නිහ`ඩ තත්පර කීපයත් ලොකු දෙයක් වෙනවා. ඇරත් නාගරීකරණය සමග මැෂින් වගේ දුවන ජීවිත වලට අමතක වෙන තමන් ළ`ගම ඉන්න අනෙකා ගැන ඇමෙන්ඩාගේ ඇස් මතක් කරනවා.

‘මට ඔබව පේනවා...’

මේ අතරෙදි එයාව පහුකරගෙන යන වාහනේකින් කෙනෙක් ඔලූව එලියට දාලා කෑ ගහනවා.
‘රස්සාවක් හොයාගනිං ගෑනියෙ....’

එතකොට ඇමෙන්ඩා තේරුං ගන්නවා තමන් අවට ජීවත් වෙන මිනිස්සු පෙළෙන සදාතනික බිය. ‘තමන්ගෙ රස්සාව (පිළිගැනීම) ගැන බය’ ‘කාගෙන්වත් ඉල්ලන්න තියෙන බය’

‘මේ තමයි මං කරන රස්සාව’ ඇමෙන්ඩා පෙට්ටිය උඩ හිටගෙන හිතනවා. මිනිස්සු එක්ක මෙහෙම කෙලින් ඇසට ඇස මුණගැසුණු ඒ උණුහුම එයා සයිබර් සම්බන්ධතා ඇතුලට ගේනවා. ට්විටර් වලින් සම්බන්ද වෙමින් එයා එක එක තැන මියුසික් වැඩ කරනවා. ඒ ඒ පළාත් වල ආර්ටිස්ට්ලත් එක්ක එකතු වෙලා එයා ලෝකෙ වටේම ප‍්‍රසංග පවත්වනවා. ඇත්තටම රුසියානු විප්ලවලය ගැන රොමාන්තික නවකතාවකට වඩා ඇමෙන්ඩාගෙ ජීවිතය හරිම උණුහුම්.
ට්විටර් කියන්නෙ තාක්‍ෂණයකට වඩා කොන්දේසි විරහිත මනුස්ස බැඳිමක තත්වයක් කියල ඇමෙන්ඩා පැහැදිලි කරනවා.

නොදන්නා නගරයක නාඳුනන කෝපි කඬේක ඉඳන් දවසක් එයා තමන් පෙළෙන මොකද්ද පොඩි අසනීපයක් ගැන ට්විට් කරනවා. පැය බාගයක් ඇතුළත හෙදියක් විදිහට රස්සාව කරන තරුණියක් ඒකට බෙහෙතකුත් අරගෙන කෝපි කඬේට ගොඩ වෙනවා. ඒ ගොල්ලො කෝපි බිබී ගොඩක් වෙලා කතා කරනවා. ඒක අහම්බෙන් සිද්ද වුනු ලස්සන මුණගැහීමක්. ඇමෙන්ඩා ට්විටර් කියන්නෙ ඒ හෘදයාංගම බවට.
එයා කවුච් සර්ෆින් කරනවා. ඒ කියන්නෙ නෙට් එක හරහා අඳුරගත්ත සයිබර් යාලූවන්ගෙ ගෙවල් වල නැවතෙමින් ලෝකෙ තැනින් තැන ඇවිදිනවා. එතනදි ඉල්ලන අවම පහසුකම නිදාගන්න සාලෙ කවිච්චිය විතරයි. සමහර තැන් වලදි ගෙදර අය තමන්ට ඇඳ දීලා බිම නිදාගත්ත අවස්තා ගැන ඇමෙන්ඩා කතා කරන්නෙ හරිම හැ`ගීම්බරව. අනෙකා ගැන තියන මේ විශ්වාසය තමයි සයිබර් සම්බන්දතා වලින් ඇති කරන මනුස්ස වෙනස. අවිශ්වාසය සහ අනාරක්‍ෂිත බව පුරුදු කරපු මනුස්ස වර්ගයාට ආයිමත් විශ්වාසය සහ අනෙකා බාර ගැනීම කියන දේ හුරු කරන්න ඇමෙන්ඩා වගේ සයිබර් දේවතාවියන් වැඩ කරමින් ඉන්නවා. ඒත් ලංකාවෙ අපි තාම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙ සෙක්ස් සහ ගොසිප් වලට විතරයි.

ඇමෙන්ඩා මේ නාඳුනන මිනිසා විශ්වාස කිරීමේ ව්‍යාපෘතියෙ ගොඩක් දුර යනවා. එයා කවුච් සර්ෆින් කියන අදහස ක‍්‍රවුඞ් සර්ෆින් කියන තැනට අරගෙන එනවා. එයාගෙ ඇල්බම් ගහන්න එයා ‘කික් ස්ටාර්ටර් (කවුඞ් ෆන්ඩින් සඳහා තැනූ සයිබර් වේදිකාවක්) හරහා සල්ලි එකතු කරනවා. මේ දක්වා කික් ස්ටාර්ටර් එකේ වැඩිම අරමුදලක් එකතු කළ ආර්ටිස්ට් වෙන්නෙ ඇමෙන්ඩා පාමර්.

එයා වරක් නිරුවතින් තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයන් අතරට යනවා. ඇත්තටම බීමත් ජර්මානුවන් පිරිසක් අතරට. තමන්ගේ කලාව විශ්වාස කරන, ඒ වෙනුවෙන් තමන් හම්බකරපු මුදලින් කොටසක් කැප කරන එයාගෙ රසිකයන්ට තමන්ගෙ නිරුවත් සිරුර මත කැමති සටහනක් තබන්න කියලා එයා කියනවා. ඇමෙන්ඩා ඒක ගන්නෙ අනෙක් නාඳුනන මිනිසා ගැන තමන්ගේ විශ්වාසය තමන් ඇතුළෙන්ම විස්තාරණය කර ගැනීමේ වෑයමක් විදිහට.

මේ හැම තැනකදිම එයාට නැවත නැවත පාර අයිනෙ පෙට්ටියක් උඩ ඉඳගෙන තමන් අනෙකා දිහා බලා හිටපු හැටි මතක් වෙනවා. නොපෙනෙන තාක්‍ෂණික මෙවලම් අස්සෙන් වුණත් වැඩ කරන්නෙ ඒ ඇසට ඇස මුණගැසීමක මිනිස් උණුසුම.

‘පයිරසි හින්ද මියුසික් ඉන්ඩස්ටි‍්‍ර එක වල පල්ලට යනවා. ඇමෙන්ඩා ඔයා මොනවද මේ කරන්නෙ?’ මාධ්‍ය වලදි එයාගෙන් දරුණුවට ප‍්‍රශ්න කරනවා. මොකද එයා මේ බුද්ධිමය දේපොල අයිතීන් නොතකා  ඕන විදිහකට තමන්ගේ නිර්මාණ බෙදා හදා ගන්න උනන්දු කරන හින්ද. එතනදි එයා එක්තරා ප‍්‍රසංගයකදි තමන් මුනගැහෙන්න ආපු රසිකයෙක් ගැන මතක් කරනවා. ඒ රසිකයා එයාට ඩොලර් දහයක නෝට්ටුවක් දික් කරනවා.

‘මං ඔයාගෙ සිංදු සීඞී එකකට ගැහුවා. මට සමාවෙන්න..’ එයා ඇමෙන්ඩාට කියනවා. මේ හෘදය සාක්ෂියත් එක්ක තමන් සල්ලි වලින් ගනුදෙනු කරන්නෙ කොහොමද? මේක සල්ලි වල කතාවට වඩා දැවැන්ත ආදර කතාවක්.

‘අපි කොහොමද මිනිස්සුන්ව ගෙවන්න පොළඹවන්නෙ?’ ඇමෙරිකාවෙදි මේ විදිහට අහන ප‍්‍රශ්නෙම තමයි මෙහෙදි ‘ ගාන හොයන්න පුළුවන්ද?’ කියල අහන්නෙ.
ඒත් ඇමෙන්ඩා පාමර්ට තියෙන්නෙ වෙනස් උත්තරයක්. ‘අපි කොහොමද මිනිස්සුන්ට උදව් කරන්න ඉඩ හදන්නෙ?’

මෙච්චර කාලයක් ආර්ටිස්ට් සහ පේ‍්‍රක්‍ෂකයා අතර තිබ්බ සම්බන්ධයේ ආර්තිකය තීරණය වුණේ දුරස්ත බව උඩ. ඒක සෙලිබ්රිටි වැඩක්. ආර්ටිස්ට්ට බයයි මිනිස්සුන්ට ළං වෙන්න, මොකද ඇත්ත මිනිහට ඒ සෙන`ග ආදරේ කරන්නෙ නැති වෙයි කියල.

ඒත් ඇමෙන්ඩා කියන්නෙ වෙනස් විදිහක ආර්ටිස්ට් කෙනෙක් ගැන.  ආර්ටිස්ට් හිනාවෙන, අ`ඩන, කණස්සලූ වෙන, නන්නත්තාර වෙන ජීවිතේ ඒ විදිහටම පේ‍්‍රක්‍ෂකයන් එක්ක බෙදා හදා ගන්න සම්බන්ධයක් එයා යෝජනා කරන්නෙ. එතකොට තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයා කියන්නෙ තමන්ගෙ යාලූවෙක්. යාලූවො එකිනෙකා උදව් කරගන්නවා. ඒකයි ආර්ට් එක.

ඒත් මේකට අපේ මානව චර්යාවෙ ලොකු පුරුද්දක් වෙනස් කර ගන්න වෙනවා. ගන්න එක වෙනුවට ඉල්ලන එක. ඉල්ලන්න  කොයි තරං අමාරුද කියල ඇමෙන්ඩා පැහැදිලි කරනවා. සමහර තමන්ගේ සහෝදර සංගීතකරුවන්ට පවා තොප්පියක් අරගෙන මිනිස්සු අතරට යන්න කිව්වොත් ඒ අයගෙ කකුල් වේවලන හැටි එයා කියනවා. මේ එදා පාර අයිනෙ පෙට්ටියක් උඩ හිටගෙන ඉඳිද්දි කෑ ගහගෙන ගිය මනුස්සයාගෙයි ආර්ටිස්ට්ගෙයි දෙන්නගෙම තියෙන එක හා සමාන බයක්. තමන්ගේ දියවීම දරා ගන්න බැරිකම.
ඇස් දිහා කෙලින් බලාගෙන, ‘ස්තුතියි. මට ඔබව පේනවා’ කියන්න බැරි කම.

ලංකාවෙ නං තව පරම්පරා හත අටක්වත් යනකං මේ විදිහෙ මනුස්ස ගනුදෙනුවක් හදාගන්න අපිට බැරි වෙයි. බටහිර ‘ඉල්ලන’ එක ලොකුම ප‍්‍රශ්නයක් වුණත් මං හිතන්නෙ මෙහෙට ලොකුම ප‍්‍රශ්නය වෙන්නෙ ‘දෙන’ එක. කොච්චර දානය පුරුදු කරපු රටක් වුණත් අපි ඒක දෙන්නෙත් ඊළ`ග ආත්මෙ ඊට වඩා ලැබෙන පොරොන්දුව පිට. පන්සල් ගානෙ හාමුදුරුවරුන්ට පැය ගණන් වටාපත් වලින් මූණ වහගෙන මේ පචේ කියන්න වෙනවා දානෙ ටික ගන්න. අපිට ඉල්ලන එකා පේන්නෙම හොරෙක්, තක්කඩියෙක් නැත්තං ත‍්‍රස්තවාදියෙක් විදිහට (උදා උතුරේ දෙමළ ජනතාව). දෙන එක පේන්නෙ අහුවීමක් විදිහට. ඒ අපේ සිල්ලර සමාජ ගනුදෙනුවෙ දිග පළල. පත්තර සහ ටෙලි නාට්ටි හරහා පැය විසි හතරෙ වගුරන මේ අනෙකාව සැක කිරීමේ අපේකම බිඳගෙන යන්න අපි කීපදෙනෙකුගෙ වෑයම මදි. ඒත් ඇමෙන්ඩා එයාගෙ ඇතුලෙ අනෙකා ගැන විශ්වාසය විස්තාරණය කරන්න තමන්ගේ අභ්‍යාසයක් විදිහට දේවල් කරනවා වගේ අපිටත් කරන්න වෙන්නෙ අපේ බෙලිකටුව කඩා ගන්න එක. නාඳුනන අනෙකා කොන්දේසි විරහිතව විශ්වාස කරන්න පටන් ගන්න එක. පාවිච්චි වීම, අහුවීම, සූරා කෑම වගේ නිතර එළන හි`ගන ලේන්සු අකුළගෙන මිනිහෙක් විදිහට තවත් මිනිහෙක්ගෙ පැවැත්ම බෙදා ගන්න පුළුවන් තරමට වැඩෙන එක.

අන්තිමට චිත‍්‍රපටියක් හදාගන්න බැරි වුණත් ඊළ`ග ආත්මෙක මේ කොට කැත දූපත් පැවැත්ම වෙනුවට මිනිස්සු එකිනෙකා විශ්වාස කරන පොහොසත් ලෝකෙක ඉපදෙන්නවත් ඒ පින හේතු වාසනා වේවා කියල හිතාගෙන හැමෝම සාදුකාරයක් දෙන්න....’

-චින්තන ධර්මදාස

10 comments:

  1. Oya ona film eka karanna...Habai dravida nalu,niliyanva film eke daanna epa... Ape Nadeesha Miss, Upeksha Miss, Anarkalee Miss ta ara chance eka denna.

    ReplyDelete
    Replies
    1. මොකාද බන් මේ මීහරකා ? හැම වෙලේම ඇවිත් යන්නේ කොහෙද මල්ලේ පොල් බේගල් ඇද බාන්නේ.

      Delete
    2. මේ ලක්ෂාන් මධුසංක කියන්නේ , සුධර්මන් යකඩගොඩ කියන පුද්ගලයාගේ ළමයා.ITN එක බලලා brain wash වෙලා තියෙන්නේ.

      Delete
  2. අවුරුදු කීපයකට කලින් crowdfunding ලංකාවේ කලා කාරයන් කියන එවුන් කීප දෙනෙකුට කියල දෙන්න හැදුව kickstarter සහ indiGoGo වැනි platform හරහා... අන්තිමට මම කොමිටලයක් උන එක විතරයි උනේ. පලවෙනි ප්‍රශ්නේ මුන් ඇහුවේ සල්ලි එකතු කරගෙන මුකුත් නොකර නොදී ඉන්න බැරිද කියන එක. කියපු වෙලාවේ ඉඳන් ඔය කියන ලොකු පොඩි පොරවල් හැම එකම කල්පනා කරේ creative වැඩක් කරන්නේ කොහොමද කියන එක නෙමෙයි, එකෙන් හොර කම් කරන්නේ කොහොමද කියන එක. සක්විති පාරක් ඕකෙන් දාගන්න බැරිද කියන එක තම අපේ එවුන් ගේ ප්‍රශනය උනේ.

    ReplyDelete
  3. ටිවිටර් හින්ද ප්‍රසිද්ධ චරිත වල සෙලිබ්‍රිටි ගතිය අඩුවෙනවා කියන එක නම් ඇත්ත. මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් හමුවේ තමන්ම තමන්ව මෝඩයෙක් කරගන්න හැටි, අඬන හැටි, බනින හැටි දැකල කලින් තිබුණු දුරස්බව අඩු වෙලා. ඒක හොඳටත් නරකටත් බලපාන්න පුළුවන්.

    මම හිතන්නේ නෑ කලාකාරයෝ (කිහිපදෙනෙක් ඇරුනම) සල්ලි වලට මුල් තැන දෙනවා කියල, ඇමරිකන් ගායකයෝ ගැන කියනවා නම් එයාල ඇතුලත් record companies තමයි සල්ලි වලට උනන්දු. උදාහරණයක් විදිහට මේ කාලේ ජනප්‍රියම පොප් ගායිකාවක් වුණු Lady Gaga තමන්ට ලැබෙන මුදල් වලින් වැඩි කොටසක්ම වියදම් කරන්නේ (එයා කියන විදිහට) musical concerts නැත්තම් shows වලට. තවත් කොටසක් charity වලට වෙන්වෙද්දි එයා තමන්ව හමුවෙන්න එන රසිකයන්ට නොමිලේ කෑම හිටන් බෙදන අවස්ථා තියනවා.

    ReplyDelete
  4. චින්තන අපිට මෙහෙම් කරන්න බැරිද.. වාණිජමය චිත්‍රපටයක් මගින් සැලකිය යුතු මුදලක් උපයාගෙන ඒ මුදල් හරහා නිදහස් නිර්මාණයක් කිරීම ... ඔබෙන් පිළිතුරක් ලැබේ නම් කෘතඥ වෙමි...

    ReplyDelete
    Replies
    1. අනේ මේ! පව් නොදී යනවකෝ.

      Delete
    2. අහ්හ්හ් මෙහ්හ්හ් ඉන්නේ... ඔහොම පොඩ්ඩක් ඉන්න...

      Delete
  5. මහින්ද චින්තන නිර්මාණයක් කිරීම මෙලෝ පින පලදිමක් කියල හිතාගෙන හැමෝම චින්තන ධර්මදාසට සාදුකාරයක් දෙන්න සා......... දු සා......... දු සා...

    ReplyDelete
  6. මේ ලිපිය තුල කතාවෙන කරුනු වලින් ලොකු පැතිකඩක් විවෘත වෙනවා. අමරදේවයන්ව භාත්කන්ඩේ ඉගෙනුමට යවන්නේත් ක්‍රවුඩ් ෆන්ඩින්ග් වලින් නේද? හිරු පවත්වාගෙන යන්න මුදල් එකතු කිරීමට ඕමානයේ සිට සක්‍රීයව මූලිකවී දායකවුනු කෙනෙක් ලෙස මට මතකයි මිනිස්සු ඒ සම්බන්ධව කොච්චර උනන්දු වුනාද කියන එක. අද මිනිස්සු මේ ක්‍රවුඩ් ෆන්ඩින්ග් වලට සුදානම්ද? මිනිසුන්ට කලාකරුවා යන චරිතය කෙරෙහී එදා තරම් ශුද්ධවු ආකල්පයක් තිබේද? රාවය වන්-අයි ගෙන් මිලදීගන්න ජනතාව කොතරම් දුරට දායක වුනාද කියන ඒවා හිතන්න වෙයි. ක්‍රවුඩ් ෆන්ඩින්ග් වලින් පටන් අරන් ක්‍රවුඩ් හන්ටින්ග් වලින් ඉවර වෙනවාට ජනතාව භයයි. ඒ ඔවුන්ගේ වරදක් නොවේ.

    Couch surfing නම් ඉතා සුන්දර ක්‍රමවේදයක් බව එවැනි අත්දැකීම් සහිත අය රාශියක් එකතුවී ලියු ලිපියක් කියවීමෙන් දැනගත්තා.

    ReplyDelete