Sunday, November 17, 2013

ජැක්සන්ට ආදරෙනි

දෙරණෙන් කරන හොඳටම නැට්ටුවා තේරීමේ රියැලිටි ෂෝ එකේ හොඳම නැට්ටුවා වුණේ ජැක්සන් ඇන්තනිගෙ පුතා. කොයි තරං අසධාරනයක් වෙන්න පුළුවන් වුණත් මට ජැක්සන්ගෙ පුතා කියනවා ඇරෙන්න එයාටම කියලා තියෙන නම කටට එන්නෙ නෑ. ඒක නම නොකියවෙනවට වඩා එහාට ගිහින් ජැක්සන්ගෙ අතක් කකුලක් විදිහට වඩා වෙන අනන්‍යතාවයක් මේ ළමයින්ට හිමි වෙලා නැති එක කියලයි මට දැනෙන්නෙ. ඉස්සෙල්ලා මහරජ පැරකුම්බා වෙච්ච ලොකු පුතාටත් එහෙමයි. මං විතරක් නෙමෙයි විනිශ්චය මණ්ඩලයේ ඉඳගෙන හිටපු අයත් කතා කළේ එහෙමයි. කාරණය ඒක නෙමෙයි. තරගයේ හොඳම නැටුම ඉදිරිපත් වුණේ හොඳම නැට්ටුවා තෝර ගත්තට පස්සෙ. ජැක්සන් එයා දැන් නිතර අඳින රජ ගෙදර කවටයාගේ ඇඳුමත් ඇඳගෙන වේදිකාව උඩට දුවගෙන ආවා. එයාගෙ බිරිඳත් අතින් අල්ලගෙන. ඉඹගෙන ඉඹගෙන ගියා...කාවද කියලා හරියට පේන්නෙත් නෑ යූ ටියුබ් එකේ හින්ද. ඊට පස්සෙ ලොකු පුතා පැරකුම්බාත් එතනට ආවා. දුවත් තව කොහෙද ඉඳන් ආවා. ඊට පස්සෙ ජැක්සන් පපුව ඉස්සරහට දාගෙන බිරිඳගේ අතකිනුත් අල්ලලා උස්සගෙන වේදිකාව වටේ සංචාරය කරන්න ගත්තා. හොඳම නැට්ටුවා වුණ කොල්ලව අමතක වුණා. තරගයේ හොඳම නැට්ටුවා ජැක්සන් ඇන්තනි වුණා.

මේක දිහා බලාගෙන මං සතුටු වුණා නෙමෙයි. එක පැත්තකින් එස්එම්එස් ප‍්‍රතිඵල වල ඉඳන් පුතාව ඉස්සරහට ගේන්න ජැක්සන් බලපෑම් කළා කියල කටකතා හැදුණ. තව පැත්තකින් ජැක්සන්ගෙ පුතා නොවුණ නම් වෙන අරුණෝලිස් කෙනෙකුගෙ පුතෙක් වුණා නම් ඒ තාත්තටත් පවුල පිටින් වේදිකාව උඩට ඇවිත් ඔහොම නටන්න දෙරන ඉඩදෙනවද කියල හිතුණ. මොකද්ද මේ චරිත උඩ දාන සෙල්ලම? ඒ තරුණයාගෙ දක්ෂතාවය හෝ කිරුළ දිනාගැනීමේ සාධාරණය ප‍්‍රශ්න කරනවා නෙමෙයි. (ඇත්තටම ඒකට නටන්න පුළුවන්). ඒත් ජැක්සන් මේ කරන චරිතය මොකක්ද? ඒක සියලූ මාධ්‍ය වල එකවර විකාශනය වෙන, ඊට අමතරව මගතොටේ රෝඞ් ෂෝ වල පවා දුවන දැවැන්ත මෙගා චරිතයක්. ඒ චරිතෙ නමත් ජැක්සන් ඇන්තනි.

මට ඇත්තටම දුක හිතුණ. ජැක්සන් කියන්නෙ මං ගොඩක් ආස කරපු නළුවෙක්. මං ජැක්සන්ට ආස වුණේ සුගත්ගෙ මරාසාද් බලලා නෙමෙයි. ඒ වෙනුවට මධුර ජවනිකා බලලා. ටීවී එකේ පළිගු මැණිකෙ බලලා.
සුසීමා බලලා. ඊට පස්සෙ ජැක්සන් ප‍්‍රබුද්ද වෙන්න  පටන් ගත්තා. පනා පුත‍්‍ර කුහුඹු පැණියා වුණා. එකපාරටම ඉතිහාසෙ කියවන්න ගත්තා. සාටකේකුත් වැටුණ. රජාටත් ඇන්දා. එකදිගටම ජැක්සන් එකම චරිතෙ කරගෙන කරගෙන යන්න පටන් ගත්තා. අප්පච්චි කිව්වත්, බන්ඩර දෙයියා කිව්වත්, විද්‍යුත් ටීකාව කිව්වත් මේ එකම පිටපතක විවිධ චරිත. අර කලින් හිටපු කතෝලික මුහුදු බඩ කැරළි ගැහුණු කොන්ඩයක් සහිත ජැක්සන් ඇන්තනි නොපෙනීම ගියා. ඒ වෙනුවට නිතර හිස බූ ගෑ, රැවුල වවාගත්තු, උගුරට යටින් කතා කරන, සාටක ඇන්තනි කෙනෙක් හැම තැනම හිටියා.

මට දුක හිතුනෙ රසිකයෙක් විදිහට මට ජැක්සන් අහිමි වීම ගැන නෙමෙයි. ජැක්සන්ට ජැක්සන්ව අහිමි වීම ගැන. දැන් විවිධ මාධ්‍ය සංදර්ශන වලදි මං මේ අලූත් ජැක්සන්ව දැකලා තියෙනවා. ඒ හැම තැනම එයා මේ රජකාලෙ චරිතෙ ර`ගපානවා. වෙන කාලෙකදි නං මිනිස්සු පිස්සෙක් කියලා හිතන, තැන තැන හූ කියන මේ විහිළුවට අද කාලෙ ඉඩක් ලැබුණෙ කොහොමද? හරියටම ෂූට් එකක ඇඳුම් ඇඳගෙන පාරෙ යනවා වගේ වැඩක් මේක.

ඒත් යුද්දෙන් පස්සෙ අපි ආයිමත් ඉන්නෙ රජ කාලෙ. මහරජා සහ රජ ගෙදර දරුවො ඉන්නවා. ඒ වගේම කලාව භාර ප‍්‍රභූ පවුල් ඉන්නවා. එදා වේල නැතත් කුමන්ත‍්‍රණ පරදන හුදී ජනතාව ඉන්නවා. එතකොට ජැක්සන් මේ ර`ගපාන මෙගා නාට්ටියේ අපි කාටද ඇඳගෙන ඉන්නෙ? මේ අපි විසිල් ගහන්නෙ නාට්‍ය ශාලාවක පෙන්නන නාට්ටියකට නෙමෙයි. අපේ අවුරුදු ගානක ජීවිතේ දිහායි අපි බලාගෙන ඉන්නෙ.

ජැක්සන්ට ආයිමත් කවදාවත් එයාව මුණගැහෙන්නෙ නෑ. බලාගෙන යනකොට එයා මුල්කාලෙ ඉඳන්ම එයාගෙ ආශාව වෙනුවෙන් එයාගෙ ඇත්ත මරනවා. කතෝලික ජැක්සන් මේ වෙද්දි හතර වරිගෙ බෞද්දයෙකුටත් වඩා බෞද්ද වෙන්නෙ එහෙම. මේ එහෙම පටන් ගත්ත කතාවක කූටප‍්‍රාප්තිය. දැන් එයා කවුද කියන්න එයාවත් දන්නෙ නෑ. දෙවෙනි මහින්දගෙන් පටන් ගත්ත රාජ්‍යත්වය නැවත බුදුන්ගෙ නෑකම් පවා කියා අභිෂේක කරවා රජුන් චූ කළ දෙල් ගස් වල ඉතිහාසය පවා කියන කලාව භාර පුරෝහිතයා වගේ එකක් තමයි පේන්නෙ. මේ මනුස්සයාට මොනාද මේ වෙලා තියෙන්නෙ.... ගොඩක් මිනිස්සු හිතනවා මට ඇහිලා තියෙනවා.

ජැක්සන් දරුණු නාසිස්මය රෝග තත්වයකින් පෙළෙනවා. ඒත් ලංකාව කියන්නෙ මනෝ විද්‍යාව හොයාගන්න කලින් පැවති රාජ්‍යයක් හින්ද මෙහෙට ඒක අදාල නෑ. ඊට සියවස් ගානකට පස්සෙ බටහිර මේක නාසිසිස්ම් (සිංහලෙන් කොහොම කියනවද මං දන්නෙ නෑ) කියල විග‍්‍රහ කළා. ඒ වගේම ඒ තත්වෙට අදාල වෙන සමාජ මනෝ විද්‍යාත්මක හේතු පවා විශ්ලේෂණය කළා.

නාසිසිස්ම් කියන්නෙ මානසික වගේම සංස්කෘතික රෝගයක්. පුද්ගලයෙක් විදිහට තමන් තමන්ගෙ වඩා විශාල ප‍්‍රතිරූපයක් වෙනුවෙන් සැබෑ තමන් සතු සියල්ල කැප කිරීම මෙතනදි අඳුර ගන්න පුළුවන්. එතනදි තියෙන අර්බුදය වෙන්නෙ තමන් විසින් විශාල කරලා හදා ගත් ප‍්‍රතිරූපය තමන් විදිහට තේරුම් ගන්න එක. හරියටම වෙස් මූණ සැබෑ මූන වෙනවා වගේ වැඩක්. නාසිසිස්ම්- හෙවත් සැබෑ තමන්ව පිටු දැකීම කියලා මේ ගැන පොතක් ලියනවා ඇලෙක්සැන්දර් ලෝවන් කියන මනෝ විද්‍යාඥයා. එයා විල්හෙල්ම් රීච් ගෙ ගෝලයෙක්.

නාසිසිස්ම් කියන අදහස එන්නෙ නාසිසස් ගැන තියෙන ග‍්‍රීක මිත්‍යා කතාවකින්. නාසිසස් පොකුණක වතුරෙන් පේන එයාගෙ ප‍්‍රතිරූපෙට වශී වෙනවා. ඒ දිහාම බලාගෙන ඉඳලා එයා ඒ වතුරෙම මලක් වෙනවා. එයාව නැති වෙනවා. ලෝවන් මේ අදහස තව ඉස්සරහට ගෙනියනවා.

නාසිස්මිකයෙක් උනන්දු වෙන්නෙ එයාට හිතෙන දේ ගැන නෙමෙයි. එයාව පේන විදිහ ගැන විතරයි. ඒ අයගෙ ප‍්‍රතිරූපයට බාධා කරන ඒ අයගෙම සිතුවිලි වුණත් ඒ ගොල්ලො අකා මකා දානවා. බලය සහ පාලනය අතට ගන්න කෑදර විදිහට වැඩ කරනවා. අතිශය විශාල මමත්වයකින් පිරුණත් ඒ අයගෙ ඇතුළත සැබෑ පැවැත්මක් නෑ (සෙල්ෆ් එකක් නෑ). ඇ`ගන් ඒ ගොල්ලො පවතිනවා කියලා ඒ අයට දැනෙන්නෙ නෑ. කොටින්ම නාසිස්මිකයෙකුගේ ජීවිතය හිස්.

මේ විදිහෙ පුද්ගලික නාසිස්ම තත්වයන් ඇතිවෙන්නෙ සමාජය නාසිස්ම තත්වයක් කරා ගමන් කරන කොටයි කියල ලෝවන් විස්තර කරනවා. සමාජයක් මනුස්ස වටිනාකම් වලින් තොර වේගෙන යනවා නම්, තමන්ගේ සහෝදර ජනතාවක් හැටියට වෙනස් සංස්කෘතීන්, සමාජ ක‍්‍රමයන් බාර ගන්නවා වෙනුවට ඒ හා ගැටීම් ඇති කර ගන්නවා නම්, වැඩි පාරිභෝජනය, ලාභය වෙනුවෙන් සියල්ල කැප කරනවා නම් ඒ වගේ සමාජයක් නාසිස්මික ලක්ෂණ පෙන්නනවා කියලා  එයා කියනවා.

අපි ආපහු හැරිලා බැලූවොත් යුද්දෙන් පස්සෙ අපි ජීවත් වෙන්නෙ දරුණු නාසිසමය රෝගයක් ඇතුළෙ කියල පැහැදිලි වෙයි. යුද්දෙත් එක්ක අපි ජාතියක් විදිහට අපේ ඇත්ත තත්වෙන් වෙනස් මහා සිංහලයෙක් ගොඩනගා ගත්තා. ඒ මහා සිංහලයා එක්ක අනන්‍ය වෙලා දේශපේ‍්‍රමියෝ සහ දේශද්‍රෝහියෝ හැදුවා. ඒ මහා සිංහලයා ඉස්සෙල්ලා දෙමළට ගහලා පස්සෙ මුසල්මානුවටත් කෙළින්න ගත්තා. සමාජයක් විදිහට මේ නිර්මිත මහා ප‍්‍රතිරූපය ඇතුලෙ අපිට අපේ ජීවිත නැති වුණා. අපේ බඩගින්න, අපේ සූරාකෑම, අපිව ගොනාට ඇන්දීම මේ කිසි දෙයක් නොපෙනෙන මහා ලොකු නාට්ටියක අපි පේ‍්‍රක්‍ෂාගාරය වුණා. ජැක්සන්ලා නළුවො වුණා.

අපිට මාධ්‍ය වලින් එලියෙ දේශපාලනයක් නෑ, අපිට මාධ්‍ය වලින් එලියෙ නීතියක්, ජීවිතයක්, කලාවක්, ආගමක් මොකුත් නෑ. මාධ්‍ය විසින් හදපු මේ කියන නාසිස්මය සිහිනය ඇතුලෙ විතරයි අපි දැන් අවුරුදු 12ක් විතර කාලයක් ගත කරන්නෙ. ලෝවන් ලස්සන විස්තරයක් කරනවා මේ ගැන. එයා මුල් කාලෙ පුහුණු වෙද්දි මුණගැසුනු රෝගීන්ගේ කාංසාවන්, ෆෝබියාවන් ගැන එයා දැන් ඇත්තටම සතුටු වෙනවා කියලා එයා කියනවා. මොකද ඒ මිනිස්සුන්ට තමන්ට හැ`ගීම් නොදැනී යාම ගැන බයක් තිබුණු නිසා, ජීවිතේ හිස් කියලා දැණුනු නිසා.. වෙන විදිහකට කිව්වොත් ඔවුන් මිනිස්සු විදිහට ජීවත් වුනු නිසා. ඒත් මෑත කාලීනව එයාට මුණගැහෙන මිනිස්සුන්ට කිසිම කාංසාවක්, ෆෝබියාවක් හෝ තමන්ගෙ ජීවිතය ගැන වරදකාරී හැ`ගීමක් නොදැනුනු වග ලෝවන් කියන්නෙ එය තැතිගන්වන සුලූයි කියන ගමන්. ඒ ගොල්ලො හරිම කාර්යක්‍ෂමයි, සමාජයට හොඳටම ගැලපෙනවා, හරියට මැෂින් පෝලිමක් වගේ කියල එයා විස්තර කරනවා. මේ අය තවදුරටත් මිනිස් පැවැත්මක සාමාන්‍ය තත්වයක් නොවුනු වග ලෝවන් කියනවා.

නාසිස්මිකයෙක් කවදාවත් මහා මනුස්ස ඝාතනයක් ගැන තැවෙන්නෙ නෑ. තේරුමක් නැති නාට්ටියක අවුරුදු ගානක් ජීවිතේ දියවුණා කියල කණස්සලූ වෙන්නෙ නෑ. ඒත් කවදා හරි මේ නාසිස්මය අධිපති බව, සිහිනය ඉරිතලන්න පටන්ගන්න කොට ආපහු හැරෙන්න ප‍්‍රමාද වැඩියි. ජැක්සන්ට ආපහු ඉර එළිය බලන්න, දෑස පියා ගත් කල කියන්න හිතෙන කොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. මොකද ජීවත් නොකළ අපේ ඇතුල් පැවැත්ම මැරෙන නිසා. වළදාන්නවත් සිහියක් නොතිබුනු නිසා ඒකෙන් කුණු ගඳ හමන නිසා. අන්තිමට සොහොන් ගෙයක් වගේ ජීවත් වෙනවා ඇරෙන්න විකල්පයක් නැති වෙන නිසා.

නාසිස්මය තත්වයක් කියන්නෙ පුද්ගලයාගේ සහ සමාජයේ සැබෑ නොවන තත්වයක් නිර්මාණය වෙමින් යන බවට කරන අනතුරු ඇ`ගවීමක් කියල මේ සමාජ මනෝ විද්‍යාඥයා පැහැදිලි කරනවා. ඒක නියුරෝසීය තත්වෙන් නොනැවතී සයිකෝසීය තත්වයක් දක්වා වැඩෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවෙ මේ වෙද්දි සයිකෝසීය සීමාවෙනුත් එහාට මේ ලෙඬේ උඩුදුවලා මගෙ හිතේ. ඇලෙක්සැන්දර් ලෝවන් කියන්නෙ මේ වගේ සැබෑ නොවන මිනිස්සු, චරිත බිහිවෙන කොට ඒ සංස්කෘතියෙ යම්කිසි ආබාධයක් වෙමින් පවතිනවා කියන එක. සංස්කෘතියක් නාසිස්මය වෙනකොට ඒ අවට වාතය ජලය පවා ඒ රෝගයෙන් විෂ වෙනවා. වඩා යහපත් සමාජයක නාමයෙන් මිනිස් සියල්ල විනාස වෙන්න පටන් ගන්නවා. මේක තාමත් සම්මත මනෝ විද්‍යාවට පිළිගන්න අමාරු වුණු කාරණයක් කියල ලෝවන් මතක් කරනවා. සාමාන්‍යයෙන් පිස්සුව අර්ත ගැන්වෙන්නෙ තමන් අවට සමාජය සංස්කෘතිය සමග සැබෑ ගනුදෙනුවක් නැති පුද්ගලික අවුලක් හැටියට. ඒත් ඒ අර්තකතනෙ විදිහට නාසිස්මය රෝගියෙක් කවදාවත් තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ. සමාජයේ යම් කිසි පිස්සුවක්, මානසික රෝග තත්වයක් බෝවේගෙන එනවා නම් තත්වය කොහොම වෙයිද?

අපි පුද්ගලයා තුල මේ අවුල සහ අර්බුදය ඇති කරන සමාජ සංස්කෘතික රෝගී තත්වයන් සහ කාරකයන් පැහැදිලිව අඳුරගන්න  ඕන කියන එකයි ඇලෙක්සැන්දර් ගෙ මතය. උදා විදිහට යුද්දෙන් පස්සෙ ආපු අපේකම කියලා අමුතු එකක් මුල් කර ගත් වෙළඳ දැන්වීම් රැුල්ල බලන්න. ලෝකල් ඉන්සයිට් (දේශීය අනුභූතීන්) හොයාගෙන යනවා කියලා අපි, අපි නොවන මොකද්දෝ අරුම පුදුම ජාතියක් ගැන හීන බෝ කරන්න පටන් ගත්තා. අපේ රටේ මිනිස්සු වෙනස් කිව්වා. මේ වෙනස් ජාතිය වෙන්න ගිහින් අපි අපේ ඇත්ත ජාතිය නහ ගත්තා. ලෙඞ්ඩු ගොඩක් ඉතුරු වුනා.

ජැක්සන් කියන්නෙ අපේ නාසිස්මය රෝගයේ අපේ ලකුණ. හැ`ගිමක් නැති, පුද්ගලභාවයක් නැති, අනන්‍යතාවයක් නැති, අපේ පටලැවිල්ලෙ ප‍්‍රකාශනය. ජැක්සන් දිහා බලාගෙන ඉන්නකොට මට දුක හිතුන අනිත් කාරණය ඒක. මගේ ජීවිතේ මට ගොඩක් වටින කාලයක් මේ ලෙඩක් ඇතුලෙ වැනසිලා යන එක ඇත්තටම බොන්න  ඕන ප‍්‍රශ්නයක්. මේ නාසිස්මය මහා සිංහල වසංගතය ඉවරයක් වෙලා සාටක, රජ ඇඳුම්, නාඩගම් නැති සාමාන්‍ය ජීවිතයක් අපිට කවදා ලැබෙයිද? මාධ්‍ය වලින් එලියෙ සමාජයක් විදිහට අපි ආයිමත් කවදා එකිනෙකා මුණගැහෙයිද?

ගොඩක් වයසට නොගිහින් හිටියොත් එදාට ජැක්සන්ටත් රජ වාසල කවටකමෙන් නිදහස් ලැබේවි. එදාට ජැක්සන් මෙහෙම කියාවිද?

කලකට පෙර මියැදුනාට- හතර රියනෙ වැළලූනාට
උඹෙ උත්තම රාජකීය- උණුසුම මට දැනේ තාම

උඹේ සපත්තුව වැළඳ බදා- උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූ අද කරති නිගා
-(මෙතින්න මාරු වෙනු)-

-චින්තන ධර්මදාස




10 comments:

  1. වැදගත් අදහස් ටිකක් චින්තන... ජැක්සන් ඇන්තනි කියන්නේ විමල් වීරවංශ වගේම තම ආත්මය පාවා දීපු කෙනෙක්... මහින්ද සහ දුටුගැමුණු රජතුමා ගැනම ඥාති කම් හදපු වන්දිබට්ටයෙක්නේ ......

    ශික් මෙහෙමත් කාලකන්නි...මුන් රට කනවා..

    ReplyDelete
  2. මේක චින්තනද ලිව්වේ..?

    ReplyDelete
  3. තව මොනවා කියන්නද? මීට කලකට පෙර ජූලි මාසයේ මම ලියූ "ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල" කැමති නම් කියවන්න.
    http://informe.com/go/?domain=arugeadaviya.wordpress.com&url=http://arugeadaviya.wordpress.com&keyword=

    ReplyDelete
  4. අවිවාදයෙන්ම, බ්ලොග් අවකාශයේ පහුගිය මුළු වසර පහකට මඳක් වැඩි කාලය පුරාවට මා කියවූ සාර්ථකම (සහ එකතරා ආකාරයකට අනුවේදනීයම) ලිපියක්. මෙහි වෙන චරිත මා පුද්ගලිකව හැඳිනීම, ඒ කම්පනය දෙගුණ තෙගුණ කරනවා. මේ ලිපිය වෙනසක් නොකර මේ විදියටම, මූලාශ්‍ර සමගින් යළි පළකරන්න (re-blog) අවසර දෙනවාද යන්න දැනගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මචන් කියවලා තියෙනවද ටැබූ ලියපු "ජැක්සන් ඇන්තනීලාගේ ජයග්‍රහණය සහ අපේ පරාජය"?

      Delete
    2. මේ බ්ලොගයේ එන ඕනෑම ලියමනක් ඕනෑම හැටියකින් යලි පළ කිරීමට කිසි අවසරයක් උවමනා නොවේ.

      Delete
  5. නාසිසිස්ම්: ස්වරූප ආලය

    ReplyDelete
  6. Oyata Jakson sir gena irusiyava..ekai ohoma liyanne.

    ReplyDelete
  7. වටිනා ලිපියක්..

    ReplyDelete