Saturday, November 30, 2013

V for Vendetta හෙවත් ඩයිනසෝරයන්ගේ අවසානය

මේ ලිපිය කොහොම පටන් අරගෙන කොහොම ලියාගෙන යන්නද කියල තාම මං ඉන්නෙ පැටළිල්ලක. සමහර වෙලාවට විෂයක්ම ලිපියකින් කියන්න වුණාම මේ අවුල එනවා. සාරාංශගත කරනවා කියන එක හැමදාම මං පේල් වැඩක්. අනිත් පැත්තට ඒ ලියමනට මගේ ඇතුලෙ තියෙන නිමිත්ත නැත්තං මාව ඒකට පොළඹවපු කාරනේ හරියට නිශ්චිතව කොලයක් උඩට දාගන්න බැරි කම. ඒ නිමිත්ත නැතුව කතාව කියාගෙන ගියොත් ඒක මළ වාක්‍ය රචනාවක් වෙනවා. ඒක හින්දම මේ ලියමන අරාජික ලියමනක් වෙයි. අදහස් සංවිධානයක් නැති, ආකෘතියේ අධිකාරියක් නැති ඔහේ වාක්‍යයෙන් වාක්‍යයට තනි තේරුම් හදන සමස්තයක්. ඒත් මොකක් හරි තේමාවක්, හැඩයක් ඒ සමස්තය විසින් නිර්මාණය කර ගනීවි. ඒක මේක ලියන මට තීරණය කරන්න බැරි එකක්.

ඇනාකිස්ම් (අරාජිකවාදය) ගැන මං හිතන්න උනන්දු වුනේ හරියටම කොහොමද කියල මතක නෑ. ඇනාකිස්ම් කියන ඉංගී‍්‍රසි වචනෙ තියෙන අදහස මට අරාජිකවාදය කියන සිංහල වචනෙන් දැනෙන්නෙ නෑ. ඒක නිකං පාරාජිකාවක් වගේ සද්ද වෙන්නෙ. ඒ හින්දම මං ඇනාකිස්ම් කියන ඉංග‍්‍රීසි වචනෙන් කතාව කරගෙන යන්නං. 

දවසක් අපි කීපදෙනෙක් ලංකාවෙ ඉතිහාසෙ ගැන කතා කරගෙන ගියා. දත්තමය ඉතිහාසයක් ගැන මගේ මතකෙ කරුණු අඩු හින්ද මං කතා කළේම ප‍්‍රබන්ධමය ඉතිහාසයක් ගැන. ඒත් යම් සංකීර්ණ සවිඥාණක අවිඥාණක ධාරාවන්, විශේෂයෙන්ම දත්තමය ඉතිහාසයකට වඩා පුළුල් කාරණාවන් ප‍්‍රබන්ධමය ඉතිහාසයක තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ. මහා වංශය කියන්නෙත් මහා සිංහලයේ වංශකතාව වගේම අතීත ප‍්‍රබන්ධයක් විතරයි. කොහොමටත් මිනිහා කියන සතාට තමන් දකින දේ ඒ විදිහටම නිශ්චිතව වාර්තා කරන්න බැරි වෙනවා. ඒකට එයාගෙ දෘෂ්ටිවාදයක්, නැත්තං අර්ථ කතනයක් එනවමයි. 

‘වී ෆෝ වැන්ඩෙටා’, ‘වොච්මෙන්’ වගේ කොමික් කතා ලියපු හරියටම කොමික් පොත් කලාවෙ ගෝඞ් ෆාදර් වගේ වුණු ඇලන් මුවර් මේ ගැන ලස්සන කතාවක් කියනවා.

‘ඔන්න ඉස්සර ස්වභාවවේදියො සත්තු ගැන අධ්‍යනය කරනවා. ඔන්න මේ සතා නම් ඇල්ෆා මේල්. අනිවාර්යෙන්ම මෙයා තමයි මේ කණ්ඩායමේ නායකයා. පස්සෙ කරපු පර්යේෂණ වලින් හොයා ගත්තා මේ සත්තු සම්බන්ධ කාරනේකට වඩා අර ස්වභාවවේදීන් විසින් සත්තු මත ආරෝපණය කරන තමන්ගේ දෘෂ්ටිය කියන එක. ඇත්ත, ඒ කන්ඩායමේ ශක්තියෙන් වැඩි, හැඩිදැඩියෙක් ඉන්න පුළුවන්. සටන් වලදී ඒ හැඩිදැඩියා ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් කන්ඩායමේ ඇත්තට නායකත්වය තියෙන්නෙ පිටිපස්සෙ ඉන්න ගැහැණු සතෙකුට වෙන්න පුළුවන්. හැම ගැටුමකදිම හැමෝම ගොනුවෙන්නෙ ඒ ගැහැණු සතා වටේ වෙන්න පුළුවන්’
-ඇලන් මුවර්

ඇලන් මුවර් මේක කියන්නෙ නායකත්වය, අධිකාරිය කියන එක ස්වභාවික තත්වයක් කියන කතාව බිඳහෙලන්න. මොකද ඇනාකිස්ම් කියන්නෙම අධිකාරියක්, නායකත්වයක් නොපිළිගැනීම. නිශ්චිත අරමුණු වෙනුවෙන් එක්ව පෙළගැහෙනවට වඩා විවිධ අරමුණු රාශියක් වෙනුවෙන් විවිධ ආකාරයේ පෙළගැසීම් සමූහයක්. සමාජයක් කණ්ඩායමක් වෙනුවට නැවත තනි පුද්ගලයා විෂය කර ගැනීමක්. ඒ පුද්ගලයාගේ අවශ්‍යතා, සිතීම්, අදහස් වලට ඇහුම්කන් දීම දක්වා සමාජය සාවධාන කිරීමක්.

‘අපි නිරන්තරයෙන්ම අපේ අත්දැකීම් ප‍්‍රබන්ධකරණය කරමින් ඉන්නවා. අපි අපේ අත්දැකීම් සංස්කරණය කරනවා. ඒ හැම එකකම අපිට හරියට මතක නැති තැන් තියෙනවා. ඒ වගේම අපි හිතා මතා එඩිට් කරන කොටස් තියෙනවා. ඒවා අපිට එච්චර සෙට් වෙන්නෙ නැති හින්ද. ඉතින් අපි නිරන්තරයෙන් නැවත නැවත මේ අත්දැකීම් ලියනවා. පුද්ගලයන් විදිහටත්, ජාතීන් විදිහටත් අපි අපේ අතීතෙ නැවත ලියනවා. අවස්ථාවෙන් අවස්ථාවට අපි අතීතය ප‍්‍රබන්ධකරණය කරනවා. මේක තමයි අපේ දෛනික යතාර්ථය විදහට අපි බාර ගන්නෙ. අපි කිසි විටක යතාර්ථය අත්දකින්නෙ නෑ. අපි අත්දකින්නෙ යතාර්ථය ගැන අපේ දෘෂ්ටිය’
-ඇලන් මුවර්

මං කියාගෙන ගියේ ඇනාකිස්ම් ගැන මං උනන්දු වුණු හේතුව. අර සංවාදෙදි මං යෝජනා කළේ අනිත් අයටත් ඉතිහාසය ගැන තම තමන්ගෙ ප‍්‍රබන්ධය කියන විදිහට. එතකොට ඒ ප‍්‍රබන්ධ අතර අන්තර් සම්බන්ධතා ඔස්සේ අපිට ආයිමත් එක වඩා පරිණත ප‍්‍රබන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්.

ඒත් එතන හිටපු ඇකඩමිකයෝ ඒකට එක`ග වුනේ නෑ. උන් දත්තම ඉල්ල ඉල්ල මාව කන්න පටන් ගත්තා. එතකොට මට මතක් වුණා ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න ගිය කෝර්ස් එකකදි සුනන්ද මහේන්ද්‍ර සහ එඞ්වින් ආරියදාස අතරෙ වුනු සිද්දියක්.

මේ දෙන්නම ඇවිත් හිටියෙ එදා කෝර්ස් එක පටන් ගනිද්දි පොඩි ලල් එකක් දෙන්න. එඞ්වින් ඉතින් පුරුදු විදිහට තමන්ගේ දත්තමය කතන්දර කිය කියා ජන සන්නිවේදනය ගැන පැහැදිලි කළා. කවදත් වගේ එදත් බෝරිං. මං එච්චර කැමති නැති චරිතයක් වුණත් සුනන්ද මහේන්ද්‍ර එදා අමුතු කතාවක් කිව්වා. ‘මේ එඞ්වින් ආරියදාස ශූරීන් ඉන්නවනේ. කොම්පියුටරයක් වගේ දත්ත ගබඩාවක්. (එතකොට එඞ්වින් ආඩම්බරෙන් හිනාවෙනවා) මට ඔය දත්ත ඔක්කොම මතක නෑ. එතකොට මං කරන්නෙ එඞ්වින් ආරියදාස වගේ කොම්පියුටරයක් ඔන් කරලා මගේ දත්ත ටික අරගෙන මට  ඕන තොරතුරු නිෂ්පාදනය කරන එක’
මේක මොන අදහසකින් කිව්වද මං දන්නෙ නෑ. ඒත් දත්ත එකතු කිරීම ගැන හොඳ කතාවක් ඒක. 
ඔන්න එතනදි කෙනෙක් මට චෝදනා කළා ‘ඔයා ඇනාකිස්ට් කෙනෙක්’ කියල. මං ඒක නොපිළිගත්තත් ඒ චෝදනාව එක විදිහකට මට ඇනාකිස්ම් ගැන නැවත කියවන්න බල කළා.

දෙවෙනි කාරණේ වෙන්නෙ ‘වී ෆො වැන්ඩෙටා’ ෆිල්ම් එක ලංකාවෙ වාමාංශිකයන් බාර ගත්ත උද්යෝගය. ‘වී ෆො වැන්ඩෙටා’ ඇලන් මුවර් ලිව්වට පස්සෙ වොචොව්ස්කි සහෝදරයන් විසින් මේකෙන් හොලිවුඞ් ෆිල්ම් එකක් හදනවා. මේ ෆිල්ම් එක ලෝකෙ පුරාම දේශපාලන ක‍්‍රියාකාරීන් කරේ තියාගෙන ගියා. ලංකාවෙත් එක්ස් එක වගේම ජවිපෙත් මේ හරහා මොඩර්න් වෙස්මූණක් දාගන්න ට‍්‍රයි කළා. ඒත් මේක ලියපු ඇලන් මුවර් එයාගෙ නමවත් ෆිල්ම් එකේ දාන්න එපා කියලා එතනින් අයින් වුණා.

හේතුව චිත‍්‍රපටිය විසින් සම්පූර්ණයෙන්ම ග‍්‍රැෆික් නවල් එකේ අදහස විකෘති කිරීම. ‘වී’ කියන්නෙ ඇලන් මුවර්ට අනුව ඇනාකිස්ට් කෙනෙක්. එයා පවතින පද්ධතිය විනාශ කරන්නයි යන්නෙ. ඒකට එයා ගයි ෆෝක්ස් කියන කලින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරවන්න වෙඩි බෙහෙත් ගෙනියන්න උත්සාහ කළ කැරලිකරුවාගේ මූණ පාවිච්චි කරනවා. මේ කතාව මුවර් ලියන්නෙ මාග‍්‍රට් තැචර්ගෙ ආන්ඩුවට විරුද්දව. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට ස්ථාපිත වුණු ආඥාදායකත්වයක්. හරියට මේ වෙද්දි ලංකාවෙ වගේ. වී පුපුරවා හරින්න උත්සාහ කරන්න මේ රාජ්‍ය සංස්ථාව. ඒ වගේම වී කියන්නෙ වීරයෙක් නෙමෙයි. එයා ප‍්‍රචණ්ඩත්වයක් විතරයි. ඊළ`ග නිර්මාණය ගැන අදහසක් එයාට නෑ. එයා කරන්නෙ විනාශ කිරිම. ඇලන් මුවර් කියන්නෙ කිසි දවසක ඒ විදිහෙ ප‍්‍රචණ්ඩත්වයකින් අවශ්‍ය දේශපාලන වෙනස කරන්න බෑ කියල. ඒක හින්දම එයා කතාවෙ අන්තිමට වී මරා දානවා. අලූතෙන් බිහිවන සමාජයක වී ට කරන්න දෙයක් නෑ. 

‘මං ඇත්තටම හිතන්නෙ නෑ ප‍්‍රචණ්ඩ විප්ලවයකින් කවදාවත් සාමාන්‍ය මිනිහාගෙ ඇත්ත ප‍්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල. මං හිතන්නෙ ඒක අපි විසින් කර ගන්න  ඕන කාර්යයක්. ඒක වෙන්නෙ සමාජ පරිණාමයක් ඇතුලෙ විතරයි. කවදා හරි බටහිර සමාජය යන මග දිගේ මේක සිද්ද වේවි. ඒත් ගැටළුව තියෙන්නෙ අපිට ඒ තරං කාලයක් බලන් ඉන්න පුළුවන්ද කියන එක’
ඇලන් මුවර්

මුවර් ‘වී ෆොර් වැන්ඩෙටා’ කතාවට ගේන ‘වී’ එයා දකින්නෙ අනාගතය විදිහට නෙමෙයි. ඒත් වොචොව්ස්කි සහෝදරයො මේක වෙනස් කරනවා. ළබාලා වයසෙ ගණිකාවක් වුණු ‘ඊවි’ චිත‍්‍රපටියෙදි මාධ්‍ය ආයතනේක වැඩකරන තරුණියක් වෙනවා. ඒකාධිපති රජයක් වෙනුවට චිත‍්‍රපටියෙ තියෙන්නෙ නව කන්සවේටිව් රජයක පසුබිම. ‘වී’ ගේ ප‍්‍රචණ්ඩ අරාජිකවාදී අරගලය චිත‍්‍රපටියෙදි විමුක්තිකාමී අරගලයක් වෙනවා. ලංකාවෙ වාමාංශිකයන්ට ‘වී ෆෝර් වැන්ඩෙටා’ ත‍්‍රිල් වුනේ මේ කාරණය හින්ද. ඒක වොචොව්ස්කි සහෝදරයන් හොලිවුඞ් වලට ගලපන්න කරන මාර්කටින් කෑල්ල. ඒ හොලිවුඞ් ෆන් එකේ ත‍්‍රිල් ගත්තා මිස ඇලන් මුවර්ගේ සංකීර්ණ වී චරිතය ඇතුළට එබෙන්න කිසි වමේ සහෝදරයෙක් උනන්දු වෙන්න ඇති කියල මං හිතන්නෙ නෑ.

‘ඒ ගොල්ලොන්ට ජෝර්ජ් බුෂ්ට විරුද්දව ප්‍රොටෙස්ට් කරන්න සහ 9-11 වලින් පස්සෙ ඇමරිකාව යන විදිහට විරුද්දව ප්‍රොටෙස්ට් කරන්න  ඕන වුණා නම් (ඒක තේරුම් ගන්න පුළුවන්) ඇයි ඒ ගොල්ලො මං 1980දි කරපු දේම කළේ නැත්තෙ? මං කළේ තැචර්ගෙ ආන්ඩුව ගැන. ඒ දේවල් මගේ රටේ ඇත්තට සිද්ද වුණ දේවල්. ඒවා බලද්දි  ඕන කෙනෙකුට තේරෙනවා මං මොකක් ගැනද කතා කරන්නෙ කියල. හොලිවුඞ් වලට වී ෆොර් වැන්ඩෙටා හදන්න  ඕන වුණා කිව්වම මට හිතාගන්න බැරි වුණා. ඇමරිකානු ලිබරල්වාදීන් මේ තරම් බෙලහීනද කිසිම අවදානමක් නොගෙන තමන්ගෙ විරෝධය පෙන්නන්න යන්නෙ? ’
- ඇලන් මුවර්

සමාජවාදය ඇතුලට මේ අදහස ගන්න බැරි කාරණයක් තියෙනවා. ඇනාකිස්ම් වල කිසිම විදිහක අධිකාරියක් හෝ මධ්‍යගතවාදයක් පිළි නොගන්න එක. රාජ්‍යය කියන එක සම්පූර්ණයෙන් අහෝසි කරන තත්වයක්. සමාජය වෙනුවට පුද්ගලයා විශාල වන තර්කනයක්. කිසිම පොදුයි කියන අරමුණක් වෙනුවෙන් තමන්ගෙ පුද්ගලික අරමුණු හෝ ආශාවන් පාවා දෙන්න උවමනාවක් නෑ කියලයි ඇනාකිස්ට්ලා කියන්නෙ. ඒ තමන්ගෙ පුද්ගලික ආශාවන් සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කරන අරගලය ඇතුලෙ සමස්තය වෙනස් වෙයි කියල ඒ ගොල්ලො හිතනවා. ඒ හින්දම අපේ රතුපස්වල වතුර වගේ සමාජ ප‍්‍රශ්න එක්ක ඒ අය වැඩ කරනවා. ඒ ප‍්‍රශ්න වෙනත් දේශපාලන මතවාදයකට ඈඳන්න නෙමෙයි. ඒ වෙනුවට දැනුවත්, වඩා පරිණත, රාජ්‍යයට අභියෝග කළ හැකි පුරවැසියන් හදන්න.

බහුතරයකගේ කැමැත්ත කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට වඩා නිර්මාණශීලී සහ අනාගතවාදී අදහස් නිෂ්පාදනය කරන සුළුතරයට වැඩි වැදගත්කමක් හිමිවන ක‍්‍රමයක් ඇනාකිස්ම් ඇතුලෙ යෝජනා වෙනවා. බහුතරයක් ඇතෙුල නෑසී වැළලී යාම වෙනුවට ස්වාධීන පැවැත්මන් සහ අදහස් ඇති පුද්ගලයන් සමස්තයක් සමාජය විදිහට බාර ගන්න තරමට ඒ අදහස පුළුල්. 

මාක්ස්වාදී පක්ෂ වලට ඇලන් මුවර්ගෙ වී ගන්න බැරි වෙන ප‍්‍රශ්නෙ ඒක. එක අරමුණක් වෙනුවෙන් සංවිධානය වීම කියන පදනම ඇනාකිස්ම් ඇතුලෙ බිඳවැටෙන එක. සමාජවාදය ඇතුලෙත් නැවත නිර්මාණය කරන්නෙ රාජ්‍යයම නේද කියල ඒක ඇතුලෙන් ප‍්‍රශ්න කරන එක. තනි පුද්ගලයාට වඩා විශාල රාජ්‍යයක් ඇතුලෙ ජීවිතය පුංචි කරගන්නවට එරෙහි වීම ම ඇනාකිස්ම් කියන එක. 

රාජ්‍යයෙන් හෝ සමාජයෙන් පුද්ගලයා පාලනය හෝ හික්මවිය යුතු නෑ කියන එකයි ඇනාකිස්ට්ලගෙ අදහස. මේ හින්දම තවත් පැත්තකින් මේ නිදහස දරන්න පුළුවන් සමාජයක්  ඕන කරනවා. සවිඥාණක බවක් තියෙන, වගකීමක් දරන්න පුළුවන් වැඩිහිටි සමාජයක්. තමන්ගේ පුද්ගල පැවැත්ම තේරුම් ගත්ත, එමෙන්ම අනෙකාගේ පැවැත්මට ඒ අයුරෙන්ම ගරු කිරීමට තරම් අවබෝධයක් තියෙන පුරවැසියන් පිරිසක්. ඒකටයි අධ්‍යාපනය  ඕන. ඒ වෙනුවෙනුයි වැඩ කරන්න  ඕන.

‘අපි හෙට මේ නායකයො කියන ඔක්කොම එලියට ඇදලා අරන් වෙඩි තියලා දැම්මොත් කොහොමද? ඒක මරු අදහසක්. ඉතින් මට ඉඩ දෙන්න ඒ අදහස විසි කරන්න කලින් පොඞ්ඩක් ඒක උඩ ෆන් එකක් ගන්න. අපි එහෙම කළොත් සමාජය කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ජනතාවගෙන් බහුතරය කියන්නෙ අවුරුදු දහස් ගානක් තිස්සෙ මේ නායකත්වයක් යටතේ පාලනය වෙන්න පුරුදු කරපු පිරිසක්. ඒඅ යට ඒ අයව පාලනය කර ගන්න බෑ. පිටතින් යම් බලයක්  ඕන. එකපාරට අපි නායකයා කියන කෙනාව අයින් කළොත් මේ අය මුලූ සමාජයමත් ඇදගෙන වලට වැටෙනවා. ඒක හින්ද ඇනාර්කි කියන තත්වයේ මොනම දෙයක් හරි සිද්ද වෙන්න නම් මුලින්ම මිනිස්සුන්ව දැනුවත් කරන්න වෙනවා. ඒක ලොකුවටම කරන්න  ඕන දෙයක්. තමන් කරන ක‍්‍රියාවන්ගේ වගකීම දරන්න පුළුවන්, තමන් වඩා විශාල ප‍්‍රජාවක් අතරෙ ඉන්නවා කියන අවබෝධයක් තියෙන තත්වයක් දක්වා මේ අයට අධ්‍යාපනය දෙන්න  ඕන. රාජ්‍යය කියන එක නැතුව පවුලක්, යාලූවො ටිකක් විදිහට ලෝකෙ ජීවත් වෙන්න ඉගෙන ගන්න.’
- ඇලන් මුවර්

ඇනාකිස්ම් කියන වචනෙ එන්න ගොඩක් කලින් මේ සිතීමේ විදිහ ලෝකෙ තිබුණ. විකිපීඩියාව කියන විදිහට සමහරු ජේසුස් ක‍්‍රිස්තුස් පළවෙනි ඇනාකිස්ට් විදිහට දක්වනවා. ඒ පවතින සංස්ථාපිත ආගමට විරුද්දව එය සටන් කිරීම හින්ද. තවත් අය ලා ඕසු ඇනාකිස්ට් කෙනෙක් කියල ගේනවා. ඒ කොන්ෆියුසියස්ට සාපේක්‍ෂව ලා ඕසු ගේන අසංවිධානාත්මක බව, පැවැත්ම මූලික අදහස් හින්ද. සංස්ථාපිත ආගමිකත්වය, සදාචාරය, හෝ විනය කියන දේවල් නොපිලිගැනීමත් ඒ වෙනුවට තමන් විසින් අවබෝධ කර ගන්නා සදාචාරයක්, ආධ්‍යාත්මිකත්වයක් ඇතුලෙ ජීවිතය යලි නිර්මාණය කිරීමත් හින්ද.

ඒත් අනිත් පැත්තට බුදුන් තනිකරම සංස්ථාපිත අධිකාරිවාදයේ ගිලෙන ආගමික ශාස්තෘ කෙනෙක් වෙනවා. සියලූ රාජ්‍ය තන්ත‍්‍ර හා සමාජ නිලධරවාදයන් බාර ගනිමින් තමයි බුදුන් නිර්වාණය ගැන කියන්නෙ. ඒ විමුක්තිය පවා සංස්ථාපිත විමුක්තියක්. අෂ්ට ලෝක ධර්මය, චතුරාර්ය සත්‍යය, මේ විදිහට ඒ අවබෝධයේ පවා විධිමත් පරිපාටියක්, ආකෘතියක්, තාප්පයක් බුදුන් ගේනවා. එයා සංඝ සමාජයක් පවා හදනවා. ඒකෙ වෙනම සමූහ අර්ත නිර්මාණය කරනවා. මේ කාරණා හිතාගෙන යද්දි ඇත්තටම පේනවා බුදුන් ඒ තරම්ම ප‍්‍රගතිශීලී චරිතයක් නොවුණු වග. ඒ වගේම එයාගෙ දර්ශනය ඒ තරම්ම නිදහස් නොවෙන වග. 
‘ඇනාකිස්ම් ඇතුලෙ සංස්ථාපිත ආයතන පද්ධතිය දකින්නෙ ඩයිනසෝරයන් විදිහට. ඒ විශාලත්වය නිසාම ඩයිනසෝරයන්ගේ ගමන් වේගය අඩුයි.  ඒ නිසාම ඔවුන් වඩා වේගයෙන් මාංශ භක්ෂයන්ට ගොදුරු වෙනවා. 

ධනවාදී ක‍්‍රමයේ මේ ඩයිනසෝරයන්ට කෙළ වෙන කල් බලා ඉන්න ප‍්‍රමාණයෙන් කුඩා ඩයිනසෝරයන් විශේෂත් ඉන්නවා. ඒ මාක්ස්වාදීන් වගේ කට්ටිය. විශාල ඩයිනසෝරයන් වඳ වුණු යුගයක තමන් විශාලතමයන් වුණු යුගයක් ආරම්භ කරන්නයි ඔවුන්ගේ උවමනාව. කවදා හරි ලොකු වෙනකල් බලන් ඉන්න පොඩි ළමයි වගේ මේ ගොල්ලො අර ක‍්‍රමයම තමන් යටතට ගන්න බලන් ඉන්නවා.  මේ යෝද හෙවනැලි අතරෙ එහා මෙහා යන කුඩා උණුසුම් ජීවී සමූහ විදිහට ඇනාකිස්ට්ලා ඒ ගොල්ලො ගැන විස්තර කරන්නෙ. අවිධිමත් බව සහ කුඩා බවම ඒ අයට වාසි වෙන තත්ව. වඩා ඉක්මණින් හැඩගැසිය හැකි වීම සහ වේගවත් බව කියන කාරණා හින්දම පරිණාමය ඇතුලෙ මේ කුඩා ජීවීන් වඩා සාර්ථක පැවැත්මක් හිමි කර ගන්නවා කියල ඒ ගොල්ලො තර්ක කරනවා.’ (ඇනාර්කි ඉන්ද ඒජ් ඔෆ් ඩයිනසෝර්ස්)

දැන් මේක කතාව ලිව්ව හින්ද මං ඇනාකිස්ට් කෙනෙක් වෙන්නෙ නෑ. ඒත් සමාජය වෙනුවට පුද්ගලයා කියන බාර ගැනීම ඇතුලෙත්, අධිකාරි බලය කිව්වම සමාජයේ හැම අධිකාරියකටම (රජය, ආගම, පවුල, ස්ත‍්‍රී පුරුෂ භාවය, න්‍යායාත්මක හෝ ඇකඩමික්* එක විදිහට විරුද්ද වීමේ පුළුල්, පැවැත්ම මූලික තර්කනය නිසාත් මේ සිතීම අනිත් පටු දෘෂ්ටිවාදයන්ට වඩා පරිණතයි කියල මං හිතනවා. 

ලියන කොට කලින් හිතුවා වගේම විෂයක් ලිපියකට හරවන්න මං ගොඩක් අසමත්. අතරින් පතර කෑලි ටිකකට වඩා සංයුක්ත කිසි දෙයක් කියාගන්න බෑ. ඒත් ඒ අසංවිධානාත්මක බව ඇතුලෙ මොකක් හරි අදහසක් දත්තයකට හෝ තොරතුරකට වඩා ලොකුවට ඇඳෙන්න පුළුවන් කියල මට හිතෙනවා. ඇලන් මුවර් කියන මං ආසම ක්ලයිමැක්ස් එකකින් මං කතාව ඉවර කරන්නං.

‘එක විදිහකට, කතා තමයි මිනිස් පැවැත්මෙ න්‍යෂ්ටිය වෙන්නෙ. සමහර වෙලාවට විනාශකාරී විදිහට. හිතල බලන්න උපමා කතා තරමට පරණ අපේ ආගමික ප‍්‍රබන්ධ නිසා කොයිතරං යුද්ධ ඇති වෙලා තියෙනවද සහ අදත් සිද්ද වෙනවද? ඇත්තටම අපි අපේ ජීවිත පදනම් කරගෙන ඉන්න ප‍්‍රබන්ධය නිසා සමහර වෙලාවට අපි භයානක අවසානයන් කරා ගමන් කරනවා. කතා වලට ලොකු කොටසක් කරන්න තියෙනවා. ඒක නීතියේ වර්ධනයට හෝ වෙන කිසිම සමාජ විද ්‍යාත්මක වර්ධනයකට වඩා විශාලයි. මං හිතන්නෙ අපේ කතා සහ අපේ ප‍්‍රබන්ධයේ වර්ධනයෙන් තමයි අපිට ඇත්ත සමාජ වර්ධනය මනින්න පුළුවන්’
-ඇලන් මුවර්

චින්තන ධර්මදාස

3 comments:

  1. මං ඇත්තටම හිතන්නෙ නෑ ප‍්‍රචණ්ඩ විප්ලවයකින් කවදාවත් සාමාන්‍ය මිනිහාගෙ ඇත්ත ප‍්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල. මං හිතන්නෙ ඒක අපි විසින් කර ගන්න ඕන කාර්යයක්. ඒක වෙන්නෙ සමාජ පරිණාමයක් ඇතුලෙ විතරයි. කවදා හරි බටහිර සමාජය යන මග දිගේ මේක සිද්ද වේවි. ඒත් ගැටළුව තියෙන්නෙ අපිට ඒ තරං කාලයක් බලන් ඉන්න පුළුවන්ද කියන එක’
    ඇලන් මුවර්

    මෙන්න මේ කාරණේ විජේවීර තේරුම් ගත්තනම් ලංකාවේ වර්තාමනය මේ තරම් අඳුරු වෙන්නේ නෑ. විජේවීරගේ පොල්පිති විප්ලව වලට ගිහින් දශක දෙකකදි රටට නැති වුනේ ජවාදික, බුද්ධිමත්, අවංක රටේ වටිනාම තරුණ කොටස. ඒ කොටස නැති වුනායින් පස්සේ ඉතිරි වුනේ කම්මැලි, බයගුලු, මෝඩ තරුණ පරපුරක්. ඒ බුරුවන්ගේ වැඩවල ප්‍රථිඵල තමයි අද මේ අත්දකින්නේ.

    ReplyDelete
  2. //ඒත් අනිත් පැත්තට බුදුන් තනිකරම සංස්ථාපිත අධිකාරිවාදයේ ගිලෙන ආගමික ශාස්තෘ කෙනෙක් වෙනවා. සියලූ රාජ්‍ය තන්ත‍්‍ර හා සමාජ නිලධරවාදයන් බාර ගනිමින් තමයි බුදුන් නිර්වාණය ගැන කියන්නෙ. ඒ විමුක්තිය පවා සංස්ථාපිත විමුක්තියක්. අෂ්ට ලෝක ධර්මය, චතුරාර්ය සත්‍යය, මේ විදිහට ඒ අවබෝධයේ පවා විධිමත් පරිපාටියක්, ආකෘතියක්, තාප්පයක් බුදුන් ගේනවා. එයා සංඝ සමාජයක් පවා හදනවා. ඒකෙ වෙනම සමූහ අර්ත නිර්මාණය කරනවා. මේ කාරණා හිතාගෙන යද්දි ඇත්තටම පේනවා බුදුන් ඒ තරම්ම ප‍්‍රගතිශීලී චරිතයක් නොවුණු වග. ඒ වගේම එයාගෙ දර්ශනය ඒ තරම්ම නිදහස් නොවෙන වග.//

    මේ අදහසනම් සම්පූර්නයෙන් වැරදි අදහසක් චින්තක. වර්ථමාන බුදුදහම ඇසුරෙන්ම බුදුන් ගෙ අදහස තේරැම් ගන්න බෑ. ඒකට බුදුදහම විකාශනය වුනු ආකාරය ගැනත් සොයා බලන්න ඕන.බුදුන් ගොඩ නැගුවෙ සංස්ථාපිත ආගමික ආයතනයක් නෙවේ නිදහස් ශ්‍රමන සම්ප්‍රදායක්. බුදුන්ම කියනව තමන්ගෙ මේ නිදහස් ශ්‍රමන සම්ප්‍රදාය(බ්‍රහ්මචරියාව) පවතින්නෙ අවුරැදු 500 කියල. තමන්ගෙන් පස්සෙ නායකයෙක් පවා පත් නොකර භික්ෂූන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩ දුන්නෙ මේ මධ්‍යයගත අධිකාරිය පුථික්ෂේප කරපු නිසා. මේක සංස්ථාපිත ආයතනයක් කලේ අශෝක රජතුමා. මේ විධිමත් පටිපාටි ,අකෘති, න්‍යායන්,විනයන් විතරක් නෙමෙයි මේ අනවශ්‍යය දාර්ශනික ගැටලු පවා නිර්මානය උනේ තුන්වන සංඝායනාවෙන් පස්සෙ ඇතිවෙච්ච ථේරවාදී මහායාන මත ගැටුම්.
    අනිත බුදුන් අදහස් කලේ රජය,සමාජය,පවුල ආදී බාහිර අධිකාරවාදයෙන් මිදීමෙන් පමනක් සියල්ලෙන් මිදිය නොහැකි බව. ඒ සඳහා සියලු දෘෂධිවාදයන්ගෙන්ද මිදිය යුතුයි කියන දේයයි බුදුන්ගෙ අදහස උනේ.

    ReplyDelete