Saturday, April 26, 2014

ආදරය අත්හරින්න.

අපි හැමතිස්සෙම හිතන්නෙ ආදරය කියන්නෙ හැමදේම කියල. ආධ්‍යාත්මික උපදෙස් දෙන ගොඩක් ශාස්තෲන්ගේ ඉඳන් අළෙවිකරුවන් දක්වා හැමෝම කියන්නෙත් මේ කතාව. එක පැත්තකින් මේක ආදර වෙළඳපොලක්. අපේ හදවත් ආදර වෙන්දේසි පොළවල්. ඒත් ඇත්තටම ආදරය මේ තරම් ගැඹුරුද?
මං හිතන්නෙ ආදරය කියන්නෙ අපි  ඕනවට වඩා ලොකු කරපු පොඩි දෙයක්. ආදරයට මුල් වෙන්නෙ ඇගයීම. අපිට පේනවා මාර දෙයක් ඒ ආදරය කරන වස්තුව ඇතුළෙ. මේ ඇගයීම එන්නෙම අපි ඒ ගැන නොදන්නාකම නිසා. කොටින්ම ප‍්‍රායෝගිකව ආදරය කරපු සෞඛ්‍යසම්පන්න  ඕනම කෙනෙක් දන්නවා, ආදරය කාලයක් යද්දි අඩුවේගෙන යනවා කියල. ඉතින් ඒ ආදරේ රඳවගන්න අපි ගොඩක් දේවල් කරනවා. ඒත් අපි ආදරය කරන අයව අපි තේරුම් ගන්න තේරුම් ගන්න, ඒඅ ය එක්ක අපි ගැඹුරෙන් බැඳෙන්න බැඳෙන්න ආදරය තුනී වෙනවා.

හැමදාම එකවගේ ආදරේ කරන අය නැද්ද? අපි කොච්චර එහෙම අය දැකලා තියෙනවද? එතකොට ආදරය වෙනුවෙන් සටන් කරන අය අහවි. එහෙම අය ඉන්න පුළුවන්. ඒත් අයට තියෙන්න පුළුවන් හු`ගක් බෝරිං, පටු ජීවිත. ඒ හින්ද එකම ටැංකියෙ කරකැවෙන මාළුවා වගේ එකම දේ අලූතෙන් දකිනවා කියලා හිතාගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්.

එහෙම නැත්තං ආදරය මැරෙන්නම  ඕන. ආකර්ශනය උදාසීන වෙන්නම  ඕන. ඊට පස්සෙයි අපි පැවැත්මෙන් මුණගැහෙන්නෙ. ඒ පැවැත්මට කොන්දේසි නැහැ. ඒ පැවැත්ම අපිට වඩා විශාලයි. අපිට හසුරුවන්න බෑ. ඒත් පැවැත්ම හරහා ඇති වෙන බැඳීම ආදරයට වඩා ගොඩක් විශාලයි.

ඒක ගැඹුරු ආදරයක් වගේ කියන එක තවත් රොමාන්තිකකරණයක් විතරයි. ඒක ආදරය හෝ අනාදරය නොවෙන තැනක්. ඒක නිකංම නිකං මනුස්ස තැනක්. ආදරය කියන්නෙ පොඩි උන්ගෙ විහිළුවක් වගේ මේ වගේ පැවැත්මක් එක්ක සසඳද්දි. ඒක කාලය සහ අවකාශය එකට බෙදා ගැනීම නිසා ඇති වුණු ගැඹුරු සම්බන්ධයක්.

එතන මල් පොකුරු නැති වෙන්න පුළුවන්. දවසෙම මරා ගන්නවා වෙන්න පුළුවන්. හොඳ නරක  ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ අතර සම්බන්ධය එලියෙන් දෙන විනිශ්චයක් මත රැුඳෙන දෙයක් නෙමෙයි. ඒක ඒ චරිත අතර ඒ අය විතරක්ම දන්නා- නොදන්නා තත්වයක්. ජීවත් වීමෙන් විතරක්ම කවදා හරි තේරුම් ගන්නා තත්වයක්.

අපි පුළුවන් තරම් ඉක්මණට ආදරය අවසන් කරන්න  ඕන. පැවැත්මෙ හැම සුන්දර ශුන්‍යතාවයක්ම ආදරයේ රොමාන්තික වචන වලින් පිරවීම නවත්තන්න  ඕන. විශේෂයෙන්ම පාවුලෝ කොයෙලො වගේ ගැඹුරු දැක්මක් ඇති අයගේ පවා ලියමනට මං නොඑක`ග තැන වෙන්නෙ මෙතන. හැමදෙයක්ම ආදරයෙන් රොමාන්තික කිරීම. ඒක ජීවිතය පුංචි කර ගැනීමක්. හැ`ගීම් වල ඒ අතට මේ අතට පැද්දෙන එක ජීවිතය කියලා හඹා යාමක්. ආදරය කරපු කවුරුත් මේ ඇත්ත දන්නවා. ඒත් හැමෝම ඊළ`ග වතාවෙ වඩා නිවැරදිව ආදරය කරන්න තීරණය කරනවා. ඒත් එහෙම නිවැරදි ආදරයක් කොහෙවත් නෑ. ඒක එක අහම්බ මොහොතක් විතරයි. ආදරය ලස්සන වෙන්නෙත් එක නිමේෂයකින් පිපිලා අවසන් වෙන හින්දමයි.
ආදරයෙන් එළියට වැඩෙන්න. ඒ කියන්නෙ අනාදරයට නෙමෙයි. ආදරය නොවෙන විශාල පැවැත්මක් දෙසට. ඒක සංකල්පීකරණය නොකළ අතිශය පුද්ගලික කලාපයක්. ඒ ගැන සිංදු නවකතා නෑ. එතන තියෙන්නෙ ඉන්න විතරයි. හදිස්සියක් නැතුව. කුල්මත් නොවී. දෙවියෙක් හෝ යක්ෂයෙක්, කවියෙක් හෝ සොල්දාදුවෙක් නොවී මිනිහෙක් විදිහට එතන ඉන්න.

Chemical Buddha

Saturday, April 19, 2014

හා.... සඳ වැටෙන්නෙ පිණි අහුරුවල ගුලි වෙලා...

සංගාගේ හාද්ද ගැන මං කලින් ලියපු ලියමන සමාජ විචාර කියන ෆේස් බුක් කට්ටිය ටිකක් බරපතල සාකච්ඡුාවකට ගත්තා. ඒකට ස්තුති කරන ගමන් ඒ ගැන කිසි දෙයක් කියන්න ඉදිරිපත් නොවුනෙ ඇයි කියලත් කියන්න  ඕන. මං ලියන අදහස් ඇකඩමික් රාමු ඇතුලෙ කතා බහකට එන එකෙන්ම ඒ අදහස් වලට හානියක් වෙනවා කියලයි මං හිතන්නෙ. ඊට වඩා ව්‍යවහාරික, ප‍්‍රායෝගික, අවිධිමත් රටාවක් ඇතුලෙයි මේ අදහස් පැතිරීමක්, වැඩි වීමක් සිද්ද වෙන්නෙ. නැත්තං ‘මළ’ ඇකඩමික් අර්තයන්ගෙන් ඒ හිතුවිල්ල පරණ කරනවා. අරක්කු වගේ නෙමෙයි අදහස් පරණ වෙනකොට මළකඩ කනවා. උදාහරණයක් විදිහට මං කියන දෙයක් හා හේගල්ගෙ සංසන්දනයක් වගේ දෙයක් මට හිතෙන්නෙ නෑ ඒ තරම් වැඩදායක යමක් කරයි කියල. කොහෙත්ම මං බලාපොරොත්තු වෙන සංවාද කතිකාවෙ නං එහෙම වෙන්නෙ නෑ.

ඒත් අදහස් වෙනස් වෙනස් කලාප වල ගැටෙමින් පෙරළෙමින් පරිණාමය වෙන එක මං නොහිතන තවත් ප‍්‍රතිඵල ඇති කරන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඒත් සමාජ විචාර සාකච්ඡුාව ඇතුලෙ මං සංගාගේ හාද්ද රොමාන්තිකයි කියලා කියපු කතාවෙ අදාල නැති තැනක පැටළුණා කියල මට හිතෙනවා. රොමාන්තික කියන වචනෙට අර්ත දෙකක් තියෙනවා. එකක් ආදරය ප‍්‍රකාශ කිරීම, ආදරයෙන් මත්වුණු හැසිරීම වගේ දේවල් එක්ක සම්බන්දයි. අනිත් එක මේ සාකච්ඡුාවෙදි පැටළුණු රොමාන්තික යුගය එක්ක සම්බන්දයි. මට සංගා රොමාන්තික වුණෙ පළවෙනි අදහසින්.

මහින්දට දුටුගැමුණුට ෆොන්සේකාට ඇයි මේ හාද්ද දෙන්න බැරි කියන කාරණය හරි සරලයි පැහැදිලියි. ඒ ගොල්ලොන්ගෙ උඩු රැුවුල හින්ද. පාර්ක් එකක අතක් අල්ලගෙන වත් ඉන්න බැරි රටක ලෝකෙටම පේන්න දෙතොල් සිපගැනීමක් මං හිතන්නෙ හොඳ කම්පනයක් ඇති කරනවා. ඒක හින්දම මේ වෙද්දි ඒ පිංතූරෙ අධිවේගයෙන් ඉන්ටර්නෙට් එකෙන් ඉවත් වෙමින් යනවා.

 සංගාගේ හාද්දත් එක්ක අපිට තිබුණා හාදු කැම්පේන් එකක් පටන් ගන්න. හැමෝම තමන්ගෙ පෙම්වතියන් හෝ පෙම්වතුන්ගෙ දෙතොල් සිපගැනීමක් ෆේස් බුක් එකේ ෂෙයාර් කරන විදිහෙ වැඩක්. එක පැත්තකින් ආදරය ගැන මොකක් හරි දෙයක් වගේම ආදරය ගැන අපි ඇතුලෙම තියෙන තහංචි ගොඩක් එහා මෙහා වෙන්න පුළුවන් ඒ වගේ ටෙ‍්‍රන්ඞ් එකකින්. ‘ඩෙයාර් ටු කිස්’ වගේ හෑෂ් ටැග් එකක් හරහා (#daretokiss) අපිට ඇත්තටම එලිපිට හාද්දක තියෙන සංස්කෘතික වෙනස අත්දකින්න තිබුණ. මං හිතන්නෙ තාමත් පරක්කු නෑ.

මට හිතෙන්නෙ මගේ ජීවිතේ වැදගත්ම උපදේශය මං කියෙව්වෙ මාළු ඔතන පත්තරේකින්. ඒකෙ තිබුණ ලලිත් කොතලාවලගේ ඉස්සර ඉන්ටවිව් එකක්. ජීවිතය ජයගත්ත විදිහ කියනවා වගේ අතිරේකයක ඒක පළවුණේ. එතනදි කොතලාවල එයාගෙ තාත්තා දීපු උපදෙසක් මතක් කරනවා.

‘කොයි වෙලාවක වත් දුවන මී හරකෙක් නවත්තන්න හදන්න එපා. ඌට නගුලක් හයි කර ගන්න විදිහ කල්පනා කරපං’

ගොඩක් දේවල් ගැන හිතද්දි මට ලලිත් කොතලාවලගේ තාත්තාව ආයි ආයිත් මතක් වෙනවා.
ලංකාවෙ චිත‍්‍රපටියක දීපු හොඳම හාද්ද මං දැක්කෙ කොයින්ස් ෆෙස්ටිවල් එකේ තිබ්බ විරාජ් ලියනාරච්චිගේ ෆිල්ම් එකක. ඒකෙ නම තිබුණෙ ‘වෙන් තර්කොව්ස්කි මීට්ස් ගොඩාඞ්’ කියල. ඒ නමට මං එච්චර කැමති නැති වුණත් මං හිතන්නෙ රූප තාක්‍ෂණය පැත්තෙන් හිතලා ඒ සමීකරණය හදාගන්න ඇති.

ලංකාවෙ තියෙන සිනමා උළෙල වලින් වැදගත්ම උළෙල මට අනුව මේ කොයින්ස් ෆෙස්ටිවල් එක. නිකං පිටකසා ගැනීම් සහ සාටෝප අලංකාර විතරක්ම වෙන අනිත් චිත‍්‍රපටි උළෙළ වලට සාපේක්‍ෂව මෙතනදි ඇගෙයන්නෙ ඊළ`ග පරපුරේ චිත‍්‍රපටිකරුවන්ව. විශ‍්‍රාම යන්න ඉන්න අය වෙනුවට එළියට එන්න නියමිත අය. ඒ අයගේ වැඩ එක්ක වෙන රටවල සිනමා ශිෂ්‍යන්ගේ වැඩ කරට කර තියලා කිරා බැලීමක් මෙතනදි සිද්ද වෙනවා. එක පැත්තකින් ඒක විශිෂ්ට තත්වයේ සම්මාන උළෙලක් වෙන අතරෙම තව පැත්තකින් සිනමාවේ ඊළ`ග බලාපොරොත්තුව නිර්මාණය කරනවා. මට හිතෙන්නෙ මේ ගෞරවයේ වැඩි කොටසක් හු`ගක් කාලෙක ඉඳන් මේ සිහිනය ජීවත් කරවන ධනුෂ්කට ලැබෙන්න  ඕනි.

චිත‍්‍රපටි පෝලිමම බලාගෙන යද්දි මට දැණුනු හු`ගක් ආනන්දජනක කාරණය වුණේ ඉස්සරට වඩා අපි දැන් වෙන රටවල පවතින සිනමාවෙ මට්ටමට ගොඩක් කිට්ටු වෙලා කියන එක. ඉස්සර විදේශීය චිත‍්‍රපටියක් එක්ක එක පෙළට අපේ ෆිල්ම් එකක් බලන්න බෑ, ලැජ්ජ හිතෙනවා. ඒත් මේ චිත‍්‍රපටි ගොන්නෙ සමහර තැන් වලදි ලංකාවෙ ෆිල්ම් ඒ රටවල ෆිල්ම් වලට වඩා ගොඩක් ඉස්සරහින් තිබුණ.

සිනමාව ඉගෙන ගන්න සිනමා පාසැලක්  ඕන කියන කාරණයට මං එච්චර එක`ග නෑ. ඒත් අවුරුදු කීපයක් පුරා ඩිජිටල් සිනමා ඇකඩමියෙ එක එක අධ්‍යක්‍ෂවරයා අතින් ගොඩනැගෙන සිනමාව එක දිගට නරඹන්න මේ ෆෙස්ටිවල් එක හරහා මට අවස්ථාවක් ලැබුණ. මුල අවුරුද්දෙ ඉඳන් අන්තිම අවුරුද්දට එද්දි සිනමාත්මකව ඒ අය අත්කර ගන්න පරිමාව දැකලා මම පුදුම වුණා. සිනමා පාසැලක් හරහා හැම දෙයක්ම නැතත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා මට පිළිගන්න වෙනවා.

ඒ වගේම විශ්ව විද්‍යාල පද්ධතිය හරහා සිනමාවට සිද්ද වෙන සම්බන්දය අතිශයින් දුර්වලයි වගේම ජරාජීර්ණයි කියන එකත් මේ හරහා දැක්ක ඇත්තක්. විශ්ව විද්‍යාල වල සිනමා විෂය හදාරන්නන් කරලා තිබුණු නිර්මාණ ප‍්‍රදර්ශනය කරන්නවත් බැරි තරම් දුප්පත් මට්ටමක තිබුණෙ. ඒක තාක්‍ෂණික පැත්තෙන් විතරක් නෙමෙයි. අදහස් සහ සිනමාව හැසිරවීම කියන කාරණා අතිනුත් හු`ගක් ප‍්‍රාථමිකයි. මේ බිඳ වැටීම කාලයක පටන් දැනෙමින් තිබුණත් මේ වෙද්දි පිටත නාගරික සිනමාව වේගයෙන් දියුණු වීමත් එක්ක තත්වය තීරණාත්මක වෙලා තියෙනවා.

මේ චිත‍්‍රපටි අතරෙ තිබුණ මං ගොඩක් කැමති චිත‍්‍රපටි තුනක්. තවත් ගොඩක් හොඳ ෆිල්ම්ස් තිබුණත් මේ චිත‍්‍රපටි තුන මාව ටිකක් හොල්මන් කළා. එකක් අර කලින් කියපු තර්කොව්ස්කියි ගොඩාර්ඩුයි මුණගැහෙන තැන. මුලින් ඈත හිඳ සියල්ල දෙස බලා සිටින මුනිවර තර්කොව්ස්කි සෙයියාවෙන් කතාව පටන් ගන්නවා. ඊට පස්සෙ පිස්සු ගොඩාඞ් අතට මාරු වෙනවා. ඒක මරණය ගැන කතාවක්. ඒ මරණය එක්ක අපි සිහිනයක් දකිනවා. මරණය සිද්ද වෙනවා. සිහිනය ඇහැරෙනවා. හැම මරණයකටම සාක්ෂිකාරයෙක් ඉන්න  ඕන. ඒ සාක්ෂිය හුස්ම වැටෙන කැමරාවද නැත්තං නැවත ඈත සිට බලා සිටින ඉසිවර බැල්මද? මට චිත‍්‍රපටිය ඇතුලෙ පාදක කතාවත්, සිනමාවත්, තිරය සහ අපිත් අතරෙ එහාට මෙහාට මාරු වෙන සංවාදයක් හැදුවා ඒ චිත‍්‍රපටිය.
මේ අලූත් ප‍්‍රකාශන හරහා සිනමාවට එලියෙන් තවත් ගොඩක් දේවල් සිද්ද වෙනවා. උදා විදිහට මේ ෆිල්ම් එකට සංගීතය කරලා තිබුණෙ චින්තක ගීතදේව.

හා.....මල් පිපෙන්නෙ
ග`ග ගලන්නෙ හ`ඩ නගා
මැණිකෙ නිසා.... ඔබ ගිය නිසා....
හා..... සඳ වැටෙන්නෙ
පිණි අහුරු වල ගුලි වෙලා...
ඔබ නිසා..... ඔබ ගිය නිසා....

මේ අන්තිම ට‍්‍රැක් එකත් එක්ක ෆිල්ම් එක ගොඩක් ගැඹුරු තැනකට අරන් යනවා. මේ විදිහෙ විකල්ප වෙනස් සංගීත රටා, හ`ඩ පරාස එක්ක ගනුදෙනුවකුත් මේ අත්හදා බැලීම් හරහා සිද්ද වෙනවා. ඒක හු`ගක් ලොකු දෙයක් වෙන්නෙ වෙන කිසිම විධිමත් ඇකඩමික් අත්හදා බැලීමක් හරහා මේ සංයෝගය සිද්ද නොවෙන හින්ද. උදා විදිහට ඉතා මෑතක පේරාදෙණියෙ තිබ්බ මේ විදිහෙ වෙනස් සංගීත හැන්දෑවකට පවා ගොඩක් ශාස්ත‍්‍රීය බාල්දි වැටුණ. අලූත් සිනමා අත්හදා බැලීම් හරහා ඒ සමස්ත විකල්ප සංස්කෘතික පරාසයම එකතු කර ගන්න එක ගොඩක් සාධනීයයි.

ඞී‍්‍රමර්ස් ඇන්ඞ් ඞී‍්‍රම් විවර්ස් කියන්නෙත් මං ලංකාවෙ බලාපොරොත්තු නොවුණු විදිහෙ සිනමා ප‍්‍රකාශනයක්. අපි හැමදාම දකින්නෙ තමන් කරපු අපරාධය නිසා විඳවන රස්කොල්නිකව් වර්ගයේ පව්කාරයො. ඒත් ඇත්තටම අපරාධ ඒ තරං බෝරිංද ? අඩුම තරමෙ අපිට සාපරාධී බව ගැන වෙනස් පරිකල්පනයකටවත් යන්න බැරිද? දුර්වල පීඩිතයා හරි පශ්චත්තාප පීඩකයා හරි විතරයි අපේ විෂය වෙන්නෙ. ඒත් මේ ෆිල්ම් එකේදි සැන්ඩි (අධ්‍යක්‍ෂිකාව) රියැලිටි එක මාරු කරනවා. තමන් යම් පමණක් හෝ හොඳින් තමන්ගෙන් පීඩිතයන්ට සළකන්න ඇති කියලා සතුටු වෙන හමුදා පීඩකයෙක්. ඒ වධ වේදනා විඳි අය බලන්න ඉඳහිට මතක කැලෑවට ගොඩ වදින නීතියේ නමින් අපරාධ කරපු පාදඩයෙක්. ඒත් ඒ හෘදය සාක්‍ෂිය අපි දකින්න බලාපොරොත්තු වෙන පරාජිත දුක්ඛිත බව නෙමෙයි. ඒ වෙනුවට එයාටත් තියෙනවා තමන්ව සාධාරණීකරනය කර ගන්න පුළුවන් හේතු. පැවැත්මෙ වඩාත් බියජනක දේ වෙන්නෙ ඒක. ඒ අතීත වධ වේදනා ගැන විපරීත හීන වලින් තමන්ගෙ නින්දට බාධා කරන්න එපා කියලා මේ මහල්ලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මට හිතෙන්නෙ මේක තියුණු සිනමා භාවිතාවක් වගේම ගැඹුරු මිනිස් තේරුම් ගැනීමක්.

තුන්වෙනි ෆිල්ම් එක බියොන්ඞ් ද රියැලිටි. සුපර් ස්ටාර් වෙන්න පුරුදු වෙන ගායිකාවක් සහ එයාව පුරුදු කරන ගුරුවරයා අතර දිවෙන වාර්තා චිත‍්‍රපටියක්. ඒත් මේක ෆික්ෂන් එකකට වඩා හැ`ගීම්බරයි. රියැලිටි සිහිනය සහ අත්විඳින රියැලිටිය අතර දෝලනයෙන් මේ චරිත වලට තුන්වෙනි කියවීමක් දෙන්න අධ්‍යක්‍ෂවරයාට පුළුවන් වෙනවා. ඒක දැනීමක්, විඳීමක් මිස ප‍්‍රකාශිතයක් නෙමෙයි. අපිට පෙන්නන්නෙ  රියැලිටි තරග සඳහා පුහුණු කිරීම් කරන සංවේදී සංගීත මාස්ටර් කෙනෙක්ගෙ කතාවක්. ඒත් අපි දකින්නෙ වෙනමම කතාවක්. ඒක ජනප‍්‍රියත්වය හා බැඳුණු කලාව සහ ජීවිතය සමග බැඳුණු කලාව අතර දේශපාලනික සංසන්දනයක් වෙන්නෙ අපිව හිරිවැටෙන තරම් ලස්සන ආදර කතාවක අනාත කරමින්. ඇත්ත, ප‍්‍රබන්ධයකට වඩා කොයිතරම් ගැඹුරුද? විචිත‍්‍රද?  ලංකාවෙ අතිශය නොදියුණු ඩොකියුමෙන්ටි‍්‍ර චිත‍්‍රපටි කලාවට බියොන්ඞ් ද රියැලිටි කියන්නෙ අලූත් යෝජනාවක්. වාර්තා චිත‍්‍රපටිය යතාර්ථයෙන් ඔබ්බට අරගෙන එන්න.. මං හිතන්නෙ මේ ටයිට්ල් එක වැඩ කරන්නෙ එතනට.

මේ බලාපොරොත්තු දනවන සිනමාව අපි නැවත නැවත බෙදා ගන්න  ඕන කියලයි මට හිතෙන්නෙ. ඒකෙන් තවත් වෙනස් වෙනස් සිනමා ප‍්‍රවේශයන් උපදීවි. කොයින්ස් ෆෙස්ටිවල් එකේ ඇගයීම් ලබපු ලංකාවෙ සහ විදේශීය හැම චිත‍්‍රපටියක්ම එළියෙ නැවත ප‍්‍රදර්ශනය කරන්නත්  ඒ ගැන පුළුවන් තරම් කතා බහ කරන්නත් යෝජනා කළේ ඒ අදහසින්. අපේ‍්‍රල් 26 වෙනිදා කොළඹ ටෝකීස් හරහා මේ චිත‍්‍රපටි අපිට ආයිමත් නරඹන්න පුළුවන්. ප‍්‍රශ්න අහන්න, කතා කරන්න පුළුවන්.

මේ නැවත ප‍්‍රදර්ශනය  මේ වගේ බලාපොරොත්තුවක් තනා දීම වෙනුවෙන් ඩිජිටල් සිනමා ඇකඩමියට කරන ප‍්‍රණාමයක් වගේම ඒ නිර්මාණකරුවන්ට කරන ආචාරයක්.

-චින්තන ධර්මදාස

Saturday, April 12, 2014

වීරයා මැරෙයිද?

අපි මැච් එක දින්නා. සංගා වීරයෙක් වුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින්.

මිනිස්සු පාරට බැස්සා නෙමෙයි පැන්නා. පාරවල් දිගේ සතුට දෝරෙ ගලන්න ගත්තා. හැම කෙනෙක්ගෙම මූණු පිපිලා. මගතොට නැවතිලා අඳුරන්නෙ නැති උනුත් මැච් එක ගැන වචනයක් හරි බෙදා හදා ගත්තා.
සංගා.... කියලා වැඩක් නෑනේ....

ක‍්‍රිකට් ගැන කිසි උනන්දුවක් නැති මාත් මේ ත‍්‍රිල දිහා බලන් ඉඳලා ත‍්‍රිල් වුණා. ඒ තරං ලස්සනයි මිනිස්සුන්ගෙ උතුරා යන මොකද්දෝ එක. 
ඒක සතුටද? මට ෂුවර් නෑ.

ඒ මොහොතෙ ලංකාවෙ බංකොලොත් පවුල් ජීවිත ඇතුලෙ හිරවෙලා දුක් විඳින සුවහසක් පිරිමින්ගෙ නිදහස වුනේ සංගා. පිරිමින්ගෙන් ගුටිකකා ජීවත් වෙන ලංකාවෙ කරුමක්කාර ගෑණු සුවහසකගේ ආදරය වුණේ සංගා. සුරතාන්තයක් අහිමිව දුක් විඳින ඒත් කියාගන්න බැරි කාන්තා පරපුරක සුරතාන්තය වුණේ සංගා. බෙලහීන පිරිමි ගොඩකගේ උත්කර්ෂය වුනේ සංගා. 

අම්මලගෙ හොඳට හැදිච්ච පිරිමියා වුණේ සංගා. දුවලට බඳින්න  ඕන මිනිහා වුණේ සංගා. කොල්ලන්ට  ඕන වුනේ වෙන්න සංගා. කන්න නැතුව දුක් විඳින බහුතර ජනතාවකගේ කෑම පත වුනේ සංගා. අරමුණක් නැතුව නන්නත්තාර සුවහසක් ලාංකිකයන්ගේ බලාපොරොත්තුව වුණේ සංගා.. කොටින්ම අසරණ දුබල වෙලා හිටපු ආණ්ඩුවටත් අලූත් පණක් වුනේ සංගා. 

මට මතක් වෙනවා සුගතපාලද සිල්වා කරපු පීටර් වයිස්ගේ මරාසාද් නාට්ටියේ කොටසක්. සාද් කියනවා මරාගේ විප්ලවය ගැන.

ඔන්න ඔහොමයි මරා උඹේ විප්ලවය.
උන්ට දත් කැක්කුම
උගුල්ලා දමන්න  ඕන වෙලා උන්ගේ දත්
රොස් වෙලා ඔවුන්ගේ හොද්ද
හොඳ හොදි ඉල්ලලා මොර දෙනවා උන්
ගෑනියෙකුට රුස්සන්නෙ නෑ ඇගේ අ`ගටුමිටි සැමියාව
ඇය හොයනවා නව රියන් සැමියෙකු
මිනිහෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ
ඔහු පතනවා පුෂ්ටිමත් බිරිඳක්
මිනිහෙකුගේ සපත්තුව හිරයි
ඒත් අසල්වැසියාගේ සපත්තුව හිර නෑ
කවියෙකුගේ කවිකම හිඳිලා
සංකල්පනා හොයමින් දනිපනි ගානවා ඔහු
මාලූ බාන්නා හෝරා ගානක් පිත්ත ලා ගෙන සිටී
ඒත් මාළුවො ගිලින්නෙ නෑ ඇම
ඉතින් හැමකෙනෙක්ම එකතු වෙනවා විප්ලවේට
සපයාවි යැයි සිතා විප්ලවය සියල්ලක්ම....

ක‍්‍රිකට් සහ අපේ ජනතාව අතර සම්බන්දෙත් මේකට ගොඩක් ළ`ගයි. අපි ගොඩක් පව්.

සංගා කියන්නෙ ලෝකයට කියන්න ක‍්‍රිකට් මිස වෙන කිසිම දෙයක් නැති දුක්ඛිත ජනතාවකගේ වීරයෙක්. කිසි අනාගතයක් නැති රටක ජනතා වීරයෙක්. මෙතන තියෙන්නෙ සතුට සහ විනෝදය විතරක් නෙමෙයි.
මේ වීරයා මතින් රටේ හැම ආතතියක්ම පිටාර යන්න පටන් ගත්තා. තේ ඇරුණම අපිට ලෝකෙට ගෙනියන්න තියෙන බ‍්‍රෑන්ඞ් එක ක‍්‍රිකට් කියලා මුදල් නියෝජ්‍ය ඇමති පවා ඉක්මණට කිව්වා. ජාති ආගම් භේදයක් නැතුව හැමෝම එකවගේ සතුටු වුණා.  සංගා මහින්දට ෆොන්සේකාට වඩා ජාතික වීරයෙක් වුණා.
 කලින් හැමෝම එක ජාතියකට හෝ වර්ගයකට විතරක් සීමා වුණා. වෙන රටවලට අදාලම නැති වුණා. ක‍්‍රිකට් කිව්වම ලෝකෙ වැඩක් ඇති රටවල් අඩුවෙන්ම කරන සෙල්ලමක් වුණත් මොකක් වත් නැති අපිට ඒකවත් අන්තර්ජාතික පිළිගැනීමක් කියල හිතහදා ගන්න පුළුවන්.

මේ පිට්ටනිය ජාතීන්ට බෙදුණු පිට්ටනියක් නෙමෙයි. ජාතීන් එකතු කරපු පිට්ටනියක්. ඒත් අනිත් අතට දැන් ඉතින් ලෝකෙටම ඇරියා කියලා හිතන අපේ පුංචි අංගජාතෙත් එලියට පැන්නා.

සංගා වීරයෙක් වෙද්දි යුවරාජ් ඉන්දියාවෙ ජනතාවට දුෂ්ටයෙක් වුණා. එයාගෙ ගෙවල් ගිනි තියලා වීරත්වයෙන් පිටුවහල් කළා. යුවරාජ්ට බැරි වුණා ඉන්දියාවෙ ජනතාවට බලාපොරොත්තුවක් ගේන්න. එක වීරයෙක් හැදෙන්න තව වීරයෙක් නැති වෙන්නම  ඕනි. 

මේ මහා ත‍්‍රිල ලංකාවෙ දේශපාලනයට වඩා විශාල වෙනවා. අසීමිත අදේශපාලනික විනෝදයකින් රට එක පාරට වාන් දානවා. හැම කෙනෙක්ම තමන්ට පුද්ගලික විදිහට සතුටු වෙනවා. මිනී මැරුම්, මානව අයිතීන්, ජිනීවා, සිංහල බෞද්දකම හැම දේශපාලන මාතෘකාවක්ම එක මොහොතකට නිහ`ඩ වෙනවා. එක නිමේෂයකදි හදිස්සියේ බිහිවෙන වීරයෙක් හින්ද අනිත් හැම වීරයෙක්ම අවලංගු වෙනවා.

දැන් ආණ්ඩුව උඩ පැන පැන ද`ගළන්නේ මේ මොහොත නැවත දේශපාලනීකරණය කරන්න. ඒක එක මොහොතක් විතරයි. ඒ වීරත්වය නැවත පාලනයකට නතු විය යුතුයි. දැන් දොරටු දෙකක් විවෘතයි. එකක් සුපුරුදු වීරයා මරා දැමීම. අනෙක වීරයාට ඇඳ ගැනීම. ඒ කියන්නෙ භූමිකාව පිට්ටනියෙන් එලියට අරගෙන ඒම. 

මේ සංගාගේ වීරත්වයේ කූටප‍්‍රාප්තිය. මෙතනින් පස්සෙ එයාට පුළුවන් රෙස්ටෝරන්ට් එකක් හරි වෙන බිස්නස් එකක් හරි කරගෙන ගානක් හොයාගෙන ජීවත් වෙන්න.  ඕන නං තව කිරිපිටි, චොක්ලට්, සුපර් මාර්කට් ඇඞ් කීපයක් විකුණලා දෙන්න. වීරයාව පිට්ටනියෙ අමතක කරලා වෙළඳාම පටන් ගන්න. ඒක තමයි සුපුරුදු විදිහ. වීරයාට පස්සෙ ප‍්‍රති වීරයාගේ අවස්තාව.  ඕන නං සනත් ජයසුරිය වගේ දේශපාලනයට එන්න, නැටුම් නටන්න, තව ගොඩක් අවස්තා තියෙනවා.

ඒ අතරෙ පුංචි අවස්තාවක් තියෙනවා වීරයා තව ටික කාලෙකට හරි ජීවත් කරන්න. ඒ හැමෝම වෙනුවෙන්, ඒ බලාපොරොත්තුව වෙනුවෙන් යම් පමණක වත් මැදිහත්වීමක් කරන්න. පිළිකා වලට සල්ලි එකතු කිරීම වගේ සූකිරි වැඩ වලට එළියෙන් ජාතික ප‍්‍රතිරූපයක් විදිහට යම් සීරියස් සමාජ දේශපානික වගකීමක් ගන්න.
උදාහරණයක් විදිහට ඉම්රාන් කාන්. 92 වර්ල්ඞ් කප් එක ගන්න වීරයා වෙන්න එයා. ක‍්‍රිකට් වලින් පස්සෙ ඒ වීරත්වය එයා සමාජය වෙනුවෙන් ආයෝජනය කරනවා. සාධාරණය සඳහා පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනගලා එයා ජාතික සභාවට එනවා. පාකිස්තානු ඇන්ටි ඩ්‍රෝන් මෙහෙයුම වෙනුවෙන් ලෝකෙට හ`ඩක් වෙන්නෙ ඉම්රාන් ඛාන්. මේ කියන්නෙ අර්ජුන රණතුංග වගේ අවසනාවන්ත ඉරණමකට මුහුණදෙන්න හෝ සනත් ජයසූරිය වගේ විහිළුවක් වෙන්න නෙමෙයි. ඇටකටු දිරන එකට වඩා වැදගත් සමාජ වගකීමක් ගන්න කියන එක විතරයි. 

එක විදිහකට ඉතිහාසෙ කරේ තියාගෙන ඉස්සරහට යන්න හදන එකට වඩා ක‍්‍රිකට් වගේ දෙයක් සංස්කෘතික උරුමයක් විදිහට බාර ගන්න එක ටිකක් හරි හොඳ වෙයි. ඒක අපේ බෙදුණු ඉතිහාසෙට පස්සෙ ගොඩනගපු නූතන ඉතිහාසෙ කොටසක් හින්ද.

සංගාගේ හාද්ද

මැච් එක දින්න ගමන් සංගාගේ බිරිඳ පිට්ටනියට දුවගෙන එනවා. එයා සංගා වැළඳගෙන දෙන අතිශය රොමාන්තික දෙතොල් හාද්දක් ෆේස්බුක් පිටු වැහෙන්න පැතිරුණා. ඒ දැවැන්ත ජාතික වීරත්වයේ මොහොතක මහා ජන උන්මාදයේ ගහගෙන නොගිහින්  බිරිඳගේ දෙතොල් සිපගන්න තරම් උණුසුම් මිනිහෙක් වීම ගැන ක‍්‍රිකට් නොබලන මටත් හැ`ගීමක් ඇති වුණා මොකකටවත් වඩා අපේ රටේ ජාතික වීරයෙක් මේ වගේ ප‍්‍රසිද්ද මොහොතක දෙතොලක් සිපගන්නා පළවෙනි වතාව මේක. අපේ රට එහෙම රොමාන්තික දේවල් නිර්මාණය වෙන රටක් නෙමෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ජාතික වීරයා හාද්දට ඇති තහනමට එදා පිට්ටනියෙදි අභියෝග කරනවා. දුටුගැමුණුට, මහින්දට හෝ ෆොන්සේකාට බැරි දේ සංගාට තාම කරන්න පුළුවන් වෙනවා.
ඒ තමයි ප‍්‍රසිද්දියේ ආදරය කිරීම.

මට මැච් එක දින්න එක කොහෙත්ම අදාල වුනේ නැතත් මේ හාද්ද ගොඩක් දැණුන. දුප්පත් සදාචාරයක ගිලිලා දුක් විඳින සුවහසක් ලාංකේය ජනතාව වෙනුවෙන් විවෘත කළ ඒ නිමේෂය. ඒක වීරත්වය නැවත ආදරයට පෙරලීමක්. අපි මෙච්චර කල් දැක්කෙ වීරත්වය නැවත නැවත වෛරයට සහ වංචාවට පෙරලීමක් විතරයි.

ඒ හාද්ද ඇත්තටම ලස්සනයි. ඒක වීරයෙකුටම ගැලපෙන හාද්දක්. ඒක වීරයාගේ සමුගැනීමේ හාද්ද නොකර වීරත්වය ආදරයට කැඳවන හාද්දක් වෙනවා නම් කියන බොළඳ බලාපොරොත්තුව මටත් ඉතිරි වුණා.

-චින්තන ධර්මදාස


Saturday, April 5, 2014

ඇඳුම යට ඇඳුම



බෙනිටන් කියල ඇ`ගළුම් කොම්පැණියක් එකපාරක් මාර කැම්පේන් එකක් කළා. ‘අන්හේට්’ ඒකයි ඒකෙ නම. ලෝකෙ විවිධාකාර නායකයො ඒ අයගෙ ප‍්‍රතිවාදියන්ගෙ තොල් සිපගන්නා ඡායාරූප තමයි මේ කැම්පේන් එකේ තිබුණෙ. බැරක් ඔබාමා හියුගෝ චාවේස්ව ඉඹිනවා, පලස්තීනෙ මොහොමඞ් අබ්බාස් ඊශ‍්‍රායල් අගමැති නෙතන්යාහුව ඉඹිනවා. නෝර්ත් කොරියාවෙ ලොක්කා සවුත් කොරියාවෙ ලොක්කව ඉඹිනවා. ලංකාවෙ ගත්තොත් එහෙම මහින්ද ප‍්‍රභාකරන්ව ඉඹිනවා (රනිල්ව ඉඹිනවා දාලා වැඩක් නෑනෙ) එහෙම එකක් වුණා නම් සුදු වෑන් දහයකින් දහ පාරකට උස්සනවා අනිවා.

කොහොම වුණත් මේ කැම්පේන් එකෙත් පෝප් ඊජිප්තියානු ඉමාම් කෙනෙක් ඉඹින පිංතූරෙ ගලවන්න සිද්ද වුණා. මේක මට ආයිත් මතක් වුණේ බෙනිටන් එකෙන් අන්ඳන්න හදන අන්හේට් කියන ඇඳුමෙ යට ඇඳුම මතක් වෙලා. ප‍්‍රතිවාදීන් කියලා ලෝකෙට කියන මේ චරිත ඇත්තටම කරමින් ඉන්නෙ මේක නේද කියල උපහාසයක් මේ ඇන්දිල්ල යට තියෙනවා. දේශපාලනේදී ප‍්‍රතිවාදියා කියන්නෙ බලය පවත්වගෙන යන පේ‍්‍රමය. ප‍්‍රවාදයයි ප‍්‍රතිවාදයයි කියන්නෙ එකමයි. එතකොට බෙනිටන් අහන්නෙ ඇත්තටම කවුද අන්දන්නෙ කියන ප‍්‍රශ්නය. ඇඳුම් කොම්පැණියක් වෙච්ච බෙනිටන්ද නැත්තං මේ කියන දේශපාලනයද?

ආයිමත් ඡන්දයක් තිබ්බා. මං කවදාවත් ඡන්දෙ නොදාන්නෙ මේ පවතින ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කිරීමේ ප‍්‍රකාශනයක් විදිහට නෙමෙයි. ඡන්දෙ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මට  ඕන නැති හින්ද. එක විදිහකින් බහුතරයා වෙනුවෙන් කරන තෝරා ගැනීමකදි මං වගේ සුළුතරයෙනුත් සුළුතරයෙ උවමනාවල් දාලා වැඬේ අල කරන්න මං කැමති නෑ. අනිත් පැත්තෙන් බහුතර කැමැත්ත මත පදනම් වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණ මට කොහොමත් ගොං වගේ. අඩු ගානෙ මිනිස්සු තෝරනවා වෙනුවට අපිට ප‍්‍රතිපත්ති තෝරා ගැනීමක් වත් කරන්න පුළුවන් තත්වයක් නං ඒකෙ මොකක් හරි තියෙනවා.

මගේ අදහස අපි මේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන ගොහොරුවෙන් ආයිමත් ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ පැත්තට යන්න  ඕන. ඉන්ටර්නෙට් වගේ තාක්‍ෂණයන්ගේ ඇත්ත ශත්‍යතාවයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි වෙනුවෙන් තීරණ ගන්න කොහෙවත් ඉන්න ගොං රැලක් තෝරලා පත් කරනවට වඩා අවශ්‍ය ප‍්‍රතිපත්ති වෙනුවෙන් රටේ හැමෝටම තමන්ගෙ අදහස් මත කැමති අකමැති තත්ව කියන්න පුළුවන් වේදිකාවක් හැදෙනවා නම් ඒක ටිකක් හරි ප‍්‍රගතිශීලී වෙයි. දෙවියන් ගැන තීරණ ගන්නෙ පල්ලියෙන් වගේම දේශපාලනය ගැන තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවෙ. අදහසක් හෝ ප‍්‍රතිපත්තියක් නියෝජනය කරන්න කෙනෙක් පත් කරලා යවනවා වෙනුවට අපිට අදහසම නැත්තං ප‍්‍රතිපත්තියම ක‍්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ වෙළඳාම ඉවර වෙනවා.

මේ පාර ඡන්දෙන් පස්සෙ එක එක විදිහෙ විශ්ලේෂණ ඉදිරිපත් වුණා. ඡන්දෙ කරපු අයගෙ ඉඳන් පාරෙ ත‍්‍රීවීල් එළවන අය දක්වා එක එක විදිහට ප‍්‍රශ්නෙ විග‍්‍රහ කළා. ආණ්ඩුවෙ කතාව පැත්තකින් තිබ්බොත් අනිත් හැමෝම එකවගේ පෙන්නන්න උත්සාහ කරපු දෙයක් වුණේ ආණ්ඩුවෙ ඡන්ද අඩු වීම. ඒක හරියට ඊළ`ග තීරණාත්මක වතාවකදි ආණ්ඩුව වට්ටන්න පුළුවන් වගේ සුන්දර සිහින මවන්න හේතුවක් වුණා.

ඒත් ඇත්තටම ආණ්ඩුව වැටිලද? අඩුම තරමෙ එහෙම දෙයක් මේ ඡන්දෙන් පේනවද? මට හිතෙන්නෙ අනිත් කිසිම ආණ්ඩුවකට වඩා මේ ආණ්ඩුව හොඳටම ශක්තිමත් කියලා මේ ප‍්‍රතිඵල වලින් පේනවා. හැම පළාතකින්ම අරගෙන බැලූවත් විපක්‍ෂයෙ සහ ආණ්ඩුව අතරෙ පරතරය දෙගුනෙකට ළ`ගයි. ඒක දෙදහක තුන්දහක පන්දහක වගේ වෙනසක් නෙමෙයි. සාමාන්‍යයෙන් දෙවෙනි පාලන කාලෙ අන්තිම වෙනකොට ලංකාවෙ  ඕන ආණ්ඩුවකට ඡන්ද අඩුවෙනවා. අපේ රටේ මිනිස්සු වෙනස්. ඒ ගොල්ලො ඉක්මණට බෝරිං වෙනවා. ඒත් සාපේක්‍ෂව මේ ආණ්ඩුවට තාමත් මිනිස්සු ගොඩක් මනාපයි කියන එකයි මේ මනාප වලින් පේන්නෙ. අනිත් පැත්තට විපක්ෂයක් කියල එකක් තියෙනවද කියලවත් තාම ජනතාවට මතක නැති තත්වයක් තියෙන්නෙ. කොහොමත් වැඩියෙන්ම ජනතාවට ති‍්‍රල් දීපු සහ දෙමින් ඉන්න ආණ්ඩුව මේක.

අනුර කුමාරගේ ආකර්ශනීය නායකත්වයත් එක්ක ජවිපෙ සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒක ගොඩක් හොඳ තත්වයක්. කිසි බලාපොරොත්තුවක් නැති කමෙන් පන්දමෙන් ඩැහැගන්න ඉඩ තිබුණු කතිර ගොඩකට ජවිපෙ එල්ලෙන්න අදහසක් දුන්නා. ඒත් පන්දමටත් සෑහෙන යූඑන්පී ඡන්ද ටිකක් කැඩුණා. මට අනුව ඒක තමයි අවදානම්ම කාරණේ. කිසි දැක්මක් හෝ අදහසක් නැතුව හුදු විරෝධයක් විතරක් විදිහට එන පක්ෂයක් ගැන මිනිස්සු බලාපොරොත්තු තියනවා කියන්නෙ විපක්ෂයෙ ලොකු බංකොලොත්කමක්.

තව පැත්තකින් ප‍්‍රයිවෙට් චැනල් එකකින් ඡන්දෙට දාපු චරිත ඔක්කොම ගොඩ යනවා. පක්ෂ තුනකට බෙදලා තමන්ගෙ නිවේදකයන්වම අපේක්‍ෂකයන් කිරීම හරහා  ඕනම පක්ෂයක් ඇතුලෙන් තමන්ගෙ බලය ක‍්‍රියාවට නැගීමේ උවමනාව මෙතනදි සාර්තක වෙනවා.

‘රැවටුණු තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්...’

එයා අපේ කෙනෙක්.... කියලා කියපු ගමන් කොළඹ යූඑන්පී ඡන්ද ඔක්කොම ගන්න පුළුවන් වෙනවා. ඒ අපේක්‍ෂකයා කිසි දෙයක් කතා කළේ නෑ. සිංදු කිව්වම විතරයි. තව කෙනෙක් වයසක ප‍්‍රින්සිපල්ලා අමාරුවෙන් කැමරාවට උස්සලා අල්ලලා ඡුන්දෙ දෙන්න කිව්වා. ඒ ශිෂ්‍ය නායකයත් පළාත් සභාවට ආවා. කිඳෙල්පිටිය නම් ඇත්තටම යටිගිරියෙන් කෑ ගහලා කෑ ගහලා අමාරුවෙන් ආවා. ඒ මොනවා වුණත් භයානක ප‍්‍රතිඵලය තියෙන්නෙ පුද්ගලික මාධ්‍ය ආයතනේකට රටේ දේශපාලනය ඇතුලෙ මේ විදිහෙ ලොකු බලයක් ගොඩනැගෙන එක. ඒ හරහා ජනතා පක්ෂ වලට අභියෝග කරන්න තරමට ඒ ආයතන නිර්භීත වෙන එක. මාධ්‍ය සමාජයක් ඇතුලෙ ඇත්ත නියෝජිතයන්ට වඩා මේ නිව්ස් කියවන චරිත ප‍්‍රබල වෙන එක.

ඒත් මේ ඡන්දෙදි වඩාත් කැපී පෙනෙන කාරණේ වෙන්නෙ මං හිතන්නෙ ඡන්දෙ ප‍්‍රතිඵල නෙමෙයි. ඡන්දෙ නොදැම්ම අයගෙ ප‍්‍රතිඵලය. මොකද ඒ හරහා වෙනස් ප‍්‍රවණතාවයක් එළිදකින හින්ද. කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්දය දාන්න උනන්දු වෙන්නෙ 49%යි.  51%ක් ඡන්දය ප‍්‍රකාශ කරන්නෙ නෑ. ඒ කියන්නෙ මාර වටින ජනතා අයිතියක් කියන සර්ව ජන ඡන්ද බලය මාත් ඇතුළු 51%ක් විසින් අත්ඇරලා දානවා. අනිත් ගොඩක් නාගරික පළාත් වලත් ඡුන්දය ප‍්‍රකාශ නොකිරීමේ ප‍්‍රතිශතය ඉහළ යනවා.

මේක හිරුණිකා එහෙම නම් කියන්නෙ දේශපාලනය ගැන ජනතාවට ඇති වෙලා තියෙන දරුණු කළකිරීමක් සහ ඒ කළකිරීම දුරු කරන්න අලූත් දේශපාලන පරපුර කැපවෙන්න  ඕන කියල. එක විදිහකට ඒ කළකිරීමේ ප‍්‍රතිශතයක් මෙතන ඇති. ඒත් මට හිතෙන්නෙ තවදුරටත් දේශපාලනය තමන්ගෙ ජීවිතයට නොවැදගත් වෙන පිරිසක් වේගයෙන් ඇතිවෙමින් යනවා කියලා. වමේ දේශපාලන සගයො ගොඩක් මේ අදේශපාලනික ප‍්‍රවණතාවයට බය වෙන්න සහ ඒක දේශපාලනික කරන්න ද`ගලන්න ඉඩ තියෙනවා. ඒත් මට හිතෙන්නෙ මේක අනාගත තත්වයක්. දේශපාලනයට වඩා විශාල ජීවිතයක් මිනිස්සු තෝරා ගනිමින් ඉන්නවා.

ලංකාවෙ බොන්න ඉඳගත්තත් තිබුණෙ මාතෘකා තුනයි. දේශපාලනය, ක‍්‍රිකට් සහ යුද්දය. දැන් යුද්දෙ නැති නිසා එතනින් තියෙන්නෙත් දෙකයි. ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත දේශපාලනයේ ප‍්‍රමාණයට ඇකිළෙනවා කියන්නෙ අසාමාන්‍ය තත්වයක්. වෙන ගොඩක් පුද්ගලික දේවල් හුවමාරු කරගන්න තියෙද්දි මේ සරල පොදු ගුනාකාරෙම මිනිස්සු කැරකෙන එක සිතීමේ ප‍්‍රශ්නයක්.

එක අතකට රට පොඩිවීම මේකට හේතුවක් වෙන්න පුළුවන් වුණත් තව පැත්තිකින් රටේ හැම දෙයක්ම දේශපාලනීකරණය වීමේ අවුල මෙතන හේතුවක් වෙන්න පුළුවන්. ආගම, විවිධ උවමනා වෙනුවෙන් තියෙන සිවිල් සංවිධාන, ජනතා එකමුතු, පාරිභෝගික සමිති, ක‍්‍රීඩා, කලා, ව්‍යාපාර මේ ආදී ලොකු වපසරියක සමාජ දේශපාලන වපසරියක්, (මේක අපි සිවිල් සමාජය කියල සරලව හඳුන්වමු) දේශපාලන දේශපාලන කියන සීමිත දූෂිත ජීවිත විරෝධී රාමුවක සමාජයක් හිරවෙන්නෙ අනිත් පැත්තෙන් අර කියන සියලූ සමාජ ආයතන රටාවත් දේශපාලනික උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වෙමින් තියෙද්දි. මාධ්‍ය සහ අනෙක් සියලූ බලහත්කාරයන් පාවිච්චි කරමින් මිනිස්සුන්ගේ ජීවිත සීමිත බල ප‍්‍රතිවිරෝධයන් අතරෙ හිර කරනවා. ඊට පස්සෙ ගව පාලනය වගේ සිද්දිය සරලයි.

ඒත් ඉන්ටර්නෙට් එක ප‍්‍රධාන තවත් අනේක තාක්‍ෂණ විවෘත වීම් එක්ක මිනිස්සුන්ට නැවත පුද්ගලික ජීවිතයක් ලැබෙනවා. ඊටත් එහා ගියා රහස්‍ය විපරීත ජීවිතයක් පවා ලැබෙනවා. මේ නිදහස හරහා දේශපාලනය අතිශය කුඩා ගොඬේ ජීවිතයක් වග තේරුම් යනවා. මහා පිරිසෙන් එකෙක් වෙනවට වඩා තමන්ට හිමි පුද්ගලික අවකාශයේ විශාලත්වය ජීවිතය වෙළා ගන්නවා. පොලිටික්ස් ෆේල් වෙනවා.

ඒක හින්ද මං කියන්නෙ හිරුණිකා කියනවට වඩා මේක තත්වයක් හැටියෙන් සංකීර්ණයි. මේක වෙනස් සංස්කෘතියක වෙනස් දේශපාලනයක මතුවීමක් ගැන කතාවක්. ජනතාව පිට්ටනියකට දාලා ජනතාවට විහිළු කරමින් විනෝද වුණු දේශපාලකයන්ගෙ යුගය වෙනුවට දැන් දේශපාලකයන්ට සිද්ද වෙනවා පිට්ටනියට බැහැලා ජෝක් සපයන්න. ජනතාව බලන් ඉන්නවා. බෝරිං නං නැගිටලා යනවා.

මේක ජනතාවගේ සවිඥාණක බව නැති වීම වගේ මෝඩ තත්වයකින් වටහා ගන්නවා වෙනුවට සිවිල් සහ විකල්ප කණ්ඩායම් සහ ආයතන සිවිල් ජීවිතය පුළුල් කිරීමේ තමන්ගේ වැඩ කොටස පටන් ගන්න  ඕන. කිසි කෙනෙකුට අවශ්‍ය නැති මානව අයිතීන් වගේ ප‍්‍රලාප මතින් තවදුරටත් පවතින දේශපාලන ක‍්‍රමය ශක්තිමත් කරනවා වෙනුවට වඩා විශාල මනුස්ස පැවැත්මක් බෙදා හදා ගැනීම කියන කලාපෙ වැඩ සිද්ද වෙන්න  ඕන. ඒවා දේශපාලනය වෙනුවට වෙනත් අනේක සුන්දර අරමුණු වෙනුවෙන් විවෘත වෙන්න පුළුවන්.

ඒක හින්ද මිනිස්සු දේශපාලනය අත්හරිමින් ඉන්න එක මට දැනෙන්නෙ සුබවාදී විදිහට. එතකොට දේශපාලකයන්ට සිද්ද වෙනවා ඒ ජීවිත වලට අදාල වෙන දේශපාලනයක් කරන්න. එහෙම නැත්තං ඒ අවකාශයට ගැලපෙන මං කලින් යෝජනා කරපු විදිහෙ දියුණු ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නිර්මාණය වේවි. දෙවියන්ගේ නියෝජිතයා වුණු තැන පටන් හැම නියෝජිත ක‍්‍රමයක්ම අසාර්ථක සහ දූෂිත වෙන එක මේ වෙද්දි හැමෝම දන්න ඇත්තක්. සමහර විට අපි නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදෙන් එපිටට අපි පුද්ගලිකව සම්බන්ධ වෙමින් ගොඩනගන පොදු දේශපාලන රටාවක් ගැන හිතන්න කාලය වෙන්න ඇති.

මට සෙන් කියමනක් මතක් වෙනවා.

‘ඉර නගින කොට මං අවදි වෙනවා වැඩට
ඉර බහින කොට මං යනවා විවේකෙට..
මං වතුර ගන්න ළිං කපනවා
භෝග ගන්න වගා කරනවා
අධිරාජයාගේ බලයෙන් මට මක්කොරන්නද?’

මේක කිසි වැටහීමක් නැති මෝඩයෙකුගේ කියමනක් වගේම තමන්ගේ ජීවිතය ඇතුලෙ සියල්ල තේරුම්ගත් බුදු කෙනෙක් දක්වාම ගැඹුරු වෙන්න පුළුවන්. දේශපාලනය ඇතුලෙ ජීවිතේ හදා ගන්නවා වෙනුවට ජීවිතේ ඇතුලෙ දේශපාලනය හදා ගන්න අපි පටන් ගන්න  ඕන.

මට ඒ 51%ක දැනෙන්නෙ ඒ විදිහට.

-චින්තන ධර්මදාස

Wednesday, April 2, 2014

මාලනී එන්න මල් පිපී දැයි බලන්න.

මාලනී ගැන ලියන්න... මාලනී ගැන හෝ නන්දා මාලනී ගැන තව මොනවා ලියන්නද? ඒවා ඉවර වෙච්ච චරිත. මේ වෙද්දි තමන් ගැන මිනිස්සුන්ගෙ හිත්වල ඇති වුණු සුන්දර හැ`ගීම් වෛශ්‍යා වෘත්තියේ යොදවමින් ජීවත් වෙන..

ඒ කියන්නෙ මාලනීලා අතින් යමක් නොවුණා කියල නෙමෙයි. ඒත් වර්තමානයේ ඔවුන් ගත කරන ජීවිතය විසින් අතීතයේ ඔවුන්ට ආදරය කළ මං වගේ චරිත තුල ඇති කරන ජුගුප්සාව නොලියාම බෑ.

මාලනීට ප‍්‍රංශයේ පැවැත්වෙන ආසියානු සිනමාව ගැන සම්මාන උළෙලකින් ගෞරවනීය ඇගයීමක් ලැබෙනවා මෑතක. ඒ හින්ද හිස් වර්ණනා වෙනුවෙන් පිටු ගණන් එම්බාම් කඩ එකදිගට ඇරෙනවා නොඅනුමානයි. ඒක හින්ද මං කියන අගුණක් වුණත් ප‍්‍රතිශතයක් විදිහට නොසළකා හැරිය හැකි කුඩා වෙයි. ඒත් මං ටිකකට ආපස්සට හිතන්න පටන් ගත්තා, ඇත්තටම මාලනී මොනවද කළේ? (නන්දා මාලනී ටිකකට පැත්තකින් තියලා අපි මන්ත‍්‍රී මාලනීට කලින් හිටපු නිළි මාලනී එක්ක කළු සුදු නොස්තැල්ජියාවකට ඇතුල් වුණොත්..)

මාලනී අතිශය සංකීර්ණ මානව භාවයන් සියුම් විදිහට නිරූපණය කිරීමට සමත් ගැඹුරු නිළි ප‍්‍රතිභාවක් තියෙන කෙනෙක් කියල කිව්වොත් මං හිතන්නෙ ඒක බොරුවක්. මාලනී ඒ වගේ ගැඹුරු චරිත වලට ඇතුල් වෙන්න ට‍්‍රයි කරන හැම තැන ඇන ගන්නවා. උදාහරණ විදිහට එයා ර`ගපාන  ඕනම සම්භාව්‍ය චිත‍්‍රපටියක් අරගෙන බලන්න. මහා සිනමා කෘතියක් විදිහට පසසන නිධානයේ පවා මාලනීගේ රංගනය හරිම මතුපිට එකක්. ඒත් එයාගෙ සිනමා ඉතිහාසයේ එක තැනකදී විතරක් එයා මේ කියන කතාව බොරු කරනවා. ඒ චිත‍්‍රපටිය මොන විදිහකින් ඒ තරම් සංගතව නිර්මාණය වුණාද කියල මම නැවත නැවත බලමින් පුදුම වෙනවා. චිත‍්‍රපටියෙ නම ‘එයා දැන් ලොකු ළමයෙක්’. මාලනී ර`ගපාපු කොයිම චිත‍්‍රපටියකවත් මට මුණ නොගැහුණු, හරිම සියුම් තැන් වලින් අල්ලන විශිෂ්ට රංගනයක් එයා එතනදි කරනවා.

ඒත් මං මාලනීට කැමති එයා කරපු ජනප‍්‍රිය චිත‍්‍රපටි හින්ද. ඒ චිත‍්‍රපටි වල මාලනී අපිට දැනෙන්න ලොකුම හේතුව මං හිතන්නෙ එයා තිරේ උඩට අරගෙන එන සෙක්සුවල් එනර්ජි එක. ඒ ශක්තිය තිරය උඩ  ඕනම ආකාරයකින් වැඩ කරනවා. ඒක නළු නිළි පාඨමාලා වලින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර විට හොඳ චරිතාංග නිළියක් විදිහට මාලනී අසාර්ථක වෙන්න හේතුවත් මේ භාග්‍යයම වෙන්න පුළුවන්. ඒත් මාලනී ලංකාවෙ හැම කොල්ලෙක්ගෙම පෙම්වතිය වෙන්න තරමට විශාල ස්ත‍්‍රීත්වයක් මැවුවා.

හොඳ නිළියක් වෙන්න නම් හොඳට පිරිමිත් එක්ක නිදා ගන්න  ඕන කියන කතාව මීට ටික කාලෙකට කලින් මං විශ්වාස නොකළත් අද මං හිතන්නෙ ඒක ඇත්තක්. සදාචාරය හෝ ස්ත‍්‍රීවාදය පැත්තෙන් ඒක කොයි විදිහක වුණත් දැවැන්ත නිළියක් විදිහට ඒ තරං විශාල ආදරයක් ගොඩනැගෙන්නෙ නෑ ඒ දුර තරණය නොකළා නම්.. ස්ත‍්‍රීත්වය සදාචාර සීමාවන් ජය ගත යුතුමයි. දැවැන්ත නිළියක් ඉඳන් නිරෝගී ගෑනියෙක් වෙනකල් හැම හොඳ දෙයක්ම සිද්ද වෙන්නෙ එතකොට විතරයි.

මං හිතන්නෙ මාලනී තිරය උඩට අරන් එන ජවය වෙන කිසිම නිළියකට ගේන්න බැරි වුණ හේතුව එයාගෙ සෙක්සුවල් කැරිස්මාව. මාලනී විජය එක්ක ගොඩනගන ආදරය බිඳින්න වෙන කිසිම නිළියකට බැරි වුණා. විජය ජනප‍්‍රිය වුනෙත් එයා චරිතවල ගැඹුරු තැන් අතපාත ගාන නළුවෙක් හින්ද නෙමෙයි. මාලනීට වගේම විජයටත් මේ එනර්ජි එක තිබුණ. මේක පිරිමි හෝ ගෑණු කොච්චර ගානක් එක්ක නිදාගන්නවද වගේ සරල කාරණයක් නෙමෙයි. ඒක ඇෙ`ගන් අරගෙන එන දෙයක්. ඒ ගොල්ලොන්ට තියෙන්නෙ නිකං හිටගෙන ඉන්න විතරයි. ඉතින් විජය තිරේට අරගෙන ආපු ඒ ලිංගික පෞර්ෂය දරන්න පුළුවන් වුනේ මාලනීට විතරයි. එයා එතනට එන්නෙ ගාමිනීව ඉවර කරලා.

”මං හිතන්නෙ ඒක අපේ ඇතුළත ශක්තිය එක්ක සම්බන්ධ කාරණයක්. අපි කොයිතරම් අපේ ලිංගික ශක්තීන් හෝ උතුරා යාම් ගැන පහසුවෙන්ද ඉන්නෙ.. අපිට පුළුවන්ද ඒවාට ඉඩ දෙන්න... අපේ ඇතුලෙම විවෘත වෙන්න.. මං හිතන්නෙ තමන්ව බාර ගන්න පුළුවන්, තමන්ව ඇති සැටියෙන් පිළිගන්න පුළුවන් මිනිස්සු විරලයි...’
-ජෙමා කායේ
ඔස්ටේ‍්‍රලියානු නළුවෙක්

මාලනී කියන්නෙ ඒ ලංකාවෙ සෙක්සුවල් කැරිස්මා එකක්. එයා නිළියක් විදිහට වැදගත්ම වෙන්නෙ දැන් මළ කඳන් වගේ ඉන්න නිළියන්ට මේ කාරණය මතක් කරන හින්ද. ඒත් මාලනී කියන්නෙ සෙක්ස් සිම්බල් එකක් නෙමෙයි. ඒක නිසා තිරය උඩ මාලනී වගේ චරිත වලට ලැබෙන ආධිපත්‍යය විශාලයි. සෙක්ස් සිම්බල් එකක් ඇඳක් උඩට විතරක් සීමා වෙද්දී සෙක්සුවල් කැරිස්මා එකක් පේ‍්‍රක්‍ෂකයෙකුගේ ජීවිතේම වෙන්න පුළුවන්.
ඒත් අවාසනාවට ඒ පිරිමි ටික ඉවර වෙලා යද්දි මාලනීගේ මේ කැරිස්මාවත් හිඳිලා ගියා. ඊට පස්සෙ නළුවො විදිහට ආපු ‘වෙන්න පිරිමි’ එක්ක මේ කෙමිස්ටි‍්‍ර එක වැඩ කළේ නෑ. ඒක නාකි වෙන කොට දිය වෙලා යන එකක් නෙමෙයි. උදාහරණයක් විදිහට ෂබානාස්මි. ඒ උදාහරණය දුර වැඩි නම් රේඛා අරගෙන බලන්න (බටහිර උදාහරණ අමතක කළොත්*. ඒත් මාලනීගේ කැරිස්මාව සිනමාවත් එක්ක ඒක දිය වෙලා ගියා.
ඒ කොහොම වුණත් මාලනී කියන්නෙ ලංකාවෙ එකම නිළි රැුජිණ. ඒක ඉස්සරහටත් පස්සටත් එහෙමමයි.
මං හිතන්නෙ ඒ ගැන දුක්වෙන්න  ඕන මාලනී නෙමෙයි, අපි.

-චින්තන ධර්මදාස