Saturday, October 29, 2011

තවත් බුදුවරයෙක් නික්ම ගියේය...

ස්ටීව් ජොබ්ස් අග්න්‍යාශ පිළිකාවකින් මැරුණ... එකපාරටම ලෝකෙ හරිම හිස්තැනක් දැණුන....

 ඉඳලා හිටලා ඇපල් ගෙඩියක් කනවා ඇරුණම, මං ඇපල් කොම්පියුටරයක්වත්, ඇපල් ෆෝන් එකක් වත් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒත් ස්ටීව් ජොබ්ස් කොම්පියුටර් ලෝකෙන් එහා නිර්මාණශීලීත්වය, ජීවිතය ගැන මට සංකේතයක් වෙලා තිබුණ. ව්‍යාපාරයකට ඔබ්බෙන් සමාජයට පෞර්ෂයක්, ගැඹුරක්, වෙනසක් ස්ටීව් ගෙ ‘ඇපල්’ හරහා ලැබිලා තිබුණ. ස්ටීව් ජොබ්ස් හිතුවක්කාර මුනිවරයෙක්. ඇපල් කියන්නෙ එයාගෙ නිර්මාණ විශ්වයෙන් අංශුවක් විතරයි.

හැමතිස්සෙම පිටාර යන්නට කැරලි ගහන වෙනස් කිරීමේ උවමනාවකින් ස්ටීව් ජොබ්ස් ඇවිලෙමින් හිටියා. ඒ උණුසුම ලෝකෙ එහා කෙලවරේ පාදඩ දූපතක කාලකණ්ණි වෙමින් හිටපු මාවත් ජීවත් කළා. ස්ටීව් ජොබ්ස් මැරුණම මට ලෝකෙ හරිම හිස්තැනක් දැණුන. මම විතරක් නෙමෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂත් ස්ටීව් ජොබ්ස් මැරුණම ශෝක වුණා.

ස්ටීව් ලෝකෙට ලබා දුන් දායකත්වය ඉතා ඉහලින් අගය කරන වගට ශෝක පණිවුඩයක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළා. ඇත්තටම මහින්ද ස්ටීව් ජොබ්ස් ගැන මොනවා දන්නවා ඇත්ද? මං කල්පනා කළා.

 ‘බිල් ගේට්ස් හිතන විදිහ හරිම පටුයි. එයා ආශ‍්‍රමයකට හරි එහෙම නැත්තං ‘LSD’(එල්එස්ඞී) ටි‍්‍රප් එකක් හරි අරගෙන තිබුණා නම් එයාගෙ වැඩ මීට වඩා වෙනස් වෙයි’ ස්ටීව් ජොබ්ස් බිල් ගේට්ස් ගැන කතාවකදි කිව්වා. එයාගෙ එල්එස්ඞී පාවිච්චිය ගැන වරක් ප‍්‍රශ්න කරද්දි ස්ටීව් කිව්වෙ, ‘ඒක මගේ ජීවිතේ කරපු වැදගත්ම දේවල් වලින් එකක්’ කියල. ඒ වගේම එල්එස්ඞී ලෝකෙට හඳුන්වා දුන්නා යැයි සැලකෙන ස්විස් ජාතික ඇල්ෆ‍්‍රඞ් හොෆ්මන්ට එල්එස්ඞී වල සායනික භාවිතයන් ගැන පර්යේෂන කරන්න ස්ටීව් ජොබ්ස් ආධාර කරනවා. එහෙම්පිටින්ම විකල්ප, සම්ප‍්‍රදාය විරෝධී ජීවිතයක් ගත කළ ස්ටීව් ජොබ්ස් ගේ මරණයේදි ‘මතට තිත’ එකම රාජ්‍ය තන්ත‍්‍රය කර ගත්තු මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් යවනවා, එයා ලෝකෙට කරපු දායකත්වය ගැන. ඒත් ඒ දායකත්වය කරන්න අවශ්‍ය නිර්මාණශීලීත්වය අරන් ආපු ජීවිතය මහින්ද චින්තනයට අනුව තහනම් එකක්.


 ‘මේ කියන්නෙ, පිස්සු ජීවිත ගත කරන්නන්ටයි. සමාජයට නොගැලපෙන්නන්ටයි. විප්ලවවාදීන්ටයි. කරදරකාරයන්ටයි. සම්මත විරෝධීන්ටයි. වෙනස් විදිහට දේවල් දකින්නන්ටයි. ඔවුන් නීතිවලට යටත්ව ජීවත් නොවන අයයි. ඔවුන් පවතින තත්වයන්ට එක`ග නොවන අයයි. ඔබට පුළුවන් ඔවුන්ව උපුටා දක්වන්න. ඔවුන් සම`ග එකග නොවෙන්න. ඔවුන් වර්ණනා කරන්න හෝ ඔවුන්ට ගර්හා කරන්න. ඔබට කළ නොහැකි එකම දේ ඔවුන් නොතකා ඉන්න එකයි. ඒ ඔවුන් දේවල් වෙනස් කරන නිසයි. ඔවුන් මානව වර්ගයා ඉදිරියට තල්ලූ කරන නිසයි. ඇතැමුන් ඔවුන්ට පිස්සු යැයි දකිද්දී අප ඔවුන් දකින්නේ විශිෂ්ටයන් හැටියෙනුයි. ඒ, තමන්ට ලෝකය වෙනස් කළ හැකි යැයි සිතන්නට තරම් පිස්සු මිනිසුන් කවදා හෝ එය සිදු කරන නිසයි.’ ස්ටීව් ජොබ්ස් ඇපල් කොම්පියුටරය ජනතා සන්තක කළේ ඒ වචන එක්කයි.

 විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට හමුදා පුහුණුවක් ලබා දීමෙන් ඔවුන් ශිෂ්ට කළ යුතු යැයි විශ්වාස කරන මහින්ද රාජපක්ෂ ස්ටීව් ජොබ්ස්ට එයා ලෝකෙට කරපු දායකත්වය අගය කරමින් ශෝක පණිවුඩයක් යවනවා.

 ස්ටීව් ජොබ්ස් මැරණු ගමන් ෆේස්බුක් එක පිරෙන්න තනි තනි අයගෙ දුක පළ වුණා. ලංකාවෙ ගොඩක් අය ස්ටීව් ජොබ්ස් ‘බෞද්ධයෙක් ’ නිසා තමන්ගෙ හිතවතෙක් කරගෙන තිබුණ. ස්ටීව් ආශ‍්‍රම වල භාවනා කළේ සෙන් දහම අභ්‍යාස කරමිනුයි. ලංකාවෙ හිටියා නම් ‘සිංහල රාවය’ වගේ බෞද්ධ නඩ ස්ටීව් අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ කරන්නත් ඉඩ තිබුණ. මෑතක ලිබර්ටි ප්ලාසා එකේ මහායාන ආශ‍්‍රමයක් වටකරගෙන අපේ ථෙරවාදී උරුමය රකින්න ඒ වගේ හාමුදුරුවරු ද`ග දැම්මා. ඒ වටකළේ මහජන මුදල් සොරා ගන්නා ආයතනයක් කියල හැමදාම ජනතාවට බොරු කියන මාධ්‍යත් කියා හිටියා. ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රධාන වුණු ඇමරිකාවෙ ඉපදිච්ච නිසා ස්ටීව්ට සෙන් භාවනා පුහුණු වෙන්න ආශ‍්‍රම තිබුණත් ලංකාවෙ ඉපදුණා නම් ස්ටීව් ලිබර්ටි ප්ලාසා වගේ තැනකදි මිත්‍යාදෘෂ්ටිකයෙක් විදිහට අත්අඩංගුවට පත් වෙන්න තිබුණා. ඒ අපේ පිරිසිදු ථේරවාදය නිසා. ඒත් අපේ බෞද්ධයෝ ස්ටීව් ජොබ්ස් බෞද්ධයෙක් වීම නිසා එයාගෙ මරණය ගැන ශෝක වුණා.

 සමහර වාමාංශිකයෝ ස්ටීව් ගැන ශෝකයට එරෙහි වුණා. ‘මිලියන ගාණක් මිය යන මේ ජනතාව වෙනුවෙන් ශෝක වෙන්නට කෙනෙක් නැත. ඒත් ධනවාදයේ නියමුවෙක් වුණු ස්ටීව් ජොබ්ස් ගැන මිලියන ගාණක් ශෝක වනු ඇත’ සංජයත් (මගේ වාමාංශික යාලූවෙක්) ෆේස් බුක් එකේ ලියලා තිබුණ.

 මේ හැමදාම අපි දකින වාමාංශික දුප්පත්කම. කුහකකම. කවදාවත් නිර්මාණශීලීත්වයක්, උසස් චින්තනයක් ගැන වැටහීමක් ගන්න වාමාංශිකයන්ගෙ මොළේ වර්ධනය වුණේ නෑ. පාන් කෑල්ලට එහා සිතුවිල්ලක් ඒ ඔලූ ඇතුලෙ ඉපදුණෙම නෑ. සිතීමක් අහිමි, නිර්මාණශීලීත්වයක් අහිමි විප්ලවයක් ගැන සිහිනයක් එක්ක වාමාංශිකයො හැමදාම රතුපාටට හිටියා. ඒ පිලිස්තීනු (රස නිහීන) සිතුවිල්ල ඇතුලෙ ජාතිවාදයට, ආගම්වාදයට ඕනතරම් ඉඩ තිබුණ. තාමත් මේ වාමාංශිකයො නිර්මාණශීලීත්වයට වඩා ඉහලින් පාන්කෑල්ල ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ ලෝකෙට කරපු දායකත්වය වෙනුවෙන් ස්ටීව්ට ශෝක පණිවුඩ යවනවා.

 ස්ටීව් ජොබ්ස් හදා ගන්න ගත්ත දරුවෙක්. එයාගෙ අම්මා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් කාලෙදි ‘අබ්දුල් ෆටා ජොන් ජන්ඩාලි’ කියන සිරියානු මුස්ලිම් ජාතිකයා නිසා ගැබ් ගන්නවා. ස්ටීව් ලැබෙන්න ඉද්දි එයා ඇමරිකාව අත් ඇරලා යනවා. ස්ටීව්ව හදාගන්න වෙන්නෙ ක්ලේරාට සහ පෝල් ජොබ්ස්ට. ඇමරිකාවෙ තිබුණු ලිංගික නිදහස නිසා ස්ටීව්ව ගබ්සා නොකර මේ ලෝකෙට බිහිකරන්න පුළුවන් වෙනවා. ඒත් කාමරේක එකට හිටි පමණින් පොලිසියෙන් වටලලා අයාල පණතට අනුව ගැහැණුන් ගණිකාවන් කළ හැකි ලංකාව වගේ රටක වුණා නම් ස්ටීව් එක්කෝ ඉපදෙන්නෙ නෑ. නැත්නම් වැසිකිළි වලක හෝ කුණු බක්කියක හමු වූ මළ දරුවෙක් ගැන පත්තරේක බාල ප‍්‍රවෘත්තියකට වඩා වැඩි දෙයක් වෙන්නෙ නෑ. ඒ රටේ ජනාධිපති ස්ටීව්ගෙ මරණය ගැන ශෝක පණිවුඩයක් යවනවා.

 ඇපල් කොම්පියුටරේ ලකුණ වෙන්නෙ ‘බයිට්’ එකක් ගත්ත ඇපල් ගෙඩියක්. මේ ලකුණෙ තේරුම හොයන්න මං ඉන්ටර්නෙට් එකේ ටිකක් ඇවිද්දා. ස්ටීව් වෙනුවෙන් මේ ‘ලෝගෝ’ එක නිර්මාණය කරන්නෙ රොබ් ජානොෆ් කියල ඒ කාලෙ ආධුනික නිර්මාණකරුවෙක්. කොම්පියුටර් වලට තාක්‍ෂණික හැඩයෙන්ම විතරක් ලෝගෝ නිර්මාණය කරපු 1977 වගේ කාලෙක ඇපල් ගෙඩියක් ලෝගෝ එකක් විදිහට ගැනීමම විප්ලවයක්. රොබ්ට ඒජන්සි එක ඇතුලෙන් ලොකු විරෝධයන් එනවා ඒ විදිහට ලෝගෝ එක කිරීම ගැන. ස්ටීව් ආරම්භයේදීම රොබ්ට කියන්නෙ ‘මේක හුරතල් එකක් කරන්න නම් එපා’ කියල. ඊට කලින් තිබුණු ලෝගෝ එකේ ‘නිව්ටන් ඇපල් ගහ යට ඉඳන් කවියක් ලියන’ පිංතූරයක් තියෙනවා. රොබ් ගෙ අතින් ඇපල් ගෙඩියක් විදිහට නිර්මාණය වෙන්නෙ මේ අදහස. ඇපල් ගෙඩියක්. දේදුන්නේ පාට අනිත් අතට ගලන පැත්තකින් ‘බයිට්’ එකක් අහිමි ඇපල් ගෙඩියක්. ඒ තමයි ස්ටීව් ගෙ ලෝගෝ එක. ආශාව, දැනුම, අරාජිකත්වය සහ අපේක්ෂාව..ඒ මේ ලෝගෝ එකේ සමස්ත අදහස. මුලින්ම, නිර්මාණයක් කරන අවස්ථාවේදීම එය වර්ණයෙන් තිරය මත දැකිය හැකිවන පළමු කොම්පියුටරය වීම මෙතන තියෙන තාක්‍ෂණික කතාවයි. ඒත් ඊට එපිටින් දේදුනු පාට එක්ක ස්ටීව් සහ රොබ් දෙදෙනා විසින්ම අත්විඳපු හිපි ජීවිතයක් ගැන කියවෙනවා. ඒ වගේම , සමලිංගිකත්වය වෙනුවෙන් සයනයිඞ් විෂ කැවූ ඇපල් ගෙඩියක් කා දිවිනසා ගත් (පරිගණක විද්‍යාව ලෝකෙට හඳුන්වා දුන්) ඇලන් ටියුරින් හරහා සමලිංගිකත්වයේ දේදුනු පැහැයන්ගේ සම්බන්ධයක්ද මෙතන කියවෙනවා. ආදම් සහ ඊව් ගෙ කතාවෙ තහනම් ගෙඩිය ගැන කතාවත් එතන තියෙනවා... මේ සියලූ දේට එරෙහි මහින්ද රාජපක්ෂ ස්ටීව් ‘ලෝකෙට කළ දේවල් වෙනුවෙන්’ ශෝක පණිවුඩයක් යවනවා.

 අපේ රටට වැදගත් වෙන්නෙ අන්තිමට වෙළඳ පොල හරහා අපිට එන ඇපල් කොම්පියුටරය විතරයි. ඒ පිටිපස්සෙ තියෙන සිතීම, නිර්මාණශීලීත්වය එක්කො අපිට අදාල නෑ. නැත්නම් අපිට තහනම්. මහින්ද ‘ලෝකෙට කළ දේවල් වෙනුවෙන්’ කරන ශෝක පණිවුඩයෙ වගේම මගේ වාමාංශික යාලූවා සංජය කරන ‘මිලියන ගාණක් මිය යන මිනිස්සු ගැන’ කතාවෙ තියෙන්නෙ මේ එකම යටි පෙළයි. ඒ ජීවිතය නොතකා හැරීම හෝ ජීවිතය නොදන්නාකම ගැන කතාවයි.

 ‘ඔබේ කාලය සීමිතයි. ඒ කාලය තමන්ගේ නොවූ ජීවිතයක් ගත කරමින් නාස්ති නොකරන්න. මතවාද උගුල් වල අහුවෙමින් අන් අයගේ සිතීම් ඇතුලෙ ජීවත් නොවෙන්න. බොහෝ අයගේ ගෝෂාව මැද ඔබේ ඇතුළත හ`ඩ වියැකී යන්නට ඉඩ නොදෙන්න. ඔබේ හදවත සහ ඔබට දැනෙන දේ හඹා යන්නට එඩිතර වන්න. ඒ දේවල් ඔබ ඇත්තෙන්ම යායුතු මග ගැන දන්නවා ඇති. අනෙක් හැම දෙයක්ම ද්විතීයිකයි.’ - 

ස්ටීව් ජොබ්ස් ස්ටීව් කිව්වේ මරණයට පෙර ජීවත් වීම (Live before you Die) ගැන කතාවක්. ඒත් මහින්දත් මගේ යාලූ වාමාංශිකයත් කියන්නෙ මරණය ගැන කතාවක්. ජීවිතය කොටස ඒ අයගෙ අතින් අත්ඇරෙන්නෙ අහම්බෙකින්ද?

ලංකාවෙ ගොඩක් අය ස්ටීව් ජොබ්ස් ගෙ මරණය ගැන කම්පා වුණේ ස්ටීව්ගෙ ජීවිතය ගැන දැනගෙන නෙමෙයි. ඒ වෙනුවට ඉස්සරහ තියෙන ඇපල් කොම්පියුටරය හරි, විශිෂ්ට නිර්මාණ කිරීම හරි, බුද්ධාගම හරි, වගේ දෙයක් ඒ අයගේ ශෝකයට හේතුව වුණා. ඒත් ස්ටීව් ජොබ්ස් ගමන් කරපු ඒ හිතුවක්කාර ජීවිතය බාර ගන්න තරම් පුළුවන් කමක් තියෙන්නෙ ලංකාවෙ කී දෙනෙකුටද? ඒ ජීවිතය ගැන ඇත්ත යමක් කියන්න හැකියාවක් තියෙන්නෙ මාධ්‍ය කීයකටද? ඒත් මහින්ද රාජපක්ෂ ස්ටීව්ගෙ මරණයට ශෝක පණිවුඩයක් යවනවා. මගේ වාමාංශික යාලූවා ඒ ශෝකයට එරෙහි වෙනවා.

 තාක්‍ෂණය ඇතුලට ජීවිතය අරන් ආපු එක ස්ටීව් ජොබ්ස් කළ විප්ලවීයම කාර්යයි. කොම්පියුටර් ආශ‍්‍රිත විෂයන් ඇතුලෙ තිබුණු ජීවිතය අහිමි, රාමුගත සිතීම වෙනුවට ස්ටීව් හුස්ම වැටෙන ජීවිතයක් ඒ පරිපථ මැද්දට අරන් එනවා. ඇපල් කොම්පියුටර් මයික්‍රොසොෆ්ට් වලට වඩා වෙනස් වෙන්නෙ මේ ජීවිතය ගැන කාරණාව හින්ද. ඒක කොම්පියුටරේකට වඩා ඒ ඉස්සරහ ඉන්න කෙනාගෙ සිතීම සහ පෞර්ෂය හා සම්බන්ධ වෙන කාරණාව හින්ද. ඇපල් ගෙඩියක් ලෝගෝ එක හැටියට ගැනීමේ පටන්ම ස්ටීව් උත්සාහ කරන්නෙ තාක්‍ෂණය සම්බන්ධ කාරණා ‘නිර්මාණශීලී සිතීම’ එක්ක සම්බන්ධ කරන්නයි. වර්ණ, හැඩතල, බහුවිධ උපයෝගිතා හැමදෙයක් ඇතුලෙම මේ මිනිස් ජීවිතයේ වැදගත්ම කාරණය ආමන්ත‍්‍රණය කරන්න ස්ටීව් උත්සාහ ගන්නවා. මැෂින් ඇතුලට පවා ජීවිතය අරන් එන්න තරම් විශාල ජීවිත පරාසයක් තිබුණු මිනිහෙක් ගැන අපි ශෝක පණිවුඩයක් යවනවා. ‘ඔබ විසින් ලෝකයට කළ දේ අගය කරනවා’ කියල. මේ පණිවුඩය කොයිතරම් ජීවිතයෙන් තොරද? ඒත් මරණයම ජීවිතය කියල තේරුම් ගත්ත රටකින් ඊට වඩා බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?

 ‘ස්ටීව් ජොබ්ස් මැරුණ...’ මං සත්‍යාට ටෙක්ස්ට් කළා.

‘එයා එයාගෙ ජීවිතේ එයාට ඕන විදිහට ජීවත් වුණා. මට පුළුවන් එයා ජීවත් වුණු විදිහ ගැන හිතලා සතුටු වෙන්න. මට වැදගත් එයා ජීවිත් වුණු විදිහයි...මැරුණු විදිහ මට වැදගත් නෑ. එයා ලෝකෙට ගොඩක් දේවල් දීල ගිය කෙනෙක්’ සත්‍යා ආපහු ටෙක්ස්ට් කළා.

 ‘ස්ටීව් ජොබ්ස් ‘වෙනස් විදිහට හිතන්න’ නිර්භීත වුණා. ලෝකය එයාට වෙනස් කරන්න පුළුවන් කියල හිතන්න තරම් ධෛර්යසම්පන්න වුණා. ඒ වගේම ඒ වෙනස කරන්න තරම් දක්ෂ වුණා’ -බැරක් ඔබාමා කියල තිබුණ. .

 ‘බාහිර බලාපොරොත්තු, අභිමානය, අසාර්ථක වෙන්න තියෙන බය, මේ හැම දෙයක්ම මරණය ඉදිරියෙදි නොපෙනී යනවා. ඉතුරු වෙන්නෙ ඇත්තටම ඔබට ජීවිතයේ වැදගත්ම දේ විතරයි. ඔබ මැරෙන්න යනවා කියන සිතුවිල්ල තමයි මම දන්න හොඳම විදිහ ඔබට යමක් අහිමි වෙයි කියල බියපත් කරන උගුලින් මිදෙන්න. ඔබ සම්පූර්ණයෙන්ම නිරුවත්. ඔබේ හදවත පසුපසින් නොයා ඉන්නට දැන් කිසිම හේතුවක් නෑ.’ -

පිළිකාව ගැන දැනගත්තම ස්ටීව් ජොබ්ස් ඍජුවම මරණය දිහා ජීවිතේ ඇස් ඇතුලෙන් බැලූවා. තවත් බුදුවරයෙක් නික්ම ගියා. අවලස්සන ජීවිතයක උරුමය අරන් ඇවිත් ලෝකයකම ජීවිත ලස්සන කරන්න තරම් විශාලව ගැහුණු හදවතක් නිහ`ඩ වුණා. ඇපල් ගස්වල මල් පිපෙන කාලය අහවර වුණා.

 මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් යැව්වා.
 මට ලොකු හිස්තැනක් දැණුන.

 -චින්තන ධර්මදාස

5 comments:

  1. Thank you so much for writing this in Sinhala, for our people who doesn't know a damn thing about Jobs and goes on comparing his death with deaths of Somalian children on FB. Again it had to be Steve's death for them to remind about Somalian children. And oh yes also for the people who likes him coz he is a Buddhist, :) Our people really should start getting exposed to the world and read. Thank You Again!

    ReplyDelete
  2. තවත් එක පණ්ඩිත ටෝකක්. ලංකාවේ උන් ඉන්නේ ප්‍රසිද්ධ චරිතයක් අල්ලාගෙන ඌට වඳිමින් උගේ දර්ශනයේ පේටන්ට් එක තමන්ට ගනිමින් උගේ දර්ශනය අනික් එවුන ගන්න ඕනේ විදිහත් තමන් තීන්දු කරමින් යන ගමනක. මාක්ස්, ලෙනින්, ට්‍රොස්කි ඉඳලා ලැකාන්, ඩෙරීඩා, ජිජක්‌, ගාන්ධි, බුදුන්, ජේසුන් ඇතුළු සියලුම "මුනි වරුන්ට" මේ උදවිය පේටන්ට් ගන්නවා. ඊට පස්සේ අනික් ඔක්කොටම ඒ මුනිවරයා අදහන හැටි කියා දෙනවා. ඩෝකින්ස් ජොබ්ස් වගේ අයටත් දැන් ඒ කල ම ගිහින්.

    ඉතින් අපේ මේ පඬිවරු තෝරාගත් මුනිවරුන්ගේ ලෝකල් ෆ්රන්චයිස් එක වෙලා ඒ අයට පිටින් කතා කරන කට්ටියට බනිනවා.

    ඔය කතන්දරේ මාක්ස් වාදී සෙට් එකයි, ට්‍රොස්කි වාදී සෙට් එකයි එක්ස් එකයි කාටත් පොදුයි, මෙතන ජොබ්ස්වාදයක් ගොඩ නගන්නෙත් එහෙම තමයි.

    නැතිනම් ඔය ජොබ්ස්කාරයා කල විද්‍යා නිර්මාණ [ඇපල්, පික්සාර් ග්‍රැෆික්ස්, අයිෆෝන් වගේ] ගැන ඇගයීම වැරදිද? ඒකනේ මනුස්සයාගේ ලොකුම නිර්මාණය. මේ අනික් ගතිගුණ බටහිර ලෝකේ සාමාන්‍ය දේවල්. විකිපීඩියාවෙන් ඒවා හඳුනා ගන්න අයට මැජික් තමා. අනික වෙන මිනිස්සු තම මතය අනුව ජොබ්ස් අගයුවාම මේ මහත්තයට තියෙන ඇම්ම මොකද්ද? ජොබ්ස් මෙයාගේ බූදලයක් ද?

    ජොබ්ස් ගැන විවේචනයක් කරනවා නම්, අද ලෝකේ පොදුවේ කොපිරයිට් හා මුදලට මෘදුකාංග විකිණීමට යම් යම් සීමා දාද්දි android වලට කොක්ක ඇදලා අන්තගාමි විදිහට කොපිරයිට් දිහාට කල තල්ලුවත් ඒ නිසා හුඟක් අලුත් නිර්මාණ හිරවීමත් දකින්න පුළුවන්. ජෝබ්ස්වාදියෙක් වෙන්න හෝ ජෝබ්ස්ට වඳින්න අතයවශ්‍ය නැහැ. ඇගයීම ප්‍රමාණවත් නේද?

    යන යන හැම තැනම මන්දින්නට පිළිම හදා ගන්න අපේ මෝඩ ගතිය මිසක්.

    ReplyDelete
  3. ස්ටීව් ජොබ්ස්ගෙ ජීවිත කතාව ආදර්ශයක්, මිනිහ සාර්ථක ව්‍යාපාරිකයෙක්, හැබැය් ලෝකය වෙනස් කරපු මනුස්ස සංහතියට සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට මම ඔහුව හඳුන්වන්නෙ නැහැ. ඔහු කලේ මොන ව්‍යාපාරිකයත් කරපු දේ, භාන්ඩයට සමාජයේ වටින කමක් ඇති කරල සල්ලි හොයපු එක. අද ස්ටීව් ජොබ්ස්ට වඳින තත්වයට සමාජය පත් වෙලා තියෙන එකෙන් පේන්නෙ වෙලෙන්දගෙ ගැටේට මිනිස්සු කොච්ච්ර පහසුවෙන් හව් වෙනවද කියන එක. මේ තියෙන්නෙ මම ඔය දේ ගැන කතා කරන්න ලියපු ලිපියක්
    http://thaappe.blogspot.com/2011/10/blog-post_31.html

    ReplyDelete
  4. බුදුවරයෙක් ? lolz..

    මේක ලියපු එකාට වෙන title එකක් තිබ්බෙම නැද්ද ?
    නැත්තන් මේක ලියපු එකා බුද්ධත්වය market කලාද ?

    --
    @sevanali yep bro! correct!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete