Saturday, February 28, 2015

බොර දිය පොකුනේ මාළු බාන්න එන්න..



බොරදිය පොකුණ හෝල් එකේ බලන්න යන්න මට තාම බැරි වුණා. ඒත් මං ඒක කලින් කීප වතාවක් පොඩි පොඩි ස්ක‍්‍රීනින් වලදි බලලා තියෙනවා. අවුරුදු දහයක් තිස්සෙ එකම චිත‍්‍රපටියක් එක්ක ඉන්නවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක ද`ඩුවමක්. සත්‍යා ඉන්ටවිව් එකක ඒක හරි ලස්සනට කියලා තිබුණ. ‘අනිත් අයගෙ දරුවො ලොකු මහත් වෙනවා, ඉස්කෝලෙ යනවා මං බලාගෙන හිටියා...’ දරුවෙක් බිහිකිරීමේ දසමස දසවසක් දක්වා දික්වුනොත් කොහොම වෙයිද? සත්‍යට වුනේ ඒක.

මේ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනයට අවසර ලබා නොදුන්නෙ බුද්ධාගමට හානියක් වෙනවා වගේ අදහසකින්. සමහර විට නිරුවත් සහ ලිංගික දේවල් ගැන කතා කරන විවෘත ආකාරය වගේ දේවලූත් හේතු වෙන්න ඇති. මං කියන්නෙ මේවා පිටට කියන්න පුළුවන් හේතු විදිහට අපි නිර්මාණය කර ගත්ත ඒවා. ඇත්තටම මේ වාරණය එන්නෙ ඇතුලෙන්. මේක තිගැස්මක්. අපි නිරුවත් වුණා හෝ පැවැත්ම පිළිබඳ අර්බුදයකට ගියා වගේ හෝ ඩිග්නිටි එක සම්බන්ද අවුලකට යනවා මේ චිත‍්‍රපටිය ඇතුලෙ. ඒක අපෙන් බාහිර සිනමාවක් වගේ තැනක තියලා සරලව ගෙදර යන්න බැරි වෙනවා. කිසි තේරුමක් හිතාගන්න බැරි විදිහට, ‘මේ වගේ කුණුජරාව පෙන්නන්නෙ මොකටද බං?’ විදිහෙ විචාර වල තියෙන්නෙ ඒ අසරණකම.

මේ චිත‍්‍රපටියට ආපු වාරණය ස්වභාවික එකක්. ඒක අපේ මනස විසින් පනවාපු එකක්. සත්‍යා මෙතන කරන්නෙ ‘ආර්ට්’ එකක්ද කියන ප‍්‍රශ්නෙ මට තියෙනවා. සිනමාවෙ රූපය, භාෂාව, සෞන්දර්ය රීති වෙනුවට සිනමාව ජීවිතේ ගැන භාවනාවකට තල්ලූ කරනවා. ඒකට සිනමාව කියන එක චිත‍්‍රපටියෙන් ඈත් කරන්න  ඕන. ශුද්ධ ජීවිතයට ඉඩ දෙන්න  ඕන.

මිනිස්සු භාවනාවට බයයි.

මේ චිත‍්‍රපටිය බෞද්ධ චිත‍්‍රපටියක්. බෞද්ධ කියන්නෙ බුද්දාගම්කාරයන්ගෙ අදහසෙන් නෙමෙයි. මේ චිත‍්‍රපටිය නූතන ජාතක කතාවක්. ඒක පූර්වාපර සන්ධි ගැලපීමේ තාක්‍ෂණයට එහා යන එකක්. මේ චිත‍්‍රපටිය ඇතුලෙ බෞද්ධ සමාජ සංස්කෘතික ජීවිතය කියන එක පළවෙනි වතාවට තිරය උඩට ගේනවා. බෞද්ද ඉතිහාසයක් ඇති අපේ ජීවිතවල වර්තමානය කියනවා. අපි ඇතිවීම් සහ නැතිවීම් දරාගන්නා හැටි, අපේ ආශාවන් එලවාගෙන යන හැටි, අපි ජීවිතයේ දුක එක්ක යාත‍්‍රා කරන හැටි... සත්‍යා මේ හැමදෙයක්ම කියන්නෙ බෞද්ද දෘෂ්ටියක් ඇතුලෙ ඉඳගෙන. බොර දිය පොකුණ කියන නම පවා යෝජනා කරන්නෙ ඒ ආධ්‍යාත්මික දැක්ම කියලයි මං හිතන්නෙ.

ඒක දෘෂ්ටිවාදයක හිරවීමක් වෙනුවට අපිට අනන්‍ය සාමූහික විඥානයක් එක්ක, කිසිදු පරාරෝපණයකින් තොරව, අපි දිහා බැලීමක් විදිහටයි මං දකින්නෙ. මේක යම් පමණකට හෝ මං කලින් දැකලා තිබුනෙ සේකරගේ තුං මං හන්දියෙන් විතරයි. ඒත් සත්‍යා තරම් පරිණතව, යෝගීව නෙමෙයි.

නරඹන අත්දැකීමක් විදිහටත් බොරදිය පොකුණ සිනමාවකට වඩා භාවනාවක් යෝජනා කරනවා. භාවනාවෙදි තමන්ගේ සිතුවිලි පරම්පරාව පිළිබඳ සාක්ෂිකරුවෙක් හැටියට විනිශ්චයකින් තොරව බලා ඉන්න පුරුදු කරනවා වගේම මේ චිත‍්‍රපටියෙ අපේ ජාතක පරම්පරාව දිහා, අපි දිහා විනිශ්චයකින් තොරව බලා ඉන්න අභ්‍යාසයක් තියෙනවා. කොතනකින් හෝ කොතනදී හෝ නරඹන්නා ක්ෂනික ආත්ම ලැජ්ජාවකින් ඇතිවෙන හිරිවැටී යාමකට ලක්වෙන්න නියමිතයි. එතන පංති භේදයක් නෑ.

ඒ ලැජ්ජාව නිසා ඇතිවෙන ඉක්මන් ප‍්‍රතික්‍ෂේප කිරීම ඇතුලෙයි ‘මේක කුණු ගොඩක්’ කියන අදහස උපදින්නෙ. ඒක හරියටම ශරීරය කුණු ගොඩක් කියන බෞද්ද අදහසමයි. සත්‍යාගේ කතාවත් ඒකයි. මේ සමාජ දේහය කුණු ගොඩක්. ඒක කුණු වලක්. ඒ කුණු වලේ නෙළුම් පිපෙනවාද කියල බලන්නයි එයා කතා කරන්නෙ. මඩ ගාගන්නෙ නැතුව නෙළුම් නෙළන්න බැරි වග අපි දැනගෙන යන්න  ඕන.

මේ බෞද්ද සම්ප‍්‍රදාය, සංස්කෘතිය ඇතුලෙ ජාතක වුණු ලාංකේය ක‍්‍රිස්තියානි සමාජ ආධ්‍යාත්මයත් වියමන ඇතුලට එනවා. ජාඇල, හලාවත, මීගමුව සමාජ සංස්කෘතික විඥාණය සිංහල බෞද්ද විඥානයත් එක්ක මූනට මුනගැහෙනවා.

ගලා එන වතුර පාරක් කොතනක හෝ රැුඳෙන මොහොතකදි එතන පොඩි වතුර වලක්, නැත්තං පොකුණක් හැදෙනවා. ඒ පොකුනෙ මාළු නටනවා. නෙළුම් පිපෙනවා. ඒත් යටින් හෙමින් වතුර ගලා බහිනවා. අපි හැමෝම පොකුණක් දැක්කට ඒ එකම පොකුණ නෙමෙයි. අපි වෙනස් වෙනවා. ඊට සාපේක්‍ෂව සහ නිරපේක්‍ෂව පොකුණත් වෙනස් වෙනවා.

මට සත්‍යා බොර දිය පොකුණ දිහා බලාගෙන ඉන්න සෙයියාව මතක් කරන්නෙ හර්මන් හෙසගේ සිද්ධාර්ථ. සිද්ධාර්ථ ග`ගක් දිහා බලාගෙන ඉඳලා ජීවිතාවබෝධය ලබනවා. ඒ ආධ්‍යාත්ම මාර්ගයේ හෙවනැල්ලක් බොරදිය පොකුණ දිහා බලන් ඉඳලා නැගිටලා එද්දි දැනෙනවා.

ඒක චිත‍්‍රපටියකට වඩා ආධ්‍යාත්මික ප‍්‍රකාශනයක් හැටියට මං දකින්නෙ ඒකයි. අවුරුදු 10ක් තිස්සෙ තමන්ගෙ ආධ්‍යාත්මික ප‍්‍රකාශනයක් හිර කරගෙන ඉන්න එක චිත‍්‍රපටියක් හිරකරගෙන ඉන්නවට වඩා ගොඩක් අමාරුයි. එක අතකින් ඒක සත්‍යා වගේ මිනිහෙකුට වෙච්ච එකත් හොඳයි. ඌට ඒවා දරන්න පුළුවන්.

ෆිල්ම් එක රිලීස් වුණත් එක්ක ගැමුණුගේ ‘මතක පද’ ප්‍රෝග‍්‍රෑම් එකට ඇවිත් සත්‍යා ‘13 හෝර්සස්’ කියල සිංදුවක් එයාගෙ ආසම සිංදුවක් විදිහට නම් කරනවා. ඒක ඇලෙක්සැන්දර රයිබැක් කියන අවුරුදු 28ක් වයස බෙලොරුසියානු සංගීතකරුවාගේ නිර්මාණයක්. මේ සිංදුවෙන් දැනිච්ච ගැඹුර හින්දම මං රයිබැක් ගැන ටිකක් දුර කියෙව්වා.

රයිබැක් කියන්නෙ 2009 යුරෝවිෂන් සෝන්ග් කන්ටෙස්ට් කියල රුසියාව නෝර්වේ ආශ‍්‍රිත රටවල ජනප‍්‍රිය ඇමරිකන් අයිඞ්ල් වගේ තරගයකින් (අපේ නං සිරස සුපර් ස්ටාර්* ජයග‍්‍රහනය කරන තරුණයා. ඒත් අපේ වගේ නෙමෙයි ඒ රටවල මේ තරගවලට පවා ඉදිරිපත් වෙන්නෙ ටිකක් දරුණු හැදෑරීම් සහ විනයන් ඇති අය. උදා විදිහට රයිබැක් අවුරුදු 10 විතර ඉඳන් සංගීතය විධිමත්ව ප‍්‍රගුණ කරන චරිතයක්. එයා හැදෙන්නෙ දැඩි ක‍්‍රිස්තියානි පවුලක් ඇතුලෙ. ඒ සංස්කෘතියක් ඇතුලෙ. රයිබැක්ගෙ විශිෂ්ටතම නිර්මාණයක් වෙන 13 හෝර්සස් හැදෙන්නෙ එතනින්.

අවුරුදු 28ක කොල්ලෙක් කොහොමද මේ ඛේදවාචක පතුල ස්පර්ශ කරන්නෙ? මට දැණුන කුතුහලය ඒකයි. රයිබැක්ගෙ ජීවිතේ කිසිම වෙනසක්, පැල්මක් හොයාගන්න බෑ. ඒ තරමට විධිමත්, රාමුගත යුරෝපීය ජීවිතයක් ඒක.

ඒත් එයාට තියෙනවා පාලනය කර ගත නොහැකි කේන්ති යාමේ රෝගයක්. එකපාරක් තමන්ට අවශ්‍ය විදිහට ශබ්දය පාලනය කළේ නෑ කියල එයා තමන්ගෙ අත ඇ`ගිලි කීපයක් කැඩිලා යන තරම් තදින් බිත්තියක ගහනවා. ස්විඩිෂ් ටීවී චැනල් එකක රිහර්සල් මැද්දෙ වයලින් එක කුඩුවෙලා යන්න පොලොවෙ ගහනවා. චැනල් එකෙන් වහාම ඒ ප්‍රෝග‍්‍රෑම් එක කැන්සල් කරනවා.

රයිබැක් එයාගෙ කේන්ති යාම ගැන මෙහෙම කියනවා. ‘මං කවදාවත් මීට කලින් මගේ කට ඇරලා නෑ. ඒකයි මං එහෙම කළේ. මිනිස්සු දකින්න කැමති ග්ලොසි කැරැුක්ටර් එකක් නෙමෙයි මං. මාත් සාමාන්‍ය මිනිහෙක්. ඒ විදිහට මගේ මානසික කඩාවැටීම් එලියට එන එක හොඳයි, ඒකෙන් මට තව ඉස්සරහට යන්න පුළුවන්...’
සමහර විට මේ කේන්තිය එයාගෙ අභ්‍යන්තර පැවැත්මෙ අප‍්‍රකාශිත පැල්මක ප‍්‍රකාශනයක් වෙන්න ඇති. කොහොම නමුත් ඒක එයාගෙ ක‍්‍රිස්තියානි ආත්මයේ දැක්ම එක්ක සම්බන්දයි. 13 හෝර්සස්් කියන්නෙ ගැඹුරු සාංදෘෂ්ටික වේදනාවක්.

ගිලෙන නැවකින් අස්සයො 13 දෙනෙක් මුහුදට පනිනවා. ඒ අස්සයො තමයි වඩා ශක්තිමත්ම උන්. උන් පීනනවා ඉවුරක් හොයාගෙන. උන් දකිනවා උන්ගෙ ආඩම්බර හාම්පුතුන් ගිලෙනවා. උන් උත්සාහය අත් නොහැර පීනනවා. තමන්ගෙ ශක්තිය ගැන විශ්වාසයෙන්. එක එකා අස්සයො ගිලෙනවා. ඒත් අනිත් උන් පීනනවා.. අන්තිම අස්සයාත් ගිලී මැරෙන තාක් උන් බලාපොරොත්තුව අත්අරින්නෙ නෑ... ඇෙ`ඩනවා.
රයිබැක් සිංදුව ඉවර කරන්නෙ බලාපොරොත්තුව කවදාවත් මැරෙන්නෙ නෑ කියන තැනින්. ඒත් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ජීවත් වුණු උන් මැරිලා යන්න පුළුවන්. පැවැත්මේ ඛේදය, සිද්ධාර්ථ අවුරුදු 29දි දැකලා බයවෙච්ච දේ රයිබැක් රුසියාවෙ ඉඳන් 28දි දකිනවා. ඒ තමයි අස්සයො 13 දෙනාගේ සිහිනය.

සත්‍යා මේ සිංදුව තමන්ගෙ කැමතිම සිංදුවක් විදිහට තියාගන්නෙ අහම්බෙන් නෙමෙයි. මේ තමන්ගෙ ප‍්‍රකාශනයට සමාන්තර යුරෝපීය අනෙකා. පැවැත්මේ ශුන්‍යතාවය ගැන බෞද්ධ දැක්ම සහ ක‍්‍රිස්තියානි දැක්ම අතර වෙනසක් විදිහටයි මට බොරදිය පොකුණ සහ අස්සයො 13 දෙනාගේ සිහිනය පෙණුනෙ. එකම අර්බුදය. රයිබැක් දකින්නෙ අස්සයො. සත්‍යා දකින්නෙ මාළුවො. රයිබැක් දකින්නෙ මුහුදක්. සත්‍යා දකින්නෙ පොකුණක්.

බලාපොරොත්තුව විතරක් ඉතිරි කරමින් මිය යන ජීවිත අඳුරු නාඳුනන සාගරයක හුදකලා කරනවා වෙනුවට සත්‍යා සංසාරය එක්ක ගැටගහනවා කියල මට හිතෙනවා. රයිබැක් යෝජනා කරන්නෙ මරණය. සත්‍යා යෝජනා කරන්නෙ යළි යළිත් ඉපදීම. රයිබැක්ගෙ අඳුර සහ ඩිප්‍රෙස් වීමට වෙනස්ව සත්‍යා ජීවිතය දිහා බලාගෙන ඉන්න උපේක්‍ෂාව අරගෙන එනවා. සිදත් මෝසස් ෆර්නැන්ඩස් කියන හදාගන්න ගන්න පොඩි එකා කියන්නෙ ඒ නැවත උත්පත්තිය. සිංහල බෞද්ද, සිංහල ක‍්‍රිස්තියානි හැමෝගෙම අවසාන විමුක්තිය. කාගෙ හරි දරුවෙක්....

ඒක එක විදිහකට අපි ජීවිතේ ගැන බඳින අත්නොහරින පේ‍්‍රමයේ උත්තුංගභාවය වෙන්න පුළුවන්. තව විදිහකට පලා යා නොහැකි හිස්කම, ඛේදය තමන්ගෙන් පසු ජීවිතයක බලාපොරොත්තුවෙන් මුවාකර ගැනීම වෙන්නත් පුළුවන්. වෙන විදිහකට කිව්වොත් මගහැර යා නොහැකි පැවැත්මේ දුක සහ ඒ දුක පැලැස්තර කරන තෘෂ්ණාව වෙන්න පුළුවන්.

පැවැත්ම විසින් නිතර මුණගස්සන හිස් ගැඹුරු පාතාලය නොදැක ඉන්න අපි නිතර අපෙන් බාහිර විශාල දේවල් නිර්මාණය කරගන්නවා. සල්ලි, බලය, පවුල, තමන්ගේ ජීවිතයත් ඉක්මවා වැඩෙන ජීවිතයක් යෝජනා කරන දරුවෙක්... මේ මොකක් හරි වෙන්න පුළුවන්. වැදගත් වෙන්නෙ තමන්ගේ කුඩා බව වැසී යන විශාල නිර්මාණයක්. තමන්ගේ ශක්තියෙන්, වෑයමෙන් ගොඩනැගිය හැකි, තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය පසක් කර දෙන යමක්. මේ දුක වසන එකම මිනිස් ප‍්‍රයෝගය ඒක.

සත්‍යා කතා කරනවා ඒ අසරණකම දකින්න. නිවනක් නැති සංසාරයක් දිහා බලාගෙන ඉන්න. ඒක දරුණු වැඩක්.

බොර දිය පොකුණ කියන්නෙ ථේරවාදී බෞද්ධ බණ පදයක් වෙන්නෙ එතනදි.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment