Sunday, June 17, 2012

කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...

මේ පාර ලියන්නෙ මොකක් ගැනද කියල කල්පනා කරද්දි මට කාලෙකට ඉස්සර සිරිමල් පාරාදීසෙට ලියපු පෙරවදනක් මතක් වුණා. සිරිමල් පාරාදීසෙ කරද්දි පත්තරේට ආවෙ පෙරවදන ලියන්න විතරයි. ලොකු පත්තරේ හිස් පිටුවක් මැද්දෙ ඌ මෙහෙම ලිව්වා,
කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...
එච්චරයි. පාරාදීසෙ කවදාවත් ලංකාවෙ සිද්ද නොවුණු විදිහෙ වැඩක් වුණෙ සිරිමලාගෙ මේ හිතුවක්කාරකම හින්ද. ආයිමත් එහෙම පත්තරයක් ලංකාවෙ වෙන එකක් නෑ. ඒ සිරිමලාට ඇරෙන්න එහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නැති හින්ද.

කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...ආයිමත් එහෙමයි. කිසි දෙයක් සිද්ද වෙන්නෙ නැති, කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නැති කාලකණ්ණි කාලයක්. හැමෝම තමන් මැරෙන කල් ඉවසන් ජීවත් වෙනවා. කාගෙවත් ජීවිත පුංචි පුද්ගලික තිතකින් එහාට ලොකු වෙන්නෙ නෑ. අතීතෙන් එහාට වැඩෙන්න භෞතිකයක් නෑ. දේශපාලනයක් නෑ. පාලකයො ඇරෙන්න වෙන කාටවත් ජීවිතේ ගැන අදහසක් නෑ. ජීවිතේ හැමතැනම. කෑලි කෑලි.

මේ පත්තරේම කොමර්ෂල් බ්‍රේක් කියලා පළවෙන ආර්ටිකල් එකක ඒක ලස්සන විදිහකට කියල තිබුණ.
‘අපේ සිනමාව, කලාව හාරන්නෙත් අතීතය. කියන්නෙත් අතීතෙ හාරන්න කියල මිසක් අනාගතේ ගැන හිතන්න නෙමෙයි. ඉතිං හොරුත් අතීතෙ හාරන්න පටන් අරං. නිධන් හාරනවා කියන්නෙ ඒ අතීතෙ හාරන එකේ භෞතික මුහුණුවර’
වචන වෙනස් වෙන්න පුළුවන්. ඒත් අදහස වුණේ ඒක.

කාලෙකට පස්සෙ මියුසික් වැඩක් තිබ්බ හින්ද පාර්ක් ස්ටී‍්‍රට් පැත්තට ගියේ අලූත් මොකක් හරි අහන්න පෙරේතකමට. ගොඩක් දේවල් ලස්සනට තිබුණ. බොන්න තිබුණ. කන්න තිබුණ. ලස්සනට ඇඳගෙන කට්ටිය ඇවිත් හිටියා. වාදනය වුණත් සෑහෙන මට්ටමක තිබුණ. ඒත් ලොකු දෙයක් හිස්. කොච්චර බලන් හිටියත් ඇ`ගට දැනෙන්නෙ නැති දුරක්. පිටස්තර ගතියක්.

ඒ වැඬේ ඇතුලෙ අදහසක් තිබුණෙ නෑ. විෂයක් විදිහට සංගීතය ඇතුලෙ ඒකෙම වූ ශ‍්‍රව්‍ය ව්‍යවස්ථා එක්ක හැප්පෙනවට වඩා එහායින් ජීවිතේ ව්‍යවස්ථාව එක්ක හැප්පෙන්න ඒ සංගීතය පරිණත වෙලා තිබුණෙ නෑ. ඒක තමයි අවුල. මිනිස්සු පුංචි පුංචි තිත් ඇතුලෙ ලොකු වෙන එක. මං මේ කතාව කෙලින් අහලා තියෙන්නෙ අජිත් ගෙන් විතරයි.

මට සංගීතය කියන්නෙ පැෂන් එකක් නෙමෙයි. ඒක මට මිෂන් එකක්.
එලියට බැස්සොත් මරණයක්. පත්තරයක් පෙරළුවොත් මිනීමැරුමක්. ටීවී එක දැම්මොත් ලෙඩක් ගැන කතාවක්. මගේ යාලූවො ගොඩක් අසනීපෙන්. තව අය භාවනා කරලා ඵලාවබෝධය කරලා. මං වගේ අය එලිවෙච්ච වෙලාවෙ ඉඳන් ? යක්කු ගස් නගින වෙලාව වෙනකල්වැඩ. ඉස්සර වගේ හැන්දෑවට ප්ලේන්ටියක් ගහලා  ඕපදූපයක් කතා කරන්න කවුරුවත් නෑ. ජීවිතේ මේ තරං හුදකලාවක් දැනිච්ච කාලයක් මට මතක නෑ.
යුද්දෙ තියෙද්දි මිනිස්සු හැමෝම ට‍්‍රයි කළේ ජීවත් වෙන්න. නීට්ෂේ කියනවා වගේ ගිනිකන්දක් උඩ ඉන්න කොට තමයි ජීවිතේ හරියට දැනෙන්නෙ. සටන් බිමක් විදිහට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. යුද්දෙ නැති වුණාට පස්සෙ ඒ හිස්කම පිරෙව්වෙ මරණය. ලංකාවෙ හැමෝම පැසිව් ජීවත ගත  කරන්න පටන් අරං. බුදුන් කියනවා වගේ ‘ජීවත් වුණත් මළාක් වැනි’ ජීවිත අපිට තියෙන්නෙ. සිකුරු මාරු වෙන කල් අහස දිහා බලන් ඉන්න සහ ඒ අපල මැකෙන්න බෝධි පූජා කරන අසරණ ජනතාවක් උදේට හවසට ඇෙ`ග් හැපෙනවා. අපි දන්නෙ නැති වුණාට සමාජය වාෂ්ප වෙලා ගිහින්. ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ. මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් මේ හිස්කමේ ප‍්‍රකාශනයක් විතරයි. රත්තරං, නිධන්, ගුරුකම්, වෙදකම් සහ හින්දි නිළියන්ට එපිටින් රාජ්‍ය තන්ත‍්‍රයක් නෑ. ෆොන්සේකා කියන්නෙත් මේ කාසියෙම අනිත් පැත්ත මිසක් අලූත් විකල්පයක් නෙමෙයි.

පුරාවිද්‍යා චක‍්‍රවර්ති හාමුදුරුවොත් කිව්වා, ‘ආණ්ඩුව නිධන් හාරන්න  ඕන තමයි. ඒකෙ වැරැුද්දක් නෑ’ කියල. ඒකට දයාසිරි ජයසේකර හොඳ උත්තරේකුත් දුන්න.

‘දන්න විදිහට මේ රටේ චක‍්‍රවර්තිලා හිටියෙ දෙන්නයි. එක්කෙනෙක් බයිලා චක‍්‍රවර්ති එම්එස් ප‍්‍රනාන්දු. අනිත් එක්කෙනා පුරාවිද්‍යා චක‍්‍රවර්ති අපේ හාමුදුරුවො. මං කියන්නෙ හාමුදුරුවනේ ඔය දෙක පටල ගන්න එපා’
මේ අපි මුහුණ දෙන්නෙ අපේ ඇත්තට. අපේ ඇතුලෙ හැමදාම තිබුණු බොරුවට. උතුරෙ ප‍්‍රභාකරන් හින්ද අපිට අරමුණක් තිබුණ. අපි ලෝකෙ දරුණුම ත‍්‍රස්තවාදී කණ්ඩායමේ අනෙකා විදිහට අපි ලොකුවට පෙණුනෙ. ඒකෙන් අපේ දූපත් ගතිය වැහුණ. හැමදාම පුපුරන බෝම්බ මැද්දෙ මිනිස්සු ජීවත් වෙන්න ආසාවෙන් පොරබැදුවා.

ඒත් යුද්දෙ ඉවර වුණත් එක්කම අපි ලෝකෙන්ම හුදකලා වුණා. අපේ රටේ නායකයට වත් බටහිර රටකට යන්න බැරි තත්වයක් ඇති වුණා. රටේ ඇමතිවරු කොකා කෝලා සහ ගූගල් තහනම් කරන්න කතා කළා. අපි ආයිමත් දූපතක් වුණා. වෙළඳ දැන්වීම් ඔක්කොමත් ‘පරණ කතා’ ගැන. චිත‍්‍රපටි ඔක්කොම රජ කතා වුණා. අන්තිමට ඉතිහාසෙ කුවේණි ඇඳුමෙ පාටට ගැළපෙන ජංගියක් පවා ඇන්දා. ඒ ගැන ලස්සන කමෙන්ට් එකක් දාලා තිබුණ.

‘විජය කුමාරයා එන විට කුවේණි සිටියේ කපු කැට කැටය. ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය. කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය. ඇඳුම් හදාගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන්නේ සිම්පල් වැඩකි. ඇඳුම් හදාගෙන ජංගි මසාගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන් මිත්තන් දැන සිටියාය යන්න චිත්තර පටියකින් හෝ අනාවරණය වීම අපට මහත් ආඩම්බරයකි’

ඊට පස්සෙ රාවණා එලියට ආවා. දැන් හැම පත්තරේකම පිටුවක් හෝ දෙකක් රාවණා ගැන පට්ට කෙප්ප වලින් පිරිලා. තවත් කට්ටියක් රාවණා ආයිමත් ඇහැරෙනකල් බලන් ඉන්නවා. ඉතුරු පිටු ටික පුරවන්නෙ හදි හූනියම් සහ යක්‍ෂ කතා. භාවනා සහ මේ සෝවාන් සකෘදාගාමී ඵල ලැබීම ගැන කතා වලටත් තියෙන්නෙ හොඳ ඉල්ලූමක්. මේ අපි කියවන්නෙ සහ ලියන්නෙ මොනවද කියන එක ගැන කියවන උන්ටවත් ලියන උන්ටවත් ලැජ්ජාවක් නෑ. මගේ එහාපැත්තෙ අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලත් උනන්දු වෙන්නෙ මැරුණට පස්සෙ ඉපදෙනවද නැද්ද කියල හොයන්න. මාත් අන්තිමට නතර වෙලා කියවමින් ඉන්නෙ දීපක් චොප්රා ගෙ ‘ලයිෆ් ආෆ්ටර් ඩෙත්.

මේක විෂබීජයක් වගේ ආසාදනය වෙනවා. ආර්ථිකය, දේශපාලනය හා සමාජය මිත්‍යාවක් වෙද්දි මිත්‍යා සියල්ල ඇත්ත වෙන්න පටන් ගන්නවා. හැම පංතියකම අය එක එක විදිහට මේ ලෙඬේට ගොදුරු වෙනවා. ඒ දවස්වල පශ්චාත් නූතන තත්ව ගැන සංවාද කරපු විශ්ව විද්‍යාල අචාර්යවරු තමන්ගෙ ළමයින්ට ජනප‍්‍රිය පාසැල් ඉල්ලලා ගේට්ටුවල එල්ලිලා වැඩවර්ජන පටන් අරගෙන. සමස්ත සමාජයේ මානසික බිඳ වැටීමක්, සමාජ මානසික අවපාතයක් උඩුදුවන වග පැහැදිලි වුණත් ඒ ගැන බෝධි පූජාවකින් එහාට කරන්න දෙයක් කවුරුවත් දන්නෙ නෑ.

මට සිරිමලා ගැන ඉරිසියා හිතුණ. එදා මහජන පුස්තකාලෙ, විශ්ව විද්‍යාල ඇතුලෙ සංවාදයක් හැදෙන්න අවකාශයක් තිබුණ. එදා කොල්ලො කෙල්ලො මැරෙන දවස බලාගෙන ජීවත් වුණේ නෑ. ඒ වෙනුවට දේශපාලන සමාජ සවිඥාණකත්වයක් ජීවත් වෙන්න තේරුමක් හදලා දුන්නා. පාරාදීසෙ වැඩියෙන්ම විකිණෙන යොවුන් මාසිකය වුනේ ඒකයි. ඒත් අද මොකක්ද විකුණන්න පුළුවන්?

අද වැඩියෙන් ආර්ට් කරන්න කට්ටිය එකතු වෙනවා කියලා අපිට පේන්න පුළුවන්. ඒත් ආයිමත් ඒ කරන ආර්ට් ඇතුලෙ පේන්නෙ මේ තියෙන හිස්කමම විතරයි. කොටින්ම චිත‍්‍රපටියක් කෙරෙන්නෙ පිටරට සම්මාන වෙනුවෙන් විතරයි. (මේ රටේ පෙන්නන්න කරන චිත‍්‍රපටි ඇතුලෙ තියෙන්නෙ ටැක්ස් සහ තවත් නොයෙක් මගඩි) මෙතනදි චිත‍්‍රපටි කරන අය අනිත් අය වගේමයි. ඔහේ අහස දිහා බලාගෙන ඉන්න එක ඇරුණම අනිත් හැම ශ‍්‍රී ලාංකිකයෙක්ම ට‍්‍රයි කරන්නෙ කොහොම හරි රට පනින්න. මියුසික් කරන, ෆිල්ම් කරන, ලොකු ආර්ටිස්ට් ලා පවා පොඩි ජොබ් එකක් සෙට් වෙනකල් ඉන්නෙ ඇමරිකාවට හරි වෙන කොහේ හරි පැන ගන්න. ඒ බංකොලොත්කම අපේ රටේ මේ වෙලාවෙ ඇත්තක්. ලියන්න ගත්තම කිසි අදහසක් නොඑන හිස්කමත් ඒ අරාජිකකමේ පුද්ගලික ප‍්‍රකාශනයක්.

‘මචං, මේ ළ`ගදි කියවපු එකක තිබ්බ අදහසක්. අපි සවුන්ඞ්ස් කියලා කිව්වට එහෙම සවුන්ඞ්ස් කියන එක ඇත්ත නෙමෙයි කියලා ඩයලොග් එකක් යනවා. ඒක මරු. උන් කියන්නෙ සවුන්ඞ් එකක් ඇහෙන්නෙ, ඒකට අදහසක් දෙන්නෙ ඔලූව ඇතුලෙ තියෙන ඉමේජ් එකක් කියල. හීනවලදි වගේ. සද්දෙ ඇහෙනවා වගේ දැණුනට ඇත්තට පේනවා විතරයි. හොඳට බැලූවොත් අපිට හැම සවුන්ඞ් එකක් එක්කම පේන්නේ රූපයක්. එතකොට සද්දෙ කියන්නෙ ස්වභාවයෙන්ම ද්විතියික කාරණයක් කියලා උන් ඒක දෙකේ කොලේට දානවා. මචං ලෝකෙ එහෙම තැනක සංවාද යනකොට මගේ ‘පිච් අවුට්’ කියලා අපේ ප‍්‍රශ්න කරන්න එනවා. අනේ මචං මං කියන්නෙ මේකයි. ‘මං උඹලට සිංදු කියන්න ආවෙ නෑ. කරුණාකරලා පටලවාගන්න එපා. මං සිංදු කියන්නෙ නෑ. මං උඹලව අවුල් කරනවා විතරයි’.

අජිත් කුමාරසිරි ජාඇල ඉඳන් ඇවිත් හවස චැට් එකකට සෙට් වුණා. ගොඩක් කාලෙකින් ගොඩක් දුර ඉඳන් ඇවිත් හරි කරන කතා බහ මිසක් වෙන කිසිම දෙයක් නැති සංස්කෘතික කාන්තාරෙක අපි. තාමත් එකතු වෙන්න තරම් මනුස්සකමක් තියෙන, එකතු වෙලා කතා කරන්න තරම් අදහසක් තියෙන යාලූවන්ව වෙනදට වඩා වටින්නෙ ඒකයි.

නැත්තං මේ දූපත ගොඩක් පාළුයි.

-චින්තන ධර්මදාස

8 comments:

  1. හැමදේම හිස් කියල දැනුන ලිපිය කියවල ඉවර වෙද්දි...කමෙන්ට් එක කොටල ඉවර වෙද්දි ,ලියපු ලිපියත් අන්තරස්ධාන වෙලා.... දැන් හරි

    ReplyDelete
  2. ඔබේ ලිපිය කිය වුවේ සෙනසුරාදා රාත්‍රියේමයි.ඔබේ රටාවට මම ඉතා ප්‍රිය කරමි.පිළුණු වී ඇති පුවත් පත් කලාවට ජීවය දීම සම්බන්දව ඔබට ස්තුතියි

    ReplyDelete
  3. මේ තනිකම හිස්කම ගැන සංවේදී මිනිසුන් ඒ ගැන කතා කරන මිනිසුන් ටික දෙනෙක් මටත් මුණ ගැහිල තියෙනව. ලිපිය ලස්සනයි.

    ReplyDelete
  4. හැගීම් විරහිත සමාජයක් ! බලාපොරොත්තුවක් නැති හෙටක්! නිර්වින්දනය කරන ලද ගව රැලක්!

    ReplyDelete
  5. ලිපියයි පහල තියෙන කොමෙන්ට්ස් ටිකයි කියවලා ඉවර වෙනකොට මම මේ කියවන්නේ මොකද්ද කියලා හිතුනා.., අපරාදේ උඩ වැකිය ගහන්න පාවිච්චි කරපු යුන්කෝඩ්..!
    හිස්බව, ලෝකේ දරන්න අමාරුම දේ..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete