Tuesday, July 10, 2012

විද්‍යා ප‍්‍රබන්ධ සහ මිත්‍යා ප‍්‍රබන්ධ : අංක 2

මිත්‍යා කල්පිත අතට අහුවෙන ද්‍රව්‍යවාදී තැනකට ගේන්න යන එකෙන් තමයි අවුල පටන් ගන්නෙ. දුටු ගැමුණුගෙ කඩුව හොයන එකේ ඉඳන් රාවණා යළි ඉපදීම, යෝග භාවනා, අපායෙ සද්ද ඇසීම්, නාථ දෙයියන්ගෙ ඇමතීම් හැම දෙයක්ම මේ මිත්‍යා කල්පිතය භෞතිකයක් කරගන්න යන එකෙන් වෙන විපරීත. රටක් විදිහට අපි මිත්‍යාව ඇතුළෙ ගිලිලා වැළලිලා යමින් ඉන්නෙ.

අපි බුද්ධාගම කියන්නෙත් මිත්‍යාවකට. ඉතිහාසය කියන්නෙත් මිත්‍යාවකට. මෑතකදි ෆේස්බුක් එකේ තිබුණ ඇමරිකාවෙ පෙන්ටගන් එක කියන්නෙත් රාවණාගේ බලකොටුවක් කියල. පංචාග‍්‍ර කියන රාවණ සංකල්පය අනුවලූ පෙන්ටගන් කියන නම පවා එන්නෙ. මේක මිත්‍යාවෙ තියෙන අවුලක් නෙමෙයි. මිත්‍යාව බාර ගන්න තරමට අපේ සංස්කෘතිය ගැඹුරු නෑ. අපිට  ඕන වෙන්නෙ ඒක ඇත්තක් කරන්න.

මුල්ම කාලෙ ප‍්‍රාථමික ජනතාවට තිබ්බ තත්වෙටත් වඩා මේ ලාංකේය ජනතාවගේ තත්වය රෝගීයි. ප‍්‍රාථමික ජනකොට්ඨාශ දෙවියන් සහ විවිධ විශ්වාස හදා ගනිද්දි ඒ ගොල්ලොන්ට පොඩි ළමයින්ට වගේ තමන්ගෙන් වෙන්වුණු බාහිර ලෝකයක් ගැන හැ`ගීමක් නොතිබුණු වග කාල් යුංග් කියනවා. පොඩි දරුවන්ට තමා සහ තමන්ගේ මව කියන්නෙ දෙන්නෙක් කියන වැටහීම නෑ. ඒ ඔක්කොම එක සමස්තයක්. ඒ වගේ ප‍්‍රාථමික ගෝත‍්‍රවාසී ජනතාවන්ට තමන්ගේ අභ්‍යන්තරය සහ බාහිරය අතර බෙදීමක් නෑ. ඒක තනි සමස්තයක්.

එතකොට ඒ අභ්‍යන්තර ලෝකය, අවිඥාණය ඇත්තක් විදිහට බාහිර ලෝකෙට එනවා. හැබැයි ඒ ගොල්ලොන්ට මේ බාහිර අභ්‍යන්තර බෙදීම නැති නිසා ඒ කල්පිතය ඇතුළෙන් තමන්ගේ සමස්ත පුද්ගලභාවය තේරුම් ගන්න පුළුවන් තැනකට යන්න හැකියාව තිබුණ. යුංග් කියන විදිහට අවිඥාණයේ ඒ රූපමය ප‍්‍රකාශනයක් ඇතුලෙන් ගිහින් තමන්ව අවබෝධ කර ගැනීමේ වැඩි හැකියාවක් ඒ ජන කොටස් වලට තියෙනවා. ඒත් ලංකාවෙ අපි මේක කරන්නෙ ඒ අවිඥාණික ප‍්‍රකාශනයක් ඇතුලෙ නෙමෙයි. ඒ අවිඥාණක තත්ව භෞතිකවාදී බාර ගැනීමක් ඇතුලෙන්. ඒ කියන්නෙ අපි දෙකට පැළිලා ඉන්නෙ. දුටුගැමුණුගෙ කඩුව හොයන්න ලැම්බොගිනි වල යන්නෙ. අපේ කතරගම යන පුරුද්දත් ඒ වගේ.

මර්වින් සිල්වා මෑතකදි මුන්නේශ්වරම් ගිහින් එළුවො මරන්න දෙන්න බෑ කියල ලොකු පෙරළියක් කළා. අපේ බෞද්ධයො ඔක්කොමත් මේ සත්ත්ව ඝාතනයෙන් දෙවියන් දකින්න බෑ කියල හරිම තාර්කික තැනකින් ඒ පෙරළියට බොහොම පක්ෂපාත වුණා. ඒත් මුන්නේශ්වරමෙ එළුවො මරණ එක ඒ මිනිස්සු කළේ මේ මිත්‍යාව ඇතුලට ගිහින්. එතන පවක් හෝ පිනක් නෑ. එතන දෙවියො ඉන්න එක ඇත්තක්. අපි බෞද්ධයො කියන්නෙ අවිඥාණික ප‍්‍රකාශනයකට කිසිම ඉඩක් තියා නොගත් පැතලි යතාර්ථයක ජීවිතය තෝර ගත්ත පිරිසක්. ඉතින් අපි මේ රටේ මේ පොලොවෙන් ඇතිවුණු හැම මිත්‍යාකල්පිතයක් ඇතුලටත් යන්නෙ බෞද්ධ යතාර්ථවාදී කොටුවත් අරගෙන. මෙතනදි අපි දෙකට පැලෙනවා. ඒකෙන් ලෙඩ වෙනවා. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඛේදවාචකය බුද්ධාගම කියල මං කියන්නෙ මේ හින්ද. අපිට සිහිනය අහිමි වුණා ඒකෙන්.
මේ ළ`ගදි අපේ ඔෆිස් එකේ ස්ටෙෆාන් මාර කතාවක් කිව්වා.

‘මචං සිංහල සෙක්ස් කල්චර් එක ගැන මට මාර පුදුමයි. උඹලා ගෑණුන්ට පාවිච්චි කරන්නෙ ඔක්කොම දේවල් වල නම්. අයිටම් එක, බඩුව, කෑල්ල, මචං මේක වෙන කිසි රටක නෑ. ඉංග‍්‍රීසියෙන් කියන්නෙ කෙල්ලන්ට කියන්නෙ හුරතල් සත්තුන්ගෙ නම්. එතන මොකක් හරි තියෙනවා. කොහොමද මේ පණ නැති දේවල් වලට කියන නම් උඹලා ගෑණුන්ට කියන්නෙ?’

ඌ විනාඩි ගාණක් ඇතුළත ලාංකේය ලිංගික සංස්කෘතිය ඉංග‍්‍රීසි සංස්කෘතිය ඉස්සරහින් තියාගෙන කෑලි කෑලි වලට ගැලෙව්වා මට ලැජ්ජ හිතුණ. අපේ මානසිකත්වයේ ගැඹුරු තැන් ඔක්කොම ඇහිරිලා. රාවණා කාලෙට යන්න කැමති සිංහල සෙට් එකම එතෙන්ට යන්න හදන්නෙ වික්ටෝරියානු කෑලි ඔක්කොමත් එක්ක. රාවණා වගේ අනුන්ගේ ගෑණියෙක් හොරකම් කරන් එන ඒ පැරණි කසාද රටාව වෙනුවට ඒ ගොල්ලො රාවණා එහෙම කළේ නෑ කියල එයාවත් ‘හොඳ’ එක්කෙනෙක් කරනවා. ඒ විදිහට ගිහින් මං දැක්කා කෙනෙක් ෆේස් බුක් එකේ දාලා තියෙනවා ‘රාවණා යූඇන්පියෙන් බලයට එනවා’ කියල. ඒ වගේ රාවණා කෙනෙක් තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ.

සිදත් කියන මගේ යාලූවා කඩවත පැත්තෙ තියෙන භූත සිද්ධි, ආවේශ ගැන කතන්දර කියනවා. මාත් එක්ක ඉන්න අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා මගේ දිහා බලනවා. මං ඇත්තටම ආසාවෙන් අහන් ඉන්නවා. අන්තිමට ඌ ඉස්සරහට පැන්නා. ‘ඔය බොරු. අපේ හිත ඇතුලෙ තියෙන දේවල් තමයි ඔය එලියට එන්නෙ.  ඕවා දැන් බොරු කියල ඔප්පු වෙලා තියෙන්නෙ’ එහෙම කියල අන්තිමට ‘නැද්ද අයියෙ?’ කියලත් අහනවා. මං භූතයො විශ්වාස කරනවද නැද්ද කියන ප‍්‍රශ්නෙම ඇහෙන්නෙ එලියෙ ඉඳන්. ඒක හරිම යතාර්ථවාදී ප‍්‍රශ්නයක්. විශ්වාසය අවිශ්වාසය වෙනුවට මං අවුරුදු ගාණක් තිස්සෙ මේ පොලොව ඇතුලෙ බඩගාන කල්පිතයකින් ජීවත් වෙනවා. ඒ මිත්‍යා කල්පිත මගේ අඳුර, බය, වගේ සංවේදනා ස්පර්ශ කරද්දි මං තාම ජීවත් වෙන විත්ති යමට තේරෙනවා. ඇත්ත නැත්ත කියන්නෙ මෝඩ ප‍්‍රශ්නයක්. අපිට කොයි තරම් ඒ කල්පිත එක්ක අවිඥාණයේ පතුලට යන්න පුළුවන්ද කියන එකයි වැදගත්.

කාල් යුංග් සහ ෆ්‍රොයිඞ් අතරෙ මේ අවිඥාණය ගැන තිබුණෙ අදහස් දෙකක්. ෆ්‍රොයිඞ්ගෙ අදහස මෙතනදි හු`ගක් පටුයි. එයා කිව්වෙ ‘අවශ්‍යතාවය, ආශාව’ කියන එක මූලිකව අවිඥාණය හැසිරෙනවා කියල. ඒ ආශාවන් සිහින සහ මිත්‍යාවන් ඔස්සේ එලියට එනවා කියල. අපේ ලංකාවෙ ගොඩක් අය බාර ගත්තෙ ෆ්‍රොයිඞ්ව. කලිනුත් කිව්වා වගේ අපේ අය සයිමන්ව විස්තර කරන්න ගියෙත් ෆ්‍රොයිඩියානු විශ්වයක් ඇතුලෙ. ඒත් සයිමන් යුංගියානු විශ්වයකයි වැඩ කරමින් හිටියෙ. ඒක ආශාව සහ යටපත් කර දැමීමට වඩා ගැඹුරු තැනකට සම්බන්ධ වෙනවා. යුංග් කියන්නෙ අපේ අවිඥාණය මනුෂ්‍ය වර්ගයාගේ සාමූහික අවිඥාණයක් එක්ක සම්බන්ධයි කියල. ලෝකෙ කොහේ වුණත් මිත්‍යා කල්පිතයන් එක වගේ වෙන්නෙ අපි ඇතුලෙ තියෙන මේ ගැඹුරු ආකෘතීන් හින්ද කියල. මිනිසාගේ ලොකුම ගවේෂණය වෙන්නෙ මේ අවිඥාණක කලාපය ගැන සවිඥාණක වෙන එක කියලයි යුංග් කියන්නෙ. මේක ආධ්‍යාත්මික ගමනක්. සයිමන්ගේ දඩයක්කාරයා, වානරයා හොයාගෙන යන්නෙ මේ ගමන. සයිමන්ගේ කවදාවත් ශිෂ්ට කරන්න බැරි වුණ ලිංගික පැවැත්ම ඇතුලෙන් එයා හොයාගෙන යන්නෙ වික්ටෝරියානු මතුපිට පොලොවෙන් යට වැළලූණු අපේ ඇත්ත සදාචාර උරුමය. ඒ සදාචාරය ලිංගික දේවල් වලින් සීමා වුණු එකක් නෙමෙයි. ඒත් ෆ්‍රොයිඩියානු එක්ස් කණ්ඩායම ප‍්‍රමුඛ වික්ටෝරියානු ලාංකේය ජනතාවට සයිමන් පෙණුනෙ බඩුකාරයෙක් වගේ. ඒක තමයි අපේ දෘෂ්ටිවාදී සීමාව.

‘බාහිර ලෝකය කියන්නෙ අපේ අභ්‍යන්තර ලෝකය විසින් කරන ප‍්‍රක්‍ෂෙපණයක්. මිත්‍යා කල්පිත කියන්නෙ ඒ අභ්‍යන්තර ලෝකයේ භාෂාව. අපි තරු රටා එක්ක දිව්‍ය ලෝක ප‍්‍රක්‍ෂේපණය කළා වගේම සුරංගනා කතා සහ පුරාවෘත්ත නිර්මාණය කරනවා’ -කාල් යුංග්

අවිඥාණයේ භාෂාව වෙන්නෙ සංකේත. ඒ සංකේත සම්බන්ධ වෙන්නෙ අපේ ගැඹුරු පුද්ගල අත්දැකීමක් හරහා සාමූහික අවිඥාණයකට. යුංග් කියන විදිහට එක්තරා ආකෘතිමය සම්බන්ධයක් තිබුණත් පුරාවෘත්ත සහ විශ්වාස එක් එක් මනුෂ්‍ය වර්ග වලට පොදු වෙනවා. එක විශ්වාසයක් සියලූ මනුෂ්‍ය වර්ග සඳහා වැඩ කරන්නෙ නෑ. මේ සංකේත හරහා අවිඥාණය ප‍්‍රකාශ වෙන්න බලාගෙන ඉන්නවා. යුංග් අපි සවිඥාණය කියන කොටස අයිති කරන්නෙ ‘මමත්වය, අහම’ කියන කොටසට. ඒ සීමිතය ඇතුලෙන් අපි මේ මුහුදක් තරම් විශාල අසීමිතය විස්තර කරන්න හදනවා. ඒත් වෙන්න  ඕන ඒකෙ අනිත් පැත්ත. මේ සංකේත අපි භාෂාව ඇතුලෙන් විස්තර කරන්න යන හැම වෙලාවකම ඒක විපරීතයක් වෙනවා. භාෂාව කියන්නෙ ඉතාම දුර්වල මෙවලමක්.

යුංග් තවත් වැදගත් කාරණයක් කියනවා. මේ පුරාවෘත්ත සහ විශ්වාස කාලයක් යද්දි භාෂාව විසින් දුර්වල කරන්න පුළුවන්. ඒ කියන්නෙ අවිඥාණයට ඇතුල් වෙන්න තියෙන මේ දොරටු පටු සවිඥාණක උත්සාහයන් නිසා සදහටම වැහිලා යන්න පුළුවන්. බුද්ධාගම එක්ක අපේ ලාංකේයන්ට වුණේ මේ ටික. කතරගම, රාවණා ආදී දොරටු තව දුරටත් වැඩ කරන්නෙ නෑ. ඒවා මේ ගැඹුරු පතුල එක්ක තියෙන සම්බන්දෙට වඩා ජාතික, ආර්ථික කාරණා එක්ක ගැටගැහිලා. එතනින් පස්සෙ මේ දේවල් මිත්‍යා කල්පිත නෙමෙයි. දැන් ලංකාවෙ මේ සිද්ද වෙන අවුල සම්බන්ධ වෙන්නෙ මෙතෙන්ට. මේක අපේ අවිඥාණය හොයාගෙන යන ගමනක් නෙමෙයි. මේ එන්නෙ අවිඥාණයක් අහිමි වීමේ රෝගය. සවිඥාණයෙන් සිද්ද වෙන දේවල් බාර ගන්න බැරි වෙනකොට අවිඥාණයට මාරු වෙන්න බලනවා. ඒත් ඒ දොරවල් වැහිලා. ඉතින් බුදුරැුස් විහිදෙනවා වගේ විපරීත පේන්න ගන්නවා. ගම් පිටින් භූතාවේශ සිද්ද වෙනවා. ඒවා මානසික රෝග.

යුංග් කියන්නෙ කාන්ට් කියන විදිහට අපිට දත හැකි දේ සහ අපි නොදන්නා සැබෑ දේ අතර වෙනස තියෙන්නෙ මෙතන. අවිඥාණය කියන්නෙ අපි පිළිබඳ සැබෑ නමුත් අපිට දත නොහැකි දේ. සවිඥාණය කියන්නෙ ඉන්ද්‍රිය මගින් අපි දන්නා දේ. මේ සිහිනමය සංකේත හරහා අපි අපේ විශාල කොටස සාක්ෂාත් කර ගැනීම තමයි යුංග් විස්තර කරන ව්‍යායාමය. ඒක විද්‍යාත්මක හෝ තාර්කික වැඩක් නෙමෙයි. යුංග් කියන විදිහට මිත්‍යා කල්පිතයක සැබෑ උවමනාව පුද්ගලයා මේ සීමිත තත්වෙන් සමස්ත විශාලත්වය කරා අරන් යන එක.
කාල් යුංග් විස්තර කරන්නෙ ‘මනස ඇතුළත එක්ක සම්බන්ධ මිත්‍යා කල්පිත’ ගැන. ඉන් බාහිර දේවල් ‘භෞතිකමය මිත්‍යා කල්පිත’. ලංකාවෙ අද අපිට මුණගැහෙන්නෙ මේ දෙවෙනි වැඩකට නැති වර්ගයේ කල්පිත.

‘කිසිම බුද්ධිමය තත්වයක් අවිඥාණයේ මේ පොහොසත් රූපමය ප‍්‍රකාශනය කිට්ටුවකටවත් එන්නෙ නෑ’
-යුංග්

’දැන ගන්නවා කියන්නෙ ප‍්‍රඥාව එක්ක සම්බන්ද දෙයක් නෙමෙයි. ප‍්‍රඥාව දැන ගන්න බෑ. ඒක අවබෝධයක්. අපිට ප‍්‍රඥාව ගැන දේවල් කියවන්න පුළුවන්. ඒ දේවල් ගැන භාවනා කරන්න පුළුවන්. ඒත් ප‍්‍රඥාව අවබෝධ වෙන එකත් එක්ක ඒවායෙ සම්බන්ධයක් නෑ. සමහර වෙලාවට ඒ දැනගන්න දේවල් හින්ද ප‍්‍රඥාවෙ අවබෝධයට බාධා වෙන්න පුළුවන්’

දවසක් සයිමන් මහා පරිනිබ්බාණ සූත‍්‍රය කියවන අතරෙ කතාවකදි මට කිව්වා.

-චින්තන ධර්මදාස


2 comments:

  1. මම සුද්දන්ට කැමති එක හේතුවක් තමා උන් අනිත් එවුන් කියන කරන කිසිදෙයක් ගනන් ගන්නෙ නැති එක. සහ උන් ඒ කියන දේවල් ගැන තරහකින්වත් , උපහාසයකින්වත්, මහලොකු වුවමනාවකින්වත් උත්තරදෙන්නෙ නැති එක. ඒක උන්ට පරිබාහිර "අවිඥානයක්" කියල තේරුම් ගන්න තරම් උන්ගෙ කොමන් සෙන්ස් වැඩ. ලංකාවෙ අපි අනිත් කල්චර්, ආගම් ගැන කොච්චර පිට ඉඳල විවේචනය, සංසන්දනය කරනවද? ඒක උන්ගෙ හැටි කියල හිතන්නවත් අපි අවංක නැ. ඒ අතින් උන් මාර ඉස්සරහින්.

    මොනව උනත් එල පොස්ට් එක. බඩ පිරෙනව ස්ටඩියට.

    ReplyDelete
  2. කතාවේ අවුල් කීපයක් පෙනෙනවා. එකක් තමා ලංකාවේ බෞද්ධයින් ලෝකය ගැන පට්ට අවබෝධයකින් ඉන්න නිසා උන්ගේ ෆැන්ටසි හා පරිකල්පන අඩපන වෙන බව. අනේ ඉතින් අපි නොදන්නා සත්යාවබෝධේ. ලංකාවේ බෞද්ධයින් කළුගල වලට [පිළිම නොවේ] අමුතු ගස් වලට දෘෂ්ටි මායා වලට වඳින ජාතියක්.

    දෙවැන්න තමා මීවනපලානේ ජයරත්නයන් ගේ වර්ගපූර්නිකාව සිරාවට ගැනීම. ඌ පැරොඩී ගේමක් දෙන්නේ. අවාසනාවට බොහෝ දෙනෙක් ඌව සිරාවට අරගෙන. ඌ ඒ කියන්නේ පට්ට සාර්ථකයි.

    අර සියල්ල භෞතිකවාදී ලෙස තීන්දු කරන්න හදනවා කියන එක නම ඇත්ත. හුදෙක් සුන්දර ෆැන්ටසි අරගෙන ඒවා මහා පොළොවේ පැල කරන්න හදන එක ලංකාවේ ජාතික රෝගයක්. රාවනා වාදීන් ජාතික චින්තකයින් විතරක් නොවේ මාක්ස්වාදිනුත් අඩු නැතුව කරන්නේ ඒක. වෙන රටවල එවුන සංකල්ප ලෙස හිතට අරගෙන රිසි පරිදි ප්‍රායෝගිකව යොදා ගන්න මේ දර්ශනයන් අපේ එවුන ගොස්පල් සත්‍ය ලෙස අරගෙන රට මකවලා හරි ඒ ෆැන්ටසිය පැල කරන්න හදනවා. දැනට ජීවිත ලක්ස ගානක් මේවාට කැප කරලා තවම ඉවර නැහැ.

    ReplyDelete