Sunday, October 13, 2013

මට මගේ නොවෙන..මගේම ආදරයක් තිබුණා..

‘ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති’ යි කියලා ෂෙලී කියපු කතාවක් කලූ තිරේ උඩ වැටෙනවා.
සමනළ සංධ්වනිය පටන් ගන්නෙ එතනින්.

සමනළ සංධ්වනි.... පුදුම ලස්සන නමක්. ජයන්තගෙ හැම චිත‍්‍රපටියකම මේ විදිහෙ විචිත‍්‍ර නමක් සහ යෙදුමක් තිබුණ. මේ නිකං ඉන්න මිනිස්සු සමහර නම් වල තේරුම් හොයන්න පටන් ගත්තා. ද`ඩුබස්නාමානය, ගරිල්ලා මාර්කටිං, අග්නිදාහය කටට මතක් වෙන උදාහරණ කීපයක්. වේදිකාවෙන් පටන් අරං ටෙලිවිෂන් එකට ඇවිත් එතනින් චිත‍්‍රපටි තිරය උඩට එනකල් තමන්ට සුවිශේෂ මොකද්දෝ හැඩය ඒ විදිහට රැුක ගන්න පුළුවන් වුණු එකම නිර්මාණකරුවා ජයන්තද මන්දා. (ඒත් තාම මට ද`ඩුබස්නාමානය වගේ ෆිල්ම් එකක් නං ජයන්තගෙන් දකින්න හම්බුනේ නෑ. ටීවී එකේ ගිය කතාවක් වුණත් ඒක අපේ සිනමාවට වඩා ගොඩක් ඉස්සරහ තැනක තිබුණ) එයා වෙස් මුහුණු, වෙද හාමිනේ වගේ වැඩ එක්ක ටීවී එකට ගොඩවුණේ වේදිකාවත් අරගෙන. (වෙද හාමිනේ ටයිට්ල් සීක්වන්ස් එක බලද්දි තාම ඇ`ග හිරි වැටෙනවා) සිනමාවට එනකල්ම එයා වැඩ කළේ මාධ්‍යයේ භාවිතාවන් වලට වඩා මාධ්‍යයට එයාගෙ භාවිතාවන් හඳුන්වාදෙන ප‍්‍රවේශයක. කෘතියක් කොච්චර දුර්වල වුණත් ඒ මොකද්ද ඇත්ත එක හින්ද ජයන්තගේ වැඩක් විඳින්න බැරි වෙන්නෙ නෑ. උදා විදිහට ගරිල්ලා මාර්කටිං වගේ චිත‍්‍රපටියක ආකෘතිමය පැත්තෙන් ලොකු පත හිල් තිබුණත් වෙන කිසිම කෙනෙකුගෙන් විඳින්න නොලැබෙන අධිතාත්විකවාදී අත්දැකීමක් එතන තියෙනවා. ඒක ලින්ච්ගෙ වගේ ප‍්‍රැක්ටිස් එකක්. මං මේ කියන්නෙ ලංකාවේ ලින්ච් යනු ජයන්ත චන්ද්‍රසිරියි වගේ ගොං කතාවක් නෙමෙයි.

වෙන කාගෙවත් සිනමා ප‍්‍රකාශනයක් එක්ක සසඳන්න බැරි අනන්‍ය ගුණය හින්දම ජයන්තගේ දේශපේ‍්‍රමය, සිංහල පිස්සුව එයාගෙ අයිඩියොලොජිකල් අවුල් එයාගෙ කෘති වලට බලපෑවෙ අඩුවෙන්. ඒ දේශපාලනික කාරණා අතික‍්‍රමණය කරන ප‍්‍රබල ආත්ම ප‍්‍රකාශනයක් එයාට තිබුණ. (උදා විදිහට රැුජිණ වගේ ටෙලියක එයාගෙ විද්‍යාව සහ පිටසක්වල ජීවීන් සහ කුන්ඩලිනී වගේ ඒවා එකට ගලපන්න එයා ගන්න ට‍්‍රයි එක බොළඳ වුණත් ෆන් එක තියෙන්නෙ වෙන තැනක)

දුටුගැමුණු ප්‍රොජෙක්ට් එක වාසනාවකට වගේ ගැස්සුනාට පස්සෙ ජයන්ත ‘සමනළ සංධ්වනිය’ ඔන් කරනවා (ආරංචියේ හැටියට). වෙන මොන දෙයක් නැතත් එයාට ස්තුතිවන්න වෙන්න  ඕන ආයිමත් සිනමාවට ආදරය කැඳවීම වෙනුවෙන්. මෙච්චර කල් යුද්දෙ අල්ලගෙන වියළි කලාපෙ පට්ට ගහපු සිනමාව ජයන්ත ශෘංගාරයෙන් පුරවනවා. සීතල කඳුකරයට අරගෙන යනවා. ඒකම ලොකු සතුටකින් සැහැල්ලූවකින් අපිව පුරවනවා.

කතාවෙ ඉන්ස්පිරේෂන් එක කියලා හිතන්න පුළුවන් ජියුසෙපී ටොර්නාටෝ ගේ(ඉතාලියානු උච්චාරණය වෙනස් වෙන්න පුළුවන්)  ‘මැලීනා’ එක්ක බලද්දි ඒ විශාල හැ`ගීම් පොදිය මුදාහරින්න තරමට ජයන්ත දක්ෂ වෙලා නෑ (ටෝර්නාටෝගේ කර උඩට නගින්න ජයන්තට බැරි වෙනවා) ඒ වගේම එයාගෙ විකාරරූපී අත්හදා බැලීම් දුර්වල දිශාවන්ට ගමන් කරන තැනුත් තියෙනවා. උදා විදිහට මේ කතාවෙ ප‍්‍රධාන ලොකේෂන් එකක් වෙන කුමාරි පාර්ක් එකේ පාදඩ චරිත දෙක. කතාවෙ වැදගත් සිද්ධි එක්ක ගැටගැහෙන මේ නොවැදගත් චරිත දෙක මාර වාතයක් වෙනවා.

තවත් පැත්තකින් මැලීනා ෆිල්ම් එකේ වගේම මේකෙදිත් යුද්දෙට සම්බන්ද පෙම්වතෙක් ඉන්නවා. මේ පෙම්වතා හරහා අතිමානුෂීය විදිහට ආදර සම්බන්ධතා පවත්වන උත්තර සිංහල සොල්දාදුවෙක් හදන්න ජයන්ත ට‍්‍රයි කරනවා. ඒ පූජනීය වූ නිල පේ‍්‍රමය හින්ද ඇත්තටම අපි කතාව පුරා වෙලී ඉන්න අප‍්‍රකාශිත පේ‍්‍රමය (ලල් එක) චොර වෙනවා.

ඒත් කලින් කිව්වා වගේ ජයන්තගේ වැඬේ තියෙන්නෙ මේ දුර්වලතා වලට එලියෙන්. එයා සංගීතය ඇතුලෙ ලොකු දෙයක් හොයන්න යනවා. කේමදාස මාස්ටර් නැති වීමත් එක්ක එයාගෙ හ`ඩ අහිමි වීමේ අඩුව ඇතුලට එයා කිමිදෙනවා. සංධ්වනිය පටන් ගන්නෙ කේමදාසගෙන් (ඒ සංගීත පරාසයෙන්). එතනින් එහාට ජයන්ත වෙනස් හ`ඩ ව්‍යවස්තාවකට ඇතුල් වෙන කෘතිය මේක. ඒක එක පැත්තකින් විරහවක්. අනෙක් පැත්තෙන් අලූත් ආදරයක්.

අමරසිරි පීරිස් කියන එක සිංදුවක් ෆිල්ම් එක පුරා හත් අට පාරක් තැනින් තැන ගහනවා. කෘතියෙ අන්තර්ගතයෙ නැති මූඞ් එකකින් ෆිල්ම් එකට අපිව සුපර් ග්ලූ කරලා තියෙන්නෙ. අනාත ස්ක‍්‍රිප්ට් එකක් දිගේ වුණත් අපි අපේ රොමාන්තික ගමන යනවා. පේ‍්‍රක්‍ෂාගාරය දකින්නෙ තනි චිත‍්‍රපටියක් නෙමෙයි. ඒ එක එක පේ‍්‍රක්‍ෂකයා ඒ ඒ අයගේ චිත‍්‍රපටියක ඇවිදින්න ගන්නවා. සමහර විට මේ තරං කාලයක් සිනමාවෙ දැණුන ඒ ආදරේ අඩුව හින්ද වෙන්න ඇති.

‘පව් බං... අම්මත් නැති තාත්තා’

අතරින් පතර එන සමහර දෙබසක් කවදාවත් අමතක නොවෙන ගානට පන්ච්.  ඒක ජයන්තගේ වැඩ වල හැටියක්. ඔත්තුකාරයා නාට්ටියෙදි එයා ලියන ‘ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් පුබුදවනු ලබයි’ කියන ලයින් එක මට තාම තැනින් තැනදි මතක් වෙනවා.

මේ රොමාන්තික ප්ලොට් එක අපි හැමෝගෙම ප්ලොට් එකක්. ඒ කලාපෙ ඇතුලෙ අපි හැමෝටම කතාවක් තියෙනවා. වැඩිහිටි ගෑනියෙක් එක්ක පළවෙනි වතාවට ඇතිවෙන රහස් පේ‍්‍රමය. ඒ හිරිවැටීම. හැම එකක්ම මෙතන තියෙනවා. ඒත් අනුරාගය නෑ (මිසින්ග්) මැලීනා ෆිල්ම් එක වඩා පරිණතයි කියලා මතක් වෙන්නෙ ඒකයි.

මට මගේ නොවෙන
මගේම ආදරයක් තිබුණා.....

අපි කාටද එහෙම නැත්තෙ? කතාව දුර්වල ගෙතීමක් වුණත් කතාවට බැහැරින් තමන්ගෙ ජීවිතය හා සම්බන්ධ ඇත්ත නොස්තැල්ජියාවන් ගොන්නක් ජයන්ත කැන්වස් එක උඩට ගේනවා කියලා දැනෙනවා. තිරය උඩ පේන බොරුවට යටින් ඒ ඇත්ත වැඩ කරන්න ගන්නවා. සමනළ සංධ්වනියට මං අහුවුණේ ඒක හොඳ සිනමාවක් නිසා නෙමෙයි, ඒක මට පැරාසිනමා අත්දැකීමක් වුණ හින්ද.

මට මගේ අතීත හීන එක්ක ගත කරන්න ඒ තිරය උඩ ඉඩක් සහ සංගීතයක් තිබුණු හින්ද. ඒ පැය එකහමාර හෝ දෙක අපි ගී ගයමින් වේදනාව ඉගෙන ගන්නවා.

ජයන්ත එයාගෙ නිර්මාණය පටන් ගන්නෙ එස්එම්එස් යුගයට පෙර කියලා සටහනක් එක්ක.  මට ලූයිස් සීකේගෙ කතාවක් මතක් වුණා. ලූයිස් සීකේ කියන්නෙ මෙක්සිකන්-ඇමරිකන් ස්ටෑන්ඞ් අප් කොමඩියන් කෙනෙක්. එයා ස්මාර්ට් ෆෝන් (එම්එම්එස් යුගය) සහ ඒ හරහා අපි නිතර සම්බන්ද වී ඉන්න එක ගැන ටිකක් සීරියස් විහිළුවක් කරනවා.

‘මේවා (ස්මාර්ට් ෆෝන්) ‘ළමයින්ට’ විස සහිත දේවල් මං කියන්නෙ. දැන් උන් කතා කරනකොට මූන බලන්නෙ නෑ. ඒකෙන් ඒ ගොල්ලො අනිත් කෙනාව තේරුං ගන්නෙ නෑ. ළමයි කියන්නෙ කොහොමත් නරුම ජාතියක්. මොකද ඒ ගොල්ලො අත්හදා බලමින් ඉන්නෙ. නිකං හරි ළමයෙකුට හිතුනොත් තව මහත ළමයෙකුට මූනටම කියයි ‘තඩියා’ කියලා. එතකොට අර මහත ළමයාගෙ කට ඇද වෙනවා. මූණ බෙරි වෙනවා. ඔන්න එතකොට අර තඩියා කියපු ළමයා තේරුම් ගන්නවා මේ වගේ කැත මූනක් බලන්න වෙනවා අර වගේ කතාවක් කිව්වම කියලා. ඒත් එයා පටන් ගන්නෙ අර නරුම තැනින්. ඉතිං ඒ ගොල්ලො ස්මාර්ට් ෆෝන් එකෙන් අර වගේ ළමයෙකුට ‘තඩියා’ කියලා ටෙක්ස්ට් කළොත් මොකද වෙන්නෙ? ඒ ප‍්‍රතිචාරය ලැබෙන්නෙ නෑ. එතකොට ඌ හිතනවා ‘ෂා, මේක ෆන්. මට  ඕන එකෙකුට  ඕන එකක් කියන්න පුළුවන් කියල’

ස්මාර්ට් ෆෝන් හින්ද මිනිස්සු විශේෂයෙන් ළමයි ඇත්ත ප‍්‍රතිචාරයෙන් දුරස් වෙනවා කියන එකයි ලූයිස්ගෙ අදහස. එහෙම ඇත්ත මිනිස් ප‍්‍රතිචාරයෙන් දුරස් වීම (සහ මගහැරීම) නරුම සමාජයක් බිහි කරන්න හේතු වෙනවා කියලා එයා තව එහාට පැහැදිලි කරනවා. මට ගොඩක් ආකර්ශනීය වුනේ ෆෝන් එක නිසා තමන්ට තමන් මගහැරීම පැහැදිලි කරන කතාවට. ගොඩක් ගැඹුරු සංවේදනා සරල විහිළු කතා වලින් කියන්න පුළුවන් එක ලූයිස්ගෙ විශේෂ දක්ෂකමක්.

‘ඔයාට තියෙන්න  ඕන වෙන කිසි දෙයක් නොවී ඔයා වෙන්න හැකියාවක්. ස්මාර්ට් ෆෝන් වලින් මේ හැකියාව උදුර ගන්නවා. ඔයාට තව දුරටත් නිකං ඔයා විදිහට නිකං ඉඳගෙන ඉන්න බෑ. ඔයා ෆෝන් එකත් එක්ක මොකක් හරි දේකට පැටලෙනවා.  මොකද මේ හැම දේකටම යටින් අපි හැමෝගෙම ඇත්ත පැවැත්මක් තියෙනවා. ඒක හිස්. අපි මේ සදාකාලික හිස්කම එක එක දේ කරමින් වහගෙනයි ඉන්නෙ. මේ අවට කිසි දෙයක් ඇත්ත නෙමෙයි ඇත්තටම අපි තට්ට තනියම කියන දැනීම අපි හැමෝගෙම පතුලෙ තියෙනවා.

සමහර වෙලාවට... අපි තනියම වෙන කිසි දෙයක් නොබලා ඉන්න වෙලාවක... වාහනයක් දිග පාරක් දිගේ තනියම එළවගෙන යන වෙලාවක.. ඔන්න ඒක එලියට එනවා. ‘මං තනියම. මට කවුරුවත් නෑ...මං හිස්...’ මේ දුක ගලන්න පටන් ගන්නවා. ජීවිතේ කොහොමත් දුකක්. ඒ ගත කිරීමම දුකක්.

ඒකයි අපි යන ගමන් කාට හරි ටෙක්ස්ට් කරන්නෙ. මට හොඳටම ෂුවර් 100%ක් මිනිස්සු ඩ‍්‍රයිව් කරන්නෙ ටෙක්ස්ට් කරන අතරෙ. ඉතිං ඒ ගොල්ලො මිනිස්සු මරනවා. ගොඩක් අය මිනීිමරා ගන්නවා කාර් වලින්. ඒත් මිනිස්සු තීරණය කරලා තියෙනවා අර තනිකමට මූන දෙනවට වඩා ජීවිත අවදානමක් ගන්න එක වුණත් හොඳයි කියල’

එතකොට ලූයිස් කියනවා එයා දවසක් බෲස් ස්ප‍්‍රින්ස්ටන්ගෙ ජන්ගල්ලෑන්ඞ් අහගෙන කාර් එකේ තනියම ගිය ගමනක් ගැන. ඒ සිංදුව එයාට ගොඩක් දුක හිතෙව්වලූ.

‘ඔන්න මට දුක හිතෙනවා. මට  ඕන වුනා ඉක්මනට ‘හායි’ කියල ටෙක්ස්ට් එකක් දාලා 50 දෙනෙක් ලයික් වෙනකල් ගනං කරන්න. ඒත් මං මට කියා ගත්තා. ‘දුකට ඉඩ දෙන්න. දුක් වෙන්න’
‘එකපාරට ලොකු ට‍්‍රක් එකකින් වගේ ඔයාව හප්පගෙන යන්න ඒ එන දුකට ඉඩ දෙන්න’
මං එහෙම කළා. කාර් එක පැත්තක නවත්තගෙන බැල්ලියෙක් වගේ ඇ`ඩුවා. ඒත් ඒක මාර ලස්සනයි. දුක කියන්නෙම කවියක්. දුක වෙලාවල ජීවත් වෙනවා කියන්නෙ ඔයා වාසනාවන්තයි.

ඔන්න ඊට පස්සෙ මාව සතුටෙන් පිරෙන්න පටන් ගන්නවා. මොකද දුක හැ`ගීම් වලින් පිරිලා යනකොට ඇෙ`ගන්ම ඊට ප‍්‍රතිවිරුද්ද හෝමෝනත් නිදහස් කරන්න පටන් ගන්නවා. සතුට කඩාගෙන එනවා දුක මුණගැහෙන්න. ඒක හින්ද මට ඇත්තටම දුක්වීම ගැන දැණුනෙ සතුටක්. ඇත්තටම දුක වින්දොත් විතරයි සතුටට ඇතුල්වෙන්න ඉඩක් ලැබෙන්නෙ. ඒක ඒ විදිහෙ ටි‍්‍රප් එකක්.

ඒත් අපිට අර පුංචි දුක ඉවසන්න බැරි හින්ද අපි ටක් ගාලා ටෙක්ස්ට් එකක් ගහලා ඒකෙන් මාරු වෙන්න බලනවා. එතකොට අපිට කවදාවත් සම්පූර්ණ දුකක් හෝ සම්පූර්ණ සතුටක් විඳින්න ලැබෙන්නෙ නෑ. අපි අපේ ප්‍රොඩක්ට් එකක් එක්ක සෑහීමට පත් වෙනවා විතරයි. එහෙමම ඉඳලා මැරිලා යනවා. ඒකයි මං මගේ ළමයින්ට නම් ස්මාර්ට් ෆෝන් අරං දෙන්නෙ නැත්තෙ’

ලූයිස් එයාගෙ කතාව ඉවර කරනවා. අපිට අපිව මුනගැහෙන හුදකලා මොහොත අහිමි කිරීමෙන් අපි වින්දනයක් අහිමි, ප්‍රොඩක්ට් පමණක් පාවිච්චි කරන නිර්මානුෂිකකරණයකට ලක් කිරීම නිසා එයා මේ ප‍්‍රචණ්ඩ ‘ඩිජිටල් සමාජකරණයට’ විරුද්ද වෙනවා. එක පැත්තකින් ඒක අපිට අනෙකාගේ ප‍්‍රතිචාරය සහ අනෙකාගේ පැවැත්ම අහිමි කරනවා. අනිත් පැත්තෙන් අපිට අපිව අහිමි කරනවා.

ලූයිස් මේ කරන විහිළුව විහිළුවක්මත් නෙමෙයිද කියලා මොහොතකට බය හිතෙනවා. එතකොට අපි ඇහැරෙනවා. ලූයිස් සීකේගේ කොමඩි වල අදහස ඒක. එයාගෙ විහිළුව තමයි ගත කරන ජීවිතය.
එතකොට ජයන්ත චිත‍්‍රපටියෙ එස්එම්එස් කාලෙට කලින් කියලා ලියන්නෙ ඊට පස්සෙ මේ විඳින විඳවන රොමාන්තිකය නෑහී ගිය නිසාද? ඊට පස්සෙ අපිට මේ සොඳුරු දුක අහිමි වුණු නිසාද?

-චින්තන ධර්මදාස

8 comments:

  1. * ජුසෙප්පේ තොර්නාතෝරේ

    ReplyDelete
  2. එතකොට මේක "මලෙනා" film එකේ කොපියක්ද?

    ReplyDelete
  3. Message in Bottle , Reader kiyana film dekae ekathuwak thiyanawa. e tharam gaburata gihilla na.

    ReplyDelete
  4. ටයිට්ල් සීක්වන්ස් කියන්නේ මොකක්ද ? දන්න කෙනෙක් කියලා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  5. A ''title sequence'' is the method by which cinematic films or television programs present their title, key production and cast members, or both, utilizing conceptual visuals and sound. It usually follows but should not be confused with the opening credits, which are generally nothing more than a series of superimposed text.

    ReplyDelete
  6. Thank you very much Lasitha. Your explanation is easy to understand. Thanks again.

    ReplyDelete
  7. සමනළ සංධ්වනිය ඇතුළේ අපි ආදරේ කරන හැම චරිතයක්ම හොල්මන් කරනවා කියන සත්‍යය නිසා නෙවෙන්න, වෙනත් වචන වලින් කියනවා නම් අපේ පෙට්ටගම් වල ඉන්න ඇටසැකිලි නිසා නොවෙන්න, අපි මේ කෘතියට මේ තරම් ආසක්ත වෙලා ඇලවෙන්නේ නෑ. අපි අපේම මතකයන් ගෙන් වෙන්වෙලා මේක බලන්න පුළුවන් නම්, මම හිතෙන්නේ කාට වුණත් මේකෙ හිස්තැන් ටික පැහැදිලිව පෙනේවි. නමුත් පැය දෙකක ධාවන කාලය ඇතුළේ ඒ හිස්තැන අපි අපිම පුරවගන්නවා. ඒ හිස්තැන පුරවගන්න තරම් දේවල් ඕනෙතරම් අපට තියෙනවා. අන්න එතනයි රහස. ජයන්ත අපිට ෆිල්ම් එකක් හදල දෙන්නේ නෑ. අපි අපේ ෆිල්ම් එකක් හදාගන්නවා.

    ReplyDelete