Saturday, February 22, 2014

කළු බල්ලො බුරන හඳපානට ඔයත් එන්න.

මං ලියන්න ඉඳගත්තා. ඒත් ලියන්න ටිකක් මූඞ් එක පරක්කු වැඩියි වගේ. අනිත් පිටුවෙන් වැහිලා තිබ්බ ෆේස්බුක් පිටුව ඉස්සරහට ඇදගත්තෙ මූඞ් එකක් එනකල් නන්නත්තාර වෙන්න. ඉස්සර කොතන හරි තැනක මට මතක විදිහට ජගත් වීරසිංහ වෙන්න  ඕන, කියනවා හිත ටිකක් නිවාගන්න  ඕන වුණාම එම්සී එකේ නියෝන් ලයිට් එලි මැද්දෙ ටිකක් ඇවිදින්න යනවා කියල. සමහර විට ජගත් වීරසිංහ එහෙම දෙයක් කියල නැතුවත් ඇති. මගේ මොකක් හරි වැරදි විදිහට සම්බන්ධ වෙච්ච මතකයක් වෙන්න ඇති. ඒත් ඒකෙ තේරුම, බෝ මළුවකට හරි, පන්සලකට හරි, මුහුදු වෙරළ හරි නැතුව නියෝන් කලබලය මැද්දෙ සංසුන්බව හොයන එක...මාර්කට් එක මැද්දෙ නිවන හොයන එක.. ෆේස්බුක් එක දැන් ඒ වගේ මළුවක්. හිත නිවෙන කල් සක්මන් කරන්න පුළුවන්. එකම දේ අනවශ්‍ය අයව අතුගාලා හොඳට මේන්ටේන් කරන්න  ඕන.

අනිත් පැත්තට ෆේස්බුක් එක හරහා මට ලැබෙන මගේ ලෝකය. ඒක ඇත්තටම මට එලියෙ මුණගැහෙන ඇත්ත ලෝකෙට වඩා ගොඩක් විශාලයි. අපි නිතර කතා බහ කරන්න, අදහස් හුවමාරු කරන්න කැමති අපේ කිට්ටු සම්බන්ධතා විතරක් යාන්ත‍්‍රිකව ඉතුරු කරලා ටිකෙන් ටික දුරස් අය දුරස් කරලා දාන එක. කවදාවත් ඒක යාන්ත‍්‍රිකව නොවී නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හිතන් ඉන්නෙ අපි හැමෝවම ආශ‍්‍රය කරනවා කියල. අපි අත්හරිමින් ඉන්නවා කියලා තේරුම් ගන්න අපි අකමැතියි. ඒත් කතා කරන්න දෙයක් නැති වුණු යාලූවො කොච්චරක් අපිට ඉන්නවද කියල ෆේස් බුක් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තට කවදාවත් මුණ නොගැහුණා වුණත් කතා කරන්න ගොඩක් දේවල් තියෙන යාලූවො අපිට කොච්චර ඉන්නවද කියලත් තේරුං ගන්න පුළුවන්. කොහොම වුණත් අන්තිමට එතන අපිට අපේ සංස්කෘතියක් හැදෙනවා. තම තමන්ගෙ විදිහට, තම තමන්ගෙ පිස්සුවට ගැලෙපන විශ්වයක්. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් අහම්බෙන් ආපු ලින්ක් එකක් දිගේ නාඳුනන ෆේස් බුක් කලාපෙකට වැටෙන සමහර වෙලාවට. බල්ලට බඩ යනවා කියන එකටත් ලයික්ස් සීයක් විතර.

කතාව කියන්න ආවෙ ෆේස් බුක් එක ගැන නෙමෙයි. ෆේස් බුක් එකෙන් ඉස්තෙපාන් මට එවපු සෙන් කතාවක් ගැන. සෙන් කියන එක ඇත්තටම අපිට මගඇරෙන්නෙ අපි ඒක  ඕනවට වඩා ලොකුවට බලන්න හදන හින්ද කියල මට හිතෙන්නෙ. උදා විදිහට අප‍්‍රිකාවෙ ඈත කෙළවරක ගෝත‍්‍රිකයෙක් අපිට මුණගැහෙනවා කියල හිතන්න. එයා අපිත් එක්ක ඒ පොලොව ගැන මොනවා හරි කතා කරනවා.

‘උදැල්ලකින් ගහන තැන ඉඳලා ලිඳක් හාරන ගැඹුර වෙනකල් මං පොලොව ගැන දන්නවා’ එයා අපිට කියනවා. මේක අපිට මාර දාර්ශනික කතාවක්. මාර ගැඹුරුයි. ඒත් ඒ මනුස්සයා ඇත්තටම කරලා තියෙන්නෙ ඒ වැඩ දෙක විතරයි. උදැල්ලෙන් කොටන එකයි, ලිඳක් හාරන එකයි. පොලොව ගැන එයා දන්නෙ එච්චරයි. බුද්ධාගමේ වත් නං අඩු ගානෙ පොලොව යට තියෙන අපාය ගැන දැනගෙන ඉන්න ඉඩ තිබුණ.

මේ විදිහටම සෙන් ගැනත් අපි අපේ බෞද්ධ හෝ වෙනයම් දාර්ශනික අවබෝධයක් ඇතුලෙන් තේරුම් ගන්න යන හින්දම ඒකෙ සෙන් නැති වෙනවා. මේ සෙන් කතාව ඒක හොඳටම කියනවා.
\
මෝකුගන් කියන සෙන් ගුරුවරයා එයා මැරෙන මොහොත වෙනකල් කවදාවත් හිනාවෙන්න දැනගෙන ඉඳලා නෑ. ඔන්න එයා මැරෙන වෙලාවෙදි කතා කරනවා ශිෂ්‍යයන්ට.

‘උඹලා දැන් අවුරුදු දහයක් තිස්සෙ මගේ ළ`ග පුහුණු වෙනවා. කියාපල්ලා දැන් උඹලා දන්න සෙන් වල නියම තේරුම. මේක හරියට කියන එකා මෙතන ඉඳන මගේ ලෝගුවයි පාත්තරෙයි බාර ගන්න  ඕන’
හැමෝම බලන් ඉන්නවා, එකෙක්වත් එන්නෙ නෑ ඉස්සරහට.

සෑහෙන කාලෙක ඉඳන් එයා ළ`ග ඉගෙන ගන්න ‘එන්කො’ විතරක් ඉස්සරහට එනවා. ඇවිත් මේසෙ උඩ තිබ්බ බෙහෙත් වීදුරුව අ`ගල් කීපයක් ළං කරනවා. ඒක තමයි එයාගෙ උත්තරේ.

‘අවුරුදු දහයක් තිස්සෙ මෙච්චරද ඉගෙන ගත්තෙ?’
මෝකුගන් යක්ෂාවේෂ වෙනවා. එන්කො ආයිමත් එනවා. කිසි කතා බහක් නැතුව බෙහෙත් වීදුරුව ආපහු තිබ්බ තැනට තල්ලූ කරනවා.

මෝකුගන්ට ජීවිතේ පළවෙනි පාරට පැලෙන්න හිනා යනවා. ‘උඹ යකෙක්’.. එයා එන්කෝට කියනවා. ‘උඹලා අවුරුදු දහයකට මගේ කිසි දෙයක් දැකලා නෑ. මුං ටික උඹට බාරයි’ මෝකුගන් සතුටෙන් මැරිලා යනවා.
මේ කොආනයේ තේරුම මොකද්ද කියල හොයන්න ගිහින් වැඩක් නෑ. ඒකට පිටින් ඉඳන් ඒක කියවලා වැඩක් නෑ. එතන ඒ මොහොතෙ අර මෝඩ ශිෂ්‍යයො ටික එක්ක ඉන්නයි  ඕනෙ. එතන ඒ වෙන දේ විතරයි. එතකොට අපිට එන්කොව පේනවා. ඉගෙන ගත්ත සෙන්වල තේරුම හොයන්න ද`ගළන අපි සෙට් එක මැද්දෙ ඌ විතරක් ඒ මොහොතට අදාල අවශ්‍ය දේ කරනවා.
ඉස්තෙපාන් ගේ කතාව එක්ක ටිකක් දුර ගහගෙන ගියාට මං හිටියෙ වෙන දෙයක් ගැන හිත හිත. ඒ චාර්ල්ස් මැන්සන් ගැන.

‘චාර්ල්ස් මැන්සන් කියන්නෙ 1934 ඉපදුන ඇමරිකානු අපරාධකාරයෙක් සහ සංගීතඥයෙක්. (ඒක මරු සුසංයෝගයක්. කලාව සහ මිනීමැරීම) මැන්සන් ෆැමිලි කියල 1960 ගණන්වල කැලිෆෝනියාවෙ හැදුන කොමියුනයට නායකත්වය දුන්නෙ එයා. මිනීමැරුම් හතකට සම්බන්ධව කුමන්ත‍්‍රණය කළා කියල එයා වරදකරු වෙනවා. ෂැරන් ටේට් (ඇමරිකානු සෙක්ස් සිම්බල් එකක් සහ රෝමන් පොලාන්සිකිගේ බිරිඳ) සහ තවත් හතර දෙනක් එක ගෙදරක, අනිත් දවසෙ තවත් දෙන්නෙක්. මේ ඔක්කොම කරන්නෙ ඒ කණ්ඩායමේ අය එයාගෙ උපදෙස් යටතේ’
විකිපීඩියා පිටුවෙ පටන් ගැන්මෙදි මැන්සන් ගැන අඳුන්නලා දෙන්නෙ මෙහෙමයි. තව දිගට විස්තර යනවා.

ඒත් පොදුවෙ මැන්සන් යනු දරුණු අපරාධකරුවෙක්, මානසික රෝගියෙක්, කුඩුකාරයෙක් නැත්තං විපරීතයෙක් වගේ තත්වයකින් එහාට මැන්සන් අඳුනාගැනීමක් සිද්ද වෙන්නෙ නෑ. ඒත් කවුරු හරි චාර්ල්ස් මැන්සන්ගෙ අදහස් සහ යූ ටියුබ් එකේ එයාගෙ වීඩියෝ බලාගෙන ගියොත් (පූර්ව නිගමනයක් නැතුව) මේ මීඩියා වලින් ගොඩනගපු තේරුමක් නැති යක්ෂයාට පිටින් සාමාන්‍ය නොවන මොකක් හරි ගැඹුරක් මේ චරිතයේ තියෙනවා කියල දැනෙන්න ගන්නවා. ඒ අදහස් හෝ අරගලයන් ප‍්‍රකාශ වෙන විදිහෙ ගොඩක් අර්බුද තියෙන්න පුළුවන්. ඒත් දරුණු සිතන්නෙක් විදිහට මැන්සන්ව මගඅරින්න බෑ කියල මට හිතෙනවා.

එක එක මාධ්‍යවේදීන් ඇවිත් මේ කරන සාකච්ඡුා වලදී මැන්සන්ගෙ එක එක ස්වරූප දකින්න ලැබෙනවා. සමහර වෙලාවට එයා හොඳටම පීඩාවෙන්, කේන්තියෙන්, අවුල් වෙලා ඉන්න තැන් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට එයා හරි තියුණු විදිහට කතා කරනවා. ගොඩක් සවිඥාණක සහ විවෘත විදිහට දේවල් දකිනවා.
විශේෂයෙන්ම හැම මාධ්‍යවේදියෙක්ම පාහේ එයාව අන්නන්න බලාගෙන ප‍්‍රශ්න කරද්දිත්. එක දෙයක් හරියටම පැහැදිලියි. චාර්ල්ස් මැන්සන් කියන්නෙ සාමාන්‍ය සමාජ පුරවැසියෙකුට වඩා නම් අතිශයින්ම දියුණු සිතන්නෙක්.

මැන්සන් කියන්නෙ ජීවිතෙන් වැඩි කාලයක් හිරගෙදර ගත කරන මනුස්සයෙක්. අවුරුදු 09දි එයා මුලින්ම හිරේ යන්නෙ. රැුකබලාගන්න පවුලක් හෝ කිසි කෙනෙක් නැතුව මැන්සන්ට සිද්ද වෙනවා මහපාරෙ ජීවත් වෙන හැටි ඉගෙන ගන්න.

කිසිම විධිමත් අධ්‍යාපනයක් නැති මේ මනුස්සයා කතා කරද්දි ඒ අදහස් අතිශය දාර්ශනික ඉසව් වලට ගමන් කරනවා. හොඳට බැලූවොත් බෞද්ධ විශේෂයෙන් සෙන් නැඹුරුවක සිතීමක් ගොඩක් වෙලාවට මැන්සන් අවදි කරනවා.

එක තැනකදි මාධ්‍යවේදියෙක් අහනවා, මැන්සන් හිරේ ඉන්න කැමතිද අකමැතිද කියල.
‘මං කැමති වෙන්නෙ වත් අකමැති වෙන්නෙ වත් නෑ..’ මැන්සන් උත්තර දෙනවා.

මෑතක මං මගේ ෆේස්බුක් කවර් ෆොටෝ එක කළෙත් මැන්සන්ගෙ ඒ වගේ කතාවක්.
‘තේරුමක් නැති එකම තේරුමක් ’

ඒත් මාධ්‍යවේදීන් හෝ මැන්සන්ව ප‍්‍රශ්න කරන අය, මං හිතන්නෙ මැන්සන් ගැන කියවන අයවත් එයා මේ පේලි අතර කියන කතාව සීරියස් ගන්නෙ නෑ.

මේ ඉන්ටවිව් එකේදිම මාධ්‍යවේදියා අහනවා මැන්සන්ගෙන් එයා යම් දවසක නිදහස් වුනොත් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ කියල. මීට අවුරුදු හයකට පස්සෙ තවත් මාධ්‍යවේදියෙක් මේ සුපුරුදු ප‍්‍රශ්නෙම ලාබෙට අහනවා.
ඒත් මැන්සන්ට දෙන්න තියෙන්නෙ එක උත්තරයක්. එයා හු`ගක් හිතලා දෙපාරම ඒ උත්තරේ දෙනවා.

‘මං එලියට ගිහින් තණ බිස්සක ඉඳගෙන ඉඳීවි’

මං මේ ටිකේම චාර්ල්ස් මැන්සන් ගැනම (මැන්සන්ගෙ ප‍්‍රවෘත්ති නෙමෙයි, එයා දේවල් දකින විදිහ) කියවගෙන ගිය හින්ද ඒ වගේ මතක් වෙන ලස්සන තැන් කීපයක් නිදැල්ලේ අරින්නං. ඇයි අපි මැන්සන් ගැන කියවන්නෙ? මං දන්නෙ නෑ. ඒත් මැන්සන් කියන්නෙ එක දොරටුවක්. සමාජයක් කියල එකතු කරලා වියලා ගැටගහපු ලෝකෙ ඇතුලෙ එහෙම එලියට ඇරෙන දොරවල් තියෙන්නෙ කීපයයි. ජේසුන්, බුදුන් වගේ එහෙම ඇරිච්ච දොරවල් මේ වෙද්දි වහලා කොන්ක‍්‍රීට් දාලා. තිබ්බ තැන්වත් හොයා ගන්න බෑ. අතරින් පතර පාදඩ සාන්තුවරයො කීපදෙනෙක් විතරයි ඉතුරු.

තව එක තැනකදි එයාගෙන් අහනවා එයාගෙ ළමා කාලය සතුටින්ද දුකෙන්ද ගතවුනේ කියල.
‘මට ඔයගොල්ලොන්ට වගේ යින් යෑන්ග් විදිහෙ දේවල් නෑනෙ’

‘ගිහින් ලොකු ගලක් උස්සන් ඇවිත් මේසෙ මැද්දෙන් තියන්න. ඒ මේසෙ මැද තියෙන ගල්ගෙඩිය මම’
ගොඩක් වෙලාවට මේ කතා අර්ත ගැන්වෙන්නෙ මැන්සන්ගෙ පිස්සුව හරි, විපරීත හරි දේවල් විදිහට. ඒත් මේ කතාම බෞද්ධ භික්ෂුවකගේ කටින් කියවුනොත් එයා ඵලාවබෝධය ලත් කෙනෙක් කියල ලොකු ජරමරයක් වේවි.

 ජීවිත කාලයක් පුරාම හුදකලා හිර මැදිරියක් ඇතුලෙ ඉඳිද්දි එයාට යෝගියෙක් වනවාසීව බවුන් වඩමින් පසක් කර ගන්න හදන දේම පසක් වුණා වෙන්න පුළුවන්. සමාජයෙන් සහ සමාජ ප‍්‍රතිමානයන්ගෙන් ගැලවීම. එතනින් එහාට සංස්කරණය කළ ජීවිතයක් හෝ මරණයක් නැති වීම. ඒක අවබෝධයද, නිර්වාණයද මොකක්ද කියලා තේරුම් කරනවට වඩා ජීවිතය දිහා පොදු ව්‍යවහාරික තර්කයෙන් පිට ඉඳන් බලන්න පුළුවන් වීම, නිදහස විදිහට තේරුම් ගන්න මං කැමතියි. (හරියට ඉන් ටු ද වයිල්ඞ් ෆිල්ම් එකේ වගේ)
එයාගෙ මරණ පලකයේ මොකක් ලියන්නද කියල එක පාරක් කෙනෙක් අහනවා.

‘මං ඒ හීනෙ ජීවත් වෙන්නෙ වත් නෑ. මැරෙනවා හරි ජීවත් වෙනවා හරි කියන හීන වල කිසිම තේරුමක් නෑ’
ගහක අතු ස්වර්ගය කරා වැඩෙන්නෙ ගහක මුල් අපාය කරා ඇදෙද්දියි කියල නීට්ෂෙ කියල තියෙනවා. සමාජය කියන මිත්‍යාවෙන් උපතින්ම එලියට විසිවුණු මැන්සන් අඳුර හරහා ආලෝකයට ළ`ගා වුණා වෙන්න පුළුවන්.

මැන්සන් හරි ලස්සන කතාවක් කියනවා. එයා කියන්නෙ සමාජයට චාර්ල්ස් මැන්සන් කියල මුණගැහුනෙ සමාජය විසින්ම නිර්මාණය කළ චරිතයක් කියල. තමන්ගෙ චරිතය ගැන එයා කියන්නෙ කැඩපතක් ඇතුලෙ පේන ප‍්‍රතිබිම්බයක් විදිහට (මෑන් ඉන් ද මිරර්). ඒ හැම අපරාධයක්ම ක‍්‍රියාවක්ම (අපේ) පරාවර්තනයක් විතරයි.

එක වෙලාවක (ඇත්තටම එක වෙලාවක නෙමෙයි නිතර නිතර) මැන්සන්ගෙන් මරණ ගැන ප‍්‍රශ්න අහනවා.
‘උඹලා මිලියන 50ක් මරලා දාන්න මට පුළුවන් වුණා නම් මට මගේ සත්තු, මගේ වතුර, ගහකොළ, වාතය, මගේ වන ජීවිතය බේරගන්න තිබුණ’

මැන්සන් කියන කතාව ප‍්‍රශ්න අහන්නාට තේරෙන්නෙ නෑ. එයා දිගටම මිනීමැරම් ගැනම අහනවා.
‘ඔයාට  ඕන ලේ. ඔයාට  ඕන බය. ඔයාට  ඕන මරණය විකුණන්න’ මැන්සන් මාධ්‍යවේදියාට කියනවා.
වෙන විදිහක පැවැත්මකදි චාර්ල්ස් මැන්සන් කියන්නෙ කවියෙක්, සංගීතඥයෙක්, දාර්ශනිකයෙක්, විප්ලවකරුවෙක් වෙන්න තිබුණ. ඒත් මේ පැවැත්මෙ එයාව මිනීමරුවෙක්, යක්ෂයෙක්, පාදඩයෙක් විදිහට බ‍්‍රෑන්ඞ් කරන්න අපි තීරණය කරලා ඉවරයි.

මං කියන්නෙ මේ අපරාධ වලට මැන්සන් වැරදිකරුද නිවැරදිකරුද වගේ කතාවක් නෙමෙයි. ඒ ගැන මං දන්නෙ නෑ. මං එතන හිටියෙ නෑ. ඒත් මේ වෙද්දි මැන්සන් දන්නවා එයා ජීවිත කාලෙටම හිරෙන් එලියට නොඑන වග. තව දුරටත් එයාට බොරු කියන්න හෝ රැුවටිලි කරන්න හේතුවක් නෑ. එයාට ලේසියෙන්ම පාපොච්චාරණය කරන්න තිබුණ.

‘මං කොහේ යන්නද? මං හැමදාම හිටියෙ මෙහේ. හිරේ කියන්නෙ මගේ ගෙදර’
‘හිරේ කියන්නෙ මොකක්ද? ඔයාගෙ ඔලූවෙයි හිර ගේ තියෙන්නෙ. ඔයා තමයි දරුවා හිරේ ඉන්නෙ. මොකද ඔයා හිතනවා එමෙ දෙයක් තියෙනවා කියල’
-මැන්සන්

අපරාධය සහ ද`ඩුවම කියන සීමිත ඉරි ඇතුලෙ චාර්ල්ස් මැන්සන් වගේ චරිතෙ තේරුං ගන්න බෑ කියල මට හිතෙනවා. එයා ඊට වඩා ගොඩක් එහා ගිහින්. ක‍්‍රියාව සහ ප‍්‍රතික‍්‍රියාව කියන දෙක අතරට වඩා, හේතුව සහ ඵලය අතර සම්බන්දෙට වඩා නිදහස් වියුක්ත හිතීමක්  ඕන වෙනවා සමහර තැන්වල ගැඹුර දකින්න.
චාර්ල්ස් මැන්සන් කියන්නෙ අන්ධකාරයේ මුනිවරයෙක්.

‘ඒකට ජේසුස් කියපල්ලා. මුහම්මද් කියාපල්ලා. න්‍යෂ්ටික මනස කියපල්ලා. ලෝක විනාසය කියපල්ලා , උඹලාගේ හදවක කියපල්ලා. උඹලා කැමති  ඕන දෙයක් කියපල්ලා. මට ඒක සංගීතය. ඒක තමයි ජීවිතේ බලාපොරොත්තුව’

-චින්තන ධර්මදාස



2 comments: