Saturday, March 22, 2014

වැදගත් වන්නේ ගමන මිස ගමනාන්තය නොවේ...

හඳගමගේ අලූත් චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිත විදිහට ධර්මසිරි සහ ස්වර්ණා ගන්න යනවා කියන කතාව ඉන්ටර්නෙට් එකේ පැතිරුණා. කවුරු හරි කෙනෙක් නිර්ණාමිකව ඒ ගැන ටිකක් හිතන්න  ඕන අදහසක් පළ කරලා තිබුණ.

‘ස්වර්ණාට හා ධර්මසිරිට ලාංකේය සිනමාව දැන් ගොඩදැමිය හැකිද?’ කියල ඒ ලියමනෙන් ප‍්‍රශ්න කරනවා. හංසවිලක් ගැන තියෙන සහ නැවත නැවත වමාරමින් කන, කළු සුදු නොස්තැල්ජියාවත් එක්ක ධර්මසිරි හා ස්වර්ණා යලිත් සිනමාවට කියන එක කික් එකක් දැනෙන නිව්ස් එකක් වෙන්න පුළුවන්. හඳයාගේ ෆිල්ම් එක පැත්තෙනුත් මේක පබ්ලිසිටි වලට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒත් මේ නිර්ණාමිකයා මෙතන මතු කරන තර්කය වැදගත් වගේම ප‍්‍රායෝගිකයි. විශේෂයෙන් නැවත මේ සුසංයෝගය රොමාන්තික වැළඳගැනීමක් හින්දම මේ ප‍්‍රශ්න කිරීම තවත් වැදගත්.

‘එදා ඒ රොමාන්තික- ශාරීරික සම්බන්ධතාව සිංහල සිනමාව කැළඹීය. එය හරියට සුනිල-නන්දා යුගය වැනිම විය. අප නන්දා මාලනීගේ ගීයේ මෙතෙක් දුර පැමිණියේ කෙසේදැයි විග‍්‍රහ කරන විට ඇගේ සංගීත කුසලතා පමණක් මත පිහිටා විග‍්‍රහ කරනු ලැබුවද එය අර්ධ සත්‍යයකි. උදා ලෙස සුනිල් ආරියරත්න ලියන පද රචනයට අදාල ආත්මීය ස්වරය නන්දා දනී. එය සංගීත ඥාණයෙන් ලැබුවක් නොව දෙදෙනා අතර තිබූ රොමාන්තික ශාරීරික සම්බන්ධතාවයේ ප‍්‍රතිභාවයන්ගෙන් වෙයි’ (දැන් නන්දාගෙන් ඇහුවොත් මේවා ගැන වැල් බයිලා කියනු නොඅනුමානයි)

මේ උණුසුම් මිනිස් සම්බන්ධතාවය වෙනුවට ඔවුන් (ධර්මසිරි- ස්වර්ණා) වයසට යන විට ගත් ආස්ථානයන් දිහා බලන විට දැන් තවදුරටත් ඔවුන් ගැන විශ්වාසය තැබීම තේරුමක් නැති බව ලියන්නා කියයි. ශාරීරික- ලිංගිකමය ශක්තිය මත සිනමාව තහවුරු වුණේ මේ යුගල අතරදී විතරක් නෙමෙයි. උදා විදිහට මාලනී ෆොන්සේකාගේ පවා අපි විඳින නිර්මාණ වල අපිට දැනෙන්නේ මාලනීගේ තිරෙන් පිටත ජීවිතයේ මේ ධාරිතාව කියලයි මං හිතන්නෙ. ඒක ආර්ට් පැත්තෙන් ගත්තොත් ප‍්‍රාථමික තලයේ යෙදවුමක් වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ සිනමාව සංගීතය කොයි ආර්ට් එකක් වුනත් ඒ සෙක්සුවල් එනර්ජි එකට එපිටින් ගොඩනැගුනෙ නෑ.

මෙතනදි දීප්ති අලි බොරුවක් කියාගෙන එනවා. බස්සා තටු සලන්නේ ගොම්මනේ කියලා එයා ලියනවා. දවල් රෑ නොබලා දුවන්න පුළුවන් ෙසෙන්ධවයෙක්  ඕන වෙලාවක ගොම්මනේ තටු ගහන බස්සෙක් මක් කරන්නද?

‘නමුත් පරිණත ජීවිතයක් කරා එන විට ස්වර්ණා ධර්මසිරි එකිනෙකාව හොඳින් වටහා ගන්නේය. ශරීරය මත නොව විඥාණය මත ඔවුන්ගේ ඇසුර පදනම් විය. එක් අයෙකුගේ සමීපතමයෙකු කෙරෙහි අනෙකාට ඊර්ශ්‍යාවක් නැත. දුකකදී කරදරයකදී විදුලි සැර වේගයෙන් එකිනෙකාට සමීපවෙයි. නින්දාවේදී සමීපතමයන් අත්හැර යන විට ඔහුගේ තනියට ඉතිරි වූයේ ස්වර්ණාය...’

මේ කතාව කේකේ සමන් කුමාර වගේ කෙනෙක් අතින් ලියවුණා නම් අවුලක් නෑ. මේ රොමාන්තික බැල්ම ඒ වගේ ප‍්‍රබන්ධ රචකයෙකුට ගැලපෙනවා. ඒත් දේශපාලනය, මනෝ විශ්ලේෂණය ඇතුලෙ විද්‍යාත්මකව මිනිස්සු එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම කරමින් ඉන්න දීප්ති වගේ කෙනෙක් මේ වගේ කතාවක් ලිව්වම හිනා යනවා (සමා වෙන්න). සමාජය හෝ සමාජ සම්බන්ධතා බිඳවැටෙද්දි පුද්ගලික සම්බන්ධතා අතරෙ හුදකලා වුණු අසරණ වුණු දෙන්නෙක් ගැන කතාවක් නෙමෙයිද දීප්ති මෙතන කියන්නෙ? මේක ස්වර්ණාට ධර්මසිරිට නෙමෙයි පාරෙ අපිට මුණගැහෙන ගුණසිරිට කමලාවතීටත් අදාලයි. ඒත් ඒකෙන් හොඳ නිර්මාණ සිද්ද වෙන්නෙ නෑ. මොකද අර සමාජයට අරගෙන ආපු එනර්ජි එක, ඒ ආත්මය මැරිලා ගිහින් හින්ද. හුදකලා පුද්ගලික පවුල් ආත්ම විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.

මිනිහෙකුගේ පුද්ගලික ජීවිතය හා සමාජ ප‍්‍රකාශනය/ නිෂ්පාදනය අතර සම්බන්දෙ සුළුපටු එකක් නෙමෙයි. ඒ දෙක අතර බෙදීමක් නැති වෙන එක, පුද්ගලික අත්දැකීම් සමාජය කළඹවමින් යළි ප‍්‍රතිනිර්මාණය වෙන එක මිනිහෙකුගේ ඇතුලෙන් සිද්ද වෙන විවෘත වීමක්. එතනදි ඒ ශක්තිය සමාජයට දැනෙන්න ගන්නවා. සමාජය වැළඳගන්නෙ, ආදරය කරන්නෙ බලාපොරොත්තු දනවන ඒ ශක්තියට. විශාල ජීවිතයට.

ජීවිතය කුඩා වෙන කොට සමාජ ප‍්‍රකාශනය හෝ සමාජ ජීවිතයත් ඇකිළෙනවා. නිර්ණාමිකයා මතු කරන්නෙ මේ තර්කය. දැන් සායි බාබා ගැන කතා කියන ස්වර්ණා සහ පෙත්සම් අත්සන් කරන ධර්මසිරිගේ ජීවිතයේ ඇකිලීම. මේක මං හිතන්නෙ ධර්මසිරිට ස්වර්ණාට විතරක් නෙමෙයි, දීප්තිටත් අදාල කාරණයක්. දීප්තිම නමින් උත්තරයක් ලියන්න පෙළඹෙන දැනුවත් හේතුව හඳයා ආරක්‍ෂා කිරීම වුණත් නොදැනුවත් හේතුව තමන් ආරක්‍ෂා වීම වෙන්න පුළුවන්.

හඳයාගේ අලූත් චිත‍්‍රපටියෙ මට වැදගත් කාරණය වුනේ නළු-නිළි ප‍්‍රශ්නෙ නෙමෙයි. හඳයා මේ චිත‍්‍රපටිය එක්ක සමාජ ජාල වෙබ් අඩවි වල ඇති කරපු සංවාදය. චිත‍්‍රපටිය ලියලා ඉවර වුණු තැන ඉඳන් විවෘත වේදිකාවක කරපු බෙදා හදා ගැනීම. මීට කලින් ලංකාවෙ කිසි අධ්‍යක්‍ෂවරයෙක් මේ විවෘත වීම බාර ගත්තෙ නෑ. පබ්ලිසිටි මෙතඞ් එකක් විදිහට වුණත් මේක සිනමාව සාමාන්‍ය මිනිස්සු අතපොවන මානයට අරගෙන ඒමක්. ලංකාවෙ සිනමාවෙ ගොඩක් අලූත් ප‍්‍රවේශයන් අඳුන්නලා දුන්නෙ හඳයා වගේම මේ පියවරත් හඳයා විසින්ම ගැනීම මට බලාපොරොත්තු දනවන කාරණයක් වුණා.

‘මගේ අලූත් චිත‍්‍රපටියෙ පිටපත ලියලා ඉවරයි. (තාම නමක් නම් නැහැ). දැන් තියෙන්නෙ බරපතලම කොටස. ඒක නිෂ්පාදනය කරන්න සල්ලි වියදම් කරන්න කැමති සල්ලි තියෙන කෙනෙක් හොයාගන්න එක. මෙතෙක් කල් කාටත් නොකියා ඒ වැඬේ මම ම මගේ හිතවත්කම් සහ සම්බන්ධකම් හරහා කර ගත්තා. ඒත් පහුගිය සිනමා නිර්මාණ තුලින් මා ලබපු අත්දැකීම් එක්ක මට හිතුණා මම එහෙම නිෂ්පාදකයෙකු හොයනවා කියලා ප‍්‍රසිද්ද කරන්න. මොකද සමහරු චිත‍්‍රපටිය වෙනුවට එහි මුදල් මූලාශ‍්‍රය ගැන කතා කරන්නත් ඒ ඇසුරෙන් චිත‍්‍රපටියෙ ගුණ අගුණ තක්සේරු කරන්නත් පෙළඹුණ නිසා...’ - අශෝක හඳගම

හඳයාගේ අරමුදල් එකතු කරන්න ක‍්‍රවුඞ් ෆන්ඩින්ග් විදිහක් අත්හදා බලන්න යෝජනා කරපු ගොඩක් දෙනා අතරින් මාත් එක්කෙනෙක්. ඒ තරම් විශාල මුදලක් එකපාර එකතු කරගන්න අමාරු වුණත් ඉස්සරහට චිත‍්‍රපටි හදන උන් වෙනුවෙන් මේ වේදිකාවක් ගොඩනැගෙන එක වැදගත්. හඳගම වගේ කෙනෙක් අතින් ඒකට මුලපිරෙන එකත් වැදගත්. සමහර විට චිත‍්‍රපටියට වඩා චිත‍්‍රපටිය නිසා ගොඩනැගෙන අලූත් සම්බන්ධතා සහ ආකෘති ගොඩක් වටිනවා. ඒවායින් තවත් චිත‍්‍රපටි ගොඩක් හැදෙන්න දොරවල් ඇරෙන හින්ද.

එඩිසන්ගේ පළවෙනි බල්බ් එකත් පත්තු වුනේ තත්පර කීපයයි. ඒ වගේම හඳයා මෑතක ආයිමත් කියලා තිබුණ ක‍්‍රවුඞ් ෆන්ඩින්ග් වැඬේ එයාගේ චිත‍්‍රපටියට ඒ තරම් සාර්ථක වුනේ නෑ කියල. ඒත් මට අනුව ඒක ලොකු ආරම්භයක්.

හඳයාගේ මේ උත්සාහයත් එක්ක මං කාලයක් තිස්සෙ ලියන්න හිත හිත හිටපු කතාවකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ඒ ලූසියා කියන කන්නඩ චිත‍්‍රපටිය හදපු පවන් කුමාර්ගේ කතාව. එයා මීට කලින් ජනප‍්‍රිය චිත‍්‍රපටි කීපයක් හදපු කෙනෙක්. ඒත් ලූසියා චිත‍්‍රපටියෙන් එයා ඉන්ඩස්ටි‍්‍ර එකත් එක්ක ලොකු වලියකයට යනවා. ක‍්‍රවුඞ් ෆන්ඩින්ග් වලට පවන් එන්නෙම අරගලයක් විදිහට. එයාට සිනමා කර්මාන්තයේ තත්වයන් ගණනාවක් වෙනස් කරන්න ඇත්ත උවමනාවක් තියෙනවා. මට හිතෙන්නෙ මේ වගේ විකල්ප ප‍්‍රවේශයකට ඒ විදිහෙ රැුඩිකල් උමනාවක් අනිවාර්යයි.

ප්‍රොජෙක්ට් ලූසියා කියලා නම් කරන පවන්ගේ කවුඞ් ෆන්ඩින්ග් වැඬේ පටන් ගන්නෙ එයා බෝම්බයක් වගේ දමලා ගහන ලියුමකින්. ‘සතුරන් තනා ගැනීම’ ඒකයි ලියමනේ නම.

‘මේ ලියවිල්ලෙන් මං තොග පිටින් තරහකාරයන් හදා ගනීවි. මං ගොඩක් කල් හිතුවා මේක ලියන්නද එපාද කියලා. දැන් මං හිත හදාගත්තා මේ ඔක්කොම එලියට දාලා ඇත්ත විසඳුමක් හොයාගෙන යන්න.
දවසකට පස් සැරයක් වත් අඩුගානෙ කවුරු හරි කෙනෙක් මට කෝල් කරලා අහනවා, ‘මොකද ලූසියාට වුනෙ? කවද්ද පටන්ගන්නෙ? කවුද නළු නිළියො? මේ ප‍්‍රශ්නෙ අහන හැම වතාවකදිම මගේ ඇතුලෙන් පිහියකින් අනින තරම් වේදනාවක් එනවා. ලූසියා පිටපත ලියලා ඉවරයි. ඒක කොයිතරම් ලස්සනට ලියවුණාද කිව්වොත් මට මගේ නම වත් ඒකෙ ක්‍රෙඩිට්ස් විදිහට දාන්න උවමනා නෑ. මං ගොඩක් භාග්‍යවන්ත වුණා ලූසියා වගේ අදහසක් මගේ ඇතුලෙන් නිර්මාණය කරන්න. මොකක් හරි නොදන්නා ශක්තියක් මාව උපකරණයක් විදිහට පාවිච්චි කරලා මේක ලියෙව්වා වගේ. මගේ කිසි පිටපතක් ගැන මං මීට කලින් මේ තරම් ආත්ම විශ්වාසකින් හෝ තෘප්තියකින් ඉඳලා නෑ. ලූසියා කන්නඩා ෆිල්ම් ඉන්ඩස්ටි‍්‍ර එකේ කල්ට් ෆිල්ම් එකක් වේවි.

ඒත් ඇත්ත කතාව තාමත් ලූසියා මගේ ගේ ඇතුලෙ නිකංම වැතිරලා ඉන්නවා.

‘ලිෆූ ඉස්තානා’ මගේ ෆිල්ම් එක රිලීස් වෙලා මාස 06ක් පහුවෙනවා. මට තාම හොයාගන්න බැරි වුණා එක නළුවෙක් මේ අලූත් කතාව අහන්න පැය තුනක් වෙන් කරන්න පුළුවන්. හැමෝම ඒ ගොල්ලොන්ගෙ රීමේක් ෆිල්ම්ස් ගැන කතා කරනවා. මට මේ කේන්තිය එන්නෙ නෑ අඩුම ගානෙ කතාව අහලා ඒ ගොල්ලො ප‍්‍රතික්‍ෂේප කලා නම්. හොඳටම අවුල් වෙන දේ වෙන්නෙ කිසි කෙනෙකුට මේ කතාව අහන්න උවමනා නැති එක. මං කරපු ෆිල්ම් වලින් චිත‍්‍රපටියක් හදන්න මට තියෙන හැකියාව ඔප්පු කරලා තියෙද්දිත් මට හිතාගන්න බෑ මේ මොකක්ද වෙන්නෙ කියල.

(ඊට පස්සෙ පවන් කන්නඩා ඉන්ඩස්ටි‍්‍ර එකේ ස්ක‍්‍රිප්ට් රයිටර් කෙනෙකුට තියෙන අඩු ලංසුව ගැන කතා කරනවා. අලූත් ස්ක‍්‍රිප්ට් එකක් ලියන්න ඒ තරං අඩු ගානක් ගෙවන නිෂ්පාදකයන් රීමේක් එකක් කරන්න රයිට්ස් ගන්න ලක්ෂ 10-15 ගෙවන හැටි එයා කියනවා.)

ලූසියා ලියන්න මට කවුරුවත් ගෙව්වෙ නෑ. මං ඒක ලිව්වෙ ඒ ලියන එකම මට ආස්වාදයක් වුණු හින්ද.
ඇයි රීමේක් එකක් ඔරිජිනල් එකකට වඩා හොඳ වෙන්නෙ? ඔරිජිනල් එක කියන්න ඉන්නෙ ඒක ලියපු එකා විතරයි. ප්‍රොඩියුසර්ට හරි නළු නිළියෙකුට හරි කළඳක්වත් මොළේ තියෙන්න  ඕන මේ කියන කතාව මවා ගන්න. ඒත් රීමේක් එකකදි කලින් ෆිල්ම් එක බලලා ඒක හොයපු ආදායම ගණන් බලන්න විතරයි තියෙන්නෙ. මොළේ  ඕනම නෑ. මගේ කලින් ෆිල්ම් එකට සල්ලි දාන්න තරම් නිර්භීත වුණු නිෂ්පාදකවරුන්ට මේ වෙලාවෙදි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒත් දැන් තියෙන ව්‍යාපාරික තත්ව අනුව ඒ ගොල්ලොන්ට තවදුරටත් ඒ වගේ තීරණ ගන්න බෑ. ලොකු තරුවක් දාලා රීමේක් එකක් ගහලා කෝටි ගණන් හොයාගන්න පුළුවන්කම තියෙද්දි ඔරිජිනල් එකක අවදානම ගන්නෙ මොකටද?

දැන්  ඕගොල්ලො අහයි, ඇයි මේ ලොකු තරු පස්සෙම යන්නෙ? ඒ ඔයගොල්ලො හින්ද. අපේ  ඕඩියන්ස් එක බ‍්‍රෑන්ඞ්ස් ඉල්ලන හින්ද. ලොකු නළුවෙක් හරි නිළියෙක් හරි නැත්තං ඔයා හෝල් එකට එන්නෙ නෑ. ලොකු තරුවක් ඉන්නවා නම්, රීමේක් එකක් වුණත් ජහජරාවක් වුණත් ඒක බලලා ඔයගොල්ලො සහයෝගය දෙනවා. මේ තරගෙ පාලනය වෙන්නෙ ඔයාගොල්ලො අතින්. සුපිරි තරු සහ ඇත්තටම නිර්මාණශීලී මිනිස්සු අතරෙයි කාසිය වාසිය තියෙන්නෙ.

මේ රීමේක් හින්ද කන්නඩා රයිටර්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා නැති වෙලා යනවා. ලූසියා ඇත්තටම හින්දියෙන්, දෙමළෙන් පිච් කරන්න මට ගොඩක් ලේසි වුණා. මට දෙමළ බැරි වුණත්, දෙමළ සමබන්ධයක් නැති වුණත් ලොකු නළුවෙක් මේ මාසෙ අන්තිමට මගේ කතාව අහන්න මට වෙලාවක් දුන්නා. ඒත් මට  ඕන මේක කන්නඩාවල කරන්න. ඒක ගොඩක් ලොකු වේදනාවක් මට මගේ චිත‍්‍රපටිය වෙන භාෂාවකින් කරන්න වුණොත්. ඒත් අපේ නළු නිලියන්ගෙ දැන් තියෙන මනසත් එක්ක ඒක වෙයි කියල හිතාගන්න අමාරුයි. සමහර විට අවුරුද්දකට විතර පස්සෙ ඒ ගොල්ලො ලූසියා වල රීමේක් එකක් කරන්න රයිට්ස් ඉල්ලාවි. මට හිතෙනවා ‘නෝ රිමේක්’ විප්ලවයක් කරන්න මට හයිය තිබුණ නං කියල. පුද්ගලිකව මං රීමේක් හදනවා වෙනුවට ගෙවල් වල පෙන්නන හෝම් ටෝකීස් හදනවා බැරිම වුණොත්.

මේ කර්මාන්තෙ ඉන්න තරුණ උන් විදිහට අපිට පැමිණිලි කර කර ඉන්න බෑ. අපි විසඳුම් හොයන්න  ඕන. පරණ කට්ටිය වයසයි, අනාරක්‍ෂිතයි. ඉක්මණට මැරිලා යයි. අපිට වෙනවා ඒ ගොල්ලො එකතු කරපු කුනු කන්දල් ඔක්කොම හෝදලා යවන්න. ඒ ගොල්ලො කියනවා නම් අපේ පේ‍්‍රක්‍ෂකයො සිනමාව ගැන දන්නෙ නෑ කියල අපි ඒ මහා පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවෙන් චිත‍්‍රපටි හදන්න  ඕන. ඒක විතරයි ඒ අයව නැවත හෝල් වලට ගෙන්නන්න පුළුවන් විදිහ. සිද්ලින්ගු කරපු නිෂ්පාදකයා ඒක විදෙස් රටවල ප‍්‍රදර්ශනයට ලෑස්ති වෙලා හිටියෙ නෑ. ඒත් අපි හෝම් ටෝකීස් හරහා දවස් දෙකකින් 440 ක  ඕඩියන්ස් එකක් ලෝකෙ හැමතැනින්ම එයාට එකතු කරලා දුන්නා. ඒ විදිහටයි අපිට මේක වෙනස් කරන්න වෙන්නෙ.

බොහොම පොඩි ගානකින්, ලොකු නළු නිලියො නැතුව, හොඳ නළු නිළියො එක්ක මං ලූසියා චිත‍්‍රපටිය හදාවි. මට ඒක හෝල් වල රිලීස් කරන්න බැරි වේවි. එතකොට මං ඒක හෝම් ටෝකි එකක් විදිහට රිලීස් කරනවා. මං කියන්නෙ මගේ තත්වෙ ඉන්න හැමෝටම එහෙම කරන්න කියල. කොහොම හරි චිත‍්‍රපටි හදන්න. නළු නිළියන්ට ඔයාගේ වැඬේ පාලනය කරන්න දෙන්න එපා. හෝම් ටෝකීස් විදිහට අපිට උදව් කරන්න දහස් ගණන් මිනිස්සු එලියෙ ඉන්නවා. අපි එකතු වෙමු. මතක තියා ගන්න, දිලිසෙන තරු වලින් නැති කරන්න බැරි ලොකු අඳුරක් අහසෙ තියෙනවා..( තේරුණද මන්දා)”

පවන් කුමාර්ගේ ලියමනේ සරල අනුවාදයක් මේ. සමහර කොටස් මට  ඕන විදිහට කපලා දැම්මා. පූර්වාපර සන්ධි ගලපනවා නම් මට හිතෙන්නෙ මේ රීමේක් කතාව ලංකාවෙ නම් ජාතක කතා, බණ කතා වල ඉඳන් හංස විලක් යලි තැනීමේ උත්සාහය දක්වා අදාලයි. ඔරිජිනල් ගැන කතාව 5ඞී මාක් ටූ වලින්, ඊඑක්ස් ත‍්‍රී වලින් ෆිල්ම් හදලා මැෂින් ඇතුලෙ තියන් ඉන්න අපි හැමෝටම අදාලයි. කොහොම වුණත් පවන් කුමාර් ක‍්‍රවුඞ් ෆන්ඩින්ග් වලින් එයාගෙ ෆිල්ම් එක හැදුවා. ඇත්තටම ඒක හොලිවුඞ් චිත‍්‍රපටියකවත් හිතාගන්න බැරි තරම් වෙනස් මානයක සිතීමක්. ඉන්සෙප්ෂන් වගේ ෆිල්ම් එකක් වුණත් ලූසියාට වඩා ළාමකයි සමහර තැන් වලින්. ඒ ඔක්කොටම වඩා නිෂ්පාදකවරුන්ගේ ලැයිස්තුව විදිහට දහස් ගානක් නම් දැවැන්ත තිරයක චිත‍්‍රයක් වගේ ප‍්‍රක්‍ෂේපණය වුණා. ඒක ඇෙ`ග් මයිල් කෙලින් වෙන වැඩක්.

හඳයා කියන විදිහට පේ-පැල් වගේ තාක්‍ෂණයන් නැති කම, හුරුකමක් නැති කම වගේ දේවල් හින්ද අපේ මේ විදිහෙ ව්‍යාපෘති අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නෙ ඊටත් වඩා ඒකට හේතු වෙන්නෙ අදහසක් නැති කම. ක‍්‍රවුඞ් ෆන්ඩින්ග් කියන්නෙම ක‍්‍රම විරෝධී උත්සාහයක්. ඒ උත්සාහය දරන්න නිකංම කෘතියකට විතරක් බැරි වෙනවා. ඒක ඊට වඩා ලොකු උවමනාවන් ගොඩක් එක්ක පෙළගැහෙන්න සිද්ද වෙනවා. ක‍්‍රවුඞ් ෆන්ඩින්ග් අලූත් උන්ට වැඩියෙන් ගැලපෙන විදිහට දැනෙන්නෙම ඒ සීමාවන් අභියෝග කරන්න පුළුවන් වෙන්නෙ උන්ටම විතරක් හින්ද.

ඒ කොහොම වුණත් එකතු වුණු මුදලට වඩා හඳයාගේ ව්‍යාපෘතියෙ අදහස් බෙදා ගත්, සම්බන්ධ වුණු ප‍්‍රමාණයයි වැදගත් කියල මං හිතන්නෙ. හැම සම්බන්ධයක්ම සල්ලි විදිහට පරිවර්තනය නොවුණට ඊට වඩා ගොඩක් සාධනීය දේවල් ඒ හරහා සිද්ද වෙන්න පුළුවන්. හඳයාගේ චිත‍්‍රපටියට (කෘතියට) වඩා මං මේ ප‍්‍රයත්නයට ගරු කරන්නෙ ඒ හින්ද.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment