Monday, September 25, 2017

ස්තූතියි!




ෆැකල්ටි ඔෆ් සෙක්ස් විකුණන්න මං මාකටින් පාවිච්චි කළා කියල එක එක විදිහෙ නෝක්කාඩු ඇහෙනවා. සමහරු මේක වැල පත්තර විකිනීමකට සමාන කරනවා. ඒ අතරෙ මේවා මාකටින් නෙමෙයි කියල රන්ඩු කරන අයත් ඉන්නවා. ඒ කතා මොනවා ගැන වුනත්  ඇතිවුන හැම සංවාදයක්ම සාකච්ඡුාවක්ම බැනුමක්ම අපවාදයක්ම පොත තව තවත් මිනිස්සු අතරට යන්න උදව් කළා.

බැනුම් අපවාදවලට මං වෙනම පෝස්ට් හැදුවා. බැන්නත් මාර්කට් කරනවා කියල ඒකට අවුල් වුන අයත් හිටියා. ඒත් ලියපු පොතක් ගැන කියන හොඳ වගේම නරකටත් ප‍්‍රකාශ වෙන්න ඉඩක් දෙන්න  ඕන කියල මං හිතනවා. මගේ වැඩකදි නම් හොඳට වඩා නරක එලියට කියන්න මං පුළුවන් සපෝර්ට් එකක් දෙනවා. ඒකෙන් කතාබහ වඩා පළල් වෙනවා. ඉන්ටරෙස්ටින්ග් වෙනවා. හොඳක් කිව්වත් නරකක් කිව්වත් ඒ කතා කරන්නෙ පොත ගැන. මගේ ව්‍යාපෘතිය ගැන.  ඊට අදාලව ලියවෙන  ඕනම දෙයක් මං දකින්නෙ මං කරපු වැඬේ වෙනුවෙන් දරන මහන්සියක් කියල. තරහවක් ආවේගයක් වුනත් මගේ වැඩෙන් ඇතිවුන බලපෑමක් කියල. ඒවා නිදහස් වෙන්න  ඕන. සමහර විට ඒකට කියන්නෙ මාකටින් වෙන්න ඇති.

ඇත්තටම මට පොත කියන්නෙ නිමිත්තක් විතරයි. පොතකින් ලැබෙන මුදල ගැන මට දැනෙන වටිනාකමක් නෑ.  ඕන නම් හාර පන්දාහක් පොත් විකිනෙයි. මං වඩා වැදගත් විදිහට දකින්නෙ පොත වටේට නිර්මාණය වෙන සංස්කෘතිය. ඒක  ඕනම භාන්ඩයක් හෝ සේවාවක් සඳහා නිර්මාණය වෙන්න  ඕන කියලයි මං හිතන්නෙ. ඒකෙනුයි ඒකට හැ`ගීමක්, ආත්මයක් දෙන්නෙ. සමාජයට වඩා වැදගත් වෙන්නෙ එහෙම දෙයක් වටේට ගොඩනගන ෆීල් එක නැත්තං කල්චර් එකයි. නිකං පොතක් එලියට දාලා ඒක එලියට එනවා කියල දැන්වීමක් ගහන එක මට දැනෙන්නෙ පාරිභෝගිකයෙක් විදිහට මාව අවතක්සේරු කිරීමක් හැටියට. මං මුදල ගෙවලා ගන්න භාන්ඩයට හෝ සේවාවට වඩා විශාල අවකාශයක්, උපයෝගිතාවයක් මට ලැබෙන්න  ඕන. අනන්‍යතාවයක්, සම්බන්ධයක්, මාව ප‍්‍රකාශමාන වීමක් ඒ හරහා සිද්ද වෙන්න  ඕන. පොතක් හෝ ආර්ට් වැඩක් කියන්නෙ මේ ගුණය අනිවාර්යෙන් තියෙන්න  ඕන තැනක්. නැත්තං මට නිර්මාණකරුවාගෙ දැක්ම ගැන ඇතිවෙන්නෙ පරණ හැගීමක්.

සමහර විට ඒකට කියන්නෙ මාකටින් වෙන්න ඇති.

ඒක එහෙම නං  විමුක්තිය හොයාගෙන යන මාර්ගය කියපු බුදුන් පවා මාකටින් පාවිච්චි කළා. එයාගෙ ධර්මය කියන්න හවුස් ටු හවුස් කැම්පේන් එකක් කළා. මැසේජ් එක ඩිස්ටෝර්ට් වෙයි කියල එක මග දෙන්නෙකුට යන්න එපා කිව්වා. ඇවිදින කතාකරන ඉරියව් පවා නිර්මාණය කළා. එයා කියන්න ගිය ධර්මයට අදහස දුන්නෙ මේ බාහිර සමස්තය නැත්තං ආකෘතිය. අපේ ආර්ට්වලට සම්බන්ද අය තාම විශ්වාස කරන්නෙ අන්තර්ගතය තමයි මාර කියල. ඒත් මං හිතන්නෙ ආකෘතියයි අන්තර්ගතයයි දෙකක් නෙමෙයි එකක් කියල. පොතට කරපු කැම්පේන් එක තමයි මගේ වැඬේ. පොත කියන්නෙ ඒකෙ කොටසක් විතරයි.

මට  ඕන වුනේ ඉරොටික් සංස්කෘතිය ගැන සාකච්ඡුාවක් හදන්න. සෙක්ස් කියන්නෙ අඳුරෙ කාමරයක් ඇතුලෙ රහසෙ සිද්ද වෙන අතිශය පුද්ගලික පටු තැනින් ඒක නිදහස්, එලිමහනෙ රස විඳින්න පුළුවන්, වරදකාරී නොවෙන, සීමා මායිම් නැති මනුස්ස බැඳීමක් කියන යෝජනාව ගේන්න. බුද්දිමත්තු කියන කොටස මේක කරන්න හදන්නෙ සෙක්ස් දේශපාලනිකව කියවන්න ගිහින්. ඒත් දේශපාලනය එනකොටම එතන සෙක්ස් නැති වෙනවා. මට අනුව සෙක්ස්වල තියෙන සුන්දරත්වය වෙන්නෙම ඒක කිසිම දර්ශනයක් න්‍යායක් නැතිව ප‍්‍රාථමික නිරුවත් ආශාවක් විදිහටම පවතින එකේ. විශ්ලේෂණයට යනවා වෙනුවට මිනිස්සු ආදරෙන් බෙදාහදාගන්නා ශෘංගාරයක් ගැන කතා කරන්න මං කැමතියි.

අනිත් පැත්තට සෙක්ස් හෝ ශෘංගාරය කියන එක සුන්දර විඳිය යුතු විවෘත මිනිස් මුහුවීමක් කියලා බාරගැනීමත් එක්කම අපි දැන නොදැන පනවාගත් ගොඩක් සීමා මායිම් වෙනස් වෙන්න ගන්නවා. ඒක සෝෂල් ඩිස්රප්ෂන් එකක්. ආදරෙන් වැළඳගන්නවා හෝ වෛරයෙන් ප‍්‍රතික්‍ෂේප කරනවා මිස මැද්දක් එතන නෑ.

 ආගමට හෝ පොලිටික්ස්වලට පෙනී ඉන්න බැරි කලාපයක් ඒක. ඇත්තටම සෙක්ස් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන වාම කණ්ඩායම් පවා අවසාන අර්ථයෙන් උත්සාහ ගන්නෙ සෙක්ස් පාලනය කරන්න. ලිංගිකත්වය දේශපාලනිකව කියවීම අවශ්‍යයි කියන කතාවෙ තේරුමම ඒක. ඒ නිදහස් මිනිස් සම්බන්ධතාවයත් න්‍යායික බලයෙන් නතු කරන්න. ආගමට  ඕන වුනෙත් ඒ ටිකමයි. ඇත්තම හේතුව නිදහස් ලිංගික සම්බන්ධතා විසින් නිදහස් මිනිස්සු නිර්මාණය කරන එක. ඒකෙන් සමාජ සම්බන්ධතා නැවත ප‍්‍රතිසංවිධානය කරන්න බල කරන එක. සාම්ප‍්‍රදායික ගම්මුන්ටත් වඩා වම්මු බයයි මේ පවතින සම්බන්ධතා ව්‍යූහය ප‍්‍රතිසංවිධානය වෙනවට.

මේක වැල කතාවක් විදිහට කියවන්න සමහරු උත්සාහ කරද්දි මේක වැල කතාවක් තරමට නෑ කියල තව කට්ටියක් මැසිවිලි කිව්වා. ශෘංගාර නවකතාවක් යනු මෙයද කියල ප‍්‍රශ්න කිරීම් මතුවුනා. ඒක මට අනුව අවශ්‍යම සංවාද කලාපයක්. ශෘංගාර සාහිත්‍යයක් නැති ලංකාව වගේ රටක ශෘංගාර සාහිත්‍ය කතිකාවක ආරම්භය සටහන් වෙන්නෙ එහෙම.

ලංකාවෙ ශෘංගාර නවකතා මීට කලින් ලියවිලා නෑ. වැල පත්තර පත‍්‍රිකා විදිහට ලියවුනෙත් කෙටි අසම්බන්ධිත ලියවිලි විතරයි. මං කිසිසේත්ම ඒ වැල කියල හඳුන්වන පෝර්නොග‍්‍රැෆික් ප‍්‍රකාශන අවතක්සේරු කරන්නෙ නෑ. මං ඒවා උපරිමෙන් රස විඳින සහ ඒවායින් උපරිමයෙන් පෝෂණය වෙන කෙනෙක්. ඒත් මේ වෙද්දි වැල (පෝර්න්) සහ ශෘංගාර (ඉරොටික්) කියන රචනා ගැන ඒ සාහිත්‍යයන් දියුණු රටවල වෙනස් කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා.


ශෘංගාර නවකතාවක් විදිහට අපි හඳුන්වන්නෙ විවිධ ලිංගික ක‍්‍රියාකාරකම් හරහා ගමන් කරන චරිත ඇසුරු කරගනිමින් අපි කරන ප‍්‍රබන්ධයක්. එතනදි ක‍්‍රියාකාරකමට බැහැරව ඒ චරිතවල මානසිකත්වයන් සාකච්ඡුාවට ගන්නවා. සිද්ධි මූලික වෙනවට වඩා මිනිස් සම්බන්ධතා විදිහට සෙක්ස් කියවන්න ගන්නවා. එතනදි පෝර්න් මට්ටමටම  යන ශෘංගාර ප‍්‍රබන්ධ තියෙනවා. ඒත් ලිංගික ඇසුර විෂයෙහි නිර්මාණය කරන මිනිස් විෂය නිසා ඒවා පෝර්න් කියන කැටගරියට ගන්නෙ නෑ. 

මං හිතන්නෙ මේක වැල කතාවක් විදිහට කියවන්න උත්සාහ කරපු අයට ඇතිවෙන බිඳවැටීම තියෙන්නෙ එතන. ඒක වෙනස් රසයක්. අපි බ්ලූ බලනකොට වුනත් සමහරු කැමතියි ස්ටෝරි එකක් එක්ක තියෙන බ්ලූ බලන්න. තවත් සමහරු කැමතියි කෙලින්ම ඇක්ෂන් එකට යන්න. ඒක රුචිකත්වයේ වෙනසක්.
වැල කියද්දි අපි නිතරම සෙක්ස්වලින් මනුස්ස කියන කෑල්ල ගලවනවා. වැල හෝ පෝර්න් කියන අදහසම ඩි-හියුමනයිස් කරපු සෙක්ස්. ඒක ද්‍රව්‍යමයයි. මට ඒ සාහිත්‍ය ඇසුරෙදි නිතර දැනුන අඩුවක් වුනේ ඒක. මං කැමතියි හුස්ම ගන්න, සංස්කෘතියක් තියෙන මිනිස්සු වනචර වෙනවට. හෙන්රි මිලර්ලා, ඇනායි නීන්ලා ලියන ඒවට මං වඩා බැඳෙන්නෙ ඒකයි.

තව තැනක මේක ඊඑල් ජේම්ස්ගෙ ෆිෆ්ටි ෂේඞ්ස් ඔෆ් ගේ‍්‍ර එක්ක පවා සංසන්දනය කරලා තිබුනා. ඒක ගොඩක් හොඳ දෙයක්. කම්පැරේටිව් විදිහට කෘතියක් කියවන්න උත්සාහ ගන්න එක. ඉරොටික් ෆික්ෂන් සහ ඉරොටික් ෆිල්ම්ස් වලට දැඩි ලෙස ඇබ්බැහි වෙලා ඉන්න මට ෆිෆ්ටි ෂේඞ්ස් කියවන්න අමාරු වුනා. මට ඒකට හේතුව වුනේ ඊඑල් ජේම්ස්ගෙ ලියන විලාසය හුගක්ම ළාබාල එකයි. ඒත් ලෝකෙ විශාල පිරිසක් ෆිෆ්ටි ෂේඞ්ස් ආදරෙන් වැළඳගත්තා. වඩාත්ම ඉන්ටරෙස්ටින්ග් දේ ෆිෆ්ටි ෂේඞ්ස් ඇසුරෙන් බිහිවුණු ෆැන්ස්ලගෙ නිර්මාණ. ඒවා ගොඩක් ඇත්තටම ෆිෆ්ටි ෂේඞ්ස් වලට වඩා ඉස්සරහින් දැනුනා. වැඩිපුරම ඊඑල් ජේම්ස්ට බැඳුනෙ කාන්තාවන් වීමත් විශේෂයක්. සමහර විට ෆිෆ්ටි ෂේඞ්ස් හරහා අපි බලාපොරොත්තු වෙන පිරිමි ලිවීමක විලාසයක් අභියෝග වුනා වෙන්නත් පුළුවන්.

ලංකාවෙ පළවෙනි වතාවට වැල පත්තර විදිහට කඬේ ලෑල්ල යට ගුලිවෙලා තිබ්බ පිරිමින්ට සීමාවෙච්ච ශෘංංගාරය එලිමහනෙ පොත් ප‍්‍රදර්ශනේකට ආවා. මහා ජන විරෝදයක් ඇවිත් පොත තහනමකට යයි කියල මුලින් බලපොරොත්තු වුනත් එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු හුගක් කැමැත්තෙන් වගේම විවෘතව පොත බාරගත්තා. පොත එක්ක ගිය ෆේස්බුක් සාකච්ඡුාවලදි බලාපොරොත්තු නොවෙන තරම් විවෘතව නිදහස්ව මිනිස්සු අදහස් කිව්වා. සෙක්ස් කියන එක යම් පමණකට හරි අන්ටැබූ වීමක් සිද්ද වෙන්න මේ පොත එලිමහනෙ කතාබහ කිරීම බලපෑවා. ඇත්තටම විදග්ද බුද්දිමත් කියල පෙනී ඉන්න අය ඇඹරුන තරමට සාමාන්‍ය ජනතාව පොත ඉස්සරහ ඇඹුරුනෙ වෙව්ලූවේ නෑ. ඒක ගොඩක් මැචුවර් බාරගැනීමක්.

පොත් ස්ටෝල් එක ළ`ගදි සුන්දර ගැහැණුන් ඇවිත් පොත ගන්න හැටි මං බලන් හිටියා. අනෙක් වැදගත් යැයි සම්මත පොත් කීපයක් පෙරලා තෝරා ගත්තට පස්සෙ කිසි වගවිභාගයකින් තොරව මේ පොත ඒ පොත් යටින් තියාගෙන ඒ ගොල්ලො කැෂියර් එකට ගියා. ඒක හරි ලස්සන ගැහැණුකමක්. ඉනසන්ට් මුරන්ඩුකමක්.
ගොඩක් අය තමන්ගෙ ජීවිතේ සුන්දර ශෘංගාර අත්දැකීම් මාත් එක්ක බෙදාගත්තා. පිරිමි වෙනුවට ගෑනු ගොඩක් මේ පොතේ සෙක්ස්වලට එහා මනුස්ස හැ`ගීම් දැක්කා. පොතේ දෙවෙනි මුද්‍රණයත් ඉවර වුනා.
මේ පොත ප‍්‍රින්ට් කරන්න කොන්දක් වගේම නිදහස් මනසක් තිබුන සන්නාටත්, පොත කියවපු, කමෙන්ට් කරපු, අදහස් හුවමාරු කරපු, ඒකෙන් විනෝද වුනු, විවෘත මිනිස්සු හැමෝ ගැනමත් මට තියෙන්නෙ භක්තියක්. සමාජයෙන් අහිමි කරලා තිබුනු මිනිස් සංවේදන කලාපයක අපි හැමෝම මේ පොතත් එක්ක ජීවත් වුනා. ඒක කාලෙකට පස්සෙ දැනුන සුන්දර අත්දැකීමක්.

මට ඒක පොතක් හෝ වැල හෝ මාකටින් වලට වඩා ගොඩක් ලොකු මනුස්ස අවකාශයක්.
ඒ වෙනුවෙන් ස්තුතියි.

Monday, September 18, 2017

Story Of O


ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්න මාව ඉන්ස්පයර් කළේ මීට අවුරුදු ගානකට කලින් කියවපු ස්ටෝරි ඔෆ්  ඕ පොත. පොත කියවන්නත් අවුරුදු ගානකට කලින් මං ඒ ෆිල්ම් එක බලලා තිබුන.

ඒ කාලෙ වීඩියෝ ඩෙක්වලින් ෆිල්ම් බලන කාලෙ. ගොඩක් වෙලාවට ටීවී එක තියෙන ගෙදර ඩෙක් එක නෑ. ඉතිං එකෙක් ගෙදරට හොරෙන් ඩෙක් එක පන්නගෙන ටීවී එක තියෙන එකාගෙ ගෙදරට යනවා. තව දෙන්නෙක් කැසට් පීස් එකක් ගේන්න වීඩියෝ සෙන්ටර් එකට යනවා. කොහොමටත් එතන ඉන්න එකා ටිකක් ගෑස් දානවා. අන්තිමට ඌ රෙකමන්්ඞ් කරන එකක් අරගෙන එන්න වෙනවා.

ස්ටෝරි ඔෆ්  ඕ මුලින්ම මුනගැහුනෙත් එහෙම. ඒත් අනිත් ගොඩක් සාමාන්‍ය ෆිල්ම්ස් වගේ මේ ෆිල්ම් එක ඔලූවෙන් අමතක වෙලා ගියේ නෑ. ආපහු ආපහු බලන්න හිතෙන මතකයක් ඉතුරු කළා. පස්සෙ ෆිල්ම් එක ගැන වැඩිදුර හොයන්න ගියහම ඒකෙ ඔරිජිනල් නවකතාව හම්බුනා. ඒක මට ෆොටෝකොපි කරපු ප‍්‍රින්ට් එකක් විදිහට තෑගි ලැබුනා.

ස්ටෝරි ඔෆ්  ඕ කතාව පිටිපස්සෙ තියෙනවා ඒ කතාවට වඩා ලස්සන රොමැන්ටික් කතාවක්. ඒ ඇත්ත කතාව ෆික්ෂන් එක තවත් මාර කරනවා.

මේක ඉරොටික් නවල් එකක් විදිහට පබ්ලිෂ් වෙන්නෙ 1954දි. ඈන් ඩෙස්ක්ලෝස් කියන ප‍්‍රංශ ලේඛිකාව මේක ලියන්නෙ පෝලින් රේආෂ කියන බොරු නමකින්. මුල් කෘතිය පලවෙලා අවුරුදු 40කුත් ගතවෙන කල් ඩෙස්ක්ලෝස් එයාගෙ ඇත්ත අනන්‍යතාවය එලි කරන්නෙ නෑ. ස්ටෝරි ඔෆ්  ඕ විදිහට එන්නෙ එයා එයාගෙ පෙම්වතා වුණු ෂෝ පෝලෝට ලියපු ආදර හසුන් එකතුවක් කියල ඩෙස්ක්ලෝස් පස්සෙ එලිකරනවා. ෂෝ පෝලෝ කියන්නෙ මාකස් ඩි සාද්ව ඔලූව උඩ තියාගෙන හිටපු තරුණ ප‍්‍රංශ ලේඛකයෙක්.

මේ කතාවෙ ප්ලොට් එක ගැන මං මොකුත් කියන්නෙ නෑ. ඒක කියවලා හරි නරඹලා හරිම විඳින්න  ඕන දෙයක්. මේක 1955 මාර සාහිත්‍යමය වැඩක් විදිහට සම්මාන ගන්නවා. ඒත් ප‍්‍රංශ අධිකාරීන් පොතට විරුද්දව නඩු දානවා. පොත තහනම් කරනවා. ඒත් උසාවිය තීන්දු කරනවා පොත ප‍්‍රකාශ වෙන්න නිදහස දෙන්න  ඕන කියල.

1965දි මේකෙ ඉංග‍්‍රීසි වර්ෂන් එක ඔලිම්පියා ප්‍රෙස් එකේදි අච්චු ගහද්දි නිව්යෝර්ක් ටයිම්ස් සටහන් තබනවා ඒක සුවිශේෂ සංසිද්ධියක් කියල.

විචාරකයො මේකට විරුද්දව එක එක අදහස් ගේනවා. විශේෂයෙන්ම ස්ත‍්‍රීවාදී කට්ටිය. මේ කෘතිය ඇතුලෙ ස්ත‍්‍රිය සම්පූර්ණයෙන්ම ඔබ්ජෙක්ටිෆයි වෙනවා කියන එක තමයි සද්දෙටම එන්නෙ. මේකෙ ප‍්‍රධාන චරිතය වෙන්නෙ  ඕ.  ඕඩිල් කියන නම කොට කරලා  ඕ කියන අරගෙන තිබුනත් මේ  ඕ අකුර විසින් ඔබ්ජෙක්ට් කියන එකත්,  ඕ හැඩයෙන් හෝල් නැත්තං හිල කියන එකත් හ`ගවනවා කියල සමහරු කියන්න ගත්ත. මේක ස්ත‍්‍රිය අපචාරයට ලක්කිරීම වර්ණනා කරමින් ලියපු එකක් කියල ෆෙමිනිස්ට්ලා සෑහෙන ලෙඬේ දැම්මා. මේකෙ ෆිල්ම් එක හැදුනම ඒ වෙනුවෙන් ලිපියක් පළකලා කියල ලෙ එක්ස්ප‍්‍රස් මැගසින් එක ඉස්සරහ පිකට් පවා සිද්ද වුනා.

මේ ලේඛිකාවගේ බොරු නම පස්සෙ තවත් බොරු නමකින් රිප්ලේස් වුනා. අන්තිමට ඩෙස්ක්ලෝස් මැරෙන්න ටිකක් කලින් මේ පොත තමන් විසින් තමන්ගෙ පෙම්වතාට ලියපු එකක් කියල අනාවරණය කළා. ෂෝ පෝලෝ, ඒ පෙම්වතා තමයි මේ ලේඛිකාව තමන් නොදන්නා විදිහට මේකට පෙරවදන ලියන්නෙ.
මේ පොතට ෂෝ පෝලෝ ‘හැපිනස් ඔෆ් ස්ලේවරි’ කියන පෙරවදනක් ලියනවා. පොත ප‍්‍රකාශකයෙකුට යෝජනා කරන්නෙත් එයා. හරියට කියවගෙන ගියොත් ෂෝ පෝලෝ පෙරවදන ඇතුලෙ සියුම් විදිහට උත්තර දෙන්නෙ තමන්ගෙ පෙම්වතියගෙ ලියුම්වලට.

 ඕ පෙනී ඉන්නෙ තමන්ගෙ ශරීරය සහ මනස සම්පූර්ණයෙන්ම පවරා දීමෙන් ලබන ආධ්‍යාත්මික නිදහසක් වෙනුවෙන් කියල ඩෙස්ක්ලෝස් සම්මුඛ සාකච්ඡුාවකදි කියනවා.

මේ පොත ලියන්න ඩෙස්ක්ලෝස්ට  ඕන වෙන්නෙ ෂෝ පෝලෝ කරන චැලෙන්ජ් එකක් හින්ද. මාකස් ඩි සාද් ගැන මාර එකකින් හිතාගෙන ඉන්න පෝලෝ කියනවා කිසි දවසක ගෑනියෙකුට එහෙම පොතක් ලියන්න බෑ කියල. ඩෙස්ක්ලෝස් අභියෝගය බාරගන්නවා.

ස්ටෝරි ඔෆ්  ඕ ලියවෙන්නෙ ඒ විදිහට.

හොරෙන් බලන සෙක්ස් ෆිල්ම් එකක් විදිහට අහම්බෙන් මුනගැහිලා, ඊට අවුරුදු ගානකට පස්සෙ ඒකෙ පොත හොයාගෙන ගිහින් කියවලා, ඒ කතාවෙන් නතර නොවී ඊට පිටිපස්සෙ තියෙන රොමැන්ටික් ආදර කතාව වෙනකලූත් එතනින් මගේ අතින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියවෙන තුරුත් ස්ටෝරි ඔෆ්  ඕ මාව අරන් ආවා.
මට වගේම ඬේමියන් රයිස්ටත් ස්ටෝරි ඔෆ්  ඕ වැදිලා තිබුනා.

Amie come sit on my wall
And read me the story of O
And tell me it like you still believe
That end of the century
Brings a change for you and me…


Sunday, September 10, 2017

දඹුල්ල මරණයේ ඇත්ත පොලිසිය


දඹුල්ලේදී කාන්තා ඇඳුම් ඇඳගෙන රෑ පාරෙ හිටපු තරුණයෙක් පොලූවලින් පහර දීලා මරලා දාලා තියෙනවා කියල ප‍්‍රවෘත්තියක් පල වෙනවා. ඒ ප‍්‍රවෘත්තියෙම පොලිසිය විසින් මේ තරුණයා කීප වරක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. මේ ප‍්‍රවෘත්තිය මාධ්‍යවල පලවෙන්නෙ ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනවත් කිසිම දැනීමකින් තොරවයි. තනිකරම බෝරිං සමාජ ජීවිතවලට බයිට් එකට තලූමරන්න දෙන නිව්ස් එකක් විදිහටයි.

පොලූවලින් මිනිහෙක්ව ගහලා මරනවා කියන එකේ බරපතලකම පවා ඒ කතාවෙ තරුණයා ට‍්‍රාන්ස්ජෙන්ඩර් වීම හරහා අවතක්සේරු කරනවා.

කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාංතික කීප දෙනෙක් ඇරුනම ලංකාවෙ පොදු ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන පිරිස මානව අයිතීන්වත් හිමි නැති පිරිසක් තරමට පීඩනයටත් නොතකා හැරීමටත් ලක්වෙනවා. පිරිමි විසින් තාප්පවලට හේත්තු කරගෙන කටට දෙන සහ ඊට පස්සෙ ගගහා එලවන පරිසරයක් ට‍්‍රාන්ස්ජෙන්ඩර් අයට බාරගන්න සිද්ද වෙනවා. ඒ අය වෙනුවෙන් සාධාරණය ඉටුකරන නීතියක් නෑ.  ඒ අයව ළ`ගින් ඇසුරු කරන නිසාම ඒ මිනිස්සු තමන්ගේ ලිංගිකත්වය නිසා අත්විඳින තාඩන පීඩන මං දන්නවා. පවුලෙන් එලියට වැටෙන තැන  ඉඳන් රස්සාවක් විතරක් නෙමෙයි ඉන්න හිටින්න තැනක්වත් හොයාගන්න බැරි තත්වයක් දක්වා ඒ අය අනාත වෙනවා.

ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක මානව ගරුත්වයක් ඇතුව බාරගන්න අපේ හෙට්‍රො සොසයටිය පරිණත වෙලා නෑ විතරක් නෙමෙයි ඒ අය  තමන්ගේ සාමාන්‍ය ජීවිතය විදිහට අත්විඳිමින් ඉන්න අසාධාරණය සහ පීඩාව ඇත්තක් විදිහට බාරගන්නත් මේ හෙට්‍රො උන් ලෑස්ති නෑ.

ඒ හින්දම මේ තරුණයාගෙ මරණය විහිළුවක් වෙනවා.

මේ මරණය සම්බන්ද ඇත්ත කතාව කියන එකම බොරුවක්. මාධ්‍යවල වාර්තා වුනෙම සහ මිනිස්සු විසින් රසවින්දෙම ඒ ඇත්ත කතාව නෙමෙයි. ඇත්ත කතාව ට‍්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු විඳින වේදනාව පිළිගන්න බහුතරය මගඅරින එකයි. මේක පුද්ගලික මරණයක් කියන එක ඇතුලෙන් තවමත් අපි හංගමින් ඉන්න ඇත්ත ඒකයි. පොලිසිය විසින් දිනපතා මේ අයට හිරිහැර සිද්ද වෙන වග පොලිසියම කියනවා. ඒත් අපිට ඒක ස්වභාවිකයි.

පිරිමි සමාජයේ රියැක්ෂන් එක ඉතා පැහැදිලියි. විනෝදවීම, මගහැරීම හෝ ඒක තරම් අවුලක් නෑ, නැත්තං උන්ගෙ ප‍්‍රශ්නයක් වෙන්න ඇති කියන මගහැරිම. උන්ගෙ ප‍්‍රශ්නයක් වෙන්න ඇති කියන එකම නිතර සුලූතර ප‍්‍රශ්නවලදි බලය හිමි බහුතරය පාවිච්චි කරන ලේසියක්. මේ වගේ සිද්දිවල පුද්ගලික ඇත්ත කතා නෑ.

සිද්දියක් මාධ්‍යවල වාර්තා වුන තැන ඉඳන් ඒක පුද්ගලික අවකාශයෙන් සමාජ අවකාශයට එනවා. එතකොට ඒ පුද්ගලික තැන සිද්ද වුන ඇත්ත නැත්තට වඩා අදාල වෙන්නෙ සමාජ අවකාශය තුල සිද්ද වුන ඇත්ත නැත්තයි. මාධ්‍ය සහ පිරිමි සමාජයේ අවිඥානය විසින් මේ ට‍්‍රාන්ස්ජෙන්ඩර් තරුණයාගේ මරණය හෑල්ලූ කරමින් හිටියා. නැත්තං නැවත නැවත මරාදමමින් තිබුන.

දෙමළ සමාජය මුහුණ දෙන ප‍්‍රශ්නවල වගකීම සිංහල බහුතර සමාජය විසින් බාරගන්න  ඕන වගේම සුළුතර වෙනස් ලිංගික අනන්‍යතාවයන් හිමි පිරිස් මුහුණ දෙන තාඩන පීඩනවල වගකීම අධිපති හෙට්‍රො සමාජය විසින් බාරගන්න  ඕන. දඹුල්ලෙදි කවුරු හරි කෙනෙක් පොල්ලක් උස්සලා ගහන  එක පුද්ගලික කාරණයක් නෙමෙයි. ඒ පොල්ල උස්සන්න සමස්ත සංස්කෘතික සමාජ කතිකාවක්ම දායක වෙලා තියෙනවා. ඒ මරණය සමාජයට සහ මාධ්‍යයට විසිතුරු පුවතක් වෙන්නෙම ඒ හින්ද.

සුළුතරයකගේ අයිතියක් වෙනුවෙන් අධිපති සමාජ බලය අභියෝග කිරීමේ වැරැුද්දක් නෑ. කිසිම දවසක ඒ සුලූතරය වෙනුවෙන් ඇත්ත එලිවෙනවා කියල එකක් නෑ. මොකද ඒ අයට එලිකරන්න ඇත්තක් නෑ. ඇත්ත තියෙන්නෙ එලියෙ. ඒක අපි බාරගන්නෙ නැති එක විතරයි.

උදා විදිහට උතුරෙ දෙමල මනුස්සයෙක් දකුනෙ පාරක ගහලා මරලා දාලා තිබුනොත් මුලින්ම සිංහල සමාජයට ඇගිල්ල දික්කරන එක පසුතැවිලි වෙන්න කාරණයක් නෙමෙයි. මොකද අනිවාර්යෙන්ම ඒ මරණය සිදුකරන අන්තිම පොලූපාරට, ඒ අවසන් තීන්දුවට ඒ මනුස්සයා දෙමළවීම බලපානවා. ඒ වගෙම මේ තරුණයාට වැදුන අන්තිම පොලූපාරටත් එයා ට‍්‍රාන්ස්ජෙන්ඩර් වීම බලපානවා. ඒ අධිපති සමාජ කතිකාව උඩ හිටගෙන කරන රිපෝර්ට් කිරීමෙදි කවුරුන් හෝ එය අභියෝග කිරීම විසින් සුලූතර ප‍්‍රජාවට ඒ වෙලාවෙ අවශ්‍යම සමාජ ආරක්ෂාවක් යම්පමණකින් හරි ගොඩනැගෙනවා.

ඒ තරුණයා වෙනුවෙන් පිරිමි සමාජයට ඇගිල්ල දික්කරලා මතුකරපු විරෝදය හැමපැත්තකින්ම සාර්තක එකක්. ඒකෙන් ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනම සමාජයේ ලොකු කතිකාවක් මතුවුනා. ඒ අයගෙ අයිතිවාසිකම් ගැන කතා වුනා. ට‍්‍රාන්ස්ජෙන්ඩර් කතාව අමතක කරලා මිනිහෙක් විදිහට අපි දුක්වෙමු කියන තැනටවත් බහුතරයකට එන්න පීඩනයක් හැදුනා. මාධ්‍යවල හැසිරීම විවේචනය වුනා. අර තරුණයාගේ මරණයට ගරුත්වයක් වටිනාකමක් ලැබුන.

දැන් ඒ මරණය පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව කියල කම්කරු තරුණයෙක් සහ රුපියල් 35000ක් ඇවිත් තියෙනවා. තවත් පැත්තකින් ඒ අයගෙම කල්ට් දෙකක් විසින් නගරයේ කරපු මරාගැනීමක් කියල කතාවකුත් ඇවිත් තියෙනවා. සිංහල බෞද්ද පිරිමින්ට විරුද්දව අදහස් පලකරපු මං වගේ අයව පෝලිමේ ගන්න පටන් අරන් තියෙනවා.

ට‍්‍රාන්ස්ජෙන්ඩර් තරුණයෙකුට අත්වෙච්ච ඉරණමක් ගැන ඇත්ත හොයන්න හෙට්‍රො පොලිසියකට කවදාවත් බෑ. ඒ ඇත්ත බාරගන්න අපේ වගේ හෙට්‍රො සමාජයකට පුළුවන්කමකුත් නෑ. ඒ හින්ද අපි දරාගන්න පුළුවන් විදිහෙ ඇත්තක් නිර්මාණය කරලා බාරගන්නවා.
ඒක පුද්ගලික ප‍්‍රශ්නයක්.

ඒක තමයි ලේසිම විදිහ. ඒත් ප‍්‍රශ්න කවදාවත් පුද්ගලික නෑ. හැම ප‍්‍රශ්නයක්ම සමාජ ප‍්‍රශ්නයක්. අධිපති කතිකාව (පොලිසිය) විසින් අදාල නොවේ කියල බැහැර කරන දේම තමයි අදාල කාරණා තියෙන්නෙ.
අපි හැමෝම අමතක කරන කාරණයක් තමයි දඹුල්ලෙදි ගහලා මැරුවෙ තරුණයෙක් නෙමෙයි කියන එක. මේ මරණය තරුණයෙක්ගෙ කියන එකමත් ඒ ලිංගික ප‍්‍රකාශනය නොතකා බැහැර කිරීමක්. දඹුල්ලෙදි ගහලා මැරුවෙ තරුණියක්. මරා දැමුනු තරුණියක් ගැන පොලිසියටවත් සමාජයටවත් වාර්තා වෙලා නෑ. ඇයට පැවැත්මක් නෑ.

ඒ නිසා ප‍්‍රවෘත්ති වැරදුනා කියලා මාව ජෝක් කර සන්තෝස වෙන නෝනාවරු මහත්තුරුන්ට කියන්න තියෙන්නෙ තව හයියෙන් හිනාවෙන්න. ඒක හොඳ ව්‍යායාමයක්. මොකද ඒ ගිල්ටිය නැත්තං ඔයාලව ලෙඩ කරන්න ඉඩ තියෙනවා. තාමත් මේ කිසිම කෙනෙක් නැවත නැවත කියවෙන පොලිසියෙ අඩන්තේට්ටම් ගැන වචනයක කතාවක් නෑ. ඒ පොලිසිය විසින්ම මේ සිද්දයෙ ඇත්ත කතාවක් කියනකල් හැමෝම කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා.

(සංස්කෘතික) පොලිසිය පැත්තෙ හිටගෙන මං වැරදියි කියල ඔප්පු කරන්න හදන හැම කමෙන්ටුවක්ම නැවත නැවතත් ඔප්පු කරන්නෙ උද්දච්ඡු පීඩක පිරිමිකමමයි. වෙන විදිහකට කිව්වොත් මේ මරණය ගැන මං දරන අදහස සමාජීයව කොයිතරම් නිවැරදිද කියන එකයි.

- චින්තන ධර්මදාස