Monday, October 23, 2017

Keep it Fake


ඇත්ත කියල දෙයක් නෑ කියන එක බාරගැනීම කොහොම වුනත් ඇහුවම තාමත් ගොඩක් අය තිගැස්සෙන කාරණයක්. ඇත්ත කියන පත්තරේ, ඔබ ඔබම වෙන්න, අරකෙ ඇත්ත මේකෙ ඇත්ත, යතාර්ථයට පිවිසෙන්න, සැබෑ ඔබ දකින්න, සත්‍යවාදී වෙන්න, මේ ඔක්කොම අර ‘ඇත්ත’ වෙනුවෙන් තියෙන කතන්දර. එහෙම්පිටින්ම ෆික්ෂන් එකක් වුන සිනමාව රූපවාහිනිය වගේ මාධ්‍ය පවා මේ ‘ඇත්ත’ නඩත්තු කරන්න පුදුම මහන්සියක් ගන්නවා. 

මේ ඇත්තටම ‘ඇත්තෙ’ අර්බුදයෙ සරල පැත්තක්. ඒත් ‘ඇත්ත’ අර්බුදයට යාමේ ‘ඇත්ත’ අර්බුදය මීට වඩා ගැඹුරට යනවා. මූලිකවම පැවැත්මේ ගැටලූව. හැම එකක්ම ප‍්‍රබන්ධයක්, නිර්මාණයක් වුනහම අපි අපිව නැත්තං අපේ පැවැත්ම කියල තේරුම් ගන්නෙ මොකක්ද කියන අපිව තිගැස්සෙන ප‍්‍රශ්නය එනවා. ඊළ`ගට දැනුමේ ගැටලූව. ෆැන්ටසිය විසින් ෆැක්ට් එක විතැන් කරන්න ගන්නවා. එතකොට සාමූහික ප‍්‍රබන්ධයක් දැනුමක් අපි විදිහට විශ්වාස කරනවා. ඊළ`ගට සදාචාරය. හොඳ නරක මොකක්ද කියල කවුරු කොහොම විනිශ්චය කරන්නද? එතකොට ලස්සන වගේ සංකල්ප. කෙනෙකුගේ ලස්සන ගැන අදහස තව කෙනෙකුගේ එකට වඩා උසස් හෝ පහත් වෙන්නෙ කොහොමද? මේ විදිහට ‘ඇත්ත’ අර්බුදයට යද්දි අපි අනන්ත ගානක් කණ්ණාඩි තියෙන කාමරයක කොටු වෙනවා වගේ එකක් වෙනවා. සමහර ඒවා අපේම ප‍්‍රබන්ද. තව ලක්ෂ ගානක් කවුරුන් කොහොම කුමක් පිනිස නිර්මාණය කළාදැයි හිතාගන්නවත් බැරි ප‍්‍රබන්ද. ඒ ප‍්‍රබන්දවලින් අපි අපිව පරාවර්තනය කරන්න තෝරගන්නේ මොන ඒවද? එක් ප‍්‍රබන්ධයක් අනෙකට වඩා ඉස්සරහට එන්න, නැත්තං ‘ඇත්ත’ වෙන්න බලපාන කාරණා මොනවද? අපේ ආදරය, අපි සුන්දරයි කියල හිතාගෙන ඉන්න දේවල්, අපි මාරයි කියල බාරගන්න සිනමාව, නැත්තං සාහිත්‍යය.. කොටින්ම දෙවියන් බුදුන් පවා මේ විදිහෙ ෆික්ෂන්ස් නැත්තං නැරටිව්ස් වුනහම ‘අපිට’ (මට) මොකද වෙන්නෙ?

අපි හිතනවා නිදහස් අධ්‍යාපනයෙන් මාර දෙයක් වෙනවා කියල.. නැත්තං කොමියුනිස්ට් ක‍්‍රමයෙදි සියලූ ප‍්‍රශ්න විසඳෙනවා කියල.. වෙන විදිහකට ධනවාදය මාරයි කියල වුනත් ෆික්ෂන් එකක් විශ්වාස කරන්න පුළුවන්. ඒකයි වැදගත් දේ. අපි ‘විශ්වාස’ කරනවා. මිනිස්සු යතාර්ථය කියල එකක් උඩ හිතන්නෙ නෑ. මිනිස්සු හිතන්නෙ විශ්වාසය උඩයි. අපි ඇත්ත කියන්නෙ අපි විශ්වාස කරන ප‍්‍රබන්ධ කට්ටලයට.

ඒත් මේ වෙද්දි මෙතෙක් පිලිගත්ත හැම ‘ඇත්තක්ම’ අභියෝග කරමින් ඒ ඇත්ත විසින් නිර්මාණය කළ ‘ෆේක්ස්’ ඇත්තෙහි තැන ගන්න පටන් ගනිමින් තියෙනවා. ප්ලාස්ටික් සර්ජරි කියන්නෙ තවදුරටත් ෆේක් එකක් නෙමෙයි. බොරු ෆේස්බුක් ප්‍රොෆයිල්, සයිකඩෙලික් ඩ‍්‍රග්ස්, ජෙනටිකලි මොඩිෆයි කරපු කෑම, ගේමින් සංස්කෘතිය, අපි වෙනුවෙන් හිතන ස්මාර්ට් කොම්පියුටර්, තවදුරටත් මේ කිසිදෙයක් ෆේක් නෑ.

අපි අලූත් ෆේක්ස් විශ්වාස කරනවා පරණ රියල් එකට වඩා. අපි ගොසිප් විශ්වාස කරනවා ටීවී එකේ නිව්ස් වලට වඩා. අපි සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නෙ මීඩියා රියැලිටියක. මිලියන ගනං අය ෆලෝ කරනවා මෑඞ්මෙන් සීරීස් එකේ ඩොන් ඩ්‍රේපර් වගේ නැත්තං ග්ලී සීරීස් එකේ සූ සිල්වෙස්ටර් වගේ හැසිරෙන ට්විටර් චරිත. මේ සෙවනැලි චරිත එක්ක ඇත්ත අය එක්ක වගේම ගනුදෙනු කරනවා. ලේඩි ගාගා වගේ චරිතයක් ගත්තොත් එයාව ගන්න වෙන්නෙ ඇත්තකට වඩා ෆික්ෂන් ගානක එකතුවක් විදිහට. මැඩෝනා ගත්තොත් එයා ලානා ටර්නර්, මැරිලින් මොන්රෝ සහ මැරලින් ඩියෙටි‍්‍රච් කියන ෆික්ෂන් තුනක එකතුවක්. රියැලිටිය කියන්නෙ අපේ තෝරාගැනීමක්.

කාලෙන් කාලෙට මේ ප‍්‍රබන්ධ විශ්වයන් මාරු වෙනවා. එක කාලෙක හරිම ඉන්ටරෙස්ටින්ග් විදිහට අපි හැමෝම ටීවී වලින් රියැලිටි ෂෝ විශ්වයකට ඇතුල් වුනා. රියැලිටි ෂෝ කියන්නෙ හරිම සංකීර්ණ විදිහට රියල්-ෆේක් සංකල්ප ගැටෙන ටි‍්‍රපී තැනක්. ටීවී වලින් අපිට රියැලිටි කියලා ෂෝ එකක් පෙන්නනවා. ඒක යතාර්ථය ගැන ප‍්‍රසංගයක්. ඒ යතාර්ථය හැදෙන්නෙ ටීවී ස්ටේෂන් එක ඇතුලෙ.  ඒත් ඒකට එන්නෙ නළුවො නොවන (අඩු තරමෙ එහෙම හිතාගෙන ඉන්න) අය. ඒකෙ පිටපතක් නෑ වගේ තමයි පේන්නෙ. ඒත් ෂෝ එක ඇතුලෙදි ඒකට අදාල වෙනම ප‍්‍රබන්ධ යතාර්ථයක් ගොඩනැගෙනවා. ඒ ෂෝ එකේ ඉන්න අය වගේම එලියෙ නරඹන අපිත් ඒක යතාර්ථයක් නැත්තං ඇත්තක් විදිහට බාරගන්නවා. 

රියල්-ෆේක් බොළඳ සමීකරණයෙන් මිදිලා සියල්ල ප‍්‍රබන්ධයන් කියන එකට බය නැතුව මූනදෙන්න අපිට පුළුවන් නම්... ඒ බාරගැනීම ඇතුලෙ අඩුතරමෙ අපිට පුළුවන් වෙනවා අපි කැමති නැති තැන්වලදි පිටපත් වෙනස් කරන්න. අපි කැමති විදිහට කතාවෙ කොටස් ලියන්න. සමහරවිට පොඩි අතුරු නැරටිව් එකක් විදිහට. එහෙම සක‍්‍රීයව සවිඥානකව විශ්වයන් ප‍්‍රබන්ධ කිරීමේ පුරුද්දකදි අපි ටික කාලෙකින් තේරුම් ගන්නවා  සමහර ෆික්ෂන්ස් ෆැක්ට්ස්වලට වඩා රියල් කියල. ඒවා විසින් අපිව වඩා අවබෝදයට පත්කරනවා කියල. 

ලූවි කැරොල් මෙහෙම කියනවා. මේ සිහිනමය විශ්වයෙ ‘ඇත්තක්’ කියල දෙයක් තියෙනවා කියන, ඒ ඇත්ත අනුව ජීවත්වෙන්න  ඕන කියල බාරගන්න අය තමයි ‘ෆේක්’.  මේ විශ්වයේ සියල්ල ව්‍යාජයි කියල බාරගන්න එකයි, ඒ ලෝකයේ දේවල් අපේ හදවතට දැනෙන විදිහට නැවත නිර්මාණය කරන එකයි විතරයි රියල් වෙන්නෙ. 

(එරික් ජී විල්සන්ගේ පොත ඇසුරින්)

Monday, October 16, 2017

නයිස් කපල්



කොහොම හරි වට් අ නයිස් කපල් අවසාන හැන්දෑව අතනෑර බලාගත්තා. ඇත්තටම ඒක හරි සුන්දර හැන්දෑවක්. පොඩියට ලා වැස්සක් එලියෙ තිබුන. හැමෝම දන්න අඳුරන අය. ඔහොම තැනකදි තමයි හලෝ මචං කියන්න හරි සෙට් වෙන්නෙ. ගොඩක් අය නාට්ටිය කීපවතාවක් බලපු අය. ඒක හරි විශේෂයක්.

නාට්ටියක් දෙතුන් පාරක්ම බලන්න එන පේ‍්‍රක්ෂක පිරිසක් ඉන්නවා කියන එක. යාලූවෙක්ගෙ නාට්‍යයක් වුනත් මේ වැස්සෙ සෙනසුරාදා දවසක ඇවිත් බලන්න හැන්දෑවක් කැප කරනවා කියන එක තමන්ට අත්වෙන හුදකලා තෘප්තියක් නැතුව සිද්ද වෙන්න අමාරු දෙයක්.

පුංචි තියටර් එක හරි ලස්සන ෆීල් එකක් දෙන පුංචි ගුලක්. ඒකෙ බකට්පුටු වල ඉඳගත්තම වටේ ළංවෙලා දැනෙන පේ‍්‍රක්‍ෂාගාරයත් එක්ක එතනටම අනන්‍ය කල්ට් හැ`ගීමක් දෙනවා. දැන් ටිකක් නඩත්තුව නම් පිරිහීගෙන යන ගතියක් පේනවා.

ආදරණීය යාලූවෙකුගෙ වැඩක් බැලූවම ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උසස්ම තෑග්ග අවංක විචාරයක් කියල මං විශ්වාස කරනවා. කලින් නාට්‍යය බලලා මේ අදහස් කිව්වා නම් අත්කර ගන්න තිබුන මොනවා හරි වැඩිහොඳක් මගේ ප‍්‍රමාදය නිසා මිස්වෙලා නම් ඒකටත් සමාව ඉල්ලනවා. ඒත් චාමර තව ඉස්සරහට නාට්ටි කරනවා. ඒවට හරි මේ ෂෙයාරින්ග් එකේ මොකක් හරි වැදගත්කමක් තියෙන්න පුළුවන්.

මේ නාට්ටිය මට දිගින් දිගටම මිස් වුනේ ඇයි? මං කල්පනා කළා. මට එක එක වැඩ වැටුන එක ඇත්ත. ඒත් මොකක් හරි හින්ද කල් ඇතුව මේ වෙලාව සැලසුම් කරලා තියාගන්න මාව අතපසු කළා. ඒ නාට්ටිය බැලීමේ උවමනාව විසින් මාව තියටර් එකට තල්ලූ කළේ නෑ.

ඒකට හේතුව කියල මට හිතෙන්නෙ නාට්‍යයේ ප‍්‍රචාරය විසින් ඒකෙ නාට්‍යමය ගුණය ගැන ෆීල් එකක් දෙන්න බැරිවුන එක කියල මට හිතෙනවා. විශේෂයෙන්ම ෆොන්ට් එක වුනත්. ඉංග‍්‍රීසී නමක් සහ හීනි ෆොන්ට් එකක් අපිට ඩ‍්‍රාමා එකක් ගැන දනවනවා අඩුයි. උදා විදිහට වට් අ නයිස් කපල් කියන එක සිංහලෙන් තික් ෆොන්ට් එකකින් පාවිච්චි කළා නම් ඒක නාට්ටියක් කියල අපිට හිතවන සංවේදනය වැඩියි. හැමෝමව සම්බන්ද කරගනිමින් නාට්ටිය ගැන කරපු එෆ්බී කැම්පේන් ඉතාම හොඳ ඒවා වෙන අතරෙම මේකට  ඕනකරන නාට්‍යමය හැ`ගීම දෙන්න ඒ කැම්පේන් එක ඇතුලෙ අතපහු වෙලා තියෙනවා කියල මට හිතෙනවා.

මේක මොන විදිහකින් හරි මට මිස් වුනා නම් මං ජීවිතේ අතපසුවීමක් කළා කියල පසුතැවෙන වර්ගයේ නාට්‍යයක්. නයිස් කපල් මාව පුදුමයට පත්කළා. ඒ චරිත, ඒ දෙබස්, අතිසියුම් හැ`ගීම් කලාප උඩ ක්‍රොස් වෙන පිටපත, නාට්‍යමය විකාරසහගත බව නැති සජීවී රංගනය ආදී ගොඩක් දේවල් මාව අමන්දානන්දයට පත් කළා.

 අලූතෙන් නාගරික මධ්‍යම පාංතික ජීවිතයට පුරුදු වෙන මේ තාරුණයේ කතාව ලංකාවෙ වේදිකාව උඩට ගෙනාපු පළවෙනි වතාව. මං මේක දකින්නෙ පසු නූතන තාරුණ්‍යය ගැන තේමාවක් විදිහට. අපි මෙච්චර කාලයක් අලූත් තරුණයා ගැන කතා කරමින් හිටියෙ පරණ හැඩයක් ඇතුලෙ. ඒ තරුණයා ඩෙනිම් ඇන්දට,  කතා කරන්නෙ, හිතන්නෙ සහ ජීවත් වෙන්නෙ අපි මේ ජීවත්වෙනවට වඩා දශක ගානක් එහා පැත්තෙ. මේ නූතනවාදී සිතීමේ රාමුවෙන් එහාට ජීවිතේ ටච් කරන්න පුළුවන් ස්පේස් එකක් චාමර අල්ලගන්නවා.

මෙතනදි පෙම්වතිය නැත්තම් බිරිඳ ගෙදර ඉන්න කෙනෙක් වෙන අතරෙ පෙම්වතා නැත්නම් සැමියා ඇඞ්වර්ටයිසින් වගේ කලාපයක වැඩ කරන කෙනෙක්. එතකොට පෙම්වතිය එලිය දකින සම්පූර්ණ කවුළුව වෙන්නෙ මේ පිරිමියා. ඒ හින්දම ලොකුකමේ වගේම ඇගේ ඉරිසියාවෙ, සැකයෙ වස්තුව වෙන්නෙත් මේ පිරිමියා. ඒ අතරෙ පිරිමියාගෙ ලෝකෙ වෙනම අර්බුද කට්ටලයක් තියෙනවා. වාත සිංහල බෞද්ද පන්නයේ බොස් කෙනෙකුගේ සෙල්ෆ් බූස්ටර් එක විදිහට කටයුතු කරන එක, ක්ලයන්ට්ලාගෙ බිස්නස්වලට අමතරව අනිත් පවුල් ප‍්‍රශ්නවලටත් සර්වසින්ග් කරන්න වෙන එක, සහ මූලිකවම තමන්ගේ අරාජික තාරුණ්‍යය මිස්වීමේ ගැටලූව. ඒ කියන්නෙ ඒ අරාජිකත්වය විසින් තමන්ට ලබාදුන් අනන්‍යතාවය හෝ පෞර්ෂය කියන එක මේ ගිවිසුම්ගත ලෝකය ඇතුලෙ අහිමි වෙන එක.

පෙම්වතිය සමග ගත කරන පවුල් බුබුළ ආරක්ෂිතව තියාගන්න එයාට සිද්ද වෙනවා සමහර එයාගෙ ජීවිතේ සමහර ප‍්‍රවෘත්ති ගෙදර ඇතුලෙ වාරණය කරන්න. ඒත් පෙම්වතිය තමන්ගෙ සීමාසහිත ලෝකෙ ඇතුලෙ සියල්ල පෙම්වතා සමග බෙදා ගනිමින්නෙ පුදුම උනන්දුවකින්. ඈ ඒ වගේම පෙම්වතාගෙ අසීමිත ලෝකෙ සියල්ලත් තමන් හා බෙදාගත යුතුයි කියල විශ්වාස කරනවා. 

වට් අ නයිස් කපල් කියන්නෙ මේ ලෝක දෙක එක්ව සාමකාමීව පැවතීමේ සොඳුරු අර්බුදය. චාමර ඒක හරිම සංයමයකින් වගේම ඉතාම දුර්ලභ විදිහෙ විස්තර ඇතුව ගොනු කරනවා. මේ පෙම්වතියට වීස් එක තියෙන එක වගේ පුංචි කාරණාවලින් පවා මේ චරිතවල ස්වභාවය ගැන හැ`ගීම් දැනීම් නිර්මාණය කරනවා. සමහර පුංචි ඞීටේල්වලින් මේ නාට්‍යය අපේ වේදිකාව හිරවුන එක සෞන්දර්යවේදයක සීමාවල් කඩාගෙන යනවා කියල මං හිතනවා. උදා විදිහට මේ චරිත ගොඩනැංවීමේදි පෙම්වතාගෙ පුකට පයින් ගහන පෙම්වතිය අපි කලින් දැකලා නැති වේදිකා චරිතයක්.

ඇනිවර්සරිය කියන්නෙ කේක් ගෙඩියක් කියල හිතන එක වුනත් මේ අලූතෙන් මධ්‍යම පාංතික ජීවිතයට අතපොවපු තාරණ්‍යයේ හැඩය හරිම ලස්සනට ටච් කරන තැනක්. ඒක ෆැබ් එකේ කේක් එකක් වෙන එක එතනදි අයිකොනික්. ඇඞ්වර්ටයිසින් වගේ ෆීල්ඞ් ඇතුලෙ ලේසියෙන්ම සිද්ද වෙන පංති සංස්කෘති මාරුවත් එක්ක, එයින් පිටත වෙනම කලාපයක ජීවත්වෙන බිරිඳක් බැලන්ස් කරන්නෙ කොහොමද කියන අර්බුදය වගේ සංකීර්ණ තේමාවක් චාමර මේ නාට්ටිය ඇතුලට ගේනවා. ඒක හරිම අමාරු වැඩක් කියලයි මං හිතන්නෙ. වට් අ නයිස් කපල් ඇතුලෙ තියෙනවා සිංහලෙන් ඇඞ්වර්ටයිසින් වලට ආපු හැමෝගෙම කතාව.

මේ දෙන්නා විඳවන්නෙ දෙන්නාගෙ ලෝක දෙකක ප‍්‍රශ්න. ඒත් හැ`ගීම්වලින් විතරක් ඒ ප‍්‍රශ්න සමපාත වෙනවා. පෙම්වතිය ඇගෙන් දේවල් හැංගීම ගැන අහද්දි පෙම්වතා කියන්නෙ බොස්ගෙන් හම්බුවෙන චාටර් එක ගැන. ඒත් මේ ලෝක දෙක එකට පිහිටන තැන නාට්ටිය අවසානයෙදි එනවා. ඒ තමයි ආර්තිකය. ඒ කාරනේදි මේ ලෝක දෙකේම ප‍්‍රශ්න සියල්ල අත්හැර එකගතාවයකට එනවා. හෙට රස්සාවට යන්න  ඕනි.. ඒ තීරණයෙන් ආයිමත් ආදරය, එකට හිඳීම ආරම්භ වෙනවා. කවදාහරි නිදහස හොයාගෙන  ඕස්ටේ‍්‍රලියාවට යනකල් ඒක එහෙමයි. එහෙ ගිහිල්ලත් බලාපොරොත්තුව පැටියෙක් හදන්නයි.

මේක නාට්ටියෙ කෙලින්ම කියවෙන්නෙ නැති වුනත් මට හිතෙනවා හරි ආතල්ජනක ඇත්තක් මේ නාට්ටිය ඇතුලෙ තියෙනවා කියල. බාහිරින් කොයිතරම් පංතිය මාරු කළත් තමන් විසින් තෝරාගන්නා බිරිඳගෙන් හෝ සැමියාගෙන් ඇත්තට කෙනෙක් දරන සංස්කෘතිය එලිදරව් වෙනවා කියන එක. ඒක ටිකක් සාහසික කතාවක් වුනත් හොඳ අයිරනි එකක්.

වට් අ නයිස් කපල් නාට්ටියෙ රංගනය විශිෂ්ටයි. විශේෂයෙන්ම කල්හාරිගෙ. ඒක මයිල් කෙලින්වෙන තරමෙ තාත්වික රංගනයක්. ජොයින්ට් එකක්වත් නැතුව හිටපු මට කීපවතාවක්ම ඇස්වලට කඳුළු ගේන තරමට ඒක වැඩකළා. කිසිම දෙයක් දිගක් පළලක් ඇතුව නොතේරෙන, සීමිත ලෝකයක ජීවත් වෙන පෙම්වතියගේ අහිංසකකම දනවන්න ඒ ඇක්ට් එක සමත් වුනා. මං හිතන්නෙ ඒක නිර්මාණයක ‘මියුස්’ කෙනෙක් හින්දම එකතු වෙන පණක්. චාමරට අවශ්‍ය දේ හිතනවටත් වඩා එහායින් දෙන්න කල්හාරිගෙ තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. කොල්ලාගෙ චරිතයත් ප‍්‍රශස්ත මට්ටමක තිබුනත් තාමත් වේදිකාමය ලක්ෂණ ඒක ඇතුලෙ පෙනුනා කියලයි මං හිතන්නෙ.

ඒ වගේම චාමර පාවිච්චි කරන වේදිකා තාක්‍ෂණ ප‍්‍රයෝග කීපයක් තිබුන. ඒවා හරිම අලූත් වගේම දැනෙනසුලූ ඒවා. ඇඳ උඩ ඉඳන් ටීවී බලද්දි මූන උඩ පාට මාරු වෙන හැටි, වේදිකාවෙ බිම ඉඳන් ආරධනා සිංදුව කියන හැටි වගේ දේවල් ඇ`ගකිලිපොලා යන තරමෙ වැඩ. මං ඇත්තටම පුදුම වෙනවා මීට කලින් වේදිකා නාට්‍යය ගැන හොඳින්ම දන්න අය මේ ගැන ලියපු කිසි දෙයක් මට කියවන්න නොලැබුන එක ගැන. වට් අ නයිස් කපල් කියන්නෙ වට් අ ඩිෆරන්ස් කියන්න පුළුවන් තරමෙ නාට්ටියක්.

ඒ වගේම සිංදු නැටුම් විශේෂ විනෝදාස්වාදන කිසිම දෙයක් නැතුව නාට්ටිය අන්තිම වෙනකල් තිතටම ගලාගෙන යනවා. මේ දෙන්නාගෙ කතාවෙන් අපිට ගැලවෙන්න බැරිවෙනවා. මියුසික් වුනත් නිකම් නෝට් කීපයක මොනොටනස් බවක් විතරයි. ඒත් මූඞ් එක අවසානය දක්වාම ඉන්ටෙන්ස්.

අන්තිම හරියෙදි ආපහු චාමර පොඞ්ඩක් වාමාංශික කෑල්ලකට යනවා කියලයි මං හිතන්නෙ. කොල්ලා තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල බයවෙන එක, තමන් හෙලූවෙන් කියල හිතන එක වගේ තැන් ටිකක් වැඩියෙන් පාවිච්චි වුන වමේ මනස්ගාත.

අවසානය මේ තරම් ඩිප්‍රෙස් තැනකින් නැතුව හියුමර් වගේ තැනකට ගියානම් හොඳයි කියලයි මං හිතන්නෙ. කොයිතරම් දරණු අවපාතයකින් නාට්‍යය කෙලවර වෙනවද කිව්වොත් පුටුවෙන් නැගිටගන්නත් ටිකක් වෙලා ඉන්න වෙනවා. ඒ වෙනුවට පොඩි සැහැල්ලූවක් ඉතුරු කරන්න පුළුවන් වුනානම් පේ‍්‍රක්‍ෂකයෙක් විදහට මං චාමරට ස්තුතිවන්ත වෙනවා. ඒත් මේ තෝරාගැනීම චාමරගෙ නිර්මාණාත්මක අයිතිය.

මේ අංශූමාත‍්‍ර ඩ්‍රොප්වීම් තිබුනත් ඒවා නොසැලකිය හැකි තරම් ඒවා. ඒක හරිම ලේයර්ඞ්, මිනිමල්, සිම්පල් ඒත් ඇතුලට ගැඹුරට කැපෙන වැඩක්. කෙටියෙන් මගතොටේදි යාලූවෙක් ඇහුවොත් මගේ රිවිව් එක වෙන්නෙ,
වට් අ නයිස් කපල් කියන්නෙ පට්ට වැඩක් මචං කියන එක විතරයි.

-චින්තන ධර්මදාස

Monday, October 9, 2017

දස්සා!!



දස්සා ගැන මං මේ ටික ලියන්නම  ඕනි. ඒ දස්සා නළුවෙක් වෙන හැටි මං බලන් හිටපු හින්ද. ඌ අද හොඳම නළුවා විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන ආදරය ඇත්තටම ඒ ට‍්‍රයි එක, කට්ට, ජීවිතේ බාර ගැනීම ගැන දැනෙන මනුස්සකමේ ආදරයක්. එහෙම නැතුව හොඳම නළුවා කියන සම්මානෙ ඇති බුබ්බක් නෙමෙයි. ඒත් ඒක දස්සා වගේ එකෙකුට ලැබුනම ඒ සම්මානයට වෙනම තේරුමක් එනවා.

දස්සව මට මුනගැහෙන්නෙ මහරගම ස්ටුඩියෝ ආටිසන් එකේදි. ඒක මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් උගන්නන්න දාපු ඉස්කෝලයක්. මහේන්ද්‍ර පුළුවන් තරම් විධිමත්ව ඒ වැඬේ කරන්න බැලූවා. කොටින්ම මැටියෙන් හදපු ෆිල්ම් තියටර් එකක් පවා තිබුන. රංගනයට අමතරව ස්ක‍්‍රිප්ට් රයිටින්ග්, ඩිරෙක්ටින්ග්, මියුසික් වගේ තව ගොඩක් දේවල් එතන ඉගැන්නුවා. ඒක හරි ලස්සන ජොයින්ට් එකක්. ඒත් හැමතිස්සෙම වෙන්න නියමිත විදිහටම ආර්ථික කාරණා කළමනාකරණය කරගන්න එතනදිත් බැරිවුනා.

ස්ටුඩියෝ ආර්ටිසන් ප්‍රොජෙක්ට් එක අසාර්තක වුනාට ඒකෙන් ගොඩක් කට්ටිය නිර්මාණය වුනා. විශේෂයෙන්ම නළුවො. මහේන්ද්‍ර නළුකම ඉගැන්නුවෙ කොහොමද කියන්න මං දන්නෙ නෑ. මූලික ශාරීරික අභ්‍යාසවලින් පස්සෙ උන්ව සාමාන්‍ය සමාජෙට තල්ලූ කරලා දැම්මා. වඩාත්ම වැදගත් දේ විදිහට මං දැක්කෙ සදාචාරමය සීමාවලින් එපිට ජීවිතේ වගේම මිනිස්සු ආශ‍්‍රය කරන්න මහේන්ද්‍රගෙන් ලැබුන පෙළඹවීම. මං දස්සා හැදෙනවා දැක්ක තැන එතන.

පොඩි පොඩි සල්ලි නැති ෂෝර්ට් ෆිල්ම්වලට, වේදිකා නාට්ටිවලට, අහුවෙන  ඕනදේකට වැයවෙන්න මහේන්ද්‍ර උන්ව පුරුදු කළා. ර`ගපාන්න ආපු උන් නළුවො විදිහට විතරක් නෙමෙයි, සෙට් වල ප්‍රොඩක්ෂන් කරන්න පවා ආවා. ඒක අවිධිමත් වුනත් පූර්ණ අත්දැකීම් කලාපයක්. කවුරුහරි නැවත රංගන පාසැලක් ගැන උනන්දු වෙනවා නම් ස්ටුඩියෝ ආර්ටිසන් ප්‍රොජෙක්ට් එක ස්ටඩි කරන්නම  ඕනි.

දස්සා නිතරම ආටිසන් එකේ හිටියා. නිකං ඉන්න වෙලාවට ඌ තනියම මහේන්ද්‍රගෙ ස්ලෝමෝෂන් වගේ එක්සර්සයිසස් කර කර හිටියා.  ඕනම දුසිරිතකට ඌ හිනාවෙවී එකතු වුනා. ජොයින්ට් එකක් හොයන්න වුනත්, ඔතන්න වුනත්,  ඕන තැනක පත්තු කරන්න වුනත් දස්සා වටපිට බැලූවෙ පැකිලූනෙ නෑ. ජොයින්ට් විතරක් නෙමෙයි, අනිත් කොයිදේකදි වුනත් ඌ පනින්න කලින් හිතලා බැලූවෙ නෑ.

ඒක දස්සාගෙ තියෙන ලස්සනම ගුනයක්. කොයි වෙලාවකවත් ජීවිතේ කිසිම දේකට උගේ සතුට හොරකම් කරන්න බැරිවුනා. දස්සා ලොකු පවුලක, අතමිට ඇතුව හැදුන එකෙක් නෙමෙයි. ඉබ්බන්වල හන්දියෙ අනවසර ඉඩමක දස්සලට කෑම කඩයක් තිබුන. ඒකෙන් තමයි කීයක් හරි හොයාගන්න පුළුවන් රස්සාවකට යන්නෙ නැතුව, කවදා හරි නළුවෙක් වෙනවා කියන ආසාවෙන් අවුරුදු ගනං පාරෙ රස්තියාදු වුන දස්සා නඩත්තු වුනේ. කොයිතරම් අමාරුකම් තිබුනත් දස්සාගෙ හීනය විශ්වාස කරන්න උන්ගෙ පවුලෙ අයට පුළුවන් වුනා. ඒක තමයි දස්සට තිබුන හයිය.

එක දවසක දස්සලගෙ කඬේ ඩෝසර් කරලා අයින් කළා.
‘කඬේ කඩලා දැම්මනේ...’ දස්සා ඒකත් කිව්වෙ හිනාවෙවී.
ඒ හැම අමාරුකමකදිම කිසිම කුහකකමක්, වෛරයක් නැතුව හිනාවෙන් ජීවිතේ බාරගන්න පුළුවන් එක දස්සාගෙ තිබුන දිව්‍යමය ගතියක්.

දස්සා නළුවෙකුට  ඕනකරන දේහලක්ෂණ ඇතුව ආපු එකෙකුත් නෙමෙයි. ඌ පුංචියි. ඒ මදිවට දෙබස් කියද්දි ගොඩක් පැටලෙන අවුලකුත් තිබුන. මූනත් පොඩි එකෙකුගෙ වගෙයි. මූට නළුවෙක් වෙන්න ගොඩක් අමාරු වෙයි කියල මාත් හිතුවා. ඒත් දස්සා අත්ඇරියෙ නෑ. ඌට මහේන්ද්‍ර පෙරේරා ඉන්ස්පිරේෂන් එකක් වුනා.
බූඩිගේ නිම්නය කරන කාලෙදි ප්‍රොඩක්ෂන් එකේ කෑම සප්ලයි කළේ දස්සා. එතකොට අර කඬේ තිබුන. බත්මුල් බැඳගෙන සෙට් එකට වෙලාවට ගේනවට අමතරව දස්සා ෆිල්ම් එකේ කරන්න තිබුන හැම වැඩකටම පුළුවන් උපරිම සප් එකක් දුන්නා. සමහර ලොකේෂන් පවා හෙව්වෙ ඌ. අපි වැඬේ අත්ඇරලා ගියාට පස්සෙත් ෆිල්ම් එක ඉවර වෙනකල් දස්සා බූඩිට ලොකු හයියක් වුනා.

එක කාලෙක අපි වසන්තිලාගෙ ගෙදර හැමදාම සෙට් වෙන පුරුද්දක් තිබුන. එතන  ඕන වෙලාවක කංසා තිබුන. දවසක් කාගෙ හරි ඔත්තුවකට ඒ ගෙදරට පොලිසිය පැන්නා. කංසාත් එක්ක දස්සලා අපි ඔක්කොම පොලිසියට ගෙනිච්චා. දස්සා දවස් දාහතරකට කිට්ටු වෙන්න රිමාන්ඞ් එකේ හිටියා. රිමාන්ඞ් එක ගැනවත් දස්සාට නරක කතාවක් කියන්න තිබුනෙ නෑ.

‘එතන මාර ආතල්.. මාර පොරවල් ඉන්නෙ.. වෙනම ලෝකයක්...’

දස්සා හැමතිස්සෙම අලූත් අත්දැකීම් වලින් අමන්දානන්දයට පත්වුනා. ඒවා හොඳද නරකද කියලා විනිශ්චයක් ඌට තිබුනෙ නෑ. ඒක හරිහමන් නළුවෙකුට තියෙන්නම  ඕන ගුනයක්.
නළුවෙක් විදිහට දස්සාගෙ ගමන මටසිළුටු එකක් නෙමෙයි කොහොමවත්. ඌට මේ තරම් මිනිස්සු ආදරේ ඒකයි. ඌ කරන ර`ගපෑම මොකක් වුනත් මේ තරම් දැනෙන්නෙ ඒකයි. ඌ කොන්දේසි විරහිතව ජීවත් වෙන එකෙක්.

මේක දස්සාගෙ විතරක් නෙමෙයි. කළණ, ජගත් වගේ තව ගොඩක් මේ පරම්පරාවෙ නළුවන්ගෙ ඇත්ත කතාව. උන් සීනිබෝල නෙමෙයි. උන්ගෙ ජීවිත කොළඹ නන්නත්තාරෙ ගිය ජීවිත. පොඩි එහාමෙහා වීමකින් උන් ජීවිතේ නැතිවෙන තරම් අවදානම් ගත්තා. කිසිම හව්හරණක් නැතුව ජීවිතේට මූනදුන්නා. උන් නළුවො විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන්නෙ ඒ ජීවිතේ ගැන භක්තියක්.

අද මේ පරම්පරාවෙ එවුන් අත්පත් කරගත්ත සාර්ථකත්වය කොයිතරම් වුනත් උන් එතනට අතිශයින්ම සුදුසුයි. එයින් එකෙක් ලංකාවෙ හොඳම නළුවා වෙද්දි උගේ හැම වචනයක්ම, හුස්මක්ම, බදාවැළඳ ගැනීමක්ම ඒ තරම් කම්පනයක් ඇති කරන්නෙ උන්ගෙ ජීවිතවල තියෙන මේ බර දැනෙන හින්දමයි.

මහේන්ද්‍ර හොඳම නළුවා විදිහට සම්මාන ගත්තද කියන්න මතකයක් මට නෑ. ඒත් මහේන්ද්‍ර හොඳම නළුවො පරම්පරාවක් හැදුවා. ඒ ඇති.