Friday, March 22, 2019

දැකලා පුරුදු නැති සිනමාව



දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින එක කියලයි මං හිතන්නෙ. බැනුමක් හොඳකට වඩා කොහොමත් ඉන්ටරෙස්ටින් සහ ඔනස්ට්. හොඳ ගොඩක් වෙලාවට බෝරිං.

දැකලා පුරුදු කෙනෙක් පලවෙනි පාරට දැක්කම මට ඇතිවුනෙ තිගැස්මක්. ඒකට මූලින්ම හේතුවුනේ බූපතිගෙන් මේ විදිහෙ ස්ක‍්‍රිප්ට් එකක් මං බලාපොරොත්තු නොවීම. කෝ බූපති උඹේ අඩි සද්දෙ කියල මට අහන්න හිතුන. ස්ක‍්‍රිප්ට් එක ඒ තරම් සියුම් තැන් ඇතුව ලියවිලා තිබුන. තියරිවලින් පුරුදු කරන ගල්ගැහුනු නිශ්චිත නිවැරදි සමුච්චය වෙනුවට අවිනිශ්චිත , වික්ෂිප්ත, අර්තවිරහිත බව පිටපතේ තිබුන. ඒක වෙනස් චිත‍්‍රපටි පිටපතක්. අලූත් දෙබස් ලියමනක්.

සාමාන්‍යයෙන් අපි පිටපතක දෙබස් ලියන්නෙ රූපෙ විස්තර කරන්න. ඒක හින්දම දෙබස් බාල වෙනවා. ඒත් මේ පිටපතේ දෙබස රූපය කියවනවා නෙමෙයි. රූපයේ නැති විශ්වයක් ගැන කියනවා.

ඇඳ උඩ නිදාගෙන සමාධි කතා කරන්න උත්සාහ කරන පලවෙනි දර්ශනය මාව බෙල්ල මුලින්ම අල්ලගත්තා. ඒ ගෑනුකම මූ කොහොම ලිව්වද කියල ඉරිසියා හිතුන. සුකුරුත්තං නැති ඒ රගපෑම් ඒ අධ්‍යක්‍ෂණය අමෘතයි. ෂොට් එක විසිතුරු කරන්න කැමරාව ඉසව්ව හොයනවා වෙනුවට සරලව මූන පේන, කැමරාවක් කියල නොහිතෙන තැනක කාචය විවෘත වෙනවා. අපි දකින්නෙ මිනිස්සු විතරයි. දර්ශන තල නෙමෙයි. කෙලින්ම ජීවිතය ෆෝකස් කරපු සිනමාවක්.

චිත‍්‍රපටිය හදන්නෙ රියලිස්ටික් ෆිල්ම් කියන ටයිටල් එකක් යටතෙ. මට හිතෙන්නෙ ඒ හින්දම චිත‍්‍රපටිය අමුම අමු යතාර්ථවාදීයි. අපි රියලිස්ටික් කියල මෙතුවක් බලපු හැම චිත‍්‍රපටියකම රියලිස්ටික් වගේ පේන නමුත් නොවෙන කෑල්ලකුත් තිබුන. ඒත් මේකෙදි ඒ හැඩවැඩ වංගු නැති සරල පැතලි යතාර්ථයෙන් මලිත් බූපති  මූනට දමලා ගහනවා. අපි මැජික් නැති කසාද ජීවිතේක සරල පැවැත්ම දිහා ඇස් ලොකුකරන් ඉන්නවා.

සියල්ල ගලපා තනි එකක් වශයෙන් නිර්වචනය කොට පැවසිය නොහැකි ස්ත‍්‍රී ජීවිතය සහ සියල්ල තාර්කිකව, නිවැරදිව ගලපා පලකල යුතු යැයි අදහන පිරිමි ජීවිතය අතර නොපෑහීම, නොදැනීම දැකලා පුරුදු කෙනෙක් වස්තුවිෂය වෙනවා.

මේ ගැහැනියට පුළුවන් කසාද ආදරයට පිටින් තවත් ආදරයක් ස්වභාවික විදිහට දකින්න. ඒක ජීවිතේ ඇත්ත ආදරය අඳුරගත්ත මොහොත විදිහට පවා කියවන්න. ළංවෙන පිරිමින්ගෙන් ලේබලයක් නැති ආදරයක් විඳින්න. ඒ අතරෙම කසාද පේ‍්‍රමයත් ඒ වටිනාකමෙන්ම කැපවීමෙන්ම පවත්වාගෙන යන්න. මේ සියල්ල අතර ප‍්‍රතිවිරෝදයක් නැතුව ජීවත් වෙන්න.

ඒත් පිරිමියා ඉල්ලන්නෙ එක දොරක් තියෙන ගෙදරක්. දොරවල් දෙකක් කියන්නෙ හොරකමක්. ඒ සදාචාර නීතියට පිටින් ගතවෙන ජීවිතය පිරිමියා විසින් වාරනය කරනවා. ගැහැනියගේ සමස්ත සමාජ ජීවිතයම අත්අඩංගුවට ගන්නවා. කිසිම තේරුමක් නැතිවත් ඒ වාරණයෙන් තෘප්තිමත්ව අතෘප්තියෙන් ජීවත් වෙනවා. මෙතන පිරිමියා සැලසුම් ශිල්පියෙක්. එයා කරන්නෙ සිතියම් අඳින එක. ගැහැනිය කරන්නෙ ඒ සිතියමෙන් එලියෙ ජීවත්වෙන එක.

ඒත් තමන්ගේ කසාද පේ‍්‍රමය වෙනුවෙන් සියල්ල අත්හරින්න ගැහැනිය ලෑස්තියි. ජීවිතේ අතරමගදි හඳුනාගත් සැබෑ පේ‍්‍රමයට පවා නැවතීමක් තියන්න ඇය නොපසුබටයි. වාරණය කරපු ජීවිතේ පුංචි සීමා ඇතුලෙ තමන්ගෙ සතුට නිර්මාණය කරගන්න එයා උත්සාහ කරනවා. ආපහු හැමදෙයක්ම අලූතෙන් පටන් ගන්න එයාට පුළුවන්.  ඕන නං ඒක ඇතුලෙම, නැත්තං එලියෙ.

ඒත් පිරිමියාට එහෙම බෑ. සමාව දීමක් හෝ අත්හැර දැමීමක් කියන තීරණ අතරින් එකක්වත් ගන්න බැරුව ඌ දුක් විඳිනවා. තමන්ගේ සහ අවට ජීවිත සියල්ල අඳුරු කරනවා. අනතුරකින් අහම්බයකින් පේ‍්‍රමයක් පටන් ගන්න පුළුවන් වුනත් අනතුරකින් අහම්බයකින් පේ‍්‍රමයක් යලි පිලිසකර කරගන්න පිරිමියා අසමත්. ක‍්‍රිස්තියානි හොඳ- නරක ද්විකෝටිකය අතර එයා අබ්බගාත වෙනවා.

බල්ලෙක් මැරිලා පටන් ගන්න පේ‍්‍රමය කැඩුනම මිනිහෙක් මැරිලවත් ගොඩදාන්න බැරි වෙනවා.

කතාවෙ අතුරු චරිත ලියවෙලා තියෙන විදිහත් මරු. ජගත් මනුවර්ණ ඥාති මල්ලි කෙනෙක් විදිහට කරන පොඩි චරිතයේ වුනත් එකතු වුනු සියුම් සියුම් ඞීටේල් ඒ චරිතය සැක- නිසැක අතර හොඳට දෝලනය කරනවා. පැත්තකට බරවෙලා සිගරට්ටුවක් දෙනකං වැඩක් නැති කතාවකින් හෑල්ලූ වෙන්න හදන බාස්ගෙ චරිතෙ වුනත් අමතක නොවෙන තරමෙ එකක්. දෙපැත්තෙ අම්මලා තාත්තලා වුනත් රගපාන එක රගපානවා, දුවන්න.

එක විදිහකට මේක රිවෙන්ජ් ස්ටෝරි එකක්. පිරිමියාගේ පලිගැනීම කිසි තේරුමක් නැති වුනත් අවසානය තෙක් අත්නොහරින එකක්. අනෙකාව මරා තමනුත් දිවිනසාගන්නා වර්ගයේ එකක්.

මේ ෆිල්ම් එක මේ විදිහට බලාගෙන ඉන්න අතරෙ මං කල්පනා කළා ඇයි මං මේ ෆිල්ම් එකට මේ තරම් කැමති කියල. මේ කතාව පුරාම අපි බලාගෙන ඉන්නෙ එකම මොහොතක්. ලොකු ඉමෝෂනල් ඉහල පහල යාම් නෑ. හරියටම කිව්වොත් කතාව පටන් ගන්න තැනදි අපි දකින චරිතමයි අවසානය වෙනකල් ඉන්නෙත්. ඒ චරිතවල අභ්‍යන්තර හෝ බාහිර ගමනක් නෑ. ඒ වෙනුවට අවසානයේ එකතුවෙන ෆ්ලෑෂ් බැක් එකකින් අපිට සුරතාන්තයක් දෙනවා. ඒ දෙන්නාගෙ කසාද දවසෙ මතකය. බලන් ඉන්න අපිට ඒක මාර චූන්. හැබැයි ඒකෙන් නැරටිව් එකේ සිද්ද වෙන වෙනසක් නෑ.

එතනදි මට හිතුනා අපි මේ රසවිඳිමින් ඉන්නෙ සැටයර් එකක් නේද කියල. මේ චරිත දිහා රචකයා හෝ අධ්‍යක්ෂවරයා බලන්නෙ එම්පති එකකින් නෙමෙයි. ඒ වෙනුවට ඒ චරිතවලට පිටතින් තරමක් ඉහලින් ඉඳන් හෙලන දෘෂ්ටියක් චිත‍්‍රපටිය ඇතුලෙ තියෙනවා. මේ චරිතවල සැබෑ අභ්‍යන්තරය වෙනුවට අපි ඔවුන්ගේ කෙලවීම රසවිඳිමින් ඉන්නවා. මට එතනදි හිතුනා බූපතිගෙ අඩිසද්දෙ ඇහෙනවා කියල. කසාද සංස්තාව දිහා බලන සදය බැල්මක් තමයි දැකලා පුරුදු කෙනෙක් හෙලන්නෙ.

අපි වගේ සමාජය කියවන්න හදන පිරිසකට මේ ගේස්z එක නැගලා යන එකක්. ඒත් බහුතර පේ‍්‍රක්ෂකයා චිත‍්‍රපටියට ආකර්ශනය නොවෙන්න මේ සදය දෘෂ්ටිය බලපානවා කියල මට හිතෙනවා. ෆිල්ම් එකක්  ඕඩියන්ස් එකට වැඩ කරන්න ක‍්‍රියේටිවිටි වගේම එම්පති කියන කාරනයත් බලපානවා. මෙතනදි නිර්මාණශීලීත්වයේ උපරිමයට යද්දි  එම්පති කියන එක අවමයට යනවා. අපි මේ චරිත අභ්‍යන්තරය හෝ ඔවුන්ගේ සැබෑ හැගීම් චලනයන් එක්ක බැඳීමක යන ගමනක් නෙමෙයි.

මේ ප‍්‍රධාන චරිත තමන්ට ඇත්තටම අවශ්‍ය මොනවද කියල නොදන්නා චරිත. ඒවා උපරිමෙන් වල්නරබල්. මේ වික්ෂිප්තබව අපිව චරිත එක්ක ගැටගහනවා වෙනුවට ඒවා දිහා පිටතින් බලාඉන්න ජජ්මෙන්ටල් තැනක රඳවනවා කියල මට හිතෙනවා. ඒක මං දකින්නෙ එක විදිහක දුර්වලතාවයක් විදිහට.

ෆිල්ම් එකට මිනිස්සු ගෙන්න ගන්න කාරනයෙදි ඇඞ්වර්ටයිසින් පැත්ත දුර්වල වග කියන්න  ඕනි. මේ තුන්දෙනෙක් ගෙයක් ඉස්සරහ හිටන් ඉන්න පිංතූරෙ ෆිල්ම් එක බලන්න කොහෙත්ම උනන්දුවක් ඇති කරන්නෙ නෑ. ඒ වෙනුවට තවත් සම්භාව්‍ය එකක් කියල ලේසියෙන්ම මග අරින්න ඉඩක් හදනවා. ඒ වගේම ටේ‍්‍රලර් එක පවා කෘතියේ භාවයම ඉස්මතු කරනවා විනා ඊට වෙනස්ව ආශාවක් ඇති කරන පැත්තෙන් නිර්මාණය වෙලා නෑ. ඒක අපරාදයක්.

මේ වගේ ෆිල්ම්වලට අපි වගේ  ඕඩියන්ස් එකක් එන එක සහ කැමති වෙන එක ඉතා සරල කාරනයක්. අභියෝගය තියෙන්නෙ යම් පමනකින් හෝ අපේ සර්කල් එකෙන් එලියට වැඬේ අරන් යන එකයි. එතනදි අපිට සිද්ද වෙනවා යම් යම් කැපකිරීම් කරන්න. කපුගේ සනත් නන්දසිරි වගේ කට්ටියගෙ සිංදු ලංකාවෙ මාස් එක ඇහුවෙ ඒ සිංදු සන්ෆ්ලවර් එක්ක ගැහුවම. එතකල් ඒ සිංදු ඇහුවෙ එකම සීමිත පිරිසක්. ඒත් සන්ෆ්ලවර් ටක්ක ටකේට පුළුවන් වුනා ඒ සිංදුම වෙන ලොකු  ඕඩියන්ස් එකකට අරන් යන්න. මට හිතෙන්නෙ අපි ෆිල්ම් එකක ඇඞ්වර්ටයිසින් ගැන හිතන්න  ඕන එතනින්.

යුද්දෙන් බැටකාපු ගම්මාන කතන්දර සහ ඉතිහාස මනස්ගාතවලින් එලියට ඇවිත් අපි නාගරික මධ්‍යම පාංතික පවුල දිහා, ඒ කියන්නෙ අනුන් දිහා බලනවා වෙනුවට අපි දිහා හැරිලා බලන්න ගත්තෙ ඉතාම මෑතක. එතනදි මට චිත‍්‍රපටියක් විදිහට හඳයගෙ ඇගේ ඇස අග මතක් වෙනවා. අනිත් පැත්තෙන් වේදිකා නාට්‍යයක් විදිහට රාජිතගේ හිතලා ගත්තු තීරනයක් මතක් වෙනවා. මට හිතෙන්නෙ දැකලා පුරුදු කෙනෙක් ගැන සමාජ සංස්කෘතික සංවාදයට මේ නිර්මාණ යුගලයත් දෙපැත්තෙන් තියාගන්න  ඕනි. 

මේ සිනමාව විවෘත කිරීම ගැන මලිත්ට සහ බූපතිට හදවතින්ම ස්තුතියි. දැකලා පුරුදු නැති මේ සිනමාව දුවවන වැඬේ මේ දෙන්නගෙන් එලියෙ අපිටත් අයිතියි.













No comments:

Post a Comment