Monday, April 15, 2019

රාත්තල් තුන්සීයක බර පහරක්





පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන් වැස්සකුත් වැටෙමින් තිබුනා. මූඩ් එක වෙරි නයිස්, පහෙන් පහයි. 
මං අසන්දිමිත්තා නවකතාව කියවලා නෑ. ඒක හින්ද ෆිල්ම් එක ගැන මගේ තියෙන අදහස තනිකර ෆිල්ම් එකම පදනම් කරගත්ත එකක්. 

මේක බලපු හැමෝම මට පොදුවෙ එක කතාවක් කියල තිබුන. 

මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ බං. 
ඒක පේ‍්‍රක්ෂකයාගෙ පැත්තෙන් පට්ට සාධාරන කතාවක්.

ෆිල්ම් එක තියෙන්නෙ ඇගේ හන්දියක්වත් නොපෙනෙන තරමට රවුම් වුනු අසන්දිගෙ කතාව ගැන. ආයිමත් කැමරාවට ඒ කියන්නෙ පේ‍්‍රක්ෂකයාට කෙලින්ම ප‍්‍රතිචාර දක්වමින් හඳයා පටන් ගන්න සිනමා භාෂාව මාව කුල්මත් කළා. දියකැට පහන කාලෙ හඳයා ආපහු වැඩ පටන් අරන් කියල පලවෙනි සීන් එකෙන්ම මං පිනා ගියා.

මේ අපි තිරයෙ දකින කතාව කියන්නෙ සිනමාකාරයෙක්. ඒක එයාට අසන්දි කියන තඩි ගෑනි විසින් කියන කතාව. 

කතාව බලාගෙන යද්දි ඒ සිද්දි ගොඩනැගෙන විදිහෙ දැනෙනවා නොගැලපීමක්. අභව්‍යකමක්. ඒක ඇබ්සර්ඩ් වැඩක් විදිහට සංඥා වෙන්නෙත් නෑ. කොටින්ම මොකද්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙනවා. කතාව අන්තිමේදි අපිට අපි නරඹපු දේ නැවත ලිහාගන්න පුංචි ඉබි යතුරක් හම්බුවෙනවා. ඒකත් අපි විසින් හොයාගෙන කපාගන්න ඔ්න එකක්. 

මේ කතාව කියන්නෙ අසන්දි. ඒක ඇත්ත කතාවක් වෙන්න කොහෙත්ම උවමනාවක් නෑ. අසන්දිට එයා කැමති කතාවක් චිත‍්‍රපටිකාරයෙකුට කියන්න ඔ්න තරම් හේතු තියෙන්න පුළුවන්.

රාත්තල් තුන්සීයක් බර ශරීරය අසන්දි වුනාට එයාගෙ මනස සන්දි වූවක් වෙන්න පුළුවන්. ඒක බිඳුනු නැත්තං ස්ප්ලිට් එකක් වෙන්න පුළුවන්. සමාජයේ නිරන්තර ප‍්‍රතික්‍ෂේප වීමට, පාවිච්චි වීමට අසන්දිගේ මනස යතාර්ථය විදිහට වෙනස් සමාන්තර නැරටිව් එකක් තෝරගත්තා වෙන්න පුළුවන්. ඒක පිරිමින් දෙන්නෙකුගෙන් සමන්විත ප‍්‍රබන්ධ යතාර්ථයක්. එකෙක් මිනිමරුවෙක් අනිකා හොරෙක්. මේ දෙන්නා වතාවෙන් වතාවට මාරුවෙමින් අසන්දිගේ ලෝකය ජීවත් කරනවා.

මේ ප්ලොට් එක මරු එකක්. ඩබල් ලයිෆ් ඔෆ් වෙරොනිකා ඉඳන් පොලාන්ස්කි වගේ සිනමාකරුවන් හරහා ලින්චියානු සිනමාව වෙනකං හොඳ බල්ටි ගහන්න පුළුවන් තැනක්. ඒත් හඳගම සිනමාත්මකව මේ වික‍්‍රමයට සමත් වෙන්නෙ නෑ. මේ චිත‍්‍රපටය විසින් ඉල්ලා සිටින සයිකොලොජිකල් ත‍්‍රිලර් සිනමාවක ලක්ෂන නිර්මානය කරගන්න හඳයාට බැරි වෙනවා. අපි මුල ඉදන් දකින්නෙ සමාජ අසාධාරනයට ලක්වූ ගැහැනියක් ගැන දුර්වල අවිශ්වාසනීය වියමනක්. ඒ වියමන එක්ක බැඳෙන්න, අනුගත වෙන්න අපිට කාරනා ගොඩනැගෙන්නෙ නෑ. කතාව අවසානයේ එකපාරටම ඒක ත‍්‍රිලර් එකකට මාරු වෙනවා. ඒත් ඒකෙන් වෙන්නෙ අවිශ්වාසනීයත්වය, අද්භූතබව තවත් වැඩි කිරීම විතරයි. අපිට අසන්ධිගෙ මනස තේරුම්ගන්න පුළුවන් පාලමක් හැදෙන්නෙ නෑ. 

ත‍්‍රිලර් සිනමාවක ලක්ෂන මුල ඉඳන් ගොඩනැගිලා තිබුනා නම් අපිට අසන්ධිගේ සන්ධි මානසිකත්වය එක්ක විශ්වාසනීය සම්බන්ධයක් ගොඩනැගෙන්න ඉඩ තිබුනා.  එතනයි පේ‍්‍රක්ෂකයාට දොරක් තියෙන්නෙ.  මේ විදිහෙ සිනමාවක් කියන්නෙ ඇත්තටම අභියෝගයක්. අවාසනාවට අසන්දි මෙතනදි ෆේල් වෙනවා. 

මට මතක් වුනේ පොලාන්ස්කිගෙ ද ටෙනන්ට් ෆිල්ම් එක. ඒක අසන්දිමිත්තාට හොඳ පූර්වාදර්ශයක් වෙන්න තිබුන.

කතාව පේ‍්‍රක්ෂක මනසත් එක්ක සම්බන්ද වෙන්නත් ආතතිය පවත්වාගෙන යන්නත් අවශ්‍ය අසන්දිගේ ප‍්‍රබන්ද ලෝකය සහ වාස්තවික ලෝකය අතර ගැටුම පිටපත ඇතුලෙ නිර්මානය වෙන්නෙ නෑ. මේ හින්දම කෘතිය එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වෙනවා. දුරස්ත වෙනවා.

අපිට අසන්දි එක්ක සංවේදී වෙන්න මොහොතක් මුනගැහෙන්නෙ නෑ. චිත‍්‍රපටිය පුරාම අපි බලන් ඉන්නෙ අසන්දිගෙ පිස්සුව. ඒ පිස්සුව විනිවිදලා එතනින් එහා පවතින අසන්දිගෙ ආත්මය ස්පර්ශ කරන එක නරඹන්නාට දුෂ්කර ක‍්‍රියාවක් වෙනවා. හඳගම තමන්ගෙ නිර්මාණයේ ඉතුරු කරලා තියෙන්නෙ සියල්ල විවෘත අන්තයන්. අපි අසන්දි ගැන සංවේදී වෙන හැම කාරනයක්ම අපි විසින් නිර්මානය කරගන්න හිතලු මිස චිත‍්‍රපටිය විසින් අපිට ලබාදෙන ඒවා නෙමෙයි. 

ඒ හින්දම අපි දකින සිනමාව හිස් එකක් වෙනවා. අවිශ්වාසනීය වෙනවා. අපි අසන්දිගෙන් දුරස්ව එක ඇහැක් පොඩි කරගෙන අසන්දි දිහා බලන් ඉන්නවා.

ඇත්තටම..?
අපිට එන්නෙ එහෙම වික්ෂිප්ත හැගීමක්.

මුලු කතාවෙ සියලු අසාර්ථකතා දරාගෙන බලාගෙන ඉන්න තරමට නිල්මිනීගේ රගපෑම විශිෂ්ට එකක්. ඒ රාත්තල් තුන්සීයෙ ශරීරය පුදුම සෞන්දර්යයක් තිරය උඩට ගේනවා. රාත්තල් තුන්සීයක ආදරයක් කියන කතාව ඒ රංගනයට හරියටම ගැලපෙනවා. චිත‍්‍රපටියෙ සම්පූර්න බර තියෙන්නෙ ඒ රාත්තල් තුන්සීය උඩ.

ඒත් ඒ චිත‍්‍රපටිය වෙහෙසකර අත්දැකීමක්. තමන්ට නොතේරෙන පටලැවිල්ල ඇතුලෙ පේ‍්‍රක්ෂකයා ෆිල්ම් එකෙන් ගැලවෙනවා. අද්භූතබව ඇරුනම එයාව අල්ලලා තියාගන්න කිසිම සංවේදනයක් ඒ කැඩුනු බිඳුනු සිනමා ආඛ්‍යානය විසින් ගොඩනගන්නෙ නෑ.
කතාවෙ අන්තිම සීන් එක පට්ට. ඇත්තටම අසන්දිගෙ ප‍්‍රබන්ද යතාර්ථය සහ පවතින යතාර්ථය අතර  මේ ෆිල්ම් එකට අවශ්‍ය ටෙන්ෂන් එක හැදෙන්නෙ ඒ අන්තිම සීන් එකේ විතරයි. මේ කම්බැක් එක ලංකාවෙ කලින් පාවිච්චි නොකරපු විදිහෙ පොප් වැඩක්.

කෘතියක් විදිහට අසමත් වුනත් හඳගම අලුත් නැරටිව්ස් ඉව කරමින් ඉන්න වග පැහැදිලියි. අලුත් සිනමා අත්දැකීම්, භාව කලාපයන් අත්හදා බලන වග පැහැදිලියි. තමන්ගේ  සිනමාව ඇතුලෙම තව පතුලට හාරමින් බය නැතුව අලුත් ප‍්‍රවේශයන් ට‍්‍රයි කරන එකට හඳයාට අත්පුඩියක් ගහන්න ඔ්නි. 

මේ චිත‍්‍රපටියෙ මං කැමතිම දේ හඳයා මේ තඩි ගෑනි දිහා බලන විදිහ.

ඒක සුපුරුදු අනුකම්පාව මුසු පව් හැගීම නෙමෙයි. ඒ වෙනුවට හඳයා ඒ රාත්තල් තුන්සීයක පිස්සුව ඇතුලෙන් ආපහු සමාජය දිහා බලනවා. අපි දකින්නෙ කිසිම ගිල්ටියක් හෘදයසාක්ෂියක් නැතුව තමන්ට හරස්වෙන ඔ්න එකෙක් මරාදැමිය හැකි සාපරාදී -නමුත් වරදකාරී නොවන ගැහැනියක්.  උමතුව තුල පරාජය කළ නොහැකි තරමට ශක්තිමත් වුනු ගැහැනියක්. ඒක ඇතුලෙ ඉන්නවා පිරිමි දෙන්නෙකුගෙ ආවේශයෙන් බලය ගත් භද‍්‍රකාලී කෙනෙක්. එයා පව් නෑ. එයා ආපහු හැරිලා ගහනවා.
ඒක රාත්තල් තුන්සීයක බර පහරක්.

2 comments:

  1. ඛේමා (අජාසත්තගෙ අගමෙහෙසිය)April 15, 2019 at 12:36 PM

    අසන්දිමිත්තා එල්ලන සීන් එකට කලින් භික්සුවකුත් දැම්මනං කියල වැඩක් නෑ.. හඳයට වෙසක් එකට "අජාසත්ත" වගෙ පෙන්නන්න තිබ්බා. රාත්තල් 30 (තිහක්) වුනත් කතන්දරේ ඔච්චරයි.

    ReplyDelete
  2. බලන්න පොළඹවන විචාරයක් :)

    ReplyDelete