Monday, July 8, 2019

දඩයක්කාරයා ඇවිත්



සයිමන්ගේ කිසිම කෘතියක් ගැන කිසිම දෙයක් නොකියන්නයි මං හිතාගෙන හිටියෙ. ඒ තරමටම ලංකාවෙ සයිමන් අධිතක්සේරු වෙලා, ඊට පස්සෙ ලොකු මවාගැනීමක් වෙලා අලි බොරුවක් තරමට පිරිහුනා. සයිමන්ගේ කෘති ලංකාවෙ බිහිවුනු සුවිශේෂම සාහිත්‍ය කෘති වග ඇත්ත. ඒ තරම් ගැඹුරකට, පුද්ගල සාමූහික අවිඥානයන් අතර සැරියකට එළඹුන කිසිම සාහිත්‍යකරුවෙක් මට මුනගැහිලා නෑ. ලංකාවෙ විතරක් නෙමෙයි වෙන භාෂාවලින් ලියවුණු කෘති අතර තියාගෙන කියෙව්වත් සයිමන් විශිෂ්ටයි.

ඒත් ලංකාවෙ සයිමන්ව උඩ දාන්න ගත්තෙ සයිමන්ව තේරුම් ගැනීමේ හෝ කියවාගැනීමේ ගැඹුරු උවමනාවකින් නෙමෙයි. සර්පයාට පස්සෙ ලියන්නො සයිමන්ව උඩ දාන තරමක් උඩ දැම්මෙ තමන්ව පුම්බාගන්න. සයිමන් නවගත්තේගම පාව්චිචි වේගෙන යන සිල්ලර විදිහ නිසා ඇතිවුන අප්පිරියාවෙන්ම මං සයිමන්ව අමතක කරලා දැම්මා.

ඒත් ප‍්‍රසන්නගෙ දඩයක්කාරයා එනකල් මං බලාගෙන හිටියෙ සයිමන්ගෙ පරිකල්පන වනාන්තරයෙ තුවක්කුවක් කරේ තියාගෙන, සදාචාරයත් වානර ආත්මයත් අතර ඇවිදින දඩයක්කාරයාව දෑහින් දැකගන්න. ප‍්‍රසන්නට මුනදෙන්න සිද්ද වෙන දරනුම අභියෝගය වෙන්නෙත් මේකයි. සයිමන්ව කියවපු අපි හැමෝගෙම ඔලූ ඇතුලෙ ඇඳුනු දඩයක්කාරයාට සමපාත වෙන එක. ග‍්‍රන්ථයක් විශාල වෙන්න වෙන්න ඒ ඇසුරෙන් නිර්මාණය වෙන සිනමාව කුඩා වීම අනිවාර්යයක්.

සයිමන්ව සිනමාවට ගේනවා නම් ඒක කරන්න පුළුවන් කියල පුද්ගලිකව මං විශ්වාස කරන එකම අධ්‍යක්‍ෂවරයා ප‍්‍රසන්න ජයකොඩි. සයිමන් නවගත්තේගම සහ ජයසේන ජයකොඩි අතර යාවුනු, හැගෙන දැනෙන පාලමක් ප‍්‍රසන්නට තියෙනවා. ඒක ඇගෙන් එන එකක්. සයිමන් ආශාව සහ දමනය අතර ඇවිදිද්දි ප‍්‍රසන්න වඩාත් ජරාවට, අනිත්‍යයට යොමුවෙන වගක් මට හිතෙනවා. කොහොම වුනත් ඒ නිර්මාණ පරපුරේ ජානමය උරුමයක් ප‍්‍රසන්න කියන්නෙ.

ඒත් නවගත්තේගමගෙ දඩයක්කාරයාගේ කතාව නෙමෙයි ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය. දඩයක්කාරයාගේ කතාව කියන තේමාව විතරයි එයා අරගන්නෙ. ඒ වනාන්තරය, ආරාමය, චරිත කීපය ඇසුරෙන් ප‍්‍රසන්න වෙන විදිහක විෂුවල් පොයෙටි‍්‍ර එකක් හදනවා. ෆිල්ම් එක බලද්දි අපිට වැදගත් වෙන්නෙ කතාව නෙමෙයි. ඒ මූඞ් එක, ඒ විෂුවල් අවකාශය අපිව වෙන අත්දැකීමකට අරන් යනවා. අපි ඒක ඇතුලෙ ගතවෙනවා. ශිෂ්ටත්වය, සභ්‍යත්වය, අනුරාගය, ආශාව සියල්ල අවියෝජනීය විදිහට බැඳුනු කල්පිතයක් මැද අපි නිදහස් වෙනවා. සයිමන්ගෙ ප‍්‍රාතිහාර්යයේ ඒ මොහොත ප‍්‍රසන්න නිවැරදිව ග‍්‍රහනය කරගන්නවා.

මට අජිත් කුමාරසිරිව මතක් වෙනවා.
‘සාමයයි කාමයයි
දැවටෙන පුංචි රටයි...’

දඩයක්කාරයාගේ චරිත තෝරාගැනීමත් මරු. හේමසිරි අංකල් ලාංකේය ථේරවාදී බෞද්ද උරුමයේ නියම හාමුදුරුවන්ව මතු කරනවා. අද ඉන්න වික්ටෝරියානු- අරාබි භික්ෂුත්වයෙන් බැහැරව අමු සිංහලකම, චතුස්කෝටිකය මත පදනම් දැක්ම, නිදහස් සිතීම පෙරටුකරගත් අව්‍යාජ භික්ෂුව අපිට මුනගැහෙනවා. හොඳ සහ නරක නැත්නම් පින සහ පව කියන්නෙ මොකක්ද කියන එක ගැන මතුපිට සින්තටික් අතපතගෑම වෙනුවට ගැඹුරෙන් සවිඥානක සිතාබැලීම කියන තැන ස්පර්ශ කරනවා. එහෙම හාමුදුරුවරු තමයි ඉස්සර අපේ පන්සල්වල හිටියෙ. ඒ අය ළ`ග තිබුනෙ දැන් තියෙන  ඕල්කොට් බෞද්දකම නෙමෙයි.

සංජීව උපේන්ද්‍ර තමයි දඩයක්කාරයාට ලංකාවෙ ගන්න ඉන්න හොඳම නළුවා. සයිමන්ගේ මහා දඩයක්කාරයාගේ බර කරට අරගන්නෙ නැතුව සරලව තමන්ට දැනෙන තැන චරිතය නිර්මාණය කරගන්න සංජීවට පුළුවන් වෙලා තියෙනවා. එහෙම නැති වුනා නම් අපිට බලන්න වෙන්නෙ දතකට පියවගත්තු, ඇග පත හිරකරගත්තු අවාසනාවන්ත දඩයක්කාරයෙක්. යම් යම් අඩුපාඩුකම් තිබුනත් සංජීව දඩයක්කාරයාට පැවැත්මක් දීලා තියෙනවා.

ගෝමරීට ර`ගපාන ක‍්‍රිස්ටිනා බි‍්‍රටෝ අලූත් හඳුන්වාදීමක්. ගෝමරී ගැන අපේ ඇඳුනු ගැමි සරාගිකත්වයත් යටිහිතෙන් පෙම්කරන බටහිර ශෘංගාරයත් ක‍්‍රිස්ටිනා හරහා එකතැනක නිර්මාණය වෙනවා කියල මට හිතුනා. සයිමන්ගෙ සුද්දිලාගේ කතාව ධර්මසිරි බන්ඩාරනායක ෆිල්ම් එකකට ගත්ත වෙලාවෙ සයිමන් ඒකට තදබල විරෝධයක් ගෙනාවා. මං දන්න තරමින් ඒක ඒ දෙන්නා අතර පුද්ගලික අවුලක් වෙන තරමටම දිග ඇදුනා. සයිමන්ට අනුව ධර්මසිරි සුද්දිගේ සෙක්ස් නිර්මාණය කරලා තිබුනෙ බටහිර බෙඞ්රූම් සීන් එකක් වගේ. ගමේ මිනිස්සු හැමනෙන්නේ ඒ විදිහට නෙමෙයි. සයිමන් යතාර්ථවාදය වෙනුවෙන් සටන් කළා.

ප‍්‍රසන්නගෙ ෆිල්ම් එක දැක්කා නම් සයිමන් ඒ වලියම නැවත ඇදගන්නා වග සහතිකයි. ඒත් එහෙම යතාර්ථවාදයේ හිරවිය යුතුයි කියල හිතන එක සයිමන්ගෙ සීමාවක්. ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය හැදෙන්නෙ සයිමන්ගෙ යතාර්ථයෙන් එලියෙ. ගෝමරී කියන්නෙ මට චිත‍්‍රපටිය ඇතුලෙ ඉතාම සාර්ථක විදිහට ශෘංගාරය මතු කරන චරිතයක්. පළවෙනි දර්ශන කීපයෙන්ම සමස්ත වනාන්තරය පුරාම ඇවිලෙන දැවෙන අනුරාගයක් සටහන් කරන්න ගෝමරීට පුළුවන් වෙනවා. ඒ හැගීම කොයිතරම් ගැඹුරුද කියතොත් අවසානයේදී ගෝමරීගේ කුණුවී වැගිරෙන කයටවත් ඒ අනුරාගය දිය කරන්න බැරි වෙනවා. කුණුවෙමින් දිරායන ගෝමරීගේ ශරීරයත් අපිට මුනගැහෙන්නෙ ආශාවේම දිගුවක් විදිහට.

ප‍්‍රසන්නගෙ සිනමා භාවිතාව හොඳටම දන්න නිසා මං හිතන්නෙ ප‍්‍රසන්නගෙ වෑයම වෙන්නෙ ආශාවේ ජරාවට පත්වීම චිත‍්‍රපටිය ඇතුලට ගේන්නයි. එයාගෙ හැම ෆිල්ම් එකකම ආශා වස්තුව කුණුවී දිරා යන, පියයුරු කපා දමන, ජීවිතේ අනිත්‍යය සිහිපත් කරන තැනකට ගේන්න එයා උත්සාහ කරනවා. ඉතාම සුන්දර නාරී රුවක් ජීවිතය ගැන බිය දනවන සසර පෙර නිමිත්තක් කිරීමේ ආධ්‍යාශය ප‍්‍රසන්නට නිර්මාණ ඇතුලෙ තියෙනවා. ඒත් මෙතනදි ප‍්‍රසන්න අසමත් වෙනවා. ගෝමරීගේ අනුරාගී කෙඳිරිය කොයිතරම් ප‍්‍රබලද කියතොත් මරණයේදී පවා එය ඉතිරි කරන්නේ දමනය නොකළ ආශාවමයි.

නදීක ගුරුගේගේ චිත‍්‍රපට සංගීතය කොයිතරම් අහලා තිබුනත් සුමුදු ගුරුගේ මියුසික් කරපු ෆිල්ම් එකක් මං අහන පලවෙනි වතාව. ඒ සංගීතය ඉතා ආකර්ශනීයයි. සංගීතය ගැන තල දෙකක් ඔස්සේ හිතලා තියෙන වගක් පේනවා. මූලික සංගීත තේමාව වෙන්නෙ ගෝමරී. ඒ ආශාව, තෙතමනය, හරිතය, වනාන්තරය.. ඒ සංගීතය ඇතුලෙ සුමුදු ලාංකේය නාදයකට ළංවෙනවට වඩා කොරියානු හෝ ආසියානු පැත්තට ගමන් කරන වගක් පේනවා. මට මොකක් හරි හින්දා සම්සාරා චිත‍්‍රපටිය මතක් වුනා.

අනෙක් සංගීතමය තේමාව වෙන්නෙ දඩයක්කාරයා සහ හාමුදුරුවො. ඒ ගැඹුර,  ඕම්කාරය, පතුල, පැවැත්ම පිරිමි හ`ඩ ඔස්සේ මතුවෙනවා. ඒක යම් විදිහක ඉන්දියානු සම්භවයක් දනවනවා. සුමුදුගේ උත්සාහය වෙන්නෙම මේ වනාන්තරය ආසියාවට පොදු කිරීම. වෙන විදිහකට කිව්වොත් බටහිර විචාර ඇහැට ළංවීම පහසු කිරීම. එතනදි මේක වඩාත් අපිට අනන්‍ය දුපත් ලක්ෂන සහිතව නිර්මාණය වුනා නම් මං පුද්ගලිකව කැමති වුනත් ඒක තෝරා ගැනීමක්.

චිත‍්‍රපටිය පුරාම වනාන්තරය ඇතුලෙ ඇහෙන්නෙ හුස්ම සද්දෙ. ඒක කවුරුන් හෝ පෙමෙන් වෙලෙමින් වෙන්නත් පුළුවන්, මරණයෙන් නික්ම යමින් වෙන්නත් පුළුවන්. ඒ කිසිදු මිනිස් ජීවිතයක් නොමැතිව වනාන්තරයේ ගහකොල වෙන්නත් පුළුවන්. මේ හුස්ම ගන්න වනාන්තර ගැන දැනීම යම් හෝ සයිකඩෙලික් අත්දැකීමක් ඇති කෙනෙකුට කොහෙත්ම ආගන්තුක නෑ. ඒ හුස්ම අපි දන්නවා.

ප‍්‍රසන්න චිත‍්‍රපටියෙ කැමරාව පාවිච්චි කරලා තියෙන විදිහත් ඉතාමත් සවිඥානකයි. දාර්ශනිකයි. හැම තිස්සෙම මිනිස් රූපයට වඩා විසල්ව දැවැන්තව ග‍්‍රහනය වෙන්නෙ වනය. අවකාශය. අහස. කන්ද. මේ මහා අවකාශය ඇතුලෙ මිනිස් පුංජයන් ගැනයි කතාව. මොහොතක විඳින නොවිඳින පවතින නොපවතින ශිෂ්ට අශිෂ්ට ජීවිත ගැනයි සංසාරය.

සයිමන්ගෙ යතාර්ථවාදයෙන් එලියට ඇවිත් නූතන හෝ පැරණි යන මායිම බොඳවුන තැනක මේ වනාන්තර ජීවිත පිහිටුවීමට ප‍්‍රසන්න ගන්න උත්සාහය මං අගය කරනවා. ඒත් ඒක මීට වඩා ප‍්‍රබලව දැනවිය යුතුයි කියලයි මං හිතන්නෙ. පන්සලේ ලවුඞ්ස්පීකරය, ප්ලාස්ටික් මල් වට්ටි වගේ හදිසි ඇසගැටීම් මං දකින සිනමා චිත‍්‍රයට බාධාකාරී වුනා. ඒක යම් විදිහකින් ඛන්ඩනයක් හැටියට කලින්ම ස්ථාපිත වුනා නම් මේ බාධාව මගහැරෙන්න ඉඩ තිබුනා.

අනික චිත‍්‍රපටිය කොට වැඩියි. තව ගොඩක් වෙලා බලන් ඉන්න පුළුවන්. කොයිතරම් කොටට දැනුනද කිව්වොත් මට ආයිමත් ඒක බලන්න යන්න නොඉවසිලියි. ඒත් චිත‍්‍රපටිය පෙන්නන්න අවසර දීලා තියෙන කාලෙත් සති දෙකක් තරම් කොටයි. ඊළගට එන විජයබා විසින් මේ සියලූ සිනමා ශාලා කොල්ල කන්න නියමිතයි. මට හිතෙන්නෙ ඒක මේ මොහොතෙ අපේ සිනමාව ගැන රූපක අර්ථයක් මතු කරනවා. මේක සයිමන්ලාගේ මොහොත නෙමෙයි. මේක ඩබ් ඒ සිල්වලාගෙ මොහොත.

කොයිතරම් අවදානම්කාරී වුනත් මේ වැඩිහිටි ගැඹුරු සිනමාව එක්ක පාඩු ලබමින් හරි ඔට්ටු වෙන එක ගැන ප‍්‍රසන්න සහ ඒ පරපුරේ සිනමාකරුවන් පිළිබඳ මට දැනෙන්නෙ ගෞරවයක්. සහෝදරත්වයක්.

6 comments:

  1. දඩයක්කාරයාට ඉන්න කෙනා නං අසාර්ථකයි. මේ චරිතයට හරි යන්නේ සෞම්‍ය ලියනගේ වගේ ගුප්ත හැගීම් මුනෙන් පෙන්නන්න පුළුවන් කෙනෙක්. අපරාදේ කියලා හිතුනා චිත්‍රපටය බැලුවේ.

    ReplyDelete
  2. කිසිම දෙයක් තෙරෙන්නෙ නැ!! අපරාදෙ ටිකට් එකෙ සල්ලි....

    ReplyDelete
  3. දඩයක්කාරයා රන්දුලාට පුකේ ඇරියා. ඒක දිහා බලං ඉදලා රන්දුලාගේ නපුංසක මිනිහා සතුටු උනා.

    ReplyDelete
  4. ඔබතුමාගේ අගනා විචාරය කියවා මෙම වචන කීපය ලියමි. දඩයක්කාරයා ගැන සයිමන් මහතා මෙසේ කීය! වනයට පැමිණ සිටින කස්තුරි මුවා කියන්නෙ ශුන්යතාව යයි. දඩයක්කාරයා කියන්නෙ බෝසතාණන් වහන්සෙයි. එතුමා සිය නවකතාව ප්‍රන්ස බසට පරිවර්තනය කරන්නැයි මට ඇරයුම කළා. එහෙත් විරාගයට වඩා ගැඹුරු එම කෘතිය පෙරලන්නට මම ඉදිරිපත් නොවීමි. ඒ එම කෘතියට සාදාරණයක් ඉටු කරන්නට නොහැකි වෙතියි මට සිතුණු නිසයි! එතුමාගේ එක සිහිනයක් තිබුණා. යම් දවසක් එතුමාගේ කෘති ඉන්ග්‍රීසි ප්‍රන්ස වැනි බටහිර භාෂාවන්ට පරිවර්තනයවී ඇග්යීමකට ලක්වේවි කියන හීනයයි ඒ. ඔබතුමගේ විචාරයට පින්!
    තව එක වචනයක්! සම්සාරා නොවෙයි!
    පාලි බස රෝම අකුරෙන් ලියන්නෙ එහෙමයි. මණ්ඩාවල හාමුදුරුවෝ

    ReplyDelete
  5. ඔබේ විචාරය නම් අගෙයි , චිත්‍රපටය නොබලා යමක් කියන්න අමාරුයි.

    ReplyDelete
  6. පින්තූරය හැටියට දාන්න තිබුනේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ සහ ඉරාජ් වික්‍රමරත්න ඉන්න පින්තූරයක්

    ReplyDelete