Sunday, June 19, 2011

කුමන්ත‍්‍රණකාරී අනෙකා


ලංකාවේ සිනමා විචාර ලියන එක ගැන මම ලියපු ලිපියට මහේස්ත‍්‍රාත් සමන් වික‍්‍රමාරච්චි ගිය සතියෙ උත්තර ලියලා තිබුණ. ඊගල්ටන් කියලා තවත් එයාගෙ යාලූවෙකුත් එක්කන් ඇවිත් හිටියා. මහේස්ත‍්‍රාත්වරයා සෝෂියර්ව පරිස්සං කරන්න ලියපු ඒ ලියමනෙන් මං ගේන්න උත්සාහ කරපු මූල අදහසට අදාල මොකුත් කියවිලා නැති නිසා මං එතන පැටලෙන්න යන්නෙ නෑ. මහේස්ත‍්‍රාත්වරයාගෙ උත්සාහය මං සෝෂියර් ගැන දන්න තරම පරීක්‍ෂා කිරීම වගේ දෙයක්. මගේ අදහස මහේස්ත‍්‍රාත්වරයාගේ සෝෂියර් දැනුමට ලකුණු දෙනවට වැඩි දෙයක්. කියවගෙන යද්දි මට මතක් වුණේ පරණ සෙන් කතාවක්.

දවසක් ප‍්‍රසිද්ද සෙන් ගුරුතුමෙක් මුණගැහෙන්න එනවා ගොඩක් දැනුවත් උගත් ශිෂ්‍යයෙක්. එයා එද්දි සෙන් ගුරුතුමා ප්ලේන්ටියක් බිබී ඉඳගෙන ඉන්නවා ගස්වල කොල වැටෙන දිහා බලාගෙන. ශිෂ්‍යයා ඇවිත් ගුරුතුමා මුණගැහිලා තමන් ආපු කාරණය කියනවා. ඒ අතරෙ තමන් දන්න දේවල් ගැනත් එයා කියන්නෙ කාලාන්තරයක් අමාරුවෙන් කියවපු දේවල් හින්ද.

‘ඔයා අහලා තියෙනවද ගෞතම බුදුන් ගැන? හැම දේකටම මුල් වෙන මමය, මාගේය කියන අල්ලා ගැනීම අයින් කරලා විමුක්තියට යන හැටි පියවරෙන් පියවරට කියලා තියෙනවා නියමෙට.’

ගුරුතුමා හරි සතුටු වෙනවා. ‘හරිම ෂෝක්. එයා අවබෝධයට පත්වෙච්ච කෙනෙක් වෙන්නැති’

‘ජේසුස් ක‍්‍රිස්තුස්ව කියවලා තියෙනවද? අසල්වැසියාට පේ‍්‍රම කරන්න, වෛර නොකරන්න වගේ හරිම සරල මාර්ගයක් ඔස්සේ තමයි එයා විමුක්තියට මාර්ගය කියන්නෙ’

ගුරුතුමා තවත් සතුටු වෙනවා. ‘ෂාාාාා... එයත් අනිවාර්යෙන්ම අවබෝධයට පත්වෙච්ච කෙනෙක් වෙන්නැති’

ගුරුතුමා ප‍්‍රශ්නයක් අහනවා. ‘ඔයා හු`ගක් අවබෝධයට පත්වෙච්ච උත්තමයන්ගෙ දේවල් ඇසුරු කරලා තියෙනවා. ඉතිං මට කියන්න, ඔයාට කියන්න තියෙන්නෙ මොකක්ද? අනිත් අය කියපු කරපු දේවල් වලට වඩා මං ආසයි ජීවිතේ ගැන ඔයාට කියන්න තියෙන දේ අහන්න’.

ශිෂ්‍යයා කවදාවත් ඒ තැන ගැන හිතලා තිබුණෙ නෑ.

මහේස්ත‍්‍රාත්වරයාගේ ලියමන කියවද්දි මට ආපු මූඞ් එක ඒ සෙන් කතාවෙ තියෙනවා. ඊට වැඩි යමක් ඒ ගැන කියන්න යන්නෙ නෑ මං. මම මට කියන්න තියෙන දේ ගැන ලියන්නං.

ඩිස්ටි‍්‍රක්ට් 9 කියන්නෙ නීල් බ්ලොම්ප්කෑම්ප් අධ්‍යක්‍ෂණය කරපු චිත‍්‍රපටියක්. ඒකෙ දකුණු අප‍්‍රිකාවෙ ජොහැන්ස්බර්ග් කියන පලාතට ඉහලින් අභ්‍යවකාශ යානයක් නැවතිලා තියෙනවා. මාස 3ට විතර පස්සෙ රජයේ ආරක්‍ෂක හමුදා ඒ යානයට කඩාවදිනවා. එතනදි මන්දපෝෂණයෙන් දුර්වල වෙලා ගිය පිටසක්වල ජීවීන් තොගයක් ඔවුන්ට මුණ ගැහෙනවා. ඒ ජීවින් ජොහැන්ස්බර්ග් වල ඩිස්ටි‍්‍රක්ට් 9 කියන කලාපෙ පදිංචි කරනවා. මේ පළාතේ සාමාන්‍ය වැසියො මේ ජීවින් ගැන අතිථිභීතිකාවෙන් :ංැබදචයදඉස්* පෙලෙන්න ගන්නවා. තත්වය සංකීර්ණ වෙද්දි, මේ ජීවින් සහ වැසියන් අතර ගැටුම් ඇතිවෙද්දි මේ අයව ඩිස්ටි‍්‍රක්ට් 10 කියන පලාතට මාරු කරන්න රජයට උවමනා වෙනවා. මානව අයිතිවාසිකම් සහ වෙනත් අන්තර් ජාතික රටවල් හා සම්බන්ධතා ගැන දැනීමක් ඇති රජය මේකට ඒ ජීවින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කැමැත්තක් අනුව ඒ අයව ඉවත් කරන්න උත්සාහ ගන්නවා. (කොම්පඤ්ඤ වීදියෙදි වගේ අපේ රටේ මිනිස්සු අයින් කරන හැටි ගැන අපේ රජයෙන් උපදෙස් ගන්න ඒ අයට අමතක වෙනවා* මේ වැඬේ ඒ අය වෙන කොම්පැණියකට බාර දෙනවා. ප‍්‍රධාන චරිතය ඉන්නෙ ඒ කොම්පැණියෙ. මේ වැඬේ කරගෙන යද්දි අපිට පේනවා ඒ චරිතය කොයිතරම් මේ පිටසක්වල ජීවින් ගැන අතාර්කික සැකයකින් පෙලෙනවද කියල. ඒ අතරෙදි එයා මේ ජීවින්ගෙ ද්‍රාවණයක් වගේ දෙයක් නිසා අසාදනය වෙනවා. ඒ ආසාදනය නිසා පෙරදි ඔහුත් අයත් වුණු රජය සහ සමස්ත අතිථිභීතික ජනතාවගේම ගොදුරක් බවට ඔහු පත් වෙන්න ගන්නවා. ඔහු ත‍්‍රස්තවාදියෙක් වෙනවා. ඔහුට මාධ්‍ය ඔස්සේ ලේබල් වදිනවා. පිටසක්වල ජීවින් හා ලිංගික හැසිරීමක් නිසා ඔහුට ආසාදනය වී ඇති බවත් එය ශීඝ‍්‍රයෙන් පැතිරෙන බවත් කියමින් රජය ජනතාවම අවුස්සන්න ගන්නවා.

මට හොඳටම ලංකාව මතක් වුණා. ‘කුමන්ත‍්‍රණකාරී අනෙකා’ ගැන අපේ රටේ මේ මොහොතේ ජාතික ප‍්‍රවාදය ගැන ඩිස්ටි‍්‍රක්ට් 9 හොඳ කියවීමක් කරනවා.

ජූනි 12 වෙනිදා ලක්බිම නිව්ස් පත්තරේට කුමාර් ඬේවිඞ් ලිපියක් ලියනවා.

‘ලංකාව අසමත් රාජ්‍යයක් කියන්න බෑ. ඒත් මැයි දිනයෙදි එලිදැක්ක අතිථිභීතිකා තත්වය නැවත නැවත එන්න ගත්තොත් ඒකෙන් රට හුදකලා තැනකට තල්ලූ කරයි. වීරවංස විසින් ඇති කරපු ඒ දරුණු තත්වය කොළඹ පලවෙනි වතාවට සිද්ද වුණු ලොකුම ෆැසිස්ට්වාදී ජනතා ප‍්‍රකෝපකිරීම විදිහට සටහන් වෙනවා.’

-කුමාර් ඬේවිඞ්-
මෙතනදි හදිසියෙ ඇතිවෙච්ච තත්වයක් විදිහට කුමාර් ඬේවිඞ් දකින අතිථිභීතිකාව කියන රෝගය අපේ ‘සිංහල බෞද්ධ’ කියන ජනතාවගේ ජානගත උරුමයක්. ඒ ජනතා සංකල්පය හැදෙන්නෙම අතිථිභීතිකාවෙ ප‍්‍රතිඵලයක් විදිහට. අද අපි මහා වීරයො කියලා හඳුන්වන අනගාරික ධර්මපාලගෙ ඉඳන් ගංගොඩවිල සෝම, නලින්ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංස වගේ අය කතා කරන ජනතාව මේ අතිථිභීතිකාවෙන් පෙළෙන රෝගීන්. මහින්ද රාජපක්ෂ රජයේ ප‍්‍රධාන ජනතා පාලන උපක‍්‍රමය මේ භීතිකාව පවත්වා ගැනීම සහ ව්‍යාප්ත කිරීම. ලංකාවෙ බහුතර ජනතාව රෝගීන් කියලා අපිට කියන්න වෙන්නෙ තුනෙන් දෙකක් ඡුන්දෙ දීලා මේ අතිථිභීතික පාලනය තෝරා ගත් හින්ද. කුමාර් ඬේවිඞ් කියනවා වගේම ඒකෙන් අපි හුදකලා වෙනවා විතරක් නෙමෙයි ඊට වඩා දරුණු ප‍්‍රචණ්ඩ අවකාශයන් කරා තල්ලූ කරනවා.

අතිථිභීතිකාව කියන්නෙ අමුත්තන්, ආගන්තුකයන් විදේශිකයන් පිළිබඳ ඔවුන්ගේ සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ ඇතිවෙන අහේතුක බිය. කොටින්ම ‘අනෙකා’ ගැන තියෙන (අද අපිට ස්වභාවික වගේ පේන* බය. ජාති, කුල, වර්ග, ගම් ඕනෑම විදිහකට බෙදිලා මේ බය ඇතිවෙන්න පුළුවන්. අනෙකාගේ සංස්කෘතිය, මතය ඉවසන්න බැරි වීමත්, කිසිම පදනමක් නැතුව පාන්පිටි වලට පවා ත‍්‍රස්තවාදී කීමත් ප‍්‍රකට කරන්නෙ අත්ථිභීීතිකා රෝගී ලක්ෂණ. අනිත් රටවලට වඩා විශේෂයක් වෙන්නෙ ඒක අපේ රාජ්‍ය මතවාදයේ කොටසක් වීම. අපේ විදේශ ප‍්‍රතිපත්තියෙ කොටසක් වීම. කිසිම රටක රෝගයක් ප‍්‍රතිපත්තියක් හැටියෙන් පිළිගන්නවද කියල මං දන්නෙ නෑ. (අපේ ජනාධිපතිගෙ යාලූ ඉරානෙ අහමදිනජාඞ්, ලිබියාවෙ ගඩාෆි වගේ අය ඇරණම*
Retiredprof.com කියන බ්ලොග් අඩවියේ, ”ශී‍්‍ර ලංකාවෙ ඛේදවාචකය- යටත් විජිතවාදයේ සිට- අතිථිභීතිකාව හරහා සිවිල් යුද්ධයට” කියන ලිපියෙ හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

‘...(1948න් පසු* ප‍්‍රධාන සිංහල දේශපාලන පක්ෂ දෙක වන යූඇන්පිය සහ ශී‍්‍රලනිපය සිංහල බහුතර ඡුන්ද දිනාගැනීමට තර`ග වැදුණා. 1948-1956 වෙනකල් පාලනය ගෙන ගිය යූඇන්පිය මිශ‍්‍ර ආර්ථිකයක්, පුද්ගලික අංශයේ ව්‍යාපාර සහ පාර්ලිමේන්තු ක‍්‍රමයක් යෝජනා කළා. නමුත් 1956 දි එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක නායකත්වය දුන් ශ‍්‍රීලනිපය සිංහල බහුතරයේ අතිථිභීතික තත්වයන් අවුස්සන්න පටන් ගත්තා. මාක්ස්වාදී පක්ෂ සමග එකතුව බැංකු, කර්මාන්ත ජාතිකකරණයක් ගැන යෝජනා කළා. සිංහල බෞද්ධ අන්තවාදීන් එකතු කරගෙන සිංහල රාජ්‍ය භාෂාව කළා. ඒ ගොල්ලො දිනුවට පස්සෙ සිංහල එකම රාජ්‍ය භාෂාව කරලා රාජ්‍ය සේවයට සහ උසස් අධ්‍යාපනයට, විශේෂයෙන්ම වෛද්‍ය සහ අනෙක් විද්‍යා අංශ වලට දෙමළ ජනතාව ඇතුල් වීම සීමා කරන්න කටයුතු කළා. (ඇෆ්රිකාන්ස්/ බෝයර් කොටස් දකුණු අප‍්‍රිකාවේදි කළා වගේම*’
අපි ඉතිහාසය කියලා අද කියවන්නෙ අතිථිභීතිකාව ගැන ලියවිල්ලක්. මේ වෙනකොට අපිට මානව අයිතිවාසිකම්, සේවක අයිතීන් වගේ දේවල් පවා ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රණ හැටියට පේන තැනට ඇවිත්. මෙගා ටෙලි නාට්‍ය දවස් හතේම ජනතාව පුරුදු කරන්නෙ අසල්වැසියා සැක කිරීම කියන තැනට. කුමන්ත‍්‍රණකාරී අනෙකා ගැන බිය අපේ සාමාන්‍ය ජීවිතෙත් ඒ එක්කම රටේ දේශපාලනයෙත් ප‍්‍රධාන භූමිකාවක්.

‘අපිට හිනාවෙන්න අනිත් උන් බලන් ඉන්නෙ’ කියන ගමේ ගෑණු කතාවෙ ඉඳන්, ‘මේ ඔක්කොම අපේ ජාතිය විනාශ කරන විදේශීය කුමන්ත‍්‍රණ’ කියන රාජ්‍ය කතාව වෙනකල් අපි විදහා දක්වන්නෙ මේ රෝගය. යුද්දෙ එක්ක අපි දෙමළ අනෙකා ගැන බයෙන් ප‍්‍රචණ්ඩත්වය බාර ගත්තා. අද විදේශීය අනෙකා ගැන බයෙන් ප‍්‍රචණ්ඩත්වය බාර ගනිමින් ඉන්නවා. ලෝකයක් වෙනුවට තනි රෝගී ¥පතක් විදිහට අපි සිතියමේ ලැජ්ජා සහගත තැනකට යමින් ඉන්නවා.
මෑතකදි හාල් වල ආසනික් කතාවක් ඇදගෙන ආපු භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ කැළණිය විශ්ව විද්‍යාලෙ පීඨාධිපති රෙදි ඇඳගෙන කියපු කතාවකින් මාව හිරිවැටුණ. අනුරාධපුරා පොලොන්නරු පළාත්වල වකුගඩු රෝගයට හේතුව ජලයේ ඇති මේ ආසනික් කියලා දැවැන්ත හෙළිදරවුවක් කරන මහාචාර්යවරයා ඒක ගැන කරපු පර්යේෂණය ගැන අහද්දි ‘ඒක අපි දැන ගත්තෙ අදෘෂ්‍යමාන බලවේගෙකින්’ කියලා කියනවා. ඒත් එයා තාමත් කැළණිය විශ්ව විද්‍යාලෙ පීඨාධිපති. දැනගන්න තියෙන හැටියට අදෘෂ්‍යමාන බලවේගය කියපු නිසා එයා කරපු සේවා කාලය දිගු කර ගැනීමකටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් පත‍්‍රිකාවක් හරහා අනුමැතිය ලබා දීලා. මේ අපේ රටේ විද්‍යාව ගමන් කරමින් ඉන්න තැන.

මහාචාර්ය නලින්ද සිල්වා කියන්නෙ මේ අත්ථිභීතක තත්වෙ රට පුරාම පතුරන රෝග වාහකයෙක්. එයාගෙ අතට භෞතික විද්‍යාව ගියාම ඒක පාරභෞතික මිත්‍යාව කරා ගමන් කරන්නෙ ඒ හින්ද. භයානකම තත්වෙ තමයි ඒ අදහස් අනුමත කරන රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් සහ ජනතාවක් ඉන්න එක. හැම දෙයක්ම වගේ මේකත් තනිකර මහින්ද රාජපක්ෂගෙ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක අපේ ඓතිහාසික උරුමයක්. කොටින්ම අපේ මාක්ස්වාදය සහ පශ්චාත් නූතනවාදය පවා මේ රෝග ලක්ෂණ වල ගිලූණා. උදාහරණයක් විදිහට පශ්චාත් නූතනවාදය ප‍්‍රකාශයට පත් කළ ඞ (එක්ස්* කණ්ඩායම පවා ඒ කණ්ඩායමෙන් පිට අය එක්ක හිනා වෙන්න පවා තහනම් කළා. පිට හැම කෙනෙක්වම සැක කිරීම සහ ප‍්‍රහාර එල්ල කිරීම ප‍්‍රධාන භාවිතාව විදිහට ගත්තා.
මේ වෙද්දි හැම තිස්සෙම අනෙකා ‘ත‍්‍රස්තවාදියෙක්’ නැත්නම් ‘කුමන්ත‍්‍රණකාරයෙක්’ කියන එක සාමාන්‍ය ඇත්තක්. රාජ්‍ය මට්ටමෙන් මාධ්‍ය සහ යුද ප‍්‍රදර්ශන කොටින්ම වෙසක්, පොසොන් ආදී බෞද්ධ යැයි කියන සැණකෙලි ආදියෙන් පවා උඩට ගේන්නෙ මේ අතිථිභීතිකාව. වෙසක් පෝය වෙනුවෙන් ටීවී එකට ආපු ඇල්ලේ ගුණවංස හාමුදුරුවො වෙසක් එකට බල්බ් ගේන්න දෙන්නෙ නැති එක පවා විජාතික බලවේග වල කුමන්ත‍්‍රණයක් කියලා කියනවා මං අහගෙන.

මේ අතරෙ 2009 මානව අයිතිවාසකම් පිළිබඳ 10 වන සැසිවාරයෙදි ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක සභාපතිවරයා ඉදිරියේ ප‍්‍රකාශයක් කරනවා.

‘ජාතිවාදය, අතිථිභීතිකාව හා සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වය රට තුල සහ රටවල් අතර, ජාතික සහ අන්තර්ජාතික සාමයට සහ ආරක්‍ෂාවට තර්ජනයක් වෙමින් තිබෙනවා. මේ නිසා අන්තර් රාජ්‍ය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අභිප‍්‍රායන් සපුරාලමින් ජාතිවාදය සහ අතිථිභීතිකාව තරන් කිරීමට මුළුමනින් කැපවී කටයුතු කිරීම අපේ වගකීමක්ි. එම පොදු අරමුණ වෙනුවෙන් ජයගත යුතු ඉලක්කයන් කාර්යක්‍ෂමව ජයගැනීමට මම ඇපකැප වෙමි’

මේ ප‍්‍රකාශය ඇත්තට කළා නම් දයාන් ජයතිලක ඩිස්ටි‍්‍රක්ට් 9 චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මෙන් ‘ත‍්‍රස්තවාදියෙකි’. ‘කුමන්ත‍්‍රණකරුවෙකි’. එය බොරුවට කළා නම් ඔහු ද තවත් එක් රෝගියෙකි. එන්ජී ඕ සහ සියලූ වෙනස් සංස්කෘතික හා දේශපාලන මතවාද තහනම් මොහොතක ඒ වෙනස ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීම කුමන්ත‍්‍රණකාරීන්ගේ ලැයිස්තුවට වැටිය හැකි කරුණකි. මේ නිසා ලේසි දේ වෙන්නේ රටම ‘පිස්සු’ වෙද්දි ඒ පිස්සුවෙ තවත් එකෙක් වෙන එකය.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment