Saturday, July 14, 2012

සත්තු එක්ක කතා කරන රහස කියන්න: ෆෙස්ටිවල් සිනමාව ගැන පේමන්ට් කතාබහක්.

පහුගිය දවස් කීපෙකට වැනිසියේ වෙළෙන්දෙක් ලංකාවට ඇවිත් හිටියා. එයා චිත‍්‍රපටි වෙළෙන්දෙක්. ඒ කියන්නෙ වැනීසියේ සිනමා උළෙලට ආසියාතික චිත‍්‍රපටි තෝරන්නෙක්. ලංකාවට ඇවිත් හිටියෙ අපේ අලූත් චිත‍්‍රපටිකරුවන් දැනුවත් කරන්න. ඒ මාර්කට් එකට චිත‍්‍රපටි යවන හැටි ගැන.
නෙළුම්ලගේ ගෙදර ? කෑමත් එක්ක පාවුලෝ (බර්ටොලින්) අඳුරගන්න ලැබුණට කෑම රහ වැඩි හින්ද මට පාවුලෝ අමතකම වුණා. පස්සෙ සත්‍යා පුකට පයින් ගහලා ඉන්ටර්විව් එකක් ගනින් කියල බල කළා. ඒක තිබුනෙ පාර්ක් ස්ට්රීට් හෝටලේ. එදා මං ඉන්ටර්විව් එක ගන්න යද්දි අපේ අලූත් පරම්පරාවෙ ඔක්කොම චිත‍්‍රපටි හදන කට්ටිය එතන. පාවුලෝ ඉස්සරහ සෝෆා එකකට වෙලා ඉන්ටර්නෙට් එක බල බල උත්තර දෙනවා ෆෙස්ටිවල් වලට චිත‍්‍රපටි දාන හැටි ගැන. මට එක පාරට මතක් වුනේ දොස්තර හොඳහිත. ඔක්කොම ඇවිත් හිටියෙ සත්තු එක්ක කතා කරන රහස ඉගෙන ගන්න.

ඒක ඉවර වෙලා මට පාවුලෝව අහුවුණා ටිකක් වෙලා කතා කරන්න. මට ෆෙස්ටිවල් ගැන තිබ්බ අවුල් ටික කෙලින්ම අහන්න මං තීරණේ කළා. මේ කතාබහ කියවද්දි පේලි, පේලි අතර සහ පේලි වල නොකියවුණු කියන හැම පැත්තක් ගැනම සාවධාන වෙන්න කියල මං ඉල්ලනවා. මොකද අවසාන වශයෙන් මං කතා කරන්නෙ වැනීසියෙ වෙළෙන්දෙක් එක්ක නිසා.

මං- මගේ ප‍්‍රශ්න සහ මම දකින විදිහ හු`ගක් පටු වෙන්න පුළුවන්. ඒත් ඒවා මට ඇත්තට දැනෙන ප‍්‍රශ්න. මං හිතනවා අපිට පුළුවන් ඒ ගැන ටිකක් කතා කරන්න කියල.

පාවුලෝ- අනිවාර්යෙන්ම

මං- මේ වෙනිස් ෆෙස්ටිවල් එකට පිටින් ඔයා සිනමාවට සම්බන්ධ වෙන්නෙ මොන විදිහටද?
මම හු`ගක් කාලෙක ඉඳන් චිත‍්‍රපට විචාරකයෙක්. අවුරුදු දහයක් විතර. ‘ඉල් මැනිෆෙස්ටො’ ඒක අපේ රටේ චිත‍්‍රපටි ගැන ලියවෙන ස`ගරාවක්. ඒ වගේම කොමියුනිස්ට් පත්තරයක්. ඒක තමයි සංස්කෘතික පැත්තෙන් ඉතාලියේ ගෞරවනීයම විදිහට සැලකෙන පත්තරේ. ඒක ආර්ට් වලට ලොකු ඉඩක් දෙන පත්තරයක්. මේ පත්තරේ ඇරුණම මං තවත් නොයෙක් සිනමා ස`ගරා ප‍්‍රකාශන වලට ලියනවා. අන්තර් ජාතිකව කියවෙන ප‍්‍රකාශන වලටත් මං ලියනවා. මෑතක මං අපිචත්පොන්ග් ගෙ අන්කල් බූන්මේ ගැන එහෙම ලිපියක් ලිව්වා. පසුකාලීනව මං ෆෙස්ටිවල් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. හැමතිස්සෙම මං වැඩ කළේ ආසියානු සිනමාවත් එක්ක.

මං- ඔයා කවදාවත් චිත‍්‍රපටි හදලා නැද්ද?
නෑ. මං කවදාවත් චිත‍්‍රපටි හදන එක සම්බන්ධව වැඩ කරලා නෑ. මං සමහර චිත‍්‍රපටිකරුවන්ට උදව් කරලා තියෙනවා මේ ව්‍යාපෘති වල ඉල්ලූම ගැන වටහලා දෙන්න. ඒ ගොල්ලොන්ගෙ ව්‍යාපෘති වෙළඳපොලක් කරා ගෙනියන්න උදව් වෙන එකයි මගේ වැඬේ.

මං- එතකොට ඒ චිත‍්‍රපටි හැදෙන්නෙ ෆෙස්ටිවල් වලටමයි?
පාවුලෝ- චිත‍්‍රපටිකරුවෙක් හදන්නෙ එයාට හදන්න  ඕන චිත‍්‍රපටිය. ඊට පස්සෙයි එයා හිතන්නෙ ෆෙස්ටිවල් එක ගැන. මේ කාලෙ නං රෆ් කට් එකේ ඉඳන් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරනවා..ඒක ඇත්ත.

මං- ඔයා වීරසේතුකල්ව හොඳට බලලා තියෙනවා..

පාවුලෝ- ඔව්..ඔව්..

මං- විමුක්තිගෙ චිත‍්‍රපටි සහ සංජීවගේ චිත‍්‍රපටියත් බලලා තියෙනවා?

පාවුලෝ- ඔව් ෆ්ලයින් ෆිෂ් මං බැලූවා.

මං-ඔයා කොහොමද මේ තුන්දෙනාගෙ දකින වෙනස?

පාවුලෝ- තුන්දෙනා හොඳටම වෙනස්. විමුක්තිගෙ චිත‍්‍රපටිය පෙන්නද්දි ගොඩක් අය කිව්වා එයා අපිචත්පොන්ග් කරන දේම කරන්නයි හදන්නෙ කියල. ඒ වගේම ෆ්ලයින් ෆිෂ් පෙන්නද්දිත් ගොඩක් අය කිව්වා සංජීව විමුක්ති කරපු දේමයි කරන්න හදන්නෙ කියල. ඒත් මං එක`ග නෑ ඒ අදහසට. මං දකින්නෙ නෑ ස්ටයිල් එකක් විදිහටත් ප‍්‍රකාශනයක් විදිහටත් සංජීවයි විමුක්තියි සමාන ලක්ෂණ දරනවා කියල. ඒ දෙන්නා සමාන වෙන්නෙ යුද්දෙ එක්ක සම්බන්ධ මේ රටේ මෑත ඉතිහාසය ගැන කතාවක් කියන එකෙන් විතරයි.
යම් තරමකට මං එක`ගයි අපිචත්පොන්ග් ගෙයි විමුක්ති ගෙයි ස්ටයිල් එක කිට්ටුයි කියන කාරණාවට. ඒ දෙන්නම යන්නෙ එක දිශාවකට. පිළිගත් සිනමා ව්‍යාකරණය විසංයෝජනය කිරීම සහ එක්ස්පෙරිමෙන්ටල් ෆිල්ම් ලක්ෂණ භාවිතා කිරීම.

විමුක්ති අපිචත්පොන්ග් එක්ක වෙනස් වෙන කාරනේදි විමුක්තියි සංජීවයි එක ළ`ගට එනවා. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටි පිටපස්සෙ දේශපාලන න්‍යාය පත‍්‍රයක් නෑ. ඒත් විමුක්තිගෙ චිත‍්‍රපටි දේශපාලනික සමාජමය ප‍්‍රකාශනයක් කරන්නෙ. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටියක දේශපාලනය ඔයාට තේරුම් ගන්න බෑ ඔයා තායිලන්තයේ දේශපාලනය ඉතාම සමීපව ඉන්න කෙනෙක් නෙමෙයි නම්. ඒ චිත‍්‍රපටිවල මතුපිට දේශපාලනය දකින්න නෑ.

එක දෙයක් මං පිළිගන්නවා. අපිචත්පොන්ග් සහ විමුක්ති දෙන්නගෙම කලාත්මක හුරුව ඇති කරන්නෙ බටහිර විසින්. අපිචත්පොන්ග් ඉගෙන ගන්නෙ චිකාගෝ. විමුක්ති ප‍්‍රංශෙ.

මං- සංජීව විමුක්ති වගේ චිත‍්‍රපටි වලට සම්මාන දෙන්න අවශ්‍යයි කියල ඔයා හිතන්නෙ මොන කාරණා නිසාද?
පාවුලෝ- දෙන්නගෙම විෂුවල් ස්ටයිල් එක ඉතා ප‍්‍රශස්තයි. කතාව පැත්තකින් තිබ්බත් මේ විෂුවල් ගලා යාම ආකර්ශනීයයි.

මං- තර්කොව්ස්කිව කොපි කරන ගතියක් දැනෙන් නැද්ද?

පාවුලෝ- මිනිස් රූපය පිහිටුවන තැන  අතින් ගත්තොත් සංජීවයි තර්කොව්ස්කිගෙයි සමානත්වයක් තියෙනවා. ඒ වගේම ෆ්ලයින් ෆිෂ් වල ඔයාට දකින්න පුළුවන් සමහර තර්කොව්ස්කිගෙ දර්ශන රිපීට් වෙනවා වගේ. උදා විදිහට අන්ද්‍රෙයි රුබලොව්. සංජීව නිතරම කියනවා ‘කිම් කි ඩුක්’ සහ තර්කොව්ස්කි ගැන. ඒ අයගෙ බලපෑමක් තියෙන්න පුළුවන්. ඒත් වැදගත් දේ වෙන්නෙ මේකයි. එයා ඒක හොඳට කරනවද? එච්චරයි.

මං- මේ සිනමා උළෙලවල තේරෙන චිත‍්‍රපටි දිහා බැලූවම මට පේනවා මේ තෝරන කොමිටි වල අයගෙ ඔලූවෙ කල් ඇතුව තෝරන්න  ඕන චිත‍්‍රපටි ගැන අදහසක් තියෙනවා වගේ. චිත‍්‍රපටියෙ ඔරිජිනල් ගතියට වඩා මේ කලින් සකස් කර ගත් වට්ටෝරුව වැඩ කරනවා වගේ.

පාවුලෝ- එහෙම අයත් ඉන්නවා. ඒක හොඳ තත්වයක් නෙමෙයි. මෙහෙමයි, සමහර ෆෙස්ටිවල් තියෙනවා යම් කිසි තේමාවක් අනුව චිත‍්‍රපටි තෝරන. ස්ත‍්‍රී පුරුෂභාවය ගැන වගේ. සමලිංගිකත්වය ගැන. ඒක හරි සීමිත අදහසක් සිනමාව ගැන. ඒත් වෙනිස් කාන් හෝ බර්ලින් වගේ ලොකු ෆෙස්ටිවල් වල එහෙම නෑ.

මං- කවුරුහරි එක ෆෙස්ටිවල් එකක් අවුරුදු කීපයක් තිස්සෙ අධ්‍යනය කලොත් බැරිද හරියට ඒ ෆෙස්ටිවල් එකේ ගොඩයන චිත‍්‍රපටියක් හදන්න?

පාවුලෝ- මට ෂුවර් නෑ. පළවෙනි පාර එහෙම තේරෙන්න පුළුවන් වෙයි. ඒත් දෙපාරක් නම් බෑ. අපි මෝඩ නෑ  ඕගොල්ලො හිතන තරම්. සමහර චිත‍්‍රපටියක් අපේ බොත්තම හරියටම තද කරනවා වෙන්න පුළුවන්. ඒත්  මේක හිතා මතාම කරන බොත්තම තද කිරිල්ලක් කියල තේරුම් ගන්න බැරි තරම් අපි මෝඩ නෑ.

මං- මාත් එහෙම කරලා තියෙනවා. ඒකයි ඇහුවෙ. ෆ්ලයින් ෆිෂ් කරද්දි මං සංජීවට කියලම ලියපු තැන් තියෙනවා මේකට සම්මාන හම්බුවෙනවා කියල. ඒක වැඩ කළා.

පාවුලෝ- එයා තේරුණේ රොටර්ඩෑම් වලට. කාන් වලට නෙමෙයි.
ඒක හොඳ නෑ එහෙම ඔයාගෙ යාලූවා ගැන කතා කරන්න එපා. ඇත්ත, සංජීවගේ ෆිල්ම් එක හොඳ උදාහරණයක්. ඒ ෆිල්ම් එක අගය කරපු, ඒකට සහයෝගය දක්වපු හැමෝම හොඳට දැනගෙන හිටියා ඒ චිත‍්‍රපටියෙ තියෙන දුර්වලතා ගැන.
ඒත් චිත‍්‍රපටිය හොඳට ෂූට් කරලා තියෙනවා. ඒක ලස්සනයි. එයාට විෂුවල් ටැලන්ට් එකක් තියෙනවා කියල පැහැදිලියි.

මං- පහුගිය කාලෙම මේ විදිහට ෆෙස්ටිවල් වලින් තෝරපු චිත‍්‍රපටි ඔක්කොම වගේ යුද්ධට පසුබිම් කර ගත්ත ඒවා?

පාවුලෝ- ඒක ප්ලොට් එක විතරයි. රොටර්ඩෑම් වල කොච්චර ලංකාවෙ චිත‍්‍රපටි පෙන්නනවද? කර්ම කියන්නෙ යුද්දෙ ගැන චිත‍්‍රපටියක් නෙමෙයි.

මං- ඒත් කර්ම වලට ඒ තරම් පිළිගැනීමක් ලැබුනෙ නෑනෙ.

පාවුලෝ- හරි. ඒත් යුද්දෙ ගැන හැදුවා කියලා චිත‍්‍රපටි තෝර ගන්නෙ නෑ. ඒකෙ විෂුවල් කොලිටි එකයි වැදගත්. ගොඩක්ම ලංකාවෙ බංග්ලාදේශ් වල චිත‍්‍රපටිවල නිෂ්පාදන තත්වයන් හොඳට නෑ. ෆ්ලයින්  ෆිෂ් වල නිෂ්පාදන තත්වය හු`ගක් හොඳයි. ඒ තාක්‍ෂණික කාරණා ගොඩක් අදාල වෙනවා.

මං- ඔයා දන්නවා නේද මේ ෆෙස්ටිවල් වල තේරෙන ගොඩක් චිත‍්‍රපටි ඒ රටවල ජනතාව අතින් ප‍්‍රතික්‍ෂෙප වෙනවා කියල.
(මේ වෙද්දි පාවුලෝට ඉන්න පුටුව හු`ගක් අපහසුයි වගේ වුණා. එයා උත්තර දුන්නෙ එහාට මෙහාට ඇඹරෙමින් හරිම වෙහෙසකර හුස්ම පිටකරමින්)

පාවුලෝ- ඔව්. ඒක සංවර්ධනය වෙමින් පවතින රටවලට සීමා වෙච්ච එකක් නෙමෙයි. කොරියාව හොංකොං වගේ හු`ගක් දියුණු ප්‍රෙක්‍ෂාගාර තියෙන රටවලත් එහෙම වෙනවා.
ෆෙස්ටිවල් යනවා කියන එක හරියට ස්ටිග්මා එකක් කැළලක් වගේ. බෝරිං චිත‍්‍රපටි තමයි ෆෙස්ටිවල් යන්නෙ කියල හිතන්නෙ. ට්සායි මින්ග් ලියෑන් වගේ අධ්‍යක්‍ෂවරුන්ගෙ චිත‍්‍රපටි වුණත් එහෙමයි.

මං- මං කිව්වොත් මේ කලාප වලින් තේරෙන චිත‍්‍රපටිවල සමාන ලක්ෂණ දකින්න තියෙනවා කියල. උදා විදිහට ට්සායි ගේ වීරසේතුකල්ගෙ සමලිංගික ප‍්‍රවේශය ගන්න පුළුවන්.

පාවුලෝ- ට්සායි ගෙ එහෙම කියමු. ඒත් ‘හෝ ෂියෝ ෂියැන්’ ගෙ එහෙම නෙමෙයි. වීරසේතුකල් තරමක් දුරට ඔව්. ඒත් ට්සායිගෙ චිත‍්‍රපටි සමලිංගිකත්වයට සීමා වෙලා නෑ. ඒවා කතා කරන්නෙ පවුලෙන් ඒ පරිසරයෙන් පරාරෝපණය වුණු නූතන නාගරික ජීවිත ගැන. ඒ ගොල්ලො මනුස්ස සම්බන්ධතාවයන් හොයනවා. ඒත් කවුරුවත් තේරුම් ගන්නෙ නෑ.

මං- ඒත් චිත‍්‍රපටියක් බලද්දිම කෙනෙකුට කියන්න පුළුවන් මේක නං ෆෙස්ටිවල් ෆිල්ම් එකක්ද නැද්ද කියල. කොහොමද ඒක වෙන්නෙ?

පාවුලෝ- එහෙම තමයි. ඒත් විශ්වාස කරන්න ෆෙස්ටිවල් වලට කියල හදන හැම චිත‍්‍රපටියක්ම එහෙම හොඳ වෙන්නෙ නෑ. මගේ කොම්පියුටරේ තියෙනවා එහෙම ෆෙස්ටිවල් වලට හදපු චිත‍්‍රපටි තොග ගනන්. කටේ තියන්න බෑ.
හිතන්න ඔයා ලංකාවෙන් හරි තායිවානෙන් හරි තායිලන්තෙන් හරි ඇවිත් චිත‍්‍රපටියක් හදන්න යනවා. ඔයාට හදන්න  ඕන ආර්ට් ෆිල්ම් එකක්. ඒත් මේ වගේ චිත‍්‍රපටියකට නිෂ්පාදකයො එන්නෙ නෑනෙ.
එතකොට ඒ වගේ අය ෆෙස්ටිවල් වලට චිත‍්‍රපටි හදන එක අපරාධයක්ද? ගැටළුව තියෙන්නෙ ඒ චිත‍්‍රපටිය ඇතුලෙ ඔයාට කියන්න  ඕන දේ තියෙනවද කියන එක.

මං- ෆෙස්ටිවල් කියල ජොන්ර එකක් සිනමා කාණ්ඩයක් තියෙනවා කියන එකට ඔබත් එක`ගයි.

පාවුලෝ- ඔයාට එහෙම කියන්න පුළුවන්. ඒත් ඒකෙත් හොඳ සහ නරක චිත‍්‍රපටි තියෙනවා.

මං- ලංකාවෙ මේ විදිහට ඇගයීම් ලබපු චිත‍්‍රපටි ගත්තොත් මේ දිග රූප රාමු, මිනිස්සු පොඩියට පේන, ලොකු ලෑන්ඞ්ස්කේප් වගේ සමාන ලක්ෂණ දකින්න පුළුවන්. ඇත්තටම මේ කෘති වල රිද්මය අපේ ඇත්ත ජීවිත වල රිද්මය නෙමෙයි. පිටින් බලන් ඉන්න සිනමාවක් මේක. ළ`ග කැපෙන, සමීප රූප තියෙන සිනමාවක් මේ ෆෙස්ටිවල් වලින් ගන්නෙ නෑ.

පාවුලෝ- ඔයාට කියන්න පුළුවන් ඒක අන්තර් ජාතික සිනමා භාෂාව කියල. මං ඒක නෑ කියන්නෙ නෑ. මේක ලංකාවට විතරක් සීමා වෙලා නෑ.

මං- ඒත් ඉරානෙදි වඩාත් සමීප රූප වලට ඉල්ලූමක් ලැබෙනවා. පීඩනය දක්වන විදිහෙ.

පාවුලෝ- එහෙම නෙමෙයි. කිරොස්තාමිගේ තියෙනවා දුර රූප. මිනිස්සු පොඩියට. ඉස්සෙල්ලා ඔයා කිව්වා මේක තර්කොව්ස්කිට ළ`ගයි කියල. සමහර විට ඒක යුරෝපීය රසය වෙන්න ඇත. යුරෝපීයන් ආස ඇති ඒ විදිහෙ වේගයකට.

මං- මේකෙදි මිනිස්සන්ට රූප රාමුව ඇතුලෙ කිසි අගයක් ලැබෙන්නෙ නෑ. පසුබිම තමයි ලොකු විදිහට දක්වන්නෙ? මේක මං කියන්නෙ මානව විද්‍යාත්මක රූප රාමුවක් කියල. මනසක් අහිමි මිනිස්සුන්ව පෙන්නන.

පාවුලෝ- ඔව් ෆ්ලයින් ෆිෂ් ගත්තොත් ඒක හොඳට පේනවා.

මං- මේකම දැකලා එපා වෙන්නෙ නැද්ද?

පාවුලෝ- අනේ මං ආසයි ඒ වගේ රූප දකින්න. මට ඒකෙ තියෙන විශේෂය තමයි එතනදි ඔයාට පුළුවන් සැබෑ කාලය දනවන්න. ඒක කරන්න පුළුවන් සිනමාවෙදි විතරයි.
ක්‍රොනන්බර්ග්ගෙ අලූත් ෆිල්ම් එකේ ෂොට් එකයි ඒකෙ රිවර්ස් ෂොට් එකයි හරියට පාවිච්චි වෙනවා. මං ඒකටත් හු`ගක් කැමතියි. ඒක ඇතුලෙ අමුතු භයංකාරත්වයක් අරන් යන්න එයාට පුළුවන් වෙනවා.

මං- ඔයා හිතනවද ඒක කැනඩාවෙන් නැතුව අපේ වගේ රටකින් ආවා නම් ඔයා බාර ගනී කියල?

පාවුලෝ- අනිවාර්යෙන්ම.
හාහ්...  ඕක ලංකාවට වත් ඉන්දියාවටවත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් ලතින් ඇමරිකාවෙත් මේ ෆෙස්ටිවල් සිනමාව කියන්නෙ මොකක්ද කියල ලොකු කතාවක් යනවා. මේ දිග දුර රූප රාමු ඒ රටටත් හු`ගක් නුහුරුයි.

මං- ඉරාන සම්මාන දිනන චිත‍්‍රපටිවල ඔලූවෙ ඉඳන් වහන් ඉන්න ගෑණු දාඩියට පවන් ගහන රූප රාමු බහුලයි. ගම්බද, නූගත් පීඩිත ගැහැණු තමයි මේවායේ චරිත වෙන්නෙ. ඒත් අස්ගර් ෆර්හාඩි සෙපරේෂන් වගේ ෆිල්ම් එකක් එක්ක මේක වෙනස් කරනවා. එයා ක්ලෝස් අප් වලට යනවා. මධ්‍යම පංතිය ගැන කතා කරනවා.

අන්තිමට සම්මාන ගනිද්දි එයාගෙන් අහනවා ඉරානෙ චිත‍්‍රපටි හදන්න තියෙන බාධාවන් ගැන. එයා කියනවා ‘මමත් ඉරානෙ කොටසක්. මට ඒකෙ අමුතු අමාරුකමක් දැනෙන්නෙ නෑ’ කියල. එයා නැවත ඇවිත් රජයෙන් සමාවක් පවා ගන්නවා. ඒත් ඔයාට හිතෙන්නෙ නැද්ද මේ පිටිපස්සෙ මොකක් හරි දේශපාලනික කතාවක් තියෙනවා කියල.

පාවුලෝ-ඉරානෙ කියන්නෙ මං ඒ තරම් හුරුපුරුදු කලාපයක් නෙමෙයි. ඒත් සෙපරේෂන් මං ගොඩක් කැමති චිත‍්‍රපටියක්. ඒක හරියටම ඒ සීමාවන් ඇතුලෙ හිඳිමින් සිනමාව ඇතුළට ප‍්‍රවිෂ්ට වීමක්. පුහු විප්ලවකාරී උත්සාහයක් නෙමෙයි. ආන්දෝලනාත්මක වීම තමයි කතා බහට ලක්වෙන්න තියෙන ලේසි විදිහ. ඒ වෙනුවට එයා ජීවත් වෙන චරිත, ජිවිත ඇතුලෙන් කතාව කියනවා. මං හු`ගක් අගය කරනවා ඒක. මේ විදිහෙන් අර ඔයා කිව්වා වගේ ෆර්හාඩි එයාගෙ රටට එයාගෙ ජනතාවට තියෙන සැබෑ ගැඹුරු ආදරය ප‍්‍රකාශ කරනවා. එයා ගැඹුරු තැන් වලට යනවා. ඒත් එයාගෙ රටේ පේ‍්‍රක්‍ෂකයත් එක්ක ඉන්න ගමන්. හරි ලේසියි දෙයක් කරන්න සීමාවන් අභියෝග කරන. රටක පෙන්නන්න තහනම් කලාප පෙන්නන්න. එතකොට ඔයාගෙ ෆිල්ම් එක තහනම් වෙනවා. ඒකෙන් ඔයා ප‍්‍රසිද්ධ වෙනවා. මං සෙපරේෂන් වලට කැමති ඒ සීමාවන් දරාගන්න එයාට තියෙන ධෛර්ය මට පේන හින්ද. ඒක  තමයි කරන්න අමාරුම දේ.

මේ වෙද්දි පාවුලෝ හොඳටම රතු වෙලා. වටපිට බල බල නැගිටලා යන්න හු`ගක්  ඕනකමෙන්.
‘මේ ඇති. නැත්තං අපි අනිත් අයට කරන්නෙ අසාධාරණයක්’ කතා කරන්න බලාගෙන හිටපු අනිත් අය දිහා බල බල එයා කිව්වා. මටත් මහන්සියි මේ ගුග්ලි දාන එක.

එක අතකට ඒක එයාගෙ මාර්කට් එක. මං ඒකෙ කන්‍යාභාවය හොයන්නෙ මොකටද?
සුබ රාත‍්‍රියක් පාවුලෝ.. මං නැගිටලා ආවා. හෘදයාංගම නොවුණු සංවාදයක හිස්කම දවස පුරාම මාව හෙම්බත් කළා.

-චින්තන ධර්මදාස



3 comments:

  1. Awesome interview. Very brave. I enjoyed reading it a lot.

    ReplyDelete
  2. එක හුස්මට කියෙව්වා...ඒක හරිම රසවත් සහ විවෘත සංවාදයක්...ඔයා අර සංවාදේ අවසානයේ ‘හෘදයාංගම නොවුණු සංවාදයක හිස්කම දවස පුරාම මාව හෙම්බත් කළා.“ වාගේ පාට කන්නාඩියක් අපිට දාන්ඩ හැදුවේ ඇයි කියන එක ගැටලුවක් වුනාට ඒක අපිට වැදගත් වෙන්නේ අපි කවදා හරි දවසක ඔයාව කියවන්ඩ ගත්ත දවසක විතරයි...මොනවා වුනත් අර වාගේ කෙනෙක් අපට හදුන්වලා දුන්නාට ස්තුතියි...මම කවදාවත් එහෙම කෙනෙක් ගැන අහලාවත් තිබුනේ නෑ...

    ReplyDelete