Sunday, July 22, 2012

බල්ලට ගිය හෘදය සාක්‍ෂිය

ආණ්ඩුව බල්ලො කොළඹ නගරෙ බල්ලො 3000ක් මරන්න යනවට විරුද්ධව ඔඩෙල් එක ඉස්සරහ විරෝධයක් තිබුණ. මිනිස්සු කීපදෙනයි. වැඩි දෙනෙක් ගෑණු. ත‍්‍රීවීල් වල, බස්වල, පාර අයිනෙ යන අය හිනා වෙවී යනවා. ඒක ජෝක් එකක් වගේ. ගෝඨාභයගෙ නම ලියපු පෝස්ටර් එකක් උස්සන් ඉන්න හින්ද පොලිසිය විතරක් ටිකක් උනන්දුයි.

මේ බල්ලො මරන කතාව දැන් කීප වතාවක්ම උඩට ආවා. ආණ්ඩුව මරන්නෙ නෑ කිව්වා. ඊට කලින් හි`ගන මිනිස්සු මරන කතාවක් ආවා. ආණ්ඩුව නෑ කිව්වා. ඊටත් කලින් උතුරෙ දෙමළ මිනිස්සු මරන කතාවක් ආවා. ආණ්ඩුව නෑ කිව්වා.

බල්ලො කියන්නෙ මං ආස කරන  සත්තු ජාතියක් නෙමෙයි. එකක් බල්ලො ඇති කරන්න උනන්දු මිනිස්සුන්ගෙ තියෙන හීනමානෙ. ඩොබර්මන්, රොට්වේලර් කිය කිය සමහර වෙලාවට ප‍්‍රංශෙන් පවා බල්ලො ගෙන්නන පුරවගන්න බැරි හිස්කම (බල්ලාගෙ ක්ලාස් එකෙන් තමන්ගෙ ක්ලාස් එක පෙන්නන කට්ටිය). අනික බල්ලාගෙ තියෙන දුක්ඛිත ජීවිතය. මේ ලෝකෙ මං දැකලා තියෙන දුක්ඛිතම ජීවිත ගත කරන සත්තු බල්ලො. මිනිස්සුන්ගෙන් තොරව උන්ට පැවැත්මක් නෑ. ඌ සම්පූර්ණ වෙන්න මිනිහෙක්ගෙ වහලෙක් වෙන්න  ඕන. බල්ලො ඇති කරද්දි දන්නෙම නැතුව අපි වහල් හිමියෙක් වගේ වෙනවා. උගෙන් කීකරුකම, නගුට වැනීම සහ නොයෙකුත් වික‍්‍රම බලාපොරොත්තු වෙමින් අපි මිනිස්සුන්ගෙන් සම්පූර්ණ කර ගන්න බැරි අපේ අවුලක් බල්ලගෙන් සම්පූර්ණ කර ගන්නවා. ඒක හරියට යාලූවෙක් ආශ‍්‍රය කරන්න තියා පාරකට බැහැලා නැති සමහරු ෆේස්බුක් එකේ සමාජ වීරයො වෙනවා වගේ දෙයක්.

පාරෙ ඉන්න බල්ලො දිහා මං බලන් ඉඳල තියෙනවා. පාරෙ ඉන්නෙ ස්වාමියෙක් අහිමි බල්ලො. උන් කවදහරි ස්වාමියෙක් ඇවිත් තමන්ව බාර ගනීවි කියල බලන් ඉන්නවා. කන්න දෙන හැම කෙනෙක්ගෙ ඇස් වලම ඒ බලාපොරොත්තුව හොයනවා. පේමන්ට් උඩ වැතිරිලා කවුරු හරි ගලක් ගහයි කියල බයෙන් ඉන්න බල්ලොන්ගෙ ඇස් දැකලා තියෙනවද? උන් ගොඩක් වෙලාවට අ`ඩනවා. කඳුළු වැක්කෙරෙනවා. බල්ලන්ට මිනිස්සුන්ට වගේම අ`ඩන්න පුළුවන්. මිනිස්සුන්ට වගේම හිනාවෙන්න පුළුවන්. ඒත් බල්ලො හිනාවෙද්දි මිනිස්සුන්ට වඩා ලස්සනයි. උන් අ`ඩද්දි මිනිස්සුන්ට වඩා දුකයි.

‘බල්ලො මරන එක ගැන මට හරි බයයි. මාත් බල්ලෙක් දඩාවතේ යන. ඒ ගොල්ලො මාවත් මරයිද? මං රජෙක් වගේ බල්ලෙක්. ඒත් මං ඉන්නෙ මහ පාරෙ. ඒ හින්ද මේ බල්ලො මරනවට මං විරුද්දයි.
මං බල්ලොන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒ ගොල්ලො හු`ගක් දේවල් දන්නවා අපි ගැන’ අජිත් කුමාරසිරි කිව්වා.

දැන් මේ මරන්න යන්නෙ පාරෙ ඉන්න ඇස් වල කඳුළු තියෙන බල්ලො. නගරෙ ලස්සන කරන කොට එහෙම අය ඉස්සරහ ඉන්න එක කැතයිලූ. ඒකට තාර්කික හේතුව විදිහට කියන්නෙ පිස්සු බලූ රෝගය වැඩිවෙනවා කියල. පිස්සු බලූ රෝගෙයි බල්ලොන්ගෙයි කිසි සම්බන්ධයක් නෑ. ඒක ලංකාවෙ ආණ්ඩුව හා ජනතාව දිහා බලපු ගමන් පේනවා. ඒත් දැන් අපිට  ඕන හිනාවෙන රට බල්ලො. මේ රටේ දුක් විඳින බල්ලො අපිට කරදරයක්. උන් අනතුරක්. උන්ගෙ ඇස් දිහා බලද්දි අපි අවුල් වෙනවා. මේ සරණාගත බල්ලන්ව දැන් ඉවරයක් කරන්න  ඕන. නම් නෑ, ලැයිස්තු නෑ, අයිතිවාසිකම් නෑ.... දුක් විඳින බල්ලො මරන්න කාගෙන්වත් බාධාවක් නෑ. ඒක ජනතාවටත් ජෝක් එකක් විතරයි.

ඔඩෙල් එක ඉස්සරහ පිකට් එකට සාමාන්‍ය ජනතාව හිනාවුනේ ඇයි? මේ බඩුමිළ, අධ්‍යාපනේ වගේ ලොකු ප‍්‍රශ්න තියෙද්දි බලූ ප‍්‍රශ්නයක්? ඒක හරියට කියුබාවට අත නොතබනු වගේ දුරයි. ඒත් මේකෙන් එක කතාවක් කියවෙනවා. තව දුරටත් පාරෙ ඉන්න උන් මැරෙන එක ගැන අපිට වැඩක් නෑ. අපිට ඊට වඩා ලොකු ප‍්‍රශ්න තියෙනවා. ඒත් මේ හැම ප‍්‍රශ්නයක්ම අන්තිමට එදාවේල ගැන ප‍්‍රශ්නයක්. ඊට වඩා එලියෙන් කිසි දෙයක් හොයන්න අපිට ඉඩක් නෑ. චිත‍්‍රපටියක් බලන්න, යාලූවෙක් මුණගැහෙන්න, සමාජයක් විදිහට ජීවත් වෙන්න අපිට තවදුරටත් දැනෙන්නෙ නෑ වගේම බල්ලො ගැන අපිට දැනෙන්නෙත් නෑ. අපේ රටේ අනිත් පැත්තෙ ඉන්න දෙමළ මිනිස්සු ගැන අපිට දැනෙන්නෙ නෑ වගේම හැමදාම උදේ යනකොට අපිට නගුට වනන බල්ලො ගැන අපිට දැනෙන්නෙත් නෑ. ඒත් මේ සිංහල බෞද්ධයන්ට මුන්නේස්සරමෙ එළුවො මරන එක පේනවා. ඒක මාර අවුලක්. දෙවියන් වෙනුවෙන් මරන එක අවුල් ඒත් ලස්සන කරන්න නම් මැරුවට කමක් නෑ.

මේ නැති වෙන්නෙ අපේ අපි අවට ජීවිතේ ගැන තියෙන සවිඥාණක කම. බස් එකේ අනිත් සීට් එකේ මිනිහා ගැන තියෙන දැනීම. බල්ලො ගැන අපේ නැති වෙලා තියෙන්නෙ මනුස්සකම. අඩුම ගානෙ ඒක ප‍්‍රශ්නයක් විදිහට බාර ගන්න තරම් වත් ඔලූවෙ ඉඩක් ඉතුරු වෙලා නෑ. එක අතකට ඇත්ත. අපි බල්ලො ගානට වැටිලා ඉඳිද්දි තව බල්ලො මොකටද?

පිස්සු බල්ලො නැති කරන්න ආණ්ඩුවට  ඕනකමක් නෑ කියන එක පැහැදිලියි. එහෙම නං රට වටේම ළමයි දූෂණය කර කර යන පළාත්සභා සහ අනිත් මන්ත‍්‍රීලා ගැන බල්ලොන්ට වඩා උනන්දු තීරණ ගන්න තිබුණ. පාරවල් ගානෙ මිනිස්සු මරන උන්ට විරුද්ධව බල්ලන්ට වඩා දරුණු තීන්දු ගන්න තිබුණ. යුද්දෙ ඉවර වුණු ගමන් දකුණට මුදා හැරපු පිස්සු බල්ලන්ව බැඳලා දාන්න ආණ්ඩුව මොනවද කළේ? ඒ ගොල්ලො රට කැත කරන්නෙ නෑ. මේ බල්ලො තමයි...

ගැටළුව තියෙන්නෙ ආණ්ඩුව බල්ලන්ගෙ ගානට වැටෙන එක නෙමෙයි. උදේ හවස බුඩිස්ට් චැනල් බලන, පරලෝකෙ ගැන ඉන්න ලෝකෙට වඩා උනන්දු බෞද්ධයන්ට බල්ලො මරන එක කොහෙත්ම ගැටළුවක් නොවීම. අඩුම තරමෙ මේ සත්ව අයිතිවාසිකම් කණ්ඩායමට පිටින් කිසි කෙනෙක් සීරියස් විදිහට මේක ගත්තෙ නැති එක. බල්ලො මරන එක නෙමෙයි. බල්ලො මරන එක ගැන ජනතාවට ගානක් නැති එක. මේක අපේ ජාතියේ සංවේදිතාව ගැන අවුලක්. ත‍්‍රස්තවාදී දෙමළ වගේ පිස්සු බල්ලො. නැත්තං දේශද්‍රෝහී බල්ලො. අපේ රටේ නම කැත කරන බල්ලො. අවිඥාණකව ජනතාව ආණ්ඩුව සමගයි.

අපි සිංගප්පුරුවක් කරා වේගයෙන් ගමන් කරමින් ඉන්න වග පැහැදිලියි. බල්ලො මරන එකෙන් නොනැවතී උන් මසට ගන්නත් ජනතාව පුරුදු කළා නම් බල්ලන්ගෙන් නගරය බේරා ගැනීමේ ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙන්න ඉඩ තිබුණ. සිංගප්පුරුව වගේම ලස්සන පාරවල්, නගර, ගොඩනැගිලි එක්ක මැරිච්ච ජනතාවක්. අනාගත ආශ්චර්ය ඒක. සත්‍යා  ඕක ලස්සනට කියනවා, ජීවානුහරණය කළ නගරයක්.

යුද්දෙත් එක්ක අපි එකට හිටපු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නෙ අමතක කරන්න තාර්කික හේතුවක් හදා ගත්තා. ත‍්‍රස්තවාදීන් කියන්නෙ ඒ හේතුව. ඒ තාර්කික හේතුව උඩ අපි හෘදය සාක්‍ෂිය පාවා දුන්නා. තවදුරටත් ‘ගිල්ටි කොන්ෂස්’ නැත්තං ‘වරදකාරී හැ`ගීම’ කියන්නෙ සිංහල බෞද්ධ ජනතාවට අලූත් දෙයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නෙ ඒකෙ. යක්ෂයො භූතයො මළ පෙරේතයො ගැන කතා විතරක් අපේ මාධ්‍ය වල පළවෙන්නෙ ඒක හින්ද. තාර්කික හැ`ගීමකින් හෘදය සාක්‍ෂිය යටපත් කරන්න ජනතාවක් පුරුදු කළාට පස්සෙ එතනින් එහා සමාජයක් හෝ සංස්කෘතියක් ගැන කතා කරන පරිකල්පනයක් විතරයි. අපි බ්‍රේන් වොෂ් කරපු ජාතියක්. බුද්ධාගම, රට ගැන හැ`ගීම, අපේකම මේ ඔක්කොම ඒ බ්‍රේන් වොෂ් එකට පාවිච්චි කරපු උපකරණ. එතනින් එහාට අපිට හැ`ගීම් නෑ. බල්ලො නෙමෙයි ජනතාවක් පිටින් සංහාරයක් කළත් අපිට  ඕන වෙන්නෙ ඒක සාධාරණීකරණය කරන තාර්කික හේතුවක් විතරයි. අපි ආණ්ඩුවට කීකරු ජනතාවක්. (කීකරු කියන්නෙ කියන දේ කරන. ඒක බල්ලන්ට පාවිච්චි කරන යෙදුමක්)

පොඩි පත්තර නිව්ස් එකකින් එහාට කිසි මාධ්‍යයකට බල්ලො මරන ප‍්‍රවෘත්තිය වැදගත් වුණේ නෑ. ඒක විකිණෙන නිව්ස් එකක් නෙමෙයි. ඒත් මේ පේන්නෙ අපේ සංස්කෘතික වපසරියෙ තියෙන පුංචිකම. අපි අවට ගහකොළ වලට, සත්තුන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් වෙන දෙයක් ගැන සමාජ වගකීමක් නැති තරමට අපි පුංචියි. දුර්වලයි. හිරිවැටිලා. බඩු මිළ ගැන ප‍්‍රශ්නෙට වඩා බලූ ප‍්‍රශ්නෙ දේශපාලනික වෙන්නෙ ඒක නිසා. ඒක ආධ්‍යාත්මය පිලිබඳ ප‍්‍රශ්නයක්. බඩගෝස්තරේට වඩා දෙයක් අපිට දැනෙනවද කියන එක ගැන ගැටළුවක්. තමන්ගෙ ශරීරයේ ප‍්‍රමාණයට අදාල ප‍්‍රශ්න විතරක් වැදගත් කියලා ගන්න ඒ සීමාවෙන් පිටත අනිත් හැම ප‍්‍රශ්නයක්ම ජෝක් කියල ගන්න ලාංකේය ජීවිතයේ සීමිතබව එළිවෙන තැනක්.

කොහොම වුණත් බල්ලො ටික මරලා දාවි. ජිනීවා ප‍්‍රශ්න වගේ දේවල් වත් අදාල නැති නිසා ඒක හරි සරල දෙයක් වෙයි. ඒත් රට පුරා කිසි දෙයක් කර කියා ගන්න බැරි දරුවො දූෂණය කරන දේශපාලකයොයි, පාරෙ බල්ලො මරන බව  දැන දැන නොදන්නවා වගේ ඉන්න නැත්තං ජෝක් කරන ජනතාවයි ඉන්නෙ එකම තැනක. හෘදය සාක්ෂියක් නැතිකම. හෘදය සාක්‍ෂියක් නැති හැමෝටම  ඕන හිනාවෙන බල්ලො. මොකද අ`ඩන්න දන්නෙ නැති අයට හිනාවෙන්න අමතක හින්ද.

-චින්තන ධර්මදාස



5 comments:

  1. බල්ලො ගැන දුකයි... මිනිස්සු ගැන නම් දුකක් නෑ...

    ReplyDelete
  2. /*පොඩි පත්තර නිව්ස් එකකින් එහාට කිසි මාධ්‍යයකට බල්ලො මරන ප‍්‍රවෘත්තිය වැදගත් වුණේ නෑ. ඒක විකිණෙන නිව්ස් එකක් නෙමෙයි.*/

    මෙතනත් බල්ලො මරන ප‍්‍රවෘත්තිය වැදගත් වෙලා තියෙන්නෙ බල්ලොන්ට මුවා වෙලා උන්ට වඩා අන්ත මනුසතාගෙ ප්‍රශ්න ටිකක් මාකට් කරන්නද කියල හිතෙනව...

    ReplyDelete
  3. මම කියන්න යන්නෙ බල්ලො මැරිල්ල ගැන නෙවි. මරනවාට වඩා හොඳයි බැල්ලියො පැටවු නොලැබෙන විදියට "වඳ" කරන එක. ඒ වගේම බල්ලන්ට පැටවු නොහදන්න පුළුවන් විදියට සුළු සැත් කමක් කරන එක. පිට රට වල එහෙම කරනවා. කාලයක් යන කොට දඩාවතේ යන එක බල්ලෙක්වත් හොයා ගන්න බැරි වෙයි. ඕන්නම් ඒක වෙන අමාත්‍යාංශයක් හදල ඔය වීරවංශ, මර්වින් වගේ කෙනෙකුට බාර දෙන්න පුළුවන්.
    බල්ලන් ගෙවල් වල හැදීමට මගෙත් කැමැත්තක් නැහැ. උන්ගෙ නිදහස ඉන් අහිමි වෙනව. ලෙඩ රෝග බෝවෙනව.

    ReplyDelete
  4. මචං 'ඟ' යන්න - right Alt එක්ක '.'
    'ඬ' - right Alt එක්ක 'V'

    ReplyDelete
  5. මචන් අපේ හර්ද සාක්කිය නැති උනේ හැත්තෑ එකේ ඉඳන්. බලු බල්ලෝ මරනවා වගේ මිනිසුන් මැරුවා. මට නම් දඩාවතේ යන බල්ලෝ විතරක් නොවේ හරක් පවා මහා වදයක්. මුන්ව පාරෙන් අයින් කරනවට කව්ද යකෝ කෑ ගහන්නේ.

    ReplyDelete