Saturday, September 8, 2012

මරණය සමග රමණය

මැරෙන එක ගැන මං ගොඩක් දුර හිතුවා. ඇත්තටම මට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. මරණය කියන ප‍්‍රහේලිකාව කෙලවරක තියාගෙන සරලව සැහැල්ලූවෙන් පුංචි පුංචි දේවල් කර කර ජීවත් වෙන මිනිස්සු දිහා මං ඉරිසියාවෙන් බලන් හිටියා.
හැමෝටම වගේ මරණය ගැන අදහසක් තිබුණා. ඒවා තනිකරම තමන් නොදන්නා, අනුන් දන්නා බව පිළිගන්නා සිද්ධාන්තය උඩ පදනම් වුණු අදහස්. උදා විදිහට බෞද්ධයෝ බුදුන් කියන කර්මය පුනරුත්පත්තිය වගේ දේවල් තම තම නැණ පමණින් ගැටගහලා මරණයේ අවුල විසඳන්න උත්සාහ කළා. අනිත් ක‍්‍රිස්තියානි, මුස්ලිම් අය දෙවියො ළ`ගට යන්න බලාගෙන හිටියා. තව මගේ අලූත් සිතුවිලි පරම්පරාවෙ යාලූවො මරණය රොමාන්තික කළා. සමහරු විප්ලවීය මරණයක සිහින දකින්න කැමති වුණා. පාවුලෝ කොයෙලො වගේ අය ජීවිතය සම්පූර්ණ කරන්නෙ මරණයෙන් කියල කිව්වා.  ඕෂොට එහෙම මරණය කියන්නෙ වැළඳගන්න ඉන්න පෙම්වතියක් වගේ. නොදන්නා අඳුරට යන්න, මේ ශරීරයේ සීමාවෙන් නිදහස් වෙන්න වගේ වෙනම කවි එතන තිබුණා. අන්ධකාරය දිහාවට ඇස් යොමු කරගෙන ඉන්න බකමූණට ආලෝකයේ මහිම නොපෙනෙනවා වගේ මරණය දිහා ඇස් දල්වන් බලන් ඉන්න අයට ජීවිතේ සෞන්දර්යය පේන්නෙ නෑ කියල ඛලීල් ජිබ්රාන් කිව්වා.

ඇල්බට් අයින්ස්ටයින් වර්ගයේ අය ඒක වෙනම විදිහකට මේක විස්තර කරන්න හැදුවා. එයාට අනුව මරණය කියල දෙයක් නෑ. ඒක බයෝසෙන්ටි‍්‍රක් අදහසක්. කාලය සහ අවකාශය කියන රාමුවෙන් එහාට මරණය කියන සංකල්පයක් නෑ කියල ක්වොන්ටොම් පැහැදිලි කිරීමක් ඒක. වූඩි ඇලන් මේ කතාව තවත් ලස්සනට කියනවා. මරණය මට ගැටළුවක් නෙමෙයි, මැරෙන වෙලාවට මං එතන නොඉන්නයි  ඕන. එක විදිහකට ඒක ඇත්ත. මරණය කියන්නෙ අපි කවදාවත් අත්විඳින දෙයක් නෙමෙයි. මරණය දකින්න අපි ඉන්නෙ නැති හින්ද. අපි දන්නෙ ජීවිතේ අන්තිම නිමේෂය විතරයි. මරණය කියන්නෙ ඉතුරු ටිකට ජීවත් වෙන අනිත් අය දෙන අදහස.

මට සිදුහත් ගැන මතක් වුණා. ජීවිතේ ගැන හැම ආධ්‍යාත්මික පැහැදිලි කිරීමක්ම එන්නෙ මරණය ගැන අසීමිත  බය ඇතුලෙන්. සතර පෙර නිමිති දැකලා අසාමාන්‍ය විදිහට බය වෙන සිද්ධාර්ථ කියන්නෙ දුර්වල මිනිහෙක් කියල රොහාන් පෙරේරා දවසක් කිව්වා. එක විදිහකට ඒක ඇත්ත. ඒත් ජීවිතේ හරියටම බිත්තියට හේත්තු කරන වෙලාවක් එනවා. සිද්ධාර්ථ දරුණු විදිහට ‘ඩෙත් ඇන්සයටි’ එක ඇතුලට යනවා. මරණය ගැන අහේතුක අසාමාන්‍ය බය කියන්නෙ කාංසාත්මක රෝගයක් මනෝ විද්‍යාවෙ හැටියට. මාධ්‍ය වලින් මුලූ ලෝකය සම්බන්ධ වීම වැඩි වෙන තරමට අපිට මරණය මුණගැසීම වැඩි වෙනවා. අපි ලෝකෙ වටේම ප‍්‍රවෘත්ති විදිහට දකින්නෙ නැවත නැවත මරණය. ඒ නැතත් ලංකාව ඇතුලෙ දූපත් සීමාවෙ එකම තැන පල්වෙන ජීවිතේ ඇතුලෙ අපි නැවත නැවත අත්විඳින්නෙ මරණය.

මං සිද්ධාර්ථ ගැන මං විදිහට හිතුවා. මරණය ගැන බය දැනෙන්නෙ සමාජයට සාපේක්‍ෂව. සමාජයේ සංස්කෘතික අදහස් සහ බැඳීම් එක්ක මරණය ගැන බය තව තවත් සංකල්පගත කරනවා. සිද්ධාර්ථ කැලේට ගියා. හුදකලා වුණා අවුරුදු ගාණක්. මාරයා නැවත නැවත මුණගැහුණ. එයා මරණය කියන එක බාර ගන්න පුළුවන් ආකෘතියක් නිර්මාණය කර ගත්තා. කර්මය, පුනරුත්පත්තිය වගේ දේවල් මෙතනදි කතන්දර විතරයි. අපි මරණය එක්ක අපේ පුද්ගලික එක`ගතාවයක් හදාගන්නවා. එච්චරයි.

බුදුන් වදාල ධර්මයේ කර්ම හා පුනර්භව සම්බන්ධ කාරණා ඇතුලෙන් තමන්ගෙ මරණය ගැන බලාපොරොත්තුවක් හදා ගන්න ට‍්‍රයි කරන බෞද්ධයෝ අසරණයි. කාලය හා අවකාශය කියන දෙකෙන් එහා පවතින විශ්වයක් ගැන ඒ විදිහෙ කාල අවකාශ පද්ධති විවරණයක් කරන්න තරම් ශාක්‍යමුනි ගෞතම දුර්වලයි කියල මං විශ්වාස කරන්නෙ නෑ.

මරණය කියන්නෙ බලාපොරොත්තුවක් නැති කම. හැම ආධ්‍යාත්මික ගුරු කෙනෙක්ම උත්සාහ ගන්නෙ මරණය ඇතුලට බලාපොරොත්තුවක් ගේන්න. සදාකාලික ආත්මයක් හෝ වෙනයම් මොකක් හෝ බලාපොරොත්තුවක් එතනදි කොන්දේසි විරහිතව බාර ගන්න සහ ඒකෙන් තමන්ගෙ මරණය අමතක කරන්න ජීවත් වෙන මිනිස්සු ලෑස්තියි. ඒක හරි සාංදෘෂ්ටිකයි. හරි හෝ වැරදි විශ්වාසයක් ඇතුලෙන් මරණය තරණය කිරීම. එතනදි බෞද්ධයො අසරණ වෙනවා. බුදුන් කියන්නෙ ‘මොකුත් නෑ’ කියල. පිටක තුනක් පුරා පොත් වනපොත් කර කර අපේ හාමුදුරුවරු උත්සාහ කරන්නෙ මොකක්ද? මේ නැති එක ඇති කරන්න. එතන සමීකරණ හදන්න. උදාහරණයක් විදිහට ව්‍යවහාර සිතුවිල්ල ඇතුලෙ නිර්වාණය කියන්නෙ බලාපොරොත්තුවක්. අමා මහ නිවන් සුව කියලා කියන්නෙ ඒ රොමැන්ටික් හිතුවිල්ලට. ඒත් මං දැකපු ශක්‍යමුනි කියන්නෙ ඊට වඩා වෙනස් කතාවක්.

මරණය ගැන මං ස්ටෙෆාන් ගෙන් ඇහුවා. එයා ටිපිකල් ‘ජෙන් වයි’ පොරක්. ‘මචං ඩෙත් එකට වඩා ඩෙත් එක ගැන හිතන හිතුවිල්ලයි වැදගත්. අපි මේ මොකක්ද හොයන්නෙ. මචං හැපිනස්. අපි ඩෙත් එක ගැන හිතන්නෙත් අපිට හැපිනස්  ඕන හින්ද. බුද්ධ නිර්වාණය ගැන කියන්නෙ ‘ඩෙත්’ ස්ටෝරි එකක්ද? නෑ. ඒක හැපිනස් ගැන ස්ටෝරි එකක්. ඉතිං මට හිතෙන්නෙ කොයි විදිහකට අපි ඩෙත් එක ගැන කතා කරත් ඒක කතා කරන්නෙ අපේ එකම හියුමන් තෝට් එකක් ඇතුලෙ. ඒ තමයි ‘වී නීඞ් ටු බී හැපි’. එතකොට මට කවුරු හරි ටොපියක් කාලා ගන්න හැපිනස් එකයි, බුද්ධ නිවන හොයලා ගන්න හැපිනස් එකයි අතරෙ ලොකු වෙනසක් නෑ’ ඌ පොඩි වුණාට දුර හිතන්න පුළුවන් බුද්දිමත් බට්ටෙක්.

ළ`ගදි ඩෙනිස් හම්බුණාම ඌ සිරා කතාවක් කිව්වා. ඒක සිරා වෙන්නෙ ඌ මෙච්චර කල් මං දැක්ක දෙයක් වෙනස් විදිහට පෙන්නපු හින්ද. ‘මචං අපේ ථේරවාදය මරු. අනිත් හැම ආගමක්ම කියන්නෙ සදාකාලික ආත්මයක් ගැන. මුලූ ලෝකෙම එන්නෙ හින්දු ආගමේ තැනකට. මහායානෙ වුණත් එහෙමයි. ඒත් ථේරවාදෙ හරි හෝ වැරදි තනියම මේකට විරුද්ද පැත්තෙ ඉන්නවා. අනාත්ම කියන තැන. ඒක හරි ඔරිජිනල් කියලයි මට හිතෙන්නෙ’

ඩෙනිස් කියන කතාව එක විදිහකට ඇත්ත. අවුල තියෙන්නෙ අපි බුදුන් වදාල ධර්මය අකාලිකයි කියල නිරපේක්‍ෂ තැනකින් ගන්න යන එක. කිසිම දර්ශනයක් එහෙම අකාලික හෝ ලෝකෝත්තර වෙන්න බෑ, ඒ දර්ශනය භාෂාව ඇතුලෙ කියවෙන කල්. භාෂාවෙ වෙනස්කම් එක්ක ඒකට ලැබෙන අර්ථ වෙනස් වෙන්න ගන්නවා. හොඳම උදාහරණය තමයි නිවන. ශාක්‍යමුනි ගෞතම තමන් තේරුම් ගත්ත දේ කියන්නෙ ඒ කාලෙ මුල්බැහැගත්ත මහ විශාල බ‍්‍රාහ්මණ හින්දු දර්ශනයට ප‍්‍රතිවිරුද්ධව. අපෙන් පිට පවතින මහා ආත්මයක් ගැන අදහස කුඩුපට්ටම් කරලා එයා කියනවා ‘මොකුත් නෑ’ කියල. එතනදි එයා මොකුත් හොයාගෙන යන එකත් අධෛර්ය කරනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පුරාගෙන ඇවිත් ගත්ත අවබෝධයක් ගැනයි බුද්ධ කතා කරන්නෙ. හදිස්සියෙ මේ ආත්මෙ නිවන් යන්න ට‍්‍රයි කරනවා වෙනුවට එයා කියන්නෙ ජීවිතය ඇතුලෙන් එන අවබෝධයක් ගැන. මොකද මේ මරණය ගැන තියෙන භීතිය නිසා එයා ජීවිතේ අත්ඇරලා දුවපු කෙනෙක්. අවබෝධයෙන් පස්සෙ බුදුන් ආයිමත් ටවුමට එනවා. ඊට පස්සෙ ජීවිතේ වැඩි කාලයක් එයා ගත කරන්නෙ ටවුමෙ. රජවරු සිටුවරු එක්ක. එයා ජීවිතේ ගැන වෙනස් සිතීමේ ආකෘතියක් හදාගන්නවා. පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය කියන දෙකම දරන අවබෝධයක් ඇති ධර්ම කායක්... බුදුන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මැරෙන කල් තමන් විසින් ගොඩනැගූ නිදහස් සංස්කෘතියක් ඇතුලෙ ජීවත් වෙනවා. පාලියෙන් කියවෙන බුද්ධ කතාව සිංහලෙන් තේරුම් ගන්න අපේ ඇත්තො ඒක වෙනම භාෂිතයක් කරනවා. බුදුන්ව අසූ අට රියන් උස කරනවා. ඒ මරණ බයේ තරම.

ජීවිතය සහ මරණය අතර බෙදීමමයි ලෞකික සහ ආධ්‍යාත්මික බෙදීම කියන්නෙත්. ගත කරන ජීවිතයට බැහැරින් තියෙන, පිළිවෙත් පුරන, බවුන් වඩන ආධ්‍යාත්මික මාර්ගයක් කියන්නෙ ජීවිතයක් නැති මරණයක් වගේ. ඒක මානසික ප‍්‍රතිකාරයක් විදිහට හොඳ වෙන්න පුළුවන්. ඒත් මේ බෙදීම සමස්තයක් විදිහට ජීවිතේ දකින්න සහ විඳින්න තියෙන ඉඩකඩ අවුරනවා. ජීවිතය එන්න එන්න පුංචි වෙවී යන ලංකාව වගේ දූපතක මරණය විශාල වෙන්න පටන් ගන්නවා. බුඩිස්ට් චැනල් වලින්, දොර ම`ඩලාවෙන්, පෝය දවස් වලින් පිරෙන්නෙ මරණය. ඒකෙන් ජීවිතය ගැන තියෙන් අනිත් හැම මනුෂ්‍ය විෂයක්ම අහෝසි කරනවා. උදා විදිහට චන්දන ජයරත්න අපේ තාරකා විද්‍යාඥයෙක් වුණාට කතා කරන්නෙ තරු ගැන නෙමෙයි. අපේ මනෝ විද්‍යාඥයො කතා කරන්නෙ භූතයො ගැන. අපි ඡුන්දෙ දෙන්නෙ ලෞකික කාරණා වලට නෙමෙයි. ලෝකෝත්තර කාරණා වලට.

මට ලා ඕට්සුගෙ කවියක් මතක් වෙනවා.
‘රෝදයක් හදන්න ස්පෝක් කම්බි එකතු වෙනවා තමයි
ඒත් හබ් එක ඇතුලෙ තියෙන හිඩැස නිසයි රිය ඉදිරියට යන්නෙ.
බඳුනක් හදන්න මැටි  ඕන වෙනවා තමයි
ඒත් බඳුනෙ හිස්කම නිසයි ඒක වැඩදායී වෙන්නෙ
බිත්ති, දොරවල්, ජනෙල් කාමරයක් හදනවා තමයි
ඒත් ඒකෙ හිස් ඉඩ නිසයි ජීවත් වෙන්න පුළුවන්
හැමතිස්සෙම පවතින දේට
වටිනකම දෙන්නෙ නොපවතින දෙයින්.

මගේ යාලූවෙකුත් තනිකම සහ බලාපොරොත්තුවක් නැතිකම නිසා මරණය ගැන හිත හිත කාලයක් ගත කළා. ඒත් ළ`ගදි මිනිහා දකිද්දි ඇස් ආයිමත් ජීවිතෙන් පිරිලා.

‘මචං මං කාලෙකට පස්සෙ සිරා ගෑණියෙක් එක්ක නිදාගත්ත. අඩෝ එකපාරටම මාව අනිත් පැත්තට තල්ලූ වුණා. අර කාලකණ්ණි මරණ බය කොහෙන් ගියාද නෑ. මචං අපි හොඳට සෙක්ස් කරන්න  ඕන. එතකොටයි ජීවිතේ දැනෙන්නෙ. ඔය ආධ්‍යාත්මික කතා කියන්නෙ සෙක්ස් නැති වුණාම ඇ`ගට දැනෙන හිස්කම. ඇ`ග තමයි බං ජීවිතේ කියන්නෙ’
සහතික ඇත්ත.

-චින්තන ධර්මදාස


6 comments:

  1. රොහාන් පෙරේරා දන්න ඉටිගෙඩියක් නැහැ. සිද්ධාර්ථ බයවුණේ මරණයට නෙවේ ගතවෙන නිස්සාර ජිවිතයටයි.

    ReplyDelete
  2. ‘රෝදයක් හදන්න ස්පෝක් කම්බි එකතු වෙනවා තමයි
    ඒත් හබ් එක ඇතුලෙ තියෙන හිඩැස නිසයි රිය ඉදිරියට යන්නෙ.
    බඳුනක් හදන්න මැටි ඕන වෙනවා තමයි
    ඒත් බඳුනෙ හිස්කම නිසයි ඒක වැඩදායී වෙන්නෙ
    බිත්ති, දොරවල්, ජනෙල් කාමරයක් හදනවා තමයි
    ඒත් ඒකෙ හිස් ඉඩ නිසයි ජීවත් වෙන්න පුළුවන්
    හැමතිස්සෙම පවතින දේට
    වටිනකම දෙන්නෙ නොපවතින දෙයින්.

    ReplyDelete
  3. ඇත්ත. මිනිස්සු මරණය ගැන හිත හිතා, ඒ ගැන මහලොකුවට කතිකවල් කර කර තියෙන ජීවිතෙත් නිකරුනේ විනාස කරගන්න හදන්නේ. ඊට වඩා අර කිව්වා වගේ ටොපියක් කාල සතුටුවෙන පොඩි එකා ජිවිතේ විදිනවා. :)

    ReplyDelete
  4. thamun kauru unatha budu dahama hodatha keyawala terum aragena leyanna nodanna de leyanna apa weda warade



    ReplyDelete
  5. agama kiyanne manasika rogayak. eka athakata eka sim ekak wage. a sim eka use karala api kamati col ekak ganna puluwan. issara hitapu kings la me sim eka use kale ratawal alla ganna. hodama example eka ashoka. Darmashoka nohoth chandashoka. yudda karala ati wunama eya dudsm use karala ratawal thamanta nammawa gaththta. api hithan innawa dasmashoka siyalu lakwasiyan niwan awaboda karawime parama chethanawen budsm apita dunna kiyala. birth certifcte eken budsm wuna api pixo wage kiyawanawa. maranaya kiyanne wiramayak. pawulo koiyo ethanadi niwaradi. eka new start ekak thamai. ustain gordarge angel wath hitiya nam maranaya christyan widiyata widinna tibuna. (@chinthana-like ur style)

    ReplyDelete