Sunday, September 23, 2012

අපේ රටේ මිනිස්සු වෙනස්. නොහොත් දිලිත් -දෙරණ සිනමා සම්මාන උළෙල

ලංකාවෙ සිනමාව මැරිලා හු`ගක් කල්. අපි වළ නොදැමූ ඒ කුණ අරගෙන අබ හොයාගෙන දුවන පිස්සු පටාචාරාලා වගේ. මාත් ඇතුළු ලංකාවෙ සිනමාකරුවන්ව මට පේන්නෙ එහෙමයි. ඒත් මේ අබ හොයන්නෙ සිනමාව ගොඩගන්නද අපි ඇතුලෙම කුණුවෙමින් දියවෙමින් ගලන ජීවිතය ගොඩගන්නද කියා එකපාර හිතාගන්නට බෑ. ඒත් ජීවිතය ගොඩගන්න සිනමාවෙන් පුළුවන්කමක් නෑ. ඒත් සිනමාව ගොඩගන්න (හෝ ඒ වගේ මොකක් හරි එකකට) ජීවිත තියෙන මිනිස්සු නං  ඕන වෙලා තියෙනවා.

මේ විදිහෙ (අව)මංගල උත්සවයකට මාත් සහභාගි වුණා පහුගිය සිකුරාදා. ලක්ස් වලින් ස්පොන්සර් කරපු දෙරන පළවෙනි සිනමා සම්මාන උළෙල ඒක. ලෝන්ජ් කියලා ප‍්‍රින්ට් කරපු ඉන්විටේෂන් එක හින්ද ඊට කලින් දවසෙ ඉඳන් ලංකාවෙ කලාකාරයො ගෙවල් ගානෙ ඇවිද ඇවිද ටයි කෝට් හෙව්වා. හැමෝම තමන්ට පුළුවන් උපරිමෙන් දිලිසි දිලිසි උළෙලට ආවා. ‘දෙරණ’ අඩු තරමෙ නෝන්ඩි නැති වැඩක් කරයි කියලා හිතන් මාත් එතන හිටියා.

2011-2012 කියන්නෙ ලංකාවෙ සිනමාවෙ බංකොලොත්ම අවුරුද්ද. මහින්ද චින්තනය වෙනුවෙන් හදපු ගාමණී, මහින්දාගමනය වගේ ප්‍රොපගැන්ඩා චිත‍්‍රපටි වලට බැහැරින් ආවෙ ස්වීට් ඒන්ජල්, චැලෙන්ජර්ස් වගේ පතෝල චිත‍්‍රපටි විතරයි. දෙරන තමන්ගෙ පළවෙනි සිනමා සම්මාන උළෙල මේ බංකොලොත් සිනමා වසර වෙනුවෙන් සීමා කර ගැනීමම ලොකු අවුලක්. මේ චිත‍්‍රපටි ලැයිස්තුව දිහා බලන සිනමාව ගැන සබුද්ධිකයෙක් අඩු තරමෙ තීරණ දෙකක් ගැන හිතනවා. එක්කෝ මේ කාලය වසර දෙකක කාලයක් දක්වා දික්කර ගන්න  ඕන. නැත්තං මේ බංකොලොත් බව පිරිමහන්න වෙනත් කෘතීන් කීපයක් හෝ ඇතුලත් කර ගන්න උපක‍්‍රමයක් පාවිච්චි කරන්න  ඕන. එහෙම නැතුව මෙයාකාරේ සිනමා උළෙලවල් සිනමාව වෙනුවෙන් කරන දිරි ගැන්වීමකට වඩා (ඒ ගොල්ලො කොයිතරං කිව්වත්) වසංගත සිනමාවක් අධිතක්සේරු කරන, සිනමාව තවත් බංකොලොත් කිරීමේ ව්‍යාපෘති විදිහට අඳුරගන්න වෙනවා.

කමල් අද්දර ආරච්චි මේ කතාව වේදිකාව උඩ ලස්සනට කිව්වා. ‘
‘මං ඉන්නෙ හු`ගක් අසනීපෙන්..අමාරුවෙන්. ඒත් මේ සම්මාන උළෙලට ආවම මට හරි සතුටක් දැණුනා. ලංකාවෙ සිනමාවම මං වගේ කියලා මට හිතෙනවා’’

ප‍්‍රධාන අංශයේ ජූරිය විදිහට වැඩ කළේ ජයන්ත චන්ද්‍රසිරි, පැටි‍්‍රක් රත්නායක, රංග දසනායක, බුද්ධදාස ගලප්පත්ති සහ කාන්තා නියෝජනයක් විදිහට සබීතා පෙරේරා. හෙට දවසේ සිනමාව වෙනුවෙන් කියලා වෙනම අංශයක් වෙනම ඇරලා තිබුණ. ඒකෙ විනිශ්චය වෙනුවෙන් හිටියෙ විමුක්ති ජයසුන්දර, බූඩි කීර්තිසේන සහ අනෝමා රාජකරුණා ත‍්‍රිත්වය. නැටුම් ගැයුම් සහ රැු`ගුම් එක්ක කොමඩි ඇතුව සම්මාන දෙන්න පටන් ගත්තා. තෝරා ගෙන තිබ්බ චිත‍්‍රපටි ලැයිස්තුවෙ හැටියට වෙන්න  ඕන විදිහටම ගාමණී පැත්තට සම්මාන සුනාමියක් ආවා. කැපී පේන කාරණයක් වුණේ වෙන චිත‍්‍රපටියක් සම්මාන වෙනුවෙන් නම් යෝජනා වීම පවා සිද්ද වුණෙත් කලාතුරකින්. නගින බහින හැම නලාකාරයෙක්ම අද්මිරාල් සරත් වීරසේකරට පින් දෙන්න පටන් ගත්තා. ඒ අපේ කෘත ගුණ සැළකීමේ ගුණය හින්ද වෙන්න පුළුවන්. හමුදාව රට බේරලා දුන්නා වගේ අපේ සිනමාවත් බේරලා දෙනවා කියන පින් සිතුවිල්ල ඒ අයට ඇති වුණා වෙන්න පුළුවන්.
ගාමණී සම්මාන සහ ඇගයීම් ලැබිය යුතු චිත‍්‍රපටියක්. යම් යම් කාරණා අතින් ඒක ප‍්‍රශස්ත මට්ටමක තිබුණා. ඒත් නාම යෝජනා විදිහට වත් වෙන චිත‍්‍රපටියක් ඉදිරිපත් නොවෙන්න හේතුවක් මට හිතාගන්න බෑ.

උදාහරණයක් විදිහට ‘කිං හන්තර්’ චිත‍්‍රපටිය වෙනුවෙන් මීට වඩා පිළිගැනීමක් අවශ්‍යයෙන්ම ලැබෙන්න තිබුණා. ඒක වුණේ නැත්තෙ ජූරියේ ක‍්‍රියාත්මක වුණු ජාතිකවාදී මතවාදයක් හින්ද කියලා මට අහේතුකම නොවෙන සැකයක් එනවා. මට දැනෙන විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ කැරිස්මාව නිසා එයාගෙ මේ මොහොතේ සිනමාව ගැන තියෙන හතරැස් විශ්වාසයට යටත් වෙන්න අනෙක් ශක්තිමත් බුද්ධිමය මතවාදයක් අහිමි ජූරි සභිකයන්ට සිද්ද වෙනවා. හොඳම චිත‍්‍රපටය විදිහට ගාමණී සම්මාන ලැබීම අඩුම තරමෙ ලංකාවෙන් පිට ඉන්දියානු චිත‍්‍රපටියක්වත් බලලා තියෙන කෙනෙකුට සෑහෙන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි.

‘අඩෝ, නැගිටලා හූ කියමු?’

මං එහා පැත්තෙ හිටපු උදයාගෙ අතින් ඇද්දා. ඒත් ඌ ආචාරධර්ම ගැන හිතලා එහෙම ආතල් එකකට වත් සෙට් වුණේ නෑ.

‘එහෙම හූ කියන්න බෑ බං. ලෝකෙ කොහේවත් එහෙම වෙන්නෙ නෑ’ විමුක්ති පස්සෙ මං කරන්න ගිය දේ ගැන කිව්වා. ඒත් විමුක්ති සම්මාන දිනපු කාන් ෆෙස්ටිවල් එකේම අන්තෝනියෝනි ගේ ලැවෙන්තුරා ෆිල්ම් එකට ඒබියන්ස් එක හූ කියනවා. ඇරත් ලෝකෙ කොහේ වුණත් නොවුණත් අත්පුඩි ගහන්න  වගේම හූ කියන්නත් පුළුවන්කමක්  ඕඩියන්ස් එකට තියෙන්න  ඕන. විශේෂයෙන් චිත‍්‍රපටකරුවො ඉන්න පේ‍්‍රක්‍ෂාගාරෙක, අනිත් පැත්තට චිත‍්‍රපටකරුවෙක් ඇතුලෙ ස්වයං විදිහට ඒ නිදහස අත්පත් කර ගන්න  ඕන. ඒත් දෙරණට ආපු සිනමාකරුවො සිනමාවෙ වැදගත්කමට වඩා ඇඳන් ඉන්න ඇඳුමෙ වැදගත්කම වැඩියෙන් තක්සේරු කළා.

ගාමණී නරක චිත‍්‍රපටියක් කියලා මං කියනවා නෙමෙයි. ඒත් ඒක වසරේ හොඳම චිත‍්‍රපටිය විදිහට තෝරන්න තරම් සිනමා දැනුමෙන් හෝ රසයෙන් හීන වීම ගැන ඒ ජූරිය ලැජ්ජ වෙන්න  ඕන. ඒ දිහා බලාගෙන අත්පුඩි ගහපු අපි ලැජ්ජා වෙන්න  ඕන. දෙරන සිනමා උළෙලට මං කැමති එකම කාරණය මේ අපේ සිනමාවෙ කට්ටිය දැන් ඉන්න තැන් හෙළුවෙන්ම පේන්න පටන් ගත්ත වේදිකාවක් වුණු හින්ද.

ඊට පස්සෙ තිබුණෙ හෙට දවසේ සිනමාව ඇගයීමේ කොටස. අන්තර් ජාතික වශයෙන් හොඳම පිළිගැනීමක් ලද චිත‍්‍රපටිය තෝරන්න නම් කීපයක් යෝජනා වුණා. ෆ්ලයින් ෆිෂ් සහ නිකිණි වැස්ස එතන තිබුණා. නිකිණි වැස්ස සම්මාන ගත්තා . ෆ්ලයින් ෆිෂ් හෙට දවසේ සිනමාවෙ කිසිම ඇගයීමක් නොලබා දැවී ගියා.
ඒක එහෙම්පිටින්ම විහිළුවක්. ඒ යෝජනා වුණු චිත‍්‍රපටි අතර (ඉනි අවන් ඇතුළුව) ෆ්ලයින් ෆිෂ් තරම් අභියෝගාත්මක සහ සිනමාත්මක කෘතියක් තිබුණෙ නැති බව සහතිකයි. අනිත් කෘති බාල හෝ පහත් කියන සරල තැනට වඩා විශිෂ්ට කෘතියක් අසාධාරණ විදිහට මගඇරීම කියන එකයි මට තියෙන අවුල.

‘පිස්සුද බං. ඒක අපි කාටවත් බලන් ඉන්න බැරි වුණා. අන්තිමයි’
‘ඒක හොඳයි චැනල් 4 එකට’
‘එහෙම ඒවා මේ රටේ යුද්දෙදි වුණාද? පට්ටපල් බොරු තියෙන්නෙ’
‘අපි බැලූවෙ දේශපාලනය නෙමෙයි. අපි බැලූවෙ සෞන්දර්ය පැත්තෙන්’
ෆ්ලයින් ෆිෂ් සඳහා අනිවාර්යෙන්ම හෘදය සාක්ෂියක් ඇති සිනමාකරුවෙක් විසින් දිය යුතු ඇගයීම නොදීම ගැන අහද්දි ජූරියේ කට්ටිය මට කිව්වෙ ඒ වගේ අදහස්.

මේ කාරණය අභියෝගාත්මකයි. ඒ සම්මාන දුන් සිනමාකරුවන්ම ඉත සිතින් පිළිගන්නා අන්තර්ජාතික සම්මාන උළෙලවල විශිෂ්ට ඇගයීම් ලත් කෘතියක් මේ විදිහට නොතකා හරිනවා නම් ඒ ගැන තමන් සතු සුවිශේෂ විග‍්‍රහය මේ ජූරි සභිකයන් විසින් ප‍්‍රසිද්ධියෙ ප‍්‍රකාශ කරන්න  ඕන. මං කියන්නෙ සිංහලෙන් විතරක් නෙමෙයි, ඉංග‍්‍රීසියෙන් පවා. මේ ආන්දෝලනාත්මක, එමෙන්ම ලෝකයේ විචාරකයන් අභියෝග කරන නව සෞන්දර්යාත්මක දෙබස එහෙම නැතුව මහින්ද චින්තන කතිකාවට බයෙන් ගත්  බයගුළු තීන්දුවක් නොවෙන්න ඒක අත්‍යාවශ්‍යයි. ඒ ගැන කවුරුන් හෝ අභියෝග කරන කල් නම් බලන් ඉන්නෙ මේ ලිපියම ඒකට අභියෝගයක් විදිහට බාර ගන්න කියලා මං ඉල්ලන්නෙ සාධනීය අරමුණකින්.

ෆ්ලයින් ෆිෂ් වල සිනමා ආඛ්‍යානයට විරුද්දව ගොඩක් තැන්වල මං කතා කළා. ඒ සමස්ත යුරෝ කේන්ද්‍රීය සිනමා කතිකාවම ගැන විවේචනයක් විදිහට මිස මේ වසරේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම සිනමා කෘතියක් විදිහට ඒකට හිමි තැන අවතක්සේරු කරමින් නෙමෙයි.  මට අනුව එතනදී තෝරා ගත් අනිත් සිනමා කෘතීන්ට සාපේක්‍ෂව ෆ්ලයින් ෆිෂ් සිනමා සෞන්දර්යයේ විධිමත් පිිළිගත් තත්වයන් මත ඉහළින්ම පිහිටි කෘතිය වෙන්නෙ නිකම්ම.

ෆ්ලයින් ෆිෂ් ඇගයීමට ලක්විය යුතු කාරණා කීපයක් තියෙනවා.

1. පළමු කෘතියක් විදිහට ඉන් ප‍්‍රකට කරන පරිණත සිනමා ගුණයන්

2. මහින්ද චින්තන දේශපාලනයේ ස්වයං, ප‍්‍රකාශිත, අප‍්‍රකාශිත සියලූ වාරණයන් යටතේ කන්තලේ තමන් අත්විඳි සැබෑ ජීවිතය තිරය මතට ගේන්නට අධ්‍යක්‍ෂවරයා කරන අවංක කැපවීම. මෙතනදි අනිත් හැම කෘතියකටම වඩා ෆ්ලයින් ෆිෂ් ඇත්ත ප‍්‍රකාශනයක්. හඳගම නොදන්න යාපනේ මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නෙකට හෑල්ලූ කරද්දි ෆ්ලයින් ෆිෂ් එක්ක සංජීව ඇත්ත සංස්කෘතිය, සමාජය අමුවෙන් ප‍්‍රශ්න කරනවා. ඒක දේශපාලනිකයි.

3.  ඇත්තටම ඒ අවුරුද්දෙ ලෝකයේ වැඩිම පිළිගැනීමක් දිනූ  ශ‍්‍රී ලාංකේය කෘතිය වුණේ ඒක. සමහර උළෙල වලදී විමුක්තිගේ මෂ්රූම් පවා මේ චිත‍්‍රපටිය නිසා අභියෝගයට ලක්වුණා.

4. සිනමාකරුවන් විදිහට තිබිය යුතු හෘදය සාක්ෂිය. සිනමාව යනු සෞන්දර්යය  පමණක් කියලා හිතනවා කියන්නෙ වන්දිභට්ට කලාවක් වෙනුවෙන් පිඹුරුපත් අඳිනවා කියන එක.  කෘතියක වැදගත්ම දේ වෙන්නෙ කන්සෙප්ට් එක. අනුභූතිය. කෘතියෙ දේශපාලනය තියෙන්නෙ එතන.  සර්ව කාලීන වූ කලා කෘති ගැන මිත්‍යාව නූතනවාදයත් එක්ක කෙලවර වුණු මතවාදයක්. ඒ ඒ සෞන්දර්ය ලක්ෂණ පිළිගැනෙන්නෙ අදාල සමාජ දේශපාලන වෙනස්කම් වලට සාපේක්‍ෂව මිසක් එහෙම දේවල් කෘතියක් විසින් යෝජනා කරන්නෙ නෑ. (නිරපේක්‍ෂ සෞන්දර්යය මතවාදයක් නෑ) මේ සම්මාන ලද කෘති වලින් ප‍්‍රකාශ කරනවා කියන සෞන්දර්යය ඒ ජූරියේ දේශපාලනය වෙන්නෙ ඒ විදිහට. හෙට දවසේ සිනමාවෙ සෞන්දර්ය මිණුම් ද`ඩු කියල මේ ජූරියේ ත‍්‍රිත්වය ගන්න තීරණ සර්වකාලීන (දෙවියන් වහන්සේ විසින් දෙන ලද) වගේ පෙණුනට ඒ අවිඥාණක දේශපාලනය වෙන්නෙ නැවතත් මහින්ද චින්තනය. මේ අපොලිටිකල් බව කියන්නෙ පාවිච්චි වීමට.
ඒ අපොලිටිකල් තීන්දු වල පොලිටිකල් හැඩය පේන්නෙ ප‍්‍රධාන ජූරියෙ තීරණ එක්ක එක පෙලට තිබ්බම. සමස්තයක් විදිහට ගත්තම. හොඳම චිත‍්‍රපටිය කියලා ජයන්ත චන්ද්‍රසිරි ගාමණීට පට්ට පොලිටිකල් තීන්දුවක් දෙද්දි හෙට දවසේ සිනමාවෙ කට්ටිය අපොලිටිකල් වෙන්න තීන්දුවක් ගන්නවා. දෙරණෙ දිලිත් ආස විදිහට වැඬේ කෙරෙනවා. ජූරියේ තුන්දෙනාගෙ පොලිටිකල් නොවෙන තෝරා ගැනීම කියන්නෙම ජයන්තගේ පොලිටිකල් තෝරා ගැනීමට සහයෝගය දැක්වීමේ පොලිටිකල් තීන්දුවක් වෙනවා.

හෙට දවසේ සිනමාව වෙනුවෙන් ඉනි අවන්ට සම්මාන ලැබුණ. හඳයා වේදිකාව උඩට ඇවිත් හැමදාම කියන විහිළු කතාව කියන්න පටන් ගත්ත. ‘මේ විනෝද වෙන්න තියෙන කාලයයි. ඉතිං අපි විනෝද වෙමු’ වගේ එක්ස් එකෙන් පස්සෙ උඩදාන්න පුළුවන් විදිහෙ කතාවක් කියලා සම්මානෙ අරන් යන එක හඳයාගෙ පුරුදු විදිහ. එතනට ඇවිත් බලන් ඉන්න  ඕඩියන්ස් එක කිතිකවන්න හදන හඳගමට මූණට මූණ එතන ඉන්න, කෙලින්ම මේ මොහොතෙ දේශපාලනය සහ විශේෂයෙන්ම ඒ සම්මාන උළෙලේ දේශපාලනයට බලපාන දිලිත්ව, තමන්ගෙ යාලූවාව අමතක වෙනවා. ‘මේක දිලිත්ගෙ පාටිය. ඉතින් මාත් ආවා බැලූමක් පුම්බන්න’ වගේ ඇත්ත කතාවක් වෙනුවට ඔහේ ගහගෙන යන විනෝද කතාවකින් හඳයා වීරයා වෙන්න ට‍්‍රයි එකක් දුන්නා. එතකොටම නිවේදකයා ආයිමත් කතා කළා. මිලියනයකින් ආධාර කළා. හඳයා මීක් නොකියා වේදිකාවෙ ඔහේ හිටං හිටියා.

සම්මාන දීපු තුන්දෙනා ට‍්‍රයි කළෙත් හඳගමගේ පරණ වීරත්වය පිටිපස්සෙ හැංගෙන්න. මට තියෙන ගැටළුව හඳගම තවදුරටත් වීරයෙක්ද කියන එක. සමහර කාලවල වීරයො තවත් කාල වලදි භයානක වර්ගයේ තක්කඩි බවට පරිවර්තනය වෙනවා. මට අනුව විදු හැදුවට පස්සෙ හඳගම ආයිමත් ආවෙ නෑ. ඉනිඅවන් කියන්නෙ එයාගෙ තක්කඩිම සිනමා කෘතිය. ඒක නිසා හඳගමට ලැබුණු උදව්ව ජගත් මනුවර්ණගේ ඊළ`ග චිත‍්‍රපටියට ලැබුණා නං මට ටිකක් හරි සතුටු වෙන්න තිබුණ.

මාත් ආසයි වීරයො විශ්වාස කරන්න. ඒත් වීරයො ඇත්තටම මැරිලා (මේ අදහස රාජිත දිසානායකට වඩා වෙනස්) අපිට සිද්ද වෙනවා අන්ධකාරෙ තනියම ඇවිදින්න. අඩු ගානෙ ඇස් දෙක ඇරිලා තියෙන එකවත් එතනදි උදව්වක් වෙයි.

අපොලිටිකල් වීම ඇතුලෙ වෙන්න පුළුවන් නරකම දේ තමන්ගෙ පුද්ගලික අගතීන් තීරණ වලට බලපාන එක. වාස්තවික සමාජ දේශපාලන තත්ව එක්ක තාර්කික ගැටුමක් විදිහට සෞන්දර්යය තීරණය වෙනවා වෙනුවට හු`ගක් දූපත් ලක්ෂණ එතනදි ඉස්සරහට එන්න පුළුවන්. හෙට දවසේ සිනමාව වෙනුවෙන් මගේ යාලූවො තුන්දෙනා කරපු තෝරා ගැනීම් දැක්කම මට මතක් වුණේ ලංකාවෙ ගොඩක් තීරණාත්මක දේවල් සම්බන්ධයෙන් අදාල සරලම කාරණයක්. ‘රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව’.

නැත්තං සුළ`ග එනු පිණිස හදපු විමුක්තිටවත් සිහින දේශයෙන් හදපු බූඩිටවත් කොලොන්නාවෙ දුමින්දට තරම් අමතක වෙන්න විදිහක් නෑ.

ලැජ්ජා නැති සම්මාන උළෙලකට පස්සෙ රෙදි ඇඳගෙන මං ගෙදර ආවෙ අමාරුවෙන්.
අපේ රටේ මිනිස්සු වෙනස්. ඒ වෙනසට ගරු කරන අපි,

-චින්තන ධර්මදාස

10 comments:

  1. අදහස පැහැදිලියි සහ කැමතියි. හැබැයි බූඩිව ඔයාට මෙතෙන්දිත් පට්ට විදිහට මග ඇරිල. හැමතැනම වචනය 'ජූරිසභාව'.එහෙම වෙන්න විදිහක් නෑ. මොකද ඔයා බූඩි සම්බන්ධයෙන් රකින ආචාරධාර්මික නිහඩතාව ගැන හුඟක් අය දැන් කියල තියෙනව. ඒක හින්ද වචනය මග 'ඇරිල' නෙමෙයි 'ඇරල'. විමුක්තිව,හඳගමව,ජයන්තව එක්ස්ට්‍රීම් වෙලා පේනකොට බූඩි ඉන්නෙ පට්ට වයිඩ් එකක.චූටියට පේන්නෙ. මචං අර පරණ ප්‍රස්තා පිරැලක් තියෙනව මෙහෙම.. 'ගමේ කමට හක් පිඹින්න ගිහිල්ල හිරලෙ පාත් උනා' කියල. ආදරේට කියන්නෙ.. බූඩිගෙ අත්වලත් දෙමළුන්ගේ ලේ තියෙනව. හොඳට ලංවෙලා කන්නාඩි පිහදාල බලපං.. අනේ මචං පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් ටෲත්....

      Delete
  2. ""මාත් ආසයි වීරයො විශ්වාස කරන්න. ඒත් වීරයො ඇත්තටම මැරිලා (මේ අදහස රාජිත දිසානායකට වඩා වෙනස්) අපිට සිද්ද වෙනවා අන්ධකාරෙ තනියම ඇවිදින්න. අඩු ගානෙ ඇස් දෙක ඇරිලා තියෙන එකවත් එතනදි උදව්වක් වෙයි.""

    මාත් ආසයි මචන් ඔය වීරයෙක් පස්සේ යන්න. ඒත් අර ඩියුලක්ස් බල්ලා කියන්නැහේ,

    "මාත් ආසයි මූද අද්දර ගේක ඉන්න, ඒත් මූද අද්දර ගේකට ආර්ක්ෂාව තියෙන්න ඕනේ ඩුයුලක්ස් වෙදර් ශීල්ඩ් වගේ"

    උඹ ඇඩවර්ටයිසින් නොකළනම් උඹව මම වීරයෙක් කර ගන්නවා..!



    ReplyDelete
  3. chintha derana film awards ceramoney aka balanna giya wage...ALUTH PRASTHA PIRULA....

    ReplyDelete
  4. මේක කියෙව්වම මට දුකක් නම් නෑ. හිනා යනවා. අපි හැමතැනම බලාගෙන ඉන්නවා දැන් වත් සාධාරන දෙයක් සිඳුවෙයි කියලා. කොතැනක හෝ. ඒත් වෙන්නේ ඩිසපොයින්ට්මයි. අපි බලාගෙන ඉන්නව බර්ටි 120 කුත් එක්ක ලොක්කට ගේම අදියි කියලා. අපි බලාගෙන ඉන්නවා ආමි කාරයෝ මාලක කුඩු කරයි කියලා. අපි බලාගෙන ඉන්නවා හඳයා අලුත් එකෙන් වත් චූටී හරි හින්ට් එකක් ගහයි කියලා. ඒ උනාට වෙන්නේ වෙන කතාවක්. දෙරණ ගැන සම්පූර්ණ කියවීම උදේ 6.30 ට් චතුර කොලූ රෙදි නැතුව කඩේ යන කෙරුවාවෙන් තේරෙනවා. අපි දියසේන කුමාරයා එනකම් බලාගෙන හිටියා. අපේ ලක් එකට එයා ආවා. ඒත් එයාට හොඳයි අපට හොඳ නෑ. දැන් ඉතින් රාවණා එනකන් වත් බලාන ඉමු. අපි හරු පව්නේ.

    ReplyDelete
  5. “ගාමණී නරක චිත‍්‍රපටියක් කියලා මං කියනවා නෙමෙයි....“ හහ් හහ් හා.....ගාමණී නරක චිත්‍රපටියක් නෙමෙයි නං ඒක හොඳ චිත්‍රපටියක්ද? කොතනද මෙයා ඒක ප්ලේස් වෙන්නෙ...හහ් හහ්..හා....!!! අනේ මෙයා ඔයා රෙද්දටද ගියේ...? ඇයි ඔයාට පාඩුවේ ඉන්ඩ තිබ්බනේ. ඔයා දන්නෙ නැද්ද දෙරණ කාගෙද කියලා කොහෙටද සේවය කරන්නෙ කියලා. ඔයාට මැජික්ද මෙයා ගාමණී හොඳම චිත්‍රපටිය වෙන එකට. හහ්..හහ්..හා...පොර ටෝක්ස් දෙන ඔයා දන්නෙ නැද්ද වස්තුවේ දෙරණ කාගෙද කියලා. ඒ න්‍යාය පත්‍රය ඇතුළෙ ගාමණී හොඳම එක වෙන්නෙ නැතුව අහවල් ලබ්බක්ද හොඳම එක වෙන්නෙ.
    ඔයා දෙන පොර ටෝක්ස් එක්ක ඔයා දෙරණින් බලාපොරොත්තුවෙන්නෙ මාර සුපුෂ්පිත එකක්නෙ මෙයා. ඉතින් බලන්නකෝ කොච්චර පුංචි ළමයෙක්ද කියලා ඔයා. හඳහාමී හඳහාමී කිරියි පැනියි ගෙනත් දෙන්න කිව්වම අපි දන්නවා කවදාවත් ගෙනත් දෙන්නෙ නෑ කියලා. වැඩේ කියන්නෙ ඔයා කවදහරි ගෙනත් දෙයි කියල හිතන් ඉන්න එක. .... :D

    ReplyDelete
  6. ane manda sir .mahindada ranilda boodida vimukthida cinamaawada....ammage huththawal walata wada gam valata gihin project tikak karamuko sirlage denuma yodamuko.buddimaya sanwaada hodai aathal ekata.mokada mokaa aawath karanne ekama de.ewagen hukoganne mam wage nikamma nikan common minissu.un thamai anthimata mokaage hari aasawak ishta wena widayata age bomba bedan pipirenneth.koti kiyanne demala high class eke political desire eka.mahinda kiyanne eke anith patha,me rate boodila vimukthila vage artista kiyanne hukanwa balan idala aathal ganna wun.sanjeewatath okkoma patalila...sirla nemei me API IWARAAAI.budusaranai

    ReplyDelete
  7. bara talk dunnata wedak nee. koi kawruth polawe paya gahala jieath wenda. siyalla nesena sului.

    ReplyDelete
  8. නියම වියමන. උබට නියම හිතක් තියෙනවා. ඔහොම පලයන්. අර නිවේදක බූරුවෝ දෙන්න ගැනත් අදහසක් දෙන්න තිබුණා. එතන එක චිත්ත්ටර පාටියක්වත් නෙහෙ. කින් හන්තර් එකට සලකන්න තිබුණා මීට වඩා. මේක ජාතිවාදී බල්ලන්ගේ රටක් දැන්. අපි කොච්චර කා ගෙහෙව්වත් උන් උන්ට ඕන විදියට වේද. මේක වෙනස් කරන්න සිනමාවට බැහැ. මම 80 ගනන් වලින් පස්සේ එක ඇත හැරපු සිහිනයක්. අපි මේක වෙනස් කරන්න ඕනේ දේශපාලන වැඩකින්. එකට සිනමාවේ සපෝර්ට් එක ඕනේ. එත් මහින්දව උඩ දාන මැට්ටෝ ඉන්න රටක එක ටිකක් අමාරු වැඩක්. මුන්ට එරෙහි උන්ව මුන් මුන්ගේ ක්‍රමයට ම අවශෝෂණය කර ගන්නවා. හදගම ශෝක් උදාහරනේ. කුක්කු පටිය දැන්!!!!!

    ReplyDelete