Monday, September 3, 2012

Menu එක කියන්නෙ Dish එක නෙමෙයි

අපි ලියන දේවල් කවුරු හරි කියවනවද? ටිකක් පළල් විදිහට ඇහුවොත් තවදුරටත් අපිව කවුරුවත් අහගෙන ඉන්නවද? යාලූවෙක් එක්ක ? කතාවක් මැද්දෙදි අපි පටුමගකට හැරුණ.

මං හිතන්නෙ තවදුරටත් කවුරුවත් කියවන්නෙ නෑ කියල. උදා විදිහට මේ ලිපිය වුණත් වාක්‍ය දෙක තුනකින් එහාට කියවන්නෙ නොගිණිය යුතු තරම් සුළු ප‍්‍රමාණයක්. ලංකාවෙ මේ මොහොතෙ කියවීම ගොසිප් වෙබ් නිව්ස් එකක දිග පළලින් එහාට යන්නෙ නෑ. ඒ භාෂාව, ඒ වැදගත්කම, ඒක තමයි සීමාව. ඒකෙ හොඳ හෝ නරක ගැන අපිට මොකුත් කියන්න බෑ. මොකද ඒක තවත් ගොඩක් සාධක මත අන්තර් විදිහට පදනම් වෙන කාරණයක් හින්ද.

ලංකාවෙ විනෝදය මේ වෙලාවෙදි දේශපාලනය. ඒක හින්ද මියුසික්, ෆිල්ම්, ආර්ට් ඔක්කොම අවසන් වෙලා ඉවරයි. මිනිස්සු ෆන් එකක් ගන්නෙ දේශපාලන ප‍්‍රබන්ධ වලින්. කටුගෙයි හොරකම, සරසවි ප‍්‍රශ්නය, ඉසෙඞ් ස්කෝර්...එතනින් එහාට කවුරු හරි ඒකෙන් සීරියස් දේශපාලනික වෙනසක් වෙනවා කියල විශ්වාස කරොත් මං කියන්නෙ මෝඩයි. එහෙම වෙන්න විදිහක් නෑ. එහෙම ආඛ්‍යාතයක් මේ මොහොතෙ භාෂාවෙ නෑ.

කතාව ඔය විදිහට රෝල් වෙලා මහින්ද ළ`ගට ආවා. මං මහින්දට ප‍්‍රතිපක්ෂ තැනක ඉන්නවා වගේ තැනකින් යාලූවා පටන් ගත්තෙ. ඒක වැරදියි. ඇත්තටම ඒකෙ අනිත් පැත්ත. මං මහින්දට කැමතියි. සහ මහින්ද කියන්නෙ මට අනුව ලංකාවෙ පළවෙනි පශ්චාත් නූතන නායකත්වය (ඒ පශ්චාත් වචනෙ ලියද්දි දැනෙන හිරිකිත) මහින්දගෙ දේශපාලනය ලංකාවෙ මෙතෙක් දත් දේශපාලනයෙන් කියවන්න බැරි එකක්. මෙච්චර කාලයක් රට තනි එක අදහසක් යටතේ පාලනය වෙනවා කියන එකයි අපේ දේශපාලන ඔලූ අඳුරන මොට්ට ඇත්ත. ඒක නිසා මතට තිත හරි සදාචාරය හරි මොකක් හරි කාරණයක් රටේ පාලනය ගැන පොදු අදහසක් කියලයි තේරුම් ගන්නෙ. ඒක නිසා මතට තිත තියෙද්දි බාර් අරින එක ඒ ගොල්ලොන්ට අනුව අවුලක් වෙනවා. කොළඹ කැසිනෝ අරින එක හිතා ගන්න බැරි වෙනවා. ඒත් මහින්ද කියන්නෙ එහෙම තනි අදහසක් නෙමෙයි. ලංකාවෙ එක එක පංතියට එක එක විදිහට විනෝදය සපයන්න එයාට පුළුවන්. ඒ වෙනුවෙන් එයා ළ`ග එක එක විදිහෙ විහිළුකාරයො ඉන්නවා. හිනා යන විහිළුවක් කරන්න බැරි අය කැපිලා යනවා. උදා විදිහට මතට තිත කියන්නෙ මාස් (පොදු) එකට දෙන අදහස. ඒත් කොළඹ විනෝද සමාජයට ඒකෙ බලපෑමක් නෑ. මහින්ද ඒ දෙකම වෙනුවෙන් වැඩ කරනවා. ඒ ඒ සමාජ මානසික කලාපයට අදාල දේවල් කලමනාකරණය ඇරෙන්න මහින්ද කියන්නෙ මට තනි පුද්ගලයෙක් නෙමෙයි. මතවාදයක් වගේ ආකෘතික තැනක් වෙනුවට වෙනුවට එයා වැඩකරන්නෙ ලාභය වගේ ෆන්ක්ෂනල් තැනක. ඒක හින්දම කවුරු හරි මහින්ද එක්ක මතවාදී ගැටුමකට ගියොත් ජෝක් වෙනවා. එයා සෙල්ලම් කරන්නෙ  ඕඩියන්ස් එකට. එයාගෙ ඇතුලෙ දෘෂ්ටිවාදයක් නෑ (නැත්නම් ඔබට කැමති දෘෂ්ටිවාදයක් තෝරා ගත හැකියි) මේ නායකත්ව ස්වරූපයට දේශපාලනිකව අභියෝග කරන්න නෙමෙයි අඩු තරමෙ ඒ ක‍්‍රියාකාරීත්වයෙ ගතිකයන් තේරුම් ගන්නවත් තරම් අපේ අනිත් දේශපාලන නායකයො පළල් නෑ.

මහින්ද තමන්ගෙ පාලනය කරන්නෙ තියරි වලින් නෙමෙයි. චක‍්‍ර ලේඛ, නීති වගේ දේවල් නිකං මැනර්ස් වගේ. එයා කෙලින්ම අදාල තැනට කෝල් කරනවා. නැත්තං ගෙදරට යනවා. ‘ලංකාව දූපතක්’. මහින්ද ලංකාව ගැන පළවෙනි සත්‍යය දන්නවා. මේක ස්මෝල් මිරකල් නෙමෙයි බිග් මිරකල්.. ලංකාවෙ ටුවරිස්ම් ගැන ප‍්‍රචාරක වැඩකදි මහින්ද විරුද්ද වෙනවා. එතනදි එයා ලංකාව ගැන දෙවන සත්‍යයත් දන්නවා. දූපතක් වුණාට අපි හිතන්නෙ ලෝකයක් කියල.ඒ තමයි සුද්දගෙ තේ වත්තෙ වැඩ කරන්න බෑ කියපු කාලෙ ඉඳන් අපේ තියෙන සංස්කෘතික උරුමය...හීනමානෙ.

ඒක නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ විරෝධතා රැස්වීම් වගේ දේවල් වුණත් මේ මොහොතෙ විනෝදයක් සැපයීම වගේ උපයෝගීතාවයකින් එහාට වැඩකරන්නෙ නෑ කියලයි මං හිතන්නෙ. ඒ ආචාර්යවරුන් කවදාවත් නැති තරං හයියට සහ විනයක් ඇතුව තමන්ගෙ සටන අරගෙන යනවා. ඒක ඇත්ත. ඒත් වැදගත් වෙන්නෙ අනිත් විහිළු වලට කොච්චර වඩා කොච්චර හිනස්සන්න මේ විහිළුවට පුළුවන්ද කියන කාරණය විතරයි. ඒ සටන් තවදුරටත් ඩ‍්‍රාමා එකක්. එහෙම ඇත්ත ජනතාවක් නෑ. ඉන්නෙ නාට්‍යයක් වගේ ඒ දිහා බලන් ඉන්න  ඕඩියන්ස් එකක්.

අපිව තවදුරටත් අහන් ඉන්න කවුරුත් නෑ කියල මං කිව්වෙ ඒකයි. අපි ලියද්දි කියවන්නා ඇත්තක් කියල හිතං ලියන එකෙන් අපි ජෝක් වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් මේ කාරණය අනිත් පැත්තට වැඩ කරවන්න. කියවන්නෙක් නැති නිසා අපිට පුළුවන්  ඕනම දෙයක් ලියන්න. වාක්‍ය කීපයකින් එහාට අපි ලියන එක පාඨකයාට වැඩක් නෑ. එතනින් එහාට අපිට තියෙන්නෙ ලොකු හිස් වේදිකාවක්.  ඕන දෙයක් කෑ ගහලා කියන්න පුළුවන්. කවුරුවත් නෑ. හෙළුවෙන් වුණත් ඉන්න පුළුවන්. චූ කරන්න පුළුවන්. කොච්චර නිදහසක්ද..... මං කියන්නෙ අපිට දැන් ආර්ට් ගැන හිතන්න වෙන්නෙ එහෙම.

 ජනතාවට ජනතාව ඉල්ලා සිටි දේ ලැබෙමින් තියෙනවා. සිංහල බොදු මහ ජනතාව තමන්ගේ නොස්තැල්ජියාවම ආතල් එකක් කොට අනුභව කරමින් වාසය කරනවා. තමන්ගෙ මේ පොලොව ගැන තියෙන අත්දැකීමෙන් ලත් ප‍්‍රඥාව තිබුණට ආර්ථික කාරණා හරියට කළමනාකරණය කර ගන්න මහින්දට බැරි වෙනවා. අපේ ජාතික සංස්කෘතික උරුමයන් ගැන කාරණා වලින් රටක් දියුණු කරන්න දෙන උදව්ව ඍණ එකක්. බොරුවට බෞද්ධාගමික අර්ථ විද්‍යාව වගේ එකක් දෙකක් සරල කාරණා කිව්වට බුද්ධාගම මූලික අපේ කෘෂි චින්තනය දියුණුවක් පැත්තට වැඩ කරන එකක් නෙමෙයි. ඒක කුසීතයි. ඔක්කොම අනිත්‍යයි කියන අනිත්‍ය දැක්මෙ පිහිටාමයි ඉන්නෙ. කොයි තරම් ඒ කෘෂි චර්යාවන් එක්ක අපි නූතනකරණය වෙලාද කිව්වොත් ගොඩක් කොළඹ ත‍්‍රීවීල් එලවන කට්ටිය ඉන්නවා මීටර් හයි කර ගන්නෙ නෑ..හේතුව හයර් වැඩි වුණාම බජාර් එකේ කොල්ලො එක්ක ගන්න ආතල් නැති වෙන හින්ද..පුදුම අල්පේච්ඡුතාවයක්.

මේ වඩා ජනප‍්‍රිය අදහස ඉස්සරහට ගැනීමේ මහින්ද චින්තනය ඇතුලෙ (පොදු එකේදි) ජීවිතය වෙනුවට මරණය ගැන අදහස් ශක්තිමත් වෙන්න ගන්නවා. ආර්ථික අතින් ජීවත් වීමට බලාපොරොත්තුවක් අහිමි වීමේ ඇත්ත සහ තමන්ගේ නොස්තැල්ජික් සංස්කෘතික ප‍්‍රබන්ධය ඇතුලෙ ජීවත් වීම (කුඩු ගැහුවා වගේ) කියන දෙක ඇතුලෙ මේ සමස්තය ලොකු මානසික අවපීඩනයකට යනවා. මහින්දගේ ලේයර්ඞ් (තල ගණනාවකින් එකිනෙකට වෙනස්ව ක‍්‍රියාත්මක වන) දේශපාලනය ජනප‍්‍රිය තලයෙන් එහාට රටේ නිෂ්පාදන බලවේග අවදි කරන්න පුළුවන් සැබෑ ගතිකයන් දක්වා වර්ධනය කරන්න පුළුවන් මතවාදමය අවකාශයක් නිර්මාණය නොවීම ඇතුලෙ මේක සිද්ද වෙනවා කියලයි මට පේන්නෙ. ලංකාව  ඇතුලෙ මේ ඛණ්ඩිත මතවාදමය ස්වරූපය ඇත්තක්. මෙච්චර කාලයක් දේශපාලනය ඇතුලෙ සිද්ද වුණේ තමන්ට අදාල නොවන වෙනත් මතවාදයකට ජනතාව බලෙන් පරාරෝපණය වුණු එක. ඒ වෙනුවට රටේ දේශපාලන නායකත්වය ඒ ඛණ්ඩිත ස්වරූපය ආකෘතියක් විදිහට තෝර ගන්නවා. වඩාත් බලවත්ව නැගෙන ජනතා මතවාදය සමග එක`ග වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඒක. (ජනතාවගේ මෝඩකමෙන් එහාට පාලනය යන්නෙ නෑ) එතනදි බලවත්ව නැගෙන්නෙ රෝගයක් නම් ආණ්ඩුව ඒ රෝගය සමග එක`ග වෙනවා. යුද්දයේදී තෝරා ගත් ජනප‍්‍රියවාදී අදහස් ආර්ථික කාරණා එක්ක ගැලපෙන අවකාශයකට තල්ලූ කර ගන්න බැරි වීමත් සමග ජනතාව යන්න තෝර ගන්නෙ අතීතෙට. මරණයට.

මිනිස්සු තමන් විසින් යටපත් කළ ලිංගික ආශාවන්ගෙන් මෙහෙයවෙනවා කියන ෆ්‍රොයිඩියානු අදහස අභියෝග කරමින් ජේසන් සිල්වා කියන ප‍්‍රසාංගික දාර්ශනිකයා ‘මිනිස්සු යටපත් කරගෙන ඉන්නෙ මරණයේ භීතියයි’ කියල කියනව. තමන්ගේ මරණය පිළිබඳ දැනුවත් එකම සත්ත්ව වර්ගය විදිහට මරණය ගැන භීතිය හැම මිනිස් කාරණයක් පිටිපස්සෙම තියෙනවා කියල එයා කියනවා. එතනදි මේ මරණය ගැන භීතිය මග හරින්න ශිෂ්ටාචාරය ක‍්‍රම තුනක් තෝර ගන්නවා. එකක් ආගමික විදිහ. තමන්ගේ මරණයෙන් පස්සෙ යන තැනක් ගැන ආගමික විශ්වාසයක් මේක. ඒ විශ්වාසයෙන් තමන්ගේ ජීවිතය නිර්මාණය කරනවා. උදා විදිහට අපේ බෞද්ධයන් ජීවත් වෙන්නෙ මරණෙන් පස්සෙ දෙව් ලොව සැප විඳින්න උවමනා කාරණා හිතේ තියාගෙන. ක‍්‍රිස්තියානි අය දෙවියන් වහන්සේගෙ නඩු තීන්දුවෙදි දෙන්න පුළුවන් උත්තර ගැන.. මුස්ලිම් අය, කියල වැඩක් නෑ.

ඒත් මෙතනදි බෞද්ධයො ගැන මට පුදුම හිතෙනවා. ගෞතම කියලා තමන් විසින්ම බුද්ධත්වය පසක් කළා කියන ශාස්තෘන් කෙනෙක් මරණය ගැන කල්පනා කිරීමෙන් ජීවිතය අත්හරින්න කරන යෝජනාවකට ඒ ගොල්ලො එක`ග වෙනවා. (මං කතා කරන්නෙ ව්‍යවහාරික බෞද්ධ මතය ගැන) අනිත් ආගම් හැම එකක්ම යෝජනා කරන්නෙ ජීවිතය පැත්ත (ආශාව) තවත් විශාල කර ගැනීමක් ගැන. උදා විදිහට හින්දු ආගමේ සදාතනික ආත්මය ගැන අදහස. ඒත් බුදුන් කියන්නෙ සියල්ල අත්හරින්න. ඒ අනිත්‍ය නිසා (මරණය නිසා). මේ කාරණයේ තියෙන ඇත්ත නැත්ත නෙමෙයි ප‍්‍රශ්නෙ. මේකෙ තියෙන මූඞ් එක. දුක. හිස්කම. කවුරු හරි ඒක ජීවිතය පිළිබඳ සත්‍යය කියල කියනවා නං ඒක හරි සරල කතාවක්. ඒත් බෞද්ධයන් තමන්ගෙ තනි ජීවිතය වඩා නිදහසේ විඳීම වෙනුවට කැප කිරිමේ මාර්ගය උත්පත්තියෙන් තෝර ගන්නවා. බුදුන් විසින් වදාරන පාරභෞතික ආකෘතියක් පිළිගන්න ගමන්. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග... මේවා ගැන අද අපි කතා කරන හැම දෙයක්ම එක්තරා ප‍්‍රබන්ධයක්. ඒ ප‍්‍රබන්ධය නිසා කුතුහලය සහ විනෝදය කියන මනුස්ස කාරණා අපි පවත්වා ගන්නෙ හරිම ප‍්‍රාථමික තලයක. අපි යුද්ද කළෙත් ඒක රට බේරා ගැනීමේ මහා කුසලයක් කියල කිව්වට පස්සෙ.

මරණය මග හැරීමෙ දෙවෙනි අවස්ථාව විදිහට එයා කියන්නෙ මරණය රොමාන්තික කරන එක. අපි ආදරය එක්ක මරණය ගැටගහනවා. එයා වළාකුල්..සුළ`ග..කියල කියනව. ටික කාලෙකදි මේ මරණය පරද්දන රොමාන්තික ප‍්‍රබන්ධය දරන්න ඇත්ත ශරීරයට බැරි වෙනවා. සම්බන්ධතා ඇතුලෙ මහා පිපිරීම් ඇති වෙන්න ගන්නවා. ඒත් ටික කාලෙකට හරි අපිට මරණය ගැන අදහස අමතක කරන්න  පුළුවන් වෙනවා.

තුන්වෙනි කාරණය විදිහට කියන්නෙ නිර්මාණකරණය. අපි අපිට වඩා විශාල දේවල් නිර්මාණය කරනවා. අමරණීය වෙන්න. කලාවන්, විශාල තාක්‍ෂණයන් හැම දෙයක්ම බිහිවෙන්නෙ මේ අමරණීය සිහිනය ඇතුලෙ. අඩුම තරමෙ අපි පවුලක් හරි නිර්මාණය කරනවා, භාෂා ලෝකයක හරි අමරණීය වෙන්න.

ඒත් ජේසන් මෙතනදි හතරවැන්නක් යෝජනා කරනවා. ඒ ඇත්තටම මරණය අභියෝග කරන එක. ජාන ඉංජිනේරු විද්‍යාව සහ අප සතු සියලූ හැකියාවන් උපයෝගී කරගෙන අපේ ජීව විද්‍යාත්මක භෞතිකය වෙනස් කරන්න එයා යෝජනා කරන්නෙ. ඒක ඇත්තට පුළුවන් වෙයි. අවුරුදු 1000ක 2000ක මිනිස් ජීවිතයක්... ඒත් ලංකාව වගේ රටක අවුරුදු 50ක් වත් කරන්න තියෙන්නෙ මොනවද? අපි යන්නෙ අනිත් පැත්තට. නලින්ද සිල්වා කියනවා වගේ අපිට ක්වොන්ටම් වලට වඩා වැදගත් වෙන්නෙ මහසෝනාව. විෂ්ණු අවතාර.

කරුණු ඔක්කොම එක තැනකට එක මතයකට ගේන්න  ඕන කියල හිතුණත් මං ඒක නොකර ඉන්නවා. ඛණ්ඩිත අදහස් දැක්වීමක් එක තැනකට ලක්ෂගත වුණු මතවාදයකට වඩා විහිළුවක්, විනෝදයක් ඔලූව ඇතුලෙ නිර්මාණය කරාවි.

-චින්තන ධර්මදාස



4 comments:

  1. හොඳ ලිපියක්... ඒ වගේම කියන්න ඕන හැම කාරණාවකටම මම එකඟ වෙන්නෙත් නෑ...

    ReplyDelete
  2. ඔබ කියන ආකාරයේ අසුභ වාදයක් හෝ උදාසීන බවක් බුදු දහමේ උගන්වන්නේ නැත.

    ReplyDelete
  3. කියෙව්වේ නැති උනාට කමක් නැ, ලියල තියන්න...
    පස්සෙ කාලෙක හරි කවුරුහරි කියවයි

    ReplyDelete
  4. බුදු දහම හැරුනම වෙනත් ආගම් බොහෝමයක දි මරණෙන් පසු යන්නේ වඩාත් හොඳ තැනකට.එහෙම නම් ඒ ආගම් වල අය මරණය ළඟා කර ගන්න පුල පුලා බලා සිටිනව වෙන්න ඕනි .

    ඒත් බුදු දහමෙ දි අදහනවා මරනෙන් පසු යන්නෙ කළ කී දේ අනුව හොඳ හෝ නරක ලෝකෙකට කියලා. බුදු දහම අදහන බොහෝ අය පිං කරන්නේ නිවන් දකින්න නෙමෙයි. මරනින් පසු යන ලෝකය සැපවත් කර ගන්න. පිං කරන කොට කිසිදෙයක් පතන්න නරකයි. ඒත් පිං කරල හැමදාමත් පතන්නේ සැප.නිවන් සුව පතන්නෙ මරණයක දි විතරයි. ඒ පතන්නෙත් වටේ පිටේ ඉන්න අය.ඊට පස්සෙත් ආයෙ පිං කම් කරනව වැරදිලා හරි නරක ලෝකෙක ඉන්නව නම් හොඳ ලෝකෙක උප්පත්තිය ලබා දෙන්න කියලා.

    මේ ඉන්නෙ අපි නෙමෙයි .මම නෙමෙයි. මට හිතෙනවා මා තුල පිට සක්වල ජිවියෙක් වැඩෙනව කියලා.අපි ආධාරක සපයනවා. අපි මැරිල යද්දි ජීවියා නිදහස් වෙනවා.අමරණිය වෙන්න ඒ ජීවියා අපිට ඉඩ දෙනේකක් නැහැ.මොකද එතකොට එයා පරදින නිසා.

    ReplyDelete