Thursday, November 8, 2012

IDEA!


උදේ පාන්දර ටීඑන්එල් එකේ ඇඞ් එකක් යනවා. වික්ටර් රත්නායක සිගරට් අරක්කු නොබොන එක ගැන. ඒ දේවල් අත්ඇරියට කිසිදෙයක් වෙනස් වුණේ නෑ කියල එයා කියනවා. මට හරියට දුක හිතුණ. ඒත් එක්කම මතක් වුණා අජිත් කුමාරසිරි හැමතිස්සෙම කියන කතාවක්.

’මචං ගායකයො කියන්නෙ උගුරෙ කඩයක් දාගෙන ඉන්න උන්. උන් විකුණන්නෙ උන්ගෙ බඩු නෙමෙයි’
වික්ටර් ඇතුළු ලංකාවෙ හු`ගක් ගායකයන්ට මේ කතාව අදාලයි. පේ‍්‍රමකීර්ති අල්විස් වගේ මනුස්සයෙක් ලියපු වචන කියපු මිනිහෙක් කියනවා අරක්කු සිගරට් නොබිව්වාට නැති වෙන දෙයක් නෑලූ. නැති වෙන දෙයක් නෑ නෙමෙයි. නැති වෙන දේ පේන්නෙ දැනෙන්නෙ නෑ. මොකද ඒ නැති වෙන්නෙ ජීවිතය හින්ද. මං සිගරට් වලටවත් අරක්කු වලටවත් කොහෙත්ම පක්ෂපාත නෑ. තමන් බොන එකේ ගාන වැඩි කරන එක පවා හොඳක් කියල පිළිගන්න දුක්ඛිත ජනතාවක් තමයි ලංකාවෙ සිගරට් අරක්කු බොන්නෙ. පේ‍්‍රමකීර්තිලා, සේකරලා වගේ ඒ අක්මා පෙනහළු දියවෙමින් වුණත් අත්විඳින ජීවිතය ගැන දැනගෙන හිටපු කීපදෙනෙක් ඇරුණම. මත්වීම සහ දුම් පානය කියන්නෙ ආධ්‍යාත්මික ප‍්‍රකාශන. ඒවා සෞඛ්‍යමය නොවෙන්න පුළුවන්. ඒත් ආර්ටිස්ට් කෙනෙක්ගෙයි මලල ක‍්‍රීඩයෙක්ගෙයි අතරෙ වෙනසක් තියෙන්න  ඕන.

වයසට යමින් ලියන අයගෙන් කියවන්න පුළුවන් අතලොස්සෙන් සුනිල් මාධව එක්කෙනෙක් වෙන්නෙ මේ හින්ද. වික්ටර් වයසට ගියාම සිංදු කියන්න බැරි වුණා. කියන සිංදු අහන්න හරි අමාරු වුණා. මේ පත්තරේම එහා පිටුවක සුනිල් මාධව ලියන ජීවිත කතාවට මං ඇබ්බැහි වුණේ ඒ අදහස් මතවාද එක්ක මං සමගාමී හින්ද නෙමෙයි. තාම හුස්ම ගන්න සද්දෙ ඒ වචන පේලි මැද්දෙ ඇහෙන හින්ද. එහෙම හුස්ම ගන්න ලිපි කියවන්න හම්බුවෙන්නෙ කලාතුරකින්.

වික්ටර් ගැන හිත හිත මං ලිපිය ලියන්න වාඩි වෙලා ඉන්නවා. ‘කල්ට්’. ඒ මේ පිටුවෙ නම. ඒක පරාගෙ ප්‍රෝග‍්‍රෑම් එකට දැම්මා කියලා ගොඩක් අය මාව විනය පරීක්‍ෂණ කරනවා. ඒත් මට ඒ ප‍්‍රශ්නෙ තේරුම් ගන්න අමාරුයි. කල්ට් කියන්නෙ මං හදපු නමක් නෙමෙයි. ‘සීනි දියවුණාට ගෝනි දියවෙන් නෑ’ කියන්නෙ ත‍්‍රීවීල් එකක පිටිපස්සෙ අලවලා තිබුණ ස්ටිකර් එකක්. මේක මං එක විදිහක අදහස් රාමුවක් ඇතුලෙ පත්තර පිටුවක එකට පාවිච්චි කරනවා. පරා ඒක ප්‍රෝග‍්‍රෑම් එකේ වෙන විදිහකට පාවිච්චි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳ දෙයක්. අන්තර්ගතයෙන් නම තීරණය වෙනවා මිසක් නමෙන් අන්තර්ගතය තීරණය වෙනවා කියන ඉස්කෝලෙට මං විරුද්දයි.

කල්ට් කියන නම ටීවී එකක දාන එකමත් මට නං ලොකු වැඩක්. මං කල්ට් කියන එක මෙතන පාවිච්චි කරන අර්ථයෙන්ම පරාගෙ ප්‍රෝග‍්‍රෑම් එකෙත් පාවිච්චි වෙන්න  ඕන කියල හිතන එක තේරුමක් නැති අදහසක්. එකම නමකින් නෙමෙයි එකම අත්සනකින් ආවත් තමන්ට අවශ්‍ය අදහස් විතරක් කියවන්න තරම් වැඩිහිටිකමක් මං ලියන දේවල් කියවන කෙනෙක්ගෙන් ලියන්නෙක් විදිහට මං අපේක්‍ෂා කරනවා. නැත්තං මං බ‍්‍රෑන්ඞ් එකක් වෙනවා. බ‍්‍රෑන්ඞ් එකකට තියෙනවා පොරොන්දුවක්. එකම දෙයක් දිගටම නොවෙනස් විදිහට කරගෙන යන්න. ඒත් මං මනුස්සයෙක්. මට තියෙන්නෙ වෙනස් වෙන විදිහට දේවල් කරගෙන යන්න  ඕනකමක්.
කල්ට් පොත ගැන කතා කරන වෙලාවක විදර්ශන ලිපි දෙකක් අතරෙ මං එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දක්වන හැටි පෙන්නලා දුන්නා. ‘මං එක වචනෙ මිනිහෙක් නෙමෙයි’ මගේ අදහස වුණේ ඒක. අදහස් වෙනස් නොවෙනවා නම්, නොවැඩෙනවා නම් ඒවා මැරිලා. ගල්ගැහිලා. අදහස් පුළුවන් තරම් වේගයෙන් වෙනස් වෙමින් අලූත් පද්ධති ගොඩනගන්න  ඕන. ඒ පද්ධති වලින් දේවල් නිෂ්පාදනය වෙන්න  ඕන. මට හිතෙන්නෙ එහෙම. ඒත් ඒ වෙනස් වීම සළකුණු කරලා පෙන්නන එක වැදගත් පරණ වැඩක්. ‘මං මිනිහෙක් ඔබ ග`ගක් නිසා’ කියල ලාල් හෑගොඩ ලිව්වා. කවිය කියන්නෙ වෙන අදහසක් වුණත් ඒ වචන පේලිය මට හැමදාම අරන් එන්නෙ මේ මූඞ් එක.

තව දුරටත් පුද්ගලයා කියන සීමාව වැදගත් නෑ කියන එකයි මගේ යෝජනාව. අපි පුද්ගලයා කියන සීමාවට වඩා විශාල කරදාසියක් උඩ මේ වැඬේ පටන් ගන්නවා නම් පුද්ගලික සීමාවන් ටික ටික අතුරුදන් වෙන්න ගන්නවා. නැත්තං ඒවා වෙන ස්වරූපයකට පරිවර්තනය වෙනවා. ඒක හොඳයි. මේ විදිහ දැන් නිතර පේන හතරමායිම වගේ බෝරිං.

පුද්ගලයා වෙනුවට අදහස කියන තැනට අපිට මාරුවෙන්න පුළුවන් නම් ගොඩක් කන්‍යා සිවි වර්ගයේ ප‍්‍රශ්න කිරීම් නතර වෙනවා. තනි, අඛණ්ඩ, නිශ්චිත ආඛ්‍යානයක් විදිහට පුද්ගලයා කියන ගඩොල් බිත්තියෙ හැප්පෙනවා වෙනුවට එතකොට අපිට පුළුවන් තනි තනි නිශ්චිත අදහස් ගැන සංවාද කරන්න. ඒ අදහස් තව තව අංශූ වලට විසිරුවා හරින්න සහ පුපුරුවා හරින්න. වෙනස් වෙනස් සංදර්භයන් හරහා ටි‍්‍රප් කරන්න අපිට පුළුවන්. ඒක හු`ගක් වටින සංස්කෘතික නිෂ්පාදනයක් මට අනුව. චැට් කරනවා වගේ. ඒ වෙනුවට පුද්ගලික සීමාවන් එක්ක අපි යමක් හෝ කෙනෙක් ගැන තේරුම් ගැනීමකට යන්න හදද්දිම අපි පාවිච්චි කරන්නෙ පරණ අච්චුවක්. ඒකෙන් හැදෙන කොකිස පරණ එකමයි.

අදහස් එක්ව බෙදා හදා ගැනීම සහ එක්ව ඇති දැඩි කිරීම කියන එක ඉන්ටර්නෙට් එකත් එක්කම වඩාත් සංකල්පීයකරණය වෙච්ච පදාසයක්. ඒත් අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙත් විභාගෙට පාඩම් කරන්න නෝට් පොත පාවිච්චි කළා වගේමයි. දෙන දේ ඉක්මණට බාගෙන ලයින් එක කට් කරලා දානවා. ‘උන්ට නං ඉන්ටර්නෙට් නිකංනෙ’ වගේ සරල කතාවකින් ගිල්ටිය වහගන්නවා.

ඒත් අපිට මිනිස්සු වෙනුවට අදහස් ඇසුරු කරන සංස්කෘතියට ඇතුල් වෙන්න සිද්ද වෙනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කළාට අපි ඇත්තට ඉන්ටර්නෙට් සංස්කෘතියට ඇතුල්වෙන්නෙ එතකොට. අඳ ගොළු බිහිරි පාරිභෝකයෙක් වෙනුවට සක‍්‍රීය නිෂ්පාදකයෙක් හැදෙන්නෙ එතන. එතනදි අදහස් වල අයිතිය උඩ තීරණය වුණු වටිනාකම බෙදාහදා ගැනීම උඩ තීරණය වෙනවා.  ලෝකෙ ඒ කොනේ මේ කොනේ අත්දැකීම් හුවමාරු වෙමින් අදහස් පද්ධතීන් නිර්මාණය වෙනවා. ඒක මුහුදෙන් සීමාවුණු පුංචි බිම්කඩවල සිද්ද වෙන්නෙ කොයිතරම් හෙමින්ද කියල මං අත්දකිමින් ඉන්නවා.

මට මුණගැහෙන හැම කෙනෙක්ම වගේ ඉන්නෙ අනිත් එකා තමන්ට කෙළවන්නයි බලන් ඉන්නෙ කියල හිතාගෙන. ඉපදීම දුකක් කියලා බුදුන් කියපු නිසාම විශ්වාස කරනවා වගේ සමාජය දුෂ්ටයි දූෂිතයි කියන එක අපේ ඔලූව ඇතුලෙ සිද්ධාන්තයක්. කොටින්ම ආදරේදි පවා මූලික කොන්දේසිය අවිශ්වාසය. විශ්වාසය, සතුට, ආදරය වෙනුවට අවිශ්වාසය, දුක, වෛරය අපේ පැවැත්මෙ කොන්දේසි වුණේ කොහොමද? ඒක අපිට උරුම අපේ සිතීමේ සීමාවක් නෙමෙයිද?

මට අනුව මිනිස්සු හැමෝම පුදුම සහගත විදිහට යහපත්. හැම මිනිහෙක්ම ට‍්‍රයි කරන්නෙ තමන් තුල තමන් නිවැරදි වෙන්න. මිනීමරුවෙක් පවා මිනීමැරුමට තමන් තුල සාධාරණ හේතුවක් ගොඩනගා ගන්නයි උත්සාහ ගන්නෙ. ඒක නීතියෙන් (අනෙකාගෙන්) ගැලවෙන්න කියන බොරුවක සීමාවට වඩා පළල්. ඒක තමන් තුල තමන්ගෙ හෘදය සාක්ෂිය නිවැරදි කර ගැනීමක්. මේ දේ සිද්ද නොවුණොත් සිය දිවි නසා ගන්න වෙනවා. පැවැත්මට සාධනීය අදහසක් තියෙන්න  ඕන. මට දැනෙන විදිහට අපි ආදරය (මිත‍්‍රත්වය) ඇතුලෙ ඉල්ලන්නෙ ඒක. අසමතුලිත වුණු පැවැත්මේ කාරණා සමතුලිත තැනකට ගේන්න (ජීවිතය රෙපෙයාර් කර ගන්න) සමීපතමයෙක්ගෙන් උදව් ඉල්ලන එක. එතනදි බොරුව කියන්නෙ අහිංසකම උත්සාහයක් මට අනුව. තමන් තුල තමන් ආරක්ෂා කර ගන්න කියන බොරුව ප‍්‍රශ්න කරන අනෙකා කියන්නෙ ආදරවන්තයෙක් වෙනුවට පොලිස්කාරයෙක්. ඒත් අනිත් පැත්තෙ ඉඳන් අපි ට‍්‍රයි කරන්නෙ බොරුව අල්ලගන්න. ආදරය හොයා ගන්න නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ කතාවක්.

හැම මිනිස් ආශ‍්‍රයක්ම කියන්නෙ භෞතික හුවමාරුවකට වඩා පව් සමා කරන පූජාකුටි. එතනදි හැම බොරුවක්ම කියන්නෙ ඊට වඩා ගැඹුරු ඇත්තක් වෙනුවෙන්. උදා විදිහට තමන්ගෙ පෙම්වතාට හොරෙන් අනියම් සම්බන්ධයක් පවත්වන පෙම්වතියක් පෙම්වතාට බොරු කියන්නෙ පවා (මෙගා ටෙලි වල වගේ බූදල් ප‍්‍රශ්න හින්ද නෙමෙයි නම්) ආදරය හින්ද. ඒ සියලූ අවිනිශ්චිත හේතු කාරණා එකතු කරලා වචන වලින් කියලා නිදහස් වෙන්න බැරි හින්ද. එතනදි ඇත්ත කියන්නෙ කිසිම ආදරයක් නැති නිව්ස් එකක් වෙනවා.

ඒත් කර්මය කියන්නෙ අපි හොයන්නෙ ඇත්ත. ජීවිතේ ගැන ඇත්ත. සිදුවීම් ගැන ඇත්ත. ඇත්තක් කියන්නෙ පරිසමාප්ත විදිහට නම් මනුස්ස අර්ථකතනයක් නැති හුදකලා සිදුවීමක්. ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට කෝටියක් ඇත්තවල් වෙන වචන වලින් නම් කෝටියක් බොරු මට අනුව මනුස්සයි. ආදරණීයයි. සම්බන්ධතා කියන්නෙ ප‍්‍රශ්න කිරීම් වලට වඩා බාර ගැනීම් කියන තැනට අපි ලොකු වෙන්න  ඕන. පුද්ගලික සීමා වලින් එලියට ඇවිත් (ආකෘතික සීමා) දේවල් වැඩ කරන විදිහ අනුව, ක‍්‍රියාත්මක හේතු අනුව (ෆන්ක්ෂනල්) තේරුම් ගැනීමකට අපි ට‍්‍රයි කරන්න  ඕන. ඒක අනිකා වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. අපේ සීමිත සිතීමම වෙනස් කර ගන්න කරන උත්සාහයක්. හරියට දාන දෙන්න කියලා බුදුන් කියන්නෙ අනිකා සංසිඳුවීමෙන් පිං කර ගන්න නෙමෙයි වගේ. ඒ දෙන එකත් එක්ක ළ`ග තියාගන්න ඇති අපේ ආසාව චැලෙන්ජ් වෙන එකයි බුදුන්ගෙ අදහස. ඒත් අපි දෙන්නෙ ඊට වැඩියෙන් ලබන්න පුළුවන් හින්ද.

නිශ්චිත දිශානතියක් නැතුව ගහගෙන යන සිතුවිලි දියපාරෙ මට කෙන් විල්බර් වත් මුණගැහෙනවා. කෙන් විල්බර් කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක්. ආධ්‍යාත්මික ගවේෂකයෙක්. කෙන් විල්බර් හරි ලස්සන කතාවක් කියනවා. ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන්, වෙන විදිහකට නම් දක්ෂිණාංශික සහ වාමාංශික වීම ගැන.
ඩිමොක‍්‍රටික් කෙනෙකුට අනුව දුප්පතෙක් කියන්නෙ දියුණු වෙන්න උත්සාහ නොකරන, තමන්ගෙ වැරැද්දෙන් විනාශය කරා යන, ඵලදායී නොවන ජීවිතයක්. රිපබ්ලිකන් සිතීමට අනුව ඒක සමාජයේ වැරැද්දක්. අසාධාරණයක්. අසමතුලිතතාවයක්. මේක සමාජය විෂයේ දාලා බැලූවට මේ අපි ඇතුලෙම වැඩකරන දෙකට පැළුණු මනස කියලා කෙන් විල්බර් විස්තර කරනවා. අපි අපි ගැන හිතන්නෙ රිපබ්ලිකන් විදිහට. ඒත් අපි අනෙකා ගැන හිතන්නෙ පට්ට ඩිමොක‍්‍රටික් විදිහට. එකිනෙක බැලන්ස් නැති මේ සිතීම් දෙක එක තැනක පිහිටුවලා තනි පුද්ගලයෙක් හදන්න අපි අපි ඇතුලෙම අසාර්ථක උත්සාහයක් දරනවා. මේ පැල්ම නැති එකම තැන (ස්වර්ගය,සාමය,නිවන) වෙන්නෙ ආදරය (මෛත‍්‍රිය, පේ‍්‍රමය) විතරයි. ඒක ගර්භාෂයක්. හැම සමීප මිනිස් ඇසුරක් ඇතුලෙම අපි හොයන්නෙ මේ තාර්කික නොවන ගර්භාෂය කියල මට හිතෙනවා. හැම මිනිහෙක්ම අහිංසක වෙන්නෙ එතකොට. උදා. බුදුන්ගේ පේ‍්‍රමය ඇතුළෙ අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වීම.

මට කියන්න  ඕන වුණේ මිනිහෙක් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි අදහසක් කියන කාරණය. ශරීරය මූලික නැසෙන සුළු සීමිතයකින් සම්බන්ධ වෙනවට වඩා අපි අකාලික, නිර්ණාමික අදහස් වලින් සම්බන්ධ වෙන එක වඩා ඵලදායීයි කියන එක. එතනදි මරණය එක්ක ඉවර වෙන ශරීරය මූලික ආකෘතියක් වෙනුවට අපි පැවැත්මේ ලොකු අවකාශයකට නිදහස් වෙනවා. කොහොම වුණත් ඒක අද තාක්‍ෂණය විසින් යෝජනා කරන අපිට බාර ගන්න වෙලා තියෙන අනිවාර්ය සිතීම. අදහසක් කියන්නෙ තවම අත්දැකීමක් බවට පත් නොවුණු සිහිනයක්. ඒත් අපි ඒක තක්සේරු කරන්න බලන්නෙ මැරිච්ච අත්දැකීම් ගොඩක් වුණු පුද්ගලික නිමිත්තක් උඩ. ඒක අනිවාර්ය ගබ්සාවක්.

-චින්තන ධර්මදාස





5 comments:

  1. umba mewa kohoma liyanawada manda. hithanna dewal ananthai. me welaawe mata ithaama wadagath punch kihipayak ma moonatama waduna !

    ReplyDelete
  2. මිනිහෙක් මැරෙණකල්ම වෙනස් වෙනවා...

    මැරුණට පස්සෙ අනිත් මිනිස්සු ඒ මිනිහව වෙනස් කරනවා...

    ReplyDelete

  3. මට එකපරටම මත්ක් උනේ "cULt බුක් ලොන්ච්" එක.ඒක පට්ට.
    ඇත්ත්ටම අපේ අදස් දමාගහන්න,අදසස් උරාගන්න ඉන්ටර්නෙට් එක තිබ්බ එක ලොකු දෙයක් ඒත් අපෙ ඔලුගෙඩිය හැනක හිරවෙනව හමහර වෙලාවට අපෙ අදහස් වලට ඉතිරි වෙන්නෙ ස්වංවින්දනයක් ව්තරයි සංස්ර්ගයක් ඇත්තෙමනැ.
    අදස්වලට වලට එකට දියවෙන්න තැනක් නැද්ද?
    අපෙ ගොඩක් මිනිසුන්ට තියන්නෙ මේ ආත්මෙ තියන දෙවල් ලබන ආත්මෙ නැතිවෙයි කියල පෙරේත කමක්.අදහස්වලට ඉගිලෙන්න තියනෙ පොඩි කූඩුවක්.
    මට මතක් වෙනව Matrix ‍ෆිල්ම් එක
    .ඒකෙ මිනිසු ඔක්කොටම එකම හීනයක් වගේ දැයක් බලෙන් පෙන්නල දිල තියන්නෙ ඒත් ඒ හීනයක් වගේ දෙය ඇතුලෙ හැමෝම සතුටින් ඉන්නව(බොහෝවිට?)
    .එත් ඒ හීනෙ වගේ දේ තියන්නෙ ත්මුන්ගෙ අදස් නෙවෙයි
    .ඒත් ඇත්තටම තමුන්ගෙ අදහස් වලින් හිතන්න පටන් ගන්න පට්ට ගේමක් දෙන්න වෙනව....
    ***
    [කමෙට් එක ගහල ඉවර උනගමන් මම disconnect කරල තිබ්බ ඉන්ටර්නෙට් එක connect කරල publish කරල ආයෙත් disconnect ‍ෆිල්ම් එකක් බලන්න ගත්ත)

    ReplyDelete
  4. Democratic,Republican වචන දෙක පොඩ්ඩක් මාරු වෙලා තියනව වගේ...

    ReplyDelete
  5. චින්තා මට හිතෙනව උම්බ හිතනව වෑඩී කියල....
    සිස්ටම් එකෙ විදිහට අපිට පිස්සො කියල කියන්නෙ,,,
    මිනිස්සු අපි ෆේස්බුක් එකෙ ශේයාර් කරත් අපිට හිනවෙන එඋන් ඉන්නෙ....

    ReplyDelete