Sunday, December 23, 2012

වරදක් කළත් සිතකින් නොවේ



රාවය පහුගිය සතියෙදි හඳගම ඩිජිටල් සිනමාකරුවන් වෙනුවෙන් ප‍්‍රියාන් තමන්ගේ පොත පිදීම ගැන තමන්ගේ අදහස් කියල තිබුණ. එතනදි සිනමාව කියලා එකක් නෑ ඒ මුවහමට තඩිබෑමෙන් වෙන සුගතියක් නෑ කියල ඩිජිටල් කැමරාවලින් වැඩ කරන උන්ට දැනමුතුකමක් දෙනවා. පත්තරවල වාචාල පිටු අතරෙ ද`ගලන්නෙ නැතුව සිනමාව එක්ක කෙලින් හැප්පෙන්න කියලා ‘හොඳ’ අභියෝගයක් කරනවා.

මේක කියවපු මගේ යාලූවො ගොඩක් ඒ අදහස් වලට එක`ග වුණා. ‘ඇත්තනෙ කියන්නෙ. කරනවා නං සිනමාව කරන්න  ඕන. කතා කරලා වැඩක් නෑ’ මේ වගේ පොදු ගුණාකාරයක අදහස් පද්ධතියක් තමයි ඒ ගොල්ලො ෂෙයාර් කළේ. මට මෙතනදි ආයිමත් මතක් වෙන්නෙ අපේ ඉස්තෙබාන්ගෙ කතාව. ‘ලස්සන’ බොරු වලින් තවදුරටත් වැඩක් වෙන්නෙ නෑ. මට අනුව හඳයා මෙතනදි කියන්නෙත් මගේ යාලූවො එක`ග වෙන්නෙත් මේ ‘ලස්සන’ බොරුවට. බැලූබැල්මට ඒක හරියටම හරි.

ඒත් මට මෙතන පරහක් පේනවා. මේ විදිහට සිනමාව එක්ක කෙලින් හැප්පෙන්න පුළුවන්කමක් ඇත්තට තියෙනවද? ලංකාවෙ සිනමාව ඉවරයි කියන අදහසට වඩා එහාට ගිහින් මං කියන්නෙ ලෝකෙම සිනමාව වෙනස් අවධියකට යමින් ඉන්නවා කියල. එතනදි ‘සිනමාව’ කියන ව්‍යූහය තවදුරටත් වැඩ කරන එකක් නෑ. ‘සිනමාව’ කියන්නෙ තනි මොකක් හරි එකක් නෙමෙයි. ඒක ඇතුලෙ නෙගටිව් වලින් චිත‍්‍රපටි හදපු කාලෙ එක්ක බැඳිච්ච අදහස් මාලාවක් තියෙනවා. පිළිගැනීම් සහ අගයන් සමුදායක් තියෙනවා. ‘සිනමාකරුවෙක්’ වෙන්න නම් ඒ දේවල් වලට එක`ග වෙන්න සිද්ද වෙනවා. නෙගටිව් වලින් චිත‍්‍රපටි කිරීම, තියටර් එකක ලොකු පේ‍්‍රක්‍ෂාගාරයක ඒ චිත‍්‍රපටි පෙන්නන එක, සමාජයෙන් අධ්‍යක්‍ෂවරයෙක්, ඞී ඕපී කෙනෙක් විදිහට ලබන පිළිගැනීම වගේ එකී නොකී කාරණා ගොඩක් මේ ආකෘතිය ඇතුළට එනවා. ලෝකෙන්ම නෙගටිව් ෆේල් වෙලා ගිහින් ඩිජිටල් වලට යන පරිණාමයෙදි අපේ මේ අවසාන පරපුරේ ඩයිනසෝරයන් ඩිජිටල් කැමරා අතට ගත්තෙ වෙන කරන්න දෙයක් නැති හින්ද මිසක් ඩිජිටල්කරණය වෙලා නෙමෙයි. ඇත්තම කතාව තාමත් අපේ සිනමාකරුවන් ගොඩකට ෆේස්බුක් පේජ් එකක් අප්ලෝඞ් කර ගන්න බෑ. දුකකින් වුණත් කියන්න වෙන ඇත්ත මේ මාධ්‍ය හැසිරීමේ සීමාවන් එක්ක මේ ‘සිනමාකරුවන්ට’ අනාගතයක් නෑ කියන එක.
ඩිජිටල් වලට මාරු වෙන්න අකමැති ගොඩක් දැවැන්තයො තාමත් ලෝකෙ ඉතුරු වෙලා ඉන්නවා. ජේම්ස් කැමරන්, ඬේවිඞ් ලින්ච්, ජෝර්ජ් ලූකස් වගේ ඩිජිටල් ලෝකය ආදරෙන් බාර ගන්න අයගෙ තර්ක සහ ක‍්‍රියාකාරීත්වයට බැහැරින් ටැරන්ටිනෝ, ක‍්‍රිස්ටෝපර් නොලාන් වගේ විශිෂ්ටයන් පවා නෙගටිව් වලින් පස්සෙ චිත‍්‍රපටි කරන එක අත්හරින්න එක`ග වෙලා ඉන්නවා. ඒත් අපේ තත්වය වෙනස්. අපේ අයට  ඕන වෙන්නෙ ඩිජිටල් කැමරාවත් ඒ ගොල්ලොන්ගෙ පරණ සිනමාව ඇතුළට ගන්න. ඒක කවාදවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි සහ ඒක කරන එකෙන් දිගින් දිගටම මේ නම්බුකාර සිනමාකරුවන් ජෝක් වෙන්න නියමිතයි.
‘මේ විදිහට හැමෝම චිත‍්‍රපටිකාරයො වේවි. එතකොට සිනමාවට මොකද වෙන්නෙ?’ හඳගම ඇතුළු තවත් ගොඩ දෙනෙක් එක`ග වෙන ලාංකේය ප‍්‍රශ්න කිරීම  ඕකයි. මේ ප‍්‍රශ්නෙ එක්තරා සංවාදයකදි ඬේවිඞ් ලින්ච් ගෙන් අහනවා.

‘කවදා හරි අපිට සිනමාව ගැන බලාපොරොත්තු සහගත විය හැක්කේ සිනමා උපකරණ පෑන් පැන්සල් තරමට සුලබ වුණු දාකයි’ කියල ජෝර්ජ් ලූකස් කිව්වා.

ඬේවිඞ් ලින්ච් කතාව මෙතනිනුත් ඉස්සරහට අරන් එනවා. ‘පෑන් පැන්සල් සහ කොල  ඕන තරම් තිබුණට ශ්‍රේෂ්ට කවියන් ලේඛකයන් බුරුතු පිටින් බිහිවුණේ නෑනෙ’ ලින්ච් හිනාවෙවී උත්තර දෙනවා.

‘සිනමාව’ කියල ලංකාවෙ චිත‍්‍රපටි කරපු පැරැන්නන් හඳුන්වන ආකෘතිය නටඹුන් වෙලා ඉවරයි. අඩුම තරමෙ තමන්ගෙ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කරන්න හෝල් එකක් වෙන් කර ගන්න පවා බැරි තරමට ඒ පරපුර ෆේල්. මේක සතුටකින් කියන කාරණයක් නෙමෙයි. නැගලා යන ඉංග‍්‍රීසි හින්දි චිත‍්‍රපටි ටික පෙන්නලා ඉවර වුණාම ලැබෙන ඉඩකින් සෑහෙනවා කියන්නෙ රටක සිනමාකරුවෙකුට සතුටු වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි කොහොමවත්. මේක ඉරානෙ වගේ රාජ්‍ය මැදිහත්වීමක් හෝ ආගමික ප‍්‍රචණ්ඩත්වයක් එක්ක සම්බන්ධ කාරනේකට වඩා ඒ සිනමාකරුවන්ගෙ පේ‍්‍රක්‍ෂාගාරය හැකිලීම ගැන ප‍්‍රශ්නයක්.

ඇත්ත කතාව සාමූහික සිනමා අත්දැකීම කියන එක පුද්ගලික වින්දනයක් දක්වා වෙනස් මාධ්‍ය ආකෘතීන්ට හැඩගැහෙන්න පටන් අරන් තියෙන එක. පොඩි අයි ෆෝන් එකකින්, ඩිජිටල් කැමරාවකින් තමන්ගේ අවංක ජීවිත ප‍්‍රකාශනය විෂුවල් වලට ගේන්න සහ ඒක පුද්ගලික මට්ටමෙන් ලෝකයක් එක්ක බෙදාගන්න තාක්‍ෂණවේදයක් ඇවිත්. පැය එකහමාරක දෙකක ෆික්ෂන් හෝ ඩොකියුමෙන්ටරි ඒත් නැත්තං ෂෝර්ට් ෆිල්ම් විතරක් වුණු ප‍්‍රකාශන විධීන් යූ ටියුබ්, ෆේස් බුක් එක්ක බහුවිධීන්ට ගුණනය වෙලා. සිනමාව කියන මාධ්‍යය වෙනස් වෙනස් විෂුවල් ධාරාවන් ගාණක් ඔස්සේ වැඩෙන්න පටන් අරගෙන. ඉතින් හඳගම අපේක්‍ෂා කරන සිනමාව එක්ක මූනට මූන හැප්පෙන පරම්පරාව කියන්නෙ විමුක්ති ජයසුන්දර අලූතෙන් හදපු කෙටි චිත‍්‍රපටියෙ ‘අවසාන ඩයිනසෝරයා දකින සන්සෙට් එක’ වගේ දෙයක්.

සිනමාව වෙනුවෙන් හැදුණු අදහස් පද්ධතිය වගේම මේ ඩිජිටල් විෂුවල්කරණය වෙනුවෙනුත් අලූත් අදහස් පද්ධතියක්  ඕන කරනවා. ඒ සංවාදය උඩ විතරයි මේ අලූත් මාධ්‍යයේ වර්ධනයන් දිශානති වෙන්නෙ. දෙයක් ස්ථාවරව සිද්ද වෙන්න කලින් ඒකට මතවාදමය පදනමක් අවශ්‍යයි කියන එකට මට දෙන්න තියෙන හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ. ගංගොඩවිල සෝමගේ පටන් මතු කරගෙන ආපු අදහස් පද්ධතියක් මතවාදයක් වෙලා ඊට පස්සෙ භෞතිකයක් වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති විදිහට. ඒක ගොඩනැගුනෙ සාමය ගැන මියැදෙමින් තිබුණු මතවාදය (මුවහම) අනෙකා කර ගනිමින්. ඒක නිසා මට හිතෙන්නෙ මේ විෂුවල් ෆෝර්ම් වල අත්හදා බැලීම් වගේම ඒ ගැන සංවාද කතිකාවනුත් හු`ගක් වැදගත් කියල.

මෑතක චිත‍්‍රපටි වලට වඩා යූ ටියුබ් එකේ පොඩි පොඩි වැඩ ඇතුලෙ ගොඩක් බලාපොරොත්තු සහගත දේවල් වෙනවා මං දැක්කා. ‘යුද්දෙ නැතුව පාළුයි’ කියන්නෙ එයින් එකක්. ප‍්‍රමුදිත සහ මුවිඳු එකතු වෙලා කන්සෙප්ට් එකක් විදිහට මේ වැඬේ වීඩියෝ එකක් වෙනකල් අරන් ආපු විදිහත් විශේෂයි. සහ ඒක කොටස් වශයෙන් යූ ටියුබ් එකට ගේන එකත් පට්ට. මුස්ලිම් සිංහල වඬේ ගැන කතාව, රාවණ ගබඩාව කඩපු වැලිකඩ හිරකාරයො ගැන කතාව වගේ පොඩි කෑලි යුද්දෙට පස්සෙ රටේ සිංහල බෞද්ධයො ගන්න ආතල් ගැන හොඳ කතා. ඒවා ෂූට් කරලා ගලපලා ඉදිරිපත් කිරීම පැත්තෙනුත් උන් දක්ෂයි. වැඩියෙන් වටින්නෙ කොයි තරම් පොඩියට හරි තමන්ට අහුවෙන හැම මාධ්‍යයක් ඔස්සෙම ප‍්‍රකාශනයකට උත්සාහ ගන්න එක. මේ වෙලාවෙ අනිත් ගොඩක් අයට වඩා වේගයෙන් නොවැටී දිගටම වැඩ කිරීම සහ යම් අදහස් පදනමක් මත ඒ වැඩ ගොනු කිරීම කියන කාරණා අතින් මේ සෙට් එකට සැලියුට් කරන්න  ඕනි.

පරණ සිනමාව ගැන අදහසට අනුව මේවා සිනමාවෙන් බැහැර දේවල්. ඒ විදිහට නම් අපි මේ වගේ අයට කියන්න  ඕනි, ‘චිත‍්‍රපටියක් කරන්න ට‍්‍රයි කරන්න. මේ වගේ තේරුමක් නැති වැඩ නොකර’ වගේ කතන්දර. ඒත් මං කියන්නෙ මේ තමයි සිනමාව. ඒකෙ ආඛ්‍යාන, විලාස තේරුම් ගන්න අපිට අලූතෙන් සිද්ද වෙනවා. ඒ වගේම ඒ සිනමාව වැඩ කරන්නෙ වෙනස් දේශපාලනයන් එක්ක. පරණ ආකෘතික කෝවෙන් මේ දේවල් වලට ලංසු තියන එක විහිළුවක් කියලයි මං හිතන්නෙ.

ඒ හින්ද මට හිතෙන්නෙ ප‍්‍රියාන්ගෙ පොතේ ‘මහේශාඛ්‍ය සිනමාව මහපාරට ගෙන ඒම’ කියන කතාව හරි. ඒක දිරවගන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ඩිජිටල් සිනමාව කියන්නෙ ඒකට. ඒ වගේ සංවාදයන් පොත් විදිහට ගේන එකත් මේ සිද්ද වෙන සිනමාත්මක වෙනස න්‍යායගත කර ගන්න කරන උත්සාහයක් වෙනවා. ඒ වගේ උත්සාහයන් තව තවත් සිද්ද වෙන්න උවමනායි.

සිනමාකරුවන්ගෙ පැත්තෙන් ගත්තොත් කෙලින් කියන්න වෙන ඇත්ත කතාව අපේ කලින් හිටපු හැම සිනමාකරුවෙක්ම කුහකයි කියන එක. කිසි කෙනෙක් ඊළ`ග පරම්පරාවෙ නෙමෙයි තමන්ගෙ පරම්පරාවෙ එකෙකුටවත් එළියට එන්න උදව්වක් දුන්නෙ නෑ (හඳගම නම් ඉස්සර වත් තරමක් හෝ අලූත් පරම්පරාව වෙනුවෙන් මහන්සි වුණු කෙනෙක්) ඒක ලංකාවෙ හැම කාරණේකදිම වගේ පොදු සිංහල බෞද්ධ ගුණාංගයක් මං හිතන්නෙ. ඉන්දියාවෙ අනුරාග් කාශ්‍යප් වගේ සිනමාකරුවො තමන්ට යුරෝපෙන් හෝ බටහිරින් ලැබෙන සම්මාන පිළිගැනීම් ඊළ`ග චිත‍්‍රපටකරුවෙකුට එලියට එන්න ඉඩක් විදිහට පාවිච්චි කරද්දි අපේ කට්ටිය කරන්නෙ මොනවද?

තමන් අස්ථාවර හා අනාරක්‍ෂිත වෙන සීමාවන් සිනමාවෙ සීමාවන් විදිහට හඳුනාගන්නා බොරු ප‍්‍රබුද්ධ ලාංකේය සිනමා සම්ප‍්‍රදාය අවසන් වෙන තැනින් අලූත් සිනමා පරම්පරාව ගොඩනැගෙන වග මට විශ්වාසයි. එතකල් කෞතුකාගාරවල දුටුගැමුණුගේ කඩු හොයන වැඩ කට්ටියට බාරයි.

1 comment: