Monday, May 6, 2013

ජීවිතය දේශපාලනයට වඩා විශාලය



ආයිමත් මැයි පළවෙනිදා දවසක්. පෙලපාලි යන්න පාට ඇඳුම් බෝඞ් අරන් දේශපාලනය කරන හැමෝම එක එක විදිහට පාරට බහිනවා. සටන් පාඨ කිය කිය පෙලපාලි යනවා. චාරිත‍්‍රයක් වගේ හැමදාම එක විදිහට රැුස්වීම් තියලා යටිගිරියෙන් කෑ ගහනවට වඩා තේරුමක් මේ දවසෙ තියෙනවද? වෙන විදිහකට කිව්වොත් කාට ඇහෙන්නද මේ කෑ ගහන්නෙ? කාගෙන්ද මේ ඉල්ලන්නෙ? මොනාද ඉල්ලන්නෙ? මට හිතෙන්නෙ මේ දවස වැඩ කරන ජනතාව වෙනුවෙන් නම් මේ නිවාඩු දවසට ඊට වඩා අදහසක් තියෙන්න  ඕන. වැඩ කරන එකෙන් මග ඇරෙන්නෙ ජීවිතය. අඩු වෙන්නෙ නෙමෙයි නැති වෙන්නෙ ජීවත් වෙන්න තියෙන වෙලාව. ඒත් වැඩ කරන ජනතාවගේ දවස කියලා පාරෙ පෙළට පෙලපාලි ගිහින් බෝඞ් උස්සන් ඉන්නකොට මට හිතුනෙ ඒ දවස අපරාදෙ කියල.

මැයි දිනය ආවෙ පැය අටක වැඩ කාලයක් වෙනුවෙන් අරගලයක් විදිහට. පැය අටක් වැඩ පැය අටක් විනෝදය පැය අටක් විවේකය. මැයි දවසෙ අරගලය වුනේ ඒක. ඒත් අපේ රටේ මැයි දවසෙදි කරන්නෙ ආන්ඩුවට ඇහෙන්න පිට්ටනි වල ඉඳන් යටිගිරියෙන් මොර දෙන එක. විහිළුම වැඬේ වෙන්නෙ මේ හැම පොඩි රැුලියකටම වඩා ලොකු නිල් රැුල්ලක් එක්ක මහින්දත් මැයි දවසෙ එලියට බහින එක. හැමෝම මොන මොනවා හරි කියල කෑ ගහනවා. මට දැනෙන විදිහට මේක කම්කරු දිනේකට වඩා මෝඩයන්ගෙ දිනයකට හරි කිට්ටුයි. කවුද කාටද කෑ ගහන්නෙ කියල හිතාගන්න බැරුව මං බලන් හිටියා.

මීට අවුරුදු කීපෙකට උඩදි එක මැයි පලවෙනිදාවක විතරක් වෙනස් මැයි රැුලියක් තිබුනා. ඒ එක්ස් එක කැඩිලා ගියාට පස්සෙ අවුරුද්දෙ මැයි. නුගේගොඩ එලිමහන් පිටියට පෙලපාලි වලින් කට්ටිය ආවා. ඒ ගොල්ලො අරන් ආවෙ මැරලින් මොන්රො, ජෝන් ලෙනන් වගේ අයගේ ලොකු පිංතූර. ඒ ගොල්ලො ආවෙ මගදිගට සිංදු කිය කිය. දෙපැත්තෙ බලන්න රැුස් වෙච්ච සෙන`ගට ඒ ගොල්ලො රතු රෝස මල් දුන්නා. එලිමහන් රංග පීඨෙ වේදිකාව උඩ කතා කාරයො විතරක් නෙමෙයි ඊට වඩා කලාකාරයො, සංගීතකාරයො පිරිලා හිටියා. කතා කොට වුනා. ඒ වෙනුවට කවදාවත් මාධ්‍ය වල නෑහෙන සිංදු වේදකාව උඩ කිව්වා. කංසා අයිතිය වෙනුවෙන් වෙනම කුටියක් හදලා තිබුන. ඒ කුටිය ඇතුලෙ  ඕන කෙනෙකුට ජොයින්ට් එකක් දාන්න පුළුවන් වුණා. දේශපාලනය වෙනුවට ජීවිතය බෙදා ගන්න ඒ මැයි රැුලිය වෙන් වෙලා තිබුන. තාම ඒක හීනයක් වගේ දවසක්.

ඒ වෙනස මැයි රැුලිය කරපු අයට පවා නුහුරු වෙනසක් විදිහට පෙනුනා. රෝස මල් දෙද්දි සමහරු ලැජ්ජාවෙන් රතු වෙලා හිටියා. ඒත් හැම වෙනසක්ම ඒ විදිහට මුලදි නුහුරුයි තමයි. හැබැයි ඒ මැයි රැුලිය තිබ්බෙ එකම එක වතාවයි. ඊට පස්සෙ ඉඳන් ඒ කට්ටියම ආයිමත් රතු බෝඞ් අරන් පිට්ටනි වල යටිගිරියෙන් කෑ ගහන්න එකතු වුණා. දීප්තිලා මේකට කියන්නෙ මොන්ටිසෝරි මැයි රැුලිය කියල. ඒත් ලංකාවෙ වැඩ කරන පැය අටක දොලහක විසි හතරක සංස්කෘතිය වෙනුවට ජීවිතය, වඩා විශාල සංස්කෘතික සමාජීය බෙදා ගැනීමක් යෝජනා කරන ලොකු අදහසකින් සංවිධානය වුණු එකම මැයි රැුලිය ඒක. ඊට කලින් සහ පස්සෙ හැම මැයි රැුලියකම යෝජනාව පැහැදිලියි. වැඩ කරන ජනතාවට ජීවිතය වෙනුවට දේශපාලනය. සිංදුවක් වෙනුවට බෝඞ් ලෑල්ලක්. නිදහස වෙනුවට ආවේගය. අඩුම තරමෙ ජනාදිපති ඇවිත් පාටියක් දාන්න විදුලි යුනිට් පහක් දෙන්න කතා කළා.

වැඩ කරන ජනතාව කිව්වම කම්කරුවො කියන අදහස ලංකාවට මේ වෙද්දි ඒ තරම් වලංගු සීමාවක් නෙමෙයි. අපි හැමෝම (දේශපාලනය කරන කීප දෙනෙක් හැර) සමහර වෙලාවට පැය අටකටත් වඩා වැඩ කරන ජනතාව. ඒ වැඩ කරන එක ඇතුලෙ ධනපතියා හරි ප‍්‍රාග්ධන හිමියා හරි හූරන් කනවා කියන පට්ට ගහපු කතාවට ගොඩක් සංස්කෘතික වෙනස්කම් තියෙනවා කතා කරන්න.

පැය අටක වැඩ කාලයක් කිව්වට එතනදි කෙනෙක්ගෙන් සිද්ද වෙන ඵලදායී වැඩ කාලය පැය තුනක් විතරක් කියල මේ වෙද්දි පර්යේෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි. (මේක රජයේ සේවකයන්ට අදාල නොවෙන්නේ ඒ ගොල්ලොන්ගෙ වැඩ කාලය මනින්න වෙනම සූත‍්‍රයක්  ඕන වෙන හින්ද) ඒත් මේ පැය අටක වැඩ කාලයෙන් වෙන ඊට වඩා දරුණු ප‍්‍රතිඵල තියෙනවා. උදා විදිහට මේ පැය අටක වැඩ කාලය විසින් විකෘති පාරිභෝජන රටාවක්, අතෘප්තිකර ජීවිතයක්, නාස්තියක්, අසහනයක් සාමාන්‍යයක් විදිහට සමාජයේ සම්මත කරනවා. අහිතකරජීවිත බලපෑම් ඇති කරනවා.

දවසෙ පැය අටක් කියලා අපි ඔෆිස් එකක් ඇතුලෙ ගත කරන්නෙ ඉර එලිය තියෙන දවසෙ හොඳම පැය ටික. ඊට පස්සෙ අපි එලියට එන්නෙ අන්ධකාරෙට. අපේ ජීවිත වල සියලූ සම්බන්ධතා සහ විනෝදාස්වාද වෙනුවෙන් අපිට ඉතිරි වෙන්නෙ ඒ රාත‍්‍රීන් සහ සති අන්ත විතරයි. රාතී‍්‍රන් සහ සති අන්ත වලින් විතරක් මනුස්ස සම්බන්ධකම් පවත්වන්න උත්සාහ දරන ඒ සීමිත කාලයේ විතරක් ජීවත් වෙන මිනිස්සු බවට අපි පත් වෙනවා. ඒක වැඩ කරන සංස්කෘතිය.

අපි උපයන හැම දෙයක්ම වියදම් කරන්න සිද්ද වෙන්නෙ ඒ සීමිත කාලෙ ඇතුලෙ. මගඇරෙන ජීවිතේ වේගය අල්ලන්න අපි උපරිමයෙන් වියදම් කරනවා. හැමදාම බීපු කෝපි එක වෙනුවට වැඩි ගානක කෝපි එකක් අරන් අපි වෙනම ආකාරයක තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. අවශ්‍යතාවය වෙනුවට වෙනත් වෙනත් රෝගී සමාජ අගයන් වෙනුවෙන් අපි අසහනයෙන් වියදම් කරනවා. වැඩ කරන සංස්කෘතිය විසින් කරන ලොකුම හානිය වෙන්නෙ මේ විකෘති පාරිභෝජන රටාවට ඇබ්බැහි කරන එක. ත‍්‍රීඞී ෆිල්ම් හෝල්, ෂොපින් මෝල් හරහා අපේ තෘප්තිමත් කරන්නෙ මේ වැඩ කරන පැය අටේ ආතතිය. නැති වෙලා ගිය ජීවිතේ හොඳම පැය ටික විඳින්න අපි විවෘත වෙලා තියෙන සීමිත වෙළඳ සැල් ඇතුලට ගාල් වෙනවා.

ඇත්තටම අහිමි වෙන්නෙ අපිට පොතක් කියවන්න, ඇවිදින්න යන්න, ඉඳගෙන ඉන්න, යාලූවො මුණගැහෙන්න තියෙන වෙලාව. ඒ වෙනුවට අපිට ලැබෙන්නෙ වියදම් කරන්න හැකියාවක් විතරයි. ඒ වියදම ඇතුලෙ හැම සමාජ උවමනාවක්ම සපුරා ගන්න සිද්ද වෙනවා. එතකොට පාංතික අගයන්, බ‍්‍රෑන්ඩඞ් වටිනාකම් වෙනම මානසික අඩුවක් පුරවන්න ගන්නවා. මේ සමාජ මානසික ආතතිය, අවුල තමයි වැඩ කරන සංස්කෘතියෙ ඇත්ත කතාව වෙන්නෙ. මට අනුව මේක පඩි වැඩි කිරීම හෝ ජීවන වියදම වගේ තත්වෙකට වඩා භයානකයි.

පඩි වැඩි කළා කියල ප‍්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. පඩියට වැඩ කරන කවුරු වුනත් දන්නවා වැඩි කරන හැම ගානකටම හරියන්න වියදමක් ඈඳෙන වග. කොයිතරම් පඩි වැඩි කළත් අපි පඩියක් නැතුව ජීවත් වුණු කාලෙ තිබුණු තෘප්තිය, සම්පූර්ණ බව, ජීවිතය ඒ පඩියෙන් ගන්න බෑ. අපි වෙනත් විෂම චක‍්‍රයක හිරකාරයො වෙනවා. ඇත්තටම පැය අටක වැඩ කාලෙ ප‍්‍රාග්ධන උවමනාව ශ‍්‍රමය සූරාකෑම කියලා හිතන එක පටු අදහසක්. මේ පැය අටක වැඩ සංස්කෘතියෙ ආතතිය, විකෘතිය මත තමයි පාරිභෝජන සංස්කෘතිය දුවන්නෙ. මේ අසහනය වෙනුවෙන් තමයි වියදම් නිර්මාණය කරන්නෙ. වැඩ කරන ජනතාවට තියෙන්නෙ මේ ජීවිතය සම්බන්ධ වඩා දරුණු සංස්කෘතික අවුලක් කියලයි මං දකින්නෙ.

සමාජ අවකාශය හැකිලීම, මිනිස් සම්බන්ධතා වෙනුවට දේවල් පමණක් මුණගැහෙන අවකාශයක් ඇතුලෙ නැවත දෙයක් බවටම පත්වීම හැරෙන්න විකල්පයක් නැති කම, ජීවිතය සදාකාලිකව ලීස් කිරීම වගේ දියුණු කාරණා ගැන වැඩ කරන ජනතාව වෙනුවෙන් සංවාද ඇතිවෙන්න  ඕන. මං මෙතන කියන්නෙ ධනවාදය වගේ වියුක්ත අදහසකට විරුද්ද වීම වගේ ලේසියෙන් බෝඞ් එකක ලියා ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ වෙනුවට සංයුක්තව ජීවිතය පැත්තට හැරෙන ඇත්ත වැඩ කරන සංස්කෘතියක අර්බුදය තේරුම් ගැනීම ගැන කතාවක්. පැය අට අඩු කරන්න හෝ ඔෆිස් වල අයිතාකාරයන්ට විරුද්දව පිකට් කරන්න හෝ වගේ පිස්සුවකට වඩා ක‍්‍රමයක් විදිහට ක‍්‍රියාත්මක වෙන මේ පද්ධතියෙන් අහිමි කරන දේ තේරුම් ගැනීමත් ඒ අහිමි වීමට යම් යම් හෝ අදහස් යෝජනා වීමත් තමයි වැදගත්.

මං කියන්නෙ දේශපාලනයට වඩා ජීවිතය විශාල ලෙස දකින ඉඩක් නිර්මාණය වෙන්න  ඕන. වැඩ කරන ජනතාව වෙනුවෙන් එන දවසක් නම් එතන වැඩ කරන සංස්කෘතිය විසින් අහිමි කරන දේට ප‍්‍රතිවිරුද්ධ අදහස් මතු වෙන්න  ඕන. සිංදු කියන, නටන, කතා බහ කරන, විහිළු තහළු කරන, විනෝද වෙන වැඩ නොකරන මිනිස්සු පිරිසක් මැයි දවසෙ පාරට එකතු වෙන එක මට ලස්සන හීනයක් වෙන්නෙ ඒ හින්ද.

ආර්ට් වලට මෙතනදි ලොකු වැඩ කොටසක් පැවරෙනවා. ගෙවලා ගන්න විකෘති විනෝදය වෙනුවට සජීවී මනුස්ස විනෝදාස්වාද අවකාශයන් මිනිස්සු ඇහැරවනවා. දේශපාලනය කියන්නෙ වැඩ කරන සංස්කෘතියෙම විකෘතියක් විතරයි. වැඩ කරන සංස්කෘතියෙම ආතතියෙ වෙනස් ප‍්‍රකාශ වීමක් විතරයි. කොටින්ම ඒක වැඩ කරන සංස්කෘතියටත් වඩා පුංචියි. ඊට වඩා වැඩ කරන සංස්කෘතියට වෙනස් සංස්කෘතික යෝජනාවක් මැයි දවසෙ පාරට එන්න  ඕන. තමන්ම ඡන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවට විරුද්ධව තමන්ම කෑ ගහනවට වඩා හොඳ විහිළු මැයි දිනයකට  ඕන.

ඒක ආදරය සහ ජීවිතය යෝජනා කරන දවසක්, හේතුවක් නැතුව රතු රෝස මල් බෙදන, මිනිස්සු හිනවෙන, කන බොන දවසක් වුනොත් ඒ නිවාඩුව තේරුමක් තියේවි. කොහොමත් දේශපාලනය හා ජීවිතය එකට තියන්න පුළුවන් දෙකක් නෙමෙයි.

-චින්තන ධර්මදාස

3 comments:

  1. Not only life! You can even say that an ant is bigger than 'politics' as you believe in your interpretations but not what they really mean. Is there any use than immediate 'impression' you expect to win?

    ReplyDelete
  2. දේශපාලනය සාමාජික මිනිසාට අවශ්‍යයි. එහෙත් ජීවිතය මතු කරන හැම ප්‍රශ්නයකටම දේශපාලන උත්තර තිබෙනවාය කියන මිත්‍යාව දේශපාලනය කරන බොහෝ දෙනා බෙදා හදා ගන්නා අදහසක්. ඇත්තටම දේශපාලනයට දෙන්න පුළුවන් වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න වලට ඉතා දුප්පත් පාර්ශවීය උත්තර විතරයි. හොඳ ලිපියක්

    ReplyDelete
  3. namuth jiwithaya me widiyata kotuweema,ahimikirima wennema arthika,deshapalanika prashnayak nisa..me system eka ethule ape samaja jiwithaya control wenne,lead karanne manussa nowana forces walin.a kiyanne market eken;me arthikayen..mewata sanvedi novi winoda weema kiyanne hariyatama joint 1kin lebena athal eka wage deyak..ada jiwithaya,manushiya sambandatha kiyanne me arthika kramayema 1 product1k witarai..itin, duk widimin,duken winoda wemuda,suluwen ho wenas karamuda..enjoy the pain itself o change this positively.?

    ReplyDelete