Saturday, August 24, 2013

EX- ALIEN ට බයද?

දීප්ති දැන් වයසට යමින් ඉන්නවා කියලා මං පහුගිය ලිපියකදි කියපු කතාවකට දීප්තිලාගේ පක්ෂයේ කට්ටිය උත්තරයක් දීලා තිබ්බා. ඒක මගේ අදහස් සාකච්ඡවට අදාල නැති වෙනම පිට්ටනියක ගහන මැච් එකක් හින්දා හුදු පේ‍්‍රක්‍ෂකයෙක් විතරක් වෙන්න මං තීරණේ කළා. ඒත් ඒක හොඳ උත්සාහයක්. මඩ කියන එක ලංකාවෙ ගොඩක් වෙලාවට නෙගටිව් දෙයක් වගේ පෙණුනත් මට හිතෙන්නෙ ඒක පොසිටිව් දෙයක් විදිහට.

මොකද මඩකින් ඝාතනය කරන්නෙ (හෝ ට‍්‍රයි කරන්නෙ) කෙනෙකුගේ චරිතය. පේ‍්‍රමදාස කුලකයේ සිතන්නෙක් නොවෙන හින්ද මට මගේ චරිතය ඝාතනය වෙන එක අවුලක් හැටියට පේන්නෙ නෑ. චරිත පස්සෙ ගල් වෙලා ප‍්‍රතිරූප වෙලා කුණු වෙන්න පටන් ගන්නවා (ලංකාවෙ අපි  ඕන කරම් මේ අත්දැකීම අත්විඳලා තියෙනවා). සහ එහෙම චරිතයක් නිර්මාණය වෙන්න ඉඩ නොතියන එක සමාජය පැත්තෙන් වගේම ඒ චරිතයට ගැටගැහුණු පුද්ගලයාගෙ පැත්තෙන් ලොකු උදව්වක්. මං කියන්නෙ අදහසක් විතරයි. අදහස් මරන්න බෑ. ඒවා පුද්ගලයෙකුට වඩා ලොකුයි. ඒක වියමනක්. චරිත එක්ක අදහස් ගැටගහන එකෙන් වෙන්නෙ ඒ වියමන නිකංම මකුළුදැලක් කරන එක. ඒක හින්ද චරිත ඝාතනය හොඳයි. මඩ කියන්නෙ ආර්ට් එකක්. ඒක කොයිතරං ක‍්‍රියේටිව්ද සහ දැනෙන සුළුද කියන එක වෙනම කාරණයක්.

ඒක පෙර සටහනක් විදිහට තියාගෙන මං මගේ මාතෘකාව ඇතුළට හැරෙන්නං. ඉන්ටර්නෙට් එකේ පහුගිය මාසයක් දෙකක් ඇතුලෙ වැඩිපුරම ආසාදනයක් ඇති කරපු පෝස්ට් එකක්- එක්ස්- ඒලියන් කියන තත්වය ගැන. මේක සිංදුවක් හෝ වෙන ආකෘතියක් විදිහට අඳුන්නලා දෙනවට වඩා මේක තත්වයක් විදිහට කියවන එකයි වෙන්න  ඕන මං හිතන්නෙ. එක පැත්තකින් ඒ නිර්මාණය විසින් ආර්ට් ඇතුලෙ යෝජනා කරන (ප‍්‍රශ්න කරන) තත්ත්ව ගණනාවක් සහ ඒ හින්ද නොදැනුවත්ව  අකමැත්තෙන් සමාජය ඇතුලෙ එක`ග වුණු තත්ව ගණනාවක් එක්කයි මට මේධානිගේ වැඬේ පේන්නෙ. තවත් පැත්තකින් මේධානි ජෑසි ඩසල්හාඩෝ දක්වා වෙනස් වීම කියන්නෙත් මං හිතන්නෙ කේස් ස්ටඞී එකක්. ලංකාවෙ මේ සමාජ- මානසික කලාප අධ්‍යනය කරන ඇකඩමිකයෝ මේ වගේ ලොකු හරස්තල ගානක් හරහා කැපුම පෙන්නන සිද්ධි නොදැක්කා වගේ මගඅරින එක මට හිතා ගන්න බෑ.

‘ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලොන්ගෙ පවුල් ඇතුලෙ ඊට වඩා ලොකු ප‍්‍රශ්න ඇති’ මගේ යාලූවෙක් ඒකට උත්තර දුන්නා.

මුලින්ම කියන්න  ඕන මේධානිගේ වැඬේ මියුසික් ජොන්රා එකක් ඇතුලෙ හෝ ගායන විලාසයක් ඇතුලෙ හොයන්න යන එක ඇනගන්න තැනක්. භාතිය ජයකොඩි ගෙන් මේ ගැන ඇහුවම එයා මේවා ඉතින් පවතින වැඩ නෙමෙයි කියල හෑල්ලූ කරන්නෙත් සංතුෂ්ද කොහෙද පැනලා සිංදුව හදපු කෙනාටමත් මේ ගැන තේරුමක් නෑ එයා හැංගෙනවා කියලා විහිළු කරන්නෙත් මේ ඇනගැනීමේ විද්‍යාමාන සංකේත විදිහට. සංගීතයේ ප‍්‍රස්තාර වලින් එලියෙ සමාජ තන්තු එක්ක ගැටගැහෙන තැන් ගැන අල්පමාත‍්‍ර දැනුමක් නැති මේ වගේ සිංදු කියන අයට ‘නවමු සංගීතයේ පියා’ වගේ නම් කියන මාධ්‍යකරුවන්ගෙ දැනුම සහ දෙකට නැමීම කියන දෙකම එකපාර කියවෙනවා මං හිතන්නෙ. 

මේධානිගේ නිර්මාණය මියුසික් වලින් එලියෙ කලාප ගණනාවක් එක්ක ගැටගැහෙනවා. එයාම කියන විදිහට මේක එයාගෙ ඉස්සරහට ලියවෙන ෆැන්ටසි නවකතා පෙළක ආරම්භයක්. එයාගෙ නිර්මාණ ලෝකය සළකුණු කරන එක ප‍්‍රකාශනයක්. අත්හැර දැමූ ඒලියන් පෙම්වතා ගැන දුක් වෙන තරුණියක් සහ සමාන්තර ලෝකයක එකට විරහව බෙදා හදා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක් මේධානිගේ කතාවෙ ප‍්‍රධාන චරිත වෙනවා. ඒක එයාගෙ පරිකල්පිත ලෝකය. 

එක්ස් ඒලියන් සංගීතමය ප‍්‍රකාශනය ඇතුලෙ එයා අසා රසවිඳින්න තියෙන සංගීතය යෝජනා කරනවා කියල මං හිතන්නෙ නෑ. ගායකයෙක් කියන්නෙ උගුරෙ කඩයක් දාගෙන බඩු විකුණන වෙළෙන්දෙක් කියලා අජිත් කුමාරසිරි කියනවා. ඒ කඬේ වෙන වෙන අයගෙ බඩු විකුණලා කීයක් හරි ලාබ ගන්න දෙකයි පණහෙ රිංග් ටෝන් වෙළෙන්දොයි වැඩි. ඒ මදිවට ඒ අය මියුසික් ඇතුලේ ආර්ට් ගැනත් කතා කරන එකයි ඉවසන්න හිතට අමාරු.

සංගීතය තමන්ගේ ජීවිතයේ ප‍්‍රකාශනයක් විදිහට යොදා ගන්න තැනදි විතරයි සංගීතය ආර්ට් එකක් විදිහට කතා කරන්න පුළුවන්. අනිත් හැම තැනකදිම අපිට කතා කරන්න වෙන්නෙ සංසන්දනාත්මක ශිල්පීය කාරණා. මේධානි කියන්නෙ තමන්ගේ ජීවිතය. ඒක වෙන කිසිම දෙයක් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ තරමටම ඒ ජීවිතය පරාරෝපිතයි. තමන් අත්විඳින පරාරෝපණය ගැන මේ තරම් ක්ලැසිකල් ප‍්‍රකාශනයක් මං කවදාවත් අවුරුදු පහළොවක කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වුණේ නෑ.

මේ සිංදුව වැඩිපුරම අහන්න අමාරු වුණේ ලංකාවෙ ඉංග‍්‍රීසි කතා කරන පංතියට. ඒක හරි පැහැදිලි තත්වයක්. එතනදි මූලික හේතුව වුනේ මේධානිගේ ඇක්සන්ට් එක. එක පැත්තකින් පොඩි කාලෙකට රට ගිහින් එන ලාංකිකයන්ට වැළඳෙන ඇක්සන්ට් රෝගී තත්වයක් විදිහට එකපාරටම එන හැ`ගීම. අනිත් පැත්තෙන් ඒ නිසා තමන් තුල ඇති හීනමානය ස්පර්ශ වීම. මේ කාරණා දෙකම හින්ද ලංකාවෙ ඉංග‍්‍රීසි කතා කරන පංතිය දෙපාරක් මේධානි දිහා බැලූවෙ නෑ. ඇත්තටම එයාව සීරියස් විදිහට ගත්තෙ ලංකාවෙ සිංහල කතා කරන පංතිය. (ඒ කතාවට පස්සෙ එන්නං)

මේධානි කවදාවත් විදේශගත නොවුණු වග එයා කියනවා. ඒ වගේම එයා ඇමරිකන් ඇක්සන්ට් එකට ගොඩක් ආස වගත් කියනවා. මේ කතාව ඇතුලෙදි පේන අමුතු දෙයක් තමයි මේධානි මේ බටහිර දිහා පිට ඉඳන් බලන බැල්ම. ලියනකොට ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. එහෙම වුනොත් දෙපාරක් කියවන්න. 

මේධානි බටහිර ආකෘතියෙන් තමන්ගේ ප‍්‍රකාශනය කළත් එයාට බටහිර ගැන කිසිම ඓන්ද්‍රිය අත්දැකීමක් (ෆස්ට් හෑන්ඞ් එක්ස්පීරියන්ස් එකක්) නෑ. මට හිතෙන විදිහට බටහිර ජීවත් වෙන කිට්ටු යාලූවෙක් වත් නෑ. මේ නිසා වෙන්නෙ මේධානිට බටහිර කියන එකම පරිකල්පිත යතාර්ථයක් වෙන එක. ඒ කියන්නෙ එයාට බටහිර විදිහට පේන්නෙ එයාගෙ මනසේ නිර්මාණයක්. පරාරෝපණයක්. මං හිතන්නෙ තුන්වෙනි ලෝකෙ රටවල් ගානකට අදාල වෙන යතාර්ථයක් මේක. අපි බටහිර කියලා කියවමින් ඉන්නෙ ඇත්තටම මොකක්ද?
 ඕනම රටක ආර්ට් එකක් හැදෙන්නෙ ඒ රටේ සංදර්භය එක්ක ගැටගැහීමක් ඇතුව. උදා විදිහට හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා පවා මේ කන්ටෙක්ස්ට් එක දරනවා. ඒත් අපි ඒ ආර්ට් දිහා බලනකොට අපිට ඒ කන්ටෙක්ස්ට් එක (සංදර්භය) අහිමියි. එතකොට අපි ඒ ආර්ට් එක යතාර්ථයක් විදිහට බාර ගන්නවා. හරියට බටහිර චිත‍්‍රපටියකින් බටහිර ජීවිතය තේරුම් ගන්න යනවා වගේ. එක්ස් කණ්ඩායමේ චිත‍්‍රපටි විග‍්‍රහයන් කියවන කෙනෙකුට මේ තත්වය හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අපි නොදැනුවත්වම මුහුණදෙන සහ අපිව නොදැනුවත්වම රෝගී කරන ගැඹුරු පරාරෝපිත තත්වයක්. අපි අපේ ඉමැජිනරි බටහිරක ජීවත් වෙනවා සහ ඒ බටහිරෙන් අපේ ඇත්ත ප‍්‍රශ්න තේරුම් ගන්න උත්සාහ කරනවා. යුරෝපියානු සිනමා උළෙල සඳහා නිර්මාණය වෙන අපේ ආර්ට් චිත‍්‍රපටි බලන්න.

මේධානි නිර්මාණය වෙන්නෙ මේ පරිකල්පිත යතාර්ථයන් අතරෙ. එයාට ඇමරිකානු ඇක්සන්ට් එක ස්වභාවික දෙයක් විදිහට පේන්නෙ නෑ. උදා ගත්තොත් අපේ මාතර හරි මොණරාගල හරි ඇක්සන්ට් එකේ වෙනස හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඒක ඒ සංදර්භයේ කෑල්ලක්. ඒත් මේධානිට ඇමරිකානු ඇක්සන්ට් එක නිර්මිත දෙයක්. එයා ලංකාවෙ අනිත් අය කරනවා වගේ ඒක කොපි කරන්නෙ නෑ. ඒ එයා ජීවත් වෙන පරිකල්පිත- පරාරෝපිත යතාර්ථය ගැන එයාට හීනමානයක් නැති හින්ද. ඒ වෙනුවට එයා ඇක්සන්ට් එකක් නිර්මාණය කරනවා. ඒක ඒලියන් ඇක්සන්ට් එකක්. 

මේධානිගෙ අදහස් විශ්වය බටහිර පොප් ආර්ට් ඇසුරෙන් නිර්මාණය වුණු එකක් වග තේරුම් ගන්න අමාරු නෑ. හැබැයි ඒ ගැන එයාගෙ තේරුම් ගැනීම අපි හිතනවට වඩා සංකීර්ණ තැනක් යෝජනා කරනවා. එයා කියන්නෙ එයා යනු ඒ පරිකල්පනයේ කොටසක් කියල. ඇත්තට එයා ජීවත් වෙන්නෙ ඒ පරිකල්පිත යතාර්ථය ඇතුලෙ. සහ වැදගත්ම දේ වෙන්නෙ ඒකට සංදර්භයක් නෑ.

ආර්ට් වලින් නිර්මාණය වුණු යතාර්ථයක් සහ ඒ යතාර්ථය විසින් නැවත නිර්මාණය කරන ආර්ට් එකක් යනු තමන්ගේ වෑයමයි කියලා මේධානි කියන්නෙ මේ ගැඹුරු කතාව. 

ඒලියන් පෙම්වතෙක් සමග බීඑම්ඩබ්ලිව් එකකින් බහින්න කැමති මේ රොමාන්තිකය රෙබෙකා බ්ලැක් එක්ක පටළවන එක ඇත්තටම මේ නිර්මාණය හෑල්ලූ කිරීමක්. ජස්ටින් බීබර් යූ ටියුබ් එකෙන් ජනප‍්‍රිය වුණාට පස්සෙ ඒ වාසනාව තමන්ගේ දරුවන්ගෙනුත් උරගා බලන්න ගිය සුවහසක් බටහිර දෙමව්පියන් අතර තවත් එක ගොදුරක් විතරයි රෙබෙකා බ්ලැක් කියන්නෙ. ජස්ටින් බීබර්ට සිංදු කියන්න බැරි වුණත් එයාගෙ ඇපියරන්ස් එක ටීනේජ් වයසෙ සෙක්ස් ඇපීල් එකක් වුණා. සිංදුව බල්ලට දාලා උන් බීබර්ගෙ විෂුවල් එක දිහා බලන් හිටියා. ඒක මියුසික් හෝ ලිරික්ස් උඩ තීන්දු වුණු තත්වයක් නෙමෙයි. රෙබෙකා බ්ලැක් කියන්නෙ ඒකෙ ෆීමේල් වර්ෂන් එක. රූපෙ ලස්සන සහ අසාමාන්‍ය මෝඩකම ඇරුණම රෙබෙකා ජනප‍්‍රිය වෙන කිසි කාරණයක් තිබුණෙ නෑ.

‘ලෝකෙට  ඕන බෝනික්කො වගේ ලස්සන මෝඩ ගෑණු’ - ගැට්ස්බි ෆිල්ම් එකේ ඬේසි කියනවා.

සිකුරාදා උදේ හතයි
නැගිටින්න  ඕන
පල්ලෙහාට යන්න  ඕන
මගේ බෝල් එක ගන්න  ඕන 
සීරියල් කන්න  ඕන

ඔන්න ඔය වගේ පද ටිකක් තමයි රෙබෙකා කියල ජනප‍්‍රිය වුනේ. මියුසික් පැත්තෙන් ගත්තත් ලෝකෙ බිහිවුණු ජහජරාම සිංදුව විදිහටයි රෙබෙකාගේ මේ ගීතය නම් වුණේ. ඒත් මේධානිගේ නිර්මාණය ඊට වඩා ගොඩක් ගැඹුරු තැනක් සටහන් කරනවා කියන එකයි මගේ අදහස.

මේධානි ගායනා කරන්න උත්සාහ ගන්නෙ බටහිර ගැන එයාගෙ තියෙන ඒලියන් පේ‍්‍රමය. ඒක කවදාවත් අත්පත් කර ගන්න නොලැබෙන සමාන්තර ලෝකයක ජීවත් වෙන පේ‍්‍රමයක්. ඒ නොලැබීමේ, සම්පූර්ණ නොවීමේ, එහෙම නැත්තං අහිමි වීමේ වේදනාව තමයි එයාගෙ ගීතයට ප‍්‍රස්තුතය වෙන්නෙ. එයා මේධානි දේශප‍්‍රිය කියන තැනින් ජෑසි ඩසල්හාඩෝ දක්වා වෙනස් වීම ඇතුලෙ, මේ ආගන්තුක ලෝකය ඇතුලෙ එයාගෙ ආදරය කියන්න උත්සාහ කරනවා.

මෙතනදි මේධානි පාවිච්චි කරන ඉංග‍්‍රීසි යෙදුම් වුණත් සාමාන්‍ය ඉංග‍්‍රීසියෙන් ලියන කෙනෙක් පාවිච්චි කරන යෙදුම් නෙමෙයි. එක්ස් ඒලියන් ගැන එයාගෙ ආදරය එයා කියන්නෙ එක්සොල්ටේෂන් එක්ක විදිහට. ඒ කියන්නෙ දෙවියන් හා එක්වන, දෙවියන් කරා ගමන් කරන මාවතක් විදිහට. මේ පරාරෝපණය හා එක්වීම දිව්‍යමය ආධ්‍යාත්මික අත්දැකීමක් වෙනවා.  

තමන්ගේ ජීවිතය නිර්මාණය කරන ලද ලෝකය පිළිබඳ තමන්ගේ අත්දැකීම කියද්දිත් එයා පාවිච්චි කරන්නෙ  නොපැවතුණු සංගීතයක්. ඒක කර්ණ රසායන, සුගම, මධුර එකක් නෙමෙයි. ඒක පරාරෝපිත සද්ද වැලක්. පරාරෝපිත වේදනා සහ ප‍්‍රමෝදයන් ගොන්නක්. ඒක අසා රසවිඳිනවට වඩා ගොඩක් ගැඹුරු සාවධාන වීමක් ඉල්ලා සිටින සංගීතයක් කියල මට හිතෙන්නෙ ඒකයි.

මේ පෝස්ට් එක 15000ක් විතර වුණු නරඹන්නන් ගණනක ඉඳන් එක දවසක් තුල ලක්ෂයක නරඹන්නන් පිරිසක් දක්වා ඉහල යනවා. කුප‍්‍රකටම ගීතය කියලා ෆේස් බුක් පිටුවෙන් පිටුවට ෂෙයාර් වෙනවා. ඒකට තවත් කවර්ස් හැදෙනවා. ඒ වටේට ජෝක්ස් හැදෙනවා. සම්පූර්ණ සයිබර් යතාර්ථයක් එක්ස්- ඒලියන් වටේ ගොඩනැගෙන්නෙ නොදැනුවත්වම. 

මේ සිංදුවට හදපු ජෝක් සිංදු සහ කමෙන්ට්ස් ගොඩක් එක දිශාවකට හැරෙන වග පැහැදිලියි. ඒ මේධානි විසින් යෝජනා කරන පරාරෝපණයෙම ප‍්‍රතිවිරුද්ද අත. කුඹුරෙ වල් අලි එලවන්න, ගුරුන්නාන්සෙට යක්කු එළවන්න මේ සිංදුව පාවිච්චි කරන ජෝක් කිරීම ඇතුලෙ නැවත මේ පරාරෝපිත විශ්වය තමන් නතු කර ගැනීමේ (අඩංගු කර ගැනීමේ) උත්සාහය කැපිලා පේනවා. ඒක හරියටම කුඹුරක් දිගේ දුවපු ඒලියන් ලා ගැන මීට අවුරුදු කීපයකට කලින් පත්තර වල පළවුණු ප‍්‍රවෘත්ති මතක් කරනවා. (ජයන්ත චන්ද්‍රසිරිගේ රැජිණ, සිරිමල්ගේ පිටසක්වල කුමාරයා)

මේධානි බලාපොරොත්තු නොවුණු අතට වුණත් එයාගෙ පරාරෝපිත විශ්වය විසින් ලංකාවෙ සමාජය තියුණු විදිහට ආසාදනය කරලා තියෙනවා. ඉංග‍්‍රීසි කතා කරන පිරිස වෙත යොමු වුණු මේ නිර්මාණයේ තොප්පිය ඒක අදාල නියම පංතියම උදුරාගෙන ලා ගැනීමෙන් පේන්නෙ මේ පරාරෝපිත අදහස් විශ්වයේ ගතිකයන් කියලයි මං හිතන්නෙ.

මීට අමතරව වයිරල් ප‍්‍රචාරණය ගැනත් මින් පෙර අත් නොදුටු තත්වයන් ගානක් එක්ස් ඒලියන් හරහා විවෘත වුනා. එකක් කමෙන්ට් සංස්කෘතියෙ ඇති වුණු නිර්මාණාත්මක වෙනස්කම්. කමෙන්ට් ගාන දිග වැඩි වෙන්න වැඩිවෙන්න කමෙන්ට් බලන්න පහළ බහින නඬේට සිද්ධාලේප විකුනන අයත් ආවා. තුන්සරනේ කවි කියන කට්ටිය බිහිවුණා. තේ කෝපි දන්සැල් දැම්මා. 

ඒ වගේම බරපතල අකමැත්ත තුල ඇති අවිඥාණක කැමැත්ත පෙන්නන හොඳම වයිරල් උදාහරණය කියන්න තරමට එක්ස් ඒලියන් ජනප‍්‍රිය වුණා. ෆේස් බුක් එකේ හැමෝම දන්න දන්න විදිහට මේ ඒලියන් ඇටෑක් එකට විරුද්දව සටන් වැදුන. සමහරු යටත් වුණා.

දැන් එක්ස් ඒලියන් ෆැන්ටසිය ඇතුලෙන් මං දකින ෆැන්ටසියට ඇතුල් වෙන්නම්. ආර්ට් වලින් නිර්මාණය වුණු යතාර්ථයක් සහ ඒ යතාර්ථයෙන් යළි නිර්මාණය වෙන ආර්ට් එකක්. මේධානි ගේ අදහස් අරගලය තියෙන්නෙ එතන. ඒ අරගලය ෆැන්ටසියක් නොවෙන්නෙ මේධානි දැනටමත් ජීවත් වෙන්නෙ ඒ යතාර්ථය ඇතුලෙ හින්ද. එතකොට මට දැනෙන බරපතල ප‍්‍රශ්නය එනවා. මේ පරාරෝපිත අවකාශයක් ඇතුලෙ යලිත් තමන්ව ප‍්‍රති නිර්මාණය කර ගන්න වෙහෙසෙන තැන දක්වා මේ අවුරුදු පහළොවක දැරිය ගමන් කරවූ සංදර්භය මොකක්ද? ඒ තරමට අවට ඇත්ත යතාර්ථය මේධානිගෙන් ඈත් වුණේ කොහොමද? එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා අපේ ඊළ`ග පරම්පරාවන් සැබෑ ජීවිතය වෙනුවට සයිබර් ජීවිත තෝරා ගනිමින් ඉන්නවද? ඔවුන් ශරීරය අත් හරිමින් ඉන්නවද?

මේ ප‍්‍රශ්නෙ සාම්ප‍්‍රදායික සීමාවල් ඇතුලෙ වර නැගෙන්නෙ නෙගටිව් දෙයක් විදිහට. යතාර්ථයෙන් පලා යාම වෙනුවට වෙනස් ආත්මීය යතාර්ථයන් නිර්මාණය කර ගැනීම සහ ඒවා එකිනෙකා අතර බෙදා හදා ගැනීමේ කලාපයකට අපි අවතීර්ණ වෙමින් ඉන්නවා. අපේ පරිකල්පන ලෝකයන් ඇතුලෙ අපි යලිත් අපිව නිර්මාණය කොට මුදා හරිනවා. හරියට ඇනිමි චිත‍්‍රපටියක වගේ. ඒ සයිබර් යතාර්ථය හා පක්ෂව හෝ විපක්ෂව ගැටෙන හැම දෙයක්ම ඒක වඩාත් පළල් යතාර්ථයක් කරන්න උදව් වෙනවා විතරයි.

මේධානි මේ කන්ටෙක්ස්ට් එක අත්හැර දැමීම හෝ පරාරෝපණය දකින්නෙ නෙගටිව් දෙයක් විදිහට නෙමෙයි. එයාට ඒක තමයි ඊළ`ග විප්ලවය වෙන්නෙ. ඒ පරාරෝපිත යතාර්ථය ප‍්‍රවර්ග කිරීමටත් ඒ වෙනුවෙන් තමන්ගේ කන්ටෙක්ස්ට් එක තුල පැවැත්ම අහෝසි කිරීමටත් එයා සූදානම්. මේධානි දේශප‍්‍රිය ජෑසි ඩැසල්හාඩෝ වෙන්නෙ ඒ විදිහට. බටහිර රටකදී මේක පරිකල්පිත යතාර්ථයක් විතරක් වෙන්න පුළුවන් වුණත් තුන් වෙනි ලෝකෙ රටකදි ඒක පරාරෝපිත යතාර්ථයක් වෙන එක අනිවාර්යයක්. ඒත් තමන්ගේ සංකේතීය විශ්වය බාර ගැනීම සහ ඒක නිර්මාණාත්මකව යලි ගොඩනැගීම කියන සවිඥාණක කාරණය පැත්තෙන් මේධානි කියන්නෙ මට පුදුමයක්. 

එයා යෝජනා කරන්නෙ අනාගතයට බාර පර්යේෂණයක්.

-චින්තන ධර්මදාස (ඉස්තෙපාන් එක්ක කතාවට පස්සෙ)

13 comments:

  1. චින්තන, කෙටියෙන් කියන්නම්. " අපරාදෙ ලියන්න වෙච්ච මහන්සිය".
    මානසික රෝගයකින් පොලෙන කෙනෙකුගෙ රෝගලක්ෂණ වර්ණවත් වචන එක්ක ගැටගැසීම තුලින් ඔවුන් පොරවල් කිරීම වැරැද්දක්.
    ඒ රෝග ලක්ෂණය ඔහුගෙ හෝ ඇයගෙ ප්‍රශ්නයක්. ඊට ප්‍රතිචාර දැක්වීම හා දක්වන විදිහෙන් කියවෙන ප්‍රතිචාර දක්වන්නන්ගෙ මානසිකත්වය තවත් ප්‍රශ්නයක්.
    නමුත් මෙතනදි ඔයා කරන්නෙ අර රෝග ලක්ෂණ 'මාරයි' වගේ තැනකට ඔසවා තැබීම. මේකත් හරියට ස්වයංඝාතනය උත්කර්ෂයට නැංවීමක් වගේ වැඩක්.

    සිම්ප්ලි එක්ස් ඒලියන් කියන්නෙ අවුරුදු 15ක කෙල්ලෙක් තමන්ගෙ මනස්ගාත සමාජගතකරපු තැනක්. ( අනෙක් බහුතරයක් කරන්නෙත් මනස්ගාත සමාජගත කිරීම තමයි). ඒකෙ මෙහෙම උත්කර්ෂයට නංවන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අඩෝ, පිස්සු කියවන්න එපා බන්. ඕහොම පිස්සෝ කියලා පැත්තකට දැම්මනම් අද මහා විද්‍යඥඥයෝ මහ සාහිත්‍යකරුවෝ කී දෙනෙක්ගේ සොයා ගැනීම් සහ නිර්මාණ නැතිවෙලාද..? හොඳ වෙලාවට ලංකාවේ වගේ ළිංමැඬි චින්තනයක් ඒ රටවල මිනිස්සුන්ට නොතිබුනේ. අපේ වෙලා තියෙන්නේ බහුතරයකට නොතේරෙන භාශාවක් කතා කරපු ගමන් "අහ් ඌට පිස්සු" "ඌට ලිංගික බෙලහීනතාව" "උට හිස්ටිරීයාව" වගේ ලේබල් ගහලා කුණු බක්කියට දාන එක. [අද මළ ගිය ප්‍රාණකාරයෙක් වගේ තැන තැන සැරි සරණ දීප්ති කුමාර ගුණරත්න කියන හාදයා ජීවන වෘත්තියක් විදිහට කරන්නේ ඕක].

      උඹලත් හිතන්නේ මෙහෙම නම් අනිත් උන් ගැන කවර කතාද..?

      Delete
  2. අනිල් බූරුෙවා.. චින්තන ලියල තිෙයන්ෙන ෙම්ධානිෙග සිංදුව ෙහායිද නරකයිද කියන සදාචාර විනිශ්චයක් ෙනෙමයි ෙබාල.. කියවල ෙත්රුම් ගන්න බැරිනං කට වහං හිටු අපිට පිස්සු හදවන්නැතුව

    ReplyDelete
    Replies
    1. //කියවල ෙත්රුම් ගන්න බැරිනං කට වහං හිටු අපිට පිස්සු හදවන්නැතුව//
      මේක සින්දුවට යූ ටියුබ් එකේ දාපු කමෙන්ට් එකක් වගේ :D

      Delete
  3. තවත් දෙයක්, මේධානිගේ ඉන්ටර්විවු එකේ එයා කියනවා,

    චින්තන විස්තර කරන විදිහට,

    1. ""මේධානිගේ නිර්මාණය මියුසික් වලින් එලියෙ කලාප ගණනාවක් එක්ක ගැටගැහෙනවා. එයාම කියන විදිහට මේක එයාගෙ ඉස්සරහට ලියවෙන ෆැන්ටසි නවකතා පෙළක ආරම්භයක්. එයාගෙ නිර්මාණ ලෝකය සළකුණු කරන එක ප‍්‍රකාශනයක්. අත්හැර දැමූ ඒලියන් පෙම්වතා ගැන දුක් වෙන තරුණියක් සහ සමාන්තර ලෝකයක එකට විරහව බෙදා හදා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක් මේධානිගේ කතාවෙ ප‍්‍රධාන චරිත වෙනවා. ඒක එයාගෙ පරිකල්පිත ලෝකය.""

    2. ""එක්ස් ඒලියන් සංගීතමය ප‍්‍රකාශනය ඇතුලෙ එයා අසා රසවිඳින්න තියෙන සංගීතය යෝජනා කරනවා කියල මං හිතන්නෙ නෑ.""
    3. ""සංගීතය තමන්ගේ ජීවිතයේ ප‍්‍රකාශනයක් විදිහට යොදා ගන්න තැනදි විතරයි සංගීතය ආර්ට් එකක් විදිහට කතා කරන්න පුළුවන්. අනිත් හැම තැනකදිම අපිට කතා කරන්න වෙන්නෙ සංසන්දනාත්මක ශිල්පීය කාරණා. මේධානි කියන්නෙ තමන්ගේ ජීවිතය. ඒක වෙන කිසිම දෙයක් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ තරමටම ඒ ජීවිතය පරාරෝපිතයි. තමන් අත්විඳින පරාරෝපණය ගැන මේ තරම් ක්ලැසිකල් ප‍්‍රකාශනයක් මං කවදාවත් අවුරුදු පහළොවක කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වුණේ නෑ.""

    සරලවම කිව්වොත් EX-ALIEN කියන්නේ මේධානි විසින් ලියමින් පවතින ෆැන්ටසි නවකතාවේ සංගීතමය ප්‍රකාශනය. ඒක අහන්න ඉන්න අපිර්ය, කෝඨෝර ගායනයක් වෙන්න පුළුවන්. ඒත් මෙතන වැදගත් වෙන්නේ ඇය එම ගීතය යොදාගන්න අන්දම. මට හිතන විදිහට එතනයි මේකේ ආර්ට් එක තියෙන්නේ. චින්තන කිව්ව වගේ අවුරුදු 15ක ළමයෙක් මේ වගේ හිතන එකම, මටනම් ඇඩ්වාන්ස්.

    මොකද අද අපි ජීවත් වෙන්නේ රස්සාවට සින්දු කියන සමාජයක.

    එතකොට ඒ අයට ආර්ට් කියන්නේ බඩු විකිණීමක් මිසක් ප්‍රකාශනයක් නෙමෙයි. අර චින්තන කිව්වා වගේ නවමු සංගීතයේ පියයි කියන භාතියටත් EX-ALIEN මිස් වෙන්නේ පොරගෙත් ඔය රස්ස්සවට සින්දු කියන පටු සීමව ඇතුළේ හිරවෙලා ඉන්න නිසා. වෙනත් වචන වලින් කිව්වොත් බස් එකකට නැඟලා අනුන්ගේ සින්දු කියලා කීයක් හරි ඉල්ලගෙන බහින ගායකයෙකුගෙයි අද ඉන්න භාතියලගේ පරම්පරාවේ ගායකය්කුගෙයි වැඩි වෙනසක් නෑ. [එතකොට තව කෙනෙක් අහන්න පුළුවන් ටයි එකක් දාගෙන මහ පාරේ කට්ට අව්වේ මඳුරු රැකට් විකුණන ඩිරෙක්ට් මාකටින් පොරකගෙයි බේට්ස් ඇඩවර්ටයිසින් ඒජන්සි එකේ ඇඩවර්ටයිසින් කරන චින්තන ලඟේ වෙනසක් නැහැනේද කියලා..? ඔවු වෙනසක් නෑ. දෙකම එකයි. වෙනස අර මඳුරු රැකට් ඩිරෙක්ට් මාකටින් පොරට ආත්මයක් තියෙනවා, සමහර වෙලාවට චින්තනලට ඒ ආත්මය පාවලා දෙන්න වෙනවා.]



    ReplyDelete

  4. මං කියන්නෙ ලේබල් ගහලා පැත්තකට දාන්න ඕන කියල නෙවෙයි. ඒ වගේම මේධානි කථාකරන කරන දේ නොතේරනව කියන එකත් නෙවෙයි.
    මේක ඔය වයසෙ ඕනෑම කෙනෙක්ට කරන්න හිතෙන, ආශාවත් එක්ක පැටලිච්ච දෙයක්. ( හැමෝම පොත් ලියන, ඒගැන සින්දු කියන එකක් නැහැ. ඒත් මේ වගේ දේවල් කරන්න හිතන උන් බහුතරයක් ඉන්නවා).

    ඒ වගේම මං කියන්නෙ නැහැ. මේ සින්දුව මාර ක්ලැසිකල් වැඩක් වෙන්න ඕනය නැත්නම් වැඩක් නැතිය වගේ දේවල්.

    මං මේ වැඩේ තේරුම් ගන්නෙ මෙහෙම. අවුරුදු පහලවක ලමයෙක්ට හිතෙනවා, තමන්ට නිර්මාණ හැකියාවක් තියෙනවාය. ඒක එලියට දාන්න ඕනය. ඒ සඳහා හොඳම මාර්ගය වීඩියෝ සින්දුවක් කිරීමය කියන එක. ඒ වගේම තමන්ගෙ අක්ක මීට කලින් සින්දුවක් නිර්මාණය කරල තිබීමත් ඇයට බලපානව. ඊලඟට ඇයට ඕන වෙනව හිට් වෙන විදිහෙ වෙනස් වැඩක් කරන්න (වෙල්ඩන්. හැබැයි ඇයට ඕන වෙන්නෙ හිට් වෙන එක. එතනදි ඇයගෙයි භාතියලගෙයි වෙනසක් නැහැ).
    ඒ සඳහා ඇය තෝරගන්න සංකල්පය ප්‍රේම කථාවක්. හැබැයි ඒක ඒලියන් කෙනෙක් එක්ක. එයා දාල ගිහින්. ඒ නිසා එයා එක්ස්- වෙනව. ඒ ගොල්ලො කථාකරන බාසාව වෙනස්. ඒ නිසා සිංදුවෙත් භාෂාව වෙනස්.( මේ ටික මං දැනගත්තෙ ඉන්ටර්වීව් එකෙන්).

    ඔන්න ඔතෙන්ට එනකල් මං කතන්දරේට එකඟයි. මෙතන මෙයාට පිස්සුය. හිස්ටීරියාවය. විකාරය. කියන එක මං කියන්නෙ නෑ. වැඩේ මට විඳින්න බෑ. ඒක වෙනම කථාවක්. ( මේක විතරක් නෙවෙයි සමහර විශ්ව සම්බාවනාවට පත්වෙච්ච දේවලුත් තියෙනවා මට විඳින්න බැරි).

    ඊලඟ ස්ටෙප් එක. මේ විඩියෝවට වැටුණු කොමෙන්ට්. එලියෙ කථාවුණ දේවල්. ඒක වෙනම ස්ටඩි කරන්න ලියන්න ඕන දෙයක්. චින්තනත් ඒ ගැන සඳහන් කරනවා.

    දැන් තමයි ප්‍රශ්නෙ එන්නෙ. මං මානසික රෝගයක්ය කියන්නෙ මේ සිද්ධි දාමය හා ඊට පස්සෙ මේධානිගෙ හැසිරීම. ප්‍රකාශ. හැබැයි ඒක මේධානිට විතරක් නෙවෙයි. අඩුවැඩි වශයෙන් අපි හැමෝටම තියෙනවා. දීප්තිට සෑහෙන්න තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නෙ 'පොරත්වය' කියලා. ඒකෙ ප්‍රධානම රෝග ලක්ෂණය තමයි තමන්ට වඩා තමන් ඉතා විශාලව පෙනීම. මේධානිගෙ ඉන්ටර්වීව් එක පුරාම ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා. සහ එය රැකගන්න ඇය ඇතැම් විටක බොරු කියනවා. සමාජයට වැරදි පටවනවා.

    ඇගේ අවුරුදු පහලවක ලමයෙකුට මෙහෙම කරන එක වැරදියි කියන කොට මට මතක් වෙන්නෙ තමන් ගෑනියක්ය, පීඩාවට පත්වුණ ගෑනියෙක්ය ඒ නිසා තමන්ගෙ නිර්මාන මීට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනය කියන ඉනෝකා සත්‍යාංගනීව. නිර්මාණයකදි නිර්මාණකරුවාගේ පිසිකල් දේවල් එක්ක නිර්මාණය බැලීමම වැරැද්දක් මං කියන්නෙ. මේ අහවලාගෙ නිර්මාණයක්ය කියනවට වඩා මේ අහවල් නිර්මාණය කරපු කෙනාය කියන දේයි වෙන්න ඕන.

    මට චින්තකගෙ ලිවීම ප්‍රශ්නයක් වෙන්නෙ එතකොට. විශේෂයෙන්ම අන්තිම ඡේද අට. මේධානි ලඟ නැති මේධානි විසින් ලබාගතයුතු තේරුම්ගතයුතු තත්වයන් මේධානිට ආරෝපණය කිරීම. ඒක මට අනුව ලොකු වැරැද්දක්. මොකද එහෙම පිම්බුණ බැළුම්බෝල මේ රටට ලෝකෙට කරපු සහ කරමින් පවතින විනාශය ඉතා විශාල නිසා. මට මේක දැකපු ගමන් මතක් වුණේ සන්නස්ගලගෙ නේත්‍රා පොත දොරට වැඩීමෙදි කේකේ සමන් කුමාර කරපු යෝජනාවක්. එතනදි ඔහු කියනවා 'ලොලිටා' නිසා 'ලොලීටා සින්ඩ්‍රෝම්' කියන අර්ථකථනය ගත්තා වගේ 'නේත්‍රා' නිසා 'නේත්‍රා සින්ඩ්‍රෝම්' වගේ රෝග තත්වයක් අර්ථ දක්වන්න පුළුවන් කියලා. බයිලනේ.

    මේ ඉන්ටර්වීව් එක හරහා අනාවරණය වෙන වැදගත්ම දේ තමයි. මේක මේ පොතක හෝ පොත් පෙලක සංගීතමය ප්‍රකාශනයක්ය කියන එක. ඇත්ත වෙන්නැති. ( මේ විදිහෙම අර්ථ කථනයක් චින්තක දීල තිබුණ 'නෝ මෝ මාර්ක්ස්' එකේ නම ගැන. එතන නෝ මෝ මාරක්ස් කියන්නෙ අනියම් සම්බන්ධතාවකදි ලව් බයිට්ස් (මාර්ක්ස්) එපාය කියන එකයි කියල. ඒ වෙලාවෙත් මට හිතුණෙ ඇත්ත වෙන්නැති කියල). හැබැයි ඉතිං ඒක ඔය සින්දුවෙ ඉන්ට්‍රඩක්ෂන් එකට දාල තිබ්බ නම් මෙච්චර හරියක් වෙන්නෙ නෑනෙ.

    ඒ නිසයි මං කියන්නෙ චින්තකගෙ මහන්සිය අපරාදෙ කියල. " ඔය ටික කලින් කිව්ව නම් මරු පුතේ" කියන්න ඕන තැන වෙන වර්ණනාවක් ගෙනෙන එක අපරාදෙ.

    මෙන්න මේධානිගෙ ඉන්ටර්වීව් එක:
    http://www.33000.lk/2013/08/ex-alien.html?utm_source=BP_recent

    ReplyDelete
    Replies
    1. උඹ ඔළුව වටේ ගිහින් නහය අල්ලන්න හදනවා.

      මචන් ඒලියන්ස්ලව අපි දන්න කන්සෙප්ට්ස් වලට අහුවෙන්නේ නෑ. ඒකයි උන්ට ඒලියන්ස්ලා කියන්නේ. [ඒලියන් කියන්නෙත් රාවණා රජුගේ නිර්මාණයක් කියලා මීවනපලානේ කියනවා මං අහගෙන ඒලියන්=ඒ - ලියන්]

      ඒලියන්ස්ලට අපිට තේරෙන භාශාව තේරෙන්නේ නෑ. උන් කතා කරන්නේ වෙනමම භාශාවක්, උන්ට තියෙන්නේ වෙනමම ඇක්සන්ට් එකක්, හිතන්නේ වෙනමම විදිහකට.

      මෙතන අවුල මචන් අපි දන්න කන්සෙප්ට්ස් වලින් ඒලියන්ස්ලව තේරුම් ගන්න යන එක.

      දැන් මේ පෝස්ට් එකට චින්තන දාල තියෙන ඒලියන්ගේ ෆොටෝ එක වුනත් මානූශීකරණය වූ ඒලියන් කෙනෙක්.

      අපිට මේධානිව අහුවෙන්නේ නැත්තේ මේධානි ඒලියන්ස්ලත් එක්ක ගණුදෙනු කරන්න උත්සාහ ගන්න නිසා. [දැන් කියපන් මට පිස්සු කියල].

      ඔන්න ඇනෝ කෙනෙක් මේධානිගේ සින්දුවම මනූශික ම්හුණුවරකින් කරපු කවර් එකක් දාල තියෙනවා [http://www.youtube.com/watch?v=ATPsdtGmBCY]. අන්න ඒක උඹ ඔය කියන කන්සෙප්ට්ස් වලින් විග්‍රහ කරන්න පුළුවන් වෙයි. ඒත් මේක [මේධානිගේ EX-ALIEN] බෑ.

      මම චින්තනගේ ලිප්යේ ආසම මෙන්න මේ කෑල්ලට,

      ""දැන් එක්ස් ඒලියන් ෆැන්ටසිය ඇතුලෙන් මං දකින ෆැන්ටසියට ඇතුල් වෙන්නම්. ආර්ට් වලින් නිර්මාණය වුණු යතාර්ථයක් සහ ඒ යතාර්ථයෙන් යළි නිර්මාණය වෙන ආර්ට් එකක්. මේධානි ගේ අදහස් අරගලය තියෙන්නෙ එතන. ඒ අරගලය ෆැන්ටසියක් නොවෙන්නෙ මේධානි දැනටමත් ජීවත් වෙන්නෙ ඒ යතාර්ථය ඇතුලෙ හින්ද. එතකොට මට දැනෙන බරපතල ප‍්‍රශ්නය එනවා. මේ පරාරෝපිත අවකාශයක් ඇතුලෙ යලිත් තමන්ව ප‍්‍රති නිර්මාණය කර ගන්න වෙහෙසෙන තැන දක්වා මේ අවුරුදු පහළොවක දැරිය ගමන් කරවූ සංදර්භය මොකක්ද? ඒ තරමට අවට ඇත්ත යතාර්ථය මේධානිගෙන් ඈත් වුණේ කොහොමද? එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා අපේ ඊළ`ග පරම්පරාවන් සැබෑ ජීවිතය වෙනුවට සයිබර් ජීවිත තෝරා ගනිමින් ඉන්නවද? ඔවුන් ශරීරය අත් හරිමින් ඉන්නවද?

      මේ ප‍්‍රශ්නෙ සාම්ප‍්‍රදායික සීමාවල් ඇතුලෙ වර නැගෙන්නෙ නෙගටිව් දෙයක් විදිහට. යතාර්ථයෙන් පලා යාම වෙනුවට වෙනස් ආත්මීය යතාර්ථයන් නිර්මාණය කර ගැනීම සහ ඒවා එකිනෙකා අතර බෙදා හදා ගැනීමේ කලාපයකට අපි අවතීර්ණ වෙමින් ඉන්නවා. අපේ පරිකල්පන ලෝකයන් ඇතුලෙ අපි යලිත් අපිව නිර්මාණය කොට මුදා හරිනවා. හරියට ඇනිමි චිත‍්‍රපටියක වගේ. ඒ සයිබර් යතාර්ථය හා පක්ෂව හෝ විපක්ෂව ගැටෙන හැම දෙයක්ම ඒක වඩාත් පළල් යතාර්ථයක් කරන්න උදව් වෙනවා විතරයි.

      මේධානි මේ කන්ටෙක්ස්ට් එක අත්හැර දැමීම හෝ පරාරෝපණය දකින්නෙ නෙගටිව් දෙයක් විදිහට නෙමෙයි. එයාට ඒක තමයි ඊළ`ග විප්ලවය වෙන්නෙ. ඒ පරාරෝපිත යතාර්ථය ප‍්‍රවර්ග කිරීමටත් ඒ වෙනුවෙන් තමන්ගේ කන්ටෙක්ස්ට් එක තුල පැවැත්ම අහෝසි කිරීමටත් එයා සූදානම්. මේධානි දේශප‍්‍රිය ජෑසි ඩැසල්හාඩෝ වෙන්නෙ ඒ විදිහට. බටහිර රටකදී මේක පරිකල්පිත යතාර්ථයක් විතරක් වෙන්න පුළුවන් වුණත් තුන් වෙනි ලෝකෙ රටකදි ඒක පරාරෝපිත යතාර්ථයක් වෙන එක අනිවාර්යයක්. ඒත් තමන්ගේ සංකේතීය විශ්වය බාර ගැනීම සහ ඒක නිර්මාණාත්මකව යලි ගොඩනැගීම කියන සවිඥාණක කාරණය පැත්තෙන් මේධානි කියන්නෙ මට පුදුමයක්.

      එයා යෝජනා කරන්නෙ අනාගතයට බාර පර්යේෂණයක්.""

      Delete
    2. මාලන්,
      මං ආපහු කියන්නම්.
      මට ඔය සින්දුවත් එක්ක මහා අවුලක් නෑ මචං. මං ඒක විග්‍රහ කරන්න යන්නෙත් නෑ.

      මට අවුල එන්නෙම ලිපියෙ උඹ ආසම කෑල්ලත් එක්ක තමයි. චින්තන මෙතනදි කරන්නෙ සාමාන්‍ය තත්වයකට අසාමාන්‍ය බරක් දීම.

      මට නම් මේධානි කියන්නෙ මහා පුදුමයක් නෙවෙයි. උඹලා දන්න මුණගැහෙන අවුරුදු අටේ විතර පොඩිඋන්ගෙන් නිකමට අහල බලපං මේධානි වගේ හරි නැතිනම් ඊට වඩා හරි දුරට ෆැන්ටසි හදන පොඩි උන් මුණගැහේවි.

      එහෙව් තැනක මේධානිව ජෑසි ඩැසල්හාඩෝ ( මං එයා ගැන කියෙව්වෙ මේ ලිපියෙන්. ස්තූතියි චින්තන) කෙනෙක් කරන එක මට අනුව නම් උපේක්ෂා ස්වර්ණමාලිව එවිටා කෙනෙක් කරනව තරම් බරපතල දෙයක්.

      Delete
    3. අනිල් කියන කාරණයත් එක්ක මම බොහෝ දුරට එකඟයි. කෙල්ලෙක්ගේ නිර්මාණශීලිත්වය, අපිට වැඩිය විඳින්න බැරි ක්‍රමයකින් එළියට ආවා කියන එකට වඩා වැඩි දෙයක් මම දකින්නේ නැහැ. හැබැයි මේ ප්‍රකාශයේ 'මම' කියන එකට සෑහෙන බරක් එනවා. මොකද මම දැකලා තියන දේවල් අතර මේක සාමාන්‍ය දෙයක් විතරයි. අහලා හිනා වෙලා... "මචං මේ කෙල්ල මොනවා වුණත් ක්‍රියේටිව්" කියලා අමතක කරලා දාන සිද්ධියක් විතරයි.

      අපි අධ්‍යයනය කරනවානම් කරන්න ඕනේ... මේක ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර සිරා කේස් එකක් උණේ ඇයි කියන හේතුව. සිදුවීම් වලට අදාල වේට් එක දෙන්න දෙන්න නොහැකියාව තමයි මම දකින්නේ. රටේ තියන තමන්ටත් අදාල ප්‍රශ්න ගැන මෙලෝ දෙයක් නොදන්න, ඒ ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නැති කස්ටිය, මේ සින්දුව මහා ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. අලුත් යමක් එළියට ආවහම ඇතිවෙන තාවකාලික උන්මාදයයි, මේ සිද්ධියයි අතර වෙනසක් තියනවා. මේ කෙල්ල ගැන මහා වෛර සහගත ආකාරයකින් මිනිස්සු හැසිරුණේ ඇයි කියලා.

      මට නම් ප්‍රශ්නේ තියෙන්නේ එතන... කරනවා නම් ස්ටඩියක් කරන්න ඕනේ ඇයි අපි මේ විදිහට හැසිරෙන්නේ කියල..

      Delete
  5. දන්නැති නිසා අහන්නෙ මචන් උබ මන්ද බුද්ධිකද ?

    ReplyDelete
  6. the interview - http://www.youtube.com/watch?v=aM189t847E0

    ReplyDelete
  7. Mokadda me Medhani labana ashsheela winoodaya??

    ReplyDelete