Wednesday, March 5, 2014

දඩයක්කාර මුනිවරයා...

 (27) මහා ශිව රාත‍්‍රිය දවස



ශිව කියන්නෙ මං ගොඩක් කැමති කන්සෙප්ට් එකක්. ඒ දඩයක්කාර මුනිවරයාට, නටන, පෙම් කරන, කංසා උරන, ප‍්‍රතිවිරෝධතා වල එකතුවට මට ඇති වෙන්නෙ භක්තියක්. උපත සහ විනාශය අතර හැම ප‍්‍රතිවිරෝධතාවයකම ඒකත්වය වෙන්නෙ ශිව. ඒ අදහසට, පැවැත්මට ගොඩනගලා තියෙන මනුස්ස රූපය මාර ආර්ට් එකක්. ෂුවර් එකටම ඇසිඞ් ටි‍්‍රප් එකක මුණගැහුනු චරිතයක්.

මේ වියමනේ සංකීර්නතාවය හින්දම ශිව ගොඩක් වෙලාවට භාවනාවට මගඇරෙනවා. ඒ හින්දම ඒ මිත්‍යාව පිටිපස්සෙ තියෙන විද්‍යාව සහ සිතීම අපිට අත්ඇරෙනවා.

බ‍්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර කියන්නෙ හින්දු දේව ත‍්‍රිමූර්තිය. මේ එක එක දෙවියා විසින් බලය ගන්න සටන් වදිනවා. ඒත් ඇත්තටම බැලූවම මේක අවධි පරිණාමයක්. උපත, පැවැත්ම, විනාශය. මේ තුනෙන්ම ශිව තමයි වැඩියෙන්ම විවාදාපන්න.

ඒකට ගොඩක් හේතුවෙන්න ඇත්තෙ මේ නිර්මාණය පිටිපස්සෙ තියෙන සිතීමේ විසංවාදයන් එකට පැවතීම වෙන්න පුළුවන්. එක පැත්තකින් තවුසෙක් අනිත් පැත්තෙන් පෙම්වතෙක්. එක පැත්තකින් විනාශකාරී ශක්තියක් අනිත් පැත්තෙන් නිර්මාණාත්මක ශක්තියක්. අතිශය දාමරිකයි ඒ වගේම කඩවසම්. දුෂ්ට දෙවියෙක් වගේම ශාන්ත යෝගීවරයෙක්. හැම ප‍්‍රතිවිරෝධයක්ම ඉක්මවා යන දේහයක්. ඒ ප‍්‍රතිවිරෝධයන් ඉක්මවූ අවබෝධයක්.

ශිව කියන්නෙ නර්තනයක්. ඒක මරණයේ නර්තනය. ඒ වගේම ජීවිතයේ ආරම්භය.
ශිවගේ කොන්ඩෙ බැලූවොත් ඒක තනිකරම තවුසෙක් මතක් කරන කොණ්ඩයක්. ඒත් ඒක පාර්වතීගේ ආදරණීය සැමියා විදිහට එයාගෙ භූමිකාව එක්ක ප‍්‍රතිවිරෝධීයි. හිසේ තියෙන අඩසඳ කියන්නෙ වෙනස්වෙන  ඍතු ගැන. ජීවිතය යලිපිබිදීම ගැන. ඒකත් මරණයේ නැට්ටුවා විදිහට එයාගෙ භූමිකාවට පටහැණියි.
ශිවගේ බෙල්ලෙ ඉන්නවා නයෙක්. හින්දු සංකල්පයක් විදිහට නයා කියන්නෙ පුනරුත්පත්තියෙ සංකේතයක්. නයා හැව අරිමින් නව සමක් ගන්නවා වගේ ආත්මය ජීවිතෙන් ජීවිතේට මාරු වෙනවා කියලයි අදහස් වෙන්නෙ.

දකුණු අතේ දම්රුවක් තියෙනවා. මේක වැලි ඔරලෝසුවක හැඩෙට හදපු බෙරයක්. කට්ටියක් කියනවා මේ දම්රුවෙන් තමයි පළවෙනි ශබ්දය බිහි වුනේ කියලා. තවත් කට්ටියක් කියනවා මේ ත‍්‍රිකෝණ හැඩැති දෙකක් මැද මුණගැහීම ස්ත‍්‍රී පුරුෂ එක්වීම සංකේතවත් කරනවා කියල. ලිංගම් සහ යෝනි කියන දෙක මුණගැහීමෙන් දම්රුව මැදදී ලෝකය බිහිවුනා කියලා.

ශිව ලිංගෙට පස්සෙ ශිවට වැදුම් පිදුම් කරන ජනප‍්‍රියම විලාසය වෙන්නෙ ශිව නර්තනය. මේ නර්තනය ගොඩක් දේවල් ගැන කියනවා. හින්දු විදිහට නර්තනය කියන්නෙ ට‍්‍රාන්ස් එකක්, සංතෘප්තියක්, දිව්‍යමය අත්දැකීමක්. නර්තනයේ යෙදෙනවා කියන්නෙ ශක්තිය රිද්මයානුකූලව නිදහස් කරමින් දෙවියන් කරා ළං වීම වගේ එකක්. නටරාජ්, ශිවගේ නර්තන වේශය කියන්නෙ මේ විශ්වයේ නර්තනය.

හින්දු මිත්‍යාවේදය අනුව ශිවගේ මේ නර්තනය ලෝකයේ උපතේ සහ විනාශයේ රිද්මයන් වගේම දිනපතා ඉපදෙන මැරෙන රිද්මයනුත් අවදි කරනවා. ආනන්ද කුමාරස්වාමි කියන විදිහට ශිව නර්තනයේ ශ‍්‍රිෂ්ති, ස්ථිති, සංහාර (ඇතිවීම පැවතීම සහ විනාශ වීම) කියන තුනම නිරූපණය වෙනවා. මායාව සහ විමුක්තිය එකවිට නිරූපණය වෙනවා. මේ විදිහට බාහිර සහ අභ්‍යන්තර දෙකම එකක් විදිහට අරගෙන කතා කරන එකෙන් මේ කන්සෙප්ට් එකේ සංකීර්නතාව තවත් වැඩි වෙනවා.

ශිව නර්තතනය මිත්‍යාවක් විතරක් නෙමෙයි. මනුස්ස පැවැත්ම ගැන කතාවකුත් මේකෙ කියනවා. ශිව නටන්නෙ චිදම්බරම් කියන විශ්වයේ කේන්ද්‍රය උඩ. චිදම්බරම තමයි මනුස්ස හදවත. ඒ හදවත උඩයි මේ උපතේ සහ විනාශයේ නර්තනය සිද්ද වෙන්නෙ.

පුද්ගලික විදිහට අපේ ජීවිතය තනි තනි වුණත් විශ්වයක් විදිහට අපි ආයිමත් එකකට එකක් සම්බන්ධයි. කුමාරස්වාමි කියන විදිහට, ‘හැමතැනම දෙවියන්ය. හැමතැනම හදවතය’ ශිවගේ නර්තනයෙදි මමත්වයේ සීමාවන්ගෙන් මායාවන්ගෙන් ජීවිතේ නිදහස් වෙලා විශ්වයේ ශක්තිය එක්ක සංයෝග වෙනවා කියලයි අදහස් වෙන්නෙ. ඒ නර්තනය විනාශය, උත්පත්තිය නැවත විනාශය කියන චක‍්‍රයක්.

ශිව කියන ශරීරය, මේ නර්තනය කියන ශක්තිය බවට පත් කිරීම හරහා ඉන්දියානු සිතීමේ ලොකු ගැඹුරක් පේන්න ගන්නවා. ස්වභාව ධර්මය සහ පැවැත්ම අතර ඒකත්වය, පූර්ණ විකසිත වීම ගැන ශිව නර්තනය රූපකයක්.

දඩයක්කාරයා වෙන්න. පෙම්වතා වෙන්න.
ආදරය වෙන්න. මරණය වෙන්න.
මේ රාත‍්‍රියයි.

 ඕම් නම ශිවාය.

1 comment: