Saturday, September 27, 2014

පොරක් වෙනවද- බරක් වෙනවද?



ළ`ගදි දවසක ඔටාරා ඔඩෙල් එකෙන් අයින් වෙලා ගියා. ඒක එයා අවුරුදු 50 පිරෙද්දි ගත්ත තීරණයක්. ලංකාවෙ ගොඩක් උගත් බුද්ධිමත් චරිත වලට අහිමි සම්පූර්ණත්වයක් හැඩයක් තමන්ගෙ ජීවිතේට දෙන්න ඔටාරාට පුළුවන් වුණා කියල මට හිතුණ. එයා තමන්ගේ ජීවිතය ඉතාම හොඳට සහ තමන්ගෙ ඇතුළතට අවශ්‍ය විදිහට ඩිසයින් කරනවා කියල මට හිතුන. අපිට නිතර මුණගැහෙන සමාජ දේශපාලන ක‍්‍රියාකාරීන් ගොඩක් උත්සාහ කරන්නෙ ලෝකෙට හැඩයක් දෙන්න. ලෝකය නැවත නිර්මාණය කරන්න. ඉතින් තමන්ගෙ ජීවිතේට ඒ අය තේරුමක් දෙන්නෙ බාහිරින්. ඒත් වෙළඳාම මැද්දෙ ලිප්ටන් හන්දියෙ ඔටාරාට පුළුවන් වෙනවා ඊට වඩා සවිඥාණක බවක් තමන්ගෙ ජීවිතේට දෙන්න. එයා විසින් ඊළ`ගට කරන්න යන සත්තුන්ට උදව් කරන එක කොයිතරම් හරි හෝ වැරදි පියවරක්ද වගේ දෙයක් නෙමෙයි මං මෙතන කියන්නෙ. තමන්ගේ ජීවිතය යම් කිසි විදිහකට තමන් විසින්ම නිර්මාණය කර ගැනීමක්. ඒ නිර්මාණය හරහා තමන්ට අවශ්‍ය සමාජය යළි නිර්මාණය කිරීමක්. හරි ටර්මිනොලොජි එකෙන් කිව්වොත් තමන්ව බ‍්‍රෑන්ඞ් එකක් කර ගැනීමක්.

ඔටාරා විසින් පටන්ගත්ත සාප්පුව ඔඩෙල් වුණාට බ‍්‍රෑන්ඞ් එක වුණේ ඔටාරා. ඒක හින්දම එයා එතනින් ගියාට පස්සෙ මට ඔඩෙල් එක කියන අදහස නැති වුණා. ඒක මගේ පුද්ගලික දෙයක් වුණත් තවත් කීප දෙනෙකුට හෝ ඒ හැ`ගීම ඇති වෙන්න ඇති බව මට ෂුවර්. 

මං මෙතනදි ඔටාරාව පැත්තකින් තියාගෙන කතා කරගෙන යන්නෙ මිනිහෙක් බ‍්‍රෑන්ඞ් එකක් දක්වා වෙනස් වීම නැත්තං මිනිහෙක් සහ බ‍්‍රෑන්ඞ් එකක් වශයෙන් පැවතීම කියන කාරනේ. මං දන්නවා මේක අහපු ගමන් ලාංකිකයො නම් සෑහෙන අවුල් වෙන කතාවක්. අපි බ‍්‍රෑන්ඞ් වලට හරිම මෝඩ හේතු ගානක් ඉස්සරහට දාගෙන විරුද්දයි සහ අපි බ‍්‍රෑන්ඞ් එකක් වෙනවා කියන එක සෑහෙන මනුස්සකම වගේ ප‍්‍රශ්න වලට උත්තර දෙන්න වෙන තත්වයක්. උදා විදිහට මෑතක ෆේස් බුක් එකේ පෝස්ට් එකක් පළවුනා.

‘කිහිල්ල ගඳයි කියල අපිට ඉගැන්නුවෙ ඩියොඩ‍්‍රන්ට් කොම්පැණි
දාඩිය ගඳයි කියල අපිට ඉගැන්නුවෙ පර්ෆියුම් කොම්පැණි

තව ටික දවසකින් එකෙක්ගෙන් එකියකගෙන් සැනසෙන්න එපා කියල උගන්නයි කොන්ඩම් කොම්පැණි’
කොම්පැණි වලට විරුද්දව ආපහු ගල්යුගයට යන්න යෝජනා කරන මේක දැක්ක ගමන් මට හිතුනෙ අපිට හැම වැදගත් දෙයක්ම කියල දීලා තියෙන්නෙ කොම්පැණිනෙ එතකොට කියල. නැත්තං අපි මෙලෝ රහක් නෑ මේ පෝස්ට් එකට අනුව. කොහොම වුණත් මේ තියෙන්නෙ බ‍්‍රෑන්ඞ් වලට අපේ තියෙන විරෝදය. අපි තාම ලෑස්ති නෑ වෙළඳපොල යතාර්ථයක් හැටියට බාර ගන්න. මාර්කට් එක ජීවිතේ කොටසක් කර ගන්න. අපි කැමති කිහිලි ගඳ ගහන, නොනාන, ඒත් ඒක ගෑනියෙකුගෙන් හෝ මිනිහෙකුගෙන් සැනසෙන ජාතියක් විදිහට ජීවත් වෙලා මැරිලා යන්න.

ඒත් ඔටාරාගෙ කතාව වෙනස්. සාමාන්‍යයෙන් මොඞ්ල් කෙනෙකුට ලංකාවෙ උරුම වෙන අවාසනාවන්ත ජීවිතේට වෙනස්  ජීවිතයක් අත්දකින්න එයාට පුළුවන් වුණා. ඒකට හේතුව අනිත් මොඞ්ල්ස් ලා අනුන්ගෙ බ‍්‍රෑන්ඞ් විකුණමින් ජීවත් වෙද්දි ඔටාරා එයාගෙ බ‍්‍රෑන්ඞ් එකක් හදන එක. වෙන විදිහකට කිව්වොත් නයිකි, රීබොක්, හිල්ෆිගර්, බීඑම්, ජගුවර් වලින් තමන්ගෙ ජීවිතයට හැඩයක් දෙන්න හදනවා වෙනුවට එයා තමන්ගේ ජීවිතයෙන් හැඩයක් එළියට නිර්මාණය කළා. අනුන්ගෙ විලාසිතාව වෙනුවට එයාට විලාසිතාවක් තිබුණ.
ෂන් පෝල් සාත‍්‍ර ලස්සන කතාවක් කියනවා. ‘ඔයා නිදහස්. ඒක හින්ද තෝරා ගැනීම කරන්න. ඒ කියන්නෙ අලූත් හඳුන්වාදීම් කරන්න..’

ෆැෂන් වෙනුවට ස්ටයිල් කියල චාර්ල්ස බුකොව්ස්කිත් කියන්නෙ මේ අදහසමයි. බල්ලන්ට වුණත් ස්ටයිල් එකක් තියෙනවා කියල එයා කියනවා. එළියෙ ඉන්න මිනිස්සුන්ට වඩා හිරේ ඉන්න මිනිස්සු අතර ස්ටයිල් එක දැකලා තියෙනවා බුකොව්ස්කි කියනවා. හන්ටර් තොම්ප්සන් ඔලූවට වෙඩි තියා ගනිද්දි එතන ස්ටයිල් එකක් තිබුණ. ඒක ෆැෂන් එකකට වඩා වෙනස්.

තමන්ගෙ ජීවිතයට මේ ස්ටයිල් එක දෙන එක, නැත්තං තමන්ගෙ ජීවිතය නිර්මාණය කරන එක තමයි තමන්ව බ‍්‍රෑන්ඞ් එකක් කරනවා කියන්නෙ. ඇත්තටම තමන් දන්නා- නොදන්නා පැවැත්මක් වුණු තමන් සහ මේ නිර්මාණය කරන තමන් අතර පරතරයක් තියෙනවා.

ලංකාවෙ ගොඩක් වෙලාවට සංස්කෘතික අවකාශයේ මේ බ‍්‍රෑන්ඞ් එක හදද්දි තමයි අපි ‘පොරක් වෙන්න හදනවා’ කියන්නෙ. මට හිතෙන්නෙ පොරක් වෙන්න හදන එක හොඳයි. සමහර වෙලාවට ඒ හදන හැදිල්ල දැක්කම ඔක්කාරයක් ඇති කරන්න පුළුවන් වුණත් කවුරු හරි පොරක් වෙන එක හොඳයි. එක පැත්තකින් ඒක නිර්මාණශීලී වැඩක් වගේම සමාජය පැත්තෙන් ඒක ගොඩක් හිතකර දෙයක්.

ඇත්තටම බ‍්‍රෑන්ඞ් එකක් පුද්ගලයෙකට වඩා සමාජයට වග කියනවා. මොකද බ‍්‍රෑන්ඞ් එකකට තියෙනවා සමාජ ගිවිසුමක්. ඒත් පුද්ගලයෙකුට මනුස්සකම වගේ අතාර්කික තත්ව ඇතුලෙ මේ වගකීමෙන් පැනලා යන්න පුළුවන්. බ‍්‍රෑන්ඞ් එකකට සිද්ද වෙනවා අනිවාර්යෙන් නැවත තමන්ගේ ක‍්‍රියාවට උත්තර දෙන්න. 
ඒ වගේ්ම බ‍්‍රෑන්ඞ් එකක් සම්පූර්ණයෙන් සමාජයට අයිතියි. ඒක හින්ද ප‍්‍රතිරූප කියන ඒවට මොනවා කළත් ඒක සමාජ අයිතියක් කියල දරාගන්න සිද්ද වෙනවා. මේ ප‍්‍රතිරූප කියන්නෙ බ‍්‍රෑන්ඞ්ස්. ඒවට කරන පහරදීම් හෝ කෙළවීම් කොහෙත්ම පුද්ගලික නැහැ.

මේ වෙද්දි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව පුද්ගල- බ‍්‍රෑන්ඞ්ස් විදිහට වැඩ කරමින්් ඉන්නවා. උදා විදිහට අශෝක හඳගමගෙන් ගෝටාබය එක්ක තියෙන යාලූකම මොකක්ද වගේ ප‍්‍රශ්න එන්නෙ හඳයාගෙ බ‍්‍රෑන්ඞ් වැලියු එකත් එක්ක. හඳගම කියන බ‍්‍රෑන්ඞ් එක අපිට වමේ කෑලි වලින් ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒත් විමල් වීරවංසව එහෙම බෑ. ජවිපෙ හිටපු වීරවංස පෙරමුණේදි ආපහු එයාව රීලෝන්ච් කරනවා. බ‍්‍රෑන්ඞ් එකේ අනන්‍යතාව වෙනස් කරනවා. සමාජ ගිවිසුම වෙනස් කරනවා.

‘මිනිස්සුන්ට ස්වභාවයක් නෑ. තියෙන්නෙ ඉතිහාසයක් විතරයි’ කියල ඔර්ටේගා යි ගැසෙට් කියන ස්පාඤ්ඤ දාර්ශනිකයා කියනවා. ඒ කියන්නෙ මිනිස්සුන්ට පුළුවන් තමන්ව යළි යළිත් නිර්මාණය කරන්න. ඉතිහාසය වෙනස් කරන්න. 

අපි අපි විසින් සවිඥානිකව බ‍්‍රෑන්ඞ් එකක් විදිහට නිර්මාණය නොකරනවා කියන්නෙ අවිඥාණිකව අනුන්ගෙ බ‍්‍රෑන්ඞ් වෙනුවෙන් පාවිච්චි වෙනවා කියන එක. හරියටම දේශපාලන පක්ෂ වෙනුවෙන් පාවිච්චි වෙනවා වගේ. මේ කියන කතාවට එන්න ටිකක් ගැඹුරින් පුද්ගලිකත්වය ගැන දැනීමක් අවබෝධයක්  ඕන. ඒක නැතිතාක් අපි අර අනුන්ගෙ විලාසිතා අඳින මොඞ්ල්ස්ලා වගේ විතරයි.

‘මට  ඕනි නෑ මගේ උගුරෙ අනුන්ගෙ කඩ දාන්න. මං දානවා නං දාන්නෙ මගේ කඩයක් විතරයි’ අජිත් කුමාරසිරි නිතර තමන්ගේ බ‍්‍රෑන්ඞ් එක ගැන අදහස කියනවා. 

තමන්ව බ‍්‍රෑන්ඞ් කර ගනිද්දි තියෙන ලොකුම අභියෝගෙ වෙන්නෙ තමන්ව ඇත්තට ප‍්‍රකාශ වෙන්න කොයිතරම් ඉඩක් හදාගන්න පුළුවන්ද කියන එක. උදා විදිහට බුදුන්ගෙ සාසනේ මහණ වෙලා තමන්ව බුද්ධ ශ‍්‍රාවකයෙක් විදිහට බ‍්‍රෑන්ඞ් කර ගන්න හෝ කතෝලික දේවගැතිවරයෙක් විදිහට තමන්ව බ‍්‍රෑන්ඞ් කර ගන්න කෙනෙක් තෝර ගන්නෙ තමන්ව වඩාත් සීමා කර ගැනීම. තමන්ගේ නිදහස යටපත් කර ගැනීම. ඒත් අපිට පුළුවන් නම් අපිව වඩාත් සන්නිවේදනය කරන්න පුළුවන් විදිහට, අපේ වෙනස්කම්, විශේෂතා, දුර්වලතා හැමදේකටම ඉඩක් තියෙන වඩාත් මානුෂීය බ‍්‍රෑන්ඞ් එකක් විදිහට අපිව නිර්මාණය කරන්න (හරියට රොක් ආර්ටිස්ට් කෙනෙක් වගේ) අපිට සමාජය එක්ක කරන්න පුළුවන් ගණුදෙනුව වඩාත් ගැඹුරු සහ අර්ථවත් වේවි.

මෑතක සුජීව ප‍්‍රසන්න ආරච්චි සන්නස්ගලගේ අම්මා පොත ගැන ෆේස් බුක් එකේ පොඩි අදහස් පළකිරීමක් කරලා තිබුණ. අවාසනාවකට ඒ ලියුම දැන් හොයා ගන්න බෑ. එතනදි සුජීව කියනවා සන්නස්ගල කියන්නෙ ලංකාවෙ සාර්ථකම වෙච්ච බ‍්‍රෑන්ඞ් එකක් කියල. ඇත්තටම තමන්ගේ ජීවිතය යළි තමන්ට අවශ්‍ය විදිහට නිර්මාණය කර ගැනීමේ වැදගත්ම කාරණේදි සන්නස්ගල මාර චරිතයක්. එයා අන්තිමට අපි නොදන්නා එයාගෙ ළමා වියට ගිහින් අම්මව පවා යළි නිර්මාණය කරනවා. තමන්ගේ බ‍්‍රෑන්ඞ් එක පදනමේ ඉඳන්ම ශක්තිමත් කරනවා. එතකොට පුද්ගලික (ඇත්ත) සන්නස්ගලව අපිට කොතනකදිවත් මුණගැහෙන්නෙ නැද්ද? අපිට නොස්තැල්ජික් ප‍්‍රශ්නයක් එන්න පුළුවන්. මං හිතන්නෙ ඒ පුද්ගලික සන්නස්ගලගෙන් අපිට ඇති වැඬේ මොකක්ද කියල. අපිට වැදගත් වෙන්නෙ මිනිහෙක් සමාජය එක්ක ගණුදෙනු කරන ලක්ෂ්‍යය විතරයි. 

හයිඩගර් ‘බීන්ග් ඇන්ඞ් ටයිම්’ කියන පොතේ කතා කරනවා අපේ සමාජ ජීවිතය කියන්නෙම කතිකාව නැත්තං ඩිස්කෝස් එකකින් කරන නිර්මාණයක් කියල. ඩිස්කෝස් එකක් පවතින්නෙම කටින් කට යන වචනයෙන්. ඉතින් අපිට අපේ සැබෑ පැවැත්ම අත්පත් කරගන්න  ඕන නම් අපිට වෙනවා අපේ පැවැත්මේ ගැඹුර, අපිට අනන්‍ය වුණු ස්වභාවය හොයාගන්න සහ ඒක අනිත් අයට වටහා ගත හැකි ආකාරයකින් (ලෞකික විදිහකින්* එලියට ප‍්‍රකාශ කරන්න. හයිඩගර් මේ කියන්නෙ අපි සවිඥානකව සමාජය ඇතුලෙ අපිව ගොඩනැගිය යුතු විදිහ ගැන. අපේ බ‍්‍රෑන්ඞ් එක නිර්මාණය කරන්න අවශ්‍ය සවිඥානක බව ගැන.

ඉස්සෙල්ලා කිව්වා වගේම මේ වෙද්දි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බ‍්‍රෑන්ඞ් වෙමින්/ බ‍්‍රෑන්ඞ් වලට පාවිච්චි වෙමින් යනවා. ඩිජිටල් ජීවිතය ආරම්භ කරනවත් එක්කම අපේ ෆේස් බුක් පිටු වලින්, අපි ෂෙයාර් කරන, ලයික් කරන, කමෙන්ට් කරන දේවල් වලින් අපි වර්චුවල් අපිව නිර්මාණය කරමින් ඉන්නවා. මේක ගැන දැනුවත් බවක් නැති ෆේස් බුක් පිටු තමයි බලන්න අප්පිරිය. කිසිම සම්බන්ධයක් නැති, තේරුමක් නැති ඉබාගාත හැමදේම බෙදාහරිමින් ඉන්න එක තමයි අනුන්ගෙ බ‍්‍රෑන්ඞ් වෙනුවෙන් පාවිච්චි වෙන අයගෙ තත්වය.

මේ වර්චුවල් දේම අපේ ඇත්ත (කියල කියන) ජීවිතෙත් වෙන්න  ඕන කියලයි මගේ අදහස. අපි නොදැනුවත්ව අනුන් අතින් නිර්මාණය වෙන්න ඉඩ නොදී අපි විසින් අපිව නැවත නිර්මාණය කර ගන්න  ඕන. එතනදි අපේ ජාතිකත්්වය, ආගම මේ හැමදෙයක්ම ඉතිහාසය විසින් තීරණය කරන්න නොදී නැවත තෝරාගැනීමක් කරන්න අපිට පුළුවන්. අපේ සමාජ ගිවිසුම අපි සකස් කරන්න  ඕන.

රසල් බ‍්‍රෑන්ඞ් මේ ප‍්‍රතිරූප, බ‍්‍රෑන්ඞ්ස් ගොඩනගා ගැනීම ගැන වෙන දේශපාලන කතාවක් කියනවා. එයා නළුවෙක්, කොමඩියන් කෙනෙක්, නිවේදකයෙක් විදිහට මිනිස්සු එක්ක කරපු ගණුදෙනුවට වෙනස්ව පස්සෙ හිතන්නෙක් විදිහට වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. එයාගෙ බ‍්‍රෑන්ඞ් එකට වෙන වටිනාකමක් දෙනවා.

එයා කියනවා සෙලිබි‍්‍රටි කෙනෙක් (තරුවක්, පොරක්, බ‍්‍රෑන්ඞ් එකක්) වීමේ ඇත්ත කාර්යභාරය මොකක්ද කියල. පළවෙනි දේ හොඳ කැරිස්මා එකක්් තියෙන්න  ඕන. ලෝකෙ වෙනස් කරන්න යන ගොඩක් අයට ඒක නෑ. කැරිස්මා එක කියන එක තීරණාත්මක අවශ්‍යතාවයක්. ඒත් ඒකෙ සහෝදර ගුණය සෙක්සිනස් වගේම කැරස්මා කියන එකත් අපිට දැන් එපා වෙලා තියෙන්නෙ. ඒත් කරන්න  ඕන ඒක අත්අරින එක නෙමෙයි. වැඩියෙන් වගා කරන එක. සමාජයක් අදහස් වලින් විතරක් වෙනස් කරන්න බෑ. ඒ අදහස් වලට මිනිස්සු එකතු කරන්න නම් ඒවා ආකර්ශනීය විදිහට ඉදිරිපත් වෙන්න  ඕන. ඒවා ඇත්ත වුණාට මදි.  ඕන හොඳ අදහසකට සිද්ද වෙනවා මේ ගෝෂාකාරී අදහස් වෙළඳපොලට වැටිලා තරගකරන්න. වැඩියෙන්ම වැදගත් දේ වෙන්නෙ එලියට අපිව ඇහෙන එක. ඇත්තටම වඩාත් නිර්මාණශීලීත්වයක් සහ හැකියාවක්  ඕන කරන්නෙත් ඒකට’

අපේ පුද්ගලික ජීවිතයට වඩා බ‍්‍රෑන්ඞ් එකක ජීවිතය විශාලයි. පුද්ගලයාගේ ජීවිතය කෙලවර වුණත් එයාගෙ බ‍්‍රෑන්ඞ් එක මැරෙන්නෙ නෑ. හේතුව බ‍්‍රෑන්ඞ් එක සමාජයේ උවමනාවන් එක්ක ගැටගැහිලා තියෙන හින්ද. මාර්ටින් වික‍්‍රමසිංහලා, සයිමන් නවගත්තේගමලා, අනගාරික ධර්මපාලලා විතරක් නෙමෙයි හිට්ලර්ලා පවා තාමත් මැරුණෙ නැත්තෙ ඒකයි.

මගේ අදහස හැමෝම පොරවල් වෙන එක හොඳයි. කිසි හැඩයක් නැති රැුළක එකෙක් වෙනවට වඩා තමන්ගෙ ජීවිතය යළි ගලපා නිර්මාණය කර ගැනීම කියන කාරණය මිනිහෙක් විදිහට වැදගත්.  ඕෂො එක තැනක කියනවා පරිණාමය කියන කාරනේ මෙතනින් අහවරයි. මෙතනින් එහාට තියෙන්නෙ විප්ලවයයි කියල. (ඉවොලූෂන් සහ රිවොලූෂන්). මේ විප්ලවය කියන්නෙ වමේ විප්ලවය නෙමෙයි. තමන්ව සවිඥාණකව යලි නිර්මාණය කිරීමට. ඉතිහාසය වෙනස් කිරීමට. තමන්ගෙ බ‍්‍රෑන්ඞ් එක හදන එකට.

-චින්තන ධර්මදාස

8 comments:

  1. ක්‍රමය තුල යැපෙන අය තමුන්ව විකුනාගනිමින් ගෙනියන සටනට විරුද්ධ අය විකිනෙන්න ආස නැහැ. ඉතිං විය යුතු විදියටම අර තමුන්වවිකුනන අය අනික් අයගෙ ඉරිසියාව මධ්‍යෙය් ජයග්‍රහනය ගාවට ඉතා ඉක්මනින්ම ලගා වෙනවා.

    ReplyDelete
  2. බ්‍රෑන්ඩ් එකක් වීම නොවීම කෙසේ වෙතත්, වීරයා මියයාම කියන දේ නොවෙයිද නැවත වතාවක් මේ සාක්ශාත් වෙලා තියෙන්නේ?

    සත්තුන්ට උදවු කරන්න බ්‍රෑන්ඩ් එක අතහැරලා බිස්නස් එක සොෆ්ට්ලොජික්ට වික්කා? කලබල වෙන්න දෙයක් නැහැ. ඒ ඇයගේ තේරීම නම්....

    - Dimithri

    ReplyDelete
    Replies
    1. බැන්ඩ් මැනේජර්September 30, 2014 at 12:34 AM

      සත්තුන්ට උදවු කරන එක අනාගතයේ හොදම බිස්නස් එකක්. රෙදි (shopping mall) වලට වඩා තරගයත් අඩුයි.ප්‍රාග්ධන යෙදවුම්, කලමනාකරනය හා අවදානම ඉතා අවමයි. මුදලාලි කෙනෙක් විදිහට පෙනෙන්නෙත් නෑ.
      සත්තුන්ට උදවු කරන එක අනාගතයේ නව දේශපාලන ප්‍රවේශ මාර්ගයක් වීමටද ඉඩ තිබේ !

      Delete
  3. Directed by upul shantha sannasgala
    Produced by Chinthana dharmadasa

    now showing Islanwide......

    ReplyDelete
  4. මේකෙ කේස් එක තමයි මේක කියවන කිසිකෙනෙක් සමාජය හරි තමන් හරි ෆික්ෂන් එකක් විදිහට සීරියස්ලි භාරගන්න තරං බර තැනක් එදිනෙදා ජීවිකේ උදාහරණ වලින් පෙන්නල නැති එක.. ඒක නිසාම වෙන්න නියමිත වෙන්නෙ බ්‍රෑන්ඩ් එකක් වෙන එක කොහොම උනත් මේ සමාජ මෙහොත විසින් යෝජනා කරන කොහොමහරි ගේම ගහල තැනකට පලයං.. ඕන කැරි වැඩක් කරපං අවුලක් නෑ කියන මොටෝ එක ශක්තිමත් වෙන එක.. හෝම්වර්ක් කෝ කියලයි චින්තන මං මේ අහන්නෙ.. උඹේ අරමුණ යහපත් ඇති.. හැබැයි වෙන්නෙ වෙන වැඩක්... හරියටම අර උෟවෙදි ජේවීපී එක පට්ට මහන්සි වෙලා හදපු ආණ්ඩු විරෝධයෙන් යූන්පී එක ගොඩ ගියා වගේ... සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි ලෝ දම් කරකෙනවා මචං

    ReplyDelete
  5. මෙන්න මේ ලින්ක් එකේ සුජීවගෙ ලියුම තියෙනවා ..

    https://www.facebook.com/photo.php?fbid=297138397158206&set=gm.717571938318976&type=1&theater

    ReplyDelete
  6. උපුටා ගැනීමක දි,
    නම සඳහන් කරන්න යාලුවා....

    අමිල නිදහස දිසානායක

    ReplyDelete
  7. අපි විවිධාකාරයේ පොත්පත්වලිං ලබාගන්නා දැනුම, විවිධ පුද්ගලයන් විසින් ලොවට හදුන්වා දුන් නව නිපැයුම් මේ සියල්ල අපි අද භාවිතා කළද සත්‍ය වශයෙන් ඒවා "අපේ" නොවේ.. අපි ඒවායේ වහළුන් වෙමු.. ඒවාද ඒ ඒ පුද්ගලයන් විසින් ස්වකීය ශක්තියෙන් සොයාගන්නා වූ එක්තරා නව "බ්‍රෑන්ඩ්" වේ..

    ReplyDelete