Saturday, October 4, 2014

ඒ රහස් කවුළුවෙන් එබෙද්දි..


කව්වාගෙ පොත ගැන ලියන්න පටන් ගන්නෙ කොතනින්ද? මේ රහස් කවුළුවෙන් එබෙන්න කියන නමෙන්ද? නැත්තං කතාව කියාගෙන යන විදිහෙන්ද? කතාවෙ එළවගෙන යන චරිත වලින්ද?
ඒ වෙනුවට මං කතාවට කොහෙත්ම අදාල නැති චිත‍්‍රපටියකින් පටන් ගන්නවා.

ඒක මට මුණගැහුනෙ මේ පොත කියවගෙන යන දවසකම රෑක. රීකන්ස්ට‍්‍රක්ෂන් තමයි ෆිල්ම් එකේ නම. මේ පොත කියවන හැමෝටම මං කියන්නෙ ඊට පස්සෙ ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඞ් කරගෙන බලන්න. 2003 දි ක‍්‍රිස්ටොෆර් බෝගෙ පළවෙනි අධ්‍යක්‍ෂණය. මේ චිත‍්‍රපටිය ඇතුලෙ නැරටිව් එකත් එක්ක මාර කතන්දරයක් කරනවා. අපිව නැරටිව් එක ඇතුළට ගන්නවා. ඒ වගේම ඒ චරිත ඇතුලෙන්ම නැවතත් නැරටිව් එක කරන්නා හෝ කර්තෘව ප‍්‍රශ්න කරනවා.

‘අපි දන්නවා ඒක ප්ලොට් එකක්. නැත්තං කතාවෙ කොටසක් කියල. ඒත් අපිට වේදනාව දැනෙනවා අපි ඒ තරමට ඒකට ඇළිලා හින්ද...’

මොකක් හරි හේතුවකට මට රීකන්ස්ට‍්‍රක්ෂන් ෆිල්ම් එකේ කතා කරන දේත් එක්ක කව්වාගේ කතාව එකට ගැටගැහෙනවා. ඒක නැරඹීමේ අත්දැකීමක් විදිහට දැනෙන සමීපතාවයක්.

කව්වාගෙ කතාවෙ නමෙන්ම යෝජනා කරන්නෙ අපිට රහසේ මේ කවුළුවෙන් එබිලා බලන්න කියලයි. සම්පූර්ණ කතාවම හැදෙන්නෙ නැරඹුම්කාමී ඇහැකින්. මේක චිත‍්‍රපටි පිටපතක් වගේ කියල කියනවට වඩා මං හිතන්නෙ මෙතනදි වැදගත් වෙනසක් යෝජනා කරනවා. ඒ තමයි කියවීම ඉවර කිරීම කියන අදහස. කියවීම අත්අරින්න කියල මං කලින් කියපු අදහසකදි මට උවමනා කරපු මතුකිරීමත් මේක. අපිට කියවන්න වෙනුවට බලන්න තියෙන පොතක්. භාෂාව ඇතුලෙ වික‍්‍රම පානවට වඩා අකුරු වලින් විෂුවල් හදන, එඩිට් කරන කියවීමක්. හරි වචනෙ වෙන්නෙ නැරඹීමක්.

කව්වාගෙ පොත තියෙන්නෙ නරඹන්න. සාමාන්‍ය නැරඹීමකට එහා ගිහින් කරන්න සිද්ද වෙන ඒක සවිඥාණක නැරඹීමක්. කව්වා රූප හදන්නෙ අපිත් එක්ක කතා කර කර. එතකොට කතාවෙ කොයි වෙලාවකවත් අපි නිකම්ම හාන්සිපුටු නරඹන්නා වෙන්නෙ නෑ. අපේ ඔලූව ඇතුලෙ මැවෙන සමහර රූප එක්ක කව්වා තර්ක කරනවා. වෙනස් වෙනස් යෝජනා කරනවා. චිත‍්‍රපටියක් ඇතුලෙවත් කරන්න බැරි විෂුවල් හරඹයක් පොතක් ඇතුලෙ කරනවා.

කව්වා රූප වල අතිසමීප විස්තර දක්වා යනවා. චිත‍්‍රය සම්පූර්ණයෙන්ම, පූර්ණ සජීවීව මවා ගන්න එයා හැමදෙයක්ම කරනවා. සිද්දියකට වඩා හැම දෙයක්ම අත්දැකීමක් කරනවා. හුස්ම දැනෙන තරම් ළ`ගට චරිත අරන් එනවා. මං ගොඩක් කැමතියි පොත ඇතුලෙ තියෙන දැනෙන නිදහසට. මුණගැහෙන හැමදෙයක් පස්සෙන්ම ටිකක් හරි දුර අපි යනවා. යන බස් එකෙන් පනින මගියෙකුගෙ, ඒ පහු කරන ‘කියා’ ජීප් එකක ඉඳන් ඊට පිටිපස්සෙ එන ලෑන්ඞ්රෝවර් එකක් දක්වා වෙනසත් ඒ වෙනස ඇතුලෙ පේන්න ඉඩ තියෙන සංස්කෘතික කලාපත් සළකුණු කරන අතරෙ අන්තිමට තමන්ගෙ තෝරා ගැනීම කරනවා. ‘කියා’ ජීප් එක. අපි කතාව පටන් ගන්නෙ එතනින්.

කතා සාරංශයක් කරන එක උවමනාවෙන්ම බැහැර කරලා මම කියවීමෙන් පස්සෙ මට දැනිච්ච ටික විතරක් ලියන්නෙ ඒකෙන් පොත නොකියවූ කෙනෙකුට ලිපියෙන් පලක් නොවන විත්තිය දැනගෙනම. ඒ තරමට ඒ කියන්න තියෙන විස්තර මට වැදගත් සහ හදිස්සි හින්ද.

කව්වා කතාව කියන විදිහෙන් මට දැනිච්ච පළවෙනි අවුල වුණේ මේ චරිත වලට පිටතක් විතරක් දීලා තියෙන එක. පිටත විස්තර වලින් ඇතුළත ගැන අපිට හිතාගන්න වෙන එක. ඒත් ආකෘතිය වෙන්නෙ රහසේ කරන නැරඹීමක් හින්දම පිටතින් විතරක් කතාව කියන එක එතනට එක`ගයි. ඒත් ඊටත් වඩා ඒක පිටතක් විතරක් ගැන කියන කතාව ඇතුලෙන් නගරයේ ජීවිත වලට තවදුරටත් ඇතුළතක් අහිමියි කියන එක දැනවීමක්ද? ඒ දිහා බලා ඉන්න අපි විසින් දෙන හෝ යෝජනා කරන ඇතුළතක් මිස සාරයක් වශයෙන් නිශ්චිත ඇතුළතක් කව්වා චරිත වලට දෙන්නෙ නෑ. සාරය දෙන්නෙ එළියෙන් ඇතුළට.

මේ කතාව නගරයේ කතාවක්. මේ චරිත වලට තියෙන්නෙ වෙනස් වෙනස් නාගරික ප‍්‍රශ්න. මට හිතෙන්නෙ ලංකාවෙ පසු-නූතන නගරය ගැන ලියවෙන පළවෙනි නවකතාව මේක.

නගරය ගැන කියන්න කව්වා චරිත කීපයක කතා කීපයක් පාවිච්චි කරනවා. ඒ චරිත එකිනෙක නගරයේ තැන් තැන් වල නාඳුනන විදිහට මුණගැහෙනවා. ඒ චරිත අතරෙ මුණගැහෙන අතුරු චරිතවල කතා හරහා නැවත ඒ චරිත එකිනෙක සම්බන්ද වෙනවා. කව්වාගේ ආකෘතිය ඒක. මට අනුව සාර්ථක කරගන්න අමාරුම ආකෘතියක් එයා තෝර ගන්නෙ.

කොහොම වුණත් ඒක රේඛීය කතාවක් දිගේ යනවා වෙනුවට විවිධ විවිධ චරිත ඔස්සේ, මුණගැහෙන නොගැහෙන චරිත -වාහන- දේවල් එක්ක නගරයේ වියමන කරන එක ඇත්තටම නගරයට කරන සාධාරණයක්. කතාවෙ තේමාවට තමන්ගෙ ආකෘතියෙන්ම අනුගත වෙන එක රහස් කවුළුවේ තියෙන සාර්ථකම මොහොත. මං හිතන්නෙ අපි ජීවත්වෙන හයිබි‍්‍රඞ් නගරෙ හයිඩි‍්‍රඞ් සම්බන්දතා වලට කව්වා රහස් කවුළුවකින් එබෙනවා.

මේ චරිත හැමෝටම තෝරා ගැනීම් තියෙනවා. ඒ හැමෝගෙම සම්බන්ධතා අපි විශ්වාස කරන රේඛාවෙන්, සම්ප‍්‍රදායෙන් කොයි විදිහකින් හරි එලියට තල්ලූ වෙලා තියෙනවා. උදා විදිහට මේ කතාව ඇතුලෙ කිසි කෙනෙක් එක්කෙනෙකුට විතරක් ආදරේ කරන්නෙ නෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍යාව ඉඳන් ගුවන් සේවිකාව දක්වා හැමෝටම ආදරේදි ඔප්ෂන් තියෙනවා. මං හිතන්නෙ ඒකයි නරගය.

අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි පාවිච්චි කරන තාක්‍ෂණය තියෙන්නෙ අපිට එළියෙන් කියල. කොයි වෙලාවකවත් ඒ තාක්‍ෂණය විසින් නැවත අපේ ජීවිතේ සිතියම වෙනස් කරාවි කියල අපි හිතන්නෙ නෑ. උදා විදිහට හයිබි‍්‍රඞ් කාර් එකක් හරි ඩුවල් සිම් ෆෝන් එකක් හරි එක්ක අපේ ජීවිතෙත් වෙනස් පරිණාමයක් ගන්නවා කියල අපිට තේරෙන්නෙ නෑ. ඒත් තාක්‍ෂණය කියන්නෙ අන්තිමට අදහසක්. ඒ අදහස යට තියෙන්නෙ මනුස්ස උවමනාවක්. අපේ තාක්‍ෂණය කියන්නෙ අන්තිමට අපේ ගැඹුරු ආශාව.

මේ නගරය ඇතුලෙ අපි ගත කරන්නෙ ප‍්‍රදර්ශනකාමී ජීවිත. අපේ ඇඳුම් විලාසිතා වාහන විලවුන් හැම පාරිභෝජනයක්ම අරා සිටින්නේ ඒ ප‍්‍රදර්ශනකාමයේ තෘප්තිය. අහස උසට නගින වීදුරු බිල්ඩින්ග් අවධාරණය  කරන්නෙ නගරයේ අසීමිත ප‍්‍රදර්ශනකාමය. අපි එකිනෙකා මුණගැහෙන්නෙ ඒ ප‍්‍රදර්ශනකාමයේ ෆෙටිෂ ඇතුලෙන්. මේ කිසි දෙයක් කව්වා අතින් විනිශ්චය වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ කාමය දිගේ ගලායන ජීවිත සහ ඒවායේ ඉවුරු ගැන තවත් රෝගී නැරඹුම්කාරී ඇසක් වීමේ ආස්ථානය එයා ගන්නවා. ප‍්‍රදර්ශනකාමය දෙස බලා සිටින නැරඹුම්කාමී අපි. තාක්‍ෂණයේ ඇතුළාන්ත ආශා ගතිකය කව්වා ජීවිත වලට ගේනවා. ප‍්‍රදර්ශනකාමය සහ නැරඹුම්කාමය අතර දෝලනය.

හැම චරිතයක්ම හුදකලා න්‍යෂ්ටික, දරුවන් අහිමි නාගරික කුටුම්භ ඇතුලට දාන කව්වා විශ්ව විද්‍යාලෙ පද්මිගේ චරිතය විතරක් ගමට සම්බන්ද කරනවා. මේ කතාවෙ එකම ඉමෝෂනල් ත්‍රෙඞ් එක හැදෙන්නෙ පද්මි හරහා. වෙන කිසිම චරිතයකට හීනයක් නැති වෙද්දි පද්මිට, ටානියාට විතරක් තාම හීන තියෙනවා. නගරයට ෆැන්ටසියක් නෑ. නගරයෙ තියෙන්නෙ එතන, ඒ මොහොතෙ, හිස්කම විතරයි. නගරයේ ජීවිත දරා ඉන්නෙ සාරයක් අහිමි ඒ පරාරෝපිත හිස්කම. ඉමෝෂනල් වෙන කෑල්ල තියෙන්නෙ ගමේ.

කව්වා මේක ලස්සනට කියනවා. පොතේ තැන් තැන්වල එයා සමනලයෙක් ගැන කතාවක් කියනවා. මේ සමනළයා ගැන මුලින්ම අර්ත කතනය දෙන්නෙ මැරෙන්න වැටිලා ඉන්න පිස්සු මැහැල්ලක්. එයා කියනවා සමනල්ලූ යන්නෙ දිව්‍යලෝකෙ දිහාවට කියල. නගරයේ ෆැන්ටසියක් තියෙන එකම කොටස පිස්සු මහල්ලන් විතරයි. ඒ සමනළයා පද්මිගේ නිල්වලා ග`ගබඩ ගෙදර මිදුලෙ නිතර ඉන්නවා. වැඩියෙන්ම සමනල්ලූ ඉන්නෙ පද්මිලාගෙ ගමේ මිදුලෙ. කිඹුල්ලූ කාලා මැරුණත් ඒක අන්තිමට සමනල්ලූ ඇවිත් අරන් ගිය කතාවක් වෙනවා. ෆැන්ටසිය ඒ තරම් ප‍්‍රබලයි.

නගරයේදි මේ සමනළයා අපිට මුණගැහෙන්නෙ කීටැග් ඇතුලෙ ගල් වෙලා. නැත්තං කඩදාසි බරුවක් ඇතුලෙ හිරවෙලා. එහෙමත් නැත්තං ටීවී එකක් ඇතුලෙ. නගරය කියන්නෙ හීන ඝනීභූත කරපු පුරවරයක්. එහේ හීන ඉගිල්ලෙන්නෙ නෑ.

නාගරික ජීවිත වලට දේශපාලනය අදාල නෑ. සුදු වෑන්, උද්ඝෝෂණ මේ හැම දෙයක්ම ගමෙන් නගරයට සිද්ද වෙන ආක‍්‍රමණ. නැත්තං නාගරික ජීවිතවල දේශපාලනය වෙනස්. ඒවා තීරණය වෙන්නෙ වේගවත් අසහනකාරී පරිභෝජන සංස්කෘතිය ඇතුලෙ. ඒක හින්ද ආණ්ඩු එක්ක ප‍්‍රශ්නයක් නගරයට නෑ.

මේ වේගය, බහුලතාවය සහ පරාරෝපණය ඇතුලෙ තාමත් වැඩ කරන (නැත්තං එල්ලිලා ඉන්න) සාම්ප‍්‍රදායික සංකල්ප වලට මොකද වෙන්නෙ? කසාදය සහ ආදරය කියන සංකල්ප හයිබි‍්‍රඞ් වෙන එක ගැන තියුණු අදහසක් කව්වා අරගෙන එනවා. තවදුරටත් නගරයේ අතිශය න්‍යෂ්ටික වූ අපාර්ට්මන්ට් පවුලෙ විවාහ සංස්ථාව කොහොම වෙයිද? ඒක භාර්යා, ඒක පුරුෂ විවාහය කියන්නෙ තවදුරටත් නගරයේදි හිස් සංකල්පයක් විතරක් වෙද්දි ආදරය ගැන නිර්ණායක වෙනස් කර ගැනීම කව්වා චැලෙන්ජ් එකක් විදිහට ගේනවා.

මං හරිම ආසයි අන්තිමට නියම් අනියම් පෙම්වතුන් හතර දෙනා සෝපාවක් උඩ නතර වෙන තැනට.   එතකොට එලියෙන් ඇහෙන මොන ආගමේද කියන්න බැරි හ`ඩට. මේ අලූත් සම්බන්දතා රටාවට ආගමක් උවමනා කරලා තියෙනවා. ඒක මෙච්චර කාලයක් තිබ්බ කිසි ආගමක් නෙමෙයි. වෙන විදිහකට කිව්වොත් නගරයේ අපිට අපේ ආගම් අහිමි වෙමින් යනවා. ආයිමත් කැළණි විහාරෙන් ඒ පව් හෝදගෙන අලූත් වෙන්න අමාරුයි. අපිට නැවත අපිට හරියන ආගමක් නිර්මාණය කර ගන්න සිද්ද වෙනවා.

කව්වාගෙ රහස් කවුළුවෙන් මං දැක්කෙ මේ කතාව. ඒක කොයිතරම් තියුණු සහ ආහ්ලාදජනක වුණත් කතාවෙ සමස්ත අවසානය මට ටිකක් මදි වගේ දැණුන. ආකෘතියක් ඇතුලෙ ධාරානිපාත හරඹයක් කරන හින්දම කව්වා මේ අන්තිම කෑල්ලෙදි හිරවෙනවා කියලයි මට හිතෙන්නෙ. සාමාන්‍යයෙන් ගොඩක් මල්ටි ප්ලොට් කතා වලට මේ අවසානය ජයගැනීමේ අභියෝගය අමාරු වෙනවා. ඒක ආකෘතියේ දැඩිබව විසින්ම කර්තෘව අසාර්ථක කිරීමේ අනිවාර්යයක්.

ඒ වගේම කව්වාගේ පොතට පසු- අදහසක් වුණත් මට හිතෙනවා ඉහළ මධ්‍යම පාංතික ජීවිත ගැන කියන කොට තාමත් අපි ගොඩක් අසමත් වෙනවා කියල. කව්වා කතාව පටන්ගැන්මෙදි ලෑන්ඞ් රෝවර් එක පස්සෙ නොයන්න ගන්න තීරණය අහම්බයක් නෙමෙයි. ඒ තීරණය හරහා මේ පොතේ වුණත් අපිට නැවත මුණගැහෙන්නෙ සිංහල බෞද්ද ඉහළ මධ්‍යම පංතිය. ඒකට යම් කිසි මූලයන් හෝ සාරයන් තියෙනවා වගේම අපිට පුළුවන් වෙනවා ලේසියෙන්ම අපේ තත්වයන් වලින් මේ චරිත වලට සාපේක්‍ෂතා ගොඩනගන්න. ඒත් එහෙම නොවන, රටේ සාම්ප‍්‍රදායික මූලයන් එක්ක කිසිම ගණුදෙනුවක් අහිමි පූර්ණ පරාරෝපිත මධ්‍යම පංතියේ ජීවිතය ගැන අපිට ලියන්න කිසි දෙයක් නෑ. සෙක්ස් හෝ සල්ලි කියන සිංහල බෞද්ද මධ්‍යම පංතියේ දුප්පත් උවමනා දෙකට පිටින් (අපේ උවමනාවන් ඒ පංතිය මත ප‍්‍රක්‍ෂේපනයෙන් ඒකට සාපේක්‍ෂ තේරුම් හැදීමෙන් තොරව) මේ කියන පංතියේ සැබෑ තෘප්තිය ප‍්‍රතිනිර්මාණය කරන්න තාම අපි අසමත් කියල මට හිතෙනවා.

ඒත් මීට කලින් කවදාවත් කෙනෙක් නොගිය දුරක් කව්වා මේ රහස් කවුළුව ඇතුලෙන් යනවා. මට දැනෙන ප‍්‍රධානම සහ තීරණාත්මකම කාරණය වෙන්නෙ මේ කියවීම නැරඹීමක් කිරීම හරහා අපිවත් ඒ අත්දැකීමේ කොටසක් කරන එක. බාහිරයයි අන්තර්ගතයයි දෙකම එකක් කරලා ගන්න එක. ඒ හරහා හොඳ නරක හෝ ආචාර ධර්මීය විනිශ්චයන් මගහරිමින් ඒක අපේ අඳුරු නැරඹුම්කාමී ආශාවක් කරන එක. ඒ පොත කියවීමම අපි ඒ ආශාවට නතු වීමක්.

මේක කව්වාගේ පළවෙනි වැඬේ. ඒ වගේම ඒක ලංකාවෙ බියුටිෆිකේෂන් කරන ලද නගරය ගැන ලියවෙන පළවෙනි වැඩෙත් මේක.  මේ වියමන ගැන, මේ සංකල්ප ගැන නැවත නැවත කතිකා ඇති වෙන එකයි වැදගත්. ඒකට හේතුව ඒ හරහා අපිට අපේ ජීවිත, අපේ අත්දැකීම්, අපේ විපරීතය කතා කරන්න පුළුවන් භාෂාවක් හදාගන්නත්, ඒක නිර්මාණයට ගේන විදිහ ගැන ගැඹුරෙන් හිතන්නත් ඉඩ හදාගන්න පුළුවන් වෙන එක.

වෙන විදිහකින් කිව්වොත්  නාගරික ආත්මය තේරුම් ගන්න පුළුවන් අලූත් ආගමක් අපි නිර්මාණය කරන එක.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment