Saturday, February 28, 2015

බොර දිය පොකුනේ මාළු බාන්න එන්න..



බොරදිය පොකුණ හෝල් එකේ බලන්න යන්න මට තාම බැරි වුණා. ඒත් මං ඒක කලින් කීප වතාවක් පොඩි පොඩි ස්ක‍්‍රීනින් වලදි බලලා තියෙනවා. අවුරුදු දහයක් තිස්සෙ එකම චිත‍්‍රපටියක් එක්ක ඉන්නවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක ද`ඩුවමක්. සත්‍යා ඉන්ටවිව් එකක ඒක හරි ලස්සනට කියලා තිබුණ. ‘අනිත් අයගෙ දරුවො ලොකු මහත් වෙනවා, ඉස්කෝලෙ යනවා මං බලාගෙන හිටියා...’ දරුවෙක් බිහිකිරීමේ දසමස දසවසක් දක්වා දික්වුනොත් කොහොම වෙයිද? සත්‍යට වුනේ ඒක.

මේ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනයට අවසර ලබා නොදුන්නෙ බුද්ධාගමට හානියක් වෙනවා වගේ අදහසකින්. සමහර විට නිරුවත් සහ ලිංගික දේවල් ගැන කතා කරන විවෘත ආකාරය වගේ දේවලූත් හේතු වෙන්න ඇති. මං කියන්නෙ මේවා පිටට කියන්න පුළුවන් හේතු විදිහට අපි නිර්මාණය කර ගත්ත ඒවා. ඇත්තටම මේ වාරණය එන්නෙ ඇතුලෙන්. මේක තිගැස්මක්. අපි නිරුවත් වුණා හෝ පැවැත්ම පිළිබඳ අර්බුදයකට ගියා වගේ හෝ ඩිග්නිටි එක සම්බන්ද අවුලකට යනවා මේ චිත‍්‍රපටිය ඇතුලෙ. ඒක අපෙන් බාහිර සිනමාවක් වගේ තැනක තියලා සරලව ගෙදර යන්න බැරි වෙනවා. කිසි තේරුමක් හිතාගන්න බැරි විදිහට, ‘මේ වගේ කුණුජරාව පෙන්නන්නෙ මොකටද බං?’ විදිහෙ විචාර වල තියෙන්නෙ ඒ අසරණකම.

මේ චිත‍්‍රපටියට ආපු වාරණය ස්වභාවික එකක්. ඒක අපේ මනස විසින් පනවාපු එකක්. සත්‍යා මෙතන කරන්නෙ ‘ආර්ට්’ එකක්ද කියන ප‍්‍රශ්නෙ මට තියෙනවා. සිනමාවෙ රූපය, භාෂාව, සෞන්දර්ය රීති වෙනුවට සිනමාව ජීවිතේ ගැන භාවනාවකට තල්ලූ කරනවා. ඒකට සිනමාව කියන එක චිත‍්‍රපටියෙන් ඈත් කරන්න  ඕන. ශුද්ධ ජීවිතයට ඉඩ දෙන්න  ඕන.

මිනිස්සු භාවනාවට බයයි.

මේ චිත‍්‍රපටිය බෞද්ධ චිත‍්‍රපටියක්. බෞද්ධ කියන්නෙ බුද්දාගම්කාරයන්ගෙ අදහසෙන් නෙමෙයි. මේ චිත‍්‍රපටිය නූතන ජාතක කතාවක්. ඒක පූර්වාපර සන්ධි ගැලපීමේ තාක්‍ෂණයට එහා යන එකක්. මේ චිත‍්‍රපටිය ඇතුලෙ බෞද්ධ සමාජ සංස්කෘතික ජීවිතය කියන එක පළවෙනි වතාවට තිරය උඩට ගේනවා. බෞද්ද ඉතිහාසයක් ඇති අපේ ජීවිතවල වර්තමානය කියනවා. අපි ඇතිවීම් සහ නැතිවීම් දරාගන්නා හැටි, අපේ ආශාවන් එලවාගෙන යන හැටි, අපි ජීවිතයේ දුක එක්ක යාත‍්‍රා කරන හැටි... සත්‍යා මේ හැමදෙයක්ම කියන්නෙ බෞද්ද දෘෂ්ටියක් ඇතුලෙ ඉඳගෙන. බොර දිය පොකුණ කියන නම පවා යෝජනා කරන්නෙ ඒ ආධ්‍යාත්මික දැක්ම කියලයි මං හිතන්නෙ.

ඒක දෘෂ්ටිවාදයක හිරවීමක් වෙනුවට අපිට අනන්‍ය සාමූහික විඥානයක් එක්ක, කිසිදු පරාරෝපණයකින් තොරව, අපි දිහා බැලීමක් විදිහටයි මං දකින්නෙ. මේක යම් පමණකට හෝ මං කලින් දැකලා තිබුනෙ සේකරගේ තුං මං හන්දියෙන් විතරයි. ඒත් සත්‍යා තරම් පරිණතව, යෝගීව නෙමෙයි.

නරඹන අත්දැකීමක් විදිහටත් බොරදිය පොකුණ සිනමාවකට වඩා භාවනාවක් යෝජනා කරනවා. භාවනාවෙදි තමන්ගේ සිතුවිලි පරම්පරාව පිළිබඳ සාක්ෂිකරුවෙක් හැටියට විනිශ්චයකින් තොරව බලා ඉන්න පුරුදු කරනවා වගේම මේ චිත‍්‍රපටියෙ අපේ ජාතක පරම්පරාව දිහා, අපි දිහා විනිශ්චයකින් තොරව බලා ඉන්න අභ්‍යාසයක් තියෙනවා. කොතනකින් හෝ කොතනදී හෝ නරඹන්නා ක්ෂනික ආත්ම ලැජ්ජාවකින් ඇතිවෙන හිරිවැටී යාමකට ලක්වෙන්න නියමිතයි. එතන පංති භේදයක් නෑ.

ඒ ලැජ්ජාව නිසා ඇතිවෙන ඉක්මන් ප‍්‍රතික්‍ෂේප කිරීම ඇතුලෙයි ‘මේක කුණු ගොඩක්’ කියන අදහස උපදින්නෙ. ඒක හරියටම ශරීරය කුණු ගොඩක් කියන බෞද්ද අදහසමයි. සත්‍යාගේ කතාවත් ඒකයි. මේ සමාජ දේහය කුණු ගොඩක්. ඒක කුණු වලක්. ඒ කුණු වලේ නෙළුම් පිපෙනවාද කියල බලන්නයි එයා කතා කරන්නෙ. මඩ ගාගන්නෙ නැතුව නෙළුම් නෙළන්න බැරි වග අපි දැනගෙන යන්න  ඕන.

මේ බෞද්ද සම්ප‍්‍රදාය, සංස්කෘතිය ඇතුලෙ ජාතක වුණු ලාංකේය ක‍්‍රිස්තියානි සමාජ ආධ්‍යාත්මයත් වියමන ඇතුලට එනවා. ජාඇල, හලාවත, මීගමුව සමාජ සංස්කෘතික විඥාණය සිංහල බෞද්ද විඥානයත් එක්ක මූනට මුනගැහෙනවා.

ගලා එන වතුර පාරක් කොතනක හෝ රැුඳෙන මොහොතකදි එතන පොඩි වතුර වලක්, නැත්තං පොකුණක් හැදෙනවා. ඒ පොකුනෙ මාළු නටනවා. නෙළුම් පිපෙනවා. ඒත් යටින් හෙමින් වතුර ගලා බහිනවා. අපි හැමෝම පොකුණක් දැක්කට ඒ එකම පොකුණ නෙමෙයි. අපි වෙනස් වෙනවා. ඊට සාපේක්‍ෂව සහ නිරපේක්‍ෂව පොකුණත් වෙනස් වෙනවා.

මට සත්‍යා බොර දිය පොකුණ දිහා බලාගෙන ඉන්න සෙයියාව මතක් කරන්නෙ හර්මන් හෙසගේ සිද්ධාර්ථ. සිද්ධාර්ථ ග`ගක් දිහා බලාගෙන ඉඳලා ජීවිතාවබෝධය ලබනවා. ඒ ආධ්‍යාත්ම මාර්ගයේ හෙවනැල්ලක් බොරදිය පොකුණ දිහා බලන් ඉඳලා නැගිටලා එද්දි දැනෙනවා.

ඒක චිත‍්‍රපටියකට වඩා ආධ්‍යාත්මික ප‍්‍රකාශනයක් හැටියට මං දකින්නෙ ඒකයි. අවුරුදු 10ක් තිස්සෙ තමන්ගෙ ආධ්‍යාත්මික ප‍්‍රකාශනයක් හිර කරගෙන ඉන්න එක චිත‍්‍රපටියක් හිරකරගෙන ඉන්නවට වඩා ගොඩක් අමාරුයි. එක අතකින් ඒක සත්‍යා වගේ මිනිහෙකුට වෙච්ච එකත් හොඳයි. ඌට ඒවා දරන්න පුළුවන්.

ෆිල්ම් එක රිලීස් වුණත් එක්ක ගැමුණුගේ ‘මතක පද’ ප්‍රෝග‍්‍රෑම් එකට ඇවිත් සත්‍යා ‘13 හෝර්සස්’ කියල සිංදුවක් එයාගෙ ආසම සිංදුවක් විදිහට නම් කරනවා. ඒක ඇලෙක්සැන්දර රයිබැක් කියන අවුරුදු 28ක් වයස බෙලොරුසියානු සංගීතකරුවාගේ නිර්මාණයක්. මේ සිංදුවෙන් දැනිච්ච ගැඹුර හින්දම මං රයිබැක් ගැන ටිකක් දුර කියෙව්වා.

රයිබැක් කියන්නෙ 2009 යුරෝවිෂන් සෝන්ග් කන්ටෙස්ට් කියල රුසියාව නෝර්වේ ආශ‍්‍රිත රටවල ජනප‍්‍රිය ඇමරිකන් අයිඞ්ල් වගේ තරගයකින් (අපේ නං සිරස සුපර් ස්ටාර්* ජයග‍්‍රහනය කරන තරුණයා. ඒත් අපේ වගේ නෙමෙයි ඒ රටවල මේ තරගවලට පවා ඉදිරිපත් වෙන්නෙ ටිකක් දරුණු හැදෑරීම් සහ විනයන් ඇති අය. උදා විදිහට රයිබැක් අවුරුදු 10 විතර ඉඳන් සංගීතය විධිමත්ව ප‍්‍රගුණ කරන චරිතයක්. එයා හැදෙන්නෙ දැඩි ක‍්‍රිස්තියානි පවුලක් ඇතුලෙ. ඒ සංස්කෘතියක් ඇතුලෙ. රයිබැක්ගෙ විශිෂ්ටතම නිර්මාණයක් වෙන 13 හෝර්සස් හැදෙන්නෙ එතනින්.

අවුරුදු 28ක කොල්ලෙක් කොහොමද මේ ඛේදවාචක පතුල ස්පර්ශ කරන්නෙ? මට දැණුන කුතුහලය ඒකයි. රයිබැක්ගෙ ජීවිතේ කිසිම වෙනසක්, පැල්මක් හොයාගන්න බෑ. ඒ තරමට විධිමත්, රාමුගත යුරෝපීය ජීවිතයක් ඒක.

ඒත් එයාට තියෙනවා පාලනය කර ගත නොහැකි කේන්ති යාමේ රෝගයක්. එකපාරක් තමන්ට අවශ්‍ය විදිහට ශබ්දය පාලනය කළේ නෑ කියල එයා තමන්ගෙ අත ඇ`ගිලි කීපයක් කැඩිලා යන තරම් තදින් බිත්තියක ගහනවා. ස්විඩිෂ් ටීවී චැනල් එකක රිහර්සල් මැද්දෙ වයලින් එක කුඩුවෙලා යන්න පොලොවෙ ගහනවා. චැනල් එකෙන් වහාම ඒ ප්‍රෝග‍්‍රෑම් එක කැන්සල් කරනවා.

රයිබැක් එයාගෙ කේන්ති යාම ගැන මෙහෙම කියනවා. ‘මං කවදාවත් මීට කලින් මගේ කට ඇරලා නෑ. ඒකයි මං එහෙම කළේ. මිනිස්සු දකින්න කැමති ග්ලොසි කැරැුක්ටර් එකක් නෙමෙයි මං. මාත් සාමාන්‍ය මිනිහෙක්. ඒ විදිහට මගේ මානසික කඩාවැටීම් එලියට එන එක හොඳයි, ඒකෙන් මට තව ඉස්සරහට යන්න පුළුවන්...’
සමහර විට මේ කේන්තිය එයාගෙ අභ්‍යන්තර පැවැත්මෙ අප‍්‍රකාශිත පැල්මක ප‍්‍රකාශනයක් වෙන්න ඇති. කොහොම නමුත් ඒක එයාගෙ ක‍්‍රිස්තියානි ආත්මයේ දැක්ම එක්ක සම්බන්දයි. 13 හෝර්සස්් කියන්නෙ ගැඹුරු සාංදෘෂ්ටික වේදනාවක්.

ගිලෙන නැවකින් අස්සයො 13 දෙනෙක් මුහුදට පනිනවා. ඒ අස්සයො තමයි වඩා ශක්තිමත්ම උන්. උන් පීනනවා ඉවුරක් හොයාගෙන. උන් දකිනවා උන්ගෙ ආඩම්බර හාම්පුතුන් ගිලෙනවා. උන් උත්සාහය අත් නොහැර පීනනවා. තමන්ගෙ ශක්තිය ගැන විශ්වාසයෙන්. එක එකා අස්සයො ගිලෙනවා. ඒත් අනිත් උන් පීනනවා.. අන්තිම අස්සයාත් ගිලී මැරෙන තාක් උන් බලාපොරොත්තුව අත්අරින්නෙ නෑ... ඇෙ`ඩනවා.
රයිබැක් සිංදුව ඉවර කරන්නෙ බලාපොරොත්තුව කවදාවත් මැරෙන්නෙ නෑ කියන තැනින්. ඒත් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ජීවත් වුණු උන් මැරිලා යන්න පුළුවන්. පැවැත්මේ ඛේදය, සිද්ධාර්ථ අවුරුදු 29දි දැකලා බයවෙච්ච දේ රයිබැක් රුසියාවෙ ඉඳන් 28දි දකිනවා. ඒ තමයි අස්සයො 13 දෙනාගේ සිහිනය.

සත්‍යා මේ සිංදුව තමන්ගෙ කැමතිම සිංදුවක් විදිහට තියාගන්නෙ අහම්බෙන් නෙමෙයි. මේ තමන්ගෙ ප‍්‍රකාශනයට සමාන්තර යුරෝපීය අනෙකා. පැවැත්මේ ශුන්‍යතාවය ගැන බෞද්ධ දැක්ම සහ ක‍්‍රිස්තියානි දැක්ම අතර වෙනසක් විදිහටයි මට බොරදිය පොකුණ සහ අස්සයො 13 දෙනාගේ සිහිනය පෙණුනෙ. එකම අර්බුදය. රයිබැක් දකින්නෙ අස්සයො. සත්‍යා දකින්නෙ මාළුවො. රයිබැක් දකින්නෙ මුහුදක්. සත්‍යා දකින්නෙ පොකුණක්.

බලාපොරොත්තුව විතරක් ඉතිරි කරමින් මිය යන ජීවිත අඳුරු නාඳුනන සාගරයක හුදකලා කරනවා වෙනුවට සත්‍යා සංසාරය එක්ක ගැටගහනවා කියල මට හිතෙනවා. රයිබැක් යෝජනා කරන්නෙ මරණය. සත්‍යා යෝජනා කරන්නෙ යළි යළිත් ඉපදීම. රයිබැක්ගෙ අඳුර සහ ඩිප්‍රෙස් වීමට වෙනස්ව සත්‍යා ජීවිතය දිහා බලාගෙන ඉන්න උපේක්‍ෂාව අරගෙන එනවා. සිදත් මෝසස් ෆර්නැන්ඩස් කියන හදාගන්න ගන්න පොඩි එකා කියන්නෙ ඒ නැවත උත්පත්තිය. සිංහල බෞද්ද, සිංහල ක‍්‍රිස්තියානි හැමෝගෙම අවසාන විමුක්තිය. කාගෙ හරි දරුවෙක්....

ඒක එක විදිහකට අපි ජීවිතේ ගැන බඳින අත්නොහරින පේ‍්‍රමයේ උත්තුංගභාවය වෙන්න පුළුවන්. තව විදිහකට පලා යා නොහැකි හිස්කම, ඛේදය තමන්ගෙන් පසු ජීවිතයක බලාපොරොත්තුවෙන් මුවාකර ගැනීම වෙන්නත් පුළුවන්. වෙන විදිහකට කිව්වොත් මගහැර යා නොහැකි පැවැත්මේ දුක සහ ඒ දුක පැලැස්තර කරන තෘෂ්ණාව වෙන්න පුළුවන්.

පැවැත්ම විසින් නිතර මුණගස්සන හිස් ගැඹුරු පාතාලය නොදැක ඉන්න අපි නිතර අපෙන් බාහිර විශාල දේවල් නිර්මාණය කරගන්නවා. සල්ලි, බලය, පවුල, තමන්ගේ ජීවිතයත් ඉක්මවා වැඩෙන ජීවිතයක් යෝජනා කරන දරුවෙක්... මේ මොකක් හරි වෙන්න පුළුවන්. වැදගත් වෙන්නෙ තමන්ගේ කුඩා බව වැසී යන විශාල නිර්මාණයක්. තමන්ගේ ශක්තියෙන්, වෑයමෙන් ගොඩනැගිය හැකි, තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය පසක් කර දෙන යමක්. මේ දුක වසන එකම මිනිස් ප‍්‍රයෝගය ඒක.

සත්‍යා කතා කරනවා ඒ අසරණකම දකින්න. නිවනක් නැති සංසාරයක් දිහා බලාගෙන ඉන්න. ඒක දරුණු වැඩක්.

බොර දිය පොකුණ කියන්නෙ ථේරවාදී බෞද්ධ බණ පදයක් වෙන්නෙ එතනදි.

-චින්තන ධර්මදාස

Saturday, February 7, 2015

මුනිවර මරණයක නිදහස




සිගරට් පැකට් වැහෙන්න පිළිකා පිංතූර දාන්න පටන් ගත්තා. ඒ මදිවට සිගරට් ලූස් දෙන එකත් නවත්තන කතාවක් තියෙන්නෙ. බැලූ බැල්මට ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් හිතලා ගන්න තීරණ මේවා. ඒත් ඒ බැලූ බැල්මට විතරයි. සිගරට් ලූස් දෙන එක නවත්තන එකෙන් වෙන්නෙ මිනිස්සු බීඞී බොන්න පුරුදු වෙන එකයි. නැත්තං වෙන හොර බාල සිගරට් මාර්කට් එකට එන එකයි. ඊට පස්සෙ ආයිමත් පොලිසිය පැන පැන  ඕවා අල්ලන්න ගන්නවා. බොළඳ වර්ගයේ ඩ‍්‍රාමා විතරයි ඉතුරු වෙන්නෙ.

සිගරට් බොන එක අඩු කරන්න  ඕන නම් ආණ්ඩුව ඒකට ආදේශක ගේන්න  ඕන. වෛද්‍ය විද්‍යාව දුර්වල විදිහට අසමත් වෙලා තියෙනවා මිනිහෙක් දුම් බීමෙන් ලබන තෘප්තියේ අයිතිය උරුම කරලා දෙන්න. වඩා නිර්මාණශීලී පාරිභෝජනයක් සීමා කිරීම හරහා ඒකාකාරී ජීවිතය ආරක්‍ෂා කිරීමයි පිළිගත් මතය වෙලා තියෙන්නෙ. ඒත් අඩු ගානෙ සාමාජීය මට්ටමෙන් වෙනත් ආදේශක යෝජනා කරන්න, විවෘත කරන්න ආණ්ඩුවට පුළුවන්. දුම්කොළ වෙනුවට වෙන සිගරට් වර්ග. මගේ අන්තගාමී අදහස අනුව නම් කංසා නීතිගත කරන එක වගේ දේවල්. අඩු ගානෙ ලෝක මට්ටමෙන් ටිකක් වත් ප‍්‍රගතිශීලී රටක් විදිහට අපිට නමක් හදා ගන්න පුළුවන්. ඊටත් වඩා සංචාරක කර්මාන්තය පැත්තෙන් ලොකු දියුණුවක් අත්පත් කර ගන්නත් පුළුවන්. කංසා බීලා මිනිස්සු අපරාධ කරනවා වගේ මැටි තර්ක නගන අයට කරන්න තියෙන්නෙ  ඕලන්දය වගේ රටක් ගැන කියවන එකයි.

මොනවා වුණත් මේ ලියමනේ අරමුණ දුම්බීම සාධාරණීකරනය කරන එක නෙමෙයි. ඒත් අපි ජීවිතය ගැන හිතන පැත්තෙ ප‍්‍රශ්නයක් මෙතන තියෙනවා. අපි ජීවිතය කියල දකින්නෙ, නීතිගත කරගෙන ඉන්නෙ මේ ශරීරය පවත්වාගෙන යාම කියන පදනම විතරයි. අපේ මානසික තෘප්තීන්, අපේ ආශාවන් හඹා යාම් අපේ ව්‍යවස්ථාව ඇතුලට ගේන්න අපි අසමත් වෙලා තියෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටක අපි ඒ ගැන හිතලාවත් නෑ. ඒ වෙනුවට ආශාව දමනය කිරීම තමයි වඩා හොඳ හෝ ආධ්‍යාත්මික කියල තහවුරු වෙලා තියෙන්නෙ.

සිගරට් කතාවෙන් පටන් ගත්තෙ සිගරට් බොන එක වළක්වන්න ආණ්ඩුව ගත්ත පියවරේ මානසික මට්ටම ගැන සාකච්ඡුා කරන්නයි. එතනදි සිගරට් බීමේ ආශාව මඩින්න හදන්නෙ මරණය ගැන බය පාවිච්චි කරල. මරණය ගැන බය සමාජගත කරන එක පිළිකාවකින් මැරෙන එකට වඩා ගොඩක් අහිතකර සමාජ ප‍්‍රතිඵල ඇති කරාවි කියල කිසි කෙනෙක් හිතන්නෙ නෑ. ජීවිතය ගැන බය, මරණය ගැන භීතිය නැවත නැවත පාවිච්චි කරන එකෙන් සෞඛ්‍ය බේරගන්න හිතන එකම මුළාවක්. පිළිකාවකට වඩා භීතිය සෞඛ්‍යයට අහිතකරයි.

සිගරට් කතාවෙන් ගැලවිලා මං මට  ඕන කතාවට යන්නං. මරණය බාර ගන්න තැනට ආකල්පමය වෙනසක් ඇති කරන එක සුවදායී සමාජයක අවශ්‍යතාවයක්. අඩුගානෙ අපි මාර දියුණුයි කියන වෛද්‍ය විද්‍යාවත් අසමත් බව දැනෙන අවස්ථා වැඩි වෙද්දි මේ ආකල්පමය වෙනස වෙනුවෙන් අපි වැඩ කරන්න  ඕන. ජීවිතය දුකයි කියන බෞද්ධ මිත්‍යාවෙ ගැලිලා ජීවිතේට සිද්ද වෙන හැමදේම බාර ගන්න ලෑස්ති වෙනවට වඩා සවිඥාණකත්වයක්, අභිමානයක් ජීවිතේට දෙන්න අපි හුරු වෙන්න  ඕන. එතනදි තියෙන පළවෙනි කොන්දේසිය මරණය බය උපදවන කාරණයක් කියන තැනින් සමාජය එළියට ගන්න එක. වෙන විදිහකින් කිව්වොත් මරණයේ වේදනාව අහෝසි කරන එක.

සුවදායී මරණයක අත්දැකීමක් සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා නම් මරණය ගැන පවතින බය අඩුවෙනවා. බට ගහපු, මැෂින් වලට හයි කරපු, ඇෙ`ග් කෑලි කෑලි බද්ධ කරපු, එළවළුවක් වගේ වුණු ජීවිතය වෙනුවට වේදනාව රහිත මරණයක් සහතික කළ, තෘප්තිය වෙනුවෙන් ගත කරන ජීවිතයක සංකල්පයක් සමාජයට අරගෙන එන්න  ඕන කරනවා. එක පැත්තකින් ආගමික විදිහකට මේ ආකල්පයන් සමාජගත කරන්න පුළුවන් අතරෙදි අනිත් පැත්තෙන් අසමත් වුණු, නින්දා සහගත ජීවිතයක් උරුම කර දීම වෙනුවට මිනිහෙක් විදිහට ආඩම්බරෙන් මැරෙන්න පුළුවන් තත්වයක් හදලා දෙන්න රජයකට, වෛද්‍ය විද්‍යාවට මැදිහත් වෙන්න පුළුවන්.

අපිට ආලෝක වර්ෂ ගානක් දුර අදහසක් විදිහට පෙනුනත් ලෝකෙ වඩාත්ම දියුණු රටවල යුතනේෂියා (සුවදායී මරණය) නීතිගත කරලා තියෙන්නෙ මේ ගැඹුරු සිතීම ඇතුව. ඇත්තටම සමාජයක සිතීමේ ගැඹුර පේන්න ගන්නවා ඒ සමාජයේ සම්මත වෙන නීති හරහා. උදා විදිහට අන්‍යාගමික පණත වගේ දේවල් සම්මත කරගන්න මරාගන්න සමාජයකට යුතනේෂියා නීතිගත කරපු සමාජයක තරම හිතාගන්නවත් අමාරුයි. ඒත් මරණයේ අයිතිය පවා නැවත මිනිස්සුන්ට අරන් එන්න තරමට දියුණු සංස්කෘතීන් මේ ලෝකෙ තියෙනවා.

ඒ වගේ රටවල සදාකාලික රෝගීභාවයකට පත්වෙච්ච කෙනෙකුට වේදනා රහිත සුවදායී මරණයක් ලබා ගැනීමේ ඉඩ නීතියෙන් විවෘත කරලා තියෙනවා. එතනදි ස්වේච්ඡුාවෙන්, වෙන කෙනෙකුගේ ඉල්ලීමක් මත, සහ බලහත්කාරයෙන් කියල වර්ග තුනකට මේ සියදිවි නසා ගැනීම වර්ග කරනවා. ස්වේච්ඡුාවෙන් ගන්නා තීරණයක් අනුව වෛද්‍යවරයෙකුගේ සහාය මත ජීවිතය අවසන් කරන්න අවස්ථාව පුරවැසියෙකුට තියෙනවා. ඒකෙ අර්බුදයක් නෑ. ඒත් සමහර අවස්ථාවලදී කිසිවක් කර කියා ගන්න බැරි දරුවෙක් ඒ වගේ ලෙඩකින් පීඩා විඳිද්දි මව්පියන්ට ඒ තීරණය ගන්න සිද්ද වෙන්න පුළුවන්. ඒක තමයි දෙවන වර්ගය වෙන්නෙ. යම් යම් කොන්දේසි කාරණා යටතේ ඊටත් අවකාශ සැලසෙනවා. ඒත් රෝගියාගේ ඉල්ලීමක් හෝ පිළිගත හැකි දෙවන පාර්ශ්වයේ මැදිහත්වීමකින් තොරව රෝගියාට මරණය අත්කර දෙන තුන්වෙනි අවස්ථාව සැලකෙන්නෙ මිනීමැරුමක් විදිහට. ඒකට කිසි රටක නීතියේ අවකාශයක් නෑ.

සුවදායී මරණයක අයිතිය ගැන කරුණු හොයාගෙන යද්දි ඒ වෙනුවෙන් 90 ගණන් වලදි ඇමරිකාවෙ සටන් කරපු ජැක් කෙවොකියන් කියන වෛද්‍යවරයා ගැන හැදුන චිත‍්‍රපටියක් හම්බුණා (යූ ඩෝන්ට් නෝ ජැක් ඒ චිත‍්‍රපටියෙ නම). ඒක 2010දි කරපු එකක්. රේන් මෑන් වගේ අද්විතීය නිර්මාණ කරපු ඇකඩමි සම්මානලාභී බැරී ලෙවින්සන්ගෙ නිර්මාණයක්. මේ චිත‍්‍රපටියෙ කෙවොකියන්ගෙ චරිතය කරන්නෙ අල් පැචිනො. එයාගේ සුවිශිෂ්ට රංගනය ඇතුලෙ ජැක් කෙවොකියන් කියන්නෙ මිනීමරුවෙක්ද කියන ප‍්‍රශ්නය සංවේදී විදිහට නැවත ඔසවා තබනවා. මේ රංගනය වෙනුවෙන් පැචිනොට ඇකඩමි සම්මාන ලැබෙන අතරෙ කෙවොකියන් පේ‍්‍රක්‍ෂාගාරයේ ඉඳන් අත්පොලොසන් දෙනවා. මේ අපූර්වතම මනුස්සයාගේ චරිතය පණගන්වන්න ලැබුණු එක තමන්ට ලැබිච්ච විශාල භාග්‍යයක් කියලා පැචිනො ඒ වේදිකාවෙ කියනවා. තමන්ගේ තීරණයක් හැටියට මරණය තෝරා ගන්නා මොහොතේ මුනිවරභාවය මේ චිත‍්‍රපටිය ඇතුලෙ විදාරණය වෙනවා.
ජැක් කෙවොකියන්ගෙ කතාව මොකක්ද?

ජැක් කෙවොකියන් කියන්නෙ ‘ඩොක්ටර් ඩෙත්’ කියල ප‍්‍රසිද්ද  ඇමරිකානු වෛද්‍යවරයෙක්. එයාගෙ අදහස වෙන්නෙ වෛද්‍යවරයෙක් විදිහට තමන්ගෙ කාර්යය රෝගියා විඳින වේදනාව තුරන් කරන එක කියලයි. ඒක මරණය දක්වාම දිවෙන සේවයක්. දුක් විඳිමින් වෙන විකල්පයක් නැති නිසා ජීවිතය අරගෙන යන රෝගීන්ට තමන් දන්නා විද්‍යාවෙන් උදව් කරන එක නීති විරෝධී දෙයක් නෙමෙයි උපරිම මානුෂික දෙයක් හැටියට හිපොක‍්‍රටීස් දිව්රුමට අලූත් අදහසක් එකතු කිරීමයි ඩොකටර් ඩෙත්ගෙ සටන වුනේ. ඒත් ආගමික අදහස් වලින් ඔලූව පුරවාගත්තු, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ මැවීම ගැන කතාව ලොකුවට බාර ගත්ත පිරිස් දැඩි ලෙස එරෙහි වෙනවා කෙවොකියන්ගෙ මෙහෙයුමට.

ඒත් කිසිදු මුදලක් අය නොකර ඒ දුක් විඳින රෝගීන්ගේ වේදනාව අවසන් කිරීමේ සාන්තුවරභාවයෙන් කෙවොකියන් තමන්ගේ සේවය ලබා දෙනවා. එයා විවිධ විෂ රසායන එන්නත් කරන යන්ත‍්‍රයක් පවා නිපදවනවා. පස්සෙ ඒක තවත් සංවර්ධනය කරලා කාබන් මොනොක්සයිඞ් වායුව පාවිච්චි කරමින් සියදිවි නසා ගැනීමට උදව් දෙන ගෑස් මාස්ක් එකක් නිර්මාණය කරනවා.

මේ හැම මරණයක්ම වීඩියෝගත කරමින් කෙවොකියන් සමාජය අවදි කරන්න උත්සාහ කරනවා මේ අවසන් මොහොත ගැන. ජීවත් වීමේ ආශාවෙන් මැඩුණු නිරෝගී මිනිසුන්ට කවදාවත් තේරුම් ගන්න බැරි රෝගී මිනිසාගේ වේදනාව වෙනුවෙන් කෙවොකියන් කතා කරනවා. නීතිය එක්ක ගැටෙනවා.

‘ඔයාට නිදහස සහ ස්වයං තීරණ අයිතිය නැත්තං ඔයාට කිසි දෙයක් නෑ. ඒ මතයි මේ රට (ඇමරිකාව) ගොඩනැගිලා තියෙන්නෙ. මේ තමයි (මරණය) අත්‍යන්ත ස්වයං තීරණය. ඔයා වේදනා විඳින කොට ඔයාට පුළුවන් වෙන්න  ඕන ඔයා මැරෙන දවස සහ විදහ තීරණය කරන්න’
- ඩොක්ටර් ඩෙත්

ජැක් කෙවොකියන් පස්සෙ විස්තර කරන විදිහට එයාගෙ අම්මා දරුණු පිළිකාවකින් මරණයට පත් වෙනවා. වෛද්‍යවරු විවිධ ප‍්‍රතිකර්ම කරමින් ඇයව ජීවිතයේ රඳවා තියන්න හදනවා.
 ‘ලෝකෙ තියෙන දරුණුතම දත් කැක්කුමක් ගැන හිතන්න. ඒ කැක්කුම ඇෙ`ග් හැම ඇටයකින්ම එන කොට දැනෙන වේදනාව ගැන හිතන්න...’ කෙවොකියන්ගෙ අම්මා එයාට කියනවා.

අවසන් මොහොතෙ අම්මාගේ මේ අසරණ වීම, ඒ වෙනුවෙන් තමන්ට කිසි දෙයක් කරන්න බැරි වීම ජැක් කෙවොකියන්ට ජීවිත කාලය පුරාම වධ දෙන මතකයක් වෙනවා. කිසිම රැුකියාවක් අහිමිව සිටියදී පවා මරණය වේදනා රහිත කිරීමේ ව්‍යාපෘතියක මාරාන්තිකව නියැලෙන්න එයාට බලපාන වේදනාව ඒ අතීතය.
‘මං මේක කරන්නෙ මං වෙනුවෙන්. කවදා හරි මං මේ වගේ අසාධ්‍ය තත්වෙක හිටියොත් මට ඒ වේදනාවෙන් අත්මිදෙන්න උදව් කරන්න කවුරු හරි ඉන්න  ඕන. ඒකට මේ නීතියෙ ඉඩක් හැදිලා තියෙන්න  ඕන..’
ජැක් කෙවොකියන්ට එයා කරන වැඬේ ආත්මීයයි. ආධ්‍යාත්මිකයි.

‘සල්ලි තියෙන රෝගීන්ට පුළුවන් මොනවා හරි වැඩි වියදම් ප‍්‍රතිකර්ම ගනිමින් වේදනාව මගඇරලා ජීවත් වෙන්න. ඖෂධ සමාගම් සහ පුද්ගලික ඉස්පිරිතාල ලාබ උපයන්නෙ මේ රෝගීන් පවත්වාගෙන යාමෙන්. ඒත් දුප්පත් රෝගීන් කිසි දෙයක් කරකියා ගන්න බැරුව ඒ වේදනාව විඳිමින් ඉන්න  ඕන මැරිලා යනකල්. ඒක හරි අසාධාරණයක්. මිනිස්සුන්ට තමන් කැමති වෙලාවක මැරෙන්න අයිතිය තියෙන්න  ඕන’

මේකට අදාල වෙන සිංහල වචනෙ කිව්වට මං හිතන්නෙ ඒකෙ සම්පූර්ණ අදහස එන්නෙ නෑ. ‘ඩිග්නිටි’ කියන කාරණය මුල් කරගෙනයි කෙවොකියන්ගේ අරගලයෙ ගැඹුර තේරුම් ගන්න වෙන්නෙ. ඒක අපි වගේ ප‍්‍රාථමික සමාජයකට ටිකක් දුරවබෝධ වෙන්න පුළුවන්. ‘ඩිග්නිටි’ එකක් ඇතුව ජීවිතය අවසන් කිරීමේ මනුස්ස උවමනාව. ඒ වෙනුවෙනුයි සුවදායී මරණයක ඉඩකඩ සමාජයක තියෙන්න  ඕන.
‘නීතිය සදාචාර විරෝධීයි කියල ඔබේ හෘදයසාක්ෂිය කියනවා නම් ඒ නීතිය පිළිගන්න එපා’
-ඩොක්ටර් ඩෙත්

එක අවස්ථාවක අතපය අහිමි රෝගියෙක් වෙනුවෙන් අවසන් බොත්තම තද කිරීම කෙවොකියන් විසින්ම කරනවා. එයා ඒ හිතුවක්කාරකම පාවිච්චි කරනවා තමන්ගේ කතාවට නීතියේ අවධානය ගන්න. ඒත් නීතිය ඉදිරියේ තනියම හැප්පෙන්න තරමට මුරණ්ඩු වෙන වැරැුද්දට එයා අවුරුදු 08කට හිරේ යනවා.
එතනදි කෙවොකියන් ජූරි සභිකයන්ගෙන් කියනවා,‘ මං දිහා බලන්න.. මගේ ඇස් වලින් මිනීමරුවෙක් පේනවද? එහෙම පේනවා නම් මාව වැරදිකාරයා කරන්න..’

අක්මාවේ පිළිකාවකින් අවුරුදු 83දි කෙවොකියන් මැරෙනවා. රෝගීන් 130ට අධික ප‍්‍රමාණයකට වේදනාවෙන් තොර ගෞරවනීය මරණයක් හිමි කරලා දීපු ජැක් කෙවොකියන් වෙනුවෙන් ඒ සේවය කරන්න කෙනෙක් නැති වෙනවා.

ජීවිතය කොහොම හරි පවත්වාගෙන යන්න දරන නිසරු උත්සාහයට වඩා සුවදායී මරණයක් තමන්ගේ රෝගීන්ට ලබා දෙන එක මානුෂීයයි වගේම තාර්කිකයි. ජීවිතය පැත්තෙන්ම හැම ආකල්පයක්ම ගොඩනැගීම සහ මරණය එහි බිය දනවන අනෙකා කරනවා වෙනුවෙට කෙවොකියන් මරණයත් ජීවිතයේ කොටසක් විදිහට දකින දර්ශනයක් ඉල්ලා සිටිනවා. වඩා උත්තර මනුෂ්‍යභාවයක් වෙනුවෙන්, දුක් විඳිමින් බලූවෙලා මැරෙන ඛේදාන්තයක් වෙනුවට අභිමානවත් මරණයක් වෙනුවෙන් නිර්භීතව සටන් කරනවා.

අපි වඩාත් ජීවිතය පොහොසත් කරන්න  ඕන. ජීවිතයේ අයිතිය වගේම මරණයේ අයිතියත් අපිට ලැබෙන්න  ඕන. අපරාජිතව මිනිසෙක් විදිහට සුවදායී නින්දකට වැටීමේ දිව්‍යමය වරප‍්‍රසාදය හැම මිනිස් ප‍්‍රාණියෙකුටම තියෙන්න  ඕන.

අපිට ඒ තරම් දුර යන්න බැරි වුණත් අඩුගානෙ අපිව බය කරමින් පවත්වාගෙන යන සෞඛ්‍යයට විරුද්ද වෙන්නවත් පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

-චින්තන ධර්මදාස