Saturday, May 9, 2015

මංමුලා සති අන්තය : The Lost Weekend


අපිට නිතරම  ඕන වෙනවා නිශ්චිත සත්‍යයන්. ඒවා පුළුවන් තරම් වෙනස් නොවෙන ඒවා වීමත් වැදගත්. ගොඩක් වෙලාවට අපේ අනිශ්චිත ජීවිතේට නිශ්චිත හැඩයක් දෙන්නෙ අපෙන් බාහිර තියෙනවා කියලා අපි උපකල්පනය කරමින් ජීවත් වෙන මේ නිශ්චිත සත්‍යයන්. මේ සත්‍යයන් කියන්නෙ ඉර පායන්නෙ නැගෙනහිරින් බහින්නෙ බටහිරෙන් වගේ දේවල් නෙමෙයි. හැමදෙයක් ගැනම සමාජීය විදිහට අපි ගොඩනගාගත්ත නිශ්චිතයන්. කොටින්ම පුද්ගලයන් ගැන පවා අපිට ඒ විදිහෙ නිශ්චිතයන් තියෙනවා. උඹ දැන් වෙනස් වෙලා බන්, ඉස්සර එකා නෙමෙයි, වගේ ප‍්‍රකාශ එන්නෙ ඒ නිශ්චිතයන් පොඞ්ඩක් හෙලවෙද්දි.

මෑතකදි මට මුණගැහුනු ගෘහ නිර්මාණ ශිල්පය තමන්ගෙ විෂය කරගත්ත මහාචාර්යවරයෙක් හු`ගක් හිත්ගන්නා සුළු සංකල්පයක් එක්ක වැඩ කරනවා. එයා ගෘහ නිර්මාණ විෂය අවකාශය පිළිබඳ විෂයක් විදිහට ගන්නවා. ‘පීපල්ස් ස්පේසස්’ (ජනතා අවකාශ) කියන දැක්ම හරහා එයා යම් ගෘහ හෝ නගර නිර්මාණයක් තේරුම් ගත යුත්තේ ඒ තුල වෙසෙන ජනතාව ඒකට දෙන අදහසින් කියල විස්තර කරනවා. උදා විදිහට කොෆි ෂොප් එකක මට තියෙන අදාලත්වය නෙමෙයි තව කෙනෙකුට තියෙන්නෙ. ඒ කියන්නෙ මට ඒක මිතුරන් මුනගැහෙන තැනක් වෙද්දි තව කෙනෙකුට පුස්තකාලයක් වෙන්න පුළුවන්. මේ විවිධ අර්ත ගැන්වීම් සමස්තයක් තුලින් ගොඩනැගෙන අවකාශය තේරුම් කරන ඒ ආචාර්යවරයා එයාගෙ කෘතිය කර ගන්නවා.

ඒ කතාව මෙතනට කෙලින්ම අදාල නොවුනත් මට හිතෙන්නෙ මිනිස්සු කියන්නෙත් ඒ වගේ අවකාශයන්ම තමයි. කෙනෙක් ඇසුරු කරන අනෙකුන් විසින් දෙන අර්ථ නිරූපන වලින් ඒ කෙනාගෙ සමාජ ප‍්‍රතිරූපය නිර්මාණය වෙනවා. යම් අවකාශයක් අධිපති විදිහට නිශ්චිත නාමකරණයක් සිද්ද වෙනවා වගේම (මාලිගාවක්, පන්සලක් විදිහට) පුද්ගලයන් ගැනත් බහුතර හෝ බලවත් අර්ත ගැන්වීම් අනුව ප‍්‍රතිරූපය තීරණය වෙනවා. අපිට අපේ ජීවිත අනාරක්‍ෂිතභාවයෙන් තොරව පවත්වාගෙන යන්න නිශ්චිත සමාජ ප‍්‍රතිරූපයන්  ඕන කරනවා. එයා බේබද්දෙක්, මෙයා බඩුකාරයෙක්, අරයා සිල්වතෙක්... සෙලවෙන අනිශ්චිතයන් සමූහයකට සාපේක්‍ෂව ජීවිතය අරගෙන යන්න අපිට හුරුවක් නෑ.

කොහොම වුණත් මේ පුද්ගල/ඉදිකිරීම් අවකාශයන් නිශ්චිතව අර්ත ගන්වද්දි ඒකෙන් සුළුතරයකගේ හෝ අර්ත බැහැර කරනවා. හරියට මහාවංශය ලියද්දි පොදු ජනතාවගේ ජීවිත බැහැර කරනවා වගේම. ඒත් ඒ බැහැර වුණු නෑසෙන හෙ`ඞ් අර්තයත් මහා එකට එකතු කරගන්න පුළුවන් නම් යමක් ගැන අපේ තේරුම් ගැනීම පළල් වෙනවා. ජිවිතේ ගැන සංවේදීතාව වැඩිවෙනවා. ඒකෙන් ජීවිතේ ගැන අපි ගොඩනගාගෙන ඉන්න නිශ්චිතයන් අවුල් වෙන්න පුළුවන් වුනත් අනිශ්චිතයන් අතර අනිශ්චිත විදිහෙ ජීවිතේක අත්විඳීමක් එතන තියෙන්න පුළුවන්.

මේ වගේ පූර්විකාවක් දිගේ එන්න වුනේ මට ළ`ගදි කියවන්න ලැබුන, ඒ විදිහට සමාජීය නිශ්චිතය විසින් කොන් කරපු ජීවිතයක් ගැන කතා කරන්න. එයාගෙ නම ‘මේ පැන්ග්’. එයා ජෝන් ලෙනන්ගෙ අනියම් පෙම්වතියක්. ලෙනන් ගැන චිත‍්‍රපටියක් කරනවා නම් මං අනිවාර්යෙන්ම ඒක කරන්නෙ මේ පැන්ග් ගෙ කතාව පාදක කරගෙන. අපි දන්න ප‍්‍රසිද්ද ලෙනන් වෙනුවට පුද්ගලික ලෙනන්ව තේරුම් ගන්න දොරක් ‘මේ පැන්ග් ’. ඒක යෝකො ඔනො හරහා විවෘත වෙන තැනක් නෙමෙයි. යෝකො ඔනො කියන්නෙ ලෙනන්ගෙ ප‍්‍රසිද්ද ප‍්‍රතිරූපයෙ භාරකාරිය. එයා ‘මේ පැන්ග් ’ ගේ ජීවිතය ලෙනන්ගෙ ඉතිහාසෙන් මකන්න පුළුවන් හැමදෙයක්ම කරනවා.

ජෝන් ලෙනන් සහ යෝකෝ ඔනෝ කියන්නෙ එක්තරා විදිහකට විකල්ප ආදරවන්තයන්ගෙ දැවැන්ත ප‍්‍රතිමා. එතනදි ‘මේ පැන්ග් ’ කියන්නෙ ඒ සුරුවම කුඩු කරන ගැහැණිය. ලෙනන් ‘මේ පැන්ග් ’සමග ගතවුණු කාලය ගැන කියන්නෙ ‘ මංමුළා වූ සතිඅන්තය’ කියල. ලෙනන්ට ඒක සති අන්තයක් වුනාට ‘මේ පැන්ග් ’ට අවුරුදු එකහමාරක්. ඊට පස්සෙත් දිගින් දිගටම තිබුණු ඇසුරක්. ජෝන් ලෙනන්ගෙ සති අන්තයක් ‘මේ පැන්ග් ’ ගෙ ජීවිතයක්.

එයා පොතක් ලියනවා, ලවින්ග් ජෝන් කියල. ඒ පොත ලොකු ආන්දෝලනයක් කරනවා ලෙනන්ගෙ රසිකයො අතරෙ. හැමෝටම  ඕන ‘මේ පැන්ග් ’ව බැහැර කරන්න. එයා මහා ආදර සළකුනක් අවුල් කරනවා. දැවැන්ත ලෙනන් කෙනෙක් සහ පේ‍්‍රමයේ දෙව`ගනක් බඳු යෝකෝ කෙනෙක් ඉස්සරහ ‘මේ පැන්ග් ’ කවුද?
‘මේ පැන්ග් නොතිබුණු ආදර කතාවක් ගැන ප‍්‍රබන්ධයක් කරනවා..’ යෝකො ඔනෝගෙ පැත්තෙන් ප‍්‍රකාශ වෙන්නෙ එහෙමයි. ලෙනන්ටත් ඒක සති අන්තයක් විතරයි. ඒත් මේ පෙන්ග්ට ඒක ජීවිතය තරම් ලොකු ආදරයක් වෙන්න බැරිද? ලෙනන්ගේ සහ ඔනෝ ගේ පේ‍්‍රමය ඇත්තක් වෙන්න නම් ‘මේ පැන්ග් ’ ගේ පේ‍්‍රමය බොරුවක් වෙන්නම  ඕනද?

හැම ප‍්‍රසිද්ද ප‍්‍රතිරූපයක් පිටිපස්සෙම අනාරක්‍ෂාවෙන් පෙළෙන, ඉරිසියාවෙන් නළියන, වකුටු මිනිහෙක් ජීවත් වෙනවා. යෝකෝ ඔනෝ ළ`ග ඉන්නෙ සාමය ගැන සිංදු කියන සාන්තුවර ජෝන්. ඒත් බොරුකාර, ප‍්‍රචණ්ඩ, ස්ත‍්‍රී ලෝලී පුංචි ජෝන්ගේ ජීවිතය තියෙන්නෙ ‘මේ පැන්ග් ’ ළ`ග.

‘මේ පැන්ග් ’ ට ඒ කාලෙ කෙල්ලෙකුට ලැබෙන්න පුළුවන් ඞී‍්‍රම් ජොබ් එකක් ලැබෙනවා. යෝකෝ ඔනෝ සහ ජෝන් ලෙනන්ගේ පුද්ගලික සහ නිෂ්පාදන සහායිකාව විදිහට. එන වැඩ කරගෙන යන අතරෙ ගිම්හානෙ දවසක යෝකෝ ඇවිත් මේ පැන්ග්ට කතා කරනවා.

‘මායි ජෝනුයි අතරෙ සම්බන්දෙ අවුල් වෙන්න පටන් අරන්...’
‘මේ පැන්ග් ’ විතරක් නෙමෙයි ලෝකෙම කලබල වෙන ප‍්‍රවෘත්තියක් ඒක.

‘මං දන්නවා එයා ඔයාට කැමතියි. වෙන කවුරුවත් එක්ක සම්බන්ද වෙනවට වඩා මං කැමතියි ඔයා එයා එක්ක යාලූ වෙනවා නම්...ඔයාට වෙන සම්බන්දෙකුත් නෑනෙ..’

‘මේ පැන්ග් ’ හිටගැස්සෙන කතාවක් යෝකෝ ගානකට නැතුව කියනවා. ‘මේ පැන්ග් ’  මුලින්ම මේ යෝජනාවට කැමති වෙන්නෙ නෑ. ස්වභාවික පස්සට තල්ලූ වීමක් ඒක.

ඒත් ජෝන් පස්සෙ දවසක ලිෆ්ට් එකකදි  ‘මේ පැන්ග් ’ව බලහත්කාරෙන් කිස් කරනවා.
‘මේ දවස එනකං මං අමාරුවෙන් ඉවසන් හිටියෙ...’

ලෙනන් කියනවා. ‘බයවෙන්න එපා... කිසි දේකට බය වෙන්න එපා...’ පස්සෙ එයා ගල්වෙලා ඉන්න ‘මේ පැන්ග් ’ ව අස්වසනවා.

ජෝන් ලෙනන් සහ ‘මේ පැන්ග් ’ ආදරය පටන්ගන්නෙ මේ විදිහට. කිසිම අයිතියක් හෝ බලයක් නැති යටහත් ආදරයක ගොදුරක් විදිහට.

මේ අතරෙ ස්ත‍්‍රීවාදී සමුළුවක් අමතන්න යෝකො ඔනෝ චිකාගෝ යනවා. ජෝන් ලෙනන් ‘මේ පැන්ග් ’ එක්ක ලොස් ඇන්ජලීස් යනවා. කුප‍්‍රකට සැන්ටා මොනිකා වෙරළ නිවාසයේ ලෙනන්ගේ අප‍්‍රකට ආදරය ලියවෙන්නෙ මෙතන ඉඳන්.

මේ ආදර පරිච්ෙඡ්දය ලෙනන් යෝකෝ සහ ඒ යුගලට පක්ෂ පිරිස හඳුන්වන්නෙ ‘ලොස්ට්’ (මංමුළා වුණු) කාලයක් විදිහට. ඒත් ‘මේ පැන්ග් ’ ගේ මතකයන් කියන්නෙ ඒ ආපහු නිර්මාණශීලීත්වය ළං කර ගත්ත, පුද්ගලික අභ්‍යන්තර තේරුම් ගැනීම් සිද්ද වුණු, පේ‍්‍රමයේ උපරිම කාලයක් හැටියට. අසම්මත තරම්ම ඇත්ත වුණු ආදරයක කතාවක් ඒක.

ඒක ලෙනන්ගේ අඳුරු පරිච්ඡ්දයක්. බීට්ල්ස් කන්ඩායමෙන් කැඩිලා අපහසුතා සහ අවිනිශ්චිතතා මැද්දෙ වල්මත් කාලයක්. ඒ අතරෙම යෝකෝ ඔනෝ එක්ක සම්බන්දය බිඳ වැටෙමින් තියෙන අතරෙදි. ලෙනන්ගේ යාලූවො කියන්නෙ අධික ලෙස බොන්න පටන් අරගෙන හිටපු ලෙනන්ගේ බීපු කාලෙ ලව් එකක් කියල ‘මේ පැන්ග් ’ . ඒත් ‘මේ පැන්ග් ’ට අනුව ලෙනන්ට ඒ අඳුරෙන් ගොඩඑන්න උදව් කරන්නෙ එයා. කිසි දෙයක් නැවත නොඉල්ලන, කිසි අයිතියක් නැති ආදරයක් වෙනුවෙන් තමන්ගේ ආත්ම පරිත්‍යාගයේ ශුද්ධභාවය වෙනුවෙනුයි එයා සටන් කරන්නෙ.

පුද්ගලික ලෙනන්ගේ ජීවිතයේ යටිතලයක් දිගඇරෙන්නෙ මේ ගැහැණු සටනත් එක්ක. ලෙනන්ට මුලින්ම සින්තියාව කසාද බඳින්න සිද්ද වෙන්නෙ එයා නිසා සින්තියා ගැබ් ගැනීමෙන්. ඒක ලෙනන්ට ලොකු අවුලක් වෙනවා. එයා පුළුවන් තරම් කසාදය රහසේ තියාගන්න හදනවා. අතිශය සාමාන්‍ය ගැහැණියක් වුණු සින්තියා එක්ක ජීවිතය ලෙනන්ට ගැලපෙන්නෙ නෑ. එයා යෝකෝ ඔනෝ එක්ක අනියම් ඇසුරක් පටන්ගන්නවා.

ලෙනන් මේක විස්තර කරන්නෙ චිත‍්‍ර ප‍්‍රදර්ශනයකදි පළමුවර දැකීමෙන් ඇතිවුණු ආත්ම ප‍්‍රහර්ෂය නිසා සිද්ද වුණු උත්තුංග ආදර බැඳීමක් විදිහට. ඒත් ලෙනන් කාලයක් පුරා සින්තියාට හොරෙන් ඔනෝ එක්ක ගනුදෙනුවක් කරනවා. අන්තිමට මහාරිෂිගේ පැමිනීම බලන්න සින්තියා ගිය අතරෙදි ලෙනන් ඔනෝව ගෙදරට ගෙන්න ගන්නවා. මේ සිද්දිය මත සින්තියා දික්කසාද වෙනවා.

සාමය ගැන සිංදු කිව්වට ලෙනන්ගේ ජීවිතය ප‍්‍රචණ්ඩ එකක්. නිතරම රණ්ඩු වලට පැටලෙන, බීගෙන මිනිස්සුන්ට තඩිබාන, කොටින්ම සින්තියාට පවා පහර දෙන වර්ගයේ එකක්. ලෙනන් සහ සින්තියාගේ පුතා ජූලියන් මේ ප‍්‍රචණ්ඩත්වය නිසා දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. එක වෙලාවක කතාබහක් අතරෙ හිනාවෙවී හිටපු ජූලියන්ගෙ ඇ`ගට ලෙනන් කඩා පනිනවා.

‘ඇයි උඹ හිනාවෙන්නෙ? මං ආස නෑ උඹ හිනාවෙනවට. කට වහගනින්’ ලෙනන් තර්ජනය කරනවා. මේ තර්ජනය ජූලියන්ට කොයිතරම් බලපානවද කිව්වොත් එයාට ඊට පස්සෙ කාලයක් යනකල් හිනාවෙන්න පවා බැරි වෙනවා. ජූලියන් කියන විදිහට ලෙනන්ට වඩා පෝල් මැකාට්නි එයාට තාත්තෙක් වෙලා තියෙනවා.
යුද්දයට එරෙහිව සිංදු කිව්වට ලෙනන් ඇත්තට සල්ලි දෙන්නෙ ප‍්‍රචණ්ඩත්වය වගුරන කල්ලි කණ්ඩායම් වලට.

එතකොට ලෙනන් කියන්නෙ දුෂ්ටයෙක්ද? එක අන්තයක් වෙනුවට අනිත් අන්තය ගන්නවට වඩා මට හිතෙන්නෙ පබ්ලික් ජෝන් හ ප‍්‍රයිවෙට් ජෝන් එකතු කර ගැනීමෙන් ලෙනන්ගේ ජීවිතය වඩා විශාල වෙනවා කියල. ඒක අපෙන් පිට නිශ්චිත මහා අර්ථ ගොඩනගා ගැනීම වෙනුවට යතාර්ථවාදීව පැවැත්ම තේරුම් ගැනීමකට බල කරනවා කියල.

මාස 18ට පස්සෙ ලෙනන් ආයිමත් යෝකෝ ඔනෝ ළ`ගට යනවා. ‘මේ සහ ජෝන්ගේ සම්බන්ධය හඳුන්වා දුන්නේත්, පාලනය කළේ සහ අවසානයේ නැති කර දැම්මේත් යෝකෝ ඔනෝ විසිනුයි’ කියල ලවින්ග් ජෝන් පොතේ කියනවා.

එයා ගෙදර ගියාට පස්සෙත් අවුරුදු පහක් විතර යනකල් අපි මුණගැහුනා. එයා කොහොමද එක පැත්තකට ‘මං යෝකෝ එක්ක සතුටින් ඉන්නවා’ කියල අනිත් පැත්තට ‘මගේ ජීවිතේ හොඳම දවස් මං ගතකළේ ’මේ’ එක්ක. මං තාම එයා එක්ක’ කියල කියන්නෙ? ඒක එහෙම වෙන්න බෑනෙ. ඒත් ජෝන්ගෙයි මගෙයි අතර විශේෂ යමක් තිබුන. ඒත් හැමෝම කතා කරන්නෙ ඒක ජෝන්ගෙ බේබදු කාලෙ විදිහට....’

ජෝන්ගේ ලොස්ට් වීකෙන්ඞ් එකට දෙන වටිනාකම ’මේ පැන්ග්’ගේ ජීවිතේට දෙන වටිනාකමයි. ලෙනන්ගේ පැත්තෙන් ඒක පුළුවන් තරම් අවතක්සේරු කරන්න යද්දි ’මේ පැන්ග්’ තමන් සතු හැමදේකින්ම ඒ පරිච්ඡ්දය ආරක්‍ෂා කරන්න යන්නෙ ඒ හින්දයි. ’මේ පැන්ග්’ සල්ලි නිසා ලෙනන් එක්ක පැටලෙන්න හදනවා වගේ මුලින්ම එන සිතුවිල්ලක් ඇත්තට ටිකක් ඈතයි. ’මේ පැන්ග්’ තමන්ගේ වැටුපට අමතර කිසි දෙයක් ලෙනන්ගෙන් ගන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි ලෙනන් ආපහු යද්දි ’මේ පැන්ග්’ට දවස ගත කර ගන්න සල්්ලි නැති  අර්බුදයකට මූනදෙන්න වෙනවා. පස්සෙ කාලෙක නැවත විවාහ වෙන ’මේ පැන්ග්’ ඒ විවාහයත් අසාර්තක තැනදි තනියම තමන්ගේ ෆෙන්ෂුයි ආභරන නිෂ්පාදනයක් පටන් ගන්නවා. තමන්ගෙ සමස්ත ජීවිතයම තීරණය කළ මාස 18 ගැන එයා ලියන්න ගන්නෙ මේ අතරෙදි.

ජෝන් ලෙනන් සහ තමාගෙ අතීත සැමරුම් විදිහට එකතු කරගත්ත පිංතූර ’මේ පැන්ග්’ පොතක් විදිහට ප‍්‍රින්ට් කරනවා. ‘ඒ පිංතූර වල ඉන්න ජෝන් අනිත් කොයි තැනකටත් වඩා සන්තෝසෙන් ඉන්න වගක් පේනවා’ කියල මැදිහත් විචාරකයො කියනවා. ඒක වෙන්න පුළුවන්. ඒ ජෝන් ලෙනන් තමන්ගේ මහා ප‍්‍රතිරූපයෙන් නිදහස් වෙලා ගතකරපු අප‍්‍රසිද්ද කාලය. පරිච්ෙඡ්ද දෙකක් අතර නාඳුනන පොඩි ගැප් එකක්. ඒ ගැප් එකේ නතර වුණු ජීවිතය ’මේ පැන්ග්’.
සමහර වෙලාවට අපිට අපිව මුණගැහෙන්නෙ අතරමං වුණු වෙලාවට.


ජෝන් ලෙනන්ව සම්පූර්ණයෙන් තේරුම් ගන්න අපි කාටවත් බැරි වේවි. ඒත් ලෙනන් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න ‘මේ පැන්ග්’ ගෙ කතාව නැතුව බැරි වේවි.

චින්තන ධර්මදාස

4 comments:

  1. සටහන කියවද්දි මට මතකයට ආවෙ ඩොක්ටර් හෙන්‍ රි ජෙකිල් සහ එඩ්වඩ් හයිඩ් ගේ කතාව

    ReplyDelete
  2. Tribute to John Lennon

    http://transyl2014.blogspot.ca/2014/12/tribute-to-john-lennon.html

    ReplyDelete
  3. මම ලෙනන් රසිකයෙක්. නමුත් මේ අංශය ගැන මම අහලම තිබ්බේ නෑ.

    ReplyDelete