Tuesday, December 29, 2015

හෝ ගාන පොකුනෙ හෝ ගාලා සද්දෙ


ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ හෝ ගානා පොකුණ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මුහුද නොදැකපු රට මැද්දෙ මිනිස්සුන්ට පොකුණකින්, වැවකින් එහා මුහුදක් ගැන හිතාගන්න බැරුව වහරපු ‘හෝ ගාන පොකුණ’ කියන වචනෙ ඉන්සයිට් එකකට අරන් ෆර්ඩි කතාව ගොතාගෙන යනවා. ගමට කොටුවෙච්ච, වැවට සීමා වෙච්ච පරපුරක අනාගත බට්ටො ටිකක් මුහුදක් දකින්න පෙරුම්පුරන කතාවක් ඒක.

කන්සෙප්ට් එකක් විදිහටමත් මේ එළඹුම ලංකාවට ටිකක් අලූත්. හැමතිස්සෙම පරණ දේම බදා ගන්න, අතීතයටම රිංගන්න, පරණ පුරුදු වලම එල්ලෙන්න බලකරන චිත‍්‍රපට අතරෙ අලූත් දෙයක් හොයාගෙන යන්න, වෙනස් දේකට මුලපුරන්න උනන්දු කරන කතාවක් කියන්නෙම හැරවුමක්. විශේෂයෙන්ම ළමා කතාවක් ඇතුලෙ මේ විදිහෙ අදහස් ටිකක් විසුරවලා දාන එක ටිකක් හිතුවක්කාර වැඩක්.

සිංහල චිත‍්‍රපට ගැන සාමාන්‍යයෙන් නොකියන ඇත්ත කතාව වෙන්නෙ නාගරික මිඞ්ල් ක්ලාස් පේ‍්‍රක්‍ෂකයො ඒක නොබලා ඉන්න එක. විශේෂයෙන් ඉංග‍්‍රීසි හින්දි බලන කොළඹ කේන්ද්‍රීය පේ‍්‍රක්‍ෂකයො සිංහල චිත‍්‍රපට ගණන් ගන්නෙම බාල විදිහට. ඒකට හේතුව අපේ චිත‍්‍රපටවල දුර්වල පිටපත්, අධ්‍යක්‍ෂණ සහ තාක්‍ෂණික කාරණා. විනෝදාස්වාදයට අවශ්‍ය විචිත‍්‍ර බව, වර්ණවත් බව වගේම ආස්වාදනීය බව වගේ කාරණා අතින් සිංහල චිත‍්‍රපටි ෆේල්.

ඒත් ෆර්ඩි හෝ ගානා පොකුණෙදි මේ අභියෝගය යම් පමණකට හෝ ජයගන්නවා. ඒ කියන්නෙ අලූත් පේ‍්‍රක්‍ෂක පිරිසක් හෝල් එක ඇතුලට ගෙන්න ගන්න ෆර්ඩිට පුළුවන් වෙනවා. ටෙලි නාට්‍ය වගේ එදිනෙදා පාවිච්චි වෙන පොදු ජන මාධ්‍ය ඇතුලෙ පරණ වෙලා නොගිය අලූත් නිළියක් ප‍්‍රධාන චරිතය විදිහට පාවිච්චි කරන එකත් එතනදි ලොකු කොටසක් කරනවා. මැද නාගරික රස වින්දනයක් සහිත තමන්ගේ වේදිකා නාට්‍ය පේ‍්‍රක්‍ෂකයාවත් සිනමා ශාලාවට එකතු කරගන්නට අනසුයා පෙළඹවීමක් කරනවා.

ඒ වගේම චිත‍්‍රපටයේ කැමරාව, සංගීතය වගේම සිදුවීම් වලත් ඇති විචිත‍්‍ර බව නිසා චිත‍්‍රපටය ඇළෙන සුලූයි. විශේෂයෙන්ම මේ පුංචි නළු නිළියන්ව මෙහෙයවීමේදී ෆර්ඩි සෑහෙන දක්ෂකමක් පෙන්නලා තියෙනවා. ඒ පුංචි උන් කියන සරල දෙබස් ඇතුලෙ තියෙන ගැඹුරු කතන්දර ලොකු අයටත් නැවත හිතන්න බලකරනවා.

ඒත් හෝ ගානා පොකුණ කියන්නෙ හඳයාගෙන් පස්සෙ බිහිවුණු විශිෂ්ටතම ළමා චිත‍්‍රපටය කියල කියන්න තරම් මම ඉක්මන් වෙන්නෙ නෑ. මුලින්ම මේක ළමා චිත‍්‍රපටයක් විදිහට මං දකින්නෙ නෑ.

ළමා චිත‍්‍රපටයක වීරයා හෝ වීරයෝ වෙන්නෙ ළමයි. ඒත් ෆර්ඩිගේ චිත‍්‍රපටයේ වීරවරිය වෙන්නෙ ගමට අලූතෙන් එන ගුරුවරිය. ඒ ගුරුවරිය නිසා ළමයින්ට නිදහස ලැබෙනවා වගේ කතාවක් තමයි හෝ ගාන පොකුනෙන් ඇහෙන්නෙ. ඇත්තටම නං ළමයි කරන ලොකුම වීරකම වෙන්නෙ බස් ඩ‍්‍රයිවර්ට ලයිසන් අරන් දෙන්න උත්සාහ කරන එක. ඒත් ඒ උත්සාහය පවා අන්තිම මොහොතෙදි වැඩකට නැති වෙනවා. ගුරුවරියගේ සියල්ල කළ හැකි දස්කම නිසා ළමයින්ට හෝ ගානා පොකුණ බලන්න ලැබෙනවා.

මට හිතෙන්නෙ හෝ ගානා පොකුණ කතා කරන්නෙ ළමයින්ට වඩා දෙමව්පියන්ට. දෙමව්පියන් විසින් ළමයෙක් හදනවා කියලා හිතන සාම්ප‍්‍රදායික සිතීමට යම් විදිහක අභියෝගයක් ෆර්ඩි කරනවා. හෝ ගාන පොකුණ ගන්න වෙන්නෙ  ළමා චිත‍්‍රපට කියන ජොන්රා එකට වඩා ෆැමිලි නැත්තං පවුලේ චිත‍්‍රපට කියන කොටසට. ළමා චිත‍්‍රපට කියන්නෙ ළමයාවම කේන්ද්‍ර කරගෙන ළමයින් වෙනුවෙන්ම හැදෙන චිත‍්‍රපට කාණ්ඩයක්. ඒත් ඊට වඩා පළල් පේ‍්‍රක්‍ෂාගාරයක් ඔලූවෙ තියාගෙන හදන මේ විදිහෙ චිත‍්‍රපට වර්ග කරන්නෙ වෙන්නෙ පවුලේ චිත‍්‍රපට හැටියට.

එතනදි මේ පේ‍්‍රක්‍ෂාගාරය පළල් කරන්න කතාව මුලින් සහ අගින් කරන කොහෙත්ම චිත‍්‍රපටයට නොගැලපෙන දේශපාලනික ගැටගැහිල්ල ඇත්තටම චිත‍්‍රපටය දුර්වල කරනවා. විශ්ව විද්‍යාල මට්ටමේ අරගලයට නව අරුතක් සැපයීම වගේ තැනක ෆර්ඩි අපරාදෙ හිරවෙනවා කියල මට හිතුන. කොටින්ම ඒ ඇමිණුම හින්ද ගුරුවරියත් මහා ගොන් පාර්ට් එකක් වෙනවා.

ළමා චරිත අතරෙ වුණත් මීට වඩා නිර්මාණශීලී වෙනස්කම් මතු කරන්න පුළුවන් වුණා නම් වැඬේ තව ගොඩක් රිච් වෙනවා. අන්ධ දැරිය පාවිච්චි කරමින් වරින් වර භාවාතිෂය කරන්න දරන වෑයම වගේම ඉතා සරල, පත්තියම් වුණු විවිධ ලක්ෂණ කීපයක් විතරයි ෆර්ඩි මේ ළමා චරිත නිර්මාණයෙදි පාදක කරගෙන තියෙන්නෙ. ඊට වඩා ළමයින්ගෙ සුවිශේෂතා පදනම් කරගෙන විචිත‍්‍ර චරිත නිර්මාණය කරන්න හැකියාව තිබුණ කියල චිත‍්‍රපටිය බලාගෙන ඉඳිද්දි මට හිතුණ.

මේ ටීචර්ගෙ හිතුවක්කාර චරිතය එක්ක ගමේ මිනිස්සු ඔක්කොම කැමැත්තෙන් පෑහීමත් කතාව පමණකට දියාරු කරලා තියෙනවා. මේ වගේ චරිතයකට එක`ග නොවීමේ ස්වභාවිකය හරහා තවත් රසවත්ව මේ කතාව කියන්න ෆර්ඩිට පුළුවන් වෙන්න තිබුණ. ළමයින්ට වෙනස පේන විදිහ සහ වැඩිහිටියන් ඒ වෙනස දකින විදිහ ගැන තල දෙකක කතාවක් ආස්වාදනීය විදිහට ගලපන්න තිබුණ. ඒත් ෆර්ඩි ග‍්‍රාමසේවක විතරක් දුර්වල දුෂ්ටයෙක් හැටියට වෙන් කර ගැනීමත් එක්ක කතාවෙ බහුතරය ප‍්‍රගතිශීලී ජනතාව වෙනවා. එතනදි අභියෝගය සරල වෙනවා.

ඒ වගේම ග‍්‍රාමසේවකගේ බිරිඳ විසින් ගන්නා ආරූඩයත් ළමා චිත‍්‍රපටයකට නම් නොගැලපෙන එකතු කිරීමක් වෙන්න පුළුවන්.  ඒක හාස්‍යය දනවන තැනකින් ඔබ්බට යම් ගූඪ, බියක් දනවන සිදුවීමක් හැටියට වැඩ කරන්න ඉඩ තියෙනවා. කතාව ගොඩනැගීමේදී මැද විදිහට පාවිච්චි වෙන ප‍්‍රධාන සිද්දි දෙක, පොඩි අය විසින් කතා පැවැත්වීම සහ බස් එකේ ඩ‍්‍රයිවර්ට ලයිසන් අරන් දීම කියන දෙකට වඩා තවත් යම් ප‍්‍රබල සිදුවීම් කීපයක් එහා මෙහා ගියා චිත‍්‍රපටිය තව ගොඩක් රහ වෙන්න තිබුණ කියල හිතුන.

විරුද්ද පැත්තට හිතුවොත් මේ ගුරුවරිය විසින් මේ ළමයින්ට කරමින් ඉන්නෙ මොකක්ද? මුහුද පෙන්නීමේ සිහිනය ඇරුණම එයා මේ ළමයි වඩාත් රස්තියාදුකාර දේවල් වලට යොමු කරනවා. උදා හැටියට බස් එකේ මිනිස්සු තගෙන් බස්සවලා බස් එක නවත්ත ගන්න පවා ළමයි පෙළඹෙනවා. ගමෙන් පිට ටි‍්‍රප් එකක් යන්න පොරකන ළමා පිරිසකට වඩා අගයක් මේ ළමයින්ට ගේන්න ටීචර් අසමත් වෙනවා.

කතාවෙ අවසානයේදී ළමා චිත‍්‍රපටයක දැනිය යුතු කූට ප‍්‍රාප්තිය හෝ ආස්වාදය දනවන්න හෝ ගානා පොකුණට බැරි වෙන එක අපරාදයක්. මුහුදකට දිව යන පොඩි උන් පිරිසක් සහ හැ`ගීම්බරව හ`ඩා වැටෙන ගුරුවරියක් කියන්නෙ කොහෙත්ම මේ චිත‍්‍රපටියෙ අවසානයට සුදුසු විදිහක් නෙමෙයි. මට දැනෙන විදිහට මේ අන්තර්ජාල යුගයෙදි මුහුද නොදැකපු ළමයෙක් ගමෙන් හෝ හොයාගන්න අපහසු වෙන එකත්, ඇත්තටම මුහුදක දර්ශනයක් පේ‍්‍රක්‍ෂකයාට මැජික් නොවීමත් කියන යතාර්ථය විසින් අවසානය අතරමග නතර කරනවා. බඬේ අමාරුවක් නිසා එන්න බැරිවෙන ඩ‍්‍රයිවර්ගෙ හිස්තැන පුරවන්න ටීචර්ට පුළුවන් වෙන්නෙ නෑ.

ප‍්‍රධාන චරිතය විදිහට අනසුයාගෙ රංගනය ගැනත් සෑහීමකට පත්වෙන්න බෑ කියල මට හිතුන. ගොඩක් තැන්වල එයා කරන  ඕවර්-ඇක්ට් එක චිත‍්‍රපටයට බාධාකාරී වෙනවා. ඒ මූනෙ ඉරියව් ආදිය එහා මෙහා වෙන ආකාරය තරමක් වෙහෙසකර බවක් ගේනවා. මනෝරත්න, දයාදේව, ජයනි වගේ අයගේ අනායාසකාරීව ගලායන රංගනයත් එක්ක ටීචර් ර`ගපාන්න ගොඩක් මහන්සි වෙනවා.

චිත‍්‍රපටයක් ගැන කොහොම විචාරය කරන්න පුළුවන් වුණත් ඒක නිර්මාණය කරද්දි අත්විඳින්න වෙන දුෂ්කරතා සහ වෙහෙසත්, නිර්මාණයක් විදිහට එය විසින් අත්පත් කරගෙන ඇති සාර්තකත්වයත් තක්සේරු කරද්දි හෝ ගානා පොකුණ ගැන ෆර්ඩිට ඉහළින්ම සතුටු වෙන්න පුළුවන්. පළවෙනි නිර්මාණය මේ තරම් සාධනීය මට්ටමකින් එළිදක්වන්න හැකිවීම නිර්මාණකරු හැටියට ෆර්ඩිටත් පේ‍්‍රක්‍ෂකයන් හැටියට අපිටත් එකවිදිහටම බලාපොරොත්තු සහගත බවක් ඇති කරනවා. ඒත් සිනමා කෘතියක් අධිතක්සේරු කිරීමත් එය නොතකා හැරීම තරම්ම අපරාධයක්. ඒ නිසාම කෘතියක තමන්ට සාපේක්ෂව සාධනීය නිශේධනීය කාරණා සාකච්ඡුාවට ගන්න එක, මාරයි මාරයි කියන එකට වඩා වැදගත් කියල මං හිතනවා.


6 comments:

  1. ඔලුව අතගාලා ඇනපු එක හොදයි

    ReplyDelete
  2. ඔලුව අතගාලා ඇනපු එක හොදයි

    ReplyDelete
  3. ඔයා විචාරක ටීචර්ෙග චරිතය ද රඟපාන්ෙන? සිනමාකාර ළමයි අෛධර්ය ෙනාකර? ඔයාෙග් කියවන්ෙනා කවුරැ කියලද හිතුෙව?

    ReplyDelete
  4. Honda chithrapatayak, Honda Wicharayak

    ReplyDelete
  5. //සිංහල චිත‍්‍රපට ගැන සාමාන්‍යයෙන් නොකියන ඇත්ත කතාව වෙන්නෙ නාගරික මිඞ්ල් ක්ලාස් පේ‍්‍රක්‍ෂකයො ඒක නොබලා ඉන්න එක. විශේෂයෙන් ඉංග‍්‍රීසි හින්දි බලන කොළඹ කේන්ද්‍රීය පේ‍්‍රක්‍ෂකයො සිංහල චිත‍්‍රපට ගණන් ගන්නෙම බාල විදිහට. ඒකට හේතුව අපේ චිත‍්‍රපටවල දුර්වල පිටපත්, අධ්‍යක්‍ෂණ සහ තාක්‍ෂණික කාරණා. විනෝදාස්වාදයට අවශ්‍ය විචිත‍්‍ර බව, වර්ණවත් බව වගේම ආස්වාදනීය බව වගේ කාරණා අතින් සිංහල චිත‍්‍රපටි ෆේල්.//

    මේ කියන එක ඇත්ත. නමුත් ඒක විතරක්ම නෙවෙයි මම හිතන්නෙ.

    සාමාන්‍යයෙන් මේ වැඩි හරියක් දෙනා මාර ඔඩ් සිංහල ටෙලි නාට්‍ය අත්නෑර බලනවා.

    චින්තන ඔබ්සර්ව් කරල තියෙනවද කොලඹ සිනමා ශාලාවල ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ගියාම අර ට්‍රේලර්ස්, කොකාකෝලා, පෙප්සි වගේ ඇඩ් ගිහිල්ල එකපාරටම ලිප්ටන් ඇඩ් එක යනකොට ප්‍රේක්ශකාගාරය නොවරදවාම ෆනි මෝඩ් එකකට මාරුවෙනවා - හිනා වෙන්න පටන්ගන්නවා (චා චච චා චච වෝග් ජුවලර්ස් ඇඩ් එකට මේක ටිකක් අඩුයි ;-) !). අර මීදුම මැද්දෙ හිමිදිරි පාන්දර ඇදෙන කෝච්චිය, තේ කඩේ වයසක සීයාගේ වගේ කොලිටි සීන්ස් දැක්කම ඇයි සිංහලෙන් ඉගෙන ගත්තු, සිංහලෙන් කතා කරන නාගරික මිඞ්ල් ක්ලාස් ගැහැනුන්ට සහ මිනිසුන්ට හිනායන්නේ?

    තවත් මේ වගේ එකක් තමයි කොලඹ නුවර සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත නාගරික මිඞ්ල් ක්ලාස් අය අතරෙත් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක් වත් 'සන්නාලියා' එහෙම නැත්නම් 'කරනවෑමියා' වගේ වචනයක් අනේ මම නම් අහලවත් නෑ වගේ ප්‍රිටෙන්ඩ් කරනවා. මේක එන්නෙ කොහෙන්ද කියලනම් මම දන්නේ නැහැ. ඒත් එහෙම එකක් තියෙනවා.

    එහෙම ක්‍රවුඩ් එකක් ගැනයි මේ කතා කරන්නේ. මම කියන්නේ මේ සිංහල භාශාවට, සංස්කෘතියට, සිංහල මාධ්‍යයේ සිනමාවට එරෙහි කුමන්ත්‍රනයක් හින්දා කියලා නෙමෙයි. මේ අපේකම අමතක කරපු විලාසිතාවක් වගේ තැනකින් නෙමෙයි මම මේක ගන්නේ. වැඩිදෙනෙක් නාගරික සිංහල මධ්‍යම පාන්තිකයො කැමැත්තෙන්ම තෝරගන්නවා අනේ මම එච්චර සිංහල දන්නෑ, සිංහල ඒවා බලන්නෑ වගේ එකක්. මේක මේ තාක්ශනය, විචිත්‍ර බව නැති එකේ ප්‍රශ්නයක්ම නෙවෙයි. ඕක ඔය පන්තියේ ප්‍රේක්ශකාගාරය ගැන හිතන සිංහල මාධ්‍ය සිනමා කරුවාට තියෙන තවත් - මට අනුව, බරපතල - අභියෝගයක්. (මේක අදාල සිනමාවෙදි විතරයි, මේ ක්‍රවුඩ් එක නාට්‍යවලට කොහොමත් එන්නෙ නැහැ. සංගීතයේදී කසුන් මේක අල්ලගෙන තියෙන එක ව්‍යතිරේකයක්) ඒක ජයගන්න එක ටිකක් මෛත්‍රිපාල (ජන 8 මෛත්‍රිපාල ) වර්ගයේ වැඩක්. එයා මේ ප්‍රේක්ශකාගාරය දිනාගත්තා කරදරයක් නැතුව! සිනමාවට ඒ උදාහරනය හරියටම හරිද දන්නේ නෑ. මේක මගෙ ඔබ්සර්වේශන් එකක්, තේරුම් ගැනීමක් විතරයි.

    - DImithri

    ReplyDelete
  6. ඔබගේ සිනමා ඇගයිම නම් හොදයි, නමුත් සමාජීය පැත්තෙන් ගත් කල ඔබ ඇන ගත්ත තැන් කියනවා නම්,

    මේ අධ්‍යක්ෂක වරයා හොදින්ම පෙන්වා දී තියෙනවා මේ ගමට අඩුම තරමේ රූපවාහිනියක්වත් නෑ කියලා. තව වර්ථමාන කාලයක් පෙන්වා නැ. මේ චිත්‍ර‍ටය බලද්දි පෙන්නනවා මේ ළමයිට එදා වේල හම්බුකරගන්න එක විතරයි තියෙන්නේ, (දැනුත් ගොඩක් ගම් වල එහෙමයි)
    අම්පාර හිඟුරාණ ප්‍රදේශයේ උපන් මං ගියේ ගමේ ස්කොලෙට, කාර්මික ජනපදයක් වූ නිසා රූපවාහිනිය තිබුනට ගොඩක් ගෙවල් වල තිබුනේ පොකට් රේඩියෝ. විශ්වාස කරනවානම් කරන්න පරිඝණකයක් ඇහැට දැක්කේ 1999 දී.
    ටාටා 23 ශ්‍රී 5568 යන බස් රියෙන් තමයි ග්‍ර‍්‍ර‍රිය ගමට යන්නේ, ඒ මගිනුත් අපට යම් ඉඟියක් දෙනවා මේ ගම හුදකලා ගම්මානයක් බව. එනිසා මුහුදක් දැකලා නැති බව සරළව ගත්තොත් වෙන්න පුළුවන්.

    දුශ්කර ප්‍රදේශයක හිටපු මං වරක් දමන කොට්ඨාශයේ ගමකට ගියා වෛද්‍ය කදවුරකට. එගිදි මට එහිතියෙන දුශ්කරත්වය ඉවසන් ඉන්න බැරි උනා.

    සිනමාවේදි සිනමාකරුවා විසින් යම් යම් ඉඟි ලබා දෙනවා. එවා මඟ හැරගත්තොත් විචාරය අප්‍ර‍න්න වේවි.

    මම නම් දකින්නේ මේ ගුරුවරිය පනිවුඩ කරුවෙක් ලෙසයි.


    ඔබට ජය

    ReplyDelete