Saturday, February 27, 2016

කුරුල්ලන්ට ගී කියන්න ඔබෙ කටහ`ඩ දෙන්න.....


”....බොහෝ දුර සැරිසරන්නට මග කියන තරු එලිය වූයේ ඔබයි.. ගිමන් නිවන්නට අවැසි වූ කළ සිහිල් පැන් බිඳක් දොතොල් මත තැබූ සොඳුරු නවාතැන්පොල ඔබයි...මා අතින් නිමවූ හැම ගීයකම රැුයේ රහසින් මට කොඳුරා කියූ සොඳුරු තනුවද ඔබයි.. මා ඔබම මිස මා, මා නම් නොවේ.. මා හැමදාම පේ‍්‍රම කළ තාරුණ්‍යයට ගැහැණු ළමයිනේ ගීතාවලිය තුටු ප`ඩුරක්ම වේවා.. හද ගැහෙන හැම තත්පරයකම ඔබේ සිත පේ‍්‍රමයෙන් පිරේවා...”

ගුවන් විදුලියේ වෙළඳ සේවය විසින් වික්ටර්ගෙ අවුරුදු හතලිස් පහක සංගීත ජීවිතේ අනුස්මරණය කරමින් පවත්වපු ප‍්‍රසංගෙක හ`ඩ පටිය යූටියුබ් එකේ තියෙනවා. ඒ ආරම්භය වික්ටර් සටහන් කරන්නෙ මේ විදිහට.

වික්ටර් තමන්ගෙ තැන හරියටම අඳුරගෙන හිටියා කියල මට හිතෙනවා. වික්ටර් රත්නායක කියන්නෙ ලංකාවෙ සංගීතයේ රොමාන්තිකයා.. අපිට කියන්න පුළුවන් මිල්ටන් පෙම්වතා කියල. ඒත් වික්ටර් ඊට වඩා ගොඩක් ගැඹුරු රොමාන්තික අවකාශයක්.

හරියටම හිතලා බැලූවොත් අද කසුන් කල්හාර නියෝජනය කරන තැන හැත්තෑව දශකයේ වික්ටර් විසින් නිර්මාණය කරනවා. අමරදේව ඇතුළු පිරිස විසින් නිර්මාණය කරන ප‍්‍රබුද්ධ සම්භාව්‍ය ගීතය ජනප‍්‍රිය තලයට අරගෙන යන්නෙ වික්ටර්. එයා කරන්නෙ පොප් වැඩක්. රාගධාරී සංගීතයේ හිරවෙන්නෙ නැතුව බටහිර සංගීතයත් මුහුකර ගනිමින් වික්ටර් ලංකාවට අනන්‍ය රොමාන්තික සංගීතයක් නිර්මාණය කරනවා.
මට හිතෙන්නෙ අපේ රටේ නූතන ගීතයට නිර්මාණශීලී වැඩක් කරපු ගායකයන් ඉන්නෙ දෙන්නයි.

එක්කෙනෙක් විකටර්. අනිත් එක්කෙනා මර්වින් පෙරේරා. මේ දෙන්නම නිකං ගායකයො නෙමෙයි. බටහිර පෙරදිග සංගීත ධාරා දෙකේම හොඳ දැනුමක් සහ සංගීතයෙන් ඔබ්බට සමාජ සංස්කෘතික අවකාශය ගැන හොඳ අවබෝධයක් තිබුණු අය.

වික්ටර් ලංකාවෙ සම්භාව්‍ය ගීතය සහ ජනප‍්‍රිය තලය අතර හරිම ක‍්‍රියේටිව් පාලමක් හදනවා. ක්ලබ් සිංදු වල ඉඳන් රාගධාරී ගීතය දක්වා විශාල පරාසයක වික්ටර් සිංදු කියනවා. ඊට නොදෙවෙනි සංගීතමය නිර්මාණශීලීත්වයක් පළ කරනවා. වික්ටර්ගෙ මෙලඩි ස්ට‍්‍රක්චර්ස් අරගෙන බැලූවොත් ඒවා අසාමාන්‍ය විදිහට නිදහස්. කොන් හතර හිර කරලා ගහපු වැටවල් වගේ නෙමෙයි. තවත් පැත්තකින් බැලූවොත් සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණක,  අමරදේවගේ කුමරියක පා සළඹ වගේ ගීත වල පවා සංගීතය නිර්මාණය වෙන්නෙ වික්ටර් අතින්.

හැත්තෑව දශකයෙ අපි ආදරය කරන කලූසුදු සිනමාවෙ හ`ඩ වෙන්නෙ වික්ටර් රත්නායක (චිත‍්‍රපටවල පසුබිම් හ`ඩ නෙමෙයි. ඒ සමස්ත සිනමා රූපයෙන් දැනෙන හ`ඩ)   එක විදිහක ලාංකේය හිපි සංස්කෘතියක ආරම්භය මේ හ`ඩ ඇතුලෙ සටහන් වෙනවා.

කොහේද කොහේද අපේ ලොවක්...
කොහේද කොහේද අපේ රටක්...
මුරකාවල් නැති - වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්...

මට මේ වෙනකල් අපේ රටේ ඇහුණු තාරුණ්‍යයේ නිදහස ගැන හොඳම ගීතය මේක. එක පැත්තකින් අමරෙද්වගේ අනුකරණවාදී සංගීතයත් අනෙක් පැත්තෙන් ජෝතිපාලගේ අනුකරණවාදී සංගීතයත් අතර සැබෑ ජනතා සංගීතයක් හොයන්න වික්ටර් රත්නායක මහන්සි වෙනවා. පහළම මාස් එක දක්වාම යන්න බැරි වුණත් එයා සැලකිය යුතු තරමෙ පිට්ටනියක් කවර් කරනවා.

මාලිනියේ වගේ පර්යේෂණාත්මක ගීත, ගිගිරි ගීත රාවේ වගේ බටහිර ක්ලබ් ගීත වගේම පොඩි කුමාරිහාමිනේ, බනින්න එපා පොඩි දෝණිට වගේ ගැමි ආරෙ ගීතත් කිසි වෙනසක් නැතුව වික්ටර්ගෙ හ`ඩින් පණගහනවා. ඒක අමු කොට්ටම්බා කහට කටහ`ඩක් කියලයි මට දැනෙන්නෙ. ඒ හ`ඩ ඇතුලෙ  ඕන දෙයක් රොමාන්තික වෙනවා.

අනෙක් පැත්තට වික්ටර් විසින් ගායනා කරපු ගීතවලත් සුවිශේෂතාවයක් තියෙනවා. අපේ ප‍්‍රබුද්ධයි කියන ගායක පෙළ ගත්තම අමරදේවගේ නන්දා මාලිනීගේ ඉඳන් හැමෝම පාහේ ජාතිවාදයට හෝ ආගම්වාදයට බර (මධ්‍යස්ත විදිහට කිව්වොත් දේශානුරාගී) ගීත ගායනා කරලා තියෙනවා. නන්දාගේ තුන් හෙළේ කැලෑ තුල, අමරදේවගේ රත්නදීප ජන්ම භූමි, සුනිල් එදිරිසිංහ නම් බොදු බල සේනා ගීතය පවා ඔය විදිහට මතක් කරන්න පුළුවන්. ඒත් වික්ටර්ගේ අතින් ඒ විදිහෙ පස්වලට අනුබද්ධ අනුරාගයක් කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ගීතවල තියෙන්නෙ මානව පේ‍්‍රමයක්.. ඒ මානව පේ‍්‍රමයෙන් ඔද්දල් වුණු අනුරාගයක්.. * (ප.ලි)

රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ
එය රැුකීම අප උරුමේ වේ.....

වික්ටර් කියන්නෙ අපි ඔක්කොම රජවරු අපි ඔක්කොම වැසියෝ කියලා. එහෙම දැක්මක ඉඳන් සිංදු කියන්න සංගීතයට එහා ගිය සවිඥාණකත්වයක්  ඕන වෙනවා. ගොඩක් වෙලාවට ඒක එන්නෙ දේශපාලනයක් එක්ක. කපුගේ හොඳම උදාහරණයක්. ඒත් වික්ටර්ගේ මානව පේ‍්‍රමය එන්නෙ දේශපාලනයක් ඇතුලෙ නෙමෙයි. නැවත නැවත ආදරය ඇතුලෙමයි. හැම තත්පරයකම පේ‍්‍රමයෙන් බැඳෙන්න කියල වික්ටර් තමන්ගෙ ගීතාවලිය පටන් ගනිද්දි කියනකොට පපුවට දැනෙන්නෙ ඒක ඇත්තක් හින්දයි.

අපි හැ`ගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..
හඳපානේ... අඩ අඳුරේ....
අත්පටලා යමු ආයේ.....
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගේ සෙවනැල්ලෙන් මිදී....

මේ සමහර ගීතවල ඉතාමත් ගැඹුරු ආදර සක්මන් යෝජනා වෙනවා. ඒවා හුදු සාම්ප‍්‍රදායික පේ‍්‍රමාලාප නෙමෙයි. ඒ වෙනුවට කවුරු හෝ විසින් අත්විඳින ලද වෙනස් මානයක ආදර සංවේදන. මාලිනියේ ගීතයේ පවා ඒ නැගෙන අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය ඒ විදිහට ගීතයක් ඇතුලට ගේන්න හැකිවීමම විප්ලවීයයි.

මං ආදරය කරපු හැම කෙල්ලෙකුටම මම වික්ටර්ගෙ සිංදු දීලා තියෙනවා. මුලින් කැසට්වල පස්සෙ සීඞී වල දැන් ෆේස්බුක් ෂෙයාර් විදිහට.. ගොඩක් වෙලාවට පටන් ගන්නෙ, ‘කොහේ සිට ඔබ පැමිණියේදෝ.... කියල. ඊට පස්සෙ යාලූ වෙලා ඉන්න කොට හිත මිතුරු සුළ`ග... දෛවයෝගයකින්... සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති වගේ සිංදු.. අන්තිම වෙද්දි අහිමි වුණත් ඔබ ළඳේ... වගේ තැනකින් වැඬේ කෙළවර වෙනවා. වික්ටර්ව අහගෙන යනකොට මම ආයෙ ආයෙත් මගේ තරුණ අත්දැකීම් එක්ක නිදිවදිනවා.

සමහර තැන්වල වික්ටර් දරුණු සමාජ දේශපාලන ප‍්‍රශ්න මතු කරනවා. දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න වගේ ගීතයක් මේ කාලෙ කිව්ව නම් එහෙම හොඳට කන්න වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් දළදා මාළිගාව එක්ක බැඳුණු කුලවාදී අධිපතිවාදී ආකෘති වික්ටර් ප‍්‍රශ්න කරන්නෙ හරිම හියුමන් තැනකින්. පාත රටින් ආවත් හිතේ තියෙන්නෙ එකම ශ‍්‍රද්ධාව කියන මානවීය තැනින්.

ගායකයෙක් හුදකලාව බිහිවෙන්න බෑ කියලයි මම විශ්වාස කරන්නෙ. සංගීතය ගැන දැනුමෙන් විතරක් බෑ සිංදු කියන්න. ඒකට වටේ ඉන්න පිරිසත් බලපානවා. උදා විදිහට වික්ටර් හිටියෙ පේ‍්‍රමකීර්තිද අල්විස්, චින්තන ජයසේන වගේ දරුණු ක‍්‍රියේටිව් සෙට් එකක් එක්ක.

ලංකාවෙ සාර්ථකම සංගීත ප‍්‍රසංගය කරන්නෙ වික්ටර්. ඒකට නම තියන්නෙ චින්තන ජයසේන. එක අකුරෙ ප‍්‍රසංගයක් කරන්න  ඕන කියලයි චින්තන ඒ නම දාන්නෙ. එක විදිහට බැලූවම ඒවා අපේ ‘බීට් ජෙනරේෂන්’ එකක වැඩ. චින්තන ජයසේන කියන්නෙත් බුද්දිමය සමාජය විසින් හරිහමන් කියවීමකට ලක් නොකර හෑල්ලූවෙන් අත්ඇරපු චරිතයක්. මෙහේ සිද්ද වුණු ගොඩක් අමුතු වැඩ පිටිපස්සෙ චින්තන ජයසේන කියන චරිතෙ ඉන්නවා.

වික්ටර්ගෙ ‘ස’ ප‍්‍රසංගයට මිනිස්සු එන්නෙ හෝල් කඩාගෙන. පළවෙනි වතාවට ලංකාවෙ ප‍්‍රසංගයක් හාස්‍යයට ලක් කරලා කැසට් එකක් පවා එනවා. නිහාල් සිල්වා අතින් නිර්මාණය වුණා කියල රාවයක් තිබුණු මේ කැසට් එක පවා නිර්මාණශීලී වැඩක්. වික්ටර් නිසා ලේයර් ගණනාවක දේවල් ඉන්ස්පයර් වුණා.

‘තොටු පොල අයිනේ කවුද අත වනන්නේ..? වේසියෙක් වෙන්නැති...’

මං කලින් කිව්ව වගේ හැත්තෑව දශකෙ බටහිර හිපි නිදහස්කාමී අදහස් ගොඩක් වික්ටර්ගෙ සිංදු ඇතුලෙ අපේ විදිහට ඇහුන.

‘සඳහිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනග තරුණ බමරු අපි- අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ... අපි මැරෙන්නෙ නෑ.....’

මේ විදිහට ජීවිතය, එහි ලෞකිකත්වය වැළඳගන්නා ගීත නිර්මාණය කරපු වෙන කිසි ගායකයෙක් නෑ. වික්ටර්ගෙ ඒ රොමාන්තික දාර්ශනිකත්වයට අනිවාර්යෙන්ම මධුවිත ලොකු පිටුවහලක් වෙන්න ඇති. ඒ ලාංකේය බොහිමියානු ජීවිතය ඇතුලෙයි වික්ටර් රත්නායක තමන්ගේ සංගීතමය සළකුණ තියන්නෙ.

වික්ටර් ගැන මට විශාලතම ගෞරවයක් තියෙන්නෙ ලංකාවෙ ප‍්‍රබුද්ධ සංගීතය ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කරන්න දරපු වෑයම හින්දයි. සුළු පිරිසකට සීමා වුණු  බටහිර සහ රාගධාරී සංගීතය වික්ටර් ජනතාව අතරට අරගෙන යනවා. අජිත් කුමාරසිරි කියන විදිහට වික්ටර් සිංදු ඇතුළට ගේන කවුන්ටර් පාර්ට් වගේ දේවල් ඒ වෙද්දි එහෙම පාවිච්චි වෙලා තිබුනෙ නෑ. ඒ ගීත ඇතුලෙ හැම සංගීත සම්ප‍්‍රදායක්ම විවෘත කරනවා. ආදරයට, ජීවිතයට බද්ධ කරනවා.

මේ වෙද්දි වික්ටර් බීම නවත්තලා. ඒ මදිවට බීමේ ආදිනව ගැන කියන්නත් ඉදිරිපත් වෙලා. කොයිතරම් ආදිනව කිව්වත් බීමේ සෞන්දර්යයේ ප‍්‍රතිඵල නිර්මාණය වෙලා ඉවරයි. නොබීම ඇතුලෙ කිසි දෙයක් සිද්ද වෙලා නෑ.

මං ඉස්සර වික්ටර්ව ආයෙ ආයෙත් අහනවා.
දැන් වික්ටර්ව අහන එක නතර කරලා දාලා තියෙන්නෙ.
(කතාබහ කරමින් නොයෙක් කරුණු මතුකර දුන් සුදන්ත මාධවට සහ අජිත් කුමාරසිරිට ස්තුතියි)

*(ප.ලි) බොහෝ දෙනෙක් විසින් ‌facebook හි පෙන්වා දී ඇති පරිදි මා හට යම් මගහැරීම් ප්රමාණයක් සිදුවී ඇති අතර අඩු තරමේ වික්ටර්වත් එම ජාතිවාදී ගො‌ෙහාරැවෙන් මිදී නැති වග බාර ගැනීමට සිදුවේ. සියලු ප්රබුද්දයන් මෙන්ම ඔහුද ඉදහිට හෝ ඒ කුණු වලට බැස තිබේ. නමුත් ඔහුගේ රත්තරං කෙණ්ඩියේ, අපි ඔක්කොම රජවරැ ආදී ගීත හරහා ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පළල් මානව ප්රේමයක් වෙනුවෙන් ආමන්ත්රණය කර ඇති බව පිළිගන්නත් සිද්ද වෙනවා. වික්ටර් අතීතයේ ඇති කළ ට්රෙන්ඩ් එක ඇතුලෙ මතක් වෙන්නෙ ප්රේමාන්විත පෙනී සිටීමක් වග මගේ හැගීමයි. ඒකට බෙහෙවින් හේතුවන්නට ඇත්තේද මා ලියා ඇති පරිදි ප්රේමකීර්ති ආදීන්‌ෙග් සමාගමය වෙන්න පුළුවන්.

-චින්තන ධර්මදාස
ඉරුදින පුවත්පතේ වික්ටර් රත්නායක විශේෂ අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි

10 comments:

  1. අගේ ඇති සටහනක්..ස්තූතියි චින්තන.

    ReplyDelete
  2. රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
    ප්‍රෙමදාස වෙනුවෙන් කියපු එකක් කියල හිතෙනවා. ප්‍රේමදාසගේ ජනතා කලාකරු චරිතයක් ඒ කාලේ කළා මතකයි.

    ReplyDelete
  3. හරිම ලස්සන ලියවිල්ලක්. මම ආසම සින්දුවක් තමයි නීල බිඟු කැල.

    ReplyDelete
  4. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  5. සෑම අදහසකටම එකඟයි. මේ කොටසට බොහෝ එකඟයි.
    //////මේ වෙද්දි වික්ටර් බීම නවත්තලා. ඒ මදිවට බීමේ ආදිනව ගැන කියන්නත් ඉදිරිපත් වෙලා. කොයිතරම් ආදිනව කිව්වත් බීමේ සෞන්දර්යයේ ප‍්‍රතිඵල නිර්මාණය වෙලා ඉවරයි. නොබීම ඇතුලෙ කිසි දෙයක් සිද්ද වෙලා නෑ./////////// Aru

    ReplyDelete
  6. වික්ටර් ගැඹුරු රොමාන්තික අවකාශයක් +++++++

    ReplyDelete
  7. අමරසිරි පීරිස් ගේ සින්දු ඇහෙන මානෙක මට ඉන්න බැහැ. කිසි හැඟීමක් නැති වේලිච්ච කටහඬක්

    චින්තන ධර්මදාස (cult එක )

    චින්තන Facebook
    Category favorite musician

    වසන්ත කුමාරසිරි :

    ReplyDelete
  8. සෑහෙන දුරට එකඟ විය හැකි හොඳ ලිපියක්.

    ඒත් විශේෂයෙන් මෙන්න මේකට එකඟ වෙන්න බෑ.

    //අමරදේවගේ රත්නදීප ජන්ම භූමි, සුනිල් එදිරිසිංහ නම් බොදු බල සේනා ගීතය පවා ඔය විදිහට මතක් කරන්න පුළුවන්. ඒත් වික්ටර්ගේ අතින් ඒ විදිහෙ පස්වලට අනුබද්ධ අනුරාගයක් කියවෙන්නෙ නෑ.//

    මොකද වික්ටරුත් 72 ජනරජ දිනයට ගී ගැයුව වගෙම

    //වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරූ
    ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරූ
    හේලී ලංකා හේලී ලංකා

    දවුලු ගැමුණු පඬු අබා කසුබු විජයබා
    ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා
    හේලී ලංකා හේලී ලංකා //

    වගේ ගීතත් ගයා තියෙනව.

    ReplyDelete