Monday, April 18, 2016

සිංදු කියන බේකරිය


බේකරියෙ කට්ටිය මේ අවුරුද්දෙත් ඩවුන් ටවුන් පල්ස්  ඕගනයිස් කළා. ආපහු බේකරිය ඉස්සරහම, ඒත් වෙනදට වඩා ලොකුවට. බේකරියම ඩවුන් ටවුන් පල්ස් බිම විදිහට තෝරා ගත්ත එක හොඳ තීරණයක්. ඒ සංස්කෘතික සුවිශේෂ බව තියෙන්නෙ එතන. මහල්වරාව ගමක් විදිහට සාමූහිකව මේ වෙනසට ඉඩ දීම කියන එක. ඒක ලංකාවෙ සාමාන්‍ය තත්වයක් නෙමෙයි. තමන්ට අහගෙන ඉන්න බැරි ගෝෂාකාරී සංගීතය සහ තමන්ට දරාගන්න බැරි සංස්කෘතික විපර්යාසයන් ඉස්සරහ ගම්මු සාමාන්‍යයෙන් අවි අමෝරා ගන්නවා. ඒ වෙලාවට මහරගම වගේ පොලිසියක් ලේසියෙන්ම වැඬේ තහනම් කරනවා. 

ඒත් ගමක් වුණාට මහල්වරාව වෙනස්. බේකරියට වෙනස් විදිහට පවතින්න එහේ පුළුවන් වෙනවා. පොලිසියට පුළුවන් වෙන්නෙ බීර ලයිසන් එක නොදී ඉන්න විතරයි.

ගමේ මිනිස්සුන්ට බාර ගන්න පුළුවන් නිදහස අලූතෙන් පත්කරපු නිදහස් ආණ්ඩුවට බාර ගන්න අමාරු වෙනවා. තාමත් තියෙන්නෙ මහින්ද රාජපක්ෂ පොලිසියමයි. එක විදිහකට මහින්ද උඩින් මේ වගේ සංස්කෘතික වාරණයන් පෙන්නන්න හැදුවත් යටින්  ඕනම දේකට නිදහසක් දුන්නා (තමන්ට හිතවත් නම්). 

ඒත් මේ ආණ්ඩුව ඊටත් වඩා එහා ගිහින් පුහු සදාචාරවාදී සීමාවන් ආරක්ෂා කරන්න හදනවා. ප‍්‍රසංගෙකට බීර ලයිසන් එකක් ගන්න බෑ කියන්නෙ විනෝදයේ නිදහස ගැන ගොඩක් පහල පෙලේ සීමාවක්.
බීර නැතුව ඩවුන් ටවුන් පල්ස් කළා. බොන අය තමන්ගේ බෝතල් අරගෙන ආවා. දුම්  ඕන අය දුම්, පෙති  ඕන අය පෙති, මුද්දර  ඕන අය මුද්දර, හැමෝම සාමූහිකව තමන්ගෙ විනෝදය අරගෙන ආවා. දවස් තුනක් තිස්සෙ ප‍්‍රසංගය තිබ්බා. කූඩාරම් ගහගෙන කට්ටියක් බේකරියෙ පිටිපස්සෙ නැවතිලාම හිටියා. ඒක අමුතු අත්දැකීමක්. මේ විදිහෙ වෙනස් අත්දැකීමක් සමාජගත කරන අවකාශයක් නිර්මාණය කිරීමයි ඩවුන් ටවුන් පල්ස් වල වැදගත්ම කාරණය විදිහට මං දකින්නෙ. 


සුපුරුදු සංගීත ප‍්‍රසංගයට එහා ගිහින් ෆොටෝග‍්‍රැෆි, ඉන්ස්ටොලේෂන්, ග‍්‍රැෆිටි වගේ ගොඩක් දිශානතීන් හරහා මේ පාර ඩවුන් ටවුන් පල්ස් ලොකු වුණා. එතන තිබුණ පර්ෆෝමන්ස් ආර්ට් වැඩ කීපයක්. ඒවා හරිම ක‍්‍රියේටිව් වගේම අලූත්. පර්ෆෝමන්ස් ආර්ට් එකක ලස්සන තියෙන්නෙ ඒකෙ ආර්ට් එක නිර්මාණය වෙන්නෙ ආර්ටිස්ට්ගෙ ඇක්ට් එකෙන් විතරක් නොවීම. ඒ දිහා බලන් ඉන්න නරඹන්නො නොදැනිම ආර්ට් එකේ ලොකු කොටසක් සම්පූර්ණ කරනවා. බන්දු මනම්පේරිගෙ වොෂින් මෑන් කියන ඉදිරිපත් කිරීමෙදි කුණුහරුපෙන් බැන බැන ගිය ප‍්‍රයිවට් බස්කාරයො ඒ ආර්ට් පීස් එකේ විචිත‍්‍ර බව වැඩි කරනවා. ඔමාලි රාධිකා ගෑස් බැලූන් පොකුරක් එක්ක  කවදාවත් අමතක නොවෙන සරියල් අත්දැකීමක් ඇතුලට පේ‍්‍රක්‍ෂකයා අරන් යනවා.


ඒ තරම්ම වැඩකට නැති වුණත් සංවාද කතිකා කීපයකුත් පැවැත්වුණා (මාත් එකකට සහභාගි වුණා). ගොඩක් වෙලාවට මේ කතිකාවලට සහභාගි වෙන්නෙ අපි වගේ එකම කට්ටියක්. ඒ හින්ද වෙනස් අදහසක්, සංවාදයක් ඇතිවෙන්න තියෙන ඉඩ අල්පයි. මොකක් හරි විදිහකට අපිට පුළුවන් නම් මියුසික් වලට වගේම ඉංග‍්‍රීසි සංස්කෘතික කතිකාවල ඉන්න අය මේ සංවාදවලටත් එකතු කරගන්න, ඒකෙන් යම් වැඩක් සිද්ද වෙයි. නැත්තං ඒකෙන් වෙන්නෙ අපේ පරණ බව යලි යලිත් අවධාරණය කරන එක විතරයි.

මේ පාර ඩවුන් ටවුන් පල්ස් හරහා බේකරිය සංස්කෘතික කේන්ද්‍රයක් බවට පෙරලෙනවා. ස්ථාවර දැවැන්ත වේදිකාවක් එතන හැදෙනවා. ප‍්‍රදර්ශනයක්, කතාබහක් කරන්න පුළුවන් අලූත් ඉඩකඩක් විවෘත වෙනවා. ඒ ඉඩකඩ කොයිතරම් ප‍්‍රකාශන නිදහසක් තහවුරු කරනවද කියන එක අනාගතයට බාර කාරණයක්.  ඒත් මේ පටන්ගැන්ම කොහෙත්ම සුළුවෙන් තකන්න පුළුවන් එකක් නෙමෙයි.

හැම හොඳ දේකටම වගේ ඩවුන් ටවුන් වලටත් එක එක විවේචන එල්ල වෙනවා. මේක වමේද දකුණෙද කියන තැන ඉඳන් අඩුපාඩු ගැන, දේශපාලනයන් ගැන, තෝරා ගැනීම් ගැන එක එක විවාද ඇති වෙනවා . ඒක හොඳ තත්වයක්. වැඩිවැඩියෙන් විවේචනයන් එල්ල වෙන තරමට අදහස් පැතිරෙන වේගය වැඩියි. ඒක පක්ෂ හෝ විපක්ෂ වීම ගැටලූවක් නෙමෙයි. 

මොනවා වුණත් දැවැන්තම වැඬේ වුනේ සංගීත ප‍්‍රසංගය. හැම සංගීත කණ්ඩායමක්ම තමන්ට හැකි උපරිමය අරන් වේදිකාවට ගොඩවුණා. විශ්ව විද්‍යාල වලින් අලූත් කණ්ඩායම් එකතු වුණා. සමහර තැන්වලදි මේ විකල්ප සංගීත කතිකාව නිර්මාණය කරන්න අජිත් කුමාරසිරි තනියම කාපු කට්ට ගැන නැවත නැවත මතක් වුණා. දරුණු එක්ස්ටී‍්‍රම් එකක් එක්ක අජිත් ලංකාවෙ සම්මත සංගීත ප‍්‍රවාහයට විරුද්දව තනියම හිටගෙන හිටපු කාලයක් තිබුණ. ඩවුන් ටවුන් පල්ස් වල ඒ ඉන්ෆ්ලූවන්ස් එක තදට දැනෙනවා. සුජී ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට කියන සිංදුව අරන් ආපු ගිගුම් බෑන්ඞ් එක තවත් පරම්පරාවක් එහාට මේ සද්දෙ අරන් යනවා. ඒත් ඒක මේ වෙද්දි කොයිතරම් ඉදිරිගාමීද කියන එක අපි නැවත කතා කරන්න  ඕන. ( ඕනම ප‍්‍රගතිශීලී දෙයක් කාලයක් යද්දි ප‍්‍රතිගාමී අර්ධයක හිරවෙනවා)

මේ අතර දවසක ලංකාවෙ සංස්කෘතික කතිකාවල ගොඩක් රැුඩිකල් පෙනී සිටීමක් කරපු කෙනෙක් මට මුණගැහුන. ‘මට බයයි බං මේ කැම්පස් වලින් එන උන්ට මොනවා වෙයිද කියල. උන් හිතනවනෙ මේක ඇත්තට පවතින සංස්කෘතියක් කියල. උන් ඒවා කරන්න ගිහින් විනාස වෙනවා’

එයා කිව්වෙ සීරියස්. ඒත් මං ඒ වගේ කතාවක් එයාගෙන් බලාපොරොත්තු වුනේ නෑ.

‘මොකුත් වෙන්නෙ නෑ’ මං සහතික කරලා කිව්වා.

‘ඒ කිව්වෙ?’

‘එහෙම විනාස වෙනවා කියල දෙයක් නෑ. ඒක බයක් විතරයි’ 

ඩවුන් ටවුන් ගොඩක් දේශපාලනිකව ප‍්‍රගතිශීලී අය තුල පවා බරපතල සංස්කෘතික කම්පනයක් ඇති කරපු වැඩක්.

වැගන් පාර්ක් අලූතෙන් මේ වේදිකාවට නගිනවා. ඒ ගොල්ලොන්ගෙ විකල්ප බව ගැන තැන ප‍්‍රශ්න කරනවා. 

වැගන් පාර්ක් ඔල්ටර්නේටිව්ද?


වැගන් පාර්ක් කියන්නෙ මේ පාර ඩවුන් ටවුන් වලට එකතු වුණු හොඳම සෙට් එකක්. ඒ විතරක් නෙමෙයි ඒක අලූත් කලාපයක්. බුද්ධි අපේ බයිලා සික්ස් එයිට් සංගීතය ඇතුලෙ අලූත් අත්දැකීම් සිංදු විදිහට ගේනවා. ඒවා මහා බහුශ‍්‍රැත වචන නෙමෙයි. කෙලින්ම දැනෙන දේ කියන සරල සම්ප‍්‍රදායම එයා තියාගන්නවා. එයා වැල බලන එක ගැන මරු සිංදුවක් කිව්වා.

ඒ ගෙදර බලනවා - මේ ගෙදර බලනවා
ඔයත් බලනවා මල්ලි මාත් බලනවා..

වැගන් පාර්ක් එතනට එකතු වුණු එක විකල්පයේ සීමාව ටිකක් රිදෙන්න පළල් කරනවා. ඒක නිසාමයි මේක විකල්පද කියන විවේචනය පවා එන්නෙ. ඒත් විකල්පයට ඒ විදිහෙ සීමා තියෙන්න පුළුවන්ද? ප‍්‍රධාන ධාරාව නැවත යෝජනා කිරීම පවා විකල්පයක් වෙන්න බැරිද?

ඩවුන් ටවුන් ගැන මට ඇතිවුණු ඊළ`ග අදහස ඒකයි. අපි විකල්පය කියල කලින් නිශ්චය කරගත්තු රාමුවක් ඇතුලෙ විතරක් වැඩකරමින් ඉන්නවා වගේ කියන එක. ප‍්‍රධාන ධාරාවෙ කතිකාව නිහ`ඩ වුණු ගමන්ම මේ විකල්පයට තියෙන අර්ථය මොකක්ද? මට හිතෙන්නෙ අපිට පරාරෝපිතය තුල විකල්පය හොයාගෙන යන ගමන වගේම සම්ප‍්‍රදාය ඇතුලෙත් විකල්පය හොයාගෙන යන්න වෙනවා. අමරදේව පවා ඩවුන් ටවුන් වේදිකාව උඩ ගැයෙන්න පුළුවන් සහ ඒක අවශ්‍යයි. අපේ යටගියාවෙ නිර්මාණ නැවත පරිශීලනය කරමින් ඒ හරහා යළි ගොඩනැංවීම් කරන සංගීත කතිකාවක් අලූතෙන් හැදෙන්න  ඕන. බයිලා ඇතුලෙ වැගන් පාර්ක්ලා අලූත් අත්දැකීම් කියනවා වගේම අපිට පුළුවන් පරණ සිංදු වෙනස් නාද එක්ක එකතු කරමින් අලූත් ආතල් වැඩ කරන්න. මතවාදිමය තලයේ ගල්ගැහුණු විකල්පය වෙනුවට අපි නිර්මාණාත්මක විවිධ හැඩතලයන් ගන්නා විකල්පයන් හොයන්න.

හැමෝම තමන්ගෙ නිර්මාණ කළේ ඒ ප‍්‍රකාශන බෙදාහදා ගැනීමේ ත‍්‍රිල වෙනුවෙන්මයි. ඒවාට මිළක් තිබුනෙ නෑ. කොටින්ම ඩවුන් ටවුන් පල්ස් වේදිකාවම ඒ විදිහෙ බෙදාහදා ගන්නා මහන්සියක ප‍්‍රතිඵලයක්. ඒ තරම් දැවැන්ත වැඩක් ආර්ට් ගැන තියෙන ආශාව නිසාම නිර්මාණය වෙනවා කියන්නෙම අතිශය ආස්වාදනීය ප‍්‍රවේශයක්. මුහුවීමක්. සංසර්ගයක්. සුරතාන්තයක්.

සංජීව එයාගෙ ‘හින්දා’ සිංදුව ලයිව් සින්ග් කළා එතන. වීඩියෝ එකටත්  වඩා ඒ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම රසවත්. සංජීව එයාගෙ නාට්‍යමය හැකියාව සිංදුවක් ඇතුලෙන් එලියට මුදාහරිනවා. ඒක අලූත් සංගීතයක්/රංගනයක් වෙනවා. කොහෙත්ම ඒ ගායනය හෑල්ලූ කරනවා නෙමෙයි, ඒත් දෙකක් නෑ, සංජීව කියන්නෙ ඉතාම හොඳ නළුවෙක්. 


අලූත්ම- නැවුම්- හිරිවැටෙන- කිතිකැවෙන සුළු වැඬේ සිද්ද වෙන්නෙ ගීතදේව අතින්. එයාගෙ රස්තියාදුව ඇතුලෙන් වෙනස්ම විදිහක ටි‍්‍රප් එකක් ගීතදේව සංගීතයට ගේනවා. ඒක අපේ ජනගී එක්ක බද්ධයි. ඒ මොහොතෙම ලෝකෙ අනිත් ජනගී සම්ප‍්‍රදායන් එක්කත් බද්ධයි. ගීතදේව කේතලය ගිටාරයක් කරනවා. එයාගෙ ඩ‍්‍රමර්, ෂැගී යකඩ කොයිල් ගොඩක් පර්කෂන් වලට පාවිච්චි කරනවා. ඒ හ`ඩවල් අලූත්. ඒත් ඒ නාදය අපේ ඇතුලටම සම්බන්ධයි. අපේ දේ හොයන්න කියල කරපු ගොඩක් විකාරරූපී දේවල් වලට වඩා වෙනස්ම ආකෘතියක, අපේම සයිකඩෙලික් උරුමයක් ගීතදේව එයාගෙ සංගීතය ඇතුලෙ හොයාගෙන යනවා. ජාතික සීමාවන් ආධ්‍යාත්මික තලයෙන් විනිවිදන මේ සංගීතය අනිවාර්යෙන්ම අනෙක් රටවලටත් ඇහෙන්න  ඕන. ඒ මියුසික් හරිම මිස්ටික්.


ඩවුන් ටවුන් දවස් ටිකේම බේකරියෙත් පාන් පිච්චුනා නම් මරු. ඒ පාන් කකා සිංදු අහන්න තිබ්බා නම් මරේ මරු. ලංකාවෙ හැම ප‍්‍රවාහයක්ම, කතිකාවක්ම එකතු කරන තැනක් විදිහට බේකරිය ස්ථානගත වීම ඊටත් වඩා මරු. 

ඉදිරිපත් කිරීම් වලටත් වඩා එතන එකතු වුණු මිනිස්සු ගොඩක් සුන්දරයි. තැන තැන බොමින්, අත්පුඩි තලමින්, එකිනෙකා වැළඳ ගනිමින් ඒ ගතවුණු රාත‍්‍රීන් ගොඩක් මනුස්සයි. ලංකාවෙ හැම සංස්කෘතික කලාපයකම අය එකිනෙකා මුණගැහෙන දවස් තුනක්, හරියට ඉන්දියාවෙ කුම්භමේලා වගේ අත්දැකීමක් මේ පොලොවට සමපාත කරන්න පුළුවන් වීම ගැන බේකරියෙ කට්ටිය උවමනාවටත් වඩා ආඩම්බර වෙන්න  ඕන. සියලූ මතවාදිමය සහ දේශපාලන සීමිතකම් වලින් ඔබ්බෙහි නිදහස ගැන වේදිකාවක් විදිහට ඩවුන් ටවුන්  හැදෙන එක ලංකාවෙ සංස්කෘතික ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කරනවා. 

ඒ වෙනුවෙන් සිද්ද වෙන කොයිම තර්කයකින්වත් ලඝු කරලා හිතන්න බැරි මේ දැවැන්ත මහන්සිය වෙනුවෙන් බේකරියෙ උන්ට ගරු කරනවා. උඹලා අලූත් ලංකාවක් නිර්මාණය කරමින් ඉන්නවා.

-චින්තන ධර්මදාස

4 comments:

  1. මට චින්තනගේ ලිපිය කියවනකොට මතක්වුනේ නොවරදාම යන කේම්බ්‍රිජ්වල ස්ට්‍රෝබෙරි ෆෙස්ටිවල් එක. බේකරිය කියන්නේ නිවහල්ලුන්ට තෝතැන්නක් කියලා මට හිතෙනවා. ගතානුකතික හිරකුටිවලින් එලියට බහින්න. එය සංස්කෘතිකමය වශයෙන් පමනක් නොවේ අන් හැම දිසාවකින්. මම වයසක මිනිහෙක්. නමුත් නිදහස්වීම යනු වයසට බාධාවක් නොවේ. බැමි නැති ලෝකයක් යනු, ඉබි නැති සිරගෙවල් නොමේ. නිදහස්වූ චින්තනයන් පමනි. ඒ තුල බොහෝ දේ නිවහල් වෙනු ඇත. බොහෝ දේ ලිවීමට තිබුනු මුත් මම බ්ලොග් ලිවීමෙන් නිදස් වුනෙමි. නිදහස යනු වල් බූරු නොවෙනෙවාසේම, චින්තන නිදහසක් ඇති වටපිටාවක බූරුවන් (කකුල් දෙකේ )පවතින්නේද නැත. සුචරිතවාදීන් මාත් එක්ක තරහගන්න එපා. Aru.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියෙව්වාම අරූ නොලියන එකෙන් අපිට වෙන පාඩුව පේනව

      Delete
  2. විශ්වවිද්යාල සිසුවො විදිහට අපි උත්සාහ කලේ අපේ ප්‍රකාශනයේ නිවහල් බව අත්විදින්න ඒ නිදහස් කම ලෝකෙට කියන්න. විකල්ප ආර ඒකට හොද තෝතැන්නක් උනා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෑ ඒ ආර සහ ඒ පිළිභිබු සන්ස්කෘතිය අපේ කරගන්නවා කියන කාරණය.
    ඒක සාපෙක්ශ කාරණාවක් ඉතින්.
    අපි හැම දේම අත්විදින ඕන විකල්පයත් ජීවිතේ එක කොටසක්..

    ReplyDelete
  3. කැම්පස් කොලුවෙක්.April 28, 2016 at 11:37 AM

    මේ දේට ආස වුනේ ඝෝෂා කණ්ඩායමේ සජීවී ප්‍රසංගයකට සහභාගී වීමෙන් පසුව. තවමත්, ඉදිරියටත් ඒ දේ ට කැමතියි..
    බේකරියට ජය.....

    ReplyDelete