Thursday, February 2, 2017

වම දකුණ පැටලෙන සයිටම් විරෝදය



සයිටම් ප‍්‍රශ්නෙ දැන් පත්තු වෙලා යනවා. අධිකරණයේ ස්වාධීනත්වය, රෝගීන්ගේ සෞඛ්‍ය අවදානම, අධ්‍යාපනයේ පිරිහීම වගේ මාර මාතෘකා වලින් ලංකාවෙ  ඕනම දේකට විරුද්ද වෙන රෝගී වම සහ දකුණ සයිටම් විරෝධය මත එල්ලී යැපෙනවා. මෙතනදි තේරුම් ගන්න තියෙන වැදගත්ම කාරණය මේ මතුකරන කවර කාරණයකටත් වඩා ඒ පිටිපස්සෙ තියෙන වැඩවසම් උවමනාව කියන එක. ඇත්තටම එතනදි මේ විරෝධීන් පව්. ඒ අයට කොයිතරම්  ඕන වුණත්, කොයිතරම් ලෝකෙ ප‍්‍රගතිශීලී කියන කතා කටපාඩම් කර ගත්තත් මේ ජානගත පසුගාමීත්වයෙන් ගැලවෙන්න අමාරුයි. ඒක සිද්ද වෙන්න නියමිත සමාජ පරිණාමයක් හරහායි. ඇත්තටම සයිටම්, සමලිංගික අයිතිය වගේ කාරණා ඒ පරිණාමය වේගවත් කරනවා. මේ කතිකාවෙ පරණකම අවධාරණය කරනවා.

වමේ ජනප‍්‍රිය කතිකයෙක් සහ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්න හෙළ උරුමයට බර කතිකාචාර්යවරයෙක් ඇතුලූ තවත් බොහොමයක් කට්ටිය ඉතා මෑතක ඉඳන් විලිලැජ්ජ නැති කතාවක් හරි හයියෙන් කියනවා.
‘දැන්  ඕන කෙනෙකුට  ඕන දෙයක් කියන්න පුලූවන් වෙලා’
ඒ ගොල්ලො අවුල් වෙනවා.

මේ කියන්නෙ නවීන තාක්‍ෂණය හරහා හැමෝටම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න, ඒවා බෙදාහදා ගන්න තියෙන අයිතිය ගැනයි. තමන් බුද්දිමතුන්, හදාරන්නන්, කියවන්නන් විදිහට හඳුන්වා ගනිමින් සමාජ සංවාද අවකාශයේ අත්පත් කරගෙන හිටපු තැන ප‍්‍රජාතන්ත‍්‍රීකරණය වීම ගැනයි මේ මැසිවිල්ල.

යම් හෝ ප‍්‍රගතිශීලී අදහසක් දරන්නෙක් පුළුවන් තරම් පක්ෂ විය යුත්තේ හැම කෙනෙකුගේම අදහසක් මතුවෙන්නට, සංවාද වෙන්නට අවකාශයක් විවෘත වීම ගැනයි. හැම අදහසකටම සමාන බරක් ලැබීම ගැනයි.

සමාජයේ කොමියුනිස්ට්වාදය ගැන කතා කරන ගොඩක් අයගෙ සැබෑ දේශපාලනය අහුවෙන තැන වෙන්නෙ මේකයි. කවර තත්වයක් හෝ වේවා ඒ තත්වය තුල තමන්ගෙ ආධිපත්‍යය ආරක්ෂා වෙන්න  ඕන. ලංකාවෙ මාක්ස්වාදය කියන්නෙ ඔච්චරයි. අනිත් හැමදේම තියෙන්නෙ නිකං මිනිස්සු කරකවන්න.

මගේ අදහස නම් සිංදු කියන්න ආස හැමෝටම සිංදු කියන්න ඉඩ තියෙන්න  ඕන. ෆිල්ම් හදන්න ආස හැමෝටම තමන්ගෙ ෆිල්ම් එක හදන්න පුළුවන් වෙන්න  ඕන. අදහසක් තියෙන හැමෝටම තමන්ගෙ අදහස කියන්න තැනක් තියෙන්න  ඕන. ඉගෙන ගන්න ආස හැමෝටම තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න  ඕන.

මේ ගුණාත්මක තත්වයන් ගැන, අනාගත අවදානම් ගැන හැම ප‍්‍රලාපයක්ම පැන නගින්නෙ තමන්ට පුද්ගලිකව දැනෙන වල්නරබිලිටි එකට. මේ කියන්නෙ ඒ අයගෙ රස්සාවල් අවදානමට යනවා වගේ සරල කාරණයක් නෙමෙයි. ඊට වඩා තමන් විසින් ජීවිත කාලයක් පුරා දර දිය ඇදලා උපයා ගත්ත මේ සංකේත ප‍්‍රාග්ධන තත්වය අර්බුදයට යන එක ගැනයි. ඒක ඒ අයට ලෝකය කඩා වැටීමක් විදිහට පේන එක සාමාන්‍යයි. හැම පැරඩයිම වෙනසකදිම මේ විදිහෙ බහුතරයක් පරණ එක වෙනුවෙන් එල්ලෙනවා. ඒත් සමාජය ඉස්සරහට යනවා.  

මේ කාලෙ මතුවෙන හැම සංවාදයකම වගේ ප‍්‍රධාන ලක්ෂය වෙන්නෙ මේක. පැරණි මතවාදිමය, බුද්දිමය ආධිපත්‍යය අර්බුදයට යාම. ඒ වෙනුවට දහස් ගානක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එකිනෙකාගේ අදහස් බෙදාහදා ගැනීම. එහිදී තමන්ගේ සුදුසුකම් අනුව වැඩි බරක් ලබා ගැනීමට නොහැකි වීම. නව තාක්‍ෂණික නිර්මාණශීලීත්වයන් ඉදිරියේ තමන්ගේ නොහැකියාව වඩාත් පිළිඹිඹු වීම.

අන්තර්ජාලයට වඩා පතපොත කියවීම අධිතක්සේරු වෙන්නෙත් මේ මානසිකත්වයෙන්මයි. අනිත් හැම රස්සාවකටම වඩා දොස්තරකම අධිතක්සේරු වෙන්නෙත් මේ හින්දමයි.

මගේ සමහර යාලූවො පවා අනිත් විෂයන් වගේ නෙමෙයි, මේක ජීවිත වලට බලපාන විෂයක් කියල කියන්න පෙළඹුණා. ඒකම අපේ ඔලූවට කන්ඩිෂන් කරපු අදහසක්. උදා විදිහට රියදුරුකමට වඩා කොහොමද වෛද ්‍යකම බරපතල වෙන්නෙ කියල මට තේරෙන්නෙ නෑ. රියදුරන්ට විනයක් නැති කමෙන් එකපාර මගීන් තොගයක්ම අනතුරකට ලක්වෙන්න පුළුවන්.  ඕනම දොස්තර කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් අවදානමට වඩා ඒක අවදානම්කාරීයි. ගුරුවරුන්ගෙ අඩුබුද්ධිය නිසා අනාගත පරපුරක්ම නන්නත්තාර වෙන්න පුළුවන්.

කිසිම වගකීමක්, වගවිභාගයක් නැති දෙමව්පියකම නිසා ළමයි අපරාධකාරයො වෙන්න පුළුවන්. පුද්ගලික සෞඛ්‍ය එක්ක සම්බන්ධ වෛද්‍ය විද්‍යාව සමාජ විද්‍යාවන්ට වඩා වගකීම් සහගතයි කියල හිතන එකමත් අපේ සීමාවක්.

සයිටම්වල ගුණාත්මක තත්වයන් ගැන පෙනී ඉන්න මට පුළුවන්කමක් හෝ  ඕනකමක් නෑ. ඒත් පුද්ගලික අධ්‍යාපනයට මේ දොරටුව විවෘත වීමත් එයින් හණමිටි අධ්‍යාපන මතවාද අභියෝගයට ලක්වීමත් ඉතාමත් වැදගත්. අනෙක් අතට ඔය කියන ගුණාත්මක බව පාලනය කරන සියලූ අධිකාරීන් ඒ කටයුත්ත කරන්නෙ දූෂිත විදිහට. පක්ෂග‍්‍රාහී විදිහට. තමන්ගේ අධිකාරී බලය යොදාගෙන ඔවුන් සමාජයට ලැබෙන්න නියමිත සියලූ අවකාශයන් අවහිර කරනවා. පුළුවන්කමක් තිබ්බා නම් අර මුලින් සඳහන් කරපු වමේ මිතුරා ෆේස්බුක් පවා තහනම් කරනවා.

ගුණාත්මක තත්වයන් සමාජයේ පරිභෝජන රටාව විසින් පාලනය කරයි. ඒ තමයි ඒක වෙන්න පුළුවන් හොඳම විදිහ. මගේ අදහසක්, උගත්කමක්, සහතිකයක් වෙනත් කවර හෝ ආධිපත්‍යයක් විසින් තහවුරු කරනවට වඩා සමාජගත වීමෙන්, සංවාදයෙන් එහි වටිනාකම තක්සේරු වෙන්න  ඕන. මෙන්න මේකටයි මේ හැමෝම විරුද්ද. යමක් වෙනුවෙන් සහතිකයක් දෙන්න, අගයක් දෙන්න, බරක් දෙන්න තමන්ට ඇති බලය අහිමි වෙන එක.

තමන් යන්නෙ වෙදෙක් ළ`ගටද, සාස්තරකාරයෙක් ළ`ගටද, සයිටම් දොස්තරෙක් ළ`ගටද, ආණ්ඩුවෙ දොස්තරෙක් ළ`ගටද කියන එක තීරණය කිරීම මිනිස්සුන්ගෙ අයිතියක්. විවෘත පරිසරයක තමන්ගෙ වැදගත්කම, වටිනාකම තහවුරු කරගන්න එක ඒ වෘත්තිකයන්ගෙ කාර්යයක්. වෘත්තිය විසින් සමාජයේ ගොඩනංවන ලද ආධිපත්‍යයක් ඇතුලෙ වටිනාකම් තහවුරු කරගන්න එක, බලපෑම් කරන එක වැඩවසම් පීඩනයක්.

මේ ප‍්‍රතිවිරෝධතා මතුවීම නරක දෙයක් විදිහට දකිනවා නෙමෙයි. කොයිතරම් පරණ වුනත් මේ හැම විරෝධයකටම අදාල කාර්යයක් තියෙනවා. යෝජනා කරන නව තත්වය වඩා සාධනීය විදිහට හැඩගැස්වීම වෙනුවෙන් නැගෙන ප‍්‍රතිවිරෝදයන් ඇරුණම අනිත් ඒවායින් වෙන්නෙ කම්පනය බැලන්ස් කරන එක. වේදනාව පහ කරගන්න උදව්වෙන එක.

-චින්තන ධර්මදාස

5 comments:

  1. මේ කියන්නෙ නවීන තාක්‍ෂණය හරහා හැමෝටම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න, ඒවා බෙදාහදා ගන්න තියෙන අයිතිය ගැනයි. තමන් බුද්දිමතුන්, හදාරන්නන්, කියවන්නන් විදිහට හඳුන්වා ගනිමින් සමාජ සංවාද අවකාශයේ අත්පත් කරගෙන හිටපු තැන ප‍්‍රජාතන්ත‍්‍රීකරණය වීම ගැනයි මේ මැසිවිල්ල.//////////// +++++++++++

    ReplyDelete
  2. "මගේ අදහස නම් සිංදු කියන්න ආස හැමෝටම සිංදු කියන්න ඉඩ තියෙන්න ඕන. ෆිල්ම් හදන්න ආස හැමෝටම තමන්ගෙ ෆිල්ම් එක හදන්න පුළුවන් වෙන්න ඕන. අදහසක් තියෙන හැමෝටම තමන්ගෙ අදහස කියන්න තැනක් තියෙන්න ඕන. ඉගෙන ගන්න ආස හැමෝටම තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න ඕන."
    මගේ මතයත් මේකමයි.
    වෛද්‍යවරයා කියන්නෙත් තමන්ගේ සේවයට වැටුපක් ලබාගන්න සේවකයෙක් බව දැන දැනත් ඒක අමතක කරල ඔවුන්ව වන්දනා කරන්න යාමෙන් තමයි වෛද්‍ය වෘතියට අනවශ්‍ය අධිතක්සේරුවක් ලැබිල තියෙන්නෙ. තමන්ගේ පුහු අධිතක්සේරුව නැතිවෙයි කියන බව තමයි ඔය පිටකරන්නේ.

    ReplyDelete
  3. පුද්ගලික අධ්‍යාපනයට දොරටු විවෘත වීමත් එයින් හණමිටි අධ්‍යාපන මතවාද අභියෝගයට ලක්වීමත් ඉතාමත් වැදගත්.
    :D

    ReplyDelete
  4. /////යම් හෝ ප‍්‍රගතිශීලී අදහසක් දරන්නෙක් පුළුවන් තරම් පක්ෂ විය යුත්තේ හැම කෙනෙකුගේම අදහසක් මතුවෙන්නට, සංවාද වෙන්නට අවකාශයක් විවෘත වීම ගැනයි. හැම අදහසකටම සමාන බරක් ලැබීම ගැනයි.///////
    +++++++++++++++++++++

    ReplyDelete