Monday, January 30, 2017

බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි


ලංකාවෙ එපික් ෆිල්ම්  හදන්න බෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව එපික් ෆිල්ම් එකක් හදන්න අවශ්‍ය වෙන යන්ත‍්‍ර උපකරණ අපිට නෑ කියන එක නෙමෙයි. ඇත්තටම ඒක අවසාන කාරණය වෙන්න පුළුවන්. ඊට වඩා එහෙම වැඩකට අවශ්‍ය කර්මාන්තමය පසුබිමක් ලංකාවෙ නෑ. ඒ අවශ්‍ය නිෂ්පාදන සම්බන්ධතා වගේම පුහුණුව, අත්දැකීම අපිට නෑ.

ඊටත් වඩා මූලික වෙන්නෙ අපිට එපික් ලියන්න බැරි එක. අපි තාම ලියන්නෙ තොරනෙ කතාව. ඒ චරිතවල ගැඹුරක්, ජීවිතයක් අදාල නෑ. උඩින් කියාගෙන යන ප‍්‍රවෘත්තිය විතරයි තියෙන්නෙ. අනිත් පැත්තට අපි ඉතිහාසෙ දිහා බලන්නෙ අන්තිම පක්ශග‍්‍රාහී විදිහට. ඉතිහාසෙන් ගැලවිලා ඉතිහාසය දිහා බලලා ඒක ප‍්‍රතිනිර්මාණය කරන්න පුහුණුවක් අපිට නෑ.

එපික් එකක් ලියන්න තියා අපේ ප‍්‍රවීනයො වුනත් තාම සාමාන්‍ය පිටපතක්වත් ගලපගන්නෙ පුදුම ආයාසෙකින්. ඉතිහාසය පක්ෂග‍්‍රාහීව නිර්මාණය කරන්න බෑ කියනවා නෙමෙයි. ඒ පක්ෂග‍්‍රාහී නිර්මාණය කරන්නත් යම් දුරකින් ඉතිහාසය දිහා බලලා එහි සංවේදී තැන් අඳුරගන්න වෙනවා. අපේ ඉතිහාස කතා නිර්මාණය කරන අය ඉතිහාසයට බැතිමත්ව ඇලීම නිසා ඒ කතාව ඇතුලෙ ජීවිතයක් ගොඩනගා ගන්න බැරුව යනවා.

දැන් අපි ඉන්නෙ ගොඩක් විවෘත ලෝකෙක. රුපියල් පනහට සීයට එන ඞීවීඞී නිසා චිත‍්‍රපටි ගැන හොඳ දැනීමක් රටේ බහුතරයකට තියෙනවා. විශේෂයෙන්ම මේ වෙද්දි ෆිල්ම් බලන  ඕඩියන්ස් එක කියන්නෙ ඉන්ටර්නෙට් එකේ හොඳටම සැරිසරන අය. මහින්දගෙ කාලෙ මේ තත්වෙ වෙනස්. මහින්ද චින්තනය යටතෙ ෆිල්ම් හෝල් පිරුනෙ සිනමා පේ‍්‍රක්‍ෂක පිරිසකගෙන් නෙමෙයි. ඒ පිරිස දේශපාලනිකව එතනට ගාල් කරපු කට්ටියක් විතරයි. ඒක  ඕගනික්  ඕඩියන්ස් එකක් නෙමෙයි.

දැන් ආයිමත් ඇත්තට ෆිල්ම් බලන අය හෝල්වලට එන්න පටන් අරන් තියෙනවා. ඒත් ඒ අය මහින්දාගමනය බලන අය නෙමෙයි. එතනදි අපේ එපික් ෆිල්ම් එකක් ලෝකෙ වෙන රටවල එපික් ෆිල්ම් එක්ක නිකම්ම කම්පෙයාර් වෙනවා. එවැනි දැවැන්ත සිනමාවකින් පේ‍්‍රක්‍ෂකයො බලාපොරොත්තු වෙන දේ දෙන්න අපිට තාම සිනමා ‘ආර්තිකයක්’ නෑ.

ඒත් චිත‍්‍රපටිකරුවෙකුට ඒ වගේ දැවැන්ත නිෂ්පාදන අත්දැකීමක් ගන්න තියෙන ආසාව කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ. බූඩි මාතා ෆිල්ම් එක කිරීම දැකපු තැනින්මයි මං චත‍්‍ර වීරමන් ආලෝකො උදපාදි කරපු එක දකින්නෙත්. ඒ ෆිල්ම් වලට තියෙන ආසාව. කොහොම හරි ලැබෙන අවස්ථාව අල්ලා ගැනීම. රිචර්ඞ් බ‍්‍රැන්සන් කියන විදිහට ඔයා දන්නෙ නැති වැඩක් ඔයාට බාර දෙන්න හැදුවොත් ඉස්සෙල්ලා ඒක බාරගන්න. පස්සෙ කරන හැටි ඉගෙන ගන්න.

ආලෝකෝ උදපාදි හැදෙන්නෙත් ඒ මහින්ද චින්තන යුගයෙමයි. ඒ කාලෙ වෙන චිත‍්‍රපටි තිබුනෙ නෑ. ආශ්චර්යය තිබුනෙ රජකතා බණකතා රැල්ලෙ. ඒවට අලූත් නිෂ්පාදකයො හැදිලා තිබුන. රාජ්‍ය අනුග‍්‍රහ ලැබුන. ආලෝකෝ උදපාදි කෙරෙන්නෙත් මේ දේශපාලනය ඇතුලෙ. ඒත් ඒ වෙද්දි රජ කතා, බණ කතා සිනමාවෙ උවමනාව වුණු මිනිස්සුන්ගෙ ඔලූවට සහ පොකට් එකට තට්ටු කිරීම කියන සරල කාරණයට එහා ගිහින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්‍ෂවරයාගේ සෞන්දර්යාත්මක උවමනාව පැහැදිලිව පේනවා. දේශපාලනය හෝ මතවාදයට වඩා සිනමාව කියන නිර්මාණාත්මක ප‍්‍රවේශය දැනෙනවා. විශේෂයෙන්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ පීරියොඩිකල් දැක්මකින් ආපහු අපේ ඉතිහාසය බලන්න උත්සාහ කරපු එකම ලොකු දෙයක්. ඒ විදිහට රෙෆරන්ස් එක්ක වැඩ කිරීම අපේ අයට පුරුදු නැති ඩිසිප්ලින් එකක්.

සෙට් ගැන හිතලා තියෙන විදිහ, ෂොට් කොම්පෝස් කරන විදිහ, චරිත වල බාහිර ස්වරූපයන් වගේ ගොඩක් දේවල් ගොඩක් ලස්සනයි. ඒත් මේ ෆිල්ම් එකට ස්ක‍්‍රීන් ප්ලේ එකක් තිබිලා නැති වග පැහැදිලියි. ෆිල්ම් එකේ කිසි කෙනෙකුට චරිතයක් ගොඩනැගෙන්නෙ නෑ. පරණ තොරනෙ කතාවම වඩා හොඳ ඩිරෙක්ටර්ස් ටී‍්‍රට්මන්ට් එකකින් එලියට එනවා.

චත‍්‍රගෙ දක්ෂතාවය මං ගොඩක් දකින්නෙ මේ කාරණයත් එක්කයි. හරිහැටි ලියවුන පිටපතක් පවා නැතිව එයා සිද්ධීන් වල ටෙන්ෂන් ගොඩනැගීම, රිද්මය පවත්වාගෙන යාම වගේ කාරණා ඉතා හොඳට කරනවා. කිසි දෙයක් අඩංගු නැති සිද්දීන් දිහා පවා කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් විදිහෙ සිනමාත්මක ස්පර්ශයක් එයා දෙනවා.

අපේ හැම එපික් ෆිල්ම් එකක්ම වගේ ෆේල් වුණු සමූහ යුධ දර්ශන, ත‍්‍රාසය දනවන ලූහුබැඳීම් ආදිය නම් ආලෝකො උදපාදිවලදි සෑහෙන ප‍්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඒත් ක්ලෝස් අප්ස් වලදි ලොකු දුර්වලතාවයන් පේනවා.

වතාවෙන් වතාව හාමුදුරුවරු පෙන්නද්දි ගාථා සද්දෙ පිටින් දාන එක වාතයක්. ඒ හාමුදුරුවරුන්ට තැන තැන ලැග ඉන්නවට වඩා දෙයක් පිටපතෙන් හදලා දීලා නැති හින්ද තත්වෙ තවත් බරපතල වෙනවා.

ගොඩක් අය සැබෑ ඉතිහාස දත්ත එක්ක ෆිල්ම් එකේ යම් කාරණා සසඳන්න උත්සාහ ගත්තත් මට හිතෙන්නෙ මේ ඒ විදිහෙ චිත‍්‍රපටියක් නෙමෙයි කියල. ඒ වෙනුවට ඉතිහාසෙන් පිට ගිහින් නිර්මාණය කරන යම් යම් කාරණා ෆිල්ම් එකේ රියැලිටියට ගැටගහන්න චත‍්‍රට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ඉතිහාස කතා ප‍්‍රවෘත්තියට වඩා යමක් ෆිල්ම් එකට එකතු කරන්නෙ ඒ පිටපැනීම් වලින්.

දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ෆිල්ම් එකේ රජා වීරයා වෙන්නෙ නෑ. ඒ වෙනුවට අතිශය දුර්වල පෙඳයෙක් වගේ චරිතයක් තමයි මහ කලූ සිංහලයාට දීලා තියෙන්නෙ. උද්දික වෙනුවට දර්ශන් ධර්මරාජ් මේ චරිතෙට ගත්තා නම් ඒක වළගම්බා හැලගෙම්බා නොකර බේරගන්න විතරක් නෙමෙයි ඉතිහාස කතා චිත‍්‍රපටි රැල්ලෙ දේශපාලනයටත් අභියෝගයක් කරන්න පුළුවන් කමක් තිබුණ. (ඒත් ඒ කාලෙ කවුද එහෙම හිතන්නෙ?)

ඒ වගේම මේ රජවරු කියන්නෙ පොඩි කල්ලියක් එක්ක ඉන්න චන්ඩි වගේ පිරිසක් කියන එක ෆිල්ම් එක ඇතුලෙ පේනවා. පරසතුරු උවදුරු එද්දි රජා රකින්න පෙළගැහෙන රංචුවෙ සෙබළු දහයක්වත් නැති තරම්. ෆිල්ම් එක පුරාම අපි දකින්නෙ පොඩි පොඩි රංචු අතර ගැටුමක් විතරයි. ඒක ආලොකො උදපාදිවල බලාපොරොත්තු වෙච්ච තත්වයක් නොවෙන්න ඇති. ඒත් මං හිතන්නෙ ඒක තමයි අපේ රජකාලෙ ඇත්ත තත්වය. මහා වංශයම ලියවිලා තියෙන්නෙ මේ වගේ පොඩි පොඩි නඩ ටිකක් ගැන. අපි ඉතිහාසය කියල ලොකුවට මවාගන්නෙ ඉන්දියානු ඉතිහාසෙ තියෙන ආනුභාවය අපේ එක උඩට දාලා. අපේ රටෙ සයිස් එක අමතක කරලා.

වළගම්බා ඇත්තටම සතුරන්ව පරාජය කරන්නෙ සටන් වැදිලා වීරත්වයෙන් නෙමෙයි. ඒ වෙනුවට උන් උන් කොටාගෙන දුර්වල වෙනකල්ම බලාගෙන ඉන්න තිබුණ ඉවසීමෙන්. කාලය තමයි එයාගෙ එකම ස්ට‍්‍රැටජිය වෙන්නෙ. ෆිල්ම් එකෙත් වළගම්බා ගැන කිසිම ආනුභාවයක් ගොඩනැගෙන්නෙ නෑ. ඊට පස්සෙ වීරයෙක් විදිහට ඉතුරු වෙන්නෙ බුද්ධ ධර්මය හෝ හාමුදුරුවරු සෙට් එක. ඒත් වැල්ලෙ තැන් තැන්වල කයිය ගහනවට වඩා ජීවිතයක් හාමුදුරුවරුන්ට ලියවිලත් නෑ. ෆිල්ම් එකේ මුලදි නායකයො විදිහට හඳුන්වාදෙන චරිත පවා ටිකක් දුර එද්දි හොයාගන්න නැති වෙනවා.

 ෆිල්ම් එකේ ටී‍්‍රට්මන්ට් එක කොයිතරම් ඉදිරියෙන් තිබුනත් කෑලි හැලෙන පිටපතක් නිසා කතාව අරාජික වෙලා යනවා.

ෆිල්ම් එකේ සංගීතය අති විශිෂ්ට වැඩකොටසක් කරනවා. එපික් ෆිල්ම් එකකට අවශ්‍ය මූඞ් එක, විශාල බව, හැ`ගීම ආදී සියල්ල හොඳින් කැටි කරගන්නත් චිත‍්‍රපටියෙ තිරරචනයේ අඩුපාඩු පවා ඇතැම් තැන්වලදි වහන්නත් මියුසික් වල පවර් එක උදව් වෙනවා.

මේ කොයි අඩුපාඩු තිබුණත් ලංකාවෙ කෙරුණු එපික් ෆිල්ම් අතර හොඳම එක විදිහට ගන්න වෙන්නෙ ආලොකො උදපාදි. ඒ ෆිල්ම් එක ඒ තරම් හින්ද නෙමෙයි ඒ වෙනුවෙන් අරන් තියෙන වෑයම ඒ තරම් හින්ද.

 අන්තිමට ෆිල්ම් එක ඉවර වෙන්නෙ බුද්ධ ධර්මය ග‍්‍රන්ථාරූඩ කරන තැනින් . සිද්දියක් විදිහට ඒ කොටසෙ රූපමය ගොඩනැංවීමට මං ගොඩක් කැමතියි (ඒ ඞීටේල් වලට ගිහින් තියෙන විදිහ) . පුස්කොල පදම් කරලා, පන්හිඳෙන් කුරුටු ගාලා, ඒවායෙ ගාථා මතුවෙද්දි ඒ වචන වලට ලොකු හැ`ගීමක් ඇතුල්වෙනවා.

චක්ඛුං උදපාදි - ඤාණං උදපාදි - විජ්ජා උදපාදි - ප‍්‍රඥා උදපාදි - ආලෝකෝ උදපාදි
දැකීම ඇති වේවා. ඒ දැකීම තුලින් ඤාණය ඉපදේවා. ඒ ඤාණයෙන් විද්‍යාව හෙවත් දැනීම ඇතිවේවා. ඒ දැනීමෙන් අවබෝධය ලැබේවා.
ඒ අවබෝධයෙන් ආලෝකය ඉපදේවා...

ලංකාවෙ ඇතිවුණු හිස්ටොරිකල් එපික් සිනමා රැල්ලෙ අවසානය ඒ විදිහට සළකුණු වෙනවා.

-චින්තන ධර්මදාස

22 comments:

  1. බලන්න යන්න ඕන... තාම වෙලාවක් ආවෙ නෑනෙ...

    ජයවේවා!!

    ReplyDelete
  2. වලගම්බා රජ චරිතයට ටිකක් පන තියෙන එකෙක් ගන්න තිබ්බා. නැත්තං ඉතිහාසෙ ගැන අපිට මවලා දීල තියෙන ටෝක්ස් වල පැවැත්මට තර්ජනයක් ඇතිවෙනවා .

    ReplyDelete
  3. මේ තමයි ඇත්ත ඉතිහාසය... ප්‍රාදේශීය චන්ඩි ටිකක් මිනිසුන්ගෙ ධනය හා ශ්‍රමය මංකොල්ල කමින් අයියලා වෙලා ඉඳලා තියෙනවා බඩු ගගහා... නිදහසෙන් පස්සෙ ඒක ආයෙත් එනවා මහින්දගේ කාළේ.. ඉතින් ඒ ගෝත්‍රික ගති වලට පට්ට ආදරේ සෙට් එකක් අදත් ඒවට වහ වැටිලා මේ වගේ ගොබ්බ සෝ හදන උන් ගොඩ දානවා..

    ReplyDelete
    Replies
    1. ඇයි JR ගේ කලේ ප්‍රේමදාසගේ කලේ ඒවගේ හිටපු චන්ඩි ගැන දැන් මතක නැද්ද ?

      Delete
  4. මාතලන් ඒක්ක එකඟයි. ෆිල්ම් එකට පිටපතක් නැතුව කඩා වැටෙනවා වගේ චින්තනගේ විචාරයත් චිත්‍රපටියේ ගොන් මතවාදය නොසලකා හරින නිසා ෆිල්ම් එකට දෙවෙනි නැහැ. කොච්චර "යහපාලන" වුනත් චින්තන අන්තිමට ගෝත්‍රික මදේ අතඇරලා ග්රේඩින් එඩිටින් ලෙල්ල අතගගා පිට කැසීමටම යනවා. සමහරවිට චින්තනගේ ෆිල්ම් එක ග්රේඩ්න් කරන්නේ චත්‍රද දන්නෑ. අපි බලමුකො චින්තනගේ එපික් එක ආපුවහම ගැඹුර! හිටපන්කො

    ReplyDelete
  5. මං හෙන්රි වර්ණකුලසූරියගේ FB පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් :-
    1. නැව් මධ්‍යතන යුගයේ යුරෝපීය වගේ. ක්‍රිව 1505 පෘතුගීසීන් එනවා වගේ ( ක්‍රි පූ 103 ඉන්දියාවෙන් එනවා වගේ නෙමෙයි.)

    කතාවේ ගලා යාමෙත් අප්සෙට් තියනවා නේද? රජ පවුල නැවතී හිටපු ප්‍රභූ ගෙදර අය එක පාරට විනාඩියක් වගේ ඉඳලා ඊට පස්සෙ කතාවෙ නෑ.

    ආක්‍රමණිකයන් හැමවෙලේම කතා කරන්නේ ස්ටේජ් එකක ඉන්නවා වගේ. වලගම්බාහු පවුලත් එක්ක කතා කලත් රජ සබාවේ කතා කරනවා වගේ. රොශාන් රවීන්ද්‍ර (හා තරමක් දුරට මේනකා පීරිස්) හොඳට රඟපානවා. පොඩි කුමාරවරුත් හොඳයි. අනිත් ඔක්කොම නලුවන් චිත්‍රපටයක වගේ නෙමෙයි කතා කරන්නේ වේදිකා නාට්‍යයක වගේ.

    Nice camera work and fairly good action. But, anachronisms like the ships and very poor acting spoiled the entire experience for me.

    2. මගේ හිස්ටොරිකල් ෆික්ශන් ගැන තියන ආසාව නිසායි නැව් දැක්කහම අප්සෙට් ගියේ. ඒක එහෙම තිබ්බත් රඟපෑම් හොඳනම් චිත්‍රපටිය රස විඳින්න තිබුනා. රොෂාන් රවීන්ද්‍ර හැර අනිකුත් නලුවන් වේදිකා නාට්‍යයක වගේ දෙබස් කියනකොට ඒකත් බෑනේ. සොරි, මට පේන දේ මං කිව්වෙ

    ReplyDelete
    Replies
    1. නැව් ගැන නං කියන්න තියෙන්නෙ ඒ කාලෙ නැව් මොන වගේද කියල දැනගන්න අපි ඒ කාලෙ හිටියෙ නෑනෙ කියලයි. බොහෝ ඉතිහාස කරුණු නිර්මිත කියලයි මට හිතෙන්නෙ. බොහෝ දේ එක එක ලේඛනවල තිබුණ හා ජනප්‍රවාදයෙන් එන කරුණු. නිශ්චිත නෑ.

      Delete
    2. අපේ උන්ට ඔය තරම් දියුණු නැව් තිබුනා වෙන්න බෑ... ඕන නම් කොටේක නැගලා පාවෙලා යන්න ඇති.. කොහොමත් මහ මුහුද වටේට තිබුනට.. අපේ උන්ට වතුර හුවමාරුව ඇර වතුරේ දාන සෙල්ලම් අදත් බෑ..

      ඉන්ගිරිසි සෝ වල තියෙන නැව් අපිට තිබුනා කියලා හිතන එකම ජෝක් එකක්.. අපි කොච්චර අසරණ ජාතියක්ද කියලා බලාගන්න ලන්දේසි යුගය හොඳින් අධ්‍යයනය කළාම ඇති..

      Delete
    3. Mathalan ubanam niyama lansiyek bun.... etakota sudda enna kalin sigiriya, anuradhapuraya, polonnaruwa wage ewa haduwe ubalge kawru harida... basic udaharana 3 dunne....

      Delete
    4. මං කියන්නෙ හරියටම හරියට ක්‍රි පූ චෝල නැව් මොනවද කියලා කියන්න අමාරුවුනාට සාමාන්‍ය ගාණකට බලා ගන්න මූලාශ්‍ර තියනවා. ඒවා බලලා හොඳ විදිහකට නොකර ලේසියට පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එකේ තියන ජාතියේ නැව් ග්‍රැෆික් කලාම අයිතිහාසික නිර්මාණයක අගය බාල වෙනවා කියන එක.
      ඔහොම ගියොත් හරියටම දන්නෙ නෑ කියලා ස්ටීම් ෆනල් එකකුත් දායි ක්‍රිස්තු පූර්ව කාලෙ නැව් වලට !

      Delete
    5. // ඔහොම ගියොත් ස්ටීම් ෆනල් එකකුත් දායි ක්‍රිස්තු පූර්ව කාලෙ නැව් වලට//
      ඒ තරම්ම ගොං විදිහට කරන එකක් නෑ. ඒත් චෝලයින්ගෙ නැව් ඔය වගේද නැද්ද කියන එක කොහොම කියන්නද..ඒ යුගයේ දියුණුව ගැන හෝ නැව් වල ආකෘතිය ගැන නිශ්චිත සටහන් කොහෙද තියෙන්නෙ. හැමදේම පසු කාලයන්හිදී අනුමාන කළ දේ කියලයි මං හිතන්නෙ.

      Delete
    6. http://sangam.org/2007/10/Shipping.php?uid=2610

      The introduction of “ship-type coins" has been attributed to the Sathavahanas[17], who were ruling the south during c.200 BCE onwards, just touching the northern boundaries of the Tamils of the Sangam period. Vasishthiputra Pulumavi and Yajna Sri Satakarni have issued Ship-type coins depicting two-mast ships sailing on wavy oceanic waters under partially clouded sky. The coins of Pulumavi have been recovered between Madras and Caddalore proving the existing of ports in that area. The coins of the latter were found in Maharastra. Here, under the two-mast ship fish (LHS) and conch (RHS) are also depicted. The other parts of ship – have also been clear. The Salankayanas have also issued similar coins proving that they too had seafaring activities and naval dominance. Interestingly, their ships portray some parts of the ship on both sides under water. Though, they could be easily interpreted as oars, but the shapes negate it. In another coin, a roughly circular shape object attached to one side of the ship.

      Delete
    7. හෙන් රි කියන එක හරි චෝල නැව් පැහැදිලිව දන්නෙ නෑ කියල. චෝල නැව් යුරෝපීය නැව් තරම් හොඳට වාර්ථාවෙලා නෑ. යුරෝපීය නැව්වල විකාශනය ඉමේජස් සහිතව හොඳට වාර්ථා වෙලා තියනවා. කැටයම්, කාර්වින්ස්, පොත්, සිතුවම් හා අනෙකුත් දේවල.ක්‍රි පූ ඉන්දියන් ඒවාගේ නෑ. ඒත් කියවීම්, රිසර්ච්, අනුමාන හා ඉමැජිනේෂන් භාවිතා කර ක්‍රෙඩිබිලිටි එක තියන ජාතියේ නිර්මාණයක ග්‍රැෆික් කරන්න පුලුවන්. ප්‍රශ්නය තියෙන්නේ චිත්‍රපටියේ පේන ඒවා බැලූ බැල්මට මධ්‍යතන යුරෝපීය වීම

      Delete
  6. වළගම්බා චරිතෙට දර්ශන් ධර්මරාජ් ගන්න තිබුණ කියන තර්කෙට මාත් එකඟයි.( උද්දික අදක්ෂයි කියනව නෙමෙයි නමුත් භාම්භීර චරිතයකට ගන්න ඕනෙ පෞරුෂයක් තියන කෙනෙක් එතකොටයි මහා කළු සිංහලයා කියන චරිතය හරියටම මවන්න පුළුවන්)

    ReplyDelete
    Replies
    1. උද්දික වෙනුවට ජැක්සන්ව ගත්ත නං ගොඩ. මහා කළු සිංහලයාම වෙන්න තිබුණා.

      Delete
  7. කට්ටිය හරි දාර්ශණිකයො වගේ කතා කරනව,බුදු දහම, සිංහල ජාතිය, ඉතිහාසය ගැන කිසිම තේරුමක් නැතුව. තනිකරම සුද්දොන්ගෙ කටු කාලනෙ ඉන්නෙ. අපේ ජාතිය බුදු දහම ආරක්ශා කරමින් පැමිණි ජාතියක්. ඒක තමයි අපේ ජාතියේ අරමුණ. ඒක තේරුම් ගන්නෙ නැතුව, බුදු දහම, තමන්ගෙ ජාතිය ගැන අභිමානයක් නැතුව මෙහෙම විචාර කරන්නෙ තනිකරම තමන් මහ ලොකු පොරක් කියාගන්න මිසක් වෙන හේතුවකට නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. hariyata hari macho meke comment data therumak naha ..

      Delete
  8. රුවන්වැලි මහා සෑ රදුන්ට අපහාස කල මේ සුනඛයාගේ පර ගැති අවජාතකත්වය නැවත පෙන්වා ඇත.. චත්‍ර ගැන කතා නොකර, තමුන් කට වචාල කමට නොදඩා, තමුන් චිත්‍රපටයක් කර පෙන්නව...

    ReplyDelete
  9. ආලෝක‍ා උඩ පනී වගේ තැනකින් චිත්‍රපටිය ඉවර වෙලා ගියා.. ඇත්තටම චත්‍ර චිත්‍රපටය නොහදා මූවි ට්‍රේලර් එක විතරක් හැදුවානම් ඊට වැඩිය හොඳයි කියලා හිතෙනවා.. ග්‍රැපික් ගැනනම් සතුටුයි.. 'දර්ශන් - කළු සිංහලයා' අදහසට මමත් එකඟයි.. සිනමාකරුවන් හිටියත් පිටපත් රචකයින්, පරිකල්පිකයින් නැති අඩුව තදේටම දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. //ග්‍රැපික් ගැනනම් සතුටුයි..//
      අපේ පුතණ්ඩියත් ඔය වැඩේට සම්බන්ධ නිසා ඒක ඇහුවම මටත් සතුටුයි.

      Delete
    2. @Henry, I just read this. Sorry, I didn't mean to belittle anyone's effort. Visuals of the movie are nice.
      My problem was with the appearance of the ships because one of my amateur interests happens to be European maritime history.

      Delete
    3. @ Pra Jay, Don't worry. You have the right to express your views. I also doing same way. No need to say sorry. Keep expressing your ideas without any barrier. :D

      Delete