Friday, December 1, 2017

කම්මැලිකමේ මුනිවර පැවැත්ම



කම්මැලිකම. කම්මැලිකම කියන්නෙ හරිම ලස්සන පුරුද්දක්. එක විදිහකට හැකියාවක්. නිර්මාණශීලී ප‍්‍රවනතාවයක්. ඒත් කම්මැලිකම ගැන අපිට පොඩි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ වෙනස් කතාවක්. ඒකෙ වැරැුද්දක් නෑ. සමාජයක් විදිහට කම්මැලිකම සාරධර්මයක් කරගන්න කොහෙත්ම හැකියාවක් නෑ.

ඒත් ලෝකෙ හැම දියුණුවක්ම සිද්ද වෙන්නෙ කම්මැලිකම වෙනුවෙන්. උදා විදිහට තාක්‍ෂණය දියුණු වෙන්නෙ අපිව වඩාත් කම්මැලි කරන්න. වැඩ පහසු කරන්න. ඒත් අපි ඒ ඉතුරුවෙන කාලෙත් අරන් තවත් කැම්මලි වෙන්න මහන්සි වෙනවා. එක විදිහකට අපි ජීවත් වෙනවා කියන්නෙ කම්මැලි වෙන්න මහන්සි වෙන එක. ඒක පැරඩොක්ස් එකක්. වැඩ කරන ගොඩක් අයගෙ එකම හීනෙ කීයක් හරි ඉතුරු කරගෙන වැඩවලින් නිදහස් වෙන එක.

කම්මැලිකම කියන්නෙ හරිම සොඳුරු පැවැත්මක්. එක ජනප‍්‍රිය විහිළු කතාවක ලොකුම කම්මැලියා තෝරගන්න දවසක් එනවා. එතනදි එක මිනිහෙක් ඉන්නවා මිනිහා කොමඩි ෆිල්ම් එකක් අ`ඩ අ`ඩ බලපු. ඒකට හේතුව ෆිල්ම් එක බලන්න ඉඳගනිද්දි මිනිහටම මිනිහගේ ඇටේ උඩ ඉඳගැනෙනවා. ඒ අමාරුවට කඳුළු පනිනවා. ඒත් නැගිටලා ඇටේ නිදහස් කරගන්න කම්මැලිකමට මිනිහා මුළු කොමඩියම අ`ඩ අ`ඩ බලනවා.
කම්මැලිකමේ තියෙනවා වෙනස් විදිහක ගැඹුරක්. හුදකලාවක්. භාවනාවක්. සමහර වෙලාවට මොකක් හරි දෙයක් ලියාගෙන යද්දි අදාල සෝස් එකක දිනයක් වෙලාවක් නිශ්චිත කරගන්න අනිත් ටැබ් එක  ඕපන් කරන්න කම්මැලියි. ඒක එච්චර අදාල නෑනෙ කියල අත්ඇරලා දානවා. ඒ වගේ තැනකදි කම්මැලිකම හානිකර වෙන්න පුළුවන්. ඒත් ඒ හානියට වඩා කම්මැලිකමේ අත්දැකීම ගොඩක් වටිනවා.

ඒ සාන්තුවර කම්මැලිකම ඉගෙන ගන්න හොඳම ගුරුවරයා පූසා. පූසෙක් තරම් ලස්සනට කම්මැලිකමේ පැවැත්ම පෙන්නන වෙන කිසි සතෙක් නෑ. හැම ඉරියව්වකම තියෙන්නෙ කම්මැලකමේ සහ ඉවසීමේ භාවනාවක්.

එක විදිහකට කම්මැලිකම කියන එක අධ්‍යාත්මික කාරණයක් වෙනවා. ඒක භාවනාවෙ මූලික ලක්ෂණයක්. කම්මැලි වෙන්න බැරි කෙනෙකුට භාවනා කරන්න අමාරුයි. ඒක හින්ද අපේ බෞද්ද භාවනාකාරයො භාවනාව කියල එකක් කරන්න උගන්නනවා. භාවනාව මහන්සියෙන් ඉගෙන ගන්න හදනවා. කම්මැලි වෙන්න මහන්සි වෙනවා.

භාවනාවෙ මූලිකම හරය වෙන්නෙ කිසිවක් නොහිතා, කිසිවක් නොකර, කිසිවක් ගැන උනන්දු නොවී නිකම් හිඳීම. හිතුවිලි තමන් හරහා යන විදිහ පාලනය කරගන්න, ඒකට මැදිහත් වෙන්න, හරිවැරදි හොයන්නවත් මහන්සියක් නොවී නිකං බලා හිඳීම. එක විදිහකට ගත්තොත් ඒක සෑහෙන අමාරු වැඩක්. මිචෙල් ෆුකොලට, ස්ටීව් ජොබ්ස්ලට මෙහෙම ඉන්න එක පිස්සු වගේ වුනා. ඒ ගොල්ලො ඒ තරම් මනසින් වැඩ කරන මැෂින් හින්ද. කම්මැලිකම කියන්නෙ මනසින් නිදහස් වීම.

කම්මැලි වෙනවා කියන්නෙ කරන්න මැලිවෙනවා කියන එක. ක‍්‍රියාවට මැලි වෙන එකට. ක‍්‍රියාවෙන් නිදහස් ව බලා ඉන්න එක. ඒක වෙනස් ඩයිමෙන්ෂන් එකක්. කම්මැලි වීමේ ආර්ට් එක දන්නෙ නැති අය ජීවත්වෙන්නෙ ක‍්‍රියාව ඇතුලෙ විතරයි. මම කරමි. ඒ නිසා මම පවතිමි. නොකිරීම ඇතුලෙ පැවැත්ම කියන එක මනස සහ සමාජය විසින් අපිට අහිමි කරපු වෙනම කලාපයක්. ඒක මමත්වයෙන්, කාලයෙන් තොර පැවැත්මක්. සමාජීය හෝ පුද්ගලික හෝ නොවන අවකාශයක්.

කම්මැලි වෙන්න ඉගෙන ගන්න හෝ කම්මැලි වෙන්න පුරුදු වෙන්න කියල මේ කතාව ඉවර කරන්න බෑ. මොකද කම්මැලි කියන්නෙම නොකිරීමක් හින්ද. ඒක නිසා හරිම වචනෙ කම්මැලි වෙන්න කියන එක විතරයි. ඒක වීමක්. කරන්න බැරි දෙයක්.

විශේෂයෙන්ම නිර්මාණශීලී වෙන්න නම් කම්මැලිකම තියෙන්නම  ඕන ගුනයක්. කම්මැලිවීම ඇතුලෙ හැදෙන ඩිටෑච්මන්ට් එක, නැත්තං ඔරලෝසුවෙන් සහ රූලෙන් පිට පැනලා බලන්න පුළුවන් ගතිය තමයි ක‍්‍රියේටිව්බවක මූලික ලකුණ. නැත්තං දිගටම සිද්දවෙමින් යන්නෙ රිපිටීෂන් එකක්. ඒත් කම්මැලිකම කියන එක කාලකණ්ණිකම දක්වා යන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව ඒක ආස්වාදනීය පැවැත්මක සීමාවෙ විඳිනවා කියන්නෙ ක‍්‍රියේටිව් ලේසිනස් එකක්. ලේසිනස් කියන ඉංග‍්‍රීසි වචනෙ නිකංම සිංහලෙන් ලියල බැලූවම එන තේරුමත් ලේසි- පහසු කියන එකමයි (ඒත් ඒක අහම්බයක්). කොහොම වුනත් කම්මැලිකම සහ නිර්මාණශීලීත්වය අතර තියෙන ධනාත්මක සම්බන්ධය මේ වෙද්දි පර්යේෂණ කරලා ඔප්පු කරලා තියෙන එකක්. ඒත් කිසිම කෙනෙකුට කම්මැලි වෙන්නෙ මෙහෙමයි කියල තව කෙනෙකුට කියල දෙන්න හැටියක් නෑ. ඒක බුද්දත්වය වගේම තමන් විසින් සාධනය කරගත යුතු තත්වයක්.

දැන් මේක වුනත් තවදුරට විස්තර කරගෙන යන එක මට කැම්මැලියි. ඒක නිසා මං මෙතනින් නවතිනවා. මේක කියවගෙන යනඑක කෙනෙකුට කම්මැලි වුනත් ඒක නරකක් නෙමෙයි. මේක කියවන එකට වඩා ඒ කම්මැලිකම විඳින එක වටිනවා. අනෙක් අතට මගේ ලිවීම ඇතුලෙ එහෙම කම්මැලි වෙන්න ඉඩක් හැදෙන එක ගැන මං ආඩම්බර වෙනවා.

-චින්තන ධර්මදාස

6 comments: