Thursday, May 5, 2011

No More Marx


නෝ මෝ මාර්ක්ස් කියන්නෙ අජිත් කුමාරසිරිගෙ සිංදුවක්. සිංදුව අහද්දි මට දැණුනෙ පට්ට කික් එකක්. ඒකට හේතුව සිංදුව දුන්න චමත්කාරෙට වඩා ලංකාවෙ තාමත් පිළුනු වෙවී ගඳගහන වාමාංශික අදහස් වලට පොප් උත්තරයක් ඒකෙන් දැණුන එක. මාක්ස්වාදය කියන්නෙ හුගක් ප‍්‍රාථමික අදහසක්.
පුද්ගලයා කියන්නෙ ඔහු හෝ ඇය ජීවත් වෙන සමාජයෙ නිර්මිතයක්. මාක්ස් කියනවා. ඒත් තමන්ගෙ සිතීම ක‍්‍රියත්මක වෙන හැටි තේරුම් ගන්න දැනුවත් උත්සාහයක් ගත්ත ඕන කෙනෙකුට තේරෙනවා සමාජය කියන පරිකල්පන එහෙම නැත්තං මවා ගත්ත අදහසින් තමන්ව කියවන්න බෑ කියන එක. සමාජය කියන අදහස කොයි තරම් විද්‍යාත්මකද? නැත්තං විද්‍යාත්මකයි කියන දේ කොයි තරං විද්‍යාත්මකද? මට කම්ැමලියි නලින් ද සිල්වා වගේ ඔය කාරණා පස්සෙ එළවන්න. ඒත් මං ගැන මට තියෙන අදහස සමාජය ගැන අදහසකින් කියවලා ඉවර කරන්න බෑ. අනික දේවල් සමස්තයක් විදිහට තේරුම් අරන් ඉවර කරන එක ජීවිතය පැත්තෙන් ලොකු අඩුවක්. මගේ පෙම්වතිය නිතරම කියන විදිහට,

Details Matter...
වෙනස්කම් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් මිනිස්සු ජීවිතේ බෙදා ගන්න තැනක් ගැන අදහසක් මගේ වමට බර යාලූවෙකුට කිව්වම එයාට ඒක ගළපගන්න බැරි වුණා. එයා හුරු වෙලා තියෙන විශ්වයේ හැටියට මිනිස්සු පිරිසක් දෘෂ්ටිවාදයකට ගොනු කරනවා ඇරෙන්න සාමාජීය විදිහට කරන්න පුළුවන් වෙන වැඩ නෑ. දේශපාලනයකින් තොර සාමූහික සම්බන්ධතා ගැන විශ්වාසයක් මාක්ස් ඒ ගොල්ලොන්ට ඉතුරු කරලා නෑ. මට මාක්ස් කියන්නෙ දේශපාලනය විශ්වාස කරපු අනිත් ගොඩක් මිනිස්සු වගේම ලෝකෙ කැත කරපු මිනිහෙක්. ජීවිතෙත් එක්ක බලද්දි දේශපාලනය කියන්නෙ හරි ගොඬේ අදහසක්. දෘෂ්ටිවාදයක් වෙනුවට ජීවිතේ බෙදාගන්න පුළුවන් තැනක් ගැන මිනිස්සුන්ට හිතා ගන්න බෑ. ඒත් අපි ඉන්නෙ විසිඑක්වෙනි ශතවර්ෂෙ.
මම මෙතනින් පනිනවා මට යන්න ඕන කරන ඩයලොග් එකට. තිමොති ලියරි එක්ක සාකච්ඡුාවක් කරද්දි මාධවේදියෙක් අහනවා ‘ ඔයා මොකද හිතන්නෙ ‘නියුරොනට්ස්‘ ල ගැන කියල. තිමොති ලියරි කවුද කියල පස්සෙ කියන්නම්. මාධ්‍යවේදියා අහන්නෙ ලියරිත් අවුරුදු 50ක් විතර තිස්සෙ වැඩකරමින් ඉන්න සවිඥාණය පුළුල් කර ගැනීමේ සමාජ ව්‍යාපාරයක් ගැන. ලියරි උත්තර දෙනවා.
‘20 වන සියවස කියන්නෙ ක්වොන්ටම් යාන්ත‍්‍රණය ප‍්‍රධාන දර්ශනවාදය වුණු සියවසක්. දැන් ක්වොන්ටම් යාන්ත‍්‍රණයෙ දේවල් ගෙවල් ඇතුලෙ ජීවිතයට පවා අවශෝෂණය වෙලා තියෙන්නෙ. දැන් මිනිස්සු දන්නවා ඒ අයගේ මොළය ඇතුලට යන්න. ඒ දේවල් නැවත තමන්ට ඕන විදිහට සකස් කරගන්න. අයින්ස්ටයින් සහ හයිසන්බර්ග් පෙන්නලා දුන්නා. නිරීක්‍ෂකයා විසින් ඔහු ගනුදෙනු කරන විශ්වය නිර්මාණය කර ගන්නවා‘ කියල. ඒක හින්ද අයින්ස්ටයින්, හයිසන්බර්ග්, බොර් වගේ මිනිස්සුන්ගෙ මොළ වෙනස් කරන තාක්‍ෂණයන් අඳුන්නලා දුන්න අයයි ‘නියුරොනට්ස්‘ ල කියල හඳුන්වන්න වෙන්නෙ.
අපේ රටේ අපි ජීවිතය කියල හදාගෙන ඉන්න සංකල්පය කොයි තරම් පටුද? ජීවිතය කියල අපි අත්විඳින විශ්වය කොයි තරම් කුඩාද? ඒ ජීවිතය කියවන්න උත්සහ කරන දෘෂ්ටිවාදයන් කොයි තරම් අපිව තවත් සීමිත කරනවද?
තිමොති ලියරි 1920 ඉඳන් 1996 වෙනකල් ජීවත් වුණු ඇමරිකානු මනෝ විදයාඥයෙක්, ලේඛකයෙක්. පස්සෙ එයා කරපු සයිකඩෙලික් ාරමටි (සිංහල වචනෙ මනෝ භ‍්‍රමික ඖෂධ කියන එක. හු`ගක් වැරදි පරිවර්තනයක් ඒක. අපේ සමාජයට මනස ගැන තියෙන දැනුමෙ අතිශය මදිකම මේකෙන් පේනවා*
වලින් සායනමය කටයුතු වලදි ලොකු ප‍්‍රයෝජන ගන්න පුළුවන් කියන එක පෙන්නපු පර්යේෂණ ලෝකෙම ප‍්‍රසිද්ධ වුණා. ලියරි 1960 ගණන් වල හිපි පරපුරේ පුරෝගාමියෙක්. එයා පෙන්නලා දුන්නා එල්එස්ඞී වල තියෙන සායනමය, භාවමය සහ ආධ්‍යාත්මික ප‍්‍රයෝජනය. ඒ වගේම එල්එස්ඞී මනෝ චිකිත්සනයේදි පාවිච්චි කරන්න පුළුවන් වටින ඖෂධයක් විදිහට එයා කරුණු ඉදිරිපත් කළා. ඇමරිකාවේ ගතානුගතික මතධාරීන් ලියරිට දැඩි ලෙස විරුද්ධ වුණා. රිචඞ් නික්සන් තිමොති ලියරි හැඳින්වුවේ ‘ඇමරිකාවේ අන්තරායකාරීම මිනිසා‘ විදිහට.
අධිතාත්විකවාදීන් :ිමරරු්ක* ආර්ටිස්ට්ලා ගත්තොත් ඒ ගොල්ලො යතාර්ථය මුළුමනින්ම විනාශ කරනවා. ඒක විසිවන ශතවර්ෂෙ දරුණු උත්සාහයක්. අපේ කාලයේ මානවයාට තියෙන ලොතුම අභියෝගෙ මොළයේ වම් අර්ධයෙන් එලියට එන එක. මනසින් එලියට එන එක. මොලයේ අනිත් ඉඩ අපි ප‍්‍රයෝජනයට ගන්න ඕන. අනිවාර්යෙන්ම පාලනයක් සහිතව වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් මොළය පුරාම ගමන් කරලා අවශ්‍ය විටෙක විතරක් වම් අර්ධයට යන්න. නූතනවාදයෙ අන්තිමට කලාකරුවො ඒක කලා. ඒ අය සම්පූර්ණයෙන්ම සිහින කැන්වස් උඩ ඇතිරුවා. ඒත් ඉතාමත් සංයමයක් සහිත පින්සල් පාරවල් එක්ක. ඒ කියන්නෙ හොඳ සිහියකින් යුතුව.
ලියරි මේ විදිහට යතාර්ථයෙන් එලියට ඒමේ වැදගත්කම අවධාරණය කරනවා. දේශපාලනය කියන්නෙ හරිම තාර්කික අදහසක්. යතාර්ථවාදයෙත් බාලම එක, මාක්ස්වාදය එහෙම්පිටින්ම පදනම් වෙන්නෙ යතාර්ථය උඩ. මාක්ස්ගෙ උපරිම හීනය පූර්ණ කොමියුනිස්ට් සමාජය වුණත් කොයිතරම් තාර්කික දුර්වල අවසානයක්ද? වාමාංශික කියන වචනෙත් හරියටම ‘මොලේ වම් පැත්ත නියෝජනය කරන’ කියන අදහසින් ආවා වගේ.
විසිවෙනි ශතවරේෂෙ සාහිත්‍ය වම් මොලයෙන් එලියට එන්න දරපු උත්සාහය ගැන ලියරි කියාගෙන යනවා. ව්‍යාකරණ කඩා බිඳ දැමීම ඒකෙ මූලික කාරණයක්. ජේම්ස් ජොයිස්, විලියම් බරොෆ් වගේ අයගෙ සාහිත්‍ය එතනදි පුරෝගාමීයි. බැරන් ගයිසන් වගේ අය වාක්‍ය කඩලා බිඳලා ව්‍යාකරණ විනාශ කලා. විසි වෙනි ශතවර්ෂෙ සංගීතය කියන්නෙ එහෙම්පිටින්ම ක්වොන්ටොම් භෞතිකය. රොක් සංගීතය, ජෑස් වම් ඉවුරෙ මොලය විනාශ කරලා සවිඥාණය පුළුල් කරන්න හොඳ වෙනසක් කරනවා. විසි වෙනි ශතවර්ෂෙ දර්ශනය, භාෂාව සහ වාග් විද්‍යාව ක්වොන්ටොම් භෞතිකයෙන් හොඳටම පරිවර්තනය වුණා. 1960 ගණන් වල ඉඳලා මනෝ විද්‍යාව කියන්නෙ තමන් විසින් වම් සහ දකුණු මොල දෙකේම පාලනය භාර ගැනීමට මිනිසා පුහුණු කිරීම.
මේ කාරණය එක්ක සයිකඩෙලික් ඖෂධ සම්බන්ධ වෙන්නෙ කොහොමද?
‘මට අර කරුණු කියාගෙන එද්දි අමතක වුණා සයිකොඩෙලික්ස් ගැන කියන්න. 1960 ගණන් වලදි ජනප‍්‍රිය වෙන්න ගත්තට සයිකඩෙලික් පාවිච්චිය විසි වෙනි ශත වර්ෂෙ මුල ඉඳන් තියෙනවා. ඒනේ සමාජගත වුනා වගේම ජනප‍්‍රිය වුණා ඔබට ඔබේ මනස වෙනස් කළ හැකියි, ඔබේ මොලය වෙනස් කළ හැකියි, ඔබේ මූඞ් එක වෙනස් කල හැකියි කියන අදහස. ‘එන්න, විඳින්න, අත් හරින්න.’ (එව බලව නෙවෙයි*

අපේ සාහිත්‍ය තාම තියෙන්නෙ කොතනද? අපේ ආර්ට් වැඩ කරන්නෙ කොතනද? අපේ චිත‍්‍රපටිවලට තාම බෑ කතාවෙන් එලියට එන්න. අපේ කවියට තාම බෑ අලංකාරෝක්ති වලින් එලියට එන්න. අපේ සංගීතයට බෑ ගීතයෙන් එලියට එන්න. අපේ යාලූකම් වලට බෑ දේශපාලනයෙන් එලියට එන්න. අපි තාම අතීතයේ ජීවත් වෙන ජාතියක්.

‘ඇලන් වොට්ස්, ඇඩොස් හක්ස්ලි, ගෙරල්ඞ් හර්ඞ් වගේ සයිකඩෙලික් දර්ශනවාදීන්ට මේ රසායනිකව මනස පුහුණු කිරීම ගැන කියා දීමේ ගෞරවය අයිති වෙන්න ඕන. ඒ වගේම හාවඞ් විශ්ව විද්‍යාලයේ අපේ යාලූවො, ස්ටැනිස්ලාවෝ ග්රොස් වගේ මේ වෙනුවෙන් බවුන් වැඩූ එල්.එස්.ඞී. ඍෂිවරුන්ට සහ සාෂා ෂුල්ගින්, වගේ සුවිශේෂ ඖෂධ නිර්මාණය කරපු අයව අමත කරන්න බෑ මෙතනදි.’ ලියරි සයිකඩෙලික් පිබිදීම ගැන විස්තර කරනවා.
මොකක්ද මේ යතාර්ථය ‘සුනු විසුනු’ කිරීම?
පුවත්පත් කලාවේදියා ප‍්‍රශ්න කරනවා.
‘යතාර්ථය කියන්නෙ අපේ නියුරෝන වලින් අපිට දනවන දේ. මේ හින්ද අපි මායාවන් කියන දේවලූත් ඇත්ත කියන එලියෙ අපිට පෙන්නන ඕන දෙයක් තරමටම ඇත්ත. මේ යතාර්ථය දෙවිදිහකින් දකින්න පුළුවන්. එකක් බාහිර යතාර්ථය. අනික අභ්‍යන්තර යතාර්ථය. මෙතනදි අභ්‍යන්තර යතාර්ථය බාහිර එකට වඩා හු`ගක් වැදගත්. බාහිර යතාර්තය ගැන තමයි අපි කතා කරන්නෙ, රණ්ඩු වෙන්නෙ, එක`ග වෙන්නෙ, සහ ජීවත් වීම වෙනුවෙන් සංවිධානය කරන්නෙ. රේගන් ගෙ හරි බුෂ්ගෙ හරි විදේශ ප‍්‍රතිපත්තියත් මේ විදිහට යතාර්ථයක්. මට පෙන්නන්න බෑ ඔය යතාර්ථය කියන එක ගැන කතා කරන මිනිස්සු.
සයිකඩෙලික්ස් කොහොමද අපිව අපේ සාමාන්‍ය ජීවිතේ දැනුමෙන් එහාට ගෙනියන්නෙ? ඒක දැනට ජනප‍්‍රිය කොම්පියුටර් සොෆ්ට්වෙයාර් එක්ක සසඳන කොට හරි පොඩියි නේද?
අපි කතා කරන්නෙ මොලය ගැන. අපිට නැත්තං මොළය ඇත්තටම වැඩකරවන ක‍්‍රමවේදයක් මිනිස්සු ඉලෙක්ට්‍රෝන කියන දේ බලය, පාලනය සහ සල්ලි වලට වැඩි තැනකට ගෙනියන්නෙ නෑ. කාටහරි සයිකඩෙලික් අත්දැකීමක් නැත්නම් ඒ අයට බැහැ ඉලෙක්ට්‍රොනික උපාංගයක් හුදෙක් ද්‍රව්‍යමය තැනකින් එහා අත්දැකීමක් වෙනුවෙන් පාවිච්චි කරන්න. ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් පුද්ගල පරිගණක සොයා ගැනීම අහම්බයක් නෙවෙයි. දෙන්නම කොණ්ඩෙ වවාගත්තු, සපත්තු නැතුව ඇවිදින ඛීෘ වලට ඇබ්බැහි වුණු අය. ත්‍කාම්පියුටර් සොෆ්ට්වෙයාර් නිර්මාණය කරන ගොඩක් අය සයිකඩෙලික් අත්දැකීම් ලබන හෝ ලබපු අය වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. බිල් ගේට්ස් වුණත් මයික්‍රොසොෆ්ට් පටන් ගන්න කලින් හාවඞ් වල එල්.එස්.ඞී.එක්ක ගත කරපු දවස් ගැන කටකතා තියෙනවා.
ඔය විදිහට පුළුවන් කොම්පියුටර් සොෆ්ට්වෙයාර් වල නිර්මාණශීලි අයගෙ ලැයිස්තුවක් කියවගෙන යන්න. හාඞ්වෙයාර් නෙමෙයි. ඒ අය ඔක්කොම වගේ එල්එස්ඞී හොඳ පැත්තට, නිර්මාණශීලීත්වයට, තාර්කික සිතීමෙන් එලියට එන්න පාවිච්චි කරපු අය’
තිමොති ලියරි සිගරට් එකක් දල්වා ගැනීමට ගිනිපෙට්ටිය හොයන්න යනවා.
අපේ රටේ සිතීම යතාර්ථයෙනුත් හු`ගක් ප‍්‍රාථමික තැනක තියෙන්නෙ. අපේ සමාජය ඇල්කොහොලික් සමාජයක්. ඇල්කොහොල් වලට පුළුවන් උපරිමය යතාර්ථවාදී මනස භාවමය කරන එක විතරයි. මනසින් නිදහස් වෙන්න ඇල්කොහොල්වල උදව්වක් නෑ.
මත්වීම ගැන කතා දේශපාලනික නැහැ වගේ කෙනෙකෙුට දැනෙන්න පුළුවන්. ඒක ඇත්තක්. ඒ කතාවල අරමුණම දේශපාලනයෙන් ඉවතට යන එක. ඒත් රජය ඇයි ‘මතට තිත’ වගේ දෙයක් දේශපාලනික අරමුණක් කර ගන්නෙ? සිතීමේ සීමාවන් තමන්ට අවශ්‍ය රාමුවක විතරක් හසුරුවා ගන්න රජයකට අවශ්‍ය වෙන නිසාද?

-ව්‍යාධදේව

ආදරය සඳහා හෝර්ටන් තැන්න.


ඔබට නියම රටක් වෙන්න බෑ ඔබේම කියල බියර් එකක් සහ ගුවන් සේවයක් නැතිව. ෆුට් බෝල් ටීම් එකක් (අපේ නම් ක‍්‍රිකට්* හරි න්‍යෂ්ටික අවි හරි (අපේ නම් යුද්ධය* පොඩි උදව්වක් වෙන්න පුළුවන්. ඒත් අඩුම තරමේ බියර් එකක් නම් ඕනෙමයි. - ෆ‍්‍රෑන්ක් සප්පා

ලංකාවේ ජීවිතය වේගයෙන් හැකිලෙන්න අරන්. කාටවත් එක එල්ලේ පේන්නෙ නැති වුණාට හැම දේශපාලනිකයි කියන වෙනසක් ඇතුළෙම අනිවාර්ය වෙලා තියෙන කාලකණ්ණි ඇත්ත ඒක. පාර්ලිමේන්තුව ¥ෂිතයි කියන එක සාමාන්‍ය ඇත්තක් කියල අපි පිළිගනිද්දිම අපි අපේ ඇතුලෙන් ආචාරධර්මයක් නැති නරුමවාදයක් බාරගනිමින් ඉන්නවා. ඊට පස්සෙ ඒක අපේ සම්බන්ධතා ඇතුලට එනවා. අපිට කමක් නෑ අපේ අසල්වැසියා කොයි විදිහෙ කෙනෙක් වුණත්. බොරුවට හිනාවෙලා මූනිච්චාවට කතා කරලා එන්න අපිට පුළුවන්. රස්සාව කරන ටිකටනෙ, නැත්තං පැය කීපයකටනෙ කියල අපි ඒ වෙලාවට හිත හදා ගන්නවා. ඒත් අන්තිමට අපි ඉතුරු වෙන්නෙ ඒ වගේ බොරු සම්බන්ධතා ගොඩක් ඇතුලෙ. බොරුවට හිනාවෙලා දතකට පූට්ටු වෙන්න ගන්නවා.
දේශපාලනය කියන්නෙ සමාජ ජීවිතය සම්බන්ධ දෙයක්. දේශපාලනය ඕන වෙන්නෙ වඩාත් දියුණු මනුස්ස සම්බන්ධතා හදන්න. ඒත් දැන් අපි අත්විඳින දේශපාලනය බලකරන්නෙ අයිමත් තනිවෙච්ච, පුද්ගලික, කුහක විශ්වයකට. මතට තිත කියල අරක්කු තහනම් කරද්දි අක්මාව ඉතුරු වෙනවා විතරක් නෙමෙයි. මිනිහෙක් විදිහට අපි අපිට තිබුණ ඇත්ත සම්බන්ධතා ගොඩක් ඉවර කරනවා. බදාගෙන අ`ඩපු, සිංදු කියපු, එළවෙන්නෙ නැති තරම් දිග රාත‍්‍රීන් අපිට අහිමි වෙනවා. පේ‍්‍රමකීර්ති ලා, සේකර ලා කවි ලියපු හැන්දෑවල් වෙනුවට අපි ඉක්මණට ගෙදර ඇවිත් හැමදාම නිදාගන්න ගෑණි එක්ක එකම දේවල් ටිකක් කතා කර කර මෙගා ටෙලි නාට්‍යයක් බලනවා. මේ තහනම් වෙන්නෙ ජීවිතය.
කොල්ලූපිටියෙ ගණිකා නිවාසය පොලිසියෙන් වටලලා.
කංසා හේන් ගිනි තියලා.
විනු වෙත්තමුණි මරලා.
පබාට එයාගෙ මනුස්සයා ඉස්පිරිතාලෙ දාන්න තරම් ගහලා.

මේ අපේ ජීවිතය මේ දවස් වල ගතවෙන හැටි. ඊට අමතරව, වර්ල්ඞ් කප්, ගංවතුර, බඩුමිළ, විපක්ෂය දෙකට කැඞීම වගේ ත‍්‍රිල් කීපයක් තියෙනවා. නිකමට අපි ලෝකයේ වෙන රටක මනුස්ස ජීවිතයක් එක්ක සංසන්දනය කළොත් අපේ ජීවිතයේ ගත වෙන හැම මොහොතක්ම කොයි තරම් ඇකිළීමක් නැත්තං තහනමක් ප‍්‍රකට කරනවද? හැම මොහොතකම ජීවිතයේ පරමාදර්ශ කීයක් කඩා ගෙන වැටෙනවද?
හඳයා වි¥ කරනවා.
මර්වින් මහජන සම්බන්ධතා ගැන ඇමති වෙනවා.
උදයංගනී ඇර අනිත් ඉන්ටර්නෙට් එකේ ඉන්න හැම නිරුවත් ගැහැණියකගේම පිංතූර පත්තරවල පළවෙනවා.
එම්සී එකේ ට‍්‍රයම්ෆ් බ්‍රෙසියර් විකුණන්න තියෙන ඩමි වලට ගවුම් අන්දනවා.
ෆේස් බුක් තහනම් කරන්න ලොකු ට‍්‍රයි එකක් දෙනවා.
මැතිවරණ දිනීම කොම්පියුටර් එකක් ඉස්සරහ ඉඳන් තනි මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක් වෙනවා.

මේ අපි බාර ගනිමින් ඉන්න ජීවිතය. අපි අපේ සංස්කෘතික ජීවිතය ඉවර කරමින් තලූ මරමින් ඉන්නවා. මානව අයිතිවාසිකම් කියන එක ත‍්‍රස්තවාදයක් වෙච්ච, ලෝකෙ අනිත් රටවල් ඉස්සරහ සරම උස්සන් කෑ ගහන චණ්ඩියෙකුගෙ තැනට වැටිච්ච ලංකාවක අපි පුරවැසියො.
ඒත් ඒක දේශපාලන අවුලක් විතරක් නෙමෙයි. ඒක තමයි අපේ රටේ ඇත්ත බහුතරය ජීවත්වෙන පොළොව. නගරයේ අපි කාලයක් අත්වින්ඳ, දැන් අමතකත් වෙලා යන දියුණු වෙළඳපොල සමාජය සුළු පිරිසක් බොහොම අමාරුවෙන් අල්ලගෙන හිටපු එකක්. දැන් රට යන්නෙ බහුතරයට. ගැලරියේ විසිල් එකට.
මේකට දේශපාලන වෙනසක් ඕන කියලා හිතෙන එක හරි සරලයි. ඒත් මේක දේශපාලනයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේශපාලනය ඕන වෙන්නෙ සමාජයක් තියෙන තැනකට. ගෝත‍්‍රයක තියෙන තැනකට ඕන සංස්කෘතික වෙනසක්. පක්ෂ දේශපාලනය ඇතුලෙ කියෙව්වොත්, රනිල් දියවෙලා යාමත්, මහින්ද හා සජිත් අතරෙ වෙනසක් විතරක් නිර්මාණය වීමත් කියන්නෙ මේ ඇත්ත එළි වීමක්. මහින්ද ද සජිත් ද කියන්නෙ දෙකක් නෙමෙයි. එකක්. අපිට වෙනස අහිමි වේගෙන යනවා. එකම ජාතියක, එකම විදිහක, එක ගුලියක් වගේ වුණු ¥පතක අපි ඇත්ත අත්විඳිමින් ඉන්නවා.

”දේශපාලනය කියන්නෙ මේ කර්මාන්තෙ තියෙන විනෝදාස්වාදය සඳහා වූ අංශයයි.”

මේ අවකාශය දරන්න බැරි අය කලාව, චිත‍්‍රපටි, කල්ලි විදිහට එකතු වෙන එක ඉතාමත් අසාර්ථක සාමාන්‍යයක්. කලාව කියන එක ඉවරයි. ලංකාවෙ ඒක තහනම්. ඒ විදිහෙ කල්ලි අතර ඉඳලම මම දන්න සාමාන්‍ය දෙයක් තමයි ඒ වගේ තැන් වල ඉන්නෙත් මේ විදිහෙම අය කියන එක. සමහර වෙලාවට මීට වඩා හු`ගක් නරක. උදාහරණයක් විදිහට දැන් චිත‍්‍රපටි හදන අලූත් අය එක්ක ඉඳිද්දි දැනෙන ලොකුම අවුල උන්ට මොළයක් නැති එක. ඒක චිත‍්‍රපටි සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙමෙයි. අරමුණක් නැති, නන්නත්තාර, අචාරධර්ම රහිත රස්තියාදුකාර පිරිසක් ජොබ් හොයාගන්න කල් කලාව කරනවා. නැත්තං මෙගා ටෙලි ඇරෙන්න මේ රටේ කලාවක් නෑ. කොටින්ම දැන් බස්වල අජිත් මුතුකුමාරණගෙ සිංදුවත් නෑ.
දැන් අර්බුදය තියෙන්නෙ ආයිමත් මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක. ආධ්‍යාත්මය කියන එක සමාජයක හදන්න පුළුවන් දෙයක්ද? එහෙම දෙයක් වෙනුවෙන් වැඩකරන්න තරම් සවිඥාණක පිරිසක් තාමත් මේ ¥පතේ ඉන්නවද? මේ ප‍්‍රශ්න ඔක්කොමත් එක්ක අපිට හිතන්න වෙලා තියෙනවා අපේ ජීවිතය මේ ඇකිලීගෙන යන ගුලියෙන් බේර ගන්නෙ කොහොමද කියන එක. ඒක ඇත්තටම පදනම් වෙන්නෙ එහෙම ජීවිතය බේරගන්න උවමනා කීපදෙනෙක් හරි තාමත් ජීවත් වෙනවා කියන උපකල්පනය උඩ.
ආයිමත් එකතු වෙන්න, හිනාවෙන්න, මහින්ද චින්තනයෙන් එළියට හිතන්න, ජීවත් වෙන්න අපිට සිද්ද වෙනවා නිවාඩු ගන්න.
ඒක අමුතු කතාවක්. වැඩ කරනවා වෙනුවට නිවාඩු ගන්නවා කියන එක. ඒත් මේ වෙලාවෙ ජීවිතය වෙනුවෙන් කරන්න වෙන්නෙ මේ සමාජයෙන් නිවාඩු යන එක. සමාජය අපිට දීලා තියෙන වටිනාකම්, අච්චු, පිළිගැනීම්, රාජකාරි සියල්ලෙන් නිවාඩු ගිහින් අපිට ජීවිතය අලූතෙන් දකින්න වෙනවා. මේ රටේ මේ මොහොතේ තාර්කිකයි හෝ සැබෑ හෝ විදිහට පවතින හැම දෙයක්ම මානුෂ විරෝධීයි. ඒවා හරිම පටු විදිහට දේශපාලනිකයි. පුද්ගලිකයි. මේ හින්ද අලූත් සංස්කෘතියක් ගොඩනැගෙන මුණගැසීමක් අපිට අත්‍යාවශ්‍යයි. ඒක කලාව, දේශපාලනය හෝ සමාජයට වඩා ආධ්‍යාත්මික වුණු එකක් වීමත් අනිවාර්යයි. ඒ අපිට නැවතත් අපිය සොයාගන්න සිද්ද වෙලා හින්ද. ආයිමත් ආගම, ආදරය, සිනහව, සතු මේ පොලොවෙ නිර්මාණය කරන්න සිද්ද වෙලා තියෙන හින්ද.

තමන්ගෙ ජීවිතයත් දරාගන්න බරි තරම් ඇකිළෙමින් අවසාන වෙමින් යනවා කියල තේරෙන අය මෙතන ලියන්න. අනිත් අය උදේට ලංකාදීපෙ කියවලා හවසට ඩාන්ස් ස්ටාර් බලන්න.


ලෝකය ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වෙ යැයි සිතන්න උවමනා නෑ. තව පුළුවන් විධි දෙකක් තියෙනවා. එකක් ලියන කියන දේවල්. අනික නොස්තැල්ජියාව (අතීත කාමය*
-ෆ‍්‍රෑන්ක් සප්පා

-ව්‍යාධදේව

Tuesday, March 8, 2011

හඳගම සමඟ හෙළුවෙන්



විදු චිත්‍රපටිය තරංගනී ශාලාවෙ පෙන්නපු දවසෙ මාත් ඒක බැලූවා. ඒ චිත්‍රපටිය පෙන්නන එකට ප්‍රධාන අමුත්තා විදිහට කැඳවලා තිබුණෙ මහ බැංකු අධිපති අජිත් නවාඞ් කබ්රාල්. හඳයා එයාගෙ පැමිණීම වෙනුවෙන් ස්තුතිවන්ත වුණා. හඳයා තව කතාවක් කිව්වා. ඒ හඳයාගෙ දරුවන්ට බලන්න පුළුවන් වෙන හඳයාගෙ පළවෙනි චිත්‍රපටියත් විදු කියල. හැමෝටම හුඟක් සතුටුයි හඳයා ආපහු හොඳ වෙච්ච එකට. සෝමරත්න දිසානායක එහෙමත් හඳයාව බදාගෙන සුබපතනවා මම දැක්කා. හඳයා පවුලෙ හැමෝටම වැඩක් කරලා.
ඊට පස්සෙ මම හඳයාව දැක්කා නිතරම රූපවාහිනී වැඩසටහන් වල. ටී ටයිම් ෆන් එකට එහෙමත් එයා ඇවිත් සිංදු කිව්වා. මං ඒ දැක්කමයි හඳයා නටනවා එහෙම. පුටුව උඩම අත්පුඩි ගගහා හඳයා නැටුවා පොඩි උන්ව වට කරගෙන. නෙහාරා වැඩසටහන මෙහෙයවනවා. එතනදි චිත්පටිය ගැන එක එක කතා කිව්වා. හඳයා කිව්වා අර පොඩි ළමයි වාහනේ ඇක්සිඩන්ට් වෙන ෂොට් එක ගන්න එයාට හිත හදාගන්න ගොඩක් අමාරු වුණා කියල. ඒත් ඒ ෂොට් එක බලද්දි අපිට කිසි ෂොක් එකක් දැණුනෙ නෑ. හරි බාල විදිහට ඒක ෂූට් වෙලා තිබුණෙ. ටී පාර්ටි එකේදි තවත් විදු ගැන කතා කිව්වා. ඒකෙ රඟපාපු නළුවෙක් කියපු කතා හින්ද මට විදු ගැන වෙනම චිත්‍රපටියක් ඇඳුනා.
විදු කරන්න ඒගොල්ලො නැවතුනාලූ මීගමුව පැත්තෙ තරු පංතියෙ හෝටලයක. උදේට පහළ ජිම් එකෙන් ව්යා යාම කරලා හොඳට කාලා මුහුද අයිනෙ දුවලා එහෙම විඳපු සැප තලූ මර මර ඒ නළුවා කියන්න ගත්තා. විදු කියන්නෙ හරි සැපට කරපු චිත්‍රපටියක්. සාමාන්යෝ ලංකාවෙ චිත්‍රපටියක් කරන්න ගියහම විඳින ගැහැට වෙනුවට ඒකෙ කට්ටිය ටීවී එකට ඇවිල්ලත් කියන්නෙ තිබ්බ සැප ගැන. ඒත් චිත්‍රපටිය ගැන මොකක්ද කියන්නෙ?
විදු ගැන මම ලියන්න පරක්කු කළේ හිතාමතාම. චිත්‍රපටිය ගැනත් ඒක කරපු හඳයා ගැනත් මට තියෙන අප්පිරියාව කලින්ම එලියට දාලා හඳයගේ අලූත් සිනමා මාවතේ බැරියර් එකක් වෙන්න මට ඕන වුණේ නෑ. දැන් චිත්‍රපටිය දුවලා ඉවරයි. මට පුළුවන් මට දැණුන දේ ලියන්න.
මේ චිත්‍රපටියෙ රූ ගත කිරීම් හරිම බාලයි. අවස්ථා ගොඩ නැගිම් අඳබාලයි. චරිත වෙනුවට නිකම් පෝස්ටර් ටිකක් එහාට මෙහාට ඇවිදිනවා. මේක බලන් ඉද්දි මට මෙහෙම දෙයක් හිතුණා. ඇත්තටම හඳයා සිනමාව ගැන කිසි දෙයක් දන්නෙ නැතිව ඇති. ඒත් එයාගෙ සමාජ දේශපාලන දැක්මත් එක්ක අපිට ඒ ප්‍රකාශනවාදී ගතිය බරට දැනෙන්න ඇති. විදු වල එයා හෙළුවෙන්. අකාස කුසුම් කියන්නෙ පරිට සන්න විතානගේ අහුවෙන චිත්‍රපටිය වගේම විදු කියන්නෙ හඳයාව එළිදරවු වෙන චිත්‍රපටිය.
හඳයා එන්නෙ කෑගල්ලෙන්. කැම්පස් ඇවිල්ලා ජේවීපී කරලා පස්සෙ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එංගලන්තෙ යනවා. එයා වැඩ කරන්නෙ මහ බැංකුවෙ තොරතුරු දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියෙක් විදිහට. පස්සෙ එයා ජවිපෙන් කැඩෙනවා. එයා තලවතුගොඩ ගෙයක් හදනවා. අලියොන් කාර් එකක් ගන්නවා. දුව ඉන්ටර්නැෂනල් යවනවා. කසාදෙ දික්කසාද වෙනවා. හඳයා X එකේ දේශපාලනය වැළඳ ගන්නවා. මෙහෙම ගඳ විදිහට මිනිහෙක්ගෙ ජීවිතේ ගැන කියන එක හරි කැතයි. ඒ වුණත් විදු විතරක් නෙමෙයි ඒත් එක්ක පෙළට එන ලංකාවේ මහා සිනමාව ජෝක් වීම වෙනුවෙන් ඒ කැත වැඬේට මම අතගහනවා. හඳයා විදු කරද්දි ඉනෝකා සත්යාංාගනී සින්ඩරෙල්ලා කරනවා. ඒකෙ ඉන්ද්‍රචාපා -රොක්, අකලංක -
ක්‍රිකට්, උපේක්ෂා -මන්ත්‍රිනී ප්‍රධාන චරිත කරනවා. මුහුරත් උළෙලේ ප්‍රධාන අමුත්තා වෙන්නෙත් මහින්දානන්ද අලූත්ගමගේ. මේ එකම විහිළුවක් ආයිත් ආයිත් සිද්ද වෙන්න පටන් ගන්නවා. හඳයාගේ පර්යේෂණ සිනමාව විදු වෙද්දි ඉනෝකාගේ පර්යේෂණ සිනමාව සින්ඩරෙල්ලා.
මේ මිනිස්සු දරාගෙන හිටපු ජීවිත මේ විදිහට අර්බුදයට යන්නෙ ඇයි? මෙතුවක් කල් විකල්පයක් ගැන කතා කරපු මේ අයට වඩා දැන් මේ ගොල්ලො පර්යේෂණ කරන තැන කලින් ඉඳන් හිටපු රෝයිද සිල්ව ලා සුනිල් ටී ලා මීට වඩා දියුණුද?
මම රජපක්ෂ ආණ්ඩුවට කැමති ප්‍රධාන හේතුවක් ඕක. කාලයක් තිස්සෙ ලංකාවෙ අධිනිශ්චය වෙලා හිටපු දැවැන්ත මතවාද දරන අය දැන් ඒ ඇඳුම් ගලවලා ඇවිත් පාර අයිනෙ විහිළු කරන්න අරන්. අපි පුදුම වෙනවා. ජනප්‍රිය, පීචං, ධනවාදී, මාක්ස්වාදී, ජනතාවාදී, ජනතා විරෝධී ඔක්කොම එක වාදෙකට ඇවිත්. මොනවා වුණත් සෝමරත්න දිසානායක තරමටවත් හඳයා දක්ෂ වෙන්නෙ නෑ.
විදු කියන්නෙ දේශපාලකයෙක් පොකට් ගහන ගෑණියෙක් එක්ක නිදා ගත්ත නිසා වැල්ලෙ ඉපදෙන කොල්ලෙක්. එයාට වැල්ලෙන් පුරුදු වෙනවා ඉංග්‍රිසි. ඊට පස්සෙ විදු පොඩි කාලෙ ඉඳන් කතා කරන්නෙ හඳයා ලොකු කාලෙ කතා කරන දේවල්. සිනමාව ගැන කිසි දෙයක් නොදැණුනත් හඳයා ඉංග්‍රිසි වලට ආස තරම විදු බලද්දි හොඳට දැනෙනවා. විදුගෙ චරිතයට එයා තෝර ගන්නෙත් ඉන්ටර්නැෂනල් කොලීජියකට යන දුර්වල පහේ ළමයෙක්. මේ චරිත කිසි එකක් ඒ චරිත පාදක වෙන දේශපාලනයෙ ජීවත් වෙන්නෙ නෑ. ඒ චරිත ඔක්කොම ජීවත් වෙන්නෙ හඳයාගෙ ඔලූව ඇතුලෙ. කතා පැවැත්වීමක් වගේ දේකට මේ තරම් අවුලක් හදාගන්න? මට තේරෙන්නෙ නෑ, මේ පිටපත ඒ තරම් මන්ද බුද්ධිකයි. චිත්‍රපටිය පුරාම මට දැණුන එකම හෘදයාංගම හැගීම තමයි හඳයා තමන්ගෙ ජීවිතය ඇතුලෙ අත්විඳින මධ්‍යම පාංතික හීනමානය. ඒ හීනමානය සහ දුන්හිඳ අද්දර වගේ ජීවිත වල හඳයා කලින් අඳුරන චරිත දැන් මූණට මුණ ගැහනවා. හඳයාට තමන් හිටගන්න තැන අපැහැදිලියි. එයා රෝගී වෙලා. ඒ නිසා එයා දැන් කරන වැඩ පොසිෂන් කර ගන්න තැනක් නෑ. මධ්‍යම පාංතික ජීවිත වලට උදාහරණයක් විදිහට එයාගෙ බැංකුවෙ ප්‍රධානියාට විඳින්න පුළුවන් වර්ගයේ චිත්‍රපටියක් ඇතුලෙ පරණ සමාජවාදී කාලෙ චරිත ගැටගහන්න හදනවා. විදු පෙන්නන්නෙ හඳයාගෙ මේ වාෂ්ප වීම. ඒක දරුණුවට එයාගෙ ජීවිතය ඇතුලෙන් එන අර්බුදයක්. ඒ නිසා ඒ අර්බුදය හොරර් චිත්‍රපටියකට වඩා භයංකාරයි.
මේ චිත්‍රපටිය 35 මී.මී කළේ ඇයි? නෙගටිව් එකකින් මේ චිත්‍රපටියෙ කරන්න තියෙන රූප රාමු මොනවද? ඒ ගැන චන්න දේශප්‍රිය උත්තර දෙන්න ඕන. කලා අධ්‍යක්ෂණය, සංගීතය, පිටපත ආදී සියල්ලම තියෙන්නෙ අන්තිම දුර්වල මට්ටමක. හඳයාගේ අපැහැදිලිකම ඒකට මූලික හේතුවක් වෙන්න ඇති. මේ ඔක්කොම මෙහෙම තියෙද්දි චිත්‍රපටියෙ හොඳට වෙලා තියෙන්නෙ හෝටල් පහසුකම් සහ සුවපහසු ෂූටිං විතරයි. ඉතිං ඒක චිත්‍රපටියෙ පේනවා. චිත්‍රපටිය ගැන හඳයා කතා කරද්දිත් පේනවා.
අපි හුඟක් අමතක කරන කාරණයක් තමයි චිත්‍රපටි තිරය උඩ අපේ ජිවිත ඇත්ත ප්‍රමාණයට වඩා විශාලනය වෙනවා කියන එක. චිත්‍රපටිය ඇත්තක් නොවෙද්දි ඒක පිටිපස්සෙ ඉන්න ඒකෙ කර්තෘ එළිදරවු වෙන්න ගන්නවා. එතකොට ලැජ්ජ හිතෙනවා.
මේ යුගයෙ තියෙන නරකම දේ තමයි ඒ ලැජ්ජාව සාමාන්‍යයක් වීම. හැමෝම බදා වැළඳගෙන ඒ ලැජ්ජාවට එක්වීම ගැන සුබ පතනවා.
-තුෂාර පෙරේරා

Tuesday, November 9, 2010

Pop සිකල් වෙනුවට රියල් Pop


”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.”
-ජෝන් සෙකාඩා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැ`ගීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්ම මම පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක් වෙන අදහසක් මගේ ඔලූව ඇතුලෙ තිබුණේම නැහැ.

ඒත් සම්මාන උළෙලේ තිබුණු උත්සවශ‍්‍රීය මට ත‍්‍රිලක් ගෙනාවා. කිසි දෙයක් වෙන්නෙ නැති ගඳ ගහන හිස් තැනක ලංකාව කුණු වෙද්දි, ජාතික ඇඳුම්, මල් වට්ටි, පොල් තෙල් පහන්, ආප්ප සහ ලූණු මිරිස් නැතුව අන්තර් ජාතික මට්ටමක සම්මාන උළෙල තියන්න දෙරණ අරගෙන තිබ්බ වෑයම මාව පුදුම කළා. කොහොමද මේ කාලෙ මේ වගේ දෙයක් වෙන්නෙ?

අනර්කලී එක්ක සාරංග පෝඩියම් එක ළ`ගට ආවා. අනර්කලීගේ උච්චාරණය හරියට දත් හිරි වට්ටනවා. ඒත් දැන් අපිට ඉන්නෙ එයා විතරනෙ. මොනවා කරන්නද? සාරංග හු`ගක් හොඳට ඒ වගේම වෙන කිසිම සාම්ප‍්‍රදායික නිවේදකයෙකුගෙ දැකපු නැති තරම් නිර්මාණශීලිව අනර්කලී එක්ක වැඬේ ඇදගෙන ගියා. (ජැක්සන් ඇන්තනි හරි සමන් ආතාවුද හරි වගේ පිළුණු රහට නැතිව*

වැඩසටහන ආරම්භයම හොඳ කික් එකක් අරන් දුන්නා. තමන්ගෙ කට්ටියට සම්මාන දුන්නෙ නෑ කියල විනිශ්චය මණ්ඩලේ කට්ටිය පැහැර ගැනීමක් ගැන කලබලයක් මතුවීමත් එක්ක පටන් ගැන්ම උනුසුම් වුණා. මෙගා ස්ටාර් වගේ ගැලරියෙ වැඩ ‘ලොකු‘ වෙන වටපිටාවක ඒ ආරම්භය හරි දේශපාලනිකයි .

සාමාන්‍යයෙන් සම්මාන උළෙලක් කියන්නෙ ලංකාවෙ බෝරිං වැඩක්. ඒත් මේ වැඬේ මුල ඉඳන් අන්තිම වෙනකල්ම හොඳ ගැම්මක් තිබුණ. බොරු ජාතිකවා ෂෝ වලට වැඩිය ෆන් එකක් ගැන අදහසක් දෙරණට තිබුණ.(ප‍්‍රයිවෙට් චැනල් ඔක්කොමත් ආණ්ඩුවෙ ඒවට වඩා සාම්ප‍්‍රදායික සහ ගොඬේ වැඩ කරන වෙලාවක් මේක*

තේමා ගීතය දකින කොට මට ඒ රූප රාමු එක්ක පොඩි කාංසාවක් ඇති කළා. ඒ රූප රාමු අතරෙ බූඩි ලංකාවට අඳුන්නලා දුන්න දේවල් ගොඩක් මුහු වුණා. ඇයි බූඩි මෙතන නැත්තෙ? මාව ටිකක් ඉරි තැලූණ. නැටුම් වල ටිකක් ගොඬේ පාර්ට් වගේම ඉදිරපත් කිරීමේ තරමක් දැනෙන ඇණ ගැනීම් තිබුණත් සමස්තයක් විදිහට වැඬේ නැගලා ගියා. මට චූ කරන්න යන්න වුණත් නැගිටින්න හිතුණෙ ඉන්න බැරිම තැනදි. ලංකාවෙ ලොකු ලෙකු පොරවල් ඔක්කොම වගේ පෝඩියම් එක ළ`ගට ආවා සම්මාන දෙන්න. ඒත් පරණ සම්මාන උළෙලවල් වල වගේ නිකං ප`ඩි කතා තිබුණෙ නෑ. පොර ටෝක් නැතුව ජෝක් වලින් නැත්තං තමන් ජෝක් වෙලා හරි බලන් ඉන්න අය විනෝද කරන්න ඒ කට්ටියට සිද්ද වුණා. ඒ වැඬේ මේ තරං තැනකට ගන්න දෙරණට පුළුවන් වුණු එක අති විශිෂ්ටයි.

විශේෂයෙන් නාමල් උඩුගම සම්මානයක් දෙන්න වේදිකාවට අරන් ආපු එක ‘වැඩක්‘. නාමල් කියන්නෙ එක්තරා යුගයක ඇත්ත පොලොවෙ ජනප‍්‍රිය වුණු චරිතයක්. මීඩියා වලින් පුම්බපු සුපර් ස්ටාර් චරිත වලට වැඩි ඇත්තක් නාමල්ගෙ තිබුණ (එහෙම දැනෙන්නෙ අද*. අලූත් පොප් වැඩක් කෙරෙද්දි ඒ චරිත වේදිකාවට ගේන්න තරම් දෙරණ දැනුවත් වීම ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ඒත් නාමල් හරි දැනුවත් කිරීමක් නැතුව එතන අවුල් වුණාද මන්දා.

මේ සම්මාන උළෙල ගැන මට තියෙන ‘මාර‘ හැ`ගීම එන්නෙ මේ කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ සම්මාන උළෙලේ ජනප‍්‍රිය කියන, ලංකාවෙ මෝඩකම තීරණය කරන දේවල් වලට වඩා ඇත්ත සංකල්පීය නිර්මාණශීලිත්වයක් දරන දේවල් මතු කිරීම වෙනුවෙන් තිබුණු උත්සාහය නිසයි. ලක්ෂ ගණං සල්ලි වියදම් කරමින් හින්දි- ඉංග‍්‍රීසි කොපි සිංදු හදන මියුසික් වීඩියෝ කර්මාන්තයට අභියෝග කිරීම දෙරණ බාර අරගෙන තිබුණා. බොරු නිෂ්පාදන වටිනාකම් වලින් ඇස් රැුවටීම පැත්තකින් තියලා මියුසික් වීඩියෝ කියන්නෙ ආර්ට් එකක් කියන තැනට දෙරණ සම්මාන උළෙල අරගෙන ආවා.

අපේ චිත‍්‍රපටිය ඇසුරෙන් ‘උදයා‘ ගත්ත සම්මානය නිසා නෙමෙයි, ‘අපේ පරම්පරාවක්‘ ඉදිරියට ගැනීම වෙනුවෙන් ලොකු ගෞරවයක් මට ඒ චැනල් එක ගැන ඇති වෙනවා. ‘ජෝන් සීනා‘ වගේ සිංදුවක ඇතුළත කියවීම හඳුනා ගැනීම, ‘ෆියුනරල් ඉන් හෙවන්‘ වෙනුවෙන් අමිල කරපු වීඩියෝ එක වගේම ‘ගෙම්බා‘ වගේ සිංදු වල තියෙන වෑයම දැනෙන තරම් සංවේ වීම මේ සම්මාන උළෙලේ විශිෂ්ටත්වයයි. ඒ වගේ දේවල් මෙච්චර කල් ලංකාවෙ සිද්ද වුණේ නෑ. වෙනදට ප්‍රොඩක්ෂන් කොම්පැණි ඇවිත් ගෝනි වල දාගෙන යන සම්මාන මේ පාර තනි තනි තරුණයෝ ඇවිත් හු`ගක් ආදරෙන් එකතු කරගෙන ගියා. අනිවාර්යෙන් ඒ අය තවත් වැඩ කරාවි. බය නැතිව තවත් අලූත් දේවල් හිතාවි. ඒ අදහස් අගය කරන එක වේදිකාවක් හෝ තියෙන වගට ඔවුන්ට විශ්වාසයක් තියෙන නිසා.

විමුක්ති, සුභාෂ්, සුමේධ, ප‍්‍රවීන් විනිශ්චය මණ්ඩලයේ සිටීම අනිවාර්යෙන්ම මේ විකල්ප පන්නරය අරන් එන්නට හේතු වෙන්න ඇති. සල්ලි මත තීරණය වෙන කර්මාන්තයක් ඇතුළත අලූත් දෙයක් වෙනුවෙන් ඉඩක් හදන්නට තරම් ඔවුන් නිර්භීත වීම ගැන ඔවුන් බදා වැළඳ සිප ගත යුතුයි. මියුසික් වීඩියෝ කියන එක කලාවක් නැත්තං ආර්ට් එකක් කියන අවධාරණය ඇති කිරීම ඒ අය මේ කාලෙ කරපු ලොකු වැඩක්. ඒක කොහෙත්ම සුළුවෙන් තකන්න බැහැ.

මේ වැඬේ වෙද්දි මගේ හිතට ආපු මතකය වුණේ 2005 අවුරුද්දෙ චිත‍්‍රපටි සංස්ථාව පවත්වපු කෙටි චිත‍්‍රපට තර`ගය. අහම්බෙන් ඒ විනිශ්චය මණ්ඩලයෙ අශෝක හඳගම හිටපු නිසා තේරුණු චිත‍්‍රපට වෙනම ම හැඩයක් ගත්තා. චිත‍්‍රපටි හදන්න අලූත් උනන්දුවක් ඇති වුණා. ඒ සම්මාන උළෙල සැණකෙලියක් වුණා. ඒක සිද්ධියක් නෙමෙයි. ප‍්‍රවණතාවයක් විදිහට සමාජයට බලපෑවා. දෙරණ සම්මාන උළෙලත් එහෙම වුණු අහම්බයක්ද කියන්න මම දන්නෙ නෑ. කොහොම වුණත් විකල්ප කලාවක් වෙනුවෙන් මේ හිටගැනීම දෙරණට ලේසි වෙන එකක් නැහැ. අනිවාර්යෙන්ම බොහොමයක් අභියෝග වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිද්ද වේවි. ඒ වුණත් මේ වෙනස ‘දෙරණ‘ සමාජ වෙනසක් වෙනුවෙන් දුන්න ලොකු තල්ලූවක්. විශේෂයෙන්ම ජනප‍්‍රිය තරු පිරිවැරූ ගලධාරියේ රතු කාපට් රාත‍්‍රියක මේ විකල්ප නිර්මාණකරුවන් අභිෂේක කිරීම අතිශය දේශපාලනික වෑයමක්.

කොහොම වුණත් මාව අමන්දානන්දයට පත් කරමින් බූඩි සම්මානයක් දෙන්න පෝඩියම් එක ළ`ගට ආවා. ඒ එක්කම ඒ සම්මානය ගන්න වේදිකාවට යන්න තිබුණෙත් උදයටයි මටයි ඉන්ද්‍රචාපාටයි. මම අපේ ලොකු අයියාව (බූඩි* බදා ගත්තෙ සමස්ත පරපුරක් වෙනුවෙන්ම ඔහු කරපු විෂුවල් මෙහෙවර ගැන පට්ට ආදරේකින්. කැමරාව හොල්ලන්න, පාරෙ හිටවන්න, අරන් දුවන්න බය නැති කරපු ඒ අලූත් පරපුරක පුරෝගාමියා අතින් අපි සම්මානයක් ගත්තා.

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල ජාතික තලයේ රූපවාහිනී නාලිකාවකින් බලාපොරොත්තු වෙන්න බැරි තරමෙ ප‍්‍රචණ්ඩ වැඩක්. ඒ වගේම ඒක උපරිම වින්දනයක් සහිත නිර්මාණශීලී මෙහෙවරක්. මේ වෙලාවෙ ලංකාවෙ පොලොවෙ සිරාම දේශපාලනික මැදිහත් වීමක්. කවදාවත් දෙරණෙ වැඩසටහන් බලද්දි මම බලාපොරොත්තු වුණේ නැහැ අලූත් සිහිනයක් වෙනුවෙන් මේ විදිහෙ කැපකිරීමක් කරන්න දෙරණට පුළුවන් වෙයි කියල. ඒත් එදා ? දෙරණ මාව වෙනස් කළා. ඒ වෙනස වෙනුවෙන් කොන්දක් තිබුණු එහි සබාපති ලක්සිරි වික‍්‍රමගේටත් මගේ හෘදයාංගම ප‍්‍රණාමය.

ලංකාවෙ හැමදාම සිද්ද වුණා වගේම හෙට වෙනකොට මේ හැම දේකම අර්ථයන් අහෝසි වෙන්න පුළුවන්. දෙරණ ආයිමත් සාම්ප‍්‍රදායික ගොහොරුවට තල්ලූ වෙන්න පුළුවන්. ඒක ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත. ඒත් එක රැුයක්, එකම වතාවක් හරි ලංකාවේ එකම මියුසික් වීඩියෝ සම්මාන වේදිකාව විකල්ප නිර්මාණකරුවන් වෙනුවෙන් ඇරුණා. ඒක මට සුබ බලාපොරොත්තුවක් ඇති කරනවා.

එඩිසන්ගේ පළවෙනි විදුලි බුබුළත් දැල්වුණේ තත්පර කීපයක් විතරයි.

-චින්තන ධර්මදාස

Tuesday, August 24, 2010

ජැක්සන් කොපෝලා සහ බඹර වළල්ල


බඹර වළල්ල චිත‍්‍රපටිය බලන්නට මගේ කකුල් දෙක ඉක්මන් නොවූ කාරණා දෙකක් තිබුණේය. එකක් එය හූස්ටන් යැයි කියන සම්මාන උළෙලකින් හොඳම අධ්‍යක්‍ෂණයට හා කැමරාවට සම්මාන ගත්තේ යැයි දාගෙන ගිය ලොකු සද්දයයි. හූස්ටන් යනු චිත‍්‍රපටි ගැන දන්නා කිසි කෙනෙක් ගණං නොගන්නා ඒ වගේම එම උළෙලට ඉදිරිපත් කරන ඕනෑම චිත‍්‍රපටියකට මොකක් හෝ වර්ගයක සම්මානයක් දෙන වර්ගයේ දෙකේ කොලේ සම්මාන උළෙලකි. ඒ සම්මානයෙන් පිදුම් ලැබුවේ නැති අධ්‍යක්‍ෂකයින් ලංකාවේ ඉන්නේ අතලොස්සකි. ඒත් සම්මාන උළෙලේ තරම දැනගත්තායින් පසු ඒ කවුරුවත් ඒ සම්මාන ගැන කතා කරන්නට ආවේ නැත. නමුත් අතුල ලියනගේ එතැනදී ලූම්පන් වැඩක් කළේය. ඒ සම්මාන මෙහේ විකුණන්නට ඔහුට එහෙම ලැජ්ජාවක් තිබුණේ නැත. ඒ වගේම ජැක්සන් ඇන්තනි වගේ සිනමාව ගැන මෙලෝ මළදානයක් නොදන්නා අයට ඒ සම්මාන ගැන කියවන්නට අවුලක්ද නැත.

දෙවන කාරණය චිත‍්‍රපටිය හා සම්මාන ටික උස්සාගෙන අතුල, මහින්ද රාජපක්‍ෂ හමුවීමට යාමය. චිත‍්‍රපටියක් උස්සාගෙන මෑත කාලයේ තමන් දුටු හොඳම චිත‍්‍රපටිය ‘මයි නේම් ඉස් කාන්‘ යැයි කියූ මහින්ද ළ`ගට යාමෙන් කියන්නේ ආණ්ඩුව කියන හැටියට ‘මහින්ද චින්තනයට‘ අනුව චිත‍්‍රපටි හදන්නට තමන් දිවුරා පොරොන්දු වෙන බවයි. මහින්ද චිත්තන සම්ප‍්‍රදායේ චිත‍්‍රපටි බලද්දී මගේ දත් හිරි වැටෙයි.

ටීවීටී එකේදී මට අතුල මුණගැහුණේය. චිත‍්‍රපටිය රට පුරා අරගෙන යන්නට ඔහු කරන දැ`ගලිල්ල ගැන එතැනදී මට දුක හිතුණි.
‘චිත‍්‍රපටියක් කරන එක නෙමෙයි වැඬේ ඒක අරගෙන යන එක‘ අතුල මට කිව්වේය.
‘හැම අධ්‍යක්‍ෂවරයෙක්ම කරන්නේ නිෂ්පාදකයාගේ සල්ලි ටික අරගෙන වැඬේ අත්ඇරලා දාන එක. මට ඒක කරන්න බෑ. නිෂ්පාදකයා බේරගන්න මං මහින්ද නෙමෙයි කවුරු ගාවට වුණත් යනවා‘

‘ඉතිං මචං මහින්ද ළ`ගට ගිය එකේ සල්ලි ටික එතනින්ම එන්න විදිහක් හදා ගත්තා නං හරිනෙ. ඔය කට්ට කන්නෙ නැතුව?‘

මං ඇහුවේ චිත‍්‍රපටිය දුවවන්නට කුඹුරක හරකෙක් තරම් මැඩවෙන ඔහු ගැන අනුකම්පාවෙනි. සිනමාව ගැන මට ඇති ශෘංගාරය හෝ සෞන්දර්ය වෙනුවට ලේ ගලන වේදනාවක් ඔහු විඳිමින් සිටියේය. අවසානයේ චිත‍්‍රපටිය බලන්නට මං රීගල් එකට ගියේ අතුලගේ ශ‍්‍රමයට හදවතින්ම උපන් ගෞරවයෙනි. චිත‍්‍රපටියක් කිරීමෙන් හා එය මා ආදරය කරන උණුසුම් පේ‍්‍රක්‍ෂකාගාරයකට පෙන්වීමෙන් ආනන්දයට හා සංතෘප්තියට පත්වන මට වඩා වෙනස්ව මේ කර්මාන්තයේ දහඩිය වගුරන කම්කරුවන් වැනි සිනමා අධ්‍යක්‍ෂවරුන් ගැන උපන් වේදනාවෙනි.

”මට ඒක විනෝදයක්... ඒත් ඔවුන්ට ඒක ජීවිතය සහ මරණය අතර වෘත්තීමය සටනක්” -ෆ‍්‍රැන්සිස් කොපෝලා
රීගල් සිනමා ශාලාව අන්ත දිළිඳුය. එතන චිත‍්‍රපටියක් වින්දනය වෙනුවට තිබෙන්නේම මුඩුක්කු වර්ගයේ ආතල් එකකි. ඒ මදිවාට ජාතික ගීතය වාදනය වන්නටද පටන් ගත්තේය. චිත‍්‍රපටියක් බැලීමේ සෞන්දර්ය විඳින්නට ආපු මම ජාතික හැ`ගීමෙන් කෙලින් වෙන්නට අකමැතිව හිඳගෙනම සිටියෙමි. පිටුපස සිටි ජාත්‍යාලයෙන් කිති කැවුණු කෙල්ලන් පිරිසක් ඒ ඉඳගෙන සිටීමෙන් මගේ සිංහලකම මැනගන්නට නොහැකිව අර්බුදයකට ගියේය.
කොහොමෙන් හෝ ඉතාම පරණ විදිහේ ප‍්‍රවේශ නාමාවලියකින් චිත‍්‍රපටිය පටන් ගත්තේය.

ආරම්භක රූප පෙළ මගේ හිතේ බලාපොරොත්තුවක සේයාවක් ඇති කළේය. කැමරාව පාවිච්චි කරන සියුම් තැන් කීපයක් දකිද්දී මං අසුනේ තවත් හරිබරි ගැසී හිඳ ගත්තේ කිළිපොලා යන ආස්වාදයක් බලාපොරොත්තුවෙනි. නීටා ප‍්‍රනාන්දු දැක්ක ගමන් මගේ ඒ හැ`ගීම නන්නත්තාර විය. පාරේ රස්තියාදු වන වෙස`ගනක් පරිදි මේක්-අප් දමා සිටි ගැමි දුක් විඳින ගැහැණු චරිතය චිත‍්‍රපටියේ සියල්ල බිංදුවට බස්සයි.
‘මං ගස් හිටවලා ඒවා ලොකු වුණාම ඒවයේ ගෙඩි කන මිනිහෙක්‘

අතුල එකම දෙබසක් නැවත නැවත කීමෙන් චරිතයක් ගොඩනංවන්නට හදයි. කසිප්පු පෙරන බාප්පා මෙන්ම මැල් මුදලාලිද ඒ වගේය.

‘මං වළලන්නෙ මැරිච්ච මිනිස්සු‘
ඒත් මේ දෙබස් වලින් චරිතය ගැඹුරු කරනවා වෙනුවට තිර රචනය බාල කරයි. ඒ වගේම තිර රචනාව ලියැවී තියෙන්නේමත් හු`ගක් පරණ තාලේ විලාසිතාවකිනි. හොඳ යැයි මුලින්් පෙනෙන චරිත පසුව ඉතා අඳුරු චරිත බවට පෙන්වීමේ එකම විදිහක රටාවක් තිර රචනාවේ එයි. ඒක අධ්‍යක්‍ෂවරයා පේ‍්‍රක්‍ෂකයා සම`ග කරන ජෝක් එකක් වගේය. ඔහු චිත‍්‍රපටයේ චරිත ඔහුට ඕනෑ ඕනෑ හැටියට ඒ අතට මේ අතට පෙරලයි. ඒ නිසා පේ‍්‍රක්‍ෂාගාරය පොඩි උන් ටිකක් යැයි හිතාගෙන කරන සෙල්ලමකට වඩා ගැඹුරක් දෙන්නට ඒ චරිත වලට පුළුවන් වෙලා නැත. ඒ චරිතවලට ජීවිතයක් නැත. තිර රචකයා තමන්ට ඕන ඕන හැටියට චරිත වල හැඩ තල මාරු කරයි. උදාහරණයක් විදිහට මුලින්ම අපි දකින ‘අල් පැචිනෝ‘ වර්ගයේ මැල් මහත්තයා අන්තිම හරිය වෙන කොට හොටු පෙරන්නෙක් බවට පත්වෙයි. අකුරක් වත් දන්නෙ නැති වයසෙදි හිරේ ගිය ‘පොඩි එකා‘ ලොකුවෙලා එන්නේම හරි තියුණු බැල්මකින් සහ ගැඹුරු ඉරියවු වලින් යුතුවයි.
‘මට සමහර දේවල් තේරෙන්නෙ නෑ‘ කියන වෙලාවට පමණක් ඔහු මෝඩයෙක් බවට පත්වෙයි. ප‍්‍රධාන චරිතය වන පොඩි එකාගේ චරිත නිරූපණයම අවුලකි. අපිට පේන්නේම අතුලය. පොඩි එකා හිර ගෙදරදී මැරිලාය.

චරිත හැසිරෙන්නේ ඒ ඒ වෙලාවට සිද්ද වෙන සිද්දියට අනුවය. ඒ නැතුව ආරම්භයේ පටන් චරිතවලට ගොඩ නැගෙන පැවැත්මක් චිත‍්‍රපටිය පුරා ගෙන යන්නට තිර රචකයා වගේම අධ්‍යක්‍ෂවරයාටද බැරි වී තිබේ. ඒකට කියන්නට වෙන්නේ මේ චරිත ‘බංකොලොත්‘ යන්න පමණකි. පත්තර කීපයකින් ලොකුවට උඩ දමා තිබුණු මහේන්ද්‍ර නිරූපණය කරන මැල් මහත්තයා නිරූපණය වෙන්නේ ලෝකල් පැචිනෝ කෙනෙකුගේ සිට මහේන්ද්‍ර පෙරේරා දක්වා පරාසයකය. කොටින්ම වළලන්නේ මැරිච්ච මිනිස්සු කතාව පවා ඔහුට අන්තිම වෙන විට අමතක වෙයි.

චිත‍්‍රපටිය ගෝඞ් ෆාදර් වගේ කරන්නට ගිය බව පැහැදිලිය. ඒ වගේම ගෝඞ් ෆාදර් චිත‍්‍රපටිය තේරෙන්නට අතුල තාම පරිණත නැති වගත් ඒ වගේම පැහැදිලිය. ගෝඞ් ෆාදර් චිත‍්‍රපටිය පුරාම හොඳින් ගොඩ නැගුණු තව තවත් ගැඹුරින් ගැඹුරට යන චරිත වෙනුවට අතුල ගේ චරිත උන් හිටි තැන් මරු කරයි. කැලේ මාරු වෙද්දී කොටියාගේ පුල්ලිද මාරු වෙයි. ‘කලින් දැක්කේ මෙයාමද?‘ කියා නොයෙක් වර අපට සිතේ. අතුලට වගේම ගෝඞ් ෆාදර් චිත‍්‍රපටිය ජැක්සන්ට තේරෙන්නේද නැති බව ඔහු ලංකාදීපයේ කියා තිබේ. ජැක්සන් ට බඹර වළල්ල පේන්නේ ගෝඞ් ෆාදර් වගේමය. ඒක කියවද්දී මට කාරණා කීපයක් එකවර පත්තු විය.

එකක් චිත‍්‍රපටි බැලූවාට චිත‍්‍රපටි තේරුම් යනවා කියන එක වෙන කාරණාවක් බවයි. ගෝඞ් ෆාදර් කියන්නේ අපේ චිත‍්‍රපටි ගැන කිචියක් ඇති ළදරුවා පවා දෙතුන් වර බලා දැන් විසි කර දමා ඇති චිත‍්‍රපටියකි. ලංකාවේ චිත‍්‍රපටි කරන සහ කියවන ගොඩක් අය කොපෝලා ගෙන් සහ ඬේවිඞ් ලීන් ගෙන් මෙහාට තවමත් ඇවිත් නැත. ඇත්තටම කොපෝලා- ලීන් තේරෙන වයසටවත් ඇවිත් නැත. ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියේ චරිත වල පසුබිම් දේශපාලනය ඉතා සියුම් අකාරයෙන් ගොඩ නංවා තිබේ. අඳුරු චරිත ඇතුළට ගමන් කරමින් ඒවයේ අළු සහ සුදු වර්ණ කොපෝලා මතු කරන්නේ අඳුර තුලින්මය. ඒ වෙනුවට අතුල මෙතැනදී කරන්නේ පොඩි එකාගේ වැඩකි. හොඳ චරිත වල නරක ඇති බවත් නරක චරිත වල හොඳ ඇති බවත් කියන්නට යාම බාලාංස වර්ගයේ ගොඩනැංවීමකි. ඔහුගේ හොඳ චරිත නරක කරද්දී චරිතය මෙතෙක් හැසිරුණු ජීවිත දේශපාලනයම වෙනස් වෙයි. වෙනම ජීවිතයක් වෙයි. ජැක්සන්ට මේක කොපෝලා වගේ පෙනීම හරිය. ඒ කියන්නේ ඔහුට කොපෝලා පේන්නේ අතුල වගේ කියන එකය.

ලංකාවේ පේමන්ට් එකේ පවා හොඳ චිත‍්‍රපටි වල ඞීවීඞී තිබෙන නිසා අපි කාට වුණත් අතිශය සම්භාව්‍ය මට්ටමක කෘතියක් වුණත් රුපියල් දෙසීයකට බලන්න පුළුවන්ය. නමුත් ඒ චිත‍්‍රපටිය කියවන්නට ඒ බැලීමම ප‍්‍රමාණවත් නැත. ඒකට හැදෑරීමක් උවමනාය. තමන් සහ චිත‍්‍රපටිය අතර තමන් සිටින තැනින් එහාට තමන්ව ගෙන යන සංවාදයක් උවමනාය. ජැක්සන් කොපෝලා බලද්දී වෙන්නේ ‘මං කොපෝලාත් බැලූවා‘ කියන වර්ගයේ කතාවක් මිස ‘කොපෝලා මාව වෙනස් කළා‘ වගේ සංවාදයක් නොවේ. එයාට ගෝඞ් ෆාදර් ‘පොඩි එකා‘ වගේ පේන්නේ ඒ නිසාය. ලංකාවේ ඔක්කොම ජැක්සන් ලාට බඹර වළල්ල මාර වෙන්නේත් ඒ නිසාය.

අතුල මේ කාලයේ ගෝඞ් ෆාදර් වර්ගයේ චිත‍්‍රපටියක් කරන්න හිතන්නේ ඇයි? ගෝඞ් ෆාදර් ගෙන් පසු ඊට වඩා සියුම් අකාරයෙන් සහ වඩාත් මානුෂීය සිනමාත්මක කතිකාවන් අතරින් කෙරුණු චිත‍්‍රපටි එලෝ කෝටියක් තිබේ. ඒ එක්කම මේ වන විට ලෝකයේ එම ක්ලැසිකල් වර්ගයේ ප‍්‍රවේශයන් සම`ග තාර්කිකව ගැටෙන දියුණු විකල්ප සිනමාවන් තිබේ. උදාහරණයක් හැටියෙන් ටැරන්ටිනෝගේ ගැන්ග්ස්ටර් චිත‍්‍රපටි ප‍්‍රවේශය දියුණු ආකාරයෙන් ගෝඞ් ෆාදර් සිනමාව අතික‍්‍රමණය කරයි. නමුත් අතුල සිය කූළුඳුල් චිත‍්‍රපටිය කරන්නට ආයිමත් කොපෝලා දක්වා පසුබසින්නේ ඇයි? අපේ සිනමා නොදැනුමේ තරම ඒ තරම් නිසාද? අපේ විඳීමේ අවකාශය ඇත්තේ වත්මන් ලෝකයට දශක ගාණක් අතීතයේ නිසාද? මෙබඳු කෞතුක වර්ගයේ සිනමාවකින් තමන්ගේ පළමු සිනමා ප‍්‍රකාශනය කරන්නට තීරණය වුණේ අතුල ගේ සිතීමේ සීමාවන් හරහාද?

”මට හිතෙන විදියට ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියට කලින් තමයි, ඉතා කුඩා පිරිසක් සහ උපකරණ ප‍්‍රමාණයක් එක්ක හුඟක් පුද්ගලික චිත‍්‍රපටි හදන්න උවමනා වුණු නියම ෆැන්සිස් (කොපෝලා* හිටියේ... ” -ෆ‍්‍රැන්සිස් කොපෝලා

මඳක් දුර සිට චිත‍්‍රපටිය තනිකරම ‘ගිණි අවි සහ ගිණිකෙලි 2‘ වර්ගයට වැටේ. ඒ මදිවාට ඒ කි‍්‍රයාදාම සිද්දීන් ගොඩනැගෙන්නේද මන්ද බුද්දික විදිහටය. රාළහාමිගේ කකුල් කපා දැමූ බව දැන දැනත් අපේ වීරයා, පොඩි එකා මෝඩයෙකු සේ උළු මෝලේ සල්ලි හොරකම් කරන්නට යයි. ඒ සල්ලි සුවචව කීකරුව මැල් ට ගෙනැත් දී පොඩි එකා සුවසේ නිදයි. මැල් පොඩි එකා ගේ බෙල්ල කපන්නට යන්නේ ලේන්සුවක් එහෙම මූණට දමා සිනිඳුවටය. පිටිපස්සෙන් එන රාළහාමි මැල් ට වෙඩි තියයි. මෙතැනදී පොඩි එකා හිරේ හැදී වැඩුණු එකෙකුට වඩා අඩු මාසෙන් ඉපදුණු එකෙකුගේ තත්වයට වැටේ.

තවත් තැනක පොඩි එකා ඔහු සිත් ගත් කෙල්ලගේ කෙස් වැටිය කපා දමයි. ඇගේ පියා මනෝරත්න හ`ඩා වැටෙන්නේ ඇගේ බෙල්ල කැපුවෙ නැත්තෙ ඇයි කියමිනි.

කතාවේ ගොඩක් තැන් වල හරි ගුප්ත විදිහට බර කරලා කියන දේවල් වල කිසි තේරුමක් නැත. දමිතා එක තැනකදී හරි බයානක විදිහට ‘මැල් මහත්තයාගෙන් අපිට ගැලවීමක් නෑ‘ කියන්නේ කිසි හේතුවක් නැතුවය. අන්තිමට බලන විට මැල් යනු කිසි දෙයක් කර ගන්නට බැරි මෝඩ බයියෙකි. ‘කරන දේ මං ඊළ`ගට කියන්නං‘ කියමින් හැම දෙයක්ම තිතට සැලසුම් කර ඇති බඳුව හැසිරෙන මැල් තමන්ගේ මිනීපෙට්ටි සාප්පු වසා දමමින් ගෙවල් පවා සින්න වෙද්දී කරන්නේ අසරණයෙකු ලෙස සුසුම් ලෑම පමණකි.

චිත‍්‍රපටිය පුරාම පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්නේ අතාර්කික සිද්දි හා චරිත ගණනාවක් ඔස්සේ තමන්ව මෝඩ විදිහට පහළට ගලායාම පමණකි. ඒ දුර්වලකම වසන්නට අතුල පාවිච්චි කරන්නේ කිසි තේරුමක් නැති ගුප්ත දාර්ශනික වර්ගයේ දෙබස් විතරය.

‘සිනමා සංගීතය ගැන ඉගෙන ගන්නට කසුන් කල්හාරගේ සංගීතය අහන්න‘ යැයි බඹර වළල්ලේ සංගීතය ගැන කතාවක් මට අසන්නට ලැබුණේය. මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය. කසුන් ගේ අතින් නිර්මාණය වී ඇති සංගීතය චිත‍්‍රපටියට කිසිඳු මෙහෙයක් නොකරයි. එය පැත්තකින් එල්ලා වනා තිබේ. ඉන් චිත‍්‍රපටියට දෙන ආලෝකයක් හෝ චිත‍්‍රපටිය බලා එළියට එන විට හිතේ ඇති කරන මූඞ් එකක් හෝ නැත. කොටින්ම සංගීතය ඇතැම් තැනක නිකං තාලයක් විතරය. කිසි අදහසක් නැත.

ලාංකීය සිනමාවෙ නවතම ප‍්‍රවේශය ඇත්තේ මෙතැන නම් ඒ සිනමාව ජැක්සන්ලාට අතුල ලාට සහ මහින්ද චින්තනයටම බාර දී වෙන වැඩක් කර ගන්නවා ඇරෙන්නට අපිට කරන්න දෙයක් නැත. ජැක්සන් විසින් ලංකාදීපයේ වැරදියට පාවිච්චි කර ඇති ඔහුගේම කියමනක් හරියට පාවිච්චි කරමින් මේ කතාව අවසන් කරමි.

‘ලාංකේය කලා සම්ප‍්‍රදායේ අලූත්ම ප‍්‍රවණතාව වැරැුද්ද ප‍්‍රමිතිගත කිරීමයි. වැරැුද්ද නිවැරැුද්ද සම`ග ගැටෙන කල් වැරැුද්ද සහ නිවැරැුද්ද වෙන් වෙන්ව හඳුනාගැනීම පහසුය. එහෙත් වැරැුද්ද නිවැරැුද්ද ලෙස ප‍්‍රතිගත වූ විට වැරැුද්දේ පැවැත්ම ස්ථාවර වන්නේය‘

කට බොරු කීවත් දිව බොරු කියන්නනේ නැත.

-චින්තන ධර්මදාස

Thursday, August 12, 2010

බිල් ගේට්ස් සහ අජිත්ගෙ ගේට්ටුව



අජිත් ගේ අලූත් වීඩියෝ එක මේල් කරලා තිබුණා. බිල් ගේට්ස් සහ මගේ වූඩි ගේට්ස් කියන එයාගෙ අලූත් සිංදුවත් එක්ක. ඒක අජිත් කියන්නෙ ඉංග‍්‍රීසියෙන්. ඒත් ඉංග‍්‍රීසියෙන් නෙමෙයි. ඉංග‍්‍රීසි තේමාවක් ගැන. ඒත් ආයිමත් ඒක ඉංග‍්‍රීසිමත් නෙමෙයි. නැත්තං අපිට ළ`ගයි. අජිත්ගේ සිංදුව තේරුම් ගන්න ඉංග‍්‍රීසි දැනගෙන හිටියට විතරක් බෑ. සිහලත් දැනගන්න ඕන. අජිත්ගේ සිංදුව විඳින්න කාලය ගත වෙලා විතරක් තිබුණට බෑ. ජීවත් වෙලා තියෙන්නත් ඕන. ඒක හරි සරියල් නැත්තං අධිතාත්විකයි. ඒක හරි හිපි යි. ඒක හරි අමුයි. ඔරිජිනල්. ලංකාවෙ ඔරිජිනල් වැඩ කෙරෙන්නෙ නෑ. ඔරිජිනල් වුණත් නිකං මන්ද බුද්ධික වර්ගයේ නැතුව ලෝකයේ අනිත් රටවල කතිකාවන් එක්ක ඔරිජිනල් ඩයලොග් එකක් තියෙන වැඩ ලංකාවෙ නිෂ්පාදනය වෙන්නෙ නෑ. ¥පත් වල ඒක එහෙම තමයි. ඒත් අජිත් පරාරෝපිතයෙක්. එයා මේ සමාජෙට අයිති නෑ. එයා ජීවත් වෙන්නෙ පාවෙවී. තනියෙම්ම විශ්වාස කරන ලෝකයක් ඇතුලෙ එයා රජෙක් වගේ ජීවත් වෙනවා. අජිත්ගෙන් ඔරිජිනල් වැඩක් නිෂ්පාදනය වෙන්නෙ ඒ හින්ද.

අජිත් ගේ සිංදුවෙ බාසාව මට මතක් කළා ළ`ගදි යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තෙ වගේ රටවල ටීනේජ් උන්මාදයක් විදිහට පැතිරිච්ච ඩයි ඇන්ට්වුඞ් ලව. ඒ ගොල්ලො දකුණු අපි‍්‍රකානු සුදු ග්රූප් එකක්. ලෝකෙ රැුපර්ස් ලා කිව්වහම ඔරිජිනල් නම් කල්ලො වෙන්නම ඕන. ඒත් ඩයි ඇන්ට්වුඞ් ලා ඒක කඩනවා. ඇෆ්රිකානීස් කියලා ඉංග‍්‍රීසි අප‍්‍රිකානු කලවම් බාසාවකින් සිංදු කියන ගමන් උන් ඒකට භෞතිකයකුත් හදනවා. ඒ ග්රූප් එකේ ඉන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. වයසෙන් වැඩි පාදඩ ගණයේ කොල්ලෙක් එක්ක කිසි දෙයක් තේරෙන්නෙ නෑ වගේ පේන වයසක පිස්සු කෙල්ලෙක්. පොඩි පීඩෝෆයිල් විදිහක ආස්වාදයකුත් දෙන ගමන් උන් ඔරිජිනල් දේවල් ටිකක් සමාජයට මුදා හරිනවා. එතනදි බාසාව ඔරිජිනල් වෙන එකත් ජීවිතය ඔරිජිනල් වෙන එකත් උන්ට බලපානවා. අජිත් මේකෙ දේශපාලනිකව ජීවත් වෙනවා. එයා එයාට ඕන දේ එයාට ඕන විදිහට කියනවා. ඒක අලූත් ඉංග‍්‍රීසියක් නිර්මාණය කරන ගමන්ම ඒ ඉංග‍්‍රීසියෙන් කියන්න භෞතිකයකුත් නිර්මාණය කරනවා. බිල්ගේට්ස් සමාගමේ වැඩකරන නිතර මගේ ගේට්ටුව ඉස්සරහින් යන එන කෙල්ල....එයා කා එක්කවත් හිනා වෙන්නෙ නෑ..එයා ආඩම්බරයි..මොකද එයා වැඩ කරන්නෙ බිල් ගේට්ස් ට. එයා සයිබර් අවකාශයේ සැරිසරනවා..ගොඩක් අයව සනසනවා..හිනාවෙනවා.. ආදරය කරනවා...එයා වැඩ කරන්නෙ බිල් ගේට්ස් ට...

අජිත් කියන්නෙ පරාරෝපණය ගැන කතාවක්. අජිත් ගේ පරාරෝපණය කැලේ ඉඳන් එන එකක්. ඒක ලස්සන කොලපාට කැලයක්. කුඹුරු වතුරු වලවල් තියෙන හෙලූවෙන් නිදහසේ යන්න එන්න පුළුවන් කැලයක්...ඒකෙ ඉඳන් ටවුමට එන්න වෙනවා..ටවුමේ ඇඳුම් කඩ මැද්දෙ ප්ලාස්ටික් ඩමි අතරෙදි අජිත්ට එයාව මුණ ගැහෙනවා..අජිත් වීදුරුවෙන් මේ පැත්තෙ...එයා අනිත් පැත්තෙ..අජිත් ඒ කෙල්ල දිහා බලන්නෙ කොතන ඉඳන්ද කියලා වීඩියෝ එක අපිට කියනවා. වීදුරුවෙන් එහා පැත්තෙ ඉන්න කෙල්ල ගැන අජිත් අපිට කියනවා. ඒ කතාව සම්පූර්ණ වෙන්නෙත් පුදුම සහගත ආතල් එකක් දෙන්නෙත් ඒ හින්ද.. වීඩියෝ එකේ ගොඩක් තැන් ගොඩක් බාලයි. ඒත් ඒක වැඩ කරනවා. ඒක හු`ගක් ගැඹුරුයි. ඒ වීඩියෝ එකේ තියෙනවා මියුසික් වීඩියෝ වල තියෙන දුර්ලබම දෙයක්. ගායකයාගේ ආත්මය වීඩියෝ එකෙන් කියනවා. අජිත් දේශපාලනිකයි කියන එක වීඩියෝ එක කරපු කෙනා දන්නවා. ඒ වගේම ඒ දේශපාලනයේ පාට ගැනත් එයා හොඳට දන්නවා. ඒක හින්ද අජිත් ගේ ආත්මය එළියට ගන්න එයා ට‍්‍රයි කරනවා. කොළපාට කැලෑව, වතුර, උදේ ඉර එළිය, හෙළුව අජිත්ගේ දේශපාලනේ කොටසක්. ඒ ඔක්කොම දේවල් මග හැරෙන සෙයිලම, නාගරිකත්වය, සුපර් මාර්කට් අජිත්ගේ දේශපාලනේ අනිත් කොටස. මේ දෙක අතර හැප්පිල්ල කියන්නෙ අජිත්ගේ ජීවිතය. ඒක අපි ගොඩකගෙත් ජීවිතය. එතනදි ඉංග‍්‍රීසි කියන්නෙ පරාරෝපිතයේ ලකුණක් මිසක් කඩුවක් නෙමෙයි.

ඒක නිසා වීඩියෝ එකේ කන්සෙප්චුවල් වර්ක් එක මාර සිරා. කැලෙන් එළියට එනකල් ගේන රූප පේලියත් ‘ටි‍්‍රපී‘. සමාවෙන්න මේකට සිංහල වචනයක් මං තාම දන්නෙ නෑ. සමස්තයක් විදිහට අජිත්ගේ පැත්තෙන් කරන විෂුවල් එකේ ප‍්‍රධාන චරිතයේ ගොඩ නැංවීම මරු. කෙල්ලගේ පැත්ත හැදෙන්නෙ නෑ. හිර කරපු- ටිකක් ෆැෂන් කරපු ෆ්රේම්ස්, කලූ කණ්ණාඩි, ¥විලි මැද්දෙ කෙල්ලට තේරුමක් හදන්න හැදුවට කෙල්ලගේ ජීවිතේ පැත්තෙන් සිංදුව කියන කතාව වීඩියෝ ඩිරෙක්ටර් ට අහු වෙන්නෙ නෑ. ඒත් ඒ වීඩියෝ එකේ මේ තියෙන අවුල තියෙද්දිත් සිංදුවෙ තියෙන, සිංදුවට අහුනොවෙන කතාව මතු කර ගන්න ඩිරෙක්ටර් පෙන්නන ගැඹුර පැත්තෙන් ඒක විශිෂ්ට වැඩක්.

එක පැත්තකින් මට වීරසේතුකල් මතක් වෙනවා. ඒ ‘ඉනසන්ට්‘ කියන විෂුවල් ස්පර්ශය මේ වීඩියෝ එකෙත් මට දැණුන. ඒ එක්කම පොඩි ‘මිස්ටික්‘ විදිහෙ එළඹුම අතිනුත් මේ දෙන්නා ළ`ගයි. ඒත් අජිත් ගේ වැඬේ එතනින් දේශපාලනික අදහසක් මතු කරනවා. වීරසේතුකල්ගේ හිරි වැටුණු ගතිය වෙනුවට අජිත් දාර්ශනික අදහසක් ගේනවා. දෙන්නම සිහිනමයයි. ඒත් අජිත් තාම පාවෙනවා විතරයි. ඉගිල්ලෙන්නෙ නෑ.

ඒත් මේ වෙනස ලංකාවෙ විඳින්න ලැබෙන පලවෙනි වතාව. අනිත් පැත්තෙන් අජිත් ලංකාවෙ සිංහල කියන බාසාව වෙනුවට ලෝකෙට කතා කරන්න පුළුවන් අපේ බාසාවක් යෝජනා කරනවා. ¥පතට සිංදු කියනවා වෙනුවට ලෝකෙ කොටසක් විදිහට සිංදු කියන්න ගන්නවා. ඒ වගේම පිටකොටුවෙ පේමන්ට් එකේ වගේ කොපි මියුසික් වීඩියෝ සදහටම උරුමය වුණු අපිට සවිඥාණක අදහසක් ඇතුව කතිකාවක් යෝජනා කරන වීඩියෝ සම්ප‍්‍රදායක් මුණ ගැහෙනවා.

ජීවත් වෙන එක ආතල් වැඩක් කියලා හිතන්න මීට වඩා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ මට.

Thursday, August 5, 2010

ලංකාවෙ පරිවර්තන කරන ගොයියෝ


ළ`ගදී මං පාවුලෝ කොයියෝ කියවන්න ගත්තා. ඉංග‍්‍රීසි පොතකින් පටන් අරන් ආසාව වැඩිවුණ හින්ද පරිවර්තනය වෙලා තිබ්බ සිංහල පොත් කීපෙකුත් කියවන්න පටන් ගත්තා. ඉංග‍්‍රීසි පොත්ම ගන්න සල්ලි අතේ නොතිබ්බ එකත් ඒකට බලපෑවා. මොකද හු`ගක් කාලෙකට කලින් මං සිංහල පරිවර්තන කියවන එක අත්ඇරලා දැම්මා. ඒ පරිවර්තන විදිහ මට දිරවගන්න අමාරු වුණ හින්දමයි. කොයි කර්තෘ කෙනෙක්ගේ පරිවර්තනයක් කියෙව්වත් එකම විදිහක් වගේ ගතියක් ලංකාවෙ පරිවර්තනවල තියෙනවා. උදාහරණයක් විදිහට මොරාවියා කියෙව්වත්, කැල්විනෝ කියෙව්වත් කියවන්න වෙන්නෙ එකම බාසාවෙන්. ටික දුරක් යද්දි ඔරිජිනල් කර්තෘගේ බලපෑම අඩුවෙලා අඩුවෙලා ගිහින් පරිවර්තකයාගේ ඒකතානමය ගතිය ඇතුලෙ අපි මෝහනය වෙන්න ගන්නවා. ලංකාවෙ පොත් පරිවර්තනය කියන්නෙ හරි කම්මැලි මිනිස්සුන්ගෙ වැඩක්. ගොඩක් වෙලාවට ඉංග‍්‍රීසි හරි නැත්නම් ‘දැදිගම වී රුද්රිගු‘ වගේ වෙන බාසාවක් හරි පුළුවන් වුණාම ගෙදර විශ‍්‍රාමික සුවයෙන් ඉඳන් පරිවර්තනය කරගෙන යනවා. ඉතිං අර පරිවර්තකයාගේ තියෙන ඕලාරිකකම ඇරෙන්න පොතේ අලූත් ඉර එළියක් විඳගන්න නෑ. ඒක හිස්. රසයක් නෑ. කොයියෝගේ ‘ඇල්කෙමිස්ට්‘ සිංහලෙන් කියවන්න ගිහින් මං නාගත්තට පස්සෙ ඉංග‍්‍රීසි පොත අරං කියවන්න ගත්තා. සිංහල පොත හරියටම කොයියෝ ගේ නෙමෙයි වගේ. ඒකෙ පාවුලෝ නෑ.

ලංකාවෙ පරිවර්තකයො පොතක් පරිවර්තනය කරනවා කියන එක අරගෙන තියෙන්නෙ හරි ලේසියට. පොතක් පරිවර්තනය වෙද්දි භාෂා දැනීම කියන්නෙ පුංචි කාරණයක් විතරයි. පරිවර්තකයා සතු සමාජ සංඥාර්ථවේද ගැන දැනුම එතනදි ලොකු දෙයක් කරනවා. ඒක පරිවර්තනය වෙන භාෂාව අයිති සමාජය වගේම ඔරිජිනල් පොත අයිති භාෂා සමාජය පිළිබඳවත් තියෙන දැනුමක්. ඒත් අපේ රටේ පරිවර්තන වල තියෙන්නෙ විලාසිතාවක්. පරිවර්තන පොත්වල වෙනම භාෂාවක් ලියවෙන්නෙ. ඒක පරණ රුසියන් සාහිත්‍ය පරිවර්තන වල ඉඳන්ම එහෙමයි. ඒක කියවන අය සිංහල ඇතුලෙ සිංහල නොවෙන තැනකට යනවා. සිංහල රුසියානුවො මෑතක් වෙනකල් අම්බානක හිටියා කොළඹ. දැන් ටිකක් අඩුයි. පරිවර්තනය හරියට සිද්ද නොවුණොත් එතනදි ඔරිජිනල් ලේඛකයා මරලා දාන එක විතරක් නෙමෙයි, කියවන සමාජය පරාරෝපණය කිරීමකුත් සිද්ද වෙනවා. අපේ පරිවර්තන කීපයක් කියවන්න ගත්තොත් කොයි ලේඛකයා ලිව්වත් ඒක අන්තිමට කෙළවර වෙලා තියෙන්නෙ පරිවර්තකයාගේ භාෂා උවමනාව උඩ. ඉතිං කොයි පොතක් කියෙව්වත් එක වගේ. ඒවයේ දෙබස් කියල ලියවෙන්නෙ විකාර. ඒ පොත් වල චරිත කතා කරන්නෙ ‘නුඹ මා කියූ දේ ඇසුවා නම්..‘ වගේ අමුතු භාෂාවකින්. ලංකාවෙ පරිවර්තන නන්නත්තාර වෙන්න එක හේතුවක් තමයි පොත් පරිවර්තනය කියන එක සංස්කෘතික සමාජ වටිනාකම්වල පරිවර්තනයක් හැටියෙන් දකින්න තරම් දැනීමක් මේ පරිවර්තකයන්ට නැති එක. ඒක ඒ අයට පුද්ගලික වැඩක්. තමන් කැමති පොතක් පරිවර්තනය කරගෙන යනවා. කෘතියෙන් පරිවර්තකයාට කිසිම අභියෝගයක් නෑ.

පොතක් පරිවර්තනය වෙද්දි ඔරිජිනල් පොත ගැන අධ්‍යනය කරන්න ඕන කරන කාරණා කීපයක් තියෙනවා. එකක් කතාවේ ආඛ්‍යාන විලාසය. කතාව ගොඩ නැගෙන හැටි. උදාහරණයක් විදිහට ඉතාලෝ කැල්විනෝගේ පොතක් ලියවෙන්නෙ ආඛ්‍යානයේ ලොකු වෙනස්කම් එක්ක. ඒ ආඛ්‍යාන වෙනස්කම් ඒ සමකාලීන අනික් කර්තෘවරුන් අතර ඉටුකරන සමාජ උවමනාව ගැන වැටහීමක් ඇතුව පරිවර්තනයේදී ඒ වෙනස්කම කරන්න සිද්ද වෙනවා. පොතේ භාෂාමය විදිහට ආකෘතිය මාරු වුණු පමණින් ඒ වෙනස සිද්ද වෙන්නෙ නෑ. ඒ ආකෘතික වෙනස කියවන්නාගේ ඔලූව ඇතලෙ කරන විප්ලවය ගැනත් පරිවර්තකයාට හැ`ගීමක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ටැරන්ටිනෝගේ චිත‍්‍රපටියක් කොපි කරලා අපිට රෝයිද සිල්වා වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි. ඒත් ඒක ඔරිජිනල් ටැරන්ටිනොගේ වැඩක් වගේ දැනෙන්න ඒ ආකෘතියෙන් ජීවිතය අල්ලන තැන ගැන දැනීමක් තියෙන්න ඕන. ඒ එක්ක ඔරිජිනල් පොතේ චරිත ගොඩ නැගෙන හැටි. ඒ චරිත කතා තේමාව එක්ක බැඳෙන විදිහ..කතාව ඇතලෙන් මතු කරන ප‍්‍රධාන ගැටළුව, එ ගැටළුව සමාජය ඇතුලෙ වැඩ කරන කතිකාව, සහ අන්තිමට ලේඛකයාගේ විලාසිතාව කියන කාරණා ගණනාවක් පරිවර්තනයේදී අදාලයි. පරිවර්තනය කියන්නෙ අධ්‍යනමය වැඩක්. නැත්නම් වෙන්නෙ ‘සෙසෑන්‘ පරිවර්තනය කරන පරිවර්තකයාගේ සද්ධර්ම රත්නාවලී වර්ගයේ චින්තාව පරිවර්තනය ඇතුලෙ පේන්න ගන්න එක.

ලංකාවෙ හු`ගක් අමාරුවන් කරපු වැඩක් තමයි ‘ලොලිටා‘ පරිවර්තනය. ඒත් ඒක මෙලෝ යකෙකුට කියවන්න බෑ. නබකොව්ගේ ඉංග‍්‍රීසි පොතේ තියෙන රහෙන් මංචාඩියක් වත් සිංහලට ගන්න පරිවර්තකයන්ට බැරිවෙනවා. ඒ පරිවර්තනය ශාස්තී‍්‍රය කතිකාවක් ඇතුලෙ කරපු වැඩක්. ඒ වුණාට වැඩක් නෑ. පරිවර්තනය ඇතලෙ ශාස්ත‍්‍රීය අධ්‍යනය විතරයි තියෙන්නෙ. හැ`ගීම නැතිනම් ජීවිතය නෑ. මේ සමබරතාවය ආරක්‍ෂා කරගන්න එක පරිවර්තනයකදී අනිවාර්යයි. නැතිනම් අපි පොතක් ලියනවා නෙමෙයි. පොතක් මරනවා.

පරිවර්තනයක් කියන්නෙ භාෂාවන් දෙකක් අතරෙ සිද්ද වෙන හුවමාරුවක් නෙමෙයි. ඒක සංස්කෘතින් දෙකක් අතරෙ හුවමාරුවක්. මේ කාරණය කපටි විදිහට අපේ පරිවර්තකයො මුල ඉඳන් පාවිච්චි කළා. රුසියාවෙ ඉඳලා ආපු අය රුසියන් කතා පරිවර්තනය කරන්න ගත්තා. සමහර අය ප‍්‍රංස ඔරිජිනල් භාෂාවෙන් පරිවර්තන කරන්න ගත්තා. ඒත් වැඬේ සිද්ද වුණේ නෑ. හැම පරිවර්තනයක්ම පරිවර්තකයාගේ දූපත් ඔලූ ගෙඩිය ඇතුලෙ ගිලූණා.

පරිවර්තන ගැන අධ්‍යනය කරන කට්ටිය පරිවර්තකයෙක් දකින්න ඕන ප‍්‍රධාන අංශ දෙකක් ගැන කතා කරනවා. එකක් text style එක. ඒ කියන්නෙ වියමන පරිවර්තනය කරන ආකාරය. පරිවර්තකයාගේ ඇත්ත අභියෝගය තියෙන්නෙ මෙතන. සමාජ වියමනක් හැටියෙන් ඔරිජිනල් පොතේ වියමන, සංඥාර්ථ අපේ භාෂාවට පරිවර්තනය කරන්නෙ කෙහොමද කියන එක. කියවන්නා පරාරෝපණයකට අහු කරන්නෙ නැතුව ඔරිජිනල් පොතේ වියමන උඩින් ගමන් කරවන්න පරිවර්තකයාට පුළුවන් වෙන්න ඕන. අනිත් කාරණය authoral style එක. ලේඛකයාගේ ලේඛන විලාසය අපිට පරිවර්තනය කර්නනෙ කොහොමද කියන එක. අපේ උක්ත ආඛ්‍යාත, සිංහල කියවන පණ්ඩිතයන්ගේ මනස්ගාත ආදී ඔක්කොමගෙන්ම වුණත් එලියට ගිහින් පරිවර්තනය වෙනුවෙන් භාෂාව නිර්මාණය කරන්න මෙතනදි පරිවර්තකයා නිර්භීත වෙන්න ඕන.

බයිබලය පරිවර්තනය කරපු ඉයුජින් ඒ නීඩා‘ මේ ගැන හොඳ කතාවක් කියනවා. එයා කියන විදිහට සමහර විට පරිවර්තනයකදි තීරණාත්මකම වෙන කාරණය සමාජ සංඥාර්ථවේදයන් හඳුනා ගැනීමයි. මිනිස් සමාජ අතර සියලූ සංඥාවන් ග‍්‍රහණය කළ හැකි පොදු බිමක් ගොඩ නගා ගැනීමයි. පරිවර්තනයේ කිසිම ශුද්ධභාවයකින් මේ සංඥාවන් කේතකරණය සහ විකේතකරණය නොතකා හරින්න බෑ කියලා එයා අවධාරණය කරනවා.

මෑතකදි අපේ රටේ ඕෂෝ පරිවර්තනය වෙන්න ගත්තා. ඕෂෝගේ දේශන වලින් ගත්ත නිසා හැම කෙනෙක්ම වගේ කතා කරන භාෂාවෙන් පරිවර්තනය කරගෙන ගියා. ඒත් ඒ පොත් කියවද්දි අපිට ඕෂෝව තේරෙනවද? ඕෂෝ ඔරිජිනල් පොතේ කියන කාරණා පරිවර්තනයේදි මග ඇරුණෙ කොහොමද? ආධ්‍යාත්මික හෝ වෙනයම් ආත්මීය ගැඹුරකට යන පොතක් පරිවර්තනය කරද්දි පරිවර්තකයා ඒ ලේඛකයාගේ සිතිවිලි අවබෝධ කර ගත්ත හැටි වචන වලට දැනෙනවා. උදාහරණයක් විදිහට ඕෂෝ ගේ නිහ`ඩතාවයන්, පාවිච්චි කරන වචන වල තියෙන ගැබ්බර ගතිය, අපේ පරිවර්තකයාට අහුවුණේ නෑ. අනික ඉංග‍්‍රීසි හැම පොතක්ම ලියවුණේ ඕෂෝගේ ආශ‍්‍රමයේ සන්‍යාසි අතින්. ඒ වන්දනා ගමන අරන් යන්න අපේ එදිනෙදා පරිවර්තකයාට බෑ. ඉතිං ඒ දෙවල් නිකං දැනුම් කෑලි විදිහට එක එක තැන ගණිකා සේවයේ පාවිච්චි වෙලා වසංගත වෙලා මැරිලා ගියා.

පොතක් පරිවර්තනය වෙද්දි වචන වල තේරුම් වෙනුවට වාක්‍ය සහ කතිකාවන් අතර තේරුම් අල්ලගන්න ඕන. වාග්මය සහ වාග්මය නොවන සමාජ සංදර්භයන් දැනෙන්න පටන් ගන්න ඕන. ඔරිජිනල් පොතේ තියෙන මේ සංද්ර්භ තේරුම් ගැනීම කෙහොම වුණත් අපේ කට්ටියයට අපේ රටේ සංදර්භයන් ගැන තියෙන තේරුම් ගැනීමත් පට්ට අල්පයි.

හැම පොතක්ම යම් කිසි පණිවුඩයක් අරන් යනවා. ඒ පණිවුඩය සාහිත්‍යයේදී බහුතලීයයි. අපිට එක දිගට කතාව පරිවර්තනය කරගෙන ගියාට ඒ පණිවුඩයේ සමස්තය අහුවෙන්නෙ නෑ. ඒක සරල රේඛීය වෙන්න ගන්නවා. ඒ එකක්ම ඔරිජිනල් පොත කර්තෘ සහ කියවන්නා අතර යෝජනා කරන සම්බන්දය ගැනත් පරිවර්තකයාගේ දැනුමක් තියෙන්න ඕන. ඒක අපේ පරිවර්තනය සහ කියවන්නා අතර ගොඩනැගෙන සම්බන්යට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලේඛකයෙන් නිතරම ලියන්නෙ තමන්ගෙ කියවන්නා සම`ග ගොඩ නැගෙන ආදරය තුල. ඒ ආදරය ඇතෙුල කියවෙන වචන එතනින් එළියට ගත්තොත් වෙන්නෙ වෙන වැඩක්. අපේ පරිවර්තන වල ආදරය නැති වුණේ ඒ විදිහට.
අපේ රටේ පරිවර්තන වලින් වෙච්ච විනාසය සුළුපටු නැහැ. සමහර අය තාමත් පාළු රුසියානු සිහින වල නන්නත්තාර වෙනවා. අපේ සිංහලෙන් කියවපු මාක්ස්වාදියො පිස්සු කෙලින්න ගත්තා. ඕෂෝ සිංහලෙන් කියවලා ගොඩක් කට්ටිය බඩු කාරයො වුණා. ඔරිජිනල් ලේඛකයාව මරලා හංගනවට අමතරව කියවන අය රොතු පිටින් ගෙ`ග් ගියා.
මෑතදි දේශපාලනිකව X එකේ කට්ටිය මරා ගත්තා ෆ්‍රොයිඞ් පරිවර්තනය වැරදියි කියලා. ඊට පස්සෙ තවත් කට්ටියක් ‘ජිජැක්‘ ව පරිවර්තනය කරන්න ගත්තා. මේ හැම දෙයක්ම වෙන්න ගත්තෙ අපේ රටේ තියෙන අවිධිමත්, අශාස්ත‍්‍රීය පිස්සුව ඇතුලෙ. දැනුම, රසය විතරක් නෙමෙයි සිතීම පවා මේ හින්ද විකෘති වෙන එක අනිවාර්යක්.

ඒක නිසා ලංකාවේ සිංහල පරිවර්තන කියවන එක අතිශය භයානකයි.
ඩික්ෂනරිය පෙරල පෙරල හරි ඉංග‍්‍රීසියෙන් කියවන එක සෞඛ්‍යයට හිතකරයි.

චින්තන ධර්මදාස